Itivuttaka

Thus It Was Said

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 1095 segments

Showing entries 401-500 of 1095

4. කායවාක්සංයම නැති දුශ්ශීලයෙක් යම් හෙයකින් රටවැසියා දුන් අහර වළඳන්නේ වේ ද, ඔහු විසින් රත්කළ ගිනිසිළක් බඳු වූ ලෝගුළියක් වළඳන ලද්දේ එයට වඩා උතුම් වේ.
මේ කාරණය ද භගවත් බුදුරදුන් විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 12.
[දෘෂ්ටිගත සූත්‍රය]
49. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් අසන ලදී.
1. මහණෙනි, දෘෂ්ටි ද්වයකින් (මිථ්‍යාදර්‍ශන දෙකෙකින්) මඬනා ලද ඇතැම් දෙවි මිනිස් කෙනෙක් (ලෝකය ශාශ්වත යයි භවයෙයි) ඇලෙත්. ඇතැම් දෙව්මිනිස් කෙනෙක් (ආත්මයත් ලෝකයත් මරණින් මතු නැතැ යි උච්ඡේද වශයෙන් ගෙණ ධර්‍මතා) ඉක්මවා දුවත්. නුවණැස් ඇත්තෝ වනාහි (මෙ කී අන්ත දෙකටම නො පැමිණ අවිපරීත වශයෙන් ඇතිසැටියෙන්) දකිත්.
2. මහණෙනි, ඇතැම් දෙවි මිනිස් කෙනෙක් කෙසේ නම් භවයෙහි ඇලෙද්ද?
මහණෙනි, දෙව්මිනිස්සු භවයෙහි ඇලුනාහු, භවයෙහි නිරත වූවාහු, භවයෙහි මැනැවින් සතුටු වූවාහු වෙත් ද, ඔවුන්ට භවනිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි සිත එහි බැස නො ගණී, නො පහදියි, නො පිහිටයි, නිමාවට නො පැමිණෙයි. මහණෙනි, මෙසේ ඇතැම් කෙනෙක් භවයෙහි ඇලෙත්.
3. මහණෙනි, ඇතැම් කෙනෙක් කෙසේ නම් ඉක්මවා දුවත් ද?
ඇතැමෙක් භවයෙන් ම පෙළනු ලබන්නාහු, ලජ්ජිත වන්නාහු, පිළිකුල් කරන්නාහු උච්ඡේදයෙහි සතුටු වෙත් (කෙසේ ද යත්:) ‘පින්වත්නි, යම් හෙයකින් මේ ආත්මය කාබුන් මරණින් මතු සිඳේ ද, නැසේ ද, මරණින් මතු නො වේ ද, ඒ නොවීම ම ශාන්ත ය, එහෙයින් ම ප්‍රණීතය, එහෙයින් ම අවිපරීතය, (ඇතිසැටිය) කියා යි. මහණෙනි, මෙසේ ඇතැමෙක් ඉක්මවා දුවත්.
4. මහණෙනි, නුවණැස් ඇත්තෝ කෙසේ නම් දකිත් ද?
මේ සසුන්හි මහණ තෙමේ පඤ්චස්කන්‍ධය පඤ්චස්කන්‍ධ වශයෙන් දකී ද, පඤ්චස්කන්‍ධය පඤ්චස්කන්‍ධ වශයෙන් දැක එහි කළකිරීම, නො ඇලීම, නැති කිරීම පිණිස පිළිපන්නේ වේ ද, මහණෙනි, මෙසේ නුවණැස් ඇත්තෝ (ඇතිසැටියෙන්) දකිත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ:
5. “යම් කෙනෙක් පඤ්චස්කන්‍ධය පඤ්චස්කන්‍ධ වශයෙන් (මාර්‍ගඥානයෙන්) දැක පඤ්චස්කන්‍ධය ඉක්මවීමෙන් (භාවනාභිසමයයෙන්) භවතෘෂ්ණාව හාත්පසින් සිඳ ලීමෙන් අවිපරීත සත්‍යය යි කියන ලද නිවණෙහි (ප්‍රත්‍යක්‍ෂයෙන්) අධිමෝක්‍ෂයට පැමිණෙත් ද,
6. පඤ්චස්කන්‍ධය පිරිසිඳ දත්තා වූ කුදු මහත් භවයන්හි පහ වූ තෘෂ්ණා ඇති, ඒ මහණ තෙමේ පඤ්චස්කන්‍ධයාගේ උත්පාද නිරෝධයෙන් යලි ඉපැද්මට නොපැමිණෙයි.
මේ අර්‍ත්‍ථය ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
දෙවෙනි වර්‍ගයයි.
එහි උද්දානය:
ඉන්‍ද්‍රිය දෙක, තපනීය දෙක, ශීල දෙක, අනොත්තප්පීය, ජනකුහන දෙක, සංවේජනීය යන සූත්‍ර දහය ද, විතක්කය-දේශනා දෙක, අවිජ්ජාය, පස්වැනි වූ පඤ්ඤාය, අජාතය, නිබ්බානධාතුය, පටිසල්ලානය, සික්ඛාය, ජාගරිය, ආපායිකය, දිට්ඨිගතය යන සූත්‍ර සියල්ල දෙවිස්සකැ යි ප්‍රකාශ කරණ ලදී.
දුකනිපාතය යි.
තික නිපාතය
පඨම වර්‍ගය
3. 1. 1.
[අකුසල මූල සූත්‍රය]
50. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ අකුශලමූලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: ලෝභය අකුසල්මුලකි. ද්වේෂය අකුසල්මුලකි. මෝහය අකුසල්මුලකි. මහණෙනි, මේ අකුශලමූලයෝ තිදෙන වෙත්.
භගවත්හු මෙකරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සිත්හි හටගත් ලෝභ ද්වේෂ මෝහ යන මොහු පව් අදහස් ඇති පුරුෂයා පෙළත්. (කුමක් මෙන් ද යත්:) ස්වකීය ඵලය ත්‍වක්සාර වෘක්‍ෂය (හුණ බට ආදි පොත්ත අරටුව කොට ඇති) ගස නසන්නාක් මෙනි.”
මේ කරුණ භගවත්හු වදාළහ. මෙසේ මා විසින් අසන ලදී.
[ධාතු සූත්‍රය]
51. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ ධාතූහු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: රූපධාතුය, අරූපධාතුය, නිරෝධ ධාතුය. මහණෙනි, මේ ධාතූහු තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් කෙනෙක් රූපභවය පිරිසිඳ දැන අරූප භවයෙහි නොපිහිටියාහු නිර්‍වාණය අරමුණු කොට (කෙලෙසුන්ගෙන්) මිදෙත් ද, ඒ ක්‍ෂීණාස්‍රවයෝ මරණය ඉක්මවූවෝ වෙත්.
3. ආස්‍රවරහිත වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ උපධි රහිත වූ නිර්‍වාණය (නාම) කයින් ස්පර්‍ශ කොට, උපධීන්ගේ බැහැරලීමේ කාරණය ප්‍රත්‍යක්‍ෂ කොට ශෝකරහිත වූ. රජස් රහිත වූ නිර්‍වාණපදය දක්වන සේක.”
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 3.
[ප්‍රථම වේදනා සූත්‍රය]
52. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ වේදනාවෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: සැප වේදනාය දුක් වේදනාය නො දුක් නො සැප (මැදහත්) වේදනාය යන මොහු යි. මහණෙනි, මේ වේදනාවෝ තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “එකඟ සිත් ඇති, සම්‍යක්ප්‍රඥා ඇති, සිහි ඇති බුද්ධශ්‍රාවක තෙමේ වේදනාවන් ද ඔවුන්ගේ හටගැන්ම ද දනී.
3. යම් තැනෙක්හි මේ වේදනාවෝ නිරුද්ධ වෙත් නම් (ඒ නිවණ ද) වේදනාක්‍ෂයගාමී වූ මාර්‍ගය ද (දනී). මහණ තෙමේ වේදනාවන් ක්‍ෂය කිරීමෙන් ආශාරහිත වූයේ පිරිනිවියේ වෙයි.
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 4.
[දෙවෙනි වේදනා සූත්‍රය]
53. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙට වදාරණ ලද්දේ ම ය. අර්‍හත් බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ වේදනාවෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්: සැප වේදනාය, දුක් වේදනාය, නොදුක් නොසැප (මැදහත්) වේදනාය යන මොහුයි.
මහණෙනි, සැපවෙදනාව (විපරිණාම) දුක් වශයෙන් දැක්ක යුතු ය. දුක් වේදනාව (පීඩනාර්‍ත්‍ථයෙන්) හුල් වශයෙන් දැක්ක යුතු ය. නොදුක් නොසැප වේදනාව අනිත්‍ය වශයෙන් දැක්ක යුතු ය. මහණෙනි, යම් හෙයකින් මහණ සැප වේදනාව දුක් වශයෙන් දක්නා ලද ද, දුක් වේදනාවහුල් වශයෙන් දක්නා ලද ද, නොදුක් නොසැප වේදනාව අනිත්‍ය වශයෙන් වශයෙන් දක්නා ලද ද, මහණෙනි, මේ මහණ තෙම ආර්‍ය්‍ය යැ යි ද, සම්‍යග් දර්ශී යැ යි ද කියනු ලැබේ. හෙ තෙමේ තෘෂ්ණාව සිඳැ ලීය. සංයෝජන පෙරළා ලීය. මනා කොට මානයාගේ දර්‍ශනප්‍රහාණාභිසමයයෙන් (සියලු) දුක් කෙළවර කෙළේ ය.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමෙක් සැපවෙදනාව දුක් වශයෙන් දුටුයේ ද, දුක්වේදනාව හුල් වශයෙන් දුටුයේ ද, නොදුක් නොසැප ශාන්ත වූ ඒ වේදනාව අනිත්‍ය වශයෙන් දුටුයේ ද, ඒ මහණ තෙම ඒකාන්තයෙන් සම්‍යක්දර්ශී නම් වෙයි. යම් හෙයෙකින් ඒ වේදනායෙහි සමුච්ඡේද වශයෙන් මිදේ ද (එහෙයිනි).
3. විශිෂ්ටඥානයෙන් දැන නිමවන ලද කෘත්‍ය ඇති ශාන්ත වූ ඒ රහත් මහණ තෙමේ ඒකාන්තයෙන් කාමාදි චතුර්යොගයන් ඉක්මවූයේ නම් වෙයි.
මෙ කරුණ ද භාග්‍යවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 5.
[ප්‍රථම ඒෂණා සූත්‍රය]
54. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ සෙවීම් තුණෙකි. කවර තුණෙක්ද යත්: කාමය පිළිබඳ සෙවීමය, භවය පිළිබඳ සෙවීමය, බඹසර පිළිබඳ සෙවීමය (යන මේ යි.) මහණෙනි, මේ සෙවීම් තුණ වේ.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “එකඟසිත් ඇති, යහපත් නුවණැති, සිහියෙන් යුත් බුද්ධශ්‍රාවක තෙමේ සෙවීම් ද සෙවීම් පිළිබඳ සම්භවය (හටගැන්ම) ද මනා කොට දනී.
3. යම් තැනෙක ඒ සෙවීම් නිරුද්ධ වේ නම් ඒ නිවණ ද, නිර්‍වාණගාමී මාර්‍ගය ද දනී. ඒ මහණ තෙමේ එම පර්‍ය්‍යෙෂණයන් ක්‍ෂය කිරීමෙන් ආශාරහිත වූයේ පිරිනිවියේ නම් වෙයි.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
3. 1. 6.
[දෙවෙනි ඒෂණා සූත්‍රය]
55. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ ඒසනා (සෙවීම්) තුණෙකි. කවර තුණෙක් ද යත්: කාමය සෙවීමය, භවය සෙවීමය, බඹසර සෙවීමය. මහණෙනි, මේ සෙවීම් තුණයි.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. කාමේසනා, භවේසනා, මේ ම සැබව සෙසු සියල්ල හිස් ය යි දෘෂ්ටිගත වශයෙන් සම්මත වූ බ්‍රහ්මචරියේසනා සමග ඒසනා තුණෙකි.
3. සියලු (කාම භව) රාගයන්ගෙන් වෙන් වූ, තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි (නිවන අරමුණු කොට) කෙලෙසුන්ගෙන් මිදුණා වූ (රහත්හු විසින්) ඒසනා බැහැර කරන ලදහ. දෘෂ්ටීහු (ප්‍රථමමාර්‍ගයෙන්) නසන ලදහ. ඒ මහණ තෙමේ එ ම පර්‍ය්‍යෙෂණයන් ක්‍ෂය කිරීමෙන් ආශා නැත්තෙක් ද (කෙසේ කෙසේ දැ යි පැවති) සැක නැත්තෙක් ද වෙයි.”
මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 7.
[ප්‍රථම ආස්‍රව සූත්‍රය]
56. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ ආස්‍රවයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමාස්‍රවය, භවාස්‍රවය, අවිද්‍යාස්‍රවය යි. මහණෙනි, මේ ආස්‍රවයෝ තිදෙන වෙත්.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “එකඟ සිත් ඇති, යහපත් නුවණැති, සිහියෙන් යුත් බුද්ධශ්‍රාවක තෙමේ ආස්‍රවයන් ද, ආස්‍රවයන්ගේ සම්භවය ද (හටගැන්ම ද) මනා කොට දනී.
3. යම් තැනෙක ඒ ආස්‍රවයෝ නිරුද්ධ වෙත් නම් ඒ නිවණ ද, නිර්‍වාණගාමී මාර්‍ගය ද (දනී). ඒ මහණ තෙමේ එම ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශා රහිත වූයේ පිරිනිවියේ නම් වේ.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් මෙසේ අසන ලදී.
3. 1. 8.
[ද්විතීය ආස්‍රව සූත්‍රය]
57. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, ආස්‍රවයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමාස්‍රවය, භවාස්‍රවය, අවිද්‍යාස්‍රවය යි. මහණෙනි, මේ ආස්‍රවයෝ තිදෙන වෙත්.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමකු විසින් කාමාස්‍රවය ක්‍ෂය කරණ ලද ද, අවිද්‍යාව දුරු කරණ ලද ද, භවාස්‍රවය ක්‍ෂය කරණ ලද ද, කෙලෙසුන්ගෙන් මිදුනා වූ උපධි රහිත වූ, (ඒ රහත් තෙමේ) සේනාසහිත මාරයා දිනා අන්තිම වූ ශරීරය දරයි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 9.
[තෘෂ්ණා සූත්‍රය]
58. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ තෘෂ්ණාවෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: කාමතෘෂ්ණාය (පඤ්චකාමයෙහි ඇල්මය), (ශාශ්වතදෘෂ්ටිසහගත භවයෙහි ඇල්ම නම් වූ) භවතෘෂ්ණාය, (උච්ඡේදදෘෂ්ටිසහගත ඇල්ම නම් වූ) විභවතෘෂ්ණාය. මහණෙනි, මේ තෘෂ්ණාවෝ තිදෙන වෙත්:
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් කෙනෙක් තෘෂ්ණායෝගයෙන් සංයුක්ත වූවාහු, කුදු මහත් භවයෙහි ඇලුණු සිත් ඇත්තාහු වෙද්ද, ඒ සංසාරගත සත්ත්‍වයෝ මාරපාශ සඞ්ඛ්‍යාත යෝගයෙන් බැඳුනාහු වෙත්: සත්ත්‍වයෝ (නැවත නැවත උත්පත්ති වශයෙන්) සසරට යෙත්. (එ හෙයින්) නැවත ජාති මරණ දුක්වලට පැමිණෙන සුලු වූවාහු වෙත්.
3. යම් සත්ත්‍ව කෙනෙක් තෘෂ්ණාව දුරු කොට කුදු මහත් භවයෙහි ආශා රහිත වූවාහු ද, යම් කෙනෙකුත් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවණ පැමිණියාහු ද ඔවුහු ලෙව්හි පරතෙරට ගියාහු නම් වෙත්.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
3. 1. 10.
[මාරධෙය්‍ය සූත්‍රය]
59. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ධර්‍මත්‍රයයකින් යුක්ත වූ මහණ තෙමේ මාරධෙය සඞ්ඛ්‍යාත ත්‍රෛභූමක වෘත්තය ඉක්මවා හිරු මෙන් බබලයි. කවර ධර්‍මත්‍රයයකින් ද යත්: මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන් යුක්ත වේ ද, අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන් යුක්ත වේ ද, අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වේ ද,
මහණෙනි, මේ ධර්‍මත්‍රයයෙන් යුක්ත වූ මහණ තෙමේ මාරධෙය සඞ්ඛ්‍යාත ත්‍රෛභූමික වෘත්තය (සසර) ඉක්මවා හිරු මෙන් බබලයි.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමකු විසින් මේ ශීලසමාධිප්‍රඥාවෝ මනා කොට වඩන ලද්දාහු ද (ඒ පුද්ගල තෙමේ) මාරයාගේ විෂයය වූ ත්‍රෛභූමකවෘත්තය (සසර දුක්) ඉක්මවා හිරු මෙන් බබලයි.”