මහණෙනි, යමක් හේතු කොට භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී ද, මේ ඒ තෘෂ්ණෝත්පාද කාරණයෝ සිවු දෙන වෙති.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “තෘෂ්ණා දෙවෙනි කොටැති (තෘෂ්ණාව සහාය කොටැති) පුරුෂ තෙම දීර්‍ඝ කාලයක් මුළුල්ලෙහි හැසිරෙන්නේ මේ ආත්මභාවය ද අනාගත ආත්මභාවය ද ලක්‍ෂණ කොට ඇති සංසාරය නො ඉක්මෙයි.
3. තෘෂ්ණාව සසර දුකට මුල් වන්නේ යැ යි මෙසේ ආදීනව වශයෙන් දැන පහ කරණ ලද තෘෂ්ණාව ඇති (නැවත භවයෙහි පිළිසඳ ගැන්මක් නැති හෙයින්) ආදාන රහිත වූ, ස්මෘතිමත් වූ (ක්‍ෂීණාස්‍රව) භික්‍ෂු තෙමේ සංසාර ප්‍රවෘත්තියෙන් ඉවත් වන්නේ ය.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 7.
[සබ්‍රහ්මක සූත්‍රය]
106. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ බ්‍රහ්මයා සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්‍වදේවතාවන් සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ පූර්‍වාචාර්‍ය්‍යයන් සහිතයෝ වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත් ද, ඒ කුලයෝ සාහුනෙය්‍ය (වෙත පමුණුවා දන් දිය යුත්තන් සහිත) වෙත්.
මහණෙනි, බ්‍රහ්ම යන මෙය මවුපියන්ට නමෙකි. මහණෙනි, පූර්‍වදේව යන මෙය මවුපියන්ට නමෙකි. මහණෙනි, පූර්‍වාචාර්‍ය්‍ය යන මේ මවුපියන්ට නමෙකි. මහණෙනි, ආහුනෙය්‍ය යන මෙය මවුපියන්ට නමෙකි. ඒ කවර හෙයින යත්:
මහණෙනි, මවුපිය දෙදෙන පුත්‍රයනට බෙහෙවින් උපකාර ඇත්තෝ වෙත්. ජීවිතාරක්‍ෂකයෝ වෙත්. (අත් පා වඩා) පෝෂණය කරන්නෝ වෙත්. මේ ලොව (ඉටු අනිටු අරමුණු) දක්වන්නෝ වෙත්.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පුත්‍රප්‍රජාවට අනුකම්පා කරණ මවුපිය දෙදෙන පුත්‍රයනට බ්‍රහ්මයෝ යැ යි පූර්‍ව ආචාර්‍ය්‍යවරයෝ යැ යි ද (දුරින් ගෙණවුත් දිය යුත් ආහාරාදියට සුදුසු) ආහුනෙය්‍යයෝ යැ යි ද කියනු ලැබෙත්.
3. එහෙයින් නුවණැති පුද්ගල තෙමේ ඒ මවුපියනට නමස්කාර කරන්නේ ය. යලි ආහාරයෙන් ද, පානයෙන් ද, වස්ත්‍රයෙන් ද, සයනයෙන් ද, ඇඟ ඉළීමෙන් ද, නැහැවීමෙන් ද, පාදෙවීමෙන් ද, සත්කාර කරන්නේ ය.
4. පණ්ඩිතයෝ මවුපියන් කෙරෙහි ඒ (අත්පා මෙහෙකිරීමාදි) උවටැන් කිරීම නිසා මෙ ලොව දී ඔහු පසසත්. මරණින් මතු ස්වර්‍ගයෙහි ඉපිද අතිශයින් සතුටු වේ.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 8.
[බහුකාර සූත්‍රය]
107. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, යම් බමුණු ගැහැවි කෙනෙක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් තොපට උවටැන් කරන්නාහු වෙත් ද, ඔහු (තොපට) බෙහෙවින් උපකාර ඇත්තාහු වෙත්. මහණෙනි, තෙපි ද ඒ බමුණු ගැහැවියනට යම් හෙයකින් මුල යහපත් වූ මැද යහපත් වූ අවසන යහපත් වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියලු ලෙසින් සම්පූර්‍ණ වූ ධර්‍මය දේශනා කරවු ද, පිරිසුදු (ශාසනමාර්‍ග) බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරවු ද, (එහෙයින්) ඔවුන්ට තෙපි ද බෙහෙවින් උපකාරීහ. මහණෙනි, මෙසේ වනාහි ඔවුනොවුන් ඇසුරු කොට චතුරෝඝය තරණය කරණු පිණිස මනා කොට සියලු සසරදුක් කෙළවර කරණු පිණිස මේ බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද යන දෙ පක්‍ෂය ඔවුනොවුන් ඇසුරු කරන්නාහු (ප්‍රතිපත්ති ප්‍රතිවේධ) සද්ධර්‍මය ද, අර්‍හත්ත්‍වය හා නිවණ ද සම්පාදනය කෙරෙත්.
3. පැවිද්දෝ ගෘස්ථයන්ගෙන් පීඩා උපද්‍රව දුරු කරණ සිවුරුය සෙනසුන් ය (පිණ්ඩපාත ගිලන්පස යන) ප්‍රත්‍යය ද පිළිගණිත්.
4. ආර්‍ය්‍ය පුද්ගලයා නිසා ගිහිගෙයි වෙසෙන ගෘහස්ථයෝ රහතුන්ගේ වචන අදහන්නාහු සුවිශුද්ධ ප්‍රඥාවෙන් ධ්‍යාන කරණ සුලු වූවාහු,
5. මේ අත්බැව්හිදී (ලොවී ලොවුතුරා) සැපයට මාර්‍ගය වූ (ශීලාදි) ධර්‍මයෙහි හැසිර සතුටු වන සුලු වූවාහු දෙව්ලොවෙහි කාමසැප කැමැත්තාහු සතුටු වෙත්.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 9.
[කුහ සූත්‍රය]
108. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් කිසි භික්‍ෂු කෙනෙක් කුහක වූවාහු (ජනයන් විස්මය පත් කරන්නාහු) (ක්‍රෝධයෙන් හා මානයෙන්) දැඩි සිත් ඇත්තාහු (ප්‍රත්‍යය සඳහා ජනයන්) පොළොඹවන්නාහු, ශෘඞ්ගදෘස වූවාහු (ප්‍රකට කෙලෙස් ඇත්තාහු) උස් වූ මානනළ ඇත්තාහු, එකඟසිත් නැත්තාහු වෙද්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා අයත් වූවෝ නො වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙන් බැහැර වූවෝ වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙහි (ශීලාදි ගුණයෙන්) වැඩීමට ද නැගීමට ද මහත් බවට ද නො පැමිණෙත්.
මහණෙනි, යම් කිසි භික්‍ෂු කෙනෙක් කුහක නොවූවාහු (ප්‍රත්‍යය පිණිස) නොපොළඹ වන්නාහු ප්‍රාඥ වූවාහු දැඩි නොවූවාහු එකඟ සිත් ඇත්තාහු වෙද්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා අයත් වූවාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ සස්නෙන් බැහැර නොවූවාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ සස්නෙහි ශීලාදි ගුණයෙන් වැඩීම ද (අචල ව) නැගීමට ද (පතළ බැවින්) මහත් බවට ද පැමිණෙති.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් භික්‍ෂූ කෙනෙක් කුහක වූවාහු, දැඩි වූවාහු (ජනයන්) පොළඹ වන්නාහු, ප්‍රකට කෙලෙස් ඇත්තාහු, උස්වූ මාන නළ ඇත්තාහු, එකඟ සිත් නැත්තාහු වෙද්ද, ඒ භික්‍ෂූහු බුදුරදුන් වදාළ ධර්‍මයෙහි වැඩීමට නො පැමිණෙත්.
3. (යම් කෙනෙක්) කුහක නොවූවාහු (ප්‍රත්‍යය පිණිස) නොපොළොඹ වන්නාහු, ප්‍රාඥ වූවාහු, දැඩි සිත් නැත්තාහු, මනා කොට එකඟ සිත් ඇත්තාහු වෙද්ද, ඔහු ඒකාන්තයෙන් බුදුරදුන් වදාළ සද්ධර්‍මයෙහි වැඩීමට පැමිණෙත්.”
මෙ කරුණ භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 10.
[පුරුෂප්‍රියරූප සූත්‍රය]
109. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ප්‍රිය ස්වභාවය හා සුඛස්වභාවය ඇති ස්වර්‍ණාදි වස්තුව නිසා යම්සේ පුරුෂයෙක් ගඟෙහි සැඩ දිය පහරින් පහලට ගෙණ යනු ලැබේ ද, එහි ඇස් ඇති පුරුෂයෙක් ගංතෙර සිටියේ, (ඔහු) දැක මෙසේ කියන්නේ ය: “එම්බල පුරුෂය, තෝ ප්‍රියස්වභාවය හා සුඛස්වභාවය ඇති වස්තුව නිසා ගඟෙහි සැඩ දිය පහරින් පහලට ගෙණ යනු ලැබෙන්නෙහි නමුදු මේ නදියේ පහල රළ සහිත වූ දිය සුළි සහිත වු ග්‍රාහ (චණ්ඩ මත්ස්‍යාදීන්ගේ ගැණීම්) සහිත වූ දිය රකුසන් සහිත වූ මහවිලෙක් ඇත්තේ ය. එම්බල පුරුෂය, තෝ යම් ඒ විලකට පැමිණ මරණයට හෝ මරණය තරම් දුකකට හෝ පැමිණෙන්නෙහි ද, එසේ වූ විලෙක” (කියායි.) මහණෙනි, එ කල්හි ඒ පුරුෂ තෙමේ ඒ පුරුෂයාගේ වචනය අසා අතින් ද පයින් ද දියපහර තරණය කරන්නේ ය.
මහණෙනි, අර්‍ත්‍ථාවබෝධයට මා විසින් මේ උපමාව කරණ ලදී. මෙහි මේ අර්‍ත්‍ථය වේ:
මහණෙනි, ගඟෙහි සැඩ දියපහර යන මෙය තෘෂ්ණාවට නමෙකි. මහණෙනි, ප්‍රියස්වභාවය හා සුඛස්වභාවය ඇති වස්තුව යන මෙය සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයට නමෙකි. මහණෙනි, පහල (භය සහිත) දියවිල යන මෙය පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයනට නමෙකි. මහණෙනි, රළ යන මෙය ක්‍රෝධයට හා උපායාසයට නමෙකි. මහණෙනි, දියසුළිය යන මෙය පඤ්චකාම ගුණයනට නමෙකි. මහණෙනි, සගහසරක්ඛස යන මෙය මාගමට නමෙකි. මහණෙනි, ප්‍රතිස්‍රෝතස යන මෙය නෙක්ඛම්මයට නමෙකි. අත්පාවලින් ව්‍යායාමය යන මෙය සතර සම්‍යක් ප්‍රධන්වීර්‍ය්‍යයට නමෙකි. මහණෙනි, ගංතෙර සිටි ඇස් ඇති පුරුෂයා යන මෙය අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයනට නමෙකි.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මතු (අනාගාමි බව හා අර්‍හත්ත්‍වය) පතන්නාවූ භික්‍ෂු තෙම දුක් සහිතව ම කාමයන් දුරු කරන්නේ ය. සම්‍යක් ප්‍රඥා ඇති, මොනොවට මිදුනු සිත් ඇති (හෙ තෙම) (මාර්‍ගඵලාධිගමය කළ) ඒ ඒ අවස්ථාවන්හි විමුක්තිසඞ්ඛ්‍යාත නිර්‍වාණය ස්පර්‍ශ කරන්නේ ය. වේද සඞ්ඛ්‍යාත මාර්‍ගඥානයෙන් චතුස්සත්‍යාවබෝධය කළා වූ, වැස නිම වූ බඹසර ඇති ඒ භික්‍ෂුතෙම ස්කන්‍ධලෝකයෙහි අනත්යට ගියේ යැ යි ද (සසර පරතෙර වූ) නිවණට ගියේ යැ යි ද කියනු ලැබේ.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 11.
[චර සූත්‍රය]
110. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, හැසිරෙන්නාවූ ද භික්‍ෂුහට ඉදින් කාමවිතර්‍කයක් හෝ ව්‍යාපාදවිතර්‍කයක් හෝ විහිංසාවිතර්‍කයක් හෝ උපදී ද, මහණෙනි, ඉදින් ඒ මහණ තෙමේ ඒ විතර්‍කය ඉවසා ද (තදඞ්ගාදි වශයෙන්) පහ නො කෙරේ ද, (සිතින්) බැහැර නොකෙරේ ද, කෙළවර නොකෙරේ ද, නැවැත නොඉපදීමට නොපමුණුවා ද, මහණෙනි, හැසිරෙන්නාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ වීර්‍ය්‍ය නැත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, ඉදින් සිටියාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් එම විතර්‍කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවැත නොඉපදීමට නොපමුණුවා ද, මහණෙනි, සිටියාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්‍ය්‍යය නැත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, හුන්නාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් විතර්‍කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවත නොඉපදීමට නොපමුණවා ද, මහණෙනි, හුන්නාවූ ද මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්‍ය්‍යය නැත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය ඉවසා ද, පහ නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, කෙළවර නො කෙරේ ද, නැවත නොඉපදීමට නො පමුණුවා ද, මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැති, පවෙහි බිය නැති, නිතොර කුසීත වූ, වීර්‍ය්‍යය නැත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, හැසිරෙන්නාවූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයන ලද සිතැත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.
මහණෙනි, සිටියාවූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, මහණෙනි, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයන ලද සිතැත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.
මහණෙනි, හුන්නාවූ ද මහණහට කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, මහණෙනි, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපැදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිතැත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.
මහණෙනි, නිදන්නා වූ ද නොනිදන්නා වූ ද මහණහට ඉදින් කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදී ද, ඒ මහණ තෙමේ ඉදින් ඒ විතර්‍කය නො ඉවසා ද, පහ කෙරේ ද, (සිතින්) බැහැර කෙරේ ද, කෙළවර කෙරේ ද, නැවත නොඉපදීමට පමුණුවා ද, මහණෙනි, මෙබඳු වු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවෙහි බිය ඇති, නිතොර පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැ යි (කායජීවිත දෙක්හි අපේක්‍ෂා රහිතයෙකැ යි) කියනු ලැබේ.
භාග්‍යවත්හු මේ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “හැසිරෙන්නාවූ හෝ ඉදින් සිටින්නාවූ හෝ හුන්නාවූ හෝ නිදන්නා වූ හෝ යම් මහණෙක් තෙමේ ලාමක වූ පඤ්චකාමගුණ ඇසුරු කළ යම් විතර්‍කයක් කල්පනා කෙරේ ද,
3. නින්‍දිත මාර්‍ගයට බැසගත්තාවූ, මෝහය උපදවන (රූපාදි අරමුණවල) මුළා වූ, එබඳු මහණ තෙමේ උතුම් සම්බෝධය (අරහත්ත්‍වමාර්‍ගඥානය) ස්පර්‍ශ කරන්නට සුදුස්සෙක් නොවේ.
4. හැසිරෙන්නාවූ හෝ සිටින්නාවූ හෝ හුන්නාවූ හෝ යලි නිදන්නාවූ හෝ මහණෙක් කාමාදි ත්‍රිවිධ) විතර්‍කයන් සංසිඳුවා විතර්‍ක සංසිඳුවාලීමෙහි ඇලුනේ වේ නම් එබඳු මහණ තෙමේ උතුම් අර්‍හත්ත්‍වමාර්‍ගඥානය ස්පර්‍ශකරන්නට සුදුස්සෙක් වේ.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 12.
[සම්පන්නසීල සූත්‍රය]
111. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සිල්වත් ව වාසය කරවු. පාතිමොක්ඛසංවරයෙන් යුක්ත ව පාතිමොක්ඛසංවරයෙන් සංවෘත ව ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත ව අණුප්‍රමාණ (ඉතා සුලු) වරදෙහි පවා බිය දක්නා සුලු ව වාසය කරවු. ශික්‍ෂාපදයන් මනා කොට සමාදන් ව ගෙණ හික්මෙවු.
මහණෙනි, සිල්වත් ව පාතිමොක්ඛසීලයෙන් යුක්ත ව පාතිමොක්ඛසංවරසීලයෙන් සංවෘත ව ආචාරගෝචර දෙකින් යුක්තව, අණුප්‍රමාණ වරදෙහි පවා භය දක්නා සුලු ව වසන, ශික්‍ෂාපදයන්හි මොනොවට සමාදන් ව හික්මෙන තොප විසින් මහණෙනි, මත්තෙහි කුමක් කටයුතු වන්නේ ද?
මහණෙනි, හැසිරෙන්නාවූ මහණහට කාමච්ඡන්‍දය පහ වූයේ වේ ද, ව්‍යාපාදය පහ වූයේ වේ ද,ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය (නොසංසුන් බව හා කුකුස් බව) පහ වූයේ වේ ද, විචිකිච්ඡාව පහ වූයේ වේ ද, වීර්‍ය්‍යය වඩනා ලද්දේ (එ හෙයින්) නො හැකුළුනේ සිහිය එළඹ සිටියේ (එහෙයින්) නො නටුයේ වේ ද, නාමකය හා රූපකය සංසිඳුනේ (එහෙයින්) දරථ රහිත වේ ද, සිත මනා ව පිහිටියේ (එහෙයින් ම) එකඟ වූයේ වේ ද, මහණෙනි, හැසිරෙන්නාවූ ද මෙබඳු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවට බිය ඇති නිතොර සම්පූර්‍ණ කරණ ලද වීර්‍ය්‍යය ඇති නිවන් කරා මෙහෙයූ සිතැති (කායජීවිතයෙහි අපේක්‍ෂා රහිත) තැනැත්තෙ කැයි කියනු ලැබේ.
මහණෙනි, සිටියාවූ ද මහණහට අධික ලෝභය පහ වූයේ වේ ද, ව්‍යාපාදය පහ වූයේ වේ ද, ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය පහ වූයේ වේ ද, සැකය පහ වූයේ වේ ද, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ (එහෙයින්) නොහැකුළුනේ වේ ද, සිහිය එළැඹ සිටියේ (එහෙයින්) නොනටුයේ වේ ද, නාමකය හා රූප කය සන්හිඳුනේ (එහෙයින්) දරථ රහිත වේ ද, සිත මනා ව පිහිටියේ (එහෙයින් ම) එකඟ වූයේ වේ ද, මහණෙනි, සිටියාවූ ද, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවට බිය ඇති නිතොර පිරිපුන් වීර්‍ය්‍යය ඇති නිවන් කරා මෙහෙයූ සිතැත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, හුන්නාවූ ද මහණහට අධික ලෝභය පහ වූයේ වේ ද, ව්‍යාපාදය පහ වූයේ වේ ද, ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය පහ වූයේ වේ ද, සැකය පහ වූයේ වේ ද, වීර්‍ය්‍යය පිරිපුන් කරණ ලද්දේ (එහෙයින් ම) නොහැකුළුනේ වේ ද, සිහිය එළඹ සිටියේ (එහෙයින් ම) නොනටුයේ ද, නාමකය හා රූපකය සන්හිඳුනේ (එහෙයින් ම) දරථ රහිත වේ ද, සිත මනාව පිහිටියේ (එහෙයින් ම) එකඟවූයේ වේ ද, මහණෙනි, සිටියාවූ ද, මෙබඳු වූ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, පවට බිය ඇති, නිතොර පිරිපුන් වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැ යි කියනු ලැබේ.
මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මහණහට අධික ලෝභය පහ වූයේ වේ ද, ව්‍යාපාදය පහ වූයේ වේ ද, ථීනමිද්ධය පහ වූයේ වේ ද, උද්ධච්චකුක්කුච්චය පහ වූයේ වේ ද, විචිකිච්ඡාව පහ වූයේ වේ ද, වීර්‍ය්‍යය පිරිපුන් කරණ ලද්දේ (එහෙයින් ම) නොහැකුළුනේ වේ ද, සිහිය එළඹ සිටියේ (එහෙයින් ම) නොනටුයේ වේ ද, නාම කය හා රූප කය සන්හිඳුනේ (එහෙයින් ම) දරථ රහිත වේ ද, සිත මනා ව පිහිටියේ (එහෙයින් ම) එකඟ වූයේ වේ ද, මහණෙනි, නිදන්නාවූ ද නොනිදන්නාවූ ද මෙබඳු මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, පවට බිය ඇති, නිතොර පිරිපුන් කරණ වීර්‍ය්‍යය ඇති, නිවන් කරා මෙහෙයූ සිත් ඇත්තෙකැ යි කියනු ලැබේ.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “භික්‍ෂු තෙමේ වීර්‍ය්‍යය වඩනුයේ හැසිරෙන්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ සිටින්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ හිඳින්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ නිදන්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ අත් පා ඈ හකුළුවන්නේ ය. වීර්‍ය්‍යය වඩනුයේ (අඟපසඟ) දිගු කරන්නේ ය.
3. උඩ දිශාවෙහි ද, වටා දිශාභාගයන්හි ද, යට දිශාවෙහි ද යම් තාක් සත්ත්‍වසංස්කාරලෝකයාගේ පැවැත්මෙක් වේ ද, (ඒ හැම තන්හි) (නිස්සත්තනිජ්ජීව) ධර්‍මයන්ගේ ද පඤ්චස්කන්‍ධයන්ගේ ද උදයව්‍යය (ඇති වීම හා නැති වීම) විදර්‍ශනා නුවණින් බලන්නෙක් වන්නේ ය.
4. මෙබඳු විහරණ ඇති, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, ශාන්ත පැවතුම් ඇති, සන්හුන් සිත් ඇති, චිත්තශමථයට සුදුසු ප්‍රතිපත්ති (ඥානදර්‍ශනවිශුද්ධිය) වඩන්නාවූ, හැම කල්හි සිහි ඇතියේ වූ භික්‍ෂු තෙම නිවණ කරා යවන ලද සිත් ඇත්තෙකැ යි (ආර්‍ය්‍යයෝ) කියත්.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
4. 1. 13.
[ලෝකාවබෝධ සූත්‍රය]
112. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ලෝකය (දුඃඛසත්‍යය) තථාගත බුදුහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. තථාගත තෙම ලෝකයෙන් වෙන්වූයේ වෙයි. මහණෙනි, ලෝකයට හේතුව තථාගත බුදුහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. ලෝකයට හේතුව තථාගත බුදුහු විසින් (සමුච්ඡේද වශයෙන්) ප්‍රහීණ කරණ ලද්දේ ය. මහණෙනි, තථාගත බුදුහු විසින් ලෝකනිරෝධය (නිවණ) මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. තථාගත බුදුහු විසින් ලොකනිරොධය ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ ය. මහණෙනි, ලෝකනිරෝධගාමිනීප්‍රතිපත්තිය (අරිඅටැගිමඟ) තථාගත බුදුහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දේ ය. ඒ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය තථාගත බුදුහු විසින් වඩන ලද්දේ ය.
මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් ද, මහණබමුණන් සහිත දෙවිමින්සුන් සහිත සත්ත්‍වප්‍රජාව විසින් ද, යමක් දක්න ලද ද, අසන ලද ද, (නැහැය දිව කන යන මෙයින්) සම්ප්‍රාප්තග්‍රාහයෙන් ගන්නා ලද ද, සිතින් දැන ගන්නා ලද ද, (සොයා හෝ නොසොයා) ලබන ලද ද, (ලැබුවක් හෝ නොලැබූවක්) සොයන ලද ද, සිතින් විමසන ලද ද, ඒ සියල්ල යම් හෙයකින් තථාගත බුදුහු විසින් මැනැවින් අවබෝධ කරණ ලද්දේ ද, එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ.
මහණෙනි, තථාගත තෙම යම් රාත්‍රියෙක්හි නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙරේ ද, යම් රාත්‍රියෙක්හි අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවේ ද, මේ අතුරෙහි යමක් වදාරා ද, ප්‍රකාශ කෙරේ ද, දක්වා ද, ඒ සියල්ල එසේ ම වේ. අන් පරිද්දෙකින් නො වේ. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ.
මහණෙනි, තථාගත තෙම යම්සේ කියන්නේ ද, එසේ ම කරන්නේ වේ. තථාගත තෙමේ යම්සේ කරන්නේ ද, එසේ ම කියන්නේ වේ. මෙ පරිද්දෙන් යම්සේ කියන සුලු නම් එසේ කරණ සුලු ය. යම්සේ කරණ සුලු නම් එසේ කියන සුලු ය. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාවෙහි තථාගත තෙම අනුන් මැඩ පවත්වන්නේ අනුන් විසින් නො මඩනා ලද්දේ ය. ඒකාන්තයෙන් සියල්ල දක්නේ සියල්ල තමා වශයෙහි පවත්වයි. (එහෙයින්) තථාගත යැ යි කියනු ලැබේ.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මුළු ලොව (ත්‍රෛධාතුක ලෝකසන්නිවාසය) මැනැවින් දැන, මුළු ලොව්හි (දතයුතු සියල්ල තත් වූ පරිද්දෙන් (දැන) සියලු ලෝකයෙන් වෙන් වූ, සියලු තෘෂ්ණාදෘෂ්ටි ග්‍රහණ රහිත වූ,
3. (රූපාදි අරමුණු) සියල්ල මැඩ පවත්වා සිටි ඒ ධීර තෙම ඒකාන්තයෙන් සියලු ක්ලේශග්‍රන්‍ථයන් මුදා සිටියේ වේ. (ඔහු විසින්) උතුම් නිවණ ඥානස්පර්‍ශයෙන් ස්පර්‍ශ කරණ ලදී. ඒ නිර්‍වාණය කොතැනිනුත් බියක් නැතියෙක.
4. දුක් රහිත වූ, සිඳින ලද සැක ඇති, සියලු කර්‍මයන්ගේ ක්‍ෂයයට පැමිණියාවූ මේ ක්‍ෂීණාස්‍රව බුදුරජ තෙමේ උපධික්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි (එය අරමුණු කොටැති) ඵල විමුක්තියෙන් මිදුනේ වෙයි.
5. ඒ මේ භගවත් තෙමේ (චතුස්සත්‍යාවබෝධය කළ හෙයින්) බුද්ධ ය. මේ (භගවත්) තෙමේ (උපද්‍රවයන් ඉවසන හෙයින් හා කෙලෙස් නසන හෙයින්) නිරුත්තර සිංහ ය. හේ දෙවියන් සහිත ලෝකයාට ශ්‍රේෂ්ඨ (ධර්‍ම) චක්‍රය පැවැත්වූයේ ය.
6. මෙසේ යම් දෙව්මිනිස් කෙනෙක් බුදුන් සරණ ගියාහු ද, (ඔවුහු) (ගුණයෙන්) මහත් වූ (චතුර්වෛශාරද්‍යයෙන්) වීතසාර ද වූ උන් වහන්සේ කරා පැමිණ නමස්කාර කරත්.
7. තෙමේ දැමුනේ අනුන් දමනය කරන්නවුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ය. ශාන්ත වූයේ අනුන් ශාන්ත කරන්නවුන් අතුරෙහි ඍෂි ය. තෙමේ මිදුනේ අනුන් මුදන්නවුන් අතුරෙහි අග්‍රය. තෙමේ එතෙරැ වූයේ එතෙරැ කරන්නවුන් අතුරෙහි උතුම් ය.
8. මෙසේ ගුණ දැන මහත් වූ වීතසාරද වූ ඔබ වහන්සේට (දෙව්මිනිස් ආදීහු) නමස්කාර කෙරෙත්. දෙවිමිනිසුන් සහිත ලෝකයෙහි ඔබ වහන්සේට සමාන පුද්ගලයෙක් නැත්තේ ය.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
චතුෂ්ක නිපාතය නිමි.
උද්දානය:
බ්‍රාහ්මණ සූත්‍රය, වතුඅනවජ්ජ සූත්‍රය, ජානතොආසවක්ඛය සූත්‍රය, සමණබ්‍රාහ්මණ සූත්‍රය, සීලසම්පන්න සූත්‍රය, තණ්හුප්පාද සූත්‍රය, සබ්‍රහ්මක සූත්‍රය, බහුකාර සූත්‍රය, කුහ සූත්‍රය, පුරිසපියරූප සූත්‍රය, චරතොආදිවිතක්ක සූත්‍රය, සම්පන්නසීල සූත්‍රය, ලෝකාවබෝධ සූත්‍රය - මෙතෙකින් මේ වර්‍ගයෙහි සූත්‍ර තෙළෙසෙකි.
සත්විසි සුතුරින් යුත් ඒකකනිපාතය ද, දෙවිසි සුතුරින් යුත් දුක නිපාතය ද, නැවැත සමපනස් සුතුරින් යුත් තිකනිපාතය ද, තෙළෙස් සුතුරින් යුත් චතුක්කනිපාතය දැ යි යන මේ යමෙක් වේ ද, එහි මේ එක්සිය දොළොසක් සූත්‍ර පෙරැ රහත්හු ශාසනස්ථිතිය පිණිස සංගායනා කොටැ තුබුවාහු ද, එය නමින් ඉතිවුත්තක යැ යි කීහු.
ඉතිවුත්තක පෙළ නිමි.