එහි උද්දානය:
(අගුත්තද්වාරින්‍ද්‍රිය - ගුත්තද්වාරින්‍ද්‍රිය) ය භික‍්ෂු සූත්‍ර දෙක, තපනීය අතපනීය දෙක, පාපකසීල භද්දකසීල යන දෙක, අනාතාපීය, ජනකුහන (බ්‍රහ්මචරිය - අභිඤ්ඤත්‍ථබ්‍රහ්මචරිය) දෙක ද, සෝමනස්ස (බහුලය) යන ඒ සූත්‍ර දසය යි.
දෙවෙනි වර්‍ගය
2. 2. 1.
[විතර්‍ක සූත්‍රය]
38. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය.
1. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට විතර්‍කයෝ දෙදෙනෙක් බහුලව පවතිත්: ක්‍ෂේම විතර්‍කය, ප්‍රවිවේක විතර්‍කය (යන දෙකයි). මහණෙනි, තථාගත තෙමේ අවිහිංසාවේ ඇලුනේ ද, අවිහිංසාවෙහි නිරත වූයේ ද වෙයි. මහණෙනි, අවිහිංසාවෙහි ඇලුනා වූ, අවිහිංසාවෙහි නිරත වූ, ඒ මේ තථාගතයන්ට මේ විතර්‍කය බහුල ව පවතී: “මම මේ ක්‍රියාවෙන් (කායවාක් ප්‍රයෝගයෙන්) (තෘෂ්ණාප්‍රහීණ නොකළ) තස නම් වූ හෝ (තෘෂ්ණා ප්‍රහීණ කළ) ථාවර නම් වූ හෝ කිසිවකු නො පෙළමි” කියා යි. මහණෙනි, තථාගත තෙමේ උතුම් විවේකයෙහි ඇලුනේ ද, උතුම් විවෙක යෙහි නිරත වූයේ වෙයි. මහණෙනි, උතුම් විවේකයෙහි ඇලුනා වූ, උතුම් විවෙයෙහි නිරත වූ ඒ මේ තථාගතයන්ට මේ විතර්‍කය බහුලව පවතී: “යමක් අකුසල් වේ ද එය ප්‍රහීණය” කියා යි.
2. මහණෙනි, එසේ හෙයින් තෙපි දු අවිහිංසාවෙහි ඇලුනාහු අවිහිංසාවෙහි නිරතවූවාහු වාසය කරවු. මහණෙනි, අවිහිංසාවෙහි ඇලී අවිහිංසාවෙහි නිරත ව වෙසෙන ඒ තොපට මේ විතර්‍කය ම බහුල ව පවත්නේ ය: “අපි මේ ක්‍රියාවෙන් (කායවාක් ප්‍රයෝගයෙන්) තස නම් වූ හෝ ථාවර නම් වූ හෝ කිසිවකු නො පෙළමු” කියායි. මහණෙනි, උතුම් විවේකයෙහි ඇලුනාහු උතුම් විවේකයෙහි නිරත වූවාහු වාසය කරවු. මහණෙනි, උතුම් විවේකයෙහි නිරතව වෙසෙන ඒ තොපට මේ විතර්‍කය බහුලව පවත්නේ ය: “අකුසල් කිම? කුමක් අප්‍රහීණ ද? කුමක් දුරු කරමු ද?” කියා යි.
බුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
3. “අන්‍යයන් විසින් නො ඉවසිය හැකි දෑ ඉවසන සුලු වූ, තථාගත බුදුරදුන්ට විතර්‍කයෝ දෙදෙනෙක් පවතිත්: පළමුව ක්‍ෂේම විතර්‍කය කියන ලදී. ඉක්බිති දෙවනු ව ප්‍රවිවේක විතර්‍කය ප්‍රකාශ කරන ලදී.
4. මොහඳුරු දුරු කළා වූ, පාර සඞ්ඛ්‍යාත නිවණට ගියා වූ, (පැමිණිය යුතු සියල්ලට පැමිණි හෙයින්) පත්තිපන්න වූ, සිත් වසඟ බැව් ඇති, ආස්‍රව රහිත වූ (සියලු සසර දුකින් එතෙර ව සෙස්සන් ද එතෙර කළ හෙයින්) විශ්වන්තර වූ, අර්‍හත් ඵල විමුක්තියෙන් මිදුනා වූ, පශ්චිමකායධාරී වූ, කෙලෙස් මරුන් දුරු කළා වූ, ජරාවගේ පරතෙරට පත් ඒ තථාගතයන්ට සම්‍යක් විතර්‍කයෝ දෙදෙනෙක් පවතිත් යැ යි කියමි.
5. ඒකඝනවූ ගල් පර්‍වතයක් මුදුනෙහි සිටියෙක් හාත්පස ජනසමූහයා යම් සේ දකී ද, එසේ සුන්‍දර ප්‍රඥා ඇත්තාවූ, සමතැස් ඇත්තා වූ, පහ වූ ශෝක ඇති බුදුරජානන් වහන්සේ ඒ සෙල්පව්වට උපමා වූ දහම් පහය නැඟ ජාති ජරාවෙන් මඩනා ලද ශෝකයෙහි ගැලුනු ජනසමූහයා බලන සේක.
මේ කරුණ ද භාග්‍යවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 2.
[දේශනා සූත්‍රය]
39. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. “මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ ධර්‍මදේශනා කාරණ වශයෙන් (නොහොත් වාර වශයෙන්) දෙකෙකි. කවර දෙකෙක් ද යත්: “පාපය ලාමක වශයෙන් බලවු.” යන මෙය පළමු වන ධර්‍මදේශනා ව යි. “පාපය ලාමක වශයෙන් දැක එහි කලකිරෙවු, නො ඇලෙවු, මිදෙවු” යන දෙවන ධර්‍මදේශනාව යි. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ ධර්‍මදේශනා කාරණ වශයෙන් (නොහොත් වාර වශයෙන්) මේ දෙකෙකි.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “සියලු සත්ත්‍වයන් කෙරෙහි අනුකම්පා කරණ සුලු වු තථාගත බුදුරජානන් වහන්සේගේ කාරණ වශයෙන් (නොහොත් වාර වශයෙන්) පවත්නා වූ දේශනාව බලවු. උන්වහන්සේ විසින් ධර්‍මයෝ දෙදෙනෙක් ප්‍රකාශ කරණ ලදහ.
3. පාපය ලාමක වශයෙන් බලවු, එහිදු නො ඇලෙවු ඉක්බිති නො ඇලුනු සිත් ඇත්තාහු දුක් කෙළවර කරවු.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
2. 2. 3.
[විද්‍යා සූත්‍රය]
40. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, අකුශල ධර්‍මයන්ගේ රැස් කිරීමට අවිද්‍යා තොමෝ පෙරටු වන්නී ය. අහිරික අනොත්තප්ප දෙක ඒ අනුව පවතී. මහණෙනි, කුශල ධර්‍මයන්ගේ රැස් කිරීමට විද්‍යාව පෙරටු වන්නී ය. හිරි ඔතප් දෙක ඒ අනුව පවතී.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මෙ ලොවත් පරලොවත් යම් කිසි දුර්‍ගතීහු වෙත් නම් ඒ සියල්ල අවිද්‍යාව මුල්කොට ඇත්තාහු වෙත් නොලත් දෙය සෙවීම් ලක්‍ෂණ ඊප්සාවය, ලත් දෙයෙහි ඇලීම් ලක්‍ෂණ ලෝභය යන මොවුන් විසින් රැස් කරණ ලද්දාහු වෙත්.
3. යම් හෙයකින් ලාමක ඊප්සා ඇත්තේ පවට ලජ්ජා නැත්තේ ආදර නැත්තේ වේ ද, එහෙයින් පව් රැස් කෙරෙයි. ඒ හේතුවෙන් අපායට යෙයි.
4. එහෙයින් ඡන්‍දය (ඊප්සාව) ද, ලෝභය ද, අවිද්‍යාව ද, සහමුලින් නසන්නා වූ මාර්‍ගවිද්‍යාව උපදවන්නාවූ මහණ තෙමේ සියලු දුර්‍ගතීන් දුරු කරන්නේ ය.”
මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
පළමුවන බණවරයි
2. 2. 4.
[ප්‍රඥාපරිහාන සූත්‍රය]
41. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. “මහණෙනි, ආර්‍ය්‍ය (විදර්‍ශනාඥාන මාර්‍ගඥාන) ප්‍රඥාවෙන් යම් කෙනෙක් පිරිහුනාහු වෙත් ද, ඔහු (ලොවි ලොවුතුරා සැපතින්) මොනවට පිරිහුනාහු වෙති. ඔහු මේ අත්බැව්හි ම පීඩා සහිත වූ, දැඩි වෙහෙස ඇති, දැවීම් සහිත වූ දුකින් වාසය කෙරෙත්. ඔවුන් විසින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දුගතිය කැමැති විය යුතු වේ. මහණෙනි, යම් කෙනෙක් ආර්‍ය්‍ය (විදර්‍ශනා, මාර්‍ගසඞ්ඛ්‍යාත) ප්‍රඥාවෙන් නො පිරිහුනාහු වෙත් ද; (ඔහු සියලු සැපතින්) නොපිරිහුනාහු නම් වෙත්. ඔහු මේ අත්බැව්හි ම පීඩා රහිත වූ, දැඩි වෙහෙස නැති, දැවීම් රහිත වූ සැපයෙන් වෙසෙත්. ශරීරයාගේ බිඳීම සඞ්ඛ්‍යාත මරණින් මතු (ඔවුන් විසින්) සුගතිය කැමැති විය යුතු වේ.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “නුවණින් පිරිහීම් නිසා නාමරූප සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැස ගත් සදේවක ලෝකයා බලවු. (එබඳු පුද්ගල තෙම) මෙය ම ඇත්ත ය (සෙසු සියල්ල හිස්යැ යි) සිතයි.
3. යම් ඒ ප්‍රඥාවක් නිර්වේදගාමිනී (ලෝභාදිකේලේස් සිඳලන්නී) වේ ද, යම් බඳු ප්‍රඥාවකින් උත්පත්ති කර්‍මභවයන්ගේ ක්‍ෂය කිරීම් සඞ්ඛ්‍යාත නිර්‍වාණය හා අර්‍හත්‍වය මැනවින් ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, එ විදසුන් සහිත මඟනුවණ ම ශ්‍රේෂ්ඨ වන්නේ ය.
4. දෙවියෝ ද, මිනිස්සු ද, සිහියෙන් යුක්ත වූ හාස ප්‍රඥා ඇති අන්තිම සිරුර දරණ ඒ සම්බුදුවරයන්ට කැමැති වෙත්.”
මෙ කරුණ ද භගවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
2. 2. 5.
[ශුක්ලධර්‍ම සූත්‍රය]
42. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, මේ ශුක්ල (කුසල) ධර්‍මයෝ දෙදෙනෙක් ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක් ද? ලජ්ජාව ද බිය ද (යන දෙක ය.) මහණෙනි, මේ ශුක්ලධර්‍මයෝ දෙදෙන ලොව පාලනය නොකරන්නාහු නම් මෙහි මව කියා හෝ සුළුමව කියා හෝ නැන්දණියෝ කියා හෝ ගුරුවරයාගේ භාර්‍ය්‍යයාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්‍ය්‍යයාවෝ ය කියා හෝ තැකීමක් නො පැමිණෙන්නේ ය. ලෝවැසි තෙම එළුබැටළුවන් මෙන් ද, කුකුළන් ඌරන් මෙන් ද, බලු සිවලුන් මෙන් ද, සංකරයට පැමිණෙන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ලොව පාලනය කෙරෙත් ද, එහෙයින් මව කියා හෝ සුළුමව කියා හෝ නැන්දණියෝ කියා හෝ ගුරුවරයාගේ භාර්‍ය්‍යයාව කියා හෝ ගරු කටයුත්තන්ගේ භාර්‍ය්‍යයාවෝ ය කියා හෝ (තැකීමක්) පැණෙන්නේ ය.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.
2. “ඉදින් යමකුන්ට ලජ්ජා භය දෙක හැම කල්හි එළඹ සිටියාහු නො වෙත් ද? ඒ කුශල මූලයෙන් බැහැර වූ ඔහු ජාතිජරා මරණයට පැමිණෙන්නෝ වෙත්.
3. යම් කෙනෙකුන්ට වනාහි ලජ්ජා භය දෙක හැම කල්හි මැනවින් එළඹ සිටියාහු ද වැඩුනු බඹසර ඇති ශාන්තගුණ ඇති ඔහු පුනර්‍භවය ක්‍ෂය කළෝ නම් වෙත්.“
මේ අර්‍ත්‍ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
2. 2. 6.
[අජාත සූත්‍රය]
43. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, (හේතු ප්‍රත්‍යයයෙන් හට නොගත් හෙයින්) අජාත නම් වූ, (ඉබේ පහළ නොවූ හෙයින්) අභූත නම් වූ, (කිසිවකින් නොකරණ ලද හෙයින්) අකත නම් වූ, (එහෙයින් ම) අසඞ්ඛත නම් වූ නිවණ ඇත්තේ ය. මහණෙනි, අජාත - අභූත - අකත - අසඞ්ඛත - සඞ්ඛ්‍යාත නිවණ ඉදින් නොවන්නේ නම්, ජාත - භූත - කත - සඞ්ඛත - සඞ්ඛ්‍යාත සංස්කාරධර්‍මයන්ගේ සංසිඳීමෙක් නො පැණෙන්නේ ය. යම් හෙයකින් අජාත - අභූත - අකත - අසඞ්ඛත - නිවණ ඇත්තේ ද, එහෙයින් ජාත - භූත - කත - සඞ්ඛත - සඞ්ඛ්‍යාත සංස්කාරධර්‍මයන්ගේ සංසිඳීම පැණේ.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “ජාත භුත සමුත්පන්න කත සඞ්ඛත අනිත්‍ය ලක්‍ෂණ වූ, ජරාමරණ හා එකට බැඳුනු, රෝගයන්ට කැදැල්ලක් වූ, වහා බිඳෙන සුලු, ආහාර තෘෂ්ණාව ප්‍රභව කොට ඇති (ඒ උපාදානස්කන්‍ධ පඤ්චකය) සිත් අලවන්නට සුදුසු නො වේ.
3. ඒ ස්කන්‍ධපඤ්චකයාගේ නික්මයාම ම ශාන්ත වේ. (ඒ නිර්‍වාණය) තර්‍කඥානයට විෂය නො වේ. නිත්‍ය වේ. අජාත වේ. අසමුත්පන්න වෙයි. අශෝක වෙයි. විරජ වෙයි. පද (ලදයුතු) වෙයි. දුක්ඛනිරෝධ වෙයි. සඞ්ඛාරූපසම වෙයි.(අත්‍යන්ත) සුඛ වෙයි.
මේ කාරණය ද භගවත්හු විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
2. 2. 7.
[නිර්‍වාණධාතු සූත්‍රය]
44. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, මේ නිර්‍වාණධාතූහු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්: සෝපාදිශේෂ නිර්‍වාණධාතු, අනුපාදිශේෂ නිර්‍වාණධාතු ය.
2. මහණෙනි, සෝපාදිශේෂ නිර්‍වාණධාතු කවරේ ද?
මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ රහත් වූයේ, පහ කළ ආස්‍රව ඇතියේ, වැස නිමවූ බඹසර ඇතියේ, කරණ ලද සිවුමග කිස ඇතියේ, බහා තබන ලද කෙලෙස් බර ඇතියේ, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇතියේ, පිරිහුනු බවබැඳුම් ඇතියේ, මනා කොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුනේ වේ ද, ඒ රහත්හු පිළිබඳ යම් ඉන්‍ද්‍රිය කෙනකුන් නිරුද්ධ නොකළ හෙයින් ඉටු අනිටු අරමුණු ලබයි ද, සැප දුක් විඳියි ද, ඒ පසිඳුරෝ පවත්නාහු ම වෙත්. ඒ රහත්හුගේ රාගක්‍ෂය, ද්වේෂක්‍ෂය, මෝහක්‍ෂය වේ ද, මහණෙනි, මේ (ක්ලේශපරිනිර්‍වාණය) සෝපාදිශේෂ නිර්‍වාණධාතුයැ යි කියනු ලැබේ.
3. මහණෙනි, අනුපාදිශේෂ නිර්‍වාණධාතු කවරේ ද?
මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ රහත් වූයේ, පහ කළ ආස්‍රව ඇතියේ, වැස නිමවූ බඹසර ඇතියේ, කරණ ලද සිවු මග කිස ඇතියේ, බහා තබන ලද කෙලෙස් බර ඇතියේ, පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇතියේ, පිරිහුනු බවබැඳුම් ඇතියේ, මනා කොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුනේ වේ ද, මහණෙනි, ඒ රහත්හුගේ සියලු වේදනාවෝ මේ අත්බැව්හි ම තෘෂ්ණාදීන් නොරුස්නා ලද්දාහු (අතිශයින් සන්හුන් බැවින්) සිහිල් වන්නාහුය. මහණෙනි, මේ (ස්කන්‍ධපරිනිර්‍වාණය) අනුපාදිශේෂ නිර්‍වාණධාතුයැ යි කියනු ලැබේ.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය ගාථා වශයෙන් මෙසේ කියනු ලැබේ:
4. පසැස් ඇත්තා වූ, තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන් ආශ්‍රිත නොවූ, (ඉටු අනිටු අරමුණු විෂයයෙහි) තාදීගුණ යුක්ත වූ, බුදුරදුන් විසින් මේ නිර්‍වාණ ධාතුහු දෙදෙනෙක් වදාරණ ලදහ: එකක් දිට්ඨධම්මික (මේ අත්බවට අයත් වූ) උපාදි සඞ්ඛ්‍යාත ස්කන්‍ධශේෂ සහිත ය. භවනෙත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාවගේ ක්‍ෂයයෙන් වේ. යම් නිර්‍වාණ ධාතුයෙක්හි සර්‍වප්‍රකාරයෙන් භවයෝ නිරුද්ධ වෙත් ද, ඒ අනුපාදිශේෂ නිර්‍වාණධාතු තොමෝ සාම්පරායික (හෙවත් මරණින් මත්තෙහි) වේ.
5. යම් කෙනෙක් මේ අසඞ්ඛතධාතු සඞ්ඛ්‍යාත නිර්‍වාණපදය දැන තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් මිදුනු සිත් ඇත්තාහු වෙත් ද, ඔහු ධම්මසාර නම් වූ රහත් බව ලැබීමෙන් නිවණෙහි ඇලුනාහු වෙත්. (නොහොත් ධම්මසාර නම් වූ නිර්‍වාණාධිගමයෙන් අනුපාදිශේෂ නිර්‍වාණයෙහි ඇලුනු) තාදී වු ඔහු සියලු භවයන් පහ කළාහු වෙත්.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. මෙසේ මා විසින් අසන ලදි.
2. 2. 8.
[ප්‍රතිසංලයන සූත්‍රය]
45. භගවත් බුදුරදුන් විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, හුදෙකලාබව්හි ඇලුනෝ ව, හුදෙකලාබවෙහි නිරත ව, වාසය කරවු. ස්වකීය චිත්තසමථයෙහි යෙදුනෝ වැ බැහැරැ නොකළ ධ්‍යාන ඇත්තෝ ව විදර්‍ශනාවෙන් යුක්ත වැ ශූන්‍යාගාරයන්හි වැඩිය යුතු කමටහන් වඩන්නෝ වැ වාසය කරවු. මහණෙනි, හුදෙකලා වාසයෙහි ඇලී, හුදෙකලා වාසයෙහි නිරත ව චිත්තසමථයෙහි යෙදී බැහැර නොකළ ධ්‍යාන ඇති ව විදර්‍ශනාවෙන් යුක්ත ව ශූන්‍යාගාරයන්හි වැඩිය යුතු කමටහන් වඩමින් වාසයකරන්නන් විසින් මේ අත්බැව්හි රහත්බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු යි.
මේ අර්‍ත්‍ථය භගවත්හු වදාළහ. එහි මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් කෙනෙක් ශාන්ත සිත් ඇත්තාහු වෙත් ද, පාරිහාරික නුවණින් යුක්ත වෙත් ද, සිහි ඇත්තාහු වෙත් ද, ධ්‍යාන කරණ සුලු වෙත් ද, කාමයන්හි අපේක්‍ෂා රහිත වූවාහු පඤ්චස්කන්‍ධය අනිත්‍යාදි වශයෙන් මොනවට බලත් ද,
3. අප්‍රමාදයෙහි ඇලුනා වූ, ප්‍රමාදයෙහි බිය දක්නා සුලු වූ, ශාන්ත වූ, (ඔහු) පිරිහීමට සුදුස්සෝ නො වෙත්. නිවණ සමීපයෙහි ම වෙත්.”
මේ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
2. 2. 9.
[ශික්‍ෂානෘශංස සූත්‍රය]
46. භගවත් බුදුරදුන් විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, (ත්‍රිවිධ) ශික්‍ෂාවෙහි අනුසස් දක්නා සුලු වූවාහු, ප්‍රඥාව ප්‍රධාන කොට ඇත්තාහු, විමුක්තිය හර කොට ඇත්තාහු සිහිය අධිපති කොට ඇත්තාහු වාසය කරවු. මහණෙනි, (ත්‍රිවිධ) ශික්‍ෂාවෙහි අනුසස් දැක ප්‍රඥාව ප්‍රධාන කොට, විමුක්තිය හර කොට සිහිය අධිපති කොට වාසය කරන්නන් විසින් මේ අත්බැව්හි රහත්බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද (යන) ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු.
මේ කරුණ ද භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “නිවණ දක්නා සුලු වූ, අන්තිම සිරුර දරන්නා වූ, මානය දුරු කළා වූ ජරාවගේ පරතෙරට ගියා වූ ඒ මුනි තෙමේ සම්පූර්‍ණ ශික්‍ෂා ඇත්තේ යැ යි ද, අකෝප්‍ය (අවිකාර්‍ය්‍ය) ධර්‍ම ඇත්තේ යැ යි ද, ප්‍රඥාව ශ්‍රේෂ්ඨ කොට ඇත්තේ යැ යි ද කියමි.
3. මහණෙනි, එසේ හෙයින් හැම කල්හි ධ්‍යානයෙහි ඇලුනාහු, එකඟ සිත් ඇත්තාහු, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාහු, නිවණ දක්නා සුලු වූවාහු, සේනා සහිත මරු මැඩ ලා ජාති (ජරා) මරණයන්ගේ පරතෙරට ගියාහු වවු.
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 10.
[ජාගර්‍ය සූත්‍රය]
47. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් අසන ලදී.
1. මහණෙනි, මහණ තෙමේ (කමටහන් මෙනෙහි කිරීමෙන්) නිදි දුරු කෙළේ, එළඹ සිටි සිහි ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ, එකඟ වූ සිත් ඇත්තේ, ප්‍රමුදිත වූයේ, ප්‍රසන්න වූයේ, කුශලධර්‍ම විදර්‍ශනායෙහි කාලානුරූප වැ යෙදී වාසය කරන්නේ වේ ද, මහණෙනි, නිදි දුරුකළා වූ, එළඹ සිටි සිහි ඇති, සම්‍යක්ප්‍රඥා ඇති, එකඟ සිත් ඇති, ප්‍රමුදිත වූ, ප්‍රසන්න වූ ඒ කුශලධර්‍ම විදර්‍ශනායෙහි කාලානුරූප ව යෙදෙන භික්‍ෂුහු විසින් මේ අත්බැව්හි රහත් බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “නිදි වර්‍ජජිත කිරීමෙහි යෙදුනාහු තෙපි මේ වචනය අසවු: යම් කෙනෙක් නිද්‍රාවට ගියාහු ද ඒ තෙපි පිබිදෙවු. නිදීමට වඩා නිදි වැරීම ශ්‍රේෂ්ඨය. නිදි වරන්නාට (අත්තානුවාදී) බියෙක් නැත්තේ ය.
3. යමෙක් නිදි දුරු කෙළේ, සිහි ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ, එකඟ සික් ඇත්තේ, ප්‍රමුදිත වූයේ, විප්‍රසන්න වූයේ, සුදුසු කල්හි බෝධිපාක්‍ෂික ධර්‍මයන් හාත්පසින් විමසා බලන්නේ, හටගත් ශ්‍රේෂ්ඨ සමාධි ඇත්තේ වේ ද, හෙ තෙමේ මොහඳුර නසන්නේ වේ.
4. එසේ හෙයින් ඒකාන්තයෙන් නිදි වැරීම භජනය කරවු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, ප්‍රඥාසම්පන්න ධ්‍යානලාභී භික්‍ෂු තෙමේ මේ අත්බැව්හි ම ජාතිජරාවන් පිළිබඳ සංයෝජනයන් නසා නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය ස්පර්‍ශ කරන්නේ ය. (ලබන්නේ යි.)
මේ කාරණය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 11.
[ආපායික සූත්‍රය]
48. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මේ (කියනු ලබන දෙවැදෑරුම් පාපසමාචාර) අත් නොහැර අපායේ උපදින නිරයේ උපදින මේ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්: යමෙක් බ්‍රහ්මචාරී නොවූයේ බ්‍රහ්මචාරී වෙමි යි ප්‍රතිඥා කෙරේ ද, යමෙකුත් පිරිසිදු බඹසර හැසිරෙන්නහුට අමූලික ග්‍රාමධර්‍මයෙන් දැන දැන චෝදනා කෙරේ ද, මහණෙනි, මෙය අත් නොහැර අපායේ උපදින නිරයේ උපදින මේ දෙදෙන වෙත්.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. බොරු කියන සුලු පුද්ගල තෙමේ ද, යලි පව්කම් කොට මම නො කෙළෙමි යි කියන පුද්ගල තෙමේ ද නරකයට පැමිණෙති. ලාමක ක්‍රියා ඇති ඒ මිනිස් දෙදෙනා ම මෙයින් සැව ගොස් පරලොවදී සමාන ගති ඇත්තෝ වෙත්.
3. කාෂාචකණ්ඨ (කසාවතකින් කර වෙළාගත්) පවිටුගති ඇති, හොඳ හැසුරුමක් නැති පවිටු පුද්ගලයෝ බොහෝ වෙත්. ඒ පවිටෝ (තමන් කළ) පව්කම් හේතුවෙන් නරකයෙහි උපදිත්.