Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 5001-5100 න් 5108

තව ද අනෙකෙක. ඇවැත්නි, … මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ හැසිරීමක් නැති, පව් පින් නොදන්නා ජනයා ඇති, ප්‍රත්‍යන්ත ම්ලෙච්ඡ ජනපද අතුරෙන් එකෙක උපන්නේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ පස්වන අක්‍ෂණය යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, … මේ පුඟුල් තෙමේ ද මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ වෙයි. හේ ද ‘දුන් දැයෙහි පල නැත, යාගයෙහි මහදන්හි පල නැත. පූජායෙහි පල නැත. කසුලාකුසල කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙ ලොව නැත, පරලොව නැත, මවට කළ සත්කාරයෙහි පල නැත, පියාට කළ සත්කාරයෙහි පල නැත, උපපාදුක (කම් වූ පරිදි මැරී උපදනා) සත්‍වයෝ නැත, මෙලොව ද පර ලොව ද වෙසෙසින් දැන, පසක් කොට පවසන, නොවැරැදි මඟින් ගිය, නොවැරැදි මඟ පිළිපන් මහණ බමුණු කෙනෙක් ලොවැ නැතැ’ යි පෙරැළුණු දෘෂ්ටි ඇති, මිසදිටුවෙක් වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ සවන අක්‍ෂණය යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, … මේ පුඟුල් තෙමේ ද මැදුම් දනව්වෙක උපන්නේ වෙයි. හේ ද නුවණ නැති, ජඩ වූ කෙළතොලු වූ, මොනොවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්‍ත්‍ථ දැනගන්නට ප්‍රතිබල නො වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ සත්වන අක්‍ෂණය යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි ... ධර්‍මය ද නො දෙසනු ලැබෙයි. මේ පුඟුල් තෙමේ ද මැදුම් දනවුහි උපන්නේ වෙයි. හෙ තෙමේ නුවණ ඇත්තේ, ජඩ නොවූයේ, කෙළතොලු නොවූයේ, මොනවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්‍ත්‍ථ දැනගන්නට සමර්‍ත්‍ථ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ අට වන අක්‍ෂණය යැ.
මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම අට යැ.
උත්පාදයිතව්‍ය ධර්‍ම අට කවර යැ? මහාපුරුෂ විතර්‍ක අට යැ මේ ධර්‍මය අල්පේච්ඡයාට යැ, මේ ධර්‍මය මහේච්ඡයාට නො වේ.
මේ ධර්‍මය සන්තුෂ්ටයාට (ලද දැයින් සතුටු වන්නාට) යැ, මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වේ.
මේ ධර්‍මය ප්‍රවිවික්තයාට යැ, මේ ධර්‍මය ගණසඞ්ගණිකාහි ක්ලේශසඞ්ගණිකාහි ඇලුණහුට නො වේ.
මේ ධර්‍මය කළ වීර්‍ය්‍යාරම්භ ඇත්තාහට ය. මෙ ධර්‍මය කුශීදයාට නො වේ.
මේ ධර්‍මය එළැඹැ සිටි සිහි ඇත්තාහට ය, මෙ ධර්‍මය නටුවා වූ සිහි ඇත්තහුට නො වේ.
මේ ධර්‍මය එකඟ සිතැත්තාහට යැ, මේ ධර්‍මය නොඑකඟ සිතැත්තහුට නො වේ.
මේ ධර්‍මය කර්‍මස්වකතා ප්‍රඥාව ඇත්තාට ය, මේ ධර්‍මය කර්‍මස්වකතා ප්‍රඥාව නැත්තහුට නො වේ.
මේ ධර්‍මය මානාදි ප්‍රපඤ්ච නැත්තහුට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයන් ආරාම කොට ඇත්තාහට නො වේ.
මේ ධර්‍මය ප්‍රපඤ්ඡයන්හි ඇලුම් නැත්තාහට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයන්හි ඇලුම් ඇතියාහට නො වේ.
මේ උත්පාදයිතව්‍ය ධර්‍ම අට යැ.
අභිඥෙය ධර්‍ම අට කවර යැ? අභිභායතන අට යැ: එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍ම වශයෙන් රූපසංඥා ඇත්තේ, පිටත්හි සුවර්‍ණ හෝ දුර්වර්‍ණ හෝ පරිත්‍රාලබම්බන වූ ප්‍රතිභාග නිමිති දකී. ඒ නිමිති මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පළමු වන අභිභායතන යැ.
එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ, පිටත්හි අප්‍රමාණ වූ සුවර්‍ණ හෝ දුර්වර්‍ණ නිමිත්ත රූපයන් දකී. ඒ රූප මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිභායතනය යැ.
එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි පරිකර්‍ම සංඥා නැත්තේ, පිටත්හි වූ සුවර්‍ණ හෝ දුවර්‍ණ වූ පරිත්‍රාලම්බන වූ පරිකර්‍ම නිමිති ද ප්‍රතිභාග නිමිති ද දකී. ඒ අරමුණ මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෙවෙනි අභිභායතනය යැ.
එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි රූපසංඥා නැත්තේ, පිටත්හි වූ අප්‍රමාණ සුවර්‍ණ දුර්වර්‍ණ රූපයන් දකී. ඒ රූප අබිබවා ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන අභිභායතන යැ.
එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍ම සංඥා නැත්තේ, නිල් වූ, නිල වන් වූ, නිල් දැකුම් ඇති, නිල් පැහැති, බාහිරයෙහි වූ රූප දකී. නිල් වූ නිල්වන් වූ, නිල් දැකුම් ඇති, නිල් පැහැති දියමෙරලිය මලෙක් යම්සේ වේ ද, නිල් වූ, නිල්වන් වූ, නිල්දැකුම් ඇති, නිල්පැහැති දෙ පිට ම මට සිලිටි වූ කසීවතෙක් යම්සේ වේ ද, එසේ ම නිල් වූ, නිල්වන් වූ, නිල් දැකුම් ඇති, නිල්පැහැති, බාහිර කසිණාලම්බන රූපයන් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ දකී, ඒ රූප අබිබවා, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පස් වන අභිභායතනය යැ.
එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍ම සංඥා නැත්තේ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති බාහිර වූ පීතවර්‍ණ රූප දකී. රන්වන් වූ රන්වන් දැකුම් ඇති, රන් පැහැති, බාහිර වූ පීතවර්‍ණ වූ කිණිහිරි මලෙක් යම්බඳු වේ ද, දෙ පිට මට සිලිටි වූ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන් පැහැති, පීතවර්‍ණ කසීවතෙක් හෝ යම්බඳු වේ ද, එසේ ම අධ්‍යාත්මයෙහි රූපසංඥා නැති එකෙක් රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන් පැහැති, බාහිර පීතකසිණ රූපයන් දකී. ඔවුන් මැඩ, ‘දනිමි’ යි, ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සවන අභිභායතනය යැ.
එකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැති බාහිර රූපයන් දකී. රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති රත් පැහැ වූ බඳුවද මලෙක් යම්සේ වේ ද, දෙපසැ මට සිලිටි වූ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ බාහිර රූපයන්, අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැති එකෙක් දකී. ඔවුන් මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සත්වන අභිභායතනය යැ.
එකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, සුදු වූ, සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදු පැහැති බාහිර රූපාලම්බනයන් දකී. සුදු වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති, ඔෂධී තාරකාව යම්සේ වේ ද, එසේ ම සුදු වූ සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති කසී වතෙක් යම්සේ වේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ සුදු වූ, සුදුවන් වූ, සුදු දැකුම් ඇති, සුදු පැහැ වූ, බාහිර කසිණ රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ අටවන අභිභායතනය යැ.
මේ අභිඥෙය ධර්‍ම අට යැ.
සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම අට කවර යැ? විමෝක්‍ෂ අට යැ: රූපධ්‍යාන ඇත්තේ, නීලකසිණරූපාදි රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමු වන විමෝක්‍ෂය යැ.
අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ බාහිර රූප දකී. මේ දෙවෙනි විමෝක්‍ෂය යැ.
දහන් ඇසින් පිරිසිදු කසිණ අරමුණු දක්නේ, ‘ශුභ යැ’ යි ම එහි ඇලුණේ වෙයි. මේ තෙවෙනි විමෝක්‍ෂය යැ.
සර්‍ව ප්‍රකාරයෙන් රූපසංඥා ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥා පහ වැ යෑමෙන් නානාත්‍වසංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ‘අහස අනන්තයැ’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සතර වන විමෝක්‍ෂය යැ.
සර්‍ව ප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ, ‘විඥානය අනන්තයැ’ යි විඤ්ඤ්ණඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්‍ෂය යැ.
සර්‍ව ප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්‍ෂය යැ.
සර්‍ව ප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්‍ෂය යැ.
සර්‍ව ප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට (නිරෝධසමාපත්තියට) පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්‍ෂය යැ.
මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම අට යැ.
මෙසේ මේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ අසූවෙක් ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මනා කොට විශිෂ්ට නුවණින් දැනගන්නා ලදුහ.
නවකය
10. බහූපකාර ධර්‍ම නවයෙක, භාවයිතව්‍ය ධර්‍ම නවයෙක, පරිඥේය ධර්‍ම නවයෙක, ප්‍රහාතව්‍ය ධර්‍ම නවයෙක, හානභාගික ධර්‍ම නවයෙක, විශේෂභාගික ධර්‍ම නවයෙක, දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම නවයෙක උත්පාදයිතව්‍ය ධර්‍ම නවයෙක, අභිඥෙය ධර්‍ම නවයෙක, සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම නවයෙක.
බහූපකාර ධර්‍ම නවය කවර යැ? යෝනිසෝමනස්කාරය මුල් කොටැති ධර්‍ම නවය යැ: නිවැරැදි මගින් (ධර්‍මයන්) මෙනෙහි කරන්නහුට ප්‍රමෝදය (සතුට) උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංසිඳේ. සංසුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත සමාධි ගත වේ (අරමුණෙහි එකඟ වේ.) සිත එකඟවූ කල්හි තතු වූ පරිදි දනී. තතු වූ පරිදි දන්නේ දක්නේ (සංස්කාරයන්හි) කලකිරෙයි. කලකිරෙන්නේ (සංස්කාරයන්හි) නො ඇලෙයි. නො ඇලීම් හෙයින් (සංස්කාරයන් කෙරෙන්) මිදෙයි. මේ බහූපකාර ධර්‍ම නවය යැ.
භාවයිතව්‍ය ධර්‍ම නවය කවර යැ? පාරිසුද්ධි පධානියඞ්ග (පිරිසිදු බවේ ප්‍රධාන අවයව) නවය යැ: ශීල විශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, චිත්තවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, දෘෂ්ටිවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, කාංක්‍ෂාවිතරණවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශනවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, ප්‍රතිපද්ඥානදර්‍ශනවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, ඥානදර්‍ශනවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, ප්‍රඥාවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක, විමුක්තිවිශුද්ධිය පිරිසිදු බවේ ප්‍රධාන අවයවයෙක. මේ භාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්‍ම නවය යැ.
පරිඥේය ධර්‍ම නවය කවර යැ? සත්‍වාවාස නවය යැ: ඇවැත්නි, මිනිසුන් ද ඇතැම් දෙවියන් ද ඇතැම් විනිපාතිකයන් ද සේ කයැ වෙනස් බව ඇති, ප්‍රතිසන්‍ධිසංඥායෙහි ද වෙනස් බව ඇති, සත්‍ව කෙනෙක් ඇත. මේ පළමු සත්‍වාවාසය යැ.
ඇවැත්නි, කල්පාරම්භ සමයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියන් සේ කයින් වෙනස් වූ ප්‍රතිසන්‍ධිසංඥායෙන් සමාන වූ සත්‍ව කෙනෙක් ඇත. මේ දෙවෙනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි, ආභස්සර දෙවියන් සේ වූ කයැ සමාන බව් ඇති, ප්‍රතිසන්‍ධිසංඥායෙහි වෙනස් බව් ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ තෙවෙනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි ශුභකෘත්ස්නක දෙවියන් සේ කයැ සමාන බව් ඇති, ප්‍රතිසන්‍ධිසංඥාවේ ද සමාන බව් ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ සිවුවැනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි, අසංඥසත්‍ව දෙවියන් සේ ප්‍රතිසන්‍ධි සංඥාව නැති, විඳුම් නැති සත්‍ව කෙනෙක් ඇත. මේ පස්වැනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි, හැම සැටියෙන් ම රූපසංඥාවන් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන් අතුරුදහන් වීමෙන්, නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ’ යි සමාධි වඩා ආකාසානඤ්චායතනට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සවැනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි, හැම අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මැ, ‘විඥානය අනන්ත යැ’ යි සමාධි වඩා, විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සත්වැනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි, හැම අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි සමාධි වඩා, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත, මේ අටවැනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි, හැම අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ නවවැනි සත්‍වාවාසය යැ
මේ පරිඥේය (පිරිසිඳ දත යුතු) ධර්‍ම නවය යැ.
ප්‍රහාතව්‍ය ධර්‍ම නවය කවර යැ? තෘෂ්ණාමූලක (තෘෂ්ණාව මුල් කොට ඇති) ධර්‍ම නවය යැ: තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ගෙන පර්‍ය්‍යෙෂණය (චීවරාදි පසය සෙවීම) වේ. පර්‍ය්‍යෙෂණය ප්‍රත්‍යය කොට ගෙන (චීවරාදි පසය) ලැබීම වේ. පසය ලැබීම ප්‍රත්‍යය කොට ගෙන විනිශ්චයය (විතර්‍කණය) වේ. විනිශ්චයය ප්‍රත්‍යය කොට ගෙන ඡන්‍ද රාගය (දුර්‍වල වූ ද මහත් වූ ද තෘෂ්ණා) වේ. ඡන්‍දරාගය ප්‍රත්‍යය කොට ගෙන අධ්‍යවසානය (මම යැ යි බලවත් සනිටුහන) වේ. අධ්‍යවසානය ප්‍රතයය කොට ගෙන පරිග්‍රහය (අත් කරැගැන්ම) වේ. පරිග්‍රහය ප්‍රත්‍යය කොට ගෙන මාත්සර්‍ය්‍යය (මසුරුබව) වේ. මාත්සර්‍ය්‍යය ප්‍රත්‍යය කොට ගෙන ආරක්‍ෂණය (ලත් දැය රැක ගැන්ම) වේ. ආරක්‍ෂාධිකරණය (රකවල් කිරීම) ප්‍රත්‍යය කොට ගෙන දඬු ගැනුම් අවි ගැනුම් කලහ භේද විවාද ගැරහුම් කේලාම් කීම් මුසවා බිණුම් ද නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ ද පවතිත්. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම නවය යැ.
හානභාගික ධර්‍ම නවය කවරැ යැ? නව ආඝාත වස්තු යැ: මට පෙරැ අනර්‍ත්‍ථ කළැ යි වෙර බඳී, මට දැන් අනර්‍ත්‍ථ කරතැයි වෙර බඳී. මට මතු අනර්‍ත්‍ථ කරතැයි වෙර බඳී. මගේ ප්‍රිය මනාප තැනැත්තහුට අනර්‍ත්‍ථ කළැයි … දැන් අනර්‍ත්‍ථ කරතැ යි … මතු අනර්‍ත්‍ථ කරතැ යි වෙර බඳී. මට අප්‍රිය වූ අමනාප වූ තැනැත්තහුට අර්‍ත්‍ථ (වැඩ) සිදු කළැ යි … දැන් වැඩ සිදු කරතැ යි … මතු වැඩ කර සිදු කරතැ යි වෙර බඳී. මේ හානභාගික ධර්‍ම නවය යැ.
විශේෂ භාගික ධර්‍ම නවය කවර යැ? ආඝාත ප්‍රතිවිනය (වෙර සංසිඳු වන කරුණු) නවය යැ: මට අවැඩ කෙළේ ය යන එය කොයින් ලැබේ දැ යි (සලකා) වෙර දුරැ ලයි. දැන් මට අවැඩ කරතැ යි යන එය කොයින් ලැබේ දැ යි වෙර දුරැ ලයි. මතු මට අවැඩ කරතැයි යන එය කොයින් ලැබේදැ යි වෙර දුරැලයි. මගේ ප්‍රිය මනාප තැනැත්තහුට අවැඩ කෙළේ ය යන එය කොයින් ලැබේ දැ යි වෙර දුරැලයි. මගේ ප්‍රිය මනාප තැනැත්තහුට දැන් අවැඩ කරතැ යි … මතු අවැඩ කරතැ යි … මට අප්‍රිය අමනාප තැනැත්තහුට වැඩ සිදු කෙළේ යැ යි … මට අප්‍රිය අමනාප තැනැත්තහුට දැන් වැඩ සිදු කරතැ යි … මට අප්‍රිය අමනාප තැනැත්තහුට මතු වැඩ සිදු කරතැ යි යන එය කොයින් ලැබේ දැ යි වෙර දුරැ ලයි. මේ විශේෂභාගික ධර්‍ම නවය යැ.
දුෂ්ප්‍රතිවිධ්‍ය (දුක සේ පිළිවිද්ද යුතු) ධර්‍ම නවය කවර යැ? නානාත්‍ව නවය යැ: (චක්‍ෂුර්ධාත්‍වාදි) ධාතූන්ගේ නානාත්‍වය නිසා (චක්‍ෂු ස්පර්‍ශාදි) ස්පර්‍ශනානාත්‍වය උපදී. (චක්‍ෂුඃ ස්පර්‍ශාදි) ස්පර්‍ශ නානාත්‍වය නිසා (චක්‍ෂුඃස්පර්‍ශජවේදනාදී) වේදනානානාත්‍වය උපදී. වේදනානානාත්‍වය නිසා (කාමසංඥාදී) සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා (කාමසඞ්කල්පනාදි) සඞ්කල්පනානාත්‍වය උපදී. සඞ්කල්පනානාත්‍වය නිසා (රූපයෙහි ඡන්‍දය, ශබ්දයෙහි ඡන්‍දය යන ආදි විසින්) ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා (රූපපරිදාහ ශබ්දපරිදාහාදි) පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා (රූපපර්‍ය්‍යෙෂණ ශබ්දපර්‍ය්‍යෙෂණාදි) පර්‍ය්‍යෙෂණ නානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා (රූපප්‍රතිලාභ ශබ්ද ප්‍රතිලාභාදි) ලාභනානාත්‍වය උපදී. ලාභනානාත්‍වය නිසා (රූප මඤ්ඤනා සද්දමඤ්ඤනාදි) මඤ්ඤනාවන්ගේ නානාත්‍වය උපදී. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම නවය යැ.
උත්පාදයිතව්‍ය ධර්‍ම නවය කවර යැ? අශුභසංඥාව, මරණසංඥාව, ආහාරය කෙරෙහි ප්‍රතිකූලසංඥාව, සියලු ලොව කෙරෙහි අනභිරත (කලකිරුණු) සංඥාව, අනිත්‍යසංඥාව, අනිත්‍යයෙහි දුඃඛසංඥාව, දුකෙහි අනාත්මසංඥාව, ප්‍රහාණ සංඥාව, විරාගසංඥාව යන නව සංඥා යැ. මේ ඉපැදැවියැ යුතු සංඥා නවය යැ.
අභිඥෙය ධර්‍ම නවය කවර යැ? අනුපූර්‍වවිහාර නවය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුඛවේදනාව ඇති, ප්‍රථම ධ්‍යානය ලැබ වෙසෙයි … ද්විතීය ධ්‍යානය ලැබ වෙසෙයි, … තෘතීය ධ්‍යානය ලැබ වෙසෙයි, … චතුර්‍ත්‍ථධ්‍යානය ලැබ වෙසෙයි. … හැම ලෙසින් රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ වීමෙන්, නානාත්‍වසංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාශය අනන්තයැ’ යි (සමාධි වඩා) ආකාශානඤ්චායතනය ලබා වෙසෙයි. හැම ලෙසින් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්තයැ’ යි (සමාධි වඩා) විඤ්ඤාණඤ්චායතන ය ලැබ වෙසෙයි. හැම ලෙසින් විඤ්ඤාණඤ්චායතන ඉක්මැ ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය ලැබ වෙසෙයි. හැම ලෙසින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ලැබ වෙසෙයි. හැම ලෙසින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තිය ලැබ වෙසෙයි. මේ අභිඥෙය (වෙසෙසා දත යුතු) ධර්‍ම නවය යැ.
සාක්‍ෂාත්කර්‍ත්‍ය ධර්‍ම නවය කවර යැ? අනුපූර්‍ව නිරෝධ නවය යැ: ප්‍රථම ධ්‍යානායට සමවන්නහුගේ කාමසංඥාව නිරුද්ධ වෙයි, ද්වීතිය ධ්‍යානයට සමවන්නහුගේ විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුගේ ප්‍රීතිය නිරුද්ධ වෙයි. චතුර්‍ත්‍ථ ධ්‍යානයට සමවන්නහුගේ ආශ්වාසප්‍රාශ්වාසයෝ නිරුද්ධ වෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුගේ රූපසංඥාව නිරුද්ධ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුගේ ආකාසානඤ්චායතනසඤ්ඤාව නිරුද්ධ වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුගේ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාව නිරුද්ධ වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුගේ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාව නිරුද්ධ වේ. සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුගේ සංඥාත් වේදනාත් නිරුද්ධ වෙත්. මේ සාක්‍ෂාත් කටයුතු ධර්‍ම නවය යැ.
මෙසේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ මේ අනූවෙක් ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මනා කොට විශිෂ්ට නුවණින් දැනගන්නා ලදුහ.
දශකය
11. බහූපකාර ධර්‍ම දසයෙක, භාවයිතව්‍ය ධර්‍ම දශයෙක, පරිඥේය ධර්‍ම දශයෙක, ප්‍රහාතව්‍ය ධර්‍ම දශයෙක, හානභාගික ධර්‍ම දශයෙක, විශේෂභාගික ධර්‍ම දශයෙක, දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම දශයෙක, උත්පාදයිතව්‍ය ධර්‍ම දශයෙක, අභිඥෙය ධර්‍ම දශයෙක, සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම දශයෙක.
බහූපකාර ධර්‍ම දශය කවරයැ? දශ නාථකරණධර්‍මයෝ යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවර ශිලයෙන් හැවුරුණේ ආචාරගෝචර සම්පන්න වැ ස්වල්පමාත්‍ර වරදෙහි ද බිය දක්නා සුලු වැ වෙසෙයි. සිකපද සමාදන් කොට ගෙන හික්මෙයි. ඇවැත්නි, මහණ තෙමේ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් හැවුරුණේ ආචාර ගෝචර දෙකින් යුතු වැ අල්පමාත්‍ර දෝෂයන්හි ද බිය දක්නා සුලු වැ වෙසෙයි, සිකපද සමාදන් කොට ගෙන හික්මෙයි, යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි. ඇසූ දහම් සිතැ දරන්නේ වෙයි, ඇසූ දහම් සිතින් රැස් කොට ගන්නේ වෙයි. ආදියෙහි යහපත් වූ මැද යහපත් වූ අවසනැ යහපත් වූ, අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ යම් ධර්‍ම කෙනෙක් හැම ලෙසින් පිරිපුන් වූ පිරිසිදු බඹසර ප්‍රකාශ කෙරෙත් ද එසේ වූ ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු වචනයෙන් දරන ලද්දාහු චවනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් පුනපුනා විමසන ලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්. ඇවැත්නි, මහණ තෙමේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි … දෘෂ්ටියෙන් පිළිවිදුනා ලද්දාහු වෙත් යන මෙය ද නාථකරණ ධර්‍මයෙක.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමෙ කලණ මිතුරන් ඇත්තේ, කලණ යහළුවන් ඇත්තේ කලණමිතුරනට නැමුණේ වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමෙ කලණ මිතුරන් ඇත්තේ කලණ යහළුවන් ඇත්තේ කලණමිතරුනට ම නැමුණේ වේ’ යන යමෙක් ඇද්ද මේ ද නාථකරණ ධර්‍මයෙක.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමෙ සුවච වෙයි, සුවච බව කරන දහමුන් ගෙන් යුක්ත වූයේ ඉවසනුයේ කරන අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ සුචව වෙයි … අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වේ’ යන යමෙක් ඇද්ද මේ ද නාථකරණ ධර්‍මයෙක.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, ‘කුම් කෙරෙම් දැ?’ යි අසා කළ යුතු වූ සබ්රම්සරුවන්ගේ යම් කුදු මහත් කටයුතු කෙනෙක් ඇද්ද, මහණ තෙමේ එහි දක්‍ෂ ද අනලස් ද එයට උපායමාර්‍ග වූ නුවණින් සමන්‍විත ද, එය කරනුයෙහි සමර්‍ත්‍ථ ද එය පිළිබඳ විවාරණයෙහි සමර්‍ත්‍ථ ද වෙයි. ඇවැත්නි, … සබ්රම් සරුවන්ගේ යම් කුදු මහත් කටයුතු කෙනෙක් ඇද්ද, … පිළිබඳ විවාරණයෙහි සමර්‍ත්‍ථ ද වේ යන යමෙක් ඇද්ද, මෙත් නාථකරණ ධර්‍මයෙක.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමේ ධර්‍මය කැමැත්තේ වෙයි. ප්‍රිය සමුදාහර ඇත්තේ වෙයි. අභිධර්‍මයෙහි අභිවිනයයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ ධර්‍මය කැමැත්තේ වෙයි … අභිධර්‍මයෙහි අභිවිනයයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි’ යන යමෙක් ඇද්ද මේ ද නාථකරණ ධර්‍මයෙක.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමෙ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන්ගෙන් සතුටු වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලාන ප්‍රත්‍යය පිණ්ඩපාත ශයනාසන ග්ලාන ප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන්ගෙන් සතුටු වේ’ යන යමෙක් ඇද්ද, මේ ද නාථකරණ ධර්‍මයෙක.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමෙ අකුසල්දහමුන් පහ කරනුවට කුසල් දහමුන් පිළිලබනුවට ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ, බල ඇත්තේ, දැඩි වැර ඇත්තේ, කුසල් දහම් ලබනුවට බහා නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ … ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ … කුසල් දහම් ලබනුවට බහා නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි’ යන යමෙක් ඇද්ද, මේ ද නාථකරණ ධර්‍මයෙක.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමේ බොහෝ කලකට පෙරැ කළ දෑ ද, බොහෝ කලකට පෙරැ කී දෑ ද, සිහි කරනුයේ, පුනපුනා සිහි කරනුයේ උතුම් ම සිහියෙන් ද ස්ථානෝචිත ප්‍රඥායෙන් ද සමන්‍විත වූයේ, ස්මෘතිමත් වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමෙ සිහි කරනුයේ පුන පුනා සිහි කරනුයේ ස්මෘතිමත් වෙයි’ යන යමෙක් ඇද්ද, මේ ද නාථකරණ ධර්‍මයෙක.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, මහණ තෙමේ ඉපැද්ම ද නැස්ම ද පිරිසිඳනු සමත් වූ, ලෝභ ස්කන්‍ධාදීන් විදලනුයෙහි සමත් වූ, මොනොවට දුක් වැනැස්මට යන, පිරිසිදු ප්‍රඥායෙන් සමන්‍විත වූයේ ප්‍රඥාවත් වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමෙ ඉපැද්මත් වැනැස්මත් පිරිසිඳිනු සමත් වූ, ලෝභ ස්කන්‍ධාදීන් විදලනුයෙහි සමත් වූ, මොනොවට දුක් වැනැස්මට යන පිරිසිදු ප්‍රඥායෙන් සමන්‍විත වූයේ ප්‍රඥාවත් වේ’ යන යමෙක් ඇද්ද, මේ ද නාථකරණ ධර්‍මයෙක.
මේ බහූපකාර ධර්‍ම දශය යැ.
භාවයිතව්‍ය ධර්‍ම දශය කවර යැ? කසිණායතන දශය යැ: එකෙක් උඩ යට සරසැ දෙකක් නො වූ (එකක් ම වූ) පඨවී කසිණය හඳුනයි. එකෙක් … ආපෝකසිණය හඳුනයි, එකෙක් … තේජෝකසිණය හඳුනයි, එකෙක් … වායෝකසිණය හඳුනයි, එකෙක් … නීලකසිණය හඳුනයි, එකෙක් … පීතකසිණය හඳුනයි, එකෙක් … ලෝහිතකසිණය හඳුනයි, එකෙක් … ඕදාතකසිණය හඳුනයි, එකෙක් … ආකාසකසිණය හඳුනයි, එකෙක් උඩ යටැ සර සැ දෙකක් නොවූ (එකක් ම වූ) අප්‍රමාණ වූ විඤ්ඤාණකසිණය හඳුනයි. මේ භාවයිතව්‍ය ධර්‍ම දශය යැ.
පරිඥේය ධර්‍ම දශය කවර යැ? චක්‍ෂුරායතනය රූපායතනය ශ්‍රෝත්‍රායතනය ශබ්දායතනය ඝ්‍රාණායතනය ගන්‍ධායතනය ජිහ්වායතනය රසායතනය කායායතනය ස්ප්‍රෂ්ටව්‍යායතනය යන ආයතන දශය යැ.
මේ පරිඥේය ධර්‍ම දශය යැ.
ප්‍රහාතව්‍ය ධර්‍ම දශය කවර යැ? මිථ්‍යාදෘෂ්ටිය මිථ්‍යාසඞ්කල්පය මිථ්‍යාවචනය මිථ්‍යාකර්‍මාන්තය මිථ්‍යාආජීවය මිථ්‍යාව්‍යායාමය මිථ්‍යාස්මෘතිය මිථ්‍යාසමාධිය මිථ්‍යාඥානය මිථ්‍යාවිමුක්තිය යන මිථ්‍යාත්‍වයෝ යැ. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම දශය යැ.
හානභාගික ධර්‍ම දශය කවර යැ? ප්‍රාණාතිපාතය අදත්තාදානය කාමමිථ්‍යාචාරය මෘෂාවාදය පිසුණවචනය පරුෂචවචනය සම්ඵප්‍රලාපය අභිධ්‍යාව ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටිය යන අකුශල කර්‍මපථ දශය යැ. මේ හානභාගික ධර්‍ම දශය යැ.
විශේෂභාගික ධර්‍ම දශය කවර යැ? ප්‍රාණවධයෙන් වැළැක්ම, අදත්තාදානයෙන් වැළැක්ම, කාමමිථ්‍යාචාරයෙන් වැළැක්ම, බොරුකීමෙන් වැළැක්ම, කේලාම් කීමෙන් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, සම්ඵප්‍රලාපයෙන් වැළැක්ම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටිය යන කුශල කර්‍මපථ දශය යැ. මේ විශේෂභාගික ධර්‍ම දශය යැ.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම දශය කවර යැ? ආර්‍ය්‍යවාස දශය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම් අඞ්ග පසෙකින් වියුක්ත වූයේ, අඞ්ග සයෙකින් යුක්ත වූයේ, එක් ම ආරක්‍ෂාවක් ඇත්තේ, අපශ්‍රයණ සතරක් ඇත්තේ, මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ, නො අඩු කොට මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ, නොකැලැඹුණු කල්පනා ඇත්තේ, සංසිඳුණු කායසංස්කාර ඇත්තේ, මොනොවට මිදුණු සිතැත්තේ, මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග පසෙකින් වී යුක්ත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථීනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ අඞ්ග පසෙකින් වියුක්ත වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග සයෙකින් යුක්ත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ ඇසින් රූපයක් දැක නො ම සතුටු ද වෙයි, නො ම නොසතුටු ද වෙයි. සිහි ඇත්තේ නුවණින් දන්නේ උපේක්‍ෂක වැ වෙසෙයි. කනින් හඬක් අසා … නැහැයෙන් ගඳක් අඝා … දිවින් රසක් විඳ, … කයින් හැපෙන දැයක් පැහැසැ … මනසින් දහම් අරමුණක් සිතා නො ම සතුටු ද වෙයි, නො ම නොසතුටු ද වෙයි. සිහි ඇත්තේ, නුවණින් දන්නේ, උපේක්‍ෂක ද වැ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ අඞ්ග සයෙකින් යුක්ත වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් එක ම ආරක්‍ෂාවක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සිහිය ම ආරක්‍ෂාව කොටැති සිතින් යුක්ත වෙයි. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම එක් ආරක්‍ෂාවක් ඇත්තේ වෙයි.
ඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ අපශ්‍රයණ සතරක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නුවණින් සලකා එකක් සෙවියි, නුවණින් බලා එකක් ඉවසයි, නුවණින් බලා එකක් පහ කෙරෙයි, නුවණින් බලා එකක් ඉවත් කරයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ අපශ්‍රයණ සතරක් ඇත්තේ වෙයි.
ඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, බොහෝ මහණ බමුණන්ගේ යම් බොහෝ ප්‍රත්‍යෙක සත්‍ය කෙනෙක් වෙත් ද, මෙහි මහණහු විසින් ඔහු හැම බැහැරැ කරන ලද්දාහු, දුරු කරන ලද්දාහු, හැර දමන ලද්දාහු, පහ කරන ලද්දාහු, මුදන ලද්දාහු, එ හෙයින් ම ප්‍රහීණ වූවාහු, සංසිඳුණාහු වෙත්. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම බැහැරැ කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො අඩු කොට, මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාම ඒෂණාව ප්‍රහීණ වෙයි, භව ඒෂණාව ප්‍රහීණ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යා ඒෂණාව සංසිඳුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ මොනොවට නො අඩු කොට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො කැලැඹුණු කල්පනා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාම සංකල්පය ප්‍රහීණ වෙයි, ව්‍යාපාද සංකල්පය ප්‍රහීණ වෙයි, විහිංසා සංකල්පය ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ නො කැලැඹුණු සංකල්ප ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් සංසිඳුණු සංස්කාර ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සුඛවේදනාවගේ ද ප්‍රහාණයෙන් දුඃඛවේදනාවගේ ද ප්‍රහාණයෙන් පළමු කොට ම සොම්නස් දොම්නස් වේදනාවන් දුරු වීමෙන් දුක් ද නොවූ සුව ද නොවූ, උපේක්‍ෂාවගේ ද ස්මෘතියගේ ද පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ සංසිඳුණු කායසංස්කාර ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් මොනොවට මිදුණු සිතැත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ සිත රාගය කෙරෙන් මිදුණේ වෙයි, ද්වේෂය කෙරෙන් මිදුණේ වෙයි, මෝහය කෙරෙන් මිදුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට මිදුණු සිතැත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් මොනොවට මිදුණු ප්‍රඥාව ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ‘මාගේ රාගය ප්‍රහීණ ය සිඳ දමන ලද මුල් ඇත්තේ ය, උදුරන ලද තල් රුකක් මෙන් කරන ලද්දේ යැ නැවැත නොහටගන්නා බවට පැමිණියේ ය, යලි නො උපදනා ස්වභාවය ඇත්තේ වේ යැ’ යි දනී. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.
මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම දශය යැ.
උත්පාදයිතව්‍ය ධර්‍ම දශය කවර යැ? අශුභසංඥාව, මරණසංඥාව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥාව, සියලු ලොවෙහි අනභිරත සංඥාව, අනිත්‍යසංඥාව, අනිත්‍යයෙහි දුඃඛසංඥාව, දුකෙහි අනාත්ම සඥාව, ප්‍රහාණසංඥාව, විරාගසංඥාව, නිරෝධසංඥාව යන දශ සංඥාවෝ යැ. මේ උත්පාදයිතව්‍ය දශ ධර්‍මයෝ යැ.
අභිඥෙය ධර්‍ම දශය කවර යැ? දශ නිර්ජර වස්තුහු (අකුසල් දිරා යෑමට කරුණු වන දෑ) ය. සම්‍යග්දෘෂ්ටිකයාගේ (සන්තානයෙහි) මිථ්‍යාදෘෂ්ටිය දිරාපත් වෙයි, මිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයයෙන් යම් නොඑක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු ද ඔහුගේ සන්තානයෙහි ඒඅකුසල්හු ද දිරාපත් වෙත්. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍ණත්‍වයට යෙත්.
සම්‍යක්සඞ්කල්පනා ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාසඞ්කල්පය දිරා ගියේ වෙයි. මිථ්‍යාසඞ්කල්පප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු ද , ඔහුගේ (සන්තානයෙහි) ඒ අකුසල්හු ද දිරා ගියාහු වෙත්. සම්‍යක්සඞ්කල්පප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුශලධර්‍මයෝ භවානායෙන් පරිපූර්‍ණත්‍වයට යෙත්.
සම්‍යග්වචන ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාවචනය දිරා ගියේ වෙයි. මිථ්‍යාවචන ප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගන්නාහු ද, ඔහුගේ සතන්හි ඒ අකුසල්හු ද දිරා ගියාහු වෙත්. සම්‍යග්වචනප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භවානායෙන් පරිපූර්‍ණත්‍වයට යෙත්.
සම්‍යක්කර්‍මාන්ත ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාකර්‍මාන්තය දිරා ගියේ වෙයි. මිථ්‍යාකර්‍මාන්තප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගන්නාහු ද, ඔහුගේ සන්තානයෙහි ඒ අකුසල්හු ද දිරා ගියාහු වෙත්. සම්‍යක්කර්‍මාන්තප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල්දහම්හු භාවනායෙන් පරිපූර්‍ණත්‍වයට යෙත්.
සම්‍යගාජීවය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාආජීවය දිරාගියේ වෙයි. මිථයාජීවප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගන්නාහු ද, ඔහුගේ (සන්තානයෙහි) ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්, සම්‍යගාජීවප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පරිපූර්‍ණත්‍වයට යෙත්.
සම්‍යග්ව්‍යායාමය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාව්‍යායාමය දිරා ගියේ වෙයි, මිථ්‍යාව්‍යායාමප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙකුත් හටගන්නාහු ද, ඒ අකුසල්හු ද ඔහුගේ (සන්තානයෙහි) දිරාගියාහු වෙත්. සම්‍යග්ව්‍යායාමප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
සම්‍යක්ස්මෘතිය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාස්මෘතිය දිරා ගියේ වෙයි. මිථ්‍යාස්මෘතිප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙකුත් හටගන්නාහු ද, ඔහුගේ ඒ අකුශල්හු ද දිරාගියාහු වෙත්. සම්‍යක්ස්මෘතිප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
සම්‍යක්සමාධිය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාසාමාධිය දිරාගියේ වෙයි. මිථ්‍යාසමාධිප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙකුත් හටගන්නාහු ද, ඔහුගේ ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්‍යක්සමාධිප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
සම්‍යග්ඥානය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාඥානය දිරාගියේ වෙයි. මිථ්‍යාඥානප්‍රත්‍යයයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙකුත් හටගන්නාහු ද, ඔහුගේ ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්‍යග්ඥානප්‍රත්‍යයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
සම්‍යග්විමුක්තිය ඇත්තහුගේ (සන්තානයෙහි) මිථ්‍යාවිමුක්තිය දිරා ගියේ වෙයි. මිථ්‍යාවිමුක්තිප්‍රත්‍යයෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙකුත් හටගන්නාහු ද, ඒ අකුසල්හු ද දිරාගියාහු වෙත්. සම්‍යග්විමුක්තිප්‍රත්‍යයයෙන් ද නොයෙක් කුසල් දහම්හු භාවනායෙන් පිරීමට යෙත්.
මේ අභිඥෙය (වෙසෙසි නුවණින් දත යුතු) ධර්‍ම දශය යැ.
සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම දශය කවර යැ? අශෛක්‍ෂ සම්‍යග්දෘෂ්ටිය, අශෛක්‍ෂ සම්‍යක්සඞ්කල්පය, අශෛක්‍ෂ සම්‍යග්වචනය, අශෛක්‍ෂ සම්‍යක්කර්‍මාන්තය, අශෛක්‍ෂ සම්‍යගාජීවය, අශෛක්‍ෂ සම්‍යග්ව්‍යායාමය, අශෛක්‍ෂ සම්‍යක්ස්මෘතිය, අශෛක්‍ෂ සම්‍යක්සමාධිය, අශෛක්‍ෂ සම්‍යග්ඥානය, අශෛක්‍ෂ සම්‍යග්විමුක්තිය යන අශෛක්‍ෂ ධර්‍ම දශය යැ.