[භා:] “ඔහුට බමුණු දැරියන් විෂයෙහි ආවරණයෙක් වන්නේ ද? නැත හොත් නො වන්නේ ද?”
[අම්:] “ආවරණයෙක් නො වන්නේ ය, භවද් ගෞතමයෙනි.”
[භා:] “අම්බට්ඨය, යම් කලෙක ක්‍ෂත්‍රියයෝ ක්‍ෂත්‍රියයකු කරමුඬු කොට (හිසකෙස් බා දමා) අළු පොදියෙන් ගසා (=හිසැ අළු වගුරුවා) රටින් හෝ නුවරින් හෝ නෙරපන්නෝ නම්, මෙතෙකින් ම ක්‍ෂත්‍රිය තෙම් (ක්‍ෂත්‍රියයන් අතුරෙහි ) පහත් ම බවට පැමිණියේ වෙයි. (එහෙත් එසේ වූ ක්‍ෂත්‍රියයා බමුණෝ උසස් කොට පිළිගනිත්). අම්බට්ඨය, මෙසේ යම් විටෙක ක්‍ෂත්‍රියයා පහත් ම බවට පැමිණියේ නම්, එ කල්හිත් බමුණන් අතුරෙහි කැත්හු උසස් හ. බමුණෝ හීනය හ.
30. අම්බට්ඨය, සනත්කුමාර බඹුහු විසිනුත් මෙහි ලා මේ ගය ගැයිණ (ගයේ අදහස:)
“සිය පරපුර අනු ව පෙරළා අතීතයට ගොස් විමසන ජනයා අතුරෙහි ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය. විද්‍යා චරණ දෙකින් යුත් යමෙක් වේ නම් හේ දෙවිමිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ය.”
“අම්බට්ඨය, සනත්කුමාර බඹුහු විසින් ඒ ගය මැනවින් ගයන ලද්දේ වේ. නොමනා වැ ගයන ලද්දේ නොවේ. මැනැවින් කියන ලද්දේ වේ. නොමනා වැ කියන ලද්දේ නොවේ. ඒ අර්‍ත්‍ථ නිඃශ්‍රිත ය, අනර්‍ත්‍ථ නිඃශ්‍රිත නොවේ. මා විසින් අනුදන්නා ලද්දේ ය. අම්බට්ඨය, මම් ද මෙසේ කියමි:”
“ගෝත්‍රය ඔස්සේ පෙරළා ගොස් විමසන ජනයා අතුරෙහි ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය. විද්‍යා චරණ දෙකින් යුතු යමෙක් වේ නම්, හේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ය” යනු යි.
පළමු බණවර යි.
31. [අම්:] “භවද් ගෞතමයෙනි, ඒ චරණය කවර ද? ඒ විද්‍යාව කර ද?”
[භා:] “අම්බට්ඨය, නිරුත්තර විද්‍යාචරණසම්පත්හි ‘තෝ මට සුදුසු වෙහි යැ’ යි කියා හෝ ‘තෝ මට නුසුදුසු වෙහි යැ’ යි කියා හෝ ජාතිවාදයෙක් කියනු නො ලැබේ. ගෝත්‍රවාදයෙක් හෝ කියනු නො ලැබේ. මානවාදයෙක් හෝ කියනු නොලැබේ. අම්බට්ඨය, යම් තැනෙක වූ කලි ආවාහයෙක් හෝ වේද, විවාහයෙක් හෝ වේ ද, ආවාහවිවාහයෙක් හෝ වේද, මෙහි ‘තෝ මට තරම් යැ’යි. (සුදුස්සෙහි යැයි) කියා හෝ ‘තෝ මට නොතරම් යැ’ යි (නොසුදුස්සෙහි යැ යි) කියා හෝ යම් වචනයෙක් ලබ්ධියෙක් වේ ද, මෙය ජාතිවාදය යැ යි ද, ගෝත්‍රවාද යැ යි ද, මානවාද යැ යි ද කියනු ලැබේ. අම්බට්ඨය, යම් කෙනෙක් තුමූ ජාතිවාදයෙහි බැඳුණෝ හෝ ගෝත්‍රවාදයෙහි බැඳුණෝ හෝ මානවාදයෙහි බැඳුණෝ හෝ ආවාහවිවාහයෙහි බැඳුණෝ හෝ වෙත් ද, ඔහු නිරුත්තර විද්‍යාචරණ සම්පත්තියෙන් ඈත්හි වූවෝ ය. අම්බට්ඨය, ජාතිවාදයෙන් බැඳීම් ද ගෝත්‍රවාදයෙන් බැඳීම ද මානවාදයෙන් බැඳීම ද ආවාහවිවාහයෙන් බැඳීම් ද හැරැ දැමීමෙන් ම නිරුත්තර විද්‍යාචරණ සම්පත්තියගේ පසක් කිරීම වේ.”
32.[අම්:] “භවද් ගෞතමයෙනි, ඒ චරණය කවර ද? ඒ විද්‍යාව කවර ද?”
[භා:] “අම්බට්ඨය, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණ දෙකින් සම්පූර්‍ණ වූ, මනා ගමන් හා මනා වචන ඇති, ලෝකය දන්නා, නිරුත්තර පුරුෂදම්‍යසාරථී වූ, දෙවිමිනිස්නට ශාස්තෘ වූ ,සිවු සස් දත්, භගවත් වූ තථාගත තෙමේ මේ ලොව පහළ වෙයි. හේ ආදී කල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වු, මනා අරුත් ඇති, ව්‍යංජනයෙන් මනා ව සම්පූර්‍ණ, හැම ලෙසින් ම පිරිපුන් දහම් දෙසයි. පිරිසිදු වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි.
33. කිසි යම් කුලයෙක උපන් ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ දහම් අසයි. හේ ඒ දහම් අසා, තථාගතයන් කෙරෙහි සැදැහැ ලබයි. (පහළ කෙරෙයි.) හේ ඒ සැදැහැ ලැබීමෙන් යුක්ත වූයේ “ගිහිගෙහි විසීම අවහිර ඇති එකෙක, රජස් පථයෙක. පැවිද්ද එළිමනෙක. ගිහිගෙහි වසන්නහු විසින් එකැතින් පිරිපුන් කොට, එකැතින් පිරිසිදු කොට, ශංඛලිඛිතයක් සේ කොට මේ බඹසර කරන්නට පහසු නො වේ. මා කෙහෙ රැවුලු බා දමා කසාවත් හැඳ ගිහිගෙන් පැවිද්දට වදිතොත් ඒ යෙහෙකැ” යි මෙසේ සලකයි.
හේ පසු කලෙක මඳ වු හෝ බොහෝ වූ හෝ වස්තු සම්පත් රාශිය හැරැ දමා, මඳ වූ හෝ බොහෝ වූ හෝ නෑ පිරිස හැර දමා, කෙහෙ රවුලු බා දමා, කසාවත් හැඳ ගිහිගෙන් පැවිද්දට වදී. මෙසේ පැවිදි වූ ම හේ පාතිමොක්ඛසංවරයෙන් හැවුරුණේ, ආචාරයෙන් ගෝචරයෙන් සම්පූර්‍ණ වැ, ස්වල්ප වූ ද වරදෙහි බිය දක්නා සුලු වැ වෙසෙයි. සිකපද සමාදන් වැ ගෙන, කුසල් වු කා විසි කමින් යුත් වැ, පිරිසිදු දිවෙල ඇති වැ, සිල්වත් වැ, ඉඳුරන්හි වැසූ දොරැති වැ, බොජුන්හි පමණ දන්නේ, සිහිනුවණින් යුතු වැ (සිවු පසයෙහි) ලද පමණින් සතුටු වැ වෙසේ.
34. අම්බට්ඨය, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද?
අම්බට්ඨය, මෙහි මහණ තෙමේ පණිවා හැර පණිවායෙන් තොර වැ බහා තැබූ දඬු ඇත්තේ, බහා තැබූ අවි ඇත්තේ, පවෙහි ලජ්ජා ඇතියේ, කුළුණෙන් යුත් වූයේ, හැම දිවි ඇති සත් වග කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ සිල් වේ.
හේ අයිනාදන් හැර අයිනාදනින් තොර වූයේ වේ. දුන් දැය ම ගන්නා සුලු වූයේ, දුන් දැය ම අවෙක්සනුයේ, නොසොර වු පිරිසිදු වු සිතින් වෙසේ. මේ ද ඔහුගේ සිල් වේ.
අබ්රම්සර හැර ගැමි දහම් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙනුයේ, එයින් වැළැක්කේ, බඹසර රක්නේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.
මුසවා හැරැ සබවස් ඇත්තේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියනුයේ, තහවුරු බස් ඇත්තේ, හැඳහියැ යුතු බස් ඇත්තේ , ලොව නොරවටනුයේ, මුසවායෙන් වැළැක්කේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.
පිසුණු බස් හැරැ පිසුණු බසින් වැළැක්කේ වේ. මේ තැනින් අසා ගෙන, මොවුන්ගේ බිඳීම පිණිස එතන්හි නො කියන්නේ වේ. එ තැනින් හෝ අසා ගෙන ඔවුන්ගේ බිඳීම පිණිස මොවුනට කියන්නේ නො වේ. මෙසේ බිඳුණවුන් එකට ගළපන, එකට ගැළැපුණවුන්ගේ සමඟියට අනුබල දෙන, සමඟියෙන් වසනවුන් හා වසනු රිසි, සමඟිය ඇතියනට ඇලුණු, සමඟිය ඇතියවුනට සතුටු, සමඟිය ඇත්තවුන් කරන බස් තෙපලන්නේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.
පරොස් බස් හැරැ පරොස් බසින් වැළැක්කේ වෙයි. යම් බසෙක් නිවැරදි ද, කන්කලු ද, පෙම් කටයුතු ද, සිතැ කාවදනේ ද, නියැරියන්ගේ බස් සේ සිලුටු ද, බොහෝ දෙනාට පිය ද, බොහෝ දෙනා මන වඩනේ ද, එ බඳු වූ බස් තෙපලනුයේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.
බොල් බස් හැරැ දමා සුදුසු කල් වේලා බලා ම කතා කරනුයේ, ඇත්ත ම කියනුයේ, වැඩක් ම කියනුයේ, දහමක් ම කියනුයේ, හික්මෙනුවට සුදුසු බසක් ම කියනුයේ, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වේ. සුදුසු කාලයෙහි කරුණු සහිත, ඉමක් කෙළවරක් ඇති, අරුත් සහිත, සිතැ තබා ගත යුතු බස් තෙපලනුයේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
35. හේ පැල වන දෑ පැල වුණු දෑ කැඩීමෙන් බිඳීමෙන් වැළැක්කේ වේ. රෑ බොජුනෙන් වැළැක්කේ, නොකල්හි අහර ගැන්මෙන් වැළැක්කේ, එක් බත් ඇත්තේ වේ. නටනු ගනු වයනු විසුළු දස්නෙන් වැළැක්කේ වේ. අඩු තැන් පිරවීමටත් සැරැසුමටත් කරුණු වූ මල් ගඳ විලෙවුන් දැරීමෙන් වැළැක්කේ වේ. උසසුන් මහස්නෙන් වැළැක්කේ වේ. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වේ. අමු මස් පිළිගැන්මෙන් … ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් ... දැසිදසුන් පිළිගැන්මෙන් … එළුවන් තිරෙළුවන් පිළිගැන්මෙන් ... කුකුළන් හූරන් පිළිගැන්මෙන් … ඇතුන් ගෙරින් අසුන් වෙළෙඹුන් පිළිගැන්මෙන් ... කෙත්වත් පිළිගැන්මෙන් ... ගිහියනට ලොකු කුඩා දූත මෙහෙවර කැරුමෙන් ... ගනු දෙනු කැරුමෙන් … තුලාකූට කංසකූට මානකූටයෙන් … උක්කෝටන වංචන නිකති සාචියෝග යන මෙයින් … ඡේදන වධ බන්‍ධන විපරාමෝස ආලෝප සහසාකාර යන මෙයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
36. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මුලින් පැල වන දැ, කඳින් පැල වන දැ, පුරුකින් පැල වන දැ, කොළිසෙන් පැල වන දැ,පස් වනු ඇටෙන් පැල වන දැ, යන පැල වන දෑ ද පැල වුණු දෑ ද සිඳුම් බිඳුම්හි යෙදුණෝ වෙසෙත් ද, හේ මෙබඳු පැල වන දෑ ද පැල වුණු දෑ ද කැඩුමෙන් බිඳුමෙන් වැළැක්කේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.
37. යම්සේ ම ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආහාර රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කර තබා ගැන්ම, වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම, යාන රැස් කොට තබා ගැන්ම, යහන් රැස් කොට තබා ගැන්ම, සුවඳ රැස් කොට තබා ගැන්ම, ආමිෂ රැස් කොට තබා ගැන්ම යන මේ හෝ මෙබඳු වූ පසය රැස් කොට තබා ගෙන වැළඳීමෙහි යෙදී වෙසෙත් ද, හේ මේ හෝ මෙබඳු වූ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
38. යම්සේ ම ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම්, ගැයුම්, වැයුම්, නටසමජ්ජා, ආඛ්‍යාන, පාණිස්වර, වේතාල, කුම්භථූන, ශෝභනක, සණදොවුන් කෙළිය, උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධොවනය, ඇත් පොර, අස් පොර, මියු පොර, ගොන් පොර, එළු පොර, බැටෙළු පොර, කුකුළු පොර, වටු පොර, පොලු හරඹ, මිටුයුද, මල්ල පොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම, බළසෙන් බෙදනා තැනට යෑම, බළඇණි දක්නට යෑම යන විසුළු දස්නෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ ආදී වූ හෝ මේ බඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
39. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස් දූකෙළිය, මඩුලු පැනුම, සන්තිකා ක්‍රීඩාව, දාදු කෙළිය, කල්ලි ගැසුම, සලා අත්කෙළිය, ගුළ කෙළිය, කොළනළා පිඹීම, කෙළි නගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි මැනීම, ක්‍රීඩා රථ පැදැවීම, කුඩා දුන්නෙන් විදීම, ඇකිරි කෙළිය, සිතු දැ කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය යන මේ ආදී වූ හෝ මෙබඳු වූ, පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ, පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
40. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟලා පුටුය, පළඟය, මහ කොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, එළුලොම්මුවා සුදු ඇතිරිය, ගන මල් යෙදූ සුදු ලොම් ඇතිරිය, තිලිය, සිංහාදි රූපවලින් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය, එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම් මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණ, කෝසෙය්‍ය හුයින් වියූ ඇතිරිය, අසු පිට එළන ඇතිරිය, රිය එළන ඇතිරිය, ඇඳට සරිලන සේ අඳුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොරැ පාමුල රතු කොට්ට තැබූ රතු උඩුවියන් සහිත මහඟු යහන යන මේ ආදී හෝ මේ බඳු වූ උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හෙ තෙමේ මේ ආදී හෝ මේ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
41. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳ සුණුයෙන් ඇඟ ඉලීම්, අත් පා ඇහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස් ඈහි මස් වැඩෙනුවට මුඟුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර පිණිස අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිලෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත් නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නළල්පට බැඳීම, මිණි දැරීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන අදින් ඇඟැ අඩු තැන් පිරවීමටත් ඇඟ සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත් ද, හේ මහණ තෙමේ එ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
42. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමාත්‍රකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්‍ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, පුරුෂකථා, කුමාරකථා, කුමාරීකථා, ශූරකථා, වීථිකථා, කුම්භස්ථානකථා, පූර්‍වප්‍රේතකථා, නානාත්‍වකථා, ලෝකාඛ්‍යායිකාකථා, සමුද්‍රාඛ්‍යායිකාකථා, ඉතිභවාභවකථා යන මේ බඳු වූ තිරශ්චීන කථාවල යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ මෙයින් අන්‍ය වූ හෝ මෙබඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
43. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “තෝ මේ දහම් විනය නො දනිහි, මම ම මේ දහම් විනය දනිමි, මේ දහම් විනය කිමැ යි තෝ දනී ද? තෝ වරදවා පිළිපන්නෙහි, මම් මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුවෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුවෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක් වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැගු දොසින් මිදෙන්නට හැසිරෙව. හැකි නම් එය විසඳව” යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩාගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙ බඳු වූ හෝ බැණුම්දෙඩුම් වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
44. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙන යන්නැ, අසෝ තැනට මෙය ගෙනෙන්නැ”යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමතියන්ගේ ක්‍ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජකුමරුවන්ගේ මෙබඳු දූත මෙහෙවරෙහි, පණිවුඩ ගෙනැ යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙබඳු හෝ දූත මෙහෙවරින්, පණිවුඩ ගෙන යෑමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
45. යම්සේ වනාහි ඇතැම් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කුහක කම් කරන්නෝ වෙත් ද, ලාභ සත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් හෝ ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්‍ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ මෙබඳු වූ කුහනලපන වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
46. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංග, නිමිත්ත, උත්පාත, ස්වප්න, පුරුෂලක්‍ෂණ යන ශාස්ත්‍ර ද, මූෂකච්ඡින්නවිද්‍යා, අග්නිහෝම, දර්වීහෝම, තුෂහෝම, කණහෝම, තණ්ඩුලහෝම, සර්පිෂ්හෝම, තෛලහෝම, මුඛහෝම, ලෝහිතහෝම, අංගවිද්‍යා, වාස්තුවිද්‍යා, ක්‍ෂාත්‍රවිද්‍යා, ශිවවිද්‍යා, භූතවිද්‍යා, භූරිවිද්‍යා, අහිවිද්‍යා, විෂවිද්‍යා, වෘශ්චිකවිද්‍යා, මූෂකවිද්‍යා, ශකුනවිද්‍යා, වායසවිද්‍යා, පක්වධ්‍යාන, ශරපරිත්‍රාණ, මෘගපක්‍ෂ යන මෙකී හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත්ද, ඒ මහණ තෙමේ මෙකී හෝ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්,මෙබඳු මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
47. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණු, වත්ලකුණු, දඬුලකුණු, කඩුලකුණු, ඊලකුණු, දුනුලකුණු, අවිලකුණු, ඉතිරිලකුණු, පිරිමිලකුණු, කුමරලකුණු, කුමරිලකුණු, දස්ලකුණු, දැසිලකුණු, ඇත්ලකුණු, අස්ලකුණු, මියුලකුණු, වැහැප්ලකුණු, ගොන්ලකුණු, එළුලකුණු, බැටෙළුලකුණු, වටුලකුණු, ගොය්ලකුණු, කැණිලකුණු, කසුබුලකුණු, මුවලකුණු යන ආදී මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
48. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “අසෝ දිනැ අසෝ නැකැතින් අසෝ රජුන් (යුද සඳහා) සිය නුවරින් නික්මීම වන්නේ ය, අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය, අසෝ නැකතින් රට තුල උන් රජුන් පිටතැ සිටින සතුරු රජුන් හමුවන්නට යෑම වන්නේ ය, අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන් ඉවත් වීම වන්නේ ය, අසෝ නැකතින් පිටතැ සිටින සතුරු රජුන් රට තුළ සිටින රජුන් කරා පැමිණීම වන්නේ ය, අසෝ නැකතින් ඇතුළත සිටින රජුන්ගේ ඉවත් ව යෑම වන්නේ ය, … රට ඇතුළත සිටින රජුට ජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය, … පිටත සිටින සතුරු රජුනට ජය වන්නේ ය, රට තුළැ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේ යැ’යි කියමින් මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මෙබඳු වු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
49. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ‘අසෝ දිනැ චන්‍ද්‍රග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ සූර්‍ය්‍යග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ නක්‍ෂත්‍රග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ සඳු හිරු දෙදෙනා නිසි මඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ නකත් තරුන් නිසි මඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය, දිග්දාහය වන්නේ ය, භූමිකම්පනය වන්නේ ය, වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය, සඳහිරුන් ද නකත් තරුන් ද උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදුව වන්නේ ය, චන්‍ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, සූර්‍ය්‍යග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, නක්‍ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, සඳ හිරු දෙදෙනාගේ නොමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, නකත් තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, උල්කාපතනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, දිග්දාහය මෙ බඳු ගෙනැ දෙන්නේ ය, භූමිකම්පනය මෙබඳු පල ගෙන දෙන්නේ ය, වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, සඳ හිරුන්ගේ ද නකත් තරුවලද උදාවත් බැසීමත් කෙළෙසීමත් පිරිසිදු වීමත් මෙබඳු මෙබඳු පල දෙන්නේ යැ” යි කියනුවෝ, මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
50. යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ‘මේ සමයෙහි වැසි වස්නේ ය, මේ සමයෙහි නියඟ වන්නේ ය, මේ සමයෙහි රට සුභික්‍ෂ වන්නේ ය, මේ සමයෙහි රට දුර්භික්‍ෂ වන්නේ ය, මේ සමයෙහි රටට උවදුරු නැති වන්නේ ය, මේ සමයෙහි රටට උවදුරු ඇති වන්නේ ය, මේ කලැ රෝග වන්නේ, මෙ කලැ රෝග නැති බව වන්නේ යැ, යි පලාපල කීම ද, මුද්‍රා, ගණනා, සංඛ්‍යාන, කාව්‍යශාස්ත්‍රය, ලෝකායතශාස්ත්‍ර යන මේ හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ අන් මෙබඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
51. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍ය ඇති කිරීමට යන්ත්‍රමන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු කරන හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරුගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුළු බැඳීම, මන්ත්‍රාදි බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජීවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවෙන් ගිනි ජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම යන මෙබඳු වූ තිරශ්චීනවිද්‍යාවෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ද අන් මෙබඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
52. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්‍ම, ප්‍රණිධිකර්‍ම, භූරිකර්‍ම, පණ්ඩකයා පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තුකර්‍ම, වාස්තුපරිකිරණ, මතුරු දපා මුව දෙවීම්, මතුරු දපා අනුන් නෑවීම, අනුනට සෙත් පතා ගිනි පිදීම, ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, ළය විරේක කරවීම, වස්ති කිරීම, ශිර්‍ෂ විරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැ දීම, ඇසැ සිසිල ගන්වන බේත් තෙල් පිසීම, ගිහියනට නශ්‍ය කිරීම, ඇස පටලයට කාරම් අඳුන් සාදා දීම, ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ඇසැ උල්ඇන ලෙඩට බේත් දීම, ශල්‍යකර්‍ම කිරීම, ළදරුවන්ගේ ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම, කාරම්බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගළවා දැමීම යැ’යි මේ ආදී වූ තිර්‍ශචීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
53. අම්බට්ඨය, ඉක්බිති ඒ මහණ තෙමේ මෙසේ සිල්වත් වූයේ, ශීලසංවර හේතුයෙන්, කිසි ම එක ද අසංවරයෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. අම්බට්ඨය, කෂ්ත්‍රියාභිෂේකයෙන් මුදුනැ අභිෂේක ලත්, වැනසුණු සතුරන් ඇති, ක්‍ෂ්ත්‍රියයෙක් කිසි ම එකද සතුරෙකුගෙන් වියැ හැකි මොන ම බියකුත් යම්සේ නො දක්නේ ද, අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් සිල්වත් වූයේ (තමාගේ ඒ) ශීලසංවර හේතුයෙන් කිසි එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී. හේ මේ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික මානසික සුවය විඳී. අම්බට්ඨය, මහණ තෙමේ මෙසේ සිල්වත් වෙයි.
54. අම්බට්ඨය, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වේ ද? යත්: අම්බට්ඨය, මේ සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක, ශුභාදී වශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදි වශයෙන් අත් පා ඈ අවයවවල අයුරු සිතට නොගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද, එහි සංවරය පිණිස හේ පිළිපදී. ඒ චක්‍ෂුරින්‍ද්‍රියය හේ රකී. ඒ චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ ආග්‍රහණය කොට … දිවෙන් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කොට … සිතින් දහම් අරමුණු දැන, ශූභාදි වශයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. යම් කරුණෙකින් ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය … ඝාණේන්‍ද්‍රියය … ජිහ්වේන්‍ද්‍රියය ... කායේන්‍ද්‍රියය ... මනඉන්‍ද්‍රියය සංවර කොට නොගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභය දොම්නස ආදී ලාමක අකුශල ධර්‍මයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද, ඒ ශ්‍රෝත්‍රෙන්‍ද්‍රියයාගේ ... ඝාණේන්‍ද්‍රියයාගේ … ජිහ්වේන්‍ද්‍රියයාගේ ... මනඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස හේ පිළිපදී. ඒ ශ්‍රෝත … ඝ්‍රාණ … ජිහ්වා … කාය .. මනඉන්‍ද්‍රියය රකී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය විඳී. අම්බට්ඨය, මෙසේ මහණ තෙමේ ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇත්තේ වේ.
55. අම්බට්ඨය, මහණ තෙමේ කෙසේ නම් සිහිනුවණින් යුත් වේ ද? යත්: අම්බට්ඨය, මේ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා නැවැත්මෙහි (ආපසු හැරීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි මනා නුවණින් දැනම කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිලීමෙහි, දිගු කිරීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. සඟළ සිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. අහර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ආදිය කෑමෙහි, මීපැණි ආදිය රස විඳීමෙහි, නුවණින් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් දැන ම කරනුයේ යි. ගමනෙහි, සිටුමෙහි, හිඳුමෙහි, නිඳුමෙහි, පිබිඳුමෙහි, බිණුමෙහි, නොබිණුමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. අම්බට්ඨය, මෙසේ වනාහි මහණ තෙමේ සිහි නුවණින් යුත් වෙයි.
56. අම්බට්ඨය, මහණ තෙමේ කෙසේ නම් ලද පමණින් සතුටු වේද ? යත්: අම්බට්ඨය, මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරෙන් ද, කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද තෘප්ත වෙයි. හේ යම් යම් තැනකට නික් මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්ම යෙයි. අම්බට්ඨය, අත්තටු ඇති කුරුලු තෙමේ තමා පියා හඹා යන හැම තැනට ම පියාපත් බර සහිත ව ම යම්සේ පියාඹා ද, එසේ ම, ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරිනුත් කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ අහරිනුත් තෘප්ත වෙයි. හේ තමා යන යන තැනට පා සිවුරු ආදී අට පිරිකර පමණක් රැගෙන යෙයි. අම්බට්ඨය, මහණ තෙමේ මෙසේ තමා ලත් පසයෙහි (ලද පමණින්) සතුටු වෙයි.
57. අම්බට්ඨය, ඒ මහණ මේ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද ... මේ ආර්‍ය ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් ද ... මේ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්‍විත වූයේ, අරණ්‍ය, වෘක්‍ෂමූල, පර්‍වත, කඳුරැලි, ගිරිගුහා, සොහොන්, වනපෙත්, එළිමහන් පිදුරුලෙන් යන මෙ කී කිසි ජනශූන්‍ය සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු සෙවීමට ගොස් පෙරළා ආයේ, පසුබත්හි, පලක් බැඳ, උඩුකය කෙළින් තබාගෙන, කමටහනට යොමු කොට සිහිය එළඹවා හිඳී.
58. හේ ලොව කෙරෙහි අභිජ්ඣා (ඇල් ම) හැර, ඇලුම් හළ සිතින් වෙසෙයි. ඇල්ම කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද දෝෂය (තරහ) බැහැර කොට ව්‍යාපාද රහිත සිතැත්තේ හැම පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පී වැ වෙසේ. ව්‍යාපාද දෝෂය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය (තැනමිදුව) බැහැර කොට, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දිව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වැ වෙසෙයි. උදහසත් කුකුසත් සිතින් බැහැරැ ලා, අනුද්ධත වැ සංහුන් සිත් සතන් ඇතියේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය බැහැරැ කොට, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
59. අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් ණය ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහුගේ කර්‍මාන්ත සමෘද්ධ වන්නේ නම්, යම් පරණ ණයක් ඇතොත් ඒ හැම ගෙවා නිම කරන්නේ ද, මත්තෙහි ඉතිරි යමක් ඇතොත් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් මුල දී ණයට මුදල් ගෙන කර්‍මාන්ත කළෙමි. ඒ මගේ කර්‍මාන්ත සමෘද්ධ විය. ඒ මම්, පරණ ණයෙක් වී නම්, එය ගෙවා අවසන් කෙළෙමි. මත්තෙහිත් අඹුදරුවන් රක්නට ඉතිරි වූ මුදලෙක් මට ඇතැ” යි, මෙසේ සිතෙක් වන්නේ ද, ඒ ණයෙන් මිදීම කරණ කොට ගෙන හෝ සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
60. අම්බට්ඨය, යම්සේ මිනිසෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වූයේ ද, ඔහුට ආහාරත් නො රිසියේ ද, ඔහුගේ ඇඟපතෙහි වාරු පමණකුත් නො වූයේ ද, හේ මෑත කාලයෙහි ඒ ලෙඩින් මිදේ නම්, ඔහුට අහරත් රිසියේ නම්, ඔහු ඇඟපත වාරුත් ඇති වේ නම්, “මම් වූ කලී පෙරැ දුකට පත්, දැඩි ගිලන් ලෙඩෙක් වීමි. මට ආහාරත් නො රිසි වීය. ඇඟපත වාරුත් නැති වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුනෙම් වෙමි. ඒ මට අහරත් රිසියෙයි. ඇඟපතත් වාරු ඇත්තේ යැ” යි මෙසේ සිතෙක් ඔහුට වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
61. අම්බට්ඨය, යම්සේ මිනිසෙක් හිර ගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධන නො විසදා පහසුවෙන් ඒ හිර ගෙන් මිදෙන්නේ ද, ඒ හෙයින් ඔහුගේ කිසි භෝග විනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලී පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි, ඒ මම් දැන් ධනය නොවිසදා ලෙහෙසියෙන් ම එයින් මිදුණෙමි, මගේ භෝගයනට ද කිසි හානියෙක් නැතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
62. අම්බට්ඨය, යම්සේ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැත්තේ, නිදහස් වූයේ, කැමැති අතෙක යා හැකි වූයේ, ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙර තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යා නො හැකි දාසයෙක් විමි. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැත්යෙම්, නිදහස් වූයෙම්, කැමැති අතෙක යෑ හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
63. අම්බට්ඨය, යම්සේ ධනවත් භෝගසම්පත් ඇති මිනිසෙක් කෑම හිඟ, උවදුරු ඇති, දිය නැති, දික් මඟකට බස්නේ ද, හේ මඳ කලකට පසු යම් සේ ඒ දිය නැති පෙදෙස ඉක්මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගමකට බස්නේද, එසේ වු ඔහුට “මම් වූ කලී පෙර ධන ඇතියෙම් ,භෝග සම්පත් ඇතියෙම්, දිය නැති කෑම හිඟ උවදුරු ඇති දික් මඟකට බටුයෙමි. ඒ මම් දැන් සුවසේ ඒ කතර ඉක්මැවිමි. උවදුරු නැති බිය නැති ගමකට බටුයෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ ණයක් මෙන්, ලෙඩක් මෙන්, හිරගෙයක් මෙන්, කතරමඟක් මෙන් (පිළිවෙළින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. ණයෙන් මිදුණු බව සේ, ලෙඩින් මිදුණු බව සේ, හිරගෙන් මිදුණු බව සේ, නිවහල් බව සේ, උවදුරු නැති බිම සේ, පිළිවෙළින් මේ නිරවණ පස දුරු වීම තමා කෙරෙහි දකී.
64. මේ නිරවණ පස පහ වූවන් තමා කෙරෙහි දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවාහට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංහිඳේ. සන්හුන් නාම කය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත එකඟ වේ.
65. හේ කාමයන්ගෙන් වෙන් වැ ම, සෙසු අකුසල දහමුන් ගෙන් ද වෙන් වැ ම, විතර්‍කසහිත, විචාරසහිත, විවේකයෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති පළමු ධ්‍යානය ලැබ වෙසේ.
හේ මේ කය ම විවේකයෙන් උපන් පීති සුඛයෙන් තෙමෙයි, හාත්පසින් තෙමෙයි, පුරා ලයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. සියලු අඟ පසඟ ඇති ඔහුගේ ඒ මුළු කයෙහි ඒ විවේකයෙන් පීති සුවයෙන් පැතිරැ නොගත් (ස්පර්‍ශ නො කැරුණු) කිසි ද තැනෙක් නො වෙයි.
66. අම්බට්ඨය, යම්සේ දක්‍ෂ කිලිඟෙක් හෝ කිලිඟකුගේ අතැවැස්සෙක් හෝ ලොහොතලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඬ කාවැදුණු දිය ඇත්තේ, හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුළත පිටත සහිත වැ මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ, දියත් නො වගුරුවන්නේ වේද,
අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මේ කය ම විවේකයෙන් උපන් පීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. අම්බට්ඨය, මේ ද ඔහුගේ චරණ ධර්‍මයක් වෙයි.
67. අම්බට්ඨය, තවද මහණ තෙම විතර්‍ක විචාර සංහිඳීමෙන්, සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, සිතැ එකඟ බව ඇති, විතර්‍කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, පීතියත් සුවයත් ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මේ කය ම සමාධියෙන් උපන් පීති සුවයෙන් තෙමයි, හාත්පසින් තෙත් කෙරෙයි, පුරාලයි, හැම තැන ම ස්පර්‍ශ කෙරෙයි. විවේකජ ප්‍රීතිසුඛයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් ඔහුගේ කයෙහි නො වෙයි.
68. අම්බට්ඨය, යම්සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේ ද, එයට පෙර දෙසින් දිය වඳනා මඟෙක් නො වන්නේ ද, දකුණු දෙසින් … පැසිම් දෙසින් ... උතුරු දෙසින් දිය වඳනා මඟෙක් නොවන්නේ ද, වැස්ස ද කලින් කල නිසි පරිදි නො වස්නේ ද, එතෙකුදු වුවත් ඒ දියවිලෙන් සිහිල් දිය දහර මතු වී ඒ දිය විලම සිහිල් දියෙන් තෙමන්නේ ද, හාත්පසින් තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැන ම වැද ගෙන පැතිරැ සිටින්නේ ද, ඒ මුළු දියවිලෙහි සිසිල් දියෙන් නොපැතුරුණු කිසි ද තැනෙක් නො මැත්තේ ද,
අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මේ කය ම සමාධියෙන් උපන් පීති සුවයෙන් තෙමයි, හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි. පීතිසුවයෙන් හැම තැන ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ ඒ සියලු කයේ සමාධියෙන් උපන් පීති සුවයෙන් නො පැතිර ගිය කිසි ද තැනෙක් නො වෙයි. මේ ද ඔහුගේ චරණ ධර්‍මයක් වේ.
69.අම්බට්ඨය, තවද මහණ තෙමේ ප්‍රීතිය ද සංහිඳීමෙන් උපේක්‍ෂායෙන් ද යුක්ත වැ සිහියෙන් හා නුවණින් හා යුතු වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපේක්‍ෂාව ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුව වුසුම් ඇත්තේ යැ’යි කියත් ද, එසේ වූ තෙවෙනි ධ්‍යානයට ලැබ හේ වෙසේ.
හේ මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම ස්පර්‍ශ කෙරෙයි . ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිර නොගිය කිසිද තැනෙක් නො වෙයි.
අම්බට්ඨය, යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ, දියෙහි වැඩුණේ, දියෙන් නො නැගුණේ, දිය තුළැම ගිලී වැඩුනුයේ ද, ඒ හැම අග දක්වාත් මුල් දක්වාත් සිසිල් දියෙන් තෙමුණේ, හාත්පසින් තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වලැ හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දියෙන් වැද නොගත් තැනෙක් නොමැත්තේ ද,
අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, ඔහු සියලු කයෙහි එයින් හාත්පසින් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. මේ ද ඔහුගේ චරණ ධර්‍මයක් වෙයි.
70. තවද අම්බට්ඨය, මහණ තෙමේ සුඛ වේදනාව ද දුරැලීමෙන්, දුඃඛ වේදනාවත් දුරැලීමෙන්, පළමු කොට ම සොම්නස් දොම්නස් දෙක පහවීමෙන්, දුක් ද නොවූ, සුව ද නොවූ, උපේක්‍ෂා ස්මෘති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති සිවු වන ධ්‍යානය ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු පැහැසර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි. ඔහු මුළු කයෙහි පිරිසිදු පැහැසර සිතින් පැතිරැ වැද නොගෙන සිටි කිසි ද තැනෙක් නො වෙයි.
යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිස සහිත වැ වසා ගෙන හුන්නේ වේ නම්, ඔහුගේ සියලු කයෙහි සුදු වතින් නො වැසුණු කිසිදු තැනෙක් නො වන්නේ ද, අම්බට්ඨය, එසේම මහණ තෙමේ මේ කය ම පිරිසිදු වූ පැහැසර සිතින් පැතිරැ වැද ගෙන නොසිටි කිසිද තැනෙක් නො වෙයි.
මේ ද ඔහුගේ චරණධර්‍මයෙක් වේ.
71. තව ද අම්බට්ඨය, මහණ තෙමේ මෙසේ එකඟ සිත පිරිසිදු වූ කල්හි, පැහැසර වූ කල්හි, අඞ්ඟණ රහිත කල්හි, චිත්තෝපක්ලේශ දුරු වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, විවසුන් බවුනට සුදුසු වූ කල්හි, ස්ථිත කල්හි, නිසල වූ කල්හි, විවසුන් නුවණ පිණිස සිත ඒ අතට යොමු කෙරෙයි. ඒ අතට නමා හරී, හේ “මගේ කය වූ කලී රූපී ය, මහාභූත සතරින් නිපන්නේ ය. මව්පියන්ගේ ශුක්‍රශෝණිතයෙන් පහළ වූයේ ය, බත් කොමු අහරින් වැඩුණේ ය, අනිස බව ද දුගඳ හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුත් බව ද, ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද විසිරෙන බව ද යන මේ ද ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ” යි මෙසේ දැන ගනී.
අම්බට්ඨය, යම්සේ සොඳුරු වූ පිරිසිදු ආකරයෙක පහළ වූ ඇටැස් වූ මොනවට පිරියම් කරණ ලද, සියුම් වූ වෙසෙසින් පහන් වූ පිරිසිදු වූ ධෝවනාදී හැම අයුරින්ම සම්පූර්‍ණ වු වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල් වූ රන් පැහැ වූ රත් පැහැ වූ, සුදු පැහැ වූ හෝ පඬු පැහැ වූ හුයෙක් අවුනන ලදුයේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි තබා ගෙන “මේ වූ කලි සොඳුරු වූ, පිරිසිදු ආකරයෙහි උපන්, අටැස්, මොනවට පිරියම් කැරුණු, සියුම්, වෙසෙසින් පහන්, පිරිසිදු, ධෝවනාදී හැම අයුරින් සම්පූර්‍ණ වූ වෙරෙළු මිණෙක. මෙහි නිල්වන්, රන්වන්, සුදුවන්, රත්වන් වූ මේ හුයෙක් අවුනන ලදුයේ වේ” යැ යි සලකා බලන්නේ ද,
අම්බට්ඨය, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි, පැහැසර වූ කල්හි, කෙලෙස් යටපත් වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මොළොක් වූ කල්හි, කර්‍මයෝග්‍ය කල්හි, ස්ථිත කල්හි, නිසල වු කල්හි, විවසුන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි, එය අතට නමා හරියි. එසේ වූ හෙ තෙම “මගේ මේ කය වූ කලී රූපී ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු ඈ අහරින් වැඩුණේ ය, අනිස බව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, ඒ කළත් බිඳෙන බව ද, විසිරෙන බවද යන මේ දෑ ස්වභාවය කොට ඇත්තේ ය, මගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය, මෙහි බැඳුණේ යැ” යි මෙසේ දැන ගනී. මේ ද ඔහුගේ විද්‍යාවෙක් වෙයි.
72. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්ත කල්හි, අංගණ (කෙලෙස්) රහිත කල්හි, උපක්ලේශ විගත කල්හි, මෘදු වූ කල්හි, ඍද්ධි ඉපැදැවීමට යෝග්‍ය වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පත් කල්හි මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වු, සියලු අඟපසඟින් යුත්, අවිකල ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි.
අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් මුදු තණ ගසෙකින් තණ කූර (=තණ ගොබය) ඇද මෑත් කරන්නේ ද, ඔහුට ‘මේ මුදු තණ ගස ය, මේ එහි තණ ගොබය, තණ ගස එකෙකි, එහි ගොබය අනෙකෙකි, මුදු තණ ගසෙන් ම එහි ගොබය මෑත් කරන ලදැ’යි මෙසේ සිතෙක් වන්නේ ද, අම්බට්ඨය, යම්සේ වූ කලි පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ කඩුවය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකෙක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරණ ලදැ”යි මෙසේ සිතෙක් වන්නේ ද, අම්බට්ඨය, යම්සේ වනාහි පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන කරන්නේ ද, ඔහුට ‘මේ නයා ය, මේ සැවය ය, නයා එකෙක, සැවය අනෙකක, සැවයෙන් ම නයා ඇද වෙන් කරන ලදැ’යි මෙසේ සිතෙක් වන්නේ ද, අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මෙපරිද්දෙන් සමාධිගත සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් පහ වූ කල්හි, උපක්ලේශ දුරු වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මයෝග්‍ය කල්හි, සිටි කල්හි, නිසලබවට පත් කල්හි, මනෝමය කයක් මවනු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. එසේ වු හේ මේ සිරිරෙන් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟින් යුත්, අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි. මේ ද ඔහුගේ විද්‍යාවෙක් වේ.
73. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මයෝග්‍ය කල්හි, ස්ථිත කල්හි, නිසල බවට පත් කල්හි, ඍද්ධිවිධඥානය පිණිස (අභිඥාපාදක) පරිකර්‍ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. එසේ වූ හේ නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධ යලි යලිත් පසක් කෙරෙයි (ලබයි). පියෙවියෙන් එකෙක් ව ම සිට බහුප්‍රකාර ද වි යලි එකෙක් වෙයි. තෙමේ පෙනී සිටී, නොපෙනී සිටී. බිත්තියෙන්, පවුරෙන්, පව්වෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙකැ නො ගැටී විනිවිද යෙයි. දියෙහි මෙන් පොළොවෙහිත් මතු වීමත් ගිලීමත් කෙරෙයි. නොබිඳෙන දියෙහි පොළොවෙහි සේ යෙයි. පියාපත් ඇති සකුණයකු සේ අහසෙහි ද පළක් බැඳ යෙයි. ඒ සා මහර්ධි ඇති මහානුභාව ඇති සඳහිරුන් ද අල්ලයි, අතින් පිරිමදියි, බඹලොව දක්වාත් කයින් සිය වශයෙහි පවත්වයි.
අම්බට්ඨය, යම්සේ දක්‍ෂ කුඹලෙක් හෝ කුඹලක්හු අතැවැසියෙක් හෝ මොනොවට සකස් කළ මැට්ටෙන් තමා රිසි පරිදි වු ඒ ඒ බඳුන් කරන්නේ ද, මොනොවට නිපදවන්නේ ද, යම්සේ දක්‍ෂ දන්තකාරයෙක් හෝ දන්තකාරයකුගේ අතැවැස්සෙක් හෝ මොනොවට සකස් කළ දතෙක්හි තමා රිසි රූපාදියක් කරන්නේ ද, මොනවට නිපදවන්නේ ද, යම්සේ දක්‍ෂ රන්කරුවෙක් හෝ රන්කරුවක්හුගේ අතැවැස්සෙක් මොනොවට සකස් කළ රනින් තමා රිසි රිසි ආභරණාදියක් කරන්නේ ද , නිපදවන්නේ ද, අම්බට්ඨය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙළෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මයෝග්‍ය කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, ඍද්ධිවිධඥානය පිණිස සිත මෙහෙයයි, සිත නැඹුරු කෙරෙයි.
හේ නොයෙක් වැදැරුම් ඉඳු කොටස් යලි යලි ලබයි: පියෙවියෙන් එකෙක් වැ සිට, (ඉඳු බෙලෙන්) බොහෝ දෙනෙක් වෙයි, එසේ බොහෝ දෙනෙක් වැ යලි එකෙක් වෙයි. තෙමේ පෙනී සිටී, නො පෙනී ද සිටී. බිත්තිය සරසින් පවුර සරසින් පව්ව සරසින් විනිවිදැ අහසෙහි මෙන් කිසිවෙකත් නොගැටී යෙයි. දියෙහි සේ පොළොවෙහි ද මතු වෙයි, ගිලෙයි. පොළොවැ මතු පිට සේ නොබිදී සිටි දියෙහි (දියෙහි එරා නොබැස) යෙයි. පක්‍ෂියෙකු සේ අහසෙහි පළගින් යෙයි. මේ සා මහර්ද්ධිමත් මහානුභාව ඇති සඳහිරුනුදු අල්ලයි, අතින් පිරිමදී. බඹලොව දක්වා ද කයින් තමා වශයෙහි පවත්වයි. මේ ද ඔහුගේ විද්‍යාවෙක් වේ.
74. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, කෙලෙස් රහිත කල්හි, උපක්ක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මයෝග්‍ය වූ කල්හි, සිටි කල්හි, නිසල බවට පත් කල්හි, දිව කන් නුවණ පිණිස සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ඇසෙන තෙක් මාන ඉක්මැ සිටි දිවකන් නුවණින් දෙවියන් අයත් වූ ද මිනිසුන් අයත් වූ ද, දුරැ වූ ද, ළඟැ වූ දැ යි යන දෙහඬ ම අසයි.
අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් දික් මඟකට පිළිපන්නේ ද, හේ බෙරහඬත් මිහිඟුබෙරහඬත් සක්හඬත් පණාබෙරහඬත් ගැටබෙර හඬත් අසන්නේ ද, ඒවා අසන ඔහුට ‘මේ බෙර හඬැ’යිත් ‘මේ මිහිඟුබෙර හඬැ’යිත් ‘මේ සක් හඬැ’යිත් ‘මේ ගැටබෙර හඬැ’යිත් ‘මේ පණාබෙර හඬැ’යිත් කියා මෙසේ සිතෙක් වන්නේ ද, අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ සමාහිත සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, සිටි කල්හි, නිසල බවට පත් කල්හි, දිව කන් නුවණ ලබනු පිණිස තම සිත යොමු කෙරෙයි, තම සිත නැඹුරු කෙරෙයි.
හේ පිරිසිදු වූ, මිනිස්නට ඇසෙන තෙක් මාන ඉක්මැ පැවැති දිවකන්නුවණින් දුරැ වූ ද ළඟැ වූ ද දෙව්හඬත් මිනිස්හඞත් යන දෙහඬම අසයි. මේ ද ඔහුගේ විද්‍යාවෙකි.
75. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ කල්හි, කෙලෙස් රහිත කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, සිටි කල්හි, නිසල බවට පත් කල්හි, පරසිත් දන්නා නුවණ පිණිස සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අන් සතුන්ගේ අන් පුඟුලන්ගේ සිත තමා සිතින් පිරිසිඳ දැනැ ගනි:
හේ සරාග සිත සරාග සහිත සිතැ යි දැන ගනී. වීතරාග සිත වීතරාග සිතැ යි දැන ගනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි කියා ද … වීතද්වේෂ සිත වීතද්වේෂ සිතැ යි කියා ද … සමෝහ සිත සමෝහ සිතැයි කියා ද ... වීතමෝහ සිත වීතමෝහ සිතැයි කියා ද ... සංක්‍ෂිප්ත සිත සංක්‍ෂිප්ත සිතැයි කියා ද ... වික්‍ෂිප්ත සිත වික්‍ෂිප්ත සිතැයි කියා ද ... මහද්ගත සිත මහද්ගත සිතැ යි ... අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ... සඋත්තර සිත සඋත්තර සිතැ යි ... අනුත්තර සිත අනුත්තර සිතැ යි ... සමාහිත සිත සමාහිත සිතැ යි ද ... අසමාහිත සිත අසමාහිත සිතැ යි ... විමුක්ත සිත විමුක්ත සිතැ යි ... අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද දැනැ ගනී.
අම්බට්ඨය, යම්සේ සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ සිය මුවසටහන පිරික්සා බලන්නේ තලකැලැල් ඈ සදොස් තැන සදොස් තැනැ යි දන්නේ ද, දොස් නැති තැන දොස් නැති තැනයි දන්නේ ද, එසේම අම්බට්ඨය, මහණ තෙමේ තම සමාහිත සිත පිරිසිදු වු කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පත් කල්හි, පර සිත් දන්නා නුවණ පිණිස සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි.
එසේ වූ හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැන දනී:
“සරාග සිත සරාග සිතැ යි ද ... වීතරාග සිත වීතරාග සිතැ යි ද ... සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද ... වීතද්වේෂ සිත වීතද්වේෂ සිතැ යි ද සමෝහ සිත සමෝහ සිතැ යි ද … වීතමෝහ සිත වීතමෝහ සිතැ යි ද ... සංක්‍ෂිප්ත සිත සංක්‍ෂිප්ත සිතැ යි ද ... වික්‍ෂිප්ත සිත වික්‍ෂිප්ත සිතැ යි ද ... මහද්ගත සිත මහද්ගත සිතැයි ද ... අමහද්ගත සිත අමහද්ගත සිතැයි ද ... සඋත්තර සිත සඋත්තර සිතැ යි ද ... අනුත්තර සිත අනුත්තර සිතැ යි ද ... සමාහිත සිත සමාහිත සිතැ යි ද ... අසමාහිත සිත අසමාහිත සිතැ යි ද ... විමුක්ත සිත විමුක්ත සිතැ යි ද ... අවිමුක්ත සිත අවිමුක්ත සිතැ” යි ද දනී.
මේ ද ඔහුගේ විද්‍යාවෙකි.
76. හේ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, කෙලෙස් නැති වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, සිටි කල්හි, නිසල බවට පත් කල්හි, පෙර වුසූ කඳපිළිවෙළ දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දශකයක්, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද, බොහෝ විවර්‍ත කල්ප ද, බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප ද, ‘අසෝ තන්හි “මේ නම් ඇතියෙම් විමි, මේ ගොත් ඇතියෙම් විමි, මේ බඳු පැහැ සටහන් ඇතියෙම් විමි, මේ බඳු අහර ඇතියෙම් විමි, මේ බඳු සුව දුක් විඳින්නෙකිම් විමි. මෙතෙක් ආයු කෙළෙවරක් ඇතියෙම් විමි. ඒ මම් එයින් සැවැ අසෝ තැන උපනිමි. එහි ද මෙ නම් ඇතියෙම් විමි, මේ ගොත් ඇතියෙම් විමි, මෙබඳු පැහැ සටහන් ඇතියෙම් විමි, මේ බඳු ආහාර ඇතියෙම් විමි, මේ බඳු සුව දුක් විඳින්නෙම් විමි, මෙතෙක් ආයු සීමා ඇතියෙම් විමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි”යි, මෙසේ අනේකවිධ වූ පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ (වර්‍ණාදි වශයෙන්) ආකාර සහිත වූ, (නාම ගෝත්‍ර වශයෙන්) උද්දේශ සහිත වු, බහුවිධ වූ පූර්වේනිවාසය සිහි කෙරෙයි.
අම්බට්ඨය,යම්සේ පුරුෂයෙක් සිය ගමෙන් අන් ගමකට යන්නේ ද, (නැවත) හේ ඒ ගමෙන් සිය ගමට ම පෙරළා එන්නේ ද, එසේ වු ඔහුට “මම් වූ කලී සිය ගමෙන් අසෝ ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ උනිමි, මෙසේ කීමි, මෙසේ නිහඬ විමි, ඒ ගමෙනුත් අසෝ ගමට ගියෙමි, එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උනිමි, මෙසේ කීමි, මෙසේ නිහඬ විමි. ඒ මම් ඒ ගමෙන් සිය ගමට පෙරළා ආයෙම් වෙමි”යි මෙසේ සිතෙක් ඔහුට වන්නේ ද,
අම්බට්ඨය, එසේම මහණ තෙමේ මෙ පරිද්දෙන් සමාහිත සිත පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිසල බවට පැමිණි කල්හි, පෙර වුසූ කඳපිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. එසේ වු හේ “අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි, මෙසේ වු ගොත් ඇතියෙම් ... මෙබඳු පැහැ ඇතියෙම් ... මෙබඳු අහර ඇතියෙම් ... මෙබඳු සුවදුක් විඳින්නෙම් ... මෙබඳු ආයු සීමා ඇතියෙම් විමි. ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි. එහි ද මෙ නම් ... ගොත් ... පැහැසටහන් ... ආහාර ... ආයුසීමා ඇතියෙම් විමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ ජාති එකක් ද, ... දෙකක් ද, … තුනක් ද, ... සතරක් ද, … පසක් ද, ... දසයක් ද, … විස්සක් ද, ... තිසක් ද, ... සතළිසක් ද, ... පනසක් ද, ... සියක් ද, ... දහසක් ද, ... සුවහසක් ද, ... බොහෝ සංවර්‍ත කල්ප ද, බොහෝ විවර්‍ත කල්ප ද, බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප දැ යි, මෙසේ නොයෙක්වැදැරුම් පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. මේ පරිද්දෙන් ආකාර සහිත උද්දේශ සහිත නොයෙක්වැදැරුම් පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. අම්බට්ඨය, මේ ද ඒ මහණහුගේ විද්‍යාවෙකි.
77. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ විගතෝපක්ලේෂ වැ මෘදු වැ කර්‍මයෝග්‍ය වැ ස්ථිත වැ නිශ්චලත්‍වයට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ දැක්ක හැකි දිවැසින්, “අහෝ! මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍විත හ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විත හ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විත හ, ආර්‍ය්‍යෝපවාද කළෝ ය, මිසදිටු ගතුවෝය, මිසදිටු විසින් ගත් මිත්‍යාව්‍රත ඇතියෝ ය. ඔහු කරජ කය බිඳී යෑමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුෂ්ටකර්‍ම හේතුයෙන් ප්‍රාදුර්භූත ගතිය වු, (කර්‍මයට තමන් වශඟ බැවින්) තමනට අවශඟ වැ තමන් වැටෙන තැන වූ නිරයට වන්නාහ. (එහෙත්) මේ භවත් සත්ත්‍වයෝ වූ කලී කායසුචරිතයෙන් සමන්‍විත හ, වාක්සුචරිතයෙන් සමන්‍විත හ, මනසුචරිතයෙන් සමන්‍විත හ, ආර්‍ය්‍යයනට උපවාද නො කළෝ ය, සම්දිටු ගතුවෝ ය, සම්දිටු විසින් ගත් ශීලාදිය ඇතියෝය, ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති සඟ ලෝ වන්නාහ” යි මරණාසන්න වූ ද, එ කෙණෙහි පිළිසිඳ ගත්තන් වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වූ ද, සුගතියට පැමිණියන් වූ ද, දුගතියට පැමිණියන් වූ ද, කම් වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්‍වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ පැවැති දිවැසින් උස් පහත්, මනා පැහැති, නොමනා පැහැති, සුගතියට වන්, දුගතියට වන් සත්‍වයන් දකී. කම් වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සතුන් දකී.
අම්බට්ඨය, යම්සේ සිවුමංහන්දියෙක මහල් ඇති ගෙයෙක් වතොත්, යම්සේ එහි උඩුමහලෙහි සිටි ඇස් ඇති මිනිසෙක් ඒ ගෙට පිවිසෙන්නවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිව්මංහන්දිය මැද හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,
එසේ ම අම්බට්ඨය, මහණ තෙමේ උක්ත පරිදි සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් … නිකෙලෙස් … උපක්ලේශ පහ වූ ... මෘදු වූ ... නිසල බවට පත් කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ ලබනු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ දක්නට සමත්, පිරිසිදු දිවැසින්, “අහෝ! මේ සත්හු කායදුශ්චරිතයෙන් ... වාග්දුශ්චරිතයෙන් ... මනෝදුශ්චරිතයෙන් සමන්‍විතය හ, ආර්‍ය්‍යෝපවාද කළෝ ය. මිසදිටු හ, මිසදිටු විසින් ගත් මිථ්‍යා ව්‍රත ඇතියහ, ඒ මොහු කා බුන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්‍මයෙන් උපන් ගතිය වූ, තමනට තමන් අවශඟ වැ වැටෙන තැන වු නිරයට වන්නෝය. එහෙත් මේ අන් පින්වත් සත්හු වූ කලී කාය ... වාක් ... මනඃසුචරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යෝපවාද නො කළෝ ය, සම්දිටු විසින් ගත් ශීලාදිය ඇත්තෝ ය, ඒ මොහු කාබුන් මරණින් මතු මනා ගති ඇති සඟලෝ වන්නෝ යැ”යි මෙසේ මරණාසන්න වූ ද, එ කෙණෙහි පිළිසිඳගත්තන් වූ ද, පහත් වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වූ ද, සුගති පත් වූ ද, දුගති පත් වූ ද, කම් වූ පරිදි ඒ ඒ භවයට ගිය සතුන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ දැක්කැ හැකි දිවැසින් උස් පහත්, මනා නොමනා පැහැති, සුගති පත් දුගති පත්, සතුන් දකී. කම් වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සතුන් දකී. අම්බට්ඨය, මේ ද ඔහුගේ විද්‍යාවෙකි.
78. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ … දීප්තිමත් වූ ... කෙලෙස් රහිත වූ … උපක්ලේශ පහ වැ සිටි … මෘදු වූ ... කර්‍මක්‍ෂම වූ ... ස්ථිත වූ නිසල බවට පත් වූ කල්හි ආශ්‍රවක්‍ෂයය පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. එසේ වූ හේ
‘මේ දුකැ’යි ඇති සැටියෙන් දැන ගනී. ‘මේ දුක් ඉපැත්මට කරුණයැ’යි ඇති සැටි දැන ගනී. ‘මේ දුක් වැනැස්මැ’යි ඇති සැටියෙන් දැන ගනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දැන ගනී. ‘මොහු ආස්‍රවයෝ’යි ඇති සැටියෙන් දැනගනී. ‘මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’යි ඇති සැටියෙන් දැන ගනී. ‘මේ ආස්‍රවනිරෝධ යැ’යි ඇති සැටියෙන් දැන ගනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ’යි ඇති සැටි ලෙස දැන ගනී.
මෙසේ දන්නා, මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. සිත මිදුණු කල්හි, ‘මා සිත ආස්‍රව කෙරෙන් මිදුණේ යැ’යි ප්‍රත්‍යවේක්‍ෂාඥානය වේ.
භවෝත්පත්තිය ක්‍ෂීණ වියැ යි, මඟබඹසර වැස නිමැවිණැ යි, සිවුමඟින් කළ යුතු සොළොස් වැදෑරුම් කිස කොට නිමැවිණැ යි, මේ කෙළෙස් වැනැස්ම පිණිස තවත් කළ යුතු දැයෙක් නැතැයි හේ දනී.
අම්බට්ඨය, යම්සේ කඳුමුදුනකැ වූ පහන්, වෙසෙසින් පහන්, බොර නොවූ දිය විලෙක් වතොත්, එහි ඉවුරෙහි සිටි ඇස් ඇති පුරුෂයෙක් ඒ විල තුළැ හැසිරෙන ද සිටුනා ද සිප්පි බෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබිලිතිත්, මත්ස්‍යසමූහයනුත් දක්නේ ද, එසේ දක්නා ඔහුට “මේ දියවිල පහන් ය, වෙසෙසින් පහන් ය, නොබොර ය. මෙහි මේ සිප්පිහුත්, කැටකැබිලිතිත්, මත්ස්‍යසමූහයෝත් හැසිරෙන්නෝ ද සිටින්නෝ ද වෙති”යි මෙසේ සිතෙක් වන්නේ ද, එ පරිද්දෙන් ම මහණ තෙමේ සමාහිත වූ සිත පිරිසිදු වූ ... දීප්තිමත් වූ ... කෙලෙස් රහිත වූ ... උපක්ලේශ පහ වූ ... මෘදු වූ ... කර්‍මයෝග්‍ය වූ ... ස්ථිත වූ ... නිසල බවට පැමිණියා වූ කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි.
හේ ‘මේ දුකැ’යි … ‘මේ දුකට කරුණැ’යි ... ‘මේ දුක් වැනැස්මට අරමුණු වන නිවනැ’යි … ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දැන ගනී. ‘මේ ආස්‍රවයෝ යැ’යි ... ‘මේ ආස්‍රවසමුදය යැ’යි ... ‘මේ ආස්‍රවනිරෝධ යැ’යි ... ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ’යි ඇති සැටියෙන් දැන ගනී.
මෙසේ දන්නා, මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුත් මිදේ. ඔහු සිත භවාස්‍රවයෙනුත් මිදේ. ඔහු සිත අවිද්‍යාස්‍රවයයෙනුත් මිදේ. මිදුණු කල්හි, ‘ මිදුණේ’යැ යි දැන්ම වේ.
හේ “භවෝත්පත්තිය ක්‍ෂීණ විය, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය වැස නිමවන ලද්දේ ය, සිවු සස්හි සිවු මඟින් කළ යුතු සොළොස් වැදෑරුම් කිස කොට නැමැවිණි, මේ සත්‍යාවබෝධය පිණිස කළ යුතු තව කිසිත් නැතැ”යි දැන ගනී. අම්බට්ඨය, මේ වූ කලි ඒ විද්‍යාව ය.
79. අම්බට්ඨය, මේ මහණ තෙමේ විද්‍යායෙන් යුක්ත යැ යි ද, චරණයෙන් යුක්ත යැ යි ද, විද්‍යාචරණයෙන් යුක්ත යැ යි ද කියනු ලැබේ. අම්බට්ඨය, තව ද මේ විද්‍යාසම්පතිනුත් අන්‍ය වූ මෙයට වඩා උසස් වූ හෝ මනෝඥ වූ හෝ අන් විද්‍යාසම්පතෙක් ද චරණසම්පතෙක් ද නැත.
80. අම්බට්ඨය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පතට විනාශමුඛ සතරෙක් වෙති. කවර සතරෙක් ද? යත්: අම්බට්ඨය, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතට නො පැමිණෙනුයේ, (හෝ වැර වඩා එය ලබන්නට නොසමත් වනුයේ), තවුස් පිරිකර කද ගෙන ‘පවත්තඵලභෝජී වත්තෙමි’ (=වැටුනු ගෙඩි වළඳා දිවි රකින්නෙක් වන්නෙමි) යි සිතා වන පෙදෙසකට බැස ගනී. හෙ තෙමේ ඒකාන්තයෙන් විද්‍යා චරණ දෙකින් යුක්තයක්හුගේ සේවකයෙක් වේ. අම්බට්ඨය, මෙ කී නිරුත්තර විද්‍යාචරණසම්පතට මේ පළමු වන විනාශමුඛය වේ.