Itivuttaka

Thus It Was Said

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 1095 segments

පෙන්වන කොටස් 101-200 න් 1095

[අවිජ්ජානීවරණ සූත්‍රය]
14. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, යම් නීවරණයෙකින් වෙළුනා වූ සත්ත්‍වයෝ (උත්පත්ති වශයෙන්) ඒ ඒ භවයන්හි දිවෙත් ද, හැසිරෙත් ද, මහණෙනි, මේ අවිද්‍යානීවරණය යම් සේ ද (එබඳු වූ) අන් එක ම නීවරණයකුදු මම (ඤාණසමනුපස්සනාවෙන්) නො දකිමි. මහණෙනි, අවිද්‍යානීවරණයෙන් ඇවුරුණා වූ සත්ත්‍වයෝ බොහෝ කලක් මුළුල්ලෙහි (උප්පත්තිවශයෙන්) ඒ ඒ භවයන්හි දිවෙත්, හැසිරෙත්.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම්සේ මෝහයෙන් ඇවුරුණාහු ද එසේ නම් නීවරණයෙකින් සත්ත්‍වයෝ නිතර සසර හැසිරෙත් ද, මේ අවිද්‍යා නීවරණය යම් සේ ද, එබඳු වූ අන් එක ම ධර්‍මයෙකුදු නැත්තේ ය.
3. යම් ආර්‍ය්‍යශ්‍රාවක කෙනෙක් මෝහය දුරු කොට අර්‍හත්ත්‍ව මාර්‍ගඥානයෙන් සහමුලින් මෝහස්කන්‍ධය සින්දාහු ද, ඔහු නැවත සසර නො හැසිරෙත්. ඔවුනට සසර හැසිරීමෙහි හේතුව විද්‍යාමාන නොවේ”.
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 5.
[තණ්හාසංයෝජන සූත්‍රය]
15. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, යම් සඤ්ඤෝජනයෙකින් යුක්ත වූ සත්ත්‍වයෝ දීර්‍ඝකාලයක් සංසාරයෙහි දිවෙත් ද, හැසිරෙත් ද, මහණෙනි, මේ තෘෂ්ණාසංයෝජනය යම් සේ ද එබඳු වූ අන් එකම සඤ්ඤෝජනයකුදු මම ඤාණසමනුපස්සනාවෙන් නො දකිමි. මහණෙනි, තෘෂ්ණාසඤ්ඤෝජනයෙන් යුක්ත වූ සත්ත්‍වයෝ දීර්‍ඝකාලයක් සංසාරයෙහි දිවෙත්, හැසිරෙත්.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මෙය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “තෘෂ්ණාව සහාය කොට ඇති පුරුෂ තෙමේ දීර්‍ඝකාලයක් හැසිරෙන්නේ මනුෂ්‍යාත්මභාවය හා අවශේෂ ආත්මභාව සඞ්ඛ්‍යාත සංසාරය නො ඉක්මෙයි.”
3. “මහණ තෙමේ ස්මෘතිමත් වූයේ දුඃඛයාගේ හට ගැණීම වූ තෘෂ්ණාව මෙ බඳු ආදීනව ඇත්තේ ය යි දැන, පහ කළ තෘෂ්ණා ඇතියේ, උපාදාන රහිත වූයේ, සංසාර ප්‍රවෘත්තියෙන් ඉවත් වන්නේය.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
1. 2. 6.
[පළමු සේඛ සූත්‍රය]
16. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, නො පැමිණි අර්‍හත්ත්‍වය ඇති උතුම් වූ නිවණ පතමින් වෙසෙන ශෛක්‍ෂ භික්‍ෂූහට සිය සතන්හි උපන් අඞ්ගයක් වශයෙන් මේ යෝනිසෝමනසිකාරය යම්සේ බොහෝ උපකාර ඇත්තේ වේ ද, එබඳු වූ අන් එක ම අඞ්ගයකුදු මම නුවණැසින් නො දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරණ භික්‍ෂු අකුසල් පහ කරයි. කුසල් වඩයි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “නුවණින් මෙනෙහි කිරීම් සඞ්ඛ්‍යාත යම් ධර්‍මයෙක් වේ ද, ශෛක්‍ෂ භික්‍ෂුහට අර්‍හත්ත්‍වය ලැබ ගැනීම පිණිස එ සේ මහත් සේ උපකාරී වූ අන් එක් කරුණකුදු නුවණින් නො දක්මි. භික්‍ෂු තෙමේ නුවණින් වීර්‍ය්‍ය වඩනුයේ දුඃඛක්‍ෂයට (නිවණට) පැමිණෙන්නේ ය.“
මේ අර්‍ත්‍ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
1. 2. 7.
[දෙවන සේඛ සූත්‍රය]
17. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, නො පැමිණි අර්‍හත්ත්‍වය ඇති, උතුම් වූ නිවන පතමින් වෙසෙන ශෛක්‍ෂ භික්‍ෂුහට බාහිර වූ අඞ්ගයක් වශයෙන් මේ කල්‍යාණ මිත්‍රයන් ඇති බව බොහෝ උපකාර ඇත්තේ වේ ද, එබඳු වූ අන් එක අඞ්ගයකුදු මම නුවණැසින් නො දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රයන් ඇති භික්‍ෂු තෙමේ අකුසල් පහ කරයි, කුසල් වඩයි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මෙය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සුවච වූ, ගෞරව සහිත වු, කල්‍යාණමිත්‍රයන් ඇති යම් භික්‍ෂුවෙක් වේ ද ( හෙ තෙමේ) නුවණ ඇත්තේ, පිහිටි සිත් ඇත්තේ, කල්‍යාණමිත්‍රයන්ගේ වචනය (ඉටු) කරනුයේ, පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය කිරීම් සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පැමිණෙන්නේ ය.
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
1. 2. 8.
[සඞ්ඝභේද සූත්‍රය]
18. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. “මහණෙනි, එක් (මහා සාවද්‍ය වූ) අකුශල ධර්‍මයෙක් සත්ත්‍ව ලෝකයෙහි පහළ වනුයේ, බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්හට අහිත පිණිස දුක් පිණිස පහළ වෙයි. කවර එක් ධර්‍මයෙක් ද යත්: සඞ්ඝභේදය යි. මහණෙනි, සඞ්ඝයා බිඳුණු කල්හි ඔවුනොවුන්ගේ කලහයෝ ද වෙත්, ඔවුනොවුන්ගේ තර්‍ජනයෝ ද වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙළීම්හු ද වෙත්, ඔවුනොවුන්ගේ අත්හැරීම්හු ද වෙත්. එහි නො පහන් වූවෝ ද නො පහදිත්. පැහැදුණු ඇතැමුන්ගේ වෙනස් බවෙක් ද වෙයි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “අපායෙහි ඉපැද්මට සුදුසු වූ අවීචි මහානරකයෙහි ඉපැත්ම පිණිස පවත්නා වූ, කපක් මුළුල්ලෙහි එහි සිටීමට කාරණ වූ ව්‍යග්‍රාරාම වූ (භේදයෙහි ඇලුණු) අධර්‍මයෙහි පිහිටියා වූ, සඞ්ඝභේද කර්‍මය කරන්නා වූ පුද්ගල තෙමේ නිවනින් වෙසෙසින් පිරිහෙයි. ( නිවන් නො ලබයි.) සමග වූ සඞ්ඝයා බිඳ කල්පයක් නරකයෙහි පැසෙයි.“
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
1. 2. 9.
[සඞ්ඝසාමග්ගී සූත්‍රය]
19. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. “මහණෙනි, එක් කුශල ධර්‍මයෙක් සත්ත්‍ව ලෝකයෙහි උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස, සැප පිණිස උපදියි. කවර එක් ධර්‍මයෙක් ද? යත්: සඞ්ඝයාගේ සමගිය යි. මහණෙනි, සඞ්ඝයා සමඟ වූ කල්හි ඔවුනොවුන්ගේ කලහයෝ නො වෙත්, ඔවුනොවුන්ගේ තර්‍ජනයෝ ද නො වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙළීම්හු ද නො වෙත්, ඔවුනොවුන්ගේ අත් හැරීම් ද නො වේ. එහි ලා නො පහන් වූවෝ පහදිත්. පහන් වූවන්ගේ බොහෝ බව ද වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සඞ්ඝයාගේ සමඟිය සැපයට හේතුවෙකි. සමගවූවනට අනුබල දීම ද සුව එළවන්නේ වේ. සමගියෙහි ඇලුනා වූ, ධර්‍මයෙහි පිහිටි පුද්ගල තෙමේ නිවනින් නො පිරිහෙයි. සඞ්ඝයා සමඟ කොට කල්පයක් දෙව්ලොවැ සතුටු වෙයි.“
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 10.
[පදුට්ඨපුග්ගල සූත්‍රය]
20. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මම මේ ලෝකයෙහි දූෂිත සිතැති ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගලයා මේ කාලයෙහි කලුරිය කෙරේ නම් ගෙන එන ලද්දක් යම් සේ බිම තබා ද, එසේ නිරයෙහි උපදනේ වෙයි. ඒ කවර හෙයින? යත්: මහණෙනි, යම් හෙයෙකින් ඔහුගේ සිත ප්‍රදුෂ්ට ද, එහෙයින්. මහණෙනි, සිත දූෂිත වීම හේතු කොට ගෙණ මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තා වූ, දුකට හේතු වූ, විවශ ව පතිත වන තැන වූ නරකයෙහි උපදිත්.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මෙහි ලා මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු ප්‍රදුෂ්ට සිත් ඇත්තකු වශයෙන් දැන බුදුහු භික්‍ෂුන්ගේ සමීපයෙහි මේ කාරණය ප්‍රකාශ කළහ:
3. මේ කාලයෙහි මේ පුද්ගල තෙමේ කලුරිය කෙරේ නම් නරකයෙහි උපදනේ ය. යම් හෙයකින් ඔහුගේ සිත දූෂිත වූයේ ද එ හෙයිනි.“
4. “යම්සේ යමක් ගෙනවුත් බහා තබන්නේ ද, එසේ ම එවැනි සත්ත්‍වයෝ චිත්තප්‍රදෝෂ හේතුයෙන් දුගතියට යෙත්.“
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදි.
දෙවන වර්‍ගය යි.
එහි උද්දානය:
මෝහ, කෝධ, මක්ඛ, මෝහ, අවිජ්ජා, (නීවරණ), තණ්හා (සංයෝජන) සේඛ දෙකය, සඞ්ඝභේද, සඞ්ඝසාමග්ගි, දුට්ඨපුග්ගල යැ යි මේ සූත්‍ර කීහු. වර්‍ගය දෙවැනි ය යි කියනු ලැබේ.
තතිය වර්‍ගය
1. 3. 1.
[පසන්නචිත්ත සූත්‍රය]
21. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:
1. මහණෙනි, මේ ලෝකයෙහි පැහැදුණු සිත් ඇති ඇතැම් පුද්ගලයකු මෙසේ (මගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දනිමි: “මේ පුද්ගලයා මේ කාලයෙහි කලුරිය කෙරේ නම්, හිසින් ගෙනා බරක් යම්සේ බහා තබනු ලැබේ ද, එසේ ම ස්වර්‍ගයෙහි උපදියි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්න ය. එ හෙයින් මහණෙනි, සිත පැහැදීම හේතු කොට ගෙණ මෙසේ සමහර සත්ත්‍වයෝ කරජකායයාගේ භේදයෙන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයෙහි උපදිත්.”
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) කියනු ලැබේ:
2. “මේ ලෝකයෙහි ඇතැම් පහන් සිතැති පුඟුලකු දැන බුදුහු භික්‍ෂුන්ගේ සමීපයෙහි මේ කාරණය වදාළහ:
3. මේ කාලයෙහි මේ පුද්ගල තෙමේ කලුරිය කෙරේ නම්, සුගතියෙහි උපදනේ ය. ඔහුගේ සිත ප්‍රසන්න ය එහෙයිනි.
4. යම් සේ යමක් ගෙණවුත් බහා තබන්නේ ද, පැහැදුණු සිත් ඇති පුද්ගල තෙමේ ද, එ පරිද්දෙන් ම ස්වර්‍ගයෙහි උපදනේ වේ. සිත පැහැදීම හේතු කොට ගෙන සත්ත්‍වයෝ සුගතියට යෙත්.“
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
1. 3. 2.
[මාපුඤ්ඤභායී සූත්‍රය]
22. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, පිණට බිය නො වවු. මහණෙනි, මේ පින් යනු යහපත් වූ සිත්කලු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ සැපයට නමෙකි. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි (මා විසින්) කරන ලද පුණ්‍යකර්‍මවල යහපත් වූ සිත්කලු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ ප්‍රතිඵල වළඳන ලදැ යි මම හොඳින් දනිමි. සත් වසක් මෙත් සිත වඩා (සංවර්‍ත විවර්‍ත) මහාකල්ප සතක් මුළුල්ලෙහි මේ කාම ලෝකයට පෙරළා නො ආයෙමි. මහණෙනි, කල්පය වැනැසෙන කල්හි ආභස්සර නම් බඹලොවට යන්නෙම් වෙමි. කල්පය හට ගන්නා කල්හි හිස්වූ (ප්‍රථමධ්‍යාන භූමි සඞ්ඛ්‍යාත) බ්‍රහ්ම විමානයෙක උපදිමි. මහණෙනි, මම එහි (බඹ විහරණයෙන් උපන් හෙයින් ) බ්‍රහ්මයා වෙමි. (බ්‍රහ්ම පාරිසද්‍ය බ්‍රහ්ම පුරෝහිතයනට වඩා ශ්‍රේෂ්ඨ හෙයින්) මහාබ්‍රහ්ම වෙමි. කිසිවකු විසින් මැඩ පැවැත්වියැ නො හැකි වෙමි. කිසි යම් ගුණයෙකිනුදු කිසිසේත් මැඩ පැවැත්විය නො හැකි වෙමි. තුන් කල් දත්තෙම් වෙමි. සෙස්සන්ගේ සිත් තමාගේ වශයෙහි පවත්වන්නෙම් වෙමි. මහණෙනි, මම සතිස් වරක් දෙවියනට අධිපති වූ ශක්‍රයා වීමි. නොයෙක් සියගණන් වාරයන්හි ධාර්මික වූ, ධර්‍මරාජන් වූ, සතර මහා ද්වීපයට අධිපති වූ, සතුරන් ජය ගන්නා වූ ජනපදයන්හි ස්ථිරභාවයට පත් වූ, සත් රුවනින් යුක්ත වූ සක්විති රජ වීමි. ප්‍රදේශ රාජ්‍යලාභය ගැන කියනුම කවරේ ද? මහණෙනි, ඒ මට “මේ මගේ කවර කර්‍මයෙක ප්‍රතිඵලයෙක් ද? යම් හෙයකින් මම දැන් මෙසේ මහත් ඍද්ධි ඇත්තෙම් නම්, මහානුභාව ඇත්තෙම් නම්, ඒ කවර කර්‍මයෙක විපාකයෙක් දැ?”යි මෙ බඳු සිතෙක් විය. මහණෙනි, ඒ මට “යමක් හේතු කොට ගෙණ මම දැන් මෙසේ මහත් ඍද්ධි ඇත්තෙම් ද, මෙසේ මහානුභාව ඇත්තෙම් ද, එය මා විසින් කරන ලද මේ පින්කම් තුනේ ප්‍රතිඵලය යි. ඒ කවරේද? යත්: දානය, ඉන්‍ද්‍රිය දමනය, කායවාක් සංවරය යන තුන යැ” යි මේ සිත විය.
බුදුහු මේ කාරණය වදාළහ. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යමෙක් තමහට වැඩ කැමැති නම්, හෙ තෙමේ මහත් ඵල ඇති, සැප විපාක ගෙණ දෙන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව ම සම්පූර්‍ණ කරන්නේ ය. දානය ද (සමචර්‍ය්‍යා නම් වූ) ශීලය ද, මෙත් සිත ද වඩන්නේ ය.
3. නුවණැති මනුෂ්‍ය තෙමේ මේ ත්‍රිවිධ ධර්‍මයන් සම්පූර්‍ණ කොට දුක් රහිත වු බ්‍රහ්ම ලෝකයට පැමිණෙන්නේ ය.“
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. 3. 3.
[උභො-අත්‍ථ සූත්‍රය]
23. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:
1. මහණෙනි, එක් ධර්‍මයෙක් වඩන ලද්දේ නැවැත නැවැත පුරුදු කරණ ලද්දේ මෙලොව යහපත පරලොව යහපත යන උභය ලෝකාර්‍ත්‍ථසිද්ධිය අත් නොහැර පවතී. කවර එක් ධර්‍මයෙක් ද යත්: කුශලධර්‍මයන් කෙරෙහි සිහිය එළැවීම යි. මහණෙනි, මේ එක ම ධර්‍මය වඩන ලද්දේ නැවැත නැවැත පුරුදු කරණ ලද්දේ මෙලොව යහපත පරලොව යහපත යන උභය ලෝකාර්‍ත්‍ථසිද්ධිය අත් නොහැර පවත්නේ යි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පුණ්‍යක්‍රියා විෂයයෙහි සිහිය එළවීම පඬිවරු පසසත්. සිහි ඇති පණ්ඩිත තෙමේ දෙලොව යහපත වෙසෙසින් සලසා ගනී.
3. මෙලොව දී ලැබිය යුතු යම් අභිවෘද්ධියෙක් වේ නම් එය ද, පරලොව දී ලැබිය යුතු යම් අභිවෘද්ධියෙක් ඇත් නම් එය ද යන දෙලොවෙහි අභිවෘද්ධිය ලැබීම හේතු කොට ගෙණ ඒ නැණවත් පුද්ගල තෙමේ පණ්ඩිතයෙක් යැ යි කියනු ලැබේ.“
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය වදාරණ ලදී. මවිසින් මෙසේ අසන ලදි.
1. 3. 4.
[අට්ඨිපුඤ්ජ සූත්‍රය]
24. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මවිසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, මහා කල්පයක් තුළ සසර ඇවිදින්නා වූ, ඒ ඒ භවයෙහි හැසිරෙන්නා වූ සත්ත්‍වයකුගේ ඇටගොඩ, අස්ථිපුඤ්ජය, ඇටරැස ඉදින් එක් රැස් කරණ ලද්දේ නො නැසී පවත්නේ නම්, එය මේ වේපුල්ල පර්‍වතය සෙයින් මහත් වන්නේ ය.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2-3. “මගධ රට ගිරිබ්බජ නම් වූ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වට උතුරින් පිහිටි ඒ මේ වේපුල්ල පර්‍වතය (රජගහ නුවර පිරිවරා සිටි කඳු පහ අතුරින්) මහත් යැ යි කියනු ලැබේ. එක් කපක් තුළ රැස් කරණ ලද එක් පුද්ගලයකුගේ ඇට සමූහය ඒ වේපුල්ල පර්‍වතයට සම වේ යැ යි මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලදී.
4-5. “යම් කලෙක පටන් පුද්ගල තෙමේ දුක ය, දුක ඉපදීමට හේතුවය, දුක් නැති කිරීමය, දුක් නැති කිරීමේ මාර්‍ගය යන ආර්‍ය්‍ය සත්‍යයන් සම්‍යක්ප්‍රඥාවෙන් දකී ද, හෙතෙමේ සත් වර හිම් කොට (භවයෙහි) ඔබ මොබ හැසිර සියලු සඤ්ඤෝජනයන් ක්‍ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නේ වෙයි.”
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මවිසින් මෙසේ අසන ලදී.
1. 3. 5.
[සම්පජානමුසාවාද සූත්‍රය]
25. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, වාක්සත්‍ය නම් වූ එක් ධර්‍මයක් ඉක්මි ඒ පුද්ගලයා විසින් නො කළ හැකි කිසි යම් පාපකර්‍මයෙක් නැතැ යි මම කියමි. කවර එක් ධර්‍මයෙක් ද? යත්: මහණෙනි, යම් බඳුවූ මේ දැන දැන බොරු කීමෙක් වේ ද එය යි.
මේ කාරණය බුදුහු වදාළහ. ඒ අර්‍ත්‍ථය ගාථාවශයෙන් මෙසේ කියනු ලැබේ:
2. “එක ම වාක්සත්‍යය ඉක්මි, බොරු කියන සුලු වූ, පරලොව සැපතින් ඉවත් වූ මනුෂ්‍යයා විසින් නො කළ හැකි පවෙක් නැත්තේ ය.”
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. 3. 6.
[දානසංවිභාග සූත්‍රය]
26. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුසස් මම යම් සේ දනිම් ද, එසේ ම සෙස්සෝත් දනිත් නම් නොදී නො වළඳන්නාහු ය. මසුරු මල ඔවුන්ගේ සිත හාත්පසින් අල්ලා ගෙණ නො සිටින්නේ ය. ඔවුන්ගේ යම් අවසන් බත් පිඩෙක් වෙයි නම්, පිළිගන්නෝද වෙත් නම්, ඒ බත් පිඩෙන් ද කොටසක් බෙදා නොදී නො වළඳන්නාහු ය. මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුසස් මා දන්නා සේ සෙසු මිනිස්සු යම් හෙයකින් නො දනිත් ද, එබැවින් බෙදා දී නො වළඳත්. මසුරුමලද ඔවුන්ගේ සිත හාත්පසින් මැඩ ගෙණ සිටියි.