Jātaka

Birth Stories

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1301-1400 න් 7679

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-jat-5:218.6
771. යමෙක් හැමදා නො පමාව මිත්‍රභේදයෙහි සැක ඇත්තේ ද මිත්‍රයාගේ සිදුරු මැ දක්නාසුලු වේ ද හේ මිතුරෙක් නො වෙයි. යමෙක් ඖරස පුත්‍රයකු මෙන් වෙසේ ද අනුන් විසින් බිඳිය නොහැකි වේ ද හේ ඒකාන්තයෙන් මිතුරෙක් වේ.
kn-jat-5:218.7
1. වණ්ණාරෝහ ජාතක යි.
kn-jat-5:218.8
772. සීලය ශ්‍රේෂ්ඨ වේ ද ශ්‍රැතය ශ්‍රේෂ්ඨ වේ දැ? යි මට සැකයෙක් විය. ශ්‍රැතයට වඩා ශීලය මැ ශ්‍රේෂ්ඨ වේ යන මෙහි (දැන්) සැකයෙක් මට නැත.
kn-jat-5:218.9
773. ක්‍ෂත්‍රියාදි ජාති ද ශරීර වර්‍ණ ද තුච්ඡ යැ. සීලය ම උතුම් වේ. සීලයෙන් යුක්ත නො වූවහුගේ ශ්‍රැතයෙන් ප්‍රයෝජනයෙක් නැත.
kn-jat-5:218.10
774. අධර්‍මයෙහි පිහිටි ක්‍ෂත්‍රියයා ද අධර්‍මය ඇසුරු කළ වෛශ්‍යයා ද යන දෙදෙන දෙව්මිනිස් දෙලොව හැර දුගතියෙහි උපදිති.
kn-jat-5:218.11
775. ක්‍ෂත්‍රිය යැ බ්‍රාහ්මණ යැ වෛශ්‍ය යැ ශුද්‍ර යැ චණ්ඩාල යැ බබුරු යැ යන කුලයන්හි උපන්නේ මෙලොව පින්කම් කොට දෙව්ලොව දී සම වෙති.
kn-jat-5:218.12
776. වේදයෝ ද ජාතිය ද නෑයෝ ද පරලොව සුව පිණිස නො වෙත්. තමාගේ පිරිසුදු සීලය මෙලොව පරලොව සුව පිණිස වේ.
kn-jat-5:218.13
2. සීලවීමංස ජාතක යි.
kn-jat-5:220.1
777. ලජ්ජාව දුරු කරන මිතුරුබව පිළිකුල් කරන මම ඔබගේ මිත්‍රයෙක්මි යි වචන මාත්‍රයෙන් කියන, දෙමි කරමි යන ප්‍රතිඥාව අනුව ක්‍රියා නො කරන මේ පුද්ගල මාගේ මිත්‍රයෙක් නො වේ යයි ඔහු දැනගන්නේ ය.
kn-jat-5:220.2
778. යමක් කරන්නේ ද එය මැ කියන්නේ ය. යමක් නො කරන්නේ ද එය නො කියන්නේ ය, නො කරන දැය කියන ඔහු පඬිවරු හඳුනති.
kn-jat-5:220.3
779. යමෙක් හැමදා නො පමා වැ මිත්‍රභේදයෙහි සැක ඇත්තේ ද මිතුරාගේ සිදුරු මැ දක්නාසුලු වේ ද හේ මිතුරෙක් නො වෙයි. යමෙක් ඖරස පුත්‍රයකු මෙන් වෙසේ ද අනුන් විසින් බිඳිය නො හේ ද හේ ඒකාන්තයෙන් මිතුරෙකි.
kn-jat-5:220.4
780. දාන සීල භාවනාදි පුරුෂයාට අයත් පුණ්‍යක්‍රියා කිරීමට වෑයම් කරන, ඵලය හා ආනිශංසය විඳිනු රිසි පුද්ගලයා සතුටට හේතුවන පැසැසුම් ගෙන දෙන සැපය දියුණු කරයි.
kn-jat-5:220.5
781. දහම්රස පානය කරන්නේ ත්‍රිවිධ විවේකරසය ද (කාය විවෙක, චිත්තවිවේක, උපධිවිවෙක) කෙලෙස් සන්හිඳුවාලීමෙන් ව්‍යුපශමසුඛය ද පීඩා නැතියෙක් ද පව් නැතියෙක් ද වේ.
kn-jat-5:220.6
3. හිරි ජාතක යි.
kn-jat-5:220.7
782. කවරෙක්, දැල්වෙන ගිනි ඇති කල ගිනි සොයා ඇවිදිනුයේ රාත්‍රියේ කණමැදිරියකු දැක ගිනීය යි සිතා ද,
kn-jat-5:220.8
783. හෙතෙම කණමැදිරියා මතුයෙහි ගොමරිටි තණරොඩු එකතු කොට වැරදි කල්පනාවෙන් ගිනි පිඹින්නේ නමුදු ගිනි දල්වන්නට නොහැකි වී ද,
kn-jat-5:220.9
784. එපරිදි පිළිවෙළ වරදවාගෙන සොයන අඥානයා ප්‍රයෝජන නො ලබයි. ගවහඟින් කිරි දොවන්නා කිරි නොලබන්නාක් මෙනි.
kn-jat-5:220.10
785. නොයෙක් ක්‍රමයන්ගෙන් මිනිස්සු දියුණුවට පැමිණෙත්. සතුරන්ට නිග්‍රහ කිරීමෙන් ද මිතුරන්ට සංග්‍රහ කිරීමෙන් ද,
kn-jat-5:220.11
786. සේනාවට ප්‍රධාන ඇමතියන් ලැබීමෙන් ද විශ්වාස කටයුතු ඇමතියන්ගේ උපක්‍රමයන්ගෙන් ද යන උපායයන්ගෙන් පොළොව අයිති කරගෙන රජවරු වෙසෙති.
kn-jat-5:220.12
4. ඛජ්ජොපණක ප්‍රශ්නය.
kn-jat-5:222.1
787. යහළු සුමුඛය, (මම) දූ කෙළියෙන් පැරැදුණු ධූර්‍තයෙක්මි. අඹපල හෙළාලව. තොපගේ වීර්‍ය්‍යය අනුභව කරමු. තොපෙගේ වීර්‍ය්‍යයෙන් උපන් අඹ පල අනුභව කරමු යී සේයි.
kn-jat-5:222.2
788. යහළුව, නැති ගුණයෙන් මා පසස්නෙහි එය එකැතින් මුසා යැ. වානරයා සුන්‍දර මුහුණු ඇත්තෙකැ යි කවර තැනෙකැ තා විසින් අසන ලද ද දක්නා ලද හෝ වේ ද?
kn-jat-5:222.3
789. අහිතුණ්ඩිකය, මත් වූ තෙපි සයින් පෙළුණු මා ධාන්‍යාපණයට ඇතුළු කොට යම් හෙයෙකින් (උණපත්තෙන්) පහර දුන්නෙහි ද එය අද දක්වා මා සිත්හි පවතී.
kn-jat-5:222.4
790. (ඉදින් තෙපි බරණැස් රජය ගෙනැදී) මා ලවා රජය කරවන්නහු වී නමුදු ධාන්‍යාපණයෙහි ඒ දුක්ඛශයනය සිහි කරන මම තොප විසින් අයදනා ලද්දෙම් එක් අඹපලයකුදු නො දෙමි. එසේ මැ යි. තොප විසින් මම බියෙන් තැති ගන්වන ලදිමි.
kn-jat-5:222.5
791. ප්‍රාඥ තෙම යමකුත් පූජ්‍යකුලයෙහි උපනෙකැ මවුකුස හෝ (සරසා පිළියෙළ කරන ලද) යහන් ගැබ්හි තෘප්තයෙකැ නොමසුරෙකැ යි දන්නේ ද ඔහු හා සමග යහළු බව ද මිතුරු බව ද ඝටනාවට නිසි වේ.
kn-jat-5:222.6
5. අහිතුණ්ඩික ජාතක යි.
kn-jat-5:222.7
792. මී වැනි පැහැය ඇති මී වැනි රස ඇති මී වැනි සුවඳ ඇති විෂයෙක් විය. ගුම්බිය නමැති යකෙක් ආහාර සොයනුයේ වනයෙහි විෂ බහාලී ය.
kn-jat-5:222.8
793. මී යයි සිතා යම් කෙනෙක් එය කෑවෝ ද ඔවුන්ට එය කටුක විය. එයින් ඔව්හු මළහ.
kn-jat-5:222.9
794. යම් කෙනෙක් නුවණින් සලකා බලා ඒ විෂ වර්‍ජනය කළෝ ද ඔව්හු මරණාසන්න වූවන් අතරේ සුවපත් වූහ. විෂ තෙදින් දැවෙනුවන් අතුරෙහි නිවියහ.
kn-jat-5:222.10
795. එපරිදි පංචකාමයෝ මිනිසුන් අතුරෙ ඒ ඒ තැනැ තබා ලූ විෂයකැ යි දතයුත්තාහ. මේ පංචකාම ආමිෂ ද බන්‍ධන ද වෙයි. තෙල පංචකාමය ශරීරය නැමැති ගුහායෙහි වෙසෙන මාරයා මැ යි.
kn-jat-5:222.11
796. එපරිදි කෙලෙස් පරිචාරකයන් ඇති මේ පංවකාමයන් මරණාසන්න නුවණැති යම් පුරුෂ කෙනෙක් හැම කල්හි දුරු කෙරෙත් ද ඔහු ලෝකයෙහි සඞ්ග සඞ්ඛ්‍යාත රාගාදි කෙලෙසුන් ඉක්මවා ගියාහු වෙත්.
kn-jat-5:222.12
6. ගුම්බිය ජාතක යි.
kn-jat-5:224.1
797. දුෂ්ට වෛද්‍යවරයෙක් සැළලිහිණි පැටියෙකැ යි (කියා) බාලයකු ලවා නයකු ගැන්වී ද මේ ලාමක අනුසාසකයා ඒ සර්‍පයා විසින් ඩසින ලදුව මළේ ය.
kn-jat-5:224.2
798. යම් මිනිසෙක් (අනුන්) නොපහරන නො මරන කෙනකු නසන්නට කැමැති වේ ද හේ මේ පුරුෂයා මළේ යම්සේ ද එසේ නටුයේ මරණශය්‍යායෙන් හෝනේ ය.
kn-jat-5:224.3
799. යම් මිනිසෙක් (අනුන්) නොපහරන නො මරන කෙනකු මරන්නට කැමැති වේ ද හේ මේ පුරුෂයා මළේ යම්සේ ද එසේ නැසුණේ හෝනේ ය.
kn-jat-5:224.4
800. යම්සේ පුරුෂයෙක් පස්මිටක් උඩුසුළඟට දමා ද, එ රජස් ඔහු මැ පහරනේ ද එසේ මේ පුරුෂයා ද නැසුණේ ය.
kn-jat-5:224.5
801. යමෙක් නිරපරාධ වූ නිකෙලෙස් වූ පුරුෂයාට ද්වේෂ කෙරේ ද උඩුසුළඟට දැමූ දූලි ලෙසින් අපරාධ කළ එ මැ අනුවණයා කරා පාපය පෙරළා එන්නේ ය.
kn-jat-5:224.6
7. සාළිය ජාතක යි.
kn-jat-5:224.7
802. සතුරන් අතට පත් වැ හුණ දඬුවක බඳනා ලද තෙපි ප්‍රියමනාප මුහුණ ඇත්තහු ය. කවර හෙයින් තෙපි ශෝක නො කරවු ද?
kn-jat-5:224.8
803. ශෝක වීමෙන් ද හැඬීමෙන් ද මද වූ හෝ ප්‍රයෝජනයක් ලද නො හැකි ය. දුක්ඛිත වූ එහෙයින් මැ ශෝක කරන මොහු දැනගත් සතුරෝ සතුටු වෙති.
kn-jat-5:224.9
804. අර්‍ත්‍ථ විනිශ්චය දන්නා නුවණැත්තා යම්හෙයකින් විපතෙහි දී නොසැලේ ද එහෙයින්, විකෘත නො වූ පළමු පැවැති මුහුණ දක්නා සතුරෝ දුකට පත් වෙති.
kn-jat-5:224.10
805. මන්ත්‍ර ජප කිරීමෙන් ද සාකච්ඡාවෙන් ද ප්‍රියවචනයෙන් ද අල්ලස් දීමෙන් ද ප්‍රවේණි කථායෙන් දැ යි යම් යම් පරිද්දෙකින් යම් තැනෙකැ ප්‍රයෝජනයෙක් ලැබේ ද එහි ලා ඒ ඒ අයුරින් වෑයම් කරන්නේ ය.
kn-jat-5:224.11
806. මා විසින් හෝ අන් කෙනකුන් විසින් හෝ තෙල අර්‍ත්‍ථ ලබන්නට නො හැකි යයි යම් හෙයකින් දනී නම් දැඩි කර්‍මයෙකැ දැන් කුමක් කෙරෙම් දැ යි ශෝක නො කෙරෙමින් ඉවසන්නේ යි.
kn-jat-5:224.12
8. තචසාර ජාතක යි.
kn-jat-5:226.1
807. යම් හෙයෙකින් මගේ හිස පැහැර චක්‍රය මස්තකයෙහි බමා ද එබඳු කවර වරදක් මම දෙවියන්ට කෙළෙම් ද මා විසින් කවර පාපයක් කරන ලද ද?
kn-jat-5:226.2
808. පළිඟු රිදී මැණික් සහ රුවන් යන ප්‍රාසාදයන් ඉක්ම කවර හෙයෙකින් මෙහි ආයෙහි ද?
kn-jat-5:226.3
809. මේ සතර පහයෙහි සම්පතට වඩා මෙහි බොහෝ ඇති වනැ යි මේ හැඟීමෙන් විපතට පත් මා බලව.
kn-jat-5:226.4
810. සතර දෙනකුන්ගෙන් නො සතුටු ව අටදෙනකුන් ළඟට ගියේ යැ. අට දෙනකුන්ගෙනුදු නො සතුටු ව සොළොස් දෙනකුන් ළඟට ගියේ ය. සොළොස් දෙනකුන්ගෙනුදු නොසතුටු ව දෙතිස් දෙනකුන් ළඟට ගියේ ය. අධික අධිකය පතන්නේ උරචක්‍රයට පැමිණියේ ය. තණ්හායෙන් නැසුණ පුරුෂයා මතැ උරචක්‍රය බමා.
kn-jat-5:226.5
811. මතු මත්තෙහි විශාල වූ පුරවන්නට නො හැකි තෘෂ්ණා තොමෝ (රූපාදි අරමුණෙහි) පැතිර පවත්නී ය. යම් කෙනෙක් ඒ තෘෂ්ණාව පුනපුනා ගිජු වැ ගනිත් ද ඔහු චක්‍රධාරී වෙති.
kn-jat-5:226.6
9. මිත්තවින්‍දක ජාතක යි.
kn-jat-5:226.7
812. හංසයා පලාස දෙවියාට මෙසේ කී ය: යහළුව, නුගරුකෙක් හටගනී. ඒ නුගරුක තොපගේ අඞ්ක සඞ්ඛ්‍යාත වෙලෙප්හි හුන්නේ මැ තොපගේ මර්‍මයන් සිඳුනේ යැ.
kn-jat-5:226.8
813. නුගරුක වැඩේවා. මේ රුකට මම පියකු මෙන් හෝ මවක මෙන් හෝ පිහිට වෙමි. තෙල තැනැත්තේ මහලු මාපියනට දරුවකු මෙන් පිහිට වන්නේ යැ.
kn-jat-5:226.9
814. යම් හෙයෙකින් තෙපි බිය ගෙන දෙන කිරිගස ඇකයේ වඩවු ද (එහෙයින්) තොප අමතා යම්හ. මේ නුග රුක්හි වර්ධනය මට රුස්නේ නො වෙයි.
kn-jat-5:226.10
815. (බාල කල්හි මා තුටු කළ මේ නුගරුක) දැන් (වැඩීගියෙ) මා බිය පත් කරයි. හංසයාගේ මහමෙර බඳු වචනය අසා නො දැන මට මහබියෙක් ආයේ ය.
kn-jat-5:226.11
816. යමෙක් වැඩෙනුයේ තමහට වූ මූල ප්‍රතිෂ්ඨාව නසා ද ඔහුගේ ඒ වැඩීම නුවණැත්තන් විසින් නො පසස්නා ලද ය ඔහුගෙන් වන විනාශය යයි සැක කරන නුවණැත්තේ මුලිනුපුටන්නට වෑයම් කරන්නේ ය.
kn-jat-5:226.12
10. පලාස ජාතක යි.
kn-jat-5:226.13
දෙවැනි වණ්ණාරෝහ වර්‍ග යි.
kn-jat-5:228.1
3. අඩ්ඪ වර්‍ගය
kn-jat-5:228.2
817. රජතුමනි, මගේ වසයට පත් ඔබ දුකින් මුදන්නට කිසියම් හේතුවක් තිබේ ද?
kn-jat-5:228.3
818. දරුව, තාගේ වසයට පත් මෙබඳු මා දුකින් මුදා ද එයට කිසි යම් හේතුවක් නැත.
kn-jat-5:228.4
819. රජතුමනි, සුචරිතයට වඩා අනෙකක් මරණකාලයෙහි රක්නේ නො වෙයි. සුභාෂිතයට වඩා අනෙකක් මරණකාලයෙහි රක්නේ නො වෙයි. ඒ දෙකට වඩා මුතු මැණික් ආදි අන් ධනය මරණකාලයෙහි රක්නේ නො වේ. ධනයට වඩා සුචරිතය හා සුභාෂිතය ශ්‍රේෂ්ඨ යයි කී සේ ය.
kn-jat-5:228.5
820. මට ආක්‍රෝශ කෙළේ ය, මට ගැසුවේ ය, මා පැරදවීය, මා සතු දැය පැහැර ගත්තේ යයි යම් කෙනෙක් වෙර බඳිත් ද ඔවුන්ගේ වෛරය නො සන්හිඳෙයි.
kn-jat-5:228.6
821. මට ආක්‍රෝශ කෙළේ ය මට ගැසුවේ ය, මා පැරදවීය, මා සතු දැය පැහැර ගත්තේ යයි යම් කෙනෙක් වෙර නො බඳිත් ද ඔවුන්ගේ වෛරය සන්හිඳේ.
kn-jat-5:228.7
822. මෙලොවැ, වෛරයෙන් වෛරය කිසි කලෙක නො සන්හිඳෙයි. අවෛරයෙන් (මෛත්‍රියෙන්) වෛරය සන්හිඳේ. මෙය සනාතන (හැම කල්හි පවත්නා) ධර්‍මයෙකි.
kn-jat-5:228.8
1. දීඝිති කෝසල ජාතක යි.
kn-jat-5:228.9
823. මිය ගිය කෙනකුට ශෝක කිරීම යන යමක් වේ ද එය ගිහි ජීවිතය හැරදා පැවිදි වූ ශ්‍රමණයකු වූ ඔබට නො ගැළපේ.
kn-jat-5:228.10
824. ශක්‍රය, එක් ව විසීමෙන් ඒකාන්තයෙන් මනුෂ්‍යයාගේ සහ මෘගයාගේ සිතෙහි ප්‍රේමය හටගනී. ශෝක නො කර සිටින්නට නො පිළිවන.
kn-jat-5:228.11
825. මළවුන්ටත් මැරෙන්නවුන්ටත් යම් කෙනෙක් හඬත් ද වැළපෙත් ද ඒ හැඬීම හිස් ක්‍රියාවකැ යි බුද්ධාදි සත්පුරුෂයෝ කීහ. එහෙයින් ඍෂිය නො හඬන්න.
kn-jat-5:228.12
826. බ්‍රහ්මය, ඒකාන්තයෙන් හැඬීම නිසා මියගිය තැනැත්තේ නැගිටී නම් හැමදෙන එක් වී ඔවුනොවුන්ගේ මළ නෑයන්ට හඬමු.
kn-jat-5:228.13
827. ගිතෙල් ඉසැ දැල්වූ ගින්නක් මෙන් මගේ සිත ඒකාන්තයෙන් ශෝක ගින්නෙන් ඇවිළ පැවැත්තේ ය. දිය ඉසි න ලද කලෙක මෙන් සියලු දාහ නිවී ගියේ ය.
kn-jat-5:228.14
828. සොවින් පෙළුණු මගේ පුත්‍රශෝකය යමෙක් දුරු කෙළේ ද හේ මගේ හදවතේ ඇනී තුබූ ශෝක නමැති හුල ඒකාන්තයෙන් උදුරාලී ය.
kn-jat-5:230.1
829. ශක්‍රය, ඒ මම ශෝක නමැති උල උදුරන ලද්දෙම් වෙමි. ශෝක රහිත වූ නො කැලඹුණ සිතැති මම ඔබේ කිම අසා ශෝක නො කරමි, නො හඬමි.
kn-jat-5:230.2
2. මිගපෝතක ජාතක යි.
kn-jat-5:230.3
830. (මූෂිකා) කොහි ගියාදෝ කොහි ගියාදෝ යි කියමින් ජනයා වැළපෙති. මූෂිකාව ළිඳ සමීපයේ නසන ලදැ යි එකලා මම දනිමි.
kn-jat-5:230.4
831. යම් හෙයකින් පහර දීමට සුදුසු තැනක් සොයා කොටළුවා පසුබසින්නේ යම්සේ ද එසේ පසු බසින කරුණ දනිමි. ළිඳ ළඟ මූෂිකාව මරා යව නම් රජු ද බුදින්නට කැමැත්තෙහි ද?
kn-jat-5:230.5
832. බාලය, (තෝ) තරුණ වෙහි. ප්‍රථම වයස් ඇතියෙහි. තරුණ වෙහි, දිග යටිය ඇති අවියක් එල්බගෙන සිටිනෙහි, තට දිවි නො දෙන්නෙමි.
kn-jat-5:230.6
833. අහසේ වූ දිව්‍ය විමානය නිසා ද ශරීරාංග සමාන පුත්‍රයා නිසා ද මිදුණෙම් නො වෙමි. පුතා විසින් මාගේ මරණය පතන ලදුයෙම් ආචාර්‍ය්‍යන් බැඳ දුන් ගාථා නිසා (මරණයෙන්) මිදුණෙමි.
kn-jat-5:230.7
834. ලාමක වූ ද මධ්‍යම වූ ද උත්කෘෂ්ට වූ ද විද්‍යාවන් හදාරන්නේ ය. සියලු ශාස්ත්‍රයන්හි අර්‍ත්‍ථය දැනගන්නේ ය. හැම ශාස්ත්‍රයක් ම ක්‍රියාත්මක නො කරන්නේ ය. යම් කලෙකැ යම් ශාස්ත්‍රයකින් ප්‍රයෝජන ලැබේ ද, එබඳු කාලයක් වන්නේ ය. එකල ශාස්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්නේ ය.
kn-jat-5:230.8
3. මූසික ජාතක යි.
kn-jat-5:230.9
835. බමුණ සියලු භාණ්ඩ ගෙන එතෙරට ගියෙහි. වහා නැවත එව. මේ නදියෙන් මා ද වහා එතෙර කරව.
kn-jat-5:230.10
836. පින්වතිය, ඇසුරක් නැති අලුතෙන් හමු වූ මා වෙත හැරුණී, දිගු කලක් ඇසුරු කළ ස්ථිර සැමියාගෙන් වෙනස් වූවා ය. තී මා කෙරෙනු දූ අනෙකකු පාවා ගන්නී ය. මම මෙතැනිනුත් ඉතා ඈතට යන්නෙමි.
kn-jat-5:230.11
837. තුවරලා ලැහැබෙක කවර තැනැත්තියක් මහහඬින් සිනාසේ ද නැටුමක් ගැයුමක් හෝ කුලුතාලමක් මෙහි නැත සුන්‍දර ඌරු යුග්මයක් ඇති රුසිරූ, තැනැත්තිය හැඬියයුතු අවස්ථාවෙහි සෙන්නේ කුමක් හෙයින් ද?
kn-jat-5:230.12
838. මෝඩ වූ නුවණ රහිත වූ ජම්බුකය, තෝ ඥානය නැත්තෙහි මාළුවා ද මස්වැදැල්ල ද යන දෙක ම නැති වූයේ අසරණයකු සේ සිතිවිලි සිතන්නෙහි.
kn-jat-5:230.13
839. මෙරමාගේ වරද දකින්නට පහසු ය, තමාගේ වරද දකින්නට අපහසු ය. තෝ සැමියා සහ සොර සැමියා යන දෙදෙනාගෙන් පිරිහුනෙහි ය, මා මෙන් තො ද සිතන්නෙහි ය.
kn-jat-5:232.1
840. මෘගරාජය, ඔබ යමක් කීහු ද මෙය මෙසේ ම ය. ඒ ඒ මම මෙතැනින් ගොස් ඒකාන්තයෙන් අනික් හිමියකු ලැබැ ඔහු අනුව යන්නෙමි.
kn-jat-5:232.2
841. යමෙක් මැටිතලියක් සොරා ගනී ද හේ ඒ පුරුද්දෙන් රන්තලියක් සොරකම් කරන්නේ ය. තෝ පාපකර්‍මය කළා ය. නැවත ද මෙසේ කරන්නී ය.
kn-jat-5:232.3
4. චුල්ලධනුග්ගහ ජාතක යි.
kn-jat-5:232.4
842. දැන් පරෙවියා නික්මුණේ ය. එහෙයින් සුවපත් ව නීරෝග ව සතුරු නමැති කටු නැතිවූයෙම් වෙමි. දැන් මාගේ සිතට මනාපවූවක් කරන්නෙමි. එය එසේ ම ය. මේ මස් ද අනිත් මස් ද මා උත්සාහවත් කරයි.
kn-jat-5:232.5
843. වැහිවලාව මුත්තණුවන් කොට ඇති සෙරක වූ සිළු ඇති කෙකින්න කවරක් ද කෙකින්න මෑතට එන්න. මාගේ මිතුරු කවුඩා නපුරු ය.
kn-jat-5:232.6
844. අරක්කැමියාගේ පුතා විසින් සිඳුනා ලද පියාපත් ඇත්තේ, අනන ලද පිටි ගැල්වූ මගේ සිරුර දැක සිනාසීමෙන් කම් නැත.
kn-jat-5:232.7
845. ස්නානය කොටැ පවිත්‍ර වැ මැනැවින් විලවුන් ගල්වන ලදුයෙහි ය. ආහාරපානයෙන් තෘප්තිමත් කරන ලදුයේ ය, තොපගේ ගෙලෙහි වෛඩූර්‍ය්‍ය මැණිකෙකි. බරණැස් නගරයට ගියේ ද?
kn-jat-5:232.8
846. තොපගේ මිතුරෙක් හෝ සතුරෙක් හෝ කජංගල නගරයට (බරණැස්) නොයේවා කවර හෙයින් ද යත්, එහි ගියවුන්ගේ පියාපත් සිඳැ ගෙලෙහි කැබිලිත්තක් එල්වයි.
kn-jat-5:232.9
847. මිතුරු නැවත මෙබඳු දුකකට පැමිණෙන්නෙහි ය. තොපගේ ගතිය එබඳු ය. මනුෂ්‍යයනට අයත් සම්පත් පක්‍ෂියකු විසින් පහසුයෙන් බිඳිය නො හැකි ය.
kn-jat-5:232.10
5. කපොත ජාතක යි.
kn-jat-5:232.11
තුන්වන අඩ්ඪ වර්ග යි.
kn-jat-5:232.12
එහි උද්දානය:
kn-jat-5:232.13
වණ්ණරෝහජාතක යැ, සීලවීමංසජාතක යැ, හිරිජාතක යැ, ඛජ්ජොපණකජාතක යැ, අහිකුණ්ඩික (සුමුඛ) ජාතක යැ, ගුම්බිය (ආමිස) ජාතක යැ, සාලියජාතක යැ, තචසාර (අමින්ත) ජාතක යැ, මිත්තවින්‍දක (වක්ත) ජාතක යැ, පලාසජාතක යැ, දීඝිති කෝසල (සරාජ) ජාතක යැ, මිගපෝතක (සතෝ) ජාතක යැ, මූසික (යව) ජාතක යැ, චුල්ලධනුග්ගහ (බාලක) ජාතක යැ, කපොතජාතක යැ යි පසළොසෙකි.
kn-jat-5:232.14
පංචක නිපාතය නිමි.
kn-jat-5:232.15
වර්‍ග උද්දානය:
kn-jat-5:232.16
මහර්ෂී වූ බුදුන්ගේ උත්තම බ්‍රහ්මචර්‍ය්‍යා ප්‍රකාශිත අර්‍ත්‍ථවත් සුවඤ්ඡන වූ ගාථා ඇති ‘ජින’ යි ආරබ්ධ මණිකුණ්ඩල වර්‍ග යැ, වර්‍ණරෝහ වර්‍ග යැ මත්තෙහි අපරිපූර්‍ණ වූ අර්‍ධවර්‍ග යැ, යන ජාතක යි සුදේශිත පස්විසි ජාතකය වදාළහ.