Pali BJT1986. පසූ මනුස්සා මිගවිරියසෙට්ඨ{6} භයද්දිතා{7} සෙට්ඨමුපබ්බජන්ති{8}, පුත්තා මමට්ටා ගතිමාගතොස්මි ත්වං නොසි රාජා භව මෙ සුඛාය.
Sinhala BJT1986. මෘගයන් අතරේ වීර්‍ය්‍යය ඇති ශ්‍රේෂ්ඨ රජතුමනි, තිරිසන්නු ද මනුෂ්‍යයෝ ද බියට පත් වූවෝ ශ්‍රේෂ්ඨයකු කරා එති. මාගේ දරුවෝ පීඩිතයහ. පිළිසරණ සොයා ආයේ වෙමි. ඔබ අප රජ වෙති. මාගේ සැපත පිණිස උපකාර වුව මැනැවි.
Pali BJT1987. කරොමි තෙ සෙනක එතමත්ථං ආයාම{9} තෙ තං දිසතං වධාය, කථං හි විඤ්ඤූ පහු{10} සම්පජානො න වායමෙ අත්තජනස්ස ගුත්තියා.
Sinhala BJT1987. උකුස්සාණෙනි, ඔබගේ මේ කාර්‍ය්‍යය කරමි. ඔබගේ ඒ සතුරන් නසන්නට යමු. නුවණැත්තේ සතුරු බිය දැකැ මිතුරන්ගේ ආරක්‍ෂාව සඳහා කෙසේ නම් වෑයම් නො කෙරේ ද?
Pali BJT1988. මිත්තඤ්ච{11} කයිරාථ සුභද්දයඤ්ච{12} අයිරඤ්ච කයිරාථ සුඛෙහි අයිරො{13}, නිවත්ථකොජො ව සරෙභිහන්ත්වා මොදාම පුත්තෙහි සමඞ්ගිභූතා.
Sinhala BJT1988. යමෙක් සැපත සඳහා මිතුරකු හෝ හිතෛෂියකු හෝ ස්වාමියකු හෝ ඇති කරන්නේ ද හේ සන්නාහය පැළැඳ ගත්තෙක් ඊපහර වළකන්නා සේ සතුරු කරදර වළකා ගනියි. (රැකුණා වූ) අපි දරුවන් හා එක්ව ප්‍රීත වෙමු.
Pali BJT1989. සකමිත්තස්ස{14} කම්මෙන සහායස්සාපලායිනො, කූජන්තමුපකූජන්ති{15} ලොමසා හදයඞ්ගමං.
Sinhala BJT1989. ස්වකීය මිත්‍රයා වූ, බියෙන් පැන නොයන්නා වූ සිංහයාගේ වික්‍රමය නිසා, අපේ කුරුලු පැටව් අපේ සිත් තුටු කරමින් නාදයට අනුව නාද කරති.
Pali BJT1990. මිත්තං සහායං අධිගම්ම පණ්ඩිතො සො භුඤ්ජති පුත්තපසුං{16} ධනං වා, අහඤ්ච පුත්තා ච පතී ච මය්හං මිත්තානුකම්පාය සමඞ්ගිභූතා.
Sinhala BJT1990. ප්‍රාඥයා හිතෛෂී මිත්‍රයකු ලබා ද හේ පුත්‍රයන් ද සිවුපාවන් ද ධනය ද ලැබැ පරිහරණය කරයි. මම ද මගේ පුත්‍රයෝ ද සැමියා ද යන අපි මිතුරන්ගේ අනුකම්පාව නිසා එක් වැ වසමු.
Pali BJT1991. රාජාවතා සූරවතා ච අත්ථො සම්පන්න සක්ඛිස්ස{17} භවන්ති හෙතෙ, සො මිත්තවා යසවා උග්ගතත්තො අස්මිඤ්ච{18} ලොකෙ මොදති කාමකාමී.
Sinhala BJT1991. රාජබලය ද සූරබලය ද ඇති මිතුරන්ගෙන් ප්‍රයෝජන ඇත. මිත්‍රධර්‍ම ඇත්තාට මෙබඳු මිතුරෝ වෙත්. මිතුරන් සහ යසස් ඇති උසස් ගතිපැවැතුම්වලින් යුතු හේ මෙලොව දී ද ප්‍රීත වේ.
Pali BJT1992. කරණීයානි{1} මිත්තානි දළිද්දෙනාපි සෙනක, පස්ස මිත්තානුකම්පාය සමග්ගම්භා සඤාතකෙ.
Sinhala BJT1992. උකුස්සාණෙනි, දිළින්දා විසිනුදු මිතුරෝ කටයුත්තාහ. (හෙවත් මිතුරෝ සෙවිය යුතුවෙති.) මිතුරන්ගේ අනුකම්පාව නිසා සිය දරුවන් හා එක්වීමු. එය බලනු මැනැවි.
Pali BJT1993. සූරෙන බලවන්තෙන යො මෙත්තිං{2} කුරුතෙ දිජො, එවං සො සුඛිතො හොති යථාහං ත්වඤ්ච සෙනකාති.
Sinhala BJT1993. උකුස්සාණෙනි, යම් පක්‍ෂියෙක් සූරයකු සමග ද බලවතකු සමග ද මිතුරුකම් කෙරේ ද, හේ මාත් ඔබත් සුවපත් වූ සේ සුවපත් වෙයි.
Pali BJT3. මහාඋක්කුසජාතකං.
Sinhala BJT3. මහාඋක්කුස ජාතක යි.
Pali BJT1994. ඛරාජිනා ජටිලා සඞ්කදන්තා දුම්මුඛරූපා{3} යෙ මෙ ජපන්ති{4}, කච්චින්නු{5} තෙ මානුසකෙ පයොගෙ ඉදං විදූ පරිමුත්තා අපායා.
Sinhala BJT1994. රළු අඳුන්දිවිසම් පොරොවාගත් මැලියම් සහිත දත් ඇති අපවිත්‍ර මුහුණත් පෙනුමත් ඇති යම් දුළුල්ලෝ මන්ත්‍ර පිරුවහත් ද, මිනිසුන් කටයුතු දෙයෙහි ව්‍යාවෘත වූ, ඔවුහු කිම අවාදුකින් මිදුණෝ ද?
Pali BJT1995. පාපානි කම්මානි කරොථ{6} රාජ බහුස්සුතො චෙ න චරෙය්ය ධම්මං, සහසසවෙදාපි න තං පටිච්ච දුක්ඛා පමුච්චෙ චරණං අපත්වා.
Sinhala BJT1995. මහරජතුමනි, බහුශ්‍රුත වුවත් කුසල් දහම්හි නො හැසිරේ නම් පව්කම් කරන්නේ නම් දහසක් වේද දතුවත් අෂ්ට සමාපත්ති නො ලබා අපාදුකින් නො මිදෙන්නේ ය.
Pali BJT1996. සහස්සවෙදොපි න තං පටිච්ච දුක්ඛා පමුච්චෙ චරණං අපත්වා මඤ්ඤාමි වෙදා අඵලා භවන්ති සසංයමං චරණඤ්ඤෙව සච්චං.
Sinhala BJT1996. දහසක් වේද හදාළේ නමුදු චරණ ධර්‍මයට නො පැමිණ ඒ වේද නිසා දුකින් නො මිදෙන්නේ යි. හදාළ වේද (නිවන් මග නොවන හෙයින්) නිෂ්ඵල යයි හඟිමි. සංයම සහිත චරණ ධර්‍ම ම සත්‍ය වෙයි.
Pali BJT1997. නහෙව වෙදා අඵලා භවන්ති සසංයමං චරණඤ්ඤෙව සච්චං, කිත්තිං{7} හි පප්පොති අධිච්ච වෙදෙ සන්තිං පුණොති{8} චරණෙන දන්තො.
Sinhala BJT1997. වේද හැදෑරීම නිෂ්ඵල යයි නො කියමි. සංයමය සහිත චරණධර්‍ම ම සත්‍ය වේ. වේදය හදාරා කීර්තියට පැමිණෙයි. චරණ ධර්‍මයෙන් දාන්ත වූයේ නිවනට පැමිණේ.
Pali BJT1998. භච්චා මාතා පිතා බන්ධූ යෙන ජාතො{9} සයෙව{10} සො, උද්දාලකො අහං භොතො{11} සොත්ථියා{12}කුලවංසකො.
Sinhala BJT1998. මව ද පියා ද නෑයෝ ද පෝෂණය කටයුතු වෙත්. යමකු නිසා උපන්නේ ද හේ ද හේ මැ යැ. උද්දාලක නමැති මම ඔබගේ කුලවංශය ඇත්තෙම් වෙමි.
Pali BJT1999. කථං භො බ්රාහ්මණො හොති කථං භවති කෙවලී, කථඤ්ච පරිනිබ්බානං ධම්මට්ඨො කින්ති වුච්චති.
Sinhala BJT1999. පින්වත, බ්‍රාහ්මණ වන්නේ කෙසේ ද? කේවලී (සියල්ල සම්පූරණ වූවෙක්) වන්නේ කෙසේ ද? පරිනිර්‍වාණය කෙසේ වේ ද? කුමකින් ධම්මට්ඨ (ධර්‍මයේ පිහිටියේ) යි කියනු ලැබේ ද?
Pali BJT2000. නිරං කත්වා අග්ගිමාදාය බ්රාහ්මණො ආපොසිජං{13} යජමුස්සෙති යූපං, එවං කරො බ්රාහ්මණො හොති ඛෙමී ධම්මෙ ඨිතං තෙන අමාපයිංසු.
Sinhala BJT2000. බමුණ, නිතර ගිනි පුදා ද ස්නාන කෙරේ ද යාගස්තම්භය ඔසොවා ද මෙසේ කරන්නේ බ්‍රාහ්මණ වෙයි. ඛේමී (ක්‍ෂේම ඇති) වෙයි. එහෙයින් ඔහු ධර්‍මයෙහි සිටියහු කොට කීහු.
Pali BJT2001. න සුද්ධි සෙචනෙනත්ථි නපි{1} කෙවලී බ්රාහ්මණො, න ඛන්ති නපි සොරච්චං{2} නපි සො පරිනිබ්බුතො.
Sinhala BJT2001. ස්නානයෙන් පිරිසුදුබවෙක් නැත. ගිනි පිදීම් ආදියෙන් කේවලී නො වෙයි, බ්‍රාහ්මණ නො වෙයි, ඉවසීම නො වෙයි, සුරත බව ද නො වෙයි, පිරිනිවියේ ද නො වේ.
Pali BJT2002. කථං සො බ්රාහ්මණො හොති කථං භවති කෙවලී, කථඤ්ච පරිනිබ්බානං ධම්මට්ඨො කින්ති වුච්චති.
Sinhala BJT2002. හේ කෙසේ බ්‍රාහ්මණ වන්නේ ද? කෙසේ කේවලී (සියල්ලෙන් පිරිපුන්) වන්නේ ද? පරිනිර්‍වාණය වන්නේ කෙසේ ද? කුමකින් ධම්මට්ඨ (ධම්යෙහි පිහිටියේ) යි කියනු ලැබේ ද?
Pali BJT2003. අක්ඛෙත්තබන්ධූ{3} අමමො නිරාසො නිල්ලොභපාපො භවලොභඛීණො, එවං කරො බ්රාහ්මණො හොති ඛෙමී ධම්මෙ ඨිතං තෙන අමාපයිංසු.
Sinhala BJT2003. යමෙක් කෙත් හා නෑයන් නැත්තෙක් වේ ද මමායනය හා ලාභයෙහි නිරපේක්‍ෂකයෙක් වේ ද, භවරාගය ක්‍ෂය කළ කෙනෙක් වේ ද මෙසේ කළා වූ බමුණු ආරක්‍ෂා සහිතයෙක් වේ. එහෙයින් ඔහු ධර්‍මයේ පිහිටියේ යයි කීහ.
Pali BJT2004. ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සද්දා චණ්ඩාල පුක්කුසා, සබ්බෙව සොරතා දන්තා සබ්බෙව පරිනිබ්බුතා. සබ්බෙසං සීතිභූතානං අත්ථි සෙය්යොව පාපියො.
Sinhala BJT2004. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණය, වෛශ්‍ය, ශුද්‍ර, චණ්ඩාල සහ පුක්කුස යන සියල්ලෝ සුරත වැ දමිත වැ පිරිනිවියාහු වෙත් නම්, මේ සියල්ලන්ගෙන් මෙ ශ්‍රේෂ්ඨ ය මෙ හීන යයි වෙනසෙක් වේ ද?
Pali BJT2005. ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා චණ්ඩාල පුක්කුසා, සබ්බෙව සොරතා දන්තා සබ්බෙව පරිනිබ්බුතා. සබ්බෙසං සීතිභූතානං නත්ථි සෙය්යොව පාපියො.
Sinhala BJT2005. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, චණ්ඩාල සහ පුක්කුස යන සියල්ලෝ සුරත වැ දමිත වැ පිරිනිවියාහු වෙත් නම් මේ සියල්ලන්ගෙන් මෙ ශ්‍රේෂ්ඨ ය මේ හීන යයි වෙනසෙක් නැත.
Pali BJT2006. ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සද්දා චණ්ඩාල පුක්කුසා, සබ්බෙව සොරතා දන්තා සබ්බෙව පරිනිබ්බුතා.
Sinhala BJT2006. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, චණ්ඩාල සහ පුක්කුස යන සියල්ලෝ සුරත වැ දමිත වැ සියල්ලෝ ම පිරිනිවියෝ ය.
Pali BJT2007. සබ්බෙසං සීතිභූතානං නත්ථි සෙය්යොව පාපියො. පනට්ඨං චරසි බ්රහ්මඤ්ඤං සොත්ථියා කුලවංසතං.
Sinhala BJT2007. සැනැසුණ සියල්ලන්ගෙන් මෙ ශ්‍රේෂ්ඨය මෙ හීනය යි වෙනසෙක් නැත්තේ නම් බමුණන්ගේ කුලපරපුරෙන් පැවැත ආ බමුණු බව නැති කොට සැඩොලුන් සමාන ව හැසිරෙන්නේ ය.
Pali BJT2008. නානාරත්තෙහි වත්ථෙහි විමානං භවති ඡාදිතං, න තෙසං ඡායාවත්ථානං සො රාගො අපනුජ්ජථ.
Sinhala BJT2008. නොයෙක් පාට ඇති වස්ත්‍රයෙන් ගෙයක් වසන ලද්දේ වේ ද, වැසූ වස්ත්‍රයෙහි පැහැය සෙවනැල්ලට යම්සේ නො ඒ ද.
Pali BJT2009. එවමෙව මනුස්සෙසු යදා{4} සුජ්ඣන්ති මානවා, න තෙසං ජාතිං පුච්ඡන්ති ධම්මමඤ්ඤාය සුබ්බතා’ති.
Sinhala BJT2009. මෙසේ මනුෂ්‍යයන් අතරේ මනුෂ්‍යයෝ යම් කලෙකැ පිරිසුදු වෙත් ද (එකලැ) සිල්වත්හු දහම් දැනැ ඔවුන්ගේ ජාතිය නො විචාරති.
Pali BJT4. උද්දාලකජාතකං.
Sinhala BJT4. උද්දාලක ජාතක යි.
Pali BJT2010. අස්සං ගවං රජතං ජාතරූපං භරියඤ්ච සො ඉධ ලභතං මනාපං, පුත්තෙහි දාරෙහි සමඞ්ගි හොතු භිසානි තෙ බ්රාහ්මණ යො අහාසි.
Sinhala BJT2010. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම අශ්වයකු ගවයකු සහ රන්රිදී ද මනවඩන බිරිඳක ද ලබාවා. පුත්‍රයන් සමගත් බිරියන් සමගත් එක්වේවා.
Pali BJT2011. මාලඤ්ච සො කාසිකචන්දනඤ්ච ධාරෙතු පුත්තස්ස බහූ භවන්තු, කාමෙසු තිබ්බං කුරුතං අපෙක්ඛං භිසානි තෙ බ්රාහ්මණ යො අහාසි.
Sinhala BJT2011. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම මල්දම් ද කසීසඳුන් ද දරාවා. ඔහුට දරුවෝ ද බොහෝ වෙත්වා. හෙතෙම කාමයන්හි තීව්‍ර වූ අපේක්‍ෂා කෙරේවා.
Pali BJT2012. පහූතධඤ්ඤො කසිමා යසස්සී පුත්තෙ ගිහී ධනිමා සබ්බකාමෙ, වයං අපස්සං ඝරමාවසාතු භිසානි තෙ බ්රාහ්මණ යො අහාසි.
Sinhala BJT2012. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම බොහෝ ධාන්‍ය ඇති, සී සාන, පිරිවර ඇති පුතුන් ද, හැම කම්සුවයක් ම ලබන ධනවත්, වයස නො පෙනෙන ගිහියෙක් ව වාසය කෙරේවා.
Pali BJT2013. සො ඛත්තියො හොතු{1} පසය්හකාරී රාජාභිරාජා බලවා යසස්සී, සචාතුරන්තං මහිමාවසාතු භිසානි තෙ බ්රාහ්මණ යො අහාසි.
Sinhala BJT2013. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම රජුන්ටත් රජ වූ පිරිවර ඇති බලාත්කාරකම් කරන ක්‍ෂත්‍රියයෙක් වේවා. සිවු මුහුදු හිම් කොට තිබෙන පෘථිවියට අධිපති ව වෙසේවා.
Pali BJT2014. සො බ්රාහ්මණො හොතු අවීතරාගො මුහුත්තනක්ඛත්තපථෙසු යුත්තො, පූජෙතු නං රට්ඨපතී යසස්සී භිසානි තෙ බ්රාහ්මණ යො අහාසා.
Sinhala BJT2014. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම (ශුභ) මුහුර්‍තයන්හි හා නක්‍ෂත්‍රයෙහි පහ නො වූ ආශා ඇති බමුණෙක් වේවා. පිරිවර ඇති රජතෙම ඔහු පුදාවා.
Pali BJT2015. අජ්ඣායකං සබ්බසමත්තවෙදං{2} තපස්සිනං මඤ්ඤතු සබ්බලොකො, පූජෙන්තු{3} තං ජානපදා සමෙච්ච භිසානි තෙ බ්රාහ්මණ යො අහාසි.
Sinhala BJT2015. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද, හෙ මන්ත්‍ර හදාරන වේදය සම්පූර්‍ණයෙන් හදාළ තවුසෙකැ යි ලෝවැසියා සිතාවා. දනවුවැසියෝ එක් වැ ඔහු පුදත්වා.
Pali BJT2016. චතුස්සදං ගාමවරං සමිද්ධං දින්නං හි භුඤ්ජතු වාසවෙන, අවීතරාගො මරණං උපෙතු භිසානි තෙ බ්රාහ්මණ යො අහාසි.
Sinhala BJT2016. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම කරුණු සතරෙකින් උත්සන්න වූ ශක්‍රයා දුන්නා වැනි සමෘද්ධ වූ ගම්වරය අනුභව කෙරේවා. පහ නො කළ ආශා ඇත්තෙක් ව මරණයට පැමිණේවා.
Pali BJT2017. සො ගාමණී හොතු සහායමජ්ඣෙ නච්චෙහි ගීතෙහි පමොදමානො, මා රාජතො ව්යසනමලත්ථකිඤ්චි භිසානි තෙ බ්රාහ්මණ යො අහාසි.
Sinhala BJT2017. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම මිතුරන් මැද නැටුම් ගැයුම් වලින් ප්‍රීතවන ගම්දෙටුවෙක් වේවා. රජුගෙන් විපත් කිසිත් නො ලබාවා.
Pali BJT2018. යං එකරාජා පඨවිං විජෙත්වා{1} ඉත්ථි සහස්සස්ස{2} ඨපෙතු අග්ගං සීමන්තිනීනං පවරා භවාතු{3} භිසානි තෙ බ්රාහ්මණ යා අහාසි.
Sinhala BJT2018. බමුණාණෙනි, යම් ස්ත්‍රියක් තොපගේ නෙලුම් අල සොරකම් කළා ද ඇය ප්‍රධාන රජෙක් පොළොව දිනා ස්ත්‍රීන් දහසකට ප්‍රධාන තනතුරෙහි තබාවා. ඕ ස්ත්‍රීන්ගේ උතුම් තැනැත්තියක් වේවා.
Pali BJT2019. ඉසීනං{4} හි සා සබ්බසමාගතානං භුඤ්ජෙය්ය සාදුං අවිකම්පමානා, චරාතු ලාභෙන විකත්ථමානා භිසානි තෙ බ්රාහ්මණ යා අහාසි.
Sinhala BJT2019. බමුණාණෙනි, යම් ස්ත්‍රියක් තොපගේ නෙලුම් අල සොරකම් කොට කෑවා නම් ඕ තොමෝ රැස් වූ අධිපතීන් (ස්වාමිවරුන්) මැද හිඳ පැකිලීම් රහිතව රසය බුදීවා. ලාභය සඳහා කුහකකම් කෙරේවා.
Pali BJT2020. ආවාසිකො හොතු මහාවිහාරෙ නවකම්මිකො හොතු කජඞ්ගලායං, ආලොකසන්ධිං{5} දිවසා කරොතු භිසානි තෙ බ්රාහ්මණ යො අහාසි.
Sinhala BJT2020. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙලුම් අල සොරකම් කෙළේ ද හෙතෙම කජංගල නගරයේ මහ වෙහෙරෙක නවම් කරන තෙර කෙනෙක් වේවා. දවසකින් එක් කවුළුවක් කෙරේවා.
Pali BJT2021. සො බජ්ඣතං{6} පාසසතෙහි ඡම්හි{*} රම්මා වනා නීයතු රාජධානිං, තුත්තෙහි සො හඤ්ඤතු පාචනෙහි භිසානි තෙ බ්රාහ්මණ යො අහාසි.
Sinhala BJT2021. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙලුම් අල සොරකම් කෙළේ ද හෙ ස තැනෙකැ සිය ගණන් බැමි වලින් බැඳේවා. රම්‍ය වූ වනයෙන් රාජධානියට ගෙන යේවා. හෙතෙම කටුසැමිටියෙන් හා කෙවිටින් පෙළනු ලබාවා.
Pali BJT2022. අලක්කමාලී තිපුකණ්ණවිද්ධො{7} ලට්ඨිහතො සප්පමුඛං උපෙතු, සක්කවචබද්ධො{8} විසිඛං{9} චරාතු භිසානි තෙ බ්රාහ්මණ යො අහාසි.
Sinhala BJT2022. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම වරාමල් මාලාවක් ගෙල පැළැඳ ඊයම් කන් පළදනා පැළඳැ යටියෙන් පහර දෙමින් සපුන් ඉදිරියට පමුණුවාවා. මනා කොට බඳින ලද්දේ මාර්‍ගයේ හසුරුවාවා.
Pali BJT2023. යො චෙ{10} අනට්ඨං නට්ඨන්ති චාහ{11} කාමෙච සො ලභතං භුඤ්ජතඤ්ච{12}, අගාරමජ්ඣෙ මරණං උපෙතු යො චා භොන්තො සඞ්කති කඤ්චිදෙව.
Sinhala BJT2023. යමෙක් නැති නො වූ දෙය නැති වී යයි කී ද, යමෙක් තොපගෙන් කෙනකු සැක කෙළේ ද හේ පංචකාමය ලබාවා. එය අනුභව කෙරේවා. ගිහිගෙහි දී මරණයට පැමිණේවා.
Pali BJT2024. යදෙසමානා විචරන්ති ලොකෙ ඉට්ඨඤ්ච කන්තඤ්ච බහුන්නමෙතං,{13} පියං මනුඤ්ඤං ඉධ ජිවලොකෙ කස්මා ඉසයො නප්පසංසන්ති කාමෙ
Sinhala BJT2024. ලෝකයෙහි සත්‍වයන් යමක් සොයමින් හැසිරෙද්ද මේ සම්පත බොහෝ දෙනාට ඉෂ්ට ද කාන්ත ද ප්‍රිය ද කැමති ද වෙයිද, කවර හෙයින් ඉසිවරයෝ (ඒ) කම්සුව නො පසසත් ද?
Pali BJT2025. කාමෙසු චෙ හඤ්ඤරෙ බජ්ඣරෙ ච කාමෙසු දුක්ඛඤ්ච භයඤ්ච ජාතං, කාමෙසු භූතාධිපතී පමත්තා පාපානි කම්මානි කරොන්ති මොහා.
Sinhala BJT2025. ශක්‍රය, කාම සම්පත් නිසා සත්ත්‍වයෝ නසනු ලබත්. බඳිනු ලබත්. කාමයන් නිසා දුක හා බිය හට ගනී. කාම සම්පත නිසා පමාවූවෝ මෝහය නිසා පව් කරති.
Pali BJT2026. තෙ පාපධම්මා පසවෙත්වා{1} පාපං කායස්ස භෙදා නිරයං වජන්ති, ආදීනවං කාමගුණෙසු දිස්වා තස්මා ඉසයො නප්පසංසන්ති කාමෙ.
Sinhala BJT2026. ඒ පාපස්වභාවය ඇත්තෝ පව් කොට මරණයෙන් පසු නිරා වදිති. මෙසේ කම්සැපයේ දොස් දැකැ ඉසිවරයෝ කාමයන් නො පසසති.
Pali BJT2027. වීමංසමානො ඉසිනො භිසානි තීරෙ ගහෙත්වාන ථලෙ නිධෙසිං, සුද්ධා අපාපා ඉසයො වසන්ති එතානි තෙ බ්රාහ්මචාරී භිසානි.
Sinhala BJT2027. බඹසැරියාණෙනි, ඉසිවරයන් විමසන්නා වූ මම ඉවුරෙහි වූ නෙළුම් අල ගොඩ සැඟවීමි. ඉසිවරු පවිත්‍ර වැ පව් රහිත වැ වෙසෙත්. මෙය තොපගේ නෙළුම් අල වේ.
Pali BJT2028. න තෙ නටා නො පන කීළනෙය්යා න බන්ධවා නො පන තෙ සහායා, කිස්මිං පරත්ථම්භ{2} සහස්සනෙත්ත ඉසීහි ත්වං කීළසි දෙවරාජ.
Sinhala BJT2028. සහස්‍රනේත්‍රයාණෙනි, අපි තොපගේ නළුවෝ නො වෙමු, ක්‍රීඩකයෝ නො වෙමු, නෑයෝ ද නො වෙමු, මිතුරෝ ද නො වෙමු, දෙව් රජුනි, තෙපි තවුසන් සමග කුමක් නිසා ක්‍රීඩා කරවු ද?
Pali BJT2029. ආචරියො මෙසි පිතා ච මය්හං එසා පතිට්ඨා ඛලිතස්ස බ්රහ්මෙ, එකාපරාධං ඛම භූරිපඤ්ඤ න පණ්ඩිතා කොධබලා භවන්තී
Sinhala BJT2029. මහාප්‍රාඥය, තෙපි මාගේ ගුරුතුමා වවු. මාගේ පියා ද වවු. මා කළ වරදට ඔබ වහන්සේගේ පා සෙවණ පිහිට වේවා. මා කළ වරදට කමා කරන්නේ මැනැවි. නුවණැත්තෝ ක්‍රෝධය බලය කොට ඇත්තෝ නො වෙති.
Pali BJT2030. සුවොසිතං ඉසිනං{3} එකරත්තං යං වාසවං භූතපතිං අද්දසාම, සබ්බෙව භොන්තො සුමනා භවන්තු යං බ්රාහ්මණො පච්චපාදී භිසානි.
Sinhala BJT2030. තවුසන්ගේ මේ වනයෙහි එකරැයක් විසීම නිසා භූතාධිපති ශක්‍රයා දුටුමු. එහෙයින් යහපත් විසීමකි. ඔබගේ ඇදුරු බමුණා නෙළුම් අල පසුව ලදුයෙන් පින්වත් ඔබ හැම සතුටු සිත් ඇත්තෝ වෙත්වා.
Pali BJT2031. අහඤ්ච සාරිපුත්තො ච මොග්ගල්ලානො ච කස්සපො, අනුරුද්ධො පුණ්ණො ආනන්දො තදාසුං සත්ත භාතරො.
Sinhala BJT2031. මම ද සැරියුත් මුගලන් කසුප් අනුරුදු පුණු සහ අනඳ යන මොහු ද එකලැ සත් සොහොයුරෝ වූම්හ.
Pali BJT2032. භගිනී උප්පලවණ්ණා දාසී ඛුජ්ජුත්තරා තදා, චිත්තො ගහපති දාසො යක්ඛො සාතාගිරො තදා.
Sinhala BJT2032. එකලැ නැගැණියෝ උපුල්වන් වූහ. දාසිය බුජ්ජුත්තරා වූවා ය. එකලැ දාසයා චිත්ත ගහපතියා විය. එකලැ යක්‍ෂ ව සිටියේ සාතාගිර ය.
Pali BJT2033. පාරිලෙය්යො{4} තදා නාගො මධුදො සෙට්ඨවානරො, කාළුදායී තදා සක්කො එවං ධාරෙථ ජාතකන්ති.
Sinhala BJT2033. එකලැ ඇත් තෙම පාරිලෙය ඇතා ය. වඳුරා නම් මී දුන් වඳුරා ය. එකලැ ශක්‍රයා කාළුදායි තෙරණුවෝ ය. ජාතකය මෙලෙස දරා ගනිවු.
Pali BJT5. භිසජාතකං.
Sinhala BJT5. භිස ජාතක යි.
Pali BJT2034. මහෙසි රුචිනො භරියා ආනීතා පඨමං අහං. දසවසස්සහසසානි යං මං සුරුචිමානයි.
Sinhala BJT2034. ඍෂිතුමනි, සියලු දෙනාට පළමු වැ ගෙනෙන ලද මම සුරුචි රජුගේ බිරිඳ වන අගමෙහෙසිය වෙමි. යම් කලෙක මා සුරුචි රජ ගෙනායේ ද එ තැන් සිට දසදහසක් අවුරුදු තනි ව මෙහි විසීමි.
Pali BJT2035. සාහං බ්රාහ්මණ රාජානං වෙදෙහං මිථිලග්ගහං නාභිජානාමි කායෙන වාචාය උදචෙතසා සුරුචිං අතිමඤ්ඤිත්ථො ආවිවා{1} යදිවා රහො.
Sinhala BJT2035. ඍෂිතුමනි, ඒ මම විදේහ ඊට මියුලු නුවර සුරුචි රජතුමා කයින්, වචනයෙන් හෝ සිතින් ඉදිරියේ හෝ රහසිගත ව ඉක්මවා සිතූබව නො දනිමි.
Pali BJT2036. එතෙන සච්චවජ්ජෙන පුත්තො උප්පජ්ජතං ඉසෙ, මුසා මෙ භණමානාය මුද්ධා ඵලතු සත්තධා.
Sinhala BJT2036. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මාගේ හිස සතට පැළේවා.
Pali BJT2037. භත්තුමනාපස්ස පිතා මාතා චාපි සුවාමිනො{2}, තෙ මං බ්රහ්මෙ විනෙතාරො යාව අට්ඨංසු ජීවිතෙ.
Sinhala BJT2037. ඍෂිතුමනි, මන වඩන මාගේ සැමියාගේ මව්පියන් මා හික්මවමින් යම්තාක් කල් ජීවත් ව සිටියාහු ද, (ඒ තාක්)
Pali BJT2038. සාහං අභිංසාරතිනී කාමසො ධම්මචාරිණි, සක්කච්චං තෙ උපට්ඨාසිං රත්තින්දිවමතන්දිතා.
Sinhala BJT2038. ඒ මම අහිංසාවෙහි ඇලුණී කුශල ධර්‍මයන්හි හැසිරෙන්නී දිවා රැයේ ලැසි නො වී සකසා ඔවුන්ට උවටැන් කෙළෙමි.
Pali BJT2039. එතෙන සච්චවජ්ජෙන පුත්තො උප්පජ්ජතං ඉසෙ, මුසා මෙ භණමානාය මුද්ධා ඵලතු සත්තධා.
Sinhala BJT2039. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සතට පැළේවා.
Pali BJT2040. සොළසිත්ථිසහස්සානි සහභරියානි බ්රාහ්මණ, තාසු ඉස්සා වා කොධො වා නාහු මය්හං කුදාචනං.
Sinhala BJT2040. ඍෂිතුමනි, සමාන බිරියෝ සොළොස් දහසක් වෙත්. කිසිකලෙක ඔවුන් කෙරේ ඊර්‍ෂ්‍යාවක් හෝ ක්‍රෝධයක් මට නො වීය.
Pali BJT2041. හිතෙන තාසං නන්දාමි නච මෙ කාචි අප්පියා අත්තානං වානුකම්පාමි සදා සබ්බා සපත්තියො.
Sinhala BJT2041. ඔවුන්ට හිත සිතින් සතුටු වෙමි. මට කිසිවකුත් අප්‍රිය නො වීය. හැම ද සියලු සපත්තීන්හට මට මෙන් අනුකම්පා කරමි.
Pali BJT2042. එතෙන සච්චවජ්ජෙන පුත්තො උප්පජ්ජතං ඉසෙ, මුසා මෙ භණමානාය මුද්ධා ඵලතු සත්තධා.
Sinhala BJT2042. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මාගේ හිස සතට පැළේවා.
Pali BJT2043. දාසෙ කම්මකරෙ පෙස්සෙ{4} යෙ චඤ්ඤෙ අනුජීවිනො, පොසෙමි සහධම්මෙන සදා පමුදිතින්ද්රියා
Sinhala BJT2043. දාසයන් කම්කරුවන් පණිවිඩ කරුවන් සහ තමා නිසා ජීවත්වන සෙස්සන් ද හැම කල්හි සතුටු ඉඳුරන් (ප්‍රිය බැල් ම හා කතා) ඇති වැ (ඔවුන්ගේ) සත්‍යභාවය දැනැ පෝෂණය කරමි.
Pali BJT2044. එතෙන සච්චවජ්ජෙන පුත්තො උප්පජ්ජතං ඉසෙ, මුසා මෙ භණමානාය මුද්ධා ඵලතු සත්තධා.
Sinhala BJT2044. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුත්‍රයෙක් උපදීවා. බොරු කියන්නී නම් මාගේ හිස සතට පැළේවා.
Pali BJT2045. සමණෙ බ්රාහ්මණෙ චාපි අඤ්ඤෙ වාපි වණිබ්බකෙ, තප්පෙමි අන්නපානෙන සදා පයතපාණිනී.
Sinhala BJT2045. ශ්‍රමණයන් ද බමුණන් ද සෙසු යාචකයන් ද පිරිසුදු සිතැති ව හැම කල්හි ආහාර පානයෙන් සංග්‍රහ කරමි.
Pali BJT2046. එතෙන සච්චවජ්ජෙන පුත්තො උප්පජ්ජතං ඉසෙ, මුසා මෙ භණමානාය මුද්ධා ඵලතු සත්තධා.
Sinhala BJT2046. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සතට පැළේවා.
Pali BJT2047. චාතුද්දසී පණ්ණරසි යාව පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාහිතං. උපොසථං උපවසාමි සදා සීලෙසු සංවුතා.
Sinhala BJT2047. දිනපතා පන්සිල්හි පිහිටි මම, තුදුස්වක, පසළොස්වක, අටවක සහ ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය යන දවස්හි අංග අටකින් යුතු පෙහෙවස් සමාදන් වෙමි.
Pali BJT2048. එතෙන සච්චවජ්ජෙන පුත්තො උප්පජ්ජතං ඉසෙ, මුසා මෙ භණමානාය මුද්ධා ඵලතු සත්තධා.
Sinhala BJT2048. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සතට පැළේවා.
Pali BJT2049. සබ්බෙව තෙ ධම්මගුණා රාජපුත්ති යසස්සිනි, සංවිජ්ජන්ති තයි භද්දෙ යෙ ත්වං කිත්තෙසි අත්තනි.
Sinhala BJT2049. යසස් ඇති රාජපුත්‍රිය, (රාජදේවිය) ඔබ යම් ගුණ රැසක් ප්‍රකාශ කළෝ ද ඒ සියලු ගුණයෝ ඔබ කෙරේ විද්‍යාමාන වෙති.
Pali BJT2050. ඛත්තියො ජාතිසම්පන්නො අභිජාතො සසස්සිමා, ධම්මරාජා විදෙහානං පුත්තො උප්පජ්ජතෙ{1} තවං{2},
Sinhala BJT2050. ක්‍ෂත්‍රිය වූ කුලීන වූ අතිජාත වූ පිරිවර සහිත වූ විදේහ රටවාසීන්ට ධර්‍මරාජ වූ (දැහැමිව රාජ්‍යය කරන) පුත්‍රයෙක් ඔබට උපදින්නේ ය.
Pali BJT2051. රුම්මි{3} රජොජල්ලධරො අඝෙ වෙහාසයං ඨිතො, මනුඤ්ඤං භාසසි{4} වාචං යං මය්හං හදයඞ්ගමං.
Sinhala BJT2051. තවුස් වෙස් ගත් රජස්දැලි සහිත වූ සිරුර ඇති ව හිස් වූ අහසේ සිටැ යමෙක් මගේ සිත් ගන්නා මනහර බස් බෙණේ ද.
Pali BJT2052. දෙවතානුසි සග්ගම්හා ඉසිවාසි{5} මහිද්ධිකො, කොවාසි ත්වං අනුප්පත්තො අත්තානං මෙ පවෙදය.
Sinhala BJT2052. ඔබ දෙව්ලොවින් පැමිණි දෙවියෙක් ද? මහත් ඍද්ධි ඇති ඍෂිවරයෙක් ද, මෙහි පැමිණි ඔබ කවර කෙනෙක් දැ යි තමා මට කියව.
Pali BJT2053. යං දෙවසඞ්ඝා වන්දන්ති සුධම්මායං{6} සමාගතා, සොහං සක්කො සහස්සක්ඛො ආගතොස්මි තවන්තිකෙ.
Sinhala BJT2053. සුධර්‍ම දිව්‍ය සභාවට රැස් වූ දේව සමූහයා යමකු වඳිත් ද දහසක් ඇස් ඇති ශක්‍ර නම් වූ ඒ මම තොප වෙත ආවෙමි.
Pali BJT2054. ඉත්ථියො ජීවලොකස්මිං යා හොන්ති සමචාරිනී, මෙධාවිනී සීලවතී සස්සුදෙවා පතිබ්බතා.
Sinhala BJT2054. මේ ලෝකයෙහි දැහැමි පැවතුම් ඇති ව නුවණින් හා සීලයෙන් යුතුව නැදිමයිලන් දෙවියන් ලෙස සිතා බුහුමන් දක්වන පතිව්‍රතා ගුණයෙන් යුක්ත ඒ ස්ත්‍රීහු වෙත් ද.
Pali BJT2055. තාදිසාය සුමෙධාය සුවිකම්මාය නාරියා, දෙවා දස්සනමායන්ති මානුසියා අමානුසා.
Sinhala BJT2055. එ බඳු ගුණ ඇති නැණවත් පවිත්‍ර ක්‍රියා ඇති මනුෂ්‍ය ස්ත්‍රිය දැකීමට අමනුෂ්‍ය වූ දෙවියෝ පැමිණෙත්.
Pali BJT2056. ත්වඤ්ච භද්දෙ සුචිණ්ණෙන පුබ්බෙ සුචරිතෙන ච, ඉධ රාජකුලෙ ජාතා සබ්බකාමසමිද්ධිනී.
Sinhala BJT2056. සොඳුර ඔබ ද පෙරැ පුරුදු කළ සුචරිත ධර්‍ම නිසා මෙ ලොවැ රජ කුලයේ ඉපිදැ සියලු සම්පතින් දියුණු වූවාහු ය.
Pali BJT2057. අයඤ්ච තෙ රාජපුත්ති උභයත්ථ කටග්ගහො, දෙවලොකූපපත්තී ච කිත්ති ච ඉධ ජීවිතෙ.
Sinhala BJT2057. රාජපුත්‍රිය, ඔබ දෙව්ලොවෙහි ඉපදීම ද මෙලොවැ මනුෂ්‍ය වැ කීර්තිධර වීම ද යන මෙය දෙ ලොවැ ජයග්‍රහණය වේ.
Pali BJT2058. චිරං සුමෙධෙ සුඛිනී ධම්මං පාලයමත්තනි{7}, එසාහං තිදිවං යාමි පියම්මෙ ත ව දස්සනන්ති.
Sinhala BJT2058. නැණවතිය, ඔබ සැපවත් ව තම ගුණදම් බොහෝ කල් රකුව. ඒ මම දෙව්ලොව යමි. ඔබේ දැක්ම මට ප්‍රිය ය.
Pali BJT6. සුරුචිජාතකං.
Sinhala BJT6. සුරුචි ජාතක යි.
Pali BJT2059. අප්පොස්සුක්කොදානි තුවං කපොත විහඞ්ගම න තව භොජනත්ථො, ඛුදං පිපාසං අධිවාසයන්තො කස්මා භවං පොසථිකො කපොතො{1}.
Sinhala BJT2059. පරෙවිය, දැන් ඔබ ආහාරයට ආසා නැත්තෝ ය. ඔබට ආහාරයෙන් ප්‍රයෝජනයක් නැත්තේ ද? පින්වත් පරෙවියා සා පිපාසා ඉවසමින් පෙහෙවස් රක්නේ කිම?
Pali BJT2060. අහං පුරෙ ගිද්ධිගතො කපොතියා අස්මිං පදෙසස්මිං උභො රමාම, අථග්ගහී සාකුණිකො කපොතිං අකාමකො තාය විනා අහොසිං.
Sinhala BJT2060. තවුසාණෙනි, මම පෙරැ පරෙවි දෙනක හා බැඳී ගියෙමි. මේ පෙදෙසේ අපි දෙදෙනා ප්‍රේමයෙන් වුසූමු. එකල කුරුල්ලෙක් (උකුස්සෙක්) පරෙවි දෙන අල්ලා ගති. නො කැමැත්තෙන් මම ඇගෙන් වෙන් වීමි.
Pali BJT2061. නානාභවා{2} විප්පයොගෙන තස්සා මනොමයං වෙදනං වෙදියාමි{3}, තස්මා අහං පොසථං{4} පාලයාමි රාගො මමං මා පුනරාගමාසි.
Sinhala BJT2061. ඇගේ නැතිවීම නිසා උපන් විරහ දුකින් සිත් වේදනා විඳිමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. රාගය මට නැවත නො පැමිණේවා.
Pali BJT2062. අනුජ්ජුගාමි උරග{5} ද්විජිව්හ දාඨාවුධො ඝොරවිසොසි පස්ස, ඛුදං පිපාසං අධිවාසයන්තො කස්මා භවං පොසථිකො නු දීඝො
Sinhala BJT2062. ඍජුව ගමන් නො කරන උරගයකු වූ දෙ දිව් ඇති සර්‍පයා, ඔබ දළ අවි කොට ඇති දරුණු විෂ ඇත්තෙහි ය. පින්වත් සර්‍පයා සා පවස් ඉවසමින් පෙහෙවස් රක්නේ කවර හෙයින් ද?
Pali BJT2063. උසභො අහූ බලවා ගාමිකස්ස චලක්කකූ වණ්ණබලූපපන්නො මං අක්කමි තං කුපිතො අඩංසිං{6} දුක්ඛාභිතුණ්ණො මරණං උපාගමි{7}.
Sinhala BJT2063. චලනය වන මොල්ලියක් ඇති වර්‍ණයෙන් හා බලයෙන් යුක්ත වූ වෘෂභයෙක් ග්‍රාමභෝජකයාට විය. ඌ මා මැඩ පී හෙයින් කිපුණු මම ඌ ඩැසීමි. දුකට පැමිණි ගවයා මරණයට පත් විය.
Pali BJT2064. තතො ජනා නික්ඛමිත්වාන ගාමා කන්දිත්වා රොදිත්ව අපක්කමිංසු, තස්මා අහං පොසථං පාලයාමි කොධො මමං මා පුනරාගමාසි.
Sinhala BJT2064. ඉක්බිති ගම්වැසියෝ නික්ම අවුත් භඬා වැලැපැ ගියාහු ය. එහෙයින් මම පෙහෙවස් රකිමි. මට නැවත ක්‍රෝධය නො පැමිණේවා.
Pali BJT2065. මතාන{8} මංසානි බහූ සුසානෙ මනුඤ්ඤරූපං තව භොජනෙතං, ඛුදං පිපාසං අධිවාසයන්තො කස්මා භවං පොසථිකො සිගාලො{9}.
Sinhala BJT2065. සොහොනෙහි මළවුන්ගේ මස් බොහෝ ඇත. මේ ආහාරය තොපගේ සිත් ගන්නේ ය. පින්වත් ගෘගාලය, සා පවස් ඉවසමින් පෙහෙවස් රක්නේ කිම?
Pali BJT2066. පවිස්ස{1} කුච්ඡිං මහතො ගජස්ස කුණපෙ රතො හත්ථමංසෙ පගිද්ධො, උණ්හො ච වාතො තිඛිණා ච රස්මියො තෙ සොසයුං තස්ස කරීසමග්ගං.
Sinhala BJT2066. ඇත්කුණට තදින් ඇලුණේ ඇත් මසට ඉතා ගිජු වැ මහත් ඇත්කුසට වැදුණෙමි. උණුසුම් වාතයත් දැඩි රශ්මියත් ඇතාගේ ඒ මල මඟ වියළු.
Pali BJT2067. කිසො ච පණ්ඩූ ච අහං භදන්තෙ{2} න මෙ අහූ නික්ඛමනාය මග්ගො, මහා ච මෙඝො සහසා පවස්සි සො තෙමයී තස්ස කරීසමග්ගං.
Sinhala BJT2067. ස්වාමීනි, මම කෘශ වීමී. පඬු පැහැ වීමී. නික්මෙන්නට එහි මට මගෙක් නො වී ය. මහ වැස්සක් හදිසියේ වැස්සේ ය. එය උගේ මලමඟ තෙමී ය.
Pali BJT2068. තතො අහං නිකඛමිස්සං භදන්තෙ චන්දො යථා රාහුමුඛා පමුත්තො, තස්මා අහං පොසථං පාලයාමි ලොභො මමං මා පුනරාගමාසි.
Sinhala BJT2068. ස්වාමීනි, ඉක්බිති මම රාහු මුවෙන් මුත් සඳ සේ එයින් පිටවීමි. එ හෙයින් මම පෙහෙවස් රකිමි. ලෝභය නැවැත මට නො පැමිණේවා.
Pali BJT2069. වම්මිකථූපස්මිං කිපිල්ලිකානි නිප්පොථයන්තො තුවං පුරෙ චරාසි, ඛුදං පිපාසං අධිවාසයන්තො කස්මා භවං පොසථිකො නු අච්ඡො.
Sinhala BJT2069. පෙරැ තෙපි හුඹස් වේයන් බුදිමින් හැසිරුණවු ය. පින්වත් වලසාණෙනි, දැන් සා පවස් ඉවසමින් පෙහෙවස් රක්නේ කිම?
Pali BJT2070. සකං නිකෙතං අතිහීලයානො{4} අත්රිච්ඡතාය මලතං{5} අගඤ්ඡිං, තතො ජනා නික්ඛමිත්වාන ගාමා කොදණ්ඩකෙන පරිපොථයිංසු මං
Sinhala BJT2070. සිය නිවෙස වූ වන ලැහැබට නිගා කරමින් ආශා අධික හෙයින් මලය පෙදෙසට ගියෙමි. ගම්වැසියෝ එයින් නික්මැ අවුත් දුනු දඬුවලින් හා මුගුරුවලින් මට තැළුහ.
Pali BJT2071. සො භින්නසීසො රුහිරමක්ඛිතඞ්ගො පච්චාගමාසිං සකං{6} නිකෙතං, තස්මා අහං පොසථං පාලයාමි අත්රිච්ඡතා මා පුනරාගමාසි.
Sinhala BJT2071. බිඳුණු හිසත් ලේ තැවැරුණ සිරුරත් ඇති මම සිය නිවෙසට ආපසු ආවෙමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. අධික ආශාව මට නැවැත නො පැමිණේවා.
Pali BJT2072. යං නො අපුච්ඡිත්ථ තුවං භදන්තෙ සබ්බෙව ව්යාකරිම්හ යථාපජානං,{7} මයම්පි පුච්ඡාම තවං භදන්තෙ{8} කස්මා භවං පොසථිකොනු බ්රහ්මෙ.
Sinhala BJT2072. ස්වාමීනි, ඔබ වහන්සේ අපෙන් යමක් විතාළෝ ද අපි හැම දන්නා පරිද්දෙන් හෙළි කෙළෙමු. ස්වාමීනි, අපි දු ඔබ වහන්සේ විතාරමු. පින්වත් ඔබ වහන්සේ පෙහෙවස් රක්නේ කිම?
Pali BJT2073. අනූපලිත්තො මම අස්සමම්හි පච්චෙකබුද්ධො මුහුත්තං නිසීදි, සො මං අවෙදි ගතිමාගතිඤ්ච නාමඤ්ච ගොත්තං චරණඤ්ච සබ්බං.
Sinhala BJT2073. කෙලෙස් නො වැකුණ පසේ බුදුන් වහන්සේ නමක් මගේ අසපුවෙහි මොහොතක් වැඩහුන් සේක. උන් වහන්සේ මට යායුතු තැන ද පැමිණි තැන ද නම් ගොත් ද චරණ දහම් ද යන සියල්ල දෙසූ සේක.
Pali BJT2074. එවම්පහං නග්ගහෙ තස්ස පාදෙ න චාපි නං මානගතෙන පුච්ඡිං, තස්මා අහං පොසථං පාලයාමි මනො මමං මා පුනරාගමාසීති.
Sinhala BJT2074. මෙසේ වුවත් මම උන්වහන්සේගේ පා නො වැන්දෙමි. උඩඟු සිතින් උන්වහන්සේ නො විතාළෙමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. මානය මට යළිත් නො පැමිණේවා.
Pali BJT7. පඤ්චුපොසථජාතකං.
Sinhala BJT7. පංචුපෝසථ ජාතක යි.
Pali BJT2075. සචෙ හි ත්යාහං ධනහෙතු ගහිතො මා මං වධි ජීවගාහං ගහෙත්වා, රඤ්ඤො ච මං සම්ම උපෙන්ති නෙහි මඤ්ඤෙ ධනං ලච්ඡසි නප්පරූපං.
Sinhala BJT2075. මිතුර, මා වස්තුව ලබාගනු සඳහා අල්ලා ගත්තේ නම්, මා නො මරා ජීවග්‍රාහයෙන් රජු සමීපයට ගෙන යව. එ කලැ බොහෝ වස්තුව ලබන්නෙහිය යි හඟිමි.
Pali BJT2076. න මෙ අයං තුම්හෙ{1} වධාය අජ්ජ සමාහිතො චාපවරො ඛුරප්පො, පාසඤ්ච ත්යාහං අධිපාතයිස්සං. යථා සුඛං ගච්ඡතු මොරරාජා.
Sinhala BJT2076. මොනර රජුනි, මේ ඊය ඔබ නසන්නට දුන්නෙහි තැබුයෙම් නො වෙමි. ඔබ අසු වැ සිටින මලපුඬුව සිඳින්නට තැබුවේ වෙමි. මොනර රජ සුවසේ යේවා.
Pali BJT2077. යං සත්ත වස්සානි මමානුබන්ධි රත්තින්දිවං ඛුප්පිපාසං සහන්තො, අථ කිස්ස මං පාසවසූපනීතං පමුත්තවෙ ඉච්ඡසි බන්ධනස්මා.
Sinhala BJT2077. සත් වසක් මුළුල්ලේ දිවාරෑහි සා පවස් ඉවසමින් යම් හේතුවක් නිසා මා ලුහුබැන්දෙහි. පුඩුවේ බැඳුණ මා ඉන් මුදන් නට කුමට කැමැති වෙහි ද?
Pali BJT2078. පාණාතිපාතා විරතොනුසජ්ජ අභයං නු තෙ සබ්බබභූතෙසු දින්නං, යං මං තුවං පාසවසූපනීතං, පමුත්තවෙ ඉච්ඡසි බන්ධනස්මා.
Sinhala BJT2078. තෙපි ප්‍රාණඝාතයෙන් වැළකුණවු ද? සව්සත්නට අභය දෙන ලද්දවු ද? පුඩුවට අසු වී සිටින මා බැම්මෙන් මුදන්නට කැමැති වන්නවු ද?
Pali BJT2079. පාණාතිපාතා විරතස්ස බ්රූහි අභයඤ්ච යො සබ්බභූතෙසු දෙති, පුච්ඡාමි තං මොරරාජෙතමත්ථං ඉතො චුතො කිං ලභතෙ සුඛං සො.
Sinhala BJT2079. මොනර රජුනි, යමෙක් ප්‍රාණඝාතයෙන් වැළැකුණේ ද, සියලු සතුන්හට අභය දානය දේ ද, හේ මෙ ලොවින් ච්‍යුත වූ පසු කෙ බඳු සැපතක් ලබා ද? මේ කරුණ විචාරමි.
Pali BJT2080. පාණාතිපාතා විරතස්ස බ්රූමි අභයඤ්ච යො සබ්බභූතෙසු දෙති, දිට්ඨෙව ධම්මෙ ලභතෙ පසංසං සග්ගඤ්ච සො යාති සරීරභෙදා.
Sinhala BJT2080. යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකුණේ ද සව්සත්නට අභය දානය කෙරේ ද හෙතෙම මේ ජීවිතයේදී ම පැසසුම් ලබයි. මරණින් මත්තේ දෙව්ලොවට යයි.