මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 2. 2.
[සම්‍යග්දෘෂ්ටි කර්‍මසමාදාන සූත්‍රය]
71. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, කායසුචරිතයෙන් යුක්ත වූ වාක්සුචරිතයෙන් යුක්ත වූ මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා නොකරණ, සම්‍යග්දෘෂ්ටිකවූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනාගති ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියෝ වෙති.
මහණෙනි, එ කරුණ මම අන් මහණ බමුණකුගෙන් අසා නො ම කියමි.
මහණෙනි, කායසුචරිතයෙන් වාක්සුචරිතයෙන් මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා නොකරණ, සම්‍යග්දෘෂ්ටික වූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි ලෙස ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියාහු වෙති.
යලිදු මහණෙනි, යමක් තමා ම (නුවණින්) අවබෝධ කරණ ලද ද, තමා ම දක්නා ලද ද, තමා විසින් ම දන්නා ලද ද එය ම මම කියමි.
මහණෙනි, කාය වාග් මනඃසුචරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට බොරුවෙන් චෝදනා නොකරණ සම්‍යග්දෘෂ්ටික වූ සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් දැඩි ලෙස ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන්නාහු යැ යි.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මෙ ලොව පුඟුල් තෙම සිත මනා ලෙස පිහිටුවා යහපත් වචන කථා කොට කයින් හොඳ වැඩ කොට,
3. මේ මිනිස් ලොව ජීවත් වන සුළු කාලය තුළ ඇසූ පිරූ තැන් ඇති කුසල් කරණ, නුවණැති ඒ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) පැමිණේ.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 3.
[නිඃශරණිය සූත්‍රය]
72. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, නිශ්ශරණ (නික්මීම) ප්‍රතිසංයුක්ත වූ ධර්‍මයෝ තිදෙනෙත් වෙත්. කවර තිදෙනෙක් ද යත්: යම් මේ ප්‍රථමද්ධ්‍යානයෙක් වේ ද, මෙය කාමයන්ගේ නිඃශ්ශරණය යි (හෙවත් නික්මීම යි) යම් මේ අරූපාවචර ධ්‍යානයෙක් වේ ද, මෙය රූපයන්ගේ නිශ්ශරණය යි. (හේතු ප්‍රත්‍යයයෙන්) හටගත් එයින් ම රැස් කරණ ලද හේතු ප්‍රත්‍යයයෙන් උපන් යම් කිසිවක්, වේ ද, ඒ ධර්‍මයාගේ නිශ්ශරණය (පහවීම) නිරෝධය ය (නිවණ ය.) මහණෙනි, මේ නිශ්ශරණීය ස්වභාවයෝ තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “හැම කල්හි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති, කාමනිශ්ශරණය ද, රූපයන්ගේ අතික්‍රමය ද (අතික්‍රමොපායය ද) දැන සියලු සංස්කාරයන්ගේ සංසිඳීම (යැ යි කියන ලද නිර්‍වාණය) ස්පර්‍ශ කරන්නාවූ,
3. ඒ මහණ තෙම ඒකාන්තයෙන් සම්‍යග්දර්ශී නම් වෙයි. යම් හෙයකින් ඒ කාමයන්ගේ නිශ්ශරණයෙහි මිදේ ද (එ හෙයිනි.) විශිෂ්ට ඥානයෙන් දැන නිමවන ලද කෘත්‍ය ඇති ඒ රහත් මහණ තෙමේ කාමාදි චතුර්යොගයන් ඉක්මවූයේ නම් වෙයි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 4.
[ශාන්තතර සූත්‍රය]
73. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. මහණෙනි, අරූපාවචර ධර්‍මයෝ රූපාවචර ධර්‍මයනට වඩා ශාන්ත වෙත්. නිවණ අරූපාවචර ධර්‍මයනට වඩා ශාන්ත වෙයි.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “රූපභවයට උත්පත්ති වශයෙන් පැමිණි යම් සත්ත්‍ව කෙනෙක් වෙද්ද, අරූපභවයෙහි උපන් යම්, සත්ත්‍ව කෙනෙකුන් වෙද්ද, නිවණ නොදන්නාවූ (ඔවුහු) පුනරුත්පත්තියට (නැවත ඉපැත්මට) පැමිණෙන්නෝ වෙත්.
3. යම් සත්ත්‍ව කෙනෙක් රූපධර්‍මයන් පිරිසිඳ දැන අරූපධර්‍මයෙහි නො පිහිටියාහු, නිරෝධයෙහි (=නිර්‍වාණය අරමුණු කොට) කෙලෙසුන් කෙරෙන් මිදෙත් ද, ඒ ක්‍ෂීණාස්‍රවයෝ මරණය ඉක්මියෝ වෙත්.
4. ආස්‍රව රහිත වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ උපධිරහිත වූ නිර්‍වාණය (නාම) කයින් ස්පර්‍ශ කොට උපධීන්ගේ බැහැර ලීමේ කාරණය ප්‍රත්‍යක්‍ෂ කොට ශෝක රහිත වූ කෙලෙස් රජස් රහිත වූ නිර්‍වාණ පදය දෙසන සේක.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
3. 3. 5.
[පුත්‍ර සූත්‍රය]
74. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. මහණෙනි, මේ ලෝකයෙහි පුත්‍රයෝ තිදෙනෙක් ඇත්තාහු විද්‍යාමාන වන්නාහු වෙත්. කවර තිදෙනෙක් ද යත්: අතිජාතය ය, අනුජාතය ය, අවජාතය ය (යන තිදෙන යි.)
මහණෙනි, කෙසේ නම් පුත්‍ර තෙම අතිජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්‍රයකුගේ මව් පිය දෙදෙන බුදුන් සරණ නොගියාහු, දහම් සරණ නොගියාහු, සඟුන් සරණ නොගියාහු වෙත් ද, ප්‍රාණඝාතයෙන් නොවැළකුනාහු, නුදුන් දෙය ගැන්මෙන් නොවැළකුනාහු, කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළකුනාහු, බොරු කීමෙන් නොවැළකුනාහු, මදයට ප්‍රමාදයට කරුණු වු රහමෙර පානයෙන් නොවැළකුනාහු, සිල් නැත්තාහු, ලාමක ධර්‍ම ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ පුත්‍ර තෙම බුදුන් සරණ කොට ගියේ, දහම් සරණ කොට ගියේ, සඟුන් සරණ කොට ගියේ වේ ද, ප්‍රාණඝාතයෙන්, නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුනේ වේ ද, සිල්වත් වේ ද, යහපත් ධර්‍ම ඇත්තේ වේ ද, මහණෙනි, මෙබඳු වූ පුත්‍ර තෙම අතිජාත නම් වේ.
මහණෙනි, පුත්‍ර තෙම කෙසේ නම් අනුජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්‍රයකුගේ මව්පිය දෙදෙන බුදුන් සරණ කොට ගියාහු, දහම් සරණ කොට ගියාහු, සඟුන් සරණ කොට ගියාහු , ප්‍රාණඝාතයෙන් වැළකුනාහු, නුදුන් දෙය ගැන්මෙන් වැළකුනාහු, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනාහු, බොරු කීමෙන් වැළකුනාහු, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීමෙන් වැළකුනාහු, සිල්වත් වූවාහු, කලණ දහම් ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ පුත්‍ර තෙමේ ද බුදුන් දහම් සඟුන් සරණ කොට ගියේ වේ ද, ප්‍රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුනේ වේ ද, සිල්වත් වේ ද, යහපත් ධර්‍ම ඇත්තේ (සම්‍යග්දෘෂ්ටියෙන් යුක්ත) වේ ද, මහණෙනි, මෙබඳු වූ පුත්‍ර තෙම අනුජාත නම් වේ.
මහණෙනි, කෙසේ නම් පුත්‍ර තෙමේ අවජාත වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි (යම්) පුත්‍රයකුගේ මව් පිය දෙදෙන බුදුන් සරණ ගියාහු, දහම් සරණ ගියාහු, සඟුන් සරණ ගියාහු වෙත් ද, ප්‍රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුනාහු, සිල්වත් වූවාහු කලණදහම් ඇත්තාහු වෙත් ද, එහෙත් ඔවුන්ගේ පුත්‍ර තෙමේ බුදුන් සරණ දහම් සරණ සඟුන් සරණ නො ගියේ වේ ද, ප්‍රාණඝාතයෙන්, නුදුන් දැය ගැන්මෙන්, කාමයන්හි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් නොවැළැකුනේ වේ ද, සිල් නැත්තේ, ලාමකධර්‍ම (හීනාචාර) ඇත්තේ වේ ද, මහණෙනි, මෙසේ වනාහි පුත්‍ර තෙමේ අවජාත නම් වේ. මහණෙනි, මේ පුත්‍රයෝ තිදෙන ලෝකයෙහි ඇත්තාහු විද්‍යාමාන වන්නාහු වෙත් යි.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “නුවණැත්තෝ අතිජාත පුත්‍රයා ද, අනුජාත පුත්‍රයා ද කැමැති වෙත්. යම් පුත්‍රයෙක් කුලය වනසන්නේ වේ ද (ඒ) අවජාත පුත්‍රයා නො කැමැති වෙත්.
3. මොහු ම (මේ අතිජාතාදි තිදෙන) ලෝකයෙහි පුත්‍රයෝ නම් වෙති. යම් පුත්‍ර කෙනෙක් උපාසක වෙත් ද, ශ්‍රද්ධාවෙන් හා සීලයෙන් යුක්තයෝ (යාචකයන්ගේ) වදන් දන්නාහු, පහවූ මසුරුමල ඇත්තාහු වෙත් ද, (ඔවුහු ම) ඝන වලාකුළින් මිදුනු චන්‍ද්‍රයා මෙන් පිරිස් අතැරැ බබලත්.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 6.
[වෘෂ්ටි සූත්‍රය]
75. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙනෙක් ලෝකයෙහි ඇත්තාහ විද්‍යාමානයහ. කවර තිදෙනෙක් ද යත්: අවුට්ඨිකසම (නොවස්නා වැසිවලාවක් වැනි) පුද්ගලයා ද, ප්‍රදේශවර්ෂී (පෙදෙසකට වස්නා වලාවක් වැනි) පුද්ගලයා ද, සර්‍වත්‍රවර්ෂී (හැමතැන්හි වස්නා වලාවක් වැනි) පුද්ගලයා ද යන තිදෙන යි.
මහණෙනි, කෙසේ නම පුද්ගල තෙමේ අවුට්ඨිකසම වේ ද? මහණෙනි, මේ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන (වණිබ්බක) යදි යන මේ සියල්ලන්ට ම ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් සෙනසුන් වසන ප්‍රදීප උපකරණ (යන මේ කිසිවක්) නො දෙන්නේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ වනාහි අවුට්ඨිකසම වෙයි.
මහණෙනි, පුද්ගල තෙමේ කෙසේ නම් ප්‍රදේශවර්ෂී වේ ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන යදි යන මොවුන් අතුරෙන් ඇතැම් කෙනෙකුන්හට ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් සෙනසුන් ආවාස ප්‍රදීපෝපකරණ යන මේ දෑ දෙන්නේ වේ ද, ඇතැම් කෙනකුන්හට නො දෙන්නේ වේ ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ ප්‍රදේශවර්ෂී නම් වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙමේ සර්‍වත්‍රවර්ෂී වේ ද? මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් මහණ බමුණු දුගී මගී පුලන යදි යන සියල්ලන්ට ම ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් සයනාසන ආවාස ප්‍රදීපෝපකරණ යන සියල්ල දෙයි ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ වනාහි සර්‍වත්‍රවර්ෂී නම් වේ. මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලොව්හි ඇත්තාහ. විද්‍යාමානයහ.
මෙසේ මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “(යම් පුද්ගලයෙක්) මහණ බමුණු දුගී මගී පුලනු යදි (යන මොවුන්) ලැබ ආහාරපානභෝජනයන් මනා කොට බෙදා නො දෙයි ද, (ඒ තද මසුරු) නිහීන පුද්ගලයා ඒකාන්තයෙන් අවුට්ඨිකසම (නොවස්නා වැසිවලාව වැනි) යයි (පණ්ඩිතයෝ) කියත්.
3. ඇතැම් කෙනකුන්හට නො දේ ද, ඇතැම් කෙනකුන්හට දේ ද, ඔහු ඒකාන්තයෙන් ප්‍රදේශවර්ෂී යයි නුවණැත්තෝ කියත්.
4. (සුලභ ආහාර ඇති බැවින්) සුභික්‍ෂ වචන ඇති, සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති, පුද්ගල තෙමේ තුටුපහටු සිත් ඇත්තේ (ප්‍රතිගාහක ක්‍ෂේත්‍රයෙහි) (දේයධර්‍මය) වගුරුවා ද, ‘දෙවු දෙවූ’ යැ යි කියා ද,
5. යම්සේ වනාහි මේඝය කුදු මහත් ගර්‍ජනා කොට වසී ද, ජලගැල්මෙන් උස්පහත් තැන් පුරවා ද,
6. එ පරිද්දෙන් මේ ලොව්හි එබඳුවූ ඇතැම් පුද්ගලයෙක් උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද ධනය දහමින් රැස් කොට ගෙණ තමා වෙත පැමිණි යාචකයන් සතප්වයි.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
3. 3. 7.
[සුඛප්‍රාර්‍ත්‍ථනා සූත්‍රය]
76. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැති පුරුෂ තෙමේ සිල් රක්නේ ය. කවර කරුණු තුණක් ද යත්: මට ප්‍රශංසාව ලැබේවා යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘මට වස්තූහු උපදිත්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. ‘කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදිම්වා’යි නුවණැත්තේ සිල් රක්නේ ය. මහණෙනි, සැපයට නිමිති වූ මේ කරුණු තුණ පතමින් නුවණැත්තේ සිල් රක්නේ ය.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “නුවණැත්තේ ප්‍රශංසාව ද, වස්තුලාභය ද, පරලොවැ ස්වර්‍ගයෙහි සතුටු වීම ද (යන) සැප තුණ පතමින් සිල් රක්නේ ය.
3. ඉදින් හේ පව් නො කරන්නේ නුමුදු පව් කරන්නකු සෙව්නේ නම්, (සෙස්සන් විසින්) හේ පාපයෙහි සැක කටයුත්තේ වෙයි. ඔහුට අගුණ ද නැගෙයි. (පැතිරේ.)
4. යමෙක් යම් බඳු පුද්ගලයෙකු මිත්‍රයකු කෙරේ ද, යමකුත් සෙව්නේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් එබඳු ම වේ. ඔහු හා සහවාසය ද එබඳු ම වේ.
5. (කලින් කල තමන්) සේවනය කරණ (පියෙවින් පිරිසිදු) පුද්ගලයෙකු සේවනය කරණ (පාප) පුද්ගල තෙමේ ( ඒ පිරිසිදු පුද්ගලයා විසින් සංසර්‍ගවශයෙන්) නිති පහස්නා ලද්දේ, (තෙමේ ද) අන්‍යයා (ඒ පිරිසිදු පුද්ගලයා එසේම) නිති පහස්නේ විෂ පොවන ලද හීය (විෂ නොපෙවූ සෙසු) හී සමූහය (විෂයෙන්) ආලිප්ත කරන්නාක් මෙන් ඒ පිරිසිදු පුද්ගලයා පාපයෙන් තවරයි. (එ හෙයින්) නුවණැත්තේ පවින් තැවැරෙණුවට බියෙන් පාපමිත්‍රයන් ඇත්තේ නොවන්නේ ය.
6. යම් පුරුෂයෙක් කුණු මස් කුස තණයෙන් වෙළා ද (ඔතා ද), ඒ කුසතෘණයෝ ද දුගඳ විහිදුවත්. බාලජන සේවනය මෙ බඳු ය.
7. යම් මිනිසෙක් තුවරලා නම් සුගන්‍ධ ද්‍රව්‍යය කොළයෙකින් වෙළා ද, ඒ කොළ ද සුවඳ විහිදුවයි. පණ්ඩිතජන සේවනය ද එබඳු ය.
8. එ හෙයින් නුවණැත්තේ පත්‍රපුටයාගේ (දුර්‍ගන්‍ධ-සුගන්‍ධභාවයෙන්) තමා පිළිබඳ (අසත්පුරුෂ-සත්පුරුෂ සංසර්‍ග) ඵලය දැන අසත්පුරුෂ සේවනය නො කරන්නේ ය. සත්පුරුෂයන්ම සේවනය කරන්නේ ය. අසත්පුරුෂයෝ නිරයට පමුණුවත්. සත්පුරුෂයෝ සුගතියට පමුණුවත්.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
3. 3. 8.
[භිදුර සූත්‍රය]
77. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ සිරුර බිඳෙන සුලු ය. විඤ්ඤාණය (ත්‍රෛභූමකකුශලාදි චිත්තය) නැසෙන සුලු ය. සියලු උපධීහු අනිත්‍යයහ. දුඃඛයහ පෙරළෙන ස්වභාව ඇත්තාහු ය.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සිරුර බිඳෙන සුලු ය යි ද, සිතත් බිඳෙන සුලු ය යි ද දැන උපධීන්හි බිය දැක ඉපදීම හා මරණය ඉක්මියේ ය. (රහත්වූයේ ය.) උතුම්වූ ශාන්තියට (නිර්‍වාණයට) පැමිණ භාවනා වශයෙන් වඩනා ලද අත්බව් (ශීලසමාධිප්‍රඥා) ඇත්තේ තමාගේ පරිනිර්‍වාණ කාලය බලාපොරොත්තු වෙයි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
3. 3. 9.
[ධාතුසංස්‍යන්‍දන සූත්‍රය]
78. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ධාතුවශයෙන් අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වෙත්. එක් සිත් ඇති ව සමාගමයට පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා එක් වෙත්. ඔවුනොවුන් භජනය කරත්. කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇත්තවුන් හා එක් වෙත්. භජනය කරත්.
මහණෙනි, ඉකුත් කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වූහ. සමාගමයට පැමිණියහ. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇත්තවුන් හා ද එක් වූහ. සමාගමයට පැමිණියහ.
මහණෙනි, මතු කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වන්නාහ. සමාගමයට පැමිණෙන්නාහ. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇති සත්ත්‍වයන් හා ද එක් වන්නාහ. සමාගමයට පැමිණෙන්නාහ.
මහණෙනි, මෙ කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වෙත්. සමාගමයට පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇති සත්ත්‍වයන් හා ද එක් වෙත්. සමාගමයට පැමිණෙත්.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “(සහවාසාදි වශයෙන්) සමායෝගයෙන් උපන් කෙලෙස් අසමායොගයෙන් (පාපසේවන ප්‍රතික්‍ෂෙපයෙන් ද සමුච්ඡේද විවේකයෙන් ද) ප්‍රහීණ වේ. දැවමුවා කුඩා පසුරක් නැග මහසයුරෙහි යනුයේ යම්සේ ගිලා බස්නේ ද,
3. එමෙන් ම කුසීත පුද්ගලයා හා සමාගමයට පැමිණීමෙන් ආජීවයෙන් හා ශීලයෙන් යහපත් වූ සාධුජීවී පුද්ගල තෙමේ ද සසර සයුරෙහි ගිලා බසී. එහෙයින් කුසීත වූ වීර්‍ය්‍ය නැති ඔහු දුරු කරන්නේ ය.
4. කායවිවේකාදියෙන් ප්‍රකර්‍ෂවිවේක ඇති, දුරු කරන ලද කෙලෙස් ඇති නිවණ කරා මෙහෙයූ සිත් ඇති, වඩන ලද ධ්‍යාන ඇති, සැම කල්හි පටන් ගත් වීර්‍ය්‍ය ඇති නුවණැත්තේ හා එක් වැ වසන්නේ ය.”
මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
3. 3. 10.
[පරිහාණ සූත්‍රය]
79. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ ධර්‍මයෝ තිදෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්. කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, මේ සසුන්හි සේඛ මහණ තෙමේ කර්‍මාන්තයන්හි ඇලුනේ, කර්‍මාන්තයන්හි නිරත වූයේ කර්‍මාන්තාභිරතියෙහි යෙදුනේ, කථායෙහි ඇලුනේ, කථා මාර්‍ගයෙහි නිරත වූයේ කථාභිරතියෙහි යෙදුනේ, නිදීමෙහි ඇලුනේ, නිදීමෙහි නිරත වූයේ, නිද්‍රාභිරතියෙහි යෙදුනේ වේ ද, මහණෙනි, මේ ධර්‍මයෝ තිදෙන ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්.
මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවත්නා මේ ධර්‍මයෝ තිදෙනෙක් වෙත්, කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, මේ සසුන්හි ශෛක්‍ෂ භික්‍ෂු තෙමේ කර්‍මාන්තයන්හි නො ඇලුනේ; කර්‍මාන්තයන්හි නිරත නො වූයේ, කර්‍මාන්තාභිරතියෙහි නො යෙදුනේ, කථායෙහි නො ඇලුනේ, කථායෙහි නිරත නො වූයේ, කථාභිරතියෙහි නො යෙදුනේ, නිදීමෙහි නො ඇලුනේ, නිදීමෙහි නිරත නො වූයේ, නිද්‍රාභිරතියෙහි නො යෙදුනේ වේ ද, මහණෙනි, මේ ධර්‍මයෝ තුන් දෙන ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස පවතිත්.
මෙසේ මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.
2. “කර්‍මාන්තයන්හි ඇලුනාවූ කථා මාර්‍ගයෙහි ඇලුනාවූ, නිද්‍රායෙහි ඇලුනාවූ, නොසංසුන් සිත් ඇති මෙ බඳු මහණ තෙම, උතුම් අර්‍හත්ත්‍වඵල සඞ්ඛ්‍යාත සම්‍යක් සම්බෝධිය ස්පර්‍ශ කරන්නට සුදුස්සෙක් නො වේ.
3. එහෙයින් අල්ප කෘත්‍ය ඇත්තෙක් ද, නිද්‍රා රහිතයෙක් ද, සංහුන් සිත් ඇත්තෙක් ද වන්නේ ය. එබඳු ඒ මහණ තෙමේ අර්‍හත්ත්‍වඵල සඞ්ඛ්‍යාත සම්‍යක් සම්බෝධිය ස්පර්‍ශ කරන්නට සුදුස්සෙක් වන්නේ ය.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
තුන්වැනි වර්‍ගය යි.
එහි උද්දානය:
දිට්ඨි දෙක, නිස්සරණ, රූප, අවුට්ඨික, සුඛ, භින්‍දන (භිදුර), ධාතුසංසන්‍දන, පරිහාණ සූත්‍රයැ යී ඔහු දස දෙනෙක.
සිවුවන වර්‍ගය