Pali BJT1711. කායං මිගානං අත්ථාය උසීනර{3} භවිස්සති, මනුස්සානං අනයො හුත්වා තදා කණ්හො පමොක්ඛති.
Sinhala BJT1711. උසීනර රජතුමනි, මේ බල්ලා මෘගමාංස බුදින්නට ආවේ නො වේ. මනුෂ්‍යමාංස බුදින්නට ආවෙකි. මනුෂ්‍යයන්ගේ විනාශය කරන්නෙක් ව මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
Pali BJT1712. පත්තහත්ථා සමණකා මුණ්ඩා සංඝාටිපාරුතා, නඞ්ගලෙහි කසිස්සන්ති තදා කණ්හො පමොක්ඛති.
Sinhala BJT1712. පාත්‍රය ගෙන හිස මුඩු කොට සඟළ සිවුර පොරොවා ගත් ශ්‍රමණ ප්‍රතිරූපකයෝ නගුලින් සී සාති. (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එ කලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය,
Pali BJT1713. තපස්සිනියො පබ්බජිතා මුණ්ඩා සංඝාටි පාරුතා, යදා ලොකෙ ගමිස්සන්ති තදා කණ්හො පමොක්ඛති.
Sinhala BJT1713. පැවිදි වූ භික්‍ෂුණීහු හිස මුඩු කොට සඟළ සිවුර පොරොවා ගෙන පස්කම් සුව විඳිමින් හැසිරෙත්. (යම් කලෙකැ මොවුන් මරා මස් කන ලද්දේ ද) එකල මෙතෙම මගේ අතින් මිදෙන්නේ ය.
Pali BJT1714. දීඝුත්තරොට්ඨා{4} ජටිලා පඞ්කදන්තා රජස්සිරා, ඉණං වොදාය ගච්ඡන්ති තදා කණ්හො පමොක්ඛති.
Sinhala BJT1714. උඩුරැවුල වැඩුනා වූ ජටා සහිත වූ මල සහිත දත් ඇති ධූලි සහිත හිස් ඇති තවුසෝ මුදල් පොලී කොට ජීවත් වෙති. (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ, මෙ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
Pali BJT1715. අධිච්ච වෙදෙ{5} සාවිත්තිං යඤ්ඤතන්ත්රඤ්ච{6} බ්රාහ්මණා, භතිකාය යජිස්සන්ති තදා කණ්හො පමොක්ඛති.
Sinhala BJT1715. බමුණෝ වේදය ද සාවිත්‍රිය ද යාග විධි ද හදාරා කුලිය සඳහා යාග කරති. (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
Pali BJT1716. මාතරං පිතරං වාපි ජිණ්ණකෙ ගතයොබ්බනෙ{1}, පහූ සන්තා න භරන්ති තදා කණ්හො පමොක්ඛති.
Sinhala BJT1716. ජරාවටපත් වූ මහලු වූ මව්පියන් වත්කම තිබිය දී (යම් කෙනෙක්) පෝෂණය නො කෙරෙත් ද, (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මෙතෙම මගේ අතින් මිදෙන්නේ ය.
Pali BJT1717. මාතරං පිතරං වාපි ජිණ්ණකෙ ගතයොබ්බනෙ, බාලා තුම්හෙති වක්ඛන්ති තදා කණ්හො පමොක්ඛති.
Sinhala BJT1717. ජරාවට පත් මහලු වූ මව්පියන්ට තෙපි බාලයෝ යැ යි කියත් ද (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
Pali BJT1718. ආචරියභරියං සඛාභරියං{2} මාතුලානිං පිතුච්ඡයං{3}, යදා ලොකෙ ගමිස්සන්ති තදා කණ්හො පමොක්ඛති.
Sinhala BJT1718. ඇදුරු බිරිඳ, මිතුරු බිරිඳ, මයිලණුවන්ගේ බිරිඳ, සහ පියාගේ සොහොවුරිය යන මොවුන් සමග ලෝකයෙහි ආචාරධර්‍ම විරෝධී ව යම් කෙනෙක් හැසිරෙත් ද (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
Pali BJT1719. අසිචම්මං ගහෙත්වාන ඛග්ගං පග්ගය්හ බ්රාහ්මණා පන්ථඝාතං{4} කරිස්සන්ති තදා කණ්හො පමොක්ඛති.
Sinhala BJT1719. බමුණෝ කඩුව හා පළිහ ගෙන කඩු ඔසොවාගෙන මං පැහැරීම කෙරෙත් ද, (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
Pali BJT1720. සුක්කච්ඡවි වෙධවෙරා ථුල්ලබාහු අපාතුභා, මිථුභෙදං කරිස්සන්ති තදා කණ්හො පමොක්ඛති.
Sinhala BJT1720. ආලේපයන්ගෙන් ඡවිවර්‍ණය සකස් කර ගත් ධනවත් වැන්දඹුවන් හා හැසිරෙන ස්ථුල හස්තයන් ඇති ස්ත්‍රී ධූර්‍තයෝ (ඒ වැන්දඹුවන් හා) මිත්‍ර භේදයට පැමිණෙත් ද (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
Pali BJT1721. මායාවිනො නෙකතිකා අසප්පුරිසචින්තකා, යදා ලොකෙ භවිස්සන්ති තදා කණ්හො පමොක්ඛතීති.
Sinhala BJT1721. ලෝකයා රවටන වංචාකාරී දුර්‍ජනයෝ යම් කලෙක ලොවෙහි ඇති වන්නාහු ද, (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
Pali BJT6. මහාකණ්හ ජාතකං.
Sinhala BJT6. මහාකණ්හ ජාතක යි.
Pali BJT1722. නෙව කිණාමි නපි වික්කිණාමි න චාපි මෙ සන්නිචයො ච අත්ථි, සුකිච්ඡරූපං වතිදං පරිත්තං. පත්ථොදනො නාලමයං දුවින්නං.
Sinhala BJT1722. මම නො මැ මිලයට ගනිමි. නො ද විකුණමි. මා විසින් රැස් කළ ධනයෙක් ද නො ද ඇත. මේ අල්ප ආහාරය ද දුකසේ ලබන ලද මැ යැ. මේ පතක් පමණ වූ බත දෙදෙනකුන්ට පමණ නො වෙයි.
Pali BJT1723. අප්පම්හා අප්පකං දජ්ජං අනුමජ්ඣතො මජ්ඣකං, බහුම්හා බහුකං දජ්ජා අදානං නූපපජ්ජති.
Sinhala BJT1723. අල්පමාත්‍ර දැයින් අල්පමාත්‍රයක් දෙන්නේ යැ. අණුමාත්‍ර අර්‍ධයෙන් අඩක් දෙන්නේ යැ. බොහෝ දැයින් බොහෝ දැයක් දෙන්නේ යැ. නො දෙනු නො වටනේ යි.
Pali BJT1724. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරුහ නෙකාසී ලභතෙ සුඛං
Sinhala BJT1724. කෝසිය සිටාණෙනි, එකරුණෙන් තොපට කියමි; දන් දෙව, වළඳ ද කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
Pali BJT1725. මොඝඤ්චස්ස හුතං හොති මොඝඤ්චාපි සමීහිතං, අතිථිස්මිං යො නිසින්නස්මිං එකො භුඤ්ජති භොජනං,
Sinhala BJT1725. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් බුදී නම් ඔහුගේ හෝම සිස් වෙයි. ධනෝපායන වීර්‍ය්‍ය ද සිස් වෙයි.
Pali BJT1726. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරුහ නෙකාසී ලභතෙ සුඛං.
Sinhala BJT1726. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි. දන් දෙව, වළඳ ද කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
Pali BJT1727. සච්චං තස්ස{1} හුතං හොති සච්චං චාපි සමීහිතං, අතිථිස්මිං යො නිසින්නස්මිං නෙකො භුඤ්ජති භොජනං.
Sinhala BJT1727. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහුගේ දානය සත්‍ය වෙයි. ධනෝපායන වීර්‍ය්‍ය ද සත්‍ය වෙයි.
Pali BJT1728. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරුහ නෙකාසී{2} ලභතෙ සුඛං.
Sinhala BJT1728. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව. තෙමේ ද වළඳ කරව. ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව. එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
Pali BJT1729. සරඤ්ච ජුහති පොසො බාහුකාය ගයාය ච, දොණෙ තිම්බරුතිත්ථස්මිං සීඝසොතෙ{3} මහාවහෙ.
Sinhala BJT1729. යම් පුරුෂයෙක් (ලවණසමුද්‍ර පුෂ්කරණී ආදි) ජලාශයක් කරා එළැඹැ බලිකර්‍ම කෙරේ ද, බාහුකා නදී යැ ගයාපුෂ්කරණී යැ ද්‍රෝණ තීර්‍ත්‍ථ යැ තිම්බරු තීර්‍ත්‍ථ යැ මහත් වූ ජලප්‍රවාහ ඇති ශීඝ්‍රශ්‍රෝතස් යැ යන මෙහි බලිකර්‍ම කෙරේ ද.
Pali BJT1730. අත්ර චස්ස හොති අත්ර චස්ස සමීහිතං, අතිථිස්මිං යො නිසින්නස්මිං නෙකො භුඤ්ජති භොජනං.
Sinhala BJT1730. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහු විසින් තෙල තන්හි දු බලිකර්‍ම කරනලද වෙයි. තෙල තන්හි දු ධනෝපායන වීර්‍ය්‍ය කරනලද වෙයි.
Pali BJT1731. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරුහ නෙකාසී ලභතෙ සුඛං.
Sinhala BJT1731. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව, තෙමේත් වළඳ කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකල වැ වළඳනුයේ සුව නො ලබා.
Pali BJT1732. ඛිළිසං හි සො නිග්ගිලති{4} දීඝසුත්තං සබන්ධනං, අතිථිස්මිං යො නිසින්නස්මිං එකො භුඤ්ජති භොජනං.
Sinhala BJT1732. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ අහර වළඳ කෙරේ ද, හේ දීර්‍ඝසූත්‍රයක් ඇති බන්‍ධන සහිත වූ බිලියක් ගිලියි.
Pali BJT1733. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ්ජ ච, අරියං මග්ගං සමාරුහ නෙකාසී ලභතෙ සුඛං.
Sinhala BJT1733. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව, තෙමේ ද වළඳ කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
Pali BJT1734. උළාරවණණා වත බ්රාහ්මණා ඉමෙ, අයඤ්ච වො සුනඛො කිස්ස හෙතු, උච්චාවචං වණ්ණනිභං විකුබ්බති අක්ඛාථ නො බ්රාහ්මණා කෙ නු තුම්හෙ.
Sinhala BJT1734. මේ බ්‍රාහ්මණයෝ උදාරවර්‍ණ ඇතියාහු මැ යැ. තොපගේ මේ සුනඛ තෙම කවර හෙයින් හීන ප්‍රණීත පැහැසටහන් විකුර්‍වණ (නිර්‍මාණ) කෙරේ ද? බ්‍රාහ්මණයෙනි, අපට කියව, තෙපි කවරහු ද?
Pali BJT1735. චන්දො ච සුරියො ච උභො ඉධාගතා අයං පන මාතලි දෙව සාරථි, සක්කොහමස්මි තිදසානමින්දො එසො ච ඛො පඤ්චසිඛොති වුච්චති.
Sinhala BJT1735. සඳ හිරු දෙදෙන මෙහි ආහ. මේ වූකලි දේවසාරථි වූ මාතලී වෙයි. මම තිදස්වැසි දෙවියනට අධිපති සක්දෙව්රජ වෙමි. තෙල තැනැත්තේ ‘පඤ්චසිඛ’ යැ යි කියනු ලැබේ.
Pali BJT1736. පාණිස්සරා මුදිඞ්ගා ච මුරජාළම්බරානි ච, සුත්තමෙනං පබොධෙන්ති පටිබුද්ධො ච නන්දති.
Sinhala BJT1736. අත්තල නාදයෝ ද මිහිඟුබෙර හඬ ද මුරජ බෙර හඬ ද පණාබෙර හඬ ද නිදිගත් මොහු පුබුදු කෙරෙති. පිබිදියේ තුටු වේ.
Pali BJT1737. යෙ කෙචිමෙ මච්ඡරිනො කදරියා පරිභාසකා සමණබ්රාහ්මණානං, ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං කායස්ස භෙදා නිරයං වජන්ති.
Sinhala BJT1737. යම්කිසි කෙනෙක් මසුරු වූවාහු තදමසුරු වූවාහු මහණ බමුණන්ට පිරිහෙළා කථා කරන්නාහු වෙත් ද, ඔහු ශරීර සංඛ්‍යාත දේහය මෙලොව්හි මැ බහාතබා කාබුන් මරණින් මතු නිරයට යති යි.
Pali BJT1738. යෙ කෙචිමෙ සුග්ගතිමාසසානා{1} ධම්මෙ ඨිතා සංයමෙ සංවිභාගෙ, ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං කායස්ස භෙදා සුගතිං වජන්ති.
Sinhala BJT1738. යම්කිසි කෙනෙක් සුගතිය පතන්නාහු සංයම සංඛ්‍යාත දශශීලධර්‍මයෙහි ද සංවිභාග සංඛ්‍යාත දානධර්‍මයෙහි ද සිටියාහු වෙත් ද, ඔහු ශරීර සංඛ්‍යාත දේහය මෙලොව්හි මැ බහාතබා කායභේදයෙන් මතු සුගතියට යති යි.
Pali BJT1739. ත්වං නොසි ඤාති පුරිමාසු ජාතිසු සො මච්ඡරී රොසකො පාපධම්මො, තවෙව අත්ථාය ඉධාගතම්හා මා පාපධම්මො නිරයං අපත්ථ.
Sinhala BJT1739. තෙපි පූර්‍වජාතියෙහි අපගේ ඥාති වූවාහු යැ. ඒ තෙපි මසුරු වවු. රොස්පරොස් බස් ඇතියහු. පාපධර්‍ම ඇතියහු යැ. තොපට වැඩ සඳහා මැ මෙහි ආම්හ. පාපධර්‍ම ඇතියහු නිරයට නො යව.
Pali BJT1740. අද්ධා හි මං වො හිතකාමා යං මං සමනුසාසථ, සොහං තථා කරිස්සාමි සබ්බං වුත්තං හිතෙසිහි.
Sinhala BJT1740. යම්හෙයෙකින් තෙපි මට මැනැවින් අනුශාසනා කරවු ද, එහෙයින් ඒකාන්තයෙන් මැ තෙපි මට හිත කැමැත්තවු යැ. හිත කැමැතියන් විසින් කියනලද සියල්ල ඒ මම එසේ මැ කරන්නෙමි.
Pali BJT1741. එසාහමජ්ජෙව අපාරමාමි නචාපහං කිඤ්චි කරෙය්ය පාපං, නචාපි මෙ කිඤ්චිමදෙය්යමත්ථි නචාපදත්වා උදකම්පහං පිබෙ{2}.
Sinhala BJT1741. තෙල මම් අද මැ මසුරු බැවින් වෙන් වෙමි. මම කිසි පවකුදු නො කරමි. (මෙතැන් පටන්) නො දියැයුතු කිසිවක් මට නැත. කිසිවක්හට නො දී මම දියපතකුදු නො බොමි.
Pali BJT1742. එවඤ්ච මෙ දදතො සබ්බකාලං භොගා ඉමෙ වාසව ඛීයිස්සන්ති, තතො අහං පබ්බජිස්සාමි සක්ක හිත්වාන කාමානි යථොධිකානීති.
Sinhala BJT1742. සක්දෙව්රජුනි, හැම කල්හි දෙන්නා වූ මාගේ මේ භෝගයෝ ක්‍ෂය වන්නාහ. සක්දෙව්රජුනි, එකල්හි මම (වස්තුකාම ක්ලේශකාම විසින්) ශේෂ වැ සිටි කාමයන් හැරපියා පැවිදි වන්නෙමි යි.
Pali BJT7. කොසියජාතකං.
Sinhala BJT7. කෝසිය ජාතක යි.
Pali BJT1743. යෙසං න කදාචි භූතපුබ්බං{1} සක්ඛිං සත්තපදම්පි ඉමස්මිං ලොකෙ, ජාතා අමිත්තා{2} දුවෙ සහායා පටිසන්ධාය චරන්ති කිස්ස හෙතු.
Sinhala BJT1743. මෙලොව යම් කෙනකුන්ගේ සත්පියවරක් පමණ මිත්‍රසන්‍ථවයකුදු කිසිකලෙකත් ඇස්හමු නො වූ විරී ද, එබඳු සතුරෝ දෙදෙනෙක් මිත්‍ර වූවාහු කවර හෙයින් ඝටිත වැ හැසිරෙත් ද?
Pali BJT1744. යදි මෙ අජ්ජ පාතරාසකාලෙ පණ්හං න සක්කුණෙය්යාථ වත්තුමෙතං, රට්ඨා පබ්බාජයිස්සාමි වො සබ්බෙ නහි මත්ථො දුප්පඤ්ඤජාතිකෙහි.
Sinhala BJT1744. ඉදින් අද පෙරබත් වේලෙහි තෙල ප්‍රශ්නය මට කියන්නට නොහැකි වන්නවු නම් තොප හැමදෙනා නෙරනෙමි. නුනුවණ සැහැවි ඇතියන්ගෙන් මට අර්‍ත්‍ථයෙක් නැත් මැ යි.
Pali BJT1745. මහාජනසමාගමම්භි ඝොරෙ ජනකොලාහලසඞ්ගමම්හි ජාතෙ වික්ඛිත්තමනා අනෙකවචිත්තා පඤ්හං න සක්කුණොම වත්තුමෙතං.
Sinhala BJT1745. මහාජනසමාජයෙහි මහත් වූ ජනකලහසමාගම හටගත් කල්හි විසුළ සිත් ඇතියමෝ නොයෙක් සිතිවිලි ඇතියමෝ තෙල ප්‍රශ්නය කියන්නට නො හැකියම්හ.
Pali BJT1746. එකග්ගචිත්තා ච එකමෙකා රහසිගතා අත්ථං නිචින්තයිත්වා, පවිවෙකෙ සම්මසිත්වාන ධීරා අථ වක්ඛන්ති ජනින්ද අත්ථමෙතං.
Sinhala BJT1746. රජතුමනි, මේ ප්‍රාඥයෝ එකඟසිත් ඇතියාහු එකිනෙකා රහසිගත වැ කායචිත්තචිවෙකයෙහි සිටියාහු සම්මර්‍ශන කොට අර්‍ත්‍ථ නිශ්චය කොට ඉක්බිති තෙල අර්‍ත්‍ථය කියන්නාහ යි.
Pali BJT1747. උග්ගපුත්තරාජපුත්තියානං උරබ්භමංසං පියං මනාපං, න තෙ සුනඛස්ස අදෙන්ති මංසං අථ මෙණ්ඩස්ස සුණෙන සඛ්යමස්ස.
Sinhala BJT1747. එළුමස් අමාත්‍යපුත්‍රයනට ද රාජපුත්‍රයනට ද ප්‍රිය මනාප වෙයි. ඔහු ශුනකමාංස භක්‍ෂණ නො කෙරෙති. එතෙකුදු වත් ශුනකයකු හා සමග එළුවාගේ යහළුබවෙක් වන්නේ යැ යි.
Pali BJT1748. චම්මං විහනන්ති එළකස්ස අස්සපිට්ඨත්ථරණසුඛස්ස හෙතු, නච තෙ සුනඛස්ස අත්ථරන්ති අථ මෙණ්ඩස්ස සුණෙන සඛ්යමස්ස.
Sinhala BJT1748. අසුපිට අතුරුණු සුව හෙයින් එළුවාගේ සම වෙන් කොට ගනිත්. ඔහු ශුනකයාගේ සම නො අතුරති, එතෙකුදු වත් ශුනකයකු හා සමග එළුවාගේ යහළුබවෙක් වන්නේ යැ.
Pali BJT1749. ආවෙල්ලිතසිඞ්ගිකො හි මෙණ්ඩො න ච සුනඛස්ස විසාණානි{3} අත්ථි, තිණභක්ඛො මංසභොජනො ච අථ මෙණ්ඩස්ස සුණෙන සඛ්යමස්ස.
Sinhala BJT1749. එළුවා ඇඹරුණු අං ඇත්තේ යැ. ශුනකයාට අං නැත. එළුවා තණ කන්නේ යැ. ශුනකයා මාංසභක්‍ෂණ කරන්නේ යැ. එතෙකුදු වත් සුනඛයකු හා සමග එළුවාගේ යහළු බවෙක් වන්නේ යැ යි.
Pali BJT1750. තිණමාසී පලාසමාසී මෙණ්ඩො න ච සුනඛො තිණමාසී නො පලාසං, ගණ්හෙය්ය සුණො සසං බිළාරං අථ මෙණ්ඩස්ස සුණෙන සඛ්යමස්ස.
Sinhala BJT1750. එළුවා තණ කන්නේ යැ. කොළ කන්නේ යැ. ශුනකයා තණ නො කයි. කොළ නො කයි. ශුනකයා සාවා, බළලා අල්වා ගන්නේ යැ. එකෙකුදු වත් ශුනකයකු හා සමග එළුවාගේ යහළු බවෙක් වන්නේ යැ යි.
Pali BJT1751. අඩ්ඪට්ඨපාදො චතුප්පදස්ස මෙණ්ඩො අට්ඨනඛො අදිස්සමානො, ඡාදියමාහරති අයං ඉමස්ස මංසං ආහරති අයං අමුස්ස.
Sinhala BJT1751. පා සතරක් ඇති නිය අටක් ඇති මෙ එළුවා අප්‍රකට වැ තෙල ශුනකයාට මස් ගෙන එයි. මේ ශුනක තෙම මේ එළුවාට තණ ගෙන එයි.
Pali BJT1752. පාසාදගතො විදෙහසෙට්ඨො වීතිහාරං අඤ්ඤමඤ්ඤභොජනානං, අද්දක්ඛි කිර සක්ඛි තං ජනින්දො ඛොභුක්ඛස්ස ච පුණ්ණමුඛස්ස චෙතං.
Sinhala BJT1752. ප්‍රාසාදතලයට ගිය වේදේහ රජ අන්‍යෝන්‍ය ආහාර ව්‍යතීහාරය (හුවමාරුව) දුටුයේ වන. නරේන්‍ද්‍ර තෙම ශුනකයාගේ ද එළුවාගේ ද තෙල මිත්‍රධර්‍මය ආත්මප්‍රත්‍යක්‍ෂ කොට දුටුයේ යැ යි.
Pali BJT1753. ලාභා වත මෙ අනප්පරූපා යස්ස මෙදිසා පණ්ඩිතා කුලම්භි, පඤ්චස්ස ගම්භීරගතං නිපුණමත්ථං පටිවිජ්ඣන්ති සුභාසිතෙන ධීරා.
Sinhala BJT1753. යම්බඳු මාගේ කුලයෙහි මෙවන් පණ්ඩිතයෝ ඇද්ද? ඒ මට ඒකාන්තයෙන් අනල්ප ලාභයෙකි. ප්‍රාඥයෝ ගැඹුරු වූ නිපුණාර්‍ත්‍ථය සුභාෂිතයෙන් දැන කියති.
Pali BJT1754. අස්සතරීරථඤ්ච එකමෙකං ඵීතං ගාමවරඤ්ච එකමෙකං, සබ්බෙසං වො දම්මි පණ්ඩිතානං. පරමපතීතමනො සුභාසිතෙනා’ති.
Sinhala BJT1754. පණ්ඩිත වූ තොපට එකෙකි අශ්වතරී රථයක් ද එකෙකි සමෘද්ධ වූ ගම්වරයක් ද යන සියල්ල දෙමි. සුභාෂිතයෙන් අතිශයින් සතුටු වූ සිත් ඇතියෙමි’යි.
Pali BJT8. මෙණ්ඩකපඤ්හො.
Sinhala BJT8. මෙණ්ඩකප්‍රශ්න යි.
Pali BJT1755. නාදිට්ඨා{1} පරතො දොසං අණුංථූලානි සබ්බසො, ඉස්සරො පණයෙ දණ්ඩං සාමං අප්පටිවෙක්ඛිය.
Sinhala BJT1755. අන් කෙනෙකුගේ ලොකු කුඩා වැරැදි සියලු ආකාරයෙන් නො දැක, නො විමසා රජ තෙම දඬුවම් නියම නො කරන්නේ ය.
Pali BJT1756. යො ච අප්පටිවෙක්ඛිත්වා දණ්ඩං කුබ්බති ඛත්තියො, සකණ්ටකං සො ගිලති ජච්චන්ධොව සමක්ඛිකං.
Sinhala BJT1756. කිසියම් ක්‍ෂත්‍රියයෙක් (රජෙක්) නුවණින් නො සිතා (කෙනකුට) දඬුවම් නියම කෙරේ ද හේ කටු සහිත ආහාරය ගිලී. මැස්සන් සහිත බොජුන් බුදිනා ජාත්‍යන්‍ධයකු මෙන් වෙයි.
Pali BJT1757. අදණ්ඩියං දණ්ඩයති දණ්ඩියඤ්ච අදණ්ඩියං අන්ධොව විසමං මග්ගං න ජානාති සමාසමං.
Sinhala BJT1757. යමෙක් දඬුවම් නොදිය යුත්තාට දඬුවම් කෙරේ ද දඬුවම් දිය යුත්තාට දඬුවම් නො කෙරේ ද හේ විෂම මඟට පැමිණියා වූ අන්‍ධයකු පරිද්දෙන් පාෂාණනාදියෙහි පැකිළෙන්නේ සම අසම දෙක නො දනී. (මහත් වූ අපාය දුකට පැමිණෙයි.)
Pali BJT1758. යො ච එතානි ඨානානි අණුංථූලානි සබ්බසො, සුදිට්ඨං චානුසාසෙය්ය සචෙ වොහරිතුමරහති.{2}
Sinhala BJT1758. යමෙක් මේ ලොකු කුඩා කරුණු සර්‍වප්‍රකාරයෙන් මනාකොට දැන (දැකැ) අනුශාසනා කෙරේ ද හේ ඒකාන්තයෙන් රාජ්‍යානුශාසනයට සුදුසු වෙයි.
Pali BJT1759. නෙකන්නමුදුනා සක්කා එකන්තතිඛිණෙන වා, අත්තං මහන්තෙ ඨාපෙතුං{3} තස්මා උභයමාචරෙ.
Sinhala BJT1759. ඒකාන්ත මොළොක් පැවැත්මෙන් ද, ඒකාන්ත තියුණු (රළු) පැවැත්මෙන් ද තමා ආධිපත්‍යයෙහි තබවන්නට නො හැකි වෙයි. එහෙයින් (මොළොක් වූ ද, රළු වූ ද, දෙයාකාරයෙන් හැසිරෙන්නේ ය.
Pali BJT1760. පරිභූතො මුදූ හොති අතිතික්ඛො ච වෙරවා, එතඤ්ච උභයං ඤත්වා අනුමජ්ඣං සමාචරෙ.
Sinhala BJT1760. මොළොක් වූවහුට මහජනයා අවමන් කරයි, රළු වූවහුට මහජනයා සතුරු වෙයි. මේ දෙයාකාරය දැනැ මධ්‍යස්ථ ව හැසිරෙන්නේ ය.
Pali BJT1761. බහුම්පි රත්තො භාසෙය්ය දුට්ඨොපි බහුභාසති, න ඉත්ථිකාරණා රාජ පුත්තං ඝාතෙතුමරහසි.
Sinhala BJT1761. රාගයෙන් රත් වූයේ බොහෝ දේ කියන්නේ ය. ද්වේෂයෙන් දූෂිත වූයේ ද බොහෝ දේ කියන්නේ ය. මහරජ තුමනි, ස්ත්‍රිය නිසා පුත්‍රයා නසන්නට නො වටී.
Pali BJT1762. සබ්බො ච ලොකො එකන්තො{1} ඉත්ථි ච අයමෙකිකා, තෙනාහං පටිපජ්ජිස්සං ගච්ඡ පක්ඛිපථෙව නං.
Sinhala BJT1762. ලෝ වැස්සා එක් පක්‍ෂයක් විය. මේ ස්ත්‍රී හුදෙකලා වූවා ය. එහෙයින්, මම ස්ත්‍රියගේ කීම පිළිපදින්නෙමි. යවු, ඔහු ප්‍රපාතයේ දමවු.
Pali BJT1763. අනෙකතාලෙ නරකෙ ගමිභීරෙ ච සුදුත්තරෙ, පාතිතො ගිරිදුග්ගස්මිං කෙන ත්වං තත්ථ නාමරි.
Sinhala BJT1763. තල්ගස් ගණනක් බහා ලන්නට තරම් ගැරැඹුති, එතර වන්නට අපහසු නරකයක් වැනි ගිරි දුර්‍ගයේ දමා ලූ ඔබ වහන්සේ නො මළේ කිම?
Pali BJT1764. නාගො නාගබලො{2} තත්ථ ථාමවා ගිරිසානුජො, පච්චග්ගහී මං භොගෙහි තෙනාහං තත්ථ නාමරිං.
Sinhala BJT1764. ඒ පර්‍වත ප්‍රපාතයේ උපන් ශක්ති සම්පන්න වූ නාගයෙක් මා දරණ–වැළින් පිළිගත්තේ ය. එහෙයින් එහි දී මම නො මළෙමි.
Pali BJT1765. එහි තං පටිනෙස්සාමි රාජපුත්ත සකං ඝරං, රජ්ජං කාරෙසි භද්දන්තෙ කිං අරඤ්ඤෙ කරිස්සසි.
Sinhala BJT1765. රාජ පුත්‍රය, එව, තොප සිය නිවසට ගෙන යන්නෙමි. පින්වත, රාජ්‍යය කරන්න. වනයෙහි කරන්නේ කුමක් ද?
Pali BJT1766. යථා ගිලිත්වා බළිසං උද්ධරෙය්ය සලොහිතං, උද්ධරිත්වා සුඛී අස්ස{3} එවං පස්සාමි අත්තනං.
Sinhala BJT1766. ගිල්ලා වූ බිළිය ලේ සහිතව උදුරා දමන්නේ යම් සේ ද, උදුරාලූ පසු සුවපත් වනුයේ යම්සේ ද එපරිද්දෙන් මා ද සුවපත් වූවකු ලෙස දකිමි.
Pali BJT1767. කින්නු ත්වං බළිසං බ්රූසි කිං ත්වං බ්රූසි සලොහිතං. කින්නු ත්වං උබ්භතං බ්රූසි තම්මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT1767. තෙපි කුමකට බිළිය යි කියවු ද? කුමකට ලේ සහිතය යි කියවු ද? කුමක් උදුරාලූය යි කීවහු ද? විතාළ මට එය කියව.
Pali BJT1768. කාමාහං බළිසං බ්රූමි හත්ථිඅස්සං සලොහිතං, චත්තාහං උබ්භතං බ්රූමි එවං ජානාහි ඛත්තිය.
Sinhala BJT1768. මම කාමයන් බිළිය යි කියමි, ඇතුන් අසුන් (ඇති බව) ලේ සහිත යයි කියමි, හළුවා වූ දෙය උදුරා ලූ දෙය යයි කියමි ක්‍ෂත්‍රියය, එය මෙසේ දැන ගනුව.
Pali BJT1769. චිඤ්චාමාණවිකා මාතා දෙවදත්තො ච මෙ පිතා, ආනන්දො පණ්ඩිතො නාගො සාරිපුත්තො ච දෙවතා. අහං තදා රාජපුත්තො{4} එවං ධාරෙථ ජාතකන්ති.
Sinhala BJT1769. එ සමයෙහි මව චිංචාමාණවිකා ය. පිය රජ දෙව්දත් තෙර ය. නැණවත් නාගයා ආනන්‍ද තෙර ය. දිව්‍යපුත්‍රයා සැරියුත් රහතන් වහන්සේ ය. රාජපුත්‍රයා මම වෙමි. මේ ජාතකය මෙසේ දරා ගනිවු. (සිතැ තබා ගනිවු)
Pali BJT9. මහාපදුමජාතකං.
Sinhala BJT9. මහාපදුම ජාතක යි.
Pali BJT1770. කානි කම්මානි කුබ්බානං කථං විඤ්ඤූ පරක්කමෙ අමිත්තං ජානෙය්ය මෙධාවී දිස්වා සුත්වා පණ්ඩිතො.
Sinhala BJT1770. නැණවත් පුරුෂයා ඇසින් දැක, කනින් අසා කවර කර්‍මයන් කරන්නහු මා සතුරෙකැ යි දැනගන්නේ ද, එය දැන ගැනීමට නැණවතා කෙසේ වෑයම් කටයුතු ද?
Pali BJT1771. න තං උම්භයතෙ දිස්වා න ච නං පටිනන්දති, චක්ඛූනි චස්ස{1} න දදාති පටිලොමං ච වත්තති.
Sinhala BJT1771. මිත්‍ර ප්‍රතිරූපකයා, මිතුරා දැක ද සිනා නො වෙයි. සතුටු නො වෙයි. ඇස් ඇර බැලීම ද නො කෙරෙයි. මිතුරා කරන කතාවට ද විරුද්ධ වේ.
Pali BJT1772. අමිත්තෙ තස්ස භජති මිත්තෙ තස්ස න සෙවති, වණ්ණකාමෙ නිවාරෙති අක්කොසන්තෙ පසංසති.
Sinhala BJT1772. ඔහුගේ සතුරන් භජනය කෙරෙයි. ඔහුගේ මිතුරන් භජනය නො කෙරෙයි. ගුණ කියන්නවුන් වළකයි. නුගුණ කියන්නවුන් පසයයි.
Pali BJT1773. ගුය්හඤ්ච තස්ස නක්ඛාති තස්ස ගුය්හං න ගූහති, කම්මං තස්ස න වණ්ණෙති පඤ්ඤස්ස නප්පසංසති.
Sinhala BJT1773. සැඟවියයුතු දෙය ඔහුට නො කියයි. ඔහුගේ සැඟවිය යුතු දෙය නො සඟවයි. ඔහුගේ වැඩ නො පසසයි. ඔහුගේ නුවණ නො පසසයි.
Pali BJT1774. අභවෙ නන්දති තස්ස භවෙ තස්ස න නන්දති, අච්ඡරියං භොජනං ලද්ධා තස්ස නුප්පජ්ජතෙ සති, තතො තං නානුකම්පති අහො සොපි ලභෙයයිතො{2}
Sinhala BJT1774. ඔහුගේ පරිහානියේ දී සතුටු වෙයි. ඔහුගේ දියුණුවේ දී සතුටු නො වෙයි. රසවත් බොජුනක් ලද විටෙක ඔහු සිහිපත් නො කරයි. එයින් ඔහුට සංග්‍රහ කරන්නට තරම් සානුකම්පික නො වෙයි. මෙයින් නො සතුට ලබන්නේ ය.
Pali BJT1775. ඉච්චෙතෙ සොළසාකාරා අමිත්තස්මිං පතිට්ඨිතා, යෙහි අමිත්තං ජානෙය්ය දිස්වා සුත්වා ච පණ්ඩිතො.
Sinhala BJT1775. මෙසේ, සතුරා කෙරේ පිහිටි මේ සොළසාකාර ලකුණෙන් පණ්ඩිත පුරුෂයා සතුරා දැක ද අසා ද දැනැ ගන්නේ ය.
Pali BJT1776. කානි කම්මානි කුබ්බානං කථං විඤ්ඤූ පරක්කමෙ, මිත්තං ජානෙය්ය මෙධාවී දිස්වා සුත්වා ච පණ්ඩිතො.
Sinhala BJT1776. කෙබඳු දේ කරන්නකු ඇසින් දැකැ කනින් අසා මේ මගේ මිතුරෙකැ යි නැණවත් පුරුෂයා දැනැ ගන්නේ ද එය දැනැ ගැනීමට නැණවත් පුරුෂයා කෙසේ වෑයම් කටයුතු ද?
Pali BJT1777. පවුත්තං{3} චස්ස සරති ආගතං අභිනන්දති, තතො කෙලායිතො හොති වාචාය පටිනන්දති.
Sinhala BJT1777. විදේශයට ගිය ඔහුගේ මිතුරා සිහිකරයි. ආපසු පැමිණි මිතුරා දැක ඉතා සතුටු වෙයි. ඉක්බිති මමායනය කරන්නේ වෙයි. ප්‍රිය බසින් සල්ලාපයේ යෙදෙමින් ප්‍රීත වෙයි.
Pali BJT1778. මිත්තෙ තස්සෙව භජති අමිත්තෙ තස්ස න සෙවති, අකොසන්තෙ නිවාරෙති වණ්ණකාමෙ පසංසති.
Sinhala BJT1778. ඔහුගේ ම මිතුරන් භජනය කරයි. ඔහුගේ සතුරන් භජනය නො කරයි. නින්‍දා කරන්නන් වළක්වයි. ගුණ කියන්නන් පසසයි.
Pali BJT1779. ගුහ්යඤ්ච තස්ස අක්ඛාති තස්ස ගුය්හඤ්ච ගූහති, කම්මඤ්ච තස්ස වණ්ණෙති පඤ්ඤං තස්ස{4} පසංසති.
Sinhala BJT1779. සැඟවියයුතු දෙය ඔහුට කියයි. ඔහුගේ සැඟවිය යුතු දෙය සඟවයි. ඔහුගේ වැඩට පැසසුම් කරයි. ඔහුගේ නුවණට පැසසුම් කරයි.
Pali BJT1780. භවෙ ච නන්දති තස්ස අභවෙ තස්ස න නන්දති, අච්ඡරියං භොජනං ලද්ධා තස්ස උප්පජ්ජතෙ සති, තතො තං අනුකම්පති අහො සොපි{1} ලභෙයයිතො.
Sinhala BJT1780. ඔහුගේ දියුණුවෙහි සතුටු වෙයි. ඔහුගේ පරිහානියෙහි නො සතුටු වෙයි. රසවත් බොජුනක් ලද විටෙක ඔහු සිහිපත් කරයි. එයින් ඔහුට සංග්‍රහ කරන්නට තරම් සානුකම්පක වෙයි. මෙයින් සතුටක් ලබන්නේ ය.
Pali BJT1781. ඉච්චෙතෙ සොළසාකාරා මිත්තස්මිං සුප්පතිට්ඨිතා, යෙහි මිත්තං ච ජානෙය්ය දිස්වා සුත්වා ච පණ්ඩිතොති.
Sinhala BJT1781. මෙසේ මිතුරා කෙරේ පිහිටි මේ සොළසාකාර ලකුණෙන් පණ්ඩිත පුරුෂයා මිතුරා දැක ද අසා ද දැනැ ගන්නේ ය.
Pali BJT10. මිත්තාමිත්තජාතකං.
Sinhala BJT10. මිත්තාමිත්ත ජාතක යි.
Pali BJTද්වාදසකනිපාතො නිට්ඨිතො
Sinhala BJTදොළොස්වැනි නිපාතය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTලහුචිත්ත සාසාල කසන්ති පුන අථ කාම දසබලුට්ඨාන වරො, අථ කණ්හ සුකොසිය මෙණ්ඩවරො පදුමො පුන මිත්තවාරෙ දස.
Sinhala BJTලහුචිත්ත (වූලකුණාල) ය, භද්දසාල ය, කසන්ති (සමුද්දවාණිජ) ය, කාම ය, දස බලු (ජනසන්‍ධ) ය, කණ්හ (මහාකණ්හ) ය, කෝසිය ය, මෙණ්ඩක ය, මහාපදුම ය, මිත්තාමිත්ත ය යි දශ ජාතකයෝ වෙත්.
Pali BJT13. තෙරසකනිපාතො
Sinhala BJT13. තේරසක නිපාතය
Pali BJT1782. අහාසි මෙ අම්බඵලානි පුබ්බෙ අණූනි ථූලානි ච බ්රහ්මචාරී, තෙහෙව මන්තෙහි නදානි තුය්හං දුමප්ඵලා පාතුභවන්ති බ්රහ්මෙ.
Sinhala BJT1782. බඹසැරිය, ලොකු කුඩා අඹ පෙර (තෙපි) මට ගෙනාවහු ය. තොපගේ ඒ මන්ත්‍ර බලයෙන් දැන් අඹ පහළ නො වෙ යි. (අඹ නො සෑදේ.)
Pali BJT1783. නක්ඛත්තයොගං පටිමානයාමි{1} ඛණං මුහුත්තං න මං තොසයන්ති,{2} නක්ඛන්තයොගඤ්ච ඛණඤ්ච ලද්ධා අථා{3}හරිස්සම්බඵලං පහූතං.{4}
Sinhala BJT1783. නැකැත් යෝගය ගරු කරමි. හෙවත් පරීක්‍ෂාවෙන් සිටිමි. ක්‍ෂණය (නැකැත) සුභ මොහොත මා තුටු නො කෙරේ. නැකැත් යෝගයත් සුභ මොහොතත් ලැබ නැවත බොහෝ අඹ ගෙනෙන්නෙමි.
Pali BJT1784. නක්ඛත්තයොගං න පුරෙ අභාණි ඛණං මුහුත්තං න පුරෙ අසංසි, අථාහරී{5} අම්බඵලං පහූතං වණ්ණෙන ගන්ධෙන රසෙනුපෙතං.
Sinhala BJT1784. නැකැත් යෝගයක් (එහි අවශ්‍යතාව) පෙරැ නො කීය. සුභ මොහොත තිබියයුතු යයි නො කීය. එහෙත්, පැහැයෙන් සුවඳින් හා රසයෙන් යුතු අඹරැසක් ගෙනාවේ ය.
Pali BJT1785. මන්තාභිජප්පෙන පුරස්ස{6} තුය්හං දුමප්ඵලා පාතුභවන්ති බ්රහ්මෙ, ස්වාජ්ජ න පාරෙසි ජපම්පි මන්තෙ{7} අයං සො කො නාම තවජ්ජ ධම්මො.
Sinhala BJT1785. බමුණ, මන්ත්‍ර ජල්පනයෙන් පෙරැ තොපට අඹ ගසේ ඵලයෝ පහළ වූහ. ඒ තෙපි අද මතුරු දපන්නේ නමුදු ගස පල ගන්වන්නට අපොහොසත් වූහු. අද තොපට මේ වූයේ කුමක් ද?
Pali BJT1786. චණ්ඩාලපුත්තො මම සම්පදාසි ධම්මෙන මන්තෙ පකතිඤ්ච සංසි, මා චස්සු මෙ පුච්ඡිතො නාමගොත්තං. ගුය්හිත්ථො මා තං විජහෙය්ය{8} මන්තො.
Sinhala BJT1786. සැඬොල් පුතෙක් දැහැමින් හෙවත් පාරිතොෂිකයක් හෝ නො ගෙන මට මන්ත්‍රය දිනි. (ඉදින්) මතුර දුන්නහු (කවුරුන් හෝ) පිළිවිසියේ නො සඟවා කියව. (එය) මතුරු තා නො හරින්නට හේතු ය.
Pali BJT1787. සොහං ජනින්දෙන ජනම්හි පුට්ඨො මක්ඛාභිභූතො අලිකං අභාසිං, මන්තා ඉමෙ බ්රාහ්මණස්සාති මිච්ඡා පහීනමන්තො කපණො රුදාමි.
Sinhala BJT1787. රජතුමා විසින් ජනයා මැද මා විතාළේ ගුණමකු වැ මම බොරු කීවෙමි. මේ මතුර බමුණකුගෙන් ඉගෙන ගත්තේ යයි කීම බොරු ය. මන්ත්‍ර නැති ව ගියෙන් අසරණ ව අඬමි.
Pali BJT1788. ඵරණ්ඩා පුචිමන්දා වා අථවා පාළිභද්දකා, මධුං මධුත්ථිකො වින්දෙ සො තස්ස දුමුත්තමො.
Sinhala BJT1788. මී සොයන්නෙක්, එරඬු ගසෙහි හෝ කොහොඹ ගසෙහි හෝ එරබදු ගසෙහි හෝ බඳනා ලද මීයක් ලබා ද ඒ ගස ඔහුට උතුම් වේ.
Pali BJT1789. ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා චණ්ඩාලපුක්කුසා, යස්මා{1} ධම්මා විජානෙය්ය සො හි තස්ස නරුත්තමො.
Sinhala BJT1789. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර ,චණ්ඩාල හෝ පුක්කුස යන මොවුනතර කාගෙන් හෝ දහමක් දත්තේ නම් හේ ඔහුට උත්තමයෙක් වේ.
Pali BJT1790. ඉමස්ස දණ්ඩඤ්ච වධඤ්ච දත්වා ගලෙ ගහෙත්වා බලයාථ ජම්මං, යො උත්තමත්ථං කසිරෙන ලද්ධං මානාතිමානෙන විනාසයිත්ථ.
Sinhala BJT1790. යමෙක් දුකසේ ලද උතුම් වස්තුව (මතුරු) අධික මානය නිසා නසාපී ද, ඔහුට දඬුවම් හා හිංසා කොට බොටුවෙන් ගෙන ඇද දමවු.
Pali BJT1791. යථා සමං මඤ්ඤමානො පතෙය්ය සොබ්භං ගුහං නරකං පූතිපාදං, රජ්ජූනි වා අක්කමෙ කණ්හසප්පං අන්ධො යථා ජොතිමධිට්ඨහෙය්ය{2} එවම්පි මං ත්වං ඛලිතං සපඤ්ඤ{3} පහීනමන්තස්ස පුනප්පසීද{4},
Sinhala BJT1791. වළ, ගුහාව, ප්‍රපාතය, නරාවළ යන තැන් සම තැන් යයි සිතන්නේ වැටේ ද රැහැන යන හැඟීමෙන් සර්‍පයකු මඩී ද අන්‍ධයෙක් ගින්න මඩී ද එ පරිදි (සිතා) සප්‍රාඥ වූ ඔබ වහන්සේ, නටුවහුට නැවත මතුර දෙන්නේ මැනැවි.
Pali BJT1792. ධම්මෙන මනෙත{5} තව සම්පදාසිං තුවම්පි ධම්මෙන පටිග්ගහෙසි පකතිම්පි තෙ අත්තමනො අසංසිං{6} ධම්මෙ ඨිතං තං න ජහෙය්ය මන්තො.
Sinhala BJT1792. දැහැමි පරිදි තොපට මතුර දුනිමි. තෙපි ද එසේ එය ගත්තහු ය. සතුටු සිතැතියාගේ ප්‍රකෘතිය තොපට කීමි. ධර්‍මයේ පිහිටියේ නම්, මන්ත්‍රය තොප අත් නො හරින්නේ ය.
Pali BJT1793. සො බාල මන්තං කසිරෙන ලද්ධං යං දුල්ලභං අජ්ජ මනුස්සලොකෙ, කිච්ඡා ලද්ධා ජීවිකං අප්පපඤ්ඤො{7} විනාසයී අලිකං භාසමානො.
Sinhala BJT1793. මෙ කල, මිනිස් ලොව දුර්‍ලභ වූ දුකසේ ලද මතුරත් මහන්සි ව ගෙන ගිය දිවිපැවැත්මත් දුෂ්ප්‍රාඥ තෙමේ බොරු බස් කියමින් වැනැසී ය.
Pali BJT1794. බාලස්ස මූළ්හස්ස අඤ්ඤුකතනො ච මුසා භණන්තස්ස අසසඤ්ඤතස්ස, මන්තෙ මයං තාදිසකෙ න දෙම කුතො මන්තා ගච්ඡ න මය්හ රුච්චසී’ති.
Sinhala BJT1794. නුවණ රහිත වූ කළගුණ නො දත්තා වූ බොරු කියන සංයමයක් නැත්තා වූ එ බඳු නුගුණයකුට මතුර නො දෙමු. තොප මට නුරුස්නේ ය. මොන මතුරක් ද? (මෙතැනින්) යව.
Pali BJT1. අම්බජාතකං.
Sinhala BJT1. අම්බ ජාතක යි.
Pali BJT1795. කුඨාරිහත්ථො පුරිසො වනමොගය්හ තිට්ඨසි{1}, පුට්ඨො මෙ සම්ම අක්ඛාහි කිං දාරුං ඡෙතුමිච්ඡසි.
Sinhala BJT1795. පොරොවක් අතින් ගත් පුරුෂයෙක් වන වැද සිටී. මිතුර, විතාළ මට කියව, කෙබඳු දැවයක් (ගසක්) කපන රිස්සේ ද?
Pali BJT1796. ඉස්සො{2} වනානි චරසි සමානි විසමානි ච, පුට්ඨො මෙ සම්ම අක්ඛාහි කිං දාරුං නෙමියා දළ්හං.
Sinhala BJT1796. වලස් වූ තෝ සම විසම වනයන්හි හැසිරෙන්නෙහි. මිතුර, විතාළ මට කියව. නිම්වළල්ලක් තැනීමට ශක්තිමත් දැව (වර්‍ගය) කුමක් ද?
Pali BJT1797. නෙව සාලො න ඛදිරො නාස්සකණ්ණොකුතො ධවො{3}, රුක්ඛොව ඵන්දනො නාම තං දාරුං නෙමියා දළහන්ති.
Sinhala BJT1797. නිම්වළල්ල තැනීමට සල්, කිහිරි අස්කන් (අශ්වකර්‍ණ) ගස් සුදුසු නො වේ. කිහිරි ගස කෙසේ යෝග්‍ය වේ ද? නිම්වළල්ල තැනීමට කොළොම්දැව ශක්ති සම්පන්න වේ.
Pali BJT1798. කීදිසානිස්ස පත්තානි ඛන්ධො වා පන කීදිසො, පුට්ඨො මෙ සම්ම අක්ඛාහි යථා ජානෙමු ඵන්දනං.
Sinhala BJT1798. මිතුර, ඒ (කොළොම්) ගසේ කොළ කෙබඳු ද? කඳ කෙබඳු ද? කොළොම්ගස (අපි) යම්සේ හඳුනා ගනිමු ද, එසේ විතාළ මට කියව.
Pali BJT1799. යස්ස සාඛා පලම්බන්ති නමන්ති න ච භඤ්ජරෙ, සො රුක්ඛො ඵන්දතො නාම යස්ස මූලෙ අහං{4} ඨිතො.
Sinhala BJT1799. යම් ගසක ශාඛාවෝ එල්බැ සිටිත් ද නැමෙත් ද (එහෙත්) නො කැඩෙත් ද ඒ ගස ඵන්‍දන නම් වේ. ඒ ගසැ මුල මම සිටිනේ වෙමි.
Pali BJT1800. අරානං චක්කනාභීනං ඊසානෙමි රථස්ස ච, සබ්බස්ස තෙ කම්මනියො අයං හෙස්සති ඵන්දනො.
Sinhala BJT1800. රියෙහි අර, සක්නැව, රියහිස්, නම්වළ යන මේවා තැනීමට මේ කොළොම්ගස කර්‍මණ්‍ය හෙවත් යෝග්‍ය වේ.