Jātaka

Birth Stories

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4901-5000 න් 7733

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4154. න විස්සසෙ සාඛපුරාණසන්ථතං න විස්සසෙ මිත්තපුරාණචොරං, න විස්සසෙ රාජා{1} සඛා මමන්ති න විස්සසෙ ඉත්ථි දසන්නමාතරං.
Sinhala BJT4154. පැරණි කොළ ඇතිරිය විශ්වාස නො කරන්නේ ය. පැරණි මිතුරකු වූ හොරා විශ්වාස නො කරන්නේ ය. මගේ යහළුවෙකැ යි රජු විශ්වාස නො කරන්නේ ය. දස දෙනකුන්ගේ මව වුව ද ස්ත්‍රිය විශ්වාස නො කරන්නේ ය.
Pali BJT4155. න විස්සසෙ රාමකරාසු නාරිසු අච්චන්තසීලාසු අසඤ්ඤතාසු, අච්චන්තපෙමානුගතස්ස භරියා න විස්සසෙ තිත්ථසමා හි නාරියො.
Sinhala BJT4155. බාලයන් විසින් ඇලුම් කරනු ලබන, ඉක්මවන ලද සිල් ඇති, අසඤ්ඤත වූ ස්ත්‍රීන් කෙරෙහි විශ්වාස නො කටයුතු ය. අත්‍යන්ත ප්‍රේමයෙන් යුතු තෙනැත්තහුගේ භාර්‍ය්‍යාව ද විශ්වාස නො කටයුතු ය. ස්ත්‍රීහු තීර්‍ත්‍ථ සම වෙත් ද එහෙයිනි.
Pali BJT4156. හනෙය්යු{2} ඡින්දෙය්යුම්පි ඡෙදයෙය්යුං කණ්ඨම්පි ඡෙත්වා රුධිරං පිබෙය්යුං, මා දීනකාමාසු අසඤ්ඤතාසු භාවං කරෙ ගඞ්ගතිත්ථුපමාසු.
Sinhala BJT4156. (යම් හෙයකින් කිපුණා වූ හෝ අන් පුරුෂයන් කෙරෙහි ඇලුණා වූ හෝ ස්ත්‍රීහු) සැමියා නසන්නාහු සිඳින්නාහු සිඳවන්නාහු බොටුව සිඳ ලේ බොන්නාහු වෙත් ද එහෙයින් ලාමක අදහස් ඇති සංයම නැති ගංගා තීර්‍ත්‍ථ බඳු ස්ත්‍රීන් කෙරෙහි ස්නෙහ නො කරන්නේ ය.
Pali BJT4157. මුසා තාසං යථා සච්චං සච්චං තාසං{3} යථා මුසා, ගාවො බහි තිණස්සෙව ඔමසන්ති වරං වරං.
Sinhala BJT4157. ඒ ස්ත්‍රීන්ගේ බොරුව සත්‍යය මෙනි. සත්‍යය බොරුව මෙනි. තණ බිමෙන් පිටත් තැන්හි හොඳ හොඳ තණ සොයන ගවයන් මෙන් (ඔවුහු) අන් පුරුෂයන් සොයත්.
Pali BJT4158. ගතෙනෙතා පලොභෙන්ති පෙක්ඛිතෙන{4} මිහිතෙන ච, අථොපි දුන්නිවත්ථෙන මඤ්ජුනා භණිතෙන ච.
Sinhala BJT4158. මේ ස්ත්‍රීහු ගමනින් ද බැල්මෙන් ද මඳ සිනාවෙන් ද නපුරු කොට වස්ත්‍ර හැඳීමෙන් ද මිහිරි වදන් බිණීමෙන් ද (පුරුෂයන්) පොලොබවත්.
Pali BJT4159. චොරියො කඨිනා{5}භෙතා වාළා ච ලපසක්ඛරා, න තා කිඤ්චි න ජානන්ති යං මනුස්සෙසු වඤ්චනං.
Sinhala BJT4159. මේ ස්ත්‍රීහු සෙරහ. තද සිත් ඇත්තාහ. දුෂ්ටයහ. හකුරු මෙන් මිහිරි වදන් ඇත්තාහ. මිනිසුන් අතර යම් වංචාවක් ඇත් නම් (එයින්) ඔවුන් නො දන්නා කිසිවක් නැත.
Pali BJT4160. අසා ලොකිත්ථියො නාම වෙලා තාසං න විජ්ජති, සාරත්තා ච පගබ්භා ච{6} සිඛී සබ්බඝසො යථා
Sinhala BJT4160. ලෝකයෙහි ලාමක වූ මේ ස්ත්‍රීහු නම් හැම කල්හි රාගයෙන් ඇලුණාහු ය. කායප්‍රගල්භාදියෙන් යුක්ත වූවාහු ය. සියල්ල භක්‍ෂණය කරන (දවන) ගින්න මෙන් සියල්ල වනසනසුලු ය. ඔවුනට සීමාවෙක් නැත.
Pali BJT4161. නත්ථිත්ථිනං පියො නාම අප්පියොපි{7} න විජ්ජති, සෙවන්ති හෙතා පියමප්පියඤ්ච නාවා යථා ඔරකූලංපරඤ්ච.
Sinhala BJT4161. ස්ත්‍රීන්ට ප්‍රියයෙක් නම් නැත. අප්‍රියයෙක් ද නැත. එගොඩ මෙගොඩ දෙක ම සෙවුනා නැව මෙන් මොවුහු ප්‍රියයා ද අප්‍රියයා ද සේවනය කෙරෙත්.
Pali BJT4162. නත්ථිත්ථිනං පියො නාම අප්පියොපි න විජ්ජති, ධනත්තා පතිවෙල්ලන්ති{8} ලතාව දුමනිස්සිතා
Sinhala BJT4162. ස්ත්‍රීන්ට ප්‍රියයෙක් නම් නැත. අප්‍රියයෙක් ද නැත. ගස ඇසුරු කරන්නා වූ වැල මෙන් ධන හේතුවෙන් (පුරුෂයා) වැළඳගනිත්.
Pali BJT4163. හත්ථිබන්ධං අස්සබන්ධං ගොපුරිසඤ්ච චණ්ඩාලං,{9} ඡවඩාහකං පුප්ඵඡඩ්ඩකං සධනමනුපතන්ති නාරියො.
Sinhala BJT4163. ස්ත්‍රීහු නම් ඇත්ගොව්වා ද අස්ගොව්වා ද ගොපල්ලා ද සැඬොලා ද සොහොන්ගොව්වා ද කසළශෝධකයා ද යන මොවුන් අතුරින් කවරකු වුව ද සධනයා (ධන ඇත්තා) කරා යෙත්.
Pali BJT4164. කුලපුත්තම්පි ජහන්ති අකිඤ්චනං ඡවකසමසදිසම්පි, අනුගච්ඡන්ති අනුපතන්ති ධනහෙතු හි නාරියොති.
Sinhala BJT4164. ස්ත්‍රීහු ධනය නැති කුලපුත්‍රයා ද හැරදමති. ධනය ඇති සැඬොලා අනුව ද යෙත්. යම් හෙයකින් ස්ත්‍රීහු ධනහේතුවෙන් ම පුරුෂයා අනුව යෙත් ද, එහෙයිනි.
Pali BJTඅථ ඛලු භො නාරදො දෙවබ්රාහ්මණො ආනන්දස්ස ගිජ්ඣරාජස්ස ආදිමජ්ඣකථා{1}පරියොසානං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි.
Sinhala BJTභවත්නි, ඉක්බිති නාරද දේවබ්‍රාහ්මණ තෙම ආනන්‍ද නම් ගිජුලිහිණි රජුගේ කථාව පිළිබඳ මුල මැද අග දැන එවේලෙහි මේ ගාථාවන් ප්‍රකාශ කෙළේය.
Pali BJT4165. චත්තාරො මෙ න පූරෙන්ති තෙ මෙ සුණාථ භාසතො{2}, සමුද්දො බ්රාහ්මණො රාජා ඉත්ථි චාපි දිජම්පති.
Sinhala BJT4165. පක්‍ෂිරාජය, මේ සතර දෙනෙක් තෘප්ත නො වෙති. එය ප්‍රකාශ කරන මාගේ වචනය අසව. සමුද්‍රය ද බ්‍රාහ්මණයා ද රජ ද ස්ත්‍රී ද (යන සතර දෙන ය).
Pali BJT4166. සරිතා සාගරං යන්ති යා කාචි පඨවිංසිතා{3}, තා සමුද්දං න පූරෙන්ති ඌනත්තා{4} හි න පූරති.
Sinhala BJT4166. පොළොව ඇසුරු කළා වූ යම්කිසි ගංගාවෝ වෙත් ද, ඒ සියල්ලෝ ම සයුරට බැස යෙති. ඔවුහු සයුර නො පුරවත්. (දිය පිහිටන තැන් මහත් හෙයින්) ඌනව ම පවත්නා නිසා නො පිරෙයි.
Pali BJT4167. බ්රාහ්මණො ච අධීයාන වෙදමක්ඛානපඤ්චමං, භිය්යොපි සුතමිච්ඡෙය්ය ඌනත්තා හි න පූරති.
Sinhala BJT4167. බ්‍රාහ්මණය ඉතිහාසය පස්වැනි කොට ඇති වේදය හදාරා මත්තෙහි දු ඉගෙනීමට කැමති වන්නේ ය. හෙ ද (අදහස මහත් බැවින්) ඌනව ම වෙසෙන හෙයින් නො පිරෙයි.
Pali BJT4168. රාජා ච පඨවිං{5} සබ්බං සසමුද්දං සපබ්බතං, අජ්ඣාවසං{6} විජිනිත්වා අනන්තරතනොචිතං පාරං සමුද්දං පත්ථෙති ඌනත්තා හි න පූරති.
Sinhala BJT4168. රජ ද මුහුදු සහිත වූ පර්‍වත සහිත වූ අනන්තරත්නයෙන් යුක්ත වූ මුළු පොළොව දිනා (නොයෙක් රත්නයෙන් පූර්‍ණ ව) වෙසේ ද, එහෙත් මුහුදින් එතෙර ද පතයි. (හෙ ද තෘෂ්ණා මහත්ත්‍වයෙන් යුතු හෙයින්) ඌන හේතුවෙන් ම නො පිරෙයි.
Pali BJT4169. එවමෙකාය ඉත්ථියා අට්ඨට්ඨ පතිනො සියා, සුරා ච බලවන්තා ච සබ්බකාමරසාහරා කාරෙය්ය නවමෙ ඡන්දං ඌනත්තා හි න පූරති.
Sinhala BJT4169. එපරිද්දෙන් ම එක ස්ත්‍රියකට ශූර වූ ද බලවත් වූ ද සියලු කාමරසයන් ගෙනදෙන්නා වූ ද සැමියන් අට අට දෙනා සිටිත් ද, එසේ වුවත් නවවැන්නකු කෙරෙහි ආශා කරන්නී ය. (කාමතෘෂ්ණා මහත්ත්‍වයෙන් යුතු හෙයින්) ඌන බැවින් නො පිරෙයි.
Pali BJT4170. සබ්බිත්ථියො සිඛිරිව සබ්බභක්ඛා සබ්බිත්ථියො නදීරිව සබ්බවාහිනී{7}, සබ්බිත්ථියො කණ්ටකානං ව සාඛා සබ්බිත්ථියො ධනහෙතු වජන්ති.
Sinhala BJT4170. සියලු ස්ත්‍රීහු ගින්න මෙන් සියල්ල කාදමන්නෝ ය (වනසන්නෝ ය). සියලු ස්ත්‍රීහු ගංගාව මෙන් සියල්ල වහනය කරන්නෝ ය. සියලු ස්ත්‍රීහු කටුගස්වල අතු වැනි වෙති. සියලු ස්ත්‍රීහු ධනහේතුවෙන් පරපුරුෂයන් කරා යෙත්.
Pali BJT4171. වාතඤ්ච ජාලෙන නරො පරාමසෙ ඔසිඤ්චියා සාගරමෙකපාණිනා, සකෙන හත්ථෙන හනෙය්ය ඝොසං යො සබ්බභාවං පමදාසු ඔස්සජෙ.
Sinhala BJT4171. යම් පුරුෂයෙක් ස්ත්‍රීන් කෙරෙහි සිය රහස් ප්‍රකාශ කෙරේ ද (ඒ රහස් අනුන් හා නො බැණ ස්ත්‍රීන් වෙත රැකුණහොත්) ඒ පුරුෂ තෙම දැලෙන් වාතය රඳවන්නේ ය. එක අත්ලෙන් සයුරු දිය හිස් කරන්නේ ය. සිය එක අතින් (ඒ අතට ම ගසා) හඬ නගන්නේ ය.
Pali BJT4172. චොරීනං බහුබුද්ධිනං යාසු සච්චං සුදුල්ලභං, ථිනං භාවෙ දුරාජානො මච්ඡස්සෙවොදකෙ ගතං.
Sinhala BJT4172. යම් හෙයෙකින් ස්ත්‍රීන් කෙරෙහි සත්‍යය ඉතා දුර්‍ලභ වේ ද, චෞර වූ බහුබුද්ධික වූ ස්ත්‍රීන්ගේ අදහස දියෙහි මසුන්ගේ ගමන් මග මෙන් දැනගැනීම දුෂ්කර ය.
Pali BJT4173. අනලා මුදුසම්භාසා දුප්පූරා තා නදීසමා, සීදන්ති නං විදිත්වාන ආරකා පරිවජ්ජයෙ.
Sinhala BJT4173. (ගිහි ධර්‍මවලින්) මෙතෙකින් පමණ යැ යි කීමක් නැති, මොළොක් වචන ඇති, කෙලෙස් රතියෙන් පිරවිය නො හැකි ඒ ස්ත්‍රීහු නදී සමයහ. ඒ ස්ත්‍රීහු සේවනය කළවුන් සතර අපායෙහි ගිල්වත් යැ යි දැන දුරින් ම දුරුකටයුතු ය.
Pali BJT4174. ආවට්ටනී මහාමායා බ්රහ්මචරියවිකොපනා, සීදන්ති නං විදිත්වාන ආරකා පරිවජ්ජයෙ.
Sinhala BJT4174. අනුන් මෝහනය කරන්නා වූ මහාමායා ඇති, බඹසර නසන්නා වූ ඒ ස්ත්‍රීහු සේවනය කළවුන් සතර අපායෙහි ගිල්වත් යැ යි දැන දුරින් ම දුරු කළ යුත්තාහ.
Pali BJT4175. යඤ්චෙතා{1} උපසෙවන්ති ඡන්දසා වා ධනෙන වා, ජාතවෙදොව සණඨානං ඛිප්පං අනුදහන්ති නන්ති.
Sinhala BJT4175. මේ ස්ත්‍රීහු ප්‍රියසංවාස වශයෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් පුරුෂයකු සේවනය කෙරෙත් ද (තමා) පහස ලත් ලත් තැන දවන ගින්න මෙන් වහා ඔහු විනාශයට පමුණුවත් ය යි කීය.
Pali BJTඅථ ඛලු භො කුණාලො සකුණො නාරදස්ස දෙවබ්රාහ්මණස්ස ආදිමජ්ඣ{2}කථාපරියොසානං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි.
Sinhala BJTභවත්නි, ඉක්බිති කුණාල පක්‍ෂ තෙම නාරද නම් දේවබ්‍රාහ්මණයාගේ කථාව පිළිබඳ මුල මැද අග තේරුම් ගෙන ඒ වේලායෙහි මේ ගාථාවන් ප්‍රකාශ කෙළේ ය.
Pali BJT4176. සල්ලපෙ නිසිත{3}බග්ගපාණිනා පණ්ඩිතො අපි පිසාචදොසිනා, උග්ගතෙජඋරගම්පි ආසිදෙ එකො එකාය පමදාය නාලපෙ.
Sinhala BJT4176. නුවණැත්තෝ තියුණු මුවහත් කඩුගත් ඇත් ඇත්තකු සමග කථා කරන්නේ ය. කිපුණු පිශාචයකු සමග කථා කරන්නේ ය. උග්‍ර තේජස් ඇති සර්‍පයකු වෙත හිඳිනේ ය. (එහෙත්) හුදෙකලා වූයේ හුදෙකලා වූ ස්ත්‍රියක සමග කථා නො කරන්නේ ය.
Pali BJT4177. ලොකචිත්තමථනා හි නාරියො නච්චගීතභණිතම්භිතාවුධා, බාධයන්ති අනුපට්ඨිතස්සතිං දීප{4}රක්ඛසිගණාව වාණිජෙ.
Sinhala BJT4177. නැටීම ය ගී කීම ය බිණීම ය සිනාව ය යන මේවා අවි කොට ඇති ඒ ස්ත්‍රීහු වනාහි ලෝකයාගේ සිත් මඩින්නාහ. යක්‍ෂද්වීපයෙහි මිනිසුන් පොළඹවා ගෙන කාදමන රකුසියන් මෙන් එළඹ සිටි සිහි නැත්තහු විනාශ කෙරෙත්.
Pali BJT4178. නත්ථි තාසං විනයො න සංවරො මජ්ජමංසනිරතා අසඤ්ඤතා, තා ගිලන්ති පුරිසස්ස පාභතං සාගරෙව මකරං තිමිඞ්ගලො{5}
Sinhala BJT4178. ඔවුන්ගේ හික්මීමෙක් නැත. සංවරයෙක් ද නැත. මත්පැනෙහි හා මස්කෑමෙහි ගිජු සංයම විරහිත ඒ ස්ත්‍රීහු මහ සයුරෙහි මෝරකු ගිලින තිමිඞ්ගල නම් මත්ස්‍යයා මෙන් පුරුෂයා දුකසේ සපයනලද ධනය වනසත්.
Pali BJT4179. පඤ්චකාම ගුණසාතගොචරා උද්ධතා අනියතා අසඤ්ඤතා, ඔසරන්ති පමදා පමාදිනං ලොණතොයවතියංව ආපගා{6}.
Sinhala BJT4179. පස්කම්සුව විඳීම ගොදුරු කොට ඇත්තා වූ උඩඟු වූ අස්ථිර සිත් ඇත්තා වූ සංයත නො වූ ස්ත්‍රීහු ගංගාවන් ඇදගන්න සාගරය මෙන් ප්‍රමාද වූවහු සිය වසයට ගනිත්.
Pali BJT4180. යං නරං උපරමන්ති{7} නාරියො චන්දසාව රතියා ධනෙනවා, ජාතවෙදසදිසම්පි තාදිසං රාගදොසවතියො{8} ඩහන්ති{9} නං.
Sinhala BJT4180. ස්ත්‍රීහු ප්‍රේමයෙන් හෝ පංචකාමරතියෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් මිනිසකුට ඇලුම් කෙරෙත් ද, රාග ද්වේෂයන්ගෙන් යුක්ත වූ ඒ ස්ත්‍රීහු (ගුණසම්පත්තියෙන් යුක්ත හෙයින්) ගින්නක් මෙන් දිලියෙන එබඳු පුරුෂයා විනාශ කරත්.
Pali BJT4181. අඩ්ඪං ඤත්වා පුරිසං මහද්ධනං ඔසරන්ති සධනා සහන්තනා, රත්තචිත්තං අතිවෙඨයන්ති නං සාලං මාලුවලතාව කානනෙ.
Sinhala BJT4181. ආඪ්‍ය වූ මහත් ධනය ඇති පුරුෂයා දැන සිය ධනයෙන් ද ආත්මපරිත්‍යාගය කරන්නක මෙන් ද එළැඹෙත්. රාගයෙන් රත් වූ සිත් ඇති ඔහු වෙනෙහි සල්ගස වැළඳගත් මාළුවා වැල මෙන් අතිශයින් වෙළාගනිත් (වැළඳගෙන පෙළත්.)
Pali BJT4182. තා උපෙන්ති විවිධෙන ඡන්දසා චිත්රබිම්බමුඛියො අලඞ්කතා, ඌහසන්ති පහසන්ති නාරියො, සම්බරොව සතමායකොවිදා.
Sinhala BJT4182. සැරසීමෙන් විසිතුරු කරනලද ශරීර හා මුඛ ඇති, අලංකෘත වූ, සියගණන් මායාවන්හි දක්‍ෂ වූ ඒ ස්ත්‍රීහු මායාකාරයකු මෙන් හෙවත් සම්බර නම් අසුරයා මෙන් නොයෙක් ආකාර ඇල්මෙන් පැමිණෙත්. මහත් කොට සිනාසෙත්. මදහස කෙරෙත්.
Pali BJT4183. ජාතරූපමණිමුත්තභුසිතා සක්කතා පතිකුලෙසු නාරියො, රක්ඛිතා අතිවරන්ති සාමිකං දානවංව හදයන්තරස්සිතා{1}.
Sinhala BJT4183. රන් මිණි මුතුවලින් සැරසුණු පතිකුලයන්හි සත්කාර කරනලද ස්ත්‍රීහු රක්නාලද වුවත් සැමියා ඉක්මවා හැසිරෙත්, හෘදයාභ්‍යන්තරයෙහි ආරක්‍ෂිත වූ ස්ත්‍රිය අසුරයා ඉක්ම පැවැත්තී ද එමෙනි.
Pali BJT4184. තෙජවාපි හි නරො විචක්ඛණො සක්කතො බහුජනස්ස පූජිතො, නාරීනං වසගතො න භාසති රාහුනා උපගතොව{2} චන්දිමා.
Sinhala BJT4184. බොහෝ දෙනා විසින් සත්කාර කරන ලද පුදනලද නුවණැති තේජස්වී පුරුෂ තෙමේ ද ස්ත්‍රී වසයට ගියේ රාහු වසයට ගිය සඳ මෙන් නො බබළයි.
Pali BJT4185. යං කරෙය්ය කුපිතො දිසො දිසං දුට්ඨචිත්තො වසමාගතං අරි තෙන භිය්යො ව්යසනං නිගච්ඡති නාරීනං වසගතො අපෙක්ඛවා.
Sinhala BJT4185. කිපුණු දුෂ්ට සිත් ඇති සතුරෙක් තමා වසයට පැමිණි සතුරකුට යමක් කරන්නේ ද, ස්ත්‍රී වසයට ගිය තෘෂ්ණා සහිත පුරුෂ තෙම එයට වඩා බොහෝ වූ විපතකට පැමිණෙයි.
Pali BJT4186. කෙසලූනනඛඡින්නතජ්ජිතා පාදපාණිකසදණ්ඩතාළිතා, හිතමෙව උපගතා හි නාරියො තා රමන්ති කුණපෙව මක්ඛිකා.
Sinhala BJT4186. හිසකේ ඇද කැඩීමෙන්, නියවලින් සීරීමෙන්, තර්‍ජනය කරනලද්දා වූ, අත් පා කස දඬුවලින් තළන ලද්දා වූ ඒ ස්ත්‍රීහු කුණපයෙහි ම ඇලෙන මැස්සන් මෙන් හීනයා වෙත ම එළඹියාහු ඇලෙත්.
Pali BJT4187. තා කුලෙසු විසිඛන්තරෙසු වා රාජධානිනිගමෙසු{3} වා පුන, ඔඩ්ඩිතං නමුචිපාසවාකරං{4} චක්ඛුමා පරිවජ්ජයෙ{5} සුඛත්ථිකො.
Sinhala BJT4187. කුලයන්හි හා වීථි අතර ද රාජධානිවල හා නියම් ගම්වල ද (කෙලෙස්) මරහු විසින් අටවනලද මලපුඬුවක් වැනි වූ ද දැලක් වැනි වූ ද ඒ ස්ත්‍රීන් නුවණැස් ඇති දෙලෝ සුව කැමති මිනිස් තෙම දුරු කරන්නේ ය.
Pali BJT4188. ඔස්සජිත්ව{1} කුසලං තපොගුණං යො අනරියචරිතානිමාචරි, දෙවතාහි නිරයං නිමිස්සති{2} ඡෙදගාමි මණියං ව වාණිජො.
Sinhala BJT4188. යමෙක් දෙව් මිනිස් සුව ගෙනදෙන්නා වූ තවුස් ගුණය අතහැර අනාර්‍ය්‍ය වූ කාමසේවනය කෙරේ ද, හෙතෙම දෙව්ලොවින් (පෙරළී) නිරයට යෙයි. (මහඟු මිණිරුවන් දී) නො වටනා කදා මිණක් ගන්නා (ලාමක) වෙළෙන්දකු මෙනි.
Pali BJT4189. සො ඉධ ගරහිතො පරත්ථ ච දුම්මතී උපගතො{3} සකම්මුනා, ගච්ඡති අනියතො ගලාගලං දුට්ඨගද්රභරතොව උප්පථෙ.
Sinhala BJT4189. (ස්ත්‍රී වසයට ගිය) ඒ අනුවණ තෙනැත්තා මෙලෝ පරලෝ දෙකෙහි ම ගර්හිත වූයේ, ස්වකර්‍මයෙන් විපාක විඳීමට එළඹියේ මෙතෙක් කලැයි අනියත වූයේ දෙව් මිනිස් දෙලොවින් ගිලිහී අපායට ම යයි. කුළු ගදුබුවකු යොදනලද රිය නො මඟෙහි ම යනු මෙනි.
Pali BJT4190. සො උපෙති නිරයං පතාපනං සත්තිසිම්බලිවනඤ්ච ආයසං{4} ආවසිත්වා තිරච්ඡානයොනියං{5} පෙතරාජවිසයං න මුඤ්චති.
Sinhala BJT4190. ස්ත්‍රී වසයට ගිය ඒ තෙනැත්තා අතිශයින් තැවීම් ඇත්තා වූ නිරයට ද අයෝමය කටුවලින් යුත් කටුඉඹුල්වන නම් වූ නිරයට ද පැමිණේ. එහි වැස තිරිසන් යෝනිය ද ප්‍රේතවිෂය ද කාලකඤ්ඡක නම් අසුරවිෂය ද නො ඉක්මවයි.
Pali BJT4191. දිබ්බඛිඩ්ඩරතියො න නන්දනෙ චක්කවත්තිචරිතඤ්ච මානුසෙ, නාසයන්ති පමදා පමාදිනං දුග්ගතිඤ්ච පටිපාදයන්ති නං.
Sinhala BJT4191. ප්‍රමදාවෝ ප්‍රමාදයෙන් යුත් පුරුෂයන්ගේ නන්‍දනෝද්‍යානයෙහි දිව්‍ය ක්‍රීඩාවන්හි ඇල්ම ද මනුෂ්‍ය ලෝකයෙහි චක්‍රවර්තී රාජසම්පත්තිය ද නසත්. ඒ පුරුෂයන්ට දුගති දුක ද සලසත්.
Pali BJT4192. දිබ්බඛිඩ්ඩරතියො න දුල්ලභා චක්කවත්තිචරිතඤ්ච මානුසෙ, සොණ්ණ{6}ව්යම්භනිලයා ච අච්ඡරා යෙ චරන්ති පමදාහනත්ථිකා.
Sinhala BJT4192. යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩෙක් නැතැයි (සිතා බඹසර) හැසිරෙත් ද ඔවුනට දිව්‍යක්‍රීඩාවන්හි ඇල්ම ද මිනිස් ලොවෙහි සක්විති සැපත ද රන්මුවා විමන් වැසි දෙවඟනෝ ද දුලබ නො වෙති.
Pali BJT4193. කාමධාතුසමතික්කමා ගති රූපධාතුයා{7} භවො න දුල්ලභො, වීතරාගවිසයූපපත්තියා යෙ චරන්ති පමදාහනත්ථිකා.
Sinhala BJT4193. යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩෙක් නැතැයි (සිතා බඹසර) හැසිරෙත් ද, (ඔවුනට) කාමධාතුව ඉක්මවීමෙන් ලැබෙන රූපභවය පිළිබඳ (උත්පත්ති වශයෙන් වූ) ගතිය ද වීතරාගීන්ට විෂය වූ ශුද්ධාවාසයන්හි උත්පත්තිය ද දුලබ නො වේ.
Pali BJT4194. සබ්බදුක්ඛසමතික්කමං සිවං අච්චන්තං අචලිතං අසඞ්ඛතං, නිබ්බුතෙහි සුචිහී න දුල්ලභං යෙ චරන්ති පමදාහනත්ථිකා.
Sinhala BJT4194. යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩෙක් නැතැයි (සිතා බඹසර) හැසිරෙත් ද ඔවුනට නිවනලද කෙලෙස් ගිනි ඇති පිරිසුදුවූවන් විසින් ලදහැක්කා වූ හැම දුක් ඉක්මවාලන්නා වූ, නිර්‍භය වූ වෙනස් නො වන්නා වූ කෙලෙසුන්ගෙන් අකම්ප්‍ය වූ හේතුප්‍රත්‍යයෙන් සකස් නො වූ නිර්‍වාණය දුර්‍ලභ නො වේ.
Pali BJT4195. කුණාලො හං තදා ආසිං උදායී ඵුස්සකොකිලො, ආනන්දො ගිජ්ඣරාජාසි සාරිපුත්තො ච නාරදො පරිසා බුද්ධපරිසා එවං ධාරෙථ ජාතකන්ති.
Sinhala BJT4195. එකල මම කුණාල නම් වීමි. උදායී ඵුස්සකොකිල නම් විය. ආනන්‍ද (ස්ථවිර තෙම) ගිජුලිහිණි රජ විය. සාරිපුත්ත (ස්ථවිර තෙම) නාරද නම් විය. පිරිස බුදුපිරිස ම ය. මෙසේ මේ ජාතකය දරව යී (වදාළ සේක.)
Pali BJTකුණාලජාතකං.
Sinhala BJTකුණාල ජාතක යි.
Pali BJT5. මහාසුතසොමජාතකං
Sinhala BJT5. මහාසුතසෝම ජාතකය
Pali BJT4196. කස්මා තුවං රසක එදිසානි කරොසි කම්මානි සුදාරුණානි, හනාසි ඉත්ථි පුරිසෙ ච මූළ්හො මංසස්ස හෙතු ආදු{1} ධනස්ස කාරණා
Sinhala BJT4196. එම්බා අරක්කැමිය, තෝ කුමක් හෙයින් මෙතරම් ඉතා දරුණුකම් කරන්නෙහි ද? මුළා වූයේ ස්ත්‍රීන් ද පුරුෂයන් ද නසන්නෙහි. මස් හේතු කොටගෙන ද නැතහොත් ධන හේතුකොටගෙන දැ යි (සෙන්පතියා ඇසී ය).
Pali BJT4197. න අත්තහෙතු න ධනස්ස කාරණා න පුත්තදාරස්ස සහායඤාතිනං, භත්තා ච මෙ භගවා භූමිපාලො සො ඛාදතී මංසං භදන්තෙ එදිසං.
Sinhala BJT4197. හිමියෙනි, මෙය තමන් හේතු කොටගෙන නො වෙයි. ධනය හේතු කොටගෙන ද නො වෙයි. අඹුදරුවන් ද යහළුවන් ද ඤාතීන් ද හේතු කොටගෙන නො වෙයි. මාගේ ස්වාමි වූ ඒ භගවත් රජ තෙමේ මෙබඳු වූ මස අනුභව කෙරේ යයි (අරක්කැමි තෙමේ කීයේ ය.)
Pali BJT4198. සචෙ තුවං භත්තුරත්ථෙ පයුත්තො කරොසි කම්මානි සුදාරුණානි, පාතො ච අන්තෙපුරං පාපුණිත්වා ලපෙය්යාසි මෙ රාජිනො සම්මුඛෙ තං.
Sinhala BJT4198. ඉදින් ස්වාමියාගේ වැඩෙහි යෙදුණා වූ තෝ මෙබඳු ඉතා දරුණුකම් කෙරෙහි නම් උදෑසන ම අන්තඃපුරයට පැමිණ රජු ඉදිරියෙහි ඒ කරුණ මට කියව (යි සෙන්පති තෙමේ කීවේ ය.)
Pali BJT4199. තථා කරිස්සාමි අහං භදන්තෙ යමෙව ත්වං භාසසි කාළහත්ථි, පාතො ව අන්තෙපුරං පාපුණිත්වා වක්ඛාමි තෙ රාජිනො සම්මුඛෙ තං.
Sinhala BJT4199. ස්වාමීනි, කාළහත්‍ථි නම් සෙන්පතිතුමනි, ඔබ වහන්සේ යමක් කියන්නහු නම් මම එසේ ම කරන්නෙමි. උදෑසන ම අන්තඃපුරයට පැමිණ රජු ඉදිරියෙහි එය ඔබට කියමි (යි අරක්කැමි තෙමේ කීවේ ය.)
Pali BJT4200. තතො රත්යා විවසනෙ සුරියස්සුග්ගමනං පති, කාළො රසකමාදාය රාජානං උපසඞ්කමි උපසඞ්කමිත්වා රාජානං ඉදං වචනමබ්රුවී.
Sinhala BJT4200. අනතුරු ව රාත්‍රිය ඉක්ම ගිය පසු සූර්‍ය්‍යොද්ගමයෙහි කාළ නම් සෙන්පති තෙමේ අරක්කැමියා ගෙන රජු වෙත එළැඹියේ ය. එළැඹ රජුට මේ වචනය කීවේ ය.
Pali BJT4201. සච්චං කිර මහාරාජ රසකො පෙසිතො තයා, හනාති{2} ඉත්ථි පුරිසෙ තුවං මංසානි ඛාදසි.
Sinhala BJT4201. මහරජ, නුඹ වහන්සේ විසින් ස්ත්‍රී පුරුෂයන් නසව යි අරක්කැමියා පිටත්කොට හරිනලද්දේ ය යන මේ කරුණ සත්‍යය ද? ඔබ වහන්සේ මිනීමස් කන්නහු ද?
Pali BJT4202. එවමෙවං තථා කාළ රසකො පෙසිතො මයා, මම අත්ථං කරොන්තස්ස කිමෙතං පරිභාසසි.
Sinhala BJT4202. කාළ (හත්‍ථි) නම් සෙන්පතිය, මා විසින් අරක්කැමියා පිටත්කොට හරිනලදී. මාගේ අර්‍ත්‍ථය (වැඩය) කරන්නා වූ ඔහුට කුමක් හෙයින් නින්‍දා කෙරෙහි දැ (යි රජතෙමේ ඇසී ය.)
Pali BJT4203. ආනන්දො සබ්බමච්ඡානං ඛාදිත්වා රසගිද්ධිමා, පරික්ඛීණාය පරිසාය අත්තානං ඛාදියා මතො.
Sinhala BJT4203. සියලු මත්ස්‍යයන්ට ප්‍රධාන වූ රසගේධ වූ ආනන්‍ද නම් මත්ස්‍ය තෙමේ තමන්ගේ පිරිස අනුභව කොට අවසන් වූ කල්හි පසුව තමා ද අනුභව කොට මළේ ය.
Pali BJT4204. එවං පමත්තො රසගාරවෙ රතො බලො යදි ආයතිං නාවබුජ්ඣති, විධම්ම පුත්තො චජි{3} ඤාතකෙ ච පරිවත්තිය අත්තානමෙව ඛාදති.
Sinhala BJT4204. මෙසේ ප්‍රමත්ත වූ රසගෙධයෙහි නියැලි අනුවණ තෙමේ ඉදින් මත්තෙහි වන්නා වූ දුක නො දනී නම් හෙතෙමේ දරුවන් නසා නෑයන් ද හැර දමා පෙරළා තමන් ම අනුභව කෙරේ.
Pali BJT4205. ඉදං තෙ සුත්වාන විහෙතු ඡන්දො මා භක්ඛසි රාජ මනුස්සමංසං, මා ත්වං ඉමං කෙවලං වාරිජොව දිපදාධිප සුඤ්ඤමකාසි රට්ඨං.
Sinhala BJT4205. මහරජ, මේ කරුණ අසා ඔබගේ ඒ කැමැත්ත දුරු කෙරේවා. රජතුමනි, මිනීමස් අනුභව නො කරව. මහරජ, ආනන්‍ද නම් මත්ස්‍යයා මෙන් මේ මුළුරට සුන් නො කරව (යි සෙන්පති තෙමේ කීවේය.)
Pali BJT4206. සුජාතො නාම නාමෙන ඔරසො තස්ස අත්රජො, ජම්බුපෙසිං අලද්ධාන මතො සො තස්ස සඞ්ඛයෙ.
Sinhala BJT4206. එම්බා කාළහත්‍ථිය, පෙරැ නමින් සුජාත නම් කෙළෙඹියෙක් විය. ඔහුගේ ඹෟරස පුත්‍රයෙක් විය. හෙතෙම දඹපල කාලය වූ කල්හි ද දඹපල නො ලැබ මළේ ය.
Pali BJT4207. එවමෙව අහං කාළ භුත්වා භක්ඛං රසුත්තතමං, අලද්ධා මානුසං මංසං මඤ්ඤෙ හෙස්සාමි ජීවිතං.
Sinhala BJT4207. කාළය, එපරිද්දෙන් මම ද උතුම් රස ඇති කෑම අනුභව කොට (ඒ උතුම් රසැති) මිනීමස් නොලැබ ජීවිතය හරින්නෙමි යි සිතමි (යී රජතෙමේ කීයේය.)
Pali BJT4208. මාණව අභිරූපොසි කුලෙ ජාතොසි සොත්ථියෙ, න ත්වං අරහසි තාත අභක්ඛං භක්ඛයෙතවෙ.
Sinhala BJT4208. මාණවකය, තෝ මනා රූ ඇත්තෙහිය. සොත්‍ථිය නම් උතුම් කුලයෙහි උපන්නෙහි ය. පුත්‍රය, නුඹ අනුභව නො කටයුක්තක් අනුභව කරන්නට නුසුදුස්සෙහි ය.
Pali BJT4209. රසානමඤ්ඤතරං එතං යස්මා{1} මං ත්වං නිවාරයෙ, සොහං තත්ථ ගමිස්සාමි යත්ථ ලච්ඡාමි එදිසං.
Sinhala BJT4209. පියාණෙනි, නුඹ වහන්සේ යම් බඳු රසයකින් මා වළකනසේක් නම් එය රස අතුරින් උතුම් රසයෙකි. ඒ මම යම් තැනෙක්හි මෙබඳු රසයක් ලබන්නෙම් නම් එහි යමි.
Pali BJT4210. සො වාහං නිප්පතිස්සාමි න තෙ වච්ඡාමි සන්තිකෙ, යස්ස මෙ දස්සනෙන ත්වං නාභිනන්දසි බ්රාහ්මණ.
Sinhala BJT4210. පීතෘ බ්‍රාහ්මණය, යම්බඳු වූ මාගේ දැකීමෙන් නුඹ වහන්සේ සතුටු නො වන සේක් නම් ඒ මම නුඹවහන්සේ සමීපයෙහි නො වසමි. මම ම නික්ම යන්නෙමි යි මාණවකයා කීවේ ය.
Pali BJT4211. අද්ධා අඤ්ඤෙපි දායාදෙ පුත්තෙ ලච්ඡාම මාණව, ත්වඤ්ච ජම්ම විනස්සස්සු යත්ථ පත්තං න තං සුණෙ.
Sinhala BJT4211. මාණවකය, අන්‍ය වූ ද පුත්‍ර දායාදයන් ලබන්නෙමි. නීචය, තෝ ද වැනසෙව, යම් තැනකට පැමිණි තා නො අසන්නෙම් ද (එසේ කරව.)
Pali BJT4212. එවමෙව තුවං රාජ දිපදින්ද සුණොහි මෙ, පබ්බාජෙස්සන්ති තං රට්ඨා සොණ්ඩං මාණවකං යථා.
Sinhala BJT4212. නරශ්‍රේෂ්ඨ මහරජ, මගේ වචනය අසනු මැනවි. රා සොඬ තරුණයා යම්සේ රටින් පිටුවහල් කරනලද්දේ ද එසේ ම නුඹවහන්සේ ද රටින් පිටුවහල් කරන්නාහ (යි සේනාපතියා කීවේ ය.)
Pali BJT4213. සුජාතො නාම නාමෙන භාවීතත්තාන සාවකො, අච්ඡරං කාමයන්තොව න සො භුඤ්ජි න සො පිවි.
Sinhala BJT4213. භාවිතාත්ම ඇති ඍෂීන්ගේ ශ්‍රාවක වූ නමින් සුජාත නම් වූ තැනැත්තා දිව්‍යාප්සරාවන් කැමැත්තේ ම නො කෑවේ ය. නො බිව්වේ ය.
Pali BJT4214. කුසග්ගෙ උදකමාදාය සමුද්දෙ උදකං මිනෙ, එවං මානුසකා කාමා දිබ්බකාමාන සන්තිකෙ.
Sinhala BJT4214. යම්සේ කුසතණ අග දිය ගෙන මුහුදු දිය මනින්නේ ද දිව්‍යකාමයන් හමුවෙහි මානුසක කාමයෝ ද එමෙනි.
Pali BJT4215. එවමෙව අහං කාළ භුත්වා භක්ඛං රසුත්තතමං, අලද්ධා මානුසං මංසං මඤ්ඤෙ හෙස්සාමි ජීවිතං.
Sinhala BJT4215. කාළහත්‍ථිය, රසෝත්තම වූ කෑම කා ඒ මිනීමස් නො ලැබ ජීවිතය හරින්නෙමි යි සිතම් යයි කීයේ ය.
Pali BJT4216. යථාපි තෙ ධතරට්ඨා හංසා වෙහාසයං ගමා, අවුත්ති{2}පරිභොගෙන සබ්බෙ අබ්භත්ථතං ගතා.
Sinhala BJT4216. අහසින් ගමන්කරන්නා වූ ධතරට්ඨ නම් හංසයෝ නුසුදුසු පරිභෝගයෙන් සියල්ලෝ ම යම්සේ විනාශයට පත්වූහු ද,
Pali BJT4217. එවමෙව තුවං රාජ දිපදින්ද සුණොහි මෙ, අභක්ඛං රාජ භක්ඛෙසි තස්මා පබ්බාජයන්ති තං.
Sinhala BJT4217. නරශ්‍රේෂ්ඨ මහරජ, මාගේ වචනය අසනු මැනව, එමෙන් ම නුඹ වහන්සේ ද නොබිදිය යුතු ඒ මිනීමස් අනුභව කරන්නහු ය. එහෙයින් නුඹ වහන්සේ රටින් පිටුවහල් කෙරෙත් යයි සෙන්පති තෙමේ කීයේ ය.
Pali BJT4218. තිට්ඨාහීති මයා වුතෙතා සො ත්වං ගච්ඡසි පම්මුඛො{1}, අට්ඨිතො ත්වං ඨිතොම්හීති ලපසි බ්රහ්මචාරිනී ඉදං තෙ සමණ අයුත්තං අසිඤ්ච මෙ මඤ්ඤසි කඞ්කපත්තං.
Sinhala BJT4218. එම්බා තපස්විය, ඒ නුඹ මා විසින් සිටුව යි කියන ලද්දෙහි පිටුපා යන්නෙහි ය. නොසිටියා වූ නුඹ සිටියෙමි යි කියන්නෙහි ය. ශ්‍රමණය, මෙය වනාහි තොපට නුසුදුසු ය. කිම, මාගේ කඩුව කුසතණ පතක් කොට සිතහි දැ ? යි පෝරිසාදයා ඇසී ය.
Pali BJT4219. ඨිතොහමස්මි සධම්මෙසු{2} රාජ න නාමගොත්තං පරිවත්තයාමි, චොරඤ්ච ලොකෙ අට්ඨිතං වදන්ති ආපායිකං නෙරයිකං ඉතො චුතං.
Sinhala BJT4219. මහරජ, මම ස්වකීය වූ කුශලධර්‍මයන්හි සිටියෙම් වෙමි. මම නාම ගෝත්‍රය නො පෙරළමි. මෙයින් චුත ව අපාගතවනසුලු වූ නේරයික වූ සොරා වනාහි ලෙව්හි නොසිටියෙකැ යි කියත්.
Pali BJT4220. සචෙ තුවං සද්දහසි රාජ සුතං ගණ්හාහි ඛත්තිය, තෙන යඤ්ඤං යජිත්වාන එවං සග්ගං ගමිස්සසි.
Sinhala BJT4220. එම්බා පෝරිසාදය, මෙය විශ්වාස කරන්නෙහි ද? එසේ නම් මෙය අසව, ඉදින් සුතසෝම රජ ගන්නෙහි නම් එයින් යාග කොට මෙසේ ස්වර්‍ගයට යන්නෙහි ය.
Pali BJT4221. කස්මිං නු රට්ඨෙ තව ජාතභූමි අථ කෙන අත්ථෙන ඉධානුපත්තො, අක්ඛාහි මෙ බ්රාහ්මණ එතමත්ථං කිමච්ඡසි දෙමි තයජ්ජ පත්ථිතං.
Sinhala BJT4221. එම්බා බ්‍රාහ්මණය, නුඹගේ ජාතභූමිය කිනම් රටෙක්හි ද, කිනම් කරුණක් හේතු කොටගෙන මෙහි පැමිණියෙහි ද, මේ කරුණ මට කියව. කුමක් කැමැත්තෙහි ද? තා විසින් අද පතන ලද්දේ කවරක් ද? එය දෙමි යි සුතසෝම රජ තෙමේ කීයේ ය.
Pali BJT4222. ගාථා චතස්සො ධරණීමහිස්සර සුගම්භිරත්ථා වරසාගරූපමා, තවෙව අත්ථාය ඉධාගතොස්මි සුණොහි ගාථා පරමත්ථසංහිතා.
Sinhala BJT4222. මහරජ, උතුම් සාගරය බඳු වූ ඉතා ගැඹුරු වූ ගාථා සතරක් ඔබගේ ම ප්‍රයෝජනය පිණිස, මෙහි ගෙනාවෙමි. උතුම් අර්‍ත්‍ථයෙන් යුත් ඒ ගාථා අසව යි බමුණා කීවේ ය.
Pali BJT4223. න වෙ රුදන්ති මතිමන්තො සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, දීපං හි එතං පරමං නරානං යං පණ්ඩිතා සොකනුදා භවන්ති.
Sinhala BJT4223. යම් හෙයෙකින් පණ්ඩිතයෝ අනුන්ගේ ශෝක දුරු කරන්නාහු වෙද්ද, මිනිසුන්හට ඒ ශෝක දුරු කිරීම පරම පිහිටෙකි. බහුශ්‍රුත වූ බොහෝ කරුණු සිතන්නා වූ සප්‍රාඥයෝ වෙද්ද, එබඳු මහාප්‍රාඥයෝ ඒකාන්තයෙන් නො හඬති.
Pali BJT4224. අත්තානං ඤාතී උද පුත්තදාරං ධඤ්ඤං ධනං රජතං ජාතරූපං, කිමොනු ත්වං සුතසොමානුතප්පෙ කොරව්යසෙට්ඨ වචනං සුණොම තෙ{3}.
Sinhala BJT4224. කෝරව්‍ය ශ්‍රේෂ්ඨ මහරජතුමනි, නුඹ තමා ද ඥාතීන් ද නොහොත් අඹු දරුවන් ද ධාන්‍යය ද ධනය ද රිදී ද රන් ද යන මේ කුමකට තැවෙන්නෙහි ද? යන මේ වචනය තා විචාරමි යි පෝරිසාදයා ඇසී ය.
Pali BJT4225. නෙවාහමත්තානමනුත්ථුනාමි න පුත්තදාරං න ධනං න රට්ඨං, සතඤ්ච ධම්මො චරිතො පුරාණො තං සඞ්ගරං බ්රාහ්මණස්සානුතප්පෙ.
Sinhala BJT4225. එම්බා පෝරිසාදය, මම තමන් ගැන ශෝක නො කරමි. අඹු දරුවන් ගැන ද ශෝක නො කරමි. ධනය ගැන හෝ ශෝක නො කරමි. රට ගැන හෝ ශෝක නො කරමි. පුරාණ වූ සත්පුරුෂ ධර්‍මය පුරුදු කරන ලද්දෙක්මි. බ්‍රාහ්මණයාට වූ ඒ පොරොන්දුව ගැන ශෝක කරමි.
Pali BJT4226. කතො මයා සඞ්ගරො බ්රාහ්මණෙන රට්ඨෙ සකෙ ඉස්සරියෙ ඨිතෙන, තං සඞ්ගාරං බ්රාහ්මණස්සප්පදාය සච්චානුරක්ඛි පුනරාවජිස්සං.
Sinhala BJT4226. සිය රටෙහි ඉසුරු බව්හි පිහිටියා වූ මා විසින් බ්‍රාහ්මණයකු සමග පොරොන්දුවකට බැඳෙන ලද. බ්‍රාහ්මණයාට ඒ පොරොන්දුව සපුරා සත්‍යය රක්නෙම් නැවත එන්නෙමි යි සුතසෝම රජ තෙමේ කීයේ ය.
Pali BJT4227. නෙවාහමෙතං අභිසද්දහාමි සුඛී නරො මච්චුමුඛා පමුත්තො, අමිත්තහත්ථං පුනරාවජෙය්ය කොරව්යසෙට්ඨ නහි මං උපෙසීති.
Sinhala BJT4227. මරු මුවින් මිදුණු, සුවපත් වූ, මනුෂ්‍ය තෙමේ නැවත සතුරාගේ අතට පැමිණෙන්නේ ය, යන මේ කාරණය මම විශ්වාස නො කරමි. කොරව්‍යරටෙහි අධිපති මහරජතුමනි, මා වෙත නො එළඹෙන්නෙහි ය.
Pali BJT4228. මුත්තො තුවං පොරිසාදස්ස හථො ගන්ත්වා සකං මන්දිරං කාමකාමී, මධුරම්පියං ජීවිතං ලද්ධ රාජ කුතො තුවං එහිසි මෙ සකාසං.
Sinhala BJT4228. කාමසම්පත් කැමතිවන්නා වූ රජතුමනි, නුඹ පොරිසාදයාගේ අතින් මිදුණෙහි සිය මැදුරට ගොස් මිහිරි ප්‍රිය ජීවිතයක් ලැබ නැවත මා වෙත කවර කරුණෙකින් පැමිණෙන්නෙහි දැ යි පෝරිසාදයා ඇසී ය.
Pali BJT4229. මතං වරෙය්ය පරිසුද්ධසීලො න හි ජීවිතං ගරහිතො පාපධම්මො, න හි තං නරං තායතෙ{1} දුග්ගතීහි යස්සාපි හෙතු අලිකං භණෙය්ය.
Sinhala BJT4229. පිරිසුදු සිල් ඇත්තේ මරණය කැමති වන්නේ ය. මෙරමා විසින් නින්‍දා කරනලද පාපසම්භව ඇත්තෙක් ව ජීවිතය නො කැමති වන්නේ ය. යමක් හේතු කොට ගෙන බොරු කියන්නේ නම් එය ඒ සත්‍වයා දුගතියෙන් නො මුදාලන්නේ ය.
Pali BJT4230. සචෙපි වාතො ගිරිමාවහෙය්ය චන්දො ච සුරියො ච ඡමාපතෙය්යුං, සබ්බාව නජ්ජො පටිසොතං{2} වජෙය්යුං නත්වෙවහං රාජ මුසා භණෙය්යං.
Sinhala BJT4230. මහරජ, ඉදින් වාතය පර්‍වතයක් පුළුන් පොදක් සේ ගෙනයතුදු සඳ හිරු බිම වැටෙතුදු හැම නදීහු උඩු ගං බලා යතුදු මම නම් බොරු නො කියමි යි සුතසෝම තෙමේ කීයේ ය.
Pali BJT4231. නභං ඵලෙය්ය උදධී විසුස්සෙ සංවත්තෙය්ය භූතධරා වසුන්ධරා, සිලුච්චයො නෙරු සමූලමුප්පතෙ නත්වෙවහං රාජ මුසා භණෙය්යං.
Sinhala BJT4231. අහස පැළී ගිය ද, සයුර වියළී ගිය ද, සත්‍වයන් දරා සිටුනා පෘථිවිය පෙරළී ගිය ද, මහමෙර ඉදිරි වැටෙතුදු මහරජ මම නම් බොරු නො කියමි.
Pali BJT4232. අසිඤ්ච සත්තිඤ්ච පරාමසාමි සපථම්පි තෙ සම්ම අහං කරොමි, තයා පමුත්තො අනණො භවිත්වා සච්චානුරක්ඛි පුනරාවජිස්සං.
Sinhala BJT4232. යහළු පෝරිසාදය, කඩුව ද සිරිය ද මම පරාමර්‍ශනය කරමි. යහළුව මම ඔබට දිවිරීම ද කරමි. නුඹ විසින් මුදනලද මම බ්‍රාහ්මණයාට ණය නැත්තෙක් ව, සත්‍යය රක්නෙම් නැවත එන්නෙමි යි සුතසෝම රජතෙමේ කීවේ ය.
Pali BJT4233. යො තෙ කතො සඞ්ගරො බ්රාහ්මණෙන රට්ඨෙ සකෙ ඉස්සරියෙ ඨිතෙන, තං සඞ්ගරං බ්රාහ්මණස්සප්පදාය සච්චානුරක්ඛි පුනරාවජස්සු.
Sinhala BJT4233. මහරජ, සියරටෙහි ඉසුරු බව්හි සිටියා වූ ඔබ විසින් බ්‍රාහ්මණයකු සමග යම් පොරොන්දු වීමක් කරන ලද ද, ඒ පොරොන්දුව බමුණාට දී සත්‍යය රක්නෙහි නැවත මෙහි එව යි පෝරිසාදයා කීවේ ය.
Pali BJT4234. යො තෙ කතො සඞ්ගරො බ්රාහ්මණෙන රට්ඨෙ සකෙ ඉස්සරියෙ ඨිතෙන, තං සඞ්ගරං බ්රාහ්මණස්සප්පදාය සච්චානුරක්ඛි පුනරාවජිස්සං.
Sinhala BJT4234. සිය රටෙහි ඉසුරුබව්හි සිටියා වූ මා විසින් බ්‍රාහ්මණයකු හා යම් පොරොන්දුවක් කරන ලද ද, ඒ පොරොන්දුව බමුණාට දී සත්‍යය රක්නෙක් ව නැවත මෙහි එමී යි රජ තෙමේ කීවේ ය.
Pali BJT4235. මුත්තො ච සො පොරිසාදස්ස හත්ථා ගන්ත්වාන තං බ්රාහ්මණං එතදවොච, සුණොමි ගාථායො සතාරහායො යා මෙ සුතා අස්සු හිතාය බ්රහ්මෙ.
Sinhala BJT4235. ඒ සුතසෝම රජ තෙම පොරිසාදයාගේ අතින් මිදුණේ ඒ බමුණා වෙත ගොස් මෙසේ කීවේ ය. එම්බා බ්‍රාහ්මණය, අසනලද යම් ඒ ගාථාවෝ හිත පිණිස පවතිද්ද, ඒ සතාරහ නම් ගාථාවන් අසමි යි රජ තෙම කීවේ ය.
Pali BJT4236. සකිදෙව{1} සුතසොම සබ්භි හොති සමාගමො, සා නං සඞ්ගති පාලෙති නාසබ්භි බහුසඞ්ගමො.
Sinhala BJT4236. සුතසෝම රජුනි, සත්පුරුෂයන් සමග එක් වරක් හෝ එක් වෙයි ද, එය ඔහු රකී. අසත්පුරුෂයන් සමග බොහෝවූ ද එක්වීම් එසේ නො කෙරේ.
Pali BJT4237. සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං{2}, සතං සද්ධම්මමඤ්ඤාය සෙය්යො හොති න පාපියො.
Sinhala BJT4237. සත් පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත් පුරුෂයන් සමග ම මිත්‍රසන්‍ථවය කරන්නේ ය. බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන ශ්‍රෙෂ්ඨයෙක් වන්නේ ය. ලාමකයෙක් නො වන්නේ ය.
Pali BJT4238. ජීරන්ති වෙ රාජරථා සුචිත්තා අථො සරීරම්පි ජරං උපෙති, සතඤ්ච ධම්මො න ජරං උපෙති සන්තො භවෙ සබ්භි පවෙදයන්ති.
Sinhala BJT4238. ඉතා විසිතුරු කරනලද රාජ රථයෝ ඒකාන්තයෙන් දිරත්. වැළි ශරීරය ද ජරාවට යෙයි. බුද්ධාදී සත්පුරුෂයන්ගේ නිර්‍වාණ ධර්‍මය ජරාවට නො යයි. බුද්ධාදී සත්පුරුෂයෝ (ඒකාන්තයෙන්) ඒ නිවන ප්‍රකාශ කරති.
Pali BJT4239. නභඤ්ච දූරෙ පඨවී ච දූරෙ පාරං සමුද්දස්ස තදාහු දූරෙ, තතො භවෙ දූරතරං වදන්ති සතඤ්ච ධම්මං{3} අසතඤ්ච රාජ.
Sinhala BJT4239. මහරජ, අහස ද දුර වේ. පොළොව ද දුර වේ. සමුද්‍රයාගේ පරතෙර ද දුරෙහි පිහිටියේ ය. සත්පුරුෂයන්ගේ ධර්‍මය හා අසත් පුරුෂයන්ගේ ධර්‍මය අතරැ ඒකාන්තයෙන් දුරතර යයි කියත්.
Pali BJT4240. සහස්සියො{4} ඉමා ගාථා න ඉමා ගාථා සතාරහා, චත්තාරි ත්වං සහස්සානි ඛිප්පං ගණ්හාහි බ්රාහ්මණ.
Sinhala BJT4240. බමුණ, මේ ගාථාවෝ සීයක් නොව දහසක් වටනාහු වෙති. එහෙයින් ඔබ සාරදහසක් වහා ගනුව යි සුතසෝම රජ කීවේ ය.
Pali BJT4241. ආසීතියා නාවුතියා ච ගාථා සතාරහා චාපි භවෙය්යු ගාථා පච්චත්තමෙව සුතසොම ජානහි{5} සහස්සියො{6} නාම කුධත්ථි{7} ගාථා.
Sinhala BJT4241. එම්බා සුතසෝමය, අසූවක් වටනා වූ ද, අනූවක් වටනා වූ ද සියයක් වටනා වූ ද ගාථාවෝ ඇතැ යි ඔබ දන්නෙහි ය. දහසක් වටිනා ගාථාවෝ කොහි වෙද්ද? කියා පිය රජ ඇසී ය.
Pali BJT4242. ඉච්ඡාමි වොහං සුතවුද්ධිමත්තනො සන්තො{8} ච මං සප්පුරිසා භජෙය්යුං, අහං සවන්තීහි මහොදධීව නහි තාත තප්පාමි සුභාසිතෙන.
Sinhala BJT4242. පියාණෙනි, මම තමාගේ ශ්‍රැතය පිළිබඳ දියුණුව කැමැති වෙමි. ශාන්ත වූ සත්පුරුෂයෝ මා භජනය කෙරෙත්වා. මම වනාහි ගඞ්ගාවන්ගෙන් තෘප්ත නො වන්නා වූ මහාසාගරය මෙන් සුභාෂිතයෙන් තෘප්ත නො වෙමි.
Pali BJT4243. අග්ගි යථා තිණකට්ඨං ඩහන්තො{1} න තප්පතී සාගරො වා නදීහි, එවම්පි තෙ පණ්ඩිතා රාජසෙට්ඨ සුත්වා න තප්පන්ති සුභාසිතෙන.
Sinhala BJT4243. යම්සේ ගින්න තෘණ කාෂ්ඨ දවමින් තෘප්ත නො වේ ද, නදී ජලයෙන් සාගරය හෝ තෘප්ත නො වේ ද, රාජශ්‍රේෂ්ඨය එපරිද්දෙන් ම ඒ පණ්ඩිතයෝ සුභාෂිතයන් අසා තෘප්ත නො වෙත්.
Pali BJT4244. සකස්ස දාසස්ස යදා සුණොමි ගාථා{2} අහං අත්ථවතී ජනින්ද, තමෙව සක්කච්ච නිසාමයාමි නහි තාත ධම්මෙසු මමත්ථි තිත්ති.
Sinhala BJT4244. ප්‍රජාධිපති මහරජතුමනි, යම් විටෙක දී සිය දාසයකුගෙන් වුව අර්‍ත්‍ථවත් ගාථාවක් අසම් ද, එය සකස්කොට ම අසමි. පියාණන් වහන්ස, ධර්‍මයන් විෂයයෙහි මාගේ තෘප්තියක් නම් නැත්තේ ම ය.
Pali BJT4245. ඉදන්තෙ රට්ඨං සධනං සයොග්ගං සකායුරං සබ්බකාමූපපන්නං, කිං කාමහෙතු පරිභාසසෙ{3} මං ගච්ඡාමහං පොරිසාදස්ස{4} කන්තෙ.
Sinhala BJT4245. පියාණෙනි, ධනය සහිත වූ බල වාහන සහිත වූ ආභරණ සහිත වූ සියලු කැමැති සම්පත් ඇත්තා වූ ඔබගේ මේ රජය භාර ගනුමැනවි. කාමසම්පත් හේතු කොටගෙන කුමකට මට පරිභව කරන්නෙහි ද, මම පෝරිසාදයා සමීපයට යමි යි සුතසෝම තෙමේ කීවේ ය.
Pali BJT4246. අත්තානුරක්ඛාය භවන්ති හෙතෙ හත්ථාරොහා රථිකා පත්තිකා ව, අස්සාරෙහා{5} යෙ ච ධනුග්ගහාසෙ සෙනං පයුඤ්ජාම හනාම සත්තුං.
Sinhala BJT4246. එම්බා පුත්‍රය, ඇතරුවෝ ය රියසෙනඟ ය පාබළ සෙනඟ ය අශ්වාරෝහකයෝ ය ධනුර්ධරයෝ ය යන යම් සමූහයක් වෙද්ද, මේ සියල්ලෝ ම ඒකාන්තයෙන් ආත්මාරක්‍ෂාව පිණිස වෙති. එබැවින් සේනාව යොදවමු, සතුරා නසමු යි පියරජ තෙමේ කීවේ ය.
Pali BJT4247. සුදුක්කරං පොරිසාදො අකාසි ජීවං ගහෙත්වාන අවිස්සජී මං, තං තාදිසං පුබ්බකිච්චං සරන්තො දුබ්භෙ{6} අහං තස්ස කථං ජනින්ද.
Sinhala BJT4247. නරශ්‍රේෂ්ඨ වූ පියාණන් වහන්ස, පෝරිසාද තෙම මා ජීවග්‍රාහයෙන් ගෙන හැර දැමී ද එසේ කිරීමෙන් හෙතෙමේ සුදුෂ්කර වූවක් කෙළේ ය. එබඳු පළමු උපකාරයක් සිහි කරන්නා වූ මම ඔහුට කෙසේ නම් ද්‍රෝහ කෙරෙම් දැ යි සුතසෝම තෙමේ ඇසී ය.
Pali BJT4248. වන්දිත්වා සො පිතරං මාතරඤ්ච අනුසාසිත්වා නෙගමඤ්ච බලඤ්ච, සච්චවාදී සච්චානුරක්ඛමානො අගමාසි සො යෙන සො පොරිසාදො{7}.
Sinhala BJT4248. හෙතෙම පියා ද මව ද වැඳ නියම්ගම් වැස්සන්ට ද බලසෙනගට ද අනුශාසනා කොට සත්‍යය කියන්නේ සත්‍යය රකිමින් පෝරිසාදයා යම් තැනෙක්හි නම් එහි ගියේ ය.
Pali BJT4249. කතො මයා සඞ්ගරො බ්රාහ්මණෙන රට්ඨෙ සකෙ ඉස්සරියෙ ඨිතෙන, තං සඞ්ගරං බ්රාහ්මණස්සප්පදාය සච්චානුරක්ඛී පුනරාගතොස්මි යජස්සු යඤ්ඤං ඛාද මං පොරිසාද.
Sinhala BJT4249. සිය රටෙහි ඉසුරුබව්හි සිටියා වූ මා විසින් බ්‍රාහ්මණයකු සමග යම් පොරොන්දුවක් වන ලද ද, එය ඒ බ්‍රාහ්මණයාට දී සත්‍යය රක්නෙම් නැවත මෙහි ආවෙමි. පෝරිසාදය, මා මරා දේවතාවාට යාග හෝ කරව. මාගේ මස් හෝ අනුභව කරව යි සුතසෝම රජ තෙම කීවේ ය.