අන්‍ය ද ධාතු තුනෙක: කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු …
අන්‍ය ද ධාතු තුනෙක: රූප ධාතු, අරූප ධාතු, නිරෝධ ධාතු …
අන්‍ය ද ධාතු තුනෙක: හීන ධාතු, මධ්‍යම ධාතු, ප්‍රණීත ධාතු …
තෘෂ්ණා තුනෙක: කාමතෘෂ්ණා, භවතෘෂ්ණා, විභවතෘෂ්ණා …
අන්‍ය ද තෘෂ්ණා තුනෙක: කාමතෘෂ්ණා, රූපතෘෂ්ණා, අරූපතෘෂ්ණා …
අන්‍ය ද තෘෂ්ණා තුනෙක: රූපතෘෂ්ණා, අරූපතෘෂ්ණා, නිරෝධතෘෂ්ණා …
සංයෝජන තුනෙක: සත්කායදෘෂ්ටි, විචිකිත්සා, ශීලව්‍රතපරාමර්‍ශ …
ආස්‍රව තුනෙක: කාමාස්‍රව, භවාස්‍රව, අවිද්‍යාස්‍රව …
භව තුනෙක: කාමභව, රූපභව, අරූපභව …
ඒෂණා තුනෙක: කාම ඒෂණා, භව ඒෂණා, බ්‍රහ්මචර්‍ය්‍යා ඒෂණා …
විධා (මාන) තුනෙක: මම් උතුම් වෙමි යි විධාවෙක, මම් සමානයෙමි යි විධාවෙක, මම් හීනයෙමි යි විධාවෙක …
අධ්ව (කාල) තුනෙක: අතීත කාලය, අනාගත කාලය, වර්‍තමාන කාලය …
අන්ත තුනෙක: සත්කායය (පංචස්කන්‍ධය) එක් අන්තයෙක, සත්කාය සමුදයය (පුරිම තෘෂ්ණාවය), සත්කාය නිරෝධය (නිවන හා මග) …
වේදනා තුනෙක: සුඛවේදනා ය, දුඃඛවේදනා ය. අදුඃඛඅසුඛවේදනා ය …
දුඃඛතා තුනෙක: දුඃඛදුඃඛතා (දුක් වේදනා) ය, සංස්කාරදුඃඛතා ය (අදුඃඛඅසුඛවේදනා ය), විපරිණාමදුඃඛතා ය (සුඛවේදනා ය) …
රාශි තුනෙක: මිථ්‍යාත්‍වනියත රාශිය (නියත මිසදිට හා ආනන්තර්‍ය්‍යකර්‍ම), සම්‍යක්ත්‍වනියත රාශිය (සතර ආර්‍ය්‍යමාර්‍ගය). අනියත රාශිය (අවශේෂ ධර්‍ම) …
කාඞ්ක්‍ෂා (සැක) තුනෙක: අතීත කාලය ඇරැබැ සැක කරයි, නිශ්චය කට නොහැකි ව වෙහෙසෙයි, ඇලෙනු නොහැකි වෙයි; නො පැහැදෙයි, අනාගත කාලය ඇරැබැ හෝ සැක කරයි, නිශ්චය කට නො හැකි වැ වෙහෙසෙයි, ඇලෙනු නො හැකි වෙයි; දැන් වර්‍තමාන කාලය ඇරැබැ හෝ සැක කෙරෙයි, නිශ්චය කට නො හැකි වැ වෙසෙයි, ඇලෙනු නොහැකි වෙයි, නො පැහැදෙයි.
තථාගතයන් වහන්සේගේ නොරැක්කැ යුතු තැන් තුනෙකි: ඇවැත්නි, තථාගතයන් වහන්සේ පිරිසිදු කායසමාචාර ඇති සේක. මගේ මේ ක්‍රියාව මෙරමා නහමක් දනී වා යි තථාගතයන් වහන්සේ යමක් රක්නාසේක් ද (තථාගතයන් වහන්සේ විසින් රැක්කැ යුදු ද), එසේ වූ තථාගතයන් වහන්සේගේ කාය දුශ්චරිතයෙක් නැත. තථාගතයන් වහන්සේ පිරිසිදු වාක්සමාචාර ඇති සේක. මෙය මෙරමා නො දනී වා’ යි යමක් තථාගතයන් වහන්සේ රක්නා සේක් ද (රැක්ක යුතු ද) එසේ වූ තථාගතයන් වහන්සේගේ වාග් දුශ්චරිතයෙක් නැත, තථාගතයන් වහන්සේ පිරිසිදු වාක්සමාචාර ඇති සේක. මෙය මෙරමා නො දනී වා’ යි යමක් තථාගතයන් වහන්සේ රක්නා සේක් ද (රැක්කැ යුතු ද) එසේ වූ තථාගතයන් වහන්සේගේ මනෝදුශ්චරිතයෙක් නැත.
කිඤ්චන (සත්‍වයන් බඳනා පරිබෝධ) තුනෙකි: රාගය කිඤ්නයෙකි (පරිබෝධයෙකි). ද්වේෂය කිඤ්චනයෙකි (පරිබෝධයෙකි), මෝහය කිඤ්චනයෙකි (පරිබෝධයෙකි).
අග්නි (ගිනි) තුනෙක: රාග ගින්න ය, ද්වේෂ ගින්න ය, මෝහ ගින්න ය.
තව ද අග්නි තුනෙක: ආහුනෙයාග්නිය (මාපිය නැමැති ගින්න ය), ගෘහපත්‍යග්නිය (ගෙහිමියා නැමැති ගින්න ය), දක්‍ෂිණේයාග්නිය (භික්‍ෂුසඞ්ඝ නැමැති ගින්න ය).
තුන් කොටසෙකින් රූපසඞ්ග්‍රහය (රූපයන් ගණන් ගැන්ම) වේ: නිදර්‍ශන (චක්‍ෂුර්විඥාන) සහිත ප්‍රතිඝ (ඇසට ගොදුරු වීම් වශයෙන් හැපීම්) සහිත රූපයෙක (රූපායතනය ය), නිදර්‍ශන (චක්‍ෂුර්විඥාන) නොමැති ප්‍රතිඝ (ශ්‍රොත්‍රාදියේ හැපීම්) සහිත රූපයෙක (චක්‍ෂුරායතනාදි නව ආයතන ය), නිදර්‍ශන (චක්‍ෂුර්විඥාන) නැති, ප්‍රතිඝ (හැපීම්) නැති රූපයෙක (ශුක්‍ෂමරූප ය).
සංස්කාර තුනෙක: පුණ්‍යාභිසංස්කාරය (කාමාවචර රූපාවචර කුශල චේතනා ය), අපුණ්‍යාභිසංස්කාරය (අකුශල චේතනා), ආනෙඤ්ජාභිසංස්කාරය (අරූපාවචර කුශල චේතනා ය).
පුද්ගලයෝ ති දෙනෙක: ශෛක්‍ෂ පුද්ගලයා ය, අශෛක්‍ෂ පුද්ගලයා ය, නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ පුද්ගලයා ය.
ස්ථවිර ති දෙනෙකි: ජාතිස්ථවිරය (මහලුගිහි ය), ධර්‍මස්ථවිර ය (ථේරකරණිය ධර්‍ම වූ සිල්වත්බව් ආදී සතර ධර්‍මයෙන් යුක්ත පැවිද්දා ය), සම්මති ස්ථවිරය (නමින් පමණක් ස්ථවිර වූයේ ය).
පුණ්‍යක්‍රියාවස්තු (පුණ්‍යක්‍රියා වූ ද ඒ ඒ ආනිසංසයන වස්තු කාරණ වූ ද දෑ) තුනෙක: දානමය පුණ්‍යක්‍රියාවස්තුව, ශීලමය පුණ්‍යක්‍රියාවස්තුව, භාවනාමය පුණ්‍යක්‍රියා වස්තුව.
චෝදනාවස්තු (චෝදනාවනට කරුණු වූ දෑ) තුනෙක: දැකීමෙන් චෝදනා කෙරෙති, ඇසීමෙන් චෝදනා කෙරෙති, සැක කිරීමෙන් චෝදනා කෙරෙති.
කාමෝපපත්ති (කම් සුව විඳුම්) තුනෙක: ඇවැත්නි, එළැඹැ සිටි කාම ඇති (නිබඳ වැ පැවැති කාමවස්තු ඇති) සත්‍ව කෙනෙක් ඇත. මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද (යාමාදි සතර දෙව්ලෝ වැස්සෝ ද) ඇතැම් විනිපාතිකයෝ ද (නිරිසතුන් හැර සෙසු ආපායිකයෝ ද) යන ඒ සත්‍වයෝ එළඹැ සිටි කාමවස්තූන්හි සිය වශය (කැමැති සේ පවත්නා බව) පවත්වත්. මේ පළමු කාමෝපපත්තිය ය. ඇවැත්නි, මවාගන්නා ලද කාමවස්තු ඇති සත්‍ව කෙනෙක් ඇත. ඔහු නිර්‍මාණරති දෙවියෝ යම් සේ ද එසේ ම නිර්මිත කොට කොට ගෙන කාමවස්තූන්හි වශය පවත්වත්. මේ දෙවෙනි කාමෝපපත්තිය ය. ඇවැත්නි, මෙරමා විසින් මවන ලද කාමවස්තූන් පරිභෝග කරන සත්‍ව කෙනෙක් ඇත. ඔහු පරනිර්මිත වශවර්ත්තී දෙවියෝ යම්සේ ද එසේ අනුන් විසින් නිර්මිත කරන ලද කාමවස්තූන්හි වශය පවත්වත්. මේ තෙවෙනි කාමෝපපත්තිය ය.
සුඛෝපපත්ති (සුව ලැබීම්) තුනෙක: ඇවැත්නි, බ්‍රහ්මකායික දෙවියෝ යම් සේ ද, එසේ උපදව උපදවා පළමු දහන් සුව විඳුනා සත් කෙනෙක් ඇත. මේ පළමු සුව ලැබීම ය. ඇවැත්නි, ආභාස්වර දෙවියෝ යම් සේ ද, එසේ (දෙවෙනි දහන්) සුවයෙන් තෙමුණු, හැම ලෙසින් ම තෙමුණු, පිරුණු, පැතිරැගත් සත් කෙනෙක් ඇත. ඔහු කිසි විටෙක ‘අහෝ සුවයෙකැ! අහෝ සුවයෙකැ!’ යි උදන් අනත්. මේ දෙවෙනි සුඛෝපපත්තිය ය. ඇවැත්නි, ශුභකෘත්ස්නක දෙවියෝ යම් සේ ද, එසේ (තෙවෙනි දහන්) සුවයෙන් තෙමුණු, හැම ලෙසින් තෙමුණු, පිරුණු, පැතිරැගත් සත් කෙනෙක් ඇත. ඔහු (තමන් ලද දහන් සුවින්) සතුටු වූවාහු, ශාන්ත (ප්‍රණීත) වූ ම සිත් සුවය විඳිත්. මේ තෙවෙනි සුවලැබීම ය.
ප්‍රඥා තුනෙක: ශෛක්‍ෂ ප්‍රඥා ය (සෝවාන් ආදී සත් ආර්‍ය ප්‍රඥා ය), අශෛක්‍ෂ ප්‍රඥා ය (රහත් පල නුවණ ය), නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ ප්‍රඥා ය (මාර්‍ගඵලප්‍රඥායෙන් අන්‍ය වූ සියලු ලොවී නුවණ ය).
තව ද ප්‍රඥා තුනෙක: චින්තාමය ප්‍රඥාව, ශ්‍රැතමය ප්‍රඥා ව, භාවනාමය ප්‍රඥාව.
ආයුධ තුනෙක: ශ්‍රැත්‍යායුධය, ප්‍රවිවේකායුධය, ප්‍රඥායුධය.
ඉන්‍ද්‍රිය තුනෙක: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය (සෝවාන් මඟ නුවණ), අඤ්ඤින්‍ද්‍රිය ය (සෝවාන් පලය පටන් කොට ඉදිරි සතන්හී නුවණ) අඤ්ඤාතාවින්‍ද්‍රිය ය (රහත්පල නුවණ).
ඇස් තුනෙක: මසැස, දිවැස, පැණැස.
ශික්‍ෂා තුනෙක: අධිශීලශික්‍ෂාව, අධිචිත්තශික්‍ෂාව, අධිප්‍රඥාශික්‍ෂාව.
භාවනා තුනෙක: කායභාවනාව (රහත්හුගේ පස් දොර), චිත්තභාවනාව (අට සමවත්), ප්‍රඥාභාවනාව (රහත්පල නුවණ)
අනුත්තරිය තුනෙක: දස්සනානුත්තරියය (උතුම් දැක් ම විදර්‍ශනාව) පටිපදානුත්තරිය ය (උතුම් ම පිළිපැදීම = ආර්‍ය්‍යමාර්‍ග ය), විමුත්තානුත්තරිය ය (උතුම් ම මිදීම = ආර්‍ය්‍යඵලය).
සමාධි තුනෙක: සවිතර්‍ක සවිචාර සමාධිය, අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය, අවිතර්‍ක අවිචාර සමාධිය.
අන්‍ය දු සමාධි තුනෙක: ශුන්‍යතාසමාධිය, අනිමිත්ත සමාධිය, අප්‍රණිහිත සමාධිය.
සෞචෙය (පිරිසිදු බව ඇති කරන පිළිපැදුම්) තුනෙක: කායසෞචෙය ය (තුන් කායදුශ්චරිතයෙන් වැළැක්ම), වාක්සෞචෙය ය (සතර වාග් දුශ්චරිතයෙන් වැළැක්ම), මනස්සෞචෙයය (තුන් මනෝදුශ්චරිතයෙන් වැළැක්ම).
මෞනෙය (මුනිබව කරන පිළිපැදුම්) තුනෙක්: කායමෞනේයය, වාඞ් මෞනේයය, මනෝමෞනේයය.
කෞශල්‍ය (දක්‍ෂතා - දැනුම්) තුනෙක: ආයකෞශල්‍යය (වැඩීම දන්නා නුවණ), අපාය කෞශල්‍යය (නො වැඩීම දන්නා නුවණ), උපාය කෞශල්‍යය (වැඩුම් පිරිහුම් දෙකට කාරණ දන්නා නුවණ).
මද තුනෙක: ආරෝග්‍යමදය (නිරෝග බව නිසා උපදනා උඬගු බව), යෞවන මදය (තරුණ බව නිසා උපදනා උඩඟු බව), ජීවිත මදය (බොහෝ කල් ජීවත් වීමි සුවසේ ජීවත් වීමි ජීවත්වන්නෙමි යන ආදීන් ජීවත්වීම පිළිබඳ ව උපදනා උඩඟු බව).
ආධිපත්‍ය තුනෙක: ආත්මාධිපත්‍යය (ආත්මගෞරවය නිසා පව් නො කරන බව), ලෝකාධිපත්‍යය (ලෝකයා අධිපති කොට ගෙන ලෝකයාගෙන් අපවාද ලැබෙතැ යි සලකා පව් නොකරන බව), ධර්‍මාධිපත්‍යය (ලොවුතුරාදහම් අධිපති කොට ගෙන - ලොවුතුරා දහම් පසක් කළ බැවින් පව් නොකරන බව).
කථාවස්තු (කථාවට කරුණු) තුනෙක: අතීතය මෙසේ වී යැ යි අතීත කාලය ඇරැබැ කථා කරන්නේ ය. අනාගතය මෙසේ වන්නේ යැ යි අනාගත කාලය ඇරැබැ හෝ කථා කරන්නේ ය, දැන් පවත්නා කාලය මෙසේ වේ යැ යි වර්‍තමාන කාලය ඇරැබැ හෝ කථා කරන්නේ ය.
විද්‍යා තුනෙක: පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කරන නුවණ විද්‍යාවෙක, සතුන්ගේ ච්‍යුති උපපත්ති දන්නා නුවණ විද්‍යාවෙක, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙහි නුවණ (මාර්‍ගඥානය) විද්‍යාවෙක.
විහාර (වුසුම්) තුනෙක: දිව්‍ය විහාරය (අට සමවත් ය), බ්‍රහ්මවිහාරය (අප්‍රාමාණ්‍ය සතරය), ආර්‍ය්‍යවිහාරය (පලසමවත්ය).
ප්‍රාතිහාර්‍ය්‍ය තුනෙක: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය, ආදේශනප්‍රාතිහාර්‍ය්‍යය, අනුශාසනිප්‍රාතිහාර්‍ය්‍යය.
ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් ධර්‍ම කෙනෙක් මොනොවට වදාරන ලද්දාහ. එහි සියල්ලන් විසින් ම … සමග වැ ගැයිය යුතු … එය … දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
චතුෂ්කය
10. ඇවැත්නි, දන්නාවූ දක්නාවූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද සතර ධර්‍ම කෙනෙක් ඇත. එහි මෙ සස්න බොහෝ කල් පැවැතියැ හැකි වනු පිණිස, චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින් ම සමග වැ ගැයියැ යුතු, විවාද නො කළ යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය. ඒ කවර සතර ධර්‍මයෝ ද? යත්:
සතිපට්ඨානයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යාවත් දොම්නසත් බැහැරැ කොට රූ කයෙහි කය අනුව බලන්නේ වෙසෙයි … වේදනාවන්හි වේදනා අනුවැ බලන්නේ … වෙසෙයි. සිත්හි සිත් අනුවැ බලන්නේ … වෙසෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින්දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යාවත් දොම්නසත් බැහැරැ කොට ධර්‍මයන්හි ධර්‍ම අනුවැ බලන්නේ වෙසෙයි.
සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුසල් දහමුන් නො උපදනා පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි. උපන් ලාමක අකුසල් දහමුන් බැහැරැ ලනු පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි. නූපන් කුසල් දහමුන් ඉපැත්ම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි. උපන් කුසල් දහමුන් සිටිනු පිණිස, නොනස්නා පිණිස, බොහෝ සෙයින් වනු පිණිස,මහත් වනු පිණිස, භාවනායෙන් පිරෙනු පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි.
ඍද්ධිපාදයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම කත්තුකම්‍යතා ඡන්‍දය අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධාන සංස්කාරයෙන් (හෙවත්) චතුෂ්කෘත්‍ය සාධක සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි, චිත්තය අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධාන සංස්කාරයෙන් (ප්‍රධාන වීර්‍ය්‍යයෙන්) ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි, වීර්‍ය්‍යය අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධානසංස්කාරයෙන් ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. මීමාංසාව (ප්‍රඥාව) අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධාන වීර්‍ය්‍යයෙන් ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි.
ධ්‍යාන සතරෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම, විතර්‍ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුඛවේදනාව ඇති ප්‍රථම ධ්‍යානය ලැබ වෙසෙයි; විතර්‍ක විචාර දෙක සංසිඳීමෙන් තමා තුළ පහන්බව ඇති කරන, සිතේ එක් අරමුණෙක ම පිහිටි බව ඇති, විතර්‍ක නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතිය හා සුඛවේදනාව ඇති, ද්වීතිය ධ්‍යානය ලැබ වෙසෙයි: ප්‍රීතිය ද දුරැ ලීමෙන් උපේක්‍ෂක ව ද වෙසෙයි, සිහි ඇත්තේ ද නුවණින් දන්නේ, නාම කයින් සුවය විඳියි. ‘උපේක්‍ෂා ඇති, සිහි ඇති, සුව වුසුම් ඇති යේ යැ’ යි යමක්හු ඇරැබැ ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වෙසෙයි; සුඛවේදනාව ද බැහැරැ කිරීමෙන්, දුක් වේදනාව ද බැහැර කිරීමෙන් පළමුවෙන් ම සොම්නස් දොම්නසුන් පහ වැ යෑමෙන්, සුව ද දුක් ද නොවන, උපේක්‍ෂායෙන් සිද්ධ වූ සිහියැ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසෙයි.
සමාධිභාවනා සතරෙක: ඇවැත්නි, යමෙක් භාවිත වූයේ (වඩන ලද්දේ) බහුලීකෘත වූයේ (බහුල කොට කරන ලද්දේ) මෙ අත්බව්හි ම සුව වුසුම පිණිස පවත්නේ ද එසේ වූ සමාධිභාවනාවෙක් ඇත; යමෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දර්‍ශනඥානය ලබනු පිණිස පවත්නේ ද එසේ වූ සමාධිභාවනාවෙක් ඇත; යමෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ සිහි නුවණ පිණිස පවත්නේ ද එසේ වූ සමාධිභාවනාවෙක් ඇත; යමෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ ආස්‍රවයන්ගේ ක්‍ෂයය පිණිස පවත්නේ ද එසේ වූ සමාධිභාවනාවෙක් ඇත.
ඇවැත්නි, කවර සමාධිභාවනාවෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ මෙ අත්බව්හි සුව වුසුම පිණිස පවතී ද? යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම විතර්‍කසහිත … ප්‍රථම ධ්‍යානයට … ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේ. ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ බහුලීකෘත වූයේ මෙ අත්බව්හි සුව වුසුම පිණිස පවතී.
ඇවැත්නි, කවර සමාධිභාවනාවෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දර්‍ශනඥානය (දිවැස් නුවණ) ලබනු පිණිස පවත්නේ ද? යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ තමා දහවල් දුටු ආලෝකය යම් සේ නම් එසේ ම එය රාත්‍රියෙහි ද, රාත්‍රියෙහි දුටු ආලෝකය යම්සේ නම් එසේ ම එය දහවල් දැ යි (හිරු පහන් ආදීන්ගේ ආලෝකය අරමුණු කොට) ආලෝක සංඥාව මෙනෙහි කෙරෙයි, දහවලැ යි සංඥාව සිතැ පිහිටුවයි. මෙසේ නොවැසුණු (විවෘත වූ) හාත්පසැ නොබැඳුණු සිතින් ආලෝක සහිත ධ්‍යාන සිත වඩයි. ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ බහුලීකෘත වූයේ දර්‍ශනඥානය (දිවැස්නුවණ) ලබනු පිණිස පවතී.
ඇවැත්නි, කවර සමාධිභාවනාවෙක් භාවිත වූයේ, බහුලීකෘත වූයේ, ස්මෘතිසම්ප්‍රජානනය පිණිස පවත්නේ ද? යත්: මහණෙනි, මෙහි මහණහු විසින් වේදනාවෝ දන්නා ලද්දාහු උපදිත්, දන්නා ලද්දාහු එළැඹැ සිටිත්, දන්නා ලද්දාහු නැසීමට යෙත්; සංඥාවෝ දන්නා ලද්දාහු උපදිත්, දන්නා ලද්දාහු එළැඹැ සිටිත්, දන්නා ලද්දාහු නැසීමට යෙත්; විතර්‍කයෝ දන්නා ලද්දාහු උපදිත්, දන්නා ලද්දාහු එළැඹැ සිටිත්, දන්නා ලද්දාහු නැසීමට යෙත්. ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ, බහුලීකෘත වූයේ, ස්මෘතිසම්ප්‍රජානනය පිණිස පවතී.
ඇවැත්නි, කවර සමාධිභාවනායෙක් භාවිත වූයේ, බහුලීකෘත වූයේ, ආස්‍රවයන්ගේ ක්‍ෂයය පිණිස පවත්නේ ද? යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ‘රූපය මෙසේ ය, රූපයේ ඉපැද්ම මෙසේ ය, රූපයේ වැනැස්ම මෙසේ ය, වේදනාව මෙසේ ය, වේදනාවේ ඉපැද්ම මෙසේ ය, වේදනාවේ වැනැස්ම මෙසේ ය, සංඥාව මෙසේ ය ... සංස්කාරයෝ මෙසේ ය ... විඥානය මෙසේ ය, විඥානයේ ඉපැද්ම මෙසේ ය, විඥානයේ වැනැස්ම මෙසේ යැ’ යි උපාදානස්කන්‍ධ පසෙහි උදය ව්‍යයය (ඉපැද්ම හා වැනැස්ම) අනුව දක්නේ වෙසෙයි. ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ, බහුලීකෘත වූයේ ආස්‍රවයන්ගේ ක්‍ෂයය පවතී.
අප්‍රාමාණ්‍යයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ මෙත් සහගිය සිතින් එක් දෙසක් පැතිරැගෙන වෙසෙයි, එසේ දෙවෙනි දෙස, එසේ තෙවෙනි දෙස, එසේ සතරවැනි දෙස පැතිරැ ගෙන වෙසෙයි. මෙ පරිද්දෙන් උඩ යට සරස යන හැම තන්හි සියලු සතුන් තමාට සමතායෙන්, සියලු සතුන්ගෙන් යුත් සත්‍වලෝකය (පැතිරීම් වශයෙන්) විපුල වූ, (භූමිවශයෙන්) මහද්ගත වූ අප්‍රමාණ සතුන් අරමුණු කොටැති, සතුරන් නැති, ව්‍යාපාද (වෛර) නැති, මෙත් සහගත සිතින් පැතිරැගෙන වෙසෙයි … කරුණා සහගත සිතින් … මුදිතා සහගත සිතින් … උපේක්‍ෂා සහගත සිතින් එක් දෙසක් පැතිරැ ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙසක්, එසේ තෙවෙනි දෙස, එසේ සතරවැනි දෙස පැතිරැගෙන වෙසෙයි. මෙ පරිද්දෙන් උඩ යට සරස යන හැම තන්හි සියලු සතුන් තමාට සමතායෙන්, සියලු සතුන්ගෙන් යුත් සත්‍වලෝකය විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ සතුන් අරමුණු කොටැති, සතුරන් නැති, ව්‍යාපාද නැති උපේක්‍ෂාසහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි.
ආරූප්‍ය සතරෙක: මහණෙනි, මෙහි මහණ තෙමේ හැම ලෙසින් රූපසංඥාවන් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන් දුරු වීමෙන්, නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන්, ‘ආකාශය අනන්ත යැ’ යි ආකාසානඤ්චායතන සමාධියට පැමිණ වෙසෙයි, හැම පරිද්දෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතන සමාධියට පැමිණ වෙසෙයි, හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතන සමාධියට පැමිණ වෙසෙයි, හැම පරිද්දෙන් ආකිඤ්චඤ්ඤායතන සමාධිය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට පැමිණ වෙසෙයි.
අපස්සේන (අපශ්‍රයණ) සතරෙක: මහණෙනි, මෙහි මහණ තෙමේ නුවණින් දැන සේවනය කළ යුතු එක ම සෙවියි, නුවණින් දැන ඉවැසියැ යුතු එක ම ඉවසයි, නුවණින් දැන ඉවත් කළ යුතු එක ම ඉවත් කෙරෙයි, නුවණින් දැන දුරු කළ යුතු එක ම දැය දුරු කෙරෙයි.
ආර්‍ය්‍යවංශ ධර්‍ම සතරෙක: මහණෙනි, මෙහි මහණ තෙමේ ඉතරෙතර චීවරයෙන් (ලැබුණු යම් කවර හෝ සිවුරෙකින්) සතුටු වෙයි. ලැබුණු කවර හෝ සිවුරෙකින් සතුටු වීමෙහි ගුණ කියන සුලු ද වෙයි, සිවුර හේතු කොට ගෙන නො සුදුසු වූ අනෙෂණයකට නො පැමිණෙයි, සිවුරක් නො ලැබීමෙන් ද නො කලකිරෙයි. සිවුරක් ලැබ ද ලෝභයෙන් නො ගැටගැසුණේ (අධික තෘෂ්ණායෙන්) මුසපත් නොවූයේ, (තෘෂ්ණායෙන්) නොබැඳුණේ (අනෙෂණයෙන් ප්‍රත්‍යය ලැබීමෙහිත් තෘෂ්ණායෙන් බැඳී පරිභෝග කිරීමෙහිත්) දොස් දක්නා සුලු වූයේ, (හුදු ශීත නැසීම පිණිසය යන ආදීන් පස්විකීම් වශයෙන්) නිඃශරණප්‍රඥා ඇත්තේ පරිභෝග කෙරෙයි. ඒ ඉතරෙතරචීවර සන්තෝෂයෙන් තමා හුවා නො දක්වයි, මෙරමා හෙලා නො දකී. හේ වූ කලි ඒ චීවරසන්තෝෂයෙහි ව්‍යක්ත වූයේ, අනලස් වූයේ, මනා නුවණින් දන්නේ, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ මහණ තෙමේ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද, ආර්‍ය්‍යවංශ ධර්‍මයෙහි සිටියේ යැ යි කියනු ලැබේ.
ඇවැත්නි, තව ද මහණ තෙමෙ ඉතරෙතර පිණ්ඩපාතයෙන් (යම් කවර හෝ ලැබුණු බොජුනෙකින්) තෘප්ත වෙයි, ඉතරෙතර පිණ්ඩපාතයෙන් තෘප්ත වීමෙහි ගුණ කියන සුලු ද වෙයි, පිණ්ඩපාතය හේතු කොට ගෙන නොසුදුසු අනෙෂණයකට නො පැමිණෙයි, පිණ්ඩපාතය නො ලැබීමෙන් ද නො කලකිරෙයි, පිණ්ඩපාතය ලැබ ද ලෝභයෙන් නො ගැට ගැසුණේ, අධික තෘෂ්ණායෙන් මුස පත් නො වූයේ, (තෘෂ්ණායෙන්) නො බැඳුණේ, එහි දොස් දක්නා සුලු වූයේ, නිඃශරණ ප්‍රඥා ඇත්තේ පරිභෝග කෙරෙයි, ඒ ඉතරෙතර පිණ්ඩපාත සන්තෝෂයෙන් තමා හුවා නො දක්වයි, මෙරමා හෙලා නො දකී. හේ වූ කලි ඒ පිණ්ඩපාත සන්තෝෂයෙහි ව්‍යක්ත වූයේ, අනලස් වූයේ, මනා නුවණින් දන්නේ, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ මහණ තෙමෙ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද, ආර්‍ය්‍යවංශ ධර්‍මයෙහි සිටියේ යැ යි කියනු ලැබේ.
ඇවැත්නි, තව ද මහණ තෙමෙ ඉතරෙතර ශයනාසනයෙන් (ලැබුණු යම් කවර ද සෙනස්නෙකින්) තෘප්ත වෙයි, ඉතරෙතර ශයනාසනයෙන් තෘප්ත වීමෙහි ගුණ කියන සුලු ද වෙයි, ශයනාසන හේතු කොට ගෙන නොසුදුසු අනෙෂණයකට නො පැමිණෙයි, ශයනාසන නොලැබීමෙන් ද නො කලකිරෙයි, ශයනාසන ලැබ ද එහි (ලෝභයෙන්) නො ගැට ගැසුණේ, (අධිකතෘෂ්ණායෙන්) මුසපත් නොවූයේ, (තෘෂ්ණායෙන්) නො බැඳුණේ එහි දොස් දක්නා සුලු වූයේ, නිඃශරණප්‍රඥා ඇත්තේ පරිභෝග කෙරෙයි. ඒ ඉතරෙතර ශයනාසන සන්තෝෂයෙන් තමා හුවා නො දක්වයි, මෙරමා හෙලා නො දකී. හේ වූ කලි ඉතරෙතර ශයනාසන සන්තෝෂයෙහි ව්‍යක්ත වූයේ, අනලස් වූයේ, මනා නුවණින් දන්නේ, එළැඹසිටි සිහි ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ මහණ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද, ආර්‍ය්‍යවංශ ධර්‍මයෙහි සිටියේ යැ යි කියනු ලැබේ.
ඇවැත්නි, තව ද මහණ තෙමෙ (පංචවිධ) ප්‍රහාණයෙහි ඇලුම් ඇත්තේ, ප්‍රහාණයෙහි ඇලුණේ වෙයි, භාවනායෙහි ඇලුම් ඇත්තේ, භාවනායෙහි ඇලුණේ වෙයි. ඒ ප්‍රහාණාරමතා හේතුයෙන්, ඒ ප්‍රහාණරති හේතුයෙන්, ඒ භාවනාරාමතා හේතුයෙන්, ඒ භාවනාරති හේතුයෙන් තමා නො ම හුවා තබයි, මෙරමා නො ම හෙලා දකී. හේ එහි ව්‍යක්ත වූයේ, අනලස් වූයේ මනා නුවණින් දන්නේ, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ මහණ පැරැණි වූ අග්‍රයැ යි දන්නා ලද, ආර්‍ය්‍යවංශ ධර්‍මයෙහි සිටියේ යැ යි කියනු ලැබේ.
ප්‍රධානයෝ (උතුම් වීර්‍ය්‍යයෝ) සතර දෙනෙක: සංවරප්‍රධානය, ප්‍රහාණප්‍රධානය, භාවනාප්‍රධානය, අනුරක්‍ෂණප්‍රධානය යන සතර යැ.
ඇවැත්නි, සංවරප්‍රධාන නම් කවරේ යැ? මහණෙනි, මෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක එහි (කෙලෙස් ඉපැද්මට වස්තු වූ) නිමිත්තක් ගන්නා සුලු නො වෙයි. අනුව්‍යඤ්ජනයක් (හස්ත පාද හෝ සිනහ ආදි ආකාරයක්) ගන්නා සුලු නො වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවර නැති වැ වසන තෙල පුඟුලා ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබඳින්නාහු ද එය හවුරනු පිණිස පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය රැකගනී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කනින් හඬ අසා … නාශායෙන් ගඳ ආඝ්‍රාණය කොට … දිවෙන් රස විඳ … කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් පැහැස … මනසින් ධර්‍මාලම්බනයක් සිතා එහි නිමිති ගන්නා සුලු නො වෙයි. අනුව්‍යංජනයක් ගන්නා සුලු නො වෙයි. යම් කරුණෙකින් මනඉන්‍ද්‍රියයෙහි සංවර නැති වැ වසන තෙල පුඟුලා ලාමක අකුශල ධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබඳනාහු ද, එය හවුරනු පිණිස පිළිපදී, මන ඉන්‍ද්‍රියය රැකගනී, මන ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ඇවැත්නි, මෙය සංවරප්‍රධානයැ යි කියනු ලැබේ.
ඇවැත්නි, ප්‍රහාණප්‍රධානය කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙමේ උපන් කාමවිතර්‍කය නො ඉවසයි. හැර පියයි බැහැරැ කෙරෙයි, ක්‍ෂීණ කෙරෙයි, යලි නො හටගන්නා බවට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය … උපන් විහිංසාවිතර්‍කය … උපන් උපන් ලාමක අකුසල් දහමුන් නොඉවසයි, හැරපියයි, බැහැරි කෙරෙයි, ක්‍ෂීණ කෙරෙයි, යලි නොහටගන්නා බවට පමුණුවයි. ඇවැත්නි, මෙය ප්‍රහාණප්‍රධාන යැ යි කියනු ලැබේ.
ඇවැත්නි, භාවනාප්‍රධානය කවරේ ද? ඇවැත්නි, මෙහි මහණ තෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ, වොස්සග්ගය (ක්ලේශත්‍යාගයට හා නිවන් පසක් කිරීම) අතට නැඹුරු ව මුහුකුරා යන ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි … ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය වඩයි … වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය වඩයි … ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි …ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි … සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි … විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, වොස්සග්ගය අතට නැඹුරු වැ මුහුකුරා සම්බෝධ්‍යඞ්ගය වඩයි. ඇවැත්නි, මේ භාවනාප්‍රධානයැ යි කියනු ලැබේ.
ඇවැත්නි අනුරක්‍ෂණප්‍රධානය කවරේ ද? ඇවැත්නි මෙහි මහණ තෙමේ අට්ඨිකසඤ්ඤා ය පුලවකසඤ්ඤා ය විනීලකසඤ්ඤා ය විච්ඡිද්දකසඤ්ඤා ය උද්ධුමාතකසඤ්ඤා ය යන මොවුන්ගේ වශයෙන් උපන් යහපත් සමාධිනිමිත්තය (චිත්තසමාධිය) රැකගනී. ඇවැත්නි මෙය අනුරක්‍ෂණප්‍රධාන යැ යි කියනු ලැබේ.
ඥාන සතරෙක: සිවුසස් පිළිවිදුනා නුවණ, සිවුසස් නුවණ අනුව ගිය නුවණ, පර සිත් දන්නා නුවණ, සම්මතියෙහි නුවණ (උඩ කී තුන් නුවණින් ඉතිරි සියලු නුවණ.)
අන්‍ය වූ ද ඥාන සතරෙක: දුකෙහි නුවණ, දුක උපදවන හේතුයෙහි නුවණ, දුඃඛනිරෝධයෙහි නුවණ, දුක් නැස්මට යන පිළිවෙත්හි නුවණ.
ශ්‍රෝත ආපත්‍යඞ්ග (සෝවන් මඟ ලබනුවට කරුණු) සතරෙක : සත්පුරුෂ සේවනය, බණ ඇසීම, උපාය මනස්කාරය, ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තිය.
ශ්‍රෝත ආපන්නාඞ්ග (සෝවාන් වූවහුගේ අංග) සතරෙක: ඇවැත්නි, මෙහි ආර්‍ය ශ්‍රාවකයා බුදුරජු කෙරෙහි ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව් මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යි ගුණ දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.
ධර්‍මය කෙරෙහි ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මොනොවට (ත්‍රිවිධ කල්‍යාණාදි විසින්) මොනොවට වදාරන ලද්දේ ය. එය තමා විසින් දැක්කැ යුතු ය, කල් නොයවා පල දෙන්නේ ය, ‘එව, බලව’ යි විධානයට සුදුසු ය, භාවනා වශයෙන් තම සිතැ එළැවීමට සුදුසු ය. (උද්ඝාටිතඥාදි නුවණැත්තන් විසින්) තම තමා කෙරෙහි දත යුතු යැ’ යි දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.
සඞ්ඝයා කෙරෙහි ‘පුරුෂ යුගල සතරෙක් වූ, පුරුෂ පුද්ගල අට දෙනෙක් වූ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ මනා පිළිවෙතට පිළිපන්නේ වෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඍජු වූ පිළිවෙතට පිළිපන්නේ වෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ නිවන් පිණිස පිළිපන්නේ වෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචි කර්‍මයට සුදුසු වැ පිළිපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ දුරැ සිටැ ද ගෙනවුත් සිල්වත්නට දියැ යුතු දන් පිළිගැන්මට සුදුසු ය, ආගන්තුක දානය පිළිගැන්මට සුදුසු ය, හැමට පළමු ව ගෙනවුත් පිදියැ යුතු දන් පිළිගන්නට සුදුසු ය, දක්‍ෂිණාව (පරලොව සඳහා දියැ යුතු දන්) පිළිගන්නට සුදුසු ය, දොහොත් මුදුනැ තබා වැන්දැ යුතු ය, සියලු ලොවට නිරුත්තර පින්කෙත යැ’ යි ගුණ දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.
මුලැ හෝ අගැ නොබුන් සිකපද ඇති, මැදැ නොබුන් සිකපද ඇති, පිළිවෙළින් දෙක තුන බැගින් නොබුන් සිකපද ඇති, අතරතුරැ නොබුන් සිකපද ඇති, තෘෂ්ණාදාසත්‍වයෙන් මිදුණු බුද්ධාදි විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්‍ශනය නො කරන ලද, සමාධිය පිණිස පවත්නා, ආර්‍ය්‍යයනට ප්‍රිය මනාප වූ ශීලයන්ගෙන් සමන්‍විත වෙයි.
ශ්‍රාමණ්‍යඵල (මහණකමේ ඵල) සතරෙකි. ශ්‍රෝත ආපත්තිඵලය, සකෘදාගාමිඵලය, අනාගාමි ඵලය, අර්‍හත්ත්‍වය ඵලය.
ධාතු සතරෙක: පෘථිවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව, වායුධාතුව.
ආහාර සතරෙක: දළ වූ හෝ සියුම් වූ කබලීකාරාහාරය, දෙවෙනි ස්පර්‍ශාහාරය, තෙවෙනි මනස්සඤ්චේතනාහාරය, සතර වැනි විඥානාහාරය.
විඥානස්ථිතිහු (සිත සිටුනා තැන්) සතර දෙනෙක: ඇවැත්නි, (පඤ්චවෝකාර භවයෙහි) රූපස්කන්‍ධය ඇසුරු කොට, රූපස්කන්‍ධය ගොදුරු කොටැ රූපස්කන්‍ධය ප්‍රතිෂ්ඨා කොට, තෘෂ්ණායෙන් තෙමන ලදු වැ අභිසංස්කාර විඥානය එළැඹ සිටිනුයේ සිටී. වැඩීමට වැවීමට මහත් බවට පැමිණේ. ඇවැත්නි, (චතුවෝකාර භවයෙහි) වේදනාස්කන්‍ධය ඇසුරු කොට … හෝ සංඥාස්කන්‍ධය ඇසුරු කොට … හෝ සංස්කාරස්කන්‍ධය ඇසුරු කොට, සංස්කාර ස්කන්‍ධය ගොදුරු කොට, සංස්කාර ස්කන්‍ධය ප්‍රතිෂ්ඨා කොට තෘෂ්ණායෙන් තෙමන ලදු වැ අභිසංස්කාර විඥානය එළැඹ සිටිනුයේ සිටී, වැඩීමට වැවීමට මහත් බවට පැමිණෙයි.
අගතිගමන සතරෙක: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යේ.
තෘෂ්ණෝත්පාද (තෘෂ්ණාව උපදනට අරමුණු) සතරෙක: ඇවැත්නි, මහණහට සිවුරු නිසා හෝ තෘෂ්ණාව උපදිනුයේ උපදී, පිණ්ඩපාතය නිසා හෝ මහණහට තෘෂ්ණාව උපදිනුයේ උපදී, සෙනසුන් නිසා හෝ මහණහට තෘෂ්ණාව උපදිනුයේ උපදී, ප්‍රත්‍යයයෙහි ප්‍රණීත බව් ප්‍රණීතතර බව් ආදි හේතුයෙන් ද මහණහට තෘෂ්ණාව උපදිනුයේ උපදී.
ප්‍රතිපත්ති සතරෙක: ලැසි වැ පැමිණෙන මාර්‍ගඥානය ඇති දුක සේ පිළිපදනා පිළිවෙත ය, වහා ලබන මාර්‍ගඥානය ඇති දුකසේ පිළිපදනා පිළිවෙත ය, ලැසි වැ ලබන මාර්‍ගඥානය ඇති සුව සේ පිළිපදනා පිළිවෙත ය, වහා ලබන මාර්‍ගඥානය ඇති සුව සේ පිළිපදනා පිළිවෙත යි.
අන්‍ය දු ප්‍රතිපත්ති සතරෙක: (ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීමෙහි දී) ශීතාදිය නො ඉවසන බව ඇති පිළිවෙතය, ශීතාදිය ඉවසන බව ඇති පිළිවෙත ය, ඉන්‍ද්‍රිය දමන සංඛ්‍යාත පිළිවෙතය, අකුශල විතරක් සංසිඳුවීම නැමැති පිළිවෙතයි.
ධර්‍මපද (දහම් කොටස්) සතරෙක: අනභිධ්‍යා නම් වූ දහම් කොටස ය, අව්‍යාපාද නම් වූ දහම් කොටස ය, සම්‍යක්ස්මෘති නම් වූ දහම් කොටස ය, සම්‍යක් සමාධි නම් වූ දහම් කොටස යි.
ධර්‍මසමාදාන සතරෙක: ඇවැත්නි, වත්මන්හි දුක් සහිත වූ ද මත්තෙහි දු දුක් විපාක ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇත. වත්මන්හි දුක් ඇති මත්තෙහි සැප විපාක ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇත. වර්‍තමානයෙහි සුව ඇති, මත්තෙහි දුක් ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇත. වත්මන්හි සුව ඇති මත්තෙහි දු සුව ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇති.
ධර්‍මස්කන්‍ධ සතරෙක: ශීලගුණස (ඵලශීලය), සමාධිගුණය (ඵලසමාධිය), ප්‍රඥාගුණය (ඵලප්‍රඥාව), විමුක්තිගුණය (ඵලවිමුක්තියි).
බල සතරෙක: වීර්‍ය්‍ය බලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබලයි.
අධිෂ්ඨාන (ගුණාධික පුරුෂයන් සිටුනා තැන්) සතරෙක: ප්‍රඥාධිෂ්ඨානය (රහත්පල නුවණ), සත්‍යාධිෂ්ඨානය (සත්‍ය වචනය), ත්‍යාගාධිෂ්ඨානය (ආමිෂ පරිත්‍යාගය), උපශමාධිෂ්ඨානයි (කෙලෙස් සංසිඳුවීම).
ප්‍රශ්නව්‍යාකරණ සතරෙක: ඒකාන්තයෙන් විසැඳියැ යුතු ප්‍රශ්නය, පිළිවිසැ විසැඳියැ යුතු ප්‍රශ්නය, බෙදා විසැඳියැ යුතු ප්‍රශ්නය, (නොවිසඳා) තබාලියැ යුතු ප්‍රශ්නයි.
කර්‍ම සතරෙක: ඇවැත්නි, කළු වූ කළු විපාක ඇති කර්‍මයෙක් (දශ අකුශල කර්‍මපථය) ඇත. ඇවැත්නි, සුදු වූ සුදු විපාක ඇති කර්‍මයෙක් (කුශලකර්‍මපථය) ඇත. ඇවැත්නි, කළු සුදු මිශ්‍ර වූ ද කළු සුදු විපාක ඇත්තාවූ ද කර්‍මයෙක් (සුවදුක් දෙන මිශ්‍ර කර්‍මයෙක්) ද ඇත. ඇවැත්නි, කළු නොවූ ද සුදු නොවූ ද කළු සුදු විපාක නැති යමෙක් කර්‍මක්‍ෂයය පිණිස පවත්නේ ද එබඳු වූ කර්‍මයෙක් (සතර මාර්‍ගඥානය) ඇති.
සාක්‍ෂාත්කරණීය ධර්‍ම සතරෙක: පූර්වේනිවාසය (පෙර වුසූ කඳ පිළිවෙළ) සිහියෙන් පසක් කළ යුතු, සත්‍වයන්ගේ ච්‍යුති උපපත්ති දෙක දිවැසින් පසක් කළ යුතු, විමෝක්‍ෂ අට සහජාත නාම කයින් පසක් කළ යුතු. ආස්‍රවයන්ගේ ක්‍ෂයය රහත්පල නුවණින් පසක් කළ යුතු.
ඕඝ (මහවතුරු) සතරෙක: කාම ඕඝය (පංචකාමගුණික රාගය), භව ඕඝය (රූපාරූපභවයන්හි ඡන්‍දරාගය), දෘෂ්ටි ඕඝය (දෙසැට මිස දිටු), අවිද්‍යා ඕඝය.
යෝග (සතුන් සසරැ යොදන බඳින අකුසල්) සතරෙක: කාමයෝගය, භවයෝගය, දෘෂ්ටියෝගය, අවිද්‍යායෝගයි.
විසංයෝග (බැඳුම් ලිහෑලුම්) සතරෙක: කාමයෝග විසංයෝගය (ආශුභධ්‍යානයත් එය පාදක කොට ලැබූ අනාගාමි මාර්‍ගයත්), භවයෝගවිසංයෝගය (රහත්මඟ), දෘෂ්ටියෝග විසංයෝගය (සෝවාන් මඟ), අවිද්‍යායෝග විසංයෝගයි (රහත්මඟ).
ග්‍රන්‍ථ (සසරැ නාමරූපයන් ගැට ගසන බඳින අකුසල්) සතරෙක : අභිධ්‍යාව (නාම කය හා රූප කය හා සසරැ ගැට ගසන) කාය ග්‍රන්‍ථයෙක, ව්‍යාපාදය කාය ග්‍රන්‍ථයෙක, ශීලව්‍රත දැඩි කොට ගැන්ම කාය ග්‍රන්‍ථයෙක, මෙය ම සත්‍ය යැ යි සෙස්ස හිස් යැ යි පැවැති දැඩි දෘෂ්ටිග්‍රාහය කාය ග්‍රන්‍ථයෙක.
උපාදාන (ගැනුම්) සතරෙක: කාමෝපාදානය (රාග නැමැති ග්‍රහණය), දෘෂ්ට්‍යුපාදානය (මිථ්‍යාදෘෂ්ටි නැමැති ග්‍රහණය), ශීලව්‍රතෝපාදානය (ශීලව්‍රතයෙන් ගැන්ම), ආත්මවාදෝපාදානය (ආත්මදෘෂ්ටිග්‍රහණය).