Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 4701-4800 න් 5108

අනුස්මෘතිස්ථාන (සිහිකිරීම්) සයෙක: බුද්ධානුස්මෘතිය, ධර්‍මානුස්මෘතිය, සඞ්ඝානුස්මෘතිය, ශීලානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දේවතානුස්මෘතිය.
සතතවිහාර (රහත්හුගේ නිත්‍ය විහරණ) සයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම ඇසින් රූපයක් දැක සතුටු ද නො ම වෙයි, නොසතුටු ද නො ම වෙයි. එළැඹ සිටි සිහි ඇත්තේ, නුවණින් යුක්ත වූයේ, අරමුණු මැදහත් වැ දකිනුයේ වෙසෙයි. කනින් හඬක් අසා, … නැහැයෙන් ගඳක් අගා … දිවින් රසක් විඳ … කයින් හැපෙන දෑ පැහැසැ … මනසින් දහම් අරමුණක් සිතා සතුටු ද නො ම වෙයි, නොසතුටු ද නො ම වයි, එළැඹ සිටි සිහි ඇත්ත නුවණින් යුක්ත වූයේ අරමුණ මැදහත් වැ දකිනුයේ වෙසෙයි.
අභිජාති (ඉපැදුම්) සයෙක: ඇවැත්නි, මෙහි එකෙක් කළු උපත ඇත්තේ (හීන කුලයෙහි උපන්නේ) ම කළු දහම් (දස අකුසල්) උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් කළු උපත් ඇත්තේ ම (හීන කුලයෙහි උපන්නේ ම) සුදු දහම් (පින්) උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් කළු උපත් ඇත්තේ ම කළු ද නොවූ සුදු ද නොවූ නිවන් දහම් උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් සුදු උපත් ඇත්තේ (උසස් කුලෙහි උපන්නේ ම) සුදු දහම් (පින්) උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් සුදු උපත් ඇත්තේ ම (උසස් කුලෙහි උපන්නේ ම), කළු දහම් (පව්) උපදවයි. ඇවැත්නි, මෙහි එකෙක් සුදු උපත් ඇත්තේ ම නොකළු නොසුදු නිවන උපදවයි.
නිර්වේධභාගික (නිවන් බජන, නිවන් කරා එළැඹෙන) ධර්‍ම සයෙක: අනිත්‍යසංඥාව, අනිත්‍යයෙහි දුඃඛසංඥාව, දුකෙහි අනාත්මසංඥාව, ප්‍රහාණසංඥාව, විරාගසංඥාව, නිරෝධසංඥාව (නිරෝධානුපස්සනා ඤාණයෙහි සංඥාව).
ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සදෙනෙක් ධර්‍මයෝ මොනොවට වදාරන ලද්දාහු වෙත්. එහි සියල්ලන් විසින් ම … එක් වැ ගැයිය යුතු ය. එය …. දෙව් මිනිස්නට හිත පිණිස, සුව පිණිස වන්නේ ය.
සප්තකය
13. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත් දහම් කෙනෙක් මොනොවට වදාරන ලද්දාහු වෙත්. එහි සියල්ලන් විසින් ම එක් ව ගැයිය යුතු … එය ... දෙව් මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි.
කවර දහම් සත් දෙනෙක් ද? යත්:
ආර්‍ය ධන සතෙක: ශ්‍රද්ධාධනය, ශීලධනය, හ්රිධනය, අපත්‍රපාධනය, ශ්‍රැතධනය, ත්‍යාගධනය, ප්‍රඥාධනය.
සම්බෝධ්‍යඞ්ග සතෙක: ස්මෘතිසම්බොධ්‍යඞ්ගය, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය, වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය, ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය, සමාධිසම්බෝධ්‍යඞ්ගය, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය.
සමාධිපරිෂ්කාර ධර්‍ම (සමාධියට පිරිවර වූ දහම්) සතෙක: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සඞ්කල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය.
අසද්ධර්‍ම (ලාමක දෑ) සතෙක: ඇවැත්නි, මෙහි මහණෙක් සැදැහැ නැත්තේ වෙයි, පවට ලජ්ජා නැත්තේ වෙයි, පවට බිය නැත්තේ වෙයි, අල්පශ්‍රැත (දහම් නොඋගත්තේ) වෙයි, අලස වෙයි, නටුවාවූ සිහි ඇත්තේ වෙයි, ප්‍රඥා නැත්තේ වෙයි.
සද්ධර්‍ම සතෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම සැදැහැ ඇත්තේ වෙයි, පවට ලජ්ජා ඇත්තේ වෙයි, පවට බිය ඇත්තේ වෙයි, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි, සම්පූර්‍ණ කරන ලද වීර්‍ය්‍ය ඇත්තේ වෙයි, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි.
සත්පුරුෂ ධර්‍ම සතෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ධර්‍මඥ (සූත්‍ර ගෙය ආදි දහම් පෙළ දන්නේ) ද වෙයි, අර්‍ත්‍ථඥ (වදාළ ධර්‍මයේ අර්‍ත්‍ථ දන්නේ) වෙයි, ආත්මඥ (ශීලාදියෙන් මම් මෙ පමණ ඇත්තෙමි යි තමා පමණ දන්නේ) වෙයි, මාත්‍රඥ (ප්‍රත්‍යය පිළිගැනුම් වැළැඳුම් දෙකේ පමණ දන්නේ) වෙයි, කාලඥ (පරිපුච්ඡාදියට කල් දන්නේ) වෙයි. පර්ෂජඥ (අට වැදෑරුම් පිරිස දන්නේ) වෙයි, පුද්ගලඥ (සෙවියැ යුතු නොසෙවියැ යුතු පුඟුලන් දන්නේ) වෙයි.
නිර්දශ වස්තු සතෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම ශික්‍ෂා සමාදානයෙහි දැඩි කැමැත්තේ මත්තෙහිදු ශික්‍ෂා සමාදානයෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ධර්‍මනිශාන්තියෙහි (විදර්‍ශනායෙහි) දැඩි කැමැත්තේ මත්තෙහි ධර්‍මනිශාන්තියෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ඉච්ඡාවිනයෙහි (තෘෂ්ණාව දුරැලීමෙහි) දැඩි කැමැත්තේ, මත්තෙහි දු ඉච්ඡාවිනයයෙහි නො පහ වූ ප්‍රේමය ඇත්තේ වෙයි, ප්‍රතිසංල්ලයනයෙහි (එකලා වැ හිඳීමෙහි) දැඩි කැමැත්තේ, මත්තෙහි දු ප්‍රතිසංල්ලයනයෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. කායික චෛතසික වීර්‍ය්‍ය පිරීමෙහි දැඩි කැමැත්තේ, මත්තෙහි දු වීර්‍ය්‍යය පිරීමෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. සිහියෙහිත් ස්ථානෝචිත ප්‍රඥායෙහිත් දැඩි කැමැත්තේ මත්තෙහි දු සිහියෙහිත් ස්ථානෝචිත ප්‍රඥායෙහිත් පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. දෘෂ්ටිප්‍රතිවේධයෙහි (මාර්‍ගදර්‍ශනයෙහි) දැඩි කැමැත්තේ මත්තෙහිදු දෘෂ්ටිප්‍රතිවේධයෙහි පහ නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.
සංඥා සතෙක: අනිත්‍යසංඥාව, අනාත්මසංඥාව, අශුභසංඥාව, ආදීනවසංඥාව, ප්‍රහාණසංඥාව, විරාගසංඥාව, නිරෝධසංඥාව.
බල සතෙක: ශ්‍රද්ධාබලය, වීර්‍ය්‍යබලය, හ්රිබලය, අපත්‍රපාබලය, ස්මෘතිබලය, සමාධි බලය, ප්‍රඥාබලය.
විඥානස්ථිති සතෙක: ඇවැත්නි, මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද ඇතැම් විනිපාතිකයෝ දැ යි කායනානාත්‍වය (කයින් වෙනස් බවද) ඇති සංඥානානාත්‍වය (ප්‍රතිසන්‍ධි සංඥා වශයෙන් උනුනට වෙනස් බව) ද ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ පළමු වැනි විඥාන ස්ථිතිය යැ.
ඇවැත්නි, ලොවැ කල්පාරම්භසමයයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියෝ යම්සේ ද එසේ වූ කායනානාත්‍වය ඇති ප්‍රතිසන්‍ධිසංඥාඒකත්‍වය ඇති (එක ම වර්‍ගයේ ප්‍රතිසන්‍ධි සිතින් උපන්) සත්‍ව කෙනෙක් ඇත. මේ දෙවෙනි විඥාන ස්ථිතිය යැ.
ඇවැත්නි, ආභාස්වරදෙවියන් සේ වූ කායෛකත්‍වය (එක් බඳු කය) ඇති, සංඥානානාත්‍වය (උත්පත්තිය සිදු කළ ප්‍රතිසන්‍ධිසංඥාවගේ විවිධතාව) ඇති සත්‍ව කෙනෙක් ඇත. මෙ තෙවෙනි විඥානස්ථිතිය යැ.
ඇවැත්නි, ශුභකෘත්ස්නක දෙවියන් සේ වූ කායෛකත්‍වය (කයින් එක් බඳු බව) ඇති, ප්‍රතිසන්‍ධිසංඥාවගේ ද ඒකත්‍වය ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ සතර වැනි විඥානස්ථිතිය යැ.
ඇවැත්නි, රූපසංඥාවන් හැම ලෙසින් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන් දුරැ වැ යෑමෙන්, නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාශප්‍රඥප්තිය අනන්තයැ යි දැක, එහි සිත පිහිටුවා, ආකාශානන්තායතන බඹ ලොවට පැමිණි සතාව කෙනෙක් ඇත. මේ පස්වැනි විඥානස්ථිතිය යැ.
ඇවැත්නි, හැම ලෙසින් ම අනන්ත වූ කසිණුග්ඝාටිම ආකාරසාරම්මණය ඉක්මැ, (ආකාශානන්තායතන ධ්‍යාන) විඥානය අනන්තයැ යි ධ්‍යාන වඩා, විඥානන්තායතන බඹලොවට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සවැනි විඥානස්ථිතිය යැ.
ඇවැත්නි, හැම ලෙසින් ම විඥානන්තායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි බවා ආකිංචන්‍යායතන බඹලොවට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සත්වැනි විඥානස්ථිතිය යැ.
දක්‍ෂිණාර්‍හ පුද්ගලයෝ සත්දෙනෙක: උභතෝභාගවිමුක්තයා, ප්‍රඥාවිමුක්තයා, කායසාක්‍ෂිකයා, දෘෂ්ටිප්‍රාප්තයා, ශ්‍රද්ධාවිමුක්තයා, ධර්‍මානුසාරියා, ශ්‍රද්ධානුසාරියා.
අනුශය සතෙක: කාමරාගානුශය, ප්‍රතිඝානුශය, දෘෂ්ට්‍යානුශය, විචිකිත්සානුශය, මානානුශය, භවරාගානුශය, අවිද්‍යානුශය.
සංයෝජන සතෙක: අනුනයසංයෝජනය, ප්‍රතිඝසංයෝජනය, දෘෂ්ටිසංයෝජනය, විචිකිත්සාසංයෝජනය, මානසංයෝජනය, භවරාගසංයෝජනය, අවිද්‍යාසංයෝජනය.
අධිකරණ ශමථ සතෙක: උපනුපන් අධිකරණයන්ගේ සන්සිඳීම පිණිස, ව්‍යුපශමය පිණිස සම්මුඛාවිනය දියැ යුතු, සතිවිනය දියැ යුතු, අමූළ්හවිනය දියැ යුතු, ප්‍රතිඥායෙන් කැරැවියැ යුතු, යේභුය්‍යසිකාව, තස්සපාපිය්‍යසිකාව, තිණවත්‍ථාරකය (කැරැවිය යුතු).
ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සප්ත ධර්‍මයෝ මොහුය. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැයිය යුතු … එය … දෙවිමිනිස්නට ප්‍රයෝජන පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
අෂ්ටකය
14. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද අෂ්ට ධර්‍ම කෙනෙක් ඇත. එහි සියල්ලන් විසින් මැ එක් වැ ගැයිය යුතු … එය දෙවිමිනිස්නට ප්‍රයෝජනන පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ යි.
කවර අට දෙනෙක් ද? යත්:
මිථ්‍යාත්‍ව (මිථ්‍යා ස්වභාවයෝ) අටෙක: මිථ්‍යාදෘෂ්ටිය, මිථ්‍යාසංකල්පය, මිථ්‍යාවචනය, මිථ්‍යා කර්‍මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා ස්මෘතිය, මිථ්‍යා සමාධිය.
සම්‍යක්ත්‍ව (සම්‍යක් ස්වභාවයෝ) අටෙක: සම්‍යග් දෘෂ්ටිය, සම්‍යක් සඞ්කල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය.
දක්‍ෂිණාර්‍හ පුද්ගලයෝ අට දෙනෙක: සෝවාන් පුඟුලාය, සෝවාන් පලය පසක් කරනුවට පිළිපන් පුඟුලා ය, සෙදැගැමියා ය, සෙදගැමිඵලය පිණිස පිළිපන් පුඟුලා ය, අනැගැමියා ය, අනැගැමිපලය පිණිස පිළිපන් පුඟුලා ය, රහත් තෙමේ ය, රහත්පලය පිණිස පිළිපන් පුඟුලා ය.
කුසීදවස්තු (කුසීදයාගේ කරුණු, කුසීද බවට කාරණ) අටෙක: ඇවැත්නි, මෙහි මහණහු විසින් (සිවුරු විචාරණාදි) කර්‍මයෙක් කළ යුතු වෙයි. මා විසින් කර්‍මයෙක් කළ යුතු වන්නේ ය. කර්‍මය කරන්නාවූ මගේ කය වෙහෙසන්නේ ය. එහෙයින් දැන් වැද හෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදහෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීමට හෝ නොලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ පසක් නොකළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ පළමු කුසීද වස්තුව ය.
තව ද අනෙකෙකි. ඇවැත්නි, මහණහු විසින් කර්‍මයෙක් කරන ලද්දේ වෙයි. ‘මම් වහනාහි කර්‍මයක් කෙළෙමි. කර්‍මය කරන්නාවූ මගේ කය වෙහෙසුණේ ය. එ බැවින් මම් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි … වැර නො වඩයි. මේ දෙවෙනි කුශීද වස්තුව ය.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණහු විසින් මඟ යෑ යුතු වෙයි ‘මා විසින් මඟ යෑ යුතු ය, මඟ යන මගේ වූ කලි කය වෙහෙසෙන්නේ ය. එහෙයින් මම් වැදහෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි, නො පැමිණි ධ්‍යානාදියෙක් පැමිණෙනුවට හෝ නො ලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ පසක් නොකළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ හේ වැර නො වඩයි. මේ තෙවෙනි කුශීද වස්තුව යැ.
තව ද අනෙකෙකි. ඇවැත්නි, මහණහු විසින් මඟ යන ලද්දේ වෙයි. ‘මම් වූ කලි මඟ ගියෙමි. මඟ යන්නා වූ මගේ කය ඒකාන්තයෙන් වෙහෙසුණේ ය. එ බැවින් මම් වැද හෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදැ හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීම පිණිස හෝ නොලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැ නො වඩයි. මේ සිවුවැනි කුශීද වස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙම ගමෙක හෝ නියම් ගමෙක පිඬු පිණිස හැසිරෙන්නේ රූක්‍ෂ වූ ප්‍රණීත වූ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලබයි. ‘මම් වූ කලි ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස සරනුයෙම් සෑහෙන පමණ, (කුස පිරෙන පමණ) රූක්‍ෂ හෝ ප්‍රණීත බොජුනක් නො ලද්දෙමි. ඒ මගේ කය ක්ලාන්ත ය, අකර්‍මණ්‍ය ය (පණ නැත). එ බැවින් මම් වැද හෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීමට හෝ නො ලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ පස් වැනි කුශීද වස්තුව යැ.
තව ද අනෙකෙක: ඇවැත්නි, මහණ තෙම ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස හැසිරෙනුයේ රූක්‍ෂ හෝ ප්‍රණීත ආහාර සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලබයි. ‘මම් ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස සරනුයෙම් රූක්‍ෂ හෝ ප්‍රණීත බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලදිමි. ඒ මගේ කය තෙත් මෑ සේ බර ය, අකර්‍මණ්‍ය ය. එ බැවින් මම් වැද හෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ වැදැ හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණෙන්නට හෝ නො ලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ පසක් නොකළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ ස වැනි කුශීද වස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණහට අල්පමාත්‍ර වූ ආබාධයෙක් උපන්නේ වෙයි. ‘මට අල්පමාත්‍ර ආබාධයෙක් උපන. වැදැ හෝනට සුදුසු බව ඇත. එ බැවින් මම් වැද හෙමි’ යි ඔහු මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීමට, නොලත් ධ්‍යානාදියක් ලබන්නට, නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරන්නට වැර නො වඩයි. මේ සත්වැනි කුශීද වස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ගිලන් බැවින් නැඟී සිටියේ වෙයි, ගිලන් බැවින් නැඟී නො බෝ කල් ඇත්තේ වෙයි. ඔහුට, ‘මම් වනාහි ගිලන් බැවින් නැඟී සිටියෙම්, ගිලන් බැවින් නැඟී සිටි නො බෝ කල් ඇත්තෙම් වෙමි. ඒ මාගේ කය දුර්‍වල ය, අකර්‍මණ්‍ය ය, වැද හෙනුවට සුදුසු බව ඇත. එ බැවින් මම් වැද හෙමි’ යි මෙසේ සිතෙක් වෙයි. හේ වැද හෙයි. නොපැමිණි ධ්‍යානාදියකට පැමිණීමට හෝ නො ලත් ධ්‍යානාදියක් ලබනුවට හෝ නො පසක් කළ ධ්‍යානාදියක් පසක් කරනුවට හෝ වැර නො වඩයි. මේ අට වැනි කුශීද වස්තුව යැ.
ආරම්භවස්තු (වීර්‍ය්‍යයට කරුණු) අටෙක: ඇවැත්නි, මහණක්හු විසින් කර්‍මයෙක් කළ යුතු වෙයි. ‘මා විසින් වූ කලී කර්‍මයෙක් කළ යුතු වන්නේ ය. කර්‍මයක් කරන මා විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට නො හැක්ක. එ හෙයින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනු පිණිස, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හෙ තෙම නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩයි. මේ පළමු වන ආරම්භවස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් කර්‍මයෙක් කරන ලද්දේ වෙයි. ‘මම් වූ කලි කර්‍මයක් කෙළෙමි. මම් කර්‍මය කරනුයෙම්, බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට නො හැකි වීමි, එ හෙයින් මම් නො පැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නො ලත් ධ්‍යානාදිය ලැබීමට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කිරීමට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීමට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කිරීමට වැර වඩයි. මේ දෙවෙනි ආරම්භ වස්තුව යැ.
__missing trans__
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හු විසින් මඟෙක් යෑ යුතු වෙයි. ‘මා විසින් වූ කලි මඟෙක් යෑ යුතු වෙයි. මඟ යන මා විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට පහසු නො වේ. එ බැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීමට, නොපසක් කළ ධ්‍යානාදිය පසක් කිරීමඩ වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණීමට, නොලත් ධ්‍යානාදිය ලැබීම, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කිරීමට වැර වඩයි. මේ සතර වැනි ආරම්භවස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඬු පිණිස සරනුයේ, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලබයි. ඔහුට, ‘මම් ගමැ හෝ නියම් ගමැ හෝ පිඬු පිණිස සරනුයෙම්, රූක්‍ෂ හෝ ප්‍රණීත හෝ බොජුන් සෑහෙන පමණ, කුස පිරෙන පමණ නො ලද්මි, ඒ මගේ කය හෑල්ලු යැ, කර්‍මණ්‍ය යැ. එ බැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩමි’ යි මෙසේ සිතෙක් වෙයි. හේ නො පැමිණි ධ්‍යානාදියට පැමිණෙනුවට, නොලත් ධ්‍යානාදිය ලබනුවට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරනුවට වැර වඩයි. මේ පස් වන ආරම්භවස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණ තෙමේ ගමෙක හෝ නියම් ගමෙක හෝ පිඬු පිණිස සරනුයේ, රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බොජුනක් සෑහෙන පමණ. කුස පිරෙන පමණ ලබයි. ‘මම් වනාහි ගමැ හෝ නියම්ගමැ පිඬු පිණිස සරනුයෙම්, රූක්‍ෂ හෝ ප්‍රණීත වූ බොජුනක් සෑහෙන පමණ, කුස පිරෙන පමණ ලදිමි. ඒ මගේ කය ශක්තිමත් ය, කර්‍මණ්‍ය ය. එ බැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නො පැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නො ලත් ධ්‍යානාදිය ලබන්නට, නො පසක් කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩයි. මේ සවැනි ආරම්භවස්තුව යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණක්හට අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි. ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ ම වෙයි. මගේ ආබාධය වැඩෙන්නේ ය යන යමෙක් ඇද්ද, මෙ කරුණ විද්‍යමාන ය, එ බැවින් නො පැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නො ලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නොකළ ධ්‍යානාදිය පසක් කරන්නට මම් වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නො කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩයි. මේ සත් වැනි ආරම්භවස්තුවය යැ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මහණෙක් ගිලන් බැවින් නැගී සිටියේ, ගිලන් බැවින් නැගී සිටි නොබෝ කල් ඇත්තේ වෙයි. ‘මම් වූ කලි ගිලන් බැවින් නැඟී සිටියෙම්, ගිලන් බැවින් නැඟීසිටි නොබෝ කල් ඇත්තෙම් වෙමි. මගේ මේ ආබාධය වටාලා නැඟී එන්නේ ය යන යමෙක් ඇද්ද, මෙ කරුණ විද්‍යමාන ය. එ බැවින් මම් නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට නොලත් ධ්‍යානාදිය ලබන්නට, පසක් නො කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩමි’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ නොපැමිණි ධ්‍යානාදියට පැමිණෙන්නට, නොලත් ධ්‍යානාදිය ලබන්නට, නොපසක් කළ ධ්‍යානාදිය පසක් කරන්නට වැර වඩයි. මේ අටවැනි ආරම්භවස්තුව යැ.
දානවස්තු (දීමට කරුණු) අටෙක: පැමිණි අමුත්තාට වහා දන් දෙයි. බිය හේතු කොට ගෙන දන් දෙයි. ‘මට මේ තෙම දුන්නේ යැ’ යි දන් දෙයි. ‘මට දෙන්නේ යැ’ යි දන් දෙයි. ‘දීම මැනැව’ යි සලකා දන් දෙයි. ‘මම් පිසමි, මොහු නො පිසත්, මම් පිසන්නෙම් නො පිසන්නනට දන් නොදෙන්නට නො සුදුස්සෙමි’ යි දන් දෙයි. ‘මෙ දන් දෙන මා පිළිබඳ යහපත් කීර්තිශබ්දයෙක් උස් වැ නැඟේ’ යැයි දන් දෙයි. ශමථවිදර්‍ශනා සිතට සැරසිල්ලක් කොට, ශමථ විදර්‍ශනා සිතට පිරිවර පිණිස දන් දෙයි.
දානෝප්පත්ති (දාන හේතුයෙන් ඇතිවන දෙවෙනි භව) අටෙක: ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශයන ආවාස පහන් තෙල් යන දානවස්තු දෙයි. හේ යමක් දෙන්නේ ද, එය ලබන්නට පතයි. හෙ තෙම පංච කාමගුණයන්ගෙන් සමර්පිත වැ සමන්‍විත වැ එහි ඉඳුරන් හසුරුවන (පස්කම් සුව විඳුනා) ක්‍ෂත්‍රිය මහාසාරයකු හෝ බ්‍රාහ්මණ මහාසාරයකු හෝ ගෘහපති මහාසාරයකු හෝ දකී. ‘මමත් කා බුන් මරණින් මතු ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ හෝ ඒකී භාවයට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ ඒ සිත පිහිටුවයි. ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීන වූ පංචකාම ගුණයන්හි ඇලුණු, මත්තෙහි නො වඩන ලද ඔහුගේ ඒ සිත එහි ඉපැත්ම පිණිස පවතී. එ ද සිල්වත්හුගේ සිත ම ය, දුසිලක්හුගේ සිත නො වේ යැ යි කියම්. ඇවැත්නි, පිරිසිදු බැවින් සිල්වත්හුගේ වෙතස්ප්‍රණිධිය (පැතුම) සිද්ධ වේ.
තව ද අනෙකක් කියමි. ඇවැත්නි, මෙහි එක්තරා පුගුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන … පහන්තෙල් යන මේ දෑ දන් දෙයි. හේ යමක් දෙන්නේ ද එය පතයි. සිවුමහරජයෙහි වැසි දෙවියෝ දීර්‍ඝායුෂ ඇත්තෝ යැ යි පැහැ සටහන් ඇත්තෝ යැ යි, සැප බහුල කොට ඇත්තෝ යැ යි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ‘කා බුන් මරණින් මතු සිවුමහරජයෙහි දෙවියන් හා එක් වන බවට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ ඒ සිත පිහිටුවයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීන වූ කම් සුවෙහි ඇලුණු, මත්තෙහි නො වඩන ලද ඔහුගේ ඒ සිත එහි ඉපැත්ම පිණිස පවතී. ඒ ද සිල්වත්හුගේ සිත යැ යි, දුසිල්හුගේ සිත නො වේ යැ යි කියමි. ඇවැත්නි, පිරිසිදු බැවින් සිල්වත්හුගේ සිතේ පැතුම සිද්ධ වේ.
තව ද අනෙකෙක. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන … ශයන ආවාස පහන්තෙල් යන මේ දෑ දන් දෙයි. හේ යමක් දෙන්නේ ද එය පතයි. තව්තිසාවැසි දෙවියෝ … යාම දෙව්ලෝ වැසි දෙවියෝ … තුසී දෙව්ලෝ වැසි දෙවියෝ … නිර්‍මාණරති දෙව්ලොව වැසි දෙවියෝ … පරනිර්මිත වශවර්ත්ති දෙව්ලොව වැසි දෙවියෝ දීර්‍ඝායුෂ්කහ යි වර්‍ණවත් හ යි, සුඛ බහුල හ යි ඔහු විසින් අසන ලද්ද වෙයි. ‘කා බුන් මරණින් මතු පරනිර්මිත වශවර්ත්ති දෙවියන්ගේ සහභාවයට පැමිණියැ හෙන්නෙම් නම් යෙහෙකැ’ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි. හේ එ සිත පිහිටුවයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීන වූ කම් සුවෙහි ඇලුණු ඔහුගේ ඒ සිත මත්තෙහි නො වඩන ලද්දේ එහි ඉපැත්ම පිණිස පවතී. ‘ඒ ද සිල්වත්හුගේ සිතය ය, දුසිල්හුගේ සිත නො වේ’ යැ යි කියමි. ඇවැත්නි, පිරිසිදු හෙයින් සිල්වත්හුගේ සිතැ පැතුම සිදු වෙයි.
තව ද අනෙකෙක. ඇවැත්නි, මෙහි එක්තරා පුඟුලෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මාලා ගන්‍ධ විලේපන ශයන ආවාස පහන් තෙල් යම මේ දෑ දන් දෙයි. හේ යමක් දෙන්නේ ද, එය පතයි. ඔහු විසින් ‘බ්‍රහ්මකායික දෙවියෝ දීර්‍ඝායුෂ්ක හ, වර්‍ණවත් හ, සුව බහුල කොටැත්තෝ හ’ යි අසන ලද්දේ වෙයි. ‘මම් කා බුන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණියැ හෙන්නෙම වීම් නම් යෙහෙකැ යි මෙසේ සිතෙක් ඔහුට වෙයි. ඒ සිත පිහිටුවයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. ඔහුගේ ඒ සිත පහත් බඹලොවෙහි ඇලුණේ, මත්තෙහි නො වඩනා ලද්දේ එහි ඉපැත්ම පිණිස පවතී. ඒ ද සිල්වත්හුගේ සිත යැ, දුසිල්හුගේ සිත නො වේ යැ’ යි කියමි. පහවූ රාගය ඇත්තහුගේ සිත ය, රාග සහිතයාගේ සිත නො වේ යැ යි කියමි. ඇවැත්නි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය (පැතුම) සිදු වෙයි. පහ වූ රාගය ඇති බැවිනි.
පිරිස් අටෙක: කැත් පිරිස, බමුණු පිරිස, ගැහැවි පිරිස, මහණ පිරිස,සිවුමහරැජි පිරිස, තව්තිසා දෙව් පිරිස, මර පිරිස, බඹ පිරිස.
ලෝකධර්‍ම අටෙක: ලාභය, අලාභය, යශස, අයශස, නින්‍දාව, ප්‍රශංසාව, සුඛය, දුඃඛය.
අභිභායතන අටෙක: එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍ම වශයෙන් රූපසංඥා ඇත්තේ පිටත්හි සුවර්‍ණ හෝ දුර්වර්‍ණ හෝ පරිත්‍රාලම්බන වූ ප්‍රතිභාග නිමිති දකී. ඒ නිමිති මැඩ, ‘දනිමි යි, දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පළමු වන අභිහායතනය යි.
එකෙක් අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ පිටත්හි අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ නිමිත්තරූපයන් දකී. ඒ රූප මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිහායතනය යි.
එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි පරිකර්‍මසංඥා නැත්තේ, පිටත්හි වූ සුවර්‍ණ හෝ දුර්වර්‍ණ වූ පරිත්‍රාලම්බන වූ පරිකර්‍ම නිමිති ද ප්‍රතිභාග නිමිති ද දකී. ඒ අරමුණ මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෙවෙනි අභිහායතනය යි.
එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි රූප සංඥා නැත්තේ, පිටත්හි වූ අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ රූපයන් දකී. ඒ රූප අභිභවා ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන අභිභායතනය යි.
එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ, නිල් වූ, නිල්වන් වූ, නිල් දැකුම් ඇති, නිල්පැහැති බාහිර වූ රූප දකී. නිල් වූ, නිල්වන් වූ, නිල් දැකුම් ඇති, නිල්පැහැති දිරමෙරලිය මලෙක් යම් සේ වේ ද, නිල් වූ නිල්වන් වූ නිල් දැකුම් ඇති, නිල් පැහැති, දෙපිට ම මට සිලිටි වූ කසීවතෙක් යම් සේ වේ ද, එසේ ම නිල් වූ, නිල්වන් වූ, නිල් දැකුම් ඇති නිල්පැහැති, බාහිර කසිණාලම්බන රූපයන් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ දකී. ඒ රූප අභිභවා ‘දනිමි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පස්වන අභිභායතනය යි.
එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන් පැහැති, බාහිර වූ පීත වර්‍ණ රූප දකී. රන්වන් වූ රන්වන් දැකුම් ඇති, රන්පැහැති, පීතවර්‍ණ කිණිහිරි මලෙක් යම් බඳු වේ ද, දෙ පිට මට සිලිටි වූ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති පීතවර්‍ණ කසී වතෙක් හෝ යම්බඳු වේ ද, එසේ ම රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති, බාහිර පීතකසිණරූපයන් එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ දකී. ඔවුන් මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සවන අභිභායතනය යි.
එකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැති බාහිර රූපයන් දකී. රතු වූ රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත් පැහැ වූ බඳුවද මලෙක් යම් සේ වේ ද, දෙපස මට සිලිටි වූ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ කසීවතෙක් හෝ යම් සේ වේ ද, එසේ ම රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ බාහිර රූපයන්, අධ්‍යාත්ම රූපයෙහි රූප සංඥා නැති එකෙක් දකී. ඔවුන් මැඩැ ‘දනිමි’ යි, ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සත්වන අභිභාතනය යි.
එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූප සංඥා නැත්තේ සුදු වූ, සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති වූ බාහිර රූපාලම්බනයන් දකී. සුදු වූ සුදුවන් දැකුම් ඇති, සුදුපැහැ වූ, ඔෂධී තාරකාව යම් සේ ද, දෙපස මට සිලිටි වූ, සුදු වූ, සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති කසී වතෙක් හෝ යම් සේ වේ ද එසේ ම සුදු වූ, සුදුවන් වූ, සුදු දැකුම් ඇති, සුදු පැහැ වූ, බාහිර කසිණරූපයන්, එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ දකී. ඔවුන් මැඩ, ‘දනිමි’ යි ‘දකිමි’ යි මෙසේ සංඥා ඇත්ත වෙයි. මේ අටවන අභිභායතනය යි.
විමෝක්‍ෂ අටෙක: රූපධ්‍යාන ඇත්තේ නීලකසිණරූපාදි රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමුවන විමෝක්‍ෂය යි.
අධ්‍යාත්ම රූපයෙහි රූප සංඥා නැත්තේ බාහිර රූප දකී. මේ දෙවෙනි විමෝක්‍ෂය යි.
දහන් ඇසින් පිරිසිදු කසිණ අරමුණු දක්නේ ‘ශුභ යැ’ යි ම එහි ඇලුණේ වෙයි. මේ තෙවෙනි විමෝක්‍ෂය යි.
සර්‍ව ප්‍රකාරයෙන් රූප සංඥා ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ වැ යෑමෙන්, නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සතරවන විමෝක්‍ෂය යි.
සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස් වන විමෝක්‍ෂය යි.
සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්‍ෂය යි.
සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්‍ෂය යි.
සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්‍ෂය යි.
ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්ස විසින් මොනොවට වදාරන ලද අෂ්ට ධර්‍මයෝ මොහු ය. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැයිය යුතු … එය දෙව් මිනිස්නට ප්‍රයෝජනය පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
නවකය
15. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද නව ධර්‍ම කෙනෙක් ඇත. එහි සියල්ලන් විසින් ම එක් වැ ගැයිය යුතු … එය දෙව් මිනිස්නට ප්‍රයෝජනය පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
කවර ධර්‍ම නව දෙනෙක් ද? යත්:
ආඝාත වස්තු (වෛරයට කරුණු) නවයෙක: මට අවැඩ කෙළේ යැ යි වෛර බඳී, මට දැන් අවැඩ කෙරේ යැයි වෛර බඳී, මට මතු අවැඩ කරතැ යි වෛර බඳී, මට ප්‍රිය මනාප පුද්ගලයාට අවැඩ කෙළේ යැ යි … දැන් අවැඩ කෙරේ යැ යි … මතු අවැඩ කරතැ යි වෛර බඳී. මට අප්‍රිය අමනාප පුද්ගලයාට වැඩ කෙළේ (අභිවෘද්ධිය සිදු කෙළේ) යැ යි … දැන් වැඩ කෙරේ යැ යි … මතු වැඩ කරතැ යි වෛර බඳී.
අඝාතප්‍රතිවිනය (වෛර දුරැ ලන කරුණු) නවයෙක: හේ මට අවැඩ කෙළේ යැ යි (ඒ අවැඩ කිරීම නො වේ වා යි ඒ පුඟුලා කෙරෙහි) එය කොයින් ලද හැකි දැ යි සිතන්නේ වෛර දුරැ ලයි. හේ මට දැන් අවැඩ කෙරේ යැ යි එය ඔහු කෙරෙහි කොයින් ලද හැකි දැයි සිතන්නේ වෛර දුරැ ලයි. ඔහු මට මතු අවැඩ කරතැ යි යන එය (ඔහු කෙරෙහි) කොයින් ලද හැකි දැ යි සිතනුයේ වෛර දුරැ ලයි. මගේ ප්‍රිය මනාප පුඟුලාට හේ අවැඩ කෙළේ යැ යි … හේ දැන් අවැඩ කෙරේ යැ යි … ඔහු මතු අවැඩ කරතැයි යන එය (ඔහු කෙරෙහි) කොයින් ලද හැකි දැ යි සිතනුයේ වෛර දුරැ ලයි. මට අප්‍රිය වූ අමනාප වූ පුඟුලාට හේ වැඩ සිදු කෙළේ ය … දැන් වැඩ සිදු කෙරෙයි … මතු වැඩ සිදු කෙරෙතැ යි යන එය ඔහු කෙරේ කොයින් ලද හැකි දැ යි සිතනුයේ වෛර දුරැ ලයි.
සත්‍වාවාස (සත්‍වයනට වාසස්ථාවන) නවයෙක: ඇවැත්නි, මිනිසුන් ද ඇතැම් දෙවියන් ද ඇතැම් විනිපාතිකයන් ද සේ කයැ වෙනස් බව ඇති, ප්‍රතිසන්‍ධිසංඥායෙහි ද වෙනස් බව ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ පළමු සත්‍වාවාසය යැ.
ඇවැත්නි, කල්පාරම්භ සමයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියන් සේ කයින් වෙනස් වූ ප්‍රතිසන්‍ධිසංඥායෙන් සමාන වූ සත්‍ව කෙනෙක් ඇත. මේ දෙවෙනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි, ආභස්සර දෙවියන් සේ වූ කයැ සමාන බව් ඇති ප්‍රතිසන්‍ධිසංඥායෙහි වෙනස් බව් ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ තෙවෙනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි, ශුභකෘත්ස්නක දෙවියන් සේ කයැ සමාන බව් ඇති, ප්‍රතිසන්‍ධිසංඥාවේ ද සමාන බව් ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ සිවුවැනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි, අසංඥසත්‍ව දෙවියන් සේ ප්‍රතිසන්‍ධිසංඥාව නැති, විඳුම් නැති සත්‍ව කෙනෙක් ඇත. මේ පස්වැනි සත්‍වාවාස යැ.
ඇවැත්නි, හැම සැටියෙන් ම රූප සංඥාවන් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන් අතුරුදහන් වීමෙන්, නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන්, ‘අහස අනන්ත යැ’ යි සමාධි වඩා ආකාසානඤ්චායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සවැනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි, හැම අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මැ, ‘විඥානය අනන්ත යැ’ යි සමාධි වඩා විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ සත්වැනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි, හැම අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි සමාධි වඩා, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ අටවැනි සත්‍වාවාසය යැ.
ඇවැත්නි, හැම අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤාසඤ්ඤායතනයට පැමිණි සත්‍ව කෙනෙක් ඇත. මේ නවවැනි සත්‍වාවාසය යි.
බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාල වූ අක්‍ෂණ නවයෙක: ඇවැත්නි, මෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙයි. කෙලෙස් සංසිඳුවන, කෙලෙස් පිරිනිවන ගෙනැදෙන, මාර්‍ගඥානප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. එහෙත් මේ පුද්ගල තෙමේ නිරයට වන්නේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නොසුදුසු කාලය වූ පළමු වැනි අක්‍ෂණ යැ.
තව ද අනෙකක් කියම්. ඇවැත්නි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්‍ගඥාන ප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත දහම ද දෙසෙයි. එහෙත් මේ පුඟුල් තෙමේ තිරිසන් යෝනියට පැමිණියේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාලය වූ දෙවෙනි අක්‍ෂණය යැ. … ප්‍රේත ලෝකයට පැමිණියේ වෙයි … … අසුර නිකායයට පැමිණියේ වෙයි … … දීර්‍ඝායුෂ්ක දේවනිකායකට පැමිණියේ වෙයි … යම් තැනෙක මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ හැසිරීමෙක් නැති, පව් පින් දන්නවුන් නැති ප්‍රත්‍යන්තයෙහි වූ ම්ලෙච්ඡ ජනපදයන්හි උපන්නේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාලය වූ සවැනි අක්‍ෂණය වෙයි.
තව ද අනෙකෙක. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්‍ගඥානප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ ද වෙයි. එහෙත් හෙ තෙමේ ‘දුන් දැයෙහි පල නැත, යාගයෙහි (මහ දන් හි) පල නැත, පූජායෙහි පල නැත, සුකෘත දුෂ්කෘත (කුශලාකුශල) කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙ ලොව නැත, පර ලොව නැත, මවට කළ සත්කාරයෙහි පල නැත, පියාට කළ සත්කාරයෙහි පල නැත, උපපාදුක (කම් වූ පරිදි මැරී උපදනා) සත්‍වයෝ නැත, සම කෙනෙක් මෙ ලොව ද පර ලොව ද තුමූ වෙසෙසි නුවණින් දැන, පසක් කොට පවසන්නාහු නම්, එසේ වූ සම්‍යග්ගත (නො වැරැදි මගින් ගිය) සම්‍යක්ප්‍රතිපන්න (නොවැරැදි මඟැ පිළිපන්) මහණ බමුණෝ ලෙව්හි නැතැ යි ගත් පෙරැළුණු දෘෂ්ටි ඇති මිසදිටුවෙක් වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසය පිණිස නො සුදුසු කාල වූ සත්වැනි අක්‍ෂණය වෙයි.
තව ද අනෙකෙක. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්‍ගඥාන ප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබෙයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ ද වෙයි. එහෙත් හේ නුවණ නැති, ජඩ වූ, කෙළතොලු වූ මොනොවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්‍ත්‍ථ දැනගන්නට ප්‍රතිබල නො වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාල වූ අටවැනි අක්‍ෂණය වේ.
තව ද අනෙකෙක. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලොවැ නො පහළ වූ සේක් වෙති. කෙලෙස් නිවන, කෙලෙස් පිරිනිවන ගෙනැ දෙන, මාර්‍ගඥාන ප්‍රතිවේධයට යන, සුගතයන් විසින් ප්‍රකාශිත ධර්‍මය වූ කලී නො දෙසනු ලැබෙයි. මේ පුද්ගල තෙමේ මධ්‍යම ජනපද අතුරෙන් එකෙක උපන්නේ ද වෙයි. හේ ප්‍රඥා ඇත්තේ, ජඩ නො වූයේ, කෙළතොලු නො වූයේ, මොනොවට කී ද නපුරු කොට කී ද වචනයන්ගේ අර්‍ත්‍ථ දැනගන්නට සමර්‍ත්‍ථ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යවාසයට නො සුදුසු කාල වූ නවවැනි අක්‍ෂණය වේ.
අනුපූර්‍ව විහාර නවයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් වැ ම, අකුසල් දහමුන්ගෙන් වෙන් වැ මැ, විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුව හා ඇති පළමු දහන ලැබ වෙසෙයි.
විතර්‍කවිචාරයන් සංහිඳීමෙන් … දෙවෙනි දහන ලැබ වෙසෙයි.
ප්‍රීතිය ද පහ වීමෙන් … තෙවෙනි දහන ලැබ වෙසෙයි.
සුඛවේදනාව ද දුරැලීමෙන් … සතර වන දහන් ලැබ වෙසෙයි.
හැම ලෙසින් රූපප සංඥා ඉක්මීමෙන්, ප්‍රතිඝ සංඥාවන් අතුරුදහන් වීමේන, නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ’ යි (සමාධි වඩා) ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි.
හැම ලෙසින් ආකාසානඤ්චායතන ඉක් මැ, විඥානය අනන්ත යැ යි (සමාධි වඩා) විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි.