Pali BJT5892. කථන්නු කෙවට්ට මහොසධෙන සමාගමො ආසි තදිඞ්ඝ බ්රූහි කච්චි තෙ පටිනිජ්ඣන්තො කච්චි තුට්ඨො මහොසධො.
Sinhala BJT5892. (වේදේහරජ) කෙසේ ද කේවට්ටය, මහොසධයන් හා සමඟිය වී ද, කිම තෙපි කමා කරනු ලැබූහු ද, කිම මහොසධයෝ තුටු වූහු ද? (තොරතුරු) මට කියව.
Pali BJT5893. අනරියරූපො පුරිසො ජනින්ද, අසම්මොදකො ථද්ධො අසබ්භිරූපො යථා මූගො ච බධිරො ච න කිඤ්චත්ථං අභාසථ.
Sinhala BJT5893. මහරජ, හේ අනාර්‍ය්‍යස්වරූප ඇති පුරුෂයෙකි. සතුටු කථා නැත්තෙකි. උඩඟු වූවෙකි. අපණ්ඩිතස්වාභව ඇත්තේ ය. ගොළුවකු සේද බිහිරකු සේද කිසිත් නො තෙපළේ ය යි කේවට්ට කීය.
Pali BJT5894. අද්ධා ඉදං මන්තපදං සුදුද්දසං අත්ථො සුද්ධො නරවිරියෙන{4} දිට්ඨො, තථා හි කායො මම සම්පවෙධති{5} හිත්වා සයං කො පරහත්ථමෙස්සති.
Sinhala BJT5894. රජ මෙසේ සිතයි. ඒකාන්තයෙන් මේ මන්ත්‍රපදය දක්නට ඉතා අපහසුය. නරවීරයා (මහෞෂධ) විසින් මෙහි යථාර්‍තය දක්නා ලද්දේ ය. ඒ එසේමැ යි. මා ගත වෙවුල යි. සියරට හැර කවරෙක් නම් තෙමේ මැ මෙරමා අතට පත්වන්නේ ද?
Pali BJT5895. ඡන්නං හි එකාව මතී සමෙති යෙ පණ්ඩිතා උත්තමභූරිපත්තා, යානං අයානං අථවාපි ඨානං මහොසධ ත්වම්පි මතිං කරොහි.
Sinhala BJT5895. (රජ) නුවණින් ඉතා උතුම් තැනට පත් යම් පණ්ඩිත කෙනෙක් වෙත් ද ඒ අප සදෙනාගේ ම අදහස සම වෙයි. මහෞෂධය, (පඤ්චාල නුවරට) යාම හෝ නො යාම හෝ මෙහි සිටීම හෝ පිළිබඳ වැ තෙපි දු අදහසක් ප්‍රකාශ කරව.
Pali BJT5896. ජානාසි ඛො රාජ මහානුභාවො මහබ්බලො චූළනිබ්රහ්මදත්තො රාජා ච තං ඉච්ඡති කාරණත්ථං මිගං{6} යථා ඔකචරෙන{7} ලුද්දො.
Sinhala BJT5896. (මහෞෂධ) මහරජ, චූළනීබ්‍රහ්මදත්ත රජ මහත් බල ඇත්තෙක, මහත් අනුභාව ඇත්තෙකැ යි දන්නෙහි. වැද්දකු දඩ මුවකු කරණ කොටගෙන අල්ලාගත් මුවකු මෙන් බ්‍රහ්මදත්තරජ ද ඔබ මරනු රිසි වෙයි.
Pali BJT5897. යථාපි මච්ඡො බළිසං වඞ්කං මංසෙන ඡාදිතං, ආමගිද්ධො න ජානාති මච්ඡො මරණමත්තනො.
Sinhala BJT5897. යම් සේ මත්ස්‍යයෙක් මසින් වැසුණු වක් වූ බිළිය ගිලීද, ඇමට ගිජු ඒ මත්ස්‍ය තෙමේ තමාගේ මරණය නො දකීද,
Pali BJT5898. එවමෙව තුවං රාජ චූළනීයස්ස{1} ධීතරං, කාමගිද්ධො න ජානාසි මච්ඡොව මරණමත්තනො.
Sinhala BJT5898. එසේ මැ මහරජ, කාමයෙහි ගිජු වූ ඔබ ද මත්ස්‍යයා තමාගේ මරණය නො දන්නා සේ චූළනීරජුගේ දුව (පිළිබඳ කාරණය) නො දන්නාහු ය.
Pali BJT5899. සචෙ ගච්ඡසි පඤ්චාලං ඛිප්පමත්තං ජහිස්සසි, මිගං පථානුපන්නංව{2} මහන්තං භයමෙස්සති.
Sinhala BJT5899. ඉදින් ඔබ පඤ්චාල නුවරට යන්නහු නම් වහා සිය දිවි හරනහු ය. ගම්දොර මගටවන් මුවකු සේ මහත් බියට පැමිණෙන්නහු ය.
Pali BJT5900. මයමෙව බාලම්හසෙ එළමූගා යෙ උත්තමත්ථානි තයී ලපිම්භ, කිමෙව ත්වං නඞ්ගලකොටිවද්ධො{3} අත්ථානි ජානාසි යථාපි අඤ්ඤෙ.
Sinhala BJT5900. (රජ) යම් කෙනෙක් මඞ්ගලාර්‍ත්‍ථයන් පිළිබඳවැ තා සමඟ කථා කළෝ ද ඒ අපි මැ මෝඩ කෙළතොල්ලෝ වෙමු. නඟුල් කෙළවර ගෙනැ වැඩුනා වූ තෝ කෙසේ නම් අන්‍ය (කේවට්ටාදි) පණ්ඩිතයන් සේ උත්තමාර්‍ත්‍ථයන් දන්නෙහි ද?
Pali BJT5901. ඉමං ගලෙ ගහෙත්වාන නාසෙථ විජිතා මම, යො මෙ රතනලාභස්ස අන්තරායාය භාසති.
Sinhala BJT5901. යමෙක් මගේ රත්නලාභයට අන්තරාය පිණිස කථා කරයි ද ඒ මොහු ගෙලෙන් ගෙනැ මගේ රටින් නෙරවු.
Pali BJT5902. තතො ච සො අපක්කම්ම වෙදෙහස්ස උපන්තිකා, අථ ආමන්තයී දූතං මාඪරං{4} සුවපණ්ඩිතං.
Sinhala BJT5902. ඉක්බිති හෙතෙම (මහෞෂධ පණ්ඩිත) වේදේහ රජු වෙතින් ඉවත් වැ ගොස් පණිවුඩකරු වූ මාඪර නම් ගිරා පණ්ඩිතයන් ඇමති ය:
Pali BJT5903. එහි සම්ම හරීපක්ඛ{5} වෙය්යාවච්චං කරොහි මෙ, අත්ථි පඤ්චාලරාජස්ස සාළිකා සයනපාලිකා.
Sinhala BJT5903. යහළු රන්වන් පියාපත් ඇත්ත, මෙහි එව. මට එක් මෙහෙවරක් කරන්නෙහි ය. පඤ්චාල රජුට යහන් බලන එක් සැළලිහිණියක් ඇත.
Pali BJT5904. තං පත්ථරෙන{6} පුච්ඡස්සු සා හි සබ්බස්ස කොවිදා, සා තෙසං සබ්බං ජානාති රඤ්ඤො ච කොසියස්ස ච.
Sinhala BJT5904. ඕ තොමෝ සියල්ලෙහි දක්‍ෂ වන්නී ය. ඇය රහසින් විචාරව. රජුත් කේවට්ටයාත් අතරැ (වන) සියලු මන්ත්‍රණ ඕ දන්නී ය.
Pali BJT5905. ආමොති සො පටිස්සුත්වා මාඪරො සුවපණ්ඩිතො, අගමාසි හරීපක්ඛො සාළිකාය උපන්තිකං.
Sinhala BJT5905. ස්වර්‍ණවර්‍ණ පක්‍ෂ පත්‍ර ඇති මාඪර නම් ගිරා පණ්ඩිතයා ද එසේ ය යි පිළිගෙන ශාරිකාව වෙතැ ගියේ ය.
Pali BJT5906. තතො, ච ඛො සො ගන්ත්වාන මාඪරො සුවපණ්ඩිතො, අථ ආමන්තයී සුඝරං සාළිකං මඤ්ජුභාණිකං.
Sinhala BJT5906. ගිරා පණ්ඩිතයා ද එතැනින් පිටත් වැ ගොස් ඉක්බිති රන් මැදිරියේ වෙසෙන මිහිරි සේ බෙණෙන ශාරිකාව ඇමතී ය:
Pali BJT5907. කච්චි තෙ සුඝරෙ ඛමනීයං කච්චි වෙස්සෙ{7} අනාමයං, කච්චි තෙ මධුනා ලාජා ලබ්භතෙ සුඝරෙ තව.
Sinhala BJT5907. රන් මැදිරියේ වෙසෙන්නිය, තිගේ සුව කෙසේ ද? වෛශ්‍ය කුලයෙහි උපන්න, කිම නිරෝග වැ වෙසෙන්නී ද? රන් මැදිරියේ වෙසෙන තී මී මුසු විලඳ ලබන්නී ද?
Pali BJT5908. කුසලඤ්චෙව මෙ සම්ම අථො සම්ම අනාමයං, අථො මෙ මධුනා ලාජා ලබ්භතෙ සුවපණ්ඩිත.
Sinhala BJT5908. (සැළලිහිණිය) යහළු, මම සුවසේ ද නිරෝග වැ ද වෙසෙමි. තවද, ගිරා පණ්ඩිතය, මට විලඳ හා මී ද ලැබේ.
Pali BJT5909. කුතො නු සම්ම ආගම්ම කස්ස වා පහිතො තුවං, න ච මෙසි ඉතො පුබ්බෙ දිට්ඨො වා යදි වා සුතො.
Sinhala BJT5909. යහළු, තෙපි කොහි සිට පැමිණ සිටින්නහු ද, කවුරුන් විසින් එවන ලද්දහු ද, මින් පෙරැ තෙපි දක්නා ලද හෝ අසන ලද හෝ නො වෙමි.
Pali BJT5910. අහොසිං සිවිරාජස්ස පාසාදො සයනපාලකො, තතො සො ධම්මිකො රාජා බද්ධෙ{1} මොචෙසි බන්ධනා.
Sinhala BJT5910. (ගිරාපණ්ඩිත) මම සිවිරජුගේ ප්‍රාසාදයෙහි ශයන පාලකයා වීමි. ඒ දැහැමි රජ බැඳුම්හි සිටියවුන් බැඳුමින් මිදී ය.
Pali BJT5911. තස්ස මෙකා දුතියාසි සාළිකා මඤ්ජුභාණිකා, තං තත්ථ අවධී සෙනො පෙක්ඛතො සුඝරෙ මම.
Sinhala BJT5911. පියබස් බෙණෙන එක් සැළලිහිණියක් මට බිරිඳ වූවා ය. මා රන්මැදිරියේ බලා සිටිය දී ම ඕ උකුස්සකු විසින් මරණ ලද්දී ය.
Pali BJT5912. තස්සා කාමා හි සම්මත්තො ආගතොස්මි තවන්තිකෙ, සචෙ කරෙය්යාසි ඔකාසං උභයොව වසාමසෙ.
Sinhala BJT5912. ඈ පිළිබඳ කාමයෙන් මත්වූයෙමි. තී සමීපයට ආයෙමි. ඉදින් අවසර ලබන්නෙමි නම් අපි දෙදෙන එක් වැ වසමු.
Pali BJT5913. සුවොව සුවිං කාමෙය්ය සාළිකො පන සාළිකං, සුවස්ස සාළිකාය ච{2} සංවාසො හොති කීදිසො.
Sinhala BJT5913. (සැළලිහිණිය) ගිරවා ගිරවියක ද, සැළලිහිණියා සැළලිහිණියක ද කැමැති වන්නේ ය. ගිරවකු හා සැළලිහිණියක අතරැ කෙබඳු සංවාසයෙක් ද?
Pali BJT5914. යං යං කාමී කාමයති{3} අපි චණ්ඩාලිකාමපි, සබ්බෙහි සදිසො හොති නත්ථි කාමෙ අසාදිසො.
Sinhala BJT5914. කාමියෙක් යමක කැමැත්තේ නම් ඇය සැඩොලක වුව ද කැමැති වන්නේ ය. තවද කාම සේවනයෙහිදී සියල්ලෝ මැ සම වන්නෝ ය. අසමානයෝ නැත්තාහ යි ගිරා පණ්ඩිත කීය.
Pali BJT5915. අත්ථි ජම්බාවතී නාම මාතා සිවිස්ස{4} රාජිනො, සා භරියා වාසුදෙවස්ස කණ්හස්ස මහෙසී පියා.
Sinhala BJT5915. සිවි රජුගේ මවු තොමෝ ජම්බාවතී නම් සැඩොලක් වූවා ය. ඕ කෘෂ්ණගෝත්‍රයේ උපන් වාසුදේව රජුගේ ප්‍රිය බිරිඳ ද අගමෙහෙසිය ද වූවා ය.
Pali BJT5916. රථාවතී කිම්පුරිසී සාපි වච්ඡං අකාමයි, මනුස්සො මිගියා සද්ධිං නත්ථි කාමෙ අසාදිසො.
Sinhala BJT5916. පෙරැ රථාවතී නම් කිඳුරියක් වූවා ය. ඕ තොමෝ වච්ඡ නම් තවුසකු කැමැති කරවාගත්තා ය. මනුෂ්‍යයෙක් තිරිසනක සමග වාසය කළේ ය. කාමයෙහි අසමානබවක් නැත.
Pali BJT5917. හන්ද ඛොහං ගමිස්සාමි සාළිකෙ මංජුභාණිකෙ, පච්චක්ඛානුපදං හෙතං අතිමඤ්ඤසි නූන මං.
Sinhala BJT5917. මිහිරිබස් ඇති ශාරිකාව, එසේ නම් මම යන්නෙමි. මේ සියල්ල තී හැර දැමීමට කරුණු ය. තෝ මා ඉක්මවා සිතන්නෙහි.
Pali BJT5918. න සිරී තරමානස්ස මාඪර සුවපණ්ඩිත, ඉධෙව තාව අච්ඡස්සු යාව රාජානං දක්ඛසි, සොස්සසි{5} සද්දං මුතිඞ්ගානං ආනුභාවඤ්ච රාජිනො.
Sinhala BJT5918. (සැළලිහිණිය) ගිරා පණ්ඩිතය, ඉක්මන් තැනැත්තාට ශ්‍රී තොමෝ දුරු වන්නී ය. එ නිසා රජු දක්නා තෙක් මෙහි රැඳෙව. මිහිඟු බෙර හඬ අසන්නෙහි ය. රජුගේ අනුභාව දක්නෙහි ය.
Pali BJT5919. යො නු ඛොයං තිබ්බො සද්දො තිරොජනපදෙ සුතො, ධීතා පඤ්චාලරාජස්ස ඔසධී විය වණ්ණිනී; තං දස්සති විදෙහානං සො විවාහො භවිස්සති.
Sinhala BJT5919. (ගිරාපණ්ඩිත) පඤ්චාලරජුගේ, ඕසධීතාරකාව සේ රුසිරින් වොරඳනා දූකුමරිය වේදේහරජුට දෙන්නේ ය යන මහත් ඝෝෂාවක් පසල්දනවුවල දී අසන ලද්දේය. ඒ විවාහය සිදුවන්නේ ද?
Pali BJT5920. නෙදිසො{6} තෙ අමිත්තානං විවාහො හොතු මාඪර, යථා පඤ්චාලරාජස්ස වෙදෙහෙන භවිස්සති.
Sinhala BJT5920. (සැළලිහිණිය) මාඪරය, යම් සේ වේදේහ රජු හා පඤ්චාලරජුගේ මෙන් තොපගේ පසමිතුරන් අතරැ හෝ එබඳු විවාහයෙක් නො වේවා.
Pali BJT5921. ආනයිත්වාන වෙදෙහං පඤ්චාලානං රථෙසභො, තතො නං ඝාතයිස්සති නාස්ස සක්ඛි භවිස්සති.
Sinhala BJT5921. පඤ්චාලරජ වේදේහ රජු මෙහි ගෙන්වා නසන්නේ ය. වේදේහරජු සමග මිතුරු බවක් නම් නො වන්නේ ය.
Pali BJT5922. හන්ද ඛො මං අනුජානාහි රත්තියො සත්තමත්තියො, යාවාහං සිවිරාජස්ස ආරොචෙමි මහෙසිනො, ලද්ධො ච මෙ ආවසථො සාළිකාය උපන්තිකං.
Sinhala BJT5922. (ගිරාපණ්ඩිත) ශාරිකා සමීපයෙහි විසීමට මා අවස්ථාව ලදැ යි සිවිරජුට හා මෙහෙසියට දන්වා එනතෙක් සත් රැයකට මට අවසර දෙව.
Pali BJT5923. හන්ද ඛො තං අනුජානාමි රත්තියො සත්තමත්තියො, සචෙ ත්වං සත්තරත්තෙන නාගච්ඡසි මමන්තිකෙ; මඤ්ඤෙ ඔක්කන්තසත්තං මං මතාය ආගමිස්සසි.
Sinhala BJT5923. එසේ නම් ම විසින් අනුමත කළ තොප සත් රැයකින් (ආපසු) මා වෙත නො පැමිණියහොත් මගේ මළගමට පැමිණෙන්නට ලැබෙන්නේ යැ යි සිතනු යි ශාරිකා කීය.
Pali BJT5924. තතො ච ඛො සො ගන්ත්වාන මාඪරො සුවපණ්ඩිතො, මහොසධස්ස අක්ඛාසි සාළියා{1} වචනං ඉදං.
Sinhala BJT5924. ඉක්බිති මාඪර නම් ගිරා පණ්ඩිත තෙමේ එතැනින් පිටත් වැ ගොස් ශාරිකාවගේ වචනය මහෞෂධ පණ්ඩිතයනට කීයේ ය.
Pali BJT5925. යස්සෙව ඝරෙ භුඤ්ජෙය්ය භොගං, තස්සෙව අත්ථං පුරිසො චරෙය්ය.
Sinhala BJT5925. යමකුගේ ගෘහයෙහි සම්පත්තීන් අනුභව කරන්නේ නම් සත්පුරුෂතෙමේ ඔහුගේ මැ අර්‍ත්‍ථය උදෙසා ක්‍රියා කරන්නේ ය.
Pali BJT5926. හන්දාහං ගච්ඡාමි පුරෙ ජනින්ද, පඤ්චාලරාජස්ස පුරං සුරම්මං; නිවෙසනානි මාපෙතුං වෙදෙහස්ස යසස්සිනො.
Sinhala BJT5926. මහරජ, එසේනම් මම පළමු කොට යශස් ඇති වේදේහ රජුට (ඔබට) නිවෙස් තැනීමට පඤ්චාලරජුගේ රමණීය පුරවරයට යන්නෙමි.
Pali BJT5927. නිවෙසනානි මාපෙත්වා වෙදෙහස්ස යසස්සිනො. යදා තෙ පහිණෙය්යාමි තදා එය්යාසි ඛත්තිය.
Sinhala BJT5927. මහරජ, ඉසුරුමත් වේදේහයනට නිවෙස් මවා යම් දිනෙක ඔබට පණිවුඩයක් එවන්නෙම් ද එකලැ එහි පැමිණෙනු මැනැවි.
Pali BJT5928. තතො ච පායාසි පුරෙ මහොසධො, පඤ්චාලරාජස්ස පුරං සුරම්මං; නිවෙසනානි මාපෙතුං වෙදෙහස්ස යසස්සිනො.
Sinhala BJT5928. ඉසුරුමත් වේදේහ රජුට නිවෙස් තැනීමට මහෞෂධ පඬිතුමා පළමුව පඤ්චාල රජුගේ රමණීය පුරවරයට ගියේ ය.
Pali BJT5929. නිවෙසනානි මාපෙත්වා වෙදෙහස්ස යසස්සිනො; අථස්ස පහිණී දූතං (වෙදෙහං මිථිලග්ගහං) එහිදානි මහාරාජ මාපිතං තෙ නිවෙසනං.
Sinhala BJT5929. වේදේහරජුට නිවෙස් සාදා ඉක්බිති වැ “මහරජ ඔබට නිවෙස් මැවීමි. පැමිණෙනු මැනැවැ” යි (මිථිලාධිපති වේදේහ රජුට ) පණිවුඩකරුවකු යැවී ය.
Pali BJT5930. තතො ච රාජා පායාසි සෙනාය චතුරඞ්ගියා, අනන්තවාහනං දට්ඨුං ඵීතං කම්පිල්ලියං පුරං.
Sinhala BJT5930. ඉක්බිති වේදේහ රජ තෙමේ සිවුරඟ සෙනඟ සමග අප්‍රමාණ වූ අශ්වාදී සේනාවන් ඇති සමෘද්ධිමත් කම්පිල්ලිය නගරය දක්නා පිණිස පිටත්විය.
Pali BJT5931. තතො ච ඛො සො ගන්ත්වාන බ්රහ්මදත්තස්ස පාහිණී, ආගතොස්මි මහාරාජ තව පාදානි වන්දිතුං.
Sinhala BJT5931. ඉක්බිති වේදේහරජ එහි ගොස් “මහරජ ඔබගේ පා වැඳුමට ආයෙමි” යි බඹදත්රජුට හසුන් යැවී ය.
Pali BJT5932. දදාහිදානි මෙ භරියං නාරිං සබ්බඞ්ගසොභිනිං, සුවණ්ණෙන පටිච්ඡන්නං දාසීගණපුරක්ඛතං.
Sinhala BJT5932. සකල ස්ත්‍රී ලක්‍ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව (ඔබ දියණිය) රනින් සරසා දැසිදස් සමූහයා විසින් පෙරටු කරන ලදුවැ මගේ බිරිඳ ලෙස දැන් එවුව මැනැව.
Pali BJT5933. ස්වාගතං තෙ වෙදෙහ අථො තෙ අදුරාගතං, නක්ඛත්තඤ්ඤෙව පරිපුච්ඡ අහං කඤ්ඤං දදාමි තෙ; සුවණ්ණෙන පටිච්ඡන්නං දාසීගණපුරක්ඛතං.
Sinhala BJT5933. වේදේහය, ඔබේ පැමිණීම ශුභ සම්ප්‍රාප්තියෙකි. තව ද නපුරු කොටැ ඊමෙක් ද නොවේ. නැකැත් පමණක් විමසව. රනින් සැරැසූ දියණිය දැසි දස් ගණයා පෙරටු කොටැ ඔබට දෙන්නෙමි.
Pali BJT5934. තතො ච රාජා වෙදෙහො නක්ඛත්තං පරිපුච්ඡථ, නක්ඛත්තං පරිපුච්ඡිත්වා බ්රහ්මදත්තස්ස පාහිණී.
Sinhala BJT5934. ඉක්බිති වේදේහ රජ නකත් විචාළේ ය. නකත් විචාරා බ්‍රහ්මදත්ත රජුට හසුන් යැවී ය.
Pali BJT5935. දදාහිදානි මෙ භරියං නාරිං සබ්බඞ්ගසොභිනිං, සුවණ්ණෙන පටිච්ඡන්නං දාසීගණපුක්ඛතං.
Sinhala BJT5935. සකල ස්ත්‍රී ලක්‍ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව රනින් සරසා දැසි දස්සන් පෙරටු කොටැ මගේ බිරිඳ ලෙසින් දැන් එවනු මැනැයි දූතයන් යැවී.
Pali BJT5936. දදාමිදානි මෙ භරියං නාරිං සබ්බඞ්ගසොභිනිං, සුවණ්ණෙන පටිච්ඡන්නං දාසීගණපුරක්ඛතං.
Sinhala BJT5936. සකල ස්ත්‍රී ලක්‍ෂණයන්ගෙන් ශෝභමාන වූ කන්‍යාව රනින් සරසා දැසි දස්සන් පෙරටු කොට ඔබට බිරිඳ ලෙසින් දෙන්නෙමි යි චූළනී රජ දැන්වී.
Pali BJT5937. හත්ථි අස්සා රථා පත්තී සෙනා තිට්ඨන්ති වම්මිතා{1}, උක්කා පදිත්තා ඣායන්ති කින්නු මඤ්ඤන්ති පණ්ඩිතා.
Sinhala BJT5937. (වේදේහරජ) ඇත් අස් රිය පාබළ සේනාවෝ රැස්ව සිටිත්. දැල් වූ විලක්කු ද බැබළේ. පණ්ඩිතවරු මේ කිමෙකැ යි සිතන්නාහු ද?
Pali BJT5938. හත්ථි අස්සා රථා පත්ති සෙනා තිට්ඨන්ති වම්මිතා, උක්කා පදිත්තා ඣායන්ති කින්නු කාහන්ති පණ්ඩිතා.
Sinhala BJT5938. සන්නාහ සන්නද්ධ ඇත් අස් රිය පා බළ සේනාවෝ රැස් වැ සිටිත්. දැල්වූ විලක්කු ද බැබළේ. පණ්ඩිතවරු “මොහු කුමක් කරන්නාහු දැ” යි දනිත් ද?
Pali BJT5939. රක්ඛති තං මහාරාජ චූළනීයො මහබ්බලො, පදුට්ඨො තෙ බ්රහ්මදත්තො පාතො තං ඝාතයිස්සති.
Sinhala BJT5939. (මහෞෂධ) මහරජ, මහත් බල ඇති චූළනී රජ තෙමෙ ඔබ යා නොදී රකියි. ප්‍රකෝප වූ බ්‍රහ්මදත්තරජ උදාසන ඔබ නසන්නේ ය.
Pali BJT5940. උබ්බෙධතෙ{2} මෙ හදයං මුඛඤ්ච පරිසුස්සති, නිබ්බුතිං නාධිගච්ඡාමි අග්ගිදඩ්ඪොව ආතපෙ.
Sinhala BJT5940. (වේදේහරජ) මා හද සැලෙයි. මුව ද වියැළෙන්නේ ය. ගිනි වැදුනකු අවුවේ ලූ සෙයින් නිවීමට නො පැමිණෙන්නෙමි.
Pali BJT5941. කම්මාරානං යථා උක්කා අන්තො ඣායති නො බහි, එවම්පි හදයං මය්හං අන්තො ඣායති නො බහි.
Sinhala BJT5941. කඹුරන්ගේ උදුන යම් සේ ඇතුළ දවයි ද පිටත නො දවයි ද, එසේ මා ඇතුළුහද දැවෙයි. පිටත නො දැවෙයි.
Pali BJT5942. පමත්තො මන්තනාතීතො භින්නමන්තොසි ඛත්තිය, ඉදානි ඛො තං තායන්තු පණ්ඩිතා මන්තිනො ජනා.
Sinhala BJT5942. (මහෞෂධ) මහරජ, ප්‍රමාදයට පැමිණ මගේ වචන ඉක්මැවූයේ භින්න මන්ත්‍ර ඇත්තෙහි ය. ඔබ හා මන්ත්‍රණය කළ පණ්ඩිත ජනයෝ ම ඔබ රකිත්වා.
Pali BJT5943. අකත්වාමච්චස්ස වචනං අත්ථකාමහිතෙසිනො, අන්තපීතිරතො රාජ මිගො කූටෙව ඔහිතො.
Sinhala BJT5943. අභිවෘද්ධිය කැමැති හිතවත් ඇමැතියාගේ වචන නො පිළිගෙන තමා පිණැවීමෙහි මැ ඇලුණු ඔබ මළපුඬුවැ වැටුණු මුවකු වැනිය.
Pali BJT5944. යථාපි මච්ඡො බළිසං වඞ්කං මංසෙන ඡාදිතං, ආමගිද්ධො න ජානාති මච්ඡො මරණමත්තනො.
Sinhala BJT5944. යම් සේ මත්ස්‍යයෙක් මසින් වැසුණු වක් වූ බිළිය නො දැක ඇමෙහි ගිජු වැ තමනට පැමිණෙන මරණය නො දක්නේ ද.
Pali BJT5945. එවමෙව තුවං රාජ චූළනෙය්යස්ස ධීතරං, කාමගිද්ධො න ජානාසි මච්ඡොව මරණමත්තනො.
Sinhala BJT5945. මහරජ, එසේ මැ ඔබ ද චූළනී රජුගේ දුව පිළිබඳ කාමයෙන් මුළා වූවාහු ඇම ගිලි මසු මෙන් තම මරණය නො දන්නාහ.
Pali BJT5946. සචෙ ගච්ඡසි පඤ්චාලං ඛිප්පමත්තං{3} ජහෙස්සසි,{4} මිගං පථානුපන්නංව{5} මහන්තං භයමෙස්සති.{6}
Sinhala BJT5946. ඉදින් පඤ්චාල නුවරට යන්නෙහි නම් වහා සිය දිවි හරනෙහි ය. වීථියට පිළිපන් මෘගයකු සේ මහත් බියට පැමිණෙන්නෙහි ය.
Pali BJT5947. අනරියරූපො පුරිසො ජනින්ද අහීව උච්ඡඞ්ගගතො ඩසය්යෙ,{1} න තෙන මෙත්තිං කයිරාථ ධීරො දුක්ඛො හවෙ කාපුරිසෙන{2} සඞ්ගමො.
Sinhala BJT5947. මහරජ, අනාර්‍ය්‍යස්වරූප පුරුෂ තෙමේ ඇකයෙහි වූ සර්‍පයකු දෂ්ට කරන්නා සේ විපත් පමුණුවන්නේ ය. නුවණැත්තේ ඔහු හා මිත්‍රත්‍වයක් නො කරන්නේ ය. අසත්පුරුෂයා හා එක්වීම ඒකාන්තයෙන් දුකකි.
Pali BJT5948. යන්ත්වෙව{3} ජඤ්ඤා පුරිසං{4} ජනින්ද සීලවායං බහුස්සුතො, තෙනෙව තෙත්තිං කයිරාථ ධීරො සුඛො භවෙ සප්පුරිසෙන සඞ්ගමො.
Sinhala BJT5948. මහරජ, යම් හෙයකින් මේ තෙමේ සිල්වතෙක උගතෙකැ යි දන්නේ ද, එ බඳු පුද්ගලයා සමග නුවණැත්තේ මිත්‍ර වන්නේ ය. සත්පුරුෂයා හා එක්වීම ඒකාන්තයෙන් සුව එළවන්නේ ය.
Pali BJT5949. බාලො තුවං ඵළමූගොසි රාජ යො උත්තමත්ථානි මයී ලපිත්ථො, කිමෙවාහං නඞ්ගලකොටිවද්ධො අත්ථානි ජානිස්සං යථාපි අඤ්ඤෙ.
Sinhala BJT5949. මහරජ, යම් උතුම් මඞ්ගලාර්‍ත්‍ථයක් මා සමඟ කී ඔබ මැ කෙළ තොලු වෙති. නඟුල් කෙළවර ගත් මම කෙසේ සෙස්සන් සේ මඞ්ගලාර්‍ත්‍ථයන් දන්නෙම් ද?
Pali BJT5950. ඉමං ගලෙ ගහෙත්වාන නාසෙථ විජිතා මම, යො මෙ රතනලාභස්ස අන්තරායාය භාසති.
Sinhala BJT5950. යමෙක් මාගේ රත්නලාභයට අන්තරාය පිණිස කථා කරයි ද ඒ මොහු ගෙලෙන් ගෙනැ මාගේ විජිතයෙන් නෙරවු.
Pali BJT5951. මහොසධ අතීතෙන නානුවිජ්ඣන්ති පණ්ඩිතා, කි මං අස්සං ච සම්බද්ධං{5} පතොදෙනෙව විජ්ඣසි.
Sinhala BJT5951. (වේදේහරජ) මහෞෂධ පණ්ඩිතය, නුවණැත්තෝ අතීතය නමැති හුලින් නො විදිත්. කිම, දැඩි වැ බැඳි අසකුට කෙවිටෙන් අණින්නාක් මෙන් මා පෙළන්නෙහි ද?
Pali BJT5952. සචෙ පස්සසි මොක්ඛං මෙ{6} ඛෙමං වා පන පස්සසි, තෙනෙව මං අනුසාස කිං අතීතෙන විජ්ඣසි.
Sinhala BJT5952. ඉදින් මට මිදීමක් දක්නෙහි නම් හෝ බියෙන් තොර වීමට යමක් දන්නෙහි නම් හෝ ඉන් මට අනුශාසනා කරව. අතීතයෙන් පහරදීමෙන් ඇති (ප්‍රයෝජනය) කිම?
Pali BJT5953. අතීතං මානුසං කම්මං දුක්කරං දුරභිසම්භවං, න තං සක්කොමි මොචෙතුං ත්වම්පි ජානස්සු ඛත්තිය.
Sinhala BJT5953. (මහෞෂධ) මෙයින් මිදීමට මිනිසකු විසින් කළ හැකි දේ ඉක් මැ ගියේ ය. මෙය අභිභවනය කිරීමට නො හැක්ක. ඔබ මිදැවීමට නොහැක්කෙමි. මහරජ, (මෙයින් මිදීමට) ඔබ මැ මඟක් දනුව.
Pali BJT5954. සන්ති වෙහාසයා{7} නාගා ඉද්ධිමන්තො යසස්සිනො, තෙපි ආදාය ගච්ඡෙය්යුං යස්ස හොන්ති තථාවිධා.
Sinhala BJT5954. ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී හස්තීහු ඇත්තාහ. යමකුට එබඳු හස්තීහු වෙත් නම් ඔහු හෝ ගෙනැ යන්නා හ.
Pali BJT5955. සන්ති වෙහාසයා අස්සා ඉද්ධිමන්තො යසස්සිනො, තෙපි ආදාය ගච්ඡෙය්යුං යස්ස හොන්ති තථාවිධා.
Sinhala BJT5955. ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී අශ්වයෝ ඇත්තාහ. යමකුට එ බඳු අශ්වයෝ වෙත් නම් ඔහු හෝ රැගෙන යන්නාහ.
Pali BJT5956. සන්ති වෙහාසයා පක්ඛී ඉද්ධිමන්තො යසස්සිනො, තෙපි ආදාය ගච්ඡෙය්යුං යස්ස හොන්ති තථාවිධා.
Sinhala BJT5956. ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී පක්‍ෂීහු ඇත්තාහ. යමකුට එබඳු පක්‍ෂීහු වෙත් නම් ඔහු හෝ රැගෙන යන්නාහ.
Pali BJT5957. සන්ති වෙහාසයා යක්ඛා ඉද්ධිමන්තො යසස්සිනො, තෙපි ආදාය ගච්ඡෙය්යුං යස්ස හොන්ති තථාවිධා.
Sinhala BJT5957. ඍද්ධිමත් වූ යශස් ඇත්තා වූ ආකාශචාරී යක්‍ෂයෝ ඇත්තාහ. යමකුට එබඳු යක්‍ෂයෝ වෙත් නම් ඔහු හෝ රැගෙන යන්නාහ.
Pali BJT5958. අතීතං මානුසං{1} කම්මං දුක්කරං දුරභිසම්භවං, න තං සක්කොමි මොචෙතුං අන්තලික්ඛෙන ඛත්තිය.
Sinhala BJT5958. මහරජ, මිනිසුන් විසින් කළ හැකි කාර්‍ය්‍යයෝ ඉක්ම ගියහ. මෙම කාර්‍ය්‍යය දුෂ්කර ද අභිභවනය කිරීමට අපහසු ද වෙයි. අහසින් ගෙනැ ගොස් මිදැවීමට ද මම අපොහොසත්මි.
Pali BJT5959. අතීරදස්සී පුරිසො මහන්තෙ උදකණ්ණවෙ, යත්ථ සො ලභතෙ ගාධං{2} තත්ථ සො වින්දතෙ සුඛං.
Sinhala BJT5959. (සේනක) මහසයුරට වැටී තෙරක් නො දක්නා වූ පිහිටක් මිනිසෙක් යම් තැනක (දිවයිනක්) ලබන්නේ නම් එතැන අපමණ සුවයක් විඳින්නේ ය.
Pali BJT5960. එවං අම්භඤ්ච අඤ්ඤො ච ත්වං පතිට්ඨා මහොසධ, ත්වං නොසි මන්තිනං සෙට්ඨො අම්හෙ දුක්ඛා පමොචය.
Sinhala BJT5960. මහෞෂධ පණ්ඩිතය, එ නිසා අපට ද රජුට ද පිහිට තෙපිය. මන්ත්‍රීන් අතරැ තෙපි මැ ශ්‍රේෂ්ඨ වන්නහු ය. අප දුකින් මිදෙවුව මැන.
Pali BJT5961. අතීතං මානුසං කම්මං දුක්කරං දුරභිසම්භවං, න තං සක්කොමි මොචෙතුං ත්වම්පි ජානස්සු{3} සෙනක.
Sinhala BJT5961. මිනිසුන් විසින් කළ හැකි කාර්‍ය්‍යයෝ ඉක්ම ගියහ. මේ බිය දුෂ්කර වූවක් ද අභිභවනය කිරීමට අපහසු වූවක් ද වන්නේ ය. මෙයින් මුදන්නට මම නො පොහොසත්මි. සේනකය, තෙපි මැ මඟක් දනුව.
Pali BJT5962. සුණොහි මෙතං වචනං පස්සසෙතං මහබ්භයං, සෙනකංදානි පුච්ඡාමි කිං කිච්චං ඉධ මඤ්ඤසි.
Sinhala BJT5962. (වේදේහරජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් සේනකයන් විචාරමි. මෙහිලා තෝ කවරක් සිතන්නෙහි ද?
Pali BJT5963. අග්ගිං ද්වාරතො දෙම ගණ්හාමසෙ විකත්තනං,{4} අඤ්ඤමඤ්ඤං වධිත්වාන ඛිප්පං හෙස්සාම ජීවිතං. මා නො රාජා{5} බ්රහ්මදත්තො චිරං දුක්ඛෙන මාරයි.
Sinhala BJT5963. (සේනක) “බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නො මරාවා” යි දොර පටන් ගෙට ගිනි දල්වමු. ආයුධ ගනිමු. ඔවුනොවුන් වධ කොට ගෙනැ වහා දිවි අත් හරිමු.
Pali BJT5964. සුණොහි එතං වචනං පස්සසෙතං මහබ්භයං, පුක්කුසංදානි පුච්ඡාමි කිං කිච්චං ඉධ මඤ්ඤසි.
Sinhala BJT5964. (රජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් පුක්කුසයන් විචාරමි. මෙහි ලා තෝ කුමක් සිතන්නෙහි ද?
Pali BJT5965. විසං ඛාදිත්වා මීය්යාම ඛිප්පං හෙස්සාම ජීවිතං, මා නො රාජා බ්රහ්මදත්තො චිරං දුක්ඛෙන මාරයි.
Sinhala BJT5965. (පුක්කුස) බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නො මරාවා යි විස කා මියෙමු. වහා දිවි අත් හරිමු.
Pali BJT5966. සුණොහි එතං වචනං පස්සසෙතං මහබ්භයං, කාවින්දංදානි පුච්ඡාමි කිං කිච්චං ඉධ මඤ්ඤසි.
Sinhala BJT5966. (රජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් කාවින්‍දයන් විචාරමි. මෙහි ලා තෝ කුමක් සිතන්නෙහි ද?
Pali BJT5967. රජ්ජුයා බජ්ඣ මිය්යාම පපාතා පපතෙමසෙ, මා නො රාජා බ්රහ්මදත්තො චිරං දුක්ඛෙන මාරයි.
Sinhala BJT5967. (කාවින්‍ද) බ්‍රහ්මදත්ත රජ අපට බොහෝ කලක් දුක් දී නො මරාවා යි රැහැනෙන් බැඳී මියෙමු. ප්‍රපාතයට හෝ පනිමු.
Pali BJT5968. සුණොහි එතං වචනං පස්සසෙතං මහබ්භයං, දෙවින්දංදානි පුච්ඡාමි කිං කිච්චං ඉධ මඤ්ඤසි.
Sinhala BJT5968. (රජ) මගේ මේ වචනය අසව. මේ මහත් බිය බලව. දැන් දේවින්‍දයන් විචාරමි. මෙහිලා තෝ කුමක් සිතන්නෙහි ද?
Pali BJT5969. අග්ගිං ද්වාරතො දෙම ගණ්හාමසෙ විකත්තනං, අඤ්ඤමඤ්ඤං වධිත්වාන ඛිප්පං හෙස්සාම ජීවිතං. න නො සක්කොති මොචෙතුං සුඛෙනෙව මහොසධො.
Sinhala BJT5969. (දේවින්‍ද) දොර පටන් ගෙට ගිනි හෝ දල්වමු. ආයුධ ගෙනැ ඔවුනොවුන් වධ කොටැ වහා දිවි අත් හරිමු. මහොසධය අපට සුවසේ මිදීමට නම් නො හැක්කේ ය.
Pali BJT5970. යථා කදලිනො සාරං අන්වෙසං නාධිගච්ඡති, එවං අන්වෙසමානා නං පඤ්හං නාජ්ඣගමාමසෙ.
Sinhala BJT5970. (රජ වැලපෙහි) යම් සේ කෙසෙල් ගස්හි හරය සොයන්නේ ඒ නො ලබයි ද, එසේ ගැලවීමට උපායක් සොයන අපි ප්‍රශ්නයට පිළිතුරක් මොවුන්ගෙන් නො ලද්දෙමු.
Pali BJT5971. යථා සිම්බලිනො සාරං අන්වෙසං නාධිගච්ඡති, එවං අන්වෙසමානානං පඤ්හං නාජ්ඣගමාමසෙ.
Sinhala BJT5971. යම් සේ හිඹුල් ගස්හි හර සොයන්නේ ඒ නො ලබයි ද එසේ ගැලවීමට උපාය සොයන අපි ප්‍රශ්නයට පිළිතුරක් මොවුන්ගෙන් නො ලද්දෙමු.
Pali BJT5972. අදෙසෙ වත නො වුත්ථං{1} කුඤ්ජරානංව නොදකෙ, සකාසෙ දුම්මනුස්සානං බාලානමවිජානතං.
Sinhala BJT5972. දිය නැති මහවනය ඇතුනට සෙයින් අඥාන දුෂ්ට මනුෂ්‍යයන් සමීපයෙහි අපගේ වාසය ඒකාන්තයෙන් නො සුදුසු පෙදෙසකැ විසීමකි.
Pali BJT5973. උබ්බෙධතෙ{2} මෙ හදයං මුඛඤ්ච පරිසුස්සති, නිබ්බුතිං නාධිගච්ඡාමි අග්ගිදඩ්ඪොව ආතපෙ.
Sinhala BJT5973. මගේ හදවත වෙවුලයි. මුඛය ද වියැළෙයි. ගිනි වැදුනකු අවුවේ හෙලූ කලෙක සේ සැනැසීමක් නො ලබමි.
Pali BJT5974. කම්මාරානං යථා උක්කා අන්තො ඣායති නො බහි, එවම්පි හදයං මය්හං අන්තො ඣායති නො බහි.
Sinhala BJT5974. කඹුරන්ගේ උදුන යම් සේ ඇතුළ දවයි ද පිටත නො දවයි ද, එසේ මැ මාගේ හදවත ද ඇතුළ දැවේ. පිටත නො දැවේ.
Pali BJT5975. තතො සො පණ්ඩිතො ධීරො අත්ථදස්සී මහොසධො, වෙදෙහං දුක්ඛිතං දිස්වා ඉදං වචනමබ්රවි.
Sinhala BJT5975. ඉක්බිති මහාප්‍රාඥ වූ අර්‍ත්‍ථදර්ශී මහෞෂධ පණ්ඩිත තෙමේ දුකට පත් වේදේහරජු දැක මේ වචනය කීය.
Pali BJT5976. මා ත්වං භායි මහාරාජ මා ත්වං භායි රථෙසභ, අහං තං මොචයිස්සාමි රාහුගහිතංව{3} චන්දිමං.
Sinhala BJT5976. මහරජ බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. රාහු ගිලගත් චන්‍ද්‍රයා සේ මම ඔබ මුදවන්නෙමි.
Pali BJT5977. මා ත්වං භායි මහාරාජ මා ත්වං භායි රථෙසභ, අහං තං මොචයිස්සාමි රාහුගහිතංව සූරියං.
Sinhala BJT5977. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. රාහු ගිලගත් සූර්‍ය්‍යයා සේ මම ඔබ මුදවන්නෙමි.
Pali BJT5978. මා ත්වං භායි මහාරාජ මා ත්වං භායි රථෙසභ, අහං තං මොචයිස්සාමි පඞ්කෙ සත්තංව කුඤ්ජරං.
Sinhala BJT5978. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. මඩෙහි ගිලුණු ඇතකු සේ මම ඔබ මුදවන්නෙමි.
Pali BJT5979. මා ත්වං භායි මහාරාජ මා ත්වං භායි රථෙසභ, අහං තං මොචයිස්සාමි පෙළාබද්ධංව පන්නගං.
Sinhala BJT5979. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. පේළාවෙකැ බැඳුණු නාගයෙකු සේ මම ඔබ මුදවන්නෙමි.
Pali BJT5980. මා ත්වං භායි මහාරාජ මා ත්වං භායි රථෙසභ, අහං තං මොචයිස්සාමි පක්ඛිං බද්ධංව පඤ්ජරෙ.
Sinhala BJT5980. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. පඤ්ජරයෙහි බද්ධ පක්‍ෂියකු සේ මම ඔබ මුදවන්නෙමි.
Pali BJT5981. මා ත්වං භායි මහාරාජ මා ත්වං භායි රථෙසභ, අහං තං මොචයිස්සාමි මච්ඡෙ ජාලගතෙරිව.
Sinhala BJT5981. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. දැලට හසු වූ මසුන් සේ මම ඔබ මුදවන්නෙමි.
Pali BJT5982. මා ත්වං භායි මහාරාජ මා ත්වං භායි රථෙසභ, අහං තං මොචයිස්සාමි සයොග්ගබලවාහනං.
Sinhala BJT5982. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. බලවාහන සහිතවම මම ඔබ මුදවන්නෙමි.
Pali BJT5983. මා ත්වං භායි මහාරාජ මා ත්වං භායි රථෙසභ, පඤ්චාලං වාහයිස්සාමි කාකසෙනංව ලෙඩ්ඩුනා.
Sinhala BJT5983. මහරජ, බිය නො වනු මැන. රාජශ්‍රේෂ්ඨය, බිය නො වනු මැන. කැටෙකින් කපුටු රළක් සේ පඤ්චාල සේනාව පල වා හරින්නෙමි.
Pali BJT5984. දාදු පඤ්ඤා කිමත්ථියා අමච්චො වාපි තාදිසො, යො තං සම්බාධපක්ඛන්නං දුක්ඛා න පරිමොචයෙ.
Sinhala BJT5984. යම් ඇමැතියෙක් දුකට පත් රජු දුකින් නො මුදන්නේ නම් එ බඳු ඇමැතියා කුමටද? ඔහුගේ නුවණ කුමටද?
Pali BJT5985. එථ මාණවා උට්ඨෙථ මුඛං සොධෙථ සන්ධිනො, වෙදෙහො සහමච්චෙහි උම්මග්ගෙන{1} ගමිස්සති.
Sinhala BJT5985. මාණවකයෙනි, එව, නැඟිටිවු, උමං දොර විවර කරවු. ඇමැතියන් සමග වේදේහ රජ උමඟින් ගමන් කරන්නේ ය.
Pali BJT5986. තස්ස තං වචනං සුත්වා පණ්ඩිතස්සානුසාරිනො, උම්මග්ගද්වාරං විවරිංසු යන්තයුත්තෙ ච අග්ගළෙ.
Sinhala BJT5986. මහෞෂධ පණ්ඩිතයන්ගේ බස් ඇසූ අනුචර ජනයෝ උමන් දොර ද යතුරු යෙදූ දොර කවුළු ද විවර කළහ.
Pali BJT5987. පුරතො සෙනකො යාති පච්ඡතො ච මහොසධො, මජ්ඣෙ ච රාජා වෙදෙහො අමච්චපරිවාරිතො.
Sinhala BJT5987. සේනකයා ඉදිරියෙහි ද මහෞෂධ පණ්ඩිත තෙමේ පසු පස්හි ද ඇමැති ජනයා පිරිවරන ලද වේදේහ රජ මැද ද යෙත්.
Pali BJT5988. උම්මග්ගා{2} නික්ඛමිත්වාන වෙදෙහො නාවමාරුහි, අභිරූළ්හඤ්ච තං ඤත්වා අනුසාසි මහොසධො.
Sinhala BJT5988. උමඟින් නික්මුණු වේදේහ රජ නැවට නැංගේ ය. මහෞෂධ පණ්ඩිත තෙමේ නැවට නැඟි රජුට අනුශාසනා කළේ ය.
Pali BJT5989. අහං තෙ සාසුරො{3} දෙව අයං සස්සු ජනාධිප, යථා මාතු පටිපත්ති එවං තෙ හොතු සස්සුයා.
Sinhala BJT5989. දේවයන් වහන්ස, මේ ඔබේ මයිලණුවන්ගේ පුත් ය. මහරජ, මේ ඔබේ නැන්දණිය යි. යම්සේ මව කෙරෙහි පවත්නේ ද එසේ නැන්දණිය කෙරෙහි ද පවතුව.
Pali BJT5990. යථාපි නියකො භාතා සඋදරියො එකමාතුකො, එවං පඤ්චාලචණ්ඩො තෙ දයිතබ්බො රථෙසභ.
Sinhala BJT5990. මහරජ, යම්සේ එක මව කුසැ උපන් සොහොයුරා කෙරෙහි පවත්නේ ද එසේ මේ පඤ්චාලචණ්ඩ කුමරුට ද ආදර කළයුත්තේ ය.
Pali BJT5991. අයං පඤ්චාලචණ්ඩි තෙ රාජපුත්ති අභිජ්ඣිතා, කාමං කරොහි තෙ තාය භරියා තෙ රථෙසභ.
Sinhala BJT5991. මහරජ, මෝ තොප විසින් අතිශයින් රුචි කරනු ලබන පඤ්චාලචණ්ඩි රජකුමරිය යි. ඕ තොමෝ තොපගේ බිරිඳ යි. ඇය සමඟ කැමැති සේ පවතිනු මැනැවි.