Pali BJT3687. න මෙ අකාසි වචනං අත්ථකාමාය පුත්තිකෙ, සාජ්ජ ලොහිතසඤ්ඡන්නා ගඤ්ඡිසි{7} යමසාධනං.
Sinhala BJT3687. දියණියනි, තෝ වැඩ කැමැති වූ මාගේ වචනය නො පිළිගත්තෙහි ය. එ බැවින් ඒ නුඹ අද ලෙයින් වැකීගිය සිරුරු ඇත්තී මෘත්‍යුරාජභවනයට යන්නෙහි ය.
Pali BJT3688. එවමාපජ්ජතී පොසො පාපියඤ්ච නිගච්ඡති, යො වෙ හිතානං වචනං න කරං අත්ථදස්සිනං.
Sinhala BJT3688. යමෙක් යහපත දක්නා වූ හිතවතුන්ගේ බස් නොපිළිපදී ද, එ බඳු පුරුෂ තෙම මෙසේ ව්‍යසනයට පැමිණේ. මීට වැඩි දුකට ද පත් වේ.
Pali BJT3689. සචෙ ත්වං අම්ම ධාරෙසි{8} කුමාරං චාරුදස්සනං, කුසෙන ජාතං ඛත්තියං සුවණ්ණමණිමෙඛලං පූජිතං ඤාතිසඞ්ඝෙහි න ගඤ්ඡිසි යමක්ඛයං.
Sinhala BJT3689. දියණියනි, ඉදින් නුඹ කුසරජු නිසා උපන්, මනා දැකුම් ඇත්තා වූ, රන් මිණි මෙවුල් දරන්නා වූ, නෑ සමූහයා විසින් පුදන ලද කුමරකු දරන්නෙහි (සැමියා වශයෙන් පිළිගන්නෙහි) නම් යමයා වෙත නො යන්නෙහි ය.
Pali BJT3690. යත්ථස්සු භෙරී නදති කුඤ්ජරො පටිකුජ්ජති,{9} ඛත්තියානං කුලෙ භද්දෙ කින්නු සුඛතරං තතො.
Sinhala BJT3690. සුන්‍දර වූ දියණියනි, යම් කුසරාජ භවනයෙක්හි බෙර වැයීමාදි තූර්‍ය්‍යනාද පවතී ද, මංගල හස්ති තෙම කුඤ්චනාද කෙරේ ද, ඊට වැඩි සුවය කුමක් ද?
Pali BJT3691. අස්සො හසිසති ද්වාරෙ කුමාරො උපරොදති, ඛත්තියානං කුලෙ භද්දෙ කින්නු සුඛතරං තතො.
Sinhala BJT3691. සුන්‍දර වූ දියණියනි, යම් කුසරාජභවනයෙක්හි මංගල අශ්ව තෙම හේසාරව පවත්වා ද, මනාව හික්මුණු ගන්‍ධර්‍ව කුමාරයෙක් දොරටුවෙහි සිටිමින් නොයෙක් තූර්‍ය්‍යභාණ්ඩ ගෙන උපහාර කෙරේ ද, ඊට වැඩි සුවය කුමක් ද?
Pali BJT3692. මයූරකොඤ්චාහිරුදෙ කොකිලාභිනිකූජිතෙ, ඛත්තියානං කුලෙ භද්දෙ කින්නු සුඛතරං තතො.
Sinhala BJT3692. සුන්‍දර වූ දියණියනි, මොනරුන් හා කොස්ලිහිණියන් විසින් කරන ලද හඬ ඇති, කොවුලන් විසින් මනා ව පවත්වන ලද නාද ඇති, කුසරාජ භවනයෙහි සැපතට වඩා කවර නම් සුවයෙක් ද?
Pali BJT3693. කහං නුඛො සත්තුමද්දනො පරරට්ඨප්පමද්දනො, කුසො සොළාරපඤ්ඤාණො සො නො දුක්ඛා පමොචයෙ.
Sinhala BJT3693. යමෙක් අප දුකින් මුදන්නේ ද? සතුරන් මඬින්නා වූ, අන් රටවල් යටත් කරගන්නා වූ, මහත් ප්‍රඥා ඇති ඒ කුසරජ තෙම කොහි ද?
Pali BJT3694. ඉධෙව සො සත්තුමද්දනො{1} පරරට්ඨප්පමද්දනො, කුසො සොළාරපඤ්ඤාණො යො නො දුක්ඛා{2} පමොචයෙ.
Sinhala BJT3694. යමෙක් අප දුකින් මුදන්නේ ද, සතුරන් මඬින්නා වූ අන්රටවල් යටත් කරගන්නා වූ මහත් ප්‍රඥා ඇති ඒ කුසරජ තෙම මෙහි ම ය යි ප්‍රභාවතිය කීවා ය.
Pali BJT3695. උම්මත්තිකා නු භණසි ආදු බාලාව{3} භාසසි, කුසො චෙ ආගතො අස්ස කිං න ජානෙමු තං මයං.
Sinhala BJT3695. තී උමතුවෙන් දොඩවන්නෙහි ද, එසේ නැත් නම් මෝඩකමින් කථා කරන්නේ ද, ඉදින් කුසරජ තෙමේ ආයේ නම්, ඒ කරුණ කුමක් නිසා අපි නො දන්නෙමු ද?
Pali BJT3696. එසො ආළාරිකො පොසො කුමාරීපුරමන්තරෙ, දළ්හං කත්වාන සංවෙල්ලිං{4} කුම්භිං ධොවති ඔනතො
Sinhala BJT3696. කුමරියන්ගේ අන්තඃපුර අතර දැඩි ලෙස කැසපට බැඳගෙන වළන් සෝදන තැනැත්තා මේ කුසරජ ය යි ප්‍රභාවතිය කීවා ය.
Pali BJT3697. වෙණි ත්වමසි චණ්ඩාලී ආදූසි කුලගන්ධිනී, කථං මද්දකුලෙ ජාතා දාසං කයිරාසි කාමුකං.
Sinhala BJT3697. තෝ වඩු කුලයෙහි උපන්නියක් වෙහි ද? නැත හොත් සැඬොලියක් ද? කුලදූෂ්‍ය ස්ත්‍රියක් වෙහි ද? මදු රජකුලයෙහි උපන්නා වූ තෝ තම ස්වාමියා කෙසේ නම් දාසයකු කරන්නෙහි දැ යි මව ඇසුවා ය.
Pali BJT3698. නම්හි වෙණි න වණ්ඩාලි න චම්හි කුලගන්ධිනී, ඔක්කාකපුත්තො භද්දන්තෙ ත්වන්නු දාසොති මඤ්ඤසි.
Sinhala BJT3698. මෑණියනි, ඔබ තුමියට යහපතක් වේවා. මම වඩු කුලයෙහි උපන්නියක් නො වෙමි. සැඬොලියක් ද නො වෙමි. කුලදූෂ්‍ය ස්ත්‍රියක් ද නො වෙමි. මෙ තෙම වනාහි ඔක්කාක පුත්‍ර වූ කුසරජ වන්නේ ය. ඔබතුමී වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි යයි ප්‍රභාවතිය කීවා ය.
Pali BJT3699. යො බ්රාහ්මණසහස්සානි සදා භොජෙති වීසතිං, ඔක්කාකපුත්තො භද්දන්තෙ ත්වන්නු දාසොති මඤ්ඤසි.
Sinhala BJT3699. මෑණියනි, ඔබට යහපතක් වේවා. යම් ඔක්කාක පුත්‍රයෙක් තෙමේ බමුණන් විසිදහසක් හැමදා ම වළඳවයි ද ඔහු නම් මේ කුසරජ ය, නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
Pali BJT3700. යස්ස නාගසහස්සානි සදා භොජෙන්ති වීසතිං, ඔක්කාකපුත්තො භද්දන්තෙ ත්වන්නු දාසොති මඤ්ඤසි.
Sinhala BJT3700. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් ඇතුන් සැම කල්හි යොදවද්ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුස රජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
Pali BJT3701. යස්ස අස්සසහස්සානි සදා භොජෙන්ති වීසතිං, ඔක්කාකපුත්තො භද්දන්තෙ ත්වන්නු දාසොති මඤ්ඤසි.
Sinhala BJT3701. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් අසුන් හැම කල්හි යොදවත් ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුසරජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
Pali BJT3702. යස්ස රථසහස්සානි සදා යොජෙන්ති වීසතිං, ඔක්කාකපුත්තො භද්දන්තෙ ත්වන්නු දාසොති මඤ්ඤසි.
Sinhala BJT3702. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ රිය විසිදහසක් හැම කල්හි යොදවද්ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුසරජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
Pali BJT3703. යස්ස උසභසසහස්සානි සදා යොජෙන්ති වීසතිං, ඔක්කාකපුත්තො භද්දන්තෙ ත්වන්නු දාසොති මඤ්ඤසි.
Sinhala BJT3703. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් වෘෂභයන් හැම කල්හි යොදවද්ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුසරජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
Pali BJT3704. යස්ස ධෙනුසහස්සානි සදා දුය්හන්ති{1} වීසතිං, ඔක්කාකපුත්තො භද්දන්තෙ ත්වන්නු දාසොති මඤ්ඤසි.
Sinhala BJT3704. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් දෙනුන් හැමදා ම දොවද්ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුසරජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
Pali BJT3705. තග්ඝ තෙ දුක්කටං බාලෙ යං ඛත්තියං මහබ්බලං, නාගං මණ්ඩුකවණ්ණෙන න තං අක්ඛාසි ආගතං.{2}
Sinhala BJT3705. අනුවණ තැනැත්තිය, යම් හෙයෙකින් මැඩියකුගේ වෙසින් ආ නාගයකු මෙන් මහත් බලැති ක්‍ෂත්‍රිය රජු ආ බව නො කීයෙහි ද, එ හෙයින් ඒකාන්තයෙන් ම තී විසින් නපුරක් කරන ලදැ යි රජ තෙම කීයේ ය.
Pali BJT3706. අපරාධං මහාරාජ ත්වං නො ඛම රථෙසභ, යං තං අඤ්ඤාතවෙසෙන නඤ්ඤාසිම්භා ඉධාගතං.
Sinhala BJT3706. රථේශ්වර වූ මහරජ, අප්‍රසිද්ධ වේශයෙන් මෙහි පැමිණියා වූ නුඹ වහන්සේ හඳුනාගැනීමට නොපිළිවන් වීම් සංඛ්‍යාත යම් වරදෙක් වී නම් අපගේ ඒ වරද කමා කරන සේක්වා යි කුසරජුට සැලකෙළේ ය.
Pali BJT3707. මාදිසස්ස න තං ඡන්නං යොහං අළාරිකො භවෙ, ත්වඤ්ඤෙව මෙ පසීදස්සු නත්ථි තෙ දෙව දුක්කටං.
Sinhala BJT3707. දේවයෙනි, යම්බඳු මම අරක්කැමියෙක් වූයෙම් ද, එය මා වැන්නකුට නුසුදුසු ය. ඔබ ම මට පහන් වුව මැනවි තොප විසින් කරන ලද නපුරක් නැතැ යි කුසරජ කී ය.
Pali BJT3708. ගච්ඡ බලෙ ඛමාපෙහි කුසරාජං මහබ්බලං, ඛමාපිතො කුසරාජා සො තෙ දස්සති ජීවිතං.
Sinhala BJT3708. අඥාන තැනැත්තිය, යව මහත් බලැති කුසරජ කමා කරව, කමා කරවන ලද ඒ කුසරජ තෙමේ තිට ජීවිතය දෙන්නේ ය යි පියරජ කීයේ ය.
Pali BJT3709. පිතුස්ස වචනං සුත්වා දෙවවණ්ණී පභාවතී, සිරසා අග්ගහී පාදෙ කුසරාජං මහබ්බලං.
Sinhala BJT3709. දෙවඟනකට බඳු පැහැය ඇති ප්‍රභාවතිය පියාගේ වචනය අසා සිරසින් වැටී මහබලැති කුසරජහු පා අල්ලාගත්තී ය.
Pali BJT3710. යා ඉමා රත්යො අතික්කන්තා තා ඉමා දෙව තයා විනා. වන්දෙ තෙ සිරසා පාදෙ මා මෙ කුජ්ඣ රථෙසභ.
Sinhala BJT3710. දේවයන් වහන්ස, යම් මේ රාත්‍රීහු ඉක්ම ගියාහු ද, ඒ රාත්‍රීහු නුඹ වහන්සේගෙන් වෙන් ව ඉක්ම ගියාහු ය. රථේශ්වරයන් වහන්ස, නුඹ වහන්සේගේ පා සිරසින් වඳිමි. මට නො කිපෙනු මැනැවි.
Pali BJT3711. සච්චං තෙ{3} පටිජානාමි මහාරාජ සුණොහි මෙ, න චාපි අප්පියං{4} තුය්හං කරෙය්යාමි අහං පුන.
Sinhala BJT3711. මහරජ, මෙතෙක් කල් මා විසින් නුඹ වහන්සේට අප්‍රිය වූවක් ම කරන ලදැ. එය මම සත්‍යයක් බව පිළිගනිමි. නැවැත නුඹ වහන්සේට අප්‍රිය වන්නා වූ කිසිවක් නො කරන්නෙමි.
Pali BJT3712. එවඤ්චෙ යාචමානාය වචනං මෙ න කාහසි, ඉදානි මං තාතො හන්ත්වා ඛත්තියානං පදස්සති.
Sinhala BJT3712. මහරජ, මෙසේ යදින්නා වූ මාගේ වචනය තමුන්නාන්සේ නොකරන්නහු නම්, පිය රජ තෙම මා දැන් මරා ක්‍ෂත්‍රියයන්ට දෙන්නේය යි ප්‍රභාවතී කීවා ය.
Pali BJT3713. එවන්තෙ යාචමානාය කිං න කාහාමි තෙ වචො, විකුද්ධො ත්යස්මි කල්යාණි මා ත්වං භායි පභාවති.
Sinhala BJT3713. මෙසේ යාචනා කරන්නා වූ තිගේ වචනය මම කුමක් නිසා නො කරම් ද, සොඳුර, තිට නොකිපියෙක් වෙමි. ප්‍රභාවතිය, තෝ බිය නො වව.
Pali BJT3714. සච්චන්තෙ පටිජානාමි රාජපුත්ති සුණොහි මෙ, න චාපි අප්පියං තුය්හං කරෙය්යාමි අහං පුන.
Sinhala BJT3714. රාජපුත්‍රිය, මාගේ වචනය අසව, තිට නොකිපි බවත්, අප්‍රියයක් නො කළ බවත්, මම සත්‍යයක් බව පිළිගනිමි. නැවත මම තිට අප්‍රිය දනවන්නක් නොකරන්නෙමි.
Pali BJT3715. තච කාමා හි සුස්සොණි බහුං දුක්ඛං තිතික්ඛිසං, පහු මද්දකුලං ගන්ත්වා නයිතුං තං පභාවති.
Sinhala BJT3715. මනා කටි ප්‍රදේශ ඇති ප්‍රභාවතිය, මදුරජ කුලයට ගොස්, බලාත්කාරයෙන් තී ගෙනෙන්නට පිළිවන්කම තිබියදීත් තී කැමැත්තෙන් මම බොහෝ දුක් ඉවැසීමි.
Pali BJT3716. යොජයන්තු රථෙ අස්සෙ නානාචිත්තෙ සමාහිතෙ, අථ දක්ඛථ මෙ වෙගං විධමෙන්තස්ස සත්තවො.
Sinhala BJT3716. නොයෙක් අලංකාරයෙන් විසිතුරු කරන ලද හොඳින් හික්මුණු අසුන් රියෙහි යොදත් වා, එ විට සතුරන් නසන්නා වූ මාගේ වේගය බලවු ය යි කුසරජ තෙම කීයේ ය.
Pali BJT3717. තඤ්ච තත්ථ උදික්ඛිංසු රඤ්ඤො මද්දස්ස ථිපුරෙ,{1} විජම්භමානං සීහංව පොථෙන්තං දිගුණං භුජං.
Sinhala BJT3717. එහි මදු රජුගේ අන්තඃපුරයෙහි සිංහයකු මෙන් අත පය දිගහැර ප්‍රාණවත් කරන්නා වූ ද ද්විගුණ කොට අත්පොළසන් දෙන්නා වූ ද කුසරජු දෙස ස්ත්‍රීහු කවුළු හැර බැලූ හ.
Pali BJT3718. හත්ථක්ඛන්ධඤ්ච ආරුය්හ ආරොපෙත්වා පභාවතිං, සඞ්ගාමං ඔතරිත්වාන සීහනාදං නදී කුසො.
Sinhala BJT3718. ඉක්බිති කුසරජ තෙමේ හස්තිරාජයකු පිට නැඟී ප්‍රභාවතිය ද නංවාගෙන යුද බිමට බැස සිංහනාද කෙළේ ය.
Pali BJT3719. තස්ස තං නදතො සුත්වා සීහස්සෙවිතරෙ මිගා, ඛත්තියා විපලායිංසු කුසද්දසභයට්ටිතා.
Sinhala BJT3719. නාද කරන්නා වූ ඒ කුස රජුගේ හඬ අසා සිංහයකුගේ හඬ ඇසූ සෙසු මුවන් මෙන් කුසහඬින් බියපත් වූ සෙසු රජවරු ඒ මේ අත පලාගියහ.
Pali BJT3720. හත්ථාරොහා අනීකට්ඨා රථිකා පත්තිකාරකා, අඤ්ඤමඤ්ඤස්ස ඡින්දන්ති කුසසද්දභයට්ටිතා.
Sinhala BJT3720. ඇතරුවෝ ද බළ ඇණියෙහි වූවෝ ද රියැදුරෝ ද පාබළ සේනාවෙහි වූවෝ ද කුස හඬින් බියපත් වූවාහු ඔවුනොවුන් සිඳගත්හ.
Pali BJT3721. තස්මිං සඞ්ඝාමසීසස්මිං පස්සිත්වා තුට්ඨමානසො,{2} කුසස්ස රඤ්ඤො දෙවින්දො අදා වෙරොචනං මණි.
Sinhala BJT3721. ඒ යුද බිමෙහි (කුසරජු ගේ පරාක්‍රමය) දැක තුටු සිත් ඇති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේ කුස රජුට වෙරොචන නම් මැණිකක් දුන්නේ ය.
Pali BJT3722. සො තං විජිත්වා සඞ්ගාමං ලද්ධා වෙරොචනං මණිං, හත්ථික්ඛන්ධගතො රාජා පාවෙක්ඛි නගරං පුරං.
Sinhala BJT3722. ඒ රජ තෙමේ ඒ යුද්ධය දිනා වෙරොචන නම් මැණිකක් ලැබ හස්තිරාජයා පිටට නැගුණේ නගරයට පිවිසියේ ය.
Pali BJT3723. ජීවගාහං{3} ගහෙත්වාන බන්ධිත්වා සත්ත ඛත්තියෙ, සසුරස්සුපනාමෙසි ඉමෙ තෙ දෙව සත්තවො.
Sinhala BJT3723. ක්‍ෂත්‍රිය රජුන් සත් දෙන ජීවග්‍රාහයෙන් ගෙන බැඳ, දේවයන් වහන්ස, මොවුහු තමුන්නාන්සේ ගේ සතුරෝ වෙති යි මයිලණු වූ මදු රජුට භාරදුන්නේ ය.
Pali BJT3724. සබ්බෙව තෙ වසඞ්ගතා අමිත්තා විහතා තව, කාමං කරොහි තෙ තයා මුඤ්ච වා තෙ හනස්සු වා.
Sinhala BJT3724. මේ සියල්ලෝ ම තමුන්නාන්සේ ගේ වසයට පැමිණියාහුය. තමුන්නාන්සේ ගේ සතුරෝ වනසන ලද්දාහ. කැමැත්තක් කරනු මැනැවි. මොවුන් මිදීම හෝ නැසීම හෝ කරනු මැනැවි.
Pali BJT3725. තුම්හෙව{1} සත්තවො එතෙ නහි තෙ මය්හ සත්තවො, ත්වඤ්ඤෙව නො මහාරාජ මුඤ්ච වා තෙ හනස්සු වා.
Sinhala BJT3725. මහරජ, මොවුහු ඔබගේ ම සතුරෝ වෙති. මොවුහු මාගේ සතුරෝ නො වෙති. තමුන්නාන්සේ ම අපගේ අධිපතිවහු ය. මහරජ, තමුන්නාන්සේ ම මොවුන් මිදීම හෝ නැසීම හෝ කරනු යෙදේ.
Pali BJT3726. ඉමා තෙ ධීතරො සත්ත දෙවකඤ්ඤූපමා සුභා, දදාහි නෙසං එකෙකං හොන්තු ජාමාතරො තව.
Sinhala BJT3726. දේවයිනි, නුඹගේ මේ දිව්‍ය කන්‍යාවන් බඳු දූවරු සත් දෙනෙක් වෙති. ඔවුන්ගෙන් එක එක දුව බැගින් දෙනු මැනවි. එසේ දීමෙන් මොවුහු ජාමාතෲහු (බෑණාවරු) වෙත් වා.
Pali BJT3727. අම්හාකඤ්චෙව තාසඤ්ච ත්වං නො සබ්බෙසමිස්සරො, ත්වඤ්ඤෙව නො මහාරාජ දෙහි නෙසං යදිච්ඡසි.
Sinhala BJT3727. මහරජ, ඒ දූවරුන්ට ද අපට ද යන සියල්ලන්ට ම අධිපතියා ඔබ ම ය. යම් දුවක යමකුටදෙනු කැමැත්තෙහි නම් ඔබ ම ඇය ඔහුට දෙනු යෙදේ.
Pali BJT3728. එකමෙකස්ස එකෙකං අදා සීහස්සරො කුසො, ඛත්තියානං තදා නෙසං රඤ්ඤො මද්දස්ස ධීතරො.
Sinhala BJT3728. එ කල්හි සිංහස්වර ඇති කුස රජ තෙමේ මදු රජුගේ දූවරුන් ඒ ක්‍ෂත්‍රියයන් අතුරින් එක එක ක්‍ෂත්‍රියයාට එක එක දුව බැගින් දුන්නේ ය.
Pali BJT3729. පීණිතා{2} තෙන ලාභෙන තුට්ඨා සීහස්සරෙ කුසෙ, සකරට්ඨානි පායිංසු ඛත්තියා සත්ත තාවදෙ.
Sinhala BJT3729. එ කෙණෙහි ම ඒ රජවරු සත් දෙන ඒ ස්ත්‍රී ලාභය නිසා, සිංහස්වර ඇති කුසරජු කෙරෙහි තුටු සිත් ඇත්තාහු, පිනාගිය සොම්නස් ඇත්තාහු සිය රටවලට ගිය හ.
Pali BJT3730. පභාවතිඤ්ච ආදාය මණිං වෙරොචනං සුභං, කුසාවතිං කුසො රාජා අගමාසි මහබ්බලො.
Sinhala BJT3730. මහබලැති කුසරජ තෙමේ ප්‍රභාවතිය ද වෙරොචන නම් වූ යහපත් මැණික ද ගෙන කුසාවතියට ගියේ ය.
Pali BJT3731. ත්යස්සු එකරථෙ යන්තා පවිසන්තා කුසාවතිං, සමානා වණ්ණරූපෙන නාඤ්ඤමඤ්ඤමතිරොචයුං.{3}
Sinhala BJT3731. එක ම රියෙහි යෙමින් කුසාවතියට පිවිසෙන්නා වූ ඒ දෙදෙන (මිණි රුවන් කාන්තිය නිසා) පැහැයෙන් හා රූපයෙන් සමාන වූවාහු ඔවුනොවුන් ඉක්මවා නොබැබළු හ.
Pali BJT3732. මාතා පුත්තෙන සඞ්ගඤ්ඡි උභයො ච ජයම්පතී, සමග්ගා තෙ තදා ආසුං ඵීතං ධරණිමාවසුන්ති.
Sinhala BJT3732. කුස රජු ගේ මව් තොමෝ පුත්‍රයා හා එක්වූවා ය. ඒ අඹු සැමි දෙදෙන ද සමඟි වූවාහු එ තැන් පටන් ජීවිතාන්තය දක්වා සමෘද්ධ වූ පෘථිවියෙහි සතුටින් වාසය කළහ.
Pali BJTකුසජාතකං.
Sinhala BJTකුස ජාතක යි.
Pali BJT2. සොණනන්දජාතකං.
Sinhala BJT2. සෝණනන්‍ද ජාතකය
Pali BJT3733. දෙවතානුසි ගන්ධබ්බො ආදු සක්කො පුරින්දදො, මනුස්සභූතො ඉද්ධිමා කථං ජානෙමු තං මයං.
Sinhala BJT3733. නුඹ දෙවියෙක් වෙහි ද, ගන්‍ධර්‍වයෙක් හෝ වෙහි ද, නැතහොත් පුරින්‍දද නම් ශක්‍රයා වෙහි ද, මනුෂ්‍ය වූ ඍද්ධි ඇත්තෙක් වෙහි ද, අපි ඒ කරුණ කෙසේ දනුමෝ ද?
Pali BJT3734. නම්හි දෙවො න ගන්ධබ්බො නම්හි සක්කො පුරින්දදො, මනුස්සභූතො ඉද්ධිමා එවං ජානාහි භාරත.{1}
Sinhala BJT3734. රජතුමනි, මම දෙවියෙක් නො වෙමි. ගන්‍ධර්‍වයෙක් ද නො වෙමි. පුරින්‍දද නම් ශක්‍රයා ද නො වෙමි. මනුෂ්‍ය වූ ඍද්ධි ඇත්තෙක් වෙමි. ඒ කරුණ මෙ සේ දනුව.
Pali BJT3735. කතරූපමිදං භොතා{2} වෙය්යාවච්චං අනප්පකං, දෙවම්භි වස්සමානම්හි අනොවස්සං භවං අකා.
Sinhala BJT3735. පින්වතා විසින් මහත් කායවෙය්‍යාවතික කර්‍මය කරන ලදී. එ නම් පින්වත් තෙමේ වැසි වස්නා කල්හි නැවැත්වීම කෙළේ ය.
Pali BJT3736. තතො වාතාතපෙ ඝොරෙ සීතච්ඡායං භවං අකා, තතො අමිත්තමජ්ඣෙ{3} ච සරතාණං භවං අකා.
Sinhala BJT3736. තව ද පින්වත් තෙමේ දරුණු වූ සුළඟ හා අව්ව ඇති කල්හි සිසිල්සෙවණ කෙළේ ය. නැවැත පින්වත් තෙමේ සතුරන් මධ්‍යයෙහි ඊ පහරින් වැළකීම ද කෙළේ ය.
Pali BJT3737. තතො ඵීතානි රට්ඨානි වසිනො තෙ භවං අකා, තතො එකසතං ඛත්යෙ අනුයන්තෙ භවං අකා.
Sinhala BJT3737. තව ද, පින්වතා සමෘද්ධ රටවල වැසියන් අපට වසඟ කෙළේ ය. තව ද එක් සියයක් රජුන් අප අනුගාමිකයන් කෙළේ ය.
Pali BJT3738. පතීතාස්සු{4} මයං භොතො වර තං භඤ්ඤමිච්ඡසි,{5} හත්ථියානං අස්සරථං නාරියො ච අලඞ්කතා නිවෙසනානි රම්මානි මයං භොතො දදාමසෙ.
Sinhala BJT3738. අපි පින්වතාට සතුටු වූවමෝ වෙමු. පින්වතා යම් රත්නයක් කැමැත්තේ නම් එය ඉල්ලාගනු මැනැවි. ඇත්යානා ද, අස් රිය ද, අලංකාරයෙන් සැරැසූ ස්ත්‍රීන් ද සිත්කලු ගෙවල් ද යන මේවා අපි පින්වතාට දෙම්හ.
Pali BJT3739. අථ වා අඞ්ගෙ වා මගධෙ{6} මයං භොතො දදාමසෙ, අථ වා අස්සකාවන්තිං සුමනා දම්ම තෙ මයං
Sinhala BJT3739. නොහොත් අඟුරටෙහි රජය හෝ මගධ රටෙහි රජය හෝ අපි පින්වතාට දෙම්හ. තව ද අස්සක නම් රට හෝ අවන්ති නම් රට හෝ අපි තුටුසිත් ඇති ව පින්වතාට දෙම්හ.
Pali BJT3740. උපඩ්ඪං වාපි රජ්ජස්ස මයං භොතො දදාමසෙ, සචෙ තෙ අත්ථො රජ්ජෙන අනුසාස යදිච්ඡසි.
Sinhala BJT3740. අපි පින්වතාට රජයෙන් අඩක් හෝ දෙම්හ. ඉදින් මුළු දඹදිව රජයෙන් ප්‍රයෝජන වේ නම් එය ද දෙම්හ. යමක් කැමැති නම් එය අණ කරව’ යි (මනෝජ රජ කියා සිටියේ ය.)
Pali BJT3741. න මෙ අත්ථොපි රජ්ජෙන නගරෙන ධනෙන වා, අථොපි ජනපදෙන අත්ථො මය්හං න විජ්ජති.
Sinhala BJT3741. මහරජ, මට රජයෙන් හෝ නගරයෙන් හෝ ධනයෙන් හෝ ප්‍රයෝජනයෙක් නැත. වැළි ජනපදයෙන් ද මට· ප්‍රයෝජනයෙක් නො වේ.
Pali BJT3742. භොතොව රට්ඨෙ විජිතෙ අරඤ්ඤෙ අත්ථි අස්සමො, පිතා මය්හං ජනෙත්තී ච උභො සම්මන්ති අස්සමෙ.
Sinhala BJT3742. මහරජ, පින්වත්හු ගේ රජයෙහි ආඥාචක්‍රය පවත්නා දේශය තුළ හිමාලය වනයෙහි ආශ්‍රමයක් ඇත. ඒ ආශ්‍රමයෙහි මාගේ පියත් මවත් දෙදෙනා වෙසෙති.
Pali BJT3743. තෙසාහං පුබ්බාචරියෙසු පුඤ්ඤං න ලභාමි{7} කාතවෙ, භවන්තං අජ්ඣාචරං කත්වා සොණං යාචාමු{8} සංවරං.
Sinhala BJT3743. මම ඒ පූර්‍වාචාර්‍ය්‍ය වූ මාපියන් කෙරෙහි වත් පිළිවෙත් පවත්වා පින් ලැබ ගැනුමට ඉඩ නො ලබමි. එ බැවින් පින්වත්හු සපිරිවරින් ගොස් සෝණ පණ්ඩිතයන් දන්වා ආයතිසංවරය යදිමු යි නන්‍ද තවුසා කී ය.
Pali BJT3744. කරොමි තෙ තං වචනං යං මං භණසි බ්රාහ්මණ, එතඤ්ච ඛො නො අක්ඛාහි කීවන්තො හොන්තු යාචකා.
Sinhala BJT3744. බ්‍රාහ්මණය, යමක් මට කියහි නම් ඒ ඔබගේ වචනය මම ඉටු කරමි. මේ කරුණ ද අපට කියනු මැනැවි. ඒ ක්‍ෂමාව ඉල්ලන්නෝ කොපමණ ද?
Pali BJT3745. පරොසතං ජානපදා{1} මහාසාලා ච බ්රාහ්මණා ඉමෙ ච ඛත්තියා සබ්බෙ අභිජාතා යසස්සිනො භවඤ්ච රාජා මනොජො අලං හෙස්සන්ති යාචකා.
Sinhala BJT3745. ශතාධික ජනපද වැසියෝ ද ශතාධික බ්‍රාහ්මණ මහාසාල කුලීනයෝ ද, උසස් උත්පත්ති ඇති යස පිරිවරින් යුත් මේ සියලු රජවරු ද, මනෝජ රජ නම් වූ පින්වත් තෙමේ ද යන සියල්ලෝ ම සෝණ පණ්ඩිතයන් කමාකරවන්නෝ වෙති.
Pali BJT3746. හත්ථි අස්සෙ ච යොජෙන්තු රථං සන්තය්හ සාරථි, ආබන්ධනානි ගණ්හථ පාදෙසුස්සාරයං ධජෙ අස්සමං තං ගමිස්සාමි යත්ථ සම්මති කොසියො.
Sinhala BJT3746. ඇතරුවෝ ඇතුන් ද, අසරුවෝ අසුන් ද සරසා යොදත්වා සාරථිය, නුඹ ද රිය සරසව. ඇතුන් අසුන් හා රථ සැරැසිය යුතු බඩු ගනිවු රියෙහි තබන ලද ධ්වජපාදයන්හි ධ්වජ ඔසවත් වා. යම් අසපුවෙක්හි කෝසිය ගෝත්‍රිකයා වෙසේ ද, ඒ අසපුවට යන්නෙමි (යි ද රජ තෙමේ නියම කෙළේ ය.)
Pali BJT3747. තතො ච රාජා පායාසි සෙනාය චතුරඞ්ගිනී, අගමාසි{2} අස්සමං රම්මං යත්ථ සම්මති කොසියො.
Sinhala BJT3747. රජ තෙමේ සිවුරඟසෙනඟින් පිරිවරනා ලද්දේ ඒ නගරයෙන් පිටත්විය. යම් අසපුවෙක්හි කෝසිය ගෝත්‍රිකයා වෙසේ ද ඒ අසපුවට ගියේ ය.
Pali BJT3748. කස්ස කාදම්බයො{3} කාජො වෙහාසං චතුරඞ්ගුලං, අංසං අසම්ඵුසං එති උදහාරස්ස ගච්ඡතො.
Sinhala BJT3748. කොලොම්මුවා කද සතරඟුලක් උරහිස ස්පර්‍ශ නො කරමින් ම අහසින් එයි. (මෙය) දිය ගෙනෙන්නට යන්නා වූ කවර නම් කෙනකුගේ කද දැ යි මනෝජ රජ ප්‍රශ්න කෙළේ ය.
Pali BJT3749. අහං සොණො මහාරාජ, තාපසො සහිතබ්බතො, භරාමි මාතාපිතරො රත්තින්දිවමතන්දිතො.
Sinhala BJT3749. මහරජ, මම ව්‍රත රක්නෙම් සෝණ නම් තවුස්මි. රෑ දාවල් නො කම්මැලි වූයෙම් මාපියන් පෝෂණය කරමි.
Pali BJT3750. වනෙ ඵලඤ්ච මූලඤ්ච ආහරිත්වා දිසම්පති, පොසෙමි මාතාපිතරො පුබ්බෙකතමනුස්සරං.
Sinhala BJT3750. මහරජ, වනයෙහි ගෙඩි ද අල ද ගෙනවුත් පෙර කළ උපකාර සිහිකරමින් මම මා පියන් පෝෂණය කරමියි සෝණ තාපසයා කී ය.
Pali BJT3751. ඉච්ඡාමි අස්සමං ගන්තුං යත්ථ සම්මති කොසියො, මග්ගං නො සොණ අක්ඛාහි යෙන ගච්ඡෙමු අස්සමං.
Sinhala BJT3751. යම් අසපුවෙක්හි කෝසිය ගෝත්‍රිකයා වෙසේ ද, ඒ අසපුවට යන්නට කැමැත්තෙමු. සෝණ තාපසයන් වහන්ස, යම් මඟකින් අසපුවට යමු ද ඒ මඟ කියනු මැනැවි.
Pali BJT3752. අයං එකපදී රාජ යෙනෙතං මෙඝසන්නිහං. කොවිළාරෙහි සඤ්ඡන්නං එත්ථ සම්මති කොසියො.
Sinhala BJT3752. මහරජ, මේ එකපදික මාර්‍ගය වේ. මේ මඟින් යව්. යම් දිසාවෙක්හි මේඝයට බඳු පැහැති මනා ව පිපී ගිය කොබෝලීල ගසින් ගැවසීගත් වනය පෙනේ ද, මෙහි මාගේ පිය වූ කෝසිය ගෝත්‍රිකයා වෙසේ ය යි සෝණ තාපසයා කීයේ ය.
Pali BJT3753. ඉදං වත්වාන පක්කාමි තරමානො මහාඉසි, වෙහාසෙ අන්තලික්ඛස්මිං අනුසාසිත්වාන ඛත්තියෙ.
Sinhala BJT3753. මහර්ෂී වූ සෝණ තාපස තෙම මෙය කියා රජුන්ට අනුශාසනා කොට ඉක්මන් ව අන්තරීක්‍ෂ නම් වූ අහසට පැන නැඟැ (අනෝතත්ත විලට) ගියේ ය.
Pali BJT3754. අස්සමං පරිමජ්ජිත්වා පඤ්ඤාපෙත්වාන ආසනං, පණ්ණසාලං පවිසිත්වා පිතරං පටිබොධයි.
Sinhala BJT3754. අසපුව හැමද අසුනක් පනවා පන්සලට පිවිස පියාට (ඔවුන් ආ බව) දැන්වී ය.
Pali BJT3755. ඉමෙ ආයන්ති රාජානො අභිජාතා යසස්සිනො, අස්සමා නික්ඛමිත්වාන නිසීදාහි{1} මහාඉසි.
Sinhala BJT3755. මහර්ෂී වූ පියාණන් වහන්ස, උසස් උත්පත්ති ඇති මහපිරිවරින් යුත් මේ රජවරු ඔබ දැකුමට එති. අසපුවෙන් නික්ම දොරටුව සමීපයෙහි පනවා තිබෙන අස්නෙහි හිඳගනු මැනැවි.
Pali BJT3756. තස්ස තං වචනං සුත්වා තරමානො මහාඉසි, අස්සමා නික්ඛමිත්වාන පද්වාරම්භි උපාවිසි.
Sinhala BJT3756. මහර්ෂි තෙමේ ඒ සෝණ පණ්ඩිතයාගේ වචනය අසා ඉක්මන් කොට අසපුවෙන් නික්ම දොරටුව සමීපයෙහි පනවා තිබුණු අස්නෙහි හිඳගත්තේ ය.
Pali BJT3757. තඤ්ච දිස්වාන ආයන්තං ජලන්තරිව තෙජසා, ඛත්ත{2} සඞ්ඝපරිබ්බූළ්හං කොසියො එතදබ්රවි.
Sinhala BJT3757. ක්‍ෂත්‍රිය සමූහයා විසින් පිරිවරන ලද තේජසින් දිලිසෙන්නාක් මෙන් එන්නා වූ ඒ රජු දැක කෝසිය ගෝත්‍රික මහර්ෂී තෙම මෙය ප්‍රකාශ කළේ ය.
Pali BJT3758. කස්ස භෙරී මුදිඞ්ගා ච සඞ්ඛා පණවදෙණ්ඩිමා,{3} පුරතො පටිපන්නානි හාසයන්තා රථෙසභං.
Sinhala BJT3758. බෙර ද, මිහිඟු බෙර ද, සක් ද, පනා බෙර ද, ගැට බෙර ද යන මේවා රථශ්‍රෙෂ්ඨයන් තුටු කෙරෙමින් කවරකුගේ ඉදිරියෙන් පිළිපන්නේ ද?
Pali BJT3759. කස්ස කඤ්චනපට්ටෙන පුථුනා විජ්ජුවණ්ණිනා, යුවා කලාපසන්නද්ධො කො එති සිරියා ජලං.
Sinhala BJT3759. මහත් වූ විදුලියක බඳු රන්මුවා නළල් පටින් පරික්‍ෂිප්ත කරන ලද්දේ කවරකුගේ නළල් කෙළවර ද? දුනු හියවුරු වලින් සැරසී ශෝභායෙන් දිලිසෙමින් එන තරුණයා කවරෙක් ද?
Pali BJT3760. උක්කා මුඛෙ{4} පහට්ඨංව ඛදිරඞ්ගාරසන්නිභං, මුඛඤ්ච රුචිරං භාති කො එති සිරියා ජලං.
Sinhala BJT3760. කඹුරු උදුනෙහි ඔප කරන ලද ස්වර්‍ණයක් මෙන් කිහිරඟුරු බඳු වර්‍ණවත් මුහුණ ද මනෝඥ ලෙස බබළයි. ශ්‍රීයෙන් බබළමින් මේ කවරෙක් නම් එයි ද?
Pali BJT3761. තස්ස පග්ගහිතං ඡත්තං සසලාකං මනොරමං, ආදිච්චරංසාවරණං{5} කො එති සිරියා ජලං.
Sinhala BJT3761. හිරු රැස් වළක්වන්නා වූ සලාක සහිත වූ සිත්කලු ඡත්‍රයක් කවරකුහට අල්වන ලද ද, ශෝභාවෙන් මේ කවරෙක් ඒ ද?
Pali BJT3762. කස්ස අඞ්ගං පරිග්ගය්හ වාලවීජනිමුත්තමා, චරන්ති වරපඤ්ඤස්ස{6} හත්ථික්ඛන්ධෙන ආයතො.
Sinhala BJT3762. ඇතු පිට නැඟ එන්නා වූ කවර නම් උතුම් නුවණැත්තකුගේ සිරුර පිරිවරාගෙන උතුම් වූ වල් විදුනාව හසුරුවද් ද,
Pali BJT3763. කස්ස සෙතානි ඡත්තානි ආජානීයා ච වම්මිතා,{7} සමන්තා පරිකීරන්ති කො එති සිරියා ජලං.
Sinhala BJT3763. යුද ඇඳුමින් සරසන ලද ආජානීය අසුන්පිට නැඟී කවරකුගේ හාත්පස ශ්වේතච්ඡත්‍ර අල්වා සිටිද් ද, ශෝභාවෙන් දිලිසෙමින් මේ එන්නේ කවරෙක් ද?
Pali BJT3764. කස්ස එකසතං ඛත්යා අනුයන්තා යසස්සිනො, සමන්තා අනුපරියන්ති කො එති සිරියා ජලං.
Sinhala BJT3764. අනුව ගමන් කරන්නා වූ පිරිවරින් යුතු වූ එක් සියයක් ක්‍ෂත්‍රියයෝ කවරකුගේ හාත්පසැ පිරිවරමින් යෙද්ද, ශෝභාවෙන් දිලිසෙමින් මේ එන්නේ කවරෙක් ද?
Pali BJT3765. හත්ථි අස්සා රථා පත්ති සෙනාය චතුරඞ්ගිනී, සමන්තා අනුපරියන්ති කො එති සිරියා ජලං.
Sinhala BJT3765. හස්තීහු ය, අශ්වයෝ ය, රිය ය, පාබළ සෙනග ය යන සිව්රඟ සෙනග කවරකුගේ හාත්පස පිරිවරා එයි ද, ශෝභායෙන් දිලිසෙමින් කවරෙක් නම් එයි ද?
Pali BJT3766. කස්සෙසා මහතී සෙනා පිට්ඨිතො අනුවතත්තී, අක්ඛොභනී අපරියන්තා සාගරස්සෙව ඌමියො.
Sinhala BJT3766. සාගරයාගේ නොකැළඹුණා වූ අසීමිත රළ මෙන් මේ මහත් සේනාව කවරකු පිටිපසින් අනුගමන් කෙරේ ද?
Pali BJT3767. රාජාභිරාජා මනොජො ඉන්දෙව ජයතං පති, නන්දස්සජ්ඣාවරං එති අස්සමං බ්රහ්මචාරිනං
Sinhala BJT3767. රාජාධිරාජ වූ මනෝජ රජ ජයට පත් තව්තිසා වැසි දෙවියන්ගේ ප්‍රධානයා වූ ශක්‍රයා මෙන් නන්‍දයාගේ පිරිසට එක් වී අප කමාකරවා ගැනීමට බ්‍රහ්මචාරී වූ අපගේ අසපුවට එන්නේ ය.
Pali BJT3768. තස්සෙසා මහතී සෙනා පිට්ඨිතො අනුවත්තතී, අක්ඛොභනී අපරියන්තා සාගරස්සෙව ඌමියො.
Sinhala BJT3768. සාගරයාගේ නොකැළඹුණා වූ අසීමිත රළ මෙන් මහත් වූ මේ සේනාව ඔහුගේ පිටුපසින් ගමන් කරන්නේ ය.
Pali BJT3769. අනුලිත්තා චන්දනෙන කාසිකුත්තමධාරිනො, සබ්බෙ පඤ්ජලිකා හුත්වා ඉසිනං අජ්ඣුපාගමුං.
Sinhala BJT3769. සඳුන් ගැල් වූ සිරුරු ඇති ව උතුම් කසීසළු දරන්නා වූ ඒ සියලු රජවරු ම ඇඳිලි බැඳගත්තාහු ඍෂීන් සමීපයට එළැඹියහ.
Pali BJT3770. කච්චි නු භොතො කුසලං කච්චි භොතො අනාමයං, කච්චි උඤ්ඡෙන යාපෙථ කච්චි මූලඵලා බහූ.
Sinhala BJT3770. කිමෙක් ද, පින්වතුන් වහන්සේට සැප ද? කිමෙක් ද, පින්වතුන් වහන්සේට රෝග පීඩා නැද් ද? කිමෙක් ද, පිඬු සිඟා යෑමෙන් යැපෙන සේක් ද? කිමෙක් ද, අල මුල් හා පලවැළ බොහෝ වෙද් ද?
Pali BJT3771. කච්චි ඩංසා ච මකසා අප්පමෙව සිරිංසපා, වනෙ වාලමිගාකිණ්ණෙ කච්චි හිංසා න විජ්ජති.
Sinhala BJT3771. ඩැහැ ලේ බොන මැස්සෝ ද මදුරුවෝ ද දීර්‍ඝ සර්‍පයෝ ද කිම ස්වල්ප වෙද්ද, ව්‍යාලමෘගයන්ගෙන් ගැවැසීගත් මේ වනයෙහි කිම හිංසාවක් නැද් ද?
Pali BJT3772. කුසලඤ්චෙව නො රාජ අථො රාජ අනාමයං, අථො උඤ්ඡෙන යාපෙම අථො මූලඵලා බහූ.
Sinhala BJT3772. මහරජ, අපට සැප ය. අපට රෝගා පීඩා ද නැත. තව ද මහරජ, අපි පිඬු සිඟීමෙන් යැපෙමු. අල මුල් හා පලවැළ ද බොහෝ ය.
Pali BJT3773. අථො ඩංසා ච මකසා අප්පමෙව සිරිංසපා,{1} වනෙ වාලමිගාකිණ්ණෙ හිංසා අම්හං{2} න විජ්ජති.
Sinhala BJT3773. තව ද ඩැහැ ලේ බොන මැස්සෝ ද මදුරුවෝ ද දීර්‍ඝ ජාතික සර්‍පයෝ ද ස්වල්ප වෙති. ව්‍යාලමෘගයන්ගෙන් ගැවැසීගත් මේ වනයෙහි අපට හිංසාවක් නැත.
Pali BJT3774. බහූනි වස්සපූගානි අස්සමෙ වසතො{3} ඉධ. නාභිජානාමි උප්පන්නං ආබාධං අමනොරමං.
Sinhala BJT3774. බොහෝ අවුරුදු ගණන් මේ අසපුවෙහි වසන්නා වූ මට හටගත් අමනෝඥ ආබාධයක් ගැන නො දනිමි.
Pali BJT3775. ස්වාගතන්තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, ඉස්සරොසි අනුප්පත්තො යං ඉධත්ථි පවෙදය.{4}
Sinhala BJT3775. මහරජ, ඔබ ගේ මෙහි පැමිණීම යහපත් පැමිණීමකි. ඔබ ගේ පැමිණීම අයහපත් පැමිණීමක් නො වේ. මෙහි පැමිණි ඔබ අධිපති වෙහි ය. මෙහි යමක් ඔබ කැමැත්තෙහි නම් එය දන්වනු මැනැවි.
Pali BJT3776. තින්දුකානි{5} පියාලානි මධුකෙ කාස{6} මාරියො, ඵලානි ඛුද්දකප්පානි භුඤ්ජ රාජ වරං වරං.
Sinhala BJT3776. මහරජ, මී මෙන් මිහිරි රසැති රන්වන් තිඹිරි ය, මොර ය, එරමිණියා ය යන කුඩා ඵලවර්‍ග වෙති. එයින් හොඳ හොඳ ගෙඩි අනුභව කරව.
Pali BJT3777. ඉදම්පි පානීයං සීතං ආභතං ගිරිගබ්භරා, තතො පිව මහාරාජ සචෙ ත්වං අභිකඞ්ඛසි.
Sinhala BJT3777. අනවතප්ත විලෙන් ගෙනෙන ලද මේ සිසිල් පැන් ද තිබේ. මහරජ, කැමැත්තෙහි නම් එයින් පානය කරනු මැනවි.
Pali BJT3778. පටිග්ගහීතං යං දින්නං සබ්බස්ස අග්ඝියං කතං, නන්දස්සාපි නිසාමෙථ වචනං යං{7} පවක්ඛති.
Sinhala BJT3778. තාපසයන් වහන්ස, අපට යමක් දෙන ලද නම් එය අප විසින් පිළිගන්නා ලදී. අප සියලු දෙනාට ම නුඹ වහන්සේ විසින් ආගන්තුක සත්කාර කරන ලදී. නන්‍ද පණ්ඩිත තෙමේ යමක් කියා නම් ඔහු ගේ කීම ද අසනු මැනවි.
Pali BJT3779. අජ්ඣවරම්භා නන්දස්ස භොතො සන්තිකමාගතා, සුණාතු මෙ භවං වචනං නන්දස්ස පරිසාය ච.
Sinhala BJT3779. අපි නන්‍දපණ්ඩිතයාගේ ඉල්ලීම නිසා පින්වතුන් වහන්සේ වෙත ආම්හ. පින්වත් සෝණ පණ්ඩිත තෙමේ මාගේ වචනය අසාවා, නන්‍ද පණ්ඩිතයාගේ ද පිරිසගේ ද වචනය අසාවා.
Pali BJT3780. පරොසතං ජානපදා මහාසාලා ච බ්රාහ්මණා, ඉමෙ ච ඛත්තියා සබ්බෙ අභිජාතා යසස්සිනො භවඤ්ච රාජා මනොජො අනුමඤ්ඤන්තු මෙ වචො.
Sinhala BJT3780. ශතාධික ජනපද වැසියෝ ද ශතාධික බ්‍රාහ්මණ මහාසාල කුලීනයෝ ද උසස් උත්පත්ති ඇති යස පිරිවරින් යුත් මේ සියලු රජවරු ද මනෝජ රජ නම් වූ පින්වත් තෙමේ ද මාගේ වචනය අනුදනිත් වා.
Pali BJT3781. යෙ වසන්ති සමීතාරො යක්ඛානි ඉධ අස්සමෙ, අරඤ්ඤෙ භූතභව්යානි සුණන්තු වචනං මම.
Sinhala BJT3781. මේ ආශ්‍රමයෙහි රැස් වූ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙද්ද, වෘද්ධභාවයට පත් වූ හෙයින් භූත නම් වූ ද තරුණ හෙයින් භව්‍ය නම් වූ ද යම් දෙවි කෙනෙක් වෙද්ද, ඒ සියල්ලෝ ම මාගේ වචනය අසත් වා.
Pali BJT3782. නමො කත්වාන භූතානං ඉසිං වක්ඛාමි සුබ්බතං, සො ත්යාහං දක්ඛිණො{1} බාහු තව කොසිය සම්මතො.
Sinhala BJT3782. දෙවියන්ට නමස්කාර කොට යහපත් ව්‍රත ඇති සෝණ ඍෂිවරයන්හට මෙය කියමි. කෝසිය ගෝත්‍රික ඍෂිවරය, ඒ මම දකුණු අත යයි සම්මත ඔබගේ සහෝදරයා වෙමි.
Pali BJT3783. පිතරං මෙ ජනෙත්තිඤ්ච භත්තුකාමස්ස මෙ සතො, වීර පුඤ්ඤමිදං ඨානං මා මං කොසිය වාරය.
Sinhala BJT3783. මාගේ පියා ද මව ද පෝෂණය කරන්නට කැමැත්තා වූ මට කමාකළ මැනවි. වීරයන් වහන්ස, මාපියනට උවටැන් කිරීම් නිසා අත්වන පින ස්වර්‍ගලෝකොත්පත්තියට හේතු වන්නකි. කෝසිය ගොත්‍රිකය, මා ඒ පිනෙන් නො වළක්වනු මැනැවි.
Pali BJT3784. සබ්භිහෙතං උපඤ්ඤාතං මමෙතං උපනිස්සජ, උට්ඨානපාරිචරියාය දීඝරත්තං තයා කතං. මාතාපිතුසු පුඤ්ඤානි මම ලොකදදො භව.
Sinhala BJT3784. මේ මවු පිය උපස්ථානය වනාහි සත්පුරුෂයන් විසින් වර්‍ණනා කරන ලද්දකි. මෙය කිරීමට මට ඉඩ හරුව. ඔබ විසින් දිගුකලක් දැක හුනස්නෙන් නැගිටීම ය, කුදු මහත් වතාවත් කිරීම ය යන වශයෙන් උපස්ථාන කරන ලදී. මම ද මවු පියන් කෙරෙහි උවටැන් කොට පින් සිදු කර ගනු කැමැත්තෙමි. එයට ඉඩහැර ඔබ මට ස්වර්‍ගලෝකය සාදා දෙන්නෙක් වව.