හැම ලෙසින් විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි (සමාධි වඩා) ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි.
හැම ලෙසින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි.
හැම ලෙසින් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි.
අනුපූර්‍ව නිරෝධ (පිළිවෙළින් නිරුද්ධ වීම්) නවයෙක: ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට කාම සංඥාව නිරුද්ධ වෙයි. ද්වීතිය ධ්‍යානයට සමවන්නහුට විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත්. තෘතීය ධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය නිරුද්ධ වෙයි. චතුර්‍ත්‍ථ ධ්‍යානයට සමවන්නහුට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වෙත්. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥාව නිරුද්ධ වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවනුනහුට සංඥාව ද වේදනාව ද නිරුද්ධ වේ.
ඇවැත්නි, මොහු දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද නව ධර්‍මයෝ යැ. එහි සියල්ලන් විසින් ම සමග වැ ගැයියැ යුතු. එය … දෙව්මිනිස්නට ප්‍රයෝජන පිණිස, වැඩ පිණිස, සුව පිණිස පවතී.
දශකය
16. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද දශ ධර්‍මයෝ ඇත. එහි සියල්ලන් විසින් සමග වැ ගැයියැ යුතු … එය දෙව්මිනිස්නට ප්‍රයෝජන පිණිස, වැඩ පිණිස සුව පිණිස වෙයි.
කවර දශධර්‍ම කෙනෙක් ද යත්:
නාථකරණ (තම හට පිහිට සලසන) ධර්‍ම දශයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලෙයන් හැවුරුණේ, ආචාර ගෝචර සම්පන්න වැ ස්වල්පමාත්‍ර වරදෙහි ද බිය දක්නා සුලු වැ වෙසෙයි. සමාදන් කොට ගෙන සිකපදන්හි හික්මෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් හැවුරුණේ ආචාර ගෝචර දෙකින් යුතු වැ, ස්වල්පමාත්‍ර දෝෂයන්හි ද බිය දක්නා සුලු වැ වෙසෙයි, සමාදන් කොට ගෙන සිකපදන්හි හික්මෙයි’ යන යමෙක් ඇද්ද, මෙය ද නාථකරණ ධර්‍මයෙක.
ඇවැත්නි, තව ද අනෙකෙක. මහණ තෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි, ඇසූ දහම් සිතැ දරන්නේ වෙයි, ඇසූ දහම් සිතින් රැස් කොට ගන්නේ වෙයි. ආදියෙහි යහපත් වූ, මැද යහපත් වූ, අවසනැ යහපත් වූ, අර්‍ත්‍ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ යම් ධර්‍ම කෙනෙක් හැම ලෙසින් පිරිපුන් වූ පිරිසිදු බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එසේ වූ ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු, වචනයෙන් දරන ලද්දාහු, වචනයෙන් පුරුදු කරන ලද්දාහු, සිතින් පුන පුනා විමසන ලද්දාහු, දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්. ඇවැත්නි, මහණ තෙමේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි … දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත් යන මේද ද නාථකරණ ධර්‍මයෙක.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ කලණ මිතුරන් ඇත්තේ, කලණ යහලුවන් ඇත්තේ, කලණ මිතුරනට ම නැමුණේ වෙයි. ඇවැත්නි, මහණ තෙමෙ කලණ මිතුරන් ඇත්තේ, කලණ යහලුවන් ඇත්තේ, කලණ මිතුරනට ම නැමුණේ වේ යන යමෙක් ඇද්ද, මෙය ද නාථකරණ ධර්‍මයෙක.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමෙ සුවච වෙයි. සුවච බව කරන දහමුන්ගෙන් යුක්ත වූයේ, ඉවසනුයේ කරන අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වෙයි, ඇවැත්නි, මහණ තෙමෙ සුවච වෙයි … අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වේ යන යමෙක් වේ ද, මේ ද නාථ කරණ ධර්‍මයෙක.
තව ද අනෙකෙක. ඇවැත්නි, කුම් කෙරෙම් දැ යි අසා කළ යුතු වූ සබරම්සරුවන්ගේ යම් කුදු මහත් කටයුතු කෙනෙක් ඇද්ද, මහණ තෙමේ එහි දක්‍ෂ ද අනලස් ද එයට උපාය මාර්‍ග වූ නුවණින් සමන්‍විත ද, එය කරනුයෙහි සමර්‍ත්‍ථ ද එය පිළිබඳ විචාරණයෙහි සමර්‍ත්‍ථ ද වෙයි. ඇවැත්නි, … සබ්රම්රුවන්ගේ යම් කුදු මහත් කටයුතු කෙනෙක් ඇද්ද … එය පිළිබඳ විචාරණයෙහි සමර්‍ත්‍ථ ද වේ යන යමෙක් ඇද්ද, මෙයත් නාථකරණ ධර්‍මයෙක.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ධර්‍මය කැමැත්තේ වෙයි, ප්‍රිය සමුදාහර (කියන දහම් සකසා ඇසීමත් උගත් බණ පරනට දෙසනු රිසියත්) ඇත්තේ වෙයි. අභිධර්‍මයෙහි අභිවිනයයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි. ඇවැත්නි, මහණ තෙමේ ධර්‍මය කැමැත්තේ වෙයි. … අභිධර්‍මයෙහි අභිවිනයෙයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ඉතරෙතර (ලැබුණු යම් කවර හෝ) චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලාන ප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන්ගෙන් සතුටු වෙයි. ඇවැත්නි, මහණ තෙම ඉතරෙතර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන්ගෙන් සතුටු වේ යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ අකුසල් දහමුන් පහ කරනුවට, කසුල් දහමුන් පිළිලබනුවට, ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ බල ඇත්තේ, දැඩි වැර ඇත්තේ, කුසල් දහම් ලබනුවට බහා නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. ඇවැත්නි, මහණ තෙමේ … ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තේ … කුසල් දහම් ලබනුවට බහා නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ බොහෝ කලකට පෙරැ කළ දෑ ද බොහෝ කලකට පෙරැ කී දෑ ද සිහි කරනුයේ, පුන පුනා සිහි කරනුයේ, උතුම් ම සිහියෙන් ද ස්ථානෝචිත ප්‍රඥායෙන් ද සමන්‍විත වූයේ ස්මෘතිමත් වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ … සිහි කරනුයේ පුන පුනා සිහිකරනුයේ, ස්මෘතිමත් වෙයි’ යන යමෙක් ඇද්ද, මේ ද නාථ කරණ ධර්‍මයෙක.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමෙ (සංස්කාරයන්ගේ) ඉපැත්ම ද නැස්ම ද පිරිසිඳිනු සමත් වූ, ලෝභස්කන්‍ධාදීන් විදලනුයෙහි සමත් වූ, මොනොවට දුක්වැනැස්මට යන පිරිසිදු ප්‍රඥායෙන් සමන්‍විත වූයේ, ප්‍රඥාවත් වෙයි. ඇවැත්නි, ‘මහණ තෙමේ (සංස්කාරයන්ගේ) ඉපැත්මත් වැනැස්මත් පිරිසිඳිනු සමත් වූ, ලෝභස්කන්‍ධාදීන් විදලනුයෙහි සමත් වූ, මොනොවට දුක වැනැස්මට යන පිරිසිදු ප්‍රඥායෙන් සමන්‍විත වූයේ ප්‍රඥාවත් වේ’ යන යමෙක් ඇද්ද, මෙය ද නාථ කරණ ධර්‍මයෙක.
කසිණායතන දශයෙක: එකෙක් උඩ යට සරසැ දෙකක් නොවූ (එකක් ම වූ) අප්‍රමාණ පඨවිකසිණය හඳුනයි. එකෙක් … ආපෝකසිණය හඳුනයි, එකෙක් … තේජෝකසිණය හඳුනයි, එකෙක් … වායෝකසිණය හඳුනයි. එකෙක් … නීලකසිණය හඳුනයි. එකෙක් … පීතකසිණය හඳුනයි. එකෙක් … ලෝහිතකසිණය හඳුනයි. එකෙක් … ඕදාතකසිණය හඳුනයි. එකෙක් … ආකාසකසිණය හඳුනයි. එකෙක් උඩ යට සරස දෙකක් නොවූ (එකක් ම වූ) අප්‍රමාණ විඤ්ඤාණකසිණය (කසිණුග්ඝාටිමාකාසය අරමුණු කරන සිත) හඳුනයි.
අකුශල කර්‍මපථ දශයෙක: ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමයන්හි වරදවා හැසිරීම, මුසා බස් බිණීම, කේලාම් කීම, පරොස් බස් බිණීම, ප්‍රලාප දෙඩීම, අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය.
කුශල කර්‍මපථ දශයෙක: පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම, මුසවායෙන් වැළැක්ම, පෙහෙසුන් තෙප්ලෙන් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, ප්‍රලාප දෙඩීමෙන් වැළැක්ම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටිය.
ආර්‍ය්‍යවාස (උතුමන්ගේ විසුම්) දශයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ අඞ්ග පසෙකින් විප්‍රයුක්ත වූයේ, අඞ්ග සයෙකින් සමන්‍විත වූයේ, එක් ම ආරක්‍ෂාවක් ඇත්තේ, අපශ්‍රයණ අතරක් ඇත්තේ, මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙකසත්‍ය ඇත්තේ, නො අඩු කොට මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ, නො කැළැඹුණු කල්පනා ඇත්තේ, සංහිඳුණු කායසංස්කාර ඇත්තේ, මොනොවට මිදුණු සිත් ඇත්තේ, මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග පසෙකින් විප්‍රයුක්ත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි. ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථීනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ අංග පසෙකින් විප්‍රයුක්ත වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග සයෙකින් සමන්‍විත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ ඇසින් රූපයක් දැක නො ම සතුටු ද වෙයි, නො ම නොසතුටු ද වෙයි. සිහි ඇත්තේ නුවණින් දන්නේ උපේක්‍ෂක වැ වෙසෙයි. කනින් හඬක් අසා, … නැහැයෙන් ගඳක් අඝා, … දිවින් රසක් විඳ, … කයින් හැපෙන දැයක් පැහැසැ, … මනසින් දහම් අරමුණක් සිතා නො ම සතුටු ද වෙයි, නො වෙයි, සිහි ඇත්තේ, නුවණින් ම නොසතුටු ද දන්නේ, උපේක්‍ෂක ද වැ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ අඞ්ග සයෙකින් සමන්‍විත වෙයි.
ඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ එක ම ආරක්‍ෂාවක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ සිහිය ම ආරක්‍ෂාව කොටැති සිතින් යුක්ත වෙයි. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම එක් ආරක්‍ෂාවක් ඇත්තේ වෙයි.
ඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ අපශ්‍රයණ (ආධාර) සතරක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නුවණින් සලකා එකක් සෙවියි, නුවණින් බලා එකක් ඉවසයි, නුවණින් බලා එකක් පහ කරයි, නුවණින් බලා එකක් ඉවත් කෙරෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ අපශ්‍රයණ සතරක් ඇත්තේ වෙයි.
ඇවැත්නි, කෙසේ නම්, මහණ තෙමේ මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, බොහෝ මහණ බමුණන්ගේ යම් බොහෝ ප්‍රත්‍යෙක සත්‍ය කෙනෙක් (මේ දර්‍ශනය ම සත්‍ය යැ’ යි වෙන වෙන ම ඒ ඒ මහණබමුණන් විසින් දැඩි කොට සත්‍ය වශයෙන් පිළිගන්නා ලද දෑ) වෙත් ද, මෙ සස්නැ මහණහු විසින් ඔහු හැම බැහැරැ කරන ලද්දාහු, දුරු කරන ලද්දාහු, හැර දමන ලද්දාහු, පහ කරන ලද්දාහු, මුදන ලද්දාහු, එ හෙයින් ම ප්‍රහීණ වූවාහු සංහිඳුණාහු වෙත්, ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම බැහැර කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො අඩු කොට මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාම ඒෂණාව ප්‍රහීණ වෙයි, භව ඒෂණාව ප්‍රහීණ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යා ඒෂණාව සංසිඳුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට අනූන කොට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො කැළැඹුණු කල්පනා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාමසංකල්පය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදසඞ්කල්පය ප්‍රහීණ වෙයි, විහිංසාසංකල්පය ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ නො කැලැඹුණු සංකල්ප ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් සංහිඳුණු සංස්කාර ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සුඛවේදනාවගේ ද ප්‍රහාණයෙන් දුඃඛවේදනාවගේ ද ප්‍රහාණයෙන්, පළමු කොට ම සොම්නස් වේදනාවන් දුරු වීමෙන්, දුක් නොවූ සුව ද නොවූ උපේක්‍ෂාවගේ ද ස්මෘතියගේ ද පිරිසිදු බව ඇති සතර වන ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ සංහිඳුණු කායසංස්කාරය ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙම කෙසේ නම් මොනොවට මිදුණු සිතැත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ සිත රාගය කෙරෙන් මිදුණේ වෙයි, ද්වේෂය කෙරෙන් මිදුණේ වෙයි, මෝහය කෙරෙන් මිදුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට මිදුණු සිතැත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් මොනොවට මිදුණු ප්‍රඥාව ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ‘මගේ රාගය ප්‍රහීණ ය, සිඳ දමන ලද මුල් ඇත්තේය, … උදුරා දමන ලද තල්රුකක් මෙන් කරන ලද්දේය, නැවැත නො හටගන්නා බවට පැමිණියේ ය, යලි නො උපදනා ස්වභාවය ඇත්තේ වේ’ යැ යි දනී, ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.
අශෛක්‍ෂ (ඵලසම්ප්‍රයුක්ත) ධර්‍ම දශයෙක: අශෛක්‍ෂ සම්‍යග්දෘෂ්ටිය, අශෛක්‍ෂ සම්‍යග්වචනය, අශෛක්‍ෂ සම්‍යක්කර්‍මාන්තය, අශෛක්‍ෂ සම්‍යගාජීවය, අශෛක්‍ෂ සම්‍යග්ව්‍යායාමය, අශෛක්‍ෂ සම්‍යක්ස්මෘතිය, අශෛක්‍ෂ සම්‍යක්සමාධිය, අශෛක්‍ෂ සම්‍යක්ඥානය, අශෛක්‍ෂ සම්‍යග්විමුක්තිය.
ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද දශ ධර්‍මයෝ මොහු ය. එහි සියල්ලන් විසින් ම, යම්සේ මේ බ්‍රහ්මචර්‍ය්‍යාව දික්කලක් පැවැතිය හැකි වන්නේ ද, දික්කලක් සිටුනේ වන්නේ ද, එසේ වනු පිණිස එක් වැ ගැයිය යුතු, විවාද නො කළ යුතු. එය බොහෝ දෙනාට හිතපිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට ප්‍රයෝජන පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.”
17. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ නැඟී සිට, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් අමතා, “ශාරිපුත්‍රයිනි, මැනැව! මැනැව!! ශාරිපුත්‍රයිනි, තෙපි භික්‍ෂූනට මනා කොට ම සංගීතිපර්‍ය්‍යායය (සමගියට කාරණ වූ ධර්‍මය) වදාළහ” යි වදාළසේක.
ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ මෙය වදාළාහ. ශාස්තෲන් වහන්සේ මොනොවට අනුදත් සේක් වූහ. ඒ භික්‍ෂූ ද සතුටු වූවාහු ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන්ගේ වචනය පිළිගත්හ.
දශ වන සඞ්ගීති සූත්‍රය නිමියේ යි.
11.
දසුත්තර සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි:
භාග්‍යවතුන් වහන්සේ එක් සමයෙක්හි භික්‍ෂූන් පන්සියයක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග චම්පා නුවර සමීපයෙහි ගර්‍ගරා පොකුණු තෙරැ වැඩ වසන සේක.
එහි දී වනාහි සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූහ. ‘ඇවැත්නි’ යි කියා ම ඒ භික්‍ෂුහු සැරියුත් තෙරුනට පිළිවදන් දුන්හ. සැරියුත් තෙරණුවෝ මෙය වදාළාහ:
නිවන් පැමිණෙනු පිණිස, දුක් කෙළවර කරනු පිණිස, සියලු කෙලෙස් ගැට ලිහන දශෝත්තර ධර්‍මය (ඒකකය පටන් කොට දශකය හිම් කොට සංඛ්‍යා විසින් නැඟී ගිය ධර්‍ම සමුදාය වූ සූත්‍ර දේශනාව) කියන්නෙමි.
ඒකධර්‍ම
2. ඇවැත්නි, බහුප්‍රකාර වූ එක් ධර්‍මයෙක. භාවයිතව්‍ය (වැඩියැ යුතු) එක් ධර්‍මයෙක. පරිඡ්ඤේය (පිරිසින්දැ යුතු) එක් ධර්‍මයෙක. ප්‍රහාතව්‍ය (පහ කළ යුතු) එක් ධර්‍මයෙක. හානභාගික (පිරිහීම බජන, අපායගාමී) එක් ධර්‍මයෙක. විශේෂභාගික (විශේෂ ගුණ ලැබීම පිණිස පවත්නා) එක් ධර්‍මයෙක. දුෂ්ප්‍රතිවිධ්‍ය (දුකසේ පිළිවිදියැ යුතු) එක් ධර්‍මයෙක. උත්පාදයිතව්‍ය (ඉපැදැවියැ යුතු) එක් ධර්‍මයෙක. අභිඡ්ඤේය (ඥාතපරිඥායෙන් වෙසෙයින් දත යුතු) එක් ධර්‍මයෙක. සාක්‍ෂාත් කර්‍තව්‍ය එක් ධර්‍මයෙක.
බහුපකාර වූ එක් ධර්‍මය කවර යැ? කුසල්දහම්හි අප්‍රමාදය යැ. මේ බහූපකාර වූ එක් ධර්‍මය යැ.
භාවයිතව්‍ය එක් ධර්‍මය කවර යැ? සුඛවේදනාසම්ප්‍රයුක්ත කායගතාස්මෘතිය ය (ආනාපාන චතුඉරියාපථ, සතිසම්පජඤ්ඤ, ද්වත්තිංසාකාර, චතුධාතුවවත්‍ථාන, දසඅසුභ, නවසීවථිකා, චුණ්ණිකමනසිකාර, කේසාදීන්හි වැඩූ සතර රූපධ්‍යාන යන මේ දෑ බැවීමෙහි උපන් සිහිය ය). මේ භාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්‍මය යැ.
පරිඥේය (පිරිසින්දැ යුතු) එක් ධර්‍මය කවර යැ? ආස්‍රව උපාදාන දෙකට ම ප්‍රත්‍යය වූ ස්පර්‍ශය යැ. මේ පරිඥේය එක් ධර්‍මය යැ.
ප්‍රහාතව්‍ය (පහ කළ යුතු) එක් ධර්‍මය කවර යැ? අස්මිමානය යැ. මේ ප්‍රහාතව්‍ය එක් ධර්‍මය යැ.
හානභාගික එක් ධර්‍මය කවර යැ? අයෝනිසෝමනස්කාරය යැ. මේ හානභාහික එක් ධර්‍මය යැ.
විශේෂභාගික එක් ධර්‍මය කවර යැ? යෝනිසෝමනස්කාරය යැ. මේ විශේෂභාගික එක් ධර්‍මය යැ.
දුෂ්ප්‍රතිවිධ්‍ය එක් ධර්‍මය කවර යැ? ආනන්තරික චිත්තසමාධිය (විදර්‍ශනාවට අනතුරු මාර්‍ගය) යැ. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය එක් ධර්‍මය යැ.
උත්පාදයිතව්‍ය එක් ධර්‍මය කවර යැ? අකෝප්‍ය ඥානය (ප්‍රත්‍යවේක්‍ෂණ ප්‍රඥාව) යැ. මේ උත්පාදයිතව්‍යු එක් ධර්‍මය යැ.
අභිඥෙය එක් ධර්‍මය කවර යැ? සියලු සත්හු ආහාරයෙන් (ප්‍රත්‍යයයෙන්) සිටුනාහු ය යන්න යැ. මේ අභිඥෙය එක් ධර්‍මය යැ.
සාක්‍ෂාත්කර්‍තව්‍ය (ප්‍රත්‍යක්‍ෂ කළ යුතු) එක් ධර්‍මය කවර යැ? අකෝප්‍ය චේතෝවිමුක්තිය (අර්‍හත්ත්‍වඵලවිමුක්තිය) යැ. මේ සාක්‍ෂාත් කර්‍තව්‍ය එක් ධර්‍මය යැ.
මෙසේ භූත වූ (සැබැවින් ඇති) තථ්‍ය වූ (ඇති සැටි ම වූ) තථ (කී පරිදි ම වූ) අවිතථ (කී පරිදි ම මිස අන් සැටියක් නැති) අනන්‍යථ (අන්සැටියෙකින් නැති) මේ දශ ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට තමන් ම අවබෝධ කරන ලදහ.
දෙදෙනෙක් ධර්‍මයෝ
3. බහුපකාර වූ ධර්‍මදෙකෙක. භාවයිතව්‍ය ධර්‍මදෙකෙක. පරිඥේය ධර්‍ම දෙකෙක. ප්‍රහාතව්‍ය ධර්‍ම දෙකෙක. හානභාගික ධර්‍ම දෙකෙක. විශේෂභාගික ධර්‍ම දෙකෙක. දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම දෙකෙක. උත්පාදයිතව්‍ය ධර්‍ම දෙකෙක. අභිඥෙය ධර්‍ම දෙකෙක. සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම දෙකෙක.
බහුපකාරධර්‍ම දෙක කවර යැ? සතියත් (සිහියත්) සම්පජඤ්ඤයත් (නුවණත්) ය. මේ බහුපකාර ධර්‍ම දෙක යැ.
භාවයිතව්‍ය ධර්‍ම දෙක කවර යැ? ශමථයත් විදර්‍ශනාවත් යැ. මේ භාවයිතව්‍ය (වැඩියැ යුතු) ධර්‍ම දෙක යැ.
පරිඥේය ධර්‍ම දෙක කවර යැ? නාමයත් රූපයත් යැ. මේ පරිඥේය (පිරිසින්දැ යුතු) ධර්‍ම දෙක යැ.
ප්‍රහාතව්‍ය ධර්‍ම දෙක කවර යැ? අවිද්‍යාවත් භවතෘෂ්ණාවත් යැ. මේ ප්‍රහාවතව්‍ය ධර්‍ම දෙක යැ.
හානභාගික ධර්‍ම දෙක කවර යැ? දුර්වච බවත් පාපමිත්‍රයන් ඇති බවත්යැ. මේ හානභාගික ධර්‍ම දෙක යැ.
විශේෂභාගික ධර්‍ම දෙක කවර යැ? සුවච බවත් කලණ මිතුරන් ඇති බවත් යැ. මේ විශේෂභාගික ධර්‍ම දෙක යැ.
දුෂ්ප්‍රතිවිධ්‍ය (දුක සේ පිළිවිදියැ යුතු) ධර්‍ම දෙක කවර යැ? සත්‍වයන්ගේ කෙලෙසීමට හේතු වූ ප්‍රත්‍යය වූ යම් ධර්‍මයෙක් වේ නම් එය ද, සත්‍වයන්ගේ පිරිසිදු බවට හේතු වූ ප්‍රත්‍යය වූ යම් ධර්‍මයෙක් වේ නම් එය ද යන දෙක ය. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම දෙක ය.
උත්පාදයිතව්‍ය (ඉපදැවියැ යුතු) ධර්‍ම දෙක කවර යැ? ක්‍ෂයයෙහි නුවණ (මාර්‍ගසිත්හි වූ කෙලෙස් නසන නුවණ) ත් අනුත්පාදයෙහි නුවණ (ඒ ඒ මඟින් කෙලෙස් නැසීමෙන් නැවැත ඔවුන් නො උපදනා බවට පත් වූ අවසනැ උපන් පලසිත්හි නුවණ) ත් ය. මේ උත්පාදයිතව්‍ය නුවණ දෙක යැ.
අභිඥෙය ධර්‍ම (වෙසෙසි නුවණින් දත යුතු දහම්) දෙක කවර යැ? සංස්කෘතධාතුවත් (පංචස්කන්‍ධයත්) අසංස්කෘතධාතුවත් (නිවනත්) ය. මේ අභිඥෙය ධර්‍ම දෙක යැ.
සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම දෙක කවර යැ? විද්‍යාත් (පෙර ජාති දක්නා නුවණ, දිවැස, කෙලෙස් නසන නුවණ යන තුන් විද්‍යාත්) විමුක්තිත් (රහත් පලයත්) ය. මේ සාක්‍ෂාත් කළ යුතු ධර්‍ම දෙක යැ.
මෙසේ මේ භූත වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ විසි ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට තමන් ම අවබෝධ කරන ලද්දාහු යැ.
තිදෙනෙක් ධර්‍මයෝ
4. බහූපකාර වූ ධර්‍ම තුනෙක. භාවයිතව්‍ය ධර්‍ම තුනෙක. පරිඥේය ධර්‍ම තුනෙක. ප්‍රහාතව්‍ය ධර්‍ම තුනෙක හානභාගික ධර්‍ම තුනෙක. විශේෂභාගික ධර්‍ම තුනෙක. දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම තුනෙක. උත්පාදයිතව්‍ය ධර්‍ම තුනෙක. අභිඥෙය ධර්‍ම තුනෙක. සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම තුනෙක.
බහුපකාර ධර්‍ම තුන කවුරු යැ? සත්පුරුෂාශ්‍රයයත් සද්ධර්‍මශ්‍රවණයත් ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියත් යැ, මේ බහූපකාර ධර්‍ම තුන යැ.
භාවයිතව්‍ය ධර්‍ම තුන කවුරු යැ? සවිතර්‍ක සවිචාර සමාධියත් අවිතර්‍ක විචාරමාත්‍ර සමාධියත් අවිතර්‍ක අවිචාර සමාධියත් යැ. මේ භාවයිතව්‍ය ධර්‍ම තුන යැ.
පරිඥේය ධර්‍ම තුන කවර යැ? සුඛවේදනා දුඃඛවේදනා අදුඃඛාසුඛ වේදනා යන තුන් වේදනාවෝ යැ. මේ පරිඥේය ධර්‍ම තුන යැ.
ප්‍රහාතව්‍ය ධර්‍ම තුන කවර යැ? කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා යන තුන් තෘෂ්ණා යැ. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම තුන යැ.
හානභාගික ධර්‍ම තුන කවර යැ? ලෝභ නම් වූ අකුසල් මුල, ද්වේෂ නම් වූ අකුසල් මුල, මෝහ නම් වූ අකුසල් මුල යන තුන් අකුසල් මුල් යැ. මේ හානභාගික ධර්‍ම තුන යැ.
විශේෂභාගික ධර්‍ම තුන කවර යැ? අලෝභ නම් වූ කුසල් මුල, අද්වේෂ නම් වූ කුසල් මූල, අමෝහ නම් වූ කුසල් මුලැ යි යන තුන් කුසල් මුලැ යැ. මේ විශේෂභාගික ධර්‍ම තුන යැ.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම තුන කවර යැ? නිඃශරණීය ධාතු තුන යැ: නෙක්ඛම්මය (අනාගාමි මාර්‍ගය) යන මෙය කාමයන්ගේ නිඃශරණය යැ, ආරූප්‍යය (රහත් මඟය) යන මෙය රූපයන්ගේ නිඃශරණය යැ, ප්‍රත්‍යයයන් නිසා සකස්වූ, ප්‍රත්‍යයයන් එක් වැ පහළ වූ යම් කිසි දැයෙක් ඇද්ද නිරෝධය (රහත් පලය) එහි නිඃශරණ යැ. මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම තුන යැ.
උත්පාදයිතව්‍ය ධර්‍ම තුන කවර යැ? අතීතාංශය (අතීත ස්කන්‍ධ පංචකය) අරමුණු කොටැති නුවණ, අනාගතාංශය (අනාගත ස්කන්‍ධ) අරමුණු කොටැති නුවණ, ප්‍රත්‍යුත්පන්නාංශය (වර්‍තමාන ස්කන්‍ධ) අරමුණු කොටැති නුවණ යන තුන් ඥානයෝ යැ. මේ උත්පාදයිතව්‍ය ධර්‍ම තුන යැ.
අභිඥෙය ධර්‍ම තුන කවර යැ? කාමධාතු (කාමභවය), රූපධාතු (රූප භවය). අරූපධාතු (අරූප භවය) යන තුන යැ. මේ අභිඥෙය ධර්‍ම තුන යැ.
සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම තුන කවර යැ? ත්‍රි විද්‍යාවෝ යැ: පෙරැ වුසූ කඳපිළිවෙළ දක්නා නුවණ විද්‍යාවෙක, සත්‍වයන්ගේ ච්‍යුති උපපත්ති දක්නා නුවණ විද්‍යාවෙක, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙහි නුවණ (සතර මග නුවණ) විද්‍යාවෙක. මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම තුන යැ.
මෙසේ මේ භූත වූ තථ්‍ය වූ තථ වූ අවිතථ වූ අනන්‍යථ වූ තිස් දහම්හු තථාගතයන් වහන්සේ විසින් තමන් ම මොනොවට වෙසෙසි නුවණින් අවබෝධ කරන ලද්දාහ.
චතුෂ්කය
5. බහූපකාර ධර්‍ම සතරෙක. භාවයිතව්‍ය ධර්‍ම සතරෙක … සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සතරෙක.
බහූපකාර ධර්‍ම සතර කවරේ යැ? සතර සම්පත්ති චක්‍රයෝ යැ: සුදුසු රටැ විසීම, සත්පුරුෂයන් ඇසුරු කිරීමය, තමා ශ්‍රද්ධාදි ගුණධර්‍මයන්හි පිහිටුවීම යැ, පෙරැ කළ පින් ඇති බව යැ. මේ බහූපකාර ධර්‍ම සතර යැ.
භාවයිතව්‍ය ධර්‍ම සතර කවරේ යැ? සතර සතිපට්ඨානයෝ යැ: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කෙලෙස් තවන වැර ඇත්තේ නුවණින් දන්නේ, සිහි ඇත්තේ ලොව කෙරෙහි අභිධ්‍යා හා දොම්නස් හා බැහැර කොට කයෙහි කායානුපස්සී ව වෙසෙයි, … වේදනාවන්හි … සිතෙහි චිත්තානුපස්සී වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යා හා දොම්නස් හා බැහැරැ කොට ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. මේ භාවයිතව්‍ය සතර ධර්‍මයෝ යැ.
පරිඥේය ධර්‍ම සතර කවරේ යැ? සතර ආහාරයෝ යැ: ඖදාරික වූ හෝ සියුම් වූ කබලීකාරාහාරය, දෙවෙනි ස්පර්‍ශාහාර ය, තෙවෙනි මනස්සඤේචතනාහාර ය, සතරවැනි විඥානාහාර යි. මේ පරිඥේය වූ සතර ධර්‍මයෝ යැ.
ප්‍රහාතව්‍ය ධර්‍ම සතර කවරේ යැ? කාම ඕඝ, භව ඕඝ, දෘෂ්ටි ඕඝ, අවිද්‍යා ඕඝ යන ඕඝ සතර යි. මේ ප්‍රහාතව්‍ය ධර්‍ම සතර යැ.
හානභාගික ධර්‍ම සතර කවර යැ? කාමයෝග, භවයෝග, දෘෂ්ටියෝග, අවිද්‍යායෝග යන සතර යෝගයෝ යැ. මේ හානභාගික ධර්‍ම සතර යැ.
විශේෂභාගික ධර්‍ම සතර කවර යැ? කාමයෝගවිසංයෝගය (කාමයොගයෙන් මිදීම - අශුභධ්‍යානය හා එය පාදක කොට ලත් අනාගාමි මාර්‍ගය), භවයෝග විසංයෝගය (භවයොගයෙන් මිදීම, රහත්මඟ), දෘෂ්ටියෝගවිසංයෝගය (දෘෂ්ටිබන්‍ධනයෙන් මිදීම - සෝවාන් මඟ), අවිද්‍යායෝගවිසංයෝගය (අවිද්‍යාබන්‍ධනයෙන් මිදීම - රහත්බව) යන සතර විසංයෝගයෝ යැ. මොහු විශේෂභාගික ධර්‍ම සතර යැ.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම සතර කවර යැ? හානභාගික සමාධිය (නීවරණ ඇති බැවින් පිරිහීම භජනය කරන සමාධිය), ස්ථිතිභාගික සමාධිය (පිරිහීම් වැසීම් නැති ව ස්ථිතිය සෙව්නා සමාධිය) විශේෂභාගික සමාධිය (මතු විශේෂාධිගමයට ප්‍රත්‍යය වන සමාධිය), නිර්වේදභාගික සමාධිය (නිවන් සෙවුනා සමාධිය) යන සතර සමාධිහුය, මේ දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම සතර යැ.
උත්පාදයිතව්‍ය ධර්‍ම සතර කවර යැ? ධර්‍මයෙහි ඥානය (සතර මඟැ සතර පලැ නුවණ), අන්‍වයයෙහි ඥානය (සිවුසස් පසක් කොට දැන් සේ ම අතීතයෙහිත් මොහු දුඃඛාදි විසින් වූහ යි ලත් අනුමානඥානය), පර්යයයෙහි (මෙරමා සිත් පිරිසිඳ දැන්මෙහි) නුවණ, සම්මුතියෙහි නුවණ (උඩ කී ඥාන තුන හැර ඉතිරි සියලු දැයෙහි නුවණ) යන ඥාන සතර යැ. මේ උත්පාදයිතව්‍ය ධර්‍ම සතර යැ.
අභිඥෙය ධර්‍ම සතර කවර යැ? දුඃඛාර්‍ය්‍යසත්‍යය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයැ යි සතර ආර්‍ය සත්‍යයෝ යා. මේ අභිඥෙය ධර්‍ම සතර යැ.
සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සතර කවර යැ? ශ්‍රෝත ආපත්තිඵලය, සකෘදාගාමිඵලය, අනාගාමිඵලය, අර්‍හත්ත්‍වඵලය යන සතර ශ්‍රාමණ්‍යඵලයෝ යැ. මේ සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සතර යැ.
මෙසේ තථ්‍ය වූ, තථ වූ. අවිතථ වූ, අනන්‍යථ වූ සතළිස් ධර්‍මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට වෙසෙසින් අවබෝධ කරන ලදුහ.
පඤ්චකය
6. බහූපකාර ධර්‍ම පසෙක … සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍ම පසෙක.
බහූපකාර ධර්‍ම පස කවර යැ? ප්‍රාධානිකාඞ්ග (ප්‍රධන් වීර්‍ය්‍ය වඩන මහණහුගේ ගුණාඞ්ග) පස යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම සැදැහැ ඇත්තේ වෙයි, ඒ භගවත්හු මේ මේ කරුණින් අරහත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් යැ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය. දෙව් මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ යි තථාගතයන් වහන්සේගේ බෝධිය හදහයි. රෝග නැත්තේ නිදුක් වූයේ, ඉතා ශීත ද නොවූ, ඉතා උෂ්ණ ද නොවූ, මධ්‍යම වූ, ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීමට යෝග්‍ය වු, සම ලෙස අහර පැසවන උදරාග්නියෙන් යුක්ත වෙයි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි හා නුවණැති සබ්රම්සරුවන් කෙරෙහි හෝ තතු වූ පරිදි සිය වරද හෙළි කරන්නේ, ශඨ නොවූයේ මායා නැත්තේ වෙයි, ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුසල් දහම්හි බහා නො තැබූ වැර ඇත්තේ, අකුසල් දහමුන් පහ කරනු පිණිස, කුසල් දහමුන් ලැබැගැන්ම පිණිස පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තේ වෙසෙයි. කෙලෙසුන් විදැලීමට සමත් වූ, පිරිසිදු වූ, මොනොවට දුක් වැනැස්මට යන නුවණින් යුක්ත වූයේ, සංස්කාරයන්ගේ ඉපැත්මත් නැස්මත් පිරිසිඳ දක්නට සමත් ප්‍රඥායෙන් සමන්‍විත වූයේ, ප්‍රඥාවත් වෙයි. මේ බහූපකාර ධර්‍ම පස යැ.
භාවයිතව්‍ය ධර්‍ම පස කවර යැ? ප්‍රීතිය පතුරුවමින් උපදනා (ප්‍රථම ද්වීතිය ධ්‍යාන දෙක්හි) ප්‍රඥාව, සුඛවේදනාව පතුරුවමින් උපදනා (ප්‍රථම ද්වීතිය තෘතීය ධ්‍යාන තුනෙහි) ප්‍රඥාව, චේතඃස්ඵරණතා (පරචිත්ත විජානන) ප්‍රඥාව, ආලෝකස්ඵරණතා (එළිය පැතිරවීමෙහි උපදනා දිව්‍යචක්‍ෂුස්) ප්‍රඥාව, ප්‍රත්‍යවේක්‍ෂණ ඥානය යන අංග පසින් යුත් සමාධිය යි. එහි මේ භාවයිතව්‍ය ධර්‍ම පස යැ.
පරිඥේය ධර්‍ම පස කවර යැ? රූපෝපාදානස්කන්‍ධය යැ, වේදනෝපාදානස්කන්‍ධය යැ, සංඥොපාදානස්කන්‍ධය යැ, සංස්කාරෝපාදානස්කන්‍ධය යැ, විඥානෝපාදානස්කන්‍ධය යැ යන උපාදානස්කන්‍ධ පස යි. මේ පරිඥේය (පිරිසිඳැ දත යුතු) ධර්‍ම පස යැ.