පින්වත් කුළුදත් තෙමේ පොකුරුසැත් බමුණහු විසින් සත්කාර කැරුණෙක, ගරු කැරුණෙක, බුහුමන් කැරුණෙක, පිදුණෙක, යටත් පැවැතුම් දැක්වුණෙක ...
පින්වත් කුළුදත් තෙමේ බොහෝ ජනයා ගැවැසුණු, තණ දඬු දිය ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති, රජුගෙන් ලත් නින්දගම් වූ රජුගේ ත්‍යාගය වූ, සේනිය බිම්බිසාර රජු දුන් උතුම් දානවස්තු වූ ඛාණුමත ගමට ඉසුරු වැ වෙසේ. පින්වත් කුළුදත් තෙමේ බොහෝ ජනයා ගැවැසුණු ... ඛාණුමත ගමට ඉසුරු වැ වෙසේ ය යන යමෙක් ඇද්ද, මේ කරුණිනුත් පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමන් දක්නට යන්නට නො නිස්සේ ය. මහණ ගොයුම්හු ම පින්වත් කුළුදතු දක්නට නිසි හ” යනු යි.
7. මෙසේ (ඔවුන්) කී කලැ කුළුදත් බමුණා ඒ, බමුණනට මේ බස් කී ය:
“භවත්නි, එසේ වී නම්, මහණ ගොයුමාණන් අප දක්නට එනුවට වඩා අප ඔබ දක්නට යෑමෙහි සුදුසු වන සැටි දක්වන මා බස් ද අසවු.
“භවත්නි, මහණ ගොයුම්හු වූ කලි වූ පිය දෙ පසින් ම අභිජාත ය, සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තෝ ය. ජාතිවාදයෙන් නො හෙළන ලද්දෝ ය, නො ගරහන ලද්දෝ ය. … මහණ ගොයුම්හු මවුපිය දෙපසින් ම අභිජාතයහ … නො හෙළන ලද්දෝ ය, නො ගරහන ලද්දෝ ය යන යමක් ඇද්ද, මේ කරුණිනුදු ඒ පින්වත් ගොයුම්හු අප දක්නට එන්නට නො නිස්සහ. වැළි අපි ම ඔබ දක්නට යන්නට නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහත් නෑමුළුව පියා පැවිදි වූවෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි පොළෝ යට ද පොළෝ මතු පිට ද වූ මහත් රන් අමුරන් හැරැ පියා පැවිදි වූවෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි සොඳුරු යොවුනෙන්, (වයස් තුන අතුරෙන්) පළමු වයසින් යුත් වූවෝ ම, තරුණ වූවෝ ම, මනා කළු කෙහෙ ඇති වැ යොවුන් වියැ සිටියෝ ම ගිහි ගෙන් නික්මැ පැවිදි බිමට වන්නෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි ඔබ පැවිදි වන්නා නො කැමැති මාපියන් කඳුළු පිරි මුහුණ ඇති වැ හඬද්දී එය නොතකා කෙහෙ රවුළු බා පියා කසා වත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිද්දට බටුවෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු කලි හැමට වැඩි තරම් රූ සිරි ඇත්තෝ ය, දක්නවුන් සිතැ පැහැදීම් පහළ කරවන සුලුහ, උතුම් පැහැ සපුයෙන් යුතුහ. උතුම් රන් පැහැ ඇත්තෝ ය, උතුම් සිරුරු පබ ඇත්තෝ ය. සිය සිරුරැ දැක්මට නොමඳ ඔවස් ඇත්තෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි සිල්වත්හ, පිරිසිදු සිල් ඇත්තෝ ය, නිදොස් ශීලයෙන් යුත්හ ...
මහණ ගොයුම්හු වූ කලි කලණ තෙපුල් ඇත්තෝ ය, කලණ මිහිරි බස් තෙපලන්නෝ ය, නිදොස් වූ නොකෙළතොලු වූ කී දෑ හඟවනු සමත් සිලිටි බසින් සමන්‍විතයෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි බොහෝ දෙනාට ආචාර්‍ය්‍ය ද ප්‍රාචාර්‍ය ද වෙති ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි පහ වූ කාමරාග ඇත්තෝ ය, පහ වූ චපල බව් ඇත්තෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි කර්‍මවාදිත් ක්‍රියවාදිත් වෙති. නව ලොවුතුරා දහම් පුරස්සර කොට වැටෙති. සැරියුත් මුගලන් ඈ බමුණු පිරිසට ද නායක වැ හැසිරෙති ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි පිරිසිදු කැත් කුල වූ උසස් කුලයෙන් නික්මැ පැවිදි වූවෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහත් ධන ඇති මහත් භෝග ඇති ඉසුරුමත් කුලයෙන් නික්මැ පැවිදි වූවෝ ය ...
භවත්නි, මහණ ගොයුමන් කරා පිට රටින් පිට දනවුයෙන් පැණ පුළුවුස්නට එති ...
භවත්නි, නොයෙක් දහස් ගණන් දෙවියෝ මහණ ගොයුමන් දිවිහිමියෙන් සරණ ගියහ ...
භවත්නි, මහණ ගොයුමාණන්ගේ වූ කලි “මේ මේ කරුණින් ඒ භගවත් තෙමේ රහත් ය, සම්මාසම්බුදු ය, විදු සරණින් යුතු ය, සුගත ය, ලොව දන්නේ ය, ලොවුතුරා නරදම්සැරි ය, දෙව්මිනිස්නට සසු ය, සිවු සස් දතුයේ ය, භගවත් යැ”යි මෙසේ වූ උතුම් වූ යසගී උස් වැ නැංගේ යැ ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි දෙතිස් මහ පුරිස්ලකුණින් යුතු ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි තමන් වෙත එන්නවුන් ‘එන්න, මෙහි ආ යේ මැනැවැ’යි පිළිගන්නා සුලු හ, කණට සුව එළවන තෙපුල් තෙපලන්නෝ ය, පිළිසඳරෙහි දක්‍ෂය හ, බැම නොහකුළුවන්නෝ ය, සුලභ කථා ඇත්තෝ ය, පැමිණයනට තුමූ පළමුයෙන් කථා කරන සුලුහ ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි සිවු පිරිස් විසින් සත්කාර කරන ලදුහ, ගුරුකාර කරන ලදුහ, බුහුමන් කරන ලදුහ, පුදන ලදුහ, යටත් පැවැතුම් දක්වන ලදුහ ...
භවත්නි, මහණ ගොයුමාණන් කෙරෙහි බොහෝ දෙව්මිනිස්සු වෙසෙසින් පහන්හ ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි යම් ගමෙක හෝ නියම් ගමෙක වෙසෙත් නම්, එ ගමැ හෝ නියම් ගමැ වැසි මිනිස්නට යක්කු පීඩා නො කෙරෙත් ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහ සඟපිරිස් ඇත්තෝ ස, ගණ නායකයහ, ගණාචාර්‍ය්‍යය හ. බොහෝ තීර්‍ත්‍ථංකරයන් අතුරෙහි අග්හ යි කියනු ලැබෙති ...
යම්සේ වනාහි ඇතැම් මහණබමුණන්ගේ යශස අචේලකතාදි පිටතට පෙනෙන යම්තම් ව්‍රතමාත්‍රයෙකින් වැඩෙතත් මහණ ගොයුමන්ගේ යශස වූ කලි එසේ වැඩුණේ නො වේ. වැලි තමන් තුළැ ම වූ නිරුත්තර විද්‍යාචරණසම්පතින් වැඩුණේ වේ ...
භවත්නි, මහණ ගොයුමන් වූ කලි මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙමේ දරුවන් බිරියන් සහිත වැ පිරිස් හා ඇමැත්තන් හා සමග දිවි හිම් කොට සරණ ගියේ ය ... භවත්නි, මහණ ගොයුමන් වූ කලි කෝශලාධිපති පසේනදී රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සහිත වැ දිවි හිම් කොට සරණ ගියේ ය ... භවත්නි, මහණ ගොයුමන් වූ කලි පොකුරුසැත් බමුණු තෙමේ දරුවන් බිරියන් පිරිස් හා ඇමැත්තන් සහිත වැ දිවි හිම් කොට සරණ ගියේ ය ... භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මගධ රටට අධිපති සේනිය බිම්බිසාර රජහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වෙති ... භවත්නි, මහණ ගොයුම්හු වූ කලි කෝශලාධිපති පසේනදී රජහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වෙති ... භවත්නි, මහණ ගොයුම්හු වූ කලි පොකුරුසැත් බමුණා විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වෙති ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි දැන් ඛාණුමතයට පැමිණියෝ ඛාණුමතය සමීපයෙහි අඹයැටි වෙනෙහි (අම්බලට්ඨිකා වනයෙහි) වෙසෙති. භවත්නි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අප ගම් කෙතට එත් නම්, ඔහු අපට අමුතු වෙති. අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කටයුතුහ, ගුරුකාර කටයුතුහ, මානනීයහ, පූජනීයහ, අපචයනීයහ. භවත්නි, යම් හෙයකින් මහණ ගොයුම්හු ඛාණුමතයට පැමිණියෝ, ඛාණුමතය සමීපයෙහි අඹයැටියෙහි වෙසෙත් ද, එහෙයින් ඔබ අප අමුත්තෝ ය. අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කටයුතුහ, ගුරුකාර කටයුතුහ, බුහුමන් කටයුතුහ, පිදියැ යුතුහ, යටත් පැවැතුම් දැක්වියැ යුතුහ.
මේ කරුණිනුත් ඒ පින්වත් ගොයුම්හු අප දක්නට එන්නට නො නිස්සහ. වැලි ඇපි ම ඒ භවද්ගෞතමයන් දක්නා පිණිස එළැඹෙන්නට නිසි වම්හ.
භවත්නි, ඒ භවද් ගෞතමයන් පිළිබඳ වූ මෙතෙක් ගුණ මම දනිමි. එහෙත් පින්වත් ගොයුම්හු මෙ පමණක් ම ගුණ ඇත්තෝ නොවෙති. “ඔබ වූ කලි නො මිනියැ හැකි ගුණ ඇතියහ” යනු යි.
8. මෙසේ කී කල්හි ඒ බමුණෝ කුළුදත් බමුණා බණවා, “පින්වත් කුළුදතු මහණ ගොයුමන්ගේ ගුණ වනන සැටියෙන්, ඒ පින්වත් ගොයුමන් මෙයින් සිය යොදුනක් දුරැ වසතත්, සැදැහැති කුලපුතුහු විසින් පාථේය රැගෙන ද ඔබ දකිනු පිණිස එන්නට නිසි ම ය. එ බැවින්, භවත්නි, ඇපි සියල්ලමෝ මහණ ගොයුමන් දක්නට ඔබ වෙත එළඹෙන්නම්හ”යි කීහ.
9. ඉක්බිත්තෙන් කුළුදත් බමුණා මහත් බමුණුගණයා හා අඹයැටියට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ, සිතැ රැඳැවිය යුතු වූ කථාව කැරැ නිමවා, පසෙක ඉඳගත්තේ ය. ඛාණුමත ගමැ වැසි බමුණෝ ද ගැහැවියෝ ද කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පසෙක ඉඳ ගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටු වියැ යුතු සිතැ රැඳැවිය යුතු වූ කථා නිමවා පසෙක ඉඳ ගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසාවට ඇඳිලි බැඳගෙන පසෙක හුන්හ. කෙනෙක් නම්ගොත් අස්වා පසෙක ඉඳ ගත්හ. කෙනෙක් නිහඬ වැ පසෙක ඉඳ ගත්හ.
10. එක් පසෙකැ හුන්නා වූ ම කුළුදත් බමුණා, “පින්වත් ගොයුමාණනි, ‘මහණ ගොයුම්හු තෙවැදෑරුම් යාග සම්පතත් සොළොස් පිරිකරත් දනිති’යි මෙය මා විසින් අසන ලදි. මම් වූ කලි තෙවැදෑරුම් යාග සම්පතත් සොළොස් පිරිකරත් නො ම දනිමි. වැලි දු මහායාගයක් යජනට මම් කැමැතියෙමි. යාච්ඤා කරමි. මට පින්වත් ගොයුම්හු තෙවැදෑරුම් යාග සම්පතුත් සොළොස් පිරිකරත් දෙසත් වා”යි භාග්‍යවතුන් වහන්සේට කී ය.
“බමුණ, එසේ වී නම් අසන්නැ. මොනොවට මෙනෙහි කරන්නැ. කියන්නෙමි”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).
‘එසේ ය, පින්වතැ’යි කුළුදත් බමුණු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
11. “පෙර වූවක් කියමි. බමුණ, ආඪ්‍ය වූ, මහත් ධන ඇති, මහත් භෝඟ ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ වස්තූපකරණ ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති, පිරිපුන් ගබඩා කොටුගුල් ඇති මහාවිජිත නම් රජෙක් විය. බමුණ, එ කලැ හුදෙකලා වැ චිත්තවිවේකයෙන් හුන් මහාවිජිත රජුට “මානුෂක මහත් භෝගසම්පත්හු මා විසින් ලබන ලද්දෝ ම ය. ඒ මම් මහත් පොළෝමඬුල්ල වෙසෙසින් දිනා හැමට අධිපති වැ වෙසෙමි. මට දික් කලක් හිත සුව පිණිස පවත්නා මහා යඥයක් යදින්නෙම් නම් මැනැවැ”යි මෙසේ චිත්ත සඞ්කල්පනාවෙක් පහළ විය.
බමුණ, ඉක්බිත්තෙන් මහාවිජිත රජ තෙම් පෙරෙවියා අමතා, “බමුණ, මෙහි හුදෙකලා වැ චිත්තවිවේකයෙන් හුන් මට ‘මානුෂක වූ මහත් භෝගයෝ මා විසින් ලදහ. ඒ මම් මහත් මිහිමඬල දිනා එයට අධිපති වැ වෙසෙමි. මට දික් කලක් භිත සුව පිණිස පවත්නා මහා යඥයක් කළොත් මැනැවැ යි මෙසේ චිත්තසංකල්පනාවෙක් උපන. බමුණ, මහා යඥයක් කරන්නට කැමැත්තෙමි. එහි ලා භවත් තෙමේ මට දික් කලක් හිත සුව පිණිස අනුශාසන කෙරේ වා” යි මේ බස් පැවැසී ය.
12. බමුණ, මෙසේ කී කල්හි පෙරෙවි බමුණා මහාවිජිත රජුට මෙය කී ය: “භවත් රජුහුගේ රට කටු සහිත (සොරඋවදුරු සහිත) වෙයි, සොර උවදුරින් මිරිකුණේ වෙයි. ගම් පැහැරුම් දක්නා ලැබේ. නියම්ගම් පැහැරුම් දක්නා ලැබේ. නුවර පැහැරුම් දක්නා ලැබේ. මං පැහැරුම් දක්නා ලැබේ. භවත් රජ තෙමේ ඉදින් මෙසේ සොර උවදුරු ඇති සොර උවදුරින් මිරිකුණු රටෙහි බදු කරවුවර ගන්නේ නම්, එයින් නොකටයුත්තක් කරන්නෙක් වන්නේ ය. ‘වධ කිරීමෙන් හෝ බැඳැ ලීමෙන් හෝ දඩ ගැසීමෙන් හෝ හිස මුඩු කැරැවීම් ආදී ගැරැහුමෙන් හෝ රටින් නෙරැපීමෙන් හෝ මේ දශ්‍යුකීලය (සොර හුල) මුලින් ම උදුරා ලන්නෙමි’ යි පින්වත් රජුට මෙසේ සිතක් විය හැක්ක. මෙසේ මේ සොර හුල මැනැවින් ඉදිරීමෙක් නො වේ ම ය. නසන ලද්දවුන්ගෙන් ඉතිරි වූ යම් සොරසතුරු කෙනෙක් වන්නෝ ද, ඔහු පසු වැ රජුගේ රට පෙළන්නාහ. එතෙකුදු වුවත් මේ මතු දැක්වෙන සංවිධානයට පැමිණ (මතු දැක්වෙන සේ පිළිපැදීමෙන්) මෙසේ මේ සොර හුල මොනොවට ඉදිරී යෑම වේ. එ බැවින් සිය රටෙහි යම් කෙනෙක් ගොවිතැන්හි ගෙරි රැකුම්හි උත්සාහ කෙරෙත් නම්, පින්වත් රජ තෙමේ ඔවුනට ධාන්‍ය බිජුවට ද බත් ද දේ වා. යම් කෙනෙක් පින්වත් රජුහුගේ රටෙහි වෙළෙඳාම පිණිස උත්සාහ කෙරෙත් ද, ඔවුනට රජ තෙමේ බඩු මිල දේ වා. පින්වත් රජුහුගේ රටෙහි යම් කෙනෙක් රාජකාර්‍ය්‍යයෙහි උත්සාහ කෙරෙත් ද, ඔවුනට පින්වත් රජ තෙමේ බත් වැටුප් දේ වා. ඒ මිනිස්සුත් තමන්ගේ වැඩපලෙහි යෙදුණේ රජුගේ රට නො පෙළන්නෝ ය. රජුගේ ධනධාන්‍ය රැස ද මහත් වන්නේ ය. ජනපදයෝ සොර උවදුරු නැත්තෝ, නො මිරිකුණෝ, නිරුපද්‍රැතභාවයේ සිටියෝ වන්නාහ. මිනිස්සු ද උනුන් කෙරෙහි සතුටු වන්නෝ, ඔරෙහි දරුවන් නටවන්නෝ, දොර නොවැසූ ගෙවල් ඇත්තවුන් මෙන් (බිය සැක නැති ව) වසන්නෝ ය.”
13. බමුණ, ‘භවත්, එසේයැ’ යි කියා ම ඒ මහාවිජිත රජ පිළිවදන් දී, රජුගේ රටෙහි ගොවිතැන්හි ගෙරිරැකුම්හි උත්සුක වූවනට බිජු ද බත් ද දෙවී ය. වෙළෙඳාමෙහි උත්සුක වූවනට බඩුමිල දෙවී ය. රාජකාර්‍ය්‍යයෙහි යෙදුණවුනට බත්වැටුප් දෙවී ය. ඒ මිනිස්සු ද මෙසේ රජුගේ රට නො පෙළූහ. රජුගේ ද ධනධාන්‍ය රාශිය මහත් විය. ජනපදයෝ සොරසතුරු උවදුරින් මිදුණෝ නොමිරිකුණෝ නිරුපද්‍රැත බව්හි සිටියෝ වූහ. මිනිස්සු ඔවුනොවුන් හා සතුටු වන්නෝ දරුවන් ඔරෙහි නටවනුවෝ දොර නොවැසූ ගෙවල් ඇතියන් සේ (බිය සැක නැති වැ) වුසූහ.
14. බමුණ, ඉක්බිත්තෙන් මහාවිජිත රජ තෙමේ පෙරෙවියා අමතා, “භවත, මා විසින් භවත්හුගේ සංවිධානය පිළිපැද ඒ සොරසතුරු හුල මුලින් උදුරන ලද්දේ ය. මගේ ධන ධාන්‍ය රැස ද මහත් ම ය. ජනපදයෝ අකණ්ටක වූවෝ, (සොර සතුරු උවදුරු නැත්තෝ) උවදුරින් නොමිරිකුණෝ, උවදුරු නැති බව්හි සිටියෝ ය. මිනිස්සු ඔවුනොවුන් හා සතුටු වන්නෝ, ඔරෙහි දරුවන් නටවන්නෝ, දොර නොවැසූ ගෙවල් ඇත්තවුන් සේ වෙසෙත්. බමුණ, මට දික් කලක් හිත සුව පිණිස පවත්නා මහා යඥයක් යදනට (මහ දනක් දෙන්නට) මම් කැමැත්තෙමි. පින්වත් තෙමේ මට අනුශාසන කෙරේ වා” හි මෙ බස් කී ය.
එ විට පෙරෙවි තෙමේ මෙසේ රජුට අනුශාසන කෙළේ ය: “එසේ නම්, පින්වත් රජුගේ රටෙහි තමා අනුව පවත්නා නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් යම් ක්‍ෂත්‍රිය කෙනෙක් වෙත් තම්, පින්වත් රජ තෙමේ ඔවුන් අමතා, ‘භවත්නි, මට බොහෝ කල් හිත සුව පිණිස මම් මහ දනක් දෙනු කැමැත්තෙමි. භවත්හු එයට මට අනුදනිත් වා’යි කියා වා. පින්වත් වූ රජුගේ රටෙහි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් රාජසභාවට අයත් ඇමැතියෝ වෙත් ද, ... නියම්ගම් වැසි දනවුවැසි බමුණුමහසල්හු වෙත් ද ... නියම්ගම්වැසි දනවුවැසි මහ දනවත් ගැහැවි කෙනෙක් වෙත් ද, පින්වත් රජ තෙමේ ඔවුන් අමතා ‘භවත්නි, මට බොහෝ කල් හිත සුව පිණිස මම් මහ දනක් දෙනු රිසියෙමි. භවත්හු එයට මට අනුදනිත්වා’යි කියා වා”.
“බමුණ, ‘එසේ ය පින්වතැ’යි කියා ම මහාවිජිත රජ තෙමේ පෙරෙවි බමුණාට පිළිවදන් දී, සිය රටෙහි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් තමා අනුව පවත්නා ක්‍ෂත්‍රිය කෙනෙක් වූහු නම්, ඔවුන් අමතා, ‘පින්වත්නි, යමක් මට බොහෝ කල් හිත සුව පිණිස පවත්නේ ද, මම එසේ වූ යඥයක් යජන්නට (මහ දනක් දෙන්නට) කැමැත්තෙමි. පින්වත්හු එයට මට අනුදනිත්වා’යී කී ය.
‘පින්වත් රජ තුමෝ යඥය යජත් වා (මහ දන් දෙත් වා). මහරජාණනි, මේ යඥයට කාලය වේ යැ’යි ඔහු කීහ.
සිය රටෙහි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් රාජසභාසද ඇමැති කෙනෙක් වූහු ද ... නියම්ගම්වැසි දනවුවැසි බමුණු මහසල් කුල කෙනෙක් වූහු ද, ... නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් දන රැස් කරන ගැහැවි මහසල් කුල කෙනෙක් වූහු ද, මහාවිජිත රජ තෙමේ ඔවුන් හැම අමතා, ‘භවත්නි, යමක් මට බොහෝ කල් හිත සුව පිණිස පවත්නේ ද, එසේ වූ මහායඥයක් යජනු රිසියෙම්. පින්වත්හු මට එයට අනුදනිත් වා’යි දැන්වී ය.
‘මහරජාණනි, මේ යඥයට කාලය ය. පින්වත් රජ තුමෝ යඥය කෙරෙත් වා’යි ඔහු කීහ.
මෙසේ මේ අනුමති පක්‍ෂ සතර (අවසරය දෙන්නන් සතර වගය) එ ම යඥයට පිරිවර වෙත්.
15. මහාවිජිත රජ තෙමේ අංග අටෙකින් සමන්‍විත ය. (කවර අටඟින් ද? යත්:)
හේ මාපිය දෙපසින් ම අභිජාත ය, සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තෙක.
ජාතිවාදයෙන් නොහෙළන ලද්දෙක, ගැරැහුම් නොලද්දෙක.
විශිෂ්ට රූප ශෝභා ඇත්තෙක, දැකුම් කටයුත්තෙක, ප්‍රසාද එළවන සුලු ය.
උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත ය, උතුම් රන් පැහැ ඇත්තෙක, උතුම් සිරුරු පැහැ ඇත්තෙක, සිය සිරුර අනුන් විසින් දක්නට නොමඳ අවකාශ ඇත්තෙක.
ආඪ්‍ය ය, මහද් ධන ඇත්තේ ය, මහද්භෝග ඇත්තේ ය, බොහෝ රන් රිදී ඇත්තේ ය, වස්තූපකරණ ඇත්තේ ය, බොහෝ ධන ධාන්‍ය ඇත්තේ ය, පිරිපුන් ගබඩා කොටාර ඇත්තේ ය.
බලවත් වූයේ, අණට කන් දෙන, ඔවා පිළිපදනා සිවුරඟ සෙනඟින් සමන්‍විත වූයේ, පසමිතුරන් සිය යස තෙදින් තවාලන්නාක් මෙන් වේ.
සැදැහැත්තේ ය, දීමෙහි හුරු ය, දානපති ය, මහණුනට බමුණනට දුගියනට මගියනට පුලනුනට යදියනට නොවැසූ දොර ඇත්තේ ය, සිවුමං හන්දියෙක කැණූ පොකුණක් මෙන් වැ දන් පින් කෙරෙයි.
ඒ ඒ ඇසූ දෑ පිළිබඳ වැ බහුශ්‍රුත ය, මේ මෙබසෙහි අරුත ය, මේ මෙබසෙහි අරුත යැ යි ඒ ඒ කී බසෙහි අරුත් දනී.
නුවණැත්තේ ය, වියත් ය, අයුනා වත්මන් අරුත්හි සමත් ය.
මහාවිජිත රජ තෙමේ මෙ අටඟින් සමන්‍විත ය. මෙසේ මේ අංග අට ද එම යඥයට පිරිවර වෙත්.
16. පෙරෙවි බමුණු ද සතර අංගයෙකින් යුත් වෙයි. (කවර සතරෙකින් ද යත්:)
මා පිය දෙපසින් ම අභිජාත ය, සතර වන මීමුතු යුවල තෙක් ම පිරිසිදු මවුකුස ඇත්තේ ය, ජාතිවාදයෙන් නො හෙළන ලද්දේ ය, නො ගරහන ලද්දේ ය.
වේද හදාරන්නේ ය, නිඝණ්ඩු ද කෛටභශාස්ත්‍ර ද සහිත ශික්‍ෂා හා නිරුක්ති හා සහිත ඉතිහාසය පස්වනු කොටැති තුන් වේදයේ පරතෙරට පැමිණියේ ය, පදපාඨ දන්නේ ය, සෙසු සියලු වියරණ විදි ද දන්නේ ය, ලෝකායත ශාස්ත්‍රයෙහිත් මහාපුරුෂලක්‍ෂණ විද්‍යායෙහිත් නිපුණ ය.
සිල්වත් ය, වැඩුණු සිල් ඇත්තේ ය, වැඩුණු ශීලයෙන් සමන්‍විත ය,
පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. යාග සැන්ද ඔසොවන්නවුන් අතුරෙහි පළමු හෝ දෙවෙනි තැනැත්තේ ය.
පෙරෙවි බමුණු තෙමේ මේ සතර අංගයෙන් සමන්‍විත වෙයි. මෙසේ මේ සතර අංගයෝ ද එ ම යාගයට පිරිවර වෙත්.
17. බමුණ, ඉක්බිත්තෙන් පෙරෙවි බමුණු තෙමේ යඥයෙන් පෙරාතුව ම මහාවිජිත රජුට තුන් විධාවන් දැක්වී ය:
“මහා යාගයක් යජනු කැමැති පින්වත් රජහට “අහෝ! මා සතු භෝග රැසක් මතු නැසෙතැ’යි කිසි විපිළිසරක් විය හැක්ක. පින්වත් රජුහු විසින් එසේ වූ විපිළිසරක් නො කටයුතුය. මහා යාගයක් යජන පින්වත් රජුට ‘අහෝ මා සතු මහත් භෝග රැසක් දැන් නැසෙතැ’යි කිසි විපිළිසරක් වියැ හැක්ක. පින්වත් රජු විසින් එසේ වූ විපිළිසරක් නො කටයුත්තේ ය. මහායාගය යැජූ පින්වත් රජුට ‘අහෝ මා සතු මහත් භෝග රැසක් නැසී ගියේ වනැ’යි විපිළිසරක් වියැ හැක්ක. පින්වත් රජුහු විසින් එසේ වූ විපිළිසරක් නොකටයුත්තේ ය.”
බමුණ, පෙරෙවි බමුණු තෙමේ යඥයෙන් පෙරාතු ව ම මහාවිජිත රජුට මේ තුන් විධාවන් දෙසී ය.
18. බමුණ, ඉක්බිත්තෙන් පෙරෙවි බමුණු තෙම මහාවිජිත රජුට යඥයෙන් පෙරාතු ව ම දන් පිළිගන්නවුන් කෙරෙහි විපිළිසර දස අයුරෙකින් දුරැ ලී ය. (ඒ මෙසේ ය:) “පින්වත්හුගේ යඥයට පණිවා කරන්නෝ ද පණිවායෙන් වැළැකුණෝ ද එන්නාහු ම ය. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් පණිවා කරන්නෝ නම් එයින් වරද ඔවුනට ම ය. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් පණිවායෙන් වැළැක්කෝ නම් භවත් තෙමේ ඔවුන් ඇරැබැ යජා වා. භවත් තෙමේ ඔවුන් ඇරැබැ පරිත්‍යාග කෙරේවා. භවත් තෙමේ සතුටු වේ වා. භවත් තෙමේ ඇතුළත සිත ම පහදා වා. පින්වත්හුගේ යඥයට අයිනාදන් කරන්නෝ ද අයිනාදනින් වැළැක්කෝ ද, … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ ද එයින් වැළැක්කෝ ද … මුසවා කියන්නෝ ද එයින් වැළැක්කෝ ද … පෙහෙසුන් තෙපලන්නෝ ද එයින් වැළැක්කෝ ද … පරොස්බස් බණින්නෝ ද එයින් වැළැක්කෝ ද … බොල් බස් දොඩන්නෝ ද එයින් වැළැක්කෝ ද … දැඩි ලොහොබියෝ ද දැඩිලොහොබි නොවන්නෝ ද … ද්වේෂ සහිත සිතැත්තෝ ද එබඳු සිත් නැත්තෝ ද … මිසදිටුවෝ ද සම්දිටුවෝ ද එන්නාහු ම ය. ඔවුනතුරෙහි යම් කෙනෙක් මිසදිටු ගතුවෝ නම් එයින් අවැඩ ඔවුනට ම ය. ඔවුනතුරෙහි යම් කෙනෙක් සම්දිටුහු නම් ඔවුන් අරමුණු කොට පින්වත් තෙමේ යාගය කෙරේ වා. පින්වත් තෙමේ සතුටු වේ වා. ඇතුළත සිත ම පින්වත් තෙමේ පහදා වා”යනු යි.
බමුණ, පෙරෙවි බමුණු තෙමේ මහාවිජිත රජුට යාගයෙන් පෙරාතු ව ම මේ දසඅයුරින් යාග පිළිගන්නවුන් කෙරේ (වියැ හැකි) විපිළිසර දුරැ ලී ය.
19. බමුණ, ඉක්බිති පෙරෙවි බමුණු තෙම මහායඥය යජන මහාවිජිත රජුගේ සිතට සොළොස් අයුරෙකින් කරුණු දැක්වී ය, කරැණු ගැන්වී ය, එහි සිත තියුණු කෙළේ ය, එහි සිත තුටුපහටු කෙළේ ය. (ඒ මෙසේ ය:) “මහායඥයක් යජන පින්වත් රජහට ‘මහා විජිත රජ වනාහි මහායඥයක් යජයි. එහෙත් ඔහු විසින් නියම්ගම්වැසි වූ ද දනවුවැසි වූ ද අනුයුක්ත ක්‍ෂත්‍රියයෝ නො ම කැඳවන ලද්දාහ. එතෙකුදු වුවත් රජ තෙමේ මෙ බඳු මහායඥයක් යජා’යැ යි මෙසේ කියන්නකු ඇති වියැ හැකි ද, පින්වත් රජුට දහම් නයින් එසේ කියන්නෙක් නැත. (කවර හෙයින? යත්:) පින්වත් රජුහු විසින් නියම්ගම් වැසි වූ ද දනවුවැසි වූ ද අනුයුක්ත ක්‍ෂත්‍රියයෝ කැඳවන ලද්දාහ. (එ හෙයිනි).
මේ කරුණින් ද, මෙය පින්වත් රජ තෙමේ දැන ගනී වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා, පින්වත් තෙමේ දන් දේ වා, පින්වත් තෙමේ යාගයට සතුටු වේ වා, පින්වත් තෙමේ ඇතුළත සිත පහදා වා.
20. “මහාවිජිත රජ මහායාගයක් කරයි. එහෙත් ඔහු විසින් නියම්ගම්වැසි, දනවුවැසි පොහොසත් බමුණෝත් නො දන්වන ලදුහ. නියම්ගම්වැසි දනවුවැසි පොහොසත් ගැහැවියෝත් නො දන්වන ලදුහ. එතෙකුදු වුවත් ‘පින්වත් රජු මෙ බඳු මහා යාගයක් කරතැ යි මහා යාගයක් කරනු කැමැති පින්වත් රජුට කියන කිසිවෙක් ඇති විය හැක්කේ ද, පින්වත් රජුට කරුණු සහිත ව එසේ කියන්නෙක් නැත. පින්වත් රජුහු විසින් වනාහි නියම්ගම්වැසි දනවුවැසි සිය යහළුවෝත් අණ පිළිපදනා සෙස්සෝත් දන්වන ලදහ … පොහොසත් බමුණෝත් … පොහොසත් ගැහැවියෝත් දන්වන ලදුහ. මේ කාරණයෙනුත්, මෙය භවත් මහරජ තෙමේ දැනැ ගනී වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා, පින්වත් තෙමේ දානය දේ වා, පින්වත් තෙමේ සතුටු වේ වා, පින්වත් තෙමේ ඇතුළත සිත ම පහදා වා.
21. ‘මහාවිජිත රජ තෙමේ මහායාගයක් කරයි. එහෙත් හේ මාපිය දෙපසින් අභිජාත නො වේ. සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවු කුස ඇත්තේ නො වේ. ජාතිවාදයෙන් නො හෙළන ලද්දේ නො වේ. නො ගරහන ලද්දේ නො වේ. එහෙත් භවත් රජු මෙ බඳු මහ යාගයක් කරතැ’ යි මහායාගය කරන භවත් රජුට කියන කිසිවෙක් ඇති විය හැක්ක. එහෙත් භවත් රජහට කරුණු සහිත වැ එසේත් කියන්නෙක් නැත. පින්වත් රජ තෙමේ වූ කලි මා පිය දෙ පසින් අභිජාත ය, සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවු කුස ඇත්තේ ය, ජාතිවාදයෙන් නො හෙළන ලද්දේ ය, නො ගරහන ලද්දේ ය. මේ කරුණිනුත් මෙය භවත් රජ තෙමේ දැනගනී වා. භවත් තෙමේ යාගය කෙරේ වා, භවත් තෙමේ දානය දේ වා, භවත් තෙමේ සතුටු වේ වා, භවත් තෙමේ ඇතුළත සිත ම පහදා වා.
22. මහා යාගයක් යජනා පින්වත් රජහට “මහාවිජිත රජ වූ කලි මහා යාගයක් යදී. එහෙත් හේ මනා රූ ඇත්තේ නො වේ, දැකුම්කලු නො වේ. උතුම් පැහැ සපුයෙන් යුත් නො වේ. උතුම් පැහැ ඇත්තේ නො වේ. බඹහු වැනි කය ඇත්තේ නො වේ. දැක්මට මහත් ඔවස් ඇත්තේ නො වේ … ආඪ්‍ය ද නො වේ. මහත් ධන ඇත්තේ නො වේ. මහත් භෝග ඇත්තේ නො වේ. බොහෝ රන් රිදී ඇත්තේ නො වේ. බොහෝ වස්තූපකරණ ඇත්තේ නො වේ. බොහෝ ධනධාන්‍ය ඇත්තේ නො වේ. පිරිපුන් බඬුගුල් හා කොටුගුල් ඇත්තේ නො වේ … බසට කන් දෙන, ඔවා පිළිපදනා, බලවත් සිවුරඟ සෙනගින් සමන්‍විත නො වේ. සතුරන් සිය යසසින් තවතැ යි නො සිතම් … සැදැහැවත් දායකයෙක් දානපතියෙක් හළ දොරැත්තෙක් නො වෙයි. මහණ බමුණනට දුගියනට මගියනට යදිනට පුලනුනට සිවුමංහන්දියෙකැ පිහිටි ළිඳක් මෙන් වැ දන් පින් නො කෙරෙයි … ඒ ඒ ඇසූ දෑ පිළිබඳ ඇසූ පිරූ තැන් ඇත්තේ නො වෙයි … මේ මේ කියන ලද්දෙහි අරුත් ය, මේ මේ කියන ලද්දෙහි
අරුත් යැ යි ඒ ඒ භාෂිතයේ අරුත් නො දනී … පණ්ඩිත ද ව්‍යක්ත ද නුවණැති ද අයුනාවත්මන් දෑ සිතනු සමත් ද නො වේ … එහෙත් භවත් රජු මේ බඳු මහා යඥයක් යජතැ”යී මෙසේ දොස් කියන්නකු වියැ හැක්කේ ද, පින්වත් රජුහට එසේ කරුණු සහිත වැ කියන්නෙක් නම් නැත.
පින්වත් රජ තෙමේ වනාහි … පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. අයුනාවත්මන්හි අරුත් සිතන්නට සමත් ය. මේ කරුණින් ද පින්වත් රජ තෙමේ (යඥයට කලැ යි) මෙය දනී වා. පින්වත් තෙමේ යඥය කෙරේ වා. පින්වත් තෙමේ දානය දේ වා. පින්වත් තෙමේ (ස්වකීය යඥයෙහි) සතුටු වේ වා, පින්වත් තෙමේ සිත ඇතුළත පැහැදැවීම ම කෙරේ වා.
23. මහා යඥයක් යජනා පින්වත් රජුට “මහාවිජිත රජ වනාහි මහා යඥයක් කරයි. එහෙත් ඔහු පෙරවි බමුණු තෙමේ මාපිය දෙපසින් පිරිසිදු උපත ඇතියෙක් නො වේ. සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇතියෙක් නො වේ. ජාතිවාදයෙන් බැහැර නොකරන ලදුයෙක්, නොගරහන ලදුයෙක් නො වේ. එතෙකුදු වුවත් පින්වත් රජු මෙ බඳු මහායඥයක් කරතැ”යි කියන කිසිවකු ඇති විය හැකි වතොත්, පින්වත් රජුට කරුණු සහිත වැ එසේ කියන්නෙක් නම් නැත. පින්වත් රජුහුගේ පෙරෙවි බමුණු තෙමේ මවු පසින් ද පිය පසින් ද යන දෙ පසින් ම පිරිසිදු උපත ඇතියෙක් ය. සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවු කුස ඇතියෙක් ය. ජාතිවාදයෙන් බැහැරැ නො කැරුණෙක් ය. ගැරැහුම් නොලදුයෙක් ය. මෙ කරුණින් ද පින්වත් රජ තෙමේ (යඥයට කලැ යි) මෙය දනී වා. පින්වත් තෙමේ යඥය කෙරේ වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා. පින්වත් තෙමේ ස්වකීය යඥයෙහි සතුටු වේ වා. පින්වත් තෙමේ සිත ඇතුළත පැහැදීම ම කෙරේ වා.
24. මහා යඥයක් කරන පින්වත් රජුට, “මහාවිජිත රජ වනාහි මහා යඥයක් කෙරෙයි. එහෙත් ඔහු පෙරෙවි බමුණු තෙමේ වේද හදාරන්නෙක්, වේදය සිතැ දරන්නෙක්, නිඝණ්ටු කෙටුභශාස්ත්‍ර සහිත, අක්‍ෂරප්‍රභේද සහිත, ඉතිහාසය පස්වනු කොටැති තුන් වේදයන්හි පරතෙරට ගියෙක් නො වේ යැ යි ද, පද දන්නෙක්, වියරණෙහි නිපුනයෙක්, ලෝකායත ශාස්ත්‍රයෙහිත් මහාපුරුෂලක්‍ෂණ ශාස්ත්‍රයෙහිත් අනූනයෙක් නො වේ යැ යී ද ...
ඔහු පෙරෙවි බමුණා සිල්වතෙක්, වැඩුණු සිල් ඇත්තෙක්, වැඩුණු ශීලයෙන් සමන්‍විතයෙක් නො වේ යැ යි ද ...
ඔහු පෙරෙවි බමුණා පණ්ඩිත ද නො වේ යැ යි, ව්‍යක්ත ද නො වේ යැ යි, නුවණැති ද නො වේ යැ යි, හෝම සැන්ද ඔසොවන්නවුන් ගෙන් පළමු වැන්නා හෝ දෙවැන්නා හෝ නො වේ යැ යි, එතෙකුදු වුවත් පින්වත් මගරජ මෙ බඳු මහා යඥයක් කෙරේ යැ’යි ද කියන කිසිවකු ඇති විය හැක්ක. එහෙත් කරුණු සහිත වැ එසේ කියන්නෙක් නම් නැත.
පින්වත් රජුගේ පෙරෙවි බමුණා වනාහි පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. හෝම සැන්ද ඔසොවන්නන් අතුරෙහි පළමු වැන්නා හෝ දෙවැන්නා ය. පින්වත් රජ තෙමේ මෙයිනුත් (යඥයට කාලය යැ යි) මෙය දනී වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා. පින්වත් තෙමේ යාගයෙහි සතුටු වේ වා. පින්වත් තෙමේ සිත ඇතුළත පැහැදීම ම කෙරේ වා”.
බමුණ, ඒ පෙරෙවි බමුණා මහා යාගයක් කරන්නට සැරැසෙන මහාවිජිත රජුහුගේ සිත මේ සොළොස් අයුරින් කරුණු දක්වා මෙහෙයී ය, සිතට ගැන්වී ය, සිත උනන්දු කෙළේ ය, පැසැසීමෙන් සිත සතුටු කෙළේ ය.
25. ඒ යාගයෙහි වූ කලි ගෙරිහු නො මරන ලදහ. එළුතිරෙළුවෝ නො මරන ලදහ. කුකුළෝ හූරෝ නො මරන ලදහ. නොයෙක් ලිහිණි ඈ සත්තු වනසට නො පැමිණියහ. යාග කණු පිණිස රුක්හු නො සිඳින ලදහ. යාගශාලාව පිරිකෙවීම පිණිස හෝ යාග බිමැ ඇතිරීම පිණිස කුස තණ නො සිඳින ලද්දේ ය. ඔහුගේ දාසයෝ යී හෝ මෙහෙකරුවෝ යී හෝ කම්කරුවෝ යී කියන ලද යම් කෙනෙක් වූහු නම්, ඔහුත් දඬු ගැන්මෙන් නො තේජනු ලදුවෝ, බිය දැනැවීමෙන් නො තේජනු ලදුවෝ, කඳුළෙන් තෙමුණු මුහුණු ඈති වැ නො ම හඬනුවෝ, (පිය බසින් ම මෙහෙයුණෝ) කටයුතු දෑ කළහ. වැලි දු යම් කෙනෙක් කැමැත්තෝ නම්, ඔහු එහි කටයුතු දැය කළහ. යම් කෙනෙක් නොකැමැත්තෝ තම්, ඔහු එය නො කළහ ... ගිතෙල් තලතෙල් වෙඬරු දිහි මී සකුරින් මුසු වූ කැඳ බත් ආදියෙන් ම ඒ යඥය නිමාවට පැමිණියේ ය.
26. එ කල්හි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් එ රජුගේ කටයුතුවලැ යෙදී වසන බමුණෝ ද ක්‍ෂත්‍රියයෝ ද, නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් ඇමැත්තෝ ද පිරිස්වැස්සෝ ද, නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් බමුණු මහසල්කුල වැස්සෝ ද, නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් ගැහැවි මහසල්කුල වැස්සෝ ද බොහෝ ධනය (ගැල් පුරා) නඟා ගෙන මහාවිජිත රජු කරා එළැඹ, “දේවයන් වහන්ස, මේ බොහෝ ධනය දේවයන් වහන්සේ ම උදෙසා ගෙනෙන ලද්දේ ය. එය දේවයන් වහන්සේ පිළිගන්නා සේක් වා”යී මෙසේ කීහ.
(එයසා,) “පින්වත්නි, (තොප ධනයෙන්) කම් නැත. මගේ ද දැහැමි කරවුවරින් රැස් කළ මේ බොහෝ ධනය ඇත්තේ ය. (එ බැවින් තොප ගෙනා) ඒ ධනයත් තොපට ම වේ වා. මොබිනුත් තවත් ගෙන යවු”යී රජ කී ය.
27. ඔහු රජු විසින් නොගිවිස්නා ලද්දෝ එක් පැත්තකට ගොස්, “මේ ධන නැවැත අප ගෙවලට ගෙනැ යෑම අපට නො හොබනේ ය. මහාවිජිත රජු වූ කලී මහා යාගයක් කෙරෙයි. එ බැවින් අපි ඔහුට අනුයාග කරන්නමෝ වමු”යී මෙසේ කතා කැරැ ගත්හ.
බමුණ, ඉක්බිති (රජුගේ) දන්හලට පැදුම් දිගැ නිගම්වැසි වූත් දනවුවැසි වූත් රාජසේවක ක්‍ෂත්‍රියයෝ දන් (හල්) පිහිටුවූහ. රජුගේ දන්හලට දකුණු දිගැ නිගම්වැසි වූත් ජනවුවැසි වූත් ඇමැත්තෝත් පිරිස්වැස්සෝත් දන් (හල්) පිහිටුවූහ. (රජුගේ) දන්හලට පැසිම් දිගැ නිගම්වැසි වූත් ජනවුවැසි වූත් බමුණුමහසල්වැසියෝ දන් (හල්) පිහිටුවුහ. (රජුගේ) දන්හලට උතුරු දිගැ නිගම්වැසිවූත් ජනවුවැසි වූත් ගැහැවි මහසල් වැසියෝ දන් (හල්) පිහිටුවූහ.
බමුණ, ඒ යාගයන්හි (දානයන්හි) ද ගෙරිහු නො ම මරන ලදහ. එළුතිරෙළුවෝ නො ම මරණ ලදහ. කුකුළෝත් නො ම මරණ ලදහ. නන් සත්තු මරණයට නො පැමිණියහ. යාග සඳහා රුක්හු නො ම සිඳුනා ලදහ. වනමල් අවුණා මල් දම් කොටැ දන්හල වටා ලනු පිණිසත් හිඳ ගන්නට යාග බිමැ අතුරනු පිණිසත් කුස තණ නො ම සිඳුනා ලද්දේ ය. ඔවුන්ගේ දාසයෝ යී හෝ මෙහෙකරුවෝ යී හෝ කම්කරුවෝ යී කියන ලද යම් කෙනෙක් වූහු නම්, ඔහු දු දඬුයෙන් තේජතා ලදුවෝ හෝ බිය දැනැවීමෙන් තෙජනා ලදුවෝ හෝ කඳුළු මුසු මුහුනැති වැ හඬන්නෝ හෝ එහි කටයුතු නො කළහ. වැලි කටයුතු කරනු කැමැතියෝ ම කටයුතු කළහ. නොකැමැතියෝ නො ම කළහ. ඒ යඥයෝ (දානයෝ) ගිතෙල් තලතෙල් වෙඬරු දිහි මී සකුරෙන් හා කැඳ බත් ආදියෙන් ම නිමාවට ගියහ.
28. බමුණ, මෙසේ යාගය කිරීමට අනුමතිය දුන් පක්‍ෂ සතර ද, අටඟින් යුත් මහාවිජිත රජ ද, සිවුරඟින් යුත් පෙරෙවි බමුණා ද, තර ව පිහිටියැ යුතු තුන් තැන් ද යන මොහු තුන් වැදෑරුම් යාග සම්පතුත් සොළොස් යාග පිරිකරත් ය.
29. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි, ඒ බමුණෝ “යාග නම් මෙසේ වුව මැනව, යාගසම්පත් නම් මේ මැ යැ”යි ගුගුරන්නෝ උස් හඬ ඇත්තෝ, මහහඬ ඇත්තෝ වූහ. කුළුදත් බමුණු වනාහි නිහඬ ව ම උන්නේ වෙයි. එ කලැ ඒ බමුණෝ කුළුදත් බමුණාට “පින්වත් කුළුදත් තෙමේ කවර හෙයින් මහණ ගොයුමාණන්ගේ සුබැසිය සුබැසි විසින් නො අනුමොවී දැ?”යී කීහ.
“මම් මහණ ගොයුමන් වහන්සේගේ සුබැසිය සුබැසි විසින් නොඅනුමෙවුනෙම් නො වෙමි. යමෙක් මහණ ගොයුමන් වහන්සේගේ සුබැසිය සුබැසි විසින් නො අනුමෙවුනේ වී තම්, ඔහු හිස ගිලි හෙන්නේ ය. වැලි ‘මා විසින් මෙය ඇසිණැ’ යී හෝ ‘මෙසේ වියැ යුතු යැ’ යී හෝ මහණ ගොයුමන් වහන්සේ මෙසේ නො වදාළ සේක. එහෙත් උන් වහන්සේ ‘එදා මෙසේ වී ය. එදා මෙ පරිද්දෙන් වී යැ’ යී ම වදාරන සේක. භවත්නි, ඒ මට ‘ඒකාන්තයෙන් මහණ ගොයුමන් වහන්සේ එ කලැ යාගස්වාමි වූ මහාවිජිත රජ හෝ වුව මැනැව, ඔහු යාගය කැරැවූ පෙරෙවි බමුණා හෝ වුව මැනැවැ’යී මෙසේ සිතෙක් වෙයි. පින්වත් ගොයුමාණන් මහත්සේ ‘මෙ බඳු යඥයක් යැද හෝ යදවා (දනක් දී හෝ දෙවා) කාබුන් මරණින් මතු මනා ගති ඇති සඟ ලොවට පැමිණෙන්නේ යැ’යි පිළින කරන සේක් දැ?”යී කුළුදත් බමුණු කී ය.
“බමුණ මෙ බඳු යාගයක් කොට හෝ කරවා කාබුන්මරණින් මතු මනා ගති ඇති සඟ ලොවට පැමිණෙන්නේ යැ’යි පිළින කෙරෙමි. එ සමයෙහි ඒ යාගය කරවූ පෙරෙවි බමුණා මම් වීම්”යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
30. “පින්වත් ගෞතමයන් වහන්ස, සොළොස් පිරිකරක් ඇති මේ තුන් වැදෑරුම් යාග සම්පතට වඩා අල්ප කටයුතු ඇති, අල්ප උත්සාහයෙන් සිදු කට හැකි (එහෙත්) වඩා මහත් පල ඇති, වඩා මහත් අනුසස් ඇති අන් යාගයෙක් ඇත්තේ දැ?”යී කුළුදත් බමුණා විචාළේ ය.
“බමුණ, සොළොස් පිරිකරක් ඇති මේ තුන් යාග සම්පතට වඩා අල්ප කටයුතු ඇති, අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, වඩා මහත් පල ඇති, වඩා මහත් අනුසස් ඇති අන් යාගයෙක් ඇත්තේ යැ”යී (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
31. “පින්වත් ගෞතමයන් වහන්ස, සොළොස් පිරිකරක් ඇති මේ තුන් යාග සම්පතට වඩා අල්ප කෘත්‍ය ඇති, වඩා අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, එහෙත් එයට වඩා මහත් පල ඇති, වඩා මහත් අනුසස් ඇති ඒ යාගය කවරේ ද?”යී (කුළුදත් ඇසී ය.)
“බමුණ, සිල්වත් පැවිද්දන් උදෙසා කුලපරපුරෙහි දෙන යම් නිති දන් (හැම දා ම දෙන දන්) කෙනෙක් වෙත් නම්, බමුණ, ඒ මේ යාගය මෙ කී සොළොස් පිරිකරක් ඇති තුන් යාග සම්පතට වඩා අල්ප කෘත්‍ය ඇති අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, එහෙත් එයට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති එකෙකැ”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
32. “පින්වත් ගෞතමයන් වහන්ස, ඒ නිති දෙන අනුකූල යඥය යමෙකින් සොළොස් පිරිකරක් ඇති මේ ත්‍රිවිධ යඥසම්පතට වඩා අල්ප කෘත්‍ය ඇතියෙක්, වඩා අල්පොත්සාහයෙන් සිදු කට හැකියෙක්, එහෙත් එයට වඩා මහත් පලක් මහත් අනුසසුත් ඇතියෙක් වන්නේ නම්, ඒ හේතුව ඒ ප්‍රත්‍යයය කවරේ ද?” (යී කුළුදත් පුළුවුත.)
“බමුණ, එ බඳු යාගයකට (දානයකට) රහත්හු හෝ රහත්මඟ පිළිපන්නෝ හෝ නො ම එළැඹෙත්. ඒ කවර හෙයින් ද? යත්: බමුණ, එ බඳු මහා යඥයෙහි ‘පිළිවෙළින් සිටිවු’ යන ආදීන් කියා දන් ලබන්නවුනට දඬුයෙන් පැහැරුම් ද ගෙල ගැනුම් ද දක්නා ලැබේ. එහෙයින් එබඳු යඥයට රහත්හු හෝ රහත්මඟට පිළිපන්නෝ හෝ නො එළඹෙත්. බමුණ, සිල්වත් පැවිද්දන් උදෙසා කුලපරපුරෙහි දෙන යම් නිතිදන් කෙනෙක් වෙත් නම්, එබඳු යඥයට රහත්හු ද රහත්මඟට පිළිපන්නෝ ද එළැඹෙත්. ඒ කවර හෙයින? යත්: බමුණ, මේ බඳු යඥයෙහි දඬුයෙන් පැහැරුම් හෝ ගෙල ගැනුම් හෝ දක්නා නො ලැබේ. එහෙයින් මෙබඳු යඥයට රහත්හු ද රහත්මඟ වන්නෝ ද එළැඹෙත්. බමුණ, ඒ කුලපරපුරැ දෙන නිති දන යමෙකින් මෙ කී සොළොස් පිරිකරක් ඇති ත්‍රිවිධ යඥසම්පතට, වඩා අල්ප කටයුතු ඇති, අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, එහෙත් වඩා මහත්පල ද මහත් අනුසස් ද ඇති එකෙක් වේ නම්, මේ එයට හේතුව ය, මේ ප්‍රත්‍යය ය.”
33. (කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ සොළොස් පිරිකරක් ඇති තුන් වැදෑරුම් යාගසම්පතටත් මේ කුලපරපුරෙහි දෙන නිති දනටත් වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් මේ හැමට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති අන් යඥයෙක් ඇත් ද?”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ සොළොස් පිරිකරක් තුන්වැදෑරුම් යාගසම්පතටත් කුලපරපුරෙහි දෙන නිති දනටත් වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් ඒ හැමට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති අන් යඥයෙක් ඇත.”