10. චුන්‍දයෙනි, යම් හෙයෙකින් සසුන් බඹසර මේ අඞ්ගවලින් සමන්‍විතත් වේ ද, ශාස්තෘ තෙමේත් ස්ථවිරත් රාත්‍රඥත් පැවිදි වූ බොහෝ කල් ඇතියේත් දික් කලක් ඉක්මියේත් පැසිම් වයසට පැමිණියේත් වේ ද, ඔහුට ව්‍යක්ත වූ විනීත වූ විසාරද වූ, රහත් බවට පැමිණියාවූ, සද්ධර්‍මය මොනොවට කියන්නට සමර්‍ත්‍ථ වූ, උපන් පරවාදය කරුණු සහිත ව මොනොවට නිගහා, දුක් දුරැලීම පිණිස ප්‍රයෝජනවත් වන සේ කොට දහම් දෙසන්නට සමත් වූ, ස්ථවිර වූ, ශ්‍රාවක භික්‍ෂූහු වෙත් ද, මෙසේ ඒ සසුන් බඹසර මේ අඞ්ගයෙන් පරිපූර්‍ණ වෙයි.
චුන්‍දයෙනි, සසුන් බඹසර මේ අඞ්ගවලිනුත් සමන්‍විත වේ ද, ශාස්තෘ තෙමේත් ස්ථවිරත් රාත්‍රඥත් චිරප්‍රවුජිතත් දික් කලක් ඉක්මියේත් පැසිම් වයසට පැමිණියේත් වේ ද, ඔහුට ව්‍යක්ත වූ විනීත වූ විසාරද වූ රහත් බවට පැමිණියා වූ, සද්ධර්‍මය මොනොවට කියන්නට සමත් වූ, උපන් පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා, දුක් දුරලනුවට ප්‍රයෝජනවත් සේ කොට දහම් දෙසන්නට සමත් වූ, ස්ථවිර වූ භික්‍ෂුශ්‍රාවකයෝ වෙත් ද, එහෙත් ඔහුට ව්‍යක්ත වූ … මැදුම් වයසෙහි සිටි භික්‍ෂුශ්‍රාවකයෝ නැත් ද, ව්‍යක්ත වූ … නවක භිකෂුශ්‍රාවකයෝ නො වෙත් ද, ව්‍යක්ත වූ … ස්ථවිර වූ ශ්‍රාවිකා භික්‍ෂුණිහූ නො වෙත් ද, ඔහුට ව්‍යක්ත වූ … ස්ථවිර වූ ශ්‍රාවිකා භික්‍ෂුණීහු වෙත් ද … එහෙත් ඔහුට ව්‍යක්ත වූ … මැදිම් වයස්හි සිටි ශ්‍රාවිකා භික්‍ෂුණීහු නො වෙත් ද, … ඉදින් ව්‍යක්ත වූ … මැදුම් වයස්හි සිටි ශ්‍රාවිකා භික්‍ෂුණීහු වෙත් ද … එහෙත් ව්‍යක්ත වූ … නවක භික්‍ෂුණී ශ්‍රාවිකාවෝ නො වෙත් ද, … ඉදින් ව්‍යක්ත වූ … නවක භික්‍ෂුණී ශ්‍රාවිකාවෝ වෙත් ද, … එහෙත් ඔහුට ව්‍යක්ත වූ, සුදුවත් හඳනා ගෘහී බ්‍රහ්මචාරී උපාසක ශ්‍රාවකයෝ නො වෙත් ද … ඉදින් ඔහුට ව්‍යක්ත වූ සුදුවත් හඳනා ගෘහී බ්‍රහ්මචාරී උපාසක ශ්‍රාවකයෝ වෙත් ද, … එහෙත් ගෘහී වූ සුදුවත් හඳනා කාමභෝගී වූ ව්‍යක්ත උපාසක ශ්‍රාවකයෝ ඔහුට නො වෙත් ද, … ඉදින් ගෘහී වූ සුදුවත් හඳනා කාමභෝගී වූ ව්‍යක්ත උපාසක ශ්‍රාවකයෝ ඔහුට වෙත් නමුදු සුදු වත් හඳනා ගෘහස්ථ බ්‍රහ්මචාරිණී වූ ව්‍යක්ත උපාසිකා ශ්‍රාවිකාවෝ නො වෙත් ද, … ඉදින් ඔහුට සුදු වත් හඳනා ගෘහස්ථ බ්‍රහ්මචාරිණී වූ ව්‍යක්ත උපාසිකා ශ්‍රාවිකාවෝ වෙත් නුමුත් සුදුවත් හඳනා ගෘහස්ථ වූ කාමභෝගී වූ ව්‍යක්ත උපාසිකා ශ්‍රාවිකාවෝ නො වෙත් ද, එ හෙයින් … ඔහුගේ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය සමෘද්ධ ද, වෘද්ධිප්‍රාප්ත ද, පැතිරැගියේ ද, බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ ද, පුළුල් වූයේ ද, නුවණැති සියලු දෙව් මිනිසුන් අතරැ මොනොවට ප්‍රකාශිත ද නො වෙයි. ... ඔහුගේ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය සමෘර්‍ධ ද වෘද්ධිප්‍රාප්ත ද පැතිරැගියේ ද, බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ ද, පුළුල් වූයේ ද නුවණැති සියලු දෙව් මිනිසුන් අතරැ මොනොවට ප්‍රකාශිත ද වන්නේ නමුදු ලාභයෙන් යශසින් අගපත් නො වෙයි නම්, මෙසේ ඒ සස්න ඒ අඞ්ගයෙන් අපරිපූර්‍ණ වෙයි.
11. චුන්‍දයෙනි, යම් හෙයකින් ශාසනය මේ අඞ්ගවලින් සමන්‍විත වේ ද, ශාස්තෘ තෙමේත් ස්ථවිර ද රාත්‍රඥ ද චිරප්‍රව්‍රජිත ද දික් කලක් ඉක්මියේ ද පැසිම් වයසට පැමිණියේ ද වේ නම් කෙලෙස්නසනුවට ප්‍රයෝජනවත් සේ දහම් දෙසන්නට සමත් ව්‍යක්ත වූ විනීත වූ විසාරද වූ ස්ථවිර භික්‍ෂූ ශ්‍රාවකයෝත් ඔහුට වෙත් නම්, මැදුම් වයස්හි වූ … භික්‍ෂු ශ්‍රාවකයෝත් ඔහුට වෙත් නම්, නවක භික්‍ෂුශ්‍රාවකයෝත් ඔහුට වෙත් නම්, ස්ථවිර වූ භික්‍ෂුණී ශ්‍රාවිකාවෝත් ඔහුට වෙත් නම්, මැදුම් වයස්හි වූ භික්‍ෂුණී ශ්‍රාවිකාවෝත් ඔහුට වෙත් නම්, නවක භික්‍ෂුණී ශ්‍රාවිකාවෝත් ඔහුට වෙත් නම්, සුදුවත් හඳනා ගෘහී බ්‍රහ්මචාරී උපාසක ශ්‍රාවකයෝත් ඔහුට වෙත් නම්, සුදු වත් හඳනා ගෘහී කාමභෝගී උපාසක ශ්‍රාවකයෝත් ඔහුට වෙත් නම්, සුදු වත් හඳනා ගෘහස්ථබ්‍රහ්මචාරිණී උපාසිකා ශ්‍රාවිකාවෝත් ඔහුට වෙත් නම්, සුදු වත් හඳනා ගෘහස්ථ කාමභෝගිනී උපාසිකා ශ්‍රාවිකාවෝත් ඔහුට වෙත් නම්, ඔහුගේ ඒ සස්න සමෘද්ධ ද වෘද්ධිප්‍රාප්ත ද පැතිරැගියේ ද, බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ ද, පුළුල් වූයේ ද, නුවණැති සියලු දෙවිමිනිසුන් අතරැ සුප්‍රකාශිත ද ලාභයෙන් අග්‍රප්‍රාප්ත ද යශසින් අග්‍රප්‍රාප්ත ද වේ. මෙසේ ඒ සස්න ඒ අඞ්ගයෙන් පරිපූර්‍ණ වේ.
12. චුන්‍දයෙනි, මම් වූ කලි මේ සමයෙහි පහළ වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෙමි. ඒ සම්‍යක්සම්බුද්ධ වූ මා විසින් සුප්‍රවේදිත වූ ධර්‍මය ද මොනොවට කියන ලද්දේ ය, මොනොවට දන්වන ලද්දේය. නෛර්‍ය්‍යාණික ය, ක්ලේශෝපශමය පිණිස පවත්නේ ය. මගේ ශ්‍රාවකයෝ ද සද්ධර්‍මයෙහි අවබෝධකරවන ලද අර්‍ත්‍ථ ඇත්තෝ ය. ඔවුන්ගේ සියලු සසුන් බඹසර පරිපූර්‍ණ ය, හෙළි කරන ලද්දේ ය, පෙහෙළි කරන ලද්දේ ය, සියලු ධර්‍මය කැටි කොට දක්වන ලද්දේ ය, දුක් දුරැලනුවට ප්‍රයෝජනවත් සේ දෙසන ලද්දේ ය, නුවණැති සියලු දෙවියන් මිනිසුන් අතරැ සුප්‍රකාශිත ය. චුන්‍දයෙනි, මම් වූ කලි මෙ සමයෙහි ස්ථවිර වූ චිරරාත්‍රඥ වූ, පැවිදි වූ බොහෝ කල් ඇති, දික් කලක් ඉක්මැ ගිය, පැසිම් වයසට පැමිණි ශාස්තෘ වෙමි. චුන්‍දයෙනි, දැන් ව්‍යක්ත වූ විනීත වූ විසාරද වූ, රහත් බවට පැමිණි, දහම් කියන්නට සමත් වූ, උපන් පරප්‍රවාදය කරුණු දක්වා මොනොවට නිගහා, දුක් දුරැලීමට ප්‍රයෝජනවත් වන සේ දහම් දෙසන්නට සමත් වූ ස්ථවිර භික්‍ෂු වූ මගේ ශ්‍රාවකයෝ වෙත්. චුන්‍දයෙනි, දැන් … මධ්‍යම වයස්ක භික්‍ෂු වූ මගේ ශ්‍රාවකයෝ වෙත්. දැන් ... නවක භික්‍ෂු වූ මගේ ශ්‍රාවකයෝ වෙත්. චුන්‍දයෙනි, දැන් … ස්ථවිර භික්‍ෂුණී වූ මගේ ශ්‍රාවිකාවෝ වෙත් … මධ්‍යමවයස්ක භික්‍ෂුණි වූ මගේ ශ්‍රාවිකාවෝ වෙත්. නවක භික්‍ෂුණී වූ මගේ ශ්‍රාවිකාවෝ වෙත්, චුන්‍දයෙනි, දැන් … සුදුවත් හඳනා බ්‍රහ්මචාරී වූ ගෘහස්ථ ශ්‍රාවකයෝ මට වෙත්. දැන් … සුදු වත් හඳනා කාමභෝගී වූ ගෘහස්ථ ශ්‍රාවකයෝ මට වෙත්. චුන්‍දයෙනි, දැන් … සුදු වත් හඳනා බ්‍රහ්මචාරීණී වූ ගෘහස්ථ ශ්‍රාවිකාවෝ මට වෙත්. දැන් … සුදු වත් හඳනා කාමභෝගී වූ ගෘහස්ථ ශ්‍රාවිකාවෝ මට වෙත්.
චුන්‍දයෙනි, දැන් වනාහි මගේ සස්න සමෘද්ධ ද වෘද්ධිප්‍රාප්ත ද, පැතිර ගියේ ද බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ ද, පුළුල් වූයේ ද, නුවණැති දෙව් මිනිසුන් අතරැ ප්‍රකාශිත ද වෙයි.
චුන්‍දයෙනි, මෙ සමයෙහි යම් පමණ දෙනෙක් ශාස්තෘහු ලොවැ පහළ වූහු ද, මා සේ ලාභයෙන් යශසින් අග පත් අන් එක ද ශාස්තෘවරයකු මම් නො දකිමි. චුන්‍දයෙනි, මෙ සමයෙහි යම් පමණ සඟ පිරිසෙක් හෝ ගණමුළුවෙක් ලොවැ පහළ වී ද, මේ භික්‍ෂූසඞ්ඝයා සේ ලාභයෙන් යශසින් අග පත් අන් එක ද සඟ පිරිසක් මම් නො දකිමි. චුන්‍දයෙනි,සියලු කාරණයෙන් සැපැයුණු, සියලු කාරණයෙන් පිරිපුන්, අඩු ද වැඩි ද නො වූ, මොනොවට කියන ලද, සියල්ලෙන් පිරිපුන්, මොනොවට ප්‍රකාශිත වූ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යයැ යි යමක් ඇරැබැ මොනොවට කියන තැනැත්තේ කියන්නේ ද, හෙ තෙමේ මෙ සස්න ඇරැබැ ම සියලු කාරණයෙන් සැපැයුණු … මොනොවට ප්‍රකාශිත වූ බ්‍රහ්මචර්‍ය්‍යයැ යි මොනොවට කියනුයේ කියන්නේ ය.
13. චුන්‍දයෙනි, රාම පුත්‍ර උද්‍රක තෙමේ ‘දක්නේ නො දකී’ යැ යි මෙසේ වූ වචනයක් කියයි. කුමක් දක්නේ නො දකී ද? යත්: මොනොවට මුවහත් කරන ලද ඒ කරකැත්තෙක තලය හේ දකී. එහෙත් එහි මූනත වූ කලී හේ නො දකී. චුන්‍දයෙනි, දක්නේ නො දකි යි යනු මේ යැ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, රාමපුත්‍ර උද්‍රකයා විසින් ම මේ හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනනට ම සුදුසු වූ ආර්‍ය නොවූ, ආශ්‍රිත නොවූ යම් වචනයෙක් කියන ලද ද, එහෙත් ‘දක්නේ නො දකී’ යැ යි මොනොවට කියන තැනැත්තේ යමක් සඳහා කියන්නේ නම්, ‘දක්නේ නො දකී’ යැ යි මේ සස්න සඳහා ම කියන්නේ ය.
කුමක් දක්නේ නො දකී ද? යත්: මෙසේ මේ සසුන් බඹසර සියලු කරුණින් සැපැයුණේ ය, සියලු කරුණින් සපිරුණේ ය. අඩුත් නැත, වැඩිත් නැත. මොනොවට දෙසන ලද්දේ ය, සියලු අංගයෙන් පරිපූර්‍ණ ය. මනා කොට පවසන ලද්දේ යැ’ යි මෙසේ ම හේ මෙ සස්න දකී. මෙහි මෙනම් කොටස බැහැරැ කරන්නේ ය (බැහැරැ කළ යුතුය). මෙසේ එය වඩා පිරිසිදු වෙතැ යි මෙසේ හේ නො ම දකී. මෙහි (මෙ සස්නට) මෙ නම් කොටසක් පිටතින් ඇද ගන්නේ ය (ඇද ගත යුතුය). මෙසේ එය වඩා පිරිසිදු වන්නේ යැ යි මෙසේ මෙය හේ නො ම දකී. මෙය ‘දක්නේ නො දකී’ යැ යි කියනු ලැබේ.
මොනොවට කියන තැනැත්තේ ‘සියලු අයුරින් සැපැයුණු … සසුන් බඹසර මොනවට පැවැසිණැ’ යි යමක් ඇරැබැ කියන්නේ නම්, එසේ කියන තැනැත්තේ ‘සියලු අයුරින් සැපැයුණු, සියලු අයුරින් පිරිපුන්, අඩුත් නොවූ වැඩිත් නොවූ මොනොවට වදාරන ලද, හැම ලෙසින් පිරිපුන්, බඹසර මොනොවට පවසන ලදැ’ යි මෙ සසුන් බඹසර ඇරැබැ ම එය කියන්නේ ය (කිය යුතු ය.)
__missing translation__
14. චුන්‍දයෙනි, එ හෙයින් මෙහි මා විසින් වෙසෙසි නුවණින් දැන තොපට යම් දහම් දෙසන ලද ද, එහි තොප සියලු දෙනා විසින් ම, යම්සේ මෙ සසුන් බඹසර දික් කලක් පැවැති යැ හැකි වන්නේ ද බොහෝ කලක් සිටි යැ හැකි වන්නේ ද, එසේ එක් වැ එක්රැස් වැ අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ද ව්‍යංජනය ද සසඳනුවන් ව සැඟැයිය යුතු ය. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වන්නේ ය, ඒ දහම්හු නම්: සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යක්ප්‍රධානයෝ ය, සතර ඍද්ධිපාදයෝ ය, පඤ්ච ඉන්‍ද්‍රියෝ ය, පඤ්ච බල ය, සප්ත බෝධ්‍යඞ්ගයෝ ය, ආර්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යන මොහු ය. චුන්‍දයෙනි, සියලු දෙනා විසින් ම එක් වැ එක්රැස් වැ යමෙක අරුතින් අරුතද අකුරින් අකුර ද සසඳනුවන් ව, යම්සේ මේ බඹසර දික්කලක් පැවැති යැ හැකි වන්නේ ද, බොහෝ කලක් සිටියැ හැකි වන්නේ ද, එසේ සැඟැයියැ යුතු ද, විවාද නො කළ යුතු ද ඒ මා විසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලද මේ දහම්හු ය. එසේ එය සංගායනා කිරීම බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වන්නේ ය.
__missing translation__
15. චුන්‍දයෙනි, සමග වූ සතුටු වන්නා වූ විවාද නො කරන්නා වූ ඒ තොප විසින් මෙසේ හික්මි යැ යුතු (උගත යුතු): එක්තරා සබ්‍රරම්සැරියෙක් සඞ්ඝයා කෙරෙහි දහම් දෙසන්නේ නම්, එහි තොපට ‘මේ ආයුෂ්මත්හු වූකලි අර්‍ත්‍ථය ද වරදවා ගනී, ව්‍යඤ්ජන ද වරදවා නංවා යැ’යි මෙසේ සිතෙක් වන්නේ නම්, මොහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො පිළිගෙන, නො ද පිළිකෙවු කොට, “ඇවැත්නි, මේ අර්‍ත්‍ථයට මොහු ව්‍යඤ්ජනයෝ ද නැත හොත් තුලු ව්‍යඤ්ජනයෝ ද? කවර ව්‍යඤ්ජන කෙනෙක් වඩා යෝග්‍ය ද? මේ ව්‍යඤ්ජනයන්ගේ අර්‍ත්‍ථය මෙය ද? නැත හොත් එය ද? කවර අර්‍ත්‍ථයෙක් වඩා යෝග්‍ය වේ දැ?” යි හෙ තෙමේ මෙසේ විචාළ යුතු වන්නේ ය.
ඉදින් හේ ඇවැත්නි, මේ අර්‍ත්‍ථයට මේ ව්‍යඤ්ජන ම වඩා සුදුසු ය. මේ ව්‍යඤ්ජනයනට මා විසින් කියන ලද මේ යම් අර්‍ත්‍ථ කෙනෙක් ඇද්ද, මේ අර්‍ත්‍ථ ම වඩා සුදුසු ය. යම් තෙල අර්‍ත්‍ථයෙක් ඇද්ද, එය නො ම හුවා දැක්වි යැ යුතු, නො ද බැහැරැ කළ යුතු. නො ම හුවා දක්වා, නො ම බැහැර කොට, ‘ඒ අර්‍ත්‍ථය ද ඒ ව්‍යඤ්ජනයන් ද’ සලකා බලනු පිණිස හේ ම මොනොවට දැන්වියැ යුතු.
චුන්‍දයෙනි, අන් සබ්රම්සැරියෙකුත්, සඞ්ඝයා කෙරෙහි දහම් කියන්නේ නම්, ‘මේ ආයුෂ්මත් තෙම අර්‍ත්‍ථය වරදවා ගනී, ව්‍යඤ්ජනයන් මොනොවට නංවා’ යැ යි එහි තොපට මෙසේ සිතෙක් වන්නේ නම්, ඔහුගේ වචන නො ම පිළිගත් යුතු නො ද පිළිකෙවු කළ යුතු. සතුටු ද නො වී, නො ද පිළිකෙවු කොට, ‘ඇවැත්නි, මේ ව්‍යඤ්ජනයන්ගේ මේ අර්‍ත්‍ථය ද? නැත හොත් තෙල අර්‍ත්‍ථය ද? මෙයින් කවර එකෙක් වඩා යෝග්‍ය දැ?’ යි මෙසේ හේ කියැ යුතු ය. ඉදින් ‘ඇවැත්නි, මේ ව්‍යංජනයන්ගේ (ශබ්දයන්ගේ) යම් තෙල අරුතෙක් වේ ද, ඒ මේ අරුත ම වඩා යෝග්‍ය යැ’ යි හෙ තෙමෙ මෙසේ කියන්නේ නම්, හේ නො ම හුවා දැක්විය යුතු, නො ද හෙලා දැක්ක යුතු. නො ම හුවා දක්වා, නො ද හෙලා දැක, එහි අරුත් සලකා බලනු පිණිස හේ ම මොනොවට දැන්වියැ යුතු.
චුන්‍දයෙනි, අන් සබ්රම්සැරියෙක් සඞ්ඝයා කෙරෙහි දහම් කියන්නේ නම්, ‘මේ ආයුෂ්මත්හු අර්‍ත්‍ථය වූකලි මොනොවට ගනිත්, ව්‍යඤ්ජනයන් වරදවා නංවතී’ යි තොපට මෙසේ සිතෙක් වන්නේ නම් ඔහුගේ වචනයට නො ම සතුටු වියැ යුතු, එය නො ද පිළිකෙවු කළ යුතු. එයට නො ම සතුටු ව, නො ද පිළිකෙවු කොට, ‘ඇවැත්නි, මේ අර්‍ත්‍ථයාගේ (මේ අර්‍ත්‍ථය පවසන) ව්‍යඤ්ජනයෝ මොහු ම ද? නැත හොත් තුලුහු ද? කවර ව්‍යඤ්ජන කෙනෙක් වඩා යෝග්‍ය දැ?’ යි හේ මෙසේ කියැ යුතු (ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කළ යුතු.) ඉදින් හෙ තෙම් “ඇවැත්නි, (මා කී) යම් තෙල ව්‍යඤ්ජන කෙනෙක් වෙත් ද, මේ අර්‍ත්‍ථයට ඒ ව්‍යඤ්ජනයෝ ම වඩා යෝග්‍ය වෙත්” යැ යි මෙසේ කියන්නේ නම්, හේ නො ම හුවා කියැ යුතු නො ද හෙලා කියැ යුතු. හුවා නො කියා, හෙලා ද නො කියා, ඒ ව්‍යඤ්ජනයන් ම සලකා බලනු පිණිස හේ ම මොනොවට දැන්වියැ යුතු.
චුන්‍දයෙනි, අන් සබ්රම්සැරියෙක් ද සඞ්ඝයා කෙරෙහි දහම් කියන්නේ නම්, ඉදින් එහි ලා ‘මේ ආයුෂ්මත්හු වනාහි අර්‍ත්‍ථය ද මොනොවට ගනී, ව්‍යඤ්ජනයන් ද මොනොවට නංවා යැ’ යි තොපට මෙසේ සිතෙක් වන්නේ නම්, ‘මැනැවැ’ යි ඔහුගේ වචනයට සතුටු වියැ යුතු, අනුමෙවියැ යුතු. ඔහුගේ වචනයට ‘මැනැවැ යි සතුටු වැ, අනුමෙවැ ‘ඇවැත්නි, යම්බඳු වූ අපි මෙසේ අරුත් දන්නා, ව්‍යංජන දන්නා ආයුෂ්මත් වූ ඔබ වැනි සබ්‍රම්සරක්හු දක්නමෝ ද, ඇවැත්නි ඒ අපට ලාභයෝ ය, ඇවැත්නි, ඒ අප විසින් (අත්බව) මොනොවට ලදුයේ යැ’යි හේ මෙසේ කියැ යුතු වන්නේ ය.
__missing translation__
16. චුන්‍දයිනි, මේ ලොවැ (ප්‍රත්‍යය පර්‍ය්‍යෙෂණ ප්‍රත්‍යය පරිභෝග හේතුයෙන්) උපදනා කාමාස්‍රවාදි ආස්‍රව හැවුරුම පිණිස පමණක් තොපට දහම් නො දෙසමි. චුන්‍දයෙනි, (කලහ හේතුයෙන් උපදනා) පරලොවැ දී දුක් විපාක දෙන ආස්‍රවයන් නැසීම පිණිස පමණක් දහම් නො දෙසමි. චුන්‍දයෙනි, තොපට මෙලොවැ උපදනා ආස්‍රවයන්ගේ සංවරය පිණිස ද, පරලොවැ විපාක දෙන ආස්‍රවයන්ගේ විනාශය පිණිස ද තොපට දහම් දෙසමි. චුන්‍දයෙනි, එහෙයින් මෙහි මා විසින් තොපට යම් සිවුරෙක් අනුදන්නා ලද ද, එය යම්තාක් ම ශීතය නැසීම පිණිස උණුසුම නැසීම පිණිස, ඇටලේ මැස්සන් මදුරුවන් සර්‍පයන් අවු සුළං යන මොවුන්ගේ ස්පර්‍ශය වැළැක්වීම පිණිස, හිරි කොවන අඞ්ග වසාලනු පිණිස සමත් ම වෙයි. තොපට මා විසින් යම් පිණ්ඩපාතයෙක් අනුදන්නා ලද්දේ ද, එය යම්තාක් ම මෙ රූපකය සිටුනා පිණිස, “මෙසේ පැරැණි බඩගිනි වේදනාව නසන්නෙමි, අළුත් බඩගිනි වේදනාවක් නො උපදවන්නෙමි, මෙයින් මගේ ජීවිත යාත්‍රාව ද වන්නේ ය, නිවරද බව ද පහසු විහරණය ද වන්නේ යැ” යි යැපෙනු පිණිස වෙහෙසින් වළකිනු පිණිස, බඹසරට අනුග්‍රහ පිණිස සමත් ම වෙයි.
මා විසින් තොපට යම් සෙනස්නෙක අනුදන්නා ලද ද, එය යම්තාක් ම ශීත නසනු පිණිස, උෂ්ණය නසනු පිණිස ඇට මැසි මදුරු අවු සුළං සර්‍ප යන මොවුන්ගේ ස්පර්‍ශය වළක්වනු පිණිස ඍතුවිපර්‍ය්‍යාසයෙන් වන උවදුරු දුරැලීම පිණිස, චිත්තවිවේකයෙහි ඇලෙනු පිණිස සෑහෙයි.
මා විසින් තොපට යම් බෙහෙතක් පිරිකරෙක් අනුදන්නා ලද ද, එය තොපට උපදනා යම්තාක් රෝගවේදනා වැළැක්ම පිණිස, ව්‍යාබාධ නැති බව (නිදුක් බව) පරම කොට ඇති බව පිණිස සෑහෙයි.
__missing translation__
17. චුන්‍දයෙනි, ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ සුඛල්ලිකානුයෝගයෙහි (සුව සෙවිනුයෙහි) ඇලී වෙසෙත් යැ’ යි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කියන්නාහු ය’ යන මේ කාරණයෙක් ඇත. චුන්‍දයෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ කවර සුඛල්ලිකානුයෝගයෙක් ද? (සුව සෙවිනුයෙහි ඇලීමෙක් ද?) සුඛල්ලිකානුයෝගයෝ (සුව සෙවිනුයෙහි ඇලීම්) වූ කලි බොහෝ හ, නොයෙක් වැදෑරුම් හ, නන් අයුරු හ” යි මෙසේ කියැ යුතු වන්නාහ. (අන්තොටු පිරිවැජ්ජනට මෙසේ කියැ යුතු)
චුන්‍දයෙනි, හීන වූ ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන් අයත් වූ අනාර්‍ය්‍ය වූ අවැඩ ඇසුරු කළාවූ සුඛල්ලිකානුයෝගයෝ (සුව සෙවිනුයෙහි ඇලීම්) සතරෙකි, ඔහු සසරැ කලකිරෙනු පිණිස, නොඇල්ම පිණිස, කෙලෙස් නසනු පිණිස, කෙලෙස් සංසිඳෙනු පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිවන් පිණිස නො පවතිත්. කවර සතර දෙනෙක් ද? යත්: චුන්‍දයෙනි, මෙහි එක්තරා අනුවණයෙක් පණිවා කොට කොට තමා සුව පත් කෙරෙයි, තමා පිණවයි. මේ පළමු වන කාමසුඛල්ලිකානුයෝගය යි. තව ද චුන්‍දයෙනි, මෙහි එක්තරා අනුවණයෙක් අයිනාදන් කොට කොට තමා සුව පත් කෙරෙයි, තමා පිණවයි. මේ දෙවෙනි සුඛල්ලිකානුයෝගය යි. තව ද චුන්‍දයෙනි, මෙහි එක්තරා අනුවණයෙක් මුසවා බැණ බැණ තමා සුව පත් කෙරෙයි, තමා පිණවයි. මේ තෙවෙනි සුඛල්ලිකානුයෝගය යි. තව ද චුන්‍දයෙනි, මෙහි එක්තරා අනුවණයෙක් පස්කම් ගුණයෙන් සමර්පිත වැ යුක්ත වැ ඉඳුරන් හසුරුවයි. මේ සිවු වන සුඛල්ලිකානුයෝගය යි. චුන්‍දයෙනි, සතර සුඛල්ලිකානුයෝගයෝ හීන හ, ග්‍රාම්‍ය හ, පුහුදුනන් අයත් හ, අනාර්‍ය්‍ය හ, අනර්‍ත්‍ථනිඃශ්‍රිත හ, සසරැ කලකිරෙනු පිණිස නො පවත්නා හ, විරාගය පිණිස නො පවත්නාහ, නිරෝධය පිණිස නො පවත්නාහ, කෙලෙස් සංසිඳීම පිණිස නො පවත්නාහ, විශිෂ්ටඥානය පිණිස නො පවත්නාහ, සම්බෝධිය පිණිස නො පවත්නාහ, නිවන පිණිස නො පවත්නාහ.
චුන්‍දයෙනි, ‘ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ මේ සතර කාමසුඛල්ලිකානුයන්හි යෙදුනෝ ව වෙසෙත් යැ’ යි මෙසේ අන් තොටු පිරිවැජ්ජෝ කියන්නාහ යන මේ කාරණය වූකලි ඇත. (එසේ කියන) ඔහු ‘එසේ නො කියවු’ යැ යි කියැ යුතු වන්නාහ. ඔහු තොපට මොනොවට නිවැරැදි ලෙස නො කියන්නෝ ම එසේ කියන්නාහ. නැති දැයින් නොවූ දැයින් දොස් කියන්නාහ.
චුන්‍දයෙනි, මේ සුඛල්ලිකානුයෝගයෝ සතර දෙනෙකි. ඔහු ඒකාන්තයෙන් සසරැ කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශෝපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිර්‍වාණය පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක් ද? යත්: චුන්‍දයෙනි, මෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුවය හා ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ පළමු වන සුඛල්ලිකානුයෝගය යි. තව ද චුන්‍දයෙනි, මෙහි මහණ තෙමෙ විතර්‍ක විචාරයන් සංසිඳීමෙන්, තමා තුළ පැහැදීම ඇති කරන, සිත එකඟබව ඇති, විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන්, ප්‍රීතිය හා සැපය හා ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ දෙවෙනි සුඛල්ලිකානුයෝගය යි.
චුන්‍දයෙනි, තව ද මහණ තෙමෙ ප්‍රීතිය ද පහ වීමෙන් … ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ තෙවෙනි සුඛල්ලිකානුයෝගය යි. චුන්‍දයෙනි, තව ද මහණ තෙමෙ සුඛවේදනාව ද පහ කිරීමෙන් … චතුර්‍ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ සිවුවැනි සුඛල්ලිකානුයෝගය යි. චුන්‍දයෙනි, මේ සතර සුඛල්ලිකානුයෝගයෝ ඒකාන්තයෙන් සසර කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශෝපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිර්‍වාණය පිණිස පවතිත්.
18. චුන්‍දයෙනි, ‘ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ මේ සතර සුඛල්ලිකානුයන්හි යෙදී වෙසෙත්’ යැ යි අන්තොටු පිරිවැජ්ජෝ කියන්නාහ යන මේ කාරණය ඇත. ‘එසේ යැ’ යි ඔහු කියැ යුත්තාහ (ඔවුනට පිළිතුරු දියැ යුතු.) ඔහු මොනොවට කියන්නාහු. නැති දැයින් නොවූ දැයින් තොපට දොස් නො කියන්නාහ.
__missing translation__
චුන්‍දයෙනි, ‘ඇවැත්නි, මේ සතර සුඛල්ලිකානුයෝගයන්හි යෙදී වසනවුන් විසින් ඵල කීයෙක්, අනුසස් කීයෙක් කැමැති වියැ යුතු දැ’? යි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ පුළුවුස්නාහ’ යන මේ කාරණය වූ කලි ඇත. චුන්‍දයෙනි, මෙසේ පුළුවුස්නා අන්තොටු පිරිවැජියෝ මෙසේ කිය යුතු (අන් තොටු පිරිවැජියනට මෙසේ පිළිතුරු දියැ යුතු:) “ඇවැත්නි, මේ සතර කාමසුඛල්ලිකානුයෝගයන්හි යෙදී වසන්නවුන් විසින් සතර ඵල කෙනෙක් සතර ආනිසංස කෙනෙක් කැමැති වියැ යුතු හ. කවර සතර දෙනෙක් ද? යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අපායට නොවැටෙන සුලු, ධර්‍මනියාමයෙන් නියත වූ. උපරිමාර්‍ගත්‍රයය පරායණය කොටැති (අවශ්‍යයෙන් පැමිණියැ යුතු) සෝවාන් පුඟුලෙක් වෙයි. මේ පළමු වන ඵලය යැ, පළමු වන අනුසස යැ. ඇවැත්නි, තව ද මහණ තෙමෙ තුන් සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන්, රාග ද්වේෂ මෝහයන් තුනී වීමෙන් සෙදැගැමි වෙයි, එක් වරක් ම මේ කාම ලෝකයට අවුත් දුක් කෙළවර කෙරෙයි. මේ දෙවෙනි ඵලය යි, දෙවෙනි අනුසස යි. ඇවැත්නි, තව ද, මහණ තෙමෙ අවරභාගික සංයෝජන පස ක්‍ෂය වීමෙන් ශුද්ධාවාස බඹලොව්හි උපදනේ, එහි පිරිනිවෙන සුලු වූයේ, ඒ ලොවින් මෙහි පෙරළා නොඑන සුලු වෙයි. මේ තෙවෙනි ඵලය යැ, තෙවෙනි අනුසස යැ. තවද ඇවැත්නි, මහණ තෙමෙ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රව රහිත වූ ඵලසමාධියත් ඵලඥානයත් මෙ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට, එයට පැමිණ වෙසෙයි. මේ සතර වන ඵලය යැ, සතර වන අනුසස යැ. ඇවැත්නි, සතර සුඛල්ලිකානුයෝගයන්හි යෙදී වසනවුන් විසින් මේ සතර ඵල, සතර අනුසස් කැමැති වියැ යුතු යැ යි, (ඒ අන්තොටු පිරිවැජියනට) කියැ යුතු.
__missing translation__
19. චුන්‍දයෙනි, ‘මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයන් ස්ථීර ස්වභාවයක් නැති වැ වෙසෙතැ’ යි අන්තොටු පිරිවැජියෝ මෙසේ කියන්නාහ යන මේ කාරණය විද්‍යමාන ය. චුන්‍දයෙනි, මෙසේ කියන සුලු අන්තොටු පිරිවැජියෝ මෙසේ කියැ යුත්තාහ (අන්තොටු පිරිවැජියනට මෙසේ උත්තර දියැ යුතු) : ඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට දෙසන ලද පනවන ලද දිවිහිමියෙන් නො ඉක්මියැයුතු දහම්හු ඇත්හ. පොළවැ ගැඹුරට පිවිසී, බිමැ මොනොවට සිටුවන ලද, නො සැලෙන, කම්පිත නො වන ඉන්‍ද්‍රකීලයෙක් හෝ අයස්කීලයෙක් යම්සේ ද, ඇවැත්නි, එසේ ම දන්නා දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භගවත්හු විසින් දිව්හිමියෙන් නොඉක්මියැ යුතු ධර්‍මයෝ දෙසන ලද හ, පනවන ලද හ. ඇවැත්නි, ක්‍ෂීණ ආස්‍රව ඇති, වැස නිමැවූ මඟබඹසර ඇති සිවුමඟින් කොට නිමැවූ කෘත්‍ය ඇති, බහා තුබූ කෙලෙස් බර ඇති, පැමිණි ස්වාර්‍ත්‍ථය (රහත්බව) ඇති, හැම අයුරින් නැසූ භවබන්‍ධන ඇති, මනානුවණින් දැන මිදුණු යම් රහත් මහණෙක් වේ ද, හේ නව තැනක් ඉක්මැ හැසිරෙන්නට නො හැකි වෙයි: ඇවැත්නි, රහත් මහණ තෙමෙ දැන සතක්හු දිවියෙන් තොර කරන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ නොදුන් දැයක් සොර සිතින් ගන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ මෙවුන්දම් සෙවිනුවට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ දැන මුසාබස් කියන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ, පෙරැ ගිහි වැ සිටියේ යම්සේ ද එසේ, කාමයන් රැස් කොට ගෙන පරිභෝග කරන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ ඡන්‍දයෙන් අගතියට යන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ ද්වේෂයෙන් අගතියට යන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ මෝහයෙන් අගතියට යන්නට නො හැකි වෙයි. රහත් මහණ තෙමෙ බියෙන් අගතියට යන්නට නො හැකි වෙයි. ඇවැත්නි, කළ ආස්‍රව ඇති, වැස නිමැවූ මඟබඹසර ඇති, සතර මඟින් කොටැ නිමැවූ කෘත්‍ය ඇති, බහා තුබූ කෙලෙස් බර ඇති, පැමිණි ස්වාර්‍ත්‍ථය (රහත් බව) ඇති, සියලු අයුරින් නැසූ භවබන්‍ධන ඇති, මොනොවට නුවණින් දැනැ මිදුණු යම් රහත් මහණෙක් වේ ද, හෙ තෙමෙ මේ නව තැන් ඉක්මැ හැසිරෙන්නට නො හැකි වේ යැ යි (ඔවුනට) කියැ යුතු.
__missing translation__
20. චුන්‍දයෙනි, ‘මහණ ගොයුම් තෙමෙ ඉකුත් කල ඇරැබැ අසීම වූ ඥානදර්‍ශනය පනවයි, එහෙත් අනා කල ඇරැබැ අසීම වූ ඥානදර්‍ශනය නො පනවයි, එයි (ඒ අනාගතඥානදර්‍ශනය නොපැණවීම) කිමෙක් ද? ඒ කවර හෙයින් දැ?’ යි අන්තොටු පිරිවැජියෝ මෙසේ කියන්නාහ’ යන මේ කාරණය ඇත.
ඒ අන්තොටු පිරිවැජියෝ වූකලි අව්‍යක්ත අන්‍ධබාලයන් සේ අනෙකක් ඇරැබැ පැවැති ඥානදර්‍ශනයෙකින් අනෙකක් ඇරැබැ පවත්නා ඥානදර්‍ශනයක් පැනැවියැ යුතු කොට හඟිත්. චුන්‍දයෙනි, තථාගතයාහට ඉකුත් කල ඇරැබැ සතානුසාරි නුවණ (පෙරවුසූ අත්බව් සිහි කරන) නුවණ වෙයි. හෙ තෙමෙ (එයින්) යම් පමණ කැමැති වේ ද, එපමණ සිහි කෙරෙයි. අනා කල් ඇරැබැ වූ කලි තථාගතයාහට ‘මේ කෙළවරැ ඉපැත්ම ය, දැන් මෙයින් මත්තෙහි භවයෙක් නැතැ’ යි බෝධිජ ඥානය උපදී. චුන්‍දයෙනි, ඉකුත් කාල පිළිබඳ වුව ද යමෙක් අභූත ද අහත්‍ය ද, අනර්‍ත්‍ථ නිඃශ්‍රිත ද එය තථාගත තෙමෙ නො පවසයි. ඉකුත් කල පිළිබඳ වූ ද යමෙක් භූත ද සත්‍ය ද එහෙත් අනර්‍ත්‍ථනිඃශ්‍රිත ද, එයත් තථාගත තෙමේ නො පවසයි. ඉකුත්කල පිළිබඳ වූ ද යමෙක් භූත ද, සත්‍ය ද අර්‍ත්‍ථ නිඃශ්‍රිත ද, ඒ පැනය විසැඳීමෙහි තථාගත තෙමේ කාලඥ වෙයි. චුන්‍දයෙනි, අනාකල් පිළිබඳ වූ ද යමෙක් අභූත ද අසත්‍ය ද අනර්‍ත්‍ථ නිඃශ්‍රිත ද, … වත්මන් කල පිළිබඳ වූ ද යමෙක් අභූත ද අසත්‍ය ද අනර්‍ත්‍ථනිඃශ්‍රිත ද, එය තථාගත තෙමේ නො පවසයි. චුන්‍දයෙනි, වත්මන් කල පිළිබඳ වූ ද යමෙක් භුත ද සත්‍ය ද එහෙත් අනර්‍ත්‍ථනිඃශ්‍රිත ද, එයත් තථාගත තෙමෙ නො පවසයි. වත්මන් කල පිළිබඳ වුව ද යමෙක් භූත ද සත්‍ය ද අර්‍ත්‍ථනිඃශ්‍රිත ද, ඒ පැනය විසැඳීමෙහි තථාගත තෙමේ කියැ යුතු කල් දන්නේ වෙයි.
21. චුන්‍දයෙනි. මෙසේ අතීත අනාගත වර්‍තමාන ධර්‍මයන්හි තථාගත තෙමේ කල් දැන කියන සුලු ද, වූ දැයක් ම කියන සුලු ද, වැඩක් ම කියන සුලු ද, දහමක් ම කියන සුලු ද, විනය ම කියන සුලු ද වෙයි, එ හෙයින් තථාගත යැ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝවැස්සා විසින්, දෙව් මිනිසුන් සහිත, මහණබමුණන් සහිත සත්‍වප්‍රජාව විසින් යමෙක් දැක්ක යුතු ද, ඇසිය යුතු ද, යමෙක් යමෙක් ආඝ්‍රාණයත් ආස්වාදනයත් ස්පර්‍ශනයත් කළ යුතු ද, දන්නා ලද ද, ප්‍රාප්ත ද (ලබන ලද ද), පිරියෙස්නා ලද ද, සිතින් කල්පනා කරන ලද ද, ඒ සියල්ල තථාගතයන් විසින් වෙසෙසින් අවබෝධ කරන ලද්දේ ය. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, යම් රැයෙක තථාගත තෙමේ නිරුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙරෙයි ද, යම් රැයෙක අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙයි ද, මේ දෑතුරෙහි හෙ තෙමෙ යමක් කියා ද, පවසා ද, දක්වා ද, ඒ සියල්ල ඒ කී පරිදි ම වේ, අන් සැටියෙකින් නො වේ. එහෙයින් ‘තථාගත’ යැ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, තථාගත තෙමේ යම් සේ කියන සුලු ද, එසේ ම කරන සුලු ය, යම් සේ කරන සුලු ද, එසේ ම කියන සුලු ය. මෙසේ තථාගත තෙමේ යථාවාදී තථාකාරී ද යථාකාරී තථාවාදි ද වේ. එහෙයින් ‘තථාගත’ යැ යි කියනු ලැබේ. චුන්‍දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත, ලොව්හි, මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්‍වප්‍රජායෙහි තථාගත තෙමෙ මෙරමා මැඩලනුයේ ය, මෙරමා විසින් නො මැඩලන ලද්දේ ය, සියල්ල දක්නේ ය, මෙරමා සිය වශයෙහි පවත්වන්නේ ය. එ හෙයින් ‘තථාගත’ යැ යි කියනු ලැබේ.
__missing translation__
22. චුන්‍දයෙනි, “ඇවැත්නි, කිමෙක් ද? තථාගත තෙමේ මරණින් මත්තෙහි වන්නේ ද? මෙය ම සත්‍යත් අන් සියල්ල මෝඝත් (අසාරත්) වේ දැ? යි අන්තොටු පිරිවැජියෝ කියන්නාහුය” යන මේ කරුණ ඇත. චුන්‍දයෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මත්තෙහි වන්නේ ද? මෙය ම සත්‍යත් අන් සියල්ල මෝඝත් වේ දැ? යි භගවත්හු විසින් මෙය නො කියන ලදැ” යි මෙසේ කියැ යුතු හ. “ඇවැත්නි, කිමෙක් ද? තථාගත තෙමේ මරණින් මත්තෙහි නො වන්නේ ද? මෙය ම සත්‍ය ද? සෙස්ස හිස් දැ?’ යි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කියන්නාහ” යන මේ කාරණය ඇත. එසේ කියන අන්තොටු පිරිවැජ්ජෝ, ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මත්තෙහි නො වන්නේ ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස යැ’ යි මෙසේත් භගවත්හු විසින් නො කියන ලදැ’යි මෙසේ කිය යුතු වන්නාහ.
“කිමෙක් ද? ඇවැත්නි තථාගත තෙමේ මරණින් මත්තෙහි වන්නේත් නොවන්නේත් වේ ද? මෙය ම සත්‍ය ද? සෙස්ස හිස් දැ?’ යි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ අසන්නාහුය” යන මේ කාරණය ඇත. චුන්‍දයෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජ්ජෝ, ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මත්තෙහි වන්නේත් වේ නොවන්නේත් වේ යැ යි භගවත්හු විසින් නො කියන ලදැ”යි මෙසේ කියැ යුතු වන්නාහ. චුන්‍දයෙනි, “ඇවැත්නි, කිමෙක් ද? තථාගත තෙමේ මරණින් මත්තෙහි නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ ද? මෙය ම සත්‍ය ද? සෙස්ද හිස් දැ?’ යි අන්තොටු පිරිවැජියෝ මෙසේ කියන්නාහ” යන මේ කාරණය වනාහි ඇත. චුන්‍දයෙනි, මෙසේ කියත් අන්තොටු පිරිවැජ්ජෝ, ‘ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මත්තෙහි නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ යැ යි මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ යි මෙසේ ද භගවත්හු විසින් නො පවසන ලදැ” යි මෙසේ කියැ යුතු වන්නාහ. චුන්‍දයෙනි, “ඇවැත්නි, මහණ ගොයුම්හු විසින් මෙය කවර හෙයින් අප්‍රකාශිත දැ’ යි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කියන්නාහ” යන මේ කාරණය ඇත. චුන්‍දයෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ, “ඇවැත්නි, මෙය අර්‍ත්‍ථනිඃශ්‍රිත ද නො වේ, ධර්‍මනිඃශ්‍රිත ද නො වේ. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් ද නොවේ. සසරැ කලකිරෙනු පිණිස, නො පවතී, විරාගය පිණිස නො පවතී, නිරෝධය පිණිස නො පවතී, ක්ලේශෝපශමය පිණිස නො පවතී, විශිෂ්ට ඥානය පිණිස නො පවතී, සම්බෝධිය පිණිස නො පවතී නිර්‍වාණය පිණිස නො පවතී. එ හෙයින් එය භගවත්හු විසින් නො පවසන ලදැ” යි මෙසේ කියැ යුතු වන්නාහ.
__missing translation__
23. චුන්‍දයෙනි, “ඇවැත්නි, මහණ ගොයුම්හු විසින් කිමෙක් නම් පවසන ලද දැ?’ යි අන්තොටු පිරිවැජියෝ මෙසේ අසන්නාහ” යන මේ කාරණය වනාහි ඇත. චුන්‍දයෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, මේ දුකැ යි ම භගවත්හු විසින් පවසන ලදි, මේ දුක් උපදනා හේතුව යැ යි ම භගවත්හු විසින් පවසන ලදී. මේ දුක් වැනැස්ම යැ යි ම භගවත්හු විසින් පවසන ලදි. මේ දුක් වැනැස්මට යන පිළිවෙතැ යි ම භගවත්හු විසින් පවසන ලදැ” යි මෙසේ කියැ යුතු වන්නාහ.
24. චුන්‍දයෙනි, “ඇවැත්නි, කවර හෙයින් මෙය මහණ ගොයුම්හු විසින් පවසන ලද දැ?’යි අන්තොටු පිරිවැජියෝ මෙසේ පුළුවුස්නාහ” යන මෙ කරුණ ඇත. චුන්‍දයෙනි, එසේ පුළුවුස්නා අන්තොටු පිරිවැජියෝ මෙසේ කියැ යුතු: “ඇවැත්නි, මෙය අර්‍ත්‍ථනිඃශ්‍රිත ය, මෙය ධර්‍මනිඃශ්‍රිත ය, මෙය මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල ය. මෙය ඒකාන්තයෙන් සසරැ කලකිරෙනු පිණිස පවතී, විරාගය පිණිස නිරෝධය පිණිස ක්ලේශෝපශමය පිණිස විශිෂ්ට ඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස පවතී. එහෙයින් එය භගවත්හු විසින් පවසන ලදැ’ යි (කියැ යුතු.)
__missing translation__
චුන්‍දයෙනි, පූර්‍වාන්තය (පෙරැ පැවැති ස්කන්‍ධ කොටස) පිළිබඳ වූ යම් දෘෂ්ටි කෙනෙක් ඇද්ද, ඔහු ද ඔවුන් පැවැසියැ යුතු පරිදි මා විසින් ප්‍රකාශිත හ. ඔහු යම්සේ නො පැවැසියැ යුතු නම් කිම? මම් එහි තොපට එය පවසන්නෙම් ද? චුන්‍දයෙනි, අපරාන්තසහගත (මතු ස්කන්‍ධ කොටස පිළිබඳ වූ) යම් දෘෂ්ටි කෙනෙක් ඇද්ද, ඔවුන් හෙළි කළ යුතු පරිද්දෙන් ඔහු ද මා විසින් ප්‍රකාශිත හ. යම් හැටියෙකින් ඔහු හෙළි නො කළ යුතු නම්, කිම? එහි මම් ඔවුන් තොපට හෙළි කරන්නෙම් ද?
25. චුන්‍දයෙනි, පැවැසියැ යුතු පරිද්දෙන් මා විසින් තොපට හෙළි කරන ලද පූර්‍වාන්ත සහගත දෘෂ්ටීහු කවුරු ද? යත්: චුන්‍දයෙනි, ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ’යි මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි මෙසේ වාද ඇති, මෙසේ වූ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. චුන්‍දයෙනි, ‘ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ යි ද, ආත්මයත් ලෝකයත් ශාශ්වතත් අශාශ්වතත් වේ යැ යි ද, ආත්මයත් ලෝකයත් ශාශ්වතත් නො ම වේ අශාශ්වතත් නො ම වේ යැ යි ද, ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ය යි ද, ආත්මයත් ලෝකයත් පරකෘත යැ යි ද, ආත්මයත් ලෝකයත් ස්වයංකෘතත් පරකෘතත් වේයැ යි ද, ආත්මයත් ලෝකයත් ස්වයාකාර ද පරකාර ද නො වේ, යදෘච්ඡාසමුත්පන්න යැ යි ද, මෙය ම සත්‍ය යැ යි, සෙස්ස හිස් යැ’ යි මෙසේ වාද ඇති, මෙසේ වූ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත.
26. සුව දුක් ශාශ්වත ය, සුවදුක් අශාශ්වත ය, සුවදුක් ශාශ්වත ද අශාශ්වත ද වේ, සුවදුක් ශාශ්වත ද නො ම වේ. ආශාශ්වත ද නො ම වේ, සුවදුක් ස්වයංකෘත ය, සුවදුක් පරකෘත ය, සුව දුක් ස්වයංකෘත ද පරකෘත ද වේ. සුවදුක් ස්වයංකාර ද නො වේ, පරකාර ද නො වේ, යදෘච්ඡාසමුත්පන්න ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ යි මෙසේ වූ වාද ඇති, මෙසේ වූ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. චුන්‍දයෙනි, එහි ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ’ යි ‘මෙය ම සත්‍ය යැ සෙස්ස හිස් යැ’ යි මෙසේ වාද ඇති, මෙසේ දෘෂ්ටි ඇති යම් මහණ කෙනෙක් බමුණුකෙනෙක් ඇද්ද, මම් ඔවුන් කරා එළැඹ, ‘ඇවැත්නි, ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ යි කියනු ලැබේ යන මෙය ඇත්ත දැ?’ යි මෙසේ විචාරමි. ඔහු ‘මෙය ම සත්‍ය ය සෙස්ස හිස් යැ’ යි මෙසේ යම් වචනයක් කියත් ද, ඔවුන්ගේ ඒ වචනය නො අනුදනිමි. ඒ කවර හෙයින්ද? චුන්‍දයෙනි, මෙහි අන් සැටියෙකින් හඟිනා ඇතැම් සත්‍ව කෙනෙක් ඇත. චුන්‍දයෙනි, මේ දෘෂ්ටි ප්‍රඥප්තියෙන් ද තමාහට සමසමයක් හු නො ම දකිමි. තමාට වැඩි තරම් එකකු කොයින් දකිම් ද? වැලිදු අධිප්‍රඥප්ති (විශේෂ පැනවීම) යන යමෙක් ඇද්ද, එහි මම ම වැඩිතරම් වෙමි.
27. චුන්‍දයෙනි, එහි ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ’ යි ‘ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ’ යි ‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් අශාශ්වතත් වේ’ යැ යි ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත ද නො ම වේ, අශාශ්වත ද නො ම වේ’ යැ යි, ‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත යැ’ යි ‘ආත්මයත් ලෝකයත් පරකෘත යැ’ යි ‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ද පරකෘත ද වේ යැ’ යි ‘ආත්මයත් ලෝකයත් ස්වයංකාර ද නො වේ, පරකාර ද නොවේ යදෘච්ඡාසමුත්පන්න යැ’ යි, ‘සුඛදුඃඛ දෙක ශාශ්වත යැ’ යි ‘සුඛ දුඃඛ දෙක අශාශ්වත යැ’ යි, ‘සුඛ දුඃඛ දෙක ශාශ්වතත් අශාශ්වතත් වේ යැ’ යි ‘සුඛ දුඃඛ දෙක ශාශ්වතත් නො ම වේ අශාශ්වතත් නො ම වේ යැ’ යි, ‘සුඛදුඃඛ දෙක ස්වයංකෘත යැ’ යි, ‘සුඛ දුඃඛ දෙක පරකෘත යැ’ යි, ‘සුඛ දුඃඛ දෙක ස්වයංකෘත ද පරකෘත ද වේ යැ’ යි ‘සුඛ දුඃඛ දෙක ස්වයංකාර ද පරකාර ද නො ව යදෘච්ඡාසමුත්පන්න යැ, ‘මෙය ම සත්‍ය ය සෙස්ස හිස් යැ’ යි, මෙසේ වූ වාද ඇති මේ බඳු වූ දෘෂ්ටි ඇති යම් මහණ කෙනෙක් බමුණු කෙනෙක් ඇද්ද, මම ඔවුන් කරා එළැඹ, ‘ඇවැත්නි, සුඛ දුඃඛ ස්වයංකාර ද පරකාර ද නොව යදෘච්ඡාසමුත්පන්න යැ යි කියනු ලැබේ’ යන මෙය ඇත්ත දැ? යි විචාරමි. ඔහු ‘මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි යම් වචනයක් කියත් ද, ඔවුන්ගේ ඒ වචනය නො අනුදනිමි. ඒ කවර හෙයින? යත්: චුන්‍දයෙනි, මෙහි අන් සැටියෙකින් හඟිනා ඇතැම් සත්‍ව කෙනෙක් ඇත. චුන්‍දයෙනි, මේ දෘෂ්ටිප්‍රඥප්තියෙන් ද තමාහට සමසමයක්හු නො ම දකිමි. තමාහට වැඩිතරම් එකකු කොයින් දකිම් ද? වැලි දු අධිප්‍රඥප්ති යන යමෙක් ඇද්ද, එහි මම ම වැඩිතරම් වෙමි. චුන්‍දයෙනි, මොහු පැවැසියැ යුතු පරිදි මා විසින් පවසන ලද පූර්‍වාන්තය පිළිබඳ වූ දෘෂ්ටීහු ය. යම්සේ ඔහු නො පැවැසියැ යුතු නම්, කිම? එහි මම් තොපට ඒ පවසන්නෙම් ද?
__missing translation__
28. චුන්‍දයෙනි, යම්සේ හෙළි කළ යුතු නො වෙත් නම්, ‘එහි මම් කුමට එය පවසන්නෙම් දැ?’ යි කියැ යුතු වූ, හෙළි කළ යුතු පරිදි මා විසින් හෙළි කරන ලද්දාවූ අපරාන්ත සහගත (අනාගත ස්කන්‍ධ කොටස පිළිබඳ වූ) දෘෂ්ටීහු කවරහ? යත්: චුන්‍දයෙනි, ‘ආත්මය රූපවත් ය, මරණින් මතු අරෝග යැ. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි මෙසේ කියන, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ‘ආත්මය රූපරහිත ය … ආත්මය රූපවත් ද අරූපවත් ද වෙයි … ආත්මය රූපවත් ද නොම වෙයි, අරූපවත් ද නො ම වෙයි … ආත්මය සංඥාවත් වෙයි … ආත්මය සංඥා නැත්තේ වේ … ආත්මය සංඥා ඇත්තේ ද වේ ... සංඥාව නැත්තේ ද වේ … ආත්මය මරණින් පසු මුල් සුන් වෙයි, වැනැසෙයි, මරණින් මත්තෙහි නො වෙයි, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි මෙසේ කියන, මෙබඳු දෘෂ්ටි ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. චුන්‍දයෙනි, එහි යම් මහණ බමුණු කෙනෙක් ආත්මය රූපවත්ය, මරණින් මත්තෙහි අරෝග යැ, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි කියත් ද, මම් ඔවුන් කරා එළැඹ, ‘ඇවැත්නි, ආත්මය රූපවත් ය. මරණින් මතු අරෝග යැ’ යි තොප විසින් යම් වචනයෙක් කියනු ලැබේ ද, එය ඇත්තේ දැ? (එය හුදු වචනමාත්‍රයක් නො ව තොපගේ දෘෂ්ටි දැ?’) යි විචාරමි. ‘මෙය ම සත්‍ය යැ, සෙස්ස හිස් යැ’ යි යමක් මෙසේ ඔහු කියත් ද, ඔවුන්ගේ ඒ වචනය නො අනුදනිමි. ඒ කවර හෙයින? චුන්‍දයෙනි, මෙහි මෙයට වෙනස් සංඥා ඇති එක්තරා සත්‍ව කෙනෙක් ඇත්හ. චුන්‍දයෙනි, මේ දෘෂ්ටිප්‍රඥප්තියෙන් ද තමාට සමසම එකක්හු නො දකිමි, වැඩි තරම් එකකු කොයින් දකිම් ද? වැලි දු යම් අධිප්‍රඥප්තියෙක් වේ ද එයින් මම ම එහි වැඩි තරම් වෙමි.
29. චුන්‍දයෙනි, එහි යම් මහණ බමුණු කෙනෙක් ‘ආත්මය රූප රහිත වෙයි … ආත්මය රූපවත් ද රූපරහිත ද වෙයි … ආත්මය රූපවත් ද නො ම වෙයි, රූපරහිත ද නොම වෙයි … ආත්මය සංඥා ඇත්තේ වෙයි … ආත්මය සංඥා නැත්තේ වෙයි ... ආත්මය සංඥීත් (සංඥාව ඇත්තේත්) නො ම වෙයි, අසංඥීත් නො ම වෙයි … ආත්මය මුල්සුන් වෙයි, වැනැසෙයි මරණින් මතු නො වෙයි. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’ යි මෙසේ කියත් ද, මම් ඔවුන් කරා එළැඹ, “ඇවැත්නි. ආත්මය උච්ඡින්න වේ, වැනසේ, මරණින් මතු නො වේ, මෙය ම සත්‍යය ය, සෙස්ස හිස්යැ’ යි යමක් කියනු ලැබේ ද එය (ඒ දෘෂ්ටිය) ඔබට ඇත්දැයි?” යි මෙසේ විචාරමි. ‘මෙය ම සත්‍ය ය, සෙස්ස හිස්යැ’ යි මෙසේ යමක් ම ඔහු කියත් ද, ඔවුන්ගේ ඒ වචනය නො අනුදනිමි, ඒ කවර හෙයින? යත්: චුන්‍දයෙනි, මෙහි ඇතැම් සත්‍ව කෙනෙක් වෙනස් සංඥා ඇත්තාහු ද වෙත්. (එහෙයිනි.) චුන්‍දයෙනි, මේ දෘෂ්ටිප්‍රඥප්තියෙන් ද තමා හා සමසමයකු මම් නො ම දකිමි. තමාට වැඩිතරම් එකක්හු කොයින් දකිම් ද? වැලි දු යම් අධිප්‍රඥප්තියෙක් වේ ද එහි මම ම වැඩිතරම් වෙමි. චුන්‍දයෙනි, හෙළි කළ යුතු පරිද්දෙන් මා විසින් හෙළි කරන ලද, යම්සේ නොපැවැසියයුතු නම් ‘කුමට එය තොපට පවසන්නෙම් දැ’ යි මා විසින් නො පවසන ලද, අපරාන්තසහගත වූ දෘෂ්ටීහු මොහු ය.
30. චුන්‍දයෙනි, මේ පූර්‍වාන්ත සහගත දෘෂ්ටීන්ගේ ද මේ අපරාන්ත සහගත දෘෂ්ටීන්ගේ ද ප්‍රහාණය පිණිස ඉක්මීම පිණිස, මා විසින් මෙසේ සතර සතිපට්ඨානයෝ දෙසන ලදහ, පනවන ලදහ. කවර සතරෙක් ද? යත්: චුන්‍දයෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ අභිධ්‍යාව හා දොම්නස හා දුරු කොට, කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. වේදනාවන්හි … චිත්තයන්හි … කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ අභිධ්‍යාව හා දොම්නස හා දුරු කොට, ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. චුන්‍දයෙනි, මේ පූර්‍වාන්තසහගත දෘෂ්ටීන්ගේ ද මේ අපරාන්ත සහගත දෘෂ්ටීන්ගේ ද ප්‍රහාණය පිණිස, ඉක්මීම පිණිස, මෙසේ මා විසින් සතර සතිපට්ඨානයෝ දෙසන ලද හ, පනවන ලදහ.”
31. එ සමයෙහි උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේට පවන් සලනුවෝ ඔබ පිටුපසින් සිටියාහු වෙත්. එ කලැ උපවාණ තෙරණුවෝ ‘වහන්ස, ආශ්චර්‍ය්‍ය ය, වහන්ස, අද්භූත ය, වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යායය ඒකාන්තයෙන් ප්‍රසාද එළවන සුලු ය, වහන්ස, මේ ධර්‍ම පර්‍ය්‍යායය කිනම් දැ? යි ඇසූහ. ‘උපවාණයෙනි, එහෙයින් මෙහි මේ ධර්‍ම පර්‍ය්‍යාය ‘පාසාදිකයැ’ යි කියා ම සලකවු යැ’ යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ආයුෂ්මත් උපවාණ තෙරණුවෝ සතුටු සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
සවැනි පාසාදික සූත්‍රය නිමියේ යැ.
7.
ලක්ඛණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර නිසා දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
“මහණෙනි, යමෙකින් සමන්‍විත මහ පුරිස්හට නිෂ්ඨා දෙකෙක් ම වේ ද, අන් තෙවැන්නෙක් නැද්ද, එසේ වූ මහපුරිස්හුගේ මහ පුරිස් ලකුණු දෙතිසෙක් වෙත්. ඔහු පිළිබඳ වූ ඒ නිෂ්ඨා දෙක නම්: ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්, දැහැමි වූ (දස කුසල් දහම් රක්නා), දැහැමෙන් රජය ලැබ රජ වූ, සිවුසයුර ඉම් කොටැති සිවු මහදිවයිනට නායක වූ, සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත් රුවනින් සමන්‍වාගත වූ, සක්විති රජෙක් වෙයි. සක්රුවන, ඇත්රුවන, අස්රුවන, මිණිරුවන, ඉතිරිරුවන, ගැහැවිරුවන, සත්වනු පුත්රුවන ම යැ යි ඔහුට මේ සත්රුවන් කෙනෙක් වෙත්. ශූර, වීර ඇඟ රුව ඇති, සතුරු සෙන් මඩිනුයෙහි බුහුටි වූ පුත්තු අයිරා දහස් දෙනෙක් ඔහුට වෙත්. ඒ සක්විති තෙමේ සයුරහිම් කොට මේ පොළොව දඬුවමින් තොර වැ අවියෙන් තොර වැ දැහැමෙන් දිනා එයට අධිපති වැ වෙසෙයි. ඉදින් ගිහිගෙන් නික්මැ පැවිදි බිම වදනේ වී නම්. පෙරළා ලූ කෙලෙස් සෙවෙණි ඇති, රහත් සම්මාසම්බුදුවරයෙක් වෙයි. මහණෙනි, යම් දෙතිස් මහපුරිස් ලකුණින් යුත් මහ පුරිස්හට ගති දෙකෙක්ම වේ ද, අන් තෙවැන්නෙක් නො වේ ද, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වන්නේ ද, ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම්, ලොවැ කෙලෙස් සෙවෙණි පෙරළා ලූ රහත් සම්මාසම්බුදුවරයෙක් වන්නේ ද, මහපුරිස්හුගේ එසේ වූ දෙතිස් මහපුරිස් ලකුණු කවුරු ද? යත්:
2. මහණෙනි, මෙහි මහ පුරිස් තෙමේ සුපිහිටි පා ඇත්තේ වෙයි. මහණෙනි ‘මහපුරිස්තෙමේ සුපිහිටි පා ඇත්තේය’ යන යමෙක් ඇද්ද, මෙය මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
තව ද අනෙකක් කියමි. මහ පුරිස්හුගේ යැටි පතුල්හි දහසක් දැවි ඇති, නිම්වළලු සහිත, නාභි සහිත හැම අයුරින් පිරිපුන් මොනොවට බෙදුණු අතර ඇති, සක් ලකුණෝ පහළ වූවාහු වෙත්. මහණෙනි, පුරිස්හුගේ යැටි පතුල්හි දහසක් දැවි ඇති, නිම්වළලු සහිත, නාභිසහිත, හැම අයුරින් පිරිපුන්, මොනොවට බෙදුණු අතර ඇති, සක් ලකුණෝ පහළ වූවාහු වෙත් යන යමෙක් ඇද්ද, මෙය ද මහණෙනි, මහපුරිස්හුගේ ලකුණෙක් වෙයි.
තව ද අනෙකෙකි. මහණෙනි, මහපුරිස් තෙමේ දික් විලුම් ඇත්තේ වෙයි … දික් ඇඟිලි ඇත්තේ වෙයි … මොළොක් වූ තුරුණු අතුල් පතුල් ඇත්තේ වෙයි … දැල් කවුළුවකට බඳු අත් පා ඇත්තේ වෙයි … මත්තෙහි ගොප් ඇටය පිහිටි පා ඇත්තේ වෙයි … ඕළු මුවන්ගේ බඳු කෙංඩා ඇත්තේ වෙයි … සිටියේ ම නො නැමෙනුයේ දෙ අත්ලෙන් දෙ දන ස්පර්‍ශ කෙරෙයි, පිරිමදියි … කොපුයෙහි ගිලුණු වස්තු ගුහ්‍යය ඇත්තේ වෙයි … රන් බඳු පැහැ ඇත්තේ, කසුන් පැහැ සිවිය ඇත්තේ වෙයි … සියුම් සිවිය ඇත්තේ වෙයි; සිවිය සියුම් බැවින් කයෙහි රජස් දැලි නො ලැගෙයි … එකෙකි ලොම් ඇත්තේ වෙයි. රෝමකූපයන්හි තනි තනි ම වැ (එකෙක් එකෙක් ම) ලොම් හට ගත්තේ වෙයි … උඩුකුරු අක්ඇති ලොම් ඇත්තේ වෙයි. උඩුකුරු වූ අක් ඇති, නිල් පැහැ අඳුන්වන්, කොඬොල් බඳු වක් වූ, දකුණට කරකැවුණු ලොම්හු හටගත්තාහු වෙත් … බඹහුගේ බඳු ඍජු (නොනැමුණු) සිරුරු ඇත්තේ වෙයි … කයැ දෙ අත් පිටු ඈ උස් වැ මතු වූ සත් තැනක් ඇත්තේ වෙයි … සීරදහක්හුගේ පෙරඩ කය බඳු පිරුණු කය ඇත්තේ වෙයි … පිරුණු (මොනොවට තැනුණු) පිටතුරු ඇත්තේ වෙයි … නුගරුකක් බඳු පිරිමඬුලු (සමප්‍රමාණ) කය ඇත්තේ වෙයි … ඔහුගේ කය යම් පමණ ද ඔහුගේ බඹය ද එ පමණ ම ය. ඔහුගේ බඹය යම් පමණ ද ඔහුගේ කයත් එ පමණ ම ය (කයේ උස පමණ ම බඹය ද වෙයි) … සම වට ගෙල ඇත්තේ වෙයි … (සත් සියක්) රසනහර තුඩු දුන් ගෙල ඇත්තේ වෙයි … සීරදක්හුගේ බඳු හනු ඇත්තේ වෙයි … සම සතලිසක් දත් ඇත්තේ වෙයි … සම වූ දත් ඇත්තේ වෙයි … අතරැ විවර නැති සේ පිහිටි දත් ඇත්තේ වෙයි … ඉතා සුදු දළ ඇත්තේ වෙයි … පුළුල් දිව ඇත්තේ වෙයි … බඹහුගේ බඳු කටහඬ ඇත්තේ, කුරවිකෙවිල්ලනගේ බඳු මධුර නාද ඇත්තේ වෙයි … ඉතා නිල් නෙතැත්තේ වෙයි … රත්පැහැ ලමා වස්සක්හුගේ බඳු ඇස්මඬල ඇත්තේ වෙයි … සුදු මොළොක් පුලුන් රොදක් බඳු ඌර්‍ණ රෝමයක් දෙබැම අතරැ හටගත්තේ වෙයි. මහණෙනි, යම් සුදු වූ මොළොක් වූ පුලුන් රොදක් බඳු ඌර්‍ණ රෝමයෙක් ද බැම අතරැ හටගත්තේ ද, මහණෙනි, මෙය ද මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි. තව ද අනෙකෙකි. මහපුරිස් තෙමේ උෂ්ණිෂ ශීර්‍ෂ වෙයි. (නළල් පටින් වෙළුණක්හු බඳු පිරිපුන් නළල් තල ද පිරිපුන් හිස ද ඇත්තේ වෙයි). මහණෙනි, මහපුරිස් තෙමෙ උෂ්ණීෂ ශීර්‍ෂ වෙයි යන යමෙක් ඇද්ද මෙය ද මහණෙනි, මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
මහණෙනි, මොහු වනාහි යමෙකින් යුත් මහ පුරිස්හුහේ ගති දෙකෙක් ම වේ ද, අන් තෙවැන්නෙක් නො වේ ද, ගිහිගෙහි වුසුවොත් … සක්විති වන්නේ ද, ගිහි ගෙන් නික්ම ලොවැ කෙලෙස් සෙවෙණි පෙරළාලූ රහත් සම්මාසම්බුදුවරයෙක් වන්නේ ද, එසේ වූ මහ පුරිසක්හු පිළිබඳ වූ ඒ දෙතිස් මහ පුරිස් ලකුණුහු වෙත්.
3. මහණෙනි, ඒ මේ දෙතිස් මහ පුරිස් ලකුණුහු සස්නෙන් බැහැරැ වූ ඍෂීහු ද සිත්හි ලා දරත්. ඔහු එය සිත්හි නො දරන්නාහු නම්, මෙබඳු කර්‍මයක් කළ බැවින් මෙ නම් ලකුණ ලබා යැ යි නො දන්නාහු ය.
සුප්‍රතිෂ්ඨිත පාද ලක්‍ෂණය (1)
මහණෙනි, තථාගත තෙමේ පෙර දෑහි පෙර බෙවෙහි පෙරැ වුසූ තන්හි දී, පෙරැ මිනිස් වූයේ ම (පෙරැ මිනිස් වැ ඉපැද සිටි කල්හි) කුසල් දහම්හි දැඩි ගැනුම් ඇත්තේ, නිසල සමාදන් ඇත්තේ වී ද, කාය සුචරිතයෙහි ද වාක් සුචරිතයෙහි ද මනස්සුචරිතයෙහි ද, තමා ලත් කොටස බෙදා දී වැළඳීමෙහි ද, පන්සිල් ඈ සිල්සමාදන් වැ ගැන්මෙහි ද, පෙහෙවස් වුසුම්හි ද මවට කටයුතු වතාවත්හි ද පියාට කටයුතු වතාවත්හි ද මහණුනට කටයුතු සත්කාරයෙහි ද, බමුණනට කටයුතු සත්කාරයෙහි ද, කුලදෙටුවන් පුදන බව්හි ද, තවත් මෙ බඳුවූ අන් අන් වෙසෙසි කුසල් දහම්හි දැඩි ගැනුම් ඇත්තේ නිසල සමාදන් ඇත්තේ වී ය යන යමෙක් ඇද්ද, හෙ තෙම ඒ කර්‍ම කළ බැවින්, පුන පුනා කළ බැවින්, ඒ කර්‍මයාගේ උත්සන්න බැවින් අප්‍රමාණ බැවින් කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. එහි ඒ මහපුරිස් තෙමෙ දෙව් ආයෙන් ද, දෙව් පැහැයෙන් ද, දෙව් සැපයෙන් ද, දෙව් යසසින් ද, දෙව් අධිපති බැවින් ද, දෙව් රුවින් ද, දෙව් හඬින් ද, දෙව් ගඳින් ද, දෙව් රෙසෙන් ද, දෙව් පහසින් ද යන දස කරුණෙකින් අන් දෙවියන් ඉක්මැ සිටී. හේ එයින් සැව මේ මිනිසත් බවට පැමිණියේ ම මේ මහපුරිස් ලකුණු ලබයි. හේ සුපිහිටි පා ඇත්තේ වෙයි, බිමැ සම ලෙස පා තබයි, සම ලෙස පා නඟයි. සියලු අවයවයෙන් යුත් පත්ලෙන් සමලෙස බිම පහසී (පාගායි). හේ ඒ ලකුණින් සමන්‍විතවූයේ, ඉදින් ගිහි ගෙහි වසන්නේ වී නම්, දසකුසල් දහම් රක්නා, දැහැමෙන් රජ වූ, සිවු සයුර හිම් කොටැති සිවු මහදිවයිනට නායක වූ, සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත් රුවනින් සමන්‍වාගත වූ සක්විති රජෙක් වෙයි. සක්රුවන ඇත්රුවන අස්රුවන මිණිරුවන ඉතිරිරුවන ගැහැවිරුවන සත් වනු පුත්රුවන ම යැයි ඔහුට මේ සත් රුවන් කෙනෙක් වෙත්.
ශූර වූ, වීර ඇඟ රුවැති, සතුරු සෙන් මඩිනුයෙහි බුහුටි, අයිරාදහස් පුත් කෙනෙක් ඔහුට වෙත්. හේ සයුර හිම් කොටැති, සතුරන් නමැති හුල් නැති, උවදුරට කරුණු නැති, සතුරන් නමැති කටු නැති (නොහොත් සොරුන් සතුරන් නැති), සමෘද්ධ වූ සැපතින් පිරුණු, බිය රහිත, උවදුරු නැති, සොර සතුරු කැලැල් නැති මේ පොළොව දඬුයෙන් අවියෙන් තොර වැ දැහැමෙන් අත්පත් කොට ගෙන, නායක වැ වෙසෙයි. හෙ තෙමෙ රජ වන්නේ කුමක් නම් ලබා ද? හේ මිනිස් වූ කිසිදු සතුරු පසමිතුරක්හු විසින් නො මැඩැ ලියැ හැක්කේ වෙයි. රජ වනුයේ හේ මේ අනුසස් ලබයි. ඉදින් හෙ තෙමෙ ගිහි ගෙන් නික්මැ පැවිදි වන්නේ නම්, රහත් වූ ලොවැ සිඳ පෙරළා හළ කෙලෙස් සෙවෙණි ඇති සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදු වූයේ ම කුමක් නම් ලබා ද? ඇතුළතැ හෝ බැහැරතැ සිටි සතුරන් විසින්, පසමිතුරන් විසින් රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ දෙවියක්හු විසින් හෝ මරක්හු විසින් හෝ බඹක්හු විසින් හෝ ලොවැ කිසිදු එකක්හු විසින් මැඩැලියැ නොහැක්කේ වෙයි. බුදු වූයේ ම මේ අනුසස් ලබයි.
භගවත්හු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය ම ගාථාබන්‍ධනයෙන් කියනු ලැබේ:{1}
“හෙ තෙම සබවස්හි ද දස අකුසල්දහම්හි ද ඉඳුරන් දමනුයෙහි ද සිල් හැවුරුමෙහි ද තුන්දොරින් පිවිතුරු බව්හි ද සිල්රැක්මෙහි ද පෙහෙවස් වුසුම්හි ද දීමෙහි ද මෙරමා නොපෙළීමෙහි ද රෞද්‍ර නොවූ ක්‍රියාහි ද ඇලුණේ එය තරයේ සමාදන් ව ගෙන, නිමාවට ම පිරී ය.
හේ ඒ කුසල් කමින් දෙව්ලෝ පැමිණියේ ය. සැප ද කෙළිසුව ද පස්කම් ද හේ වැළැඳුයේ ය. එයින් සැව නැවැත මෙහි ආයේ, සම දෙපත්ලෙන් පොළොව පැහැසී.
රජගෙට සපැමිණි ගත ලකුණු කියන බමුණෝ “සම ලෙස බිමැ පිහිටුනා පතුල් ඇතියහුගේ සිටි තැනින් සැලීමෙක් නොවෙයි”ද, “ඒ සුපිහිටි පා ලකුණ ගිහියකු හෝ පැවිද්දකු හෝ පිළිබඳ වූ ඒ අරුත පවසනුයේ වේ යැ”යි ද පැවැසූහ.
හේ ගිහි ගෙහි වසන්නේ නම්, සතුරන් විසින් නො මැඩැලියැ හැකි, අනුන් මැඩැ පවත්වනුයෙහි සමත්, සතුරන් මඩනා සක්විත්තෙක් වෙයි. ඒ කම්හුගේ ඵලයෙන් මිනිස් වූ කිසිවකු විසිනුත් සෙලැවියැ නො හැක්කේ වෙයි.
එ බඳුවූ ඒ නුවණැත්තේ මහණදහම්හි ඇලුණේ ඉදින් පැවිදි වන්නේ නම්, ලොවට අගපත් වූයේ, හැම සත්නට උතුම් වූයේ, කිසි කලෙකත් මෙරමා ගෙන් සැලෙන බවට නො පැමිණෙයි. මේ ඒ මහාපුරිස්හු පිළිබඳ ධර්‍මතා යි.
පාදතලයන්හි චක්‍රලක්‍ෂණ (2)
4. මහණෙනි, තථාගත තෙම පෙර දෑහි පෙර බෙවෙහි, පෙරැ වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම උද්වේග (සොර ආදීන්ගෙන් වන) බිය ද, උත්‍රාස (යක් ආදීන්ගෙන් වන උවදුරු) බිය ද දුරැලනුයේ දැහැමි රැකවරණ සලසනුයේ බොහෝ දෙනාගේ සුව පහසුව පිණිස වූයේ ය, පිරිවෙර සහිත ව දන් දුන්නේ ය යන යමෙක් ඇද්ද, හෙ තෙමෙ ඒ කර්‍ම කළ බැවින්, පුනපුනා කළ බැවින්, ඒ කර්‍මයාගේ උත්සන්න බැවින් අප්‍රමාණ බැවින් කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොව උපදී … හේ එයින් සැව, මෙ මිනිස් බවට ආයේ ම, මේ මහපුරිස් ලකුණ ලබයි. ඔහුගේ යැටි පතුල්හි දහසක් දැවි ඇති, නිම් වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන්, මොනොවට බෙදුණු අතර ඇති, සක්ලකුණු පහළ වූවෝ වෙත්. ඒ ලකුණෙන් සමන්‍විත හෙ තෙමෙ ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වූයේ ම කුමක් ලබා ද? මහ පිරිවර ඇත්තේ වෙයි. ඔහුගේ ඒ පිරිවර බමුණන් හා ගැහැවියෝ ය, නිගම්වැස්සන් හා දනවු වැස්සෝය, ගණකයන් (රජුගේ අයවැය ගණින්නන්) හා මහ ඇමැත්තෝ ය, සෙනඟ රක්නා ඇමැත්තෝ ය, දොරටු පල්ලෝ ය, පිරිස ද (පරපුරෙන් ම රජ පිරිසැ වූ) ඇමැත්තෝ ය, රජ දරුවෝ ය, ගම් මුදලියෝ ය, රජකුමරහු ය යන මහත් පිරිවර ඔහුට වෙයි. රජ වන්නේ හේ මෙකී දෑ ලබයි.
ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම්, ලොවැ පෙරැළු කෙලෙස් සෙවෙණි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වෙයි. බුදු වනුයේ කුමක් ලබා ද? මහපිරිවර ඇත්තේ වෙයි. මහණහුය, මෙහෙණියෝ ය, උවසුවෝ ය, උවැසියෝ ය, දෙව්හු ය, මිනිස්සු ය, අසුරයෝ ය, නාගයෝ ය, ගඳෙවුහු යැ යි මහ පිරිවර ඔහුට වෙයි. බුදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළසේක. එහි ගාථා බන්‍ධන වශයෙන් මෙය කියනු ලැබේ:
“පෙරැ බොහෝ පූර්‍ව කාලයෙහි පළමු ජාතීන්හි දී මිනිස් වූයේ බොහෝ දෙනාට සුව එළැවී ය. උද්වේග උත්‍රාස නිසා උපදනා බිය දුරු කරන්නේ විය. ගෝපනයෙහි ද රක්‍ෂාවරණයෙහි ද උත්සුක විය.
හේ ඒ කර්‍මයෙන් දෙව්ලෝ ගියේ ය. දෙව්ලෝ සුව ද දිව්‍ය ක්‍රීඩා හා පංචකාරම රතීන් ද වින්දේ ය. එයින් සැව, නැවත මෙහි ආයේ, හාත්පස නිම්වළලු ඇති, දහසක් දැවි ආදිය ඇති සක් ලකුණු දෙපත්ලෙහි ලබයි.
රජගෙට රැස්වූ නිමිත්තපාඨක බමුණෝ සිය පින් ලකුණු ඇති, කුමරහු දැක, මෙ තෙම මහත් පිරිවර ඇති, සතුරන් මඩින සක්විති රජෙක් වන්නේ ය. එසේ හෙයින් ම එයට පෙර නිමිති විසින් පතුල්හි හාත්පස නිම්වළලු ඇති සක්ලකුණු ඇත.
ඉදින් එබඳු තැනැත්තේ පැවිද්දට නො පැමිණේ නම්, අණසක පවත්වයි, පෘථිවියට අනුශාසන කෙරේ. ඔහුට මෙහි ක්‍ෂත්‍රියයෝ අනුයුක්ත වෙත්. මහත් යශස් ඇත්තාහු ඔහු හාත්පස පිරිවරත්.
ඉදින් නෛෂ්කාම්‍යඡන්‍දයෙහි ඇලුණු එබඳු ඒ නුවණැත්තේ පැවිදි බවට පැමිණෙන්නේ නම්, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද යක්‍ෂයෝ ද රකුසෝ ද, ගන්‍ධර්‍වයෝ ද, නාගයෝ ද, පක්‍ෂීහු ද, සිවුපාවෝ ද අනුත්තර වූ දෙව්මිනිසුන් විසින් පුදන ලද මහත් යසස් ඇති ඔහු පිරිවරත්.
ආයතපණ්හිතාදි තුන් ලකුණු (3, 4, 5)
5. මහණෙනි, තථාගත තෙමේ පළමු ජාතීන්හි, පෙරැ සසරෙහි, පෙරැ වුසූ තන්හි පෙරැ මිනිස් වූයේ ම ප්‍රාණඝාතය හැර, ප්‍රාණඝාතයෙන් වැළැක්කේ වී ය, බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ශස්ත්‍ර ඇත්තේ, පණිවායෙහි ලජ්ජා ඇත්තේ, සත්‍වයන් කෙරෙහි දයායෙන් යුක්ත වූයේ, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ විසීය යන යමෙක් ඇද්ද, හෙ තෙමෙ ඒ කර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, උත්සන්න බැවින්, අප්‍රමාණ බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. හේ එයින් සැව, මේ මිනිස්බවට පැමිණියේ ම, මේ මහ පුරිස් ලකුණු තුන ලබයි. හේ දික් විලුම් ඇත්තේ වෙයි, දිගැඟිලි ඇත්තේ ද වෙයි. බඹහට බඳු ඍජු ශරීරය ඇත්තේ වෙයි. ඒ ලක්‍ෂණයන්ගෙන් සමන්‍විත වූ හෙ තෙමේ ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්, … සක්විති රජෙක් වෙයි. රජ වනුයේ කුමක් ලබා ද? හේ බොහෝ කල් ජීවත් වනුයේ දීර්‍ඝායුෂ්ක වෙයි. දීර්‍ඝ ආයුෂයක් රක්‍ෂා කෙරෙයි. මනුෂ්‍ය වූ කිසි සතුරකු විසින් පසමිතුරකු විසින් අතරැ දිවියෙන් තොර කරන්නට නො හැකි වෙයි. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබා ද? බොහෝ කල් ජීවත් වනුයේ දීර්‍ඝායුෂ්ක වෙයි, දීර්‍ඝ ආයුෂ පාලනය කෙරෙයි. කිසි සතුරු පසමිතුරු මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවකුදු විසින් අතරැ දිවියෙන් තොර කරන්නට නො හැකි වෙයි. බුදු වන්නේ මෙය ලබයි.
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය ගාථායෙන් මෙසේ කියනු ලැබේ:
‘තමහට මරණ වධයෙන් උපන් බිය දැන, මෙරමා නැසීමෙන් වැළැක්කේ විය. ඒ කුශලකර්‍මයෙන් ස්වර්‍ගයට පැමිණියේ ය. කුශල කර්‍මයාගේ ඵලවිපාකය අනුභව කෙළේ ය.
දෙව්ලොවින් සැව, නැවැත මෙහි ආයේ ම, ලක්‍ෂණ තුනක් ලබයි. මහත් වූ දික් විලුම් ඇත්තේ වෙයි. බඹහු මෙන් මොනොවට ඍජු වූයේ ශෝභන වෙයි, මොනොවට උපන් ගාත්‍ර ඇත්තේ වෙයි.
යහපත් බාහු ඇත්තේ, තරුණ වූයේ, මනා සටහන් ඇත්තේ, මොනොවට උපන්නේ වෙයි, ඔහුගේ මොළොක් තරුණ ඇඟිල්ලෝ දික් වෙත්. මෙකී ශ්‍රේෂ්ඨ වූ තුන් මහ පුරිස් ලකුණින් කුමරහු බොහෝ කල් ජීවත් වනු පිණිස (සමතක්හු කොට) නිමිත්තපාඨකයෝ දක්වත්.
ඉදින් ගිහි වන්නේ නම්, බොහෝ කල් ජීවත් වේ. ඉදින් පැවිදි වන්නේ නම්, වශීතාප්‍රාප්ත වූයේ, ඍද්ධි භාවනායෙන් යුක්ත වූයේ, එයට වඩා බෝකල් ජීවත් වෙයි. මෙසේ දීර්‍ඝායුෂ්ක බවට ඒ ලකුණැ යි කීහ.
සප්තෝත්සද ලක්‍ෂණ (6)
6. මහණෙනි, තථාගත තෙමේ පෙර දෑහි, පෙර සසරෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම ප්‍රණීත වූ රසවත් වූ කෑ යුතු දෑ ද, බුදියැ යුතු දෑ ද, රස වින්ද යුතු දෑ ද, ලෙවියැ යුතු දෑ ද, අෂ්ට පානයන් ද දෙන්නේ වි ය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, ඒ කර්‍මයාගේ උත්සන්න බැවින්, මහත් බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි … හේ එයින් සැව මේ මිනිස් බවට පැමිණියේ ම මෙ මහ පුරිස්ලකුණ ලබයි: සත් තැනෙක උත්සන්න වෙයි: සත් තැනෙක්හි පිරිපුන් මස් ඇති වෙයි: දෙ පිටු අත්ලෙහි පිරිපුන් මස් ඇති වෙයි. දෙ පිටු පතුල්හි පිරිපුන් මස් ඇති වෙයි, දෙ උරහිස්හි පිරිපුන් මස් ඇති වෙයි, කරෙහි පිරිපුන් මස් ඇති වෙයි. හෙ තෙමේ ඒ සප්ත උත්සද ලක්‍ෂණයෙන් සමන්‍විත වූයේ, ඉදින් ගිහි ගෙහි වෙසේ නම්, … සක්විති රජ වෙයි. රජ වන්නේ මෙය ලබයි. ප්‍රණීත වූ රසවත් වූ ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය පෙයයන් ලබන සුලු වෙයි. රජ වනුයේ මෙය ලබයි. බුදු වනුයේ කුමක් ලබා ද? ප්‍රණීත වූ රසවත් වූ ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය පෙයයන් ලබන සුලු වෙයි. බුදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි ගාථාබන්‍ධනයෙන් මෙය කියනු ලැබෙයි:
‘ලෝකෝත්තම තෙමේ ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය ස්වාද්‍ය යන අග්‍ර රස දෙන්නේ විය. හේ ඒ කුශල කර්‍මයෙන් බොහෝ කල් නදුනුයනෙහි වෙසෙසින් ප්‍රමුදිත වෙයි.
මෙහි උත්සන්න වූ සත් තැනක් ලබයි. මෘදු වූ අතුල් පතුල් ද ලබයි. ඛාද්‍ය භෝජ්‍ය රස ලබන බවට එය ලකුණෙකැ’යි ලක්‍ෂණ ශාස්ත්‍රඥයෝ කීහ.
ඒ ලක්‍ෂණය ගිහියාටත් ඒ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නේ වෙයි. පැවිදි වන්නේ ද එය ලබයි. එය උතුම් ඛාද්‍ය භෝජ්‍ය රස ලබන සුලු, සියලු ගිහිබැඳුම් සිඳිනා කෙනකු පවසයි.
කරවරණමෘදුතාජාලතාලක්‍ෂණ (7, 8)
7. මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි පළමු අත්බව්හි, පළමු වාසස්ථානයන්හි පෙරැ මිනිස්වූයේ ම, දානයෙන් ප්‍රිය වචනයෙන් අර්‍ත්‍ථචර්‍ය්‍යායෙන් සමානාත්මතායෙන් යන සතර සංග්‍රහ වස්තූන්ගෙන් ජනයාට සංග්‍රහ කරන්නේ වී ය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින් රැස් කළ බැවින්, ඒ කර්‍මයාගේ උත්සන්න බැවින්, මහත් බැවින්, කාබුන් මරණින් මතු, මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. හේ එයින් සැව, මෙ මිනිස්බවට ආයේ ම මේ මහපුරිස් ලකුණු දෙක ලබයි: හේ මොළොක් තරුණ අතුල් පතුල් ඇත්තේ ද දැල් කවුළුවකට බඳු අත් පා ඇත්තේ ද වෙයි. හේ ඒ ලකුණුවලින් සමන්‍විත වූයේ, ඉදින් ගිහි ගෙයි වසන්නේ නම් ... සක්විති රජ වෙයි. රජවන්නේ කුමක් ලබයි ද? (සිවු සඟරා වතින්) මොනොවට සංග්‍රහ කරන ලද පිරිවර ජනයා ඇත්තේ වෙයි. ඔහු විසින් බමුණු ගැහැවි ජනයෝ ද, නිගම් වැසි දනවු වැසි ජනයෝ ද, අයවැය ගණන් කරන්නෝ ද, මහා මාත්‍රයෝ ද, සේනාඞ්ගරක්නා හස්ත්‍යාචාර්‍ය්‍යාදීහු ද ඇමැතියෝ ද පරම්පරාගත වැ රජ පිරිසෙහි වූවෝ ද, රජහු ද, රජුන්ගෙන් ලත් භෝග සම්පත් ඇත්තෝ ද, රජකුමරුවෝ ද යන මොහු හැම ඔහු විසින් මොනොවට සංග්‍රහ කරන ලද්දාහු වෙත්. රජ වන්නේ මෙය ලබයි. බුදු වන්නේ කුමක් ලබා ද? යත්: මොනොවට සංග්‍රහ කරන ලද පරිවාර ජනයා ඇත්තේ වෙයි. ඔහු විසින් මහණහු ද මෙහෙණෝ ද උවසුවෝ ද උවැසියෝ ද දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්‍ධර්‍වයෝ ද මොනොවට සංග්‍රහ කරන ලද්දාහු වෙත්. බුදු වන්නේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි එය මෙසේ ගාථායෙන් කියනු ලැබේ:
‘හෙ තෙම දානය ද අර්‍ත්‍ථචර්‍ය්‍යාව ද ප්‍රියවාදිතාව ද සමානාත්මතාව ද කොට බොහෝ දෙනාට මැනැවින් සංග්‍රහ කොට, අනින්‍දිත (ප්‍රශස්ත) ගුණ හෙයින් ස්වර්‍ගයට යෙයි.
එයින් සැව නැවත මෙහි ආයේ ම ළදරු වූයේ, ඉතා සිවුමැලි වූයේ, ඉතා පැහැපත්, ඉතා මනෝඥ, දැකුම් කටයුතු, මොළොක් වූ අතුල් පතුල් ද ජාලලක්‍ෂණ ද ලබයි.
පිරිවර ජන තෙමේ කීකරු වේ. කටයුත්තෙහි මෙහෙයැවියැ හැකි වේ. මොනොවට සංග්‍රහ කරන ලද්දේ මෙ පොළොවෙහි වෙසෙයි. පිය බස් කියන්නේ, හිත සුව සොයනුයේ, වෙසෙසින් සිත්කලු වූ ගුණයන් වඩන්නේ වෙයි.
ඉදින් සියලු පස්කම් සුව හරනේ නම් පව් දිනූයේ (බුදු වූයේ) දහම් දෙසයි. උන්වහන්සේගේ දේශනාව අසා ඉතා පහන්වූවාහු, වචනය පිළිපදනාහු ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්ති පුරත්.
උත්ශංඛපාද උර්‍ධවාග්‍රලෝමතා ලක්‍ෂණ (9,10)