Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5101-5200 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4339. දරිතො පබ්බතාතො{2} වා රුක්ඛාතො{3} පතිතො නරො, චුතො පතිට්ඨං ලභති යො මිත්තානං න දූභති.
Sinhala BJT4339. යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේ ද පර්‍වතයෙන් හෝ පර්‍වත විවරයෙන් හෝ රුකින් හෝ වැටුණු ඒ මිනිස් තෙමේ චුත වූයේ ද පිහිට ලබයි.
Pali BJT4340. විරූළ්හමූලසන්තානං නිග්රොධමිව මාලුතො, අමිත්තා නප්පසහන්ති යො මිත්තානං න දූභති.
Sinhala BJT4340. යමෙක් මිත්‍රයනට ද්‍රෝහ නො කෙරේ ද හටගත් මුල් ඇටවුම් ඇති නුගරුක සැඩ සුළඟකින් නො සෙල්විය හැක්කා සේ සතුරෝ ඔහු මැඩ නො පවත්වති. හෙවත් නො සෙල්විය හැක්කාහු වෙති.
Pali BJT4341. එහි තං පටිනෙස්සාමි රාජපුත්ත සකං ඝරං, රජ්ජං කාරෙහි භද්දන්තෙ කිං අරඤ්ඤෙ කරිස්සසි.
Sinhala BJT4341. රාජපුත්‍රයෙනි, එනු මැනවි, ස්වකීය ගෘහයට නැවත ගෙන යමි. රජය කරවනු මැනැවි. මේ වනයෙහි හුදෙකලා ව කුමක් කරන්නෙහි ද?
Pali BJT4342. අලං මෙ තෙන රජ්ජෙන ඤාතකෙහි{4} ධනෙන වා, යං මෙ අධම්මචරියාය රජ්ජං ලබ්භෙථ{5} සාරථි.
Sinhala BJT4342. සාරථීය, අධර්‍මචර්‍ය්‍යායෙන් මට යම් රාජ්‍යයක් ලැබේ ද ඒ රාජ්‍යයෙන් ද නෑයන්ගෙන් ද ධනයෙන් ද වැඩෙක් නැති.
Pali BJT4343. පුණ්ණපත්තං පලබ්භෙහි{6} රාජපුත්ත ඉතො ගතො, පිතා මාතා ච මෙ දජ්ජුං රාජපුත්ත තයී ගතෙ.
Sinhala BJT4343. රාජපුත්‍රයෙනි, මේ වනයෙන් බරණැස් නුවරට ගියහු නම් තුටුපඬුරු ලබන්නහු ය. ඔබ සිය නිවෙසට පැමිණි කල මවු පියෝ බොහෝ තුටු පඬුරු මට ද දෙන්නාහ.
Pali BJT4344. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්රාහ්මණා, තෙපි අත්තමනා දජ්ජුං රාජපුත්ත තයී ගතෙ.
Sinhala BJT4344. රාජපුත්‍රය, ඔබ ගිය කලැ සතුටු සිත් ඇති ඇතුළු නුවර වැසියෝ ද කුමරුවෝ ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද යන ඔවුහු මට බොහෝ තුටු පඬුරු දෙන්නාහ.
Pali BJT4345. හත්ථාරූහා{7} අනීකට්ඨා රථිකා පත්තිකාරකා, තෙපි දජ්ජුං පතීතා මෙ රාජපුත්ත තයී ගතෙ
Sinhala BJT4345. රාජපුත්‍රය ඔබ ගිය කලැ ඇතරුවෝ ද අසරුවෝ ද රියෙහි නියුත්තෝ ද පාබළ සෙනග ද යන සතුටු සිතැ’ති ඔව්හු මට බොහෝ තුටු පඬුරු දෙන්නාහ.
Pali BJT4346. බහූ{8} ජානපදා චඤ්ඤෙ නෙගමා ච සමාගතා, උපායනානි මෙ දජ්ජුං රාජපුත්ත තයී ගතෙ.
Sinhala BJT4346. රාජපුත්‍රය, ඔබ නුවරට ගිය කලැ රැස්වූ සෙසු බොහෝ දනවු වැසියෝ ද නියම්ගම් වැසියෝ ද මට තුටු පඬුරු දෙන්නාහ.
Pali BJT4347. පිතුමාතු චහං චත්තො රට්ඨස්ස නිගමස්ස ච, අථො සක්යකුමාරානං නත්ථි මය්හං සකං ඝරං.
Sinhala BJT4347. මම මව්පියන් විසින් ද රටවැසියන් විසින් ද නියම් ගම් වැසියන් විසින් ද සියලු කුමරුවන් විසින් ද හැරදමන ලද්දෙක්මි. එ හෙයින් මට සිය නිවෙසක් නැත්තේ ය.
Pali BJT4348. අනුඤ්ඤාතො අහං මත්යා සඤ්චත්තො පිතරා අහං, එකො අරඤ්ඤෙ පබ්බජිතො න කාමෙ අභිපත්ථයෙ.
Sinhala BJT4348. මව විසින් අනුදන්නා ලද මම පියා විසින් හැර දමන ලද්දෙම් වෙමි. රජ සැප නො පතන්නෙමි. එකලා වැ පැවිදි වන්නෙමි.
Pali BJT4349. අපි අතරමානානං ඵලාසාව සමිජ්ඣති, විපක්කබ්රහ්මචරියොස්මි එවං ජානාහි සාරථි.
Sinhala BJT4349. සාරථීය, යුහුසුලු නො වන්නවුන්ගේ හිත අදහස් හෙවත් අභිමතාර්‍ත්‍ථය සමෘද්ධ වෙයි. නිෂ්ටාප්‍රාප්ත බඹසර (මනෝරථ) ඇත්තෙමි. මෙසේ අභිමතාර්‍ත්‍ථය සිදුවන අයුරු දැනගනු.
Pali BJT4350. අපි අතරමානානං සම්මදත්ථා විපච්චති. විපක්කබ්රහ්මචරියොස්මි නික්ඛන්තො අකුතොභයො.
Sinhala BJT4350. යුහුසුලු නො වන්නවුන්ගේ යහපත් වූ අභිමතාර්‍ත්‍ථ මුදුන්පත් වෙයි. මස්තකප්‍රාප්ත අදහස් ඇති කොයිනුත් බිය නැති මම නික්මැ වනයට පැමිණියෙමි.
Pali BJT4351. එවං වග්ගුකථො{1} සන්තො විස්සට්ඨච්චනො චසි,{2} කස්මා{3} පිතුච්ච මාතුච්ච සන්තිකෙ න භණී තදා.
Sinhala BJT4351. මෙසේ මනහර කථා ඇත්තහු නො පැකිළෙන තෙපුල් ඇත්තහු කවර හෙයින් මව්පියන් හමුයෙහි කථා නො කළහු දැ යි ඇසී.
Pali BJT4352. නාහං අසත්ථිතා{4} පක්ඛො න බධිරො අසොතතා, නාහං අජිව්හතා{5} මූගො මා මං මූගමධාරයි.
Sinhala BJT4352. මම කලවා නැති බැවින් පිළු වූයෙම් ද නො වෙමි. කන් නැති බැවින් බිහිරි වූයෙම් ද නො වෙමි. දිව නැති බැවින් ගොළු වූයෙම් ද නො වෙමි. මා (පිළු බිහිරි) ගොළුවෙකැ යි නොසලකනු යි පැවැසී.
Pali BJT4353. පුරිමං සරාමහං ජාතිං යත්ථ රජ්ජමකාරයිං, කාරයිත්වා තහිං රජ්ජං පාපත්ථං නිරයං භුසං.
Sinhala BJT4353. යම් ජාතියකැ රජය කැරැවීම් ද ඒ පූර්‍ව ජාතිය සිහි කරමි. එහි රජය කරවා දරුණු නරකයට පැමිණියෙමි.
Pali BJT4354. වීසතිඤ්චෙව වස්සානි තහිං රජ්ජමකාරයිං, අසීතිවස්සසහස්සානි නිරයම්හි අපච්චිසං.{6}
Sinhala BJT4354. විසි වසක් මුළුල්ලෙහි එහි රජය කැරැවීමි. පසු වැ අසූදහසක් අවුරුදු නරකයෙහි පැසුණෙමි.
Pali BJT4355. තස්ස රජ්ජස්සහං භීතො මා මං රජ්ජාභිසෙචයුං, තස්මා පිතුච්ච{7} මාතුච්ච සන්තිකෙ න භණිං තදා.
Sinhala BJT4355. ඒ රජයට බිය වූ මම මව්පියෝ මා රජයෙහි අභිසේක නො කෙරෙත්වා යි එදා මව්පියන් සමීපයෙහි දී නො බිණිමි.
Pali BJT4356. උච්ඡඞ්ගෙ මං නිසීදෙත්වා පිතා අත්ථානුසාසති, එකං හනථ බන්ධථ එකං ඛාරාපතච්ඡිකං{8} එකං සූලස්මිං අප්පෙථ{9} ඉච්චස්සමනුසාසති.
Sinhala BJT4356. දවසක් පියරජ තෙමේ මා ඇකයෙහි හිඳුවාගෙන අර්‍ත්‍ථයෙන් අනුශාසනා කෙරේ. එකකු මරවු, එකකු දඟගෙහි ලවු, එකකුට ඛාරාපතච්ජික නම් (ශරීරය පළා ලුණු ඇඹුල් ගැල්වීම්) වධ දෙවු, එකකු උලැ තබව යි මෙසේ අනුශාසනා කරයි.
Pali BJT4357. තස්සාහං{10} ඵරුසං සුත්වා වාචායො සමුදීරිතා, අමූගො මූගවණ්ණෙන අපක්ඛො{11} පක්ඛසම්මතො සකෙ මුත්තකරීසස්මිං අච්ඡාහං සම්පරිපලුතො.
Sinhala BJT4357. ඒ මපියරජුගේ ක්‍රෑර බස් අසා බියෙන් වෙවුළු මම නොගොළු වූයෙම් ගොළු වෙසින් නො පිළු වූයෙම් පිළු වෙසින් යුත් වැ සිය මලමූයෙහි ගැලී හුන්මි.
Pali BJT4358. කසිරඤ්ච පරිත්තඤ්ච තඤ්ච දුක්ඛෙන සංයුතං, කො තං ජීවිතමාගම්ම වෙරං කයිරාථ කෙනචි.
Sinhala BJT4358. සාරථීය, මේ මනුෂ්‍ය ජීවිතය ඉතා දුක් ය, ස්වල්ප ය. එ ද සියලු සසරදුකින් යුතු වූයේ වෙයි. එ බඳු ජීවිත ලැබූ කවර නම් පුද්ගලයෙක් ප්‍රාණඝාතාදී පස්පව් කරන්නේ ද නො කරන්නේ මැ යි.
Pali BJT4359. පඤ්ඤාය ච අලාභෙන ධම්මස්ස ච අදස්සනා, කො තං ජීවිතමාගම්ම වෙරං කයිරාථ කෙනචි.
Sinhala BJT4359. විදර්‍ශනා ප්‍රඥාව නො ලැබීමෙන් ද සෝවාන් මඟ නො දැක්මෙන් ද එබඳු ජීවිතයට පැමිණ කවර නම් පුද්ගලයෙක් ප්‍රාණඝාතාදී පව් කවර කාරණයෙකින් කරන්නේ ද.
Pali BJT4360. අපි අතරමානානං ඵලාසාව සමිජ්ඣති, විපක්කබ්රහ්මචරියොස්මි එවං ජානාහි සාරථි.
Sinhala BJT4360. යුහුසුලු නො වන්නවුන්ගේ අභිමතාර්‍ත්‍ථය සිදු වෙයි. මම මුදුන්පත් අදහස් ඇත්තෙමි. සාරථීය එය මෙසේ දනු.
Pali BJT4361. අපි අතරමානානං සම්මදත්ථො විපච්චති, විපක්කබ්රහ්මමචරියොස්මි නික්ඛන්තො අකුතොභයො.
Sinhala BJT4361. යුහුසුලු නො වන්නවුන්ගේ අදහස් සඵල වෙයි. එහෙයින් නිෂ්ඨාවට පත් අභිමතාර්‍ත්‍ථ ඇති මම ගිහිගෙන් නික්ම ගියෙම් කවර අයුරකිනුදු බිය නැත්තෙමි යි කී ය.
Pali BJT4362. අහම්පි පබ්බජිස්සාමි රාජපුත්ත තවන්තිකෙ, අව්හයස්සු මං භද්දනෙත පබ්බජ්ජා මම රුච්චති.
Sinhala BJT4362. රාජ පුත්‍රය, තොපට වැඩක් වේවා! තොප සමීපයෙහි මම ද පැවිදි වෙමි. මහණ වෙව යි මා කැඳවනු මැනැවැ. පැවිද්ද මට රුචි යැ යි කී ය.
Pali BJT4363. රථං නීය්යාදයිත්වාන අනණො එහි සාරථි, අනණස්ස හි පබ්බජ්ජා එතං ඉසීහි වණ්ණිතං.
Sinhala BJT4363. සාරථීය, රථය පාවා දී ණය නැත්තෙක් වැ එව. පැවිද්ද වනාහි ණය නැත්තහුට ය. මෙසේ පැවිදිවීම බුඞාදි ඍෂිවරුන් විසින් වර්‍ණනා කරන ලද්දකි.
Pali BJT4364. යදෙව ත්යාහං වචනං අකරං භද්දමත්ථු තෙ, තදෙව මෙ ත්වං වචනං යාචිතො කත්තුමරහසි.
Sinhala BJT4364. සාරථීය, තොපට අභිවෘද්ධියක් වේවා ! යම් හෙයෙකින් තොපගේ වචනය මම කෙළෙම් ද එහෙයින් මා විසින් ඉල්ලන වචනය ද කරන්නට තෙපි නිසියව.
Pali BJT4365. ඉධෙව තාව අච්ඡස්සු යාව රාජානමානයෙ, අප්පෙව තෙ පිතා දිස්වා පතීතො සුමනො සියා.
Sinhala BJT4365. යම් පමණ කලෙකින් පිය රජුන් ගෙන එම් ද එතෙක් කල් මෙහි වසනු මැනැවැ. තොපගේ පිය රජ දැක සතුටු සොම්නස් වන්නේ නම් ඉතා මැනැවි.
Pali BJT4366. කරොමි තෙ තං වචනං යං මං භණසි සාරථි, අහම්පි දට්ඨුකාමොස්මි පිතරං මෙ ඉධාගතං.
Sinhala BJT4366. සාරථීය, යමක් මට කියහි නම් නුඹගේ ඒ වචනය මම කරමි. මෙහි පැමිණි මා පිය රජුන් දක්නට මම ද කැමැත්තෙමි කීහ.
Pali BJT4367. එහි සම්ම නිවත්තස්සු කුසලං වජ්ජාසි ඤාතිනං, මාතරං පිතරං මය්හං වුත්තො වජ්ජාසි වන්දනං.
Sinhala BJT4367. සබඳ, බරණැසට ගොස් නැවත මෙහි එව. එ තැන් සිට මා සමීපයෙහි නවතිනු. මා සුව දුක් විචාළ බව නෑයනට කියව. මා කියන ලද වැඳීම මාගේ මව්පියනට කියව යි ද කීහ.
Pali BJT4368. තස්ස පාදෙ ගහෙත්වාන කත්වා ච නං පදක්ඛිණං, සාරථි රථමාරුය්හ රාජද්වාරං උපාගමි.
Sinhala BJT4368. සුනන්‍ද නම් සාරථී තෙමේ තේමිය කුමරුන්ගේ දෙපා වැඳ පැදකුණු කොට රථයට නැඟ රජ ගෙදරට පැමිණියේ ය.
Pali BJT4369. සුඤ්ඤං මාතා රථං දිස්වා එකං සාරථිමාගතං, අස්සුපුණ්ණෙහි නෙත්තෙහි රොදන්ති නං උදික්ඛති.
Sinhala BJT4369. (තේමිය කුමරුවන්ගේ චන්‍ද්‍රාදේවී නැමැති) මෑණියෝ හිස් රථය, එකලා වැ පැමිණි රියැදුරු දැක කඳුළු පිරුණු නෙතින් යුතුවැ හඬ හඬා රියැදුරු දෙස බලති.
Pali BJT4370. අයං සො සාරථී එති නිහන්ත්වාන මමත්රජං, නිහතො නූන මෙ පුත්තො පථව්යා භූමිවද්ධනො.
Sinhala BJT4370. ඒ මේ රියදුරු තෙමේ මාගේ පුතු මරා දමා එයි. භූමි වර්ධනය කරන මාගේ පුත්‍ර තෙමේ පොළොවෙහි වළ දමන ලද්දේ මැ යැ යි සිතමි.
Pali BJT4371. අමිත්තා නූන නන්දන්ති පතීතා නූන වෙරිනො, ආගතං සාරථිං දිස්වා නිහන්ත්වාන{1} මමත්රජං.
Sinhala BJT4371. මාගේ පුතු මරා දමා ආ රියදුරු දැකැ සතුරෝ ඒකාන්තයෙන් සතුටු වෙති. වෛර කරන්නෝ ඒකාන්තයෙන් ප්‍රීත වෙති.
Pali BJT4372. සුඤ්ඤං මාතා රථං දිස්වා එකං සාරථිමාගතං, අස්සුපුණ්ණෙහි නෙත්තෙහි රොදන්ති පරිපුච්ඡති.{2}
Sinhala BJT4372. හුදෙකලා වැ පැමිණි රියැදුරු හිස් රථය ද දකිමින් හඬන මෑණියෝ කඳුළු පිරුණු නෙතින් යුතු ව, හඬමින් (මෙසේ) විචාරති:
Pali BJT4373. කින්නු මූගො කින්නු පක්ඛො කින්නු සො විලපී තදා, නිහඤ්ඤමානො භූමියා තං මෙ අක්ඛාහි සාරථි.
Sinhala BJT4373. මාගේ පුත් කිම ගොළුවෙක් ද පිළෙක් ද භූමියෙහි වළලනු ලබන්නේ වැලැපුණේ ද සාරථීය එය මට කියව.
Pali BJT4374. කථං හත්ථෙහි පාදෙහි මූගො පක්ඛො විවජ්ජයි, නිහඤ්ඤමානො භූමියා තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT4374. ගොළු පිළු වූ හේ බිමැ වළ දමන ලද්දේ කෙසේ නම් අත් පාවලින් දුරු කෙළේ දැ යි අසනලද මට කියව යි මෑණියෝ කීහ.
Pali BJT4375. අක්ඛිස්සං තෙ{1} අහං අය්යෙ දජ්ජාසි අභයං මම, යං මෙ සුතං වා දිට්ඨං වා රාජපුත්තස්ස සන්තිකෙ.
Sinhala BJT4375. ආර්‍ය්‍යාවෙනි, ඔබ මට අභය දෙන්නාහු නම් රාජපුත්‍රයා සමීපයෙහි දී මා ඇසූ දුටු යමක් ඇද්ද එය මම ඔබට කියමි යි කී ය.
Pali BJT4376. අභයං සම්ම තෙ දම්මි අභීතො භණ සාරථි, යං තෙ සුතං වා දිට්ඨං වා රාජපුත්තස්ස සන්තිකෙ.
Sinhala BJT4376. සබඳ සාරථීය, තට අභය දෙමි. රාජපුත්‍රයාගේ සමීපයෙහි දී ඇසූ දුටු යමක් ඇද්ද එය මට නිර්‍භය වැ කියව යි කීහ.
Pali BJT4377. න සො මූගො න සො පක්කො විස්සට්ඨ{2}චචනොව සො රජ්ජස්ස කිර සො භීතො අකරී{3} ආලයෙ බහු.
Sinhala BJT4377. ආර්‍ය්‍යාවෙනි, ඒ තේමිය කුමාරයා ගොළුවෙක් හෝ පිළෙක් නො වේ. මනෝඥ වූ කථා ඇත්තෙක් ද වේ. රාජ්‍යාභිෂේකයට බිය වූ හේ ඔබගේ වචන නො කෙළේ ය.
Pali BJT4378. පුරිමං සරති සො ජාතිං යත්ථ රජ්ජමකාරයි, කාරයිත්වා තහිං රජ්ජං පාපත්ථ නිරයං භුසං.
Sinhala BJT4378. හේ යම් නගරයකැ රජය කැරැවී ද ඒ පූර්‍වජාතිය සිහි කරයි. එහි රජය කරවා දරුණු නිරයට පැමිණියේ ය.
Pali BJT4379. වීසතිඤ්චෙ ච වස්සානි තහිං රජ්ජමකාරයි, අසීති වස්ස සහස්සානි නිරයම්හි අපච්චි සො.{4}
Sinhala BJT4379. ඒ නුවරැ විසි වසක් රජය කරවු හේ ඉන්පසු අසූ දහසක් අවුරුදු මුළුල්ලෙහි නිරයෙහි පැසුණේ ය.
Pali BJT4380. තස්ස රාජස්ස සො භීතො මා මං රජ්ජාභිසෙචයුං,{5} තස්මා පිතුච්ච මාතුච්ච{6} සන්තිකෙ න භණි{7} තදා.
Sinhala BJT4380. ඒ රජයට බිය වූ හේ මා අභිෂේක නො කෙරෙත්වා යි මවුපියන් වෙතැ එකලැ කථා නො කෙළේ ය.
Pali BJT4381. අඞ්ගපච්චඞ්ග සම්පන්නො ආරොහපරිණාහවා, විස්සට්ඨවචනො පඤ්ඤො මග්ගෙ සග්ගස්ස තිට්ඨති.
Sinhala BJT4381. අඟපසඟින් සමෘද්ධ වූ උස මහත ඇති මනෝඥ කථා ඇති ප්‍රඥාසම්පන්න වූ හේ දෙව්ලොවට යන මඟැ සිටී.
Pali BJT4382. සචෙ ත්වං දට්ඨුකාමාසි{8} රාජපුත්ති{9} තවත්රජං, එහි තං පාපයිස්සාමි යත්ථ සම්මති තෙමියො
Sinhala BJT4382. රාජපුත්‍රිය, ඉදින් තෙපි පුතු දකිනු කැමැත්තහු නම් එනු මැනවි. යම් තැනකැ තේමිය කුමර වෙසේ ද එතැනට පමුණුවන්නෙමි යි කීය.
Pali BJT4383. යොජයන්තු රථෙ අස්සෙ කච්ඡං නාගාන{10} බන්ධථ, උදීරයන්තු සඞ්ඛපණවා වදන්තු{11} එකපොක්ඛරා.
Sinhala BJT4383. රථයෙහි අශ්වයන් යොදත්වා. ඇතුනට පොරොදු හෙවත් හස්ත්‍යාභරණ පළඳවත්වා. ජයසක් පනාබෙර නාද කෙරෙත්වා. එකැස් බෙර වයත්වා.
Pali BJT4384. නදන්තු භෙරි සන්නද්ධා වග්ගුං වදතු දුන්දුභි, නෙගමා ච මං අන්වෙන්තු ගච්ඡං පුත්තනිවෙදකො.{12}
Sinhala BJT4384. දෙඇස් බෙර වයත්වා. මිහිඟු බෙර මනාසේ වයත්වා. නියම්ගම් වැසියෝ ද මා අනුව එත්වා. පුතුට කරුණු පවසන මම ඔහු අභිෂේක කොටැ රැගෙන එන්නට යමි.
Pali BJT4385. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්රාහ්මණා, ඛිප්පං යානානි යොජෙන්තු ගච්ඡං පුත්තනිවෙදකො.
Sinhala BJT4385. ඇතුළු නුවර වැස්සෝ ද කුමරුවෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද වහා යානාවන් යොදත්වා. පුතුට කරුණු පවසන මම (ඔහු අභිෂේක කොටැ රැගෙන එන්නට) යමි.
Pali BJT4386. හත්ථාරොහා අනීකට්ඨා රථිකා පත්තිකාරාකා, ඛිප්පං යානානි යොජෙන්තු ගච්ඡං පුත්තනිවෙදකො.
Sinhala BJT4386. ඇතැරුවෝ ද අසරුවෝ ද රිය නැඟෙන්නෝ ද පාබළ සෙනඟ ද වහා යානාවන් යොදත්වා.
Pali BJT4387. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, ඛිප්පං යානානි යොජෙන්තු ගච්ඡං පුත්තනිවෙදකො.
Sinhala BJT4387. රැස් වූ දනව් වැසියෝ ද නියම්ගම් වැසියෝ ද ඉක්මනින් යානාවන් යොදත්වා.
Pali BJT4388. අස්සෙ ච සාරථි යුත්තෙ සින්ධවෙ සීඝවාහනෙ, රාජද්වාරං උපාගඤ්ඡුං යුත්තා දෙව ඉමෙ භයා.
Sinhala BJT4388. රියැදුරෝ ඉක්මන් ගමන් ඇති සෛන්‍ධව නමැති අසුන් යෙදූ රථ ගෙන රජගෙදරට පැමිණියාහ. දේවයන් වහන්ස, අශ්වයෝ රථවල යොදනලදහ යි පැවැසූහ.
Pali BJT4389. ථූලා ජවෙන භායන්ති කිසා භායන්ති ථාමුනා,{1} කිසෙ ථූලෙ විවජ්ජෙත්වා සංසට්ඨා යොජිතා භයා.
Sinhala BJT4389. දේවයන් වහන්ස, තර අශ්වයෝ වේගයෙන් පිරිහෙති. කෙට්ටු අශ්වයෝ කාය ශක්තියෙන් පිරිහෙති. මෙ වැනි අසුන් නො ගනිත්ව යි තර කෙට්ටු අශ්වයන් හැරදමා ජවබල සම අශ්වයන් යොදන ලදහ යි දැන්වූහ.
Pali BJT4390. තතො රාජා තරමානො යුත්තමාරුය්හ සන්දනං, ඉත්ථාගාරං අජ්ඣභාසි{2} සබ්බාව අනුයාථ මං.
Sinhala BJT4390. ඉන්පසු රජ තෙමේ සුදුසු වාහනයක නැඟ සියල්ලෝ මා අනුව එත්ව යි අන්තඃපුරයට කී ය.
Pali BJT4391. වාළවීජනිමුණ්හීසං ඛග්ගං ඡත්තං ච පණ්ඩරං, උපාදිරථමාරුය්හ සුවණ්ණෙන{3} අලඞ්කතො.{4}
Sinhala BJT4391. වල්විදුනාව, නළල්පට, කඩුව, සේසත සහ රන්මිරිවැඩි සඟළ ද රියට නංව යි කියා ස්වර්‍ණාභරණයෙන් සැරසුණේ.
Pali BJT4392. තතො ච රාජා පායාසි පුරක්ඛත්වාන{5} සාරථිං, ඛිප්පමෙව උපාගඤඡි යත්ථ සම්මති තෙමියො.
Sinhala BJT4392. රජ තෙමේ ඉන්පසු රියැදුරා අභිමුඛ කොටැ තේමිය කුමරු යම් තැනෙකැ ද එතැනට වහාම පැමිණියේ ය.
Pali BJT4393. තඤ්ච දිස්වාන ආයන්තං ජලන්තමිව තෙජසා, ඛත්තසඞ්ඝපරිබ්බූළ්හං{6} තෙමියො එතදබ්රවි.
Sinhala BJT4393. තේජසින් දිලියෙමින් මෙන් එන ක්‍ෂත්‍රිය සමූහයා විසින් පිරිවැරූ ඒ පියරජුන් දැක තේමිය කුමර මෙය පැවැසී ය.
Pali BJT4394. කච්චින්නු{7} තාත කුසලං කච්චි තාත අනාමයං, කච්චින්නු රාජකඤ්ඤායො අරොගා මය්හ මාතරො.
Sinhala BJT4394. පියාණෙනි, ඔබ සුවසේ ද කිම රෝග පීඩා නැත්තාහු ද මාගේ මෑණිවරු රාජකන්‍යාවෝ අරෝග වූවාහු දැ යි ඇසී ය.
Pali BJT4395. කුසලඤ්චෙව මෙ පුත්ත අථො පුත්ත අනාමයං, සබ්බාව{8} රාජකඤ්ඤායො අරොගා තුය්හ මාතරො.
Sinhala BJT4395. පුත මට දුකෙක් නැත. පුත්‍රය එහෙයින් නීරෝග ද වෙමි. ඔබගේ සියලු මව්වරු නීරෝග ද වෙති.
Pali BJT4396. කච්චිස්ස මජ්ජපො{9} තාත කච්චි තෙ සුරමප්පියං, කච්චි සච්චෙ ච ධම්මෙ ච දානෙ තෙ රමතී මනො.
Sinhala BJT4396. පියාණෙනි, කිම මත්පැන් නො බොන්නහු ද? කිම ඔබට මත්පැන් අප්‍රිය ද? කිම වාක්සත්‍යයෙහි ද දශරාජධර්‍මයෙහි ද දීමෙහි ද ඔබගේ සිත ඇලේ දැ යි ඇසී.
Pali BJT4397. අමජ්ජපො අහං පුත්තං අථො මෙ සුරමප්පියං, අථො සච්චෙ ච ධම්මෙ ච දානෙ මෙ රමතී මනො.
Sinhala BJT4397. පුත, මම මත්පැන් නො බොන්නෙමි. එහෙයින් මට මත්පැන් අප්‍රිය ය. තවද සත්‍යයෙහි ද දශරාජධර්‍මයෙහි ද දීමෙහි ද මා සිත් ඇලෙයි.
Pali BJT4398. කච්චි අරොගං යොග්ගං තෙ කච්චි වහති{1} වාහනං, කච්චි තෙ ව්යාධයො නත්ථි සරීරස්සුපතාපනා.
Sinhala BJT4398. ඔබගේ හස්ත්‍යාදි වාහන නීරෝග ද? හස්ත්‍යාදි වාහන ඔබ උසුලයි ද? කිම ඔබට ශරීර තවන රෝගයෝ නැද්ද?
Pali BJT4399. අථො අරොගං යොග්ගං මෙ අතො වහති වාහනං, අථො මෙ ව්යාධයො නත්ථි සරීරස්සුපතාපනා.{2}
Sinhala BJT4399. තවද පුත්‍රය, මාගේ සියලු වාහන නීරෝගය. වාහන මා උසුලයි. ශරීර පෙළන රොගපීඩා මට නැත.
Pali BJT4400. කච්චි අන්තා ච තෙ ඵිතා මජ්ඣෙ ච බහලා තව, කොට්ඨාගාරඤ්ච කොසඤ්ච කච්චි තෙ පටිසන්ථතං.{3}
Sinhala BJT4400. පියාණෙනි, ඔබගේ ප්‍රත්‍යන්ත ජනපදවාසීහු සමෘද්ධ වූවෝ ද? ඔබගේ ගම්නියම්ගම් වැසියෝ බොහෝ වූහු ද? කිම ඔබගේ කොටුගුළු භාණ්ඩාගාර පිරී තිබේ ද?
Pali BJT4401. අථො අන්තා ච තෙ ඵිතා මජ්ඣෙ ච බහලා මම, කොට්ඨාගාරඤ්ච කොසඤ්ඤච සබ්බං මෙ පටිසන්ථතං.
Sinhala BJT4401. පුත, මාගේ ප්‍රත්‍යන්ත ජනපද සමෘද්ධ ය. ගම්නියම්ගම් බොහෝ වූ ජනාවාස ඇත්තාහ. මාගේ සියලු කොටුගුළු ධාන්‍යයෙන් ද සියලු කෝෂ්ඨාගාර ධනයෙන් ද පිරුණේ ය.
Pali BJT4402. ස්වාගතං තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, පතිට්ඨාපෙන්තු පල්ලඞ්කං යත්ථ රාජා නිසක්කති.
Sinhala BJT4402. මහරජ, ඔබගේ යහපත් පැමිණීමෙකි. අයහපත් පැමිණීමෙක් නො වේ. රජ තෙමේ යම් තැනක හිඳී ද, එ බඳු රාජාසනයක් පනවත්වා යි තේමිය කුමාර තෙමේ පැවැසී ය.
Pali BJT4403. ඉධෙව තෙ නිසින්නස්ස නියතෙ පණ්ණසන්ථතෙ,{4} එත්තො උදකමාදාය පාදෙ පක්ඛාලයන්තු තෙ.
Sinhala BJT4403. මොනවට පැනැවුණු මේ කොළ ඇතිරියෙහි හුන් ඔබ මෙයින් දිය ගෙන පා සේදුව මැනැවැ යි තේමිය කුමාර තෙමේ කී ය.
Pali BJT4404. ඉදම්පි පණ්ණකං මය්හං රන්ධං රාජ අලොණකං. පරිභුඤ්ජ මහාරාජ පාහුනො මෙසි ආගතො.
Sinhala BJT4404. මහරජ, ලුණු නැති වැ තැම්බූ මේ කරකොළ මාගේ ආහාර වෙයි. මහරජ, අනුභව කළ මැනැවි. මෙහි පැමිණි තැනැත්තේ වනාහි මාගේ සත්කාරයට නිසි වෙයි.
Pali BJT4405. න චාහං{5} පණ්ණං භුඤ්ජාමි න හෙතං මය්හ භොජනං, සාලීනං ඔදනං භුඤෙජ සුචිං{6} මංසූපසෙචනං.
Sinhala BJT4405. පුත, මම කොළ අනුභව කරන්නෙක් නො වෙමි. මේ මාගේ භෝජනය නො වේ ම ය. මම පවිත්‍ර වූ මාංසයෙන් යුක්ත වූ ඇල් සහලේ බත් අනුභව කරන්නෙක් වෙමි.
Pali BJT4406. අච්ඡෙරකං මං පටිභාති එකකම්පි රහොගතං, එදිසං භුඤ්ජමානානං කෙන වණ්ණො පසීදති.
Sinhala BJT4406. පුත, එකලා වැ රහසිගත වැ මෙබඳු ආහාර අනුභව කරන්නන් ශරීරවර්‍ණය කවර කරුණෙකින් ප්‍රසන්න වේ දැ යි මට ආශ්චර්‍ය්‍යක් සේ වැටහේ.
Pali BJT4407. එකො රාජ නිපජ්ජාමි නීයතෙ පණ්ණසන්ථතෙ, තාය මෙ එකසෙය්යාය රාජ වණ්ණො පසීදති.
Sinhala BJT4407. මහරජ, මනා වැ අතුරන ලද ඇතිරියෙහි එකලා වැ වැදහෙමි. මහරජ, ඒ එකලා වැ වැදහෙවීමෙන් මාගේ වර්‍ණය ප්‍රසන්න වේ.
Pali BJT4408. න චෙ{7} නෙත්තිංසබද්ධා මෙ රාජරක්ඛා උපට්ඨිතා, තාය මෙ සුඛාසෙය්යාය රාජ වණ්ණො පසීදති.
Sinhala BJT4408. මහරජ, කඩු බැඳැගෙන වටකැර ගත් රාජාරක්‍ෂකයෝ මට නැත. ඒ සුඛසයනය නිසා මාගේ වර්‍ණය ප්‍රසන්න වේ.
Pali BJT4409. අතීතං නානුසොචාමි නප්පජප්පමනාගතං, පච්චුප්පන්නෙන යාපෙමි තෙන වණ්ණො පසීදති.
Sinhala BJT4409. ඉකුත් දෑ ගැන ශෝක නො කෙරෙමි. නොලත් දෑ නො පතමි. මෙකලැ ලැබුණු දැයින් යැපෙමි. එයින් වර්‍ණය ප්‍රසන්න වේ.
Pali BJT4410. අනාගතප්පජප්පාය අතීතස්සානුසොචනා, එතෙන බාලා සුස්සන්ති නළොව භරිතො ලුතො.
Sinhala BJT4410. නො ලත් දෑ පැතීම යැ ඉකුත් දෑ ගැන ශෝක කිරීම යැ යන මෙයින් බාලයෝ සිඳින ලද නිල්වන් වූ බටදඬක් සෙයින් වියළෙත්.
Pali BJT4411. හත්ථාණීකං රථාණීකං අස්සෙ පත්තී ච වම්මිනො, නිවෙසනානි රම්මානි අහං පුත්ත දදාමි තෙ.
Sinhala BJT4411. පුත, මම තොපට ඇත් ඇණියෙක් ද රිය ඇණියක් ද අසුන් ද සන්නද්ධ වූ පාබළ සෙනඟක් ද රම්‍ය වූ වාසාගාර ද දෙමි.
Pali BJT4412. ඉත්ථාගාරම්පි තෙ දම්මි සබ්බාලඞ්කරා භූසිතං, තා පුත්ත පටිපජ්ජස්සු ත්වං නො රාජා භවිස්සසි.
Sinhala BJT4412. පුත, සර්‍වාලංකාරයෙන් සැරසුණු අන්තඃපුරයක් ද තොපට දෙමි. ඔවුන් පිළිපදුව (පරිභෝග කරව). තෙපි අපගේ රජ වෙව.
Pali BJT4413. කුසලා නච්චගීතස්ස සික්ඛිතා චතුරිත්ථියො, කාමෙ තං රමයිස්සන්ති කිං අරඤ්ඤෙ කරිස්සසි.
Sinhala BJT4413. පුත, නෘත්‍යගීතයෙහි දක්‍ෂ වූ හික්මුණා වූ චතුර වූ (දක්‍ෂ වූ) ස්තීහු තොප කාමයෙහි සිත් අලවන්නාහු ය. මේ අරණ්‍යයෙහි කුමක් කරන්නහු ය.
Pali BJT4414. පටිරාජූහි තෙ කඤ්ඤා ආනයිස්සං අලඞ්කතා, තාසු පුත්තෙ ජනෙත්වාන අථ පච්ඡා පබ්බජිස්සසි.
Sinhala BJT4414. අන් රජුන්ගෙන් අලංකෘත කන්‍යාවන් තොපට ගෙන එන්නෙමි. ඔවුන් සමඟ වාසය කොට පුත්‍රයන් උපදවා පසුව පැවිදි වන්නහු ය.
Pali BJT4415. යුවා ච දහරො චාසි පඨමුප්පත්තිතො සුසු, රජ්ජං කාරෙහි භද්දන්තෙ කිං අරඤ්ඤෙ කරිස්සසි.
Sinhala BJT4415. පුත, තෙපි යොවුන් වව, තුරුණු වව, උපතින් පළමු වියෙහි සිටින තරුණයෙක, පින්වත රාජ්‍යය කරව. අරණ්‍යයෙහි කුමක් කරන්නහු දැ යි පියරජ ඇසී ය.
Pali BJT4416. යුවා චරෙ බ්රහ්මචරියං බ්රහ්මචාරී යුවා සියා, දහරස්ස හි පබ්බජ්ජා එතං ඉසීහි වණ්ණිතං.
Sinhala BJT4416. මහරජ, තරුණ වූයේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේ ය. (යෙදෙන්නේ ය) බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ ම තරුණ වන්නේ ය. තරුණ වූවහුට ම පැවිද්ද සුදුසු වේ. මෙය බුඞාදී ඍෂීන් විසින් වර්‍ණනා කරන ලද්දෙකි.
Pali BJT4417. යුවා චරෙ බ්රහ්මචරියං බ්රහ්මචාරි යුවා සියා, බ්රහ්මචරියං චරිස්සාමි නාහං රජ්ජෙනමත්ථිකො.
Sinhala BJT4417. තරුණ වූයේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේ ය. බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ ම තරුණ වන්නේ ය. මම බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නෙමි. මම රාජ්‍යයෙන් අර්‍ත්‍ථ ඇත්තෙම් නො වෙමි.
Pali BJT4418. පස්සාමි වොහං දහරං අම්ම තාත වදං නරං,{1} කිච්ඡා ලද්ධං පියං පුත්තං අප්පත්වාන ජරං මතං.
Sinhala BJT4418. මෑණියෙනි, පියාණෙනි යි ප්‍රිය තෙපුල් කියන්නා වූ දුකසේ ලබා ගත්තා වූ දහර වූ ප්‍රිය වූ පුතුන් ජරාවට නො පැමිණැ මැ මැරෙනු දැක ඇත්තෙමි.
Pali BJT4419. පස්සාමි වොහං දහරිං කුමාරිං චාරු දස්සනං, නළවංසකළීරංව පලුග්ගං ජීවිතක්ඛයෙ.
Sinhala BJT4419. තරුණ වූ මනෝඥ දර්‍ශන ඇත්තා වූ කුමරියන් කඩා දමන ලද උණකිළිල් සේ මාරයා විසින් ජීවිතයෙහි සිඳලන ලදුවන් දකිමි.
Pali BJT4420. දහරාපි හි මීයන්ති නරා ච අථ නාරියො, තත්ථ කො විස්සසෙ පොසො දහරොම්හීති ජීවිතෙ,
Sinhala BJT4420. තරුණ වූ ස්තීහු ද පුරුෂයෝ ද මරණයට පැමිණෙන්නාහු ම ය. එබඳු ජීවිතයෙහි කවර නම් (නුවණැති) පුරුෂයෙක් මම තරුණ වෙමියි විශ්වාස කරන්නේ ද?
Pali BJT4421. යස්ස රත්යා විවසනෙ ආයුං අප්පතරං සියා, අප්පොදකෙව මච්ඡානං කින්නු කොමාරකං තහිං.
Sinhala BJT4421. වළ දිය සිඳී යෑමෙන් මත්ස්‍යයන්ගේ විනාශය මෙන් රාත්‍රි (හා දවල්) ඉක්ම යෑමෙන් යමෙකුගේ ආයුෂ අල්පතර (අඩු) වන්නේ නම් එහි කවර නම් කුමාරභාවයක් ද?
Pali BJT4422. නිච්චමබ්භාහතො ලොකො නිච්චඤ්ච පරිවාරිතො, අමොඝාසු වජන්තීසු කිං මං රජ්ජෙන සිඤ්චසි.
Sinhala BJT4422. ලෝවැසි තෙමේ නිරන්තරයෙන් පහරන ලද්දේ වෙයි. නිරන්තරයෙන් පිරිවරන ලද්දේ වෙයි. ආයුෂ දිවා රෑ නොසිස් වැ (අතරක් නැති වැ) අත්හරින කල්හි මා රාජ්‍යාභිෂේක කරන්නේ කුමට ද?
Pali BJT4423. කෙනමබ්භාහතො ලොකො කෙන ච පරිවාරිතො, කායො අමොඝා ගච්ඡන්ති තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT4423. ලෝවැසි තෙමේ කවරකු විසින් පහරන ලද්දේ වේ ද කවරකු විසින් පිරිවරන ලද්දේ වේ ද කවරහු නොසිස් වැ යෙද්ද, පුත්‍රය, මා විසින් විචාරන ලද්දේ එය මට කියව.
Pali BJT4424. මච්චුනාබ්භාහතො ලොකො ජරාය පරිවාරිතො, රත්යො අමොඝා ගච්ඡන්ති එවං ජානාහි ඛත්තිය.
Sinhala BJT4424. ලෝවැසි තෙමේ මරහු විසින් පහරන ලද්දේ ය. ජරාව විසින් පිරිවරන ලද්දේ ය. රාතීහු නොසිස් වැ (නො නැවතී) යෙති. මජරජ මෙසේ දනුව.
Pali BJT4425. යථාපි තන්තෙ විතතෙ{1} යං යදෙවූපවීයති, අප්පකං හොති වෙතබ්බං එවං මච්චාන ජීවිතං.
Sinhala BJT4425. යම්සේ (රෙදි වියන යන්ත්‍රයෙහි) නූල් බැඳි කල්හි යම් යම් කොටස් වියනු ලැබේ ද ඉතිරිය ස්වල්ප වන්නේ ද මෙසේ සත්ත්‍වයන්ගේ ජීවිත ද (දවසින් දවස) ස්වල්ප වන්නේ ය.
Pali BJT4426. යථා වාරිවහො පූරො ගච්ඡන්නුපනිවත්ති,{2} එවමායු මනුස්සානං ගච්ඡන්නුපනිවත්තති.
Sinhala BJT4426. යම්සේ පිරුණා වූ දියපහර බැස යන්නේ ආපසු නො හැරේ ද මෙසේ මනුෂ්‍යයන්ගේ ආයුෂ ද ගෙවී යන්නේ ආපසු නො හැරේ.
Pali BJT4427. යථා වාරිවහො පූරො වහෙ රුක්ඛූපකූලජෙ,{3} එවං ජරාය මරණෙන වුය්හන්තෙ වත පාණිනො.{4}
Sinhala BJT4427. යම්සේ පිරුණු දියපහර බැස යනුයේ දෙගං ඉවුරෙහි වූ වෘක්‍ෂයන් මුල් සෝදා හෙළාගෙන යන්නේ ද එසේ සත්ත්‍වයෝ ද ජරාවෙන් හා මරණයෙන් ඒකාන්තයෙන් ගසාගෙන යනු ලැබෙත් යයි පැවැසී ය.
Pali BJT4428. හත්ථාණීකං රථාණීකං අස්සෙ පත්තී ච වම්මිනො, නිවෙසනානි රම්මානි අහං පුත්ත දදාමි තෙ.
Sinhala BJT4428. පුත, හස්තිසේනාවක් ද රථ සේනාවක් ද සරසන ලද අශ්ව සේනාවක් ද පාබළ සේනාවක් ද මනරම් නිවෙසක් ද මම තොපට දෙමි.
Pali BJT4429. ඉත්ථාගාරම්පි තෙ දම්මි සබ්බාලඞ්කාරභූසිතං, තා පුත්ත පටිපජ්ජස්සු ත්වං නො රාජා භවිස්සසි.
Sinhala BJT4429. පුත, සර්‍වාලංකාරයෙන් සැරහුණු අන්තඃපුරයක් ද තොපට දෙමි. ඔවුන් පිළිපදුව, (පරිභෝග කරව.) තෙපි අපගේ රජ වෙව.
Pali BJT4430. කුසලා නච්චගීතස්ස සික්ඛිතා චතුරිත්ථියො, කාමෙ තං රමයිස්සන්ති කිං අරඤ්ඤෙ කරිස්සසි.
Sinhala BJT4430. නෘත්‍යගීතයෙහි දක්‍ෂ වූ හික්මුණා වූ චතුර වූ (දක්‍ෂ වූ) ස්ත්‍රීහු තොප කාමයෙහි සිත් අලවන්නාහු ය. මේ අරණ්‍යයෙහි කුමක් කරන්නහු ද?
Pali BJT4431. පටිරාජූහි තෙ කඤ්ඤා ආනයිස්සං අලඞ්කතා, තාසු පුත්තෙ ජනෙත්වාන අථ පච්ඡා පබ්බජිස්සසි.
Sinhala BJT4431. අන් රජුන්ගේ අලඞ්කෘත (සරසන ලද) කන්‍යාවන් ඔබට ගෙන දෙන්නෙමි. ඔවුන් සමඟ වාසය කොට පුත්‍රයන් උපදවා පසුව පැවිදි වන්නෙහි ය.
Pali BJT4432. යුවා ච දහරො චාසි පඨමුප්පත්තිතො සුසූ, රජ්ජං කාරෙහි භද්දන්තෙ කිං අරඤ්ඤෙ කරිස්සසි.
Sinhala BJT4432. පුත, ඔබ යොවුන් ය, තුරුණු වියෙහි ය, උපතින් පළමු වියෙහි සිටින තරුණයෙක, පින්වත රාජ්‍යය කරව. අරණ්‍යයෙහි කුමක් කරන්නෙහි දැ යි පියරජ ඇසී ය.
Pali BJT4433. කොට්ඨාගාරඤ්ච කොසඤ්ච වාහනානි බලානි ච, නිවෙසනානි රම්මානි අහං පුත්ත දදාමි තෙ.
Sinhala BJT4433. පුත, (ධාන්‍යයෙන් පිරුණු) කොටුගුළු ද (මුතු මැණික් ආදියෙන් පිරුණු) ගබඩා ද වාහන ද බළකාය ද මනරම් නිවෙස් ද යන සියල්ල මම ඔබට දෙමි.
Pali BJT4434. ගොමණ්ඩලපරිබ්බූළ්හො දාසිසඞ්ඝපුරක්ඛතො, රජ්ජං කාරෙහි භද්දන්තෙ කිං අරඤ්ඤෙ කරිස්සසි.
Sinhala BJT4434. පින්වත, මිහිරි කතා ඇති රාජකන්‍යා සමූහයා විසින් වට කරන ලද්දේ දාසි සමූහයා විසින් පිරිවරන ලද්දේ රාජ්‍යය කරව. මේ අරණ්‍යයෙහි කුමක් කරන්නෙහි දැ යි පියරජ ඇසී ය.
Pali BJT4435. කිං ධනෙන යං ජීයෙථ කිං භරියායය මරිස්සති, කිං යොබ්බනෙන චිණ්ණෙන යං ජරා අභිහෙස්සති.{1}
Sinhala BJT4435. මහරජ, යම් ධනයක් විනාශ වෙයි ද එබඳු ධනයෙන් මට කවර ප්‍රයෝජනයෙක් ද, යම් භාර්‍ය්‍යාවක් මරණයට පත්වෙයි ද එබඳු භාර්‍ය්‍යාවකගෙන් කවර ප්‍රයෝජනයෙක් ද, චරිත පුහුණුවෙන් ඇති කැර ගත් යම් තුරුණුබවකට ජරාව විසින් පහර දෙනු ලැබේ ද එබඳු යෞවනයෙන් කවර ප්‍රයෝජනයෙක් ද?
Pali BJT4436. තත්ථ කා වන්දි කා ඛිඩ්ඩා කා රතී කා ධනෙසනා,{2} කිං මෙ පුත්තෙහි දාරෙහි රාජ මුත්තොස්මි බන්ධනා.
Sinhala BJT4436. ඒ ලෝකයෙහි කවර නම් සතුටෙක් ද කවර නම් ක්‍රීඩාවක් ද කවර නම් පස්කම්ගුණ ඇල්මෙක් ද කවර නම් ධන සෙවීමෙක් ද මට දරුවන්ගෙන් හා අඹුවන්ගෙන් කවර ප්‍රයෝජනයෙක් ද මහරජ, මම කාමබන්‍ධනයෙන් හා තෘෂ්ණාබන්‍ධනයෙන් මිදුණේ වෙමි.
Pali BJT4437. සොහං එවං පජානාමි මච්චු මෙ නප්පමජ්ජති, අන්තකෙනාධිපන්නස්ස කා රතී කා ධනෙසනා.
Sinhala BJT4437. මට මාරයා (මරණය) ප්‍රමාද නො වෙති යි මම මෙසේ දනිමි. ඒ මරහු විසින් මඩනා ලද්දා වූ මට රාජ්‍යසම්පත්තියෙහි කවර ඇල්මෙක් ද කවර නම් ධන සෙවීමෙක් ද?
Pali BJT4438. ඵලානමිව පක්කානං නිච්චං පතනතො භයං, එවං ජාතානමච්චානං නිච්චං මරණතො භයං.
Sinhala BJT4438. පැසුණු ඵලයන් (ගෙඩි) වැටීම හේතුකොට ගෙන ඇති වන නිරන්තර භය යම්සේ ද එසේ ම උපන්නා වූ මනුෂ්‍යයාට මරණය හේතුකොට ගෙන නිතර බිය ඇති වේ.