Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 4901-5000 න් 5108

ප්‍රහාතව්‍ය ධර්‍ම පස කවර යැ? කාමච්ඡන්‍ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ස්ත්‍යානමිද්ධ නීවරණය, ඖද්ධත්‍යකෞකෘත්‍ය නීවරණය, විචිකිත්සා නීවරණය යන පස යි. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම පස යැ.
හානභාගික ධර්‍ම පස කවර යැ? චේතෝඛීල (සිතේ තද බව්) පස යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ශාස්තෘහු කෙරෙයි සැක කෙරෙයි ද, කුකුස් කෙරෙයි ද, නිශ්චය නැත්තේ ද, නො පහදී ද, ඔහුගේ සිත වීර්‍ය්‍ය වැඩීම පිණිස, පුන පුනා භාවනා යෝගය පිණිස, සතතයෙන් භාවනානුයෝගය පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත වීර්‍ය්‍ය වැඩීම පිණිස, පුන පුනා භාවනායෝගය පිණිස, සතතයෙන් භාවනායෙහි යෙදෙනු පිණිස ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයි ද, මෙය පළමු වන චේතෝඛීලය යි. ඇවැත්නි, තව ද මහණෙක් ධර්‍මය කෙරෙහි සැක කෙරෙයි ද, කුකුස් කෙරෙයි ද, නිශ්චය නැත්තේ වෙයි ද, නො පහදී ද …, සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි ද … ශික්‍ෂායෙහි සැක කෙරෙයි ද … සබරම්සරුවන් කෙරෙහි කිපියේ නොසතුටු සිතැත්තේ, ආහතචිත්ත (ගැටුණු සිතැත්තේ) වෙයි ද, ඛීලජාත (තද) වෙයි ද, ඔහුගේ සිත වීර්‍ය්‍ය වැඩීම පිණිස, පුන පුනා භාවනානුයෝගය පිණිස, සතතයෙන් භවනානුයෝගය පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත වීර්‍ය්‍ය වැඩීම පිණිස පුන පුනා භාවනානුයෝගය පිණිස, සතතයෙන් භාවනායෝගය පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි ද, මෙය පස් වන චේතෝඛීලය යි. මේ හානභාගික ධර්‍ම පස යැ.
විශේෂභාගික ධර්‍ම පස කවර යැ? ශ්‍රද්ධේන්‍ද්‍රියය, වීර්ය්‍යේන්‍ද්‍රියය, ස්මෘතීන්‍ද්‍රියය, සමාධීන්‍ද්‍රියය, ප්‍රඥේන්‍ද්‍රියය යන ඉන්‍ද්‍රිය පස යි. මේ විශේෂභාගික ධර්‍ම පස යැ.
දුෂ්ප්‍රතිවිධ්‍යා ධර්‍ම පස කවර යැ? නිඃසරණීය ධාතු (විසංයුක්ත ධර්‍ම) පස යැ: ඇවැත්නි, මෙහි කාමයන් මෙනෙහි කරන මහණහු සිත කාමයන්හි නො පිවිසෙයි, නො පහදී, නො පිහිටයි,නො ඇලෙයි. නෙක්ඛම්මය (අශුභ කර්‍මස්ථානයෙන් ලත් ප්‍රථම ධ්‍යානය) මෙනෙහි කරන මහණහු සිත නෙක්ඛම්මයෙහි පිවිසෙයි, පැහැදෙයි, පිහිටයි, ඇලෙයි. ඔහුගේ එ සිත අරමුණෙහි මොනොවට ගියේ මොනොවට වැඩුණේ, කාමයන් කෙරෙන් මොනොවට නැඟී සිටියේ, කාමයන් කෙරෙන් මොනොවට මිදුණේ, කාමයන්ගෙන් වෙන් වූයේ වෙයි. කාම හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් කාමපරිදාහ කෙනෙක් උපදනාහු ද, හේ ඔවුන් කෙරෙන් මිදුණේ වෙයි, හේ ඒ වේදනා නො විඳී. මෙය කාමයන්ගේ නිඃසරණය නැමැයි කියන ලදි.
ඇවැත්නි, තව ද ව්‍යාපාදය මෙනෙහි කරන මහණහුගේ සිත ව්‍යාපාදයෙහි නො පිවිසෙයි, නො පහදියි, නො රැඳෙයි, නො ඇලෙයි. අව්‍යාපාදය (මෛත්‍රී ධ්‍යානය) මෙනෙහි කරන ඔහු සිත අව්‍යාපාදයෙහි පිවිසෙයි, පැහැදෙයි, සිටියි, ඇලෙයි. ඔහුගේ එ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, (ව්‍යාපාද කෙරෙන්) මොනොවට නැඟී සිටියේ, මොනොවට මිදුණේ, ව්‍යාපාදය කෙරෙන් වෙන් වූයේ වෙයි. ව්‍යාපාද හේතුයෙන් යම් ආස්‍රව දුක් පරිදාහ කෙනෙක උපදිත් ද, හේ ඔවුන් කෙරෙන් මිදුණේ වෙයි. හේ ඒ වේදනාව නො විඳී. මේ ව්‍යාපාදයේ නිඃසරණයැ යි කියන ලදි.
තව ද ඇවැත්නි, විහිංසාව මෙනෙහි කරන මහණහු සිත විහිංසායෙහි නො පවිවිසෙයි, නො පහදියි, නො සිටියි, නො ඇලෙයි. වැලි අවිහිංසාව (කරුණාධ්‍යානය) මෙනෙහි කරන ඔහු සිත අවිහිංසායෙහි (කරුණාධ්‍යානයෙහි) පිවිසෙයි, පැහැදෙයි, සිටියි, ඇලෙයි. ඔහුගේ ඒ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, විහිංසාව කෙරෙන් මොනොවට නැගී සිටියේ, මොනොවට මිදුණේ, මොනොවට වෙන් වූයේ වෙයි. විහිංසා හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක්, දුක් කෙනෙක්, පරිදාහ කෙනෙක් උපදනාහු ද, හේ ඔවුන් කෙරෙන් මිදුණේ වෙයි, හේ ඒ වේදනාව නො විඳී. මේ විහිංසාවගේ නිඃසරණයැ යි කියන ලදී.
ඇවැත්නි, තව ද මහණ තෙමේ රූපයන් මෙනෙහි කරන මහණහුගේ සිත රූපයන්හි නො පිවිසෙයි, නො පහදියි, නො සිටියි, නො ඇලෙයි. වැලි දු අරූපධ්‍යානය මෙනෙහි කරන ඔහු සිත අරූපධ්‍යානයෙහි පිවිසෙයි පහදියි, සිටියි, ඇලෙයි, ඔහුගේ ඒ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, රූපයන් කෙරෙන් මොනොවට නැඟී සිටියේ, මොනොවට මිදුණේ, වෙන් වූයේ වෙයි. රූප හේතුයෙන් යම් ආස්‍රව කෙනෙක් දුක් කෙනෙක් පරිදාහ කෙනෙක් උපදනාහු ද, හේ ඔවුන් කෙරෙන් මිදුණේ වෙයි. හේ ඒ කාම වේදනා ද විඝාතපරිදාහ වේදනා ද නොවිඳී. මෙය රූපයන්ගේ නිඃසරණයැ යි කියන ලදි.
ඇවැත්නි, තව ද සත්කායය (සංස්කාර ධර්‍ම) මෙනෙහි කරන ශුෂ්ක විදර්‍ශක රහත්හුගේ සිත සත්කායයයෙහි නො පිවිසෙයි, නො පහදී, නො සිටියි, නො ඇලෙයි. වැලි, සත්කාය නිරෝධය මෙනෙහි කරන ඔහුගේ සිත සත්කාය නිරෝධයෙහි (නිවනෙහි) පිවිසෙයි, පැහැදෙයි, රැඳී සිටියි, ඇලෙයි. ඔහුගේ ඒ සිත අරමුණෙහි මොනොවට ගියේ, මොනොවට වැඩුණේ, සත්කායය කෙරෙන් නැඟී සිටියේ, මොනොවට මිදුණේ, වෙන් වූයේ වෙයි. සත්කාය හේතුයෙන් යම් ආස්‍රව විඝාත පරිදාහ කෙනෙක් උපදනාහු ද, ඔවුන් කෙරෙන් හේ මිදුණේ වෙයි. හේ ඒ වේදනාව නො විඳී. මේ සත්කායයාගේ නිඃසරණයැ යි කියන ලදි. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය වූ ධර්‍ම පස යැ.
උත්පාදයිතව්‍ය ධර්‍ම පස කවර යැ? ඥාන පසක් ඇති සම්‍යක්සමාධිය යැ. මේ සමාධිය (අර්‍හත්‍ව ඵලසමාධිය සමවන් සමවන් කෙණෙහි සුව ගෙන දෙන බැවින්) වර්‍තමාන සැප විපාක ඇත්තේ ද (පළමු පළමු සමවන් සමාධිය මතු මතු සමාධීනට ප්‍රත්‍යය වන බැවින්) මත්තෙහි සැප විපාක ගෙනැ දෙන්නේ යැ යි තමා කෙරෙහි නුවණ උපදී. මේ සමාධිය ආර්‍ය්‍ය යැ (කෙලෙසුන්ගෙන් ඈත් ය), නිරාමිස යැ (කාමාමිස වට්ටාමිස ලෝකාමිස යන තුන් ආමිසයන්ගෙන් තොර යැ) තමා තුළැ ම නුවණ උපදී. මේ සමාධිය අලාමක පුරුෂයන් විසින් (බුදු පසේ බුදු රහතුන් විසින්) සෙව්නා ලදැ යි තමා තුළ ම නුවණ උපදී. මේ සමාධිය ශාන්ත යැ යි ප්‍රණීත යැ යි කෙලෙස් සංසිඳීමෙන් ලද්දේ යැ යි, එක් නිවන් අරමුණෙහි ම සිත පිහිටුවීමෙන් ලබන ලද්දේ යැ යි සසංස්කාර (ලෞකික සමාධි සෙයින් සප්‍රයෝග) සිතින් කෙලෙසුන් මැඩ වළක්වා ලත් පැවැතුම් නැත්තේ යැ යි තමා කෙරෙහි ම නුවණ උපදී. ඒ මම් වූ කලි සිහි ඇත්තෙම් ම මේ සමාධියට සමවදිමි, සිහි ඇත්තෙම් ම මේ සමාධියෙන් නැඟී සිටිමි යි තමා කෙරෙහි ම නුවණ උපදී. මේ උත්පාදයිතව්‍ය ධර්‍ම පස යැ.
අභිඥෙය ධර්‍ම පස කවර යැ? විමුක්ත්‍යායතන (මිදීමට කාරණ වූ ධර්‍ම) පස යැ: මෙහි මහණක් හට ශාස්තෘ තෙමේ හෝ ගුරු තන්හි සිටි සබ්රම්සරුවෙක් හෝ දහම් දෙස යි. ඇවැත්නි, ශාස්තෘ තෙමේ හෝ ගුරු තන්හි සිටි සබ්රම්සරුවෙක් හෝ යම් යම් සේ ඒ මහණහට දහම් දෙසා ද, ඒ ඒ පරිද්දෙන් හෙ තෙම ඒ ධර්‍මයෙහි අරුත් දැනගන්නේ ද වෙයි, පෙළ දැනගන්නේ ද වෙයි, අරුත් දන්නා පෙළ දන්නා ඔහුට ප්‍රමෝදය උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිතැත්තහුගේ නාම කය සංහිඳෙයි. සංහිඳුණු නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ පළමු විමුක්ත්‍යායතනය යැ.
තව ද ඇවැත්නි, ශාස්තෘ තෙමේ මහණකුට දහම් නො ම දෙසයි, ගුරු තන්හි වූ අන් සබරම්සරුවෙකුත් දහම් නො ම දෙසයි, එතෙකුදු වුවත් ඇසූ පරිදි පුහුණු කළ පරිදි ඒ ධර්‍මය විස්තර වශයෙන් අනුනට දෙසයි. ඇවැත්නි, මහණ තෙමේ යම් යම් සේ තමා ඇසූ පරිදි පුහුණු කළ පරිදි විස්තර වශයෙන් අනුනට දහම් දෙසන්නේ ද, එසේ එසේ හේ ඒ ධර්‍මයෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද, අරුත් දැනගන්නාවූ පෙළ දැනගන්නාවූ ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීත සිතැත්තහුගේ නාම කය සංහිඳේ. සංහිඳුණු නාම කය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ දෙවැනි විමුක්ත්‍යායතනය යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, ශාස්තෘ තෙමේ හෝ අන් කිසි ගුරු තන්හි වූ සබ්රම්සරුවෙක් හෝ මහණකුට දහම් නො ම දෙසයි. ඇසූ පරිදි පුහුණු කළ පරිදි අනුනට විස්තර වසයෙන් දහම් නො ද දෙසයි. එතෙකුදු වුවත් ඇසූ පරිදි, පුහුණු කළ පරිදි, ධර්‍මය විස්තරයෙන් ස්වාධ්‍යාය කෙරෙයි (පුන පුනා කියයි). ඇවැත්නි, යම් සේ යම් සේ මහණ තෙම ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය විස්තරයෙන් ස්වාධ්‍යාය කෙරෙයි ද, එසේ එසේ හේ ඒ දහමෙහි අරුත් දැනගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුටු වූවාහුට ප්‍රීතිය උපදී. ප්‍රීත සිතැත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ තෙවෙනි විමුක්ත්‍යායතනය යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, ශාස්තෘ හෝ ගුරු තන්හි සිටි කිසි සබ්‍රම්සරුවෙක් හෝ දහම් නො ම දෙසයි. ඇසූ පරිදි, පුහුණු පරිදි විස්තරයෙන් ධර්‍මය ස්වාධ්‍යයන ද නො ම කෙරෙයි. වැළි, ඇසූ පරිදි පුහුණු පරිදි ධර්‍මය සිතින් පුන පුනා කල්පනා කෙරෙයි. පුන පුනා විමසයි, සිතින් පුන පුනා සලකා බලයි. ඇවැත්නි, ඇසූ පරිදි පුහුණු පරිදි යම් යම් සේ ධර්‍මය සිතින් පුන පුනා කල්පනා කෙරෙයි ද, පුන පුනා විමසයි ද, පුන පුනා සිතින් සලකා බලයි ද, එසේ එසේ හෙ තෙමේ ඒ ධර්‍මයෙහි අරුත් දැන ගන්නේ ද පෙළ දැනගන්නේ ද වෙයි. අරුත් දැනගන්නා පෙළ දැනගන්නා ඔහුට සතුට උපදී. සතුටු වූවාහුට ප්‍රීතිය උපදී. ප්‍රීත සිතැත්තහුගේ නාම කාය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ සතරවන විමුක්ත්‍යායතනය යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, ශාස්තෘ හෝ ගුරු තන්හි සිටි කිසි සබ්රම්සරුවෙක් හෝ මහණහට නො ම දහම් දෙසයි, මහණ තෙම ඇසූ පරිදි, ප්‍රගුණ කළ පරිදි විස්තරයෙන් දහම් නො ද දෙසයි, ඇසූ පුහුණු කළ පරිදි විස්තර විසින් දහම ස්වාධ්‍යායනය ද නොම කෙරෙයි. ඇසූ පුහුණු කළ පරිදි ධර්‍මය සිතින් පුන පුනා නො ම කල්පනා කෙරෙයි, නො ම විමසයි, සිතින් පුන පුනා නො ද සලකා බලයි. වැළි දු ඔහු විසින් එක්තරා සමාධියෙක් (ගුරුහුගෙන් කමටහන් උගන්නා හා ම) මොනොවට උගන්නා ලද්දේ මොනවට මෙනෙහි කරන ලද්දේ ප්‍රඥායෙන් මොනොවට සලකා බලන ලද්දේ මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් යම් පරිද්දෙන් මහණහු විසින් එක්තරා සමාධියෙක් මොනොවට උගන්නා ලද්දේ, මොනොවට මෙනෙහි කරන ලද්දේ, ප්‍රඥායෙන් මොනොවට සලකා බලන ලද්දේ, මොනොවට පිළිවිදුනා ලද්දේ වෙයි ද, ඒ ඒ පරිද්දෙන් හෙ තෙම ඒ ධර්‍මයෙහි අරුත් දන්නේ ද පෙළ දන්නේ ද වෙයි. අරුත් දන්නා, පෙළ දන්නා ඔහුට සතුට උපදී. සතුටු වූවාහට ප්‍රීතිය උපදී. ප්‍රීති සිතැත්තහුගේ නාම කය සංසිඳේ. සංසුන් නාමකය ඇත්තේ සුව විඳී. සුව විඳුනාහුගේ සිත එකඟ වෙයි. මේ පස් වනු විමුක්ත්‍යායතනය යැ. මේ අභිඥෙය ධර්‍ම පස යැ.
සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම පස කවර යැ? ශීලස්කන්‍ධය, සමාධිස්කන්‍ධය, ප්‍රඥාස්කන්‍ධය, විමුක්තිස්කන්‍ධය, විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය යන ධර්‍මස්කන්‍ධ පස යැ. මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම පස යැ.
මෙසේ මේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ පනස් දහම්හු තථාගතයන් වහන්සේ විසින් තමන් ම මොනොවට වෙසෙසි නුවණින් අවබෝධ කරන ලද්දාහ.
ෂට්කය
7. බහුපකාර ධර්‍ම සයෙක … සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම සයෙකි.
බහුපකාර ධර්‍ම සය කවර යැ? සාරාණීය (සංරඤ්ජනීය) ධර්‍ම සය යැ: ඇවැත්නි, මෙහි මහණක්හුගේ මෛත්‍රී සහගත කායකර්‍මය සබ්රම්සරුවන් කෙරෙහි ප්‍රකට ව ද රහසේ ද එළැඹ සිටියේ වෙයි. මේ සාරාණීය ධර්‍මය ද ප්‍රිය කරන ප්‍රිය කටයුත්තකු කරන ගරුකරන ගරුකටයුතු කරන සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, අවිහිංසාව පිණිස, සමගිය පිණිස, එකමුතු බව පිණිස පවතී.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණහුගේ මෛත්‍රී සහගත වාක්කර්‍මය … එකමුතු බව පිණිස පවතී.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණහුගේ මෛත්‍රීසහගත මනඃකර්‍මය ... එකමුතු බව පිණිස පවතී.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණහට දැහැමි වූ, දැහැමින් ලැබුණු, යටත් පිරිසෙයින් පාත්‍රයට ප්‍රමාණ දෑ වූ ද යම් ලාභ කෙනෙක් වෙත් ද, එ බඳු වූ ලාභයන්ගෙන් අප්‍රතිවිභක්තභෝගී (අමිස වශයෙන් හෝ පුද්ගල වශයෙන් බෙදීමක් නැති ව යළදන්නෝ) වේ ද, සිල්වත් සබ්රම්සරුවන් හා සාධාරණ පරිභෝගයෙන් එය වළඳන්නේ වේ ද, මේ සාරාණීය ධර්‍මය ද, ප්‍රිය කරනු පිණිස ගරුකරනු පිණිස සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, නොවෙහෙස පිණිස, සමගිය පිණිස, එකමුතු බව පිණිස පවතී.
තව ද අනෙකෙක. ඇවැත්නි, අඛණ්ඩ වූ අච්ඡි දා වූ අසබල වූ (අකල්මාෂ වූ) භුජිශ්‍ය වූ නුවණැත්තන් විසින් පසස්නා ලද, අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා වු, යම් ශීලධර්‍ම කෙනෙක් ඇද්ද, මහණ තෙමේ එ බඳු වූ ශීලවිෂයෙහි සබ්රම්සරුවන් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද ශීලයෙන් සමාන බවට පැමිණියේ වෙසෙයි ද, මේ සාරාණීය ධර්‍මය ද … ඒකී භාවය පිණිස පවතී.
තව ද අනෙකෙක. ඇවැත්නි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ යම් දෘෂ්ටියෙක් එය පිළිපදනාහට මොනවට දුක් නැසෙනු පිණිස පවතී ද, මහණ තෙමේ එබඳු දෘෂ්ටියෙන් සබ්රම්සරුවන් හා ප්‍රකට ව ද අප්‍රකට ව ද දෘෂ්ටි සාමාන්‍ය ගත වැ (දෘෂ්ටියෙන් සමාන බවට පැමිණියෙක් වැ) වෙසෙයි ද, මේ සාරාණීය ධර්‍මය ද ප්‍රිය කරන ගරුකරන වෙයි, සංග්‍රහය පිණිස, අවිවාදය පිණිස, නොවෙහෙස පිණිස, ඒකී භාවය පිණිස, පවතී. මේ බහූපකාර ධර්‍ම සය යැ.
භාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්‍ම සය කවර යැ? බුද්ධානුස්මෘතිය, ධර්‍මානුස්මෘතිය, සංඝානුස්මෘතිය, ශීලනානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දේවතානුස්මෘතිය යන අනුස්මෘති ස්ථාන සය යැ. මේ භාවයිතව්‍ය ධර්‍ම සය යැ.
පරිඥේය ධර්‍ම සය කවර යැ? චක්‍ෂුරායතනය, ශ්‍රෝත්‍රායතනය, ඝ්‍රාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනආයාතනය යන ආධ්‍යාත්මික ආයතන සය යැ. මේ පරිඥේය ධර්‍ම සය යැ.
ප්‍රහාතව්‍ය ධර්‍ම සය යැ? රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්‍ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව, ධර්‍ම තෘෂ්ණාව යන තෘෂ්ණකාය සය යැ. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම සය යි.
හානභාගික ධර්‍ම සය කවර යැ? අගෞරව සය යැ: ඇවැත්නි, මෙහි මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි: ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි … ශික්‍ෂාව කෙරෙහි … අප්‍රමාදයෙහි … පිළිසඳර කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි. මේ හානභාගික ධර්‍ම සය යි.
විශේෂභාගික ධර්‍ම සය කවර යැ? ගෞරව සය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි. ධර්‍මය කෙරෙහි … සංඝයා කෙරෙහි … ශික්‍ෂාව කෙරෙහි … අප්‍රමාදයෙහි … පිළිසඳරෙහි ගෞරව ඇත්තේ, යටත් පැවැතුම් ඇත්තේ වෙසෙයි මේ විශේෂභාගික ධර්‍ම සය යැ.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම සය කවර යැ? නිඃසරනික ධාතු සය යැ ‘ඇවැත්නි, මා විසින් මෛත්‍රී චිත්තවිමුක්තිය භාවිතය, බහුලීකෘත ය, යානීකෘත ය, වාස්තුකෘත යැ, අනුත්‍ථිත යැ, පරිචිත යැ (පුරුදු කරන ලද්දේ යැ), සුසමාරබ්ධ යැ, එතෙකුදු වුවත් ව්‍යාපාදය මා සිත හාත්පසින් ගෙන සිටී යැ’ යි මෙසේ මෙහි මහණෙක් කියන්නේ නම්, ‘මෙසේ නො කියා වා, ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට දොස් නො නඟා වා, භාග්‍යවතුන් වහන්සේට දොස නැඟීම නො මැනවි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක, ඇවැත්නි, මෛත්‍රීචිත්ත විමුක්තිය භාවිත කල්හි, බහුලීකෘත කල්හි, යානීකෘත කල්හි, වාස්තුකෘත කල්හි, අනුත්‍ථිත කල්හි, පරිචිත කල්හි, සුසමාරබ් ධ කල්හි, එසේ කලැ ව්‍යාපාදය ඔහුගේ සිත හාසත්පසින් ගෙන සිටී යන යමෙක් ඇද්ද, ඇවැත්නි, මෙය නො කරුණෙක, අවකාශ නැත්තෙක, මේ කාරණය අවිද්‍යමාන යැ’යි ඒ මහණ තෙමේ කියැ යුතු (ඒ මහණහට කියනු සුදුසු යැ). කවර හෙයිනැ? ඇවැත්නි, මෛත්‍රී චිත්ත විමුක්තිය යන යමෙක් ඇද්ද මෙය ව්‍යාපාදයාගේ නිඃසරණය යැ, එහෙයිනි.
ඇවැත්නි, මා විසින් කරුණා චිත්තවිමුක්තිය භාවිත යැ, බහුලීකෘත යැ, යානි කෘත යැ, වාස්තුකෘත යැ, අනුත්‍ථිත යැ, පරිචිත යැ, සුසමාරබ්ධ යැ. එතෙකුදු වුවත් විහිංසාව මා සිත හාත්පසින් ගෙන සිටී යැ යි මෙහි මහණෙක් මෙසේ කියන්නේ නම්, ‘මෙසේ නො කියා වා, ආයුෂ්මත් තෙමේ මෙසේ නො කියාවා, භාග්‍යවතුන් වහන්සේට දොස් නො නඟා වා, භාග්‍යවතුන් වහන්සේට දොස් නැඟීම නො මැනැවි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේකැ …’ යි ඒ මහණ තෙමේ මෙසේ කියැ යුතු වන්නේ ය. කවර හෙයින? ඇවැත්නි, කරුණාචිත්තවිමුක්තිය යන යමෙක් ඇද්ද, මෙය විහිංසාවගේ නිඃසරණය යැ. එහෙයිනි.
ඇවැත්නි, ‘මා විසින් මුදිතා චිත්තවිමුක්තිය භාවිත යැ … එතෙකුදු වුවත් අරතිය මා සිත හාත්පසින් ගෙන සිටී යැ’ යි මෙහි මහණෙක් මෙසේ කියන්නේ නම්, ‘එසේ නො කියා වා, ආයුෂ්මත් තෙමේ එසේ නහමක් කියා වා ... යි හෙ තෙමේ මෙසේ කියැ යුතු වන්නේ ය. කවර හෙයින? ඇවැත්නි, මුදිතා චේතෝවිමුක්ති යන යමෙක් ඇද්ද, මෙය අරතියගේ නිඃසරණය යැ. එහෙයිනි.
ඇවැත්නි, ‘මා විසින් උපේක්‍ෂා චේතෝවිමුක්තිය භාවිත යැ … එතෙකුදු වුවත් රාගය මා සිත හාත්පසින් ගෙන සිටී යැ යි මෙහි මහණෙක් මෙසේ කියන්නේ නම්, ‘එසේ නො කියා වා’ ආයුෂ්මත් තෙමේ එසේ නහමක් කියා වා …’ යි මෙසේ ඒ මහණ තෙමේ කිය යුතු වන්නේ ය. ඒ කවර හෙයින? ඇවැත්නි, උපේක්‍ෂා චේතෝවිමුක්ති යන යමෙක් ඇද්ද, මෙය රාගයාගේ නිඃසරණය යැ. එහෙයිනි.
ඇවැත්නි, ‘මා විසින් අනිමිත්ත චේතෝවිමුක්තිය භාවිත යැ … එතෙකුදු වුවත් මගේ ඒ නුවණ (රාගනිමිත්තාදි) නිමිති අනුව යන්නේ වේ යැ’ යි කියන්නේ නම්, ‘එසේ නො කියා වා, ආයුෂ්මත් තෙමේ එසේ නහමක් කියා වා …’ යි මෙසේ ඒ මහණ තෙමේ කියැ යුතු වන්නේ ය. ඒ කවර හෙයින? ඇවැත්නි, අනිමිත්ත චේතෝවිමුක්ති යන යමෙක් ඇද්ද, මෙය සියලු නිමිතීන්ගේ නිඃසරණය යැ, එහෙයිනි.
ඇවැත්නි, ‘මම වෙමි’ යන මගේ අස්මි මානය පහ විය. ‘මේ මම වෙමි’ යි නො දකිමි. එතෙකුදු වුවත් මාගේ සැකය, කථංකථාශල්‍යය (කෙසේ ද කෙසේ දැ’ යි විමති කරන සැක හුල) හාත්පසින් මගේ සිත ගෙන සිටී’ යැ යි මෙසේ කියන්නේ නම්, ‘එසේ නො කියන්නැ, ආයුෂ්මත් තෙමේ එසේ නො කියා වා, භාග්‍යවතුන් වහන්සේට දොස් නො කියන්න, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නො මැනැව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක. ඇවැත්නි, ‘වෙමි’ යි අස්මිමානය පහ වූ කල්හි, මේ ‘මම් වෙමි’ යි නො දක්නාහට මෙසේ සැක ඇති වීම යන මෙය නො කරුණෙක. මෙය අවකාශ නැත්තෙක. එතෙකුදු වුවත් විචිකිච්ඡාව වූ කථංකථාසල්ලය ඔහු සිත හාත්පසින් ගෙන සිටින්නේ ය යන මේ කාරණය නැත, මෙය අවිද්‍යමාන ය. කවර හෙයින? යම් අස්මිමානකගේ මුල් සිඳීමෙක් වේ ද, මෙය විචිකිච්ඡා සංඛ්‍යාත කථංකථාසල්ලයාගේ නිඃසරණය වේ. එ හෙයිනි. මේ දුෂ්ප්‍රතිධ්‍යධර්‍ම සය යැ.
උත්පාදයිතව්‍ය ධර්‍ම සය කවර යැ? සතතවිහාර සය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම ඇසින් රුවක් දැක සතුටු ද නො ම වෙයි. නො සතුටු ද නො ම වෙයි, සිහි ඇත්තේ, නුවණින් දන්නේ, උපේක්‍ෂක ව ම වෙසෙයි. කනින් හඬක් අසා, … නැහැයෙන් ගඳක් අඝා … දිවින් රසක් විඳ … කයින් ස්ප්‍රෂ්ටව්‍යක් පැහැස … මනසින් දහමක් සිතා සතුටු ද නො ම වෙයි, නො සුතුටු ද නො ම වෙයි, සිහි ඇත්තේ නුවණින් දන්නේ උපේක්‍ෂක ව ද වෙසෙයි. මේ උත්පාදයිතව්‍ය ධර්‍ම සය යැ.
අභිඥෙය ධර්‍ම සය කවර යැ? අනුත්තරිය දර්‍ශනය, අනුත්තරිය ශ්‍රවණය, අනුත්තරිය ලාභය, අනුත්තරිය ශික්‍ෂාව, අනුත්තරිය පාරිචර්‍ය්‍යාව, අනුත්තරි අනුස්මෘතිය යන අනුත්තරිය සය යි. මේ අභිඥෙය ධර්‍ම සය යැ.
සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම සය කවර යැ? අභිඥා සය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නොයෙක් ඍද්ධිවිධ ලබයි … බඹ ලොව දක්වා ද කයින් වශය පවත්වයි. මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය ඉක්මි පිරිසිදු දිව කනින් දුරැ වූ ද ළඟැ වූ ද දිව්‍ය වූ ද මානුෂක වූ ද යන දෙ හඬ ම අසයි. රාග සහිත සිත රාග සහිත සිතැ යි … නො මිදුණු සිත නොමිදුණු සිතැ යි දනී. මෙසේ අන් සතුන්ගේ අන් පුඟුලන්ගේ සිත් සිය සිතින් පිරිසිඳ දනී. එක් ජාතියක් ද ජාති දෙකක් දැ … යි අනේකවිධ පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ ආකාර සහිත උද්දේස සහිත, අනේක විධ පූර්වේනිවාසය සිහි කරයි. මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ දැක්ක හැකි පිරිසිදු දිවැසින් … කම් වූ පරිදි මිය යන නැවත උපදනා සතුන් දැනගනී. ආස්‍රවයන්ගේ විනාශයෙන් ආස්‍රව රහිත වූ, චේතෝවිමුක්තිය ද (ඵල සමාධිය ද) ප්‍රඥා විමුක්තිය ද (ඵල ඥානය ද) මේ අත්බව්හි ම තෙමේ ම වෙසෙයි නුවණින් දැන පසක් කොට ලැබ වෙසෙයි. මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සය යැ.
මෙසේ මේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ මේ සැටෙක් ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට අවබෝධ කරන ලදුහ.
සප්තධර්‍මයෝ
8. බහූපකාර ධර්‍ම සතෙක, භාවයිතව්‍ය ධර්‍ම සතෙක, පරිඥේය ධර්‍ම සතෙක, ප්‍රහාතව්‍ය ධර්‍ම සතෙක, හානභාගිය ධර්‍ම සතෙක, විසේසභාගිය ධර්‍ම සතෙක, දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම සතෙක, උත්පාදයිතව්‍ය ධර්‍ම සතෙක, අභිඥෙය ධර්‍ම සතෙක, සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සතෙක.
බහූපකාර ධර්‍ම සත කවර යැ? ශ්‍රද්ධාධනය, ශීලධනය, හිරිධනය, ඔත්තප්පධනය, ශ්‍රැතධනය, ත්‍යාගධනය, ප්‍රඥාධනය යන ආර්‍ය ධන සත යැ. මේ බහූපකාර ධර්‍ම සත යැ.
භාවයිතව්‍ය ධර්‍ම සත කවර යැ? සතිසම්බොජ්ඣඞ්ගය, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය, විරියසම්බොජ්ඣඞ්ගය, පීතිසම්බොජඣඞ්ඝය, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය, සමාධිසම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යන සප්ත සම්බෝධ්‍යඞ්ඝයෝ යැ. මේ භාවයිතව්‍ය ධර්‍ම සත යැ.
පරිඥේය ධර්‍ම සත කවර යැ? විඥානස්ථිති සත යැ: ඇවැත්නි, මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද ඇතැම් විනිපාතිකයෝ දැ යි කායනානාත්‍වය (කයින් වෙනස් බව) ඇති, සංඥානානාත්‍වය (ප්‍රතිසන්‍ධිසංඥා වශයෙන් උනුනට වෙනස් බව) ද ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ පළමු වන විඥානස්ථිතිය යැ.
ඇවැත්නි, ලොවැ කල්පාරම්භසමයයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියෝ යම් සේ ද එසේ වූ කායනානාත්‍වය ඇති ප්‍රතිසන්‍ධි සංඥා ඒකත්‍වය ඇති (එක ම ව වර්‍ගයේ ප්‍රතිසන්‍ධි සිතින් උපන්) සත්‍ව කෙනෙක් ඇත. මේ දෙවෙනි විඥානස්ථිතිය යැ.
ඇවැත්නි, ආභාස්වර දෙවියන් සේ වූ, කායෛකත්‍වය (කයින් එක් බඳු බව) ඇති, සංඥානානාත්‍වය (ප්‍රතිසන්‍ධි සංඥාවගේ විවිධතාව) ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ තෙවෙනි විඥානස්ථිති යැ.
ඇවැත්නි, ශුභකෘත්ස්නක දෙවියන් සේ වූ කායෛකත්‍වය (කයින් එක් බඳු බව) ඇති, ප්‍රතිසන්‍ධිසංඥාවේ ද එක්බඳු බව ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ සතරවන විඥානස්ථිතිය යැ.
ඇවැත්නි, රූපසංඥා හැම ලෙසින් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥා දුරු වැ යෑමෙන්, නානාත්‍වසංඥා නොමෙනෙහි කිරීමෙන්, ආකාශප්‍රඥප්තිය අනන්ත යැ යි දැක, එහි සිත පිහිටුවා, ආකාසානඤ්චායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ පස්වැනි විඥානස්ථිතිය යැ.
ඇවැත්නි, හැම ලෙසින් ම අනන්ත වූ කසිණුග්ඝාටිමාකාස අරමුණ ඉක්මැ, විඥානය අනන්ත යැ යි ධ්‍යාන වඩා, විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සවැනි විඥානස්ථිතිය යැ.
ඇවැත්නි, හැම ලෙසින් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි බවා, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සත්වැනි විඥානස්ථිති ය යැ. මේ පරිඥේය ධර්‍ම සත යැ.
ප්‍රහාතව්‍ය ධර්‍ම සත කවර යැ? කාමරාගානුශය ය, ප්‍රතිඝානුශය ය, දෘෂ්ට්‍යනුශය ය, විචිකිත්සානුශය ය, මානානුශය ය, භවරාගානුශය ය, අවිද්‍යානුශය ය යන අනුශය සත යැ. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම සත යැ.
හානභාගික ධර්‍ම සත කවර යැ? ඇවැත්නි, මෙහි මහණෙක් ශ්‍රද්ධා නැත්තේ වෙයි ද, පවට ලජ්ජා නැත්තේ වෙයි ද, පවට බිය නැත්තේ වෙයි ද, අල්පශ්‍රැත වෙයි ද, කුසීත වෙයි ද, නටුවා වූ සිහි ඇත්තේ වෙයි ද, ප්‍රඥා නැත්තේ වෙයි ද (ඔහු කෙරෙහි වූ ඒ අශ්‍රද්ධාදීහු) අසද්ධර්‍ම සත යැ. මොහු හානභාගිය ධර්‍ම සත යැ.
විශේෂභාගික ධර්‍ම සත කවර යැ? සද්ධර්‍ම සත යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම ශ්‍රද්ධා ඇත්තේ වෙයි, පවට ලජ්ජා ඇත්තේ වෙයි, පවට බිය ඇත්තේ වෙයි, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ (බහුශ්‍රුත) වෙයි, වැඩූ වීර්‍ය්‍ය ඇත්තේ වෙයි, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි, ප්‍රඥා ඇත්තේ වෙයි. මේ සද්ධර්‍ම සත යැ. මොහු විශේෂභාගික ධර්‍ම සත යැ.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම සත කවර යැ? සත්පුරුෂ ධර්‍ම සත යැ: ඇවැත්නි, මෙහි මහණ ධර්‍මය දන්නේ ද වෙයි, අර්‍ත්‍ථ දන්නේ ද වෙයි, තමා දන්නේ ද වෙයි, පමණ දන්නේ ද වෙයි, කල් දන්නේ ද වෙයි, පිරිස දන්නේ ද වෙයි, පුඟුලන් දන්නේ ද වෙයි. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම සත යැ.
උත්පාදයිතව්‍ය ධර්‍ම සත කවර යැ? අනිත්‍යසංඥා, අනාත්මසංඥා, අශුභසංඥා, ආදීනව සංඥා, ප්‍රහාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, යන සංඥා සත යැ. මොහු උත්පාදයිතව්‍ය ධර්‍ම සත යැ.
අභිඥෙය ධර්‍ම සත කවර යැ? නිර්දශ වස්තු සත යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම ශික්‍ෂා සමාදානයෙහි දැඩි කැමැත්තේ, මත්තෙහි ද ධර්‍ම නිශාන්තියෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ඉච්ඡාවිනයයෙහි දැඩි කැමැත්තේ, මත්තෙහි ද ඉච්ඡාවිනයයෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ප්‍රතිසංල්ලයනයෙහි (එකලා වැ හිඳීමෙහි) දැඩි කැමැත්තේ, මත්තෙහි දු ප්‍රතිසංල්ලයනයෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි. කායික චෛතසික වීර්‍ය්‍ය පිරීමෙහි දැඩි කැමැත්තේ, මත්තෙහි වීර්‍ය්‍ය පිරීමෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. සිහියෙහිත් ස්ථානෝචිත ප්‍රඥායෙහිත් දැඩි කැමැත්තේ මත්තෙහි ද සිහියෙහිත් ස්ථානෝචිත ප්‍රඥායෙහිත් නොපහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි. දෘෂ්ටිප්‍රතිවේධයෙහි (මාර්‍ගදර්‍ශනයෙහි) දැඩි කැමැත්තේ, මත්තෙහි ද දෘෂ්ටිප්‍රතිවේධයෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. මේ අභිඥෙය ධර්‍ම සත යැ.
සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සත කවර යැ? ක්‍ෂීණාස්‍රව බල සත යැ: ඇවැත්නි, මෙහි ක්‍ෂීණාස්‍රව (රහත්) භික්‍ෂුහු විසින් සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් සම්‍යක්ප්‍රඥායෙන් තතු වූ පරිදි මොනොවට දක්නා ලද්දාහු වෙත්. යම් බලයක් නිසා රහත් මහණ ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ආස්‍රවයන්ගේ විනාශය පිළින කෙරෙයි ද මේ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
තව ද අනෙකෙක් ඇත. ඇවැත්නි, රහත් මහණහු විසින් කාමයෝ ගිනි අගුරු වළක් බඳු හ යි සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද්දාහු වෙත්. ඇවැත්නි, යම් බලයක් නිසා ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ... පිළිනකෙරෙයි ද මේත් රහත් මහණහුගේ බලයෙක් වෙයි .
තව ද අනෙකෙක . ඇවැත්නි, රහත් මහණහුගේ සිත විවේකයට (නිවනට) නැමුණේ, විවේකයට නතු වූයේ, විවේකයට බර වූයේ, විවේකයෙහි (නිවනෙහි) පිහිටියේ නෛෂ්කාම්‍යයෙහි (නිවනෙහි) ඇලුණේ, ආස්‍රවයනට කරුණු වූ දැයින් (ත්‍රෛභූමක සංස්කාර කෙරෙන්) හැම සැටියෙන් ම ඉවත් වූයේ වෙයි. ඇවැත්නි, යම් බලයක් නිසා ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ... පිළින කෙරෙයි ද, මේත් රහත් මහණහුගේ බලයෙක් වෙයි.
තව ද අනෙකෙක. ඇවැත්නි, රහත් මහණහු විසින් සතර සතිපට්ඨානයෝ භාවිත වෙත්, මොනොවට වඩන ලද්දාහු වෙත්. ඇවැත්නි, යම් බලයක් නිසා, ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ... පිළින කෙරෙයි ද, මේත් රහත් මහණහුගේ බලයෙක් වෙයි.
තව ද අනෙකෙක. ඇවැත්නි, රහත් මහණහු විසින් පංච ඉන්‍ද්‍රියෝ භාවිත වෙත්, මොනොවට වඩන ලද්දාහු වෙත්. ඇවැත්නි, යම් බලයක් නිසා, ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ... පිළින කෙරෙයි ද, මේත් රහත් මහණහුගේ බලයෙක් වෙයි.
තව ද අනෙකෙක. ඇවැත්නි, රහත් මහණහු විසින් සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත්, මොනොවට වඩන ලද්දාහු වෙත්. ඇවැත්නි, යම් බලයක් නිසා … ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි පිළින කෙරෙයි ද, මේ ද රහත් මහණහුගේ එක් බලයෙක් වෙයි.
තව ද අනෙකෙක. ඇවැත්නි, රහත් මහණහු විසින් අරි අටැඟි මඟ භාවිත වෙයි, මොනොවට වඩන ලද්දේ වෙයි. යම් බලයක් නිසා රහත් මහණ ‘මගේ ආස්‍රවයෝ නටහ’ යි ආස්‍රවක්‍ෂයය (රහත් බව) පිළින කෙරෙයි ද, මේ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සත යැ.
මෙසේ භූත (සත්‍ය) වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ සැත්තෑවෙක් ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට විශිෂ්ටඥානයෙන් දන්නා ලදුහ.
අෂ්ට ධර්‍මයෝ
9. බහූපකාර ධර්‍ම අටෙක, … සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම අටෙක.
බහූපකාර ධර්‍ම අට කවර යැ? අට දෙනෙක් හේතුහු අට දෙනෙක් ප්‍රත්‍යයයෝ නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාවගේ (මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට හෙවත් අරි අටැඟි මඟට පූර්‍වභාගයෙහි වූ තරුණ ශමථ විදර්‍ශනා ප්‍රඥාවගේ) ලැබීම පිණිස ද, ලත් එකී ප්‍රඥාවගේ වැඩීම පිණිස, මහත් බව පිණිස, භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස පවතිත්. කවර අට දෙනෙක් ද යත්:
ඇවැත්නි, මෙහි මහණ තෙම, යමක්හු කෙරෙහි ඔහුගේ දැඩි හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, ප්‍රේමයත් ගෞරවයත් එළැඹ සිටියේ වේ ද, එසේ වූ ශාස්තෲන් වහන්සේ හෝ ගුරු තන්හි වූ එක්තරා සබරම් සරුවක්හු හෝ ඇසුරු කොට වෙසෙයි. මේ පළමු හේතුව, මේ පළමු ප්‍රත්‍යය නොලත් ආදි බ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාවගේ ලැබීම පිණිසත් ලත් එකී ප්‍රඥාවගේ වැඩීම පිණිසත් මහත් බව පිණිසත් භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිසත් පවතී.
මහණ තෙමෙ, යමක්හු කෙරෙහි ඔහුගේ හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, ප්‍රේමයත් ගෞරවයත් එළැඹ සිටියාහු වෙත් ද, එසේ වූ ශාස්තෲන් වහන්සේ හෝ ගුරු තන්හි වූ එක්තරා සබරම් සරුවකු හෝ ඇසුරු කොට වෙසෙයි, කලින් කලැ ඔවුන් කරා එළැඹැ, ‘වහන්ස, මෙය කෙසේ ද? මෙහි අරුත් කිම් දැ’ යි පුනපුනා විචාරයි, පුනපුනා ප්‍රශ්න කෙරෙයි. ඒ ආයුෂ්මත්හු ඔහුට හෙළි නො වූ දෑ හෙළි කෙරෙත්, අප්‍රකට දෑ ප්‍රකට කෙරෙත්, නොයෙක් අයුරු සැකයට කරුණු වූ දහම්හි සැක දුරැලත්. මේ හේතුව, මේ ප්‍රත්‍යයය වනාහි නො ලත් ආදී බ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස ද ලත් එකී ප්‍රඥාව වැඩෙනු පිණිස මහත්වනු පිණිස, භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස ද පවතී.
ඒ ධර්‍මය අසා කායවිවේකයෙන් ද චිත්තවිවේකයෙන් ද යන විවේක දෙකින් එය සම්පාදනය කෙරෙයි. මේ තුන්වැනි හේතුව තුන්වැනි ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස පවතී.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමෙ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් හැවුරුණේ, ආචාරගෝචර සම්පන්න වූයේ, ස්වල්පමාත්‍ර ද වරදෙහි බිය දක්නා සුලු වූයේ, සිල්වත් වෙයි. සමාදන් කොට ගෙන ශික්‍ෂාපදයන්හි හික්මෙයි. මේ සතරවන හේතුව, සතරවන ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස මහත් වනු පිණිස භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස පවතී.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ බහුශ්‍රුත (බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ) වෙයි, ශ්‍රැතධර (ඇසූ දෑ සිතින් දරන්නේ) වෙයි, ශ්‍රැතසන්නිචය (ඇසූ දෑ සිතැ රැස් කොට ගෙන සිටිනුයේ) වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්‍ත්‍ථ සහිත වූ ව්‍යංජන සහිත වූ යම් ධර්‍ම කෙනෙක් හැම ලෙසින් පරිපූර්‍ණ වූ පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙත් ද, එසේ වූ ධර්‍මයෝ ඔහු විසින් බොහෝ සෙයින් අසන ලද්දාහු ද සිතින් දරන ලද්දාහු ද වචනයෙන් පුරුදු කරන ලද්දාහු ද සිතින් යලි යලි බලන ලද්දාහු ද දෘෂ්ටියෙන් (ප්‍රඥායෙන්) මොනොවට පිළිවිදුනා ලද්දාහු ද වෙත්. මේ පස්වැනි හේතුව, පස්වැනි ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස ද ලද්දාහු වැඩෙනු පිණිස මහත් වනු පිණිස භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස ද පවතී.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ අකුසල් දහමුන් බැහැරැ කරනු පිණිස, කුසල් දහම් සැපයෙනු පිණිස ශක්ති ඇත්තේ දැඩි වීර්‍ය්‍ය ඇත්තේ කුසල් දහම්හි නො බහා තැබූ ධුර (වීර්‍ය්‍ය) ඇත්තේ කරන ලද වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. සවැනි හේතුව, සවැනි ප්‍රත්‍යයය නො ලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස පවතී.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ උතුම් සිහි නුවණින් සමන්‍විත වූයේ, බොහෝ කලකට පෙරැ කළ දෑ ද බොහෝ කලකට පෙරැ කී දෑ ද සිහිකරන්නේ අනුස්මරණය කරන්නේ සිහි ඇත්තේ වෙයි. මේ සත්වැනි හේතුව, සත්වැනි ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස පවතී.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ‘රූපය මෙසේ යැ, රූපය හටගන්නා හේතුව මෙසේ යැ, රූපය නැසී යෑම මෙසේ යැ, වේදනාව මෙසේ යැ, වේදනාව හටගන්නා හේතුව මෙසේ යැ, වේදනාව නැසී යෑම මෙසේ යැ, සංඥාව මෙසේ යැ, සංඥාව උපදනා හේතුව මෙසේ ය, සංඥාව නැසී යෑම මෙසේ යැ, සංස්කාරයෝ මෙසේ ය, සංස්කාරයන් උපදනා හේතුව මෙසේ යැ, සංස්කාරයන් නැසී යෑම මෙසේ යැ, විඥානය මෙසේ යැ, විඥානය උපදනා හේතු මෙසේ යැ, විඥානය නැසී යෑම මෙසේ යැ යි උපාදානස්කන්‍ධ පසෙහි ඉපැත්මත් නැස්මත් අනුව බලනසුලු ව වෙසෙයි. මේ අටවැනි හේතුව අටවැනි ප්‍රත්‍යයය නොලත් ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ප්‍රඥාව ලබනු පිණිස, ලද්දාහු වැඩෙනු පිණිස, මහත් වනු පිණිස, භාවනායෙන් පරිපූර්‍ණ වනු පිණිස පවතී. මේ බහූපකාර ධර්‍ම අට යැ.
භාවයිතව්‍ය ධර්‍ම අට කවර යැ? ආර්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යැ. එය මෙසේ යැ: සම්‍යග් දෘෂ්ටිය, සම්‍යක් සඞ්කල්පය, සම්‍යග් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන අට යැ. මේ භාවයිතව්‍ය ධර්‍ම අට යැ.
පරිඥේය ධර්‍ම අට කවර යැ? ලාභය ද අලාභය ද අයශස ද යශස ද නින්‍දාව ද ප්‍රශංසාව ද සුව ද දුක ද යන අටලෝදහම් යැ. මේ පරිඥේය (පිරිසිඳැ දත යුතු) ධර්‍ම අට යැ.
ප්‍රහාතව්‍ය ධර්‍ම අට කවර යැ? මිථ්‍යාදෘෂ්ටිය, මිථ්‍යාසඞ්කල්පය, මිථ්‍යාවචනය, මිථ්‍යාකර්‍මාන්තය, මිථ්‍යාආජීවය, මිථ්‍යාව්‍යායාමය, මිථ්‍යාස්මෘතිය, මිථ්‍යාසමාධිය යන මිථ්‍යාත්‍ව අට යැ. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම අට යැ.
හානභාගික ධර්‍ම අට කවර යැ? කුශීදවස්තු අට යැ: ඇවැත්නි, මෙහි මහණක්හු විසින් (කුදුමහත්) කටයුත්තක් කළ යුතු වෙයි. ‘මා විසින් කටයුත්තක් කළ යුතු වන්නේ ය. ඒ කටයුත්ත කරන මගේ කය වෙහෙසෙන්නේ ය. එ බැවින් දැන් මම් සැතපෙමි’ යි ඔහුට මෙසේ සිත් වෙයි. හේ වැදහෙයි. නොපැමිණි (ධ්‍යානාදියකට) පැමිණීමට, නොලත් ධ්‍යානාදියක් ලබනුවට, සාක්‍ෂාත් නො කළ (ධර්‍මයක්) සාක්‍ෂාත් කරනුවට වීර්‍ය්‍ය නො කෙරෙයි. මේ පළමු වන කුශීදවස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් (කුදු මහත්) කටයුත්තෙක් කරන ලදුයේ වෙයි. ‘මම් වනාහි කටයුත්තක් කෙළෙමි, කර්‍මය (ඒ කටයුත්ත) කරන මගේ කය වෙහෙසුණේ ය. එබැවින් මම් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි, … වීර්‍ය්‍ය නො කෙරෙයි. මේ දෙවෙනි කුශීද වස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟ යෑ යුතු වෙයි. ‘මා විසින් මඟ යෑ යුතු වන්නේ ය, මඟ යන මගේ කය වෙහෙසෙන්නේ ය, එබැවින් දැන් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි. … වීර්‍ය්‍ය නො කෙරෙයි. මේ තෙවෙනි කුශීද වස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟ යන ලදුයේ වෙයි. ‘මම මඟ ගියෙමි මඟ යන මගේ කය වෙහෙසිණ. එබැවින් දැන් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි. … වීර්‍ය්‍ය නො කෙරෙයි. මේ සතරවැනි කුශීද වස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙම ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස හැසිරෙනුයේ කැමැති තාක් රූක්‍ෂ හෝ ප්‍රණීත බොජුනක් කුස පුරා නො ලබයි. ‘මම් ගමැ, හෝ නියම්ගමැ පිඬු පිණිස හැසිරෙනුයෙම් කුස පුරා රූක්‍ෂ හෝ ප්‍රණීත බොජුනක් නො ලදිමි. ඒ මගේ කය ක්ලාන්ත යැ. අකර්‍මණ්‍ය යැ. එබැවින් මම් දැන් වැදැහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි … මේ පස් වන කුශීද වස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙම ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස හැසිරෙනුයේ, කැමැති තාක් රූක්‍ෂ හෝ ප්‍රණීත වූ කුසපුරා අහරක් ලබයි. ‘මම් ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස හසිරෙනුයෙම්, රූක්‍ෂ හෝ ප්‍රණීත අහරක් කැමැති තාක් කුස පුරා ලදිමි. ඒ මගේ කය බර යැ, අකර්‍මණ්‍ය යැ, දියෙන් පෙඟුණු මෑ බඳු යැ. එබැවින් දැන මම් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. … හේ වැදහෙයි. මේ සවන කුශීද වස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණකුට ස්වල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. වැදහෝනට සුදුසු බව ඇත. එබැවින් මම වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි … මේ සත් වැනි කුශීදවස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ගිලන් බැවින් නැඟී සිටියේ, ගිලන් බැවින් නැඟීසිටි නොබෝ කල් ඇත්තේ වෙයි. ඔහුට ‘මම් වනාහි ගිලන් බැවින් නැඟීසිටියෙම්, ගිලන්බැවින් නැගීසිටි නොබෝ කල් ඇතියෙම් වෙමි. ඒ මගේ කය දුබල ය, අකර්‍මණ්‍යය, වැද හෝනට සුදුසු බව ඇත. එබැවින් මම වැදහෙමි’ යි මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි ... මේ අටවන කුශීද වස්තුව යැ. මේ හානභාගික ධර්‍ම අට යැ.
විශේෂභාගික ධර්‍ම අට කවර යැ? ආරම්භ වස්තු (වීර්‍ය්‍යයට කරුණු) අට යැ. ඇවැත්නි, මහණක්හු විසින් කටයුත්තෙක් කළ යුතු වෙයි. ‘මා විසින් වූ කලි කටයුත්තෙක් කළ යුතු වන්නේ ය. කටයුත්තක් කරන මා විසින් බුදුරජුන්ගේ සසුන මෙනෙහි කරන්නට නො හැක්ක. එ හෙයින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩමි’යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩයි. මේ පළමුවන ආරම්භවස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් කටයුත්තෙක් කරන ලද්දේ වෙයි. ‘මම් වූ කලි කටයුත්තක් කෙළෙමි. මම් කටයුත්ත කරනුයෙම්, බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට නො හැකි වීමි. එහෙයින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීමට, පසක් නොකළ ධ්‍යානාදි පසක් කිරීමට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීමට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කිරීමට වැර වඩයි. මේ දෙවෙනි ආරම්භවස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟෙක් යෑ යුතු වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි: මා විසින් මඟෙක් යෑ යුතු වෙයි. මඟ යන මා විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට පහසු නො වේ. එබැවින් මම් … වැර වඩමි … මේ තෙවෙනි ආරම්භවස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟෙක් යන ලදුයේ වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි: ‘මම් වූ කලි මඟක් ගියෙමි. මඟ යන මම් බුදුරජුන් සස්න මෙනෙහි කරන්නට නො හැකි වීමි. එහෙයින් මම් වැර වඩමි. මේ සතර වන ආරම්භවස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඬු පිණිස සරනුයේ, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලබයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මම් වූ කලි ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස සරනුයෙම්, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලදිමි. ඒ මගේ කය හෑල්ලු යැ. කර්‍මණ්‍ය යැ. එබැවින් මම් වැර වඩමි යි වැර වඩයි. මේ පස් වන ආරම්භවස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඬු පිණිස සරනුයේ, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලබයි. ඔහුට ‘මම් වූ කලි ගමැ හෝ නියම් ගමැ හෝ පිඬු පිණිස සරනුයෙම්, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලදිමි. ඒ මගේ සිරුර ශක්තිමත් යැ, කර්‍මණ්‍ය යැ. එබැවින් මම් වැර වඩමි’ යි … වැර වඩයි. මේ සවන ආරම්භවස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණකුහට අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. ඔහුට ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ ම වෙයි. මගේ ආබාධය වැඩෙන්නේ ය යන යමෙක් ඇද්ද, මෙ කරුණ විද්‍යමාන යැ. එබැවින් මම් වැර වඩමි’ යි … වැර වඩයි. මේ සත්වන ආරම්භක වස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගිලන් බැවින් නැඟී සිටියේ, ගිලන් බැවින් නැඟී සිටි නොබෝ කල් ඇත්තේ වෙයි. ඔහුට ‘මම් වූ කලි ගිලන් බැවින් නැඟී සිටියෙමි, ගිලන් බැවින් නැඟී සිටි නොබෝකල් ඇත්තෙම් වෙමි. මගේ මේ ආබාධය වටාලා නැඟී එන්නේ ය යන යමෙක් ඇද්ද, මෙ කරුණ විද්‍යමාන යැ. එබැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩමි’ යි මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩයි. මේ අටවන ආරම්භක වස්තුව යැ.
මොහු විශේෂභාගික ධර්‍ම අට යැ.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම අට කවර යැ? බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට (මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාව වැඩීමට) නොහැකි කාල වූ අක්‍ෂණ අටෙක: ඇවැත්නි, මෙහි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ උපන්සේක් වෙති, කෙලෙස් සංසිඳුවන, කෙලෙස් පිරිනිවන ගෙන දෙන, මාර්‍ගඥානප්‍රතිවේධයට යන, සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. එහෙත් මේ පුද්ගල තෙම නිරයට පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ පළමු වන අක්‍ෂණය යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගත්යන් වහන්සේ ලොවැ උපන්සේක් වෙති. කෙලෙස් සංසිඳුවන, කෙලෙස් පිරිනිවන ගෙන දෙන, මාර්‍ගඥාන ප්‍රතිවේධයට යන, සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. එහෙත් මේ පුද්ගල තෙමේ තිරශ්චීනයෝනියට (උත්පත්ති වශයෙන්) පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ දෙවෙනි අක්‍ෂණය යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි … ප්‍රේතලෝකයට (උත්පත්ති වශයෙන්) පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ තෙවෙනි අක්‍ෂණ යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, … දීර්‍ඝායුෂ්ක දේව නිකායයකට (උත්පත්ති වශයෙන්) පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමය වූ සතර වන අක්‍ෂණය යැ.