8. මෝහය තෙම අවැඩ ඇති කරන්නේ ය. මෝහය තෙම සිත ප්‍රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ මෝහය තෙම බියට හේතු යැ යි අන්‍ධබාල ජන තෙමේ නො දනී.
9. මෝහයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්‍ත්‍ථපරාර්‍ත්‍ථාදි) අර්‍ත්‍ථය නො දනී. මුළාවූ පුද්ගල තෙමේ (දශකුශලකර්‍මපථ) ධර්‍මය නො දනී. යම් කලෙක මෝහය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්‍ධකාරය වෙයි.
10. යමෙක් මෝහය නසා මුළා විය යුතු දැයෙහි මුළා නො වේ ද, ඒ පුද්ගල තෙමේ උඩට නැගෙන්නාවූ (පායන්නාවූ) හිරු අඳුර (නසන්නාක්) මෙන් සියලු මෝහය චතුර්‍ත්‍ථමාර්‍ගයෙන් නසයි.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 4. 10.
[දේවදත්ත සූත්‍රය]
89. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, අසත්පුරුෂ ධර්‍ම තුණෙකික් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නොකළ හැක්කේ වෙයි. කවර තුණෙකින් ද යත්:
මහණෙනි, ලාමක ඊප්සාවෙන් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳ ගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නො කළ හැක්කේ වෙයි: මහණෙනි, පාපමිත්‍රභාවයෙන් මඩනා ලද්දාවූ හාත්පසින් වැළද ගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නොකළ හැක්කේ වෙයි. මහණෙනි, ධ්‍යානාභිඥාවන්ගෙන් මත්තෙහි කළ යුතු මාර්‍ගඵලාධිගමයන් ඇති කල්හිත් ස්වල්පමාත්‍ර වූ උතුරුමිනිස් දහම් ලැබීමෙන් අතරතුර (නොකළ කිස ඇතියේ ම) කළ කිස ඇතියෙමි යි හඟනේ හේ නිශ්චයට පැමිණියේ ය.
මහණෙනි, මේ අසත්පුරුෂ ධර්‍මතුණෙන් මඩනා ලද්දාවූ හාත්පසින් වැළඳ ගන්නා ලද්දාවූ දේවදත්ත තෙමේ අපායෙහි උපන්නේ වෙයි. නරකයෙහි උපන්නේ වෙයි. අතුරු කපක් එහි සිටින්නේ වෙයි. පිළියම් නො කළ හැක්කේ වෙයි.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මේ ලෝකයෙහි කිසි පුද්ගලයෙක් ඒකාන්තයෙන් ලාමක ආශා ඇත්තේ නොවේවා. පාපේච්ඡපුද්ගලයන්ගේ යම් බඳු ගතියෙක් වේ ද, එය මේ (දේවදත්තයා පිළිබඳ) කාරණයෙන් ද දනිවු.
3. දේවදත්ත යැ යි ප්‍රකට පුද්ගල තෙමේ පණ්ඩිත යැ යි ප්‍රසිද්ධ වූයේ ධ්‍යානාභිඥාවන්ගෙන් වඩන ලද සිත් ඇත්තේ යැ යි සම්භාවනා කරණ ලද්දේ කීර්තියෙන් දිලියෙමින් මෙන් සිටියේ ය.
4. හෙ තෙම (මම් මහණ ගොයුම් හා සමයෙමියි සිතමින්) තමා ප්‍රමාණ කෙළේ ඒ තථාගතයන් වහන්සේ වෙහෙසා දොරටු සතරක් ඇත්තා වූ භයජනක වූ අවීචිමහානරකයට පැමිණියේ ය.
5. යමෙක් වනාහි පව් නොකරන්නා වූ අදූෂිත සිත් ඇත්තහුට ද්‍රෝහ කරන්නේ වේ ද, ඒ පාපකර්‍මය තෙම සිත් ඇති ආදර රහිත වූ ඒ පුද්ගලයා ම ස්පර්‍ශ කරයි. (ඔහු කරා ම විපාක වශයෙන් පැමිණෙයි)
6. යමෙක් තෙමේ විෂ කළයකින් මහමුහුද දූෂණය කරන්නට සිතන්නේ ද, හෙ තෙම එයින් (මුහුද) දූෂණය නොකරන්නේ ය. යම් හෙයකින් මුහුද විශාල ද එහෙයිනි.
7. එ පරිද්දෙන් ම යමෙක් තෙම ශාන්ත සිත් ඇති තථාගතයන් වහන්සේට දොස් නැඟීමෙන් වෙහෙසන්නට තැත් කරන්නේ ද, ඔහු නඟන දෝෂය උන්වහන්සේ කෙරෙහි නො නැඟෙයි.
8. යම් කෙනෙකුන් වහන්සේගේ ප්‍රතිපත්තිමාර්‍ගය අනුව ගියාවූ මහණ තෙම සංසාරදුඃඛයාගේ ක්‍ෂයට පැමිණෙන්නේ ද, නුවණැත්තේ එබඳු තැනැත්තකු තම මිතුරා කැරැ ගන්නේ ය. එබඳු තැනැත්තකු ම සේවනය කරන්නේ ය.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
සිවු වන වගයි.
එහි උද්දානය:
විතක්ක, සක්කාර, දේවසද්ද, දෙවාවචන, (පුබ්බනිමිත්ත), තථාගතලෝකුප්පත්ති (බහුජනහිත), අසුභානුපස්සී, ධම්මානුධම්මපටිපන්න, අන්‍ධකරණ, මල, දේවදත්ත සූත්‍රය යි ඔහු දසදෙනෙකි.
පඤ්චම වර්‍ගය
3. 5. 1.
[අග්‍රප්‍රසාද සූත්‍රය]
90. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ අග්‍ර වූ (ශ්‍රේෂ්ඨ වූ) ප්‍රසාදයෝ (පැහැදීම්) තුන් දෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිවුපා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ රූපය ඇත්තා වූ හෝ රූපය නැත්තා වූ හෝ සංඥා ඇත්තා වූ හෝ සංඥා නැත්තා වූ හෝ නෛවසංඥීනාසංඥී වූ හෝ යම් පමණ සත්ත්‍වයෝ වෙත් ද, ඔවුන් අතුරෙන් මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුරජ තෙමේ අග්‍රයැ යි (ශ්‍රේෂ්ඨ යැ යි) කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුනාහු නම් ඔවුහු අග්‍ර වූ (බුද්ධරත්නයෙහි) පැහැදුනාවූ වෙත්. අග්‍ර වූ බුද්ධරත්නයෙහි පැහැදුනවුන්ට අග්‍ර (ශ්‍රේෂ්ඨ) වූ විපාකය වෙයි.
මහණෙනි, හේතුප්‍රත්‍යයෙන් නිපන්නාවූ හෝ හේතුප්‍රත්‍යයෙන් නොනිපන්නාවූ හෝ යම් පමණ ස්වභාවධර්‍මයෝ වෙත් නම්, ඔවුන් අතුරෙන් යම් මේ (මානාමදාදි) සියලු මද මර්දනය කරන්නාවූ (කාමාදි) පිපාසයන් පහ කරන්නාවූ (කාමාදි) ආලයයන් සහමුලින් නසන, (කම්වට කෙලෙස්වට විවාවට යන) සංසාරවෘත්තයන් සිඳින්නාවූ, තෘෂ්ණාක්‍ෂය කරන්නාවූ, රාගය දුරු කරන්නාවූ, කෙලෙස් නිරුද්ධ කරන්නාවූ නිර්‍වාණයක් වේ ද, (ඒ ධර්‍මය) ශ්‍රේෂ්ඨ යැ යි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් විරාගධර්‍මයෙහි (නිවණෙහි) පැහැදුනාහු නම් (ඔවුහු) අග්‍ර වූ ධර්‍මරත්නයෙහි පැහැදුනාහු වෙත්. අගතන්හි පැහැදුනවුන්ට වනාහි අග්‍ර වූ විපාකය වෙයි.
මහණෙනි, සඞ්ඝ වූ හෝ ගණ වූ හෝ යම් පමණ (ජනසමූහයක්) ඇද්ද ඔවුන් අතුරෙන් යම් මේ පුරිසයුගල වශයෙන් සතරක් වූ පුද්ගල වශයෙන් අට දෙනෙක් වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ශ්‍රේෂ්ඨ යැ යි කියනු ලැබේ. ඒ භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ දුරින් ගෙණවුත් දිය යුත්ත පිළිගැණීමට සුදුසු වේ. ආගන්තුදානය පිළිගැණීමට සුදුසු වේ. පරලොව අදහා දිය යුත්ත පිළිගැණීමට සුදුසු වේ. දොහොත් මුදුන්හි තබා නමස්කාර කිරීමට සුදුසු වේ. ලොවැස්සාගේ උතුම් වූ පින්කෙත ද වේ. මහණෙනි, යම් කෙනෙක් (මෙබඳු) සඞ්ඝයා කෙරෙහි පැහැදුනාහු නම් ඔවුහු අග්‍ර (සඞ්ඝරත්නයෙහි) පැහැදුනාහු වෙත්. අගතන්හි පැහැදුනවුනට අග්‍ර වූ විපාකය වෙයි.
මහණෙනි, මොවුහු වනාහි අග්‍රප්‍රසාදයෝ තිදෙන වෙත්.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “ඒකාන්තයෙන් (රත්නත්‍රවිෂයයෙහි) අග්‍ර වශයෙන් පැහැදුනාවූ උත්තම ගුණස්වභාවය දන්නාවුන්ට ද දක්‍ෂිණාර්‍හ වූ නිරුත්තර අග්‍ර බුදුන් කෙරෙහි පැහැදුනවුනට ද, (අග්‍ර විපාකය වේ.)
3. සියලු කෙලෙසුන්ගේ නොඇලීමට හා සංසිඳීමට හේතු වූ, සැප ඇත්තා වූ අග්‍ර වූ ධර්‍මය කෙරෙහි පැහැදුනවුන්ට ද, උසස් පින් කෙතක් වූ අග්‍ර සඞ්ඝරත්නය කෙරෙහි පැහැදුනවුන්ට ද, (අග්‍ර විපාකය වේ.)
4. අග්‍ර වූ රත්නත්‍රය විෂයයෙහි දන් දෙන්නවුන්ට අග්‍ර වූ පින් වැඩේ. අග්‍ර වූ ආයුෂය ද, ශරීර වර්‍ණය ද, පිරිවර සම්පත ද, කීර්තිය ද, (කායිකචෛතසික) සුවය ද, කායබල හා ඥානබලය ද වැඩෙන්නේ ය.
5. අග්‍ර වූ රත්නත්‍රයට (අග්‍ර වූ දේයධර්‍මය) දෙන්නා වූ නුවණැති පුරුෂ තෙම අග්‍රප්‍රසාදධර්‍මයෙන් හා අග්‍රදානධර්‍මයෙන් යුක්ත වූයේ, දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අග්‍ර බවට පැමිණ සතුටු වෙයි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 2.
[ජීවිකා සූත්‍රය]
91. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් මේ පිඬු සිඟීමෙන් ජීවත්වීමෙක් වේ ද, මේ ජීවිතය ජීවිතයන් අතුරෙන් ලාමක ය. මහණෙනි, “කබලක් ගත් ඇති ව පිඬු සෙවීම ඇසුරු කරන්නෙක් ව හැසිරෙහි” යනු ලෝකයෙහි මේ ආක්‍රෝශ කිරීමෙක් වේ. මහණෙනි, ඒ (මෙබඳු) ආක්‍රෝශ ඇති, පිඬු සිඟීමෙන් කරණ ජීවිකාවට අර්‍ත්‍ථවශික (කාරණයට වසඟ) වූ කුලපුත්‍රයෝ කරුණක් නිසා එළඹෙත්. (ඔවුහු) රජුන් විසින් එළවන ලද්දාහු නො වෙත්. සොරුන් විසින් නෙරපන ලද්දාහු නො වෙත්. නය දී ගත නොහැකිව පෙළුනාහු ද නො වෙත්. බියෙන් පෙළුනාහු ද නො වෙත්. ජීවිකාව ස්වභාව කොට ඇත්තාහු ද නො වෙත්. යළිදු, ඉපදීමෙන් ද, ජරාවෙන් ද, මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීමෙන් ද, දුකින් ද, දොම්නසින් ද, දැඩි වෙහෙසින් ද, ගැවැසී ගත්තෝ වමු. දුකිට බැස ගත්තෝ වමු. දුකින් පෙළන ලද්දෝ වමු. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පැණේ නම් නම් ඉතා යෙහෙක කියා යි.
මහණෙනි, මෙසේ පැවිදි වූ ද ඒ කුලපුත්‍ර තෙමේ අධික ලෝභී වූයේ වස්තුකාම ක්ලේශකාමයන්හි තියුණු ආශාව ඇත්තේ, විපරීත සිත් ඇත්තේ, දූෂිත සිත් ඇත්තේ, මුළා සිහි ඇත්තේ, සම්‍යක්ප්‍රඥා රහිත වූයේ, එකඟ නොවූ සිත් ඇත්තේ, විශේෂයෙන් තැති ගත් සිත් ඇත්තේ, ප්‍රකෘති ඉඳුරන් ඇත්තේ (අසංවර වූයේ) වේ ද,
මහණෙනි, යම්සේ දෙපසින් ගිනි ඇවිළ ගත්තාවූ, මැද අසූචි තැවරුණු සොහොන් පෙණෙල්ලක් ගමෙහි (කැණිමඬුලු ආදී) දැවකිස සිදු නො කෙරේ ද, වනයෙහිත් (ඛෙත්තකුටිපාදාදි) දැවකිසක් සිදු නො කෙරේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එසේ (සොහොන් පෙණෙල්ලට) උපමා කොට කියමි. (හෙතෙම) ගිහිසැපතින් පිරිහුනේ අර්‍හත්ත්‍වඵල සඞ්ඛ්‍යාත ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද, සම්පූර්‍ණ නොකෙරේ යැ යි.
භාග්‍යවත්හු මේ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “ගිහීන් විසින් පරිභෝග කටයුතු කාම සැපතින් ද පිරිහුනා වූ, අර්‍හත්ත්‍වඵලසඞ්ඛ්‍යාත ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද සම්පූර්‍ණ නොකරන්නාවූ නිඃශ්‍රික (කාලකණ්ණි) පුද්ගල තෙමේ දෙපසින් ම පරිබාහිර වූයේ (ශීලාදි ගුණවිශේෂයන්) ඉක්මෙයි. සොහොන් පෙණෙල්ලක් මෙන් (ශීලාදි ගුණනාශයෙන්) නැසෙයි.
3. කහවත් ගෙල ලාගත් පවිටු ගති ඇති කායවාක් සංයමයක් (හොඳ හැසුරුමක්) නැති පවිටු පුද්ගලයෝ බොහෝ වෙත්. ඔහු තමන් කළ පව් හේතුවෙන් නරකයෙහි උපදිත්.
4. ඉදින් සංවර රහිත වූ දුසිල් මහණ තෙමේ රට වැසියා විසින් දෙන ලද යම් ආහාරයක් වළඳන්නේ නම් (එයට වඩා) රත් වූ ගිනිසිළක් හා සමාන වූ ලෝ ගුළියක් අනුභව කෙළේ නම් උතුමි”.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙකරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 3.
[සඞ්ඝාටිකර්‍ණ සූත්‍රය]
92. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ඉදින් යම් මහණෙක් (මාගේ) සඟළ සිවුරු කොණ අල්ලා ගෙණ (මාගේ) පියවරෙහි පියවර තබමින් පසුපසින් ලුහුබඳනේ වේ ද, හෙ තෙමේත් අධික ලෝභී වූයේ, පස්කම් සැපයෙහි තියුණු ඇලුම් ඇත්තේ, විපරීත සිත් ඇත්තේ, දූෂිත චිත්තසංකල්පනා ඇත්තේ, මුළා සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥා නැත්තේ, එකඟ වූ සිත් නැත්තේ, විශේෂයෙන් තැති ගත් සිත් ඇත්තේ, පියෙවි ඉඳුරන් ඇත්තේ, (ඉන්‍ද්‍රියසංවර නැත්තේ) වේ ද, එසේ ඇති කල්හි ඒ මහණ තෙම මට දුරෙහි වේ. මම ද ඔහුට දුරෙහි වෙමි. එයට හේතු කිම යත්: මහණෙනි, ඒ මහණ තෙම නව ලොවුතුරාදහම් නො දකී. ධර්‍මය නොදක්නේ මා නොදක්නේ ය. (එහෙයිනි).
මහණෙනි, යම් ඒ මහණෙක් තෙමේ යොදුන් සියක් දුර වාසය කරන්නේ නමුදු හෙ තෙමේත් අධික ලෝභී නොවූයේ, පස්කම්හි තියුණු ආශා නැත්තේ, විපරීත සිත් නැත්තේ, දූෂිත චිත්තසංකල්පනා නැත්තේ, එළැඹ සිටි සිහි ඇත්තේ වේ ද, එසේ ඇති කල්හි ඒ මහණ තෙම මාගේ සමීපයෙහි වේ. මම ඔහු සමීපයෙහි වෙමි. එයට හේතු කිම යත්: මහණෙනි, ඒ මහණ තෙමේ නව ලොවුතුරා දහම් දකී. දහම් දක්නේ මා ද දකී (එහෙයිනි).
මේ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “මහත් ආශා ඇත්තා වූ (කැමැති දෑ නොලැබීමෙන්) දුක් ඇත්තා වූ, තෘෂ්ණාව අනුව යන්නාවූ (කෙලෙස් මැඩීමෙන්) නො නිවියාවූ, (රූපාදි විෂයයන්හි) ගිජු වූ (යම් මහණෙක්) මා ලුහුබඳින්නේ නමුදු, හේ තෘෂ්ණා රහිත වූ, කෙලෙස් නිවියා වූ, පහ කල ගිජුබව් ඇති (සම්බුදු රදුන්ගෙන්) යම් තාක් දුරෙහි වේ ද, (එය) බලව.
3. ඒ නුවණැති මහණ තෙම සිවුසස් දහම් දැන, ඒ දහම් මඟනුවණින් දැන, තෘෂ්ණාරහිත වූයේ, වාතය නොහමන තැනෙක දියවිලක් නොසැලෙන්නා සේ (ක්ලේශචලනය නොමැති ව) සංසිඳෙයි.
4. ඒ මහණ තෙමේ තෘෂ්ණාරහිත වූයේ (කෙලෙස් මැඩීමෙන්) නිවියේ, (රූපාදි විෂයයන්හි) ගිජු නො වූයේ, තෘෂ්ණාරහිත වූයේ, පිරිනිවියා වූ වීතගේධ වූ බුදුරජුනට යම් තාක් සමීපයෙහි වේ ද, (එය) බලව.”
මෙ කරුණ ද භාග්‍යවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 4.
[අග්නි සූත්‍රය]
93. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ ගිනි තුණෙකි. කවර තුණෙක් ද යත්: රාග නැමැති ගින්න, ද්වේෂ නැමැති ගින්න, මෝහ නැමැති ගින්න, යන මේ යි. මහණෙනි, මේ ගිනි තුණ යැ යි.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “රාගාග්නි තෙම රාගයෙන් රත් වූ කාමයන්හි මුළා වූ මිනිසුන් දවයි. ද්වේෂාග්නි තෙම ව්‍යාපාද වශයෙන් පෙරැළුණු සිත් ඇති, ප්‍රාණඝාතය කරණ මිනිසුන් දවයි.
3. මෝහාග්නි තෙම ආර්‍ය්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ වූ වෙසෙසින් මුළා වූ මිනිසුන් (දවයි.) සත්කායයෙහි (ස්කන්‍ධ පංචකයෙහි) ඇලුනාවු ඒ සත්ත්‍වයෝ මේ රාගාදි අග්නීන් නොදන්නාහු වෙත්.
4. ඒ මාරබන්‍ධනයෙන් නොමිදුනාවූ (ඔහු) නිරය ද, තිරච්ඡානයෝනිය ද, අසුරනිකාය ද, ප්‍රේතවිෂයය ද, (එහි ඉපදීම් වශයෙන්) වඩන්නෝ වෙත්.
5. යම් කෙනෙක් රෑ දාවල් දෙක්හි සම්‍යක් සම්බුද්ධශාසනයෙහි (භාවනා වශයෙන්) යෙදුනාහු වෙත් ද, නිතර අශුභ සංඥා ඇති ඔහු රාගාග්නිය නිවත්.
6. ඒ නරෝත්තමයෝ මෛත්‍රීභාවනායෙන් ද්වේෂාග්නිය ද, යම් මේ කෙලෙස් කඳු විඳින ප්‍රඥාවෙක් වේ නම් ඒ ප්‍රඥායෙන් මොහාග්නිය ද නිවත්.
7. ප්‍රඥායෙන් යුක්ත වූ රෑ දාවල් දෙක්හි නොමැලි වූ (ඔහු) රාගාදි ගිනි නිවා (අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන්) පිරිනිවෙත්. සියලු සසර දුක් ඉක්මෙත්.
8. ආර්‍ය්‍ය වූ (නිර්‍වාණය) දුටුවාවූ වේද සංඛ්‍යාත මාර්‍ගඥානයෙන් (සසර කෙළවරට) ගියා වූ නුවණැති ඔහු (ස්කන්‍ධාදිය) මොනොවට දැන නිර්‍වාණාවබෝධය කොට නැවැත ඉපැදීමට නො පැමිණෙත්.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 5.
[උපපරීක්‍ෂා සූත්‍රය]
94. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් යම් අයුරෙකින් හණ (සංස්කාරධර්‍මයන්) විමංසනය කරත් ම ඔහුගේ විදසුන් සිත (රූපාදි) බාහිර අරමුණු විෂයයෙහි නො විසුරුණේ නොපැතුරුණේ වේ ද, අධ්‍යාත්මයෙහි (කමටහන් අරමුණෙහි) (හැකිළීම් වශයෙන්) නොපිහිටියේ දැඩි වශයෙන් නොගෙණ (එහෙයින් ම) ත්‍රස්ත නොවන්නේ ද, ඒ ඒ අයුරින් භික්‍ෂු තෙම විමසන්නේ ය. මහණෙනි, සිත බාහිර අරමුණෙහි නොවිසුරුණු කල්හි, නොපැතුරුණු කල්හි, අධ්‍යාත්මයෙහි නොපිහිටිකල්හි (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්) නොගෙණ (එහෙයින් ම) ත්‍රස්ත නොවන්නාවූ මහණහට මතු ජාතිජරාමරණ දුක්ඛයන්ගේ සම්භවයෙක් නො වේ යැ යි.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “තෘෂ්ණාදි සත්වැදෑරුම් සඞ්ග (ක්ලේශ) යන් ප්‍රහීණ කළ, භවනෙත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාව සිඳ දැමූ භික්‍ෂූහු පිළිබඳ උත්පත්තිසංසාරය ක්‍ෂීණ වූයේ වෙයි. (එහෙයින්) ඔහුට පුනර්‍භවයෙක් නැත්තේ ය.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 6.
[කාමෝපපත්ති සූත්‍රය]
95. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, කාමලාභයෝ (නොහොත්) කාමසේවනයෝ මේ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: නිබද්ධකාම ලාභය ද, නිම්මානරති කාම ලාභය ද, පරනිම්මිතවසවත්ති කාමලාභය ද යන තිදෙන වෙති.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පරනිම්මිත වසවත්ති නම් වූ යම් දෙවි කෙනෙක් වෙත් ද, නිම්මානරතී නම් වූ දෙවි කෙනෙක් වෙත් ද, නිබද්ධකාමලාභී වූ සෙසු කාමභොගීහු වෙත් ද,
3. (ඔහු) මේ අත්බව හා උත්පත්තිභව සඞ්ඛ්‍යාත මතු අතින් අත්බව ද යන දෙවැදෑරුම් සසර නො ඉක්මෙත්. නුවණැති පුද්ගල තෙමේ මෙම ආදීනවය දැන කාමභෝග විෂයයෙහි දිව්‍යමය වූ ද මානුෂක වූ ද යම් කාමයෝ වෙත් නම්, ඒ සියලු කාමයන් දුරු කරන්නේ ය.
4. (යම් ආර්‍ය්‍ය කෙනෙක්) ප්‍රියරූප සුඛාදියෙහි ගිජු වූ, ඉක්මීමට දුෂ්කර වූ තෘෂ්ණා ස්‍රොතස (රහත්මග නුවණින්) සිඳ දමා නිරවශේෂ ව පිරිනිවෙත් ද, නිරවශේෂ කොට (සසරදුක්) ඉක්මෙත් ද,
5. නිර්‍වාණය දුටුවාවූ, වේද සංඛ්‍යාත මාර්‍ගඥානයෙන් (සසර කෙළවරට) ගියා වූ නුවණැති ඔහු (ස්කන්‍ධාදිය) මොනොවට දැන, නිර්‍වාණාවබෝධය කොට නැවැත ඉපදීමට නො පැමිණෙත්.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 7.
[කාමයෝග සූත්‍රය]
96. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, පඤ්චකාමගුණික රාග සඞ්ඛ්‍යාත කාමයොගයෙන් යුක්ත වූ ද, රූපාරූපභවයන්හි ඡන්‍දරාගසඞ්ඛ්‍යාත භවයොගයෙන් යුක්ත වූ ද පුද්ගල තෙමේ මේ මිනිසත් බවට (පිළිසිඳ ගැණීම් වශයෙන්) එන්නේ අගාමී වෙයි.
මහණෙනි, කාමයොගයෙන් වෙන් වූ භවයොගයෙන් යුක්ත වූ ද පුද්ගල තෙමේ මේ මිනිසත් බවට නොඑන්නේ අනාගාමී වෙයි.
මහණෙනි, කාමයොගයෙන් වෙන් වූ ද, භවයොගයෙන් වෙන් වූ ද පුද්ගල තෙමේ රහත් වූ ක්‍ෂීණාස්‍රවයෙක් වෙයි.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “කාමයොගයෙන් ද භවයොගයෙන් ද යන දෙපරිද්දෙන් ම යුක්ත වූ සත්ත්‍වයෝ ජාතිමරණගාමීහු වූවෝ සසර සරත්.
3. යම් කෙනෙක් කාමයන් පහ කොට, ආස්‍රවක්‍ෂයට නොපැමිණ භවයොගයෙන් යුක්ත වූවාහු ද (ඔහු) අනාගාමීහු යි කියනු ලැබෙත්.
4. යම් කෙනෙක් මුලුසුන් කරණ ලද සැක ඇත්තාහු ක්‍ෂය කරණ ලද (නවවිධ) මානය හා පුනර්‍භවය ඇත්තාහු ද, යමෙකුත් ආස්‍රවක්‍ෂයට පැමිණියාහු ද, (ඔහු) ඒකාන්තයෙන් ලොව්හි පරතෙරට ගියෝ නම් වෙත්.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
තුන්වන බණවරයි.