Itivuttaka

Thus It Was Said

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 1095 segments

පෙන්වන කොටස් 501-600 න් 1095

මේ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
පළමුවන වර්‍ගය යි.
එහි උද්දානය:
අකුසලමූලය, ධාතුය, වේදනා දෙක ය, ඒසනා දෙක ය, ආසව දෙක ය, තණ්හාය, මාරධෙය්‍ය යයි මේ උතුම් පළමු වන වර්‍ගය කීහු.
දුතිය වර්‍ගය
3. 2. 1.
[පුණ්‍යක්‍රියාවස්තු සූත්‍රය]
60. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ පුණ්‍යක්‍රියාවස්තූහු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: දාන, ශීල, භාවනා ය. මහණෙනි, මේ පුණ්‍යක්‍රියාවස්තූහු තිදෙනයහ.
මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “තමහට වැඩ කැමැති යම් කුලපුත්‍රයෙක් වේ නම් හේ මතු උතුම් සැප විපාක ඇති තුන් පින්කිරියවත්හි හික්මෙන්නේ ය. දානය ද, සම හැසිරීම ද, මෛත්‍රීසහගත සිත ද වඩන්නේ ය.
3. සැප අනුසස් ඇති මේ (කුශල) ධර්‍ම තුන වඩා නුවණැත්තේ නිදුක් වූ සැප ඇති බඹලොව උපදී.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
[චක්‍ෂුස් සූත්‍රය]
61. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය.
1. මහණෙනි, චක්‍ෂූස්හු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: මසැ ස, දිවැස, පැණැස ය. මහණෙනි, මේ චක්‍ෂූස්හු තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පුරුෂෝත්තම වූ බුදුරදහු මසැස දිවැස නිරුත්තර වූ පැණැස (යන) තෙ ඇස වදාළහ.
3. මසැසෙහි පැවැත්ම (ඉපැත්ම) දිවැසට කාරණ යි. යම් විටෙක නිරුත්තර ප්‍රඥාචක්‍ෂුස වූ ආස්‍රවක්‍ෂය ඥානය පහළ වී ද, ඒ ඇස ලැබීමෙන් සියලු දුකින් මිදේ.”
මෙ අරුත ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 3.
[ඉන්‍ද්‍රිය සූත්‍රය]
62. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය (සෝවාන් මග නුවණ), අඤ්ඤින්‍ද්‍රිය (සෝවාන් පෙලෙහි පටන් සතැනක පවත්නා නුවණ), අඤ්ඤාතාවින්‍ද්‍රිය (රහත්පල නුවණ) යි. මහණෙනි, මේ ඉන්‍ද්‍රියෝ තිදෙන වෙත්.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පිළිවෙළින් ආර්‍ය්‍ය මාර්‍ගය උපදවන්නා වූ, ත්‍රිවිධ ශික්‍ෂා වඩන්නා වූ සේඛපුද්ගලයාහට පළමු කොට රහත්මග නුවණ උපදී. ඉක්බිති එයට අනතුරුව ම රහත්පල නුවණ ලැබෙයි.
3. නොහොත් සමථවිදර්‍ශනා වශයෙන් පැවති පූර්‍වාභාග මාර්‍ගයට පිළිපන්නා වූ ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මෙන තාදී වූ සේඛපුද්ගලයාහට සෝතාපත්ති මාර්‍ගයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය පහළ වෙයි. එයට අනතුරුව අඤ්ඤින්‍ද්‍රිය උපදී. භවසඤ්ඤෝජනයන් ක්‍ෂය කිරීම නිසා මාගේ විමුක්තිය අකෝප්‍ය වේ යැ යි ඒ අඤ්ඤින්‍ද්‍රියට පසුව ප්‍රත්‍යවේක්‍ෂාඥානය උපදී.
4. (යථෝක්ත ත්‍රිවිධ) ඉන්‍ද්‍රියයෙන් සමන්‍විත වූ ශාන්ත වූ නිවණෙහි ඇලුනාවූ ඒ පුද්ගල තෙමේ සේනා සහිත මරු දිනා පශ්චිම දේහය දරයි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
[අධ්ව සූත්‍රය]
63. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ කාලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: අතීත කාලය, අනාගත කාලය, වර්‍තමාන කාලය යි. මහණෙනි, මේ කාලයෝ තිදෙන වෙත්.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සත්ත්‍වයෝ අක්ඛෙය්‍ය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයන්හි සත්ත්‍වපුද්ගලාදි සංඥා ඇත්තාහු පඤ්චස්කන්‍ධයෙහි පිහිටියාහු පඤ්චස්කන්‍ධය පිරිසිඳ නොදැන මරුවසයට පැමිණෙත්.
3. පඤ්චස්කන්‍ධය පිරිසිඳ දැන (තිස්ස ඵුස්ස යන ආදි නම් ගොත් වශයෙන්) කියයුත්තකු නොහඟී. (යම් හෙයකින්) විමෝක්‍ෂා සඞ්ඛ්‍යාත නිරුත්තර නිර්‍වාණපදය සිතින් ස්පර්‍ශ කරණ ලද ද, එහෙයිනි.
4. පඤ්චස්කන්‍ධය පිරිසිඳ දන්නා වූ ශාන්තවූ නිවණෙහි ඇලුනාවූ, ප්‍රත්‍යවේක්‍ෂා කොට සිවුපසය සෙවුනා සුලුවූ, අසේඛ ධර්‍මයන්හි නොහොත් නිර්‍වාණ ධර්‍මයෙහි පිහිටි චතුස්සත්‍යයෙහි පරතෙරට ගියා වූ ඒ පුද්ගල තෙමේ (දෙවි මිනිස් ආදී) සඞ්ඛ්‍යාවට නො පැමිණෙයි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 5.
[දුශ්චරිත සූත්‍රය]
64. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ දුශ්චරිතයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය යි. මහණෙනි, මේ දුශ්චරිතයෝ තිදෙන වෙත්.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) ද මෙසේ කියනු ලැබේ:
2. “ඒ දුෂ්ප්‍රාඥවූ පුද්ගල තෙමේ කායදුශ්චරිත ද, වාග්දුශ්චරිත ද, මනෝදුශ්චරිත ද කොට රාගාදි කෙලෙසුන් සහිත වෙනත් අකුසල් ද කොට -
3. කුශලකර්‍ම නොකොට බොහෝ අකුශලකර්‍ම කොට ශරීරයාගේ භේදයෙන් නරකයට පැමිණේ.”
මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
[සුචරිත සූත්‍රය]
65. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මේ සුචරිතයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායසුචරිතය, වාග්සුචරිතය, මනස්සුචරිතය යි. මහණෙනි, මේ සුචරිතයෝ තිදෙන වෙත්.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ද) මෙසේ කියනු ලැබේ:
2. “ඒ සප්‍රාඥ වූ පුද්ගල තෙමේ කායදුශ්චරිතය ද, වාග්දුශ්චරිතය ද, මනෝදුශ්චරිතය ද හැර රාගාදි කෙලෙසුන් සහිත වෙනත් අකුසල් ද හැර -
3. අකුශලකර්‍ම නොකොට බොහෝ කුසල් කොට ශරීරයාගේ භේදයෙන් ස්වර්‍ගයට ද පැමිණේ.”
මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 7.
[සෞචෙය සූත්‍රය]
66. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සුචි (පිරිසිදු) භාවයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායද්වාරයේ පිරිසිදු බව, වාග්ද්වාරයෙහි පිරිසිදු බව, මනෝද්වාරයේ පිරිසිදු බව ය. මහණෙනි, මේ පිරිසිදුබව් තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ආස්‍රව රහිත වූ කායසුචි, (කායසුචරිත) වාක්සුචි, මනස්සුචි යැ යි පිරිසිදුබව්හු තිදෙනෙකි. මේ පිරිසිදු බැවින් යුත් පිරිසිදු තැනැත්තහු සියලු පව් කිලිටු දුරැලන්නහු කොට ආර්‍ය්‍යෝ කියත්.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 2. 8.
[මෞනෙය සූත්‍රය]
67. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මුනිභාවයෝ හෙවත් රහත්හු පිළිබඳ සමාචාරයෝ මේ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: කායමෝනෙය්‍ය ය, වචීමොනෙය්‍ය ය, මනෝමෝනෙය්‍ය යි. මහණෙනි, මේ මොනෙය්‍යයෝ හෙවත් රහත්හු පිළිබඳ සමාචාරයෝ තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ද) මෙසේ කියනු ලැබේ:
2. “ආස්‍රව රහිත වූ කායමෝනෙය්‍ය ය, වචීමොනෙය්‍ය ය, මනෝමෝනෙය්‍යය යන මෞනෙයයෙන් (මුනිගුණයෙන්) සමන‍්‍විත ඒ මුනිහු සෝදාහළ පව් ඇත්තාහු කොට ආර්‍ය්‍යයෝ කියත්.”
මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
[ප්‍රථම රාග සූත්‍රය]
68. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් කිසිවකුගේ රාගය ප්‍රහීණ නොවී ද, ද්වේෂය ප්‍රහීණ නො වී ද, මෝහය ප්‍රහීණ නො වී ද, මහණෙනි, මේ තෙමේ කෙලෙස් මරු විසින් බඳනා ලද්දේ යැ යි මොහු විසින් මාරපාසය (සිත් සතන්හි) ලා ගන්නා ලද්දේ වන්නේ යැ යි පවිටු (මර) හු විසින් කැමැති පරිදි කළ හැක්කෙක් ද වේ යැ යි කියනු ලැබේ.
මහණෙනි, යම් කිසිවකුගේ රාගය ප්‍රහීණ වී ද, ද්වේෂය ප්‍රහීණ වී ද, මෝහය ප්‍රහීණ වී ද, මහණෙනි, මේ තෙමේ කෙලෙස් මරු විසින් නොබඳනා ලද්දේ ය. මොහු විසින් මාරපාසය ඉවත් කරණ ලද්දේ ය, පවිටු (මර) හු විසින් කැමැති පරිදි කළ හැක්කෙක් වේ යැ යි කියනු ලැබේ.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමකු විසින් රාගයත් ද්වේෂයත් මෝහයත් නිරුද්ධ කරණ ලද්දාහු ද, භාවිතාත්මයන් (රහතුන්) අතුරෙන් එක්තරා කෙනෙක් වූ, බ්‍රහ්මභූතවූ (ශ්‍රේෂ්ඨ රහත් ඵලයට පැමිණි), තථාගත (අන් රහතුන් සේ පිළිපන්නා) වූ, බුදු වු (සිවුසස් පිළිවිදි) වෛරය ද භය ද ඉක්මැවූ ඒ පුද්ගලයා සියල්ල දුරු කළ කෙනෙකුන් කොට (බුද්ධාදි) ආර්‍ය්‍යයෝ කියත්.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදී.
3. 2. 10.
[දෙවෙනි රාග සූත්‍රය]
69. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ රාගය ප්‍රහීණ නොවී ද, ද්වේෂය ප්‍රහීණ නො වී ද, මෝහය ප්‍රහීණ නො වී ද, මහණෙනි, මෙ තෙමේ (කෝධුපායාස සඞ්ඛ්‍යාත) ලොකු කුඩා රළ සහිත වූ (පස්කම් නමැති) දියසුළි සහිත වූ (මස්කැසුබු දියරකුස් වැනි) විසභාග පුද්ගලයන් සහිත වූ සංසාර සමුද්‍රය (නොහොත් චක්‍ෂුරාදි ආයතන සමුද්‍ර ය) තරණය නො කෙළේ යැ යි කියනු ලැබේ.
මහණෙනි, යම්කිසි මහණකුගේ හෝ මෙහෙණකගේ හෝ රාගය ප්‍රහීණ වී ද, ද්වේෂය ප්‍රහීණ වී ද, මෝහය ප්‍රහීණ වී ද, මහණෙනි, මෙ තෙමේ (කෝධුපායාස සඞ්ඛ්‍යාත) ලොකු කුඩා රළ සහිත වූ (පස්කම් නමැති) දියසුළි සහිත වූ (මස් කැසුබු දිය රකුස් වැනි) විසභාග පුද්ගලයන් සහිත වූ සංසාර සමුද්‍රය (නොහොත් චක්‍ෂුරාදි ආයතන සමුද්‍රය) තරණය කෙළේ යැ යි කියනු ලැබේ. බ්‍රාහ්මණ නම් වූ ඒ (ක්‍ෂීණාස්‍රව) තෙමේ එතෙර වූයේ පරතෙරට ගියේ (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ගොඩබිමැ සිටී යැ යි.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමකු විසින් රාග ද්වේෂ මෝහ නිරුද්ධ කරණ ලද්දාහු ද, හෙ තෙමේ විසභාග පුද්ගලයන් සහිත වූ (කෝධූපායාස සඞ්ඛ්‍යාත) රළබිය සහිත වූ තරණයට දුෂ්කර වූ සසර සයුර තරණය කෙළේ යි (රාගාදි පඤ්චවිධ) සඞ්ගයන් ඉක්ම වූ කෙලෙස් මරු දුරු කළ උපධි රහිත වූ දුරු කෙළේ නැවැත ඉපැදීමට නො ඒ යැ යි රාගාදීන් ඉක්මැ වූයේ යැ යි, (එහෙයින් ම) ප්‍රමාණයට නො ඒ යැ යි (එහෙයින් ම) මරු මුළා කෙළේ යැ යි කියමි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
දෙවන වගයි.
එහි උද්දානය:
පුඤ්ඤ, චක්ඛු, නැවත ඉන්‍ද්‍රිය, අද්ධ, චරිය දෙක, සොචෙය්‍ය, මෝනෙය්‍ය, නැවත රාග දෙකැ යි උතුම් දෙවැනි වර්‍ගය කීහු.
තෙවෙනි වර්‍ගය
3. 3. 1.
[මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන සූත්‍රය]
70. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, කායදුශ්චරිතයෙන් යුක්ත වූ වාග්දුශ්චරිතයෙන් යුක්ත වූ මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපදින්නාහු ය.
මහණෙනි, එ කරුණ මම අන් මහණ බමුණකුගෙන් අසා නො ම කියමි.
මහණෙනි, කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ, ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ, මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටිහේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපන්නාහු ය.
යලි දු මහණෙනි, යමක් තමා විසින් ම නුවණින් අවබෝධ කරණ ලද ද, තමා විසින් ම දක්නා ලද ද, තමා විසින් ම දන්නා ලද ද, එය ම මම කියමි.
මහණෙනි, කායවාග්මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ මිත්‍ථ්‍යාදෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්‍ම ඇති සත්ත්‍වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපන්නාහු වෙති.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මෙ ලොව පුඟුල් තෙම සිත වැරැදි ලෙස පිහිටුවා, වැරැදි බස් තෙපලා, කයින් වැරැදි ක්‍රියා කොට,
3. මේ මිනිස් ලොවැ ජීවත් වන සුළු කාලය තුළ ඇසු පිරූ තැන් නැති අකුසල් කරණ, නුවණ නැති ඒ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු නරකයෙහි උපදී.”