3. 5. 8.
[කල්‍යාණශිල සූත්‍රය]
97. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, සොඳුරු (පිරිපුන්) සිල් ඇත්තාවූ, කල්‍යාණ (බෝධිපාක්‍ෂික) ධර්‍ම ඇත්තාවූ, කල්‍යාණ (මාර්‍ගඵලාදි) ප්‍රඥා ඇත්තාවූ මහණ තෙම මේ ශාසනයෙහි සියලු ගුණයෙන් යුත් (රහත් වූ) වැස නිමවූ බඹසර ඇති (අසේඛධර්‍මයෙන් යුත්) උත්තම පුරුෂයා යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් මහණ තෙම කලණ සිල් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වූයේ, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්තව වෙසේ ද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව අනුප්‍රමාණ (ඉතා සුළු) වූ ද වරදෙහි භය දක්නා සුලු වූයේ, ශික්‍ෂාපදයන්හි මනා කොට සමාදන්ව හික්මෙන්නේ වේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කලණ (පිරිපුන්) සිල් ඇත්තේ වේ. මෙ පරිද්දෙන් කලණ සිල් ඇත්තේ වෙයි.
මහණෙනි, කලණ දහම් ඇති මහණ තෙමේ කෙබඳු වේ ද? මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ කොටස් වශයෙන් සතක් වූ බෝධිපාක්‍ෂික ධර්‍මයන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදුනෙක්ව වෙසේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කල්‍යාණ ධර්‍ම ඇත්තේ වේ. මෙපරිද්දෙන් කලණ සිල් ඇත්තේ කලණ දහම් ඇත්තේ ද වේ.
මහණෙනි, කල්‍යාණප්‍රඥා ඇත්තේ කෙබඳු වේ ද? මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මේ අත්බව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කල්‍යාණප්‍රඥා ඇත්තේ වේ. මෙපරිද්දෙන් කල්‍යාණශීලය ඇත්තේ, කල්‍යාණධර්‍ම ඇත්තේ, කල්‍යාණප්‍රඥා ඇත්තේ මේ ශාසනයෙහි වැස නිම වූ බඹසර ඇති, රහත් වූ උත්තම පුරුෂයා යැ යි කියනු ලැබේ.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් මහණකුට කයින් හෝ වචසින් හෝ මනසින් වන දුශ්චරිතයෙක් (අකුශලයෙක්) නැත්තේ ද, හිරිසම්පන්න (පවෙහි ලජ්ජා ඇති) ඒ මහණ ඒකාන්තයෙන් කලණ සිල් ඇත්තේ ය යි කියත්.
3. යම් මහණෙකු විසින් ආර්‍ය්‍යමාර්‍ගඥානයට පමුණුවන සත් (බෝපැකි) දහම්හු වඩන ලද්දාහු ද, රාගාදි උස්සද රහිත වූ ඒ මහණ කල්‍යාණධර්‍ම ඇත්තෙකැ යි කියත්.
4. යම් මහණෙක් මේ අත්බව්හි ම තමාගේ දුඃඛක්‍ෂයය මැනැවින් දනී ද, ආස්‍රවරහිත වූ ඒ මහණ කල්‍යාණප්‍රඥා ඇත්තෙකැ යි කියත්.
5. ඒ (ශීල සමාධි ප්‍රඥා) ධර්‍මයන්ගෙන් යුක්ත වූ, දුක් රහිත වූ, සිඳින ලද සැක ඇති, තෘෂ්ණාදෘෂ්ටීන් ඇසුරු නොකළාවූ (ඔහු) සියලු සත්ත්‍වලෝකයෙහි සියල්ල පහ කළාවූ පුද්ගලයා යැ යි කියත්.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 9.
[දාන සූත්‍රය]
98. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, ආමිසදානය ධර්‍මදානයැ යි මේ දාන දෙකෙකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් ධර්‍මදානයෙක් වේ නම් මෙය අග්‍ර ය. මහණෙනි, ආමිසසංවිභාගය ධර්‍මසංවිභාගයැ යි මේ සංවිභාගයෝ දෙදෙනෙකි. මහණෙනි, මේ සංවිභාග දෙක අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම් මෙය අග්‍රය. මහණෙනි, ආමිස අනුග්‍රහය ධර්‍මානුග්‍රයැ යි මේ අනුග්‍රහ දෙකෙකි. මහණෙනි, මේ අනුග්‍රහ දෙක අතුරෙන් ධර්‍මානුග්‍රහය යන යමෙක් වේ නම් මෙය අග්‍රය.
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “භගවත්හු උතුම් වූ නිරුත්තර වූ යම් දානයක් වදාළ ද, (උතුම්) යම් දානසංවිභාගයක් වැණුහු ද, අග්‍ර වූ පින්කෙතෙහි පහන් සිත් ඇති, මැනැවින් අනුසස් දන්නා, කවර නම් නුවණැත්තෙක් සුදුසු කල්හි ඒ දන් නො දෙන්නේ ද,
3. බුදුරදුන්ගේ ශාසනයෙහි පහන් සිත් ඇති යම් (දේශක) කෙනෙක් කියද්ද, යම් (ප්‍රතිග්‍රාහක) කෙනෙකුත් අසද්ද, ඒ දෙ පක්‍ෂය පිළිබඳ ධර්‍මදානාදි පරමාර්‍ත්‍ථය (ක්ලේශමල විශෝධනයෙන්) පිරිසිදු වෙයි. යම් කෙනෙක් බුද්ධානුශාසනයෙහි අප්‍රමත්ත වෙත් නම් (ඔවුන්ගේ) පරමාර්‍ත්‍ථය (අර්‍හත්ත්‍වඵලවිශුද්ධියෙන්) අතිශයින් පිරිසිදු වේ.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
3. 5. 10.
[ත්‍රෛවිද්‍යා සූත්‍රය]
99. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මම් (සම්‍යක්ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත) කාරණයෙන් ත්‍රිවිද්‍යා ඇතියහු බ්‍රාහ්මණයා කොට පණවමි. (අට්ටකාදි ඍෂීන්) කී දෑ කියන පමණින් ත්‍රෛවිද්‍යායාගෙන් අන්‍ය වු එකකු බ්‍රාහ්මණ කොට නො පණවමි.
මහණෙනි, කෙසේ නම් කාරණයෙන් ත්‍රෛවිද්‍යාක බ්‍රාහ්මණයා පණවම් ද, ලපිතලාපන මාත්‍රයෙන් නො පණවම් ද?
මහණෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් නන්වැදෑරුම් වූ පෙරැ විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි: ඒ මෙසේ යි. එක් ජාතියක් ද, දෙ ජාතියක් ද, තුන් ජාතියක් ද, සිවු ජාතියක් ද, පස් ජාතියක් ද, දස ජාතියක් ද, විසි ජාතියක් ද, තිස් ජාතියක් ද, සතළිස් ජාතියක් ද, පනස් ජාතියක් ද, සියක් ජාතියක් ද, දහස් ජාතියක් ද, සියදහස් ජාතියක් ද, නොයෙක් නැසෙන කල්පයන් ද, නොයෙක් වැඩෙන කල්පයන් ද, නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද, අසෝ තැනැ වීමි. එහි මෙ නම් ඇත්තෙම් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙබඳු පැහැ ඇත්තෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සැප දුක් විඳින්නෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සැප දුක් විඳින්නෙම් වීමි, මෙබඳු ආයු සීමාවක් ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි යි මෙසේ ආකාර සහිත ව, උදෙසීම් සහිතව, නන් වැදෑරුම් පෙර වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමු වන විද්‍යාව ලද්දේ ය. ඔහුගේ පූර්වේනිවාසය වසා ලන මෝහය නැසුනේ ය., (පූර්වේනිවාසය දැන ගන්නා) විද්‍යාව පහළ විය. මොහඳුර නැසින. විද්‍යාලෝකය උපන. අප්‍රමත්ත ව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති ව කායජීවිතයෙහි අපේක්‍ෂා රහිත ව, වසන්නකුට යම්සේ ද එසේ ය.
මහණෙනි, නැවත අනෙකක් කියමි: ඒ මහණ තෙමේ පිරිසුදුවූ මිනිසැස ඉක්මැ පැවැත්තාවූ දිවැසින් චුත වන්නාවූ ද, උපදින්නාවූ ද, (ජාතිගෝත්‍රාදියෙන්) හීන වූ ද (ජාතිගෝත්‍රාදියෙන්) ප්‍රණීත වූ ද, මන වඩන රූසපුව ඇත්තාවූ ද, විරූපවර්‍ණ ඇත්තාවූ ද, යහපත් ගති ඇත්තාවූ ද, නපුරුගති ඇත්තාවූ ද, සත්ත්‍වයන් දකී කම් වූ පරිද්දෙන් (ඒ ඒ භවයට) ගියාවූ සත්ත්‍වයන් දනියි: පින්වත් මේ සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නාහු, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු, මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදන් කොට ගත්තාහු වෙත්. ඔහු තුමූ කායභේදයෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවශ ව පතිත වන නිරයට පැමිණියාහ. මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍විත වූවාහු, වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු, මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට උපවාද නොකරන්නාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදානය ඇත්තාහු වෙත්. ඔහු තුමූ කායභේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන්නාහු යි. මෙසේ මිනිසැස ඉක්ම පැවැත්තාවූ පිරිසිදු වූ දිවැසින්, චුත වන්නාවූ ද, උපදින්නාවූ ද, හීනවූ ද, ප්‍රණීත වූ ද යහපත් වර්‍ණ ඇත්තාවූ ද, දුර්‍වණවූ ද යහපත් ගති ඇත්තාවූ ද නපුරු ගති ඇත්තාවූ ද සත්ත්‍වයන් දකියි. කම් වූ පරිද්දෙන් (ඒ ඒ භවයට) ගියා වූ සත්ත්‍වයන් දනියි. ඔහු විසින් මේ දෙවෙනි (දිබ්බචක්ඛු) විද්‍යාව ලබන ලද්දේ වෙයි. (ච්‍යුතිප්‍රතිසන්‍ධිප්‍රතිච්ඡාදක) අවිද්‍යාව නැසිණ. විද්‍යාව උපන. මොහඳුර නසන ලදී. විද්‍යාලෝකය උපන. අප්‍රමත්ත වූ, වීර්‍ය්‍යයෙන් යුත්, කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂ වැ වසන්නකුට යම්සේ ද, එමෙනි.
මහණෙනි, නැවත අනෙකක් කියමි: ඒ මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ, ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද මේ අත්බැව්හිදී ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට, එයට පැමිණ වෙසෙයි. ඔහු විසින් මේ තෙවෙනි (අර්‍හත්ත්‍වමාර්‍ග) විද්‍යාව ලබන ලද්දේ වෙයි. (චතුස්සත්‍යප්‍රතිච්ඡාදක) අවිද්‍යාව නැසින. මොහඳුර නසන ලදී. විද්‍යාලෝකය උපන. අප්‍රමත්ත ව වීර්‍ය්‍යයෙන් යුත් හරණ ලද ආත්ම ස්නේහය ඇති ව වසන්නහුට යම්සේ ද එමෙනි.
මහණෙනි, මෙසේ වනාහි මම් කාරණයෙන් ත්‍රෛවිද්‍යාක බ්‍රාහ්මණයා පණවමි. පෙර සිටි ඍෂීන් කියන ලද්ද කී පමණින් ත්‍රෛවිද්‍යාකයාගෙන් අන්‍ය වූ එකකු බමුණකු කොට නො පණවමි.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් ක්‍ෂීණාස්‍රවයෙක් තෙම පෙර වුසූ කඳපිළිවෙළ දනී ද, ස්වර්‍ගය හා අපාය (දිවැසින්) දකී ද, යලි විශිෂ්ට ඥානයෙන් දැන (සිවුමගින්) කටයුතු නිම කළේ ද, අර්‍හත්ත්‍වඵලයට පැමිණියේ ද,
3. මේ ත්‍රිවිද්‍යාව කරණ කොට ගෙණ බ්‍රාහ්මණ තෙම ත්‍රෛවිද්‍යාක වේ. මම් ඔහු ත්‍රිවිද්‍යාවෙන් යුක්ත යැ යි කියමි. පෙරැ සිටියන් විසින් කියන ලද වචන කීම් මාත්‍රයෙන් ත්‍රෛවිද්‍යාකයාගෙන් අන්‍ය වූ එකකු (බ්‍රාහ්මණ කොට) නො කියමි.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
පස්වැනි වර්‍ගය යි.
එහි උද්දානය:
පසාද, ජීවිත, සංඝාටි, අග්ගි, උපපරික්ඛා, උප්පත්ති, කාම, කල්‍යාණ, දාන, ධම්ම, (ආදි තෙවිජ්ජ) සූත්‍රය යි ඔහු දස දෙනෙකි.
තික නිපාතය නිමි.
චතුෂ්ක නිපාතය
4. 1. 1.
[බ්‍රාහ්මණ සූත්‍රය]
100. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, (කැමැති සේ ධර්‍මදානය කරන හෙයින්) ඉල්ලීමට සුදුසු වූ හැම කල්හි (ධර්‍මදානය සඳහා) පිරිසිදු කළ අත් ඇති, අන්තිම සිරුරක් දරණ (සංසාරදුංඛරෝගයන්ට පිළියම් කරණ හෙයින්) උසස් වෛද්‍යවරයෙක් වූ, (රාගාදි හුල් උපුටා ලන හෙයින්) ශල්‍යකර්‍තෘවෛද්‍යවරයෙක් වූ මම් වනාහි (බැහැර කළ පව් ඇති හෙයින් පරමාර්‍ත්‍ථ) බ්‍රාහ්මණයෙක්මි. තෙපි වනාහි ඒ මාගේ (මුඛයෙන් දේශිත ධර්‍මයෙන් උපන් හෙයින්) මුඛයෙන් උපන් (ශාසනධර්‍මයෙහි උපන් හෙයින්) ධර්‍මජ වූ, ධර්‍මයෙන් ම නිර්‍මමිත වූ, ධර්‍මය දායාද කොට ඇති, ආමිසය දායාද කොට නැති ඖරස පුත්‍රයෝ වහු.
මහණෙනි, ආමිසදානය ධර්‍මදානයැ යි මේ දාන දෙකෙකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් මේ ධර්‍මදානයෙක් වේ නම් එය අග්‍ර ය.
මහණෙනි, ආමිසසංවිභාගය ධර්‍මසංවිභාගයයැ යි මේ සංවිභාග දෙකෙකි. මහණෙනි, මේ සංවිභාග දෙක අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම් මෙය අග්‍රය.
මහණෙනි, ආමිසානුග්‍රහය ය ධර්‍මානුග්‍රහය යැ යි මේ අනුග්‍රහය දෙකෙකි. මහණෙනි, මේ අනුග්‍රහ දෙක අතුරෙන් යම් ධර්‍මානුග්‍රහයෙක් වේ නම් මෙය අග්‍ර ය.
මහණෙනි, ආමිසයාගය ධර්‍මයාගය යැ යි මේ යාග දෙකෙකි. මහණෙනි, මේ යාග දෙක අතුරෙන් යම් ධර්‍මයාගයෙක් වේ නම් මෙය අග්‍ර ය.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “මසුරුමල රහිත වූ සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති යම් තථාගතයන් වහන්සේ කෙනෙක් ධර්‍මදානය දුන් සේක් ද, දෙව් මිනිසුන් අතරෙහි ශ්‍රේෂ්ඨ වූ භවයාගේ පරතෙරට පැමිණි එබඳු වූ තථාගතයන් වහන්සේට සත්ත්‍වයෝ නමස්කාර කෙරෙත්.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 2.
[චතුරනවද්‍ය සූත්‍රය]
101. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, ස්වල්ප වූ ද සුලභ වූ ද මේ ප්‍රත්‍යයයෝ සිවු දෙනෙක් වෙත්. ඔහු නිදොස් ද වෙති. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, චීවර අතුරෙන් පංසුකූලචීවරය ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ. මහණෙනි, භෝජනයන් අතුරෙන් පිඬු සිඟීමෙන් ලත් භෝජනය ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ. මහණෙනි, සෙනසුන් අතුරෙන් රුක්මුල් සෙනසුන ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ. මහණෙනි, බෙහෙත් අතුරෙන් පූතිමූත්‍ර නම් වූ බෙහෙත ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ.
මහණෙනි, ස්වල්ප වූ ද සුලභ වූ ද නිදොස් වූ ද මේ ප්‍රත්‍යයයෝ සිවු දෙන වෙත්.
මහණෙනි, යම් හෙයකින් මහණ තෙමේ ස්වල්ප වූ ද සුලභ වූ ද ප්‍රත්‍යයෙන් සතුටු වූයේ වේ ද ඒ (සතුට) මේ මහණහුගේ මහණදම පිළිබඳ එක් අඞ්ගයෙකැයි මම් කියමි.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ස්වල්ප වූ ද සුලභ වූ ද නිදොස් වූ ද ප්‍රත්‍යයයෙන් සතුටු වූවහුගේ සෙනසුන ද, සිවුර ද ගිලන්පස හා පිණ්ඩපාතය ද අරබයා සිතැ දුකෙක් නැත්තේ ය. (ඔහුට) දිසා ද පටහැනි නො වේ.
3. මහණදමට අනුලොම් වූ යම් ප්‍රතිපත්ති ධර්‍ම කෙනෙක් කියන ලද්දාහු ද (ඒ ධර්‍මයෝ) සතුටු සිත් ඇති අප්‍රමත්ත වූ මේ මහණහු විසින් (විරුද්ධ ධර්‍මයන් මැඩ) අයත් කැරැ ගන්නා ලද්දාහු වෙත්.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 3.
[ආස්‍රවක්‍ෂය සූත්‍රය]
102. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, මම දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය (ආර්‍ය්‍යමාර්‍ගාධිගමය) කියමි. මහණෙනි, කුමක් දන්නාහට, කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද?
මහණෙනි, මේ (ස්කන්‍ධප්‍රවෘත්තිය) දුක යැයි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි. මහණෙනි, මේ දුක්ඛසමුදය යැයි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි. මහණෙනි, දුක්ඛනිරෝධයැ යි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි. මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාව යැ යි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි. මහණෙනි, මෙපරිද්දෙන් වනාහි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි.
භාග්‍යවත්හු මෙකරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “පිළිවෙළින් ආර්‍ය්‍යමාර්‍ගය උපදවන (ඍජුමාර්‍ග සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ග අනුව හැසිරෙන) ත්‍රිවිධ ශික්‍ෂා වඩන සේඛ පුද්ගලයාහට පළමු කොට රහත්මඟ නුවණ උපදී. එයට අනතුරුව අර්‍හත්‍වඵලය උපදී.
3. නැවත රහත්ඵල විමුක්තියෙන් මිදුනහුට උතුම් විමුක්තිඥානය ද, සංයෝජනයෝ ක්‍ෂීණ වූහ යි ආස්‍රවක්‍ෂයයෙහි (ප්‍රහීණ ක්ලේශ ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය ද උපදී.
4. (අභිධ්‍යාදි) සියලු ක්ලේශග්‍රන්‍ථයන්ගෙන් මිදීමට නිමිත්ත වූ මේ නිර්‍වාණය (චතුස්සත්‍යධර්‍මයන්) නොදන්නාවූ අඥාන වූ කුසීත පුද්ගලයා විසින් ලබන්නට නොහැක්කේ ය.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
4. 1. 4.
[සමණබ්‍රාහ්මණ සූත්‍රය]
103. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ දුක යැ යි තතු සේ නො දනිද් ද, මේ දුක්ඛසමුදය යැ යි තතු සේ නො දනිද් ද, මේ දුක්ඛනිරෝධයැ යි තතු සේ නො දනිද්ද, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ යි තතු සේ නො දනිද්ද. මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ යැ යි මා විසින් සම්මත නො කරණු ලැබෙත්. බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ යැ යි සම්මත නො කරණු ලැබෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථය හෝ මේ අත්බව්හි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වාසය නො කෙරෙත්.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ දුක යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛසමුදය යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛනිරෝධ යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපත්ති යැ යි තතු සේ දනිද්ද. මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙන් ශ්‍රමණ යැ යි ද මා විසින් සම්මත කරණු ලැබෙත්. බ්‍රාහ්මණයන් අතුරෙන් බ්‍රාහ්මණ යැ යි ද සම්මත කරණු ලැබෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථය හෝ මේ අත්බව්හි ම තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරෙත්.
මෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් කෙනෙක් (ස්කන්‍ධප්‍රවෘත්තිය) දුක යැ යි නො දනිද්ද, යලි දුකට හේතුව නො දනිද්ද, යම් තැනෙක්හි හැම ලෙසින් ඉතිරි නොකොට දුක් නැති වේ නම් (එ නිවණ) නො දනිද්ද, දුක් සංහිඳීමට පමුණුවන (ආර්‍ය්‍ය) මාර්‍ගයත් නො දනිද්ද,
3. ඔවුහ් අර්‍හත්ත්‍වඵලසමාධියෙන් පිරිහුනාහු යලි අර්‍හත්ත්‍වඵල ප්‍රඥාවෙන් පිරිහුනාහු වෙත්. ඔහු දුක් කෙළවර කිරීමට සුදුස්සෝ නො වෙත්. ඒකාන්තයෙන් ඔහු ජාතිජරාදි දුකට පැමිණියෝ වෙත්.
4. යම් කෙනෙකුත් දුක යැ යි මනා සේ දනිද්ද. යලි දුකට හේතුව දනිද්ද, යම් තැනෙක්හි හැම ලෙසින් ඉතිරි නොකොට දුක් නැති වේ නම් (ඒ නිවණ) දනිද්ද, දුක් සංහිඳීමට පමුණුවන (ආර්‍ය්‍ය) මාර්‍ගයත් දනිද්ද,
5. ඔවුහු ඵලසමාධියෙන් යුක්ත වූවාහු, යලි ඵලප්‍රඥාවෙන් යුක්ත වූවාහු දුක් කෙළවර කිරීමට සුදුස්සෝ වෙත්. ඒකාන්තයෙන් ඔහු ජාතිජරාදි දුකට නො පැමිණෙත්.”
මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 5.
[සීලසම්පන්න සූත්‍රය]
104. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
1. මහණෙනි, යම් ඒ භික්‍ෂු කෙනෙක් සිල්වත් වූවාහු, සමාධියෙන් යුක්ත වූවාහු, ප්‍රඥාවෙන් යුක්ත වූවාහු, ඵලවිමුක්තියෙන් යුක්ත වූවාහු, විමුක්තිඥානදර්‍ශන (ප්‍රත්‍යවේක්‍ෂාඥාන) යෙන් යුක්ත වූවාහු වෙද්ද, අවවාද දෙන්නාහු, කරුණු දන්වන්නාහු, සමාදන් කරවන්නාහු (උත්සාහවත් කැරැවීමෙන්) තෙද ගන්වන්නාහු (අනුසස් දැක්වීමෙන්) සතුටු කරවන්නාහු වෙද්ද, (අනුග්‍රහයෙන්) සද්ධර්‍මය දේශනා කිරීමෙහි පොහොසත් වූවාහු වෙත්ද
මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ දැකීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ ඇසීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන් කරා එළැඹීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන් (වතාවත් කිරීමෙන්) පර්‍ය්‍යුපාසනය කිරීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන් සිහි කිරීම ද බෙහෙවින් උපකාරී යැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන් අනුවැ පැවිදිවීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි.
කවරහෙයින යත්:
මහණෙනි, එබඳු භික්‍ෂූන් සේවනය භජනය පර්‍ය්‍යුපාසනය කරන්නාහට සම්පූර්‍ණ නොවූ ශීලස්කන්‍ධය භාවනාවෙන් සම්පූර්‍ණ බවට යෙයි. සම්පූර්‍ණ නොවූ සමාධිස්කන්‍ධය භාවනාවෙන් සම්පූර්‍ණ බවට යෙයි, සම්පූර්‍ණ නොවූ ප්‍රඥාස්කන්‍ධය භාවනාවෙන් සම්පූර්‍ණ බවට යෙයි. සම්පූර්‍ණ නොවූ විමුක්තිස්කන්‍ධය භාවනාවෙන් සම්පූර්‍ණ බවට යෙයි, සම්පූර්‍ණ නොවූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය භාවනාවෙන් සම්පූර්‍ණ බවට යෙයි.
මහණෙනි, මෙබඳු වූ ඒ භික්‍ෂූහු (අනුශාසන කරණ හෙයින්) ශාස්තෘහු යැ යි ද කියනු ලැබෙත්. (සසර කතරින් එතෙර කරණ හෙයින්) සාර්‍ත්‍ථවාහ යැ යි ද කියනු ලැබෙත්. (රාගාදි කෙලෙස් පහකරණ හෙයින්) රණඤ්ජහ යැ යි ද කියනු ලැබෙත්. (මොහඳුරු දුරුකරණ හෙයින්) තමෝනුද යැ යි ද කියනු ලැබෙත්. (ප්‍රඥාවභාසය ඇති කරණ හෙයින්) ඕභාසකර යැයි ද කියනු ලැබෙත්. (ප්‍රඥාදීපය ඇතිකරණ හෙයින්) පජ්ජෝත්තකර යැයි ද කියනු ලැබෙත්. (දහම් නමැති ගිනිසුල දරණ හෙයින්) උක්කාදර යැ යි ද කියනු ලැබෙත්. (ප්‍රඥාප්‍රභාව ඇතිකරණ හෙයින්) පභඞ්කර යැයි ද කියනු ලැබෙත්. (ක්ලේශයන්ගෙන් දුරු වූ හෙයින්) ආර්‍ය්‍ය යැයි ද කියනු ලැබෙත්. (ප්‍රඥාචක්‍ෂුසගේ ප්‍රතිලාභයෙන්) චක්ඛුමන්තු (ඇස්ඇත්තෝ) යැ යි ද කියනු ලැබෙත්.
මෙකරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “වඩන ලද සිත් සතන් ඇති, දැහැමින් ජීවත් වන සුලු වූ ආර්‍ය්‍යයන්ගේ යම් දැකීම් ආදියෙක් වේ නම් එය ප්‍රාඥයන්ගේ සතුටට කරුණු වේ.
3. ඥානප්‍රභා ඇති කරණ, ප්‍රඥාලෝකය කරණ, ප්‍රඥාචක්‍ෂුස ඇති කෙලෙස් දුරු කරණ ඒ ප්‍රාඥයෝ සද්ධර්‍මය ප්‍රකට කෙරෙත්. දහම් එළියෙන් ලොව ආලොකවත් කෙරෙත්.
4. නුවණැත්තෝ යම් ආර්‍ය්‍ය කෙනකුන්ගේ අවවාදය අසා සම්‍යක් ප්‍රඥාවෙන් දැන ජාතික්‍ෂය (සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය) අවබෝධ කොට ඒකාන්තයෙන් පුනර්‍භවයට නො යෙත්.”
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
4. 1. 6.
[තෘෂ්ණෝත්පාද සූත්‍රය]
105. භාග්‍යවතුන් වහන්සේ විසින්මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, යමක් නිමිති කොට භික්‍ෂුහට තෘෂ්ණාව උපදී නම් තෘෂ්ණෝත්පාද කාරණයෝ මේ සිවු දෙනෙක් වෙත්. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, චීවරය හේතු කොට ගෙණ ද භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, පිණ්ඩපාතය හේතු කොට ගෙණ ද භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, සේනාසනය හේතු කොට ගෙණ ද භික්‍ෂුහට තෘෂ්ණාව උපදිනුයේ උපදී. මහණෙනි, මෙසේ ප්‍රණීත-අප්‍රණීත-අති ප්‍රණීත දෑ හේතු කොට ගෙණ ද තෘෂ්ණාව උපදිනුයේ උපදී.