Pali BJTකාමයොගවිසඤ්ඤුත්තො භික්ඛවෙ භවයොගවිසඤ්ඤුත්තො අරහං හොති ඛීණාසවො’ති.
Sinhala BJTමහණෙනි, කාමයොගයෙන් වෙන් වූ ද, භවයොගයෙන් වෙන් වූ ද පුද්ගල තෙමේ රහත් වූ ක්‍ෂීණාස්‍රවයෙක් වෙයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “කාමයොගෙන සංයුත්තා භවයොගෙන චූභයං, සත්තා ගච්ඡන්ති සංසාරං ජාතිමරණගාමිනො.
Sinhala BJT2. “කාමයොගයෙන් ද භවයොගයෙන් ද යන දෙපරිද්දෙන් ම යුක්ත වූ සත්ත්‍වයෝ ජාතිමරණගාමීහු වූවෝ සසර සරත්.
Pali BJT3. යෙ ච කාමෙ පහත්වාන අප්පත්තා ආසවක්ඛයං, භවයොගෙන සංයුත්තා ‘අනාගාමී’ති වුච්චරෙ.
Sinhala BJT3. යම් කෙනෙක් කාමයන් පහ කොට, ආස්‍රවක්‍ෂයට නොපැමිණ භවයොගයෙන් යුක්ත වූවාහු ද (ඔහු) අනාගාමීහු යි කියනු ලැබෙත්.
Pali BJT4. යෙ ච ඛො ඡින්නසංසයා{1} ඛීණමානපුනබ්භවා, තෙ වෙ පාරං ගතා ලොකෙ යෙ පත්තා ආසවක්ඛය”න්ති.
Sinhala BJT4. යම් කෙනෙක් මුලුසුන් කරණ ලද සැක ඇත්තාහු ක්‍ෂය කරණ ලද (නවවිධ) මානය හා පුනර්‍භවය ඇත්තාහු ද, යමෙකුත් ආස්‍රවක්‍ෂයට පැමිණියාහු ද, (ඔහු) ඒකාන්තයෙන් ලොව්හි පරතෙරට ගියෝ නම් වෙත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJTතතියභාණවාරං.
Sinhala BJTතුන්වන බණවරයි.
Pali BJT3. 5. 8.
Sinhala BJT3. 5. 8.
Pali BJT[කල්යාණසීල සුත්තං]
Sinhala BJT[කල්‍යාණශිල සූත්‍රය]
Pali BJT97. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT97. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. කල්යාණසීලො භික්ඛවෙ භික්ඛු කල්යාණධම්මො කල්යාණපඤ්ඤො ඉමස්මිං ධම්මවිනයෙ කෙවලී වුසිතවා උත්තමපුරිසො’ති වුච්චති.
Sinhala BJT1. මහණෙනි, සොඳුරු (පිරිපුන්) සිල් ඇත්තාවූ, කල්‍යාණ (බෝධිපාක්‍ෂික) ධර්‍ම ඇත්තාවූ, කල්‍යාණ (මාර්‍ගඵලාදි) ප්‍රඥා ඇත්තාවූ මහණ තෙම මේ ශාසනයෙහි සියලු ගුණයෙන් යුත් (රහත් වූ) වැස නිමවූ බඹසර ඇති (අසේඛධර්‍මයෙන් යුත්) උත්තම පුරුෂයා යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු කල්යාණසීලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ භික්ඛු කල්යාණසීලො හොති. ඉති කල්යාණසීලො.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ තෙම කලණ සිල් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වූයේ, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්තව වෙසේ ද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව අනුප්‍රමාණ (ඉතා සුළු) වූ ද වරදෙහි භය දක්නා සුලු වූයේ, ශික්‍ෂාපදයන්හි මනා කොට සමාදන්ව හික්මෙන්නේ වේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කලණ (පිරිපුන්) සිල් ඇත්තේ වේ. මෙ පරිද්දෙන් කලණ සිල් ඇත්තේ වෙයි.
Pali BJT“කල්යාණධම්මො ච කථං හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සත්තන්නං බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගමනුයුත්තො විහරති. එවං ඛො භික්ඛවෙ භික්ඛු කල්යාණධම්මො හොති. ඉති කල්යාණසීලො කල්යාණධම්මො.
Sinhala BJTමහණෙනි, කලණ දහම් ඇති මහණ තෙමේ කෙබඳු වේ ද? මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ කොටස් වශයෙන් සතක් වූ බෝධිපාක්‍ෂික ධර්‍මයන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදුනෙක්ව වෙසේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කල්‍යාණ ධර්‍ම ඇත්තේ වේ. මෙපරිද්දෙන් කලණ සිල් ඇත්තේ කලණ දහම් ඇත්තේ ද වේ.
Pali BJTකල්යාණපඤ්ඤො ච කථං හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ භික්ඛු කල්යාණපඤ්ඤො හොති. ඉති කල්යාණසීලො කල්යාණධම්මො කල්යාණපඤ්ඤො ඉමස්මිං ධම්මවිනයෙ කෙවලී වුසිතවා උත්තමපුරිසො’ති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, කල්‍යාණප්‍රඥා ඇත්තේ කෙබඳු වේ ද? මහණෙනි, මේ සසුන්හි මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මේ අත්බව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසේ ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ කල්‍යාණප්‍රඥා ඇත්තේ වේ. මෙපරිද්දෙන් කල්‍යාණශීලය ඇත්තේ, කල්‍යාණධර්‍ම ඇත්තේ, කල්‍යාණප්‍රඥා ඇත්තේ මේ ශාසනයෙහි වැස නිම වූ බඹසර ඇති, රහත් වූ උත්තම පුරුෂයා යැ යි කියනු ලැබේ.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යස්ස කායෙන වාචාය මනසා නත්ථි දුක්කටං, තං වෙ කල්යාණසීලො’ති ආහු භික්ඛුං හිරීමනං.
Sinhala BJT2. “යම් මහණකුට කයින් හෝ වචසින් හෝ මනසින් වන දුශ්චරිතයෙක් (අකුශලයෙක්) නැත්තේ ද, හිරිසම්පන්න (පවෙහි ලජ්ජා ඇති) ඒ මහණ ඒකාන්තයෙන් කලණ සිල් ඇත්තේ ය යි කියත්.
Pali BJT3. යස්ස ධම්මා සුභාවිතා සත්ත සම්බොධගාමිනො, තං වෙ කල්යාණධම්මො’ති ආහු භික්ඛුං අනුස්සදං.
Sinhala BJT3. යම් මහණෙකු විසින් ආර්‍ය්‍යමාර්‍ගඥානයට පමුණුවන සත් (බෝපැකි) දහම්හු වඩන ලද්දාහු ද, රාගාදි උස්සද රහිත වූ ඒ මහණ කල්‍යාණධර්‍ම ඇත්තෙකැ යි කියත්.
Pali BJT4. යො දුක්ඛස්ස පජානාති ඉධෙව ඛයමත්තනො, තං වෙ කල්යාණපඤ්ඤො’ති, ආහු භික්ඛුං අනාසවං.
Sinhala BJT4. යම් මහණෙක් මේ අත්බව්හි ම තමාගේ දුඃඛක්‍ෂයය මැනැවින් දනී ද, ආස්‍රවරහිත වූ ඒ මහණ කල්‍යාණප්‍රඥා ඇත්තෙකැ යි කියත්.
Pali BJT5. තෙහි ධම්මෙහි සම්පන්නං අනීඝං ඡින්නසංසයං, අසිතං සබ්බලොකස්ස ආහු සබ්බපහායිනන්ති”.
Sinhala BJT5. ඒ (ශීල සමාධි ප්‍රඥා) ධර්‍මයන්ගෙන් යුක්ත වූ, දුක් රහිත වූ, සිඳින ලද සැක ඇති, තෘෂ්ණාදෘෂ්ටීන් ඇසුරු නොකළාවූ (ඔහු) සියලු සත්ත්‍වලෝකයෙහි සියල්ල පහ කළාවූ පුද්ගලයා යැ යි කියත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 5. 9.
Sinhala BJT3. 5. 9.
Pali BJT[දානසුත්තං]
Sinhala BJT[දාන සූත්‍රය]
Pali BJT98. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT98. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. ද්වෙමානි භික්ඛවෙ දානානි ආමිසදානඤ්ච ධම්මදානඤ්ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං දානානං යදිදං ධම්මදානං. ද්වෙමෙ භික්ඛවෙ සංවිභාගා ආමිසසංවිභාගො ච ධම්මසංවිභාගො ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සංවිභාගානං යදිදං ධම්මසංවිභාගො. ද්වෙමෙ භික්ඛවෙ අනුග්ගහා ආමිසානුග්ගහො ච ධම්මානුග්ගහො ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං අනුග්ගහානං යදිදං ධම්මානුග්ගහොති.
Sinhala BJT1. මහණෙනි, ආමිසදානය ධර්‍මදානයැ යි මේ දාන දෙකෙකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් ධර්‍මදානයෙක් වේ නම් මෙය අග්‍ර ය. මහණෙනි, ආමිසසංවිභාගය ධර්‍මසංවිභාගයැ යි මේ සංවිභාගයෝ දෙදෙනෙකි. මහණෙනි, මේ සංවිභාග දෙක අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම් මෙය අග්‍රය. මහණෙනි, ආමිස අනුග්‍රහය ධර්‍මානුග්‍රයැ යි මේ අනුග්‍රහ දෙකෙකි. මහණෙනි, මේ අනුග්‍රහ දෙක අතුරෙන් ධර්‍මානුග්‍රහය යන යමෙක් වේ නම් මෙය අග්‍රය.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යමාහු දානං පරමං අනුත්තරං යං සංවිභාගං භගවා අවණ්ණයි, අග්ගම්හි ඛෙත්තම්හි පසන්නචිත්තො විඤ්ඤූ පජානං කො න යජෙථ කාලෙ.
Sinhala BJT2. “භගවත්හු උතුම් වූ නිරුත්තර වූ යම් දානයක් වදාළ ද, (උතුම්) යම් දානසංවිභාගයක් වැණුහු ද, අග්‍ර වූ පින්කෙතෙහි පහන් සිත් ඇති, මැනැවින් අනුසස් දන්නා, කවර නම් නුවණැත්තෙක් සුදුසු කල්හි ඒ දන් නො දෙන්නේ ද,
Pali BJT3. යෙ චෙව භාසන්ති සුණන්ති චූභයං පසන්නචිත්තා සුගතස්ස සාසනෙ, තෙසං සො අත්ථො පරමො විසුජ්ඣති යෙ අප්පමත්තා සුගතස්ස සාසනෙ”ති.
Sinhala BJT3. බුදුරදුන්ගේ ශාසනයෙහි පහන් සිත් ඇති යම් (දේශක) කෙනෙක් කියද්ද, යම් (ප්‍රතිග්‍රාහක) කෙනෙකුත් අසද්ද, ඒ දෙ පක්‍ෂය පිළිබඳ ධර්‍මදානාදි පරමාර්‍ත්‍ථය (ක්ලේශමල විශෝධනයෙන්) පිරිසිදු වෙයි. යම් කෙනෙක් බුද්ධානුශාසනයෙහි අප්‍රමත්ත වෙත් නම් (ඔවුන්ගේ) පරමාර්‍ත්‍ථය (අර්‍හත්ත්‍වඵලවිශුද්ධියෙන්) අතිශයින් පිරිසිදු වේ.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT3. 5. 10.
Sinhala BJT3. 5. 10.
Pali BJT[තෙවිජ්ජසුත්තං]
Sinhala BJT[ත්‍රෛවිද්‍යා සූත්‍රය]
Pali BJT99. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT99. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. ධම්මෙනාහං භික්ඛවෙ තෙවිජ්ජං බ්රාහ්මණං පඤ්ඤාපෙමි නාඤ්ඤං ලපිතලාපනමත්තෙන.
Sinhala BJT1. මහණෙනි, මම් (සම්‍යක්ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත) කාරණයෙන් ත්‍රිවිද්‍යා ඇතියහු බ්‍රාහ්මණයා කොට පණවමි. (අට්ටකාදි ඍෂීන්) කී දෑ කියන පමණින් ත්‍රෛවිද්‍යායාගෙන් අන්‍ය වු එකකු බ්‍රාහ්මණ කොට නො පණවමි.
Pali BJT“කථඤ්ච භික්ඛවෙ ධම්මෙන තෙවිජ්ජං බ්රාහ්මණං පඤ්ඤාපෙමි නාඤ්ඤං ලපිතලාපනමත්තෙන?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් කාරණයෙන් ත්‍රෛවිද්‍යාක බ්‍රාහ්මණයා පණවම් ද, ලපිතලාපන මාත්‍රයෙන් නො පණවම් ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාළීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උදපාදිං.{1} තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. අයමස්ස පඨමා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා, තමො විහතො ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJTමහණෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් නන්වැදෑරුම් වූ පෙරැ විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි: ඒ මෙසේ යි. එක් ජාතියක් ද, දෙ ජාතියක් ද, තුන් ජාතියක් ද, සිවු ජාතියක් ද, පස් ජාතියක් ද, දස ජාතියක් ද, විසි ජාතියක් ද, තිස් ජාතියක් ද, සතළිස් ජාතියක් ද, පනස් ජාතියක් ද, සියක් ජාතියක් ද, දහස් ජාතියක් ද, සියදහස් ජාතියක් ද, නොයෙක් නැසෙන කල්පයන් ද, නොයෙක් වැඩෙන කල්පයන් ද, නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද, අසෝ තැනැ වීමි. එහි මෙ නම් ඇත්තෙම් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙබඳු පැහැ ඇත්තෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සැප දුක් විඳින්නෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සැප දුක් විඳින්නෙම් වීමි, මෙබඳු ආයු සීමාවක් ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි යි මෙසේ ආකාර සහිත ව, උදෙසීම් සහිතව, නන් වැදෑරුම් පෙර වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමු වන විද්‍යාව ලද්දේ ය. ඔහුගේ පූර්වේනිවාසය වසා ලන මෝහය නැසුනේ ය., (පූර්වේනිවාසය දැන ගන්නා) විද්‍යාව පහළ විය. මොහඳුර නැසින. විද්‍යාලෝකය උපන. අප්‍රමත්ත ව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති ව කායජීවිතයෙහි අපේක්‍ෂා රහිත ව, වසන්නකුට යම්සේ ද එසේ ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා, වචීදුච්චරිතෙන සමන්නාගතා, මනොදුච්චරිතෙන සමන්නාගතා, අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා, මනොසුචරිතෙන සමන්නාගතා, අරියානං අනුපවාදකා, සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ. යථාකම්මූපගෙ සත්තෙ පජානාති. අයමස්ස දුතියා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් කියමි: ඒ මහණ තෙමේ පිරිසුදුවූ මිනිසැස ඉක්මැ පැවැත්තාවූ දිවැසින් චුත වන්නාවූ ද, උපදින්නාවූ ද, (ජාතිගෝත්‍රාදියෙන්) හීන වූ ද (ජාතිගෝත්‍රාදියෙන්) ප්‍රණීත වූ ද, මන වඩන රූසපුව ඇත්තාවූ ද, විරූපවර්‍ණ ඇත්තාවූ ද, යහපත් ගති ඇත්තාවූ ද, නපුරුගති ඇත්තාවූ ද, සත්ත්‍වයන් දකී කම් වූ පරිද්දෙන් (ඒ ඒ භවයට) ගියාවූ සත්ත්‍වයන් දනියි: පින්වත් මේ සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නාහු, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු, මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදන් කොට ගත්තාහු වෙත්. ඔහු තුමූ කායභේදයෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවශ ව පතිත වන නිරයට පැමිණියාහ. මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍විත වූවාහු, වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු, මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට උපවාද නොකරන්නාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදානය ඇත්තාහු වෙත්. ඔහු තුමූ කායභේදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන්නාහු යි. මෙසේ මිනිසැස ඉක්ම පැවැත්තාවූ පිරිසිදු වූ දිවැසින්, චුත වන්නාවූ ද, උපදින්නාවූ ද, හීනවූ ද, ප්‍රණීත වූ ද යහපත් වර්‍ණ ඇත්තාවූ ද, දුර්‍වණවූ ද යහපත් ගති ඇත්තාවූ ද නපුරු ගති ඇත්තාවූ ද සත්ත්‍වයන් දකියි. කම් වූ පරිද්දෙන් (ඒ ඒ භවයට) ගියා වූ සත්ත්‍වයන් දනියි. ඔහු විසින් මේ දෙවෙනි (දිබ්බචක්ඛු) විද්‍යාව ලබන ලද්දේ වෙයි. (ච්‍යුතිප්‍රතිසන්‍ධිප්‍රතිච්ඡාදක) අවිද්‍යාව නැසිණ. විද්‍යාව උපන. මොහඳුර නසන ලදී. විද්‍යාලෝකය උපන. අප්‍රමත්ත වූ, වීර්‍ය්‍යයෙන් යුත්, කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂ වැ වසන්නකුට යම්සේ ද, එමෙනි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයමස්ස තතියා විජ්ජා අධිගතා හොති, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් කියමි: ඒ මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ, ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද මේ අත්බැව්හිදී ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට, එයට පැමිණ වෙසෙයි. ඔහු විසින් මේ තෙවෙනි (අර්‍හත්ත්‍වමාර්‍ග) විද්‍යාව ලබන ලද්දේ වෙයි. (චතුස්සත්‍යප්‍රතිච්ඡාදක) අවිද්‍යාව නැසින. මොහඳුර නසන ලදී. විද්‍යාලෝකය උපන. අප්‍රමත්ත ව වීර්‍ය්‍යයෙන් යුත් හරණ ලද ආත්ම ස්නේහය ඇති ව වසන්නහුට යම්සේ ද එමෙනි.
Pali BJTඑවං ඛො අහං භික්ඛවෙ ධම්මෙන තෙවිජ්ජං බ්රාහ්මණං පඤ්ඤාපෙමි නාඤ්ඤං ලපිතලාපනමත්තෙනා’ති.
Sinhala BJTමහණෙනි, මෙසේ වනාහි මම් කාරණයෙන් ත්‍රෛවිද්‍යාක බ්‍රාහ්මණයා පණවමි. පෙර සිටි ඍෂීන් කියන ලද්ද කී පමණින් ත්‍රෛවිද්‍යාකයාගෙන් අන්‍ය වූ එකකු බමුණකු කොට නො පණවමි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “පුබ්බෙනිවාසං යො වෙදි සග්ගාපායඤ්ච පස්සති, අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤා වොසිතො මුනි.
Sinhala BJT2. “යම් ක්‍ෂීණාස්‍රවයෙක් තෙම පෙර වුසූ කඳපිළිවෙළ දනී ද, ස්වර්‍ගය හා අපාය (දිවැසින්) දකී ද, යලි විශිෂ්ට ඥානයෙන් දැන (සිවුමගින්) කටයුතු නිම කළේ ද, අර්‍හත්ත්‍වඵලයට පැමිණියේ ද,
Pali BJT3. එතාහි තීහි විජ්ජාහි තෙවිජ්ජො හොති බ්රාහ්මණො, තමහං වදාමි තෙවිජ්ජං නාඤ්ඤං ලපිතලාපනන්ති.”
Sinhala BJT3. මේ ත්‍රිවිද්‍යාව කරණ කොට ගෙණ බ්‍රාහ්මණ තෙම ත්‍රෛවිද්‍යාක වේ. මම් ඔහු ත්‍රිවිද්‍යාවෙන් යුක්ත යැ යි කියමි. පෙරැ සිටියන් විසින් කියන ලද වචන කීම් මාත්‍රයෙන් ත්‍රෛවිද්‍යාකයාගෙන් අන්‍ය වූ එකකු (බ්‍රාහ්මණ කොට) නො කියමි.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJTපඤ්චමො වග්ගො.
Sinhala BJTපස්වැනි වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපසාදජීවිතසඞ්ඝාටි අග්ගි උපපරික්ඛයා උපපත්ති කාම කල්යාණං, දානං ධම්මෙන තෙ දසා’ති.
Sinhala BJTපසාද, ජීවිත, සංඝාටි, අග්ගි, උපපරික්ඛා, උප්පත්ති, කාම, කල්‍යාණ, දාන, ධම්ම, (ආදි තෙවිජ්ජ) සූත්‍රය යි ඔහු දස දෙනෙකි.
Pali BJTතිකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTතික නිපාතය නිමි.
Pali BJTචතුක්කනිපාතො
Sinhala BJTචතුෂ්ක නිපාතය
Pali BJT4. 1. 1.
Sinhala BJT4. 1. 1.
Pali BJT[බ්රාහ්මණසුත්තං]
Sinhala BJT[බ්‍රාහ්මණ සූත්‍රය]
Pali BJT100. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT100. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
Pali BJT1. අහමස්මි භික්ඛවෙ බ්රාහ්මණො යාචයොගො සදා පයතපාණි අන්තිමදෙහධරො අනුත්තරො භිසක්කො සල්ලකත්තො.{1} තස්ස මෙ තුම්හෙ පුත්තා ඔරසා මුඛතො ජාතා ධම්මජා ධම්මනිම්මිතා ධම්මදායාදා නො ආමිසදායාදා.
Sinhala BJT1. මහණෙනි, (කැමැති සේ ධර්‍මදානය කරන හෙයින්) ඉල්ලීමට සුදුසු වූ හැම කල්හි (ධර්‍මදානය සඳහා) පිරිසිදු කළ අත් ඇති, අන්තිම සිරුරක් දරණ (සංසාරදුංඛරෝගයන්ට පිළියම් කරණ හෙයින්) උසස් වෛද්‍යවරයෙක් වූ, (රාගාදි හුල් උපුටා ලන හෙයින්) ශල්‍යකර්‍තෘවෛද්‍යවරයෙක් වූ මම් වනාහි (බැහැර කළ පව් ඇති හෙයින් පරමාර්‍ත්‍ථ) බ්‍රාහ්මණයෙක්මි. තෙපි වනාහි ඒ මාගේ (මුඛයෙන් දේශිත ධර්‍මයෙන් උපන් හෙයින්) මුඛයෙන් උපන් (ශාසනධර්‍මයෙහි උපන් හෙයින්) ධර්‍මජ වූ, ධර්‍මයෙන් ම නිර්‍මමිත වූ, ධර්‍මය දායාද කොට ඇති, ආමිසය දායාද කොට නැති ඖරස පුත්‍රයෝ වහු.
Pali BJTද්වෙ’මානි භික්ඛවෙ දානානි ආමිසදානඤ්ච ධම්මදානඤ්ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං දානානං යදිදං ධම්මදානං.
Sinhala BJTමහණෙනි, ආමිසදානය ධර්‍මදානයැ යි මේ දාන දෙකෙකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් මේ ධර්‍මදානයෙක් වේ නම් එය අග්‍ර ය.
Pali BJTද්වෙ’මෙ භික්ඛවෙ සංවිභාගා ආමිසසංවිභාගො ච ධම්මසංවිභාගො ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සංවිභාගානං යදිදං ධම්මසංවිභාගො.
Sinhala BJTමහණෙනි, ආමිසසංවිභාගය ධර්‍මසංවිභාගයයැ යි මේ සංවිභාග දෙකෙකි. මහණෙනි, මේ සංවිභාග දෙක අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම් මෙය අග්‍රය.
Pali BJTද්වෙ’මෙ භික්ඛවෙ අනුග්ගහා ආමිසානුග්ගහො ච ධම්මානුග්ගහො ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං අනුග්ගහානං යදිදං ධම්මානුග්ගහො.
Sinhala BJTමහණෙනි, ආමිසානුග්‍රහය ය ධර්‍මානුග්‍රහය යැ යි මේ අනුග්‍රහය දෙකෙකි. මහණෙනි, මේ අනුග්‍රහ දෙක අතුරෙන් යම් ධර්‍මානුග්‍රහයෙක් වේ නම් මෙය අග්‍ර ය.
Pali BJTද්වෙ’මෙ භික්ඛවෙ යාගා ආමිසයාගො ච ධම්මයාගො ච. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං යාගානං යදිදං ධම්මයාගො”ති.
Sinhala BJTමහණෙනි, ආමිසයාගය ධර්‍මයාගය යැ යි මේ යාග දෙකෙකි. මහණෙනි, මේ යාග දෙක අතුරෙන් යම් ධර්‍මයාගයෙක් වේ නම් මෙය අග්‍ර ය.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යො ධම්මයාගං අයජී අමච්ඡරී තථාගතො සබ්බභූතානුකම්පී, තං තාදිසං දෙවමනුස්සසෙට්ඨං සත්තා නමස්සන්ති භවස්ස පාරගු”න්ති.
Sinhala BJT2. “මසුරුමල රහිත වූ සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති යම් තථාගතයන් වහන්සේ කෙනෙක් ධර්‍මදානය දුන් සේක් ද, දෙව් මිනිසුන් අතරෙහි ශ්‍රේෂ්ඨ වූ භවයාගේ පරතෙරට පැමිණි එබඳු වූ තථාගතයන් වහන්සේට සත්ත්‍වයෝ නමස්කාර කෙරෙත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT4. 1. 2.
Sinhala BJT4. 1. 2.
Pali BJT[චතුරනවජ්ජසුත්තං]
Sinhala BJT[චතුරනවද්‍ය සූත්‍රය]
Pali BJT101. වුත්තං හෙතං භගවතා, වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT101. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. චත්තාරිමානි භික්ඛවෙ අප්පානි චෙව සුලභානි ච තානි ච අනවජ්ජානි. කතමානි චත්තාරි?
Sinhala BJT1. මහණෙනි, ස්වල්ප වූ ද සුලභ වූ ද මේ ප්‍රත්‍යයයෝ සිවු දෙනෙක් වෙත්. ඔහු නිදොස් ද වෙති. කවර සිවු දෙනෙක් ද යත්:
Pali BJTපංසුකූලං භික්ඛවෙ චීවරානං අප්පං ච සුලභං ච තඤ්ච අනවජ්ජං. පිණ්ඩියාලොපො භික්ඛවෙ භොජනානං අප්පඤ්ච සුලභඤ්ච තඤ්ච අනවජ්ජං. රුක්ඛමූලං භික්ඛවෙ සෙනාසනානං අප්පං ච සුලභං ච තඤ්ච අනවජ්ජං. පූතිමුත්තං භික්ඛවෙ භෙසජ්ජානං අප්පං ච සුලභං ච තඤ්ච අනවජ්ජං.
Sinhala BJTමහණෙනි, චීවර අතුරෙන් පංසුකූලචීවරය ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ. මහණෙනි, භෝජනයන් අතුරෙන් පිඬු සිඟීමෙන් ලත් භෝජනය ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ. මහණෙනි, සෙනසුන් අතුරෙන් රුක්මුල් සෙනසුන ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ. මහණෙනි, බෙහෙත් අතුරෙන් පූතිමූත්‍ර නම් වූ බෙහෙත ස්වල්ප ද සුලභ ද වේ. එය නිදොස් ද වේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි අප්පානි චෙව සුලභානි ච තානි ච අනවජ්ජානි.
Sinhala BJTමහණෙනි, ස්වල්ප වූ ද සුලභ වූ ද නිදොස් වූ ද මේ ප්‍රත්‍යයයෝ සිවු දෙන වෙත්.
Pali BJTයතො ඛො භික්ඛවෙ භික්ඛු අප්පෙන ච තුට්ඨො හොති සුලභෙන ච. ඉමස්සාහං අඤ්ඤතරං සාමඤ්ඤඞ්ගන්ති වදාමී’ති.
Sinhala BJTමහණෙනි, යම් හෙයකින් මහණ තෙමේ ස්වල්ප වූ ද සුලභ වූ ද ප්‍රත්‍යයෙන් සතුටු වූයේ වේ ද ඒ (සතුට) මේ මහණහුගේ මහණදම පිළිබඳ එක් අඞ්ගයෙකැයි මම් කියමි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “අනවජ්ජෙන තුට්ඨස්ස අප්පෙන සුලභෙන ච, න සෙනාසනමාරබ්භ චීවරං පානභොජනං, විඝාතො හොති චිත්තස්ස දිසා නප්පටිහඤ්ඤති.
Sinhala BJT2. “ස්වල්ප වූ ද සුලභ වූ ද නිදොස් වූ ද ප්‍රත්‍යයයෙන් සතුටු වූවහුගේ සෙනසුන ද, සිවුර ද ගිලන්පස හා පිණ්ඩපාතය ද අරබයා සිතැ දුකෙක් නැත්තේ ය. (ඔහුට) දිසා ද පටහැනි නො වේ.
Pali BJT3. යෙ චස්ස ධම්මා අක්ඛාතා සාමඤ්ඤස්සානුලොමිකා, අධිග්ගහීතා තුට්ඨස්ස අප්පමත්තස්ස භික්ඛුනො”{1}.
Sinhala BJT3. මහණදමට අනුලොම් වූ යම් ප්‍රතිපත්ති ධර්‍ම කෙනෙක් කියන ලද්දාහු ද (ඒ ධර්‍මයෝ) සතුටු සිත් ඇති අප්‍රමත්ත වූ මේ මහණහු විසින් (විරුද්ධ ධර්‍මයන් මැඩ) අයත් කැරැ ගන්නා ලද්දාහු වෙත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT4. 1. 3.
Sinhala BJT4. 1. 3.
Pali BJT[ආසවක්ඛයසුත්තං]
Sinhala BJT[ආස්‍රවක්‍ෂය සූත්‍රය]
Pali BJT102. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT102. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. ජානතො’හං භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස්සතො. කිඤ්ච භික්ඛවෙ ජානතො කිං පස්සතො ආසවානං ඛයො හොති?
Sinhala BJT1. මහණෙනි, මම දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය (ආර්‍ය්‍යමාර්‍ගාධිගමය) කියමි. මහණෙනි, කුමක් දන්නාහට, කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද?
Pali BJTඉදං දුක්ඛන්ති භික්ඛවෙ ජානතො පස්සතො ආසවානං ඛයො හොති. අයං දුක්ඛසමුදයො’ති භික්ඛවෙ ජානතො පස්සතො ආසවානං ඛයො හොති. අයං දුක්ඛනිරොධො’ති භික්ඛවෙ ජානතො පස්සතො ආසවානං ඛයො හොති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති භික්ඛවෙ ජානතො පස්සතො ආසවානං ඛයො හොති. එවං ඛො භික්ඛවෙ ජානතො එවං පස්සතො ආසවානං ඛයො හොතී’ති.
Sinhala BJTමහණෙනි, මේ (ස්කන්‍ධප්‍රවෘත්තිය) දුක යැයි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි. මහණෙනි, මේ දුක්ඛසමුදය යැයි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි. මහණෙනි, දුක්ඛනිරෝධයැ යි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි. මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාව යැ යි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි. මහණෙනි, මෙපරිද්දෙන් වනාහි දන්නාහට ද දක්නාහට ද ආස්‍රවක්‍ෂය වෙයි.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTභාග්‍යවත්හු මෙකරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
Pali BJT2. “සෙඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනො, ඛයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනුත්තරා.
Sinhala BJT2. “පිළිවෙළින් ආර්‍ය්‍යමාර්‍ගය උපදවන (ඍජුමාර්‍ග සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ග අනුව හැසිරෙන) ත්‍රිවිධ ශික්‍ෂා වඩන සේඛ පුද්ගලයාහට පළමු කොට රහත්මඟ නුවණ උපදී. එයට අනතුරුව අර්‍හත්‍වඵලය උපදී.
Pali BJT3. තතො අඤ්ඤා විමුත්තස්ස විමුත්තිඤාණමුත්තමං උප්පජ්ජති ඛයෙ ඤාණං ඛීණා සංයොජනා ඉති.
Sinhala BJT3. නැවත රහත්ඵල විමුක්තියෙන් මිදුනහුට උතුම් විමුක්තිඥානය ද, සංයෝජනයෝ ක්‍ෂීණ වූහ යි ආස්‍රවක්‍ෂයයෙහි (ප්‍රහීණ ක්ලේශ ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය ද උපදී.
Pali BJT4. න ත්වෙවිදං{1} කුසීතෙන බාලෙන අවිජානතා, නිබ්බානං අධිගන්තබ්බං සබ්බගන්ථප්පමොචන”න්ති.
Sinhala BJT4. (අභිධ්‍යාදි) සියලු ක්ලේශග්‍රන්‍ථයන්ගෙන් මිදීමට නිමිත්ත වූ මේ නිර්‍වාණය (චතුස්සත්‍යධර්‍මයන්) නොදන්නාවූ අඥාන වූ කුසීත පුද්ගලයා විසින් ලබන්නට නොහැක්කේ ය.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලද්දේ ය.
Pali BJT4. 1. 4.
Sinhala BJT4. 1. 4.
Pali BJT[සමණබ්රාහ්මණසුත්තං]
Sinhala BJT[සමණබ්‍රාහ්මණ සූත්‍රය]
Pali BJT103. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT103. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJT1. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානන්ති. අයං දුක්ඛසමුදයො’ති යථාභූතං නප්පජානන්ති, අයං දුක්ඛනිරොධො’ති යථාභූතං නප්පජානන්ති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං නප්පජානන්ති, න මෙ තෙ භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා, න ච පනෙතෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJT1. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ දුක යැ යි තතු සේ නො දනිද් ද, මේ දුක්ඛසමුදය යැ යි තතු සේ නො දනිද් ද, මේ දුක්ඛනිරෝධයැ යි තතු සේ නො දනිද්ද, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ යි තතු සේ නො දනිද්ද. මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ යැ යි මා විසින් සම්මත නො කරණු ලැබෙත්. බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ යැ යි සම්මත නො කරණු ලැබෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථය හෝ මේ අත්බව්හි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වාසය නො කෙරෙත්.
Pali BJTයෙ ච ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා ඉදං දුක්ඛන්ති යථාභූතං පජානන්ති, අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානන්ති, අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානන්ති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානන්ති. තෙ ඛො’මෙ භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී”ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ දුක යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛසමුදය යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛනිරෝධ යැ යි තතු සේ දනිද්ද, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපත්ති යැ යි තතු සේ දනිද්ද. මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙන් ශ්‍රමණ යැ යි ද මා විසින් සම්මත කරණු ලැබෙත්. බ්‍රාහ්මණයන් අතුරෙන් බ්‍රාහ්මණ යැ යි ද සම්මත කරණු ලැබෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථය හෝ මේ අත්බව්හි ම තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙ කරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “යෙ දුක්ඛං නප්පජානන්ති අථො දුක්ඛස්ස සම්භවං, යත්ථ ච සබ්බසො දුක්ඛ, අසෙසං උපරුජ්ඣති, තඤ්ච මග්ගං න ජානන්ති දුක්ඛූපසමගාමිනං.
Sinhala BJT2. “යම් කෙනෙක් (ස්කන්‍ධප්‍රවෘත්තිය) දුක යැ යි නො දනිද්ද, යලි දුකට හේතුව නො දනිද්ද, යම් තැනෙක්හි හැම ලෙසින් ඉතිරි නොකොට දුක් නැති වේ නම් (එ නිවණ) නො දනිද්ද, දුක් සංහිඳීමට පමුණුවන (ආර්‍ය්‍ය) මාර්‍ගයත් නො දනිද්ද,
Pali BJT3. චෙතොවිමුත්තිහීනා තෙ අථො පඤ්ඤාවිමුත්තියා, අභබ්බා තෙ අන්තකිරියාය තෙ වෙ ජාතිජරූපගා.
Sinhala BJT3. ඔවුහ් අර්‍හත්ත්‍වඵලසමාධියෙන් පිරිහුනාහු යලි අර්‍හත්ත්‍වඵල ප්‍රඥාවෙන් පිරිහුනාහු වෙත්. ඔහු දුක් කෙළවර කිරීමට සුදුස්සෝ නො වෙත්. ඒකාන්තයෙන් ඔහු ජාතිජරාදි දුකට පැමිණියෝ වෙත්.
Pali BJT4. යෙ ච දුක්ඛං පජානන්ති අථො දුක්ඛස්ස සම්භවං, යත්ථ ච සබ්බසො දුක්ඛං අසෙසං උපරුජ්ඣති, තඤ්ච මග්ගං පජානන්ති දුක්ඛූපසමගාමිනං.
Sinhala BJT4. යම් කෙනෙකුත් දුක යැ යි මනා සේ දනිද්ද. යලි දුකට හේතුව දනිද්ද, යම් තැනෙක්හි හැම ලෙසින් ඉතිරි නොකොට දුක් නැති වේ නම් (ඒ නිවණ) දනිද්ද, දුක් සංහිඳීමට පමුණුවන (ආර්‍ය්‍ය) මාර්‍ගයත් දනිද්ද,
Pali BJT5. චෙතොවිමුත්තිසම්පන්නා අථො පඤ්ඤාවිමුත්තියා, භබ්බා තෙ අන්තකිරියාය න තෙ ජාතිජරූපගා”ති.
Sinhala BJT5. ඔවුහු ඵලසමාධියෙන් යුක්ත වූවාහු, යලි ඵලප්‍රඥාවෙන් යුක්ත වූවාහු දුක් කෙළවර කිරීමට සුදුස්සෝ වෙත්. ඒකාන්තයෙන් ඔහු ජාතිජරාදි දුකට නො පැමිණෙත්.”
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
Sinhala BJTමෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
Pali BJT4. 1. 5.
Sinhala BJT4. 1. 5.
Pali BJT[සීලසම්පන්නසුත්තං]
Sinhala BJT[සීලසම්පන්න සූත්‍රය]
Pali BJT104. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
Sinhala BJT104. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය:
Pali BJT1. යෙ තෙ භික්ඛවෙ භික්ඛූ සීලසම්පන්නා සමාධිසම්පන්නා පඤ්ඤාසම්පන්නා විමුත්තිසම්පන්නා විමුත්තිඤාණදස්සනසම්පන්නා ඔවාදකා විඤ්ඤාපකා සන්දස්සකා සමාදපකා සමුත්තෙජකා සම්පහංසකා අලංසමක්ඛාතාරො සද්ධම්මස්ස.
Sinhala BJT1. මහණෙනි, යම් ඒ භික්‍ෂු කෙනෙක් සිල්වත් වූවාහු, සමාධියෙන් යුක්ත වූවාහු, ප්‍රඥාවෙන් යුක්ත වූවාහු, ඵලවිමුක්තියෙන් යුක්ත වූවාහු, විමුක්තිඥානදර්‍ශන (ප්‍රත්‍යවේක්‍ෂාඥාන) යෙන් යුක්ත වූවාහු වෙද්ද, අවවාද දෙන්නාහු, කරුණු දන්වන්නාහු, සමාදන් කරවන්නාහු (උත්සාහවත් කැරැවීමෙන්) තෙද ගන්වන්නාහු (අනුසස් දැක්වීමෙන්) සතුටු කරවන්නාහු වෙද්ද, (අනුග්‍රහයෙන්) සද්ධර්‍මය දේශනා කිරීමෙහි පොහොසත් වූවාහු වෙත්ද
Pali BJTදස්සනම්පහං භික්ඛවෙ තෙසං භික්ඛූනං බහූපකාරං වදාමි. සවණම්පහං භික්ඛවෙ තෙසං භික්ඛූනං බහූපකාරං වදාමි. උපසඞ්කමනම්පහං භික්ඛවෙ තෙසං භික්ඛූනං බහූපකාරං වදාමි. පයිරුපාසනම්පහං භික්ඛවෙ තෙසං භික්ඛූනං බහූපකාරං වදාමි. අනුපබ්බජ්ජම්පහං භික්ඛවෙ තෙසං භික්ඛූනං බහූපකාරං වදාමි.
Sinhala BJTමහණෙනි, ඒ භික්‍ෂූන්ගේ දැකීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ ඇසීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන් කරා එළැඹීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන් (වතාවත් කිරීමෙන්) පර්‍ය්‍යුපාසනය කිරීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන් සිහි කිරීම ද බෙහෙවින් උපකාරී යැ යි මම් කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන් අනුවැ පැවිදිවීම ද බෙහෙවින් උපකාරීයැ යි මම් කියමි.
Pali BJTතං කිස්ස හෙතු?
Sinhala BJTකවරහෙයින යත්:
Pali BJTතථාරූපෙ භික්ඛවෙ භික්ඛූ සෙවතො භජතො පයිරුපාසතො අපරිපූරො’පි සීලක්ඛන්ධො භාවනාපාරිපූරිං ගච්ඡති. අපරිපූරො’පි සමාධික්ඛන්ධො භාවනාපාරිපූරිං ගච්ඡති. අපරිපූරො’පි පඤ්ඤාක්ඛන්ධො භාවනාපාරිපූරිං ගච්ඡති. අපරිපූරො’පි විමුත්තික්ඛන්ධො භාවනාපාරිපූරිං ගච්ඡති. අපරිපූරො’පි විමුත්තිඤාණදස්සනක්ඛන්ධො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, එබඳු භික්‍ෂූන් සේවනය භජනය පර්‍ය්‍යුපාසනය කරන්නාහට සම්පූර්‍ණ නොවූ ශීලස්කන්‍ධය භාවනාවෙන් සම්පූර්‍ණ බවට යෙයි. සම්පූර්‍ණ නොවූ සමාධිස්කන්‍ධය භාවනාවෙන් සම්පූර්‍ණ බවට යෙයි, සම්පූර්‍ණ නොවූ ප්‍රඥාස්කන්‍ධය භාවනාවෙන් සම්පූර්‍ණ බවට යෙයි. සම්පූර්‍ණ නොවූ විමුක්තිස්කන්‍ධය භාවනාවෙන් සම්පූර්‍ණ බවට යෙයි, සම්පූර්‍ණ නොවූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය භාවනාවෙන් සම්පූර්‍ණ බවට යෙයි.
Pali BJTඑවරූපා ච තෙ භික්ඛවෙ, භික්ඛූ සත්ථාරොතිපි වුච්චන්ති, සත්ථවාහාති’පි වුච්චන්ති, රණඤ්ජහාති’පි වුච්චන්ති, තමොනුදාති’පි වුච්චන්ති, ආලොකකරාති’පි වුච්චන්ති, ඔභාසකරාති’පි වුච්චන්ති, පජ්ජොතකරාති’පි වුච්චන්ති, උක්කාධාරාති’පි වුච්චන්ති, පභඞ්කරාති’පි වුච්චන්ති, අරියාති’පි වුච්චන්ති, චක්ඛුමන්තොති’පි වුච්චන්තී’ති.
Sinhala BJTමහණෙනි, මෙබඳු වූ ඒ භික්‍ෂූහු (අනුශාසන කරණ හෙයින්) ශාස්තෘහු යැ යි ද කියනු ලැබෙත්. (සසර කතරින් එතෙර කරණ හෙයින්) සාර්‍ත්‍ථවාහ යැ යි ද කියනු ලැබෙත්. (රාගාදි කෙලෙස් පහකරණ හෙයින්) රණඤ්ජහ යැ යි ද කියනු ලැබෙත්. (මොහඳුරු දුරුකරණ හෙයින්) තමෝනුද යැ යි ද කියනු ලැබෙත්. (ප්‍රඥාවභාසය ඇති කරණ හෙයින්) ඕභාසකර යැයි ද කියනු ලැබෙත්. (ප්‍රඥාදීපය ඇතිකරණ හෙයින්) පජ්ජෝත්තකර යැයි ද කියනු ලැබෙත්. (දහම් නමැති ගිනිසුල දරණ හෙයින්) උක්කාදර යැ යි ද කියනු ලැබෙත්. (ප්‍රඥාප්‍රභාව ඇතිකරණ හෙයින්) පභඞ්කර යැයි ද කියනු ලැබෙත්. (ක්ලේශයන්ගෙන් දුරු වූ හෙයින්) ආර්‍ය්‍ය යැයි ද කියනු ලැබෙත්. (ප්‍රඥාචක්‍ෂුසගේ ප්‍රතිලාභයෙන්) චක්ඛුමන්තු (ඇස්ඇත්තෝ) යැ යි ද කියනු ලැබෙත්.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
Sinhala BJTමෙකරුණ භාග්‍යවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJT2. “පාමොජ්ජකරණට්ඨානං{1} එවං හොති විජානතං. යදිදං භාවිතත්තානං, අරියානං ධම්මජීවිනං.
Sinhala BJT2. “වඩන ලද සිත් සතන් ඇති, දැහැමින් ජීවත් වන සුලු වූ ආර්‍ය්‍යයන්ගේ යම් දැකීම් ආදියෙක් වේ නම් එය ප්‍රාඥයන්ගේ සතුටට කරුණු වේ.
Pali BJT3. තෙ ජොතයන්ති සද්ධම්ම, භාසයන්ති පභඞ්කරා, ආලොකකරණා ධීරා චක්ඛුමන්තො රණඤ්ජහා.
Sinhala BJT3. ඥානප්‍රභා ඇති කරණ, ප්‍රඥාලෝකය කරණ, ප්‍රඥාචක්‍ෂුස ඇති කෙලෙස් දුරු කරණ ඒ ප්‍රාඥයෝ සද්ධර්‍මය ප්‍රකට කෙරෙත්. දහම් එළියෙන් ලොව ආලොකවත් කෙරෙත්.