Pali BJT3215. සොහං තථා කරිස්සාමි ධිරත්ථු ජීවිතෙන මෙ, පුන වා තාදිසො හෙස්සං මරණං වා මෙ භවිස්සති.
Sinhala BJT3215. ඒ මම එසේ කරන්නෙමි. මාගේ ජීවිතයට නින්‍දා වේවා, නොහොත් මාගේ ජීවිතයෙන් ඇති ඵලය කුමක් ද? නැවත හෝ එබන්දෙක් වන්නෙමි. (නැතිව ගිය ධ්‍යාන ලබා ගන්නෙමි) නො එසේ නම් මාගේ මරණය හෝ වන්නේ යැ යි තාපසයා නැවතත් අධිෂ්ඨාන කර ගත්තේ ය.
Pali BJT3216. තස්ස තෙජඤ්ච විරියඤ්ච ඨිතිං ඤත්වා සුවඩ්ඪිතං, සිරසා අග්ගහි පාදෙ ඉසිසිඞ්ගං අලම්බුසා.
Sinhala BJT3216. ඒ ඉසිසිංග තාපසයා නැවත මනාව වඩන ලද තේජසත් වීර්‍ය්‍යයත් උත්සාහයත් දැන අලම්බුසාව ඉසිසිංග තාපසයාගේ පාළඟ හිසින් වැටී දෙපා වැඳ කමා කරවා ගත්තා ය.
Pali BJT3217. මා මෙ කුජ්ඣ මහාවීර මා මෙ කුජ්ඣ මහාඉසී, මහා අත්ථො මයා චිණ්ණො තිදසානං යසස්සිනං තයා පකම්පිතං{1} ආසි සබ්බං දෙවපුරං තදා.
Sinhala BJT3217. මහාවීරයන් වහන්ස, මට නො කිපෙනු මැන. මහර්ෂිය, මට නො කිපෙනු මැන. පිරිවර ඇත්තා වූ තාවතිංස දෙවියනට මා විසින් මහත් වැඩක් කරන ලදි. එකල්හි මුළු දෙව්පුරය නුඹ වහන්සේ විසින් වෙසෙසින් කම්පා කරන ලද්දේ ය.
Pali BJT3218. තාවතිංසා ච යෙ දෙවා තිදසානඤ්ච වාසවො, ත්වඤ්ච භද්දෙ සුඛී හොහි ගච්ඡ කඤ්ඤෙ යථාසුඛං.
Sinhala BJT3218. තව්තිසා වැසි යම් දෙවි කෙනෙක් වේ නම් ඔහු ද දෙව්ලෝ වැස්සන්ට අධිපති වූ ශක්‍රයාත් යන මොහු සුවපත් වෙත්වා සොඳුර තී ද සුවපත් වව. කන්‍යාවෙනි සුවසේ යව.
Pali BJT3219. තස්ස පාදෙ ගහෙත්වාන කත්වා ච නං පදක්ඛිණං, අඤ්ජලිං පග්ගහෙත්වාන තම්හා ඨානා අපක්කමි.
Sinhala BJT3219. අලම්බුසාව උන් වහන්සේගේ පා අල්ලා වැඳ ප්‍රදක්‍ෂිණා කොට ඇඳිලි බැඳ එතැනින් බැහැර වූවා ය.
Pali BJT3220. යො තස්සා ආසි පල්ලඞ්කො සොවණ්ණො සොපවාහනො, සඋත්තරච්ඡදපඤ්ඤාසො සහස්සපටිකත්ථතො තමෙව පල්ලඞ්ක මාරුය්හ අගා දෙවානසන්තිකෙ.
Sinhala BJT3220. පිරිවර සහිත වූ මත්තෙහි වසනලද ඇතිරිලි පනසක් ඇති කොඳුපලස් දහසක් අසුරන ලද්දා වූ ඇගේ ස්වර්‍ණමය යම් පර්‍ය්‍යංකයක් වී ද එම පර්‍ය්‍යංකයට ම නැඟ දෙවියන් වෙත ඕ ගියා ය.
Pali BJT3221. තමොක්කමිව ආයන්තිං ජලන්තිං විජ්ජුතං යථා, පතීතො සුමනො විත්තො දෙවින්දො අදදා වරං.
Sinhala BJT3221. බබළන්නා වූ උල්කාව යම්සේ ද, විදුලිය යම්සේ ද, එසේ එන්නා වූ ඇය දැක ප්‍රීතිමත් වූ සතුටු සිත් ඇති ශක්‍ර තෙමේ වරයක් දුන්නේ ය.
Pali BJT3222. වරං චෙ මෙ අදො සක්ක සබ්බභූතානමිස්සර, න ඉසිපලොභිකා ගච්ඡෙ එතං සක්ක වරං වරෙති.
Sinhala BJT3222. සියලු භූතයන්ට අධිපති වූ ශක්‍ර දේවේන්‍ද්‍රය, ඉදින් තෙපි මට වරයක් දෙවු නම් ඍෂින් පෙළඹවීමට නො යන්නෙමි යන තෙල වරය ඉල්ලමි යි අලම්බුසාව කීවා ය.
Pali BJTඅලම්බුසාජාතකං.
Sinhala BJTඅලම්බුසා ජාතක යි.
Pali BJT4. සඞ්ඛපාලජාතකං.
Sinhala BJT4. සඞ්ඛපාල ජාතකය
Pali BJT3223. අරියාවකාසොපි පසන්නනෙත්තො මඤ්ඤෙ භවං පබ්බජිතො කුලම්භා, කථන්නු චිත්තානි පහාය භොගෙ පබ්බජි{1} නික්ඛම්ම ඝරා සපඤ්ඤ.
Sinhala BJT3223. නුඹ වහන්සේ මනා රූ ඇති සේක්, ප්‍රසන්න වූ ඇස් ඇත්තහු ය. පින්වතා ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ දෙකුලයෙන් හෝ සිටු කුලයෙන් හෝ නික්ම පැවිදි වූහ යි සිතමි. ප්‍රඥාවන්තය, භොග සම්පත් හා ධනය හැරදමා ගිහි ගෙයින් නික්ම කුමක් අරමුණු කොට පැවිදි වූ සේක් ද?
Pali BJT3224. සයං විමානං නරදෙව දිස්වා මහානුභාවස්ස මහොරගස්ස, දිස්වාන පුඤ්ඤාන මහාවිපාකං සද්ධායහං පබ්බජිතොම්හි රාජ.
Sinhala BJT3224. නරදේව වූ මහරජ, මහත් අනුභාව ඇති මහොරගයාගේ විමානය දැක එසේ ම පුණ්‍යයන්ගේ මහත් විපාක දැක මම කර්‍මයත් කර්‍මවිපාකයත් පරලොවත් යන මේවා ගැන සැදැහැයෙන් තෙමේ පැවිදි වීමි.
Pali BJT3225. න කාමකාමා න භයා න දොසා වාචං මුසා පබ්බජිතා භණන්ති, අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං සුත්වාන මෙ ජායිහිතිප්පසාදො.
Sinhala BJT3225. කැමති දෑ ලැබගැනුමේ කැමැත්තෙන් ද භයින් ද ද්වේෂයෙන් ද පැවිද්දෝ බොරු බස් නො කියත්. විචාරන ලද්දේ මට මේ කරුණ කියනු මැනවි. එය අසා මාගේ ප්‍රසාදය හටගන්නේ ය.
Pali BJT3226. වාණිජ්ජ රට්ඨාධිප ගච්ඡමානො පථෙ අද්දසාසිම්හි මිලාචපුත්තෙ, පවඩ්ඪකායං උරගං මහන්තං ආදාය ගච්ඡන්තෙ පමොදමානෙ.
Sinhala BJT3226. මහරජ, වෙළඳාම පිණිස යන්නා වූ මම මහාමාර්‍ගයෙහි අතිශයින් වැඩුණා වූ ශරීරයක් ඇති මහානාගයකු තඩලාගෙන සතුටු සිතින් යන්නා වූ වැදි පුත්‍රයන් දුටුවෙමි.
Pali BJT3227. සොහං සමාගම්ම ජනින්ද තෙහි සංහට්ඨලොමො අවචස්මිං{2} භීතො, කුහිං අයං නීයති භීම{3}කායො නාගෙන කිං කාහථ භොජපුත්තා.
Sinhala BJT3227. මහරජ, ඒ මම ඔවුන් හා එක්වූයෙමි. අතිශයින් ලොමු දහගත්තෙම් බිය වූයෙම් මෙසේ කීමි. වැදි පුත්‍රවරුනි, බිහිසුණු ශරීරයක් ඇති මේ නාගයා කොහි ගෙනයනු ලබයි ද? නාගයාගෙන් කවරක් කරන්නහු දැ යි ඇසීමි.
Pali BJT3228. නාගො අයං නීයති භොජනත්ථං පවඩ්ඪකායො උරගො මහන්තො, සාදුඤ්ච ථූලඤ්ච මුදුඤ්ච මංසං න ත්වං රසඤ්ඤාසි විදෙහපුත්ත.
Sinhala BJT3228. විශේෂයෙන් වැඩුණු ශරීරයක් ඇති බඩගා යන්නා වූ මේ මහානාග තෙම භෝජනය පිණිස ගෙනයනු ලබයි. වේදේහ පුත්‍රය, මොහුගේ මාංශය මිහිරි ද මහත් ද මෘදු ද වන්නේ ය. නුඹ ඒ රසය නොදන්නෙහි ය.
Pali BJT3229. ඉතො මයං ගන්ත්වා සකං නිකෙතං ආදාය සත්ථානි විකොපයිත්වා, මංසානි භොක්ඛාම පමොදමානා මයං හි වෙ සත්තවො පන්නගානං.
Sinhala BJT3229. අපි මෙයින් සිය ගෙදරට ගොස් ආයුධ ගෙන කඩ කඩ කොට කපා සතුටු සිත් ඇත්තෝ ව මස් අනුභව කරන්නෙමු. අපි වනාහි ඒකාන්තයෙන් ම සර්‍පයන්ගේ සතුරෝ වෙමු.
Pali BJT3230. සචෙ අයං නීයති භොජනත්ථං පවඩ්ඪකායො උරගො මහන්තො, දදාමි වො බලිවද්දානි{4} සොළස නාගං ඉමං මුඤ්චථ බන්ධනස්මා.
Sinhala BJT3230. විශේෂයෙන් වැඩුණා වූ ශරීර ඇති බඩගා යන්නා වූ මේ මහානාගයා ඉදින් භෝජනය පිණිස ගෙනයනු ලබන්නේ නම් මම තොපට ගවයන් සොළසක් දෙමි. මේ නාගයා බැම්මෙන් මුදනු මැනවි.
Pali BJT3231. අද්ධා හි නො භක්ඛො අයං මනාපො බහූ ච නො උරගා භුත්තපුබ්බා, කරොම තෙ තං වචනං අළාර මිත්තඤ්ච නො හොහි විදෙහපුත්ත.
Sinhala BJT3231. ඒකාන්තයෙන් ම මේ තෙම අපගේ සිත් පිනවන්නා වූ ආහාරය වේ. අප විසින් බොහෝ නාගයෝ කන ලද්දෝ ය. විදේහ පුත්‍ර වූ ආළාරය, නුඹගේ ඒ වචනය කරමු. නුඹ අපගේ මිත්‍රයා ද වෙහි ය.
Pali BJT3232. තදස්සු තෙ බන්ධනා මොචයිංසු යං නත්ථුතො පටිමොක්ඛස්ස පාසෙ, මුත්තො ච සො බන්ධනා නාගරාජා පක්කාමි පාචීනමුඛො මුහුත්තං
Sinhala BJT3232. මහරජ, එකල්හි නාසයෙන් විද ගසන ලද යම් බන්‍ධනයෝ වූවාහු නම් ඔවුහු ඒ බන්‍ධනවලින් නාගයා මුදා හැරියාහ. බැඳුම්වලින් මිදුණු නාගරාජ තෙමේ නැගෙනහිරට අභිමුඛ ව මොහොතක් ගියේ ය.
Pali BJT3233. ගන්ත්වාන පාචීනමුඛො මුහුත්තං පුණ්ණෙහි නෙත්තෙහි පලොකයී මං, තදස්සහං පිට්ඨිතො අන්වගච්ඡිං දසඞ්ගුලිං අඤ්ජලිං පග්ගහෙත්වා.
Sinhala BJT3233. පෙරදිගට අභිමුඛව මොහොතක් කල් ගොස් කඳුළු පිරුණු නෙත් වලින් මා දෙස බැලුවේ ය. මම දසැඟිලි එකට තබා ඇඳිලි බැඳ (නයාගේ) පිටු පසින් ගියෙමි.
Pali BJT3234. ගච්ඡෙව ඛො ත්වං තරමානරූපො මා තං අමිත්තා පුනරග්ගහෙසුං, දුක්ඛො හි ලුද්දෙහි පුනා සමාගමො අදස්සනං භොජපුත්තාන ගච්ඡ.
Sinhala BJT3234. නුඹ ඉක්මන් කොට යව, නැවත සතුරෝ නො අල්වා ගනිත්වා නැවත වැද්දන් හා එක්වීම යම් හෙයෙකින් දුක් වන්නේ ද, එහෙයින් වැදි පුත්‍රයන්ගේ නො දැක්මට (වැදි පුත්‍රයන්ට දැකිය නොහැකි තැනකට) යව.
Pali BJT3235. අගමාසි සො රහදං විප්පසන්නං නීලොභාසං රමණීයං සුතිත්ථං, සමොතතං ජම්බූහි චෙතසාහි පාවෙක්ඛි නිත්තිණ්ණභයො පතීතො
Sinhala BJT3235. වෙසෙසින් පහන් වූ නිල් පැහැයෙන් යුතු සිත්කලු වූ මනා කොට ඇති දඹගස්වලින් හා හොමුවගවලින් ගැවසී ගත්තා වූ විලට තුටුසිත් ඇති එතෙර කළ බිය ඇති ඒ නාගරාජයා ගියේ ය.
Pali BJT3236. සො තං පවිස්ස න චිරස්ස නාගො දිබ්බෙන මෙ පාතුරහූ ජනින්ද, උපට්ඨහි මං පිතරං ව පුත්තො හදයඞ්ගමං කණ්ණසුඛං භණන්තො
Sinhala BJT3236. මහරජ, ඒ නාග තෙම විලට ඇතුළු වී නොබෝ වෙලාවකින් දිව්‍ය වේශයෙන් මා ඉදිරියෙහි පහළ විය. පියකු ඉදිරියෙහි පුත්‍රයකු මෙන් හෘදයංගම වූ කනට සුව ගෙන දෙන්නා වූ මිහිරි වචන බෙණෙමින් මා වෙත එළඹියේ ය.
Pali BJT3237. ත්වංමෙසි මාතා ච පිතා අළාර අබ්භන්තරො පාණදදො සහායො, සකඤ්ච ඉද්ධිං පටිලාභිතොස්මි අළාර පස්ස මෙ නිවෙසනානි පහූතභක්ඛං බහු අන්නපානං මසක්කසාරං විය වාසවස්ස.
Sinhala BJT3237. පින්වත් ආළාරය, නුඹ මගේ මව ද වෙහි. පියා ද වෙහි ය. අභ්‍යන්තර වූ ප්‍රාණ දානය කරන යහළුවා ද වෙහි ය. සිය ඍද්ධිය ද නැවත ලබා දෙන ලද්දෙම් වෙමි. ආළාරය, බොහෝ කෑයුතු දෑ ඇති ආහාර පානයෙන් නො අඩු ශක්‍රයාගේ දිව්‍ය පුරය වැනි මාගේ නිවාස ස්ථානයන් බලවයි, නාගරාජ තෙම කීයේ ය.
Pali BJT3238. තං භූමිභාගෙහි උපෙතරූපං අසක්ඛරා චෙව මුදූ සුභා ච, නීචතිණා අප්පරජා ච භූමි පාසාදිකා යත්ථ ජහන්ති සොකං.
Sinhala BJT3238. මහරජ, යම් තැනෙක්හි පැමිණියවුන්ගේ ශෝකය දුරු කෙරේ ද ඒ නාග භවනයෙහි බිම වනාහි කැට කැබලිති රහිත වූ මෘදු වූ රන් රිදී මැණික්මය වූ සත්රුවන් වැලියෙන් යුත් ඉඳු ගොව්වන්ගේ පිට සමාන වර්‍ණ ඇති නීච තෘණයෙන් ගැවසී ගත් පසින් තොර වූවකි. නාගවිමානය ඒ බිම් කොටසින් යුතු ය.
Pali BJT3239. අනාවකූලා වෙළුරියූපනීලා චාතුද්දිසං අම්බවනං සුරම්මං, පක්කා ච පෙසී ච ඵලා සුඵුල්ලා නිච්චොතුකා ධාරයන්තී ඵලානි
Sinhala BJT3239. එහි සමව පිහිටියා වූ භූමිය වේ. වෛඩූර්‍ය්‍ය බඳු නිල් පැහැ ඇති පොකුණක් වේ. එහි සිව් දිග්හි ඉතා රම්‍ය වූ අඹ වනය වේ. එහි පැසුණා වූ ද තරුණ වූ ද ඵල හට ගත් අඹගස් වේ. ඒ අඹ ගස් හැම ඍතුයෙහි ම මල් ඵල දරන්නේ ය.
Pali BJT3240. තෙසං වනානං නරදෙව මජ්ඣෙ නිවෙසනං භස්සරසන්නිකාසං, රජතග්ගළං සොණ්ණමයං උළාරං පභාසති විජ්ජුරිවන්තලික්ඛෙ.
Sinhala BJT3240. නරදේව වූ රජුනි, ඒ වනමැද බබළන්නා වූ රිදීමය දොර කවුළු ඇති ස්වර්‍ණමය මහාප්‍රාසාදය අහස්හි විදුලිය සේ බබළන්නේ ය.
Pali BJT3241. මණිමයා සොවණ්ණමයා උළාරා අනෙකචිත්තා සතතං සුනිම්මිතා, පරිපූරා කඤ්ඤාහි අලඞ්කතාහි සොවණ්ණකායූරධරාහි රාජ.
Sinhala BJT3241. මහරජ, එහි මිණිමුවා වූ ද රන්මුවා වූ ද නොයෙක් විසිතුරු සැරසිල්ලෙන් ගැවසීගත්තා වූ නිතරම මනාකොට නිර්‍මාණය කරන ලද්දා වූ කුළු ගෙවල් හා ගබඩා ගෙවල් ඇත. ස්වර්‍ණමය වළලු දරන්නා වූ අලංකෘත නාගකන්‍යාවන්ගෙන් සම්පූර්‍ණ ය.
Pali BJT3242. සො සඞ්ඛපාලො තරමානරූපො පාසාදමාරුය්හ අනොමවණ්ණො, සහස්සථම්භං අතුලානුභාවං යත්ථස්ස භරියා මහෙසී අහොසි.
Sinhala BJT3242. ඒ සංඛපාල තෙම අතුල්‍ය වර්‍ණ ඇත්තේ ඉක්මන් ස්වභාව ඇත්තේ දහසක් කණු ඇති නො සම වූ අනුභාව ඇති පහයට නැඟ යම් තැනෙක්හි ඔහුගේ භාර්‍ය්‍යාව වූවා ද, මා අතින් ගෙන එහි පැමිණ වූයේ ය.
Pali BJT3243. එකා ච නාරී තරමානරූපා ආදාය වෙළුරියමයං මහග්ඝං, සුභං මණිං ජාතිමන්තූපපන්නං අචොදිතා ආසනමබ්භිභාසි.
Sinhala BJT3243. එකල්හි නො මෙහෙයන ලද එක් ස්ත්‍රියක් ඉක්මන් ස්වභාව ඇත්තී මාහැඟි ජාතිමත් මැණික් වලින් යුත් වෛඩූර්‍ය්‍යමය වූ යහපත් මැණික් ආසනයක් එළවූහ.
Pali BJT3244. තතො මං උරගො හත්ථෙ ගහෙත්වා නිසීදයී පමුඛමාසනස්මිං, ඉදමාසනං අත්ර භවං නිසීදතු භවඤ්හි මෙ අඤ්ඤතරො ගරූනං.
Sinhala BJT3244. ඉක්බිති නාග තෙමේ මා අත ගෙන ඉදිරි අසුනෙහි හිඳුවී. ‘මේ ආසනයයි’ පින්වත් තෙමේ මෙහි ඉඳ ගනීවා, පින්වත් තෙමේ මගේ මවුපියන් අතුරෙන් කෙනෙකි’ යි කීයේ ය.
Pali BJT3245. අඤ්ඤා ච නාරී තරමානරූපා ආදාය වාරිං උපසඞ්කමිත්වා, පාදානි පක්ඛාලයි මෙ ජනින්ද භරියාව භත්තු පතිනො පියස්ස.
Sinhala BJT3245. මහරජ, අන් ස්ත්‍රියක් ඉක්මන් ස්වභාව ඇත්තී දිය ගෙන මා වෙත එළඹ ප්‍රිය ස්වාමිපුරුෂයක්හුගේ පා දොවනා භාර්‍ය්‍යාවක මෙන් මගේ පා සේදුවා ය.
Pali BJT3246. අපරා ච නාරී තරමානරූපා පග්ගය්හ සොවණ්ණමයාය පාතියා, අනෙකසූපං විවිධං වියඤ්ජනං උපනාමයි භත්ත මනුඤ්ඤරූපං.
Sinhala BJT3246. තවත් ස්ත්‍රියක් ඉක්මන් ස්වභාව ඇත්තී ස්වර්‍ණමය තලියකින් නොයෙක් සූප ව්‍යඤ්ජනයෙන් යුත් මනෝඥ වූ බත් එළවූවා ය.
Pali BJT3247. තුරියෙහි මං භාරත භුත්තභත්තං උපට්ඨහුං භත්තු මනො විදිත්වා, තතුත්තරිං මං නිපතී මහන්තං දිබ්බෙහි කාමෙහි අනප්පකෙහි.
Sinhala BJT3247. භාරත දේශාධිපති වූ රජුනි, ආහාර අනුභවකළා වූ මට ඒ දිව්‍ය කන්‍යාවෝ ස්වාමිපුරුෂයාගේ සිත දැනගෙන නොයෙක් තූර්‍ය්‍ය වාද්‍යයෙන් උපස්ථාන කළාහු ය. ඉන්පසු නාරජ තෙම මහත් වූ දිව්‍යමය කාමසම්පත්තියෙන් යුක්ත ව මා වෙතට පැමිණියේ ය.
Pali BJT3248. භරියා මමෙතා තිසතා අළාර සබ්බත්තමජ්ඣා පදුමුත්තරාභා, ආළාර එතාසු තෙ කාමකාරො දදාමි තෙ තා පරිචාරයස්සු
Sinhala BJT3248. පින්වත් ආළාරය, මාගේ මේ තුන්සියයක් භාර්‍ය්‍යයාවෝ සියල්ලෝ තනුමධ්‍ය ප්‍රදේශ ඇත්තාහ. පියුම් බඳු වර්‍ණ ඇති සමින් යුක්තයහ. ආළාරය, මේ ස්ත්‍රීන් කෙරෙහි තොපට කැමැත්තක් කරව. තොපට දෙමි. ඒ ස්ත්‍රීන් තොපගේ පාදපරිචාරිකාවන් කරගනුව.
Pali BJT3249. සංවච්ඡරං දිබ්බරසානුභුත්වා තදස්සහං උත්තරිං පච්චභාසිං, නාගස්සිදං කින්ති කථඤ්ච ලද්ධං කථජ්ඣගමාසි විමානසෙට්ඨං.
Sinhala BJT3249. මහරජ, වර්‍ෂයක් දිව්‍ය පංචකාමරසයන් අනුභව කොට ඒ නාරජුට මෙසේ කීමි. නාගයාගේ මේ සම්පත් කිනම් කර්‍මයක් කොට කෙසේ ලබන ලද්දේ ද? මේ ශ්‍රේෂ්ඨ වූ විමානය කෙසේ ලබන ලද්දේ ද?
Pali BJT3250. අධිච්චලද්ධං පරිණාමජන්තෙ සයං කතං උදාහු දෙවෙහි දින්නං, පුච්ඡාමි තං නාගරාජෙ තමත්ථං කථජ්ඣගමාසි විමානසෙට්ඨං.
Sinhala BJT3250. නාග රාජය, නුඹ විසින් මේ විමානය හේතුවක් නැතිව ලබන ලද්දේ ද? යම් කිසිවකු විසින් පිරිනමන ලද්දක් ද? තමා විසින් කරන ලද්දක් ද? නැතහොත් දෙවියන් විසින් දෙන ලද්දක් ද? නාග රාජය, මේ කාරණය නුඹ අතින් විචාරමි.
Pali BJT3251. නාධිච්චලද්ධං න පරිණාමජං මෙ න සයං කතං නපි දෙවෙහි දින්නං, සකෙහි කම්මෙහි අපාපකෙහි පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං විමානං.
Sinhala BJT3251. මෙය හේතුවක් නැති ව ලබන ලද්දක් නො වේ. යම් කිසිවකු විසින් මට පිරිනමන ලද්දක් ද නො වේ. තමන් විසින් කරන ලද්දක් ද නො වේ. දෙවියන් විසිනුදු දෙන ලද්දක් නො වේ. අලාමක වූ සිය කුශල කර්‍මයන්ගෙන් මේ විමානය මා විසින් ලබන ලදී.
Pali BJT3252. කින්තෙ වතං කිං පන බ්රහ්මචරියං කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො, අක්ඛාහි මෙ නාගරාජෙතමත්ථං කථන්නු තෙ ලද්ධමිදං විමානං.
Sinhala BJT3252. නුඹගේ ව්‍රතය කුමක් ද? කවර බ්‍රහ්මචර්‍ය්‍යයක් රැක්කෙහි ද? මනාව පුරුදු කරන ලද කිනම් කර්‍මයක්හුගේ මේ විපාක ද? නාග රාජය මේ කාරණය මට කියනු මැනවි. මේ විමානය නුඹ විසින් කෙසේ නම් ලබන ලද්දේ ද?
Pali BJT3253. රාජා අහොසිං මගධානමිස්සරො දුය්යොධනො නාම මහානුභාවො, සො ඉත්තරං ජීවිතං සංවිදිත්වා අසස්සතං විපරිණාමධම්මං.
Sinhala BJT3253. ආළාරය, මම මගධේශ්වර වූ දුර්‍ය්‍යෝධන නම් මහානුභාව සම්පන්න රජෙක් වීමි. ඒ මම ජීවිතය ස්වල්පය බොහෝ කල් නො පවත්නේ ය. පෙරළෙන ස්වභාවයට පත් වන්නේ යයි මනාව දැන-
Pali BJT3254. අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තො සක්කච්ච දානං විපුලං අදාසිං ඔපානභූතං මෙ ඝරං තදාසි සන්තප්පිතා සමණබ්රාහ්මණා ච.
Sinhala BJT3254. පහන් සිත් ඇත්තෙම් මහත් වූ ආහාර පාන සකසා දුන්නෙමි. එකල්හි මාගේ ගෙදොර පැන් පොකුණක් බඳු විය. මහණ බමුණෝ මා විසින් සන්තර්‍පණය කරන ලද්දෝ ය.
Pali BJT3255. මාලඤ්ච ගන්ධඤ්ච විලෙපනඤ්ච පදීපියං යානමුපස්සයඤ්ච, අච්ඡාදනං සයනමථන්නපානං සක්කච්ච දානානි අදම්හ තත්ථ.
Sinhala BJT3255. එහි දී මල් ගඳ විලවුන් ද පහන් සහ යානයන් ද ගෙවල් සහ වස්ත්‍ර ද සයනාසන සහ ආහාර පාන ද සකස් කොට දන් දුනිමි.
Pali BJT3256. තං මෙ වතං තං පන බ්රහ්මචරියං තස්ස සුචිණ්ණස්ස අයං විපාකො, තෙනෙව මෙ ලද්ධමිදං විමානං පහූතභක්ඛං බහුඅන්නපානං නච්චෙහි ගීතෙහි චුපෙතරූපං චිරට්ඨිතිකං න ච සස්සතායං.
Sinhala BJT3256. එය මාගේ ව්‍රත සමාදානය වේ. එය මාගේ බ්‍රහ්මචර්‍ය්‍යය වේ. මනාව පුරුදු කරන ලද ඒ කර්‍මයාගේ මේ විපාක යි. එයින් ම බොහෝ කෑයුතු දෙයත් බොහෝ ආහාර පානත් නෘත්‍ය ගීතයන් ගෙන් යුත් චිරස්ථායී මේ විමානයත් මා විසින් ලබන ලද. මෙය ද සදාතන නො වේ යයි නාරජ කීයේ ය.
Pali BJT3257. අප්පානුභාවා තං මහානුභාවං තෙජස්සිනං හන්ති අතෙජවන්තො, කිමෙව දාඨාවුධ කිං පටිච්ච හත්ථත්ථ{1} මාගඤ්ඡි වණිබ්බකානං.
Sinhala BJT3257. දළ ම ආයුධ කොට ඇති නාගරාජය, මද අනුභාවයක් ඇත්තා වූ තේජස් විරහිත ඒ වැදි පුත්‍රයෝ මහත් අනුභාව ඇති මහත් තේජස් ඇති නුඹට කුමක් හෙයින් හිංසා කළාහු ද? කුමක් හෙයින් වැද්දන්ගේ අතට අසුවූයෙහි ද?
Pali BJT3258. භයන්නු තෙ අන්වගතං මහන්තං තෙජොනු තෙ නාන්වගං දන්තමූලං, කිමෙව දාඨාවුධ කිං පටිච්ච කිලෙසමාපජ්ජි වණිබ්බකානං.
Sinhala BJT3258. දළ ආයුධ කොට ඇති නාගරාජය, කිම ඔවුහු නුඹගේ තේජස් දැක බිය නො වූහු ද? නුඹගේ විෂ දත්මුල් අනුව නො ගියේ ද? කුමක් නිසා වණිබ්බකයන්ගෙන් වෙහෙසට පත්වීදැයි? ඇසීය.
Pali BJT3259. න මෙ භයං අන්වගතං මහන්තං තෙජො න සක්කා මම තෙහි හන්තුං, සතඤ්ච ධම්මානි සුකිත්තිතානි සමුද්දවෙලාව දුරච්චයානි.
Sinhala BJT3259. මාගේ මහත් තේජස දැක ඔවුහු බිය නො වූහ. මාගේ තේජස ඔවුන් විසින් නසන්නට නො පිළිවන. එහෙත් බුද්ධාදි සත්පුරුෂයන් විසින් මනාකොට ප්‍රකාශ කරන ලද්දා වූ ධර්‍මයෝ මා විසින් මුහුදු වෙරළ මෙන් නො ඉක්මවාලිය හැක්කාහු වෙති.
Pali BJT3260. චාතුද්දසිං පඤ්චදසිං ච’ළාර{1} උපොසථං නිච්චමුපාවසාමි, අථාගමුං සොළස භොජපුත්තා රජ්ජුං ගහෙත්වාන දළ්හඤ්ච පාසං.
Sinhala BJT3260. ආළාරය, තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද නිතර පෙහෙ වස් සමාදන්ව වසමි. එවිට වැදිපුත්‍රයෝ සොළොස් දෙනෙක් දැඩි මළපුඩුවක් හා රැහැනක් ගෙන එහි එළඹුණාහ.
Pali BJT3261. භෙත්වාන තාසං අතිකස්ස රජ්ජුං නයිංසු මං සම්පරිගය්හ ලුද්දා, එතාදිසං දුක්ඛමහං තිතික්ඛං උපොසථං අප්පටිකොපයන්තො.
Sinhala BJT3261. ඒ වැදිපුත්‍රයෝ මාගේ නාසය විද රැහැනකින් බැඳ මා තඩැ ලාගෙන ගියාහු ය. මා සමාදන්ව ගත් පෙහෙවස කෝපනය නො කරමින් මම මෙතරම් දුකක් ඉවසුවෙමි.
Pali BJT3262. එකායනෙ තං පථෙ අද්දසංසු බලෙන වණ්ණෙන චු’පෙතරූපං{2}, සිරියා ච පඤ්ඤාය ච භාවිතොසි කිමත්ථියං නාග තපො කරොසි.
Sinhala BJT3262. බලයෙන් ද වර්‍ණයෙන් ද යුත් තොප එකපදික මාර්‍ගයෙහි දී ඒ වැද්දෝ දුටුවෝ ය. තෙපි වනාහි ඓශ්වර්‍ය්‍යයෙන් හා ප්‍රඥායෙන් වැඩුණහුය. නාගය, එසේ තිබියදී කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහු ද? යි ඇසුවේ ය.
Pali BJT3263. න පුතතහෙතු න ධනස්ස හෙතු න ආයුනො චාපි අළාර හෙතු, මනුස්සයොනිං අභිපත්ථයානො තස්මා පරක්කම්ම තපො කරොමි.
Sinhala BJT3263. ආළාරය, පුත්‍රයන් හේතුකොට ගෙන නොවේ. ධනය හේතුකොට ගෙන ද නොවේ. ආයුෂ හේතු කොට ගෙන ද නොවේ. මිනිස් උපත පතන්නෙමි. එහෙයින් උත්සාහ දරා තපස් රකිමි යි කීයේ ය.
Pali BJT3264. ත්වං ලොහිතක්ඛො විහතන්තරංසො අලඞ්කතො කප්පිතකෙසමස්සු, සුරොසිතො ලොහිතචන්දනෙන ගන්ධබ්බරාජාව දිසා පභාස්සි.
Sinhala BJT3264. නාගරාජය, නුඹ ලේවන් ඇස් ඇත්තෙහි ය. නට අන්තරංස (පෙළුණු පපුවක්) ඇත්තෙහි ය. අලංකාර වූයෙහි කපන ලද කෙස් රවුළු ඇත්තෙහි ය. රත් සඳුන් විලවුන් ගල්වන ලද්දෙහි ගන්‍ධර්‍වරාජයා මෙන් දිශාවන් බබුළුවහි.
Pali BJT3265. දෙවිද්ධිපත්තොසි මහානුභාවො සබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො, පුච්ඡාමි තං නාගරාජෙතමත්ථං සෙය්යො ඉතො කෙන මනුස්සලොකො.
Sinhala BJT3265. සියලු කාමසම්පත්තීන් යුක්ත වූවෙහි ය. මහත් අනුභාව ඇත්තෙහි දිව්‍යමය ඍද්ධියට පැමිණියේ වෙහි ය. නාග රාජය, නුඹ අතින් මේ කරුණ විචාරමි. මේ නාගභවනයට වඩා මනුෂ්‍යලෝකය ශ්‍රේෂ්ඨ වන්නේ කවර කරුණකින් ද?
Pali BJT3266. ආළාර නාඤ්ඤත්ර මනුස්සලොකා සුද්ධි වි සංවිජ්ජති සඤ්ඤමො වා, අහඤ්ච ලද්ධාන මනුස්සයොනිං කාහාමි ජාතිමරණස්ස අන්තං.
Sinhala BJT3266. ආළාරය, මාර්‍ග ඵල නිර්‍වාණ සංඛ්‍යාත ශුද්ධිය හෝ ශීල සංයමය හෝ මිනිස් ලොවින් වෙන්ව විද්‍යමාන නො වන්නේ ය. මම ද මිනිස් උපත ලැබ ජාති මරණයන්ගේ අවසානය කරන්නෙමි.
Pali BJT3267. සංවච්ඡරො මෙ උසිතො{1} තවන්තිකෙ අන්නෙන පානෙන උපට්ඨිතොස්මි, ආමන්තයිත්වාන පළෙමි නාග චිරප්පවුත්ථොස්මි{2} අහං ජනින්ද.
Sinhala BJT3267. නුඹ සමීපයෙහි මම වර්‍ෂයක් විසීමි. ආහාර පානයෙන් මම උපස්ථාන ලද්දෙම් ද වෙමි. නාගය, නුඹට කියා යමි. නාග රාජය, මම බොහෝ කලක් වාසය කෙළෙමි යි කීයේ ය.
Pali BJT3268. පුත්තා ච දාරා ච‘නුජිවිනො ච නිච්චානුසිට්ඨා{3} උපතිට්ඨතෙ තං, කච්චින්නු තෙ නාභිසංසිත්ථ කොචි පියඤ්හි මෙ දස්සනං තුය්හළාර.{4}
Sinhala BJT3268. ආළාරය, මාගේ පුත්‍රයෝ ද අඹුවෝ ද අනුව ජීවත් වන්නෝ ද නිතර අනුශාසනා කරන ලද්දාහු නුඹට උපස්ථාන කිරීමට පැමිණ සිටින්නාහ. කිම, ඔවුනතර කිසිවෙක් නුඹට අසතුටක් කෙළේ ද? නුඹගේ දැක්ම මට ප්‍රිය යයි නාරජ කීයේ ය.
Pali BJT3269. යථාපි මාතු ච පිතු අගාරෙ පුත්තො පියො පටිවිහිතො වසෙය්ය, තතොපි මය්හං ඉධ මෙව සෙය්යො චිත්තං හි තෙ නාග මයි පසන්නං.
Sinhala BJT3269. මවුපියන්ගේ ගෙහි පුත්‍රයෙක් යම්සේ පෝෂණය කරන ලද්දේ වාසය කෙරේ ද, එයටත් වඩා මට මෙහි ම ශ්‍රේෂ්ඨය. නාගය, තොපගේ සිත යම් හෙයෙකින් මා කෙරෙහි ප්‍රසන්න ද එහෙයිනි.
Pali BJT3270. මණී මමං විජ්ජති ලොහිතඞ්කො ධනාහරො මණිරතනං උළාරං, ආදාය තං ගච්ඡ සකං නිකෙතං ලද්ධා ධනං තං මණිමොස්සජස්සු.
Sinhala BJT3270. යහළු ආළාරය, ධනය ලැබ ගන්නට පිළිවන් වන්නාවූ ලෝහිතංක නම් මාණික්‍යයක් මාගේ ඇත. ඒ මහත් වූ මාණික්‍යය ගෙන සිය නිවසට යව. එයින් ධනය ලබාගෙන මා වෙතට ම පමුණුවනු මැනවි.
Pali BJT3271. දිට්ඨා මයා මානුසිකාපි කාමා අසස්සතා විපරිණාමධම්මා,{5} ආදීනවං කාමගුණෙසු දිස්වා සද්ධායහං පබ්බජිතොම්හි රාජ.
Sinhala BJT3271. මහරජ, මා විසින් මිනිසුන් අයත් වූ ද දෙවියන් අයත් වූ ද කාමසම්පත්තීහු දක්නා ලද්දාහ. ඒ කාමයෝ අශාස්වතයහ. පෙරළෙන ස්වභාව ඇත්තෝ ය. කාමසම්පත්හි ආදීනව දැක මම සැදැහැයෙන් පැවිදි වූයෙමි.
Pali BJT3272. දුමප්ඵලානෙව පතන්ති මාණවා දහරා ච වුද්ධා ච සරීරභෙදා, එතම්පි දිස්වා පබ්බජිතොම්හි රාජ. අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්යො.
Sinhala BJT3272. මහරජ, ගස්වල පැසුණු නො පැසුණු ගෙඩි මෙන් ළදරු වූ ද තරුණ වූ ද මහලු වූ ද යන සියල්ලෝ ම ශරීර භේදයෙන් වැටෙන්නාහ. මෙය ද දැක පැවිදි වීමි. නෛර්‍ය්‍යාණික වූ මහණකම වනාහි ශ්‍රේෂ්ඨ වේ.
Pali BJT3273. අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, නාගඤ්ච සුත්වා න තවඤ්චළාර කාහාමි පුඤ්ඤානි අනප්පකානි.
Sinhala BJT3273. ආළාර නම් තාපසය, යම් කෙනෙක් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු බොහෝ කරුණු සිතන්නෝ වෙද් ද, නුවණැති ඔවුහු ඒකාන්තයෙන් ම සේවනය කළ යුත්තෝ වෙති යි රජ තෙම කීයේ ය.
Pali BJT3274. අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, නාගඤ්ච සුත්වා මමඤ්ච රාජ කරොහි පුඤ්ඤානි අනප්පකානීති.
Sinhala BJT3274. යම් කෙනෙක් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු බොහෝ කරුණු සිතන්නෝ වෙද්ද, නුවණැති ඔවුහු ඒකාන්තයෙන් ම සේවනය කළ යුත්තෝ වෙති. මහරජ, සංඛපාල නාගයා ගැන ද මා ගැන ද අසා බොහෝ පින් කරවයි තාපස තෙම අවවාද කෙළේ ය.
Pali BJTසඞ්ඛපාල ජාතකං.
Sinhala BJTසංඛපාල ජාතක යි.
Pali BJT5. චුල්ලසුතසොමජාතකං.
Sinhala BJT5. චුල්ලසුතසෝම ජාතකය
Pali BJT3275. ආමන්තයාමි නිගමං මිත්තාමච්චෙ පාරිසජ්ජෙ ච{1}, සිරස්මිං පලිතං ජාතං පබ්බජ්ජං දානි රොච’හං.
Sinhala BJT3275. නියම් ගම් වැසි ජනයා ද මිත්‍රාමාත්‍යයන් ද පිරිස් වැසියන් ද අමතා දන්වමි. හිසෙහි පැසුණු කෙසක් හටගත්තේ ය. දැන් මම පැවිද්ද කැමැත්තෙමි’ යි සුතසෝම නම් රජ ප්‍රකාශ කෙළේ ය.
Pali BJT3276. අභුං මෙ කථන්නු භණසි සල්ලං මෙ දෙව උරසි කප්පෙසි, සත්තසතා තෙ භරියා කථන්නු තෙ තා භවිස්සන්ති.
Sinhala BJT3276. දේවයන් වහන්ස, කෙසේ නම් මට අවැඩක් කියන්නෙහිද? මාගේ ළයෙහි අනින ලද හුලක් මෙන් කෙළෙහි ය. තමුන්නාන්සේගේ සත්සියයක් භාර්‍ය්‍යාවෝ වෙත්. තමුන්නාන්සේ පැවිදි වූ කල්හි ඒ භාර්‍ය්‍යාවරු කෙසේ ජීවත් වන්නාහු දැ? (යි ඔවුනතුරෙන් එකෙක් ඇසීය.)
Pali BJT3277. පඤ්ඤායිහින්ති එතා දහරා අඤ්ඤම්පි තා ගමිස්සන්ති, සග්ගඤ්ච පත්ථයානො තෙනා’හං පබ්බජිස්සාමි.
Sinhala BJT3277. මේ තරුණ භාර්‍ය්‍යාවරු තම තමන්ගේ කටයුතුවලින් ප්‍රකටවන්නාහ. ඔවුහු අන් සැමියකු වෙත ද යන්නාහ. මම ස්වර්‍ගය පතන්නෙම් ද වෙමි. එහෙයින් මම පැවිදි වෙමි.
Pali BJT3278. දුල්ලද්ධං මෙ ආසි සුතසොම යස්ස තෙ හොමහං මාතා, යං මෙ විලපන්තියා අනපෙක්ඛො පබ්බජසි දෙව.
Sinhala BJT3278. දේවයන් වහන්ස, යම් හෙයෙකින් වැලපෙන්නා වූ මා ගැන අපේක්‍ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි නම්, සුතසෝමය, මම යම්බඳු තොපගේ මව් වීම් ද, එය මා නපුරු කොට ලැබුවකි.
Pali BJT3279. දුල්ලද්ධං මෙ ආසි සුතසොම යන්තං අහං විජායිස්සං, යං මෙ විලපන්තියා අනපෙක්ඛො පබ්බජසි දෙව.
Sinhala BJT3279. දේවයෙනි, යම් හෙයෙකින් වැලපෙන්නා වූ මා ගැන අපේක්‍ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි නම් සුතසෝමය, මම යම්බඳු වූ තොප ප්‍රසූත කෙළෙම් ද, මෙය මා විසින් නපුරු කොට ලබන ලද්දක් වී යයි මව කීවාය.
Pali BJT3280. කොනාමෙසො ධම්මො සුතසොම කා ච නාම පබ්බජ්ජා,{2} යං නො අම්හෙ ජිණ්ණො අනපෙක්ඛො පබ්බජසි දෙව.
Sinhala BJT3280. දේවයෙනි, යම් හෙයකින් ජරාජීර්‍ණ වූ අප ගැන අපේක්‍ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි නම්, සුතසෝමය, එය කිනම් පැවිද්දක් ද? මෙය කවර නම් ධර්‍මයක්දැ? යි පිය තෙමේ ඇසුවේ ය.
Pali BJT3281. පුත්තාපි තුය්හං බහවො දහරා අප්පත්තයොබ්බනා, මඤ්ජූ තෙ{3} තං අපස්සන්තා මඤ්ඤෙ දුක්ඛං නිගච්ඡන්ති.
Sinhala BJT3281. තොපගේ බොහෝ පුත්‍රයෝ ද නො පැමිණි යොවුන් වයස් ඇති ළදරුවෝ ය. මිහිරි වදන් බෙණෙන්නා වූ ඔවුහු තා නොදක්නෝ දුකට පත් වෙතැයි හඟිමි.
Pali BJT3282. පුත්තෙහි ච මෙ එතෙහි දහරෙහි අප්පත්තයොබ්බනෙහි, මඤ්ජූහි සබ්බෙහිපි තුම්හෙහි චිරම්පි ඨත්වා විනාභාවො.
Sinhala BJT3282. යොවුන් වියට නො පැමිණි මිහිරි වදන් බෙණෙන මේ ළදරු පුත්‍රයන්ගෙන් පමණක් නොව තොප සියලු දෙනාගෙන් ද, බොහෝ කලක් වාසය කොට ද වෙන් වන්නට සිදුවේ. එය නො වැළැක්විය හැක්කකියි බෝසත් තෙම කීය.
Pali BJT3283. ඡින්නං නු තුය්හං හදයං ආදු{1} කරුණා ච නත්ථි අම්හෙසු, යං නො වික්කන්දත්තියො අනපෙක්ඛො පබ්බජසි දෙව.
Sinhala BJT3283. දේවයන් වහන්ස, යම් හෙයකින් අප අඬද්දී අපේක්‍ෂා රහිතව පැවිදි වෙහි ද? එහෙයින් නුඹ වහන්සේගේ හෘදය සිදුරු වී ද? වැන්දඹු තත්‍වයට වැටෙන අප කෙරෙහි කරුණාවක් නැද්ද? යි භාර්‍ය්‍යාවක් ඇසුවා ය.
Pali BJT3284. න ච මය්හං ඡින්නං හදයං අත්ථි කරුණාපි මය්හං තුම්හෙසු, සග්ගඤ්ච පත්ථයානො තෙනාහං පබ්බජිස්සාමි.
Sinhala BJT3284. මගේ හෘදය සිදුරු නොවීය. තොප කෙරෙහි මාගේ කරුණාව ද ඇත්තේ ය. ස්වර්‍ග සම්පත්තිය ද පතන්නෙම් වෙමි. එහෙයින් මම පැවිදි වන්නෙමි.
Pali BJT3285. දුල්ලද්ධං මෙ ආසි සුතසොම යස්ස තෙ අහං භරියා, යං මෙ විලපන්තියා අනපෙක්ඛො පබ්බජසි දෙව.
Sinhala BJT3285. දේවයෙනි, යම් හෙයකින් වැලපෙන්නා වූ මා ගැන අපේක්‍ෂා රහිත වූයේ පැවිදි වෙහි ද? සුතසෝමය, මම යම්බඳු වූ තොපගේ භාර්‍ය්‍යා වෙම් ද එහෙයින් එය මා නපුරු කොට ලබන ලද්දක් විය.
Pali BJT3286. දුල්ලද්ධං මෙ ආසි සුතසොම යස්ස තෙ අහං භරියා, යං මෙ කුච්ඡිපටිසන්ධිං අනපෙක්ඛො පබ්බජසි දෙව.
Sinhala BJT3286. දේවයෙනි, යම් හෙයකින් මගේ කුස පිළිසිඳ ගැන්ම ගැන අපේක්‍ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි ද සුතසෝමය, මම යම්බඳු තොපගේ භාර්‍ය්‍යා වෙම් ද එහෙයින් එය මා නපුරු කොට ලබන ලද්දක් විය.
Pali BJT3287. පරිපක්කො මෙ ගබ්භො කුච්ඡිගතො යාව නං විජායාමි, මාහං එකො විධවා පච්ඡා දුක්ඛානි අද්දක්ඛිං.{2}
Sinhala BJT3287. මාගේ දරු ගර්‍භය මුහුකුරා ගියේ ය. කුස හොත් දරුවා යම්තාක් වදම් ද ඒ තාක් ඉවසුව මැනැවි. එකලා වූ මම වැන්දඹු නො කෙරේවා, පසුව දුක් දකිමියි අග මෙහෙසිය කීවාය.
Pali BJT3288. පරිපක්කො තෙ{3} ගබ්භො කුච්ඡිගතො ඉඞ්ඝ ත්වං{4} විජායස්සු, පුත්තං අනොමවණ්ණං තං හිත්වා පබ්බජිස්සාමි.
Sinhala BJT3288. තීගේ දරු ගර්‍භය මුහුකුරා ගියේ යැයි දනිමි. එබැවින් තී පුත්‍රයකු ප්‍රසූත කරව අලාමක වර්‍ණ ඇති පුත්‍රයා ද තී ද හැර මම පැවිදි වන්නෙමි’ යි බෝසත් තෙම කීයේ ය.
Pali BJT3289. මා ත්වං චන්දෙ රුදි මා සොචි වනතිමිරමත්තක්ඛි, ආරොහ වරපාසාදං අනපෙක්ඛො අහං ගමිස්සාමි.
Sinhala BJT3289. සොඳුර චන්‍ද්‍රා දේවිය, නො අඬව. ගිනිහිරි මල් බඳු ඇස් ඇත්තිය. නො හඬව. උතුම් ප්‍රාසාදයට නගුව. මම අපේක්‍ෂා විරහිතව යන්නෙමි යි කීයේ ය.
Pali BJT3290. කො තං අම්ම කොපෙසි කිං රොදසි පෙක්ඛසි ච මං බාළ්හං, කං{5} අවජ්ඣං ඝාතෙමි ඤාතීනං උදික්ඛමානානං.
Sinhala BJT3290. මෑණියෙනි, කවරෙක් නුඹ කෝප කෙළේ ද? කුමක් හෙයින් හඬන්නෙහි ද? කුමක් නිසා මා දෙස ද දැඩිව බලන්නෙහි ද? වධ නො කටයුත්තකු වුවත් ඤාතීන් බලා සිටියදී ම නසමි. මට මේ කරුණ පහදා දෙව යි වැඩිමහලු පුත්‍ර තෙම ඇසීය.
Pali BJT3291. නහි සො සක්කා හන්තුං විජිතාවී යො මං තාත කොපෙසි, පිතා තෙ මං තාත අවච අනපෙක්ඛො අහං ගමිස්සාමි.
Sinhala BJT3291. පුත්‍රය, යමෙක් මා කෝප කෙළේ ද? හෙතෙමේ ලබන ලද ජය ඇත්තා වූ තොපගේ පියා වන්නේ ය. හෙතෙමේ නසන්නට නො හැකිය. පුත්‍රය, තොපගේ පියා මම අපේක්‍ෂා රහිතව යන්නෙමියි මට කීයේ ය.
Pali BJT3292. යාහං පුබ්බෙ නිය්යාමි උය්යානං{1} කුඤජරෙ{2} ච යොධෙමි, සුතසොමෙ{3} පබ්බජිතෙ කථන්නුදානි කරිස්සාමි.
Sinhala BJT3292. යම්බඳු මම පෙර රියට නැඟ උයනට ගියෙම් ද, මදැ තුන්හට ද පහර දුනිම් ද? මා පිය සුතසෝමරජ පැවිදි වූ කල්හි දැන් මම ඒවා කෙසේ කරම් දැයි වැඩිමහලු පුත්‍රයා ප්‍රශ්න කෙළේ ය.
Pali BJT3293. මාතු ච මෙ රුදන්ත්යා{4} ජෙට්ඨස්ස ච භාතුනො අකාමස්ස, හත්ථෙපි තෙ ගහෙස්සං{5} න හි ගච්ඡසි නො අකාමානං.
Sinhala BJT3293. පියාණෙනි, මාගේ මව හඬද්දී වැඩිමහල් සහෝදරයාගේ ද නො කැමැත්ත තිබියදී පැවිදි වෙහි ද? නුඹ වහන්සේගේ අත් දෙක ද අල්ලා ගන්නෙමි. අප අකමැතිව සිටියදී නො යන්නෙහි යැයි බාල පුත්‍රයා ප්‍රකාශ කළේ ය.
Pali BJT3294. උට්ඨෙහි ත්වං ධාති ඉමං කුමාරං{6} රමෙහි අඤ්ඤත්ථ, මා මෙ පරිපත්ථමකා{7} සග්ගං මම පත්ථයානස්ස.
Sinhala BJT3294. එම්බා කිරිමව, තී නැගිටුව මේ කුමරා අන් තැනක සිත් අලවව. ස්වර්‍ගය පතන්නා වූ මට උවදුරු නො කරව.
Pali BJT3295. යන්නූනිමං දදෙය්යං{8} පභඞ්කරං කො නු මෙ ඉමිනා අත්ථො, සුතසොමෙ පබ්බජිතෙ කින්නු මෙ තං කරිස්සාමි.
Sinhala BJT3295. මේ දිලිසෙන්නා වූ මැණික ආපසු දෙන්නෙම් නම් යහපති. මට මෙයින් කවර ප්‍රයෝජන ද? සුතසෝම රජු පැවිදි වූ කල්හි මේ මැණික ගෙන මම කුමක් කරන්නෙම් දැ යි කිරිමව වැලපුණාය.
Pali BJT3296. කොසො ච තුය්හං විපුලො කොට්ඨාගාරඤ්ච තුය්හං පරිපූරං, පඨවී{9} ච තුය්හං විජිතා{10} රමස්සු මා පබ්බජස්සු දෙව.
Sinhala BJT3296. දේවයන් වහන්ස, භාණ්ඩාගාරය ද මහත් වේ. නුඹගේ කෝෂ්ඨාගාරය ද පිරී ගොස් ය. නුඹ විසින් පෘථිවිය ද දිනන ලද්දීය. සිත් අලවා වාසය කරව. පැවිදි නො වනු මැනැවැයි මහඇමති තෙම කීයේ ය.
Pali BJT3297. කොසො ච තුය්හං විපුලො කොට්ඨාගාරඤ්ච මය්හං පරිපූරං, පඨවී ච මය්හං විජිතා තං හිත්වා පබ්බජිස්සාමි.
Sinhala BJT3297. මාගේ භාණ්ඩාගාරය ද මහත් ය. මාගේ කෝෂ්ඨාගාරය ද පිරී ගොස් ය. මා විසින් පෘථිවිය ද දිනන ලද්දී ය. ඒ සියල්ල හැරදමා පැවිදි වෙමියි බෝසත් තෙම කීයේ ය.
Pali BJT3298. මය්හම්පි ධනං පහූතං සඞ්ඛ්යාතුං නොපි දෙව සක්කොමි, තං දෙව තෙ දදාමි සබ්බම්පි රමස්සු මා පබ්බජ දෙව.
Sinhala BJT3298. දේවයන් වහන්ස, මාගේ ධනය ද බොහෝ ය. ගණින්නට ද නො හැකියි. ඒ සියල්ල ම නුඹ වහන්සේට දෙමි. සිත් අලවා මෙහි ම වාසය කරනු මැනවි. පැවිදි නො වනු මැනැවැයි කුලවඩ්ඪන නම් සිටු තෙම කීයේ ය.
Pali BJT3299. ජානාමි තෙ ධනං පහූතං කුලවඩ්ඪන පූජිතො තයා ච’ස්මි, සග්ගඤ්ච පත්ථයානො තෙනාහං පබ්බජිස්සාමි.
Sinhala BJT3299. කුලවඩ්ඪන සිටාණෙනි, තාගේ ධනය බොහෝ බව දනිමි. තා විසින් ද මම පුදන ලද්දෙම් වෙමි. ස්වර්‍ග සම්පත්ති ද පතන්නෙම් වෙමි. එහෙයින් මම පැවිදි වන්නෙමියි බෝසත් තෙම කීයේ ය.
Pali BJT3300. උක්කණ්ඨිතොස්මි බාළ්හං අරති මං සොමදත්ත ආවිසති, බහුකා හි අන්තරායා අජ්ජෙවාහං පබ්බජිස්සාමි.
Sinhala BJT3300. සෝමදත්ත කුමාරය, මම දැඩිසේ කලකිරුණෙම් වෙමි. නො ඇල්ම මා කෙරෙහි ආවේශ වෙයි. යම් හෙයකින් අන්තරායයෝ බොහෝ වෙද් ද, එබැවින් අද ම මම පැවිදි වන්නෙමියි සෝමදත්ත කුමරුහට රජය පාවා දෙමින් සුතසෝම බෝසත් තෙමේ ප්‍රකාශ කළේ ය.
Pali BJT3301. ඉදම්පි තුය්හං රුචිතං සුතසොම අජ්ජෙවදානි ත්වං පබ්බජ, අහම්පි පබ්බජිස්සාමි න උස්සහෙ තයා විනා අහං ඨාතුං.
Sinhala BJT3301. සුතසොමයන් වහන්ස, අද ම පැවිදි වන්නෙමි යි යන මෙය නුඹ විසින් කැමති වන ලද්දක් ද? නුඹ වහන්සේ අද ම පැවිදි වනු මැනවි. මම ද පැවිදි වන්නෙමි. තොප හැර ගිහිගෙයි සිටින්නට මම උත්සාහ නො කරමියි සෝමදත්ත නම් සහෝදරයා කීයේ ය.
Pali BJT3302. න හි සක්කා පබ්බජිතුං. නගරෙ න හි පච්චති ජනපදෙ ච, සුතසොමෙ පබ්බජිතෙ කථන්නුදානි කරිස්සාම.
Sinhala BJT3302. සුතසෝම රජු පැවිදි වූ කල්හි දැන් අපි කුමක් කරන්නෙමු දැයි කියා නගරයෙහි ද ජනපදයෙහි ද දැනටමත් ශෝකයෙන් ආහාර නො පිසත්. (අප දෙදෙනා ම පැවිදි වූ කල්හි රටවැසියෝ අනාථයෝ වන්නාහ). එබැවින් නුඹට පැවිදි වන්නට නුපුළුවන් යයි සුතසෝම තෙම කීයේ ය.
Pali BJT3303. උපනීයතිදං මඤ්ඤෙ පරිත්තං උදකංව චඞ්ගවාරම්භි, එවං සුපරිත්තකෙ ජීවිතෙ න ච පමජ්ජිතුං කාලො.
Sinhala BJT3303. මේ ජීවිතය රදවුන්ගේ අළුපෙරහනෙහි ස්වල්ප වූ ජලයක් මෙන් වහා මැඩ පැවැත්වෙන්නේයයි දනිමි. මෙසේ ස්වල්ප වූ ජීවිත කාලයෙහි ද පමා වන්නට කාලයක් නැත්තේය.
Pali BJT3304. උපනීයතිදං මඤ්ඤෙ පරිත්තං උදකංව චඞ්ගවාරම්හි, එවං සුපරිත්තකෙ ජීවිතෙ අථ බාලා පමජ්ජන්ති.
Sinhala BJT3304. මේ ජීවිතය රජකයන්ගේ අළුපෙරහනෙහි ස්වල්ප වූ දියත්තක් මෙන් වහා මැඩ පැවැත්වෙන්නේයයි දනිමි. මෙසේ ස්වල්ප වූ ජීවිත කාලයෙහි ද අඥානයෝ පමා වන්නාහ.
Pali BJT3305. තෙ වඩ්ඪයන්ති නිරයං තිරච්ඡානයොනිඤ්ච පෙත්තිවිසයඤ්ච, තණ්හාබන්ධනබද්ධා වඩ්ඪෙන්ති අසුරකායං.
Sinhala BJT3305. තෘෂ්ණා බන්‍ධනයෙන් බැඳුණා වූ ඔවුහු නරකය තිරිසන් යෝනිය - ප්‍රේත විෂය - අසුරකාය යන සිවු අපාය දියුණු කරත්.
Pali BJT3306. ඌහඤ්ඤතෙ රජග්ගං අවිදූරෙ පුප්ඵකම්භි පාසාදෙ, මඤ්ඤෙ නො කෙසා ඡින්නා යසස්සිනො ධම්මරාජස්ස.
Sinhala BJT3306. අපගේ මහත් යශස් ඇති ධර්‍ම රාජන් වූ රජුගේ කේශයෝ සිඳින ලද්දාහයි හඟිමි. පුප්ඵ නම් ප්‍රාසාදයට නුදුරු තන්හි රජස් උස්ව නැගේ යැයි මහජනයා හඬමින් කීයේ ය.
Pali BJT3307. අයමස්ස පාසාදො සොවණ්ණපුප්ඵමාල්යවීතිකිණ්ණො, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
Sinhala BJT3307. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් ප්‍රාසාදයන්හි හැසුරුණේ ද, මනා වර්‍ණ ඇති මලින් හා නොයෙක් මල් මාලාවන් ගෙන් ද ගැවසීගත්තා වූ මෙය වනාහි උන්වහන්සේගේ ඒ ප්‍රාසාද යයි.
Pali BJT3308. අයමස්ස පාසාදො සොවණ්ණපුප්ඵමාල්යවීතිකිණ්ණො, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
Sinhala BJT3308. නෑ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ රජතෙම යම් ප්‍රාසාදයෙක්හි හැසුරුණේ ද මනා වර්‍ණ ඇති මලින් හා මල්මාලාවන්ගෙන් ද ගැවසීගත්තා වූ මෙය වනාහි උන්වහන්සේගේ ඒ ප්‍රාසාද යයි.
Pali BJT3309. ඉදමස්ස කූටාගාරං සොවණ්ණපුප්ඵමාල්යවීතිකිණ්ණං, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
Sinhala BJT3309. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් කූටාගාරයෙක්හි හැසුරුණේ ද, මනා වර්‍ණ ඇති මලින් හා මල්මාලාවන්ගෙන් ද ගැවසීගත්තා වූ මෙය වනාහි උන්වහන්සේගේ කූටාගාර යයි.
Pali BJT3310. ඉදමස්ස කූටාගාරං සොවණ්ණපුප්ඵමාල්යවීතිකිණ්ණං, යහිමනුවිචරී රාජා පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
Sinhala BJT3310. නෑ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් කූටාගාරයෙක්හි හැසුරුණේ ද මනා වර්‍ණ ඇති මලින් හා මල් මාලාවන්ගෙන් යුක්ත වූ මෙය වනාහි උන්වහන්සේගේ ඒ කූටාගාරය යි.