Pali BJT6286. තමබ්රවී රාජපුත්ති මද්දි සබ්බඞ්ගසොභනා, නාහං තං සුඛමිච්ඡෙය්යං යං මෙ වෙස්සන්තරං විනා.
Sinhala BJT6286. සියලු අඟපසඟින් හොබනා මද්‍රී රාජදුහිතෘ තොමෝ (මයිලණු) රජහට මෙසේ කිවු: “වෙසතුරු රජුගෙන් වෙන් වැ මට යම් සුවයෙක් ලැබේ නම් මම ඒ සුව නො කැමැත්තමු”.
Pali BJT6287. තමබ්රවී මහාරාජා සිවීනං රට්ඨවඩ්ඪනො, ඉඞ්ඝ මද්දී නිසාමෙහි වනෙ යෙ හොන්ති දුස්සභා.
Sinhala BJT6287. සිවීන්ගේ රට වඩනා මහරජ ඇයට මෙසේ කී: එම්බා මද්‍රී දේවීනි, වනයෙහි නො ඉවසියැහැකි යම්බඳු දුඃඛයෝ වෙත් ද ඒ දුක් අසව.
Pali BJT6288. බහූ කීටා පටංගා ච මකසා මධුමක්ඛිකා, තෙපි තං තත්ථ හිංසෙය්යුං තං තෙ දුක්ඛතරං සියා.
Sinhala BJT6288. එහි කුඩා ප්‍රාණීහු යැ පළගැටියෝ යැ මදුරුවෝ යැ මීමැස්සෝ යැ යන මොහු බොහෝ වෙති. ඔහු ද එහි දී තොපට හිංසා කරන්නාහු යැ. එය තොපට අතිශයින් දුක් වන්නෙ යැ.
Pali BJT6289. අපරෙ පස්ස සන්තාපෙ නදීනුපනිසෙවිතෙ, සප්පා අජගරා නාම අවිසා තෙ මහබ්බලා.
Sinhala BJT6289. ගං ඉවුරු ඇසුරු කළා වූ දුටුවන් තවන අනෙක් සත්‍ව කෙනෙකුන් බලව. විෂ නැති පිඹුරු නමැති සර්‍ප කෙනෙක් ඇති. ඔහු මහත් බල ඇත්තාහ.
Pali BJT6290. තෙ මනුස්සං මිගං වාපි අපි මාසන්නමාගතං, පරික්ඛිපිත්වා භොගෙහි වසමානෙනන්ති අත්තනො.
Sinhala BJT6290. ඔහු තමා සමීපයට ආ මිනිසකු හෝ මුවකු හෝ දරණවැළින් වෙළා තමා වසයට ගනිති.
Pali BJT6291. අඤ්ඤෙපි කණ්හජටිනො අච්ඡා නාම අඝම්මිගා, න තෙහි පුරිසො දිට්ඨො රුක්ඛමාරුය්හ මුච්චති.
Sinhala BJT6291. හිසෙහි කළු වූ අවුල්ලොම් සළා ඇති වලස් නම් අන්‍ය වූ ද දුක් එළවන සිවුපා කෙනෙක් ඇත. ඔවුන් විසින් දක්නාලද පුරුෂයා ගසට නැඟ නො මිදෙයි.
Pali BJT6292. සඞ්ඝට්ටයන්තා සිඞ්ගානි තික්ඛග්ගානි පහාරිනො. මහිසා විචරන්නෙත්ථ නදිං සොතුම්බරං පති.
Sinhala BJT6292. මෙහි “සෝතුම්බර” ගංතෙරැ තියුණු අග ඇති අං ගටමින් පහර දෙන කුළුමීවෝ හැසිරෙති.
Pali BJT6293. දිස්වා මිගානං යූථානං ගවං සඤ්චරතං{1} වනෙ, ධෙනූව වච්ඡගිද්ධාව කථං මද්දී කරිස්සසි.
Sinhala BJT6293. වනයෙහි හැසිරෙන මුවරැළ ගවරැළ දැකැ වස්සා කෙරෙහි ලොල් වූ දෙනක මෙන් (දරුවන් නො දක්නා) මද්‍රී කුමක් කරන්නී ද?
Pali BJT6294. දිස්වා සම්පතිතෙ ඝොරෙ දුම්මග්ගෙසු ප්ලවඞ්ගමෙ, අඛෙත්තඤ්ඤාය තෙ මද්දි භවිතන්තෙ{2} මහබ්භයං.
Sinhala BJT6294. මද්‍රීදේවීනි, රුක්මතැ පනන විරූප වූ වඳුරන් දැකැ වනමඟ නො දන්නා තොපට මහත් භය වන්නෙ යැ.
Pali BJT6295. යා ත්වං සිවාය සුත්වාන මුහුං උත්තසසෙ පුරෙ, සා ත්වං වඞ්කං අනුප්පත්තා කථං මද්දී කරිස්සසි.
Sinhala BJT6295. යම් බඳු තෙපි පෙර සිවල්දෙනකගේ හඬ අසා පුනපුනා තැති ගතුව, ඒ තෙපි වඞ්කගිරියට පැමිණියහු කුමක් කරන්නවු ද?
Pali BJT6296. ඨිතෙ මජ්ඣන්තිකෙ කාලෙ සන්නිසින්නෙසු{1} පක්ඛිසු, සනතෙව බ්රහාරඤ්ඤං තත්ථ කිං ගන්තුමිච්ඡසි.
Sinhala BJT6296. මධ්‍යාහ්න වේලෙහි පක්‍ෂීන් නිහඬ වැ සිටි කල්හි මහවනය නාද කරන්නාක් වැන්න. එහි කුමට යනු කැමැත්තවු ද?
Pali BJT6297. තමබ්රවී රාජපුත්ති මද්දී සබ්බඞ්ගසොභනා, යානි එතානි අක්ඛාසි වනෙ පටිභයානි මෙ; සබ්බානි අභිසම්භොස්සං ගච්ඡඤ්ඤෙව රථෙසභ.
Sinhala BJT6297. සර්‍වාඞ්ග ශෝභන වූ මද්‍රී රාජපුත්‍රී එ රජහට මෙසේ කිවු: වනයෙහි යම් ප්‍රතිභය කෙනෙකුන් මට කීයෙහි ද, එ හැම ඉවසන්නමු. උතුමාණෙනි, යන්නමු මැ යි.
Pali BJT6298. කාසං කුසං පොටකිලං උසීරං මුඤ්ජබ්බබජං. උරසා පනුදහෙස්සාමි නාස්ස හෙස්සාමි දුන්නයා.
Sinhala BJT6298. කාශතෘණ යැ කුශතෘණ යැ පොටකිල තෘණ යැ සැවැන්න යැ මෘදු තෘණ යැ බබුස් තෘණ යැ යන මේ (ඉදිරියෙහි සිට) උරයෙන් දෙපසට කොට බැහැර කරන්නමු. මොහු (වෙසතුරු රජු) විසින් දුකසේ ගෙනයන්නක් නො වන්නෙමු.
Pali BJT6299. බහූහි වත චරියාහි කුමාරී වින්දතෙ පතිං, උදරස්සුපරොධෙන ගොහනුබ්බෙඨනෙන ච.
Sinhala BJT6299-6300. කුමාරී තොමෝ බොහෝ වූ ව්‍රතචර්‍ය්‍යායෙන් ස්වාමියකු ලබාගනී: (රූ සපුව වඩනු පිණිස) උපවාසයෙන් ද ගවහනුයෙන් උකුළුතලය තැළීමෙන් ද (උදරය) වෙළීමෙන් ද ගිනිපිදීමෙන් ද දියෙහි කිමිදීමෙන් ද යන මෙයිනි. ලොවැ වැන්දඹු බව අමිහිරි යැ, (එහෙයින් හිමියා සමග) යන්නමු මැ යි.
Pali BJT6300. අග්ගිස්ස පාරිචරියාය උදකුම්මුජ්ජනෙන ච, වෙධබ්බං{2} කටුකං ලොකෙ ගච්ඡඤ්ඤෙව රථෙසභ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6301. අපිස්සා හොති අප්පත්තො උච්ඡිට්ඨමපි භුඤ්ජිතුං, යො නං හත්ථෙ ගහෙත්වාන අකාමං පරිකඩ්ඪති; වෙධබ්බං කටුකං ලොකෙ ගච්ඡඤ්ඤෙව රථෙසභ.
Sinhala BJT6301. යම් නීචජාතිකයෙක් ඒ වැන්දඹුව නො කැමැත්තෙන් අත ගෙන අදනේ වේ ද, හේ (පළමු) ඇයගේ ඉඳුල් බුදිනට පවා නො ලබනුයේ වෙයි.
Pali BJT6302. කෙසග්ගහණමුක්ඛෙපා භූම්යා ච පරිසුම්භනා, දත්වා ච නො පක්කමති බහුං දුක්ඛං අනප්පකං; වෙධබ්බං කටුකං ලොකෙ ගච්ඡඤ්ඤෙව රථෙසභ.
Sinhala BJT6302. (පරපුරුෂයා අස්වාමික ස්ත්‍රිය) එසවීමෙන් බිමැ හෙළා පයින් කෙස් මැඩ අවමන් කරයි. අනල්ප වූ බොහෝ දුක් දී ද ඉවත් වැ නො යයි. මහරජුනි, ලොවැ වැන්දඹු බව කටුක යැ එහෙයින් එකත්නෙන් යන්නමු.
Pali BJT6303. සුක්කච්ඡවී වෙධවෙරා දත්වා සුභගමානිනො, අකාමං පරිකඩ්ඪන්ති උලූකඤ්ඤෙව වායසා; වෙධබ්බං කටුකං ලොකෙ ගච්ඡඤ්ඤෙව රථෙසභ.
Sinhala BJT6303. (නහන සුණුයෙන් නැඟු) සුදුසිවි ඇති (එයින්) සුන්‍දරයම්හ’යි කළ මාන ඇති විධවාර්ථිකයෝ (වැන්දඹුව පතන්නෝ) අල්පමාත්‍ර ධනයක් දී කවුඩුවෝ මහමුහුණකු අදනා මෙන් නො කැමැත්තෙන් ඇදගනිති. මහරජුනි, ලොවැ විධවා භාවය කටුක යැ එහෙයින් යන්නමු මැ යැ.
Pali BJT6304. අපි ඤාතිකුලෙ ඵීතෙ කංසපජ්ජොතනෙ වසං, නෙවාතිවාක්යං{3} න ලභෙ භාතූහි සඛිකාහි{4} ච; වෙධබ්බං කටුකං ලොකෙ ගච්ඡඤ්ඤෙව රථෙසභ.
Sinhala BJT6304. රන්කැලුමින් බබළන ආඪ්‍ය වූ නෑකුලෙහි වසන්නී නමුදු සොහොයුරන් යෙහෙළියන් කෙරෙන් නින්‍දාබස් නො ලබන්නී නො වෙමි. මහරජුනි, ලොවැ විධවාත්‍වය කටුක යැ, එහෙයින් යන්නමු මැ යැ.
Pali BJT6305. නග්ගා නදී අනුදකා නග්ගා රට්ඨං අරාජිකං, ඉත්ථිපි විධවා නග්ගා යස්සාපි දස භාතරො; වෙධබ්බං කටුකං ලොකෙ ගච්ඡඤ්ඤෙව රථෙසභ.
Sinhala BJT6305. දිය නැති ගඟ නග්න යැ; රජ නැති රට නග්න යැ; යම් ස්ත්‍රියකට දසබෑ කෙනෙක් ඇත්තාහු නමුදු වැන්දඹු ස්ත්‍රී ද නග්න යැ. මහරජුනි, ලොවැ පතිශුන්‍යභාවය කටුක යැ, එහෙයින් යන්නමු මැ යැ.
Pali BJT6306. ධජො රථස්ස පඤ්ඤාණං ධූමො පඤ්ඤාණමග්ගිනො, රාජා රට්ඨස්ස පඤ්ඤාණං භත්තා පඤ්ඤාණමිත්ථියා; වෙධබ්බං කටුකං ලොකෙ ගච්ඡඤ්ඤෙව රථෙසභ.
Sinhala BJT6306. ධ්වජය රථයට සලකුණ යැ. ධූමය ගින්නට සලකුණ යැ, රජ රටට සලකුණ යැ, ස්වාමියා ස්ත්‍රියට සලකුණ යි. මහරජුනි, වේධව්‍යය ලොවැ කටුක යැ, එහෙයින් යන්නමු මැ යැ.
Pali BJT6307. යා දළිද්දී දළිද්දස්ස අඩ්ඪා අඩ්ඪස්ස කිත්තිමා,{1} තං වෙ දෙවා පසංසන්ති දුක්කරං හි කරොති සා.
Sinhala BJT6307. යම් කීර්තිමත් ස්ත්‍රියක් දිළිඳු හිමිහට දිළිඳු වැ පොහොසත් හිමිහට පොහොසත් වැ කල් ගෙවා ද දෙවියෝ එකත්නෙන් ඇය පසසති. යම් හෙයකින් ඕ දුෂ්කරයක් කෙරේ ද එහෙයිනි.
Pali BJT6308. සාමිකං අනුබන්ධිස්සං සදා කාසායවාසිනී, පථව්යාපි අභෙජ්ජන්ත්යා{2} නිච්ඡෙ වෙස්සන්තරං විනා; වෙධබ්බං කටුකං ලොකෙ{3} ගච්ඡඤ්ඤෙව රථෙසභ.
Sinhala BJT6308. හැම කල්හි කසාවත් ධරමින් හිමියා පසුපස්හි යන්නමු. නො බෙදූ පොළොවෙහි ඉසුරු බව ද වෙසතුරු රජ හැර නො රිසියමු. මහරජුනි, ලෝකයෙහි වේධව්‍යය කටුක යැ. එහෙයින් යන්නමු මැ යැ.
Pali BJT6309. අපි සාගරපරියන්තං පහුවිත්තධරං මහිං, නානාරතනපරිපූරං නිච්ඡෙ වෙස්සන්තරං විනා.
Sinhala BJT6309. බොහෝ සම්පත් ධරන නොයෙක් රුවනින් පිරිපුන් මහසයුරු හිම් කොට ඇති මහපොළොව පවා වෙසතුරු රජ හැර නො කැමැත්තමු.
Pali BJT6310. කථන්නු තාසං හදයං සුඛරා වත ඉත්ථියො, යා සාමිකෙ දුක්ඛිතම්හි සුඛමිච්ඡන්ති අත්තනො.
Sinhala BJT6310. යම් ස්ත්‍රී කෙනෙක් හිමියා දුක්පත් කල්හි තමාට සුව කැමැති වෙත් නම් ඔවුන්ගේ හදවත කෙබඳු යැ, එවන් ස්ත්‍රීහු අතිශයින් ක්‍රෑර වෙත් මැ යි.
Pali BJT6311. නික්ඛමන්තෙ මහාරාජෙ සිවීනං රට්ඨවඩ්ඪනෙ, තමහං අනුබන්ධිස්සං සබ්බකාමදදො හි මෙ.
Sinhala BJT6311. සිවීන්ගේ රට වඩන මහරජ නික්ම යන කල්හි මම ඔහු පසුපස්හි යන්නමු. හේ මට සියලු කැමැති සැපත් දෙනුයෙ මැ යි.
Pali BJT6312. තමබ්රවී මහාරාජා මද්දිං සබ්බඞ්ගසොභනං, ඉමෙ තෙ දහරා පුත්තා ජාලී කණ්හාජිනා චුභො; නික්ඛිප්ප ලක්ඛණෙ ගච්ඡ මයං තෙ පොසියාමසෙ.
Sinhala BJT6312.සඳමහරජ සර්‍වාඞ්ගශෝභන වූ ඒ මද්‍රීදේවියට මෙසේ කී: තොපගේ මේ ජාලි යැ කෘෂ්ණජිනා යැ යන දරු දෙදෙන ළදරු යැ. ඔවුන් මෙහි බහාතබා යව. අපි ඔවුන් පුස්නම්හ.
Pali BJT6313. තමබ්රවී රාජපුත්තී මද්දී සබ්බඞ්ගසොභනා, පියා මෙ පුත්තකා දෙව ජාලී කණ්හාජිනා චුභො; ත්යම්භං තත්ථ රමෙස්සන්ති අරඤ්ඤෙ ජීවසොකිනං.
Sinhala BJT6313. සර්‍වාඞ්ගශෝභන වූ මද්‍රී රාජපුත්‍රී එ රජහට මෙසේ කිවු: දේවයිනි, මේ ජාලිය යැ කෘෂ්ණජිනා යැ යන දෙදරු සිඟිත්තෝ මට ප්‍රියයෝ යි. ඔහු ඒ අරනෙහි දී ජීවශෝකී (පහ නො වන ශෝක ඇති) අප සිත් අලවන්නාහ.
Pali BJT6314. තමබ්රවී මහාරාජා සිවීනං රට්ඨවඩ්ඪනො, සාලීනං ඔදනං භුත්වා සුචිං මංසූපසෙචනං; රුක්ඛඵලානි භුඤ්ජන්තා කථං කාහන්ති දාරකා.
Sinhala BJT6314. සිවිරට වඩන සඳමහරජු ඇයට මෙසේ කී: රසමසවුළෙන් යුතු පිරිසිදු ඇල්සහලේ බත් වළඳා පුරුදු දරුවෝ වන පලවැළ වළඳනු කෙසේ කරන්නාහු ද?
Pali BJT6315. භුත්වා සතඵලෙ කංසෙ සොවණ්ණෙ සතරාජිකෙ, රුක්ඛපත්තෙසු භුඤ්ජන්තා කථං කාහන්ති දාරකා.
Sinhala BJT6315. සියක් පලමින් කළ සියක් හිරි ඇඳි රන්තලියෙහි වළඳා පුරුදු දරුවෝ රුක්පත්හි වළඳනු කෙසේ කරන්නාහු ද?
Pali BJT6316. කාසියානි ච ධාරෙත්ථා ඛොමකොදුම්බරානි ච,{4} කුසචීරානි ධාරෙන්තා කථං කාහන්ති දාරකා.
Sinhala BJT6316. කසීසළු කොමුපිළී කෝදුම්බරපිළී ධරා පුරුදු දරුවෝ කුසවැහැරි ධරනු කෙසේ කරන්නාහු ද?
Pali BJT6317. වය්හාහි පරියායිත්වා සිවිකාය රථෙන ච, පත්තිකා පරිධාවන්තා කථං කාහන්ති දාරකා.
Sinhala BJT6317. හිදොළුයෙන් ද සිවිකායෙන් ද රියෙන් ද සිසාරා ඇවිදැ පුරුදු දරුවෝ පාගමනින් ඔබමොබ දුවනු කෙසේ කරන්නාහු ද?
Pali BJT6318. කූටාගාරෙ සයිත්වාන නිවාතෙ ඵුස්සිතග්ගලෙ, සයන්තා රුක්ඛමූලස්මිං කථං කාහන්ති දාරකා.
Sinhala BJT6318. කුළුගෙහි පියූදොරගුළු ඇති නිවෙස්නෙහි නිදා පුරුදු දරුවෝ රුක්මුල්හි නිදනු කෙසේ කරන්නාහු ද?
Pali BJT6319. පල්ලඞ්කෙසු සයිත්වාන ගොනකෙ චිත්තසන්ථතෙ, සයන්තා තිණසන්ථාරෙ කථං කාහන්ති දාරකා.
Sinhala BJT6319. යහන්හි දික් ලොම් ඇති කළුකොඳුපලස්හි විසුතුරු ඇතිරියෙහි නිදා පුරුදු දරුවෝ තණ ඇතිරියෙහි නිදනු කෙසේ කරන්නාහු ද?
Pali BJT6320. ගන්ධකෙන විලිම්පිත්වා අගරූ{1}චන්දනෙන ච, රජොජල්ලානි ධාරෙන්තා කථං කාහන්ති දාරකා.
Sinhala BJT6320. අගිල් සඳුන් සුවඳ සුණුයෙන් විලෙවුන් කොට පුරුදු දරුවෝ රජස්දැලි ධරනු කෙසේ කරන්නාහු ද?
Pali BJT6321. චමරීමොරහත්ථෙහි විජිතඞ්ගා සුඛෙධිතා, දට්ඨා{2} ඩංසෙහි මකසෙහි කථං කාහන්ති දාරකා.
Sinhala BJT6321. සුවසේ වැඩුණු සෙමෙරවලින් මොනරපිලින් පවන් සලනලද අඟපසඟ ඇති දරුවෝ මැසිමදුරුවන් විසින් ඩසිනලද්දාහු කුමක් කරන්නහු ද? (කෙසේ ඉවසන්නහු ද?)
Pali BJT6322. තමබ්රවී රාජපුත්තී මද්දී සබ්බඞ්ගසොභනා, මා දෙව පරිදෙවෙසි මා ච ත්වං විමනො අහූ; යථා මයං භවිස්සාම තථා හෙස්සන්ති දාරකා.
Sinhala BJT6322. සර්‍වාඞ්ගශෝභන වූ මද්‍රී රජදූ ඒ සඳමහ රජහට මෙසේ කිවු: මහරජ නහමක් හඬව. තෙපි නහමක් දොම්නස්ව, අපි යම්සේ වමෝ ද දරුවෝ ද එසේ වෙති.
Pali BJT6323. ඉදං වත්වාන පක්කාමි මද්දී සබ්බඞ්ගසොභනා, සිවිමග්ගෙන අන්වෙසි පුත්තෙ ආදාය ලක්ඛණා.
Sinhala BJT6323. සකලාංගයෙන් හොබනා මද්‍රී දේවී මෙතෙපුල් කියා පිටත් වැ ගියා. (යන්නී දු) සුන්‍දරලක්‍ෂණ ඇති මද්‍රී දෙදරුවන් ගෙන සිවිරජහු යායුතු මඟින් ම ගියා (පහයින් බැස රියට නැංගා)
Pali BJT6324. තතො වෙස්සන්තරො රාජා දානං දත්වාන ඛත්තියො, පිතු මාතු ච වන්දිත්වා කත්වා ච නං පදක්ඛිණං.
Sinhala BJT6324. ඉක්බිති කැත්කුල උපන් වෙසතුරු රජ (පෙර දින) දන් දී මවුපියන් වැඳැ පැදකුණු කොට,
Pali BJT6325. චතුවාහිං රථං යුත්තං සීඝ{3}මාරුය්හ සන්දනං, ආදාය පුත්තදාරඤ්ච වඞ්කං පායාසි පබ්බතං.
Sinhala BJT6325. අසුන් සතර දෙනෙකුන් ඇති යොදනලද රියට යුහු වැ නැඟී අඹුදරුවන් ගෙන වඞ්කගිරිය බලා පිටත් වැ ගියේ යැ.
Pali BJT6326. තතො වෙස්සන්තරො රාජා යෙනාසි බහුකො ජනො, ආමන්ත ඛො තං ගච්ඡාම අරොගා හොන්තු ඤාතයො.
Sinhala BJT6326. ඉක්බිති වෙසතුරු මහරජ යම් තැනෙක බොහෝ ජනයා රැස් වී ද (එහි රිය මෙහෙයා) තොප දන්වා යම්හ. අපගේ නෑයෝ නීරෝග වෙත්වයි කී.
Pali BJT6327. ඉංඝ මද්දී නිසාමෙහි රම්මරූපංව{4} දිස්සති, ආවාසො සිවිසෙට්ඨස්ස පෙත්තිකං භවනං මම.
Sinhala BJT6327. කොල, මද්‍රීදේවිය, බලව. සිවිරජහුගේ නිවාසය රමණීය වැ පෙනෙයි. ඒ මා පියපරපුරින් ආ භවන වෙයි.
Pali BJT6328. තං බ්රාහ්මණා අන්වගමුං තෙ තං අස්සෙ අයාචිසුං, යාචිතො පටිපාදෙසි චතුන්නං චතුරො හයෙ.
Sinhala BJT6328. බමුණෝ සතර දෙනෙක් ඔහු ලුහුබැඳැ ගියෝ ඔහු අසුන් ඉල්වූහ. අයදනාලද වෙසතුරු රජ සතර දෙනාට අසුන් සතර දෙනා සපයා දින.
Pali BJT6329. ඉඞ්ඝ මද්දී නිසාමෙහි චිත්තරූපංව දිස්සති, මිගා රොහිච්චවණ්ණෙන දක්ඛිණස්සා වහන්ති මං.
Sinhala BJT6329. එම්බා මද්‍රිය බලව. විසිතුරු රූපයක් මෙන් පෙනෙයි. (දෙව්පුත්හු) තිත්මුවවෙසින් අවුත් පුහුණු අසුන් මෙන් මා උසුලති.
Pali BJT6330. අථෙත්ථ පඤ්චමො ආග{1} සො තං රථමයාචථ, තස්ස තං යාචිතොදාසි නචස්සුපහතො මනො.
Sinhala BJT6330. නැවත මෙ මඟැ පස්වැනි බමුණෙක් ආයෙ යැ. හෙ ඔහුගෙන් රථය ඉල්වී. අයදනා ලද්දේ ඔහට එය දින. ඔබගේ සිත නො පසුබට වී.
Pali BJT6331. තතො වෙස්සන්තරො රාජා ඔරොපෙත්වා{2} සකං ජනං, අස්සාසයී අස්සරථං බ්රාහ්මණස්ස ධනෙසිනො.
Sinhala BJT6331. ඉක්බිති වෙසතුරු මහරජ අඹුදරුවන් බස්වා ධනය සොයන බමුණාට රථය දී අස්වැසී.
Pali BJT6332. ත්වං මද්දී කණ්හාජිනං ගණ්හ{3} ලහුකා එසා කණිට්ඨිකා, අහං ජාලිං ගණ්හිස්සාමි ගරුකො භාතිකො හි සො.
Sinhala BJT6332. මද්‍රීදේවීනි, තෙපි කෘෂ්ණාජිනා ගනුව. මේ ළදැරිය නො බර යැ. මම ජාලිය කුමරු ගනිමි. ඒ මහදරු බර ඇතියෙ යි.
Pali BJT6333. රාජා කුමාරං ආදාය රාජපුත්තී ච දාරිකං, සම්මොදමානං පක්කාමුං{4} අඤ්ඤමඤ්ඤපියංවදා.
Sinhala BJT6333. රජ තෙම කුමරු ද රජදූ දැරිය ද ගෙන ඔවුනොවුන් ප්‍රිය තෙපුල් බණනුවෝ සතුටු වෙමින් ගියහ.
Pali BJTදානකණ්ඩං නිට්ඨිතං.
Sinhala BJTදාන කාණ්ඩය යි.
Pali BJT6334. යදි කෙචි මනුජා එන්ති අනුමග්ගෙ පටිපථෙ, මග්ගං තෙ පටිපුච්ඡාම කුහිං වඞ්කතපබ්බතො.
Sinhala BJT6334. අනුමඟ ද පෙරමඟ ද ඉදින් කිසි මිනිස් කෙනෙක් එන්නාහු නම් වඞ්කගිරිය කොහි දැ යි ඔවුන් අතින් මඟ පිළිවිසුම්හ.
Pali BJT6335. තෙ තත්ථ අම්හෙ පස්සිත්වා කරුණං පරිදෙවයුං, දුක්ඛං තෙ පටිවෙදෙන්ති දූරෙ වඞ්කතපබ්බතො.
Sinhala BJT6335. ඒ මිනිස්සු එ මඟ අප දැකැ ශෝකරාවයෙන් හැඬූහ. ඔහු වඞ්කගිරිය දුරැ යි දුක් දන්වති.
Pali BJT6336. යදි පස්සන්ති පවනෙ දාරකා ඵලිතෙ{5} දුමෙ, තෙසං ඵලානං හෙතූහි උපරොදන්ති දාරකා.
Sinhala BJT6336. ඉදින් දරුවෝ මහවෙනෙහි පලගත් රුක් දකිත් ද දරුවෝ දෙදෙන ඒ පල පිණිස වලපිති.
Pali BJT6337. රොදන්තෙ දාරකෙ දිස්වා උබ්බිග්ගා{6} විපුලා දුමා, සයමෙවොනමිත්වාන උපගච්ඡන්ති දාරකෙ.
Sinhala BJT6337. වලප්නා දරුවන් දැකැ කම්පිත වූ මියුරු පලයෙන් විපුල වූ රුක්හු තුමූ මැ නැමී දරුවනට සමීප වෙති.
Pali BJT6338. ඉදං අච්ඡෙරකං දිස්වා අබ්භුතං ලොමහංසනං, සාධුකාරං පවත්තෙසි මද්දී සබ්බඞ්ගසොභනා.
Sinhala BJT6338-6339. සර්‍වාඞ්ගශෝභන වූ මද්‍රීදේවී නොවූවිරු ලොමුදහ ගන්වන මේ අසිරිය දැකැ වෙසතුරු රජුගේ තෙදින් රුක්හු තුමූ මැ නතු වූහ. මේ වූ කලි ලොව්හි අපූර්‍ව වූ ලොමුදහ ගන්වන අසිරියෙක් මැ යි කියා සාධුකාර පැවැත්වූ.
Pali BJT6339. අච්ඡෙරං වත ලොකස්මිං අබ්භුතං ලොමහංසනං, වෙස්සන්තරස්ස තෙජෙන සයමෙවොනතා දුමා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6340. සඞ්ඛිපිංසු පථං යක්ඛා අනුකම්පාය දාරකෙ, නික්ඛන්තදිවසෙනෙව චෙතරට්ඨං උපාගමුං.
Sinhala BJT6340. දෙවියෝ දරුවන් කෙරෙහි කරුණාවෙන් මඟ හැකුළූහ. (ඔවුන්) නික්මුණු දවස්හි මැ සෑරටට පැමිණියහ.
Pali BJT6341. තෙ ගන්ත්වා දීඝමද්ධානං චෙතරට්ඨමුපාගමුං, ඉද්ධං ඵීතං ජනපදං බහුමංසසුරොදනං.
Sinhala BJT6341. ඔහු දික්මඟ ගොස් (ධාන්‍යාදීන්) සමෘද්ධ වූ (වස්ත්‍රාභරණාදීන්) විපුල වූ බොහෝ වූ මස් රහ දිය ඇති දනවියෙන් යුතු චේතරටට පැමිණියහ.
Pali BJT6342. චෙතියා පරිකරිංසු දිස්වා ලක්ඛණමාගතං, සුඛුමාලී වතයං අය්යා පත්තිකා පරිධාවති.
Sinhala BJT6342. සෑරට ස්ත්‍රීහු ස්ත්‍රීලක්‍ෂණයෙන් පරිපූර්‍ණ මද්‍රීදේවිය ආවා දැකැ පිරිවරාගත්හ. මෙ බිසෝ ඉතා සියුමැලි යැ. එතෙකුදු වුව පාගමනින් යෙයි.
Pali BJT6343. වය්හාහි පරියායිත්වා සිවිකාය ච ඛත්තියා,{1} සාජ්ජ මද්දී අරඤ්ඤස්මිං පත්තිකා පරිධාවති.
Sinhala BJT6343. මෙ බිසෝ පෙර දවස් හිදොළුවෙන් ද රන්සිවිගෙන් ද ඇවිදැ ඕ මද්‍රී අද අරනෙහි පාගමනින් මැ යෙයි.
Pali BJT6344. තං දිස්වා චෙතපාමොක්ඛා රොදමානා උපාගමුං, කච්චින්නු දෙව කුසලං කච්චි දෙව අනාමයං; කච්චි පිතා අරොගා තෙ සිවීනඤ්ච අනාමයං.
Sinhala BJT6344. සෑරජහු ඒ වෙසතුරු රජහු දැකැ වලප්මින් එළැඹියහ. දේවයිනි, කිම රෝග නැද්ද? දුක් නැද්ද? කිම තොපගේ පිය මහරජ නීරෝග වූයෙ ද? සිවිරටවැසියනට දුක් නැද්ද?
Pali BJT6345. කො තෙ බලං මහාරාජ කොනු තෙ රථමණ්ඩලං, අනස්සකො අරථකො දීඝමද්ධානමාගතො; කච්චි නාමිත්තෙහි{2} පකතො අනුප්පත්තොසිමං දිසං.
Sinhala BJT6345. මහරජුනි, තොපගේ සෙනඟ කො ද? තොපගේ රිය මඬුලු කො ද? කිම සතුරන් විසින් නෙරනාලද ද? අසුන් නැතියෙ මැ රිය නැතියෙ මැ මෙ රටට පැමිණියෙහි දැ? යි.
Pali BJT6346. කුසලං චෙව මෙ සම්මා අථො සම්මා අනාමයං, අථො පිතා අරොගො මෙ සිවීනඤ්ච අනාමයං.
Sinhala BJT6346. සබඳිනි, මට රෝග නැත. තවද සබඳිනි මට දුක් නැත, මාගේ පියමහරජ නීරෝග වෙයි. සිවිරට වැසියනට ද දුක් නැත.
Pali BJT6347. අහං හි කුඤ්ජරං දප්පං ඊසාදන්තං උරූළ්හවං, ඛෙත්තඤ්ඤුං සබ්බයුද්ධානං සබ්බසෙතං ගජුත්තමං.
Sinhala BJT6347. යම්හෙයෙකින් මම රියහිස් බඳු දළ ඇති, බර උසුලනු වූ සියලු යුද්ධයන්ට කෙත් හඳුනනු වූ සව්සුදු වූ හැම ඇතුනට උතුම් වූ ඇතු දන් දිනිම් ද,
Pali BJT6348. පණ්ඩුකම්බලසඤ්ඡන්නං පභින්නං සත්තුමද්දනං, දන්තිං සවාළවීජනිං සෙතං කෙලාසසාදිසං.
Sinhala BJT6348. රත්පලසින් වසනලද මදවැහෙන සතුරන් මඩනා යහපත් දළ ඇති වල්විදුනා සහිත වූ කෛලාස පර්‍වතය මෙන් සුදු වූ,
Pali BJT6349. සසෙතච්ඡත්තං සඋපථෙය්යං{3} සාථබ්බනං සහත්ථිපං, අග්ගයානං රාජවාහිං බ්රාහ්මණානං අදාසහං,{4}
Sinhala BJT6349. සේසත් සහිත වූ බුමුතුරුණු උඩුවියන් ජවනිකා සහිත වූ ඇත්වෙදුන් සහිත වූ ඇත්ගොවුවන් සහිත වූ රජහු උසුලනු වූ අග්‍රයාන වූ අපගේ හස්තියානය (කලිඟුරටවැසි) බමුණන්ට මම දිනිම් ද,
Pali BJT6350. තස්මිං මෙ සිවයො කුද්ධා පිතා ච අපහතො මනො, අවරුද්ධති{5} මං රාජා වඞ්කං ගච්ඡාමි පබ්බතං; ඔකාසං සම්මා{6} ජානාථ වනෙ යත්ථ වසාමසෙ.
Sinhala BJT6350. එකරුණෙහි ලා සිවිරටවැසියෝ මට කිපියහ. මා පියරජ ද ප්‍රතිඝ සිත් ඇත්තේ මා නෙරැපියයි. (එහෙයින්) වඞ්කගිරියට යෙමි. සබඳිනි, (ඇපි) වෙනෙහි යම් තැනෙකැ වසමෝ නම් එහි අපට නිසි පෙදෙසක් දැන කියව.
Pali BJT6351. ස්වාගතන්තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, ඉස්සරොසි අනුප්පත්තො යං ඉධත්ථි පවෙදය,
Sinhala BJT6351. මහරජුනි, තොප ආයේ මැනැවැ. තවද තොපගේ ඊම නිදොසි, මෙයට පැමිණියහු අපට ඉසුරු වව. තොප රිසියෙන යමක් මෙහි ඇත් නම් කියව, (ප්‍රතිපාදන කොට දෙම්හ.)
Pali BJT6352. සාකං භිසං මධුං මංසං සුද්ධං සාලීනමොදනං, පරිභුඤ්ජ මහාරාජ පාහුනො නොසි ආගතො.
Sinhala BJT6352. මහරජුනි, පැමිණි තෙපි අපට ආගන්තුක වව. පලා ද නෙළුඹල ද මී ද මස් ද පිරිසිදු හැල්බත් ද වළඳව.
Pali BJT6353. පටිග්ගහිතං යං දින්නං සබ්බස්ස අග්ඝියං කතං, අවරුද්ධති මං රාජා වඞ්කං ගච්ඡාමි පබ්බතං; ඔකාසං සම්මා ජානාථ වනෙ යත්ථ වසාමසෙ.
Sinhala BJT6353. හැමදෙනා විසින් පඬුරු කරනලද යමක් ඇද්ද තෙල හැම තොප විසින් දෙනලද මැ මා විසිනුදු පිළිගන්නාලද මැ වේවා. පියමහරජ මා නෙරැපියයි. එහෙයින් වඞ්කගිරියට යෙමි. සබඳිනි, (ඇපි) වෙනෙහි යම් තැනෙකැ වසමෝ ද එහි අපට නිසි පෙදෙසක් දනිවු.
Pali BJT6354. ඉධෙව තාව අච්ඡස්සු චෙතරට්ඨෙ රථෙසභ, යාව චෙතා ගමිස්සන්ති රඤ්ඤො සන්තික යාචිතුං නිජ්ඣාපෙතුං මහාරාජං සිවීනං රට්ඨවඩ්ඪනං.
Sinhala BJT6354. සෑරජහු සිවිරට වඩන සඳමහරජහට තොප නිදොස් බව දන්වන්නට ඔබ අයදනට සඳමහරජ සමීපයට යෙත් ද මහ රජුනි, උන් එන තෙක් මේ සෑරට වාස කරව.
Pali BJT6355. තං තං චෙතා පුරක්ඛත්වා{1} පතීතා ලද්ධපච්චයා, පරිවාරෙත්වාන{2} ගච්ඡන්ති එවං ජානාහි ඛත්තිය.
Sinhala BJT6355. සෑරජහු ලද පිහිට ඇතියාහු එකරුණින් තුටු වැ තොප පෙරට කොට පිරිවරා (ජයතුරා නුවරට මැ) යෙති. ක්‍ෂත්‍රියයෙනි, මෙසේ දනුව.
Pali BJT6356. මා වො රුච්චිත්ථ ගමනං රඤ්ඤො සන්තික යාචිතුං නිජ්ඣාපෙතුං මහාරාජං රාජා තත්ථ න ඉස්සරො.
Sinhala BJT6356. මහරජහට මා නිදොස් බව දන්වන්නට ඔබ අයදනට රජ අබියසට යෑම තෙපි නහමක් රැස්වවු. එකරුණෙහි ලා රජ ද ඉසුරු නො වෙයි.
Pali BJT6357. අච්චුග්ගතාහි සිවයො බලත්ථා නෙගමා ච යෙ, තෙ පධංසෙතුමිච්ඡන්ති රාජානං මම කාරණා.
Sinhala BJT6357. සිවීහු ද බලකාය ද නියම්ගම්වැසි කෙළෙඹියො ද යන ඔහු ඉතා කිපියාහු මැ යි. මා හේතුවින් රජ නෙරනට ද රිසි වෙති.
Pali BJT6358. සචෙ එසා පවත්තෙත්ථ රට්ඨස්මිං රට්ඨවඩ්ඪන, ඉධෙව රජ්ජං කාරෙහි චෙතෙහි පරිවාරිතො.
Sinhala BJT6358. රට වඩන මහරජුනි, ඉදින් එරට එපවත් වී නම් සෑ රටවැසියන් විසින් පිරිවරනලදු වැ මෙහි මැ රජය කරව.
Pali BJT6359. ඉද්ධං ඵිතඤ්චිදං රට්ඨං ඉද්ධො ජනපදො මහා මතිං කරොහි ත්වං දෙව රජ්ජස්සමනුසාසිතුං.
Sinhala BJT6359. දේවයිනි, මෙරට ද හැම සැපතින් පිරුණේ යැ; සමෘද්ධ යැ විශාල යැ. මේ රජයට අනුශාසනා කරන්නට තෙපි අදහස් කරව.
Pali BJT6360. න මෙ ඡන්දො මති අත්ථි රජ්ජස්සමනුසාසිතුං, පබ්බාජිතස්ස රට්ඨස්මා චෙතපුත්තා සුණාථ මෙ.
Sinhala BJT6360. රටින් නෙරනාලද මට රාජ්‍යානුශාසනා රිස්සෙක් හෝ බුද්ධියක් හෝ නැති. චේතරටවැසියෙනි, මාගේ බස් අසව.
Pali BJT6361. අතුට්ඨා සිවයො අස්සු{3} බලත්ථා{4} නෙගමා ච යෙ, පබ්බාජිතස්ස රට්ඨස්මා චෙතා රජ්ජෙභිසෙචයුං.
Sinhala BJT6361. රටින් නෙරනාලද වෙසතුරුහට චේත රටවැසියෝ රාජ්‍යයෙහි අභිෂේක දුන්හ යි සිවීහු ද බලකාය ද නියම්ගම් වැසියෝ ද යන යම් කෙනෙක් ඇද්ද, ඔහු (හැමදෙන) නො සතුටු වන්නාහ.
Pali BJT6362. අසම්මොදියම්පි වො අස්ස අච්චන්තං මම කාරණා, සිවීනං භණ්ඩනඤ්චාපි විග්ගහො මෙ න රුච්චති.
Sinhala BJT6362. මා නිසා තොපගේ නො සමගි බව ද නිරතුරු කොට වන්නේ යැ. (එකල්හි) සිවීන්ගේ කලහ ද විග්‍රහ ද මට නො රිසියෙයි.
Pali BJT6363. අථස්ස භණ්ඩනං ඝොරං සම්පහාරො අනප්පකො, එකස්ස කාරණා මය්හං හිංසෙය්යුං බහුකෙ ජනෙ.{5}
Sinhala BJT6363. තවද කර්‍කශ කලහ ද (ඔවුනොවුන්ගේ) පහර දීමුදු නො මඳ වන්නෙ යැ. එසේ කලැ එකලා මා නිසා බොහෝ දෙනා නැසෙන්නේ යැ.
Pali BJT6364. පටිග්ගහීතං යං දින්නං සබ්බස්ස අග්ඝියං කතං, අවරුද්ධති මං රාජා වඞ්කං ගච්ඡාමි පබ්බතං; ඔකාසං සම්මා ජානාථ වනෙ යත්ථ වසාමසෙ.
Sinhala BJT6364. තොප විසින් පඬුරු කරනලද යමක් ඇද්ද, එහැම දෙනලද මැ මා විසිනුදු පිළිගන්නාලද මැ වේවා. පියමහරජ මා රටින් නෙරැපියයි, (එහෙයින්) වඞ්කගිරියට යෙමි. සබඳිනි, වෙනෙහි යම් තැනෙකැ වසමෝ නම් එයට නිසි අවකාශයක් දනුව.
Pali BJT6365. තග්ඝ තෙ මයමක්ඛාම යථාපි කුසලා තථා, රාජිසී යත්ථ සම්මන්ති ආහුතග්ගී සමාහිතා.
Sinhala BJT6365. පුදන ලද ගිනි ඇති එකඟසිත් ඇති රාජර්ෂීහු යම් තැනෙකැ සන්හිඳෙත් ද (වෙසෙත්ද) එයට යන මග දක්‍ෂ වනචරකයෝ යම්සේ කියද්ද එසෙයින් ඒකාන්තයෙන් තොපට ඇපි කියම්හ.
Pali BJT6366. එස සෙලො මහාරාජ පබ්බතො ගන්ධමාදනො, යත්ථ ත්වං සහ පුත්තෙහි සහ භරියාය වච්ඡසි.{1}
Sinhala BJT6366. මහරජුනි, තෙපි දරුවන් සමග භාර්‍ය්‍යාව සමග යම් තැනෙකැ වාස කරන්නවු නම් එයට නිසි තෙල පර්‍වතය ගන්‍ධමාදන නම් වෙයි.
Pali BJT6367. තං චෙතා අනුසාසිංසු අස්සුනෙත්තා රුදම්මුඛා, ඉතො ගච්ඡ මහාරාජ උජුං{2} යෙනුත්තරාමුඛො.
Sinhala BJT6367. කඳුළු පිරුණු නෙත් ඇති වලප්නා මුහුණු ඇති සෑරටවැසි රජහු (වෙසතුරුහට) අනුශාසනා කළහ; ‘මහරජුනි, මෙ මඟින් ඍජු වැ උතුරුදිග බලා යව’ යි.
Pali BJT6368. අථ දක්ඛිසි භද්දන්තෙ විපුලං{3} නාම පබ්බතං, නානාදුමගණාකිණ්ණං සීතච්ඡායං මනොරමං.{4}
Sinhala BJT6368. තොපට යහපතක් මැ වේවා. ඉක්බිති නොයෙක් තරුගණයෙන් ගැවැසිගත් මනහර සිහිල් සෙවෙණ ඇති ‘විපුල’ නම් පර්‍වතය දක්නහු,
Pali BJT6369. තමතික්කම්ම භද්දන්තෙ අථ දක්ඛිසි ආපකං,{5} නදිං කෙතුමතිං නාම ගම්භීරං ගිරිගබ්භරං.
Sinhala BJT6369-6370. ඒ ගල ඉක්ම වැළිදු පොතුලොම් මසුන් ගැවැසිගත් මනා තොට ඇති බොහෝ දිය ඇති ගැඹුරු වූ ගල්කුසින් බට කේතුමතී නම් මහ හොයක් දක්නහු එහි නහා පැන් බී තමා දරුවන් අස්වසා,
Pali BJT6370. පුථුලොමමච්ඡාකිණ්ණං සුපතිත්ථං මහොදිකං,{6} තත්ථ නහාත්වා විපිත්වා ච අස්සාසෙත්වා ච පුත්තකෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6371. අථ දක්ඛිසි භද්දන්තෙ නිග්රොධං මධුවිප්ඵලං,{7} රම්මකෙ සිඛරෙ ජාතං සීතච්ඡායං මනොරමං.
Sinhala BJT6371. තොපට යහපතක් වේවා. ඉක්බිති රමණීය වූ කඳු මුදුන්හි හටගත් මනරම් වූ සිහිල් සෙවණ ඇති මධුරඵල ඇති නුගරුකක් දක්නහු,
Pali BJT6372. අථ දක්ඛිසි භද්දන්තෙ නාලිකං නාම පබ්බතං, නානාදිජගණාකිණ්ණං සෙලං කිම්පුරිසායුතං.
Sinhala BJT6372. ඉක්බිති නොයෙක් ලිහිණිගණයා විසින් ගැවැසිගත් කිඳුරන් ගහන වූ ‘නාලික’ නම් ශෛලපර්‍වතය දක්නහු,
Pali BJT6373. තස්ස උත්තරපුබ්බෙන මුචලින්දො නාම සො සරො, පුණ්ඩරීකෙහි සඤ්ඡන්නො සෙතසොගන්ධියෙහි ච.
Sinhala BJT6373. ඒ නාලික පර්‍වතයට ඊශාන තන්හි හෙළපියුමින් ද හෙල්මැලි කල්හාරයෙන් ද ගැවැසිගත් විලෙක් ඇත. හෙ මුචලින්‍ද නම් වෙයි.
Pali BJT6374. සො වනං මෙඝසඞ්කාසං ධුවං හරිතසද්දලං, සීහොවාමිසපෙක්ඛීව වනසණ්ඩං විගාහය; පුප්ඵරුක්ඛෙහි සඤ්ඡන්නං ඵලරුක්ඛෙහි චූහභං.
Sinhala BJT6374. ඒ තෙපි නිල්වලාකුළක් බඳු වූ නිරතුරු පලාවන් තණබිම් ඇති මල්රුකින් ද පලරුකින් ද යන දෙකින් ගැවැසිගත් වනලැහැබට ගොදුරු කැමැති සිංහයක්හු මෙන් පිවිසෙව.
Pali BJT6375. තත්ථ බින්දුස්සරා වග්ගු නානාවණ්ණා බහූ දිජා, කූජන්තමුපකූජන්ති{1} උතු සම්පුප්ඵිතෙ දුමෙ.
Sinhala BJT6375. එහි නොවිසිරැ පිඬු වැ පවත්නා හඬ ඇති මියුරු රුව් ඇති නන් පැහැ නන් කුල ඇති බොහෝ සියොත්හු ඍතුසමයෙහි පිපිරුක්හි හිඳ කුල්නවුන් අනුව කුල්ති,
Pali BJT6376. ගන්ත්වා ගිරිවිදුග්ගානං නදීනං පභවානි ච, සො දක්ඛසි පොක්ඛරණිං කරඤ්ජකකුධායුතං.{2}
Sinhala BJT6376-6377. ඒ තෙපි එහි ගොස් ගිරිකඳුරු ද නදීනට ප්‍රභවස්ථාන වූ ඌල්විටු (උල්දිය පෙදෙස්) ද කරඳ කුඹුකින් යුත් පොතුලොම් මසුන් ගැවැසිගත් මනා තොට ඇති පිළිකුල් ගඳ නැති මිහිරි වූ බොහෝ දිය පිරුණු සම වැ සිවුරැස් වූ පොකුණක් දක්නහු.
Pali BJT6377. පුථුලොමමච්ඡාකිණ්ණං සුපතිත්ථං මහොදිකං, සමඤ්ච චතුරස්සඤ්ච සාධුං අප්පටිගන්ධියං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6378. තස්සා උත්තරපුබ්බෙන පණ්ණසාලං අමාපය,{3} පණ්ණසාලං අමාපෙත්වා උඤ්ඡාචරියාය ඊහථ.
Sinhala BJT6378. ඒ පොකුණට ඉසාන තන්හි පන්සලක් මවන්නහු. පන්සලක් මවාගෙන වනමුල් වනපලයෙන් යැපෙමින් නො පමා වැ වාස කරව.
Pali BJTවනප්පවෙසනඛණ්ඩං නිට්ඨිතං.
Sinhala BJTවනප්‍රවේශ කාණ්ඩය නිමි.
Pali BJT6379. අහූ වාසී කලිඞ්ගෙසු ජූජකො නාම බ්රාහ්මණො, තස්සාසි දහරා භරියා නාමෙනාමිත්තතාපනා.
Sinhala BJT6379. කලිඟුරට (දුන්නිවිට්ඨ නම් ගම්) වැසි ‘ජූජක’ නම් බමුණෙක් වී. ඔහුට නමින් ‘අමිත්තතාපනා’ නම් තරුණ අඹුවක් වුව.
Pali BJT6380. තා නං තත්ථ ගතාවොචුං නදීඋදකහාරිකා,{4} ථියො නං පරිභාසිංසු සමාගන්ත්වා කුතූහලා.
Sinhala BJT6380. එගම්හි ස්ත්‍රීහු දිය ගෙනෙනුව හොයට ගියාහු ඒ අමිත්තතාපනාට මෙසේ කීහු: ඒ ස්ත්‍රීහු කුහුල් ඇතියන් මෙන් පිරිවරාගෙන ඇයට පිරිහෙළා තෙපලූහ.
Pali BJT6381. අමිත්තා නූන තෙ මාතා අමිත්තො නූන තෙ පිතා යෙ තං ජිණ්ණස්ස පාදංසු එවං දහරියං සතිං.
Sinhala BJT6381. මෙවන් තුරුණු බව ඇති කල්හි යම් කෙනෙක් තී මේ ජරපත් මහල්ලාට දුන්හු ද තීගේ ඒ මව සැතිරියකැ යි හඟුම්හ. තීගේ ඒ පියා සතුරෙකැ යි හඟුම්හ.
Pali BJT6382. අහිතං{5} වත තෙ ඤාතී මන්තයිංසු රහොගතා, යෙ තං ජිණ්ණස්ස පාදංසු එවං දහරියං සතිං.
Sinhala BJT6382. මෙවන් ළදරු බව ඇති කල්හි යම් කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හු ද තීගේ ඒ නෑයෝ රහසිගත ව තිට අහිතයක් මන්ත්‍රණ කළාහු වන.
Pali BJT6383. දුක්කරං{6} වත තෙ ඤාතී මන්තයිංසු රහොගතා, යෙ තං ජිණ්ණස්ස පාදංසු එවං දහරියං සතිං.
Sinhala BJT6383. මෙවන් සොඳුරු ළදරු බව ඇති කල්හි යම් කෙනෙක් තී මේ ජරාජීර්‍ණ මහල්ලාට දුන්හු ද තීගේ ඒ නෑයෝ රහසැ හිඳ තිට දුෂ්කරයක් මන්ත්‍රණ කළාහු වන.