බාහිත පාපී වූ, වැ නිමැ වූ මඟ බඹසර ඇති, කෝණාගමන බුදුරජුනට නමස්කාර වේ වා. හැම දැයෙහි මිදුණා වූ කසුප් බුදුරජුනට නමස්කාර වේ වා.
යමෙක් සියලු දුක් දුරැ ලන මේ ධර්‍මය දෙසී ද, ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍ර අඞ්ගීරසයන් වහන්සේට නමස්කාර වේ වා,
ලොවැ යම් කෙනෙක් තුමූ නිවුණාහු තත් වූ පරිදි (සත්‍යයන්) විවසුන් නුවණින් දුටුහු ද, මහත් වූ, පහ වූ බිය ඇති, මාත්‍රාභාණි වූ (මුසවා කේලාම් ඈ නො කියන) ඒ ක්‍ෂීණාස්‍රවයෝ,
5. දෙව්මිනිස්නට හිත වූ (මෙත් පතුරුවන), විද්‍යා හා චරණධර්‍මයෙන් සම්පූර්‍ණ වූ, මහත්ත්‍වයට පැමිණි, පහ වූ බිය ඇති යම් බඳු වූ ගෞතමයන් වහන්සේට නමස්කාර කෙරෙත් ද, ඒ බුදුරජුනට ද ඔබට පළමු වැ සිටි බුදුවරුනට ද නමස්කාර වේ වා,
මහා රශ්මි මණ්ඩලයක් ඇති, ආදිත්‍යසඞ්ඛ්‍යාත සූර්‍ය්‍ය තෙමේ යම් තැනෙකින් උදා වේ ද, යම් ඒ හිරුහු නැගෙන කල්හි රාත්‍රියත් අතුරුදහන් වේ ද,
යම් දිගෙක හිරු නැඟි කල්හි දහවලැ යි කියනු ලැබේ ද, ඒ දිගැ, පිවිසුණු නදී ජලය ඇති සමුද්‍ර නම් වූ ගැඹුරු ජලාශයය වෙයි.
මෙසේ එහි එය නදීජලය ඇති මුහුද යැ යි දනිත්. කීර්තිමත් ඒ මහ රජෙක් යම් දිශාවක් පාලනය කෙරෙයි ද, එය මෙ තැනින් පෙර දෙස යැ යි මහ ජන තෙමේ කියයි.
ගන්‍ධර්‍වයනට අධිපති වූ, නම් වශයෙන් ධෘතරාෂ්ට්‍ර යැ යි ප්‍රකට වූ හේ තෙමේ ගඳෙව්වන් විසින් පෙරටු කරන ලද්දේ, නැටුම්ගැයුම්නෙන් එහි සිත් අලවා වෙසෙයි.
ඔහුට (ඉන්‍ද්‍ර යන) එක් ම නමක් ඇති පුත්තු ද බොහෝ ඇතැ යි මා විසින් අසන ලදී. මහ බලැති ඉන්‍ද්‍ර නම් වූ ඔහු අසූවෙක් ද දශයෙක් ද එකෙක් ද (එක් අනූ දෙනෙක්) වෙත්.
ඔහුද සූර්‍ය්‍යබන්‍ධු වූ, කෙලෙස් නින්දෙන් පිබිදියා වූ, මහත්ත්‍වයට පැමිණි, පහ වූ භය ඇති බුදුරජුන් දැක, ‘පුරුෂාජානේයයෙනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂෝත්තමයෙනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.
‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහජනයා දෙස බලති’ යි කිය අමනුෂ්‍යයෝ ද ඔබ වඳිති, මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,
‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි කියම්හ (අසම්හ). ‘ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි ඔහු කියත්.
6. කලුරිය කළාහු (මළ සිරුරු) යම් දෙසකට ‘ගෙන යනු ලැබෙත් ව’ යි කියනු ලැබෙත් ද, කේලාම් කියන, පිටු මස් කන්නවුන් සේ පිටුපා ගිය කලැ ගරහන, පණිවා කරන, රෞද්‍ර වූ, සොර වූ කපට වූ (අපරාධකාරී) ජනයෝ යම් දිගකට ගෙන ගොස් නසනු ලබත් වා’ යි කියනු ලැබෙත් ද,
ඒ යම් දිශාවක් යශස්වී මහරජෙකේ පාලනය කෙරෙයි ද, ඒ මෙයින් දකුණු දිග යැ යි මහ ජන තෙමේ කියයි.
එ දෙසෙහි කුම්භාණ්ඩයනට අධිපති වූ, නම් විසින් විරෑඪක යැ යි ප්‍රකට රජ තෙමේ කුම්භාණ්ඩයන් විසින් පෙරටු කරන ලද්දේ නැටුමෙන් ගැයුමෙන් සිත අලවා වෙසෙයි.
ඔහුට එක්ම නමක් ඇති බොහෝ පුත්‍රයෝ ද වෙත්. ඉන්‍ද්‍ර නම් වූ මහ බලැති ඔව්හු එක් අනූ දෙනෙකැ යි මා විසින් අසන ලදී.
ඔහු ද සූර්‍ය්‍යබන්‍ධු වූ, මහත් බවට පැමිණි, පහ වූ බිය ඇති, කෙලෙස් නින්දෙන් පිබිදුණු බුදුරජාණන් වහන්සේ දැක, ‘ආජානේය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා’ පුරුෂෝත්තමයාණනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.
‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහජනයා දෙස බලති’ යි අමනුෂ්‍යයෝ ද ඔබ වඳිති. මෙය අප විසින් එක්වන් අසන ලදී, එහෙයින්,
‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි අපි මෙසේ ප්‍රශ්න වශයෙන් කියම්හ. ‘අපි ගෞතම ජිනයන් වහන්සේ වඳිම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳිම්හ’ යි (ඔහු උත්තර දෙත්).
7. මහ රස්මඬුලු ඇති, ආදිත්‍ය නම් වූ හිරු යම් දිගෙක බස්නේ ද, යම් ඒ හිරු බස්නා කල්හි දහවලත් අතුරුදහන් වේ ද,
යම් දිනකට හිරු බැස ගිය කලැ රාත්‍රි යැ යි කියනු ලැබේ ද, එ දිගැ, පිවිසුණු නදීජලය ඇති සමුද්‍ර නම් වූ ගැඹුරු ජලැශයය වෙයි.
මෙසේ එහි එය නදීජලය ඇති මුහුද යැ යි දනිත්. යශස් ඇති ඒ මහරජෙක් යම් දිගක් පාලනය කෙරෙයි ද, එය මෙ තැනින් පැසිම් දෙස යැ යි මහ ජනයා කියයි.
නාගයනට අධිපති වූ, නම් විසින් විරෑපාක්‍ෂ යැ යි ප්‍රකට වූ හේ නාගයන් විසින් පෙරටු කරන ලද්දේ, නැටුම් ගැයුම්නෙන් සිත් අලවා එහි වෙසෙයි.
ඔහුට එක් ම නමක් ඇති පුතුන් ද බොහෝ ඇතැ යි මා විසින් අසන ලදි. මහ බලැති ඉන්‍ද්‍ර නම් වූ ඔහු එක් අනූ දෙනෙක් වෙත්.
ඔහු ද සූර්‍ය්‍යබන්‍ධු වූ, කෙලෙස් නින්දෙන් පිබිදියා වූ, මහත්ත්‍වයට පැමිණි, පහ වූ බිය ඇති, බුදුරජුන් දැක, ‘ආජානේය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂෝත්තමයාණනි, ඔබට නමස්කාර වේ’ වා යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.
‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි අමනුෂ්‍යයෝ ද ඔබ වඳිත්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,
‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි ප්‍රශ්න කරම්හ. ‘ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ, විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි ඔහු කියත්.
8. යම් දිග් භාගයක ඉතා දැකුම්කලු මහාමේරු පර්‍වතය වෙයි ද, එහි සිත් කලු වූ උතුරුකුරුව වෙයි. එහි (වස්ත්‍රාදීන්හි) මමත්‍වය නැති, (‘මේ මා බිරිය යැ’ යි) ස්ත්‍රීන් කෙරෙහි පරිග්‍රහයක් (තමා අයත් කැරැ ගැන්මක්) නැති මිනිස්සු උපදිත්.
ඔහු ධාන්‍ය බිජුවට නො වපුරත්. නගුල්හු ද කෙතට නො පමුණුවනු ලැබෙත්. ඒ මිනිස්සු නො සානා ලද බිමැ තමන් ම නැඟී පැසුණු හැල් පරිභෝග කරත්.
කුඩු නැති, තොහො නැති, ශුද්ධ වූ, සුවඳ ඇති සහල් සැළියෙක බහා පිසැ එයින් ගෙන බොජුන් වළඳත්.
එහි (වෙසවුණු රජු ගේ පිරිවර) යක්කු එළදෙන එක් කුරැති වාහනයක් කොට ගෙන, දිශායෙන් දිශාවට යෙත්. සිවුපාවකු එක් කුරයක් ඇති වාහනයක් කොටැ ගෙන දෙසින් දෙස යෙත්.
ගැබිනි ස්ත්‍රියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. පුරුෂයකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.
කුමරියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. කුමරකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.
ඒ වෙසවුණු රජු ගේ පරිවාරක යක්‍ෂයෝ එළැඹැ සිටි හස්තියාන ද අශ්වයාන ද (අන්‍ය බහුවිධ) දිව්‍ය යාන ද යන එකී යානයන් අරා සියලු දික් සිසාරා යෙත්.
යශස් ඇති ඒ වෙසවුණු මහ රජුට ප්‍රාසාද ද සිවිල්ගෙවල් ද වෙත්. එ රජුව අහසැ මොනොවට මවන ලද ආටානාටා ය, කුසිනාටා ය, පරකුසිනාටා ය, නාටපුරියා ය, පරකුසිනාටා යැ යි නගරයෝ වූහ.
එයින් (ඒ පරකුසිතනාට නුවරින්) ඉඳුරා උතුරුදිගැ කපීවන්ත නම් නුවරෙක් ද, එයින් ඔබ්බෙහි ජනෝඝ නම් නුවරෙක් ද, අන්‍ය නවනවතිය නම් නුවරෙක් ද, අම්බරඅම්බරවතිය නම් නුවරෙක් ද, අන්‍ය ආලකමන්‍දා නම් රාජධානියෙක් ද ඇත.
නිදුකාණනි, කුවේර මහ රජුගේ රජදහන විසාණා නම, එ හෙයින් කුවේර මහ රජ වෙස්සවණ (වෙසවුණු) යැ යි නම් කරනු ලැබෙයි.
එහි තතෝලා, තත්තලා, තතොතලා, ඕජසී. තෙජසී. තතෝජසී, සූර, රාජ, සුරරාජ, අරිෂ්ට, නෙමි. අරිෂ්ටනෙමි යන නම් ඇති (දොළොස්) යක් රැටියෝ කරුණු විමසා පවසත්.
යම් පොකුණෙකින් දිය ඇද ගෙන මේඝයෝ වසිත් ද, යම් පොකුණෙකින් වර්‍ෂාවෝ පැතිරෙත් ද, එසේ වූ ධරණී නම් ජලාශයයෙක් ද එහි වෙයි. එහි තෙරැ යකුන් රැස් වැ හිඳුනා භගලවතී නම් රුවන් මඩුවෙක් වෙයි.
එහි (ඒ මඩුව හාත්පසැ) විවිධ පක්‍ෂිසමූහයන් ගෙන් යුක්ත වූ, මොනරුන් ද කොස්ලිහිණියන් ද විසින් දුන් නාද ඇති, කෝකිලාදීන් විසින් මනෝඥ නාදයෙන් උන්නාදිත වූ, නිති පල දරන වෘක්‍ෂයෝ වෙත්.
මෙහි පියුම් වෙනෙහි ‘ජීව ජීව’ යැ යි හඬ නඟන (ජීවජීවක නම්) පක්‍ෂි කෙනෙක් ද, තව උට්ඨවචිත්තක නම් පක්‍ෂීහු ද. වලිකුකුළෝ ද, රන්වන් කකුළුවෝ ද, ඒ පොක්ඛරසාතක නම් පක්‍ෂීහු ද වෙත්.
මෙහි ගිරවුන්ගේ ද සැළළිහිණියන්ගේ ද හඬ ඇත. දණ්ඩමානවක නම් පක්‍ෂීහු ද මෙහි හැසිරෙත්. මෙසේ හැම කල්හි ඒ කුවේරයා ගේ පියුම් විල නිරතුරු හොබනේ ය.
10. යශස් ඇති ඒ කුවේර මහරජ යම් දිගක් පාලනය කෙරෙයි ද, ඒ මේ තැනින් උතුරු දෙස යැ යි මහජන තෙමේ කියයි.
නම් විසින් කුවේර යැ යි ප්‍රකට වූ, යක්‍ෂයනට අධිපති වූ, හෙ තෙම් යකුන් විසින් පෙරටු කැරැ ගන්න් ලද්දේ, නෘත්‍ය ගීතයෙන් සිත් අලවා වෙසෙයි.
ඔහුට එක් නම් ඇති බොහෝ පුතුන් ද වෙති යි මා විසින් අසන ලදී. ඔහු ඉන්‍ද්‍ර යන නම ඇති මහා බලැති එක් අනූ දෙනෙකි.
ඔහු ද සූර්‍ය්‍යබන්‍ධු වු, ක්ලේශනිද්‍රායෙන් පිබිදුණු මහත්ත්‍ව ප්‍රාප්ත, පහ වූ බියැති බුදුරජුන් දැක, ‘ආජානේය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා. උත්තම පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමදිත්.
‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි කියා අමනුෂ්‍යයෝ ද ඔබ වඳිත්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්, ‘ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි (ප්‍රශ්න කොට) කියම්හ. ‘ගෞතම ජිනයන් වහන්සේ අපි වඳිමු, විද්‍යා චරණ දෙකින් සම්පූර්‍ණ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳිමු’ යි ඔහු උත්තර දෙත්.
11. නිදුකාණන් වහන්ස, මහණුනට ද මෙහෙණනට ද උවසුවනට ද උවැසියනට ද ගුප්තිය පිණිස, රැක්ම පිණිස, නොවෙහෙසීම පිණිස, සැප විහරණ පිණිස වූ ඒ ආටානාටිය පිරිත නම් මෙය ය. නිදුකාණන් වහන්ස, යම් කිසි මහණක්හු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක විසින් මේ ආටානාටිය පිරිත මනා කොට උගන්නා ලද්දේ, අර්‍ත්‍ථ ව්‍යංජනයෙන් පිරිපුන් කොට පුහුණු කරන ලද්දේ වී නම්,
යක්‍ෂයෙක් හෝ යක්‍ෂණියක් හෝ යක්‍ෂපෝතකයෙක් හෝ යක්‍ෂපෝතිකාවක් හෝ යක්‍ෂ මහාමාත්‍රයෙක් හෝ යක්‍ෂ පාරිෂද්‍යයෙක් හෝ යක්‍ෂපරිවාරකයෙක් හෝ, ගන්‍ධර්‍වයෙක් හෝ ගන්‍ධර්වියක් හෝ ගන්‍ධර්‍ව පෝතකයෙක් හෝ ගන්‍ධර්‍වපෝතිකාවක් හෝ ගන්‍ධර්‍ව මහාමාත්‍රයෙක් හෝ ගන්‍ධර්‍ව පාරිෂද්‍යයෙක් හෝ ගන්‍ධර්‍ව පරිචාරකයෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියෙක් හෝ කුම්භාණ්ඩ පෝතකයෙක් හෝ කුම්භාණ්ඩ පොතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිචාරකයෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාගපෝතකයෙක් හෝ නාගපොතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාගපාරිෂද්‍යයෙක් හෝ නාග පරිචාරකයෙක් හෝ මෙකී කිසි යම් අමනුෂ්‍යයෙක් ද්වේෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවකු යන්නහු අනුව (පසු පසැ) යන්නේ ද, සිටියහු වෙත සිටින්නේ ද, උන්නහු වෙ ඉඳුනේ ද, හොත්තහු වෙත හෝනේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මාගේ ගම්හි හෝ නියම්ගම්හි හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ ආළකමන්‍දා රාජධානියෙහි වසන ගෙයක් හෝ නවාතැනක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ යක්‍ෂ සමාගමයට යන්නට හෝ නො ලබන්නේ ය. වැලි දු නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු ආවාහයක් නො කටහැක්කකු ද විවාහයක් නො කටහැක්කකු ද කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහුට අත්බව එළවා කියනු ලබන පරිපූර්‍ණ පරිභව වචනයෙන් බණින්නාහ. නිදුකාණන් වහන්ස, තව ද අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහපාත්‍රයක් යැටිකුරු කොට ඔහු හිසැ ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු හිස සත් කඩක් කොට පළන්නාහු ද වෙත්.
12. නිදුකාණන් වහන්ස, නපුරු වූ, සතුරු වූ, කළ දැයට වැඩියක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත. ඔහු සතර වරම් මහරජදරුවන් ගේ බස් නො ම පිළිගනිත්. වරම්රජුන් අයත් සෙනෙවියන් ගේ බස් ද නො ම පිළිගනිත්. වරම්රජුන් යටතැ සිටිනා යක් සෙනෙවියන් ගේ මෙහෙකරුවන් ගේ බස දු නො ම පිළිගනිත්. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහරජුන් ගේ සතුරෝ නමැ යි කියනු ලබත්.
නිදුකාණන් වහන්ස, යම්සේ මගධාධිපතී රජු ගේ රටෙහි මහ සොරහු ඇත් ද, ඔහු මගධාධිපති රජු ගේ වචන නො ම පිළිගනිත් ද, මගධාධිපති රජුගේ සෙනෙවියන් ගේ වචන දු නො ම පිළිගනිත් ද, මගධාධිපති රජු ගේ සෙනෙවියන්ගේ මෙහෙකරුවන් වචනත් නො ම පිළිගනිත් ද, නිදුකාණන් වහන්ස, ඒ මහ සොරු මගධාධිපති රජුහු ගේ සතුරෝ නමැ යි කියනු ලැබෙත් ද, එසේ ම නිදුකාණන් වහන්ස, නපුරු වූ සතුරු වූ කළ එකට වැඩියක් කරන්නා වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ම ය. ඔහු වරම් මහ රජුන්ගේ බස් නො ම පිළිගනිත්, වරම් මහ රජුන්ගේ සෙනෙවියන් බස් ද නො ම පිළිගනිත්, වරම් මහරජුන් අයත් සෙනෙවියන්ගේ මෙහෙකරුවන් බස දු නො පිළිගනිත්, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහ රජුන්ගේ සතුරෝ යැ යි කියනු ලබත්.
13. නිදුකාණන් වහන්ස, යකෙක් හෝ යකින්නක් හෝ යක් දරුවෙක් හෝ යක් දැරියක් හෝ යක් දෙටුවෙක් හෝ යක් පිරිසදැ වූයෙක් හෝ යක් මෙහෙකරුවෙක් හෝ, ගඳෙව්වෙක් හෝ ගඳෙවියක් හෝ ගඳෙවු දරුවෙක් හෝ ගඳෙවු දැරියක් හෝ ගඳෙවු දෙටුවෙක් හෝ ගඳෙවු පිරිසදැ වූයෙක් හෝ ගඳෙවු මෙහෙකරුවෙක් හෝ, කුම්භාණ්ඩයෙක් හෝ කුම්භණ්ඩියක් හෝ කුම්භාණ්ඩ දරුවෙක් හෝ කුම්භාණ්ඩ දැරියක් හෝ කුම්භාණ්ඩ දෙටුවෙක් හෝ කුම්භාණ්ඩ පර්‍ෂත්හි වූයෙක් හෝ කුම්භාණ්ඩ පරිචාරකයෙක් හෝ, නාගයෙක් හෝ නැයිනියක් හෝ නා දරුවෙක් හෝ නා දැරියක් හෝ නා දෙටුවෙක් හෝ නා පිරිසදැ වූයෙක් හෝ නා මෙහෙකරුවෙක් හෝ මෙ කී කිසි අමනුෂ්‍යයෙක් ද්වේෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ, මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවක්හු යන්නහු පසු පසැ යන්නේ වී නම්, සිටියහු වෙත සිටින්නේ වී නම් හෝ හුන්නහු වෙත හිඳින්නේ වී නම් හෝ හොත්තහු වෙත හෝ නේ වී නම් හෝ, මේ යකුනට, මහයකුනට, යක් සෙනෙවියනට, යක්මහ සෙනෙවියනට, “මේ යක් තෙමේ මා අල්ලා ගනී, මේ යක් තෙමේ මට ආවිෂ්ට වෙයි, මේ යක් තෙමේ මා පෙළයි, මේ යක් තෙමේ වෙසෙසින් මා පෙළයි, මේ යක් තෙමේ මට හිසා කෙරෙයි, මේ යක් තෙමේ මා වෙහෙසයි, මේ යක් තෙමේ මා නො මුදා (අත් නො හරී) යැ” යි දැන්වියැ යුතු, හඬ නඟා කියැ යුතු, ඔවුන් හා කියැ යුතු.
14. (එසේ දැන්වියැ යුත්තේ) කවර යකුනට ද? කවර මහ යකුනට ද? කවර යක් සෙනෙවියනට ද? කවර මහ යක් සෙනෙවියනට ද යත්:
ඉන්‍ද්‍ර ය, සෝම ය, වරුණ ය, භාරද්වාජ ය, ප්‍රජාපති ය, චන්‍දන ය, කාමශ්‍රේෂ්ඨ ය, කින්නිඝණ්ඩු ය, නිඝණ්ඩු ය,
ප්‍රණාද ය, ඕපමඤ්ඤ ය, දෙව් සැරි මාතලී ය, චිත්‍රසේන ය, ගන්‍ධර්‍ව ය, නළ ය, රාජ ය, ජනර්ෂ්භ ය,
සාතාගිර ය, හේමවත ය, පූර්‍ණක ය, කරතිය ය (කාර්තීකෙය ය), ගුඩ ය. සීවක ය, මුචලින්‍ද ය, විශ්වාමිත්‍ර ය, යුගන්‍ධර ය,
ගෝපාල ය, සුප්පගේධ ය, හිරිනෙත්ති ය, මන්‍දිය ය, පඤ්චාල චණ්ඩ ය, ආළවක ය, පර්ජන්‍ය ය, සුමන ය, සුමුඛ ය, දධිමුඛ ය, මණි ය, මානී ය, වර ය, දීර්‍ඝ ය, තව ද සේරීසක ය යන මොවුනට ය.
15. මේ යක්‍ෂයනට ද මහා යක්‍ෂයනට ද යක්‍ෂ සේනාපතීනට ද මහා යක්‍ෂ සේනාපතීනට ද,
‘මේ යක් තෙමේ මා අල්ලා ගනී යැ යි, මේ යක් තෙමේ මට ආවිෂ්ට වේ යැ යි, මේ යක් තෙමේ මා පෙළා යැ යි, මේ යක් තෙමේ වෙසෙසින් පෙළා යැ යි, මේ යක් තෙමේ මට හිංසා කෙරේ යැ යි, මේ යක් තෙමේ මා වෙහෙසා යැ යි, මේ යක් තෙමේ මා නො මුදා යැ’ යි දැන්වියැ යුතු, හඬා නඟා කියැ යුතු.
නිදුකාණන් වහන්ස, මේ මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට ගුප්තිය පිණිස, රැකවරණ පිණිස, නො වෙහෙසීම පිණිස, පහසු විහරණ පිණිස වූ ඒ ආටානාටිය පිරිත ය.
නිදුකාණන් වහන්ස, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ, බොහෝ කටයුතු ඇත්තම්හ” යි වරම් රජුහු කීහ.
‘මහ රජුනි, තෙපි යම් ගමනකට දැන් කල් වේ යැ යි සලකන්නහු ද, ඒ ගමන කරනු ලැබේ වා’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
16. ඉක්බිති සතර වරම් මහරජහු හුනස්නෙන් නැගී, සාදර වැ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූහ. ඒ යක්කුද හුනස්නෙන් නැගී, ඇතැම් කෙනෙක් සාදර වැ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වූ කථා නිමවා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වන්සේ දිසාවට දොහොත් නමා, එහි ම අතුරුදහන් වූහ. ආතැම් කෙනෙක් නම් ගොත් අස්වා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් නිහඬ වූවාහු, එහි ම අතුරුදහන් වූහ.
පළමු බණවර නිමියේ ය.
16. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එ රැය ඇවෑමෙන් භික්‍ෂූන් බණවා මෙසේ වදාළ සේක:
මහණෙනි, මේ ගත වූ රාත්‍රියෙහි සතර වරම් මහරජුහු මහත් යක්‍ෂ සේනායෙන් ද මහත් ගාන්‍ධර්‍ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද සතර දිගැ රකවල් තබා, සතර දිගැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුරකරුවන් රඳවා, රෑ (පෙර යම) ඉක්මි කල්හි, විශිෂ්ට ශරීරප්‍රභා ඇත්තාහු, සියලු ගිහජුකුළු පව්ව එකලු කොට, මා කරා එළැඹිය හ. එළැඹැ මා සාදර වැ වැඳ, එක් පසෙක හුන්හ. (ඔවුන්ගේ පිරිවර වූ) යක්කු ද ඇතැම් කෙනෙක් මා සාදර වැ වැඳ එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් මා හා සතුටු වූහ. සතුටට කරුණු වූ සිත රැඳැවිය යුතු වූ, කථාව නිමවා, එක් පසෙක හුන්හ, ඇතැම් කෙනෙක් මා දිසාවට දොහොත් නමා පසෙක හුන්හ, ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා පසෙක හුන්හ, ආතැම් කෙනෙක් නිහඬ වැ පසෙකැ හුන්හ.
17. මහණෙනි, පසෙක උන් ම වෙසවුණු මහ රජ මට මෙ පවත් කී ය:
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහතෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු මහ තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත්මය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නොපහන් වූ හීන තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ හීන තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නොපැහැදුණ හු ම වෙත්. ඒ කවර හෙයින් ද? යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි පණිවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. අයිනාදනින් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. මුසවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසනා සේක. මත්බවට හා පමාවට හා කරුණු වූ රහමෙර පීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. වහන්ස, යක්කු වනාහි බොහෝ සෙයින් පණිවායෙන් නො වැළක්කාහු ම ය, අයිනාදනින් නො වැළැක්නාහු ම ය, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් නො වැළැක්කාහු ම ය, මුසාවායෙන් නො වැළැක්කාහු ම ය, මත්බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පීමෙන් නො වැළැක්කාහු ම ය. ඔවුනට (භාග්‍යවතුන් වහන්සේ ගේ) ඒ දහම් දෙසුම අප්‍රිය වේ, අමනාප වේ.
වහන්ස, යම් කෙනෙක් අල්ප ශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, පහ වූ ජනවාතය ඇති, මිනිසුන්ගේ රහස් ක්‍රියාවනට නිසි වූ, එකලා වැ හිඳීමඩ සුදුසු වූ, අරණ්‍ය වන ප්‍රස්ථයන් ද, බොහෝ දුරැ සෙනසුන් ද සෙවිත් නම්, භාග්‍යවතුන් වහන්සේගේ එසේ වූ ශ්‍රාවකයෝ වෙත් ම ය.
වහන්ස, මේ භාග්‍යවතුන් වහන්සේගේ සස්න කෙරෙහි නො පහන් වූ, ඒ (යට කී) සෙනසුන්හි නිවැසි මහ තෙදැති යක්කු වෙත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ පැහැදීම පිණිස, මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ ගුප්තිය පිණිස, ආරක්‍ෂාව පිණිස, පීඩාවක් නොවනු පිණිස, පහසු වාසය පිණිස, ආටානාටිය පිරිත උගන්නා සේක් ව’ යි (කීයේ ය.)
මහණෙනි, මම් නිහඬ වැ ඉවැසීමි.
18. මහණෙනි, ඉක්බිති වෙසවුණු මහ රජ මා ඉවැසූ නියා දැන, එ වේලෙහි මේ ආටානාටිය පිරිත කීයේ ය:
“පසැස් ඇති සිරිමත් වූ, විපස්සී බුදුරජුනට නමස්කාර වේ වා. සියලු සත්නට අනුකම්පා ඇති සිඛී බුදුරජුනට ද නමස්කාර වේ වා.
සෝදා හළ කෙලෙස් ඇති, තපස්වී වූ වෙස්සභූ බුදුරජුනට නමස්කාර වේ වා. මරසෙන් මැඩැලූ කකුසඳ බුදුරජුනට නමස්කාර වේ වා.
බාහිත පාපී වූ, වැස නිමැ වූ මඟබඹසර ඇති, කෝණාගමන බුදුරජුනට නමස්කාර වේ වා. හැම දැයෙහි මිදුණා වූ කසුප් බුදුරජුනට නමස්කාර වේ වා.
යමෙක් සියලු දුක් දුරු ලන මේ ධර්‍මය දෙසී ද, ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍ර අඞ්ගීරසයන් වහන්සේට නමස්කාර වේ වා.
ලොවැ යම් කෙනෙක් තුමූ නිවුණාහු තත් වූ පරිදි (සත්‍යයන්) විමැසුම් නුවණින් දුටුහු ද, මහත් වූ, පහ වූ බිය ඇති මාත්‍රභාණී වූ ඒ ක්‍ෂීණාස්‍රවයෝ,
19. දෙව්මිනිස්නට හිත වූ, විද්‍යා හා චරණධර්‍මයෙන් සම්පූර්‍ණ වූ, මහත්ත්‍වයට පැමිණි, පහ වූ බිය ඇති, යම් බඳු වූ ගෞතමයන් වහන්සේට නමස්කාර කෙරෙත් ද, ඒ බුදුරජුනට ද ඔබට පළමු වැ සිටි බුදුවරුනට ද නමස්කාර වේ වා.
මහා රශ්මි මණ්ඩලයක් ඇති ආදිත්‍ය සංඛ්‍යාත සූර්‍ය්‍ය තෙමේ යම් තැනෙකින් උදා වේ ද, යම් ඒ හිරුහු නැඟෙන කල්හි රාත්‍රියක් අතුරුදහන් වේ ද,
යම් දිගෙක හිරු නැඟී කල්හි දහවලැ යි කියනු ලැබේ ද, එ දිගැ පිවිසිණු නදී ජලය ඇති සමුද්‍ර නම් වූ ගැඹුරු ජලාසය වෙයි. 8.
මෙසේ එහි එය නදී ජලය ඇති මුහුද යැ යි දනිත්. කීර්තිමත් ඒ මහ රජෙක් යම් දිශාවක් පාලනය කෙරෙයි ද එය මෙ තැනින් පෙර දෙස යැ යි මහ ජන තෙමේ කිය යි. 9.
ගාන්‍ධර්‍වයනට අධිපති වූ, නාම වශයෙන් ධෘතරාෂ්ට්‍ර යැ යි ප්‍රකට වූ හෙ තෙමේ ගඳෙව්වන් විසින් පෙරටු කරන ලද්දේ, නැටුම් ගැයුම්නෙන් එහි සිත් අලවා වෙසෙයි. 10.
ඔහුට එක් ම නමක් ඇති පුතුන් ද බොහෝ ඇතැයි මා විසින් අසන ලදී. මහ බලැති ඉන්‍ද්‍ර නම් වූ ඔහු අසූවෙක් ද දශයෙක් ද එකෙක් ද (එක් අනූ දෙනෙක්) වෙත්. 11.
ඔහු ද සූර්‍ය්‍යබන්‍ධු වූ කෙලෙස් නින්දෙන් පිබිදියා වූ, මහත්ත්‍වයට පැමිණි, පහ වූ භය ඇති බුදුරජුන් දැක, ‘පුරුෂාජානේයයෙනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂෝත්තමයෙනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.
‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි කියා අමනුෂ්‍යයෝ ද ඔබ වඳිති. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,
‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි අසම්හ. ‘ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ,’ යි ඔහු කියත්,
කලුරිය කළාහු යම් දෙසකට ‘ගෙන යනු ලබත් ව’ යි කියනු ලැබෙත් ද, කේලාම් කියන, පිටුමස් කන්නවුන් සේ පිටු පා ගිය කලැ ගරහන, පණිවා කරන, රෞද්‍ර වූ සොර වූ කපට වූ ජනයෝ යම් දිගකට ගෙන ගොස් නසනු ලබත් ව’ යි කියනු ලැබෙත් ද,
ඒ යම් දිශාවක් යශස්වී මහ රජෙක් පාලනය කරයි ද, ඒ මෙයින් දකුණු දිග යැ යි මහ ජන තෙමේ කිය යි.
එ දෙයෙහි කුම්භාණ්ඩයනට අධිපති වූ, නම් විසින් විරෑඪක යැ යි ප්‍රකට රජ තෙමේ කුම්භාණ්ඩයන් විසින් පෙරටු කරන ලද්දේ නැටුමෙන් ගැයුමෙන් සිත් අලවා වෙසෙයි.
ඔහුට එක් ම නමක් ඇති බොහෝ පුත්‍රයෝ ද වෙත්. ඉන්‍ද්‍ර නම් වූ මහ බලැති ඔහු එක් අනූ දෙනෙකැ යි මා විසින් අසන ලදී.
ඔහු ද සූර්‍ය්‍ය බන්‍ධු වූ, මහත් බවට පැමිණි, පහ වූ බිය ඇති, කෙලෙස් නින්දෙන් පිබිදුණු, බුදුරජාණන් වහන්සේ දැක, ‘ආජානේය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂෝත්තමයාණනි, ඔබට නමස්කාර වේ ව’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.
‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි අමනුෂ්‍යයෝ ද ඔබ වඳිති. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්, ‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි අපි මෙසේ (ප්‍රශ්න වශයෙන්) කියම්හ. ‘අපි ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි (ඔහු උත්තර දෙත්.)
21. මහ රස් මඬුලු ඇති ආදිත්‍ය නම් වූ හිරු යම් දිගෙක බස්නේ ද, යම් ඒ හිරු බස්නා කල්හි දහවලත් අතුරුදහන් වේ ද,
යම් දිගකට හිරු බැස ගිය කලැ රාත්‍රි යැ යි කියනු ලැබේ ද, එ දිගැ, පිවිසුණු නදීජලය ඇති සමුද්‍ර නම් වූ ගැඹුරු ජලාශය ය වෙයි.
මෙසේ එහි එය පිවිසි නදීජලය ඇති මුහුද යැ යි දනිත්. යශස් ඇති ඒ මහරජෙක් යම් දිගක් පාලනය කෙරෙයි ද, එය මෙ තැනින් පැසිම් දෙසැ යි මහජනයා කිය යි.
නාගයනට අධිපති වූ, නම් විසින් විරූපාක්‍ෂ යැ යි ප්‍රකට වූ හේ නාගයන් විසින් පෙරටු කරන ලද්දේ, නැටුම් ගැයුම්නෙන් නෙත්සිත් අලවා එහි වෙසෙයි.
ඔහුට එක් ම නමක් ඇති පුතුන් ද බොහෝ ඇතැ යි මා විසින් අසන ලදී. මහ බලැති ඉන්‍ද්‍ර නම් වූ ඔහු එක් අනූ දෙනෙක් වෙත්.
ඔහු ද සූර්‍ය්‍ය බන්‍ධු වූ, කෙලෙස් නින්දෙන් පිබිදියා වූ, මහත්ත්‍වයට පැමිණි, පහ වූ බිය ඇති බුදුරජුන් දැක, ‘ආජානේය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂෝත්තමයාණනි ඔබට නමස්කාර වේ ව’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.
‘ඔබ නිපුණා වූ සර්‍වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි අමනුෂ්‍යයෝ ද ඔබ වඳිත්. මෙය අප විසින් එක්වන් අසනලදී. එ හෙයින්, ‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි ප්‍රශ්න කරම්හ. ‘ගෞතම ජිනයන් වහන්සේ වඳුම්, විද්‍යාචරණ සම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි ඔහු කියත්.
22. යම් දිග්භාගයෙක ඉතා දැකුම්කලු මහාමේරු පර්‍වතය වෙයි ද, එහි සිත්කලු වූ උතුරුකුරුව වෙයි. එහි මමත්‍වය නැති. ස්ත්‍රීන් කෙරෙහි පරිග්‍රහ නැති මිනිස්සු උපදිත්.