Pali BJT1178. රාජාහමස්මි නරපමදාන{8}මිස්සරො සචෙපි කුජ්ඣාමි ඨපෙමි අත්තනං{9}, නිසෙධයන්තො ජනතං තථාවිධං පණෙමි දණ්ඩං අනුකම්ප යොනිසො.
Sinhala BJT1178. මම ස්ත්‍රීපුරුෂයන්ගේ ස්වාමි වූ රජ වෙමි, ඉදින් කිපියේ වුව ද තමා නීතියෙහි පිහිටුවමි, (නීතියෙහි පිහිටා කටයුතු කරමි.) ජනයා නොමග යාමෙන් වළකා අනුකම්පා සහිත ව නුවණින් දඬුවම් දෙමි.
Pali BJT1179. සිරී ච ලක්ඛී ච{10} තමෙව ඛත්තිය ජනාධිප මා විජහි කුදාචනං, අක්කොධනො නිච්චපසන්නචිත්තො අනීඝො{11} තුවං වසස්සතානි පාලය.
Sinhala BJT1179. ජනපතිතුමනි, පරිවාර සම්පත හා ප්‍රඥාව කිසිකලෙක ඔබ අත් නො හරීවා, කෝප නැති ව පහන් සිතැති ව නිදුක් ව හවුරුදු සියයක් රට පාලනය කෙරේවා.
Pali BJT1180. ගුණෙහි එතෙහි උපෙත ඛත්තිය ඨිතමරියවත්ති සුවචො අකොධනො, සුඛී අනුප්පීළ{12} පසාස මෙදිනිං ඉතො විමුත්තොපි ච යාහි සුග්ගතිං.
Sinhala BJT1180. රජතුමනි, මේ ගුණයන්ගෙන් යුක්ත ව ශ්‍රේෂ්ඨ පැවැතුම් සහිත ව සුවච ව නො කිපෙන්නෙක් ව සැපවත් ව ජනයා නො පෙළා රට පාලනය කරනු මැනැවි. මෙයින් මිදී සුගතියට සැපත් වනු මැනැවි.
Pali BJT1181. එවං සුනීතෙන සුභාසිතෙන ධම්මෙන ඤායෙන උපායසො නයං, නිබ්බාපයෙ සංඛුහිතං මහාජනං. මහාව මෙඝො සලිලෙන මෙදිනින්ති.
Sinhala BJT1181. මෙසේ නීතියෙන් ද සුබැසි කථාවෙන් ද සුචරිත ධර්‍මයෙන් ද පරිත්‍යාගයෙන් ද නුවණින් ද යුක්ත ව රාජ්‍යයානුශාසනා කරනුයේ ජලයෙන් පොළොව නිවන මහවැස්සක් සේ මහාජනයා නිවන්නේ ය. (සනසන්නේ ය.)
Pali BJT4. සුමඞ්ගලජාතකං.
Sinhala BJT4. සුමංගල ජාතක යි.
Pali BJT1182. අඞ්ගාරජාතා පඨවී කුක්කුලානුගතා මහී, අථ ගායසි වත්තානි න තං තපති ආතපො.
Sinhala BJT1182. මහී නම් වූ පොළොව ගිනිඅඟුරු මෙන් උෂ්ණ වෙයි. උණුඅළු වැනි වැල්ල ඇත. එහෙත් වෘත්තයන් අනුව ගායනා කරන්නෙහි ය. අව්ව තා නො තවන්නේ ය.
Pali BJT1183. උද්ධං තපති ආදිච්චො අධො තපති වාලුකා{1}, අථ ගායසි වත්තානි න තං තපති ආතපො.
Sinhala BJT1183. උඩින් සූර්‍ය්‍යයා තවයි. යටින් වැල්ල තවයි. එහෙත් ගී ගයන්නෙහි ය. අව්ව තා නො තවන්නේ ය.
Pali BJT1184. න මං තපති ආතපො ආතප්පා{2} තපයන්ති මං. අත්ථා හි විවිධා රාජ තෙ තපන්ති ආතපො.
Sinhala BJT1184. අව්ව මා නො තවයි. වස්තුකාමක්ලේශකාමයෝ ම තවති. මහරජතුමනි, වස්තුකාමක්ලේශකාමයන් නිසා කටයුතු දෙය බොහෝ ය. ඔව්හු මා තවති. අව්ව මා නො තවයි.
Pali BJT1185. අද්දසං කාම තෙ මූලං සඞ්කප්පා කාම ජායසි, න තං සඞ්කප්පයිස්සාමි එවං කාම න හොහිසි{3}.
Sinhala BJT1185. කාමය තාගේ මුල දිටිමි. කාම විතර්‍ක නිසා තෝ උපනෙහි ය. එහෙයින් තා ගැන නො සිතන්නෙමි. මෙසේ කළ කල්හි තා නූපදින්නෙහි ය.
Pali BJT1186. අප්පාපි කාමා න අලං බහූහිපි න තප්පති, අහහා බාලලපනා{4} පටිවිජ්ඣෙථ ජග්ගතො.
Sinhala BJT1186. වස්තුකාමක්ලේශකාමයෝ ස්වල්ප වුව ද සුදුසු නො වේ. වස්තුකාමක්ලේශකාමයන් බොහෝ ලදුවත් පෘථග්ජනයා සෑහීමට පත් නො වේ. බාලලපන (මගේ රුව මගේ හඬ යනාදීන් කෙරෙන නැළැවීම) නම් කාමයෝ විපතට හේතුවෙති. විදසුන් වඩනා යෝගාවචර තෙමේ (කාමයන්) දුරු කරන්නේ ය.
Pali BJT1187. අප්පස්ස කම්මස්ස ඵලං මම යිදං උදයො අජ්ඣගමා{5} මහත්තපත්තං, සුලද්ධලාභා වත මාණවස්ස යො පබ්බජි කාමරාගං පහාය.
Sinhala BJT1187. උදය නමැති මම මහඉසුරක් ලැබූයෙම් ද මෙය මාගේ ස්වල්ප වූ කර්‍මයක විපාක වෙයි. යමෙක් වස්තුකාම ක්ලේශකාමයන්ගේ ආශාව හැරපියා පැවිදි වී ද, එය මහාලාභයෙක් විය.
Pali BJT1188. තපසා පජහන්ති පාපකම්මං තපසා නහාපිතකුම්භකාරභාවං, තපසා අභිභුය්ය ගඞ්ගමාල නාමෙනාලපසජ්ජ බ්රහ්මදත්තං.
Sinhala BJT1188. ගංගමාලය, යම් කෙනෙක් තපස නිසා පාපකර්‍මය යම්සේ දුරු කෙරෙත් ද, එසේ ම (තෙපි) සිය තපසින් නැහැවිකුඹල් බවත් දුරු කෙරෙත් ද? තපෝගුණය නිසා තෙපි අප මැඩ අද ‘බ්‍රහ්මදත්ත’ යැ යි නමින් කථා කෙළෙහි. (එය තොපට වටනේ ද?)
Pali BJT1189. සන්දිට්ඨිකමෙච{1} පස්සථ ඛන්ති සොරච්චස්ස අයං විපාකො, යො සබ්බජනස්ස වන්දිතො තං වන්දාම සරාජිකා සමච්චා.
Sinhala BJT1189. ඉවැසීමෙත් ශීලයේත් යම් විපාකයෙක් වේ ද, ඒ දිටුදැමිවිපාකය ම බලවු, යමෙක් සියලු දෙනා විසින් වඳනා ලද්දේ වී ද, ඔහු රජුන් සහිත වැ ඇමැතියන් සහිත වැ වඳිමු.
Pali BJT1190. මා කිඤ්චි අවචුත්ථ{2} ගඞ්ගමාලං මුනිං{3} මොනපථෙසු සික්ඛමානං, එසො හි අතරි අණ්ණවං යං තරිත්වා විචරන්ති වීතසොකා’ති.
Sinhala BJT1190. මෞනපථයෙහි (බෝධිපාක්‍ෂිකධර්‍මයන්හි) හික්මෙන ගංගමාල පසේබුදුරදුනට කිසිවක් නො කියවු. යම් සසර සයුරක් තරණය කොට පහකළ සෝදුක් ඇති ව හැසිරෙත් ද., මෙ තෙම (ඒ) සසර සයුර තරණය කෙළේ ය.
Pali BJT5. ගඞ්ගමාලජාතකං.
Sinhala BJT5. ගංගමාල ජාතක යි
Pali BJT1191. ධම්මො හවෙ හතො හන්ති නාහතො හන්ති කිඤ්චනං, තස්මා හි ධම්මං න හනෙ මා{4} තං ධම්මො හතො භනි.
Sinhala BJT1191. (සත්‍ය) ධර්‍මය බොරු කීමෙන් නසන ලදුයේ ඒකාන්තයෙන් ජ්‍යේෂ්ඨාපචායනය (වැඩිහිටියන් පිදීම නම් වූ ගුණය) තෙමේ මැ වැනැසේ. ධර්‍මය නො නටුයේ කිසිත් නො නසා. එහෙයින් සත්‍යධර්‍මය නො නසන්නේ මැනැවි. ධර්‍මය නැසුණේ ඔබ නො නසාවා.
Pali BJT1192. අලිකං භාසමානස්ස අපක්කමන්ති දෙවතා, පූතිකඤ්ච මුඛං වාති සකට්ඨානා ච ධංසති. යො ජානං පුච්ඡිතො පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ.
Sinhala BJT1192. (කාරණයක්) විචාරන ලදුයේ, යමෙක් එය දන්නේ ම අන් ලෙසෙකින් කියා ද, දෙවියෝ (ඔහු) අත්හැර යති. (එසේ) බොරු කියන්නාගේ මුඛය ද දුගඳ හමයි. අහසේ තමා සිටි තැනින් ද ගිලිහේ.
Pali BJT1193. සචෙ හි සච්චං භණසි හොහි රාජ යථා පුරෙ, මුසා චෙ භාසසෙ රාජ භූමියං තිට්ඨ චෙතිය.
Sinhala BJT1193. මහරජ, ඉදින් සත්‍යය කියෙහි නම් පෙර පරිදි අනුභාව සම්පන්න වන්නෙහි ය. චේතිය රාජය, බොරු කියන්නෙහි නම් බිමට බැස සිටුනෙහි.
Pali BJT1194. අකාලෙ වස්සති තස්ස කාලෙ තස්ස න වස්සති, යො ජානං පුච්ඡිතො පඤ්චං අඤ්ඤථා නං වියාකරෙ.
Sinhala BJT1194. යමෙක් දන්නා දැයක් විචාරන ලදුයේ අන් අයුරෙකින් පවසන්නේ ද ඔහුගේ රාජ්‍යයට නොකල්හි වැසි වසී, සුදුසුකල්හි නො වසී.
Pali BJT1195. සචෙ හි සච්චං භණසි හොහි රාජ යථා පුරෙ, මුසා චෙ භාසසෙ රාජ භූමිං පවිස චෙතිය.
Sinhala BJT1195. චේතිය මහරජ, ඉදින් සත්‍යය බෙණෙන්නේ ද පෙර පරිදි ම අනුභාව සම්පන්න වන්නෙහි ය, බොරු කියන්නේ නම් පොළොවෙහි පිවිසෙන්නෙහි ය.
Pali BJT1196. ජිව්හා තස්ස ද්විධා හොති උරගස්සෙව දිසම්පති, යො ජානං පුච්ඡිතො පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ.
Sinhala BJT1196. චේතිය මහරජ, යමෙක් විචාරන ලදුයේ දන්නා දැය අන් අයුරෙකින් පවසන්නේ ද, ඔහුගේ දිව සර්‍පයකුගේ මෙන් දෙදිව් වේ.
Pali BJT1197. සචෙ හි සච්චං භණසි හොහි රාජ යථා පුරෙ, මුසා චෙ භාසසෙ රාජ භිය්යො පවිස චෙතිය.
Sinhala BJT1197. රාජය, ඉදින් සත්‍යය බෙණෙන්නේ ද පෙර පරිදි අනුභාව සම්පන්න වන්නෙහි ය. ඉදින් බොරු කියන්නෙහි නම් චේතිය රජතුමනි, වැඩියක් බිමැ පිවීසෙහි ය.
Pali BJT1198. ජිව්හා තස්ස න භවති මච්ඡස්සෙව දිසම්පති, යො ජානං පුච්ඡිතො පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ.
Sinhala BJT1198. මහරජ, දන්නා දෙයක් විචාරන ලදුයේ, යමෙක් එය අන් අයුරෙකින් පවසන්නේ ද ඔහුට, මාලුවාට මෙන් දිව නැති වේ.
Pali BJT1199. සචෙ හි සච්චං භණසි හොහි රාජ යථාපුරෙ, මුසා චෙ භාසසෙ රාජ භිය්යො පවිස චෙතිය.
Sinhala BJT1199. මහරජ, ඉදින් සත්‍යය බණන්නෙහි ද පෙර පරිදි අනුභාව සම්පන්න වන්නෙහි ය. බොරු කියන්නෙහි නම් රජතුමනි, වැඩියක් පොළොවැ පිවිසෙන්නෙහි ය.
Pali BJT1200. ථියොව{1} තස්ස ජායන්ති න පුමා ජායරෙ කුලෙ, යො ජානං පුච්ඡිතො පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ.
Sinhala BJT1200. මහරජ, දන්නා දැයක් විචාරන ලදුයේ යමෙක් එය අන් අයුරෙකින් පවසා ද, ඔහුගේ කුලයේ ගැහැනු උපදිත්. පිරිමි නූපදනාහ.
Pali BJT1201. සචෙ හි සච්චං භණසි හොහි රාජ යථා පුරෙ, මුසා චෙ භාසසෙ රාජ භිය්යො පවිස චෙතිය.
Sinhala BJT1201. මහරජ, ඉදින් සත්‍යය බෙණෙහි නම් පෙර පරිදි අනුභාව සම්පන්න වන්නෙහි ය. බොරු කියන්නෙහි නම් චේතිය රජතුමනි, වැඩියක් පොළොවැ පිවිසෙහි ය.
Pali BJT1202. පුත්තා තස්ස න භවන්ති පක්කමන්ති දිසොදිසං, යො ජානං පුච්ඡිතො පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ.
Sinhala BJT1202. මහරජ, දන්නා දැයක් විචාරන ලදුයේ, යමෙක් එය අන් අයුරෙකින් පවසන්නේ ද, ඔහුට පුත්‍රයෝ නො වෙත්. වෙත් නම් උපකාර නො කොට දෙසැ දෙසැ යෙත්.
Pali BJT1203. සචෙහි සච්චං භණසි හොහි රාජ යථා පුරෙ, මුසා චෙ භාසසෙ රාජ භිය්යො පවිස චෙතිය.
Sinhala BJT1203. මහරජ, ඉදින් සත්‍යය බෙණෙහි ද පෙර පරිදි අනුභාවසම්පන්න වන්නෙහි ය. බොරු කියන්නෙහි නම් චේතිය රජ තුමනි, වැඩියක් පොළොවෙහි පිවිසෙන්නෙහි.
Pali BJT1204. සරාජා ඉසිනා සත්තො{2} අන්තලික්ඛෙ{3} චරො පුරෙ, පාවෙක්ඛී පඨවිං චෙච්චො{4} හීනත්තො අත්තපරියායං.
Sinhala BJT1204. පෙරැ මේ චේතිය රජ කපිල මහර්ෂීන් කරණ කොට ගෙන රජ වූයේ ආකාශචාරී ව සිට පිරිහී ගිය ස්වභාවය ඇතියේ කාලානුරූප ව පොළොවැ, පිවිසියේ ය.
Pali BJT1205. තස්මාහි ඡන්දාගමනං නප්පසංසන්ති පණ්ඩිතා, අදුට්ඨචිත්තො භාසෙය්ය ගිරං සච්චුපසංහිත’න්ති.
Sinhala BJT1205. එහෙයින් ප්‍රාඥයෝ ඡන්‍දාදියෙන් අගතිගාමී වීම නො පසසත්. දූෂිත නොවූ සිතැත්තේ සාධූන් විසින් පසස්නා ලද සත්‍ය වවන ම කියන්නේ ය.
Pali BJT6. චෙතියජාතකං.
Sinhala BJT6. චේතිය ජාතක යි.
Pali BJT1206. යො ඉන්ද්රියානං කාමෙන වසා නාරද ගච්ඡති, සො පරිච්චජ්ජුහො ලොකෙ ජීවන්තොව විසුසස්ති.
Sinhala BJT1206. නාරදයෙනි, යමෙක් කාමාශායෙන් ඉඳුරන්ගේ වශයට යේ ද, හෙ තෙම, (දෙව්මිනිස්) දෙලොව හැරපියා (නිරයේ උපදී). ජීවත් වන්නේ නමුදු ඉච්ඡාවිඝාතය නිසා ශෝකයෙන් වියළේ.
Pali BJT1207. සුඛස්සානන්තරං දුක්ඛං දුක්ඛස්සානන්තරං සුඛං, සොසි{5} පත්තො සුඛා දුක්ඛං පාටිකඞ්ඛ වරං සුඛං.
Sinhala BJT1207. පංචකාම සම්පත්තියට අනතුරු වැ නිරාදුකට ද සිල් රැකීම් ආදි විසින් විඳුනා දුකට අනතුරු වැ සැපතට ද පැමිණේ. හේ (නාරදර්ෂි) තෙමේ ද සැපත නසා දුකට පැමිණියේ ය. (එබැවින්) ධ්‍යාන සැපත කැමැති වන්නේ මැනැවි.
Pali BJT1208. කිච්ඡකාලෙ කිච්ඡිසහො යො කිච්ඡං නානුවත්තති. ස කිච්ඡන්තං සුඛං ධීරො යොගං සමධිගච්ඡති.
Sinhala BJT1208. යමෙක් දුක් පැමිණි කලැ දුක් ඉවසා ද දුක මඩින්නේ ද, ඒ ප්‍රාඥයා දුක අවසානයෙහි ලැබෙන සැපය වන ධ්‍යාන සැපත මැනැවින් ලබයි.
Pali BJT1209. නහෙව කාමාන කාමා නානත්ථා නත්ථකාරණා, න{6} කතඤ්ච නිරඞ්කත්වා ධම්මා චවිතුමරහසි.
Sinhala BJT1209. අභිවෘද්ධියට කරුණු නො වන බැවින් ද අර්‍ත්‍ථකර නො වන බැවින් ද කාමයනට ආසා නො කටයුතු ය. උපදවන ලද ධ්‍යානය නසා කුසල ධර්‍මයෙන් ගිලිහෙන්නට සුදුසු නො වේ.
Pali BJT1210. දුක්ඛං ගහපතිං සාධු{1} සංවිභජ්ජඤ්ච{2} භොජනං, අභාසො අත්ථලාභෙසු අත්ථබ්යාපත්ති අබ්යථො{3}.
Sinhala BJT1210. ගැහැවියකුට (වස්තුව ලබාගැනීමේ දී) ඇති වන වෙහෙස මනාප ය. ධනය බෙදා වැළැඳීම මනාප ය. මහත් ඉසුරු ලැබීමෙහි උඩඟු නො වීම මැනැව. ධන විනාශයේ දී ක්ලාන්ත නො වීම මැනැව.
Pali BJT1211. එත්තාව තෙසං{4} පණ්ඩිච්චං අසිතො දෙවලො බ්රවි, නයිතො{5} කිඤ්චි පාපියො ඉන්ද්රියානං වසං වජෙ.
Sinhala BJT1211. ඒ දේවලර්ෂි යමක් කීයේ ද, මේ පාණ්ඩිත්‍යය ද මෙ පමණෙක් ම ය. යමෙක් ඉඳුරන්ගේ වශයට යන්නේ ද, මෙයට වඩා ලාමක බවෙක් නැත.
Pali BJT1212. අමිත්තානංව හත්ථත්ථං සිව පප්පොති මාමිව, කම්මං විජ්ජඤ්ච දක්ඛෙය්යං විවාහං සීලමද්දවං.
Sinhala BJT1212. සිවි රජතුමනි, සතුරන් අතට පත් කෙනකු බඳු මා මෙන් විනාශයට පැමිණේ ද, දිවි රක්නා කර්‍මාන්ත ද, හස්ත්‍යශ්වාදි ශිල්ප ද, ධන ඉපැයීමේ දක්‍ෂ බව ද, ආවාහ විවාහ සම්බන්‍ධය ද, පංචශීලය හා මෘදු වචන ඇති බව ද යන,
Pali BJT1213. එතෙ ච යසෙ හාපෙත්වා නිබ්බත්තො{6} සෙහි කම්මෙහි, සොහං සහස්ස ජීනොව අබන්ධූ අපරායණො. අරියධම්මා අතික්කන්තො{7} යථා පෙතො තථෙවහං.
Sinhala BJT1213. මෙතෙක් අභිවෘද්ධිය සලසන කරුණු නසා සිය පාප කර්‍මයෙන් මනුෂ්‍යප්‍රේත ව උපනිමි. ඒ මම දහසින් පැරැදුණකු මෙන් නෑයන් නැතියෙක්මි, පිළිසරණක් නැත්තෙකිමි.
Pali BJT1214. සුඛකාමෙ දුක්ඛාපෙත්වා ආපන්නොස්මි පදං ඉමං, සො සුඛං නාධිගච්ඡාමි චිතො භානුමතාමිවා{8}ති.
Sinhala BJT1214. ආර්‍ය (සත්පුරුෂ) ධර්‍මයෙන් පහ වූ මම ප්‍රේතයකු බඳු වෙමි. සුව කැමැත්තන් දුකට පමුණුවා මේ තත්ත්‍වයට මනුෂ්‍යප්‍රේත බවට පැමිණියෙමි. ඒ මම ගින්නෙහි සිටියකු මෙන් මහත් දාහ ඇතියෙම් කායික වූ ද චෛතසික වූ ද සැපක් නො ලබමි.
Pali BJT7. ඉන්ද්රියජාතකං.
Sinhala BJT7. ඉන්‍ද්‍රිය ජාතක යි.
Pali BJT1215. ආදිත්තස්මිං අගාරස්මිං යං නීහරති භාජනං, තං තස්ස හොති අත්ථාය නො ච යං තත්ථ ඩය්හති.
Sinhala BJT1215. ගෙය ගිනිගත් කලැ යම් කිසි බඩුවක් ගෙයින් බැහැර කෙරේ ද එය ගෙහිමියාට වැඩ පිණිස වේ. එසේ පිටතට නො ගත් යමක් වේ නම් එය එහි දැවීයෙයි.
Pali BJT1216. එවමාදිපිතො ලොකො ජරාය මරණෙන ච, නීහරෙථෙව දානෙන දින්නං හොති සුනීහතං
Sinhala BJT1216. මෙසේ ලෝකයා ජරායෙන් ද මරණයෙන් ද ගිනි ගත්තේ වේ. දන් දීමෙන් ම වස්තුව බැහැර කරන්නේ මැනව. දුන් දැය මනා කොට පිටතට ගන්නා ලද්දේ වේ.
Pali BJT1217. යො ධම්මලද්ධස්ස දදාති දානං උට්ඨානවිරියාධිගතස්ස ජන්තුනො{9}, අතික්කම්ම සො වෙතරණිං යමස්ස දිබ්බානි ඨානානි උපෙති මච්චො.
Sinhala BJT1217. යම් සත්ත්‍ව කෙනෙක් මහන්සියෙන් දැහැමින් ලබා ගත් වස්තුවෙන් දන් දේ ද, හේ යමයාගේ වේතරණී නදිය ද (අටමහ නිරය ද ඔසුපත් නිරයන් ද) ඉක්මැ දිව්‍යසම්පතට පැමිණේ. (දිවසැපත් ලබා.)
Pali BJT1218. දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු අප්පාපි සන්තා බහුකෙ ජිනන්ති, අප්පම්පි චෙ සද්දහානො දදාති තෙනෙව සො හොති සුඛී පරත්ථ.
Sinhala BJT1218. දන් දීම ද යුද්ධ කිරීම ද සමානය යි කියත්. ජීවිතාශා රහිත ව සටන් වන් අය ස්වල්ප වුවත් බොහෝ සතුරන් දිනත්. (කුශලය ස්වල්ප වුව ද බොහෝ අකුශල් දිනිය හැක්කේ වේ). කර්‍මඵල අදහාගෙන ස්වල්ප වූ ද පරිත්‍යාගයක් කළොත් පරලොව දී එයින් ම හේ සැපවත් වේ.
Pali BJT1219. විචෙය්යදානං සුගතප්පසත්ථං{1} යෙ දක්ඛිණෙය්යා ඉධ ජීවලොකෙ එතෙසු දින්නානි මහප්ඵලානි බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ.
Sinhala BJT1219. දක්‍ෂිණාර්‍හයන් සොයා දන් දීම සුගතයන් වහන්සේ විසින් පසස්නා ලදී. මේ මිනිස් ලොව යම් දක්‍ෂිණාර්‍හ කෙනෙක් වෙද් ද, උන් වහන්සේ විෂයයෙහි දුන් දන් මහත් ඵල ගෙන දේ. සරුකෙතෙක වපුළ බිජුවට මෙනි.
Pali BJT1220. යො පාණභූතානි අහෙඨයං චරං පරූපවාදා න කරොති පාපං, භීරුං පසංසන්ති න හි තත්ථ සූරං භයා හි සන්තො න කරොන්ති{2} පාපං.
Sinhala BJT1220. යමෙක් සතුන් නොපෙළා හැසිරේ ද, පරූපවාද බියෙන් පව් නො කෙරේ ද (එබඳු) පාපභීරුකයා පඬුවෝ පසසත්. පෘප ශූරයා නො පසසත්, සත්පුරුෂයෝ (පවට) බිය නිසා පව් නො කරත්.
Pali BJT1221. හීනෙන බ්රහ්මචරියෙන ඛත්තියං උපපජ්ජති, මජ්ඣිමෙන ච දෙවත්තං උත්තමෙන විසුජ්ඣති
Sinhala BJT1221. හීන බ්‍රහ්මචර්‍ය්‍යායෙන් රජ පවුලේ උපදී. මධ්‍යම ලෙසින් පුරන බ්‍රහ්මචර්‍ය්‍යායෙන් දෙව් බවට පැමිණේ. උතුම් බ්‍රහ්මචර්‍ය්‍යායෙන් (මගබඹසරින්) කෙලෙසුන් කෙරෙන් පිරිසිදු වේ.
Pali BJT1222. අද්ධාහි දානං බහුධා පසත්ථං{3} දානා ච ඛො ධම්මපදං ච සෙය්යො, පුබ්බෙවහි පුබ්බතරෙ ච සන්තො නිබ්බානමෙවජ්ඣගමුං සපඤ්ඤාති.
Sinhala BJT1222. ඒකාන්තයෙන් ආමිසදානය බොහෝ පසස්නා ලදී. දානයට වඩා (ශමථවිදර්‍ශනා නිර්‍වාණ පර්‍ය්‍යාප්ති සංඛ්‍යාත තිවිධ) ධර්‍මපදය උතුම් වේ. පෙරැ සිටි මහනුවණැති කාශ්‍යපාදි බුදුවරයෝ ද වඩාත් පෙරැ සිටි වෙස්සභූ ආදි බුදුවරු ද යන සත්පුරුෂයෝ නිවනට ම පැමිණියහ.
Pali BJT8. ආදිත්තජාතකං.
Sinhala BJT8. ආදිත්ත ජාතක යි.
Pali BJT1223. ගඞ්ගා කුමුදිනී සන්තා සඞ්ඛවණ්ණා ච කොකිලා, ජම්බු තාලඵලං දජ්ජා අථ නූන තදා සියා.
Sinhala BJT1223. යම්කලෙක ගංගාවෝ තඩාග බවට හැරී සුදුනෙළුමෙන් සැදුණාහු වෙත් ද, කොවුලෝ සක මෙන් සුදුපැහැ වෙත් ද, දඹගස් තල්ගෙඩි දේ ද එකල්හි ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
Pali BJT1224. යදා කච්ඡපලොමානං පාවාරො තිවිධො සියා, හෙමන්තිකං පාපුරණං අථ නූන තදා සියා.
Sinhala BJT1224. යම් කලෙක කසුබු ලොමින් කළ තුන්වැදෑරුම් උතුරු සළුවෙක් ද හේමන්ත කාලයට සුදුසු පොරෝනයක් ද වන්නේ නම් එකලැ ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
Pali BJT1225. යදා මකසදාඨානං අට්ටාලො සුකතො සියා, දළ්හො ච අප්පකම්පි ච අථ නූන තදා සියා.
Sinhala BJT1225. යම් කලෙක මදුරු තුඩුවලින් ශක්තිමත් නො සැලෙන අටල්ලෙක් මනාව කරන ලද්දේ නම්, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
Pali BJT1226. යදා සසවිසාණානං නිස්සෙණී සුකතා සියා, සග්ගස්සා රොහණත්ථා අථ නූන තදා සියා.
Sinhala BJT1226. යම් කලෙක දෙව්ලොවට නගිනු පිණිස සස අඟින් හිණක් මනාසේ තනන ලද නම්, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
Pali BJT1227. යදා සිස්සෙණිමාරුය්හ චන්දං ඛාදෙය්යුං මූසිකා, රාහුඤ්ච පරිපාතෙය්යුං අථ නූන තදා සියා.
Sinhala BJT1227. යම් කලෙක මීයෙක් හිණට නැඟ හඳ සපා කන් නේ ද, රාහුග්‍රහයා පලවා හරනේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
Pali BJT1228. යදා සුරාඝටං පීත්වා මක්ඛිකා ගණචාරිනී, අඞ්ගාරෙ වාසං කප්පෙය්යුං අථ නූන තදා සියා.
Sinhala BJT1228. යම් කලෙක මැස්සෝ රා කළයක් බී සමූහ වැ හැසිරෙනුවෝ ගිනිඅඟුරෙහි වසන්නාහු ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
Pali BJT1229. යදා බිම්බොට්ඨසම්පන්නො ගද්රභො සුමුඛො සියා, කුසලො නච්චගීතස්ස අථ නූන තදා සියා.
Sinhala BJT1229. යම් කලෙක බිඹුපල (කෙම්ගෙඩි) වැනි තොල් ඇති, සුන්‍දර මුහුණ ඇති නෘත්‍යයට හා ගායනයට දක්‍ෂ කොටළුවෙක් වේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
Pali BJT1230. යදා කාකා උලූකා{1} ච මන්තයෙය්යුං රහොගතා, අඤ්ඤමඤ්ඤං පිහයෙය්යුං{2} අථ නූන තදා සියා.
Sinhala BJT1230. යම් කලෙක කවුඩෝත් මහමුහුණේත් රහසිගත ව සාකච්ඡා කරන්නාහු ද ඔවුනොවුනට පියමනාප වන්නාහු ද එකලැ ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
Pali BJT1231. යදා පුලස පත්තානං{3} ඡත්තං ථීරතරං සියා, වස්සස්ස පටිඝාතාය අථ නූන තදා සියා.
Sinhala BJT1231. යම් කලෙක පුලසපත්‍රයෙන් කළ කුඩය වැස්ස වළකා ගන්නට ශක්තිමත් වන්නේ ද එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
Pali BJT1232. යදා කුළුඞ්කො{4} සකුණො පබ්බතං ගන්ධමාදනං, තුණ්ඩෙනාදාය ගච්ඡෙය්ය අථ නූන තදා සියා.
Sinhala BJT1232. යම් කලෙක කුළුඞ්කපක්‍ෂියෙක් ගන්‍ධමාදන පර්‍වතය තුඩින් ගෙන යන්නේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
Pali BJT1233. යදා සාමුද්දිකං නාවං සයන්තං සවටාකරං{5}, චෙටො ආදාය ගච්ඡෙය්ය අථ නූන තදා සියාති.
Sinhala BJT1233. යම් කලෙක යන්ත්‍රය සහ පලුපත් සහිත මුහුදු නැවක් කුඩා ගම්දරුවෙක් අතින් ගෙන යන්නේ ද, එකල ඒකාන්තයෙන් (ඔබ හා) සමාගමය වන්නේ ය.
Pali BJT9. අට්ඨානජාතකං.
Sinhala BJT9. අට්ඨාන ජාතක යි.
Pali BJT1234. ඛමනීයං යාපනීයං කච්චි මාතුල තෙ සුඛං, සුඛං තෙ අම්මා අවච සුඛකාමා හි තෙ මයං.
Sinhala BJT1234. මයිලණුවෙනි, කෙසේ ද? ඉවැසිය හැකි ද? සුවසේ දිවි පැවැත්විය හැකි ද? අද ඔබගේ සුවය මව විචාළා ය. අපි ද තොපට සැප කැමැත්තමෝ වම්හ.
Pali BJT1235. නඞ්ගුට්ඨං මෙ අවක්කම්ම{6} හෙඨයිත්වාන{7} එළිකෙ, සාජ්ජ මාතුලවාදෙන මුඤ්චිතබ්බා නු මඤ්ඤසි.
Sinhala BJT1235. එළිය, මාගේ නඟුට - පාගා බලාත්කාර කොට අදම ‘මයිලණුවෙනි’යි අමතා මිදීගත හැක්කැ යි හඟිහි ද?
Pali BJT1236. පුරත්ථාමුඛො නිසින්නොසි අහං තං{8} මුඛමාගතා, පච්ඡිතො තුය්හ නඞ්ගුට්ඨං කථං ඛොහං අවක්කමිං{9}.
Sinhala BJT1236. පෙරදිගට මුහුණ ලා හුන්නෙහි ය. මම මුඛ වහන්සේගේ ඉදිරියෙන් ආයෙමි. තොපගේ නඟුට පසු පසැ වේ. එය කෙසේ මම මඩනෙම් ද?
Pali BJT1237. යාවතා චතුරො දීපා සසමුද්දා සපබ්බතා, තාවතා මය්හ නඞ්ගුට්ඨං කථං ඛො ත්වං විවජ්ජයි.
Sinhala BJT1237. සාගර සහිත පර්‍වත සහිත සතර මහ දිවයින් යම් තාක් ද ඒතාක් මගේ වලග (පැතිර ගියේ) වේ. එය තෝ කෙසේ නම් නොම මැඩැ හරනෙහි ද?
Pali BJT1238. පුබ්බෙවමෙතං අක්ඛංසු{1} මාතාපිතා ච භාතරො, දීඝං දුට්ඨස්ස නඞ්ගුට්ඨං සම්හි{2} වෙහාසයාගතා{3}.
Sinhala BJT1238. දුෂ්ටයාගේ වලග දිගය යන මේ කථාව මාපියෝ ද සොහොයුරෝ ද මට කැලැ මැ කීහ. (වලග ඇක්මෙන නිසා) ඒ මම අහසින් ආවෙමි.
Pali BJT1239. තඤ්ච දිස්වාන ආයන්තිං අන්තලික්ඛස්මිං ඵළිකෙ{4}, මිගසඞ්ඝො පලායිත්ථ භක්ඛො මෙ නාසිතො තයා.
Sinhala BJT1239. එළිස්සිය, අහසෙහි එන තී දැක මුවසමූහය පැන ගියා ය. මගේ ගොදුර තී විසින් නසන ලදී.
Pali BJT1240. ඉච්චෙව විලපන්තියා එළිකියා රුහංඝසො, ගලකං අන්වාවමද්දි නත්ථි දුට්ඨෙ සුභාසිතං.
Sinhala BJT1240. මෙසේ කියා වලප්නා එළිස්සියගේ ගෙල ලෝහිතපායී දිවි තෙම ඩැගැගෙන ඉරාලී ය. දුෂ්ටයා කෙරෙහි සුභාෂිත බිණුමක් නැත. (දුෂ්ටයා සමග මිහිරි කථාවෙන් බිණුමෙන් පලෙක් නො වේ.)
Pali BJT1241. නෙව දුට්ඨෙ නයො අත්ථි න ධම්මො න සුභාසිතං, නික්කමං දුට්ඨෙ යුජ්ජෙථ{5} සො ච සබ්භි න රජ්ජතීති.
Sinhala BJT1241. දුෂ්ටයාට නීතියෙක් නැත. ස්වභාවයෙන් පිහිටි උතුම් ගතියෙක් නැත. හොඳ කථාවෙක් නැත. දුෂ්ටයා කෙරේ පරාක්‍රමය යොදන්නේ ය. දුෂ්ටයා ද සත්පුරුෂයන් හා නො ඇලේ.
Pali BJT10. දීපිජාතකං.
Sinhala BJT10. දීපි ජාතක යි.
Pali BJTකච්චානිවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන කච්චානිවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපරිසුද්ධාමනාවිලාවත්ථධරා බකරාජස්ස කායුරං දණ්ඨාවරො, අථඅඞ්ගාරචෙතියදෙවිලින අථ ආදිත්තගඞ්කාදසෙළකිනාති.
Sinhala BJTකච්චානීජාතක (පරිසුද්ධා) යැ අට්ඨසද්දජාතක (බකරාජස්ස) යැ සුලසාජාතකය (කායුරා) යැ සුමඞ්ගලජාතක (දණ්ඩාව) යැ ගඞ්ගමාල ජාතක (අඞ්ගාර) යැ චේතිය ජාතක යැ ඉන්‍දියජාතක යැ ආදිත්ත ජාතක යැ අට්ඨානජාතක (ගණ්හ) යැ දීපි ජාතක (ඵළක) යැ යන දසය යි.
Pali BJTඅට්ඨකනිපාතං නිට්ඨිතං.
Sinhala BJTඅට්ඨක නිපාතය නිමි.
Pali BJT9. නවකනිපාතො
Sinhala BJT9. නවක නිපාතය
Pali BJT1242. පරිසඞ්කුපථො නාම ගිජ්ඣපන්ථො සනන්තනො, තත්රාසි මාතාපිතරො ගිජ්ඣො පොසෙසි ජිණ්ණකෙ.
Sinhala BJT1242. උල් අමුනා කළ හෙයින් සංකූපථ නමැති පැරැණි වූ ගිජුකුළුමුදුනට මාර්‍ගයෙක් විය. එහි ගිජුළිහිණියෙක් මහලු මාපියන් පෝෂණය කෙළේ ය.
Pali BJT1243. තෙසං අජගරං මෙදං අච්චහාසි පහූතසො{1}, පිතා ච පුත්තං අවච ජානං උච්චං{2}පපාතිනං සුපත්තං පක්ඛ{3}සම්පන්නං තෙජස්සිං{4} දූරගාමිනං.
Sinhala BJT1243. හේ ඔවුනට වුරුණුතෙල් සහිත පිඹුරුමස බොහෝ සෙයින් ගෙනායේ ය. පියා ද දන්නේ ඉහළ පියාඹන ශක්තිසම්පන්න, ඉතා දුර (පියාඹා) යන සුපත්ත නමැති පුත්‍රයාට මෙසේ කී ය.
Pali BJT1244. පරිප්ලවන්තං{5} පඨවිං යදා තාත විජානහි{6}, සාගරෙන පරික්ඛිත්තං චක්කංව පරිමණ්ඩලං. තතො තාත නිවත්තස්සු මාස්සු එත්තො පරං ගමී.
Sinhala BJT1244. “දරුව, යම් කලෙක මුහුදෙන් වට වූ මහපොළොව පිරිමඬුලු වූ රියසකක් මෙන් (දියෙහි) ඉල්පෙන්නා දනිහි ද (පෙනේ ද) එතැනින් නවතින්න. ඉන් ඔබ්බට නො යන්න.”
Pali BJT1245. උද්ධං පත්තොස{7} වෙගෙන බලී පක්ඛී දිජුත්තමො, ඔලොකයන්තො වක්කඞ්ගො පබ්බතානි වනානි ච.
Sinhala BJT1245. ශක්තිමත් වූ පියාපත් ඇති, වක් වූ ගෙල ඇති පක්‍ෂි රාජ තෙම පර්‍වත ද වනපෙත් ද බලමින් වේගයෙන් අහසට පැන නැංගේ ය. (පියාඹා ගියේ ය.)
Pali BJT1246. අද්දසා{8} පඨවිං ගිජ්ඣො යථා සාසි{9} පිතුස්සුතං,{10} සාගරෙන පරික්ඛිත්තං චක්කංව පරිමණ්ඩලං.
Sinhala BJT1246. ‘යව’යි කියා පියාගෙන් යම්සේ අසන ලද ද, එසේ ම සයුරෙන් වට වූ රියසකක් සේ වට වූ පොළොව ගිජුළිහිණි තෙමේ දිටී ය.
Pali BJT1247. තඤ්ච සො සමතික්කම්ම පරමෙව පවත්තථ, තඤ්ච වාතසිඛා තික්ඛා අච්චහාසි බලිං දිජං.
Sinhala BJT1247. හේ පියාණන්ගේ ඔවා වශයෙන් කී තැනත් ඉක්මැ ඈතට ම ගියේ ය. වාතශිඛාව (වේගවත් වේරම්බ වාතය) ශක්තිමත් පක්‍ෂියා පැහැර ගත්තේ ය. (ඒ වාතයට අසුවිය.)
Pali BJT1248. නාසක්ඛාතිගතො පොසො පුනරෙව{11} නිවත්තිතුං, දිජො ව්යසනමාපාදි වෙරම්බානං වසං ගතො.
Sinhala BJT1248. පියා කී (පිළිවෙළ) මග ඉක්මවා ගිය පක්‍ෂියා වේරම්බ වාතයට අසු වැ නවතින්නට නො හැකි වූයේ විනාශයට පැමිණියේ ය.
Pali BJT1249. තස්ස පුත්තා ච දාරා ච යෙ චඤ්ඤෙ අනුජීවිනො, සබ්බෙ ව්යසනමාපාදුං අනොවාදකරෙ දිජෙ.
Sinhala BJT1249. අවවාද අනුව නො පිළිපන් යම් ඒ ගිජුළිහිණියෙක් වී ද, ඔහුගේ දූදරුවෝ ද භාර්‍ය්‍යාවෝ ද, සෙසු පිරිවර පිරිස ද යන හැමදෙනා ම ව්‍යසනයට පැමිණියාහ.
Pali BJT1250. එවම්පි ඉධ වද්ධානං{12} යො වාක්යං නාවබුජ්ඣති, අතීසීමචරො දිත්තො ගිජ්ඣොවාතීතසාසනො ස චෙ{13} ව්යසනං පප්පොති{14} අකත්වා වුද්ධසාසනන්ති.
Sinhala BJT1250. එසේ ම මෙලොව, යමෙක් වැඩිහිටියන්ගේ කීම වටහා නො ගනී ද, පමණ ඉක්මැ, හැසිරෙන්නේ ද, කියන ලද අවවාද ඇති, එහෙත් අනුශාසනා ඉක්මැ ගිය ගිජුළිහිණියා මෙන්, නුවණැති වැඩිහිටියන්ගේ අවවාද නො පිළිගන්නාහු වැනැසෙති.
Pali BJT1. ගිජ්ඣජාතකං.
Sinhala BJT1. ගිජ්ඣ ජාතක යි.
Pali BJT1251. පුථුසද්දො සමජනො න බාලො කොචි මඤ්ඤථ, සඞ්ඝස්මිං භිජ්ජමානස්මිං නාඤ්ඤං භිය්යො අමඤ්ඤරුං.
Sinhala BJT1251. පතළ ශබ්ද ඇති එහෙයින් ම සමාන වූ බහුතර ජන තෙමේ, කිසිවෙක් තමා අනුවණ යැ යි නො දත්තේ ය. සංඝ (සාමග්‍රිය) බිඳෙන කලැ, (තමන් නිසා) බිඳෙති යි යන අනිත් කාරණය ද බෙහෙවින් ම නො සිතූහ.
Pali BJT1252. පරිමුට්ඨා පණ්ඩිතාභාසා වාචා ගොචරභාණිනො, යාවිච්ඡන්ති මුඛායාමං යෙන නීතා න තං විදූ.
Sinhala BJT1252. සිහිය මඳ පණ්ඩිතාභාසය ඇත්තෝ (පණ්ඩිතමනීහු) කටට ආවක් කියන්නාහු වෙති. යම්තාක් කැමැති ද ඒතාක් මුව අයා සිට කියති. යම් විවාදයෙකින් මේ නිර්ලජ්ජී බවට පැමුණුණේ ද එය නො දත්හ.
Pali BJT1253. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ තං උපනය්හන්ති වෙරං තෙසං න සම්මති.
Sinhala BJT1253. මට ආක්‍රෝශ කෙළේ ය. මට පහර දුන්නේ ය, මා පැරැදැ වී ය, මා සතු දැය පැහැර ගත්තේ යැ යි (සිතමින්) යම් කෙනෙක් වෙර බඳිත් ද ඔවුන්ගේ වෛරය නො සන්හිඳේ.
Pali BJT1254. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ තං න උපනය්හන්ති{1} වෙරං තෙසූපසම්මති.
Sinhala BJT1254. යම් කෙනෙක් මට ආක්‍රෝශ කෙළේ ය, මට පහර දුන්නේ ය, මා පැරැදැවීය, මා සතු දැය පැහැර ගත්තේ යැ යි වෙර නො බඳිත් ද, ඔවුන්ගේ වෛරය සන්හිඳේ.
Pali BJT1255. නහි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං. අවෙරෙන ච සම්මන්ති එසධම්මො සනන්තනො.
Sinhala BJT1255. මෙලොව කිසිකලෙකත් වෛරයෙන් වෛරයෝ නො සන්හිඳෙති. අවෛරයෙන් (මෛත්‍රී කිරීමෙන්) වෛරයෝ සන්හිඳෙති. මෙය බුද්ධාදි උතුමන්ගේ පැරැණි දහමෙකි.
Pali BJT1256. පරෙ ච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ, යෙ ච තත්ථ විජානන්ති තතො තතො සම්මන්ති මෙධගා.
Sinhala BJT1256. මේ සඟමැද විවාද කරන මෝඩ වූ අපි මරුමුවට යම්හ යි නො දනිති. එහි යමෙක් අපි මරුමුවට යම්හ යි දනිත් ද එයින් විවාදයෝ සන්හිඳෙති.
Pali BJT1257. අට්ඨිච්ඡින්නා පාණහාරා ගවාස්ස ධනහාරිනො, රට්ඨං විලුම්පමානානං තෙසම්පි හොති සඞ්ගති කස්මා තුම්හාක නො සියා.
Sinhala BJT1257. ඇට සිඳුනා, දිවි තොර කරන, ගවයන් අසුන් රන් රුවන් ඈ වස්තුව පැහැරැ ගන්නා රට කොල්ලකන රජුන්ගේ ද එකතුව වෙයි. කුමක් හෙයින් තොප සමගි නො වන්නේ ද?
Pali BJT1258. සචෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධු විහාරි ධීරං, අභිභුය්ය සබ්බානි පරිස්සයානි චරෙය්ය තෙනත්තමනො සතීමා.
Sinhala BJT1258. නුවණැති, එක්ව හැසිරෙන, මනා පැවැත්ම ඇති, ධෛර්‍ය්‍යය සම්පන්න වූ කලණ මිතුරකු ලබන්නේ නම්, හැම උවදුරු මැඩැ සතුටු සිතැති වැ සිහිය ඇති වැ ඔහු හා හැසිරෙන්නේ ය.
Pali BJT1259. නො චෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධු විහාරි ධීරං, රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ මාතඞ්ගරඤ්ඤෙව නාගො.
Sinhala BJT1259. නුවණැති, එක්ව හැසිරෙන, මනා පැවැත්ම ඇති. ධෛර්‍ය්‍යය සම්පන්න කල්‍යාණ මිත්‍රයකු නො ලදොත් දිනූ රට හැර පියා වල් වන් (මහාජනක) රජු මෙන් ද, (රක්‍ෂිත වනයෙහි හුදෙකලා වූ) ඇත් රජු මෙන් ද, හුදෙකලා ව හැසිරෙන්නේ ය.
Pali BJT1260. එකස්ස චරිතං සෙය්යො නත්ථි බාලෙ සහායතා, එකො චරෙ නව පාපානි කයිරා අප්පොස්සුක්කො මාතඞ්ගරඤ්ඤෙව නාගොති.
Sinhala BJT1260. හුදෙකලා ව විසුම ශ්‍රේෂ්ඨ වේ. අනුවණයන් හා මිතුරු බවෙක් නැත. වනයෙහි තනි ව හැසිරෙන (පාරිලෙයක) ඇත්රජු මෙන් (පිරිස් පරිහරණයෙහි) උත්සාහ නැති ව හුදෙකලා ව හැසිරෙන්නේ ය. පාපක්‍රියා නොකරන්නේ ය.
Pali BJT2. කොසම්බජාතකං.
Sinhala BJT2. කෝසම්බික ජාතක යි.
Pali BJT1261. දුමො යදා හොති ඵලූපපන්නො භුඤ්ජන්ති තං විහගා{1} සම්පතන්තා, ඛීණන්ති ඤත්වාන දුමං ඵලච්චයෙ දිසොදිසං යන්ති තතො විහඞ්ගමා.
Sinhala BJT1261. යම් කලෙක ගස පලින් යුක්ත ද, (එ කලැ) පක්‍ෂීහු අත්තෙන් අත්තට යන්නාහු පල බුදිති. පල අවසන් කලැ, ගස ඵල රහිත යැ යි දැන, පක්‍ෂීහු එතැනින් වෙනත් දිසා කරා යති.
Pali BJT1262. චර චාරිකං ලොහිතතුණ්ඩ මාචරි කිං ත්වං සුව සුක්ඛදුමම්හි ඣායසි, තදිඞ්ඝ මං බ්රූහි{2} වසන්තසන්නිභ කස්මා සුව සුක්ඛදුමං න රිඤ්චසි.
Sinhala BJT1262. ලේපැහැති තුඩක් ඇති පක්‍ෂිය, චාරිකා කරන්නෙහි. “ගිරවාණෙනි, ඔබ වියැලීගිය මේ ගසේ සිට කුමක් සිතවු දැ”යි කියන්නැ. වසන්ත සමයෙහි කැලෑරොදෙක පැහැයට සමාන ගිරවාණෙනි, කවර හෙයින් මේ වියැලීගිය ගස අත් නො හරිවු ද?
Pali BJT1263. යෙ වෙ සඛීනං සඛාරො භවන්ති පාණච්චයෙ{3} සුඛදුක්ඛෙසු හංස, ඛීණං අඛීණන්ති න තං ජහන්ති, සන්තො සතං ධම්මමනුස්සරන්තා.
Sinhala BJT1263. එම්බා හංසය, යහළුවනට යම් යහළු කෙනෙක් වෙත් ද, ඔව්හු ජීවිත විනාශයෙහි ද දුකසැප දෙක්හි ද වස්තුව පිරිහිණැ යි හෝ නො පිරිහිණැ යි කියා ද සත්පුරුෂයෝ සත්පුරුෂ ධර්‍මය සිහි කරන්නාහු සිය මිතුරන් නො හරිති.