වාශිෂ්ඨයෙනි, මේ සතර වර්‍ණයන්ගෙන් (කවර වර්‍ණයෙකට අයත් වුව ද) රහත් වූ, නැසූ ආශ්‍රව ඇති, වැස අවසන් කළ මඟබඹසර ඇති, සිවුමඟින් කළයුතු කෘත්‍ය කොට නිමැවූ, බහා තැබූ ස්කන්‍ධභාරය ඇති, මඟ පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථය (රහත් බව) ඇති හැම ලෙසින් ම ක්‍ෂයයට පැමිණැවූ බවබැඳුම් ඇති මොනොවට (මනා ව නුවණින්) දැන කෙලෙසුන්ගෙන් මිදුණු මහණෙක් වේ ද, හෙ තෙමේ ඒ හැම දෙනාට ම අග්‍ර යැ යි කියනු ලැබේ. ඒ ද ධර්‍මයෙන් ම ය. අධර්‍මයෙන් නො වේ. වාශිෂ්ඨයෙනි, එහෙයින් ධර්‍මය මෙ ලොව්හි ද පරලොව්හි ද මේ ජනයා කෙරෙහි ශ්‍රේෂ්ඨ වෙයි. වාශිෂ්ඨයෙනි, සනත්කුමාර බ්‍රහ්මයා විසින් ද කියන ලද ගාථාවෙක් වෙයි.
17. “යම් කෙනෙක් සිය ගෝත්‍රය සිහිකරන්නෝ ඇත් ද, ඒ ජනයා අතුරෙහි ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය. යමෙක් විද්‍යායෙනුත් චරණධර්‍මයෙනුත් යුක්ත ද ඒ සම්‍යක් සම්බුද්ධ තෙමේ දෙවිමිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ය”.
වාශිෂ්ඨයෙනි, ඒ ගාථාව වූ කලි සනත්කුමාර බඹුහු විසින් මොනොවට ගයන ලදී. නොමනා කොට ගයන ලද්දේ නො වෙයි. මොනොවට කියන ලද්දේ වෙයි. නොමනා කොට කියන ලද්දෙක් නොවෙයි. අර්‍ත්‍ථ නිඃශ්‍රිතය. අනර්‍ත්‍ථනිඃශ්‍රිත නො වේ. මා විසින් ද අනුමත වෙයි. වාශිෂ්ඨයෙනි, මමත් මෙසේ කියමි:
“යම් කෙනෙක් සිය ගෝත්‍ර සිහිකරන්නෝ ඇත් ද, ඒ ඒ ජනයා අතුරෙහි ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය. යමෙක් විද්‍යායෙනුත් චරණධර්‍මයෙනුත් යුක්ත ද ඒ සම්‍යක් සම්බුද්ධ තෙමේ දෙවිමිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ය”.
භාග්‍යවතුන් වහන්සේ මෙ වදාළ සේක. වාශිෂ්ඨ භාරද්වාජ දෙදෙනා සතුටු සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය ආදරෙයන් පිළිගත්හ.
සතරවන අග්ගඤ්ඤ සූත්‍රය නිමියේ යැ.
5.
සම්පසාදනීය සූත්‍රය
ශාරිපුත්‍ර සිංහනාදය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවර සමීපයේ වූ පාවාරික සිටුහුගේ අඹ වෙනෙහි වැඩ වසන සේක. එ කල්හි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ වැඳ එකත්පස් වැ උන්හ. සැරියුත් තෙරණුවෝ එසේ එකත් පස්වැ උන්නාහු ම ‘වහන්ස, යම සම්බෝධිඥානයෙක් වේ ද, එහි ලා (එයින්) භාග්‍යවතුන් වහන්සේට වැඩි තරම් නුවණ ඇති අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ පෙරත් නො වීය, මතුත් නො වන්නේ ය, දැනුත් නැතැ යි මෙස් භාග්‍යවතුන් වහන්සේ කෙරේ පැහැදුණෙම් වෙමි’ යි මෙ වචන වදාළහ.
“ශාරිපුත්‍රයෙනි, ‘වහන්ස, යම සම්බෝධිඥානයෙක් වේ ද, එයින් භාග්‍යවතුන් වහන්සේට වැඩි තරම් නුවණ ඇති අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ පෙරත් නො වීය, මතුත් නො වන්නේ ය, දැනුත් නැතැ’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණෙම් වෙමි’ යි තොප විසින් උදාර වූ අභීත වචනයෙක් කියන ලද. ඒකාන්තයෙක් ගන්නා ලද. සිංහනාදයෙක් පවත්වන ලද. කිමෙක් ද ශාරිපුත්‍රයෙනි, ඉකුත් කල්හි යම් අර්‍හත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද ඒ සියලු භගවත්හු ඔවුන් වහන්සේගේ සිත් තොප සිතින් පිරිසිඳ ‘ඒ භගවත්හු මෙබඳු සිල් ඇත්තෝ වූහයි, මෙබඳු දහම් ඇත්තෝ වූහ යි, ඒ භගවත්හු මෙස් වූ ප්‍රඥා ඇත්තෝ වූහ යි, ඒ භගවත්හු මෙබඳු විහරණ ඇත්තෝ වූහ යි, ඒ භගවත්හු මෙබඳු විමුක්තියක් ඇත්තෝ වූහ’ යි කියා තොප විසින් දැනගන්නා ලද්දාහු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“වහන්ස මෙය එසේ දැනගන්නා ලද්දේ නො වේ” යැ යි තෙරණුවෝ වදාළහ.
“කිම ශාරිපුත්‍රයෙනි, ‘මතු කල්හි යම් අර්‍හත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ භගවත්හු මෙ බඳු සිල් ඇත්තෝ වන්නාහ, මෙබඳු දහම් ඇත්තෝ වන්නාහ … මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහ’ යි ඔවුන් වහන්සේගේ සිත් තොප සිතින් පිරිසිඳ ඒ භගවත්හු තොප විසින් දන්නා ලද්දාහු දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“මෙය එසේ නො දන්නා ලදැ” යි තෙරණුවෝ වදාළහ.
“කිම ශාරිපුත්‍රයෙනි, මෙ සමයෙහි මම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වෙමි. මේ භගවත්හු මෙසේ වූ සිල් ඇත්තෝය, මෙසේ වූ දහම් ඇත්තෝ ය, මෙසේ වූ ප්‍රඥා ඇත්තෝය, මෙසේ වූ විහරණ ඇත්තෝය, මෙසේ වූ විමුක්ති ඇත්තෝ යැ යි ද මා සිත තොප සිතින් පිරිසිඳ දැනගන්නා ලද දැ?” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“මෙය එසේ නො ම දැනගන්නා ලදැ” යි තෙරණුවෝ වදාළහ.
“ශාරිපුත්‍රයෙනි, මෙහි ලා ඉකුත් කලැ වූ ද, මතු කල්හි වන්නාවූ ද, දැන් ඇත්තාවූ ද රහත් සම්මාසම්බුදුවරුන් විෂයයෙහි ඔවුන් සිත් පිරිසිඳ දැන්මෙක් තොපට නැත. එසේ කලැ කවර නම් සැටියෙකින් තොප විසින් ‘වහන්ස, යම් සම්බෝධිඥානයෙක් වේ ද එයින් භාග්‍යවතුන් වහන්සේට වැඩි තරම් නුවණ ඇති අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ පෙරත් නො වී ය, මතුත් නොවන්නේ ය, දැනුත් නැතැ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණෙම් වෙමි’ යි තොප විසින් මේ උදාර වූ ශ්‍රේෂ්ඨ වචනය කියන ලද ද? ඒකාංශය ගන්නා ලද ද, සිංහනාදය පවත්වන ලද දැ?” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“වහන්ස, අතීත අනාගය වර්‍තමාන රහත් සම්මාසම්බුදුවරුන් විෂයයෙහි ඔබ සිත් පිරිසිඳ දන්නා නුවණෙක් මට නැත. වහන්ස, එහෙත් මට අනුමානඥානය ප්‍රකට ව ඇත. වහන්ස, යම්සේ රජක්හුගේ තර වූ පවුරුපා ඇති, දැඩි පවුරු තොරණ ඇති, එක් දොරක් ඇති පසල් නුවරෙක් වන්නේ ද, එහි නොදන්නා ලදුවන් වළක්වන, දන්නා ලදුවන් පිවිස්වන, පණ්ඩිත වූ ව්‍යක්ත වූ, නුවණ ඇති ද්වාරපාලයෙක් වන්නේ ද, හෙ තෙම් එනුවර හාත්පසැ පවුරු මඟ ඔස්සේ යනුයේ ප්‍රාකාරසන්‍ධියක් (ගඩොළු දෙකක් ගිලිහී ගිය තැනක්) හෝ ප්‍රාකාර විවරයක් (පවුර සිඳීගිය තැනක්) හෝ යටත් පිරිසෙයින් බළලකු රිංගා පිට වන පමණ සිදුරකුදු නො දක්නේ ද, එවිට ඔහුට යම් මහත් සත්ත්‍ව කෙනෙක් මෙ නුවරට වදනාහු නම්, මෙයින් නික්මෙන්නාහු නම් හෝ, උහු හැම මේ දොරින් ම පිවිසෙන්නෝ ද නික්මෙන්නෝ ද වෙත්’ යැ යි මෙසේ සිතෙක් වන්නේද, එ පරිද්දෙ ම වහන්ස, ගිය කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ සියලු භගවත්හු ම සිත කෙලසන, නුවණ දුඹුල් කරන, පංච නීවරණයන් දුරු කොට, සිවු සීවටන්හි මොනොවට පිහිටි සිතැත්තෝ, සම්බෝධ්‍යංග සත තත් වූ පරිදි වඩා, නිරුත්තර සම්‍යක් සම්බෝධිය ලදුවහු.
මතු කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු නම් ඒ භගවත්හු ද සිත කෙලෙසන නුවණ දුබල කරන පංච නීවරණයන් දුරැලා, සතර සීවටන්හි සුපිහිටි සිතැත්තෝ, සත් සම්බෝධ්‍යඞ්ග තත්වූ පරිදි වඩා නිරුත්තර සම්‍යක්සම්බෝධිය ලබන්නාහ. වහන්ස, මෙ සමයෙහි රහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ ද සිත කිලිටි කරන නුවණ දුබල කරන පංචනීවරණයන් දුරැලා සතර සීවටන්හි සුපිහිටි සිතැති ව, නිසි ලෙසින් සත් සම්බෝධ්‍යංග වඩා නිරුත්තර සම්‍යක්සම්බෝධිය ලද සේකි” යි අනුමාන දැන්ම මට ප්‍රකට විය.
2. වහන්ස, මෙහි මම් දහම් අසනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෙමි. වහන්ස, ඒ මට යම්සේ භාග්‍යවතුන් වහන්සේ වඩ වඩා උතුම් ලෙස, වඩ වඩා ප්‍රණීත ලෙස, ප්‍රතිබාහන සහිත කොට කුශලාකුශල ධර්‍මයන් (කුසලුන් ප්‍රතිබාහනය කොට අකුසල් ද අකුසලුන් ප්‍රතිබාහනය කොට කුසලුන් ද සිටුනා නියාව ඔවුනට සරි ලෙස ලැබෙන විපාක ද සහිත කොට) දෙසූ සේක් ද, ඒ ඒ සැටියෙන් ඒ දෙසූ ධර්‍මයෙහි එක්තරා ධර්‍මයක් වෙසෙයි නුවණින් දැන සිවුසස් දහම්හි නිෂ්ඨාවට පැමිණියෙමි. ‘ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධ සේක, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මොනොවට වදාරන ලද්දේය. ඔබගේ ශ්‍රාවක සංඝයාද සුප්‍රතිපන්න යැ’ යි ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණෙමි.
කුශල ධර්‍ම දේශනා
3. වහන්ස, යම්සේ භාග්‍යවතුන් වහන්සේ කුශලධර්‍ම විෂයයයෙහි දහම් දෙසන සේක්ද, මෙය ඔබ කෙරෙහි වූ අන් අනුත්තරිය (එයට වැඩි අන් එකක්හු නැති) ගුණයෙකි. එහි ලා සතර සීවටන්හුය, සතර සම්‍යක්ප්‍රධානයෝ ය, සතර ඍද්ධිපාදයෝ ය, පංච ඉන්‍ද්‍රියයෝ ය, පංච බලයෝ ය, සප්ත බෝධ්‍යඞ්ගයෝ ය, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය ය යන මොහු ඒ කුශලධර්‍මයෝ ය. වහන්ස, මෙහි භික්‍ෂූ තෙම ආස්‍රව නැසීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය (ඵලසමාධිය) ද, ප්‍රඥාවිමුක්තිය (ඵල ඤාණය) ද, මෙ අත්බව්හි දී ම තෙමේ ම වෙසෙසි නුවණින් පසක් කොට ලැබගෙන වෙසෙයි. එය භාග්‍යවතුන් වහන්සේ සර්‍වප්‍රකාරයෙන් ම වෙසෙසි නුවණින් දන්නා සේක. මෙය කුශලධර්‍ම විෂයයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තරිය ගුණයෙකි. යමක් දන්නා අන් මහණෙක් හෝ බමුණෙක් හෝ භාග්‍යවතුන් වහන්සේට වඩා කුශල ධර්‍ම විෂයයෙහි දන්නෙක් ඇතැයි නො කියැ හැක්ක. ඒ හැම නිශ්ශේෂයෙන් වෙසෙසි නුවණින් දන්නා භාග්‍යවතුන් වහන්සේ විසින් එයින් මත්තෙහි දතයුතු දැයෙක් නැත.
ආයතනප්‍රඥප්ති
4. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආයතන ප්‍රඥප්ති විෂයයෙහි යම්සේ දහම් දෙසන සේක් ද, මෙය ද අන් අනුත්තරිය ගුණයෙකි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ආධ්‍යාත්මික බාහිර ආයතන සයෙකි. ඇස ද රූප ද, කන ද හඬ ද, නැහැය ද ගඳ ද, දිව ද රස ද, කය ද හැපෙන දෑ ද, මනස ද දහම් ද යන මොහුය. වහන්ස, මෙය ආයතන ප්‍රඥප්ති විෂයයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තරීය ගුණයෙකි. එය භාග්‍යවතුන් වහන්සේ නිශ්ශේෂයෙන් වෙසෙසි නුවණින් දන්නා සේක. ආයතන ප්‍රඥප්ති විෂයයෙහි යමක් දන්නා අන් මහණකු හෝ බමුණකු හෝ භාග්‍යවතුන් වහන්සේට වඩා දැනුම් ඇත්තකු වෙතැයි නො කියැ හැක්ක. ඒ සියල්ල නිශ්ශේෂ කොට වෙසෙසි නුවණින් දන්නා භාග්‍යවතුන් වහන්සේ විසින් එයින් මත්තෙහි (ඒ සම්බන්‍ධයෙන්) දත යුතු දැයෙක් නැත.
ගර්‍භාවක්‍රාන්ති දේශනා
5. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගර්‍භාවක්‍රාන්ති විෂයයෙහි යම්සේ දහම් දෙසන සේක් ද, මෙය ද අන් අනුත්තරීය ගුණයෙකි. වහන්ස, (භාග්‍යවතුන් වහන්සේ වදාළ) මේ ගර්‍භාවක්‍රාන්ති සතරෙකි: මෙහි එක්තරා සත්‍වයෙක් දැනුම් නැත්තේ (සිහිමුළා ව) මවු කුස පිවිසෙයි. දැනුම් නැත්තේ මවු කුසෙහි වෙසෙයි, දැනුම් නැත්තේ මවු කුසින් නික්මෙයි. මේ පළමු ගර්‍භාවක්‍රාන්තිය යි. තව ද වහන්ස, මෙහි එක්තරා සත්ත්‍වයෙක් දැනුම් ඇත්තේ මවු කුස වදී. දැනුම් නැත්තේ මවු කුසැ වෙසෙයි, දැනුම් නැත්තේ මවු කුසින් බිහි වෙයි. මේ දෙවෙනි ගර්‍භාවක්‍රාන්තිය යි. තව ද, වහන්ස, මෙහි එක්තරා සත්ත්‍වයෙක් දැනුම් ඇත්තේ මවු කුස පිවිසෙයි, දැනුම් ඇත්තේ මවු කුසැ වෙසෙයි, දැනුම් නැත්තේ මවු කුසින් බිහි වෙයි. මේ තෙවෙනි ගර්‍භාවක්‍රාන්තිය යි. තව ද මෙහි එක්තරා සත්‍වයෙක් දැනුම් ඇත්තේ මවු කුස පිවිසෙයි, දැනුම් ඇත්තේ මවු කුසැ වෙසෙයි, දැනුම් ඇත්තේ මවු කුසින් බිහි වෙයි. වහන්ස, ගර්‍භාවක්‍රාන්ති විෂයයෙහි මේ දැනීම අනුත්තරිය ගුණයෙකි.
ආදේශනවිධා දේශනා
6. වහන්ස, තව ද ආදේසනා කොට්ඨාස විෂයයෙහි මෙරමා සිත් පවත්නා සැටි බලා යම්සේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනා සේක් ද, මෙය ද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වූ අනුත්තරීය ගුණයෙකි. වහන්ස, මේ ආදේසනා කොටස්හු සතර දෙනෙකි. වහන්ස, එක්තරා එකෙක් ‘තා මනස මෙසේ ය, තා මනස මෙබඳුය. තා සිත මෙසේ යැ’ යි නිමිත්තෙන් කියා පායි. ඔහු බොහෝ වුව ද කියත් නමුදු ඒ එසේ ම වේ, අන් සැටියෙකින් නොවේ. මේ පළමු වැනි ආදේසනා කොට්ඨාසය යි.
තව ද වහන්ස, මෙහි ඇතැම් එකෙක් නිමිත්තෙන් මෙරමා පැවැතුම් දැන නො ම කියයි. වැලිදු මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දේවතාවන්ගේ කථා ශබ්දය අසා ‘තා මනස මෙසේ ය, තා මනස මෙබඳු ය, තා සිත මෙසේ යැ’යි කියා පායි. ඔහු බොහෝවක් ම කියතුදු ඒ එසේ ම වෙයි, අන් සැටියෙකින් නො වෙයි. මේ දෙවෙනි ආදේසනා කොට්ඨාසය යි. වහන්ස, තව ද එක්තරා එකෙක් නිමිත්තෙන් නො ම කියයි. මිනිසුන්ගේ හෝ නොමිනිසුනගේ හෝ දෙවියන්ගේ කතා හඬ අසා ද නො කියයි. වැලිදු විතර්‍ක කරන, විචාර කරන තැනැත්තහුගේ විතර්‍ක විචාර ශබ්දය අසා ‘තා මනස මෙසේ ය, තා මනස මෙබඳු ය, තා සිත මෙසේ යැ’යි ප්‍රකාශ කෙරෙයි. ඔහු බොහෝවක් ම කියතුදු ඒ එසේ ම වෙයි. අන් පරිද්දෙකින් නො වෙයි, මේ තුන්වැනි ආදේසනා කොට්ඨාසය යි. තව ද වහන්ස, මෙහි එක්තරා පුද්ගලයෙක් නිමිනත්තෙනුදු නො ම කියයි, මිනිසුන්ගේ හෝ නොමිනිසුනගේ හෝ දේවතාවන්ගේ හෝ ශබ්දය අසා නො ද කියයි. විතර්‍ක කරන විචාර කරන තැනැත්තක්හුගේ විතර්‍ක විචාර ශබ්දය අසා ද නො ම කියයි. වැලිදු විතර්‍ක විචාර සහිත සමාධියට සමවන්නක්හුගේ සිත ‘මේ භවත්හුගේ මනස් සංස්කාරයෝ යම්සේ පිහිටියාහු ද, එසේ මේ සිතට අනතුරු ව මෙ නම් කල්පනාවක් කරන්නේ යැ’යි සිය සිතින් පිරිසිඳ දනී. ඔහු බොහොවක් කියතුදු ඒ එසේ ම වෙයි, අන් සැටියෙකින් නො වෙයි. මේ සිවුවැනි ආදේසනා භාගය යි. වහන්ස, ආදේශනා භාග විෂයයෙහි (අනුන්ගේ අදහස් දැන කීම් අතුරෙහි) මේ භාග්‍යවතුන් වහන්සේගේ ආදේශන භාගය ම අනුත්තරිය වෙයි.
දර්‍ශනසමාපත්ති දේශනා
7. වහන්ස, දර්‍ශනසමාපත්ති විෂයයෙහි භාග්‍යවතුන් වහන්සේ යම්සේ දහම් දෙසන සේක් ද, වහන්ස, මෙය ම අනුත්තරිය වෙයි. වහන්ස මෙහි දර්‍ශනසමාපත්තිහු සතර දෙනෙක් වෙත්. වහන්ස, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහ කොට, වීර්‍ය්‍ය කොට, පුන පුනා වැර වඩා, සම්‍යක් මනස්කාරය නිසා (නුවණ නිසා) යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි පත්ලෙන් උඩ හිස කෙහෙ මතුයෙන් යටැ සම හිම් කොටැති නන් අයුරු අශුචියෙන් පිරුණු මෙ ම සිරුර නුවණින් සලකා බලා ද එසේ වූ (ප්‍රථමධ්‍යාන) චිත්ත සමාධිය ස්පර්‍ශ කෙරෙයි. හේ එයින් ‘මෙ කයෙහි කෙස් ඇත, ලොම් ඇත, නිය දත් සම නහර ඇට ඇටමිදුළු වකුගඩු හදමස අක්මාව දළබුව බඩදිව පපුමස අතුනු අතුනුබහන නොදිරූ අහර මල පිත සෙම පූයා ලේ ඩහදිය මේද තෙල කඳුළු වුරුණුතෙල කෙල සොටු සඳමිදුලු මූත්‍ර ඇතැ’ යි මේ අශුචීන් පස් විකයි. මේ පළමුවන දර්‍ශන සමාපත්තිය ය.
වහන්ස, තවද මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහ කොට … යම් සමාධියෙකින් සිත මනාවැ පිහිටි කල්හි ‘මෙ කයෙහි කෙස් ඇත, ලොම් ඇත. නිය ඇත, දත් ඇත … සඳමිදුලු ඇත, මූත්‍ර ඇතැ’ යි පත්ලෙන් උඩ හිසැකේ මත්තෙන් යට, සම ඉම් කොට නන් අයුරු අශුචියෙන් පිරුණු මේ කයත් නුවණින් බලයි ද, පුරුෂයාගේ සිවි මස් ලේ ඉක්මැ ඇට නුවණින් බලයි ද, මේ (ඇට අරමුණුකොට ඉපැදැවූ දිවැස පාදක කොටැති ධ්‍යානසමාපත්තිය) දෙවෙනි දර්‍ශනසමාපත්තිය යි.
වහන්ස, තවද මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහ කොට … යම් සමාධියෙකින් සිත මනාවැ පිහිටි කල්හි ‘මෙ කයෙහි කෙස් ඇත, ලොම් ඇත, නිය ඇත … සඳමිදුලු ඇත, මූත්‍ර ඇතැ’ යි පත්ලෙන් උඩ හිසකේ මත්තෙන් යට සම හිම් කොට, නන් අයුරු අශුචියෙන් පිරුණු මේ කයත් නුවණින් බලයි ද, පුරුෂයාගේ සිවි මස් ලේ ඉක්මැ ඇට නුවණින් බලයි ද, මේ පූර්‍වභාග අපරභාග යන දෙපසින් අතරැ නොසිඳී පැවැති, මෙලොවැ ද පිහිටි පරලොව්හි ද පිහිටි පුරුෂයාගේ විඥාන ස්‍රොතස දනී ද මේ (ශෛක්‍ෂ පෘථග්ජනයන්ගේ චේතස්පර්‍ය්‍යායඥානය) තෙවෙනි දර්‍ශනසමාපත්තිය ය.
තව ද වහන්ස, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහ කොට … සඳමිදුලු ඇත, මූත්‍ර ඇතැයි … නුවණින් බලයි ද, පුරුෂයාගේ සිවි මස් ලේ ඉක්මැ ඇට පස්විකයිද, (පූර්‍වාපර භාග වශයෙන්) දෙපසින් ම අතරැ නොසිඳුණු ඡන්‍දරාගවශයෙන් මොලව්හි ද නොපිහිටි, පරලොව්හි ද නොපිහිටි පුරුෂයාගේ විඥාන ස්‍රොතස දනී. මේ (රහත්හුගේ චේතස්පර්‍ය්‍යායඥානය) සතර වන දර්‍ශන සමාපත්තිය ය. වහන්ස, දර්‍ශනසමාපත්ති විෂයයෙහි භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්‍ම දේශනාව අනුත්තරිය ය.
පුද්ගලප්‍රඥප්ති දේශනා
8. වහන්ස, තවද භාග්‍යවතුන් වහන්සේ පුද්ගල ප්‍රඥප්ති විෂයයෙහි යම්සේ දහම් දෙසන සේක් ද, මෙය අනුත්තරීය ය. වහන්ස, උභතෝභාගවිමුක්ත ය, ප්‍රඥාවිමුක්ත ය, කායසාක්‍ෂී ය, දෘෂ්ටිප්‍රාප්ත ය, ශ්‍රද්ධාවිමුක්ත ය, ධර්‍මානුසාරී ය, ශ්‍රද්ධානුසාරී යැ යි මේ පුද්ගලයෝ සත් දෙනෙකි.
ප්‍රධාන දේශනා
9. වහන්ස, තවද ප්‍රධාන (භාවනානුයෝග) විෂයයෙහි භාග්‍යවතුන් වහන්සේ යම්සේ දහම් දෙසනා සේක් ද මෙය අනුත්තරීය ය. වහන්ස, සතිසම්බොජ්ඣඞ්ගය, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය, විරියසම්බොජ්ඣඞ්ගය, පීතිසම්බොජ්ඣඞ්ගය පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය, සමාධිසම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයැ යි මේ සම්බෝධ්‍යඞ්ග සතෙකි. ප්‍රධාන විෂයයෙහි භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්‍ම දේශනාව අනුත්තරීය ය.
ප්‍රතිපත්ති දේශනා
10. වහන්ස, තව ද ප්‍රතිපත්ති විෂයයෙහි භාග්‍යවතුන් වහන්සේ යම්සේ දහම් දෙසන සේක් ද මෙය අනුත්තරීය ය. දන්‍ධාභිඤ්ඤ දුක්ඛපටිපදා ය, ඛිප්පාභිඤ්ඤ දුක්ඛ පටිපදා ය, දන්‍ධාභිඤ්ඤ සුඛපටිපදා ය, ඛිප්පාභිඤ්ඤ සුඛපටිපදා යැ යි මේ ප්‍රතිපත්ති සතරෙකි. මොවුන්ගෙන් යම් දන්‍ධාභිඤ්ඤ දුක්ඛපටිපදාවෙක් ඇද්ද, මෙය දුක් බැවින් ද දන්‍ධ බැවින් දැ යි යන දෙ කරුණින් ම හීන යැ යි කියනු ලැබේ. වහන්ස එහි යම් ඛිප්පාභිඤ්ඤ දුක්ඛ පටිපදාවෙක් ඇද්ද මෙය දුක් බැවින් හීන යැයි කියනු ලැබේ. වහන්ස, එහි යම් දන්‍ධාභිඤ්ඤ සුඛ පටිපදාවෙක් ඇද්ද, මෙය දන්‍ධ බැවින් හීන යැ යි කියනු ලැබේ. වහන්ස, එහි යම් ඛිප්පාභිඤ්ඤ සුඛපටිපදාවෙක් ඇද්ද, මෙය සුඛ බැවින් ද, ඛිප්පාභිඤ්ඤ බැවින් දැ යි දෙ කරුණින් ම උතුමැ යි කියනු ලැබේ. වහන්ස, ප්‍රතිපත් විෂයයෙහි භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්‍මදේශනාව අනුත්තරීය ය.
භස්සසමාචාරාදි දේශනා
11. තව ද අනෙකෙක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වාක්සමාචාර විෂයයෙහි (කථාකිරීම පිළිබඳ ව) යම්සේ දහම් දෙසන සේක් ද මෙය අනුත්තරීය ය. වහන්ස, මෙහි එක්තරා මහණෙක් අතරතුරැ මුසවා මුසු කළ බස් නො බෙණෙයි. උනුන් බිඳුවන බස් නො බෙණෙයි. කේලාම් බස් නො බෙණෙයි. (එකට දෙකක් කෙරෙමි යි) සැහැසීමෙන් උනුන් කතා නො කියයි. දිනීම අපේක්‍ෂා කොට ඇති ව නො කියයි. නුවණින් පිරික්සා සුදුසු කාලයෙහි සිතැ තබා ගත යුතු බස් කියයි. වහන්ස, වාක් සමාචාර විෂයයෙහි මය අනුත්තරීය යැ.
12. තව ද අනෙකෙක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ පුද්ගලයන්ගේ පිරිසිදු ශීල විෂයයෙහි ද පිරිසිදු මනඃසමාචාර විෂයයෙහි ද යම්සේ දහම් දෙසනසේක් ද මෙය අනුත්තරීය යැ. වහන්ස, මෙහි එක්තරා මහණෙක් (ශීලයෙහි ද මනඃ සමාචාරයෙහි ද පිහිටියේ) සත්‍ය කථා ඇත්තේ ද සැදැහැ ඇත්තේ ද වන්නේ ය. කුහක නො වන්නේ ය. චාටු කථා නො කියන්නේ ය. ප්‍රත්‍යයාශායෙන් ඉඟි දෙඩුම් නො දොඩන්නේ ය, ලාභාශායෙන් මෙරමාට ගරහන්නෙක් ද නොවන්නේ ය. ලාභයෙන් ලාභය සොයන්නෙක් ද නොවන්නේ ය. ඉඳුරන්හි වැසූ දොරැත්තෙක් වන්නේ ය, බොජුනෙහි පමණ දන්නෙක් වන්නේ ය. (විෂමාචාර හැර) සම ව හැසිරෙන්නෙක් වන්නේ ය. නිදි දුරැලීමෙහි යෙදුණෙක් වන්නේ ය. අලස නො වූයෙක්, රුකුළු වැර ඇතියෙක්, ධ්‍යානයෙහි ඇලුණෙක්, සිහි ඇතියෙක්, කලණ නුවණ ඇතියෙක්, සුන්‍දර ප්‍රතිභාන සම්පත් ඇතියෙක්, ගතිමතෙක් (නොඇසූ දහම් දැන ගැන්මෙහි සමත් නුවණැතියෙක්) ධෘතිමතෙක් (ධාරණයෙහි සමත් ප්‍රඥා ඇතියෙක්) මතිමතෙක් (අනුමාන ප්‍රඥා ඇතියෙක්) වන්නේය. කාමයන්හි ගිජුවූයෙක් නො වන්නේ ය. (අභික්‍රමණාදියෙහි) එළඹ සිටි සිහි ඇත්තේ, අභික්‍රමණාදි සත් තන්හි පැවැති විවසුන් නුවණ ඇත්තේ වන්නේ ය.
වහන්ස, පුරුෂශිල සමාචාර විෂයයෙහි මෙය අනුත්තරීය යැ.
අනුශාසනවිධා දේශනා
13. තව ද අනෙකෙක. වහන්ස, අනුශාසන කොටස්හි භාග්‍යවතුන් වහන්සේ යම්සේ දහම් දෙසනා සේක් ද, මෙය අනුත්තරීය යැ. වහන්ස, මේ අනුශාසන විධා සතරෙක: මේ පුඟුල් තෙමේ අනුශාසන පරිදි පිළිපදිනුයේ, තුන් සංයෝජනයන් නැසීමෙන්, අපායෙහි නොවැටෙන සුලු වූ, ධර්‍මයෙන් නියත වූ, ඉදිරි තුන් මඟට අවශ්‍යයෙන් පැමිණියැ යුතු සෝවාන් පුඟුලෙක් වන්නේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ යෝනිසෝමනස්කාරයෙන් අන් පුඟුලා තමන් වහන්සේ ම දන්නා සේක. මේ පුඟුල් තෙම තුන් සංයෝජනයන් නැසීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමී වන්නේ ය, එක් වරක් ම මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ යෝනිසෝමනස්කාරයෙන් තමන් වහන්සේ ම අන් පුඟුලා දන්නා සේක.
මේ පුඟුල් තෙම ඕරම්භාගිය සංයෝජන නැසීමෙන් මරණින් මතු ශුද්ධාවාසයෙහි උපදින, එහිදී පිරිනිවෙන සුලු, එ ලොවින් මෙහි පෙරළා නො එන සුලු අනාගාමියෙක් වන්නේයැ’ යි භාග්‍යවතුන් වහන්සේ යෝනිසෝමනස්කාරයෙන් තමන් වහන්සේ ම අන් පුඟුල්හු දන්නා සේක.
‘මේ පුඟුල් තෙම ආස්‍රවයන් නැසීමෙන් අනාස්‍රව වූ ඵල සමාධිය ද ඵල ප්‍රඥාව ද මෙ අත්බව්හි ම තෙමේ ම වෙසෙසි නුවණින් දැන, පසක් කොට, ලැබ වසන්නේ යැ’යි භාග්‍යවතුන් වහන්සේ යෝනිසෝමනස්කාරයෙන් තමන් වහන්සේ ම අන් පුඟුල්හු දන්නා සේක.
වහන්ස, අනුශාසනවිධාවන්හි මෙය අනුත්තරීය ය.
පරපුද්ගල විමුක්තිඥාන දේශනා
14. වහන්ස, තව ද සෝවාන් ආදී අන් පුඟුලන් ඒ ඒ මඟින් කෙලෙසුන් ගෙන් මිදෙනු දැන්මෙහි යම්සේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක් ද, මෙය අනුත්තරීය ය. වහන්ස, මේ පුඟුල් තෙමෙ තුන් සංයෝජනයන් නැසීමෙන් අවාහි නොවැටෙන සුලු, රහත් බවට නියත වූ, උපරිමාර්‍ගත්‍රය සංඛ්‍යාත සම්බෝධිය පරායණ කොටැත්තේ සෝවාන් වූයෙකැ’යි තමන් වහන්සේ ම දන්නා සේක. වහන්ස, ‘මේ පුඟුල් තෙමේ තුන් සංයෝජනයන් නැසීමෙන්, රාග ද්වේෂ මෝහයන් තුනී වීමෙන් සකෘදාගාමී වන්නේ යැ යි, එක් වරක් ම මේ ලොවට අවුත් දුක් කෙළවර කරන්නේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ම උපාය මනස්කාරයෙන් අන් පුඟුලා දන්නා සේක.
වහන්ස, මේ පුඟුල් තෙම ඕරම්භාගිය සංයෝජන පස නැසීමෙන් (ශුද්ධාවාසයෙහි) ඕපපාතික වැ උපදනේය, එහිදී ම පිරිනිවෙන්නේයැ. ඒ බඹලොවින් මේ කාමලෝකයට උත්පත්ති වශයෙන් පෙරැළී නොඑන සුලු යැ යි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ උපාය මනස්කාරයෙන් ඒ අන් පුඟුලා දන්නා සේක.
වහන්ස, ‘මේ පුඟුලා ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රවරහිත වූ ඵලසමාධිය ද ඵලඥානය ද මෙ අත්බව්හිදී ම තෙමේ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වසන්නේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ උපාය මනස්කාරයෙන් අන් පුඟුලා දැනගන්නා සේක. වහන්ස, අන්‍ය පුද්ගලයන්ගේ මිදීම දැන්මෙහි (භාග්‍යවතුන් වහන්සේගේ) මේ ගුණය අනුත්තරීය ය.
__missing translation__
15. තව ද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ශාශ්වතවාද විෂයයෙහි යම්සේ දහම් දෙසනා සේක් ද, මෙය අනුත්තරීය ය. වහන්ස, (ඔබ වහන්සේ වදාළ පරිදි) මේ ශාශ්වත වාද තුනෙකි. වහන්ස, මෙහි කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ වීර්‍ය්‍යය ප්‍රත්‍යය කොට ගෙන (වැර වඩා), උත්සාහය ප්‍රත්‍යය කොට ගෙන (උත්සාහ වඩා) පුන පුනා වීර්‍ය්‍යයෙහි යෙදීමට පැමිණ, නොපමා බවට පැමිණ (එළැඹැ සිටි සිහිය නිසා), නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි අනේකවිධ වූ පෙරවුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි ද, එසේ වූ චිත්තසමාධියක් ලබයි. ඒ මෙසේ යි: ‘අසෝ තැනැ වීමි, එහි මෙ නම් ඇතියෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි. මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳු සුවදුක් විඳින්නෙම් වීමි, මෙතෙක් වයස් සීමා ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව අසෝ තැනැ උපනිමි, එහිද මෙ නම් ඇතියෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳු සුවදුක් විඳින්නෙම් වීමි, මෙතෙක් ආයු සීමාවක් ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව මෙහි උපනිමි’ යි මෙසේ එක් ජාතියක් ද ජාති දෙකක් ද, ජාති තුනක්ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දශයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක්, ජාති දහසක් ද, ජාති සියදහසක් ද, නොයෙක් සියගණන් ජාතීන් ද, නොයෙක් දහස් ගණන් ජාතීන් ද, නොයෙක් සියදහස් ගණන් ජාතීන් ද, මෙසේ පැහැසටහන් ආදි ආකාර සහිත කොට නාම ගෝත්‍ර වශයෙන් උද්දේශ සහිත කොට නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. හේ තෙමේ “ලෝකය නැසුණේ යැ යි හෝ හටගත්තේ යැ යි හෝ අතීත කාලය ද මම් දනිමි. ‘ලෝකය නැසෙන්නේ යැ යි ද හට ගන්නේ යැ’ යි ද අනාගත කාලය ද මම් දනිමි. ආත්මය ද ලෝකය ද ශාශ්වත ය වඳ ය (කිසිවක් නො උපදවන්නෝය), ගිරිකුළක් සේ නිසල වැ සිටියේ ය, ගැඹුරු වළ කැන සිටුවන ලද ඉඳු කිලක් සේ තහවුරු වැ සිටියේ ය. ඒ සත්‍වයෝ ම මෙයින් අන් තැනට දුවත්, භවයෙන් භවයට යෙත්, ච්‍යුත වෙත්, උපදිත්. (ආත්මයත් ලෝකයත්) මහා පෘථිවි ආදි ශාශ්වතීනට (සදාභාවී වස්තූනට) සම ව විද්‍යමාන මැ යැ” යි මෙසේ කියයි. මේ පළමු වන ශාශ්වතවාදය යැ.
තව ද අනෙකක් කියම්. වහන්ස, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ වීර්‍ය්‍යය ප්‍රත්‍යය කොට ගෙන (වැර වඩා) ... යම් සමාධියෙකින් සිත සමාධි ගත් වූ කල්හි ‘අසෝ තැනැ මෙනම් ඇතියෙම්, මෙස් වූ ගොත් ඇතියෙම්, මෙබඳු පැහැ සටහන් ඇතියෙම්, මෙබඳු ආහාර ඇතියෙම්, මෙබඳු සුවදුක් විඳිනා සුල්ලෙම්, මෙතෙක් ආයු සීමාවක් ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි. එහි ද මෙ නම් ඇත්තෙම් මෙසේ වූ ගොත් ඇතියෙම්, … මෙ තෙක් ආයු සීමාවක් ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමියි මෙසේ අනේකවිධ වූ පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි ද, එසේ වූ චිත්තසමාධියක් ලබයි. හෙ තෙම එයින් උක්ත පරිදි ආකාර සහිත කොට උද්දේශ සහිත කොට අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙයි. එසේ වූ හෙ තෙමේ ‘ලෝකය නැසුණේ යැ යි හෝ හැදුණේ යැ යි අතීත කාලය ද මම් දනිමි. ලෝකය නැසෙන්නේ යැ යි හෝ හැදෙන්නේ යැ යි හෝ අනාගත කාලය ද මම් දනිමි. (ඒ මා දන්නා පරිදි) ආත්මය ද ලෝකය ද ශාශ්වත ය, වඳ ය, ගිරිකුළක් සේ සිටියේ ය, ගැඹුරු වළැ සිටුවන ලද ඉඳු කිලක් සේ තහවුරුවැ සිටියේ ය, ඒ සත්‍වයෝ ම මෙයින් අන් තැනට දිවෙත්, භවයෙන් භවයට යෙත්, මැරෙත්, උපදිත්. (ආත්මයත් ලෝකයත්) මහා පෘථිවිආදි ශාශ්වතීනට සම ව විද්‍යමාන ම යැ” යි කියයි. වහන්ස, මේ දෙවෙනි ශාශ්වත වාදය යැ.
තව ද අනෙකක් කියමි. වහන්ස, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ වැර වඩා ... යම් සමාධියෙකින් සිත සමාහිත කල්හි ‘අසෝ තැනැ මෙ නම් ඇත්තෙම්, මෙස් වූ ගොත් ඇත්තෙම්, මෙබඳු පැහැසටහන් ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙසේ වූ සුවදුක් විඳිනා සුල්ලෙම්, මෙතෙක් ආයු සීමා ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි. එහි ද මෙ නම් ඇත්තෙම් ... මෙතෙක් ආයු සීමා ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි’යි ... සංවර්‍ත විවර්‍ත කල්ප දශයක් ද, සංවර්‍තවිවර්‍ත කල්ප විස්සක් ද, සංවර්‍තවිවර්‍ත කල්ප තිසක් ද, සංවර්‍තවිවර්‍ත කල්ප සතළිසක් ද පූර්වේනිවාසය සිහි කෙරෙයි. හේ මෙසේ ආකාර සහිත කොට උද්දේශ සහිත කොට අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙයි. හෙ තෙමේ ලෝකය (මෙසේ) නැසුණේ යැ යි ද (මෙසේ) සැදුණේ යැ යි ද අතීත කාලය ද මම් දනිමි යි. ලෝකය නැසෙන්නේ යැයි ද හැදෙන්නේ යැ යි ද අනාගත කාලයත් මම් දනිමි යි, ආත්මය ද ලෝකය ද ශාශ්වත ය, වඳ ය, ගිරිකුළක් සේ සිටුනේ ය, තරවැ සිටුනා ඉඳුකිලක් සේ තහවුරු ය. ඒ සත්හු ම මෙයින් අන් තැනට දිවෙත්, භවයෙන් භවයට යෙත්, මැරෙත්, උපදිත්. ශාශ්වත වස්තූනට සම ව ස්ථිර ව විද්‍යමාන ම යැ” යි කියයි. වහන්ස, මේ තුන්වැනි ශාශ්වතවාදය යැ. වහන්ස, මෙසේ ශාශ්වතවාද තත්ත්‍ව ප්‍රකාශන විෂයයෙහි (භාග්‍යවතුන් වහන්සේගේ) මේ අනුත්තර බව වේ.
පූර්‍වෙනිවාසානුස්මෘති ඤාණ දේශනා
16. වහන්ස, යම්සේ භාග්‍යවතුන් වහන්සේ පූර්වේනිවාසානුස්මෘතිඥානවිෂයයෙහි දහම් දෙසා ද, මේ (ඔබ පිළිබඳ) අන් අනුත්තර බවෙකි. වහන්ස, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ වැර වඩා ... යම් බඳු සමාධියෙකින් සිත සමාහිත කල්හි, ... එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දශයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද, නොයෙක් සංවර්‍ත කල්ප ද, නොයෙක් විවර්‍ත කල්ප ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්ප ද සිහි කෙරෙයි. මෙසේ ආකාර සහිත කොට උද්දේශ සහිත කොට, අනේකවිධ වූ පූර්වේනිවාසය සිහි කරයි. වහන්ස, පිණ්ඩගණනායෙන් හෝ අච්ඡිද්‍ර මනෝගණනායෙන් හෝ යම් කෙනෙකුන්ගේ ආයුෂය ගණින්නට නොහැක්කේ ද එසේ වූ දීර්‍ඝායුෂ්ක දෙවි කෙනෙක් ඇත. එතෙකුදු වුවත් රූපී වූ හෝ අරූපී වූ හෝ සංඥී වූ හෝ අසංඥී වූ හෝ නෛවසංඥ නාසංඥ වූ හෝ දෙවියන් අතුරෙහි යම් යම් අත්බැවෙක වුසූ විරූ වේ ද, (ඒ හැම එකකුගේ ම පූර්වේනිවාසය භාග්‍යවතුන් වහන්සේ දැන වදාරන සේක.) මෙසේ ආකාර සහිත කොට උද්දේශ සහිත කොට අනේකවිධ වූ පූර්වේනිවාසය සිහි කරන සේක. වහන්ස, පූර්වේනිවාසානුස්මෘතිඥාන විෂයයෙහි මේ (භාග්‍යවතුන් වහන්සේගේ) අනුත්තර බව යැ.
චුතූපපාත ඤාන දේශනා
17. වහන්ස, සත්‍වයන්ගේ ච්‍යුත්‍යුපපාද ඥාන විෂයයෙහි යම්සේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනා සේක් ද, මෙ (ඔබ ගේ) තවද අනුත්තර බවෙකි. වහන්ස, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ වැර වඩා … යම් සමාධියෙකින් සිත සමාහිත කල්හි ‘ඛේදයෙක! මේ භවත් සත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍විත හ, වාග් දුශ්චරිතයෙන් සමන්‍විත හ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විත හ, ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහ, මිසදිට් හ, මිථ්‍යාදෘෂ්ටික කර්‍ම සමාදාන ඇත්තාහ, ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ විවශ ව පතිත වන ස්ථානය වූ නිරයට වන්නාහ. එතෙකුදු වුවත් මේ සත්හු වූකලි කාය සුචරිතයෙන් සමන්‍විත හ, වාක් සුචරිතයෙන් සමන්‍විත හ, මනඃ සුචරිතයෙන් සමන්‍විත හ, ආර්‍ය්‍යයනට උපවාද නොකරන්නේ ය, සම්දිට් හ, සම්‍යක් දෘෂ්ටික කර්‍ම සමාදාන ඇත්තාහ, ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ග ලෝකයට වන්නාහ’ යි මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ දැක්කැ හැකි වූ විශුද්ධ වූ දිවැසින් මරණාසන්න වූ ද එ කෙණෙහි උපන්නාවූ ද පහත් වූ ද උසස් වූ මනා පැහැපත් වූ ද, නොමනා පැහැති වූ ද, මනාගති ඇත්තා වූ ද නොමනා ගති ඇත්තාවූ ද, නම් වූ පරිදි එළැඹැ සිටි සත්‍වයන් දනී මෙසේ මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ දැක්කැ හැකි වූ විශුද්ධ වූ දිවැසින් මරණාසන්න වූ ද, එ කෙණෙහි උපන්නාවූ ද, පහත් වූ ද, උසස් වූ ද, මනා ගති ඇත්තාවූ ද, නොමනා ගති ඇත්තාවූ ද, කම් වූ පරිදි එළැඹ සිටි සත්‍වයන් කී. වහන්ස, සත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දැන්මෙහි භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුත්තර බව වේ.
ඍද්ධිවිධ දේශනා
18. වහන්ස, යම්සේ භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි ක්‍රියා විෂයයෙහි දහම් දෙසන සේක් ද, මෙය ද ඔබගේ අන් අනුත්තර බවෙකි. වහන්ස, මේ ඍද්ධිවිධාවෝ දෙදෙනෙකි. වහන්ස, යමෙක් සදොස් යැයි දෝෂාරෝපණ සහිත යැ යි ආර්‍ය නො වේ යැ යි කියනු ලැබේ ද එසේ වූ ඍද්ධියෙක් ඇත. වහන්ස, යමෙක් නිදොස් යැයි දෝෂාරෝපණ රහිත යැ යි ආර්‍ය යැ යි කියනු ලැබේ ද, එසේ වූ ඍද්ධියෙක් ද ඇත. වහන්ස, යමෙක් සදොසැ යි දෝෂාරෝපණ සහිත යැ යි ආර්‍ය නොවේ යැ යි කියනු ලැබේ ද ඒ ඍද්ධිය කවර ද? වහන්ස, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ වැර වඩා ... යම් සමාධියෙකින් සිත සමාහිත කල්හි නොයෙක් වැදෑරුම් ඍද්ධි කොටස් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි ද එසේ වූ චිත්තසමාධියක් ස්පර්‍ශ කෙරෙයි. පියෙවියෙන් එකෙක් වූ හෙ තෙමේ බොහෝ දෙනෙකුන් සේ පැනෙයි. බොහෝ දෙනෙකුන් සේ වැ යලි එකෙක් ම වැ පැනෙයි. පැනෙන බවට, නො පැනෙන බවට පැමිණෙයි. බිත්තියෙන් පිටතට ද පවුරෙන් පිටතට ද, පර්‍වතයෙන් පිටතට ද අහසෙහි මෙන් නො ගැටෙනුයේ යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද ගැලීම මතු වීම කෙරෙයි. පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහි (දිය නොබිඳෙන සේ) යෙයි. පියාපත් ඇති පක්‍ෂියකු සේ අහසෙහි ද පළඟින් යෙයි. මේසා මහ ඉදුමත් මේසා මහ තෙදැති මේ සඳ හිරුන්ද අත්ලෙන් ස්පර්‍ශ කෙරෙයි, පිරිමදියි. බඹ ලොව තෙක් ම ද කයින් වශයෙහි පවත්වයි. වහන්ස, යමෙක් සදොස් ද දෝෂාරෝපණ සහිත ද, ආර්‍ය යැ යි කියනු නො ලැබේ ද, මේ ඒ ඍද්ධිය යි.
වහන්ස, යමෙක් නිදොස් යැ යි දෝෂාරෝපණ රහිත යැ යි ආර්‍ය යැ යි කියනු ලැබේ ද, ඒ ඍද්ධිය කවර ද? වහන්ස, මෙහි මහණ තෙම පිළිකුල් දැයෙහි පිළිකුල් සංඥාව නැති වැ වෙසෙම් වා යි ඉදින් කැමැති වේ ද එහි පිළිකුල් සංඥා නැති වැ වෙසෙයි. ඉදින් නොපිළිකුල් දැයෙහි පිළිකුල් සංඥා නැති වැ වෙසෙම් වා යි කැමැති වේ ද, එහි පිළිකුල් සංඥා නැති වැ වෙසෙයි. ඉදින් පිළිකුල් දැයෙහිත් නොපිළිකුල් දැයෙහිත් නොපිළිකුල් සංඥා ඇති වැ වෙසෙම් වා යි කැමැති වේ ද එහි පිළිකුල් සංඥා නැති වැ වෙසෙයි. ඉදින් පිළිකුල් දැයෙහිත් නොපිළිකුල් දැයෙහිත් පිළිකුල් සංඥාව ඇති වැ වෙසෙම් වා යි කැමැති වේ ද එහි පිළිකුල් සංඥාව ඇතිවැ වෙසෙයි. ඉදින් පිළිකුල් දැය ද නොපිළිකුල් දැය ද ඒ දෙක ම ද හැර සිහි ඇත්තේ නුවණින් දන්නේ එහි උපේක්‍ෂක වැ වෙසෙම් වා යි කැමැති වේ ද, සිහි ඇත්තේ නුවණින් දන්නේ එහි උපේක්‍ෂක වැ වෙසෙයි. වහන්ස, මේ වූ කලි දොස් නැති දෝෂාරෝපණ නැති ආර්‍ය ඍද්ධියැ යි කියනු ලැබේ. වහන්ස, ඍද්ධිවිධාවන් අතුරෙහි මෙය නිරුත්තර වේ. එය භාග්‍යවතුන් වහන්සේ මුළුල්ල ම වෙසෙසි නුවණින් දන්නා සේක. යමක් වෙසෙසින් දන්නා අන් මහණෙක් හෝ බමුණෙක් හෝ යම් ඍද්ධි විධාවන්හි භාග්‍යවතුන් වහන්සේට වඩා බොහෝ සෙයින් දන්නේ යැ යි කියැ යුතු වේ ද, (එවැන්නෙක් නැත.) එය මුළුල්ල ම දන්නා භාග්‍යවතුන් වහන්සේ විසින් තවත් වෙසෙසින් දත යුතු දැයෙක් නැත.
19. වහන්ස, සැදැහැවත් ආරබ්ධ වීර්‍ය්‍ය ඇති, ස්ථීර වීර්‍ය්‍ය ඇති පුරුෂ ස්ථාමය ඇති, පුරුෂ වීර්‍ය්‍යය ඇති. පුරුෂ පරාක්‍රමය ඇති ධුර වහන සමර්‍ත්‍ථ මහා පුරුෂ වු කුල පුතක්හු විසින් යමක් ලැබියැ යුතු ද භාග්‍යවතුන් වහන්සේ විසින් එය ලබන ලද්දේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් විසින් සෙවියැ හැකි, ආර්‍ය්‍යයන් විසින් නො සෙවියැ හැකි, අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ කාමසුඛල්ලිකානුයෝගයෙහි නොයෙදුණු සේක. දුඃඛ යුක්ත වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ නිඃශ්‍රිත වූ ආත්මක්ලමථානු යෝගයෙහි ද නොයෙදුණු සේක. භාග්‍යවතුන් වහන්සේ වූ කලි කාමාවචර සිත් ඉක්මැ සිටි, දෘෂ්ටධර්‍ම සුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන සුලු වූ සේක, නිදුකින් ඒ ලබන සුලු වූ සේක, මහත් සේ එය ලබන සුලු වූ සේක.
අනුයෝගදාන - ප්‍රකාරය
වහන්ස, ඉදින් ‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, සම්බෝධි විෂයයෙහි භාග්‍යවතුන් වහන්සේට වඩා විශිෂ්ට ඥානය ඇති අන් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඇද්දැ?’ යි ඉදින් මා විචාරන්නේ නම්, වහන්ස, එසේ විචාරන ලද මම් ‘නැතැ’ යි කියන්නෙමි. ‘කිමෙක් ද ඇවැත් ශාරිපුත්‍රයෙනි, සම්බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේට වඩා විශිෂ්ට ඥානය ඇති අන් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අනාගත කාලයෙහි වන්නාහු දැ?’ යි ඉදින් මා විචාරන්නේ නම් වහන්ස, එසේ විචාරනු ලැබූ මම් ‘නො වන්නාහ’ යි කියන්නෙමි. ‘කිමෙක් ද ඇවැත් ශාරිපුත්‍රයෙනි, සම්බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේට වඩා විශිෂ්ට ඥානය ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ දැන් ඇත් දැ?’ යි මා විචාරන්නේ නම්, වහන්ස, එසේ විචාරන ලද, මම් ‘නැතැ’ යි කියන්නෙමි. වහන්ස, ‘සම්බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේට සම සම වූ නුවණ ඇති අන් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ වූහු දැ?’ යි ඉදින් මා විචාරන්නේ නම් වහන්ස, මෙසේ විචාරන ලද මම් ‘එසේ යැ’ යි කියන්නෙමි. ‘කිමෙක් ද ඇවැත් ශාරිපුත්‍රයෙනි, සම්බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේට සම සම වූ අන් මහණ බමුණු කෙනෙක් අනාගත කාලයෙහි වන්නාහු දැ?’ යි මා විචාරන්නේ නම්, එසේ විචාරනු ලැබූ මම් ‘එසේ යැ’ යි කියන්නෙමි. ‘කිමෙක්ද ශාරිපුත්‍රයෙනි, සම්බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේට සම සම වූ අන් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දැන් ඇත් දැ?’ යි මා විචාරන්නේ නම්, වහන්ස, එසේ විචාරනු ලැබූ මම් ‘නැතැ’ යි කියන්නෙමි, ‘කිමෙක් ද ඇවැත් ශාරිපුත්‍රයෝ එක්තරා මහණ බමුණු කෙනෙකු පිළිගන්නාහු එක්තරා මහණ බමුණු කෙනකු නො පිළිගන්නාහු දැ?’ යි මා පුළුවුස්නේ නම් එසේ විචාරනු ලැබූ මම් ‘ඇවැත්නි, “සම්බෝධියෙහි මා හා සම සම වූ රහත් සම්මා සම්බුදුවරු අතීත කාලයෙහි වූහ” යන මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි අසන ලද්දේ ය, භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙහි පිළිගන්නා ලද්දේය. “ඇවැත්නි, සම්බෝධියෙහි මා හා සම සම වූ රහත් සම්මා සම්බුදුවරු අනාගත කාලයෙහි වන්නාහ” යි යන මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී අසා සම්මුඛයෙහිදී පිළිගන්නා ලද්දේය.
ඇවැත්නි එක් ලෝකධාතුවෙක රහත් සම්මාසම්බුදුවරු දෙනමෙක් ඉදිරි පසු නො වැ එක් විටම පහළ වන්නාහ යන මෙය නො කරුණෙක, සිදු වන්නට අවකාශ නැත්තෙක. මෙ කරුණ විද්‍යමාන නො වේ’ යැ යි යන මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී අසා ඔබ හමුයෙහිදී පිළිගන්නා ලද්දෙකැ’යි මෙසේ පවසන්නෙමි. ‘වහන්ස, මෙසේ විචාරනු ලැබූ මම් මෙපරිද්දෙන් එක්තරා ශාස්තෘකෙනකු පිළිගන්නා බව පවසනුයෙම්, භාග්‍යවතුන් වහන්සේ වදාළ වචනයක් ම කියන්නෙකිම් වෙම් ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් දොස් නො ගන්නෙකිම් වෙම් ද? නව ලොවුතුරා දහමට අනුකූල ධර්‍ම වූ පූර්‍වභාග ප්‍රතිපත්තිය පවසනුයෙම් වෙම් ද? කරුණු සහිත කිසි වාදයෙක් ගැරැහියැ යුතු තැනට පැමිණෙයි දැ?’ යි (සැරියුත් තෙරණුවෝ වදාළහ.)
20. “ශාරිපුත්‍රයෙනි, එසේ වී නම් අසන්න. එසේ විචාරන ලදු ව යට කී සේ විසඳන තෙපි මා කී දැයක් ම කියන්නෝ වහු, මට අභූතයෙන් දොස් නඟන්නෝ නො වහු, ධර්‍මයට අනුකූල ධර්‍මය ද පවසන්නෝ වහු, කරුණු සහිත කිසි දු වාදයෙක් ගැරැහියැ යුතු තැනට නොපැමිණේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
__missing translation__
21. මෙසේ වදාළ කලැ උදායී තෙරණුවෝ ‘වහන්ස, යම්බඳු වූ තථාගත්යන් වහන්සේ මෙසේ මහත් ඍද්ධි ඇති සේක්, මෙසේ මහත් තෙද ඇති සේක් වැලි දු එසේ තමා හෙළි නො කරන සේක. එසේ වූ තථාගතයන් වහන්සේගේ අල්පේච්ඡතාව, සන්තුෂ්ටතාව, සංලේඛිතාව ආශ්චර්‍ය්‍ය ය, අද්භූත යැ’ යි කීහ. __missing translation here__
22. “උදායීනි, යම්බඳු තථාගතයෝ මෙසේ මහත් ඍද්ධි ඇත්තෝ ද, මහත් තෙදැත්තෝ ද එහෙත් තමන් නො ම හෙළි කරන්නෝය. බලවු, උදායීනි, එහි තථාගතයන්ගේ අල්පේච්ඡතාව, සන්තුෂ්ටතාව, සංලේඛිතාව, කොතරම් ආශ්චර්‍ය්‍ය ද! උදායීනි, මෙයින් එක් එක් දහමක් නමුදු අන්තොටු පිරිවැජ්ජෝ තමන් කෙරෙහි දක්නාහු නම් එතෙකින්ම ඔහු කොඩි ඔසොවා ගෙන, නුවර සිසාරා හැවිදුනාහ. උදායීනි, යම්බඳු වූ තථාගතයෝ මෙසේ මහත් ඍද්ධි ඇත්තෝ ද මහත් තෙද ඇත්තෝ ද එහෙත් තමන් හෙළි නො කරන්නාහ. බලවු, උදායීනි, තථාගතයන්ගේ අල්පේච්ඡතාව, සන්තුෂ්ටතාව, සංලේඛිතාව ආශ්චර්‍ය්‍ය ය!
23. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා ඉක්බිති සැරියුත් තෙරුන් බණවා, ශාරීපුත්‍රයෙනි, එසේ වී නම් තෙපි මේ ධර්‍මපර්‍ය්‍යාය මහණුනට, මෙහෙණියනට, උවසුවනට, උවැසියනට එක්වන් කියවු. ශාරීපුත්‍රයෙනි, යම් හිස් පුරුෂ කෙනකුනට තථාගතයන් කෙරෙහි සැකයෙක් හෝ විමතියෙක් හෝ වන්නේ ද, ඔවුනට මේ ධර්‍මපර්‍ය්‍යාය ඇසීමෙන් තථාගතයන් කෙරෙහි යම් සැකයෙක් හෝ විමතියෙක් හෝ වී නම්, එය ප්‍රහීණ වන්නේ යැ” යි වදාළ සේක.
මෙසේ ම සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සිය පැහැදීම දැන්වූහ. එහෙයින් මේ නිර්‍ගාථක සූත්‍රයට ‘සම්පසාදනීය’ සූත්‍රය යන නම විය.
පස්වනු සම්පසාදනීය සූත්‍රය නිමියේ යැ.
6.
පාසාදික සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී;
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි වේධඤ්ඤ නම් යම් ශාක්‍ය රජදරු කෙනෙක් වූහු ද, ඔවුන්ගේ අඹ වෙනෙහිවූ ප්‍රාසාදයෙහි වැඩ වසන සේක.
__missing translation__
එ සමයෙහි වූ කලි ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථ තෙමේ පාවා නුවරෙහි දී නොබෝ දවසකට පෙරැ කලුරිය කෙළේ වෙයි. ඔහුගේ කාලක්‍රියායෙන් පසු නොමනා කොට කියන ලද, නොමනා කොට දන්වනලද, නෛර්‍ය්‍යාණික නොවූ, කෙලෙස් නිවීම පිණිස නො පවත්නා වූ සම්‍යක්සම්බුද්ධ නොවූවවක්හු විසින් ප්‍රකාශිත වූ බිඳීගිය ස්තූපය ඇති (මළාවූ ශාස්තෘහු ඇති), ශාස්තෘහුගේ අභාවයෙන් පිළිසරණක් නැත්තා වූ සස්නෙක්හි යම්සේ වියැ යුතු ද, එසේ ම ඔහුගේ ශ්‍රාවක වූ නිවටුහු භේදභින්න වූවාහු, දෙ කොටසකට බෙදී ගියාහු, උපන් අරගල ඇත්තාහු, උපන් කලහ ඇත්තාහු, විවාදයට බටුවාහු, “තෝ මේ දහම් විනය නො දනී, මම් මේ දහම් විනය දනිමි, කිම තෝ මේ දහම් විනය දැනගත්තෙහි ද! තෝ වරදවා පිළිපන්නෙහි, මම් මොනොවට පිළිපන්නෙමි. මා කී වචන අර්‍ත්‍ථයුක්ත ය, තගේ වචන අර්‍ත්‍ථරහිත ය. පළමුවෙන් කියැ යුත්ත තෝ පසු ව කීයෙහි, පසු ව කියැයුත්ත පළමුයෙන් කීයෙහි. තා බොහෝ කලක් පුහුණු කළ දෑ මගේ වාදය නිසා පෙරැළී ගියේ ය. තා මත්තෙහි මා විසින් වාදය ආරෝපිත ය. තෝ මා විසින් නිගන්නා ලද්දෙහි. වාදයෙන් මිදෙනු පිණිස (උත්තර සොය සොයා) හැවිදුව. ඉදින් හැක්කෙහි නම් මා නැඟු වාදයෙන් මිදී ගනුව” යි උනුන් වචන නැමැති අඩයැටියෙන් විදුනාහු වෙසෙත්. ඥාතපුත්‍රයාගේ අතැවැස්සන් අතුරෙහි උනුන් මරාගැන්මක් මෙන් පවතී. ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයාගේ ශ්වේතවස්ත්‍රධාරී යම් ගෘහී ශ්‍රාවක කෙනෙක් වෙත් ද, උහුත් ඥාතපුත්‍රයාගේ අතැවැසි නිවටුන් කෙරෙහි කලකිරුණු ස්වභාවය ඇත්තාහු ආදර රහිත ස්වභාවය ඇත්තාහු, පළමු දැක්වූ සත්කාර ගුරුකාර හැර පසුබැස ගිය ස්වභාවය ඇත්තාහු වෙත්.
2. එ කල්හි චුන්‍ද සමණුද්දේසයෝ පාවා නුවරෙහි වස් වුසූවෝ, සාමගාමයෙහි අනඳ තෙරුන් කරා එළැඹියෝ ය. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරුන් ආදරයෙන් වැඳ, පසෙක හිඳගත්හ. පසෙක හුන්නා වූ ම චුන්‍ද සමනුද්දේසයෝ ආයුෂ්මත් අනඳ තෙරුනට ‘වහන්ස, ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථ තෙමේ පාවා නුවරැදී, නොබෝ කල්හි කලුරිය කෙළේ වෙයි. ඔහුගේ කාලක්‍රියායෙන් ... බිඳීගිය ස්තූප ඇති, පිළිසරණක් නැති සස්නෙක්හි යම්සේ වියැ යුතු ද, එසේ ම ඔහු සවු නිවටහු භේදභින්න වූවාහු, දෙකොටසකට බෙදී ගියාහු … වෙත් යැ’ යි සැළ කළෝ ය. මෙසේ සැළ කළ කල්හි අනඳ තෙරණුවෝ චුන්‍ද සමනුද්දෙසයනට ඇවැත් චුන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මෙය කථාප්‍රාභෘතයෙක් (කතා පඬුරෙක් වැ) ඇත. ඇවැත් චුන්‍දයෙනි, එමු. භාග්‍යවතුන් වහන්සේ කරා යන්නමු. ගොස් මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරන්නමෝ වේ දැ” යි වදාළහ. ‘එසේ ය, වහන්සැ’ යි කියා ම චුන්‍ද සමනුද්දසයෝ අනඳ තෙරුනට පිළිවදන් දුන්හ.
ඉක්බිති අනඳ තෙරණුවෝ ද චුන්‍ද සමණුද්දෙස ද භාග්‍යවතුන් වහන්ස කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, එක් පසෙක හිඳගත්හ. එක් පසෙක හුන්නාවූ ම අනඳ තෙරණුවෝ ‘වහන්ස, ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථ පාවා නුවරැදී කලුරිය කෙළේ යැ යි, ඔහුගේ කාලක්‍රියායෙන් … බිඳීගිය ස්තූප ඇති, පිළිසරණක් නැති සස්නෙකැ යම්සේ වියැ යුතු ද, එසේ ම ඔහු සවු නිවටහු භේදභින්න වූවාහු, දෙ කොටසකට බෙදීගියාහු … වෙත් යැ’ යි මෙසේ මේ චුන්‍ද සමණුද්දේසයෝ කියති’යි මෙ පවත් සැළ කළහ.
__missing translation__
3. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “චුන්‍දයෙනි, නොමනා කොට කියන ලද, නොමනා කොට දන්වන ලද, නෛර්‍ය්‍යාණික නොවූ, කෙලෙස් නිවීම පිණිස නො පවත්නාවූ, අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ සස්නෙක්හි මෙය මෙසේ ම වෙයි. චුන්‍දයෙනි, මෙහි ශාස්තෘ තෙමේ සම්‍යක්සම්බුද්ධත් නො වේ ද, ධර්‍මයත් නො මනා කොට දෙසන ලද ද, නොමනා කොට දන්වන ලද ද, අනෛර්‍ය්‍යාණික ද, කෙලෙස් සංසිඳීම පිණිස නො පවත්නේ ද, අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත ද, ශ්‍රාවක තෙමේත් ඒ දහම්හි ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වැ, නිසි පිළිවෙත්හි පිළිපන් වැ අනුධර්‍මචාරී වැ නො වෙසෙයි. හේ ඒ ධර්‍මයෙන් ඉවතට පැන පැන පවතී.
‘ඇවැත්නි, ඒ තොප මේ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති ආදීහු ලාභයෝ ය, ඒ තොප විසින් මිනිසත් බව ද මොනොවට ලදුයේ ය, තොපගේ ශාස්තෘ ද අසම්‍යක්සම්බුද්ධ ය, තොපගේ ධර්‍මය ද දුරාඛ්‍යාත ය, දුෂ්ප්‍රවේදිත ය, අනෛර්‍ය්‍යාණික ය, ව්‍යුපශමය පිණිස නො පවත්නේය, අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත ය. තෙපිත් ඒ ධර්‍මයෙහි ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වැ නො වසහු. නිසි පිළිවෙත්හි නො පිළිපන්නහු අනුධර්‍මචාරී නො වහු. ඒ දහමින් ඉවතට පැන පවතිහු” යැ යි හෙතෙම මෙසේ කියැ යුතු වන්නේ ය, (ඔහුට මෙසේ කියැ යුතු ය). චුන්‍දයෙනි, මෙසේ එහි ශාස්තෘ ද ඒකාන්තයෙන් ගර්‍හා ලබනු සුදුසු ය, එහි ධර්‍මය ද ගර්‍හා ලැබියැ යුතු ය. එහි ශ්‍රාවක තෙමේ ම මෙසේ පැසැසුම් ලැබියැ යුතු ය. චුන්‍දයෙනි, යමෙක් වූ කලි මෙබඳු සව්වක්හට, ‘ආයුෂ්මත් තෙමේ ඒ වා යම් සේ තාගේ ශාස්තෘහු විසින් දහම් දෙසන ලද ද, පනවන ලද ද, එසේ පිළිපදී ව’ යි මෙසේ කියන්නේ ද, යමෙකුත් එය සමාදන් කරවා ද, යමකුත් සමාදන් කරවා ද (යමකු ලවා ගන්වා ද), යමෙකුත් සමාදන් කරවන ලදුයේ එය පුරාලනු පිණිස පිළිපදී ද, ඒ සියල්ලෝ බොහෝ අකුසල් රැස් කෙරෙත්. ඒ කවර හෙයින? යත්: චුන්‍දයෙනි, නො මනා කොට කියන ලද, නො මනා කොට දන්වන ලද, අනෛර්‍ය්‍යාණික වූ, කෙලෙස් නිවීම පිණිස නො පවත්නා වූ අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ සස්නෙක්හි මෙය මෙසේ ම වෙයි. එ හෙයිනි.
4. චුන්‍දයෙනි, මෙහි (එක්තරා) ශාස්තෘවරයෙක් වනාහි අසම්‍යක්සම්බුද්ධ ද වෙයි. ධර්‍මය ද නොමනා කොට කියන ලද්දේ ද, නොමනා කොට දන්වන ලද්දේ ද, අනෛර්‍ය්‍යාණික ද, කෙලෙස් නිවීම පිණිස නො පවත්නේ ද, අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත ද වෙයි. එ දහම්හි ශ්‍රාවකයා ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වැ, නිසි පිළිවෙත්හි පිළිපන්නෙක් වැ, අනුධර්‍මචාරී වැ වෙසෙයි, ඒ දහම සමාදන් කොට ගෙන පවතී. ‘ඇවැත්නි, ඒ තොපට අලාභ ය, ඒ තොප විසින් මිනිස්බව නපුරු කොට ලබන ලද්දෙකි. තොපගේ ශාස්තෘ ද අසම්‍යක්සම්බුද්ධ ය, (තොපගේ) ධර්‍මය ද නොමනා කොට කියන ලද්දේ ය, නොමනා කොට දන්වන ලද්දේ ය, අනෛර්‍ය්‍යාණික ය, කෙලෙස් නිවීම පිණිස නො පවත්නෙක, අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත ය, තෙපි ද ඒ දහම්හි ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න ව එයට නිසි පිළිවෙත්හි පිළිපන්නෝ ව අනුධර්‍මචාරී වැ වසහු. ඒ ධර්‍මය සමාදන් කොට ගෙන වසහු’ යැ යි, මෙසේ ඒ ශ්‍රාවක තෙමේ කියැ යුතු වන්නේය.
චුන්‍දයෙනි, මෙසේ ම එහි ශාස්තෘ ද ගැරැහුම් ලැබියැ යුතු ය. එහි ධර්‍මය ද ගැරැහුම් ලැබියැ යුතු ය, එහි ශ්‍රාවකයා ද මෙසේ ගැරැහුම් ලැබියැ යුතු ය. චුන්‍දයෙනි, යමෙක් වනාහි එබඳු ශ්‍රාවකයකුට ‘ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් න්‍යායප්‍රතිපන්න ය, න්‍යායය (මුක්තිය ලබන පිළිවෙත) සම්පූර්‍ණ කරන්නේ යැ’ යි මෙසේ කියන්නේ ද යමෙක් එසේ පසසන්නේද, යමක්හු පසස්නේද, යමෙක් පසස්නා ලදුයේ බොහෝ සේ වැර වඩා ද ඒ සියල්ලෝ ම බොහෝ පව් රැස් කෙරෙත්, ඒ කවර හෙයින යත්: චුන්‍දයෙනි, නො මනා කොට කියන ලද, නොමනා කොට පවසන ලද, නෛර්‍ය්‍යාණික නොවූ, කෙලෙස් නිවීම පිණිස නොපවත්නා වූ, අසම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ සස්නෙක මෙය මෙසේ ම වෙයි, එ හෙයිනි.
__missing translation__
5. චුන්‍දයෙනි, මෙහි ශාස්තෘ තෙමේත් සම්‍යක්සම්බුද්ධ වේ ද, ධර්‍මයත් මොනොවට කියන ලද්දේ, මොනොවට දන්වන ලද්දේ, නෛර්‍ය්‍යාණික වූයේ, කෙලෙස් නිවීම පිණිස පවත්නේ සම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූයේ වේ ද, ශ්‍රාවකයා වනාහි ඒ දහමෙහි ධර්‍මානුධර්‍මප්‍රතිපන්න නො වූයේ, නිසි පිළිවෙතට නොපිළිපන්නේ, අනුධර්‍මචාරී නොවූයේ වෙසේ ද, ඒ ඒ පිළිවෙතින් පිටත පැන පැන වෙසෙයි ද, හෙ තෙමේ මෙසේ කියැ යුතු වන්නේ ය: ‘ඇවැත්නි, ඒ තොපට අලාභ ය, ඒ තොප විසින් මිනිස්බව නපුරු කොට ලද්දේ ය. තොපගේ ශාස්තෘ ද සම්‍යක්සම්බුද්ධ ය, ධර්‍මය ද මොනවට කියන ලද්දේ ය, මොනොවට දනවන ලද්දේ ය, නෛර්‍ය්‍යාණික ය, කෙලෙස් නිවීම පිණිස පවත්නේ ය, සම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත ය. එහෙත් තෙපි ඒ ධර්‍මයෙහි ධර්‍මානුධර්‍මප්‍රතිපන්න නො වැ, නිසි පිළිවෙත්හි පිළිපන්නෙක් නො වැ, අනුධර්‍මචාරී නො වැ වෙසෙවු. ඒ ධර්‍මයෙන් පිටත පැන පැන පවත්හු’ යැ යි (මෙසේ හෙ තෙම) දොස් නැගියැ යුතු වන්නේ ය. චුන්‍දයෙනි, මෙසේ එහි ශාස්තෘ ද පැසැසිය යුත්තේ ය, එහි ධර්‍මය ද පැසැසිය යුත්තේ ය, එහෙත් එහි ශ්‍රාවකයා මෙසේ ගැරැහියැ යුත්තේ ය. චුන්‍දයෙනි, යමෙක් වනාහි මෙබඳු ශ්‍රාවකයකුට ‘ආයුෂ්මත්හු එත් වා, යම් සේ තොපගේ ශාස්තෘහු විසින් දහම් දෙසන ලද ද පණවන ලද ද, එසේ පිළිපදිත් ව යි මෙසේ කියැ යුතු වන්නේ ය. එහි යමෙකුත් සමාදන් කරවා ද, යමක්හුත් සමාදන් කරවා ද, යමෙකුත් සමාදන් කරවන ලදුයේ, එය පුරනු පිණිස පිළිපදී ද ඒ සියල්ලෝ ම බොහෝ පින් රැස් කෙරෙත්. ඒ කවර හෙයින්? යත්: චුන්‍දයෙනි, මොනොවට කියන ලද, මොනොවට දන්වන ලද, නෛර්‍ය්‍යාණික වූ, කෙලෙස් නිවීම පිණිස පවත්නා වූ, සම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ සස්නෙක්හි මෙය මෙසේ ම වෙයි. එ හෙයිනි.
6. චුන්‍දයෙනි, මෙහි වනාහි ශාස්තෘ තෙමේත් සම්‍යක්සම්බුද්ධ වේ ද, ධර්‍මයත් මොනොවට කියන ලද්දේ, මොනොවට දන්වන ලද්දේ, නෛර්‍ය්‍යාණික වූයේ, කෙලෙස් නිවීම පිණිස පවත්නේ, සම්‍යක්සම්බුද්ධයක්හු විසින් පවසන ලද්දේ වේ ද, ශ්‍රාවක තෙමේ ද ඒ දහම්හි ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වැ නිසි පිළිවෙත්හි පිළිපන්නෙක් වැ අනුධර්‍මචාරී වැ වෙසේ ද, ඒ ධර්‍මය සමාදන් කොටගෙන පවතී ද, හෙ තෙමේ මෙසේ කියැ යුතු වන්නේ ය: ‘ඇවැත්නි, ඒ තොපට ලාභ ය, ඒ තොප විසින් මිනිස් බව මොනොවට ලද්දේ ය, තොපගේ ශාස්තෘ ද සම්‍යක් සම්බුද්ධ ය, ධර්‍මයත් ස්වාඛ්‍යාත ද සුප්‍රවේදිත ද නෛර්‍ය්‍යාණික ද, කෙලෙස් නිවීම පිණිස පවත්නේ ද, සම්‍යක්සම්බුද්ධප්‍රකාශිත ද වෙයි. තොපිත් ඒ ධර්‍මයෙහි ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වැ, නිසි පිළිවෙතට පිළිපන්නෝ වැ, අනුධර්‍මචාරී වැ වසහු. ඒ ධර්‍මය සමාදන් කොට ගෙන පවතිහු’ යැ යි (මෙසේ කියැ යුතුවන්නේ ය). චුන්‍දයෙනි, මෙසේ ම එහි ශාස්තෘ ද පැසැසියැ යුත්තේ ය, එහි ධර්‍මය ද පැසැසියැ යුත්තේ ය, එහි ශ්‍රාවක තෙමේ ද පැසැසියැ යුත්තේ ය.
චුන්‍දයෙනි, යමෙක් වනාහි මෙබඳු ශ්‍රාවකයකුට ‘ඒකාන්තයෙන් ආයුෂ්මත්හු මුක්තිමාර්‍ගයට පිළිපන්නෝ ය, න්‍යාය ධර්‍මය සපුරාලන්නෝ යැ’යි මෙසේ කියන්නේ ද, යමෙකුත් මෙසේ පසස්නේ ද, යමක්හුත් පසස්නේ ද, යමෙක් පසස්නා ලද්දේත් බොහෝ සෙයින් වැර වඩන්නේ ද, ඒ සියල්ලෝ බොහෝ පින් රැස් කරන්නාහ. ඒ කවර හෙයින? යත්: චුන්‍දයෙනි, මොනොවට කියන ලද මොනොවට දන්වන ලද, නෛර්‍ය්‍යාණික වූ, කෙලෙස් නිවීම පිණිස පවත්නා වූ, සම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත වූ සස්නෙහි මෙය මෙසේ ම ය. එ හෙයිනි.
__missing translation__
7. චුන්‍දයෙනි, මෙහි වූ කලි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ශාස්තෘ ද ලොවැ උපන්නේ ය. ධර්‍මය ද ස්වාඛ්‍යාත ය, සුප්‍රවේදිත ය, නෛර්‍ය්‍යාණික ය, ක්ලේශෝපශමය පිණිස පවත්නේ ය, සම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත ය, ඔහුගේ ශ්‍රාවකයෝ සද්ධර්‍මයෙහි අවබෝධ කරවන ලද අර්‍ත්‍ථ ඇත්තෝ නො වෙත් ද, හැම සැටියෙන් පිරිපුන් වූ සසුන් බඹසර ඔවුනට හෙළි කරන ලද්දේ ප්‍රකට කරන ලද්දේ සියලු ශාසනාර්‍ත්‍ථයන් එකට කැටි කොට දක්වන ලද්දේ, සසර දුක් දුරැලීමෙහි ප්‍රයෝජනවත් සේ කොට දෙසන ලද්දේ, දෙව්ලොව පටන් කොට මිනිස්ලොව තෙක් සියලු තන්හි මොනොවට ප්‍රකාශ කරන ලද්දේ නො වේ ද, එකල්හි ඔවුන්ගේ ශාස්තෘහුගේ පිරිනිවීම වේ ද, චුන්‍දයෙනි, මෙබඳු වූ ශාස්තෘ තෙමේ කලුරිය කෙළේ ශ්‍රාවකයනට අනුතාපකර (පසුතැවිල්ල ඇති කරනුයේ) වෙයි. ඒ කවර හෙයින? යත්: ‘අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ අපගේ ශාස්තෘ තෙමේ ලොවැ පහළ විය, ධර්‍මය ස්වාඛ්‍යාත ද සුප්‍රවේදිත ද නෛර්‍ය්‍යාණික ද ක්ලේශෝපශමය පිණිස පවත්නේ ද, සම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත ද විය. එහෙත් අපි ඒ සද්ධර්‍මයෙහි අවබෝධ නො කරවන ලද අර්‍ත්‍ථ ඇත්තෝ වම්හ, කේවලපරිපූර්‍ණ වූ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය අපට නො ම හෙළි කරන ලද්දේ වෙයි, නො ම ප්‍රකට කරන ලද්දේ වෙයි, සියලු ශාසනාර්‍ත්‍ථයන් එකට කැටි කොට නො දක්වන ලද්දේ වෙයි. දුක් දුරැ ලීමෙහි ප්‍රයෝජනවත් සේ කොට නො දෙසන ලද්දේ වෙයි, සියලු දෙව්මිනිසුන් අතුරෙහි මැනවින් ප්‍රකාශ කරන ලද්දේ නො වෙයි. එතෙකුදු වුවත් අපේ ශාස්තෘහුගේ අන්තර්‍ධානය වී යැ’ යි ඔවුනට පසුතැවිල්ල වෙයි. චුන්‍දයෙනි, මෙබඳු වූ ශාස්තෘ තෙමේ කලුරිය කළේ ශ්‍රාවකයනට පසුතැවිල්ල ඇති කරන්නේ වෙයි.
__missing translation__
8. චුන්‍දයෙනි, මෙහි වනාහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ශාස්තෘ තෙමෙ ලොවැ පහළ විය. නෛර්‍ය්‍යාණික වූ, කෙලෙස් නිවීම පිණිස පවත්නා වූ ධර්‍මය ද මොනොවට වදාරන ලද්දේ වෙයි. සම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත ද වෙයි. ඔහුගේ ශ්‍රාවකයෝ ද සද්ධර්‍මයෙහි අවබෝධ කරවන ලද අර්‍ත්‍ථ ඇත්තෝ වෙත්. ඔවුනට කේවල පරිපූර්‍ණ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය ද හෙළි කරන ලද්දේ, ප්‍රකට කරන ලද්දේ, සියලු ශාසනාර්‍ත්‍ථයන් එකට කැටි කොට දක්වන ලද්දේ, දුක් බැහැරැලීමෙහි ප්‍රයෝජනවත් කොට දෙසන ලද්දේ, දෙවිමිනිසුන් තාක් මොනොවට ප්‍රකාශ කරණ ලද්දේ වෙයි. එකල්හි ඔවුන්ගේ ශාස්තෘහුගේ අන්තර්‍ධානය වෙයි. චුන්‍දයෙනි, මෙබඳු වූ ශාස්තෘ තෙමේ කලුරිය කළේ ශ්‍රාවකයනට අනුතාප කර නො වෙයි. ඒ කවර හෙයින? ‘අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ අපගේ ශාස්තෘ තෙම ලොව පහළ විය, නෛර්‍ය්‍යාණික වූ කෙලෙස් නිවීම පිණිස පවත්නාවූ, ධර්‍මය ද මොනොවට වදාරන ලද්දේ ද මොනොවට දන්වන ලද්දේ ද වෙයි, සම්‍යක්සම්බුද්ධයක්හු විසින් ප්‍රකාශිත ද වෙයි. අපි ද ඒ සද්ධර්‍මයෙහි අවබෝධ කරවන ලද අර්‍ත්‍ථ ඇත්තමෝ වම්හ. අපට කේවල පරිපූර්‍ණ වූ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය හෙළි කරන ලද්දේ, පෙහෙළි කරන ලද්දේ, වෙයි. ඒ ධර්‍මයන් සියලු ශාසනාර්‍ත්‍ථ කැටි කොට දක්වන ලද්දේ, දුක් දුරැලීමට ප්‍රයෝජනවත් සේ කොට දෙසන ලද්දේ, දෙව්මිනිසුන් තාක් සියලු දෙනා අතුරෙහි මොනොවට ප්‍රකාශ කරන ලද්දේ වෙයි. එ කල්හි අපගේ ශාස්තෘහුගේ අන්තර්‍ධානය වූයේ යැ’යි ඔහු දනිත්. එහෙයිනි. චුන්‍දයෙනි, මෙබඳු වූ ශාස්තෘ තෙමේ කලුරිය කෙළේ ශ්‍රාවකයනට අනුතාපකර නො වෙයි.
__missing translation__
9. චුන්‍දයෙනි, ඉදින් සසුන් බඹසර මේ අඞ්ගවලින් සමන්‍විත වේ ද, එහෙත් ශාස්තෘ තෙමේ ස්ථවිර නො වේ ද, චිරරාත්‍රඥ නො වේ ද, පැවිදි වූ බොහෝ කල් ඇත්තේ නො වේ ද, දික් කලක් ඉක්මියේ නො වේ ද, පැසිම් වයසට පැමිණියේ නො වේ ද, මෙසේ ඒ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ඒ අඞ්ගයෙන් අපරිපූර්‍ණ වේ (අඩු වේ). චුන්‍දයෙනි, යම් හෙයෙකින් ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය මේ අඞ්ගවලිනුත් සමන්‍විත වේ ද, ශාස්තෘ තෙමේත් ස්ථවිරත් රාත්‍රඥත්, පැවිදි වූ බොහෝ කල් ඇතියේත් දික් කලක් ඉක්මියේත් පැසිම් වයසට පැමිණියේත් වේ ද, මෙසේ ඒ බඹසර ඒ අඞ්ගයෙන් පරිපූර්‍ණ වේ.
චුන්‍දයෙනි, සසුන් බඹසර මේ අඞ්ගවලින් පරිපූර්‍ණ වන්නේ නමුදු, ශාස්තෘ තෙමේත් ස්ථවිරත් රාත්‍රඥත් පැවිදි වූ බොහෝ කල් ඇතියේත් දික් කලක් ඉක්මියේත් පැසිම්වයසට පැමිණියේත් වේ ද, වැලිදු ඔහුට ව්‍යක්ත වූ විනීත වූ විසාරද වූ, රහත්බවට පැමිණියාවූ, සද්ධර්‍මය මොනොවට කියන්නට සමර්‍ත්‍ථ වූ, උපන්නාවූ පරවාදය කරුණු සහිත ව මොනොවට නිගහා දුක් දුරැලීම පිණිස ප්‍රයෝජනවත් වන සේ කොට දහම් දෙසන්නට සමර්‍ත්‍ථ වූ, ස්ථවිර වූ, ශ්‍රාවක භික්‍ෂූහු නො වෙත් ද, මෙසේ මේ අඞ්ගයෙන් ඒ සසුන් බඹසර අපරිපූර්‍ණ වෙයි.