Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 401-500 න් 5108

ඉක්බිත්තෙන් වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන් වැ උනස්නෙන් නැඟිට පැදකුණු කොට නික්මැ ගියේ ය.
87. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ නික්මැ ගිය නොබෝ වේලායෙහි භික්‍ෂූන් අමතා, “මහණෙනි, මේ රජ සිය පියා නැසීමෙන් කළ කර්‍මාපරාධයෙන් උදුරාලූ උපනිඃශ්‍රය සම්පත් නැමැති මුල් ඇත්තේ ඉදුරුණේ වෙයි. එහෙයින් ම (නටුවා වූ ප්‍රතිෂ්ඨා ඇත්තෙන්) නටුයේ වෙයි. මහණෙනි, ඉදින් මේ රජ දැහැමි වූ, දැහැමෙන් රජ බවට පැමිණි පියා ජීවිතයෙන් තොර නො කෙළේ වී නම්, මේ අස්නෙහි ම (මෙතන්හි දි ම) රාගාදි කෙලෙස් රජස් රහිත, පහ වූ කෙලෙස් මල ඇති දහම් ඇස (සෝවාන්මඟනැණ) මොහුට පහළ වූයේ වනැ”යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එ මහණහු සතුටු සිතැත්තෝ උන්වහන්සේගේ වචන පිළිගත්හ.
දෙවෙනි වූ ශ්‍රාමණ්‍යඵල සූත්‍රය නිමියේ ය.
අම්බට්ඨ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් බික්සඟන හා කොසොල් රටැ සැරි සරණ සේක්, කොසොල් රැටියන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණු ගමට වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල ගමට නොදුරෙ හි වූ ඉච්ඡානඞ්ගල වනලැහැබෙහි වැඩ වසන සේක.
2. එ සමයෙහි වනාහි පොක්ඛරසාති නම් බමුණු තෙමේ බහුජනාකිර්‍ණ වූ, තණ දඬු දිය යන මෙයින් යුක්ත වූ, බොහෝ ධාන්‍ය ඇති, රජහු කෙරෙන් ලත් තමාගේ පරිභෝග වස්තුව වූ, රජහුගේ දායාද්‍යය(දානය) වූ බ්‍රහ්මදේයය වූ, (රාජස්වරූපයෙන් පරිභෝග කටයුතු වූ), පසේනදී කොසොල් රජුහු දුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ උක්කට්ඨා නුවරැ වෙසෙයි. හෙ තෙමේ (රටෙහි පැතිරැ ගිය) මතු දැක්වෙන කථාව ඇසී ය:
“භවත්නි, ශාක්‍යපුත්‍ර වූ, ශාක්‍යකුලයෙන් නික්මැ පැවැදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වනාහි භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහබික්සඟන හා කොසොල් රටැ සැරි සරන සේක්, කොසොල්රැටියන්ගේ ඉච්ඡානඞ්ගල නම් ගමට වැඩි සේක්, එයට නොදුරෙහි වූ ඉච්ඡානඞ්ගල වන ළෑහැබෙහි වසන සේක. ඒ භාගවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත නම්හ, ලෝකවිත් (ලොව දන්නා)හ, නිරුත්තර පුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත මේ සත්ත්‍වවර්‍ගයා, තමන් ම සිය විශිෂ්ට නුවණින් දැන පසක් කොට, දන්වන සේක. ‘උන් වහන්සේ ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ, (සතිපට්ඨානාදි) මනා අර්‍ත්‍ථ ඇති, මනා (සම්පූර්‍ණ) ව්‍යංජන ඇති, සර්‍වාකාර පරිපූර්‍ණ, පිරිසිදු ධර්‍මය දෙසන සේක. එසේ දෙසන්නෝ ද (අධිශීල අධිචිත්ත අධිපඥා යන ත්‍රිශික්‍ෂායෙන් සංගෘහිත වූ)සකල ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය පවසන සේක. එබඳු රහතුන් දැක්ම වූ කලී හිත වැඩ ගෙනැ දෙන්නෙකැ’යි ඒ භගවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ වූ භද්‍ර වූ කීර්ත්තිශබ්දයෙක් උස් වැ නැංගේ වේ” යනුයි.
3. එසමයෙහි වූ කලි පොක්ඛරසාති බමුණාට වේද හදාරන, වේදයන් මුඛපාඨයෙන් දරන, නිඝණ්ටු කෙටුභශාස්ත්‍ර සහිත අක්‍ෂර ප්‍රභේද (ශික්‍ෂා හා නිරුක්ති) සහිත, ඉතිහාසය පස්වනු කොටැති ත්‍රිවේදයන්ගේ පරතෙර පත්, පදපාඨ දන්නා, තදන්‍ය සියලු ව්‍යාකරණ ද දන්නා, ලෝකායතශාස්ත්‍රයෙහිත් මහා පුරුෂලක්‍ෂණශාස්ත්‍රයෙහිත් නිපුණ වූ, ඇදුරන් විසින් උගන්වන ලද තිවිද්‍යා සංඛ්‍යාත ශ්‍රේෂ්ඨවචනයෙහි, ‘මා දන්නා සියල්ල තෝ දනිහි’ යැ යි ගුරුහු විසින් අනුදන්නා ලද, ‘ඔබ දන්නා සියල්ල මම් දනිමැ’යි තමා විසින් කරන ලද ප්‍රතිඥා ඇති අම්බට්ඨ නම් මාණවකයෙක් අතැවැසි වෙයි.
4. ඉක්බිති පොක්ඛරසාති බමුණු තෙම අම්බට්ඨ මාණවකයා බණවා මෙ සේ කී ය: “දරුව අම්බට්ඨය, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මැ පැවිදි වූ මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහ බික්සඟන හා කොසොල් රටැ සැරි සරන සේක්, ඉච්ඡානංගලයට පැමිණියෝ එයට නොදුරැ වූ ඉච්ඡානංගල වන ළැහැබෙහි වසන සේක.”
“මෙසේ මෙසේ ඒ භාග්‍යයවතුන් වහන්සේ අර්‍හත්හ, ... සම්‍යක්සම්බුද්ධයහ, … බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරන සේක. එබඳු රහතුන් දැක්ම හිත වැඩ ගෙන දෙන්නෙකැ’යි ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙසේ වූ කීර්ත්තිශබ්දයෙක් උස් වැ නැංගේ වේ.”
දරුව අම්බට්ඨය, එන්නැ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කරා එළැඹෙන්නැ. එළැඹැ, “ඒ භාග්‍යවතුන් වහන්සේගේ එසේ විද්‍යාමාන වූ ම ගුණ පිළිබඳ කීර්තිශබ්දයෙක් නැංගේ වේ ද? නැතහොත් එසේ විද්‍යාමාන නොවූ ගුණ පිළිබඳ හඬෙක් නැංගේ වේ ද? ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳු ම ද? නැතහොත් එබඳු නො වෙත් දැ?” යි ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැනැ ගන්නැ. එසේ අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැන ගන්නමු” යනුයි.
5. “භවත, ඒ භවත් ගෞතමයන් වහන්සේගේ එසේ විද්‍යාමාන වූ ගුණ පිළිබඳ කීර්තිශබ්දයෙක් නැංගේ වේ ද? නැත හොත් එසේ විද්‍යාමාන නොවූ ගුණ පිළිබඳ හඬෙක් නැංගේ වේ ද? ඒ භවත් තමයන් වහන්සේ එබඳු ම ද? නැත හොත් එබඳු නො වෙත් දැ’යි මම් කෙසේ නම් දැන ගත හෙන්නෙම් ද ?”යි (අම්බට්ඨ මාණවකයා කීය.)
6. “දරුව අම්බට්ඨය, යමෙකින් සමන්‍විත මහාපුරුෂයක්හට නිෂ්ඨා දෙකක් ම විනා එයින් අනෙකක් නැත් ද, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් දැහැමි වූ, දැහැමෙන් ම රජය ලත්, සිවු මුහුදු හිම් කොට ඇති සතර මහද්වීපයෙන් සැදුණු මුළු පොළවට අධිපති, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්‍විත සක්විති රජෙක් වන්නේ ද, සක්රුවන ය, ඇත්රුවන ය, අස්රුවනය, මිණිරුවන ය, ඉතිරිරුවන ය, ගැහැවිරුවන ය, සත්වන පිරිනාරුවන ය, යන මේ සත්රුවන් කෙනෙක් යම් ඒ රජෙක් හට ඇත් ද, දහසකටත් වැඩි ශූර වූ (නොබාන සුලු), දෙව් කුමරුන් වැනි සිරුරු ඇති, සතුරු සෙන් මඩනට සමත් වූ, පුත්හු ඇත් ද, යම් ඒ මහාපුරිස්ලකුණින් යුත් හේ සයුර හිම් කොටැති මේ පොළොව දංඩෙන් සැතින් වෙන් වැ (පන්සිල්) දහමෙන් වෙසෙසින් දිනා එයට අධිපති වැ වෙසේ ද; -
ඉදින් යම් මහපුරිස්ලකුණු කෙනකුන්ගෙන් සමන්‍විත හේ ගිහිගෙන් නික්මැ පැවිදි වදනේ නම් නැසූ පව් සෙවෙණි ඇති (නොහොත් ත්‍රිවර්‍ගයෙන් හා තුන් සෙවෙණියෙන් මිදුණු) අර්‍හත් සම්‍යක්සම්බුද්ධෝත්තමයෙක් වන්නේ ද, දරුව අම්බට්ඨ ය, එසේ වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෝ අපගේ වේදයෙහි ආවහු ම ය. දරුව අම්බට්ඨ ය, මම වනාහි මන්ත්‍ර (වේද) දෙන (=උගන්වන) තැනැත්තෙම් වෙමි. තෝ මන්ත්‍ර පිළිගන්නා තැනැත්තෙහි” (යයි පොක්ඛරසාති තෙම කී ය.)
“පින්වත්නි, (යම්සේ තෙපි කියවු නම්) එසේ කරන්නෙමි” යි අම්බට්ඨ මාණවකායා පොක්ඛරසාති බමුණාට පිළිවදන් දී, හුනස්නෙන් නැගී සිටැ, ඔහු සකසා වැඳ පැදකුණු කොට වෙළඹුන් යෙදූ රියක් නැඟ බොහෝ මාණවකයන් හා ඉච්ඡානංගල වනළැහැබ බලා නික්මුණේ ය. යානයට බිම් යම් පමණෙක් ද එතෙක් (යානයෙන් යෑ හැකි තාක් ) යානයෙන් ගොස් එයින් බැස පාගමන් ඇතියේ ම (පයින් ම) ආරාමයට පිවිසියේ ය.
7. එසමයෙහි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි සක්මන් කෙරෙත්. ඉක්බිති අම්බට්ඨ මාණවක තෙමේ ඒ භික්‍ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඒ භික්‍ෂූන්ගෙන් ‘භවත්නි, ඒ භවත් ගෞතමයෝ දැන් කොහි වසනන්නෝ ද? අපි වූ කලි ඒ භවද් ගෞතමයන් දක්නා පිණිස මෙහි එළැඹියම්හ’ යි මෙය කී ය.
8. එකල්හි ඒ භික්‍ෂූන්හට “මේ අම්බට්ඨ මාණවකයා වූ කලි ප්‍රකට කුලයෙක උපන්නෙක් ද ප්‍රසිද්ධ පොක්ඛරසාති බමුණාගේ අතැවැස්සෙක් ද වේ. මෙබඳු කුලපුතුන් හා කතාබස් කිරීම භාග්‍යවතුන් වහන්සේට බරෙක් නම් නො වේ ම යැ”යි මේ සිත විය. ඔහු අම්ට්ඨ මාණවකයාට “අම්බට්ඨය, මේ වැසූ දොර ඇතියේ විහාරය යි. නිශ්ශබ්ද වැ එතැනට ගොස්, සෙමෙන් පිලට පිවිස කාරා අගුල ළඟට නියපිටින් ගසව. (එවිට) භාග්‍යවතුන් වහන්සේ දොර හරනා සේකැ”යි කීහ.
9. එවිට අම්බට්ඨ මාණවක තෙම වැසූ දොර ඇති ඒ වෙහෙරට නිහඬ වැ එළැඹ සෙමෙන් ගඳකිළි පිලට වැද කාරා අගුල සමීපයට නිය පිටින් ගැසී ය. (එවිට) භාග්‍යවතුන් වහන්සේ දොර හළ සේක. අම්බට්ඨ මාණවක තෙමේ (විහාරයට) පිවිසියේ ය. මාණවකයෝ ද පිවිසැ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ සිහි කරනුවට (සිතැරදවනුවට) නිසා වූ කතා බස් අවසන් කොට, එක් පසෙක හිඳැ ගත්හ. අම්බට්ඨ මාණවකයා වූ කලි තෙමේ සක්මන් කෙරෙමිනුත් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ හා යම් යම් කිසි සාරාණීය කථා කෙරෙයි, සිටැ ගෙනත් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ හා යම් යම් සාරාණීය කථා කෙරෙයි.
10. එකලැ භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා බණවා, “අම්බට්ඨය, යම්සේ යමිනුත් සිටිමිනුත් තෝ හුන් මා හා කිසි යම් සාරාණීය කථා කෙරෙහි නම් තගේ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය වූ, වයසින් වැඩී සිටි, මහලු බමුණන් හාත් එපරිද්දෙන් ම තගේ කතා බස් කිරීම වේ දැ?” යි ඇසූ සේක.
(එවිටැ අම්බට්ඨ මාණවක තෙම) “භවද් ගෞතමය, එසේ නොවේ ම ය. යන බමුණහු යන බමුණක්හු හා ම කතා කරනු හෝ වටී. සිටි බමුණහු සිටිනා බමුණක්හු හා ම හෝ කතා කරනු වටී. හුන් බමුණා හුන් බමුණකු හා ම කතා කරනු හෝ වටී. හෝනා බමුණහු හෝනා බමුණකු හා ම කතා කරනු හෝ වටී. එහෙත් භවත් ගෞතමය, ගැහැවි වූ, කළු වන් වූ බඹහු පතුලෙන් උපන් යම් මුඬු මහණ කෙනෙක් වෙත් නම්, ඔවුන් හාත් මගේ කථාසංලාපය භවත් ගෞතමයා හා කතා කරන පරිද්දෙන් ම වේ” (යැ යි කී ය.)
11. (එවිටැ භාග්‍යවතුන් වහන්සේ,) “අම්බට්ඨය, පැමිණ කළ යුතු වැඩක් සඳහා ම තගේ මෙහි පැමිණීම විය. යම් කරුණක් සඳහා ආයෙහි නම් ඒ කරුණ ම මැනවින් මෙනෙහි කරව. භවත්නි, මේ අබට්ඨ මාණවක තෙමේ ඇදුරු කුලෙහි නො හික්මුණේ අල්පශ්‍රැත වූයේ ‘හික්මුණෙමි’යි ‘බහුශ්‍රැතයෙමි’ යි යන මාන ඇත්තේ වෙයි. මොහු මේ පරොස් බස් දොඩනුයේ ඇදුරු කුලයෙහි නොහික්මුණු අල්පශ්‍රැතබැවින් ම විනා අන් කරුණෙකින් නො වේ” (යැ යි වාදාළ සේක.)
12. එකල්හි අම්බට්ඨ මාණවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් අවුසිතවාදයෙන් (නොහික්මුණෙක, නොඋගතෙක යන කථායෙන්) කියනු ලබනුයේ, කිපුණේ, නොසතුටු සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේට ම ආක්‍රෝශ කරනුයේ, භාග්‍යවතුන් වහන්සේට ම ගර්‍හා කරනුයේ, භාග්‍යවතුන් වහන්සේට ම දොස් නගනුයේ, ශ්‍රමණ ගෞතම තෙමේත් චණ්ඩභාවාදී දෝෂයට මා විසින් පමුණුවන ලද්දේ වන්නේ යැ යි සිතා, “භවද් ගෞතමය, ශාක්‍යජාතිය චණ්ඩ ය. භවද් ගෞතමය, ශාක්‍යජාතිය පරුෂ ය. භවද්ගෞතමය, ශාක්‍යජාතිය හෑල්ලු ය (වහා පෙරැළෙන සුලු ය). ශාක්‍ය ජාතිය දොඩමලු ය. තුමූ (බමුණනට මෙහෙකරු විය යුතු) ගෘහපතියෝ ම වන්නෝ නුමුදු බමුණනට සත්කාර නො කෙරෙත්. බමුණනට ගෞරව නො කෙරෙත්. බමුණනට බුහුමන් නො කෙරෙත්. බමුණන් නො පුදත්. බමුණනට යටත් පැවැතුම් නො දක්වත්. භවද් ගෞතමය, මේ ශාක්‍යෙයෝ බමුණනට (මෙහෙකරු වියැ යුතු ) ගැහැවියෝ වන්නෝ ම බමුණනට සත්කාර නො කෙරෙත් ය, බමුණනට ගෞරව නො කෙරෙත් ය, බමුණනට බුහුමන් නො කෙරෙත් ය, බමුණනට නොපුදත් ය, බමුණනට යටත් පැවැතුම් නො දක්වත් ය යන යමක් ඇද්ද, ඒ මේ කරුණ නො සුදුසු ය, ඒ මේ කරුණ නො නිසි යැ”යි භාග්‍යවතුන් වහන්සේට මෙබස් කී ය.
මෙසේ අම්බට්ඨ මාණවක තෙමේ ශාක්‍යයන් කෙරෙහි මේ පළමු වන ඉබ්භවාදය (බමුණන්ගේ දාසයෝ ය යන නිග්‍රහ කථාව) හෙළී ය.
13. එවිට භාග්‍යවතුන් වහන්සේ, ‘කිමෙක් ද අම්බට්ඨය, ශාක්‍යෙයෝ තට කිසි වරදක් කළෝ දැ?’යි වදාළ සේක.
“එසේ ය, භවද් ගෞතමය, මම් එක් කලෙක මා ඇදුරු පොක්ඛරසාති බමුණානන්ගේ කිසි කටයුත්තෙකින් කිඹුල්වත් නුවරට ගියෙමි. එහි ශාක්‍යයන්ගේ සන්‍ථාගාරය කරා එළැඹුණෙමි. එසමයෙහි වූ කලි බොහෝ ශාක්‍යයෝත් ශාක්‍යකුමාරයොත් උනුනට ඇඟිලිවලින් කෙවිටි කරමින් මහත් කොට සිනහ සෙමින්, ඇඟිලි එකට ගැටීම් ආදීන් කෙළි කවට කම් පාමින්, ඒ කාන්තයෙන් මට ම සිනා සෙන්නාක් මෙන් කෙරෙමින් සන්‍ථාගාරයෙහි උස් අසුන්හි හුන්නෝ වෙත්. කිසිවෙක් මට අස්නෙකින් නිමැතුම් පමණකුත් නො කෙළේ ය. භවත් ගෞතමය, මේ ශාක්‍යෙයෝ තුමූ ඉබ්භ (බමුණනට දාස වූ ගැහැවියෝ) වන්නෝ ම, බමුණනට සත්කාර ගරුකාර බහුමාන පූජා අපචායන (යටත් පැවැතුම්) නො කරන්නාහ යන මෙය නොසුදුසු ය, නො නිසි යැ” යි අම්බට්ඨ තෙමේ පැවැසී ය.
මෙසේ අම්බට්ඨ මාණවක තෙමේ ශාක්‍යයන් කෙරෙහි මේ දෙවෙනි උපවාද ය හෙළී ය.
14. එ විට භාග්‍යවතුන් වහන්සේ වාදරණ සේක්, “අම්බට්ඨය, කැටකිරිල්ල පවා තමාගේ කැදැල්ලෙහි දී කැමැති සේ හඬනසුලු වේ. අම්බට්ඨය, කිඹුල්වත් පුරය යන යමක් ඇද්ද, මෙය ශාක්‍යයන් සතු ස්වනගරය යි. එබැවින් ආයුෂ්මත් අම්බට්ඨ තෙමේ මේ ස්වල්ප මාත්‍රයෙහි වෙර බඳින්නට නො වටී” යැ යි වදාළ සේක.
15. එකලැ අම්බට්ඨ තෙමේ යලි දු ශාක්‍යයනට දොස් නගනුයේ, “භවද් ගෞතමය, ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යැ යි මේ වර්‍ණ (කුල) සතරෙකි. භවද් ගෞතමය, මේ සතර වර්‍ණයන් අතුරෙන් ක්‍ෂත්‍රිය ද වෛශය ද ශුද්‍ර ද යන තුන් කුලයෝ ඒකාන්තයෙන් බ්‍රාහ්මණයාගේ ම මෙහෙකරු වෙත්. (එබැවින්) භවත් ගෞතමය, මේ ශාක්‍යයෝ බමුණනට මෙහෙකරු වූ ගැහැවියෝ වන්නෝ ම, බමුණනට සත්කාර ගරුකාර බහුමාන පූජන අපචායන (=යටත් පැවැත්ම) නො කෙරෙත් යන මෙය නොසුදුසු ම ය, නොනිසි ම යැ” යි කී ය.
මෙසේ අම්බට්ඨ මාණවක තෙම ශාක්‍යයන් කෙරෙහි මේ තෙවෙනි ඉබ්භවාදය (=බමුණන්ගේ මෙහෙකරු ගැහැවියෝ ය යන ගැරැහීම) හෙළී ය.
16. එවිට “මේ අම්බට්ඨ මාණවක තෙමේ ඉතා දැඩි ලෙස ශාක්‍යයන් කෙරෙහි ඉබ්භවාදයෙන් පිරිහෙළා කථා කෙරෙයි. මා ඔහු අතින් ගෝත්‍රය විචාළොත් යෙහෙකැ”යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා “අම්බට්ඨය, තෝ කවර ගොත් ඇත්තෙහි දැ?” යි විචාළ සේක. “භවද්ගෞතමය, මම් කෘෂ්ණායනයෙක් (-කෘෂ්ණ නම් ඍෂිහුගේ පෙළපතට අයත්තෙක්) වෙමි” යි අම්බට්ඨ තෙමේ (තෙ වරක් උස් හඬින්) කී ය.
17. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක): “අම්බට්ඨය, ඉකුත් කාලයට අයත් සිය මා පියන් අයත් නම්ගොත් සිහි කරන තාගේ ස්වාමිපුත්‍රයෝ ශාක්‍යයෝ වෙති. තෝ ක්‍යයන්ගේ දාසියකගේ පුත්‍ර (පරම්පරාවට අයත්) වෙහි ය. (එබැවින් දාස වූ තා ස්වකීය ස්වාමී වූ ශාක්‍යයන් කරා නො එළැඹෙන්නහු දැක ශාක්‍යයෝ එදා සිනාසුනහ.) අම්බට්ඨය, ශාක්‍යයෝ වනාහි ඔක්කාක (=ඉක්‍ෂවාකු) රජහු තමන් මීමුත්තනුවන් (=පූර්‍වපුරුෂයාණන්) කොට තබත් (=පූර්‍වපුරුෂයා යි කියත්).
“අම්බට්ඨය, තට පෙරැ වූවක් කියමි, (අතීතයෙහි) ඔක්කාක රජ තෙමේ තමහට ප්‍රිය වූ මනාප වූ යම් මෙහෙසියක් වූ නම්, ඇයගේ පුතුට රජය පිරිනමනු කැමැත්තේ උක්කාමුඛ කරකණ්ඩ හත්‍ථනික නිපුර යන දෙටු කුමරුන් රටින් පිටත් කෙළේ ය. රටින් පිටත් කරනු ලැබූ ඔහු - හිමවත් පෙදෙසැ පොකුණක් අද්දරැ මහ ශාක ගස් ඇති වනයෙක් විය. - එහි වාසය කළහ. ඔහු ජාතිසම්භේදයට(අන්‍යකුල හා මිශ්‍ර වැ කිලිටි වීමට) බියෙන් සිය බිහිනියන් හා එක් වැ වුසූහ.
“අම්බට්ඨය, ඉක්බිති ඔක්කාක රජ තෙම මැතිමඬුල්ලට අයත් ඇමැතියන් අමතා “භවත්නි, කුමරුවෝ දැන් කොහි වෙසෙත් දැ?” යි විචාළේ ය.
“දේවයිනි, හිමවත පැත්තෙහි පොකුණු තෙරෙක මහා ශාක වනයෙක් ඇත. එහි කුමරුවෝ වෙසෙති. ඔහු ජාතිසම්මිශ්‍රණයෙන් වූ බියෙන් සිය බිහිනියන් හා එක් වැ වෙසෙත් යැ” යි ඇමතියෝ කීහ.
“අම්බට්ඨය, එවිටැ ඔක්කාක රජ ‘භවත්නි, පුදුම යි. කුමරුවෝ ශාක්‍යයෝ ය (සමත්තු ය)! කුමරුවෝ පරම ශක්‍යයෝයැ (මහත් ම සමත්තු යැ)!” යි උදන් ඇනී ය. අම්බට්ඨය, එතැන් පටන් ඔහු ‘ශාක්‍යයෝ’ යි (‘ශාක්‍යයෝ’ යි) පැනෙත්. ඒ ඔක්කාක රජ ම ඔවුන්ගේ පූර්‍ව පුරුෂ විය.
“අම්බට්ඨය, තව ද ඔක්කාක රජහුගේගේ දිශා නම් දැස්සක් වූ ය. ඕ කෘෂ්ණ නැමැත්තහු වැදූ ය. (එ සේ උපන් කෘෂ්ණ තෙමේ යකෙක් උපනැ යි බියෙන් දිවැගොස් දොර වසාගෙන සිටි මවට) ‘මෑණියනි මා නාවන්න; මෑණියනි, මේ අපවිත්‍ර දැයින් මා මුදන්න; ඔබට මම යහපත පිණිස වන්නෙමි’ යි කෑ ගැසීය.
“අම්බට්ඨය, මේ කලැ මිනිස්සු පිශාචයන් දැක ‘පිශාචයෝ’යි යම්සේ හඳුනත් ද, අම්බට්ඨය, එසේ ම එසමයෙහි, මිනිස්සු පිශාචයන් කළු පැහැත්තෝ යැ යි හඳුනත්. ඔහු ‘මේ තෙම උපන්නේ (=උපන් කෙණෙහි) කථා කෙළේය. කෘෂ්ණයෙක් (=කළුවෙක්) උපන, පිශාචයෙක් උපනැ’ යි මෙසේ කීහ.”
“අම්බට්ඨය, එතැන් පටන් කෘෂ්ණායනයෝ (=කෘෂ්ණ පරම්පරාවට අයත් වූවෝ යැ යි ඔහු පරපුරෙහි වූවෝ) පැනෙත්. හේ කෘෂ්ණායනයන්ගේ පූර්‍ව පුරුෂයා ය. අම්බට්ඨය, මෙසේ ම ශාක්‍යයෝ මාපිය පරපුරට අයත් අතීත නම් ගොත් සිහි කරන තාගේ ස්වාමිපුත්‍රයෝ ය, තෝ ශාක්‍යයන්ගේ දාසීපුත්‍රයකැ”යි යනු යි.
18. මෙසේ වදාළ කල්හි ඒ මාණවකයෝ කියන්නෝ “භවත්ගෞතම තෙමේ ඉතා දැඩි ලෙස දාසිපුත්‍රවාදයෙන් අම්බට්ඨ මාණවකයා නො පිරිහෙළා වා. භවද් ගෞතමයිනි, අම්බට්ඨ මාණවක තෙමේ සුජාත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ කුලපුත්‍ර (මනා කුලයෙහි උපන්නෙක්) ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ බහුශ්‍රුත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මිහිරි වචන ඇත්තේ ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ පණ්ඩිත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මේ වචනයෙහි (=මේ වේදත්‍රය පිළිබඳ කථායෙහි හෝ මේ දාසිපුත්‍ර කථායෙහි) භවද් ගෞතමයන් හා ප්‍රතිමන්ත්‍රණය කරන්නට (=මෙහිලා උත්තර දෙන්නට) පොහොසත් ද වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේට කීහ.
19. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයන් අමතා, “මාණවකයෙනි, අම්බට්ඨ මාණවකයා දුර්‍ජාත ද වේ. අම්බට්ඨ මාණවකයා අකුලපුත්‍ර ද වේ. අම්බට්ඨ මාණවකයා අල්පශ්‍රැත ද වේ. අම්බට්ඨ මාණවකයා නොමිහිරි වචන ඇත්තේ ද වේ. අම්බට්ඨ මාණවකයා අපණ්ඩිත ද වේ. ශ්‍රමණ ගෞතමයා හා මේ වචනයෙහි සාකච්ඡා කරන්නට පොහොසත් ද නො වේ යැ යි. ඉදින් තොපට මෙසේ සිතෙක් වේ නම්, අම්බට්ඨ මාණවකයා සිටී වා. තෙපි මා හා මේ වචනයෙහි සාකච්ඡා කරවු. ඉදින් මාණවකයිනි, අම්බට්ඨ මාණවකයා සුජාත ද ... කුලපුත්‍ර ද … බහුශ්‍රුත ද ... මිහිරි වචන ඇත්තේ ද ... පණ්ඩිත ද වේ, ශ්‍රමණ ගෞතමයා හා මේ වචනයෙහි සාකච්ඡා කරන්නට පොහොසත් ද වේ යැ යි තොපට මෙසේ සිතෙක් වේ නම්, තෙපි සිටිවු. අම්බට්ඨ මාණවක තෙමේ මා හා සාකච්ඡා කෙරේ වා” යි වදාළ සේක.
20. “භවද් ගෞතමය, අම්බට්ඨ මාණවක තෙමේ සුජාත ද ... බහුශ්‍රුත ද ... මිහිරි වචන ඇත්තේ ද ... පණ්ඩිත ද ... භවද් ගෞතමයන් හා මේ වචනයෙහි සාකච්ඡා කරන්නට පොහොසත් ද වේ. අපි නිහඬ වන්නමු. අම්බට්ඨ මාණවක තෙමේ භවද් ගෞතමයන් හා මේ වචනයෙහි සාකච්ඡා කෙරේ වා (උත්තර පුත්‍යුත්තර කථා කෙරේ වා)” යි මාණවකයෝ කීහ.
21. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා, “අම්බට්ඨය, නොකැමැත්තෙන් වුව ද විසැඳිය යුතු මේ කරුණු සහිත පැණයෙක් තා කරා පැමිණෙයි. ඉඳින් තෝ නො විසඳන්නෙහි නම්, එක් වචනයෙකින් අන් වචනයක් වසා ලන්නෙහි නම්, තුෂ්ණීම්භූත හෝ වන්නෙහි නම්, උත්තර හෝ නොදී නැගී පලායන්නෙහි නම්, මෙහි ම තගේ හිස සත් කඩක් වැ පැළෙන්නේ ය. අම්බට්ඨ ය, එය කිමැ යි සිතහි ද? වයසින් වැඩි සිටි, මහලු වූ, (මෙහිලා) කරුණු කියන ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය වූ බමුණන්ගේ කථාව තා විසින් කෙසේ අසන ලද ද? (කියව,) කෘෂ්ණායනයෝ කවරක්හු මූලස්ථාන කොට ඇත්තෝ ද? (කවරුන්ගෙන් ඇති වූවෝ ද?) කෘෂ්ණායනයන්ගේ පූර්‍වපුරුෂයා කවරෙක් වී දැ?” යි පුළුවුත් සේක.
මෙසේ ඇසූ කල්හි අම්බට්ඨ මාණවක තෙමේ තුෂ්ණීම්භූත විය. දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා “අම්බට්ඨය, කිමැ යි සිතහි ද? … කෘෂ්ණායනයන්ගේ පූර්‍වපුරුෂයා කවරෙක් වී දැ?” යි වදාළ සේක. දෙවෙනි වර ද අම්බට්ඨ මාණවක තෙමේ තුෂ්ණීම්භූත විය.
එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයාට වදාරන සේක්, “අම්බට්ඨය, දැන් විසඳව. දැන් තට නිහඬ වීමට කල් නො වේ. අම්බට්ඨය, යමෙක් වනාහි තථාගතයන් විසින් තෙවෙනි වර තෙක් කරුණු සහිත පැණයක් පිළිවිස්නා ලද්දේ උත්තර නො දේ නම්, මෙහි ම ඔහුගේ හිස සත් කඩෙක් වැ පැළෙන්නේ යැ”යි වදාළ සේක.
22. එ වේලෙහි වනාහි වජ්‍රාපාණි යක්‍ෂ තෙමේ ගිනි ගත් දිලියෙන ගිනි දැල් සහිත මහ යකුළක් අතින් ගෙන, ‘ඉදින් මේ අම්බට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් තෙවෙනි වර තෙක් කරුණු සහිත පැනය පුළුවුස්නා ලද්දේ උත්තර නො දෙන්නේ නම්, මෙහි ම මොහුගේ හිස සත් කඩකට පළන්නෙමි’ යි කියා අම්බට්ඨ මාණවකයාට උඩින් අහසෙහි සිටියේ වෙයි. ඒ වජ්‍රපාණි යක්‍ෂයා වනාහි භාග්‍යවතුන් වහන්සේත් දක්නා සේක. අම්බට්ඨ මාණවකයාත් දක්නේ ය.
23. ඉක්බිති අම්බට්ඨ මාණවක තෙමේ තැති ගත්තේ, බිය පත් වූයේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ, භාග්‍යවතුන් වහන්සේ ම ආරක්‍ෂාස්ථානය කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම තමාට සැඟවෙන තැන කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම පිහිට කොට සොයනුයේ, සමීපයෙහි හිඳ ගෙන ‘භවත් ගෞතම් තෙමේ මට ඒ කුමක් කීයේ ද? යලිත් භවද් ගෞතම තෙමේ කියාවා”යි කී ය.
එවිට භාග්‍යවතුන් වහන්සේ “අම්බට්ඨය, එය කිමැ යි සිතහිද? (මෙහිලා) කරුණු කියන වයසින් වැඩි සිටි, මහලු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍යයන්ගේ කථාව තා විසින් කෙසේ අසන ලද ද? කෘෂ්ණායනයෝ කවරක්හු මූලස්ථාන කොට ඇත්තෝ ද? කෘෂ්ණායනයන්ගේ පූර්‍වපුරුෂයා කවරෙක් වී දැ?” යි වදාළ සේක.
“භවද් ගෞතම තෙමේ යම්සේ ම කීයේ ද, එසේ ම මා විසින් අසන ලදි. කෘෂ්ණායනයෝ ඒ කෘෂ්ණයා මූලස්ථාන කොට ඇත්තෝ ය. හේ ම කෘෂ්ණායනයන්ගේ ප්‍රථම පුරුෂයා වී යැ” යි අම්බට්ඨයා කී ය.
24. මෙසේ කී කලැ ඒ මාණවකයෝ “භවත්නි, අම්බට්ඨ මාණවකයා පහත් ජාතියෙක උපන්නෙක් ල! භවත්නි අම්බට්ඨ මාණවකයා කුලපුත්‍රයෙක් නොවේ ල! භවත්නි, අම්බට්ඨ මාණවකයා ශාක්‍යයන්ගේ දාසිපුත්‍රයෙක් ල! භවත්නි ශාක්‍යයෝ අම්බට්ඨ මාණවකයාගේ ස්වාමීපුත්‍රයෝ වෙත් ල! අපි ධර්‍මවාදී වූ ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැරැහියැ යුත්තන් කොට සිතුවමු!” යි හඬ ගා කියන්නෝ උස්හඬ ඇත්තෝ මහ හඬ ඇත්තෝ වූහ.
25. එවි ටැ “මේ මාණවකයෝ අම්බට්ඨමාණවකයාට ඉතා දැඩි ලෙස දාසිපුත්‍ර වාදයෙන් පිරිහෙළා කියත්. මම් ඔහු එයින් මුදා ලන්නෙම් නම් යෙහෙකැ”යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයනට මෙසේ වදාළ සේක:
“මාණවකයෙනි, තෙපි ඉතා දැඩි කොට අම්බට්ඨ මාණවකයාට දාසීපුත්‍රවාදයෙන් නො ගරහවු. ඒ (ඔහුගේ ආදී පුරුෂ වූ) කෘෂ්ණර්ෂී තෙමේ මහානුභාව ඇත්තෙක් වී ය. හේ දක්‍ෂීණාපථයට ගොස් බ්‍රහ්මමන්ත්‍රයන් ඉගෙන ඔක්කාක රජු කරා එළැඹ, මට්ඨරූපී නම් දියණියන් ඉල්ලී ය. ඔක්කාක රජ තෙමේ ‘එම්බල, මගේ දාසිපුත්‍ර වැ හිඳත් මූ කවරෙක් නම් (=මූ තමා තරම නොදැන) මට්ඨරූපි දුව ඉල්ලනුයේ දැ!’යි කිපුණේ නොසතුටු සිතැත්තේ (ඔහු විද මරණ පිණිස) ඊය දුන්නෙහි හිඳුවී ය. හේ ඒ ඊය දුන්නෙන් මුදන්නට ද (=විඳින්නට) ඇද ගන්නට ද නොහැකි විය.
මාණවකයිනි, එ විටැ මැතිමඩුල්ලට අයත් ඇමැතියෝ කෘෂ්ණර්ෂීහු වෙත එළැඹ ‘පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා, පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා’ යි කීහ.
(එ විට කෘෂ්ණ තෙමේ) “රජුට සෙත් වන්නේ ය, එතෙකුදු වුවත්, ඉඳින් රජ ඊය යට දෙසට මුදන්නේ නම්, රජුගේ රට යම් තාක් ද ඒ තාක් පොළොව බිඳී විසිරෙන්නේ යැ”යි කී ය.
‘පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා රටට සෙත් වේ වා’යි ඇමැතියෝ කීහ.
‘රජුට සෙත් වන්නේ ය, රටට සෙත් වන්නේ ය, එතෙකුදු වුවත් ඉඳින් රජ ඊය උඩ දෙසට මුදා හළොත් රජුගේ රට යම් තාක් ද එතෙක් පෙදෙසට සත් හවුරුද්දක් වැසි නො වස්නේ යැ’ යි කෘෂ්ණයා කී ය.
(එ විට ඇමැතියෝ ) ‘පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා, රටට ද සෙත් වේවා, වැසි ද වසී වා’යි කීහ.
(කෘෂ්ණ තෙමේ) ‘රජුට සෙත් වන්නේ ය, රටට ද සෙත් වන්නේ ය, වැසි ද වස්නේ ය, එතෙකුදු වුවත් රජ තෙමේ දෙටු කුමරා කෙරෙහි ඊය පිහිටුවා වා (=දෙටු කුමරුට ඊයෙන් විදී වා), කුමර තෙමේ නිරුපද්‍රැත වන්නේ ය, ලොමුදහ ගැණුම් පමණකුදු නොමැතියේ වන්නේ යැ’ යි කී ය.
මණවකයිනි, ඉක්බිති ඇමැතියෝ “රජ තෙමේ දෙටු කුමරා කෙරෙහි ඊය පිහිටුවා වා, කුමර තෙමේ නිරුපද්‍රැත වන්නේ ය, ලොමුදහ ගැණුම් පමණකුදු නැත්තෙක් වන්නේ යැ” යි ඔක්කාක රජුට කීහ. එවිටැ ඔක්කාක රජු දෙටු කුමාරා කෙරෙහි ඊය පිහිටුවීය (දෙටු කුමරු දෙසට ඊය මුදා හැරියේ ය). කුමර තෙමේ නිරුපද්‍රැත විය. ලොමුදහ ගැනුම් පමණකුදු ඇත්තේ නො වී ය.
ඉක්බිති ඔක්කාක රජු තැති ගත්තේ, බිය ගත්තේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ, බ්‍රහ්මදණ්ඩයෙන් තරවටු කරනු ලැබුයේ, ඔහුට මට්ඨරූපී නම් දියැණියන් දුන්නේ ය. මාණවකයිනි, තෙපි අම්බට්ඨ මාණවකයාට ඉතා දැඩි කොට දාසිපුත්‍රවාදයෙන් නො ගරහවු. ඒ කෘෂ්ණඊෂී තෙමේ මහානුභාව ඇත්තෙක් වී ය” යනු යි.
26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා “අම්බට්ඨය, මෙය කිමැයි සිතහි ද? මෙහි කැත්කුමරෙක් බමුණුදැරියක හා එක් වැ වසන්නේ නම්, ඔවුන්ගේ එක් වැ විසීමෙන් පුතෙක් උපදනේ නම්, ඒ කැත් කුමරා නිසා බමුණු දැරියට උපන් පුතා බමුණන් අතුරෙහි අග්‍රාසනය හෝ අග්‍රෝදකය ලබන්නේ දැ?” යි ඇසූ සේක.
[අම්බට්ඨ:] “ගෞතමයෙනි, ලබන්නේ ය.”
[භාග්‍යවතුන් වහන්සේ:] “බමුණෝ මළවුන් උදෙසා දෙන බතෙහි හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ ආගන්තුක දානයෙහි හෝ ඔහු වළදවන්නෝ ද?”
[අම්:] “භවත් ගෞතමයෙනි, ඔහු වළදවන්නෝ ය.”
[භා:] “බමුණෝ ඔහුට වේදයන් කියවන්නෝ ද, නොකියවන්නෝ ද?”
[අම්:] “භවද් ගෞතමයෙනි, කියවන්නෝ ය.”
[භා:] “ඒ කැත් කුමරුට බමුණු දැරියන් කෙරෙහි ආවරණයෙක් වන්නේ ද, නො වන්නේ ද,? (බමුණු දැරියන් ලබත හැකි වන්නේ ද නොවන්නේ ද?)”
[අම්:] “භවද් ගෞතමයිනි, ඔහුට බමුණු දැරියන් කෙරෙහි ආවරණයෙක් නැත.”
[භා:] “ක්‍ෂත්‍රියයෝ ඔහු ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිසේක කරන්නෝ ද?”
[අම්:] “අභිෂේක නොකරන්නෝ ය, භවත් ගෞතමයෙනි.”
[භා:] “ඒ කවර හෙයින් ද?”
[අම්:] “භවත් ගෞතමයෙනි, හේ මවු පසින් අසම්පූර්‍ණ ය (අපිරිසිදු ය). එහෙයිනි.”
27. [භා:] “අම්බට්ඨය, එය කිමැයි සිතහි ද? මෙහි බමුණු කුමරෙක් කැත් දැරියක හා එක් වැ වසන්නේ නම්, ඔවුන්ගේ එක් වැ විසීමෙන් පුතෙක් උපදනේ නම්, ඒ බමුණු කුමරහු නිසා කැත් දැරියට උපන් යම් පුතෙක් වේ නම්, හේ බමුණන් අතුරෙහි අග්‍රාසන හෝ අග්‍රෝදක ලබන්නේ ද?”
[අම්:] “ලබන්නේ ය, භවත් ගෞතමයෙනි.”
[භා:] “බමුණෝ මළවුන් උදෙසා දෙන බතෙහි හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ අමුතු බතෙහි හෝ ඔහු වළදවන්නෝ ද?”
[අම්:] “වළඳවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”
[භා:] “බමුණෝ ඔහුට වේද කියවන්නෝ ද නොකියවන්නෝ ද?”
[අම්:] “කියවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”
[භා:] “ඔහුට බමුණු දැරියන් කෙරෙහි ආවරණයෙක් වන්නේ ද, නො වන්නේ ද?”
[අම්:] “භවත් ගෞතමයෙනි, ආවරණයෙක් නොවන්නේ ය.”
[භා:] “ක්‍ෂත්‍රියයෝ ක්‍ෂත්‍රියාභිෂේකයෙන් ඔහු අභිෂේක කරන්නෝ ද?”
[අම්:] “භවද් ගෞතමයෙනි, මෙය ඔහු නොකරන්නෝ ය.”
[භා:] “ඒ කවර හෙයින් ද?”
[අම්:] “භවද් ගෞතමයෙනි හේ පිය පසින් අසම්පූර්‍ණ ය(අශුද්ධ ය).”
28. [භා:] “අම්බට්ඨය, මෙසේ වනාහි (කැත් බමුණු දෙකුලෙන් එක් කුලෙක) ස්ත්‍රියක හා (අන් කුලෙහි) ස්ත්‍රියක සැසැඳු කල්හි ද, (එක් කුලෙක) පිරිමියකු හා (අන් කුලයක) පිරිමියකු සැසැඳු කල්හි ද, කැත්හු ම උසස් වෙත්, බමුණෝ පහත් වෙත්. අම්බට්ඨය, එය කිමැ යි සිතහි ද? මෙහි බමුණෝ බමුණකු කිසි නොකටයුත්තෙක්හි කරයෙන් හිස මුඩු කොට, අස්මපුටයෙන් වෙහෙසවා (=හෙවත් හිසැ අළු වගුරුවා) රටින් හෝ නුවරින් නෙරපන්නෝ නම්, හේ බමුණන් අතුරෙහි අග්‍රාසනය හෝ අග්‍රෝදකය ලබන්නේ ද?”
[අම්:] “භවද් ගෞතමයෙනි, මෙය නො වන්නේ යැ.”
[භා:] “බමුණෝ ශ්‍රාද්ධයෙහි(මතක බතෙහි) හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ අමුතු බතෙහි ඔහු වළඳවන්නෝ ද?”
[අම්:] “නො වළඳවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”
[භා:] “බමුණෝ ඔහුට වේදයන් කියවන්නෝ ද?”
[අම්:] “නො කියවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”
[භා:] “ඔහුට ස්ත්‍රීන් අතුරෙහි ආවරණයෙක් හෝ අනාවරණයෙක් වන්නේ ද?”
[අම්:] “භවත් ගෞතමයෙනි, ආවරණයෙක් ම වන්නේ ය.”
29. [භා:] “අම්බට්ඨය, ඒ කිමැයි සිතහි ද? මෙහි ක්‍ෂත්‍රියයෝ ක්‍ෂිත්‍රියයෙකු කිසි කරුණෙක්හි කරයෙන් හිස මුඬු කොට හිසැ අළු වගුරුවා රටින් හෝ නුවරින් නෙරපන්නෝ නම්, හේ බමුණන් මැදැ අග්‍රාසනය හෝ අග්‍රෝදකය හෝ ලබන්නේ ද?”
[අම්:] “ලබන්නේ ය, භවත් ගෞතමයෙනි.”
[භා:] “බමුණෝ ශ්‍රාද්ධයෙහි හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ අමුතු බතෙහි හෝ ඔහු වළඳවන්නෝ ද?”
[අම්:] “වළඳවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”
[භා:] “බමුණෝ ඔහුට වේදයන් කියවන්නෝ ද? නැතහොත් නො කියවන්නෝ ද?”
[අම්:] “කියවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”