Itivuttaka

Thus It Was Said

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 1095 segments

පෙන්වන කොටස් 701-800 න් 1095

3. 4. 1.
[විතර්‍ක සූත්‍රය]
80. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ අකුශල විතර්‍කයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් යත්: මෙරමාගෙන් අවඥා ලබනු නොකැමැති බව හා එක්ව යෙදුනු විතර්‍කය, ලාබ සත්කාර කීර්ති යන මොවුන් අරමුණු කිරීම් වශයෙන් ඇසුරු කළ විතර්‍කය, පරානුකම්පා ස්වරූප ගෙහසිතප්‍රේමය හා එක් ව යෙදුනු විතර්‍කය යන තිදෙන යි. මහණෙනි, මේ තිදෙනා අකුශල විතර්‍කයෝ වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “අනුන් විසින් තමහට අවඥා කිරීම නො කැමැත්තෙන් යුක්ත වූ, ලාභ සත්කාරයන් ගරු කොට ගන්නා වූ රාජාමාත්‍යාදීන් හා අනනුලෝමික ගෘහීසංසර්‍ගයෙන් සතුටු වන (පුඟුල් තෙම) සංයෝජනක්‍ෂය කෙරෙන් (හෙවත් රහත්බව කෙරෙන්) දුරෙහි වේ.
3. යමෙක් වනාහි අඹුදරුවන් හා සිවුපාවන් ද ආවාහවිවාහයන් ද පරිජනසඞ්ග්‍රයන් ද හැර දමා (සිටියේ) ද එබඳු වූ ඒ මහණ තෙමේ උතුම් සම්බෝධිය ස්පර්‍ශ කරන්නට (රහත්බවට පැමිණීමට) සුදුසු ය.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
[සත්කාර සූත්‍රය]
81. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සත්කාර හේතුවෙන් මඩනා ලද, ක්‍ෂයට පැමිණැ වූ කුසල් සිත් ඇති, ශරීර භේදයෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයෙහි උපන්නාවූ සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, අසත්කාර හේතුවෙන් මඩනා ලද, ක්‍ෂයට පැමිණැවූ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, සත්කාර හේතුවෙන් ද අසත්කාර හේතුවෙන් ද යන ඒ දෙකින් ම මඩනා ලද ක්‍ෂේපිත කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ.
මහණෙනි, ඒ කාරණය වූ කලී මම් අන් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ අතින් අසා නො කියමි. වැළි මා විසින් යමක් ස්වයංඥාත ද (තමා විසින් දක්නා ලද ද) ස්වයංදෘෂ්ටද (තමා විසින් දක්නා ලද ද) ස්වයං විදිත ද (තමා විසින් ප්‍රකට කොට දන්නා ලද ද) එය ම මම් කියමි:
‘මහණෙනි, සත්කාර හේතුවෙන් මඩනා ල, ක්‍ෂයයට පැමිණැ වූ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති, විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, අසත්කාර හේතුවෙන් මඩනා ලද, ක්‍ෂේපිත කුසල් සිතැති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ, නපුරු ගති ඇති, විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. මහණෙනි, සත්කාර හේතුවෙන් ද අසත්කාර හේතුවෙන් ද යන එ දෙකින් ම මඩනා ලද, ක්‍ෂේපිත කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ, නපුරු ගති ඇති, විවස ව පතිත වන නරකයට පැමිණි සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ’ යනු යි.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සත්කාර කරණු ලබන්නාවූ ද, අසත්කාරයෙන් නොතකා හරිනු ලබන්නා වූ ද අප්‍රමාද විහරණ ඇති යම් රහතකුගේ චිත්ත සමාධිය ඒ සත්කාර අසත්කාර දෙකින් ම නොසැලේ ද,
3. ධ්‍යාන කරණ සුලුවූ, සතතයෙන් පැවැති වීර්‍ය්‍ය ඇති, පලසමවත්හි සියුම් ප්‍රඥාවෙන් නිතර පැවැති විදසුන් ඇති, චතුරූපාදානයන්ගේ ක්‍ෂයය (අවසානය) වූ රහත්පලය ආරාම කොටැති උන්වහන්සේ සත්පුරුෂයා යැ යි කියත්.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් මෙසේ අසන ලදී.
3. 4. 3.
[දේවශබ්ද සූත්‍රය]
82. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, දෙවියන් අතරැ මේ දිව්‍යශබ්දයෝ තිදෙනෙක් කලින් කල ඔවුනොවුන්ගේ කථාසංලාප වශයෙන් පවතිත්. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ පෙරව ගිහිගෙන් නික්මැ සසුන් වදනා පිණිස සිතා ද, එකලැ “මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම මරහු සමග යුද පිණිස සිතා යැ”යි දෙවියන් අතරැ දිව්‍යශබ්දයෙක් පවතියි. මහණෙනි, කලින් කල දෙවියන් අතරැ මේ පළමු වන දිව්‍යමය ප්‍රීතිරාවය පවතී.
තවද මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙම (කොටස් වශයෙන්) සතක් වූ බෝධිපාක්‍ෂික ධර්‍මයන් පිළිබඳ භාවනායෙහි යෙදුනේ වාසය කෙරේ ද, මහණෙනි, එ කලැ “මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම මරහු හා යුද කෙරේ යැ”යි දෙවියන් අතරැ දිව්‍යමය ප්‍රීතිශබ්දයෙක් පවතී. මහණෙනි, කලින් කලැ දෙවියන් අතරැ මේ දෙවෙනි දිව්‍යශබ්දය පවතී.
තවද මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙම ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රව රහිත වු අර්‍හත්ත්‍වඵලසමාධිය හා ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරේ ද, මහණෙනි, එකලැ “මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිනූ යුද ඇත්තේ එ ම සංග්‍රාමශීර්‍ෂය දිනා වෙසේ යැ”යි දෙවියන් අතර දිව්‍යමය ශබ්දයෙක් පවතියි. මහණෙනි, කලින් කලැ දෙවියන් අතරැ මේ තෙවෙනි දිව්‍යශබ්දය පවතී.
මහණෙනි, කලින් කලැ දෙවියන් අතරැ මේ දිව්‍යශබ්දයෝ තිදෙන පවත්නාහ.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “දිනන ලද සංග්‍රාම ඇති ශීලාදි ගුණමහත්ත්‍වයෙන් මහත් වූ, පහ වූ බිය ඇති සම්‍යක්සම්බුද්ධශ්‍රාවකයා දැක දෙවියෝ ද මෙසේ නමස්කාර කෙරෙත්.
3. යම් බඳු නුබ වහන්සේ අන්‍යයන් විසින් වළකා ලිය නොහැක්කා වු මරසෙනඟ ආර්‍ය්‍යමාර්‍ගයෙන් දිනා, දිනීමට දුෂ්කර වූ මරසෙනග මැඩලූ සේක් ද, පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ නුබ වහන්සේට නමස්කාර වේවා.
4. උක්තප්‍රකාරයෙන් පැමිණි අර්‍හත්ත්‍වය ඇති මේ ක්‍ෂීණාස්‍රවයාට දේවතාවෝ නමස්කාර කෙරෙත්. යම් හෙයෙකින් හෙතෙම මරහු වසයට පැමිණිය හෙන්නේ ද, ඒ පුරුෂෝත්තමයා පිළිබඳ එබඳු කාරණයක් දෙවියෝ නො දනිත්.”
භාග්‍යවතුන් වහන්සේ විසින්මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 4. 4.
[පූර්‍වනිමිත්ත සූත්‍රය]
83. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් කලෙක දෙවියෙක් දෙව්ලොවින් චුතවන ස්වභාව ඇත්තේ (එළැඹ සිටි මරණය ඇත්තේ) වේ ද, ඔහුට පෙරනිමිති පසෙක් පහළ වෙයි. එනම්: පැළැඳි මල් මැලැවෙයි. හැඳි වත් කිලිටි වෙයි. කිසිලි වලින් දහඩිය වැගිරෙයි. සිරුරෙහි දුර්වර්‍ණ බව ඇති වෙයි. ඒ දෙවි තෙම ස්වකීය දිව්‍යාසනයෙහි නො ඇලෙයි. (යන මේ පස යි.)
මහණෙනි, දෙවියෝ “මේ දෙව්පුත් තෙම එළඹ සිටි මරණය ඇත්තේ යැ”යි මෙසේ දැන වචන තුණෙකින් ඒ දෙව්පුත් අස්වසත්: “පින්වත, මේ දෙව්ලොවින් චුත ව සුගතියට යව. සුගතියට ගොස් මනාගොට ලැබූ ලාභය ලබව. සුලද්ධලාභය ලැබ සුප්පතිට්ඨිත වව” (යන මේ තුන් වචනයෙනි).
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, දෙවියන්ගේ සුගතිගමනය යි කියන ලද්දේ කුමක් ද? ස්වාමීනි, දෙවියන්ගේ සුලද්ධලාභය නම් කිමෙක් ද? ස්වාමීනි, දෙවියන්ගේ මනාකොට පිහිටීම යැ යි කියන ලද්දේ කුමක් දැ? යි” මෙ බස් කීය.
මහණ, “මිනිසත්බව වනාහි දෙවියන්ගේ සුගතිගමනයැ යි කියන ලදී. මිනිසෙක් වූයේ ම බුදුන් විසින් වදාළ ධර්‍මවිනයෙහි යම් සැදැහැයෙක් ලබා ද, මහණෙනි, මෙය වනාහි දෙවියන්ගේ සුලද්ධලාභ ය යි කියන ලදී. එම සැදැහැය වූ කලී මොහුගේ සිත තුළට පිවිසියේ හටගත් මුල් ඇත්තේ පිහිටියේ ස්ථිර වූයේ, ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලෝකයෙහි අන් කිසිවකු විසින් හෝ ඉවත ලිය නොහැක්කේ වෙයි. මහණෙනි, මේ වනාහි දෙවියන්ගේ සුප්පට්ඨිත”යැ යි වදාරණ ලදී.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “දෙවියෙක් තෙම ආයු ගෙවී යෑමෙන් යම් කලෙක දෙව්ලොවින් චුත වේ ද, එකල ඔහු අස්වසන දෙවියන්ගේ ශබ්දයෝ තිදෙනෙක් නික්මෙත්:
3. ‘පින්වත, මේ දෙව්ලොවින් චුතව මනුෂ්‍යයන්ගේ සහභාවය වූ සුගතියට යව. මිනිස් වූයේ සද්ධර්‍මයෙහි නිරුත්තර වූ ශ්‍රද්ධාව ලබව.
4. මොනොවට ප්‍රකාශ කරණ ලද සද්ධර්‍මයෙහි නුඹගේ ඒ සැදැහැය සිතට ඇතුළු වූයේ හටගත් මුල් ඇත්තේ පිහිටියේ, දිවි ඇතිතෙක් කිසිවෙකු විසිනුත් බැහැර ලිය නොහැකි ද වෙයි.
5. කායදුශ්චරිතය ද වාග්දුශ්චරිතය ද මනෝදුශ්චරිතය ද හැරලා දෝෂසංහිත වූ වෙනත් අකුසල් ද හැරලා,
6. කයින් අප්‍රමාණ වූ උපධිරහිත වූ නොහොත් නිර්‍මල වූ කුසල් කොට වචනයෙන් බොහෝ කුසල් කොට සිතින් කුසල් කොට,
7. ඉක්බිති දානයෙන් උපධිසම්පත් ඇති කරන්නා වූ ඒ ඒ පින් බහුල වශයෙන් කොට අන්‍ය වූ ද මිනිසුන් ධර්‍මයෙහි ද බඹසරෙහි ද පිහිටු වව.’
8. දෙවියෝ යම් කලෙක චුතවන්නාවූ දෙවියකු දකිත් නම් එකලැ මෙම අනුකම්පාවෙන් කියන ලද පරිදි දුක් පහකරණු කැමැත්තෙන් ‘දෙවිය’ නැවැත නැවැත මෙහි එව”යි සතුටු කරවත්”.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 4. 5.
[බහුජනහිත සූත්‍රය]
84. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනෙක් ලොවැ උපදනාහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදිත්. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ (අෂ්ට) විද්‍යා (පසළොස්) චරණධර්‍මයන්ගෙන් යුක්ත වූ (සුන්‍දරස්ථානයට පැමිණි හෙයින්) සුගත වූ ලෝකයන් දන්නා සුලු වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුන්ගේ ශාස්තෘ වූ චතුස්සත්‍යාවබෝධය කළා වූ භාග්‍යවත් වූ තථාගත තෙමේ මේ ලෝකයෙහි උපදී. උන්වහන්සේ මුල යහපත් කොට මැද යහපත් කොට අග යහපත් කොට අර්‍ත්‍ථයෙන් යුක්ත කොට ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු වූ ධර්‍මයක් දේශනා කරණ සේක. මහණෙනි, මේ පළමුවන පුද්ගල තෙමේ ලොවැ උපදිනුයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.
තව ද, මහණෙනි, ඒ ශාස්තෲන් වහන්සේගේ ම ශ්‍රාවක තෙමේ ක්‍ෂය කරණලද ආස්‍රව ඇත්තේ, වැස නිමවූ මගබඹසර ඇත්තේ, කොට නිමවන ලද සිවුමග කිස ඇත්තේ, බහා තබනලද කෙලෙස්බර ඇත්තේ, පැමිණි අර්‍හත්‍වය ඇත්තේ, ප්‍රහීණ වූ භවසංයෝජන ඇත්තේ, මනා කොට විශිෂ්ටඥානයෙන් දැන මිදුනේ රහත් වේ ද, හෙ තෙමේ ද මුල යහපත් කොට මැද යහපත් කොට අග යහපත් කොට අර්‍ත්‍ථයෙන් යුක්ත කොට ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු වූ ධර්‍මයක් දේශනා කරණ සේක. මහණෙනි, මේ දෙවෙනි පුද්ගල තෙමේ ලොවැ උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.
තව ද මහණෙනි, ඒ ශාස්තෲන් වහන්සේගේ ම ශ්‍රාවක තෙමේ ශෛක්‍ෂප්‍රතිපත්ති ඇත්තේ බහුශ්‍රුත වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරාදි ශීලයෙන් හා ආරඤ්ඤිකාදි ධූතාඞ්ගයන්ගෙන් යුක්ත වූයේ ශෛක්‍ෂ පුද්ගලයෙක් වේ ද, හෙ තෙමේත් මුල යහපත් කොට මැද යහපත් කොට අග යහපත් කොට අර්‍ත්‍ථයෙන් යුක්ත කොට ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත කොට සියල්ලෙන් සම්පූර්‍ණ කොට පිරිසිදු වූ ධර්‍මයක් දේශනා කරයි. මහණෙනි, මේ තෙවෙනි පුද්ගල තෙමේ ලොවැ උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ලෝකයෙහි මහර්ෂි වූ ශාස්තෲන් වහන්සේ (ප්‍රථම පුද්ගලයා යි) උන්වහන්සේගේ අනුජාත වූ වඩනා ලද ශීල සමාධි ප්‍රඥා ඇති ශ්‍රාවකයා රහත් පුගුලා (දෙවෙනි පුද්ගලයා) යි. නැවත අන්‍ය වු නොනිමි පිළිවෙත් කිස ඇති බහුශ්‍රුත වූ ශීලයෙන් හා ධූතාඞ්ගයන්ගෙන් යුක්ත වූ ශෛක්‍ෂපුද්ගල තෙමේ (තෙවැන්නා) යි.
3. මේ තිදෙනා දෙවිමිනිසුන් අතරැ ශ්‍රේෂ්ඨයහ. ධර්‍මලෝකය කරණ හෙයින් ප්‍රභාකරයහ. සිවුසස් දම් දෙසන හෙයින් ධර්‍මදේශකයහ. ඔවුහු නිවන්දොර (ආර්‍ය්‍යමාර්‍ගය) විවෘත කරත්. කාමාදි චතුර්යෝගයෙන් බොහෝ ජනයා මුදත්.
4. යම් කෙනෙක් තුමූ නිරුත්තර වූ සාර්‍ත්‍ථවාහකයාණන් (බුදුරදුන්) විසින් මොනොවට දෙසන ලද ආර්‍ය්‍යමාර්‍ගය අනුව යෙත් ද, යම් කෙනෙක් තුමූ බුදුසසුන්හි අප්‍රමාද වූවාහු ද (ඔවුහු) මේ අත්බව්හි ම දුක් කෙළවර කරත්.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 4. 6.
[අශුභානුදර්ශි සූත්‍රය]
85. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, කයෙහි අශුභාකාරය අනුව දක්නෝ ව වසවු. ආනාපානසතිය ද තොපගේ ගෝචරාධ්‍යාත්මයට අභිමුඛ කොට මොනොවට එළැඹ සිටියේ වේවා. සියලු සංස්කාරයන්හි අනිස්ලකුණ අනුව දක්නා සුලු වැ වසවු. මහණෙනි, කයෙහි අශුභය අනුව දක්නා සුලු වැ වසන්නහුට ශුභ අරමුණෙහි යම් කාමරාගානුශයයෙක් වේ නම් එය ප්‍රහීණ වෙයි. ගෝචරාධ්‍යාත්මයට අභිමුඛ ව (ආධ්‍යාත්ම අරමුණට යොමු වැ) ආනාපානසතිය මොනොවට එළැඹැ සිටි කල්හි දුඃඛපක්‍ෂයෙහි වූ යම් බාහිර විතර්‍කාශය (අප්‍රහීණ වූ ආශයානුගත වූ කාමවිතර්‍කාදි) කෙනෙක් වෙත් නම්, ඔහු නො වෙත්. සියලු සංස්කාරයන්හි අනිස් ලකුණ අනුව දක්නා සුලු ව වසන්නවුන්හට යම් අවිද්‍යාවෙක් වේ ද, එය පහ වෙයි. යම් විද්‍යාවෙක් (රහත්මඟනුවණෙක්) වේ ද, එය උපදී.
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “කයෙහි අශුභය අනුව දක්නා සුලු වූ, ආනාපානනිමිත්තෙහි එළැඹැ සිටි සිහි ඇති, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම (නිවණ) දක්නා, හැම කල්හි අසුභානුපස්සනාදීන්හි යුක්තප්‍රයුක්ත (වෑයම් කරන්නා) වූ,
3. දුක් ඈ විසින් දහමුත් ඇති සැටියෙන් දක්නා ඒ මහණ තෙම ඒකාන්තයෙන් ඒ නිවන් අරමුණෙහි රහත්පල විමුක්තියෙන් ඒකාන්තයෙන් මිදෙයි. (ආස්‍රවක්‍ෂයකරඥාන සඞ්ඛ්‍යාත) අභිඥායෙන් අවසන් කළ (සත්‍යප්‍රතිවේධය සම්බන්‍ධ) කෘත්‍ය ඇති, ඒ මුනි තෙමේ ඒකාන්තයෙන් (කාමයොගාදි සියලු) යෝගයන් ඉක්මවූයේ වේ.”
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
3. 4. 7.
[ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සූත්‍රය]
86. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. ධර්‍මානුධර්‍මප්‍රතිපන්න (නව ලොවුතුරා දහම් ලබනු සඳහා පූර්‍වභාග ප්‍රතිපත්තිධර්‍මය පිළිපන්) මහණහට මේ තෙමේ ධර්‍මානුධර්‍මප්‍රතිපන්නයැ යි කියනුවට{1} මේ යෝග්‍ය වූ ස්වභාවයෙක් වෙයි. හෙ තෙම කියනුයේ දශ කථාවස්තුධර්‍මය ම කියයි. (මහිච්ඡතාදිය වඩා ලන) අධර්‍ම කථාවක් නො කියයි. කල්පනා කරණුයේ ද (නෙක්ඛම්මවිතක්කාදි) ධර්‍මවිතර්‍කයක් ම කල්පනා කෙරෙයි. (කාමවිතර්‍කාදි) අධර්‍මවිතර්‍කයක් කල්පනා නො කෙරෙයි. ඒ දෙක ම හැර එහි උපේක්‍ෂක වැ වෙසේ නම්, (කමටහන් වඩනුයේ) සිහි ඇති වැ නුවණ ඇති ව වෙසෙයි.
මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ධර්‍මය ආරාම කොට ඇති (ශමථවිදර්‍ශනා වැඩීමෙහි ලැගුනු) ධර්‍මයෙහි ඇලුනු, ඒ ධර්‍මය ම පුනපුනා සිතන, එය මතුමත්තෙහිත් වැඩීම් විසින් අනුස්මරණය කරණ මහණ තෙමේ (සත්තිස් බෝපැකිදහම් ද නවලොවුතුරා දහම් ද යන) සදහම් කෙරෙන් නො පිරිහේ.
3. ඒ මහණ තෙම යන්නේ හෝ සිටිනුයේ හෝ හුන්නේ හෝ නැතහොත් වැදැ හෝනේ හෝ ආධ්‍යාත්මයෙහි (හෙවත් ආධ්‍යාත්මාලම්බනයෙහි) කෙලෙස් සංසිඳුවීම් විසින් සිත සංසිඳුවනුයේ අත්‍යන්තශාන්තිය ම (නිවණ ම) ලබයි.”
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
3. 4. 8.
[අන්‍ධකරණ සූත්‍රය]
87. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, (යථාභූත දර්‍ශනය වැළැක්වීමෙන්) අන්‍ධයකු කරන්නාවූ නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ මේ අකුශල විතර්‍කයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, අන්‍ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ කාමප්‍රතිසංයුක්ත විතර්‍කය; මහණෙනි, අන්‍ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ ව්‍යාපාදප්‍රතිසංයුක්ත විතර්‍කය; අන්‍ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ විහිංසාප්‍රතිසංයුක්ත විතර්‍කය යන මේ තිදෙනා ය.
මහණෙනි, මේ අන්‍ධයකු කරන්නාවූ, නුවණැස නැති කරන්නා වූ, අඥානයකු කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ නිරෝධය කරන්නාවූ, දුඃඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස නොපවත්නාවූ මේ තුන් අකුශල විතර්‍කයෝ වෙති.
මහණෙනි, මේ අන්‍ධයකු නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ මේ කුශලවිතර්‍කයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, අන්‍ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ, නෙක්ඛම්මපටිසංයුක්ත විතර්‍කය; අන්‍ධ නොකරන්නා වූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ අව්‍යාපාද විතර්‍කය; අන්‍ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ ත්‍රිවිධප්‍රඥාවන්ගේ වැඩීම කරන්නා වූ, සුඛපක්‍ෂයෙහි වූ, (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ අවිහිංසා විතර්‍කය යන මේ තිදෙනා ය.
මහණෙනි, මේ අන්‍ධ නොකරන්නාවූ, නුවණැස ඇති කරන්නාවූ, දැනීම කරන්නාවූ, ත්‍රිවිධ ප්‍රඥාවන්ගේ වැඩීම කරන්නාවූ, සුඛපක්‍ෂයෙහි වූ (කෙලෙස්) නිවනු පිණිස පවත්නාවූ මේ තුන් කුශල විතර්‍කයෝ වෙත්.
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ත්‍රිවිධ කුශල විතර්‍කයන් මෙනෙහි කරන්නේ ය. ත්‍රිවිධ අකුශල විතර්‍කයන් බැහැර කරන්නේ ය. වැසි දිය පොළොවෙහි හාත්පසින් නැගුනාවූ දුවිල්ල සංසිඳුවන්නා සේ ඒ යෝගාවචර තෙමේ ඒකාන්තයෙන් මිථ්‍යාවිතර්‍කයන් ද ඒ හා යෙදුනු විචාරයන් ද සංසිඳුවයි. හෙ තෙම විතර්‍කයන් සංසිඳුවන්නාවූ ආර්‍ය්‍යමාර්‍ග චිත්තයෙන් ඉහාත්මයෙහි ම නිවණට මැනැවින් පැමිණියේ වෙයි.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 4. 9.
[අන්තරාමල සූත්‍රය]
88. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සිතෙහි හටගත් මලයෝ (කෙලෙස්) වූ සිතෙහි උපන් අමිත්‍රයෝ වූ සිතෙහි හටගත් සතුරෝ වූ සිතෙහි හටගත් වධකයෝ වූ සිතෙහි උපන් පසමිතුරෝ වූ මේ ධර්‍මයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්:
මහණෙනි, ලෝභය තෙම සිතෙහි හටගත් මලයෙකි. (කිලුටෙකි). සිතෙහි උපන් අමිත්‍රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි. මහණෙනි, ද්වේෂය තෙම සිතෙහි හටගත් කිලුටෙකි. සිතෙහි උපන් අමිත්‍රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි. මහණෙනි, මෝහය තෙම සිතෙහි හටගත් කිලුටෙකි. සිතෙහි උපන් අමිත්‍රයෙකි. සිතෙහි උපන් සතුරෙකි. සිතෙහි උපන් වධකයෙකි. සිතෙහි උපන් පසමිතුරෙකි.
මහණෙනි, මේ තිදෙනා සිතෙහි හටගත් මලයෝ, සිතෙහි උපන් අමිත්‍රයෝ, සිතෙහි උපන් සතුරෝ, සිතෙහි උපන් වධකයෝ, සිතෙහි උපන් පසමිතුරෝ වෙත්.
භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ලෝභය තෙම අවැඩ ඇති කරන්නේ ය. ලෝභය තෙම සිත ප්‍රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ ලෝභය තෙම බියට හේතු යැයි අන්‍ධබාල ජන තෙමේ නො දනී.
3. ලෝභයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්‍ත්‍ථපරාර්‍ත්‍ථාදි) අර්‍ත්‍ථය නො දනී. ලුබ්ධ පුද්ගල තෙමේ (දශකුශලකර්‍මපථ) ධර්‍මය නො දනී. යම් කලෙක ලෝභය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්‍ධකාරය වෙයි.
4. යමෙක් තෙමේ ලෝභය නසා ලෝභයට කරුණු වන දැයෙහි ලෝභ නො කෙරේ ද, පොකුරුපතින් ජල බින්‍දුව මෙන් ඒ (ආර්‍ය්‍ය) පුද්ගලයා කෙරෙන් ලෝභය (ආර්‍ය්‍යමාර්‍ගයෙන්) ප්‍රහීණ වෙයි.
5. ද්වේෂය තෙම අවැඩ ඇති කරන්නේ ය. ද්වේෂය තෙම සිත ප්‍රකුපිත කරන්නේ ය. තමාගේ සිත තුළ උපන්නාවූ ඒ ද්වේෂය තෙම බියට හේතු යැයි අන්‍ධබාල ජන තෙමේ නො දනී.
6. ද්වේෂයෙන් මඩනා ලද පුද්ගල තෙමේ (ස්වාර්‍ත්‍ථපරාර්‍ත්‍ථාදි) අර්‍ත්‍ථය නො දනී. ද්විෂ්ට පුද්ගල තෙමේ (දශකුශලකර්‍මපථ) ධර්‍මය නො දනී. යම් කලෙක ද්වේෂය තෙම මිනිසකු මැඩ පවත්වා ද, එ කල්හි ඕහට මහා ඝනාන්‍ධකාරය වෙයි.
7. යමෙක් ද්වේෂය නසා ද්වේෂයට කරුණු වන දැයෙහි ද්වේෂ නො කෙරේ ද, තල්ගෙඩිය නටුවෙන් (ගිලිහෙන්නාක්) මෙන් ඒ පුද්ගලයා කෙරෙන් ද්වේෂය (තෘතීයමාර්‍ගඥානය ඉපදීමෙන්) ප්‍රහීණ වෙයි.