Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 4401-4500 න් 5108

ඔහු ධ්‍යාන බිජුවට නො වපුරවත්. නගුල්හු ද කෙතට නො පමුණුවනු ලබත්. එ මිනිස්සු නො සාන ලද බිමැ තමන් ම නැඟී පැසුණු හැල් පරිභෝග කෙරෙත්.
කුඩු නැති, තොහො නැති, ශුද්ධ වූ, සුවඳැති සහල් සැළියෙක බහා පිසැ, එයින් ගෙන බොජුන් වළඳත්.
එහි යක්කු එළ දෙන එක් කුරැති වාහනයක් කොට ගෙන දිශායෙන් දිශාවට යෙත්. සිවුපාවකු එක් කුරයක් ඇති වාහනයක් කොට ගෙන, දෙසින් දෙසට යෙත්.
ගැබිනි ස්ත්‍රියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. පුරුෂයකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.
කුමරියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්, කුමරකු වානහ කොට ගෙන, දෙසින් දෙස යෙත්.
ඒ වෙසවුණු රජු ගේ පරිවාරක යක්‍ෂයෝ එළැඹැ සිටි හස්තියාන ද අශ්වයාන ද (අන්‍ය බහුවිධ) දිව්‍යයාන ද යන එකී යානයන් අරා සියලු දික් සිසාරා යෙත්. යශස් ඇති ඒ වෙසවුණු මහ රජුට ප්‍රසාද ද සිවිගෙවල් ද වෙයි.
එ රජුට අහසැ මොනවට මවන ලද ආටානාටා ය, කුසිනාටා ය, පරකුසීනාටා ය, නාටපුරියා ය, පරකුසිතනාටා යැ යි නගරයෝ වෙත්.
එයින් (ඒ පරකුසිතනාටා නුවරින්) ඉඳුරා උතුරු දිගැ කපිවන්න නම් නුවරෙක් ද, එයින් ඔබ්බෙහි ජනෝඝ නම් නුවරෙක් ද, අන්‍ය නවනවති ය නම් නුවරෙක් ද අම්බරඅම්බරවතිය නම් නුවරෙක් ද ආළකමන්‍දා නම් අන්‍ය රාජධානියෙක් ද ඇත.
නිදුකාණනි, කුවේර මහ රජුගේ රජදහන විසාණා නම. එහෙයින් කුවේර මහ රජ වෙස්සවණ යැ යි නම් කරනු ලැබෙයි.
23. එහි තතෝලා, තත්තලා, තතෝතලා, ඕජසී. තේජසී, තතෝජසී, සූර, සූරරාජ, අරිට්ඨ, නෙමි, අරිට්ඨනෙමි යන නම් ඇති යක්රැටියෝ කරුණු විමසා පවසත්.
යම් පොකුණෙකින් දිය ඇද ගෙන් මේඝයෝ වසිත් ද, යම් පොකුණෙකින් වර්‍ෂාවෝ පැතිරෙත් ද, එසේ වූ ධරණී නම් ජලාසයෙක් ද, එහි වෙයි. එහි තෙරැ යකුන් රැස්වැ හිඳුනා භගලවතී මඩුවෙක් වෙයි.
එහි හාත්පසැ විවිධ පක්‍ෂි සමූහයන් ගෙන් යුක්ත වූ, මොණරුන් ද කොස් ලිහිණියන් ද විසින් දුන් නාද ඇති, කෝකිලාදීන් විසින් මනෝඥ නාදයෙන් උන්නාදිත වූ, නිති ඵල දරන වෘක්‍ෂයෝ වෙත්.
මෙහි ඒ පියුම් වෙනෙහි ‘ජීව ජීව’ යැ යි හඬ නඟන, (ජීව ජීවක නම්) පක්‍ෂි කෙනෙක් ද, තව උට්ඨවචිත්තක නම් පක්‍ෂීහු ද, වලිකුකුළෝ ද, රන්වන් කකුළුවෝ ද, පොක්ඛරසතක නම් පක්‍ෂීහු ද වෙත්.
මෙහි ගිරවුන්ගේ ද සැළලිහිණියන්ගේ ද හඬ ඇත. දණ්ඩමානවක නම් පක්‍ෂීහු ද, මෙහි හැසිරෙත්, මෙසේ හැම කල්හි ඒ කුවේරයා ගේ පියුම් විල නිරතුරු හොබනේ ය.
යශස් ඇති ඒ කුවේර මහරජ යම් දිගක් පාලනය කෙරෙයි ද, ඒ මෙතැනින් උතුරු දෙස යැ යි මහජනයා කිය යි.
නම් විසින් කුවේර යැ යි ප්‍රකට, යක්‍ෂාධිපති වූ, හේ යකුන් විසින් පෙරටු කරන ලද්දේ නෘත්‍ය ගීතයෙන් සිත් අලවා වෙසෙයි.
ඔහුට එක් නම ඇති බොහෝ පුතුන් ද වෙති යි මා විසින් අසන ලදී, ඉන්‍ද්‍ර යන නම ඇති, මහබලැති ඔහු එක් අනූ දෙනෙකි.
ඔහු ද සූර්‍ය්‍යබන්‍ධු වූ, ක්ලේශනිද්‍රායෙන් පිබිදුණු, මහත්ත්‍වප්‍රාප්ත වූ, පහ වූ බිය ඇති බුදුරජුන් දැක, ‘ආජානේය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා, උත්තම පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමදිත්.
‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි කියා අමනුෂ්‍යයෝ ද ඔබ වඳිත්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්, ‘ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි (ප්‍රශ්න කිරීම් වශයෙන්) කියම්හ. ‘අපි ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි ඔහු උත්තර දෙත්.
24. ‘නිදුකාණන් වහන්ස, මහණුනට ද මෙහෙණනට ද උවසුවනට ද උවැසියනට ද ගුප්තිය පිණිස රැක්ම පිණිස නො වෙහෙසීම පිණිස සැප විහරණ පිණිස වූ ඒ ආටානාටිය පිරිත නම් මෙ ය. නිදුකාණන් වහන්ස, යම් කිසි මහණක්හු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක විසින් මේ ආටානාටිය පිරිත මනා කොට උගන්නා ලද්දේ, අර්‍ත්‍ථව්‍යංජන විසින් පිරිපුන් කොට පුහුණු කරන ලද්දේ වී නම්, යක්‍ෂයෙක් හෝ යක්‍ෂිණියක් හෝ යක්‍ෂපෝතකයෙක් හෝ යක්‍ෂපෝතිකාවක් හෝ යක්‍ෂමහාමාත්‍රයෙක් හෝ යක්‍ෂපාරිෂද්‍යයෙක් හෝ යක්‍ෂපරිවාරකයෙක් හෝ, ගාන්‍ධර්‍වයෙක් හෝ ගාන්‍ධර්වියක් හෝ ගාන්‍ධරවපෝතකයෙක් ගාන්‍ධර්‍වපෝතිකාවක් හෝ ගාන්‍ධර්‍වමහාමාත්‍රයෙක් හෝ ගාන්‍ධර්‍වපාරිෂද්‍යයෙක් හෝ ගාන්‍ධර්‍වපරිවාරකයෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ පෝතකයෙක් හෝ කුම්භාණ්ඩ පෝතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිචාරකයෙක් හෝ; නාගයෙක් හෝ නාගිනියක් හෝ නාගපෝතකයෙක් හෝ නාගපෝතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාග පාරිෂද්‍යයෙක් හෝ නාග පරිචාරකයෙක් හෝ, මෙකී කිසි යම් අමනුෂ්‍යයෙක් ද්වේෂයෙන් ප්‍රද්විෂ්ට වූ සිතැත්තේ, මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ, මෙ කිසිවකු යන්නහු අනුව (පසු පසැ) යන්නේ ද, සිටියහු වෙතැ සිටින්නේ ද, උන්නහු වෙතැ ඉඳුනේ ද, හොත්තහු වෙතැ හෝනේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයා මගේ ගම්හි හෝ නියම්ගම්හි හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ ආළකමන්‍දා රාජධානියෙහි වසන ගෙයක් හෝ නවාතැනක් හෝ නො ලබන්නේ ය; නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ යක්‍ෂ සමාගමයට යන්නට හෝ නො ලබන්නේ ය. වැලි දු නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු ආවාහයක් නො කට හැක්කකු ද විවාහයක් නො කටහැක්කකු ද කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහුට අත්බව එළවා කියනු ලබන පරිපූර්‍ණ පරිභව වචනයෙන් බණින්නාහ. නිදුකාණන් වහන්ස, තව ද අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහ පාත්‍රයක් යැටිකුරු කොටැ ඔහු හිසැ ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු හිසැ ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු හිස සත් කඩක් කොට හෝ පළන්නාහු ද වෙත්.
25. නිදුකාණන් වහන්ස, නපුරු වූ සතුරු වූ, කළ දැයට වැඩියක් කරන අමනුෂ්‍යයෝ ඇත. ඔහු සතර වරම් මහ රජ දරුවන් ගේ බස් නො ම පිළිගනිත්. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහරජුන් ගේ සතුරෝ නමැ යි කියනු ලබත්. නිදුකාණන් වහන්ස, යම්සේ මගධාධිපති රජුගේ රටෙහි මහ සොරහු ඇත් ද, ඔහු මගධාධිපති රජුහු ගේ වචන නො ම පිළිගනිත් ද, මගධාධිපති රජුගේ සෙනෙවියන්ගේ වචන දු නො ම පිළිගනිත් ද, මගධාධිපති රජුගේ සෙනෙවියන්ගේ මෙහෙකරුවන් ගේ වචන දු නො ම පිළිගනිත් ද, නිදුකාණන් වහන්ස, ඒ මහ සොරහු මගධාධිපති රජහු ගේ සතුරෝ නමැ යි කියනු ලබත් ද, එසේ ම නිදුකාණන් වහනස්, නපුරු වූ සතුරු වූ, කළ එකට වැඩියක් කරන්නා වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ම ය. ඔහු වරම් මහ රජුන්ගේ බස් නො පිළිගනිත්. වරම් මහ රජුන්ගේ සෙනෙවියන් බස් ද නො ම පිළිගනිත්. වරම් මහ රජුන් අයත් සෙනෙවියන් ගේ මෙහෙකරුවන් බස දු නො පිළිගනිත්. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහ රජුන්ගේ සතුරෝ යැ යි කියනු ලබත්.
26. නිදුකාණන් වහන්ස, යකෙක් හෝ යකින්නක් හෝ යක්දරුවෙක් හෝ යක් දැරියක් හෝ යක් දෙටුවෙක් හෝ යක් පිරිසදැ වූයෙක් හෝ යක් මෙහෙකරුවෙක් හෝ, ගඳෙව්වෙක් හෝ ගඳෙවියක් හෝ ගඳෙවු දරුවෙක් හෝ ගඳෙවු දැරියක් හෝ ගඳෙවු දෙටුවෙක් හෝ ගඳෙවු පිරිසදැ වූයෙක් හෝ ගඳෙවු මෙහෙකරුවෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ දරුවෙක් හෝ කුම්භාණ්ඩ දැරියක් හෝ කුම්භාණ්ඩ දෙටුවෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිචාරකයෙක් හෝ, නාගයෙක් හෝ නාගිනියක් හෝ නා දරුවෙක් හෝ නා දැරියක් හෝ නා දෙටුවෙක් හෝ නා පිරිසදැ වූයෙක් හෝ නා මෙහෙකරුවෙක් හෝ, මෙ කී කිසි අමනුෂ්‍යයෙක් ද්වේෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ, මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවක්හු යන්නහු පසු පසැ යන්නේ වී නම්, හෝ සිටියහු වෙත සිටින්නේ වී නම් හෝ හුන්නහු වෙත හිඳින්නේ වී නම් හෝ හොත්තහු වෙත හෝනේ වී නම් හෝ, මේ යකුනට මහ යකුනට, යක් සෙනෙවියනට, යක් මහසෙනෙවියනට, ‘මේ යක් තෙමේ මා අල්ලා ගනී, මේ යක් තෙමේ මට ආවිෂ්ට වෙයි, මේ යක් තෙමේ මා පෙළයි, මේ යක් තෙමේ වෙසෙසින් මා පෙළයි, මේ යක් තෙමේ මට හිංසා කෙරෙයි, මේ යක් තෙමේ මා වෙහෙසයි, මෙ යක් තෙමේ මා නො මුදා (නො අත්හරි), යැ යි දැන්විය යුතු, හඬ නඟා කියැ යුතු, ඔවුන් හා කියැ යුතු.
(එසේ කියැ යුත්තේ) කවර යකුනට ද? කවර මහ යකුනට ද? කවර යක් සෙනෙවියනට ද? කවර මහ යක්සෙනෙවියනට ද? යත්:
27. ඉන්‍ද්‍ර ය, සෝම ය, වරුණ ය, භාරද්වාජ ය, ප්‍රජාපති ය, චන්‍දන ය, කාමශ්‍රේෂ්ඨ ය, කින්නිඝණ්ඩු ය, නිඝණ්ඩු ය,
ප්‍රණාද ය, ඕපමඤ්ඤ ය, දෙව්සැරි මාතලී ය, චිත්‍රසේන ය, ගන්‍ධර්‍ව ය, නළ ය, රාජ ය, ජනර්ෂහ ය,
සාතාගිරි ය, හේමවත ය, පූර්‍ණක ය, කරතිය ය, ගුඩ ය, සීවක ය, මුචලින්‍ද ය, විශ්වාමිත්‍ර ය, යුගන්‍ධර ය,
ගෝපාල ය, සුප්‍රරෝධ ය, හිරිනෙත්ති ය, මන්‍දිය ය, පඤ්චාලචණ්ඩ ය, ආළවක ය, පර්ජන්‍ය ය, සුමන ය, සුමුඛ ය, දධිමුඛ ය, මණි ය, මානී ය, චර ය, දීර්‍ඝ ය, තව ද සෙරීස්ක ය යන මොවුනට ය.
28. මේ යක්‍ෂයනට ද මහා යක්‍ෂයනට ද යක්‍ෂ සේනාපතියනට ද මහා යක්‍ෂ සේනාපතියනට ද, ‘මේ යක් තෙමේ මා අල්ලා ගනී යැ යි, මේ යක් තෙම් ආවිෂ්ට වැ යැ යි, මේ යක් තෙමේ මා පෙළා යැ යි, මේ යක් තෙමේ මා වෙසෙසින් පෙළා යැ යි, මේ යක් තෙමේ මට හිංසා කෙරේ යැයි, මේ යක් තෙමේ මා වෙහෙසා යැ යි, මේ යක් තෙමේ මා නො මුදා යැ යි දැන්වියැ යුතු, හඬ නඟා කියැ යුතු.
නිදුකාණන් වහන්ස, මේ, මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට ගුප්තිය පිණිස, රක වරණ පිණිස, නො වෙහෙසීම පිණිස, පහසු විහරණ පිණිස වූ ආටානාටිය පිරිත ය.
නිදුකාණන් වහන්ස, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ, බොහෝ කටයුතු ඇත්තම්හ” යි වරම් රජුහු කීහ. මහ රජුනි, යම ගමනකට දැන කලැ වේ යැ යි සලකන්නහු ද, ඒ ගමන කරනු ලැබේ වා’ යි මම් කීමි.
29. මහණෙනි, එ කල්හි සතර වරම් මහ රජදරුවෝ හුනස්නෙන් නැඟි මා සාදර වැ වැඳ, පැදකුණු කොට, එහි ම අතුරුදහන් වූහ. ඒ යක්කු ද හුනස්නෙන් නැගී, ඇතැම් කෙනෙක් මා සාදර වැ වැඳ පැදකුණු කොට, එහි ම අතුරුදහන් වූහ.
ඇතැම් කෙනෙක් මා හා සතුටු වූහ. සතුටට කරුණු වූ. සිතැ රැඳැවියැ යුතු වූ කථා නිමවා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් මා දිසාවට දොහොත් නමා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් නිහඬ වැ එහි ම අතුරුදහන් වූහ.
30. මහණෙනි, ආටානාටිය පිරිත උගනිවු. මහණෙනි, ආටානාටිය පිරිත පුහුණු කරවු. මහණෙනි, ආටානාටිය පිරිත සිතැ දරවු. මහණෙනි, ආටානාටිය පිරිත වැඩ ඇසුරු කෙළේ වේ. මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට ගුප්තිය පිණිස, රැකවරණ පිණිස, නොවෙහෙසීම පිණිස, පහසු විහරණ පිණිස වේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ භික්‍ෂූහු ආරාධිත සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.
නව වනු ආටානාටිය සූත්‍රය නිමියේ ය.
සඞ්ගීති සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්‍ෂු සඞ්ඝයා හා මල්ල රටෙහි සැරි සරන සේක්, පාවා නම් වූ මල්ල රජුන්ගේ නගරය යම් තැනෙක ද, එයට වැඩ වදාළ සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවරැ චුන්‍ද කර්‍මාරපුත්‍රයාගේ අඹවෙනෙහි වාසය කරන සේක.
2. එ සමයෙහි වූ කලි පාවා නුවරැ වැසි මල්ල රජුන්ගේ උබ්හතක නම් අළුත් සන්‍ථාගාරය කරවන ලද නොබෝ කල් ඇත්තේ, මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ මිනිස් වූ කිසි දු කෙනකු විසින් වාසග්‍රහණ වශයෙන් පරිභෝග නො කරන ලදුයේ වෙයි. පාවා නුවරැ වැසි මල්ලයෝ ‘භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්‍ෂු සඞ්ඝයා කැටුව මල්ල රටැ සැරි සරන්නාහු පාවා නුවරට වැඩියාහු, එහි චුන්‍දකර්‍මාරපුත්‍රයාගේ අඹ වෙනෙහි වසන සේක් ලැ’ යි ඇසූහ. ඉක්බිත්තෙන් පාවා නුවරැ වැසි මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ සාදර වැ වැඳ, පසෙක හිඳගත්හ. පසෙක හිඳගත්තාවූ ම පාවා නුවරැ වැසි මල්ලයෝ, “වහන්ස, මෙහි පාවා නුවරැ වැසි මල්ලයන්ගේ උබ්හතක නම් අළුත් සන්‍ථාගාරයෙක් කරවන ලද නොබෝ කල් ඇත්තේ, මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ කිසි දු මිනිස් වූවක්හු විසින් වාසග්‍රහණ විසින් අපරිභුක්ත වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එය පළමුවෙන් පරිභෝග කරන සේක් වා. භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුවෙන් පරිභෝග කරන ලද එය පසු වැ පාවා නුවරැ වැසි මල්ලයෝ පරිභෝග කරන්නාහ. එය පාවෙයක මල්ලයනට බොහෝ කලක් වැඩ පිණිස, සුව පිණිස වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ කීහ.
3. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවැසූ සේක. එ කල්හි පාවෙයක මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියාව දැන, හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සාදර වැ වැඳ පැදකුණු කොට, සන්‍ථාගාරශාලාව කරා ගියහ. ගොස් සන්‍ථාගාරය සියලු තැන බුමුතුරුණු අතුට, අසුන් පණවා, දියසැළක් තබා, තෙල් පහනක් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ සාදර වැ වැඳ එක් පසෙක සිටියාහ.
එක් පසෙකැ සිටියා වූ ම ඒ පාවෙයක මල්ලයෝ ‘වහන්ස, සන්‍ථාගාරශාලාව හැම තැනම බුමුතුරුණු අතුරන ලද්දේ ය, අසුන් පැනැවිණ, දියසැළෙක් තැබිණ, තෙල් පහනෙක් නැංවිණ. යම් ගමනකට භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වනු සේක් ද, දැන එයට කල් පැමිණියේ යැ’යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
4. එ කලැ භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන භික්‍ෂුසඞ්ඝයා කැටුවැ සන්‍ථාගාරය කරා එළැඹි සේක. එළැඹ පා දෙවැ සන්‍ථාගාරයට පිවිසැ, එහි මැද ටැඹ නිසා පෙරදිගට මුහුණ ලා වැඩහුන් සේක. භික්‍ෂුසඞ්ඝයා ද පා දෙවැ, සන්‍ථාගාරයට පිවිසැ පැසිම් බිත්තිය නිසා, පැසිම් දිගට මුහුණු ලා, භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ. පාවා නුවරැ වැසි මල්ලයෝ ද පා දෙවැ සන්‍ථාගාරයට වැද, පෙරදිගැ බිත්තියට පිටු දී, පැසිම් දිගට මුහුණු ලා, භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්හ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් පාවෙයක මල්ලයනට දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වා, දැක්වූ වැඩෙහි සිත් ගන්වා, එහි ඔවුන් සිත් තියුණු කොට, එහි (යහපතැ යි) සිත් සතුටු කොට, ‘වාශිෂ්ඨයෙනි, රාත්‍රිය බොහෝ ඉක්මිණ, සිය ගෙවලට යම් පෙරළා යෑමක් කළ යුතු ද, දැන් එයට කල් නියාව දනිවු’ යැ යි ඔවුන් නික්මැ යන්නට උද්‍යෝගී කළ සේක. ‘එසේ යැ වහන්සේ’ යි කියා ම පාවා නුවරැ වැසි මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැඟී, ඔබ සාදර වැ වැඳ පැදකුණු කොට නික්මැ ගියාහ.
5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පාවෙයක මල්ලයන් නික්මැගිය නොබෝ වේලායෙහි, නිහඬ නිහඬ වැ හුන් බික්සඟන දෙස බලා සැරියුත් තෙරුන් බණවා, ‘ශාරිපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝ තෙමේ පහ වූ ථීනමිද්ධය ඇත්තේ වෙයි, ශාරිපුත්‍රයෙනි, ඔබට භික්‍ෂූන් පිණිස ධර්‍ම කථාවෙක් වැටැහේ වා (භික්‍ෂූනට දහමක් දෙසන්නැ), මා පිට රිදෙයි එ හෙයින් මම් හෝනෙමි’ යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා ම සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
එයින් පසු භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සතර පට කොට පණවා (එළා), උත්‍ථානසංඥාව සිත්හි කොට (මෙතෙක් වෙලායෙන් නැඟී සිටිමි යි ඉටා), දකුණු පය මතැ වම් පය මඳක් ඉක්මැ තබා දකුණැලයෙන් සිංහශය්‍යාව කළ සේක.
6. එ සමයෙහි වූ කලි නිර්ග්‍රන්‍ථඥාතපුත්‍ර පාවා නුවරැදී නොබෝ කල්හි ම කලුරිය කෙළේ වෙයි. ඔහුගේ මරණයෙන් පසු, යම් සේ නොමනා කොට කියන ලද, නොමනා කොට උගන්වන ලද නෛර්‍ය්‍යාණික නොවූ, කෙලෙස් නිවීම පිණිස නොපවත්නා, අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ, බිඳීගිය ස්තූපය ඇති (මළාවූ ශාස්තෘහු ඇති), ශාස්තෘහුගේ අභාවයෙන් පිළිසරණක් නැති සස්නෙක්හි වියැ යුතු ද, එසේ ම නිවටහු ඒ ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයාගේ මරණයෙන් බිඳීගියාහු, දෙ කොටසක් වූවාහු, “තෝ මේ දහම් විනය නො දනී, මේ දහම් විනය දනුයෙම් මම් ය, තෝ කිමැ යි මේ දහම් විනය දන්නෙහි ද? තෝ වැරැදැ පිළිපන්නෙහි වෙහි, මම් මොනොවට පිළිපන්නෙම් වෙමි, තා බස නො සිලිටි ය, මා බස සිලිටි ය, පළමුවෙන් කියැ යුත්ත තෝ පසු වැ කීයෙහි, පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි, තා පුරුදු පුහුණු කළ දැය (මගේ වාදය නිසා) පෙරැළී ගියේ ය, මා විසින් තට දොස් නැඟිණ, තෝ නිගන්නා ලද්දෙහි, මා නැඟු දොසින් මිදෙනු පිණිස (මතුමත්තෙහි කරුණු සොයනුයෙහි ඒ ඒ ගුරුහු කරා) යව, ඉදින් පොහොසත් වෙහි නම් වෙළුම් හරුව (විසඳව)” යි හටගත් ඩබර ඇත්තාහු, උපන් කලහ ඇත්තාහු, විවාදයට බටුවාහු, උනුන් වචන නැමැති සැතින් විදුනාහු වෙසෙත්. නිර්ග්‍රන්‍ථඥාතපුත්‍රයාගේ අතැවැසි නිවටුන් අතුරෙහි උනුන් මරාගැන්මක් මෙන් පවතී. ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයාගේ ශ්වේතවස්ත්‍රධාරී යම් ගෘහී ශ්‍රාවක කෙනෙක් වෙත් ද, උහුත් ඥාතපුත්‍රයාගේ අතැවැසි නිවටුන් කෙරෙහි කලකිරුණු ස්වභාවය ඇත්තාහු, ආදර රහිත ස්වභාවය ඇත්තාහු, පළමු උනට දැක්වූ සත්කාර ගුරුකාර හැර පසුබා ගිය ස්වභාවය ඇත්තාහු වෙත්.
7. ඉක්බිති සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් අමතා, ‘ඇවැත්නි, ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථ පාවා නුවැරැදී නොබෝ කල්හි කලුරිය කෙළේ ය, ඔහුගේ කාලක්‍රියායෙන් … යම්සේ නොමනා කොට කියන ලද, නොමනා කොට දන්වන ලද, නෛර්‍ය්‍යාණික නොවූ, කෙලෙස් නිවීම පිණිස නොපවත්නා, අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ, බිඳීගිය ස්තූපය ඇති, ශාස්තෘහුගේ අභාවයෙන් පිළිසරණක් නැති සස්නෙක්හි වියැ යුතු ද, එසේ ම නිවටහු ඒ ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයාගේ මරණයෙන් බිඳී ගියාහු දෙකොටසක් වූවාහු … වෙසෙත්. ඇවැත්නි, එතෙකුදු වුවත් අප භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්‍මය ස්වාඛ්‍යාත ය, මොනොවට වදාරන ලද්දේ ය, මොනොවට උගන්වන ලද්දේ ය, නෛර්‍ය්‍යාණික ය, උපශමසංවර්‍තනික ය, සම්‍යක්සම්බුද්ධප්‍රවේදිත ය. එහි සියල්ලන් විසින් ම, යම්සේ මෙ සස්න බොහෝ කල් පැවැතිය හැකි වන්නේ ද, බොහෝ කල් සිටින්නෙක් වන්නේ ද, එසේ සමග්‍රව ගැයිය යුතු (එක් ම වචන ඇත්තවුන්, අවිරුද්ධ වචන ඇත්තවුන් වියැ යුතු), විවාද නො කළ යුතු. එය බොහෝ ජනයාට වැඩ පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
ඒකකය
8. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද එක් දහමෙක් ඇත. එහි සියල්ලන් විසින් ම, යම්සේ මෙ සස්න බොහෝ කල් පැවැතියැ හැකි වන්නේ ද, බොහෝ කල් සිටුනෙක් වන්නේ ද, එසේ සමග වැ ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය. ඒ කවර එක් දහමෙක් ද යත්: සියලු සත්‍වයෝ ආහාරයෙන් (ප්‍රත්‍යයයෙන්) සිටුනාහු වෙත්, සියලු සත්‍වයෝ සංස්කාරයෙන් (ඵලය සකසන දැයින් - ප්‍රත්‍යයයෙන්) සිටුනාහු වෙත්. ඇවැත්නි, මෙය අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද එක් දහම ය. එහි සියල්ලන් විසින් ම, යම්සේ මෙ සස්න බොහෝ කල් පැවැතියැ හැකි වන්නේ ද, බොහෝ කල් සිටුනෙක් වන්නේ ද, එසේ සමග වැ ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස සුව පිණිස වන්නේ ය.
ද්විකය
9. ඇවැත්නි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද දහම්හු දෙදෙනෙක් ඇත. එහි සියල්ලන් විසින් සමග වැ ගැයිය යුතු. එය … දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
කවර දහම්හු දෙදෙනෙක් ද? යත්:
නාමය ද රූපය ද …
අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද …
භවදෘෂ්ටිය ද විභවදෘෂ්ටිය ද…
අහිරිකය ද අනොත්තප්පය ද …
හිරිය ද ඔත්තප්පය ද …
දුර්වච බව ද පාප මිත්‍රයන් ඇති බව ද …
සුවච බව ද කල්‍යාණ මිත්‍රයන් ඇති බව ද …
ආපත්තිකුශලතාව (ඇවැත් දැනීම) ද, ආපත්ත්‍යුත්‍ථානකුශලතාව ද (ඇවැතින් නැඟී සිටීම දන්නා නුවණ ද) …
සමාපත්තිකුශලතාව (සමවතුන් දැනීම) ද, සමාපත්ත්‍යුත්‍ථානකුශලතාව (සමවත්නෙන් නැඟීසිටීම දන්නා නුවණ) ද …
ධාතුකුශලතාව (ධාතූන් දන්නා නුවණ) ද, මනස්කාරකුශලතාව (ධාතූන් මෙනෙහි කරන්නට දන්නා නුවණ) ද …
ආයතනකුශලතාව (ආයතනයන් දැන්ම) ද, ප්‍රතීත්‍යසමුත්පාදකුශලතාව (ප්‍රතීත්‍යසමුත්පාදය දන්නා නුවණ) ද …
ස්ථානකුශලතාව (ස්ථාන දන්නා නුවණ) ද, අස්ථානකුශලතාව (අස්ථාන දන්නා නුවණ) ද, …
ඍජු බව ද, ලජ්ජාව ද …
ක්‍ෂාන්තිය ද සෞරත්‍යය (සිලවත්බව) ද, …
සාඛල්‍යය (මොළොක් වචන ඇති බව) ද පටිසන්‍ථාරය (පිළිසඳර) ද …
අවිහිංසාව (කරුණාව) ද ශුචි බව (මෛත්‍රිය) ද …
නටුවාවු සිහි ඇති බව ද නුවණනැති බව ද …
සිහිය ද නුවණ ද …
ඉඳුරන්හි නොවැසූ දොර ඇති බව ද බොජුනෙහි පමණ නොදන්නා බව ද …
ඉඳුරන්හි වැසූ දොර ඇති බව ද බොජුනෙහි පමණ දන්නා බව ද …
ප්‍රතිසඞ්ඛ්‍යාන බලය (නොනුවණින් සැලිය නොහැකි නුවණ) ද, භාවනාබලය (බවුන් වැඩීමෙහි තහවුරු බව) ද …
ස්මෘතිබලය (තර වැ සිටුනා සිහිය) ද සමාධිබලය (සමාධියෙහි තහවුරු බව) ද …
ශමථය ද විදර්‍ශනාව ද …
ශමථනිමිත්තය ද ප්‍රග්‍රහනිමිත්තය ද …
ප්‍රග්‍රාහය (වීර්‍ය්‍යය) ද අවික්‍ෂේපය (එකඟබව) ද …
ශීලවිපත්තිය (දුසිල් බව) ද දෘෂ්ටිවිපත්තිය (මිසදිට) ද …
ශීලසම්පත්තිය (ශීලසංවරය) ද දෘෂ්ටිසම්පත්තිය (ඥානය) ද …
ශීලවිශුද්ධිය ද දෘෂ්ටිවිශුද්ධිය ද …
දෘෂ්ටිවිශුද්ධිය (ඥානදර්‍ශනය) ද දෘෂ්ටිවිශුද්ධිය හා එක්වැ යෙදුණ වීර්‍ය්‍යය ද … සංවේගය (ජාතිජරාදි සංවේගවස්තූන් භය වශයෙන් භයජනක වශයෙන් දක්නා නුවණ) ද සංවේග කටයුතු කරුණෙහි සංවේගයට පත්තහුගේ උපාය (වීර්‍ය්‍යය) ද …
කුසල්දහම්හි අතෘප්තිකර බවද ප්‍රධන් වීර්‍ය්‍යයෙහි නොපසුබස්නා බව ද …
විද්‍යාව (පූර්වේනිවාසානුස්මෘතිඥානාදි තුන්විද්‍යා) ද විමුක්තිය (නීවරණයන්ගෙන් හා සංස්කෘතධර්‍මයන්ගෙන් හා මිදීම) ද …
ක්‍ෂයයෙහි නුවණ (මාර්‍ගඥානය) ද අනුත්පාදයෙහි නුවණ (ඵලඥානය) ද යන මොහු ය.
ඇවැත්නි, මොහු දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද ද්වික ධර්‍මයෝ ය. එහි … දෙව්මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස සියල්ලන් විසින් ම සමග වැ ගැයිය යුතු, විවාද නො කටයුතු.
ත්‍රිකය
10. ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද තුන් ධර්‍ම කෙනෙක් ඇත. එහි … දෙව්මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස සියල්ලන් විසින් ම සමග වැ ගැයිය යුතු විවාද නො කටයුතු.
කවර දහම්හු තිදෙනෙක් ද යත්:
අකුසල්මුල් තුනෙක: ලෝභය අකුසල් මුලෙක, ද්වේෂය අකුසල් මුලෙක, මෝහය අකුසල් මුලෙක …
කුසල්මුල් තුනෙක: අලෝභය කුසල් මුලෙක, අද්වේෂ ය කුසල් මුලෙක, අමෝහය කුසල් මුලෙක ….
දුසිරිත් තුනෙක: කායදුශ්චරිත ය, වාග්දුශ්චරිත ය, මනෝදුශ්චරිත ය …
සුසිරිත් තුනෙක: කායසුචරිත ය, වාක්සුචරිත ය, මනස්සුචරිත ය …
අකුශලවිතර්‍ක තුනෙක: කාමවිතර්‍ක, ව්‍යාපාදවිතර්‍ක, විහිංසාවිතර්‍ක …
කුශලවිතර්‍ක තුනෙක: නෛෂ්කාම්‍යවිතර්‍ක, අව්‍යාපාදවිතර්‍ක, අවිහිංසාවිතර්‍ක …
අකුශල සංකල්ප තුනෙක: __missing__
කුශල සංකල්ප තුනෙක: නෛෂ්කාම්‍යසංකල්පය, අව්‍යාපාදසංකල්පය, අවිහිංසා සංකල්පය …
අකුශල සංඥා තුනෙක: කාමසංඥා, ව්‍යාපාදසංඥා, විහිංසාසංඥා …
කුශලසංඥා තුනෙක: නෛෂ්කාම්‍යසංඥා, අව්‍යාපාදසංඥා, අවිහිංසාසංඥා …
අකුශලධාතු තුනෙක: කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු …
කුශල ධාතු තුනෙක: නෛෂ්කාම්‍ය ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු …