Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 601-700 න් 5108

81. අම්බට්ඨය, තව ද මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙනුයේ, පවත්තඵලභෝජී බවටත් නො පැමිණෙනුයේ, උදැල්ලකුත් පැසකුත් ගෙන ‘අල මුල් ගෙඩි වළඳන්නෙක් වන්නෙමි’ යි සිතා වනපෙදෙසකට බැස ගනී. හේ ඒකාන්තයෙන් විද්‍යා චරණ දෙකින් යුක්තයාගේ සේවකයෙක් ම වේ. අම්බට්ඨය, මෙ කී නිරුත්තර විද්‍යාචරණසම්පත්හුගේ මේ දෙවෙනි විනාශමුඛය වේ.
82. තව ද අම්බට්ඨය, මෙහි කිසි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පත්තියට ද නො පැමිණෙනුයේ, පවත්තඵලභෝජනයට ද නො පැමිණෙනුයේ, අල මුල් පල බොජුන් කොට ඇති බවට ද නොපැමිණෙනුයේ, ගමක් සමීපයේ හෝ නියම් ගමක් සමීපයේ හෝ ගිනි පුදනා ගෙයක් කොට, ගිනි පුදමින් හිඳී. හේ ඒකාන්තයෙන් විද්‍යා චරණ දෙකින් යුක්තයක්හුගේ සේවකයෙක් ම වේ. අම්බට්ඨය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පත්හුගේ තෙවෙනි විනාශ මුඛය වේ.
83. තව ද අම්බට්ඨය, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙනුයේ, පවත්තඵලභෝජී බවටත් නො පැමිණෙනුයේ, අල මුල් පල බොජුන් කොට ඇති බවටත් නො පැමිණෙනුයේ, ගිනි පිදීමට ද නොබස්නේ, ‘යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ සිවු දිසායෙන් එන්නේ ද, ඔහු මම් හැකි සේ පිළිවන් සේ පුදන්නෙමි’යි සිවුමංහන්දියෙක දොර සතරක් ඇති (සිව්දිගට දොර ඇති) දන්හලක් කොට හිඳී. හේ ඒකාන්තයෙන් විද්‍යා චරණ දෙකින් යුක්තයක්හුගේ සේවකයෙක් ම වේ. අම්බට්ඨය, මේ විද්‍යාචරණසම්පත්හුගේ සතර වන විනශමුඛය වේ.
අම්බට්ඨය, මොහු මේ විද්‍යාචරණසම්පත්හුගේ සතර විනාශමුඛයෝ වෙත්.
84. ඒ කිමැ යි සිතයි ද අම්බට්ඨය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පත්හි තෝ සිය ඇදුරා සහිත වැ දක්නා ලැබෙහි (පෙනෙහි) ද?
“භවත් ගෞතමයිනි, මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි, ඇදුරා සහිත මම් කවරෙකිම් වෙම් ද? නිරුත්තර විද්‍යාචරණසම්පත් කවරේ ද? භවද් ගෞතමයාණනි, ඇදුරා සහිත මම විද්‍යාචරණ සම්පත කෙරෙන් දුරින් ම සිටියෙම් වෙමි” යි (අම්බට්ඨයා කීය.)
[භාග්‍යවත්හු:] “අම්බට්ඨය, එය කිමැ යි සිතයි ද? තෝ මේ විද්‍යාචරණ සම්පතට නො පැමිණියෙක් වනුයෙහි, තවුස්පිරිකර - කඳ ගෙන, පවත්තඵලභෝජි වන්නෙමි’ යි සිය ඇදුරා සහිත වැ වන පෙදෙසකට බට තැනැත්තෙහි වත් වෙහි ද?”
[අම්බට්ඨ:] “මෙය නො වේ ම ය, භවත්ගෞතමයාණනි.”
[භාග්‍යවත්හු:] “අම්බට්ඨය, එය කිමැ යි සිතයි ද? ඇදුරා සහිත තෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙනුයෙහි, පවත්තඵලභෝජි බවට ද නොපැමිණෙන්නෙහි, ‘අල මුල් පල බොජුන් කොටැත්තෙම් වන්නෙමි’ යි උදැල්ලකුත් පැසකුත් ගෙන වන පෙදෙසකට බටුයෙහි හෝ වෙහි ද?”
[අම්බට්ඨ:] “භවත් ගෞතමයිනි, මේත් නො වේ ම ය.”
[භාග්‍යවත්හු:] “අම්බට්ඨය, එය කැමැ යි සිතයි ද? ඇදුරා සහිත තෝ මේ නිරුත්තර විද්‍යාචරණ සම්පතටත් නො පැමිණෙනුයෙහි, පවත්තඵලභෝජි බවට ද නො පැමිණෙනුයෙහි, අල මුල් පල බොජුන් කොටැති බවට ද නො පැමිණෙනුයෙහි, ගමක් අසල හෝ නියම්ගමක් අසල හෝ ගිනි පුදනා ගෙයක් කොට ගිනි පුදමින් හෝ ඉඳිනෙහි ද?”
[අම්බට්ඨ:] “භවත් ගෞතමයිනි, මේත් නො වේ ම ය.”
[භාග්‍යවත්හු:] “අම්බට්ඨය, එය කිමැ යි සිතහි ද? මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙන්නෙහි, පවත්තඵලභෝජිත් නො වන්නෙහි, අල මුල් පල බොජුන් කොටැති බවට ද නො පැමිණෙන්නෙහි, ගිනි පිදීම ද නොකරන්නෙහි, සිවුමංහන්දියෙක දොර සතරක් ඇති දන්හලක් කොට මේ සිවු දෙසින් එන තාක් මහණබමුණන් හැකි පරිදි පිළිවන් පරිදි පුදන්නෙමි යි සිතා තෝ ඇදුරා සහිත වැ ඉඳිනෙහි ද?”
[අම්බට්ඨ:] “භවත් ගෞතමයිනි, මෙය නැත්තේ ම ය.”
85. [භාග්‍යවත්හු:] “අම්බට්ඨය, ඇදුරා සහිත තෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතිනුත් පිරිහුණෙහි ය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පතට විනාශ මුඛ වූ යම් තපශ්චර්‍ය්‍යා කෙනෙක් වෙත් නම් එයිනුත් පිරිහුණෙහි ය. එහෙත් අම්බට්ඨය, තගේ ඇදුරු වූ පොක්ඛරසාදී බමුණා විසින් තමා විද්‍යාචරණසම්පතට විනාශමුඛ වූ දහම් පමණකුත් නොපුරන්නකු වැ හිඳ, “බමුණනට මෙහෙකරු වූ, කළු වූ, බඹුහුගේ පයින් උපන්, ගර්හිත මුඬු මහණහු කවුරු ද? එවැන්නන් හා ත්‍රෛවිද්‍යාක බමුණන්ගේ කවර සාකච්ඡා දැ?” යි මේ වචනය කියන ලද්දේ ම ය. බලව, අම්බට්ඨය, තගේ ආචාර්‍ය්‍ය වූ පොක්ඛරසාදී බමුණුහු විසින් කොතරම් මහත් වරදෙක් කරන ලද්දේ ද?
86. අම්බට්ඨය, පොක්ඛරසාදී බමුණු තෙමේ වූ කලි පසේනදී කොසොල් රජුහු විසින් දුන් දෑ බුක්ති විඳී. කොසොල් රජ ඔහුට මුහුණ පෑම ද නො කෙරෙයි. යම් විටෙක ඔහු හා සාකච්ඡා කෙරේ නම් කඩතුරාවෙකින් මුවහ වී හිඳ කථා කෙරෙයි. අම්බට්ඨය, යමකු විසින් තමහට එළැවූ දැහැමි බොජුන් (පොක්ඛරසාදි තෙමේ) පිළිගන්නේ නම්, ඒ පසේනදී කොසොල් රජ ඔහුට තමා මුහුණ පෑම පවා කෙසේ නම් නො කරන්නේ ද? අම්බට්ඨය, බලව, මේ තගේ ඇදුරු වූ පොක්ඛරසාදී බමුණා විසින් කොතරම් මහත් වරදෙක් කරන ලද ද?
අම්බට්ඨය, එය කිමැ යි සිතන්නෙහි ද? මෙහි පසේනදී කොසොල් රජ තෙමේ ඇතු ගෙල මතුයෙහි හෝ හුන්නේ, අසු පිටැ හෝ හුන්නේ, රිය තුළ ඇතිරිය මතැ හෝ සිටියේ, උසස් ඇමැතියන් හෝ අභිෂේක නොලත් රජ දරුවන් හෝ සමඟ කිසි යම් මන්ත්‍රණයක් කරන්නේ නම්, හේ ඒ රජු සිටි තැනින් ඉවත් වැ එක් පසෙක සිටින්නේ ය. එකල්හි ශුද්‍රයෙක් හෝ ශුද්‍රයෙකුගේ දාසයෙක් හෝ එන්නේ නම්, හේ ඒ පෙදෙසෙහි සිටියේ, ‘පසේනදී කොසොල් රජ මෙසේත් කීයේ ය, පසේනදී කොසොල් රජ මෙසේත් කීයේ යැ’ යි ඒ මන්ත්‍රණය ම කියන්නේ නම්, හේ රාජවචනය කියන්නේ ද? රාජමන්ත්‍රණය කරන්නේ? මෙතෙකින් හේ රජ හෝ රජමහඇමැතියෙක් හෝ වන්නේ ද?
[අම්බට්ඨ:] “භවද්ගෞතමයිනි, මෙය නොවේ ම ය.”
87. [භාග්‍යවත්හු:] “අම්බට්ඨය, එපරිද්දෙන් ම, වේදකතෘ වූ වේද පැවැත්වූ, බ්‍රාහ්මණයන්ගේ පූර්‍වපුරුෂ වූ අට්ටක (ආත්‍රෙය), වාමක, වාමදේව, වෙස්සාමිත්ත (විශ්වාමිත්‍ර), යමතග්ගි (ජමදග්නි), අංගිරස, භාරද්වාජ, වාසෙට්ඨ (වසිෂ්ට), කස්සප (කාශ්‍යප), භඟු(භෘගු) යන යම් ඍෂි කෙනෙක් වූහු ද, යම් කෙනකුන් විසින් ගයන ලද (-සජ්ඣායනා කරන ලද), කියවන ලද, රැස් කොට තබන ලද, මේ මන්ත්‍රපද (වේදයයි) මෙ කළ බමුණෝ ඔවුන් අනුවැ ගයත් ද, කියැවූ දැය අනුවැ කියවත් ද, ‘ඇදුරාණන් සහිත මම් ඒ වේද හදාරමි’යි යන මෙපමණෙකින් තෝ ඍෂිවරයෙක් හෝ ඍෂි බවට පිළිපන්නෙක් හෝ වන්නෙහි ය යන මේ කාරණය විද්‍යාමාන නොවේ.
88. අම්බට්ඨය ඒ කිමැයි සිතහි ද? ඒ ඍෂීන් ගැන කියන වෘද්ධ වූ මහලු වූ තගේ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය වූ බමුණන්ගේ වචනය තා විසින් කෙසේ නම් අසන ලද ද? වේද කතෘ වූ, වේද පැවැත්වූ, බමුණන්ගේ පූර්‍වපුරුෂ වූ, අට්ඨක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගි, අංගිරස, භාරද්වාජ වාසෙට්ඨ, කස්සප, භගු යන යම් ඍෂි කෙනෙකුන් විසින් ගයන ලද, රැස් කොට තබන ලද, මේ මන්ත්‍රපද දැන් සිටිනා බමුණෝ ඔවුන් අනුව ගයත් නම්, ඔවුන් අනුවැ කියත් නම්, ඔවුන් කී වචනය අනුවැ කියත් නම්, කියැවූ වචන අනුවැ කියවත් නම්, මෙ කල්හි වු ඇදුරා සහිත තා සේ ඒ ඍෂිවරුන් මොනවට නා ගත්තෝ වැ, මොනවට සුවඳ විලෙවුන් ගල්වා ගත්තෝ වැ, අන්දම් තබා කැපූ කෙහෙ රැවුලු ඇත්තෝ වැ, පැලැඳ ගත් මිණිකොඬොල් අබරණ ඇත්තෝ වැ, සුදු වස්ත්‍ර හඳින්නෝ වැ පස් කම් සුවෙන් ඇලී යෙදී එහි ඉඳුරන් මෙහෙයවන්නෝ වූහු ද?”
[අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නොවූයෙකි.”
89. [භාග්‍යවත්හු:] “දැන් ඇදුරා සහිත තා කරන්නා සේ, ඒ ඍෂිහු අවුලා ඉවත් කළ කළු සහල් ඇති, බොහෝ සූප ඇති, බොහෝ ව්‍යංජන ඇති, මසවුළු ඇති, පිරිසිදු හැල් බත් වළඳන්නෝ වූහු ද?”
[අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො වී ය.”
[භාග්‍යවත්හු:] “දැන් ඇදුරා සහිත තා කරනා පරිදි ඔහු වෙළුම් පිටින් බැඳ සිහින් කළ ඉඳ ඇති ස්ත්‍රීන් ලවා මෙහෙ කරවා ගන්නෝ වූහු ද?”
[අම්බට්ඨ:] “මේ නො වී ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “දැන් ඇදුරා සහිත තා කරන්නා සේ ඔහු සැරැසු වලග ඇති වෙළෙඹුන් යෙදූ රියවලින්, දික් කැවිටි ලී වලින් එය අදනා සත්නට අනින්නාහු, ඔබ මොබ ගියෝ ද?”
[අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො වී ය.”
[භාග්‍යවත්හු:] “දැන් ඇදුරා සහිත තා කරන සේ, ඒ ඍෂිහු කැණු අගල් ඇති, තැබූ කණයම් ඇති, උපකාරීකාවන්ගෙන් යුත් නුවරවලැ දික් කඩු ගත් පුරුෂයන් ලවා රකවල් කැරැවූහු ද?”
[අම්බට්ඨ:] “මෙය නො වී ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “අම්බට්ඨය, මෙසේ ඇදුරා සහිත තෝ ඍෂියෙකුත් නො ම වෙහි ය. ඍෂි බව සඳහා පිළිපන්නෙකුත් නො ම වෙහි ය. අම්බට්ඨය, යමකුට මා කෙරෙහි සැකයෙක් විමතියෙක් වේ නම්, හේ ප්‍රශ්නයෙන් මා විචාරා වා. මම ඔහුගේ ප්‍රශ්න විසැඳීමෙන් ඔහු සැක දුරැ ලන්නෙමි.”
90. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ වෙහෙරින් නික්මැ, සක්මන් මලුවට නැංග සේක. අම්බට්ඨ මාණවක ද වෙහෙරින් නික්මැ සක්මන් මලුවට නැංගේ ය. ඉන් පසු අම්බට්ඨ මාණවක තෙමේ සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ අනුවැ සක්මන් කරනුයේ, භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහපුරිස්ලකුණු සෙවී ය. අම්බට්ඨ මාණවක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි බෙහෙවින් දෙකක් හැර දෙතිස් මහ පුරිෂ් ලකුණු දිටී ය. හේ කොශාවහිත අංගජාතයෙහි ද පුළුල් දිව ඇතිබව්හි ද යන මහා පුරුෂලක්‍ෂණ දෙක්හි සැක කෙරෙයි. එයින් සනිටුහනකට නො බසී. ‘මේ තෙමේ පිරිපුන් මහපුරිස්ලකුණු ඇත්තෙකැ’ යි පැහැදීමට නො පැමිණේ.
91. එ කල්හි “මේ අම්බට්ඨ මාණවක තෙමේ මා සිරුරෙහි බෙහෙවින් දෙකක් හැර දෙතිස් මහ පුරුස් ලකුණු දැකී ම ය, කොශාවහිත අංගජාතයත් පුළුල් දිවත් යන මහපුරිස් ලකුණු දෙක්හි සැක කෙරෙයි, සනිටුහනට නො බසී. නො පැහැදෙයි. (එබැවින් මොහුට ඒ මහපුරිස් ලකුණු දෙක පෙන්වීම් නම් යෙහෙකැ)” යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ කොශාවහිත අංගජාතය යම්සේ අම්බට්ඨ මාණවකයා දක්නේ ද, එසේ වූ ඍද්ධ්‍යාභිසංස්කාරයක් කළ සේක. එයින් පසුව දිව නිකුත් කොට දෙකන් සිදුරු ස්පර්‍ශ කල සේක. දෙනාස්පුඬු පිරිමැද්ද සේක. සියලු නලල් මඩල දිවෙන් වැසූ සේක.
එවිට ‘ශ්‍රමණ ගෞතම තෙමේ නො අඩු පිරිපුන් දෙතිස් මහ පුරිස්ලකුණින් සමන්‍විත යැ’යි අම්බට්ඨ මාණවකයාට මේ සිත විය. ඉක්බිති හේ භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයෙනි, දැන් අපි යම්හ, අපි බොහෝ කෘත්‍ය ඇත්තමෝ, බොහෝ කටයුතු ඇත්තමෝ වම්හ” යි කී ය.
“අම්බට්ඨය, යම් ගමනකට තෝ කාලය සිතහි නම්, ඒ ගමන කරන්නැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ඉක්බිති අම්බට්ඨ මාණවක තෙමෙ වෙළෙඹුන් යෙදූ රියෙක නැඟ නික්මුණේ ය.
92. ඒ සමයෙහි වූ කලි පොක්ඛරසාදී බමුණු තෙමේ උක්කට්ඨා නුවරින් නික්මැ, අම්බට්ඨ මාණවකයා (ගේ ඊම) බලාපොරොත්තු වනුයේ, මහත් බමුණුමුළුවක් හා සිය අරමෙහි හුන්නේ වෙයි. එ කල්හි අම්බට්ඨ මාණවක තෙමේ සිය අර ම කරා එළැඹියේ ය. රියෙන් යෑ හැකි තාක් රියෙන් ගොස් එයින් බැස, පා ගමන් ඇත්තේ ම පොක්ඛරසාදි බමුණා වෙත එළැඹියේ ය. එළැඹ ඔහු වැඳ පසෙක හිඳ ගත්තේ ය.
93. පසෙක හුන් අම්බට්ඨ මාණවකයාගෙන් පොක්ඛරසාදි බමුණු තෙමේ “කිමෙක් ද? දරුව අම්බට්ඨය, ඒ භවද්ගෞතමයන් දුටු දෑ?” යි විචාළේ ය.
“භවතාණනි, ඒ භවද්ගෞතමයන් අපි දුටුම්හ” යි අම්බට්ඨ කී ය.
[පොක්ඛරසාදි:] “කිමෙක් ද? දරුව අම්බට්ඨය, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇත්තාවූ ම ගුණ පිළිබඳ වූ කීර්තිශබ්දයෙක් නැඟුණේ ද? අන් පරිද්දෙකින් නොවේ ද? (නැති ගුණ පිළිබඳ හඬෙක් නො නැඟුණේ ද?) භවත, ඒ භවද්ගෞතම තෙමේ එබඳුම ද? අන් සැටි නො වේ ද?”
[අම්බට්ඨ:] “භවතාණනි, ඒ භවද්ගෞතමයන්ගේ එසේ ඇත්තාවූ ම ගුණ පිළිබඳ වූ කීර්තිඝෝෂයෙක් නැඟිණ. අන් පරිදි වූ (නැති ගුණ පිළිබඳ වූ ඝෝෂ) යෙක් නො වේ. භවතාණෙනි, ඒ භවත්ගෞතම තෙමේ එබඳු ම ය අන් සැටි නො වේ. භවතාණෙනි, ඒ භවද්ගෞතම තෙමේ අඩු නො වූ පිරිපුන් දෙතිස් මහපුරිස්ලකුණින් යුතු වේ.”
[පොක්ඛරසාදි:] “දරුව අම්බට්ඨය, ශ්‍රමණ ගෞතමයන් හා තගේ කිසියම් කතාබහෙක් වී ද?”
[අම්බට්ඨ:] “භවතාණෙනි, ශ්‍රමණ ගෞතමයන් හා මගේ කිසි යම් කතාබහෙක් වී ය”
[පොක්ඛරසාදි:] “අම්බට්ඨය, ශ්‍රමණ ගෞතමයන් හා තගේ ඒ ස්වල්ප කථාසංලාපය කෙසේ වූ එකෙක් ද?”
ඉක්බිති අම්බට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ හා යම් පමණ තමාගේ කථාසංලාපයෙක් වී ද ඒ සියල්ල පොක්ඛරසාදී බමුණාට සැළ කළේ ය.
94. එසේ සැළ කළ කල්හි, පොක්ඛරසාදී තෙමේ අම්බට්ඨ මාණවකයා අමතා, “යහහා, කොල, අප ඊනියා පණ්ඩිතය! යහහා, කොල, අප ඊනියා මහ උගත! යහහා, කොල, අප ඊණියා ත්‍රිවිද්‍යා දතුව! එම්බල, මෙබඳු තා වැනි ඊණියා වැඩ සලසන්නකු කරණ කොට ගෙන (තා වැන්නකු ඇති කල්හි ඇසුරු කරන) මිනිසා කාබුන් මරණින් මතු සැප නැති දුර්‍ගති වූ තමාට අවශග වැ වැටෙන තැන වූ නිරයට පැමිණෙන්නේ ම ය. යම් හෙයකින් ම, අම්බට්ඨය, තෝ මෙසේ ඒ භවද් ගෞතමයනට ගට ගටා කීයෙහි ද, එ හෙයින් ම භවද් ගෞතමයෝ මෙසේ අපටත් සැඟවුණු දෑ මතු කොට ශුද්‍රාදී බව නඟ නඟා මෙසේ කීහ. යහහා, කොළ, අප ඊණීය පණ්ඩිතය! යහහා, කොල, අප ඊණීයා උගත! යහහා, කොල, අප තෙවිදු දතුව! භවත්නි ,මේ වැනි වැඩ සලසන්නකු කරණ කොට ගෙන මිනිසා කාබුන් මරණින් මතු සැප නැති, දුර්‍ගති වූ, විනිපාතයක් වූ නිරයට පැමිණෙන්නේ ම යැ!”යි. මේ බස් කී ය. මෙසේ කියා, කිපුණේ, නොසතුටු සිතැත්තේ පයින් පැහැරැ ඔහු බිම පෙරැළී ය. එ කෙණෙහි ම භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු කැමැති ද විය.
95. එවිටැ ඒ බමුණෝ පොක්ඛරසාදී බමුණුට “භවත, අද (දැන්) ශ්‍රමණ ගෞතමයන් දක්නට යන්නට ඉතා නොකල් වෙයි. භවත් පොක්ඛරසාදි තෙමේ හෙට දිනැ ශ්‍රමණ ගෞතමයන් දක්නට එළැඹියැ හැකි වන්නේ යැ” යි කීහ.
ඉක්බිති පොක්ඛරසාදී බමුණු තෙම සිය නිවසෙහි මිහිරි වූ කෑ යුතු බුදිය යුතු දෑ පිළියෙළ කරවා, යානයන්හි නංවා දඬුවැට පහන් දරනු ලබන කල්හි උක්කට්ඨා නුවරින් නික්මුණේ ය. ඉච්ඡානංගල වන ලැහැබ කරා එළැඹියේ ය. යානයෙන් යා හැකි තාක් දුර යානයෙන් ගොස්, එයින් බැස, පයින් ම භාග්‍යවතුන් වහන්සේ කරා එළෑඹීයේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳවිය යුතු වූ (සිහි කටයුතු වූ) කථාව නිමවා පසෙක හිඳ ගත්තේ ය, පසෙක හුන්නේ ම පොක්ඛරසාදී බමුණු තෙමෙ, “භවද්ගෞතමයිනි, අප අතැවැසි අම්බට්ඨ මාණවකයා මෙහි ආයේ දැ?”යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය.
[භාග්‍යවත්හු:] “බමුණ, තා අතැවැසි අම්බට්ඨ මාණවකයා මෙහි ආයේ ම ය.”
[පොක්ඛරසාදි:] “භවද්ගෞතමයිනි, අම්බට්ඨ මාණවකයා හා ඔබේ කිසි කථාසංලාපයක් වූයේ ද?”
[භාග්‍යවත්හු:] “බමුණ, අම්බට්ඨ මාණවකයා හා මගේ කිසි (ස්වල්ප) කථාසංලාපයක් වූයේ ම ය.”
[පොක්ඛරසාදි:] “භවද්ගෞතමයිනි, අම්බට්ඨ මාණවකයා හා ඔබගේ කෙබඳු වු කිසි කථාසංලාපයක් වූයේ ද?”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා හා යම් පමණ කථා සංලාපය වී ද, ඒ සියල්ල පොක්ඛරසාදි බමුණාට වදාළ සේක.
මෙසේ වදාළ කල්හි පොක්ඛරසාදි බමුණු තෙම, “භවද්ගෞතමයිනි, අම්බට්ඨ මාණවකයා ලාමක ය. භවද්ගෞතමයෝ අම්බට්ඨ මාණවකයාට ක්‍ෂමා කෙරෙත්වා” යි කී ය.
“බමුණ, අම්බට්ඨ මාණවක තෙමේ සුවපත් වේ වා යි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
96. ඉක්බිති පොක්ඛරසාදි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහ පුරිස්ලකුණු පිරික්සී ය. පොක්ඛරසාදී බමුණු වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස් ලකුණු අතුරෙන් දෙකක් හැර සෙස්ස බෙහෙවින් දිටී ය. හේ කොශාවහිත අංගජාත ලක්‍ෂණයෙහිත් ප්‍රභූතජිහ්වාලක්‍ෂණයෙහිත් දැ යි මේ මහපුරිස්ලකුණු දෙක්හි සැක කෙරෙයි, තීරණයකට නො බසී. එ හෙයින් ම නො පැහැදෙයි.
97. එවිට භාග්‍යවතුන් වහන්සේ “මේ පොක්ඛරසාදි බමුණු තෙමේ දෙතිස් මහපුරිස්ලකුණු වලින් දෙකක් හැර සෙස්ස බෙහෙවින් දකී ම ය. කොශාවහිත අංගජාතලක්‍ෂණයෙහිත්, ප්‍රභූතජිහ්වාලක්‍ෂණයෙහිත් යන මහපුරිස්ලකුණු දෙක්හි සැක කෙරෙයි, තීරණයකට නො බසී, නො පැහැදෙයි. (ඒ දෙ ලකුණු මොහුට දක්වන්නෙම් නම් යෙහෙකැ)” යි මේ සිත විය.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ කොශාවහිත අංගජාතය පොක්ඛරසාදී බමුණාට පැනෙන සේ වු ඍද්ධ්‍යාභිසංකාරයක් කළ සේක. ඉන් පසු දිව නික්මවා දෙකන් සිදුරු ස්පර්‍ශ කළ සේක, පිරිමැද්ද සේක, දෙ නාස්පුඬු ස්පර්‍ශ කළ සේක, පිරිමැද්ද සේක, මුළු නලල් තලය ම දිවෙන් වැසූ සේක.
98. එවිටැ පොක්ඛරසාදී බමුණාට “ශ්‍රමණ ගෞතම තෙමේ අඩු නොවූ පිරිපුන් දෙතිස් මහපුරිස්ලකුණින් සමන්‍විත යැ”යි මේ සිත විය. හේ “භවත් ගෞතම තෙමේ බික් සඟන හා අදට මගේ බත ඉවසා වා”යි කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක.
99. ඉක්බිති පොක්ඛරසාදී බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවැසීම (සිතින් පැළිගැන්ම) දැන, භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයිනි, දැන් කල් පැමිණියේ ය, බත පිළියෙල කොට නිමැවිණැ”යි කල් දැන්වීය.
එවිට භාග්‍යවතුන් වහන්සේ (ඒ) පෙරවරුයෙහි සිවුරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන බික්සඟන සමඟ පොක්ඛරසාදි බමුණාගේ පිරිවෙස්න (=බොජුන් වළඳනා තැන) කරා වැඩි සේක. වැඩ, පැණැවුණු අස්නෙහි හුන් සේක. ඉක්බිති පොක්ඛරසාදි බමුණු තෙම මිහිරි වූ කෑයුතු බුදිය යුතු දැයින් සියතින් භාග්‍යවතුන් වහන්සේ සැතැප්වී ය, මැනවින් පැවැරැවී ය. මාණවකයෝ ද බික්සඟන සතැප්වූහ, මැනවින් පැවැරැවූහ. එයින් පසු පොක්ඛරසාදී බමුණා භාග්‍යවතුන් වහන්සේ, වළඳා පාත්‍රයෙන් ඉවත් කළ අත ඇත්තවුන් දැන, එක්තරා මිටි අස්නක් ගෙන පසෙක හුන්නේය.
100. එකත්පස්හි හුන් පොක්ඛරසාදී බමුණහුට භාග්‍යවතුන් වහන්සේ, දානකථා, ශීලකථා, ස්වර්‍ගකථා, කාමාදීනව, කාමයන්ගේ ලාමක බව, කාමයන්ගේ කෙලෙසීම, නෙක්ඛම්මයෙහි (කාමයන්ගෙන් නික්මුණු බව්හි) අනුසස් පැවැසූ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක පොක්ඛරසාදි බමුණුහු (ඒ බණ ඇසීමෙන්) නිරෝග සිතැති වූවහු, මොළොක් සිතැති වූවහු, නීවරණ කෙරෙන් පහ වූ සිතැත්තහු, ඔද වැඩී ගිය සිතැත්තහු, පහන් සිතැත්තහු දත් සේක් ද, එ කල්හි, දුඃඛ, සමුදය, නිරෝධ, මාර්‍ග යන බුදුවරුන්ගේ යම් සාමුත්කර්‍ෂකී ධර්‍මදේශනාවෙක් වේ නම් එය පැවැසූ සේක.
යම්සේ පහ වූ කළුබව ඇති , පිරිසිදු වතෙක් මොනවට රජන් (පඬු) උරා ගන්නේ ද, එසේ ම පොක්ඛරසාදී බමුණාට එ අස්නෙහි ම ‘යමෙක් උපදනා සුලු නම් ඒ සියල්ල නැසෙන සුලු යැ’ යි කෙලෙස් රජස් නැති, පහ වූ කෙලෙස් මල ඇති, දහම් ඇස පහළ විය.
101. ඉක්බිති පොක්ඛරසාදි බමුණු තෙම දුටු ආර්‍ය්‍යසත්‍යය ධර්‍ම ඇත්තේ, ලැබූ ආර්‍ය්‍යසත්‍යාවබෝධය ඇත්තේ, දැන ගත් ආර්‍ය්‍යසත්‍ය ධර්‍ම ඇත්තේ, බැසැගත් ආර්‍ය්‍යසත්‍ය ධර්‍ම ඇත්තේ, ඉක්මැවූ සැක ඇත්තේ, පහ වු සැක ඇත්තේ, බුදු සස්නැ විසාරද බවට පැමිණියේ, තමාම පසක් කළ බැවින් හැදැහිය යුතු අනෙකක්හු නැත්තේ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීය:
“භවද්ගෞතමයිනි, අභිකාන්ත ය (විසෙසින් සිත්කලුය). භවද් ගෞතමයිනි, අභිකාන්තය. භවද් ගෞතමයිනි, මුනින් නමා තැබූ දැයක් උඩුකුරු කරන්නේ යම් සේ ද, වැසුණු දැයක් විවෘත කරනුයේ යම්සේ ද, මං මුළා වූවකුට මඟ කියන්නේ යම්සේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහ යි සිතා තෙල් පහනක් දල්වන්නේ යම් සේද, එසේ ම, භවද් ගෞතමයන් විසින්, නොයෙක් කරුණින් ධර්‍මය පැවැසිණ. භවද්ගෞතමයිනි, ඒ මම් භාර්‍ය්‍යාව සහිත වැ, පිරිස් සහිතැ වැ, මෙහෙකරුවන් සහිත වැ, භවද්ගෞතමයන් ද ධර්‍මය ද, භික්‍ෂුසංඝයා ද සරණ යෙමි. අද පටන් දිවි හිමි කොට සරණ ගිය උවසකු කොට භවද්ගෞතම තෙමේ මා සලකා වා. යම්සේ භවද්ගෞතම තෙමේ උක්කට්ඨා නුවරෙහි අන් උපාසක කුලයන් කරා එළැඹේ ද, එසේ ම පොක්ඛරසාදී කුලයට ද එළැඹේවා. එහි යම් මාණවක කෙනෙක් හෝ මාණවිකා කෙනෙක් හෝ භවද් ගෞතමයන් ආදරයෙන් වඳින්නෝ ද, දැක හුනස්නෙන් නැගී සිටින්නෝ ද, අසුන් හෝ දිය හෝ දෙන්නෝ ද, සිත හෝ පහදවන්නෝ ද, එය ඔවුනට දික් කලක් වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.”
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ, “බ්‍රාහ්මණය, මනා දැයෙක් තොප කී සේ මැනැවැ” යි වදාළ සේක.
අම්බට්ඨ සූත්‍රය නිමියේ ය.
සෝණදණ්ඩ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් පැවිදිමුළුවක් හා අංග රටෙහි සැරිසරන සේක්, චම්පා නුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි ඒ චම්පා නුවර සමීපයෙහි ගර්‍ගරා පොකුණු තෙරැ වසන සේක.
එ සමයෙහි සෝණදණ්ඩ බමුණු තෙමේ බහුජනාකිර්‍ණ වූ, තණ දඬු දිය සුලභ වූ, බොහෝ ධන ධාන්‍ය ඇති, රජුහුගෙන් ලත් නින්දගම් වූ (රාජස්‍වරූපයෙන් පරිභෝග කට යුතු වූ), මගධ රටට අධිපති සේනිය බිම්බිසාර රජු විසින් දුන් රාජදායාද්‍ය වූ, ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ චම්පා නුවරැ වෙසෙයි.
2. චම්පා නුවරැ වැසි බමුණුගැහැවියෝ (රටෙහි පැතිරැ පැවැති) මතු දැක්වෙන කථාව ඇසූහ: “භවත්නි, ශාක්‍යපුත්‍ර වූ, ශාක්‍යකුලයෙන් නික්මැ පැවිදි වූ, ශ්‍රමණ ගෞතම තෙමේ වූ කලි භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහපැවිදිමුළුවක් හා අඟුරටැ සැරි සරනුයේ, චම්පාවට පැමිණියේ, එය අසලැ, ගර්‍ගරා පොකුණ තෙරැ වෙසෙයි. ඒ භගවත් තෙමේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය,විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙව්මිනිසුනට ශාස්තෘ ය, බුද්‍ධ ය, භගවත් ය. හේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, මහණබමුණන් සහිත දෙවි මිනිසුන් සහිත මේ සත්ත්‍වවර්‍ගයා, තමා ම සිය විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලොවට දන්වයි. ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ (සතිපට්ඨානාදි) මනා අර්‍ත්‍ථ ඇති, මනා (සම්පූර්‍ණ) ව්‍යංජන ඇති, සර්‍වාකාර පරිපූර්‍ණ, පිරිසිදු දහමක් දෙසයි. එසේ දෙසනුයේ ද, සියලු සසුන්බඹසර පවසයි. එබඳු රහතුන් දැක්ම වූ කලි හිත වැඩ ගෙනැ දෙන්නෙකැ’යි ඒ භවද් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ උතුම් වූ කීර්තිශබ්දයෙක් උස් වැ නැංගේ ය” යනු යි.
3. ඉක්බිති චම්පාපුර වැසි බමුණෝත් ගැහැවියෝත් චම්පායෙන් නික්මැ බොහෝ බොහෝ වැ රැස් වූවෝ, එකි එකී පැත්තෙහි මුළු මුළු වැ නුවරින් පිටතැ දි මහ මුළුවෙක් වැ එකතු වූවෝ, ගර්‍ගරා පොකුණ අතට යෙති.
4. එ සමයෙහි සෝණදණ්ඩ බමුණු තෙමේ තමා පහයැ උඩු මහලෙහි දවයහනට පැමිණියේ වෙයි. හේ (කවළියෙන් බලනුයේ) චම්පායෙන් නික්මැ බොහෝ බොහෝ වී රැස් වැ, එක් එක් පසැ මුළු මුළු වැ, නුවරින් පිටතැ දී මහ මුළුවක් වැ එකතු වැ ගර්‍ගරා පොකුණ අතට යන චම්පාවාසී බමුණන් ද ගැහැවියන් ද දැක්කේ ය. දැක ක්‍ෂත්තෘහු බණවා “භවත් කෂත්තෘව, කවර හෙයින් චම්පාවාසී බමුණෝත් ගැහැවියෝත් චම්පායෙන් නික්මැ බොහෝ බොහෝ වී රැස් වැ එකි එකී පසැ මුළු මුළු වැ නුවරින් පිටතැ දී මහ මුළුවෙක් වැ එකතු වැ ගර්‍ගරා පොකුණ කරා යෙත් දැ ?” යි විචාළේ ය.
“භවත, කාරණයෙක් ඇත: ශාක්‍යපුත්‍ර වූ, ශාක්‍යකුලයෙන් නික්මැ, පැවැදි වූ ශ්‍රමණ ගෞතම තෙමේ අංග රටැ සැරි සරනුයේ, භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා චම්පාවට පැමිණියේ, චම්පා පුර සමීපයේ වූ ගර්‍ගරා නම් පොකුණ අද්දරැ වෙසෙයි. ‘ඒ භගවත් තෙමේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිසුනට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ යි මෙසේ ඒ භවද් ගෞතමයා පිළිබඳ භද්‍ර වූ ගුණඝෝෂයෙක් උස් වැ නැංගේ ය. මොහු ඒ භවද් ගෞතමයා දක්නා පිණිස එහි යෙත්” යැ යි ක්‍ෂත්තෘ තෙම කී ය.
5. “භවත් ක්‍ෂත්තෘව, එසේ වී නම්, ඒ චම්පාවාසී බමණූ ගැහැවියන් වෙත එළැඹ ඔවුනට “භවත්හු (මොහොතක්) බලා පොරොත්තු වෙත්වා. සෝණදණ්ඩ බමුණාත් ශ්‍රමණ ගෞතමයන් දක්නට එහි යන්නේයැ’ යි සැළ කරව” යි කී ය.
‘එසේ ය භවතැ’යි කියා ක්‍ෂත්තෘ තෙමේ සෝණදණ්ඩ බමුණාට පිළිවදන් දී, චම්පාවාසී ඒ බමුණු ගැහැවියන් කරා එළැඹ “භවත්නි, භවත්හු බලා පොරොත්තු වෙත් වා. සෝණදණ්ඩ බමුණු ද ශ්‍රමණ ගෞතමයා දක්නට එහි යන්නේ” යැ යි දැන්වී ය.
6. එ සමයෙහි වනාහි නොයෙක් විදෙසින් පැමිණි පන්සියක් පමණ බමුණෝ කිසි කටයුත්තක් පිණිස චම්පා නුවරැ වෙසෙත්. ඒ බමුණෝ ‘සෝණදණ්ඩ බමුණා මහණ ගොයුම්හු දක්නට යෙත් ලු’යි ඇසූහ. ඉක්බිති ඔහු සෝණදණ්ඩ බමුණා කරා ගියහ. ගොස් “භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට යන්නේ ල යනු සැබෑ ද?”යි විචාළහ.
“භවත්නි, (සැබෑ ය) ‘මමත් මහණ ගොයුමන් දක්නට යන්නෙමි’යි මට මෙසේ සිතෙක් වේ” යැ යි සෝණදණ්ඩ තෙමේ කී ය.
7. එ බස් අසා ඔහු කියන්නෝ, “භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට නො යේ වා. භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට නො නිසි වේ. ඉදින් භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුමන් දක්නට යන්නේ නම්, භවත් සෝණදණ්ඩයාගේ යශස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමන්ගේ යශස් වැඩෙන්නේ ය, ‘භවත් සෝණදණ්ඩයාගේ යශස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමන්ගේ යශස් වැඩෙන්නේ ය’ යන යමෙක් ඇද්ද මේ කරුණින් භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නා පිණිස එහි යන්නට නො නිසි ය. මහණ ගොයුමාණන් ම භවත් සෝණදණ්ඩයන් දකින්නට එනු නිසි ය.
‘භවත් සෝණදණ්ඩ තෙමේ මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාත ය. සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තේ ය. ජාතිවාදයෙන් (කුල පිළිබඳ තෙප්ලෙන්) නොහෙළන ලද්දේ ය. නො ගරහන ලද්දේ ය.
භවත් සෝණදණ්ඩ තෙමේ මවුපසින් ද පියපසින් ද යන දෙ පසින් මැ අභිජාත ය. සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇතියේ ය, ‘ජාතිවාදයෙන් ඉවත නො හෙළන ලද්දේ ය, නො ගරහන ලද්දේ ය’ යන යමෙක් ඇද්ද, මේ කරුණෙනුත් භවත් සෝණදණ්ඩ තෙමේ මහණ ගොයුම්හු දක්නට යනු නො වටී. මහණ ගොයුමන් ම භවත් සෝණදණ්ඩයා දක්නට එනු වටී.
තව ද භවත් සෝණදණ්ඩ තෙමේ වූ කලි ආඪ්‍ය ය, මහත් ධන ඇත්තේ ය, මහද්භෝග ඇත්තේ ය ...
භවත් සෝණදණ්ඩ තෙමේ වූ කලී වේද හදාරන්නෙක. වේදයන් සිතැ ලා දරන්නෙක. නිඝණ්ටු කෛටභශාස්ත්‍ර සහිත, අක්‍ෂරප්‍රභේද (ශික්‍ෂා හා නිරුක්ති) සහිත, ඉතිහාසය පස්වනු කොටැති ත්‍රිවේදයන්ගේ පරතෙර පැමිණියෙක, පදපාඨ දන්නෙක. එයින් අන්‍ය සියලු ව්‍යාකරණ විධි ද දන්නෙක. ලොකායන ශාස්ත්‍රයෙහිත් මහාපුරුෂලක්‍ෂණ ශාස්ත්‍රයෙහිත් නිපුණයෙක …
භවත් සෝණදණ්ඩ තෙමේ වූ කලි විශිෂ්‍ට රූපශෝභා ඇත්තෙක, දැකුම් කටයුතු ය, ප්‍රසාද එළවන සුලු ය, උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍විත ය, උතුම් රන්වන් පැහැත්තෙක, උතුම් ශරීරප්‍රභා ඇත්තෙක. (ආරෝහපරිණාහසම්පත්තියෙන් ද අවයවයන්ගේ පරිපූර්‍ණත්‍වයෙන් ද) සිරුරෙහි දැක්මට නොමඳ වූ අවකාශ ඇත්තෙක ...
භවත් සෝණදණ්ඩ තෙමේ සිල්වත් ය, වැඩුණු සිල් ඇත්තේ ය, වැඩුණු ශීලයෙන් යුක්ත ය ...
භවත් සෝණදණ්ඩ තෙමේ කලණ තෙපුල් ඇත්තේ, කලණ මිහිරි බස් කියන්නේ, නිදොස් වූ කෙලතොලු නොවූ, කී අරුත අඟවනු සමත් සිලිටි බසින් සමන්‍විත ය ...
භවත් සෝණදණ්ඩ තෙමේ බොහෝ දෙනාට ආචාර්‍ය්‍ය ද ප්‍රාචාර්‍ය ද වූයේ, තුන්සියක් මාණවකයනට වේදයන් කියවයි. වේදයන් ප්‍රයෝජන කොටැති, වේද හදාරනු කැමැති බොහෝ මාණවකයෝ නන් දෙසින් නන්රටින් භවත් සෝණදණ්ඩයා වෙත එත් ...
භවත් සෝණදණ්ඩ තෙමේ වූ කලි ජරාජීර්‍ණ ය, වයෝවෘද්ධ ය, මහලු ය, බොහෝ කල් ඉක්මැවූයෙක, පැසිම් වයසට පැමිණියෙක. මහණ ගොයුම් තෙමේ තරුණ ද වේ. තරුණ පැවිද්දෙක් ද වේ ...
භවත් සෝණදණ්ඩ තෙමේ වූ කලි මගධාධිපති සේනිය බිම්බිසාර රජහු විසින් සත්කාර කරන ලද්දෙක, ගුරුකාර කරන ලද්දෙක, බුහුමන් කරන ලද්දෙක, පුදන ලද්දෙක, යටත් පැවැතුම් දක්වන ලද්දෙක ...
භවත් සෝණදණ්ඩ තෙමේ වූ කලි පොකුරුසැත් බමුණා විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වේ ...
භවත් සෝණදණ්ඩ තෙමේ වූ කලි බහුජනාකීර්‍ණ, තණ දඬු දිය යන මෙයින් යුක්ත, බොහෝ ධාන්‍ය ඇති, රජුගෙන් ලත් ස්‍වකීය පරිභෝග වස්තු වූ, රජුගේ දායාද්‍ය වූ, සේනිය බිම්බිසාර මහරජුහු දුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ චම්පානුවරට අධිපති වැ වෙසෙයි.
භවත් සෝණදණ්ඩ තෙමේ බහුජනාකීර්‍ණ ... චම්පානුවරට අධිපති වැ වෙසේ ය යන යම් කරුණෙක් ඇද්ද, මේ කරුණිනුත් භවත් සෝණදණ්ඩ තෙම මහණ ගොයුම්හු දක්නට යනු නොනිසි ය. මහණ ගොයුම් තෙමේ ම භවත් සෝණදණ්ඩයා දක්නට එනු සුදුසු යැ”සි කීහ.
8. මෙසේ කී කල්හි සෝණදණ්ඩ බමුණු තෙමේ ඒ බමුණනට කියනුයේ, “භවත්නි, එසේ වී නම් ඒ භවද්ගෞතමයන් අප දක්නට ඊම නොවැ අප ම ඔබ දක්නට යනු සුදුසු බවට මා කියන බස් ද අසවු: ‘භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාතයහ, සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තෝ ය. ජාතිවාදයෙන් නො හෙළන ලද්දෝ ය, නො ගරහන ලද්දෝ ය.’
‘මහණ ගොයුම්හු මවුපසින් ද පියපසින් ද යන දෙපසින් ම අභිජාතයහ … නොගරහන ලද්දෝ ය’ යන යමෙක් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ. වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහත් නෑමුළුව පියා පැවිදි වූවෝය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි පොළොව යට ද පොළොව මත්තෙහි ද වූ මහත් හිරණ්‍යස්‍වර්‍ණ හැරැ පියා පැවිදි වූවෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි සොඳුරු යොවුනෙන්, (තුන් වයසින්) පළමු වයසින් යුත් වූවෝ ම, තරුණ වූවෝ ම, මනා කළු කෙහෙ ඇති වැ යොවුන් වියෙහි සිටියෝ ම ගිහි ගෙන් නික්මැ පැවිදි බිමට වන්නෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි මවුපියන් ඔබ පැවිදි වනුවට නොකැමැති වැ කඳුළු පිරුණු මුහුණු ඇති වැ හඬද්දී එය නොතකා කෙහෙ රවුළු බා දමා කසා වත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිද්දට වන්නෝ ය ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි විශිෂ්‍ට රූප සම්පත් ඇත්තෝ ය, දැකුම් කටයුතු හ, ප්‍රසාදජනක හ, උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍විත හ, බඹහු සේ උතුම් රන් පැහැ ඇත්තෝ ය, උත්තම ශරීරප්‍රඟා ඇත්තෝ ය, සිය සිරුරෙඟි දැක්මට නොමඳ වූ අවකාශ ඇත්තෝ ය ...