Pali BJT5801. නායං පුරෙ උන්නමති තොරණග්ගෙ කකණ්ටකො, මහොසධ විජානාහි කෙන ථද්ධො කකණ්ටකො.
Sinhala BJT5801. මහෞෂධ පණ්ඩිතය, තොරණ අගැ වසන මේ කටුසු තෙමේ පෙරැ මෙසේ මාන ඇත්තේ නො වෙයි. කිනම් කරුණෙකින් කටුසු තෙමේ (මානයෙන්) තද වූයේ දැ යි දනුව.
Pali BJT5802. අලද්ධපුබ්බං ලද්ධාන අද්ධමාසං කකණ්ටකො, අතිමඤ්ඤති රාජානං වෙදෙහං මිථිලග්ගහං.
Sinhala BJT5802. පෙරැ නො ලද විරූ අඩ මස්සක් ලැබ මේ බොහොඬා විදේහයෙහි මිථීලාපුර අගරජු ඉක්මවා සිතයි.
Pali BJTකකණ්ටක පඤ්හො.
Sinhala BJTකකණ්ටක පැනය.
Pali BJT5803. ඉත්ථි සියා රූපවතී සා ච සීලවතී සියා පුරිසො තං න ඉච්ඡෙය්ය සද්දහාසි මහොසධ.
Sinhala BJT5803. යම් ස්ත්‍රියක් අතිශය රූප සම්පත් ඇත්තී ද ආචාර ශීලයෙන් යුක්ත වන්නී ද වෙයි. එබඳු ස්ත්‍රියක යම් පුරුෂයෙක් නො පතයි නම් මහෞෂධය, මෙය තෙපි හදහන්නහු ද?
Pali BJT5804. සද්දහාමි මහාරාජ පුරිසො දුබ්භගො{1} සියා, සිරී ච කාලකණ්ණි ච න සමොන්ති{2} කුදාචනං.
Sinhala BJT5804. මහරජ, මම එය හදහමි, පුරුෂයා භාග්‍ය නැත්තෙකි. ශ්‍රීකාන්තාවත් කාලකණ්ණියාත් කිසි කලෙකත් එක් නො වන්නාහ.
Pali BJTසිරිකාලකණ්ණි පඤ්හො.
Sinhala BJTසිරිකාලකණ්ණි පැනය.
Pali BJT5805. යෙසං න කදාචි භූතපුබ්බං සක්ඛිං සත්තපදම්පි ඉමස්මිං ලෙකෙ, ජාතා අමිත්තා දුවෙ සහායා පටිසන්ධාය චරන්ති කිස්ස හෙතු.
Sinhala BJT5805. මේ ලොවැ කිසි කලෙකත් සත් පියවරෙකුදු එක් වැ කළ ගමන් නැති පසමිතුරු දෙදෙනෙක් පෙරැ නො වූ විරූ ලෙසින් එක් වැ හැසිරෙත් නම් ඊට හේතු කවරේ ද?
Pali BJT5806. යදි මෙ අජ්ජ පාතරාසකාලෙ පඤ්හං න සක්කුණෙය්යාථ{3} වත්තුමෙතං, රට්ඨා පබ්බාජයිස්සාමි{4} වො සබ්බෙ න හි මත්ථො දුප්පඤ්ඤජාතිකෙහි.
Sinhala BJT5806. ඉදින්, අද පෙරබත් කාලයෙහි මේ පැනයට පිළිතුරු සපයන්නට අසමත් වන්නහු නම් තොප සියලු දෙන ම රටින් නෙරපන්නෙමි. නුවණ නැත්තන්ගෙන් මට ප්‍රයෝජනයක් නැත්තේ ය.
Pali BJT5807. මහාජනසමාගමම්භි ඝොරෙ ජනකොලහලසමාගමම්භි ජාතෙ, වික්ඛිත්තමනා අනෙකචිත්තා පඤ්හං න සක්කුණොම වත්තුමෙතං.
Sinhala BJT5807. මහාජනයා රැස් වූ කල්හි මහත් වූ ජන කෝලාහල ඇති කලැ විසිරුණු සිත් ඇත්තමෝ නොයෙක් සිතිවිලි ඇත්තමෝ මේ පැනයට පිළිතුරු සපයන්නට නො පොහොසතුම්හ.
Pali BJT5808. එකග්ගචිත්තා එකමෙකා රහසීගතා අත්ථං නිචින්තයිත්වා,{1} පවිවෙකෙ සම්මසිත්වාන ධීරා අථ වක්ඛන්ති ජනින්ද අත්ථමෙතං.
Sinhala BJT5808. මහරජ, පණ්ඩිතයෝ ඒකාග්‍ර වූ චිත්තයෙන් යුක්ත වැ එකිනෙකා රහෝගත වැ විවේකයෙහි සිටියාහු අරුත් සලකා නිශ්චය කොට කියන්නට සමත් වන්නාහ.
Pali BJT5809. උග්ගපුත්තරාජපුත්තියාන උරබ්භමංසං පියං මනාපං, න තෙ සුනඛස්ස අදෙන්ති මංසං අථ මෙණ්ඩස්ස සුණෙන සබ්යමස්ස.
Sinhala BJT5809. (සේනක) රජ ඇමති පුතුනට එළුමස ප්‍රිය මනාප වෙයි. ඔහු ශුනක මස් නො බුදිත්. එතෙකුදුවත් එළුවාගේත් ශුනඛයාගේත් මිත්‍රභාවය වන්නේය.
Pali BJT5810. චම්මං විහනන්ති එළකස්ස අස්සපිට්ඨත්ථරණසුඛස්ස හෙතු, න තෙ සුනඛස්ස අත්ථරත්ති අථ මෙණ්ඩස්ස සුණෙන සබ්යමස්ස.
Sinhala BJT5810. (පුක්කුස) අසු පිටැ ඇතිරීමෙහි සුවය සලකා එළුවාගේ සම නහන්නාහ. බලු සම එසේ නො අතුරත්. එකලැ ශුනකයාගේ හා එළුවාගේ මිත්‍රභාවය වන්නේ ය.
Pali BJT5811. ආවෙල්ලිතසිඞ්ගිකො හි මෙණ්ඩො න සුනඛස්ස විසාණානි අත්ථි, තිණභක්ඛො මංසභොජනො ච අථ මෙණ්ඩස්ස සුණෙන සබ්යමස්ස.
Sinhala BJT5811. (කාවින්‍ද) එළුවා ඇඹරීගිය අං ඇත්තෙකි. ශුනකයාට විපාණයෝ නැත්තාහ. එළුවා තණ කන්නේ ය. බල්ලා මස් බුදින්නේ ය. එතෙකුදුවත් එළුවාගේත් බල්ලාගේත් මිත්‍රභාවය වන්නේ ය.
Pali BJT5812. තිණමාසි පාලසමාසි මෙණ්ඩො න සුනඛො තිණමාසි නො පලාසං, ගණ්හෙය්ය සුණො සසං බිළාරං අථ මෙණ්ඩස්ස සුණෙන සබ්යමස්ස.
Sinhala BJT5812. (දේවින්‍ද) එළුවා තණ හා කොළ කන්නේ ය. බල්ලා තණ හා කොළ නො කන්නේ ය. බල්ලා සාවුන් බළලුන් කයි. එතෙකුදුවත් එළුවාගේත් බල්ලාගේත් මිත්‍රභාවය වන්නේය.
Pali BJT5813. අඩ්ඪට්ඨපාදො{2} චතුප්පදස්ස මෙණ්ඩො අට්ඨනඛො අදිස්සමානො, ඡාදියං ආහරති අයං ඉමස්ස මංසං ආහරති අයං අමුස්ස.
Sinhala BJT5813. (මහෞෂධ) අඩඅටපා හෙවත් සිවුපා ඇති අට කුරින් යුත් එළුවා මස් ගෙනෙන වේලෙහි නො පෙනී සිට බල්ලාට මස් ගෙනෙයි. බල්ලා එළුවාට තණ ගෙනෙ යි.
Pali BJT5814. පාසාදගතො විදෙහසෙට්ඨො වීතිහාරං අඤ්ඤමඤ්ඤභොජනානං, අද්දක්ඛි කිර සක්ඛි තං ජනින්දො භොභුක්කස්ස{3} ච පුණ්ණමුඛස්ස චෙතං.
Sinhala BJT5814. ප්‍රාසාදයෙහි මතුමහලැ සිටි වේදේහරජ ඔවුනොවුන්ගේ අහර හුවමාරුව දුටුයේ වන, නරේන්‍ද්‍ර තෙමේ බල්ලාගේත් එළුවාගේත් මිත්‍රභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දිටී.
Pali BJT5815. ලාභා වත මෙ අනප්පරූපා යස්ස මෙ එදිසා පණ්ඩිතා කුලම්භි, ගම්භීරගතං{1} නිපුණමත්ථං පටිවිජ්ඣන්ති සුභාසිතෙන ධීරා.
Sinhala BJT5815. (වේදේහ රජ) නුවණැත්තෝ ගැඹුරු බවට ගිය සියුම් අරුත් දැනැ සුභාෂිතයෙන් පවසත් ද. මෙබඳු පඬිවරයෝ යම්බඳු වූ මාගේ කුලයෙහි වෙසෙත් ද මට ඒකාන්තයෙන් වූයේ මහත් ලාභයෙකි.
Pali BJT5816. අස්සතරීරථඤ්ච එකමෙකං ඵීතං ගාමවරඤ්ච එකමෙකං, සබ්බං වො දම්මි පණ්ඩිතානං පරමප්පතීතමනො සුභාසිතෙනාති.
Sinhala BJT5816. සුභාෂිතයෙන් ඉතා සතුටු වූයෙම් පණ්ඩිතයන් වූ තොපට වෙළඹුන් යෙදූ රියක් ද සශ්‍රීක වූ ග්‍රාමයක් ද බැගින් දෙමි.
Pali BJT(ද්වාදසනිපාතෙ) මෙණ්ඩකපඤ්හං.
Sinhala BJT(ද්වාදශ නිපාතයෙහි) මෙණ්ඩක ප්‍රශ්නය යි.
Pali BJT5817. පඤ්ඤායුපෙතං සිරියා විහීනං යසස්සිනඤ්චාපි අපෙතපඤ්ඤං, පුච්ඡාමි තං සෙනක එතමත්ථං කමෙත්ථ සෙය්යො කුසලා වදන්ති.
Sinhala BJT5817. සේනකය, “ප්‍රඥාවෙන් යුක්ත සම්පත්තියෙන් තොර වූයේ ද සම්පත්තියෙන් යුක්ත ප්‍රඥාවෙන් තොර වූයේ ද යන මොවුන් දෙදෙනා අතුරෙන් නුවණැත්තෝ කවරකු උතුම් කොට සලකන්නාහු දැ” යි මෙහි අරුත් පුළුවුස්මි.
Pali BJT5818. ධීරා ච බාලා ච භත්ව ජනින්ද සිප්පූපපන්නා ච අසිප්පිනො ච, සුජාතිමන්තොපි අජාතිමස්ස යසස්සිනො පෙස්සකරා භවන්ති: එතම්පි දිස්වාන අහං වදාමි පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT5818. (සේනක) මහරජ, නුවණ ඇත්තෝ ද නුවණ නැත්තෝ ද සිප් හැදෑරුවෝ ද නො හැදෑරුවෝ ද සුජාතිමත්හු ද හීනජාති ඇති සම්පත් ඇත්තාගේ මෙහෙකරුවෝ වෙත්. මේ කරුණ දැක මම නුවණැත්තේ හීනය යි ද සම්පත්තියෙන් යුක්ත වූයේ ම උතුම් යයි ද කියමි.
Pali BJT5819. තවම්පි පුච්ඡාමි අනොමපඤ්ඤ මහොසධ කෙවලධම්මදස්සි, බාලං යසස්සිං පණ්ඩිතං අප්පභොගං කමෙත්ථ සෙය්යො කුසලා වදන්ති.
Sinhala BJT5819. මහාප්‍රාඥ වූ සියලු ධර්‍ම දක්නා වූ මහෞෂධය, තොප පිළිවිසිමි. අඥාන වූ එහෙත් සම්පත් ඇත්තා වූ ද ප්‍රඥාවෙන් යුක්ත වූ එහෙත් අල්පභෝග ඇත්තා වූ ද දෙදෙන අතුරෙන් කවරෙක් වඩා උතුමැ යි නුවණැත්තෝ කියත් ද?
Pali BJT5820. පාපානි කම්මානි කරොති බාලො ඉධමෙව සෙය්යො ඉති මඤ්ඤමානො, ඉධලොකදස්සි පරලොකං අදස්සී උභයත්ථ බාලො කලිමග්ගහෙසි; එතම්පි දිස්වාන අහං වදාමි පඤ්ඤොව සෙය්යො න යසස්සී බාලො.
Sinhala BJT5820. (මහෞෂධ) මෙලෝ සම්පත් මැ උතුමැ යි සලකන බාලයා පව්කම් කරයි. මෙලොව දක්නා වූ පරලොව නො දක්නා වූ අඥානයා දෙලොවින් මැ පැරැදෙයි. මේ කාරණය දැකැ නුවණැත්තේ ශ්‍රේෂ්ඨ යැයි ද යශසින් යුක්ත වූ ඥානයෙන් හීන වූයේ ශ්‍රේෂ්ඨ නො වේ යැ යි ද මම කියමි.
Pali BJT5821. න සිප්පමෙතං විදධාති භොගං න බන්ධවා න සරීරාවකාසො පස්සෙළමූගං සුඛමෙධමානං, සිරී හි නං භජතෙ ගොරිමනදං එතම්පි දිස්වාන අහං වදාමි පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT5821. (සේනක) මේ සිප්සතර භෝගයන් නො එළවයි. (එයින්) ඥාතීහු ද නො වෙත්. ශරීරාවකාශයෙක් ද නො වේ. කෙළතොලු වැ සුව විඳිනා ගෝරිමන්‍ද සිටාණන් බැලුව මැනැව. ශ්‍රී තොමෝ ඔහු සේවනය කරයි. මේ දැකැ නුවණැත්තේ ශ්‍රේෂ්ඨ නො වේ. අඥාන වූ සම්පත් ඇත්තා මැ උතුමැ යි කියමි.
Pali BJT5822. ලද්ධා සුඛං මජ්ජති අප්පපඤ්ඤො දුක්ඛෙන ඵුට්ඨොපි පමොහමෙති ආගන්තුනා සුඛදුක්ඛෙන ඵුට්ඨො පවෙධති වාරිචරොව ඝම්මෙ එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤෙව සෙය්යො න යසස්සී බාලො.
Sinhala BJT5822. (මහෞෂධ) අල්ප ප්‍රාඥයා ඉසුරු සුවය ලැබ එහි ඇලේ. දුඃඛ ස්පර්‍ශයෙන් අතිශය මුළාවට පැමිණේ. ආගන්තුක සුව දුකින් පහස්නා ලද්දේ අව්වෙහි ලූ මසකු සෙයින් සැලේ. මම මේ කරුණ දැක නුවණැත්තේ ම උතුම් වේ. ඉසුරුමත් බාලයා උතුම් නො වේ ය යි කියමි.
Pali BJT5823. දූමං යථා සාදුඵලං{1} අරඤ්ඤෙ සමන්තතො සමභිචරන්ති පක්ඛී, එවම්පි අඩ්ඪං සධනං සභොගං බහුජ්ජනො භජති අත්ථහෙතු; එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT5823. (සේනක) වනයෙහි මිහිරි ඵලයන්ගෙන් යුක්ත වූ වෘක්‍ෂය හාත්පසැ යම්සේ පක්‍ෂීහු හැසිරෙත් ද එසේ මැ ආඪ්‍ය වූ ධනයෙන් හා භෝගයෙන් යුක්ත පුද්ගලයා ද ධනය නිසා බොහෝ දෙන සේවනය කරති. මේ කරුණ දැකැ මම ප්‍රඥා ඇත්තේ හීන ය. යශස් ඇත්තේ මැ උතුමැ යි කියමි.
Pali BJT5824. න සාධු බලවා බාලො සාහසං වින්දතෙ ධනං, කන්දන්තමෙව{2} දුම්මෙධං කඩ්ඪන්ති නිරයෙ භුසං. එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤොව සෙය්යො න යසස්සී බාලො.
Sinhala BJT5824. (මහෞෂධ) බලවත් වූ බාලයා යහපත් නො වේ. හේ සැහැසිකමින් ධනය ලබයි. වලප්නා වූ මැ ඒ මෝඩයා (නිරය පාලයෝ) මහානිරයට පමුණුවත්. මම මේ කරුණ දැකැ නුවණැත්තේ මැ උතුම් වෙයි. ඉසුරුමත් බාලයා උතුම් නො වේ ය යි කියමි.
Pali BJT5825. යා කාචි නජ්ජො ගඞ්ගමභිස්සවන්ති සබ්බාව තා නාමගොත්තං ජහන්ති ගඞ්ගා සමුද්දං පටිපජ්ජමානා න ඛායතෙ ඉද්ධිපරො{3} හි ලොකො එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤෙව නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT5825. (සේනක) යම් කිසි කුඩා නදීහු මහගඟ කරා ගලා බසිද් ද ඒ සියල්ලෝ පෙරැ නම් ගොත් හැරැ දමත්. (ගඟ යන වහරටම යෙති ) ගඟ මුහුදට වදනා කල ද පෙර නම නො පැනෙයි, (මුහුද යන නම ලබයි). ඒකාන්තයෙන් ලෝ වැස්සෝ සම්පත්තිය මැ පිහිට කොට ඇත්තාහ. මම මේ කරුණ දැකැ නුවණැත්තේ නිහීන ය. සම්පත් ඇත්තේ මැ උතුමැයි කියමි.
Pali BJT5826. යමෙතමක්ඛා උදධිං මහන්තං සවන්ති නජ්ජො සබ්බකාලං අසඞ්ඛං{4} සො සාගරො නිච්චමුළාරවෙගො වෙලං න අච්චෙති මහාසමුද්දො.
Sinhala BJT5826-5827. (මහෞෂධ) තෙපි යම් මේ මහාසාගරයක් ගැන කීහු ද එයට අප්‍රමාණ කාලයක් මුළුල්ලේ නදීහු ගලා බසිත්. ඒ සාගරය නිරතුරු මහත් වූ රළවේග ඇත්තේ ය. එහෙත් මහ සයුර වෙරළ නො ඉක්මව යි. එබැවින් බාලයාගේ කථාවෝ ප්‍රාඥයා නො ඉක්මවති. කිසි කලෙකත් සම්පත්තිය ප්‍රඥාව ඉක්මවා නො යයි. මම මේ කරුණ දැකැ ප්‍රාඥයා මැ උතුම් වෙයි. ඉසුරුමත් බාලයා උතුම් නො වේ ය යි කියමි.
Pali BJT5827. එවම්පි බාලස්ස පජප්පිතානි පඤ්ඤං න අච්චෙති සිරී කදාචි එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤොව සෙය්යො න යසස්සී බාලො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5828. අසඤ්ඤතො චෙපි පරෙසමත්ථං භණාති සන්ථානගතො{5} යසස්සි තස්සෙව තං රූහති ඤාතිමජ්ඣෙ සිරි හි නං කාරයතෙ න පඤ්ඤා, එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT5828. (සේනක) කායාදීන්හි සංයමයක් නැත්තේ ද ඉසුරුමත් තැනැත්තේ අධිකරණයෙහි සිටියේ මෙරමාගේ අර්‍ත්‍ථය ප්‍රකාශ කෙරෙයි, (ඒ විනිශ්චය මණ්ඩලයෙන්) ඥාතිමධ්‍යයෙහි ඔහුගේ මැ වචනය පිළිගැනෙයි. එය සම්පත්තිය මැ කරවයි. ප්‍රඥාව නො වේ. මම මේ කරුණ දැකැ නුවණැත්තේ හීන ය. යශස් ඇත්තේ මැ උතුම් වන්නේ ය යි කියමි.
Pali BJT5829. පරස්ස වා අත්තනො වාපි හෙතු බාලො මුසා භාසති අප්පපඤ්ඤො සො නින්දිතො හොති සභාය මජ්ඣෙ පෙච්චාපි{1} සො දුග්ගතිගාමි හොති. එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤෙව සෙය්යො න යසස්සී බාලො.
Sinhala BJT5829. (මහෞෂධ) මන්‍දප්‍රාඥ බාලයා තමා හෝ මෙරමා හෝ උදෙසා මුසවා කියයි. සබා මැදැ නින්‍දා ලබන හේ පරලොවැ දුගතිගාමී වෙයි. මම මේ කරුණ දැකැ නුවණැත්තේ මැ උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.
Pali BJT5830. අත්ථම්පි චෙ භාසති භූරිපඤ්ඤො අනාළ්හියො{2} අප්පධනො දළිද්දො න තස්ස තං රූති ඤාතිමජ්ඣෙ සිරී ච පඤ්ඤාණවතො න හොති, එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT5830. (සේනක) සහල් නැළියක් පමණකුදු නැති නිර්ධන දිළිඳු මහනුවණැත්තේ ඉදින් යම් අර්‍ත්‍ථයක් කියන්නවුන් ඔහුගේ ඒ වචනය නෑයන් මැද නො නැඟෙන්නේ ය. ශ්‍රිය ද නුවණැත්තාට නො වේ. මම මේ කරුණ දැකැ නුවණැත්තේ නිහීන ය. ඉසුරුමත් තැනැත්තේ මැ උතුම් වන්නේ ය යි කියමි.
Pali BJT5831. පරස්ස වා අත්තනො වාපි හෙතු න භාසති අලිකං භූරිපඤ්ඤො සො පූජිතො හොති සහාය මජ්ඣෙ පෙච්චඤ්ච{3} සො සුග්ගතිගාමි හොති එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤොව සෙය්යො න යසස්සී බාලො.
Sinhala BJT5831. (මහෞෂධ) තමාගේ හෝ මෙරමාගේ හෝ ප්‍රයෝජනය උදෙසා නුවණැත්තේ බොරු නො කියයි. හේ සභාමධ්‍යයෙහි පූජිත වෙයි. පරලොවැ ද සුගතිගාමී වෙයි. මම මේ කරුණ දැකැ නුවණැත්තේ මැ උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.
Pali BJT5832. හත්ථිගවස්සා මණිකුණ්ඩලා ච නාරියො ච{4} ඉද්ධෙසු කුලෙසු ජාතා සබ්බාව තා උපභොගා භවන්ති; ඉද්ධස්ස පොසස්ස අනිද්ධිමන්තො එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤෙව සෙය්යො න යසස්සී බාලො.
Sinhala BJT5832. (සේනක) හස්තිගවාශ්වයෝ ද මාණික්‍ය කුණ්ඩලාභරණයෝ ද සමෘද්ධිමත් කුලයන්හි කාන්තාවෝ ද ඉසුරුමත් නොවූ සියල්ලෝ ද ඉසුරුමත් තැනැත්තාට ම උපභෝග පිණිස පවත්නාහ. (නිර්ධන නුවණැත්තා පිණිස නො පවතිත්.) මම මේ කරුණ දැකැ ප්‍රාඥයා නිහීන ය. ඉසුරුමත් තැනැත්තේ මැ උතුම් වන්නේ යයි කියමි.
Pali BJT5833. අසංවිහිතකම්මන්තං බාලං දුම්මන්ත{5}මන්තිනං, සිරී ජහති දුම්මෙධං ජිණ්ණංව උරගො තචං, එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤොව සෙය්යො න යසස්සී බාලො.
Sinhala BJT5833. (මහෞෂධ) අසංවිහිත කර්‍මාන්ත ඇති දුෂ්ටමන්ත්‍රණයෙන් යුත් මන්ත්‍රීන් ඇති දුෂ්ප්‍රාඥ බාලයා උරගයකු දිරුණු සැව හරනා සේ ශ්‍රී තොමෝ අත් හරින්නී ය. මම මේ කරුණ දැකැ නුවණැත්තේ ම උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.
Pali BJT5834. පඤ්ච පණ්ඩිතා මයං භදන්තෙ සබ්බෙ පඤ්ජලිකා උපට්ඨිතා ත්වං නො අභිභුය්ය ඉස්සරොසි{6} සක්කො භූතපතීව දෙවරාජා එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤො නිහීනො සිරිමාව සෙය්යො.
Sinhala BJT5834. (සේනක) ස්වාමීනි, පණ්ඩිත වූ අපි පස් දෙන සියල්ලෝ ම බදැඳිලි වැ ඔබ වෙතැ එළැඹියෙමු. භූතයන්ට අධිපති වූ ශක්‍රදිව්‍යරාජයා සේ ඔබ අප මැඬැ ඉසුරුමත් වැ සිටින්නහු ය. මේ කරුණ දැකැ මම ප්‍රාඥයා හීන ය. ඉසුරුමත් තැනැත්තේ මැ උතුම් වන්නේ ය යි කියමි.
Pali BJT5835. දාසොව පඤ්ඤස්ස යසස්සි බාලො අත්ථෙසු ජාතෙසු තථාවිධෙසු, යං පණ්ඩිතො නිපුණං සංචිධෙති සම්මොහමාපජ්ජති තත්ථ බලො එතම්පි දිස්වාන අහං වදාමි. පඤ්ඤොව සෙය්යො න යසස්සි බාලො.
Sinhala BJT5835. (මහෞෂධ) නුවණ ඇත්තන් විසින් කළයුතු යමක් උපන් කලැ ඉසුරුමත් බාල තෙමේ නුවණැත්තාගේ ගැත්තකු සේ වෙයි. නුවණැත්තේ දක්‍ෂ ලෙසින් යමක් සංවිධානය කෙරේ ද එහි ලා මුග්ධයා මහත් සේ මුළාවට පැමිණෙයි. මම මේ කරුණ දැකැ නුවණ ඇත්තේ මැ උතුම් වන්නේ ය. ඉසුරුමත් බාලයා උතුම් නො වන්නේ ය යි කියමි.
Pali BJT5836. අද්ධා හි පඤ්ඤාව සතං පසත්ථා කන්තා සිරී භොගරතා මනුස්සා, ඤාණඤ්ච බුද්ධානමතුල්යරූපං පඤ්ඤං න අච්චෙති සිරී කදාචි.
Sinhala BJT5836. ඒකාන්තයෙන් සත්පුරුෂයන් විසින් නුවණ මැ පසස්නා ලද්දේ ය. සම්පත්හි අන්‍ධබාල මනුෂ්‍යයෝ ඇලුණාහු වෙති. එහෙයින් ශ්‍රී තොමෝ ඔවුන් කැමැති වෙයි. බුද්ධිමතුන්ගේ ඥානය අසමාන වන්නේ ය. ශ්‍රී තොමෝ කවර කලෙකත් ප්‍රඥා ඇත්තහු ඉක්ම නො යයි.
Pali BJT5837. යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො මහොසධ කෙවලධම්මදස්සී ගවං සහස්සං උසභඤ්ච නාගං; ආජඤ්ඤයුත්තෙ ච රථෙ දස ඉමෙ පඤ්හස්ස වෙය්යාකරණෙන තුට්ඨො දදාමි තෙ ගාමවරානි සොළස.
Sinhala BJT5837. (වේදේහ රජ) නිවැරැදි සේ ධර්‍මය දක්නා වූ මහෞෂධ පණ්ඩිතය, අපි යමක් විචාළමෝ නම් ඒ අපට කීවහු ය. ප්‍රශ්න විසැඳීම පිළිබඳ තුටු වූ මම ගවයන් දහසක් ද හස්තිරාජයකු ද ආජානේය සෛන්‍ධවයන් යෙදූ මේ රිය දසය ද ගම්වර සොළසක් ද තොපට දෙමි.
Pali BJTවීසතිනිපාතෙ සිරිමන්ද පඤ්හො.
Sinhala BJTවිංශති නිපාතයෙහි සිරිමන්‍ද ප්‍රශ්නය යි.
Pali BJT5838. යෙන සත්තුබිලඞ්ගා ච ද්වීගුණපලාසො ච පුප්ඵිතො, යෙනාදාමි තෙන වදාමි, යෙන නාදාමි න තෙන වදාමි, එස මග්ගො යවමජ්ඣකස්ස එතං ඡන්නපථං විජානහි.
Sinhala BJT5838. යම් තැනෙක අත්සුණු සල්පිලක් ඇද්ද ඉන් ඔබ්බෙහි කැඳ සල්පිලක් ඇද්ද ඉනුත් ඔබැ සුපිපි කොබෝලීල ගසෙක් ඇත්තේ ය. එතැන් සිට යම් අතෙකින් අනුභව කරම් ද ඒ අතැ මඟ යන්නට කියමි. යම් අතෙකින් අනුභව නො කරම් ද එ මඟැ යන්නට නො කියමි. මේ යවමැදුම්ගමැ අප ගෙට මඟ ය. මේ සැඟැවුණු මඟ දැනගන්නෙහි ය.
Pali BJTඡන්නපථපඤ්හො
Sinhala BJTඡන්නපථ ප්‍රශ්නය යි.
Pali BJT5839. හන්ති හත්ථෙහි පාදෙහි මුඛඤ්ච පරිසුම්භති, සචෙ රාජ පියො හොති කං තෙනමභිපස්සති.{1}
Sinhala BJT5839. යමෙක් අත් පා වලින් ද ගසයි මුහුණට ද අනියි, එහෙත් මෙසේ කරන්නා වූ හේ ප්‍රියයෙක් ද වන්නේ ය. මහරජ, මෙයින් කවරකු දක්නෙහි ද?
Pali BJT5840. කො නු සන්තම්හි පජ්ජොතෙ අග්ගිපරියෙසනං චරං, අද්දක්ඛි රත්තිං ඛජ්ජොත ජාතවෙදං අමඤ්ඤථ.
Sinhala BJT5840. කවරෙක් නම් ඇවිළැගත් ගිනි ඇති කල්හි ගිනි සොයමින් ඇවිදින්නේ රැයෙහි කණ මැදිරියකු දැකැ ගිනි ය යි සිතා ද.
Pali BJT5841. ස්වාස්ස ගොමයචුණ්ණානි අභිමත්ථං තිණානි ච, විපරීතාය සඤ්ඤාය නාසක්ඛි සඤජලෙතවෙ.{2}
Sinhala BJT5841. හෙතෙම වැරැදි හැඟීමෙන් ඒ කණමැදිරියා මතැ ගොම වැරැටි හා තණකොළ රැස් කොට පිඹින්නේ නමුදු ගිනි දල්වන්නට අසමත් වන්නේ ද?
Pali BJT5842. එවම්පි අනුපායෙන අත්ථං න ලභතෙ මගො,{3} විසාණතො ගවං දොහං යත්ථ ඛීරං න වින්දති.
Sinhala BJT5842. එසෙයින් අඥානයා අනුපායයෙන් අර්‍ත්‍ථය නො ලබන්නේ ය. ගවඅඟින් කිරි දොවන්නේ කිරි නො ලබන්නාක් මෙනි.
Pali BJT5843. විවිධෙහි උපායෙහි අත්ථං පප්පොන්ති මාණවා, නිග්ගහෙන අමිත්තානං මිත්තානං පග්ගහෙන ච.
Sinhala BJT5843. මනුෂ්‍යයෝ අමිත්‍රයනට නිග්‍රහයෙන් ද මිත්‍රයනට සංග්‍රහයෙන් ද විවිධොපක්‍රමයන්ගෙන් අර්‍ත්‍ථ සිද්ධියට පැමිණෙත්.
Pali BJT5844. සෙණිමොක්ඛොපලාභෙන{1} වල්ලභානං නයෙන ච, ජගතිං ජගතීපාලා අවසන්ති වසුන්ධරං.
Sinhala BJT5844. සේනා ප්‍රධානීන්ගේ සිත් ගැනීමෙන් ද හිතවතුන්ගේ උපක්‍රමයෙන් ද පෘථිවි පාලකයෝ මුළු පොළොව තමන් සතුකර ගනිත්.
Pali BJTඛජ්ජොපණක පඤ්හො.
Sinhala BJTඛජ්ජොපණක ප්‍රශ්නය යි.
Pali BJT5845. සච්ච කිර ත්වම්පි භූරිපඤ්ඤො{2} යා තාදිසී සිරි ධිතී මුතී ච, න තායතෙ භාවවසූපනීතං යො යාවකං භුඤ්ජසි{3} අප්පසූපං.
Sinhala BJT5845. (ඇමැති) සේනකයන් කීවේ සැබෑවක් මැ ය. මහත් වූ නුවණැති ඔබ මඳ ව්‍යඤ්ජනයෙන් යුක්ත යවබත අනුභව කරන්නාහු ය. ශ්‍රී තොමෝ එසේම යැ, (ශ්‍රේෂ්ඨ වන්නී ය.) තොපගේ ධෛර්‍ය්‍යයත් ස්මෘතියත් පරිහානියට පත් තොප නො රක්නේ ය.
Pali BJT5846. සුඛං දුක්ඛෙන පරිපාචයන්තො කාලකාලං{4} විචිනං ඡන්දඡන්නො,{5} අත්ථස්ස ද්වාරානි අවාපුරන්තො තෙනාහං තුස්සාමි යවොදනෙන.
Sinhala BJT5846. සැපත දුකින් මුහුකුරුවන්නා වූ කල් නොකල් විමසා අභිප්‍රාය සඟවන්නා වූ තැනැත්තා අර්‍ත්‍ථයේ ද්වාරයන් විවෘත කරන්නේ ය. එනිසා මම යවබතින් තුස්නෙමි.
Pali BJT5847. කාලඤ්ච ඤත්වා අභිජීහනාය මන්තෙහි අත්ථං පරිපාචයිත්වා, විජම්භිස්සං{6} සීහවිජම්හිතානි තායිද්ධියා දක්ඛසි මං පුනාපි.
Sinhala BJT5847. (මහෞෂධ) වීර්‍ය්‍යය කිරීමට සුදුසු කල් දැනැ නුවණින් අර්‍ත්‍ථය මුහුකුරුවා සිංහ විජෘම්භණයෙන් විජෘම්භණය කරන්නෙමි. ඒ සමෘද්ධියෙන් යුක්ත වූ මා නැවැත දක්නෙහි ය.
Pali BJT5848. සුඛී හි එකෙ{7} කරොන්ති පාපං අවණ්ණසංසග්ගභයා පුනෙකෙ, පහූ සමානො විපුලත්ථිචින්ති කිං කාරණා මෙ න කරොසි දුක්ඛං.
Sinhala BJT5848.(වේදේහරජ) සැපයට පත්වූ අසමත් ඇතැම්හු පාපයන් නො කරත්. නුවණමඳ ඇතැම්හු පරෝපවාද බියෙන් පව් නො කරත්. අතිශයින් දක්‍ෂ වූ විපුලාර්‍ත්‍ථ චින්තී වූ තෙපි කවර හෙයින් මට දුක් ඇති නො කරන්නහු ද?
Pali BJT5849. න පණ්ඩිතා අන්තසුඛස්ස හෙතු පාපානි කම්මානි සමාචරන්ති, දුක්ඛෙන පුට්ඨා ඛලිතත්තාපි{8} සන්තා ඡන්දා ච දොසා න ජහන්ති ධම්මං.
Sinhala BJT5849. (මහෞෂධ) ආත්ම සුඛ හේතුයෙන් නැණවත්හු පාපයන් නො කරත්. සාධුජනයෝ දුකින් පෙළුණෝ ද සැපතින් පිරිහුණෝ ද ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ ධර්‍මය අත් නො හරිත්.
Pali BJT5850. යෙන කෙනචි වණ්ණෙන මුදුනා දාරුනෙන වා, උද්ධරෙ දීනමත්තානං පච්ඡා ධම්මං සමාචරෙ.
Sinhala BJT5850. (වේදේහරජ) මෘදු වූ හෝ දරුණු වූ හෝ යම් උපක්‍රමයෙකින් දීන වූ තමා නඟා සිටුවන්නේ ය. පසු වැ ධර්‍මයෙහි හැසිරෙන්නේ ය.
Pali BJT5851. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්ය සයෙය්ය වා, න තස්ස සාඛං භඤ්ජෙය්ය මිත්තදුබ්භො හි පාපකො.
Sinhala BJT5851. (මහෞෂධ) යම් රුකෙක සෙවණැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ ද එම ගසැ අත්තක් හෝ නො බිඳින්නේ ය. (බිඳින්නේ නම්) හේ මිත්‍රද්‍රෝහී පවිටෙක් වන්නේ ය.
Pali BJT5852. යස්සා{1} හි ධම්මං මනුජො විජඤ්ඤා යෙචස්ස කඞ්ඛං විනයන්ති සන්තො, තං හිස්ස දීපඤ්ච පරායණඤ්ච න තෙන මිත්තං ජරයෙථ{2} පඤ්ඤො.
Sinhala BJT5852. යම් කෙනකුන් වෙතින් පුරුෂ තෙමේ ධර්‍මය දැනගන්නේ ද යම් සත්පුරුෂ කෙනෙක් ඔහුගේ සැක දුරු කෙරෙත් ද ඒකාන්තයෙන් හේ ඔහුට පිහිට ද සරණ ද වන්නේ ය. නුවණැත්තේ ඔහු සමඟ පවත්නා මිත්‍රභාවය නො නසන්නේ ය.
Pali BJT5853. අලසො ගිහී කාමභොගී න සාධු අසඤ්ඤතො පබ්බජිතො න සාධු, රාජා න සාධු අනිසම්මකාරී යො පණ්ඩිතො කොධනො තං න සාධු.
Sinhala BJT5853. කම්සැප සෙවුනා වූ අලස ගිහියා යහපත් නො වේ. සංයමයෙන් තොර පැවිද්දා ද යහපත් නො වේ. නො විමසා ක්‍රියා කරන රජ යහපත් නො වේ. යම් පණ්ඩිතයෙක් ක්‍රෝධ කරන සුලු නම් හෙ ද යහපත් නො වේ.
Pali BJT5854. නිසම්ම ඛත්තියො කයිරා නානිසම්ම දිසම්පති, නිසම්මකාරිනො රාජ යසො කිත්ති ච වඩ්ඪති.
Sinhala BJT5854. මහරජ, ක්‍ෂත්‍රිය තෙමේ විමසා ක්‍රියා කරන්නේ ය. නො විමසා ක්‍රියා කිරීම යහපත් නො වේ. විමසා ක්‍රියා කරන්නාගේ යශස ද කීර්තිය ද වැඩේ.
Pali BJTභූරිපඤ්හො.
Sinhala BJTභූරි ප්‍රශ්නය යි.
Pali BJT5855. හන්ති හත්ථෙහි පාදෙහි මුඛඤ්ච පරිසුම්භති, ස චෙ රාජ පියො හොති කං තෙන මභිපස්සසි.
Sinhala BJT5855. යමෙක් අත් පා වලින් ගසයි ද, මුහුණටත් අනියි ද, මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රියයෙක් ද වෙයි. ඒ කවරකු ලෙස දක්නෙහි ද?
Pali BJT5856. අක්කොසති යථාකාමං ආගමඤ්චස්ස න ඉච්ඡති, ස චෙ රාජා පියො හොති තං තෙන මභිපස්සසි.
Sinhala BJT5856. යමකුට රිසිසේ අක්‍රෝශ කරයි ද, (එහෙත් ආක්‍රෝශ වශයෙන් කියූ) ඒ කාරණයාගේ ඊම නො කැමැති වෙයි ද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේ ය. ඒ කවරකු ලෙස දක්නෙහි ද?
Pali BJT5857. අබ්භක්ඛාති අභූතෙන අලිකෙන මභිසාරයෙ, ස චෙ රාජ පියො හොති කං තෙන මභිපස්සසි.
Sinhala BJT5857. යමෙක් මුසායෙන් ගටා බෙණෙයි ද බොරුයෙන් චෝදනා කෙරෙයි ද මහරජ, හේ ඒකාන්තයෙන් ප්‍රිය වන්නේ ය. ඒ කවරකු ලෙස දක්නෙහි ද?
Pali BJT5858. හරං අන්නඤ්ච පානඤ්ච වත්ථසෙනාසනානි ච, අඤ්ඤදත්ථු හරා සන්තා තෙ වෙ රාජ පියා හොන්ති කං තෙනමභිපස්සසි.
Sinhala BJT5858. ඇතැමෙක් ආහාරපාන හා වස්ත්‍ර ශයනාසනයන් ද රැගෙන යත්. එහෙත් එසේ ගෙන යන්නා වූ ඔව්හු ඒකාන්තයෙන් ප්‍රිය වෙත්. මහරජ, ඒ කවරුන් ලෙස දක්නෙහි ද?
Pali BJTදෙවතාපුච්ඡිත පඤ්හා.
Sinhala BJTදේවතා පුච්ඡිත ප්‍රශ්නයෝ යි.
Pali BJT5859. පඤ්ච පණ්ඩිතා සමාගතා පඤ්හො මෙ පටිභාති තං සුණාථ, නින්දියමත්ථං පසංසියං වා කස්සෙවාවිකරෙය්ය ගුය්හමත්ථං.
Sinhala BJT5859. මෙහි පැමිණි පඤ්ච පණ්ඩිතවරුනි, මට වැටැහෙන එක් ප්‍රශ්නයෙක් ඇත. එය අසවු. නින්‍දා කටයුතු වූ හෝ ප්‍රශංසා කටයුතු වූ හෝ රහස කවරකුට හෙළි කළ යුත්තේදැ යි වේදේහ රජ පිළිවිසී.
Pali BJT5860. ත්වං නො ආවිකරොහි{1} භූමිපාල භත්තා භාරසහො තුවං වදෙතං, තව ඡන්දඤ්ච රුචිඤ්ච{2} සම්මසිත්වා අථ වක්ඛන්ති{3} ජනින්ද පඤ්ච ධීරා.
Sinhala BJT5860. මහරජ, ඔබ මැ අපට එය ප්‍රකාශ කරනු මැනව. ඔබ අපගේ ස්වාමියා ද, බර උසුලන්නා ද වෙති. පඬිවරු පස්දෙන ඔබගේ අදහස හා කැමැත්ත විමසා පිළිතුරු කියන්නාහයි සේනක කීය.
Pali BJT5861. යා සීලවතී අනඤ්ඤධෙය්යා{4} භත්තුච්ඡන්දවසානුගා පියා මනාපා, නින්දියමත්ථං පසංසියං වා භරියායාවිකරෙය්ය ගුය්හමත්ථං.
Sinhala BJT5861. (වේදේහ රජ) යම් ස්ත්‍රියක් ආචාර ශීලයෙන් යුක්ත ද අනුන් වසඟයෙහි නො පවතී ද ස්වාමියාගේ කැමැත්ත අනුව වසන්නේ ද, ප්‍රිය මනාප වන්නී ද එබඳු බිරිඳට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස කියැ යුත්තේ ය.
Pali BJT5862. යො කිච්ඡගතස්ස ආතුරස්ස සරණං හොති ගතී පරායණඤ්ච, නින්දියමත්ථං පසංසියං වා සඛිනොවාවිකරෙය්ය ගුය්හමත්ථං.
Sinhala BJT5862. (සේනක) යමෙක් දුකට පත් ආතුරයාට සරණ වැ පිහිට වැ උපකාරී වැ පවතී ද එ බඳු මිත්‍රයාට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
Pali BJT5863. ජෙට්ඨො අථ මජ්ඣිමො කණිට්ඨො සො චෙ සීලසමාහිතො ඨිතත්තො, නින්දියමත්ථං පසංසියං වා භාතුවාවිකරෙය්ය ගුය්හමත්ථං.
Sinhala BJT5863. (පුක්කුස) ඉදින් යමකුට ජ්‍යේෂ්ඨ හෝ මධ්‍යම හෝ කණිෂ්ඨ හෝ සොහොයුරෙක් වේ ද හෙ ද ශීලයෙහි මනා වැ පිහිටියේ ස්ථිර සිතැත්තේ නම් එවැනි සොහොවුරාට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
Pali BJT5864. යො චෙ පිතුහදයස්ස පද්ධගු{5} අනුජාතො පිතරං අනොමපඤ්ඤො, නින්දියමත්ථං පසංසියං වා පුත්තස්සාවීකරෙය්ය ගුය්හමත්ථං.
Sinhala BJT5864. (කාවින්‍ද) ඉදින් යමෙක් පියා ගේ සිතට අනුව ක්‍රියා කරන්නේ ද මහත් ප්‍රඥායෙන් යුක්ත වූයේ පියාට අනුජාත වේ ද එ බඳු පුතුට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
Pali BJT5865. මාතා දිපදා ජනින්දසෙට්ඨ යො තං පොසෙති ඡන්දසා පියෙන, නින්දියමත්ථං සංසියං වා මාතුයාවිකරෙය්ය ගුය්හමත්ථං.
Sinhala BJT5865. (දේවින්‍ද) දෙපා ඇත්තනට නායක මහරජ, යම් මවක් ස්නේහයෙන්, ප්‍රිය උපදවමින් සිය පුතු පෝෂණය කරන්නී ද එ බඳු මවට නින්‍දා කටයුතු හෝ ප්‍රශංසා කටයුතු හෝ රහස හෙළි කරන්නේ ය.
Pali BJT5866. ගුය්හස්ස හි ගුය්හමෙව සාධු න හි ගුය්හස්ස පසත්ථමාවිකම්මං, අනිප්ඵාදාය{6} සහෙය්ය ධීරො නිප්ඵන්නත්ථො යථාසුඛං භණෙය්ය.
Sinhala BJT5866. (මහෞෂධ) සැඟැවියැ යුතු දේ සැඟැවීම මැ යහපත් වන්නේ ය. රහස හෙළි කිරීම පැසසිය යුතු නොවේ. නුවණැත්තේ කාර්‍ය්‍ය සිද්ධිය නොවී නම් (කාර්‍ය්‍ය සිද්ධිය තෙක්) රහස දරන්නේ ය. සිද්ධ වූ අර්‍ත්‍ථ ඇත්තේ රිසි සේ කියන්නේ ය.
Pali BJT5867. කින්නු ත්වං විමනො රාජසෙට්ඨ දිපදින්ද{7} වචනං සුණොම නෙතං,{8} කිං චින්තයමානො දුම්මනොසි නූන දෙව අපරාධො අත්ථි මය්හං.
Sinhala BJT5867. මහරජ ඔබේ සිත් පෙරැළියට හේතු කවරේ ද? කවර හෙයින් ඔබෙන් වචනයක් නො අසම් ද? කුමක් සිතමින් දොම්නස් වූයෙහි ද? දේවයිනි, මාගෙන් වූ යම් අපරාධයෙක් හෝ ඇත් දැයි උඳුම්බරාදේවි විචාළාය.
Pali BJT5868. පඤ්ඤො වජ්ඣො මහොසධොති ආණත්තො මෙ වධාය භූරිපඤ්ඤො, තං චින්තයන්තො{1} දුම්මනොස්මි න හි දෙවි අපරාධො අත්ථි තුය්හං.
Sinhala BJT5868. මහාප්‍රාඥ වූ මහෞෂධ පණ්ඩිත මැරිය යුතුය යි මා විසින් වධයට අණ කරන ලද්දේ ය. ඒ ගැන සිතමින් දොම්නස් වූයෙම් වෙමි. දේවිය, ඔබ කළ අපරාධයෙක් නැත යි රජතෙමේ කීය.
Pali BJT5869. අභිදොසගතො ඉදානි එසි{2} කිං සුත්වා කිමාසංකතෙ{3} මනො තෙ, කො තෙ කිමවොච භූරිපඤ්ඤ ඉඞ්ඝ තං වචනං සුණොම බ්රූහි මෙතං.
Sinhala BJT5869. මහාප්‍රාඥය, ඊයේ ගියා වූ තෙපි දැන් එන්නහු ය. කුමක් අසා තොපගේ සිත කුමකට සැක කෙරේ ද? කවරෙක් තොපට කුමක් කීයේ ද? ඒකාන්තයෙන් ඒ වචනය මට කියව, එය අසන්නෙමි යි වේදේහ රජ මහෞෂධ පඬිතුමාගෙන් පිළිවිසී.
Pali BJT5870. පඤ්ඤො වජ්ඣො මහොසධොති යදි තෙ මන්තයිතං ජනින්ද දොසං, භරියාය රහොගතො අසංසි ගුය්හං පාතුකතං සුතං මමෙතං.
Sinhala BJT5870. (මහෞෂධ) මහරජ, මහෞෂධ පණ්ඩිත මැරිය යුතු යැ යි ඉදින් ඔබ විසින් සේනකාදීන් සමග මන්ත්‍රණය කරන ලද ද. රැයෙහි හුදෙකලා වූයේ බිරිඳට එය කීහ. ඔබ විසින් හෙළිකළ ඒ රහස මා විසින් අසන ලද්දේ ය.
Pali BJT5871. යං සාලවනස්මිං සෙනකො පාපකම්මං අකාසි අසබ්භිරූපං, සඛිනොව රහොගතො අසංසි ගුය්හං පාතුකතං සුතං මමෙතං.
Sinhala BJT5871. සේනක තෙමේ සල් උයනැ සිටැ යම් ලාමක වූ පාප කර්‍මයක් කළේ ද, එය මිත්‍රයකුට කීයේ ය. ඒ හෙළි කළ රහස මා විසින් අසන ලදී.
Pali BJT5872. පුක්කුසපුරිසස්ස තෙ ජනින්ද උප්පන්නො රොගො අරාජයුත්තො,{4} භාතුච්ච රහොගතො අසංසි ගුය්හං පාතුකතං සුතං මමෙතං.
Sinhala BJT5872. මහරජ, ඔබගේ පුක්කුස නම් වූ රාජපුරුෂයාට රජුන් විසින් නො ළං වියයුතු රෝගයෙක් උපන. හේ රහසිගත වැ සෝවුරාට කීයේ ය. එසේ රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
Pali BJT5873. ආබාධොයං{5} අසබ්භිරූපො කාවින්දො නරදෙවෙන ඵුට්ඨො, පුත්තස්ස රහොගතො අසංසි ගුය්හං පාතුකතං සුතං මමෙතං.
Sinhala BJT5873. කාවින්‍දයා නරදේව නම් යකකු විසින් ස්පර්‍ශ කරන ලද්දේ ය. මේ ආබාධය නො සරුප් සබා ඇත්තේ ය. හේ එය රහසිගත වැ පුත්‍රයාට කීයේ ය. එසේ රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
Pali BJT5874. අට්ඨවඞ්කං මණිරතනං උළාරං සක්කො තෙ අදදා පිතාමහස්ස, දෙවින්දස්ස ගතං තදජ්ජ හත්ථං මාතුච්ච රහොගතො අසංසි ගුය්හං පාතුකතං සුතං මමෙතං.
Sinhala BJT5874. සක්දෙව්රජ ඔබගේ මී මුත්තණුවනට මහඟු අෂ්ටවඞ්ක නම් මාණික්‍ය රත්නයක් දුන්නේ ය. ඒ මිණි රුවන දැන් දේවින්‍දයා අතට පත්වැ ඇත. හේ එය මවට රහසේ කීය. රහස හෙළි කිරීම මා විසින් අසන ලදී.
Pali BJT5875. ගුය්හස්ස හි ගුය්හමෙව සාධු න හි ගුය්හස්ස පසත්ථමාවිකම්මං, අනිප්ඵාදාය{6} සහෙය්ය ධීරො නිප්ඵන්නත්ථො යථාසුඛං භණෙය්ය.
Sinhala BJT5875. සැඟැවිය යුත්ත සැඟැවීම මැ මැනැවි. රහස හෙළි කිරීම ප්‍රශස්ත නොවේ. නුවණැත්තේ කාර්‍ය්‍ය නිෂ්පත්තිය නොවූ රහස දරන්නේ ය. කාර්‍ය්‍ය සංසිද්ධියෙන් ඉක්බිති වැ රිසිසේ කියන්නේ ය.
Pali BJT5876. න ගුය්හමත්ථං විවරෙය්ය රක්ඛෙය්ය නං යථා නිධිං, න හි පාතුකතො සාධු ගුය්හො අත්ථො පජානතා.
Sinhala BJT5876. සැඟැවිය යුත්ත හෙළි නො කටයුත්තේ ය. එද නිධානයක් සේ ආරක්‍ෂා කළ යුතු ය. නුවණැත්තහු විසින් රහස් හෙළි කිරීම උචිත නොවේ.
Pali BJT5877. ථියා ගුය්හං න සංසෙය්ය අමිත්තස්ස ච පණ්ඩිතො, යො චාමිසෙන සංහීරො හදයත්ථෙනො ච යො නරො.
Sinhala BJT5877. නුවණැත්තා ස්ත්‍රියට ද හතුරාට ද යමෙක් ආමිෂ හේතුයෙන් පෙළඹේ නම් ඔහුට ද කෛරාටික සිතැත්තාට ද (රහස් හෙළි නො කරන්නේ ය.)
Pali BJT5878. ගුය්හමත්ථමසම්බුද්ධං සම්බොධයති යො නරො, මන්තභෙදභයා තස්ස දසභූතො තිතික්ඛති.
Sinhala BJT5878. යම් මිනිසෙක් අනුන් විසින් නො දත යුතු රහසක් (යමකුට) කීයේ නම් රහස් හෙළිවේ ය යන බියෙන් හෝ ඔහුගේ දාසයකු සෙයින් සියල්ල ඉවසයි.
Pali BJT5879. යාවන්තො පුරිසස්සත්ථං ගුය්හං ජානන්ති මන්තිනං, තාවන්තො තස්ස උබ්බෙගා තස්මා ගුය්හං න විස්සජෙ.
Sinhala BJT5879. මන්ත්‍රණය කළවුන් අතරැ යම් තාක් දෙනා ඔහුගේ රහස් දනිත් ද, ඔහුට එපමණ තැති ගැනුම් ඇති වේ. එනිසා රහස නො හළ යුත්තේ ය. හෙළි නො කළ යුත්තේ ය.
Pali BJT5880. විවිච්ච භාසෙය්ය දිවා රහස්සං රත්තිං ගිරං නාතිවෙල පමුඤ්චෙ, උපස්සුතිකා හි සුණන්ති මන්තං තස්මා මන්තො ඛිප්පමුපෙති භෙදං.
Sinhala BJT5880. රහස දවල් කාලයෙහි විවේක වැ කියැ යුත්තේ ය. රැයෙහි සීමාව ඉක්ම වූ වචන (හඬ නගා ) නො කියන්නේ ය. අසලැ සිටින්නෝ ඒකාන්තයෙන් මන්ත්‍රණය ශ්‍රවණය කරන්නාහ. එයින් මන්ත්‍රණය භේදයට පැමිණෙයි.
Pali BJTවීසතිනිපාතෙ පඤ්චපණ්ඩිතපඤ්හො.
Sinhala BJTපඤ්චපණ්ඩිත ප්‍රශ්නය යි.
Pali BJT5881. පඤ්චාලො සබ්බසෙනාය බ්රහ්මදත්තො සමාගතො, සායං පඤ්චාලියා සෙනා අප්පමෙය්යා මහොසධ.
Sinhala BJT5881. මහෞෂධ පණ්ඩිතය, පඤ්චාල දේශවාසී බ්‍රහ්මදත්ත රජ සියලු බළ සෙනඟ සමග ආයේ ය. ඒ මේ පඤ්චාල රජු සතු සේනාව අපමණ ය.
Pali BJT5882. පිට්ඨිමතී පත්තිමතී සබ්බසඞ්ගාමකොවිදා, ඔහාරිනී සද්දවතී භෙරිසඞ්ඛප්පබොධනා.
Sinhala BJT5882. ඒ සේනා තොමෝ පිටින් ගෙනා දැව ඇති වඩු සේනාවෙන් යුක්ත ය, පාබළ සෙනගින් යුක්තය, සකල සංග්‍රාමොපායයන්හි දක්‍ෂය. සතුරන් හිස් සිඳලීමෙහි දක්‍ෂය, දශවිධ ශබ්දයෙන් හා බෙර සක් හඬින් ද ප්‍රබෝධවත් ය.
Pali BJT5883. ලොහවිජ්ජාලඞ්කාරාභා{1} ධජිනී{2} වාමරොහිණී සිප්පියෙහි සුසම්පන්නා සූරෙහි සුප්පතිට්ඨිතා.
Sinhala BJT5883. ලෝහවිද්‍යාවෙන් නිර්මිත වූ කවච ආදියෙන් හා ආභරණයන්ගෙන් බබළන්නීය. ධජ පතාකයන්ගෙන් ද වමින් නැඟිය යුතු ඇතුන් හා අසුන්ගෙන් ද විවිධ ශිල්පීන්ගෙන් ද යුක්ත වූවාය. අති දක්‍ෂ යෝධයන්ගෙන් මනාව පිහිටියා ය.
Pali BJT5884. දසෙත්ථ පණ්ඩිතා ආහූ භූරිපඤ්ඤා රහොගමා,{3} මාතා එකාදසී රඤ්ඤො පඤ්චාලියං පසාසති.
Sinhala BJT5884. මෙ මැ සේනාවෙහි මහාප්‍රාඥ වූ රහස් මන්ත්‍රණ ඇති දශ පණ්ඩිත කෙනෙක් වෙති. රජුගේ මව ද එකොළොස්වැන්නී වූවා පඤ්චාලසේනාවට අනුශාසනා කරයි.
Pali BJT5885. අථෙත්ථෙකසතං ඛත්යා අනුයුත්තා යසස්සිනො, අච්ඡින්නරට්ඨා බ්යථිතා පඤ්චාලීනං වසංගතා.
Sinhala BJT5885. තව ද රටවල් පැහැර ගැන්මෙන් පෙළුණු පඤ්චාලීනට යටත් වූ යසස් ඇති එක්සියයක් රජදරුවෝ ද මෙහි බ්‍රහ්මදත්ත රජුට අනුගත වැ සිටිත්.
Pali BJT5886. යංවදා තක්කරා රඤ්ඤො අකාමා පියභාණිනො, පඤ්චාලමනුයායන්ති අකාමා වසිනො ගතා.
Sinhala BJT5886. යමක් කියන්නාහු නම් එය කරන්නා වූ රජුට නො කැමැත්තෙන් නමුදු ප්‍රිය වචන කියන්නා වූ නො කැමැත්තෙන් යටත්වූවෝ ද පඤ්චාලරජු අනුව යති.
Pali BJT5887. තාය සෙනාය මිථිලා තිසන්ධි පරිවාරිතා, රාජධානි{1} විදෙහානං සමන්තා පරිඛඤ්ඤති.
Sinhala BJT5887. ඒ (සිවුරඟ) සේනාවෙන් මිථිලා පුරය ත්‍රිසන්‍ධියෙකින් වටකරන ලද්දේ ය. විදේහයන්ගේ රාජධානිය හාත්පසින් කණිනු ලැබේ.
Pali BJT5888. උද්ධං තාරකජාතාව සමන්තා පරිවාරිතා, මහොසධ විජානාහි කථං මොක්ඛො භවිස්සති.
Sinhala BJT5888. මස්තකයෙහි තාරකා පහළ වූවාක් සෙයින් (දඬු වැට පහන් ගෙන) හාත්පසින් වටකරන ලදය. මහෞෂධයෙනි කෙසේ මිදීම වන්නේ දැයි දනුව. මෙසේ වේදේහ රජ පිළිවිසි.
Pali BJT5889. පාදෙ දෙව පසාරෙහි භුඤ්ජ කාමෙ රමස්සු ච, හිත්වා පඤ්චාලියං සෙනා බ්රහ්මදත්තො පලායති.{2}
Sinhala BJT5889. දේවයන් වහන්ස, පා දිගු කළ මැනව. කාමයන් අනුභව කළ මැනව. සිත් අලවා වෙසෙනු මැනව. පඤ්චාලීය සේනාව හැර දමා බ්‍රහ්මදත්තරජ පලායන්නේ ය යි මහෞෂධ පඬිතෙමේ කීය.
Pali BJT5890. රාජා සන්ථවකාමො තෙ රතනානි පවෙච්ඡති, ආගච්ඡන්තු තතො දූතා මඤ්ජුකා පියභාණිනො.
Sinhala BJT5890. (කේවට්ට) සමඟිය කැමැති (බ්‍රහ්මදත්ත) රජ තෙමේ ඔබ වහන්සේට රත්නයන් (පඬුරු කොටැ) එවන්නේ ය. පඤ්චාල නගරයේ සිට මිහිරි වූ ප්‍රියවචන ඇති දූතයෝ ද එත්වා.
Pali BJT5891. භාසන්තු මුදුකා{3} වාචා යා වාචා පටිනන්දිතා, පඤ්චාලා ච විදෙහා ච උහො එකා භවන්තු තෙ.
Sinhala BJT5891. යම් බසක් සතුට ඇති කෙරේ ද එ බඳු මෘදු වචන මැ තෙපලත්වා. පඤ්චාලයෝ ද විදේහයෝ ද යන දෙ පස එකමුතු වෙත්වා. (සමගි වෙත්වා.)