“හැකි යි, මහරජාණෙනි. එසේ නම් අසන්නැ. මොනවට සිත යොමු කරන්නැ. කියන්නෙමි” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).
“එසේ ය, වහන්සැ” යි කියා වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ පිළිවදන් දුන්නේ ය.
28. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහරජාණෙනි, මෙහි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තරපුරුෂදම්‍යසාරථී වු දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණබමුණන් සහිත, සම්මත දෙවියන්(රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්‍වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඔවුනට අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද)කොට, මධ්‍යෙයහි භද්‍රක (නිවරද)කොට, අවසනැ භද්‍රක (නිවරද) කොට, අර්‍ත්‍ථ සහිත කොට, ව්‍යඤ්ජනයෙන් සහිත කොට, සර්‍වප්‍රකාරයෙන් පූර්‍ණ කොට, පිරිසිදු කොට, දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්‍ෂාත්‍රයයෙන් සංගෘහීත වූ සියලු) ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි.
ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයක උපන්නෙක් හෝ ඒ ධර්‍මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්‍විත වූයේ, ‘ගිහිගෙයි විසීම් සම්බාධයෙකි (අවහිරයෙකි). (රාගාදී රජස් නැගෙන) රජස් පථයකි. පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළි මහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශංඛලිඛිතයක් සේ මේ බඹසර සරන්නට පහසු නොවේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා කසාවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ’යි මෙසේ නුවණින් සලකයි.
හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැරැ, මහත් වූ හෝ සම්පත් රැස හැරැ, මඳ වු හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑපිරිසි හැරැ, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම පාතිමෝක්ඛසංවරයෙන් සමන්‍විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නේ, නිවරද වූ කායවාක්කර්‍මයෙන් සමන්‍විත වූයේ, එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ, (සත් තන්හි) සිහියෙන් හා නුවණින් හා යුක්ත වූයේ, සිව්පසයෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ, ශික්‍ෂාපදයන්හි සමාදන් වැ හික්මෙයි.
29. මහරජ, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේද? යත්: මහරජ, මෙහි මහණ තෙමේ ප්‍රාණඝාතය හැරැ දමා, ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නොදරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (ආයුධ නො දරන්නේ) පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.
හේ අදත්තාදානය හැරැ දමා, නොදුන් දෑ ගැන්මෙන් මුළුමනින් වැළැක්කේ වෙයි. දුන් දැය ම පිළිගන්නාසුලු වූයේ, දුන් දැය ම සිතිනුත් කැමැති වැ ඉවසනසුලු වූයේ, නොසොර වූ පිරිසිදු සිතින් යුතු වැ වෙසේ. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
හේ අබ්රම්සර දුරැ ලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ, එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
හේ බොරු කීම දුරැ ලා, බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියනසුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු වැ පිහිටි කථා ඇත්තේ, ඇදහිය යුතු කථා ඇත්තේ, ලොව නො රවටන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
හේ කේලාම් කීම දුරැ ලා, කේලාම් කීමෙන් වැළැක්කේ වේ. මේ තැනින් අසා මොවුන් (ඔවුන් ගෙන්) බිඳවනු පිණිස එතැන්හි නො කියනසුලු වූයේ, එ තැනින් අසා ඔවුන් (මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මෙතන්හි නො කියන සුලු වූයේ, මෙසේ බිඳුනවුන් ගළපන්නේ (සමඟි කරන්නේ) ද, එකට ගැළැපුනවුන් (සමඟියට පැමිණියවුන්) හට රුකුල් දෙන්නේ ද වෙයි. සමඟියෙන් සිටින්නවුන් හා වාසය කැමැත්තේ, සමඟියෙන් වසන්නවුනට කැමැත්තේ, සමඟ වැ සිටින්නවුනට සතුටු වනුයේ, සමඟිය ඇති කරන බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
හේ රළු බිණුම් දුරැ ලා, රළු බස් දෙඩුමෙන් වැළැක්කේ වෙයි. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුවෙන් සිතැ වැදැගන්නා, නො ගැමි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාගේ මන වඩන යම් බසෙක් වේද, එබඳු වූ බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ සීලයෙක් වේ.
හේ බොල් හිස් දෙඩැවිලි හැරැදමා, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කාල වේලායෙහි කථා කරනසුලු වූයේ, ඇත්තම කියනසුලු වූයේ, වැඩ සලසන බසක් ම කියනසුලු වූයේ, නව ලොවුතුරුදහම් ඇසුරු කොට ම කියනසුලු වූයේ, හික්මීම ඇති කරන බසක්ම කියනසුලු වූයේ, සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, ඉමක් කොනක් ඇති (ප්‍රමාණවත් වූ), දෙලෝ වැඩ හා සම්බද්ධ වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
30. හේ බීජසමූහ (=පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ අඩු තැන් පිරැවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මැවූ උසසුන් ද, නොකැප වූ මහසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ඇතුන් අසුන් වෙළෙඹුන් ගෙරින් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූත මෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නො අගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මේ කී නොකී හැම කෛරාටිකකම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම්වලින් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
චූල්ලසීලය නිමියේ ය.
31. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලවීජ ද (හිඟුරු ආදී පැළ වන මුල් ද), ස්කන්‍ධවීජ ද (නුග ආදී පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදී පැළ වන පුරුක් ද), අග්‍රවීජ (ඉරිවේරිය හා පැළවන දළු ද), පස් වනු වීජ වීජ ද (වී ආදී පැළ වෙන ඇට ද) යන මේ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළ වුණු දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැලුම් තැවුම් යැ යි) කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ බඳු වූ වීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
32. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කෑම රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කර තබා ගැන්ම, වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම, රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභෝගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
33. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක් වැ ජනසමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැයුම් හෝ අත්තල ගැසීම), වේතාල (දඬුමුවා තාලම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්භථූන (සිව්රස් බෙර වැයුම්), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දෙවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්‍දීගීත ගායනය හෝ ප්‍රතිභානචිත්‍ර කිරීම), සණදොවුන් කෙළිය (හෝ ආයෝගුඩ ක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධොවනය (මළවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අශ්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙහි යෙදී වෙසෙත් ද, හෙතෙමේ මේ හෝ මෙබඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
34. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඩුලු පැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළ නළා පිඹුම, කෙළිනගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රිඩාරථ පැදැවීම, කුඩා දුන්නෙන් විදීම, ඇකිරිකෙළිය, (පිටේ හෝ අහසේ අකුරු ඇඳ කියැවීම), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන් ආදීන් සේ ඉරියව් පැවැත්වීම) යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
35. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟලා පුටුය, පලඟය, මහ කොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, එළුලොම්මුවා සුදු ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය, තිලිය(පුළුන් මෙත්තය), සිංහාදිරූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණ, කෝසේයිය හුයින් වියූ ඇතිරිය, අසු පිටැ එලන ඇතිරිය, රිය එලන ඇතිරිය, ඇඳට සරිලන සේ අඳුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රතු කොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන බෙමඳු වූ උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
36. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳ සුණුයෙන් ඇඟ ඉලීම්, අත් පා ඇහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිසඈහි මස් වැඩෙනුවට මුඟුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිලෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදී ඇඟ අඩු තැන් පිරවීමටත් ඇඟ සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත් ද, හේ මහණ තෙමේ මේ හෝ මේ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
37. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමාත්‍ය කථා, සේනා කථා, භය කථා, යුද්ධ කථා, ආහාර කථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලා කථා, ගන්‍ධකථා, ඥාති කථා, යාන කථා, ග්‍රාම කථා, නිගම කථා, නගර කථා, ජනපද කථා, ස්ත්‍රී කථා, පුරුෂ කථා, කුමාර කථා, කුමාරී කථා, ශූර කථා, වීථි කථා, කුම්භස්ථාන කථා, නානාත්‍ව කථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රාඛ්‍යායිකා කථා, ඉතිභවාභව කථා යන මේ බඳු වූ තිරශ්චීන කථාවල යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මේ බඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
38. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “තෝ මේ දහම් විනය නො දනිහි. මම ම මේ දහම් විනය දනිමි. ‘මේ දහම් විනය කිමැ’යි තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැගු දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙබඳු වූ හෝ බැණුම්දෙඩුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
39. යම්සේ සමහර භවත් මහණබමුණෝ “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙනැ යන්න, අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමතියන්ගේ ක්‍ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජකුමරුවන්ගේ, මෙබඳු දූත මෙහෙවරෙහි පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මේ වැනි වූ දූත මෙහෙවරින්, පණිවිඩ ගෙන යෑමෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
40. යම්සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්‍ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.
මධ්‍යමශීලය නිමියේ ය.
41. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්‍ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්‍ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්‍ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්‍ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත්ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
42. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණුය, වත්ලකුණුය, දඬුලකුණුය, කඩුලකුණුය, ඊලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස්ලකුණු ය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස්ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණිලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය, යන ආදී මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
43.. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය, අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය, අසෝ නැකතින් පිටතැ සිටින සතුරු රජුන් හමුවන්නට රට තුල සිටින සතුරු රජුන්ගේ යෑම වන්නේ ය, අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය, අසෝ නැකතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය, අසෝ නැකතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් ව යෑම වන්නේ ය, රට ඇතුළතැ සිටින රජුනට ජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය, රට තුළ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේ යැ’යි කියමින් මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු වු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
44. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්‍ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍ය්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසිමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද, නකත් තරුන්ගේ ද, උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය. සූර්‍ය්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. චන්‍ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්‍ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ නො මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. දිග්දාහය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුවලද උදාවත් බැසීමත් කෙළෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු මේ බඳු පල දෙන්නේ යැ” යි කියනුවෝ මෙ බඳු තිරශ්චීනවිද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
45. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “මේ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්‍ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්‍ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ, මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හි සංඥා තබා ගිණීම)ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මේ හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ අන් මෙ බඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
46. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍ය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගැබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳීම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජීවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම යන මේ හෝ අන් මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවිපවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ද, අන් මෙබඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
47. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්‍ම, ප්‍රණිධිකර්‍ම, භූරිකර්‍ම, පණ්ඩකයා පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තුකර්‍ම, වාස්තු පරිකිරණ, මතුරු දපා මුව දෙවුම, මතුරු දපා අනුන් නෑවීම, සෙත් පතා ගිනිපිදීම, ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම, ශිර්‍ෂවිරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැ දීම, ගිහියන් සඳහා ඇස පටලයට සිසිල ගන්වන නෙත් තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම, ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට පිළියම් කිරීම, ගිහියනට ශල්‍යකර්‍ම කිරීම, ළදරුවන්ගේ ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කායචිකිත්සාව) , කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගලවා දැමීම යැ” යි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිර්‍ශචීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
48. මහරජාණෙනි, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසිම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. මහරජාණෙනි, ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනසූ සතුරන් ඇති ක්‍ෂත්‍රියයෙක් කිසි ම එකද සතුරෙකුගෙන් වියැ හැකි කිසිදු බියකුත් යම්සේ නොදක්නේ ද, මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී. හේ මේ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. මහරජ, මෙසේ වනාහි මහණ තෙමේ ශීලසම්පන්න වේ.
49. මහරජාණෙනි, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වේ ද? යත්: මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදිවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදිවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද) එහි (ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී. ඒ චක්‍ෂුරින්‍ද්‍රියය රකී. ඒ චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා ... නාසායෙන් ගඳ ආඝ්‍රාණය කොට … දිවෙන් රස ආස්වාද කොට … කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ) ස්පර්‍ශ කොට … සිතින් ධර්‍මාලම්බන දැන, ශුභාදිවශයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදිවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට ගන්නේ නො වේ. යම් කරුණෙකින් ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය … ඝ්‍රාණේන්‍ද්‍රියය … ජිහ්වේන්‍ද්‍රියය … කායේන්‍ද්‍රියය … මනඉන්‍ද්‍රියය සංවර කොට නොගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂමලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නොහොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද), ඒ ශ්‍රෝත්‍රෙන්‍ද්‍රියයාගේ … ඝ්‍රාණේන්‍ද්‍රියයාගේ …ජිහ්වේන්‍ද්‍රියයාගේ … කායේන්‍ද්‍රියයාගේ … මනඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී. ශ්‍රෝත්‍ර … ඝ්‍රාණ … ජිහ්වා … කාය … මන ඉන්‍ද්‍රියය රකී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය (කෙලෙසුන් ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්ත සුඛය) විඳී. මහරජාණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇත්තේ වේ.
50. මහරජාණෙනි, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහිනුවණින්) සමන්‍විත වේ ද? යත්: මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි (ආපසු හැරීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි (වටපිට බැලීමෙහි) මනා නුවණින් දැනම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිලීමෙහි, දිගු කිරීමෙහි නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි, නුවණින් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි, නො බිණීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. මහරජාණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ සිහි නුවණින් සමන්‍විත වෙයි.
51. මහජරාණෙනි, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේද? යත්: මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික් මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. මහරජාණෙනි, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක පියා හඹා යේ නම්, පියාපත්බර සහිත ව ම යම් සේ පියාහඹා යේ ද, එසේ ම, මහරජාණෙනි, ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද පා සිවුරු (ආදී අට පිරිකර පමණක්) රැගෙන ම යෙයි. මහරජාණනි, මෙසේ වනාහි තෙමේ ලද පසයෙහි සතුටු වේ.
52. මහරජාණෙනි, ඒ මහණ තෙමේ මේ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය ස්මෘතිසම්ප්‍රජානනයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්‍විත වූයේ, අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මෙ කී ජනශූන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි, පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා, කමටහනට අභිමුඛ කොට සිහිය එළවා හිඳී.
53. හේ ලොවැ (පඤ්ච උපාදානස්කන්‍ධය කෙරෙහි) ඇල් ම හැර, විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජ්ඣායෙන් යුත් සිතින් වෙසෙයි. අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දිව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන් බවත්) කුකුසත්(කළ නො කළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ), සංසිඳුනු ස්වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
54. මහරජාණෙනි, යම්සේ පුරුෂයෙක් (පොලියට) ණය මුදලක් ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්‍මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් නම් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පළමුයෙන් ණයට මුදල් ගෙන කර්‍මාන්ත කෙළෙමි, ඒ මගේ කර්‍මාන්ත සමෘද්ධ විය. ඒ මම්, යම් පරණ ණය මුදල් වී නම් එය ගෙවා අවසන් කෙළෙමි, අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ”යි, මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණය නැති බව කරණ කොට ගෙන සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
55. මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟ පත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියෙන්නේ නම්, ඔහු ඇඟ පත ශක්තිය ද වන්නේ නම්, “මම් වූ කලී පෙරැ දුකට පත්, දැඩිව ගිලන් බව් ඇති ලෙඩෙක් වීමි. මට ආහාර ද රිසි නොවී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුනෙම් වෙමි. ඒ මට ආහාර ද රිසියෙයි. මා ඇඟ පත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
56. මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් හිර ගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිරගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝග විනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලී පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදුණෙම් වෙමි. මගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
57. මහරජාණෙනි, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැත්තේ, නිදහස් වූයේ, කැමැති අතෙක යා හැකි වූයේ ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යා නොහැකි දාසයෙක් වීමි. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යා හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
58. මහරජාණෙනි, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්‍ලභ වූ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් කතරමඟකට බස්නේ ද, හේ පසු කෙලක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක් මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙර ධන ඇතියෙම්, භෝග සම්පත් ඇතියෙම්, දිය නැති, ආහාර දුර්‍ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම් දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළෙමි. නිරුපද්‍රැත භය රහිත ගමකට පැමිණෙයෙම් වෙමි” යි සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
59. මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල් බවක් මෙන් දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙළින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. මහරජ, ණය නැති බව යම්සේ ද, ලෙඩ නැති බව යම්සේ ද, හිරගෙන් මිදුණු බව යම්සේ ද, නිවහල් බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේම (පිළිවෙළින්) මේ පහ වූ නිරවණ පස(හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.
60. තමා කෙරෙහි පහවූ මේ නීවරණ පස දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ. (එකඟ වේ.)
61. හේ කාමයන්ගෙන් වෙන් ව ම, සෙසු අකුසල දහමුන් ගෙන් ද වෙන් ව ම, විතර්‍කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහවීමෙන්) උපන් ප්‍රීතියත් සුවයත් ඇති පළමු ධ්‍යානය ලැබ වෙසේ. හේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි, සියලු අඟ පසඟ ඇති ඔහුගේ මුළු කයෙහි ඒ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැද නොගත් (නොපහස්නා ලද) කිසි ද තැනෙක් නො වෙයි.
62. මහරජාණෙනි, යම් සේ කපුවෙක් (කිලිඟෙක්) හෝ කපුවකුගේ (කිලිඟකුගේ) අතැවැස්සෙක් හෝ ලොහොතලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඬ කාවැදුණු දිය ඇත්තේ හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුළත පිටත මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ දිය නො වගුරුවන්නේත් වේද -
63. මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි, පුරාලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීති සුඛයෙන් පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. මහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ ද වඩා උතුම් වූ ද සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
64. මහරජාණෙනි, නැවැත ද (අනෙකක් කියමි.) මහණ තෙමේ විතර්‍ක විචාරයන්ගේ සංහිඳීමෙන්, සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, (ශ්‍රද්ධාව හා එක් වැ යෙදුණු) සිතැ එකඟ බව ඇති, විතර්‍කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම ස්පර්‍ශ කෙරෙයි. සමාධියෙන් උපන් පීති සුවයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් ඔහුගේ කයේ නො වෙයි.
65. මහරජ, යම් සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේ ද, එයට පෙරදිගින් දිය ඇතුළු වන මඟෙක් නො වන්නේ ද, දකුණු දෙසින් දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, පැසිම් දිගින් ද දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, උතුරු දෙසින් ද දිය වැද ගන්නා මඟෙක් නොවන්නේ ද, වැස්ස ද, කලින් කලැ සුදුසු පරිදි නො වසින්නේ ද, එතෙකුදු වුවත් ඒ විලෙන් සිහිල් දියදහර මතු වී ඒ විලම සිහිල් දියෙන් තෙමන්නේ ද, හැම පරිදි තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැනම වැද ගෙන පැතිර සිටින්නේ ද, ඒ මුළු විලෙහි සිසිල් දිය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත් ද -
මහරජ, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් පීති සුවයෙන් තෙමයි, හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ ඒ සියලු කයේ සමාධියෙන් උපන් පීති සුවය පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ ද වඩා උතුම් ද වේ.
66. නැවත ද (අනෙකක් කියමි:) මහරජ, මහණ තෙමේ ප්‍රීතියගේ ද විරාගයෙන් (පහවීමෙන්, සංසිඳීමෙන්), උපේක්‍ෂායෙන් ද යුක්ත වැ, සිහියෙන් හා නුවණින් හා යුක්ත වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපේක්‍ෂාව ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ යැ’යි කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේ.
හේ මේ කයම නිෂ්ප්‍රීතික සුවයෙන් තෙමයි, හැම පරිදි තෙත් කෙරෙයි, පුරාලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයන් පැතිර නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
67. මහරජ, යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ දියෙහි වැඩුණේ, දියෙන් නොනැගුණේ, දිය තුළෑම ගිලී වැඩුනුයේ ද, ඒ හැම අග දක්වාත් මුල් දක්වාත් සිහිල් දියෙන් තෙමුණේ, හැමපරිදි තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වලැ හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ නො ගත් තැනෙක් නො වන්නේ ද -
මහරජ, එසේ ම මහණ තෙමේ මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, හැමපරිදි පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ද පළමු කී සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූත් වඩා ප්‍රණීත වූත් එකකි.
68. මහරජ, නැවත ද (අනෙකක් කියමි:) මහණ තෙමේ සුඛ වේදනාව ද දුරැ ලීමෙන්, දුඃඛ වේදනාව ද දුරැලීමෙන්, පළමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ පහවීමෙන් දුක් ද නොවූ, සුව ද නොවූ, උපේක්‍ෂා ස්මෘති යන මොවුන්ගේ පිරිසිදු බව් ඇති සතර වන ධ්‍යානය ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැතිරැ වැදගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැතිර වැද නො ගෙන සිටි කිසි ද තැනෙක් නො වෙයි.
මහරජ, යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිසින් වටා පෙරෙව හුන්නේ වේ නම්, ඔහුගේ කයෙහි සුදු වතින් වැද නොගත් (නො වැසුණ) කිසි ද තැනෙක් නොවන්නේ ද, මහරජ, එසේම මහණ තෙම මේ කය ම පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැහැරැ වැද ගෙන නොසිටි කිසිද තැනෙක් නොවෙයි.
මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා ප්‍රණීත වූ එකෙක.
69. තව ද (අනෙකක් කියමි:) මහරජ, ඒ මහණ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කිලිටි නැති වූ කල්හි, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි, මෘදු වූ කල්හි, විදර්‍ශනා භාවනාවට යෝග්‍ය වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්‍ශනාඥානය පිණිස (පරිකර්‍ම) සිත එයට අභිමුඛ කෙරෙයි, ඒ අතට නමා හරියි. හේ “මගේ මේ කය වූ කලී රූපවත් ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිස බව ද දුගඳ හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුත් බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ” යි මෙසේ දැන ගනී.
70. මහරජ, යම්සේ සොඳුරු වූ, පිරිසිදු ආකරයෙක පහළ වූ ඇටැස් වූ මොනවට පිරියම් කළ, සියුම් වූ වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, ධෝවනාදී සියලු අකාරයෙන් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අමුනන ලද්දේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට, “මේ වූ කලි සොඳුරු වූ, පිරිසිදු ආකරයෙහි උපන්, ඇටැස් වූ මොනවට පිරියම් කැරුණු, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, සියලු ධෝවනාදී ආකාරයෙන් සම්පූර්‍ණ වූ වෙරළු මිණෙක. මෙහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ යම් හුයෙක් අවුනන ලදුයේ වේ යැ”යි සලකා බලන්නේ ද -
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් යටපත් වූ කල්හි, උපක්ලේශයන් පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්‍ශනාඥානය පිණිස සිත අභිමුඛ කෙරෙයි, එය අතට නමා හරියි. හෙ තෙම “මගේ මේ කය වූ කලී රූපී ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් නිපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිසි බව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද ඒ කළත් බිඳෙන බව ද විසිරෙන බවද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය, මෙහි බැඳුණේ යැ”යි මෙසේ දැන ගනී.
මහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයෙකි.
71. හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් නොමැති වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ (ඍද්ධි ඉපදීවීමට යෝග්‍ය වූ) කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වු, සියලු අඟපසඟින් යුත්, විකල නොවූ ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි.
මහරජ, යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් තණකූර (තණබඩය) ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ මුදුතණගස ය, මේ එහි තණ බඩ ය, තණ ගස එකෙකි, එහි බඩය අනෙකෙකි. මුදුතණ ගස කෙරෙන් ම එහි කූර (බඩය) මෑත් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,
මහරජ, යම්සේ වනාහි පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ කඩුවය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලද්දේ යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,
මහරජ, යම්සේ වනාහි පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන් කරන්නේ ද, ඔහුට “මේ නයා ය, මේ සැවය ය. නයා එකෙක, සැවය අනෙකක. සැවය කෙරෙන් ම නයා ඇද වෙන් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,
මහරජ එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පත් කල්හි, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මේ ශරීරයෙන් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟින් යුක්ත වූ අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි. මහරජ, මෙය ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයට වඩා කාන්ත වූ ද ... සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
72. හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණය වූ (=ඍද්ධියට යෝග්‍ය වු) කල්හි, සිටි කල්හි, නිශ්චලත්‍වයට පැමිණි කල්හි, ඍද්ධිවිධඥානය පිණිස (අභිඥාපාදක) පරිකර්‍ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ ඍද්ධිවිධය (ඍද්ධි කොට්ඨාසය) නැවත නැවත අනුභව කෙරෙයි. (හෙවත් නාම කයින් ස්පර්‍ශ කෙරෙයි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි, ලබයි). පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (ඍද්ධිබලයෙන්) බහු ප්‍රකාර ද වි යලිදු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි (=පෙනීසිටී). අප්‍රකට බව කෙරෙයි (=නොපෙනී සිටියි). බිත්තියෙන් පිටතට, පවුරෙන් පිටතට, පර්‍වතයෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙක නො ගැටෙනුයේ මැදින් විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම (=ගිලී) උඩට නැගීම (=මතුවීම) කෙරෙයි. නො බිඳෙන (=යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්‍ෂ ඇති සකුණයෙකු මෙන් අහසෙහි ද පළඟින් (=ඌරුබද්ධාසනයෙන්) යෙයි. මේ සා මහර්ද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද, අතින් පරාමර්‍ශනය කෙරෙයි (=අල්ලයි), (ඔබමොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද (සියල්ල) කයින් වශයෙහි පවත්ව යි.
73. මහරජ, යම්සේ දක්‍ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනවට නිපදවන්නේ ද -
මහරජ යම්සේ දක්‍ෂ දන්තකාරයෙක් (ඇත්දත් ආදියෙන් විසිතුරු කම් කරන්නෙක්) හෝ දන්තකාරයකුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=දොස් ඉවත් කොට මොනවට සකස් කළ) දතෙක්හි යම් යම් දන්තවිකෘතියත් (=දතෙහි කළ විසිතුරු රූපාදියක්) කැමැති වන්නේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, වෙසෙසින් නිපදවන්නේ ද,
මහරජ, යම්සේ හෝ දක්‍ෂ රන්කරුවෙක් හෝ රන්කරුවෙකුගේ අතැවැස්සෙක් හෝ මොනොවට සකස් කළ රනෙහි යම් යම් ස්වර්‍ණ විකෘත්තියක් (ආභරණ ආදියක්) කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, නිපදවන්නේ ද,
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙළෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, ඍද්ධිවිධඥානය පිණිස සිත මෙහෙයවයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ ඍද්ධි කොට්ඨාසය නැවත නැවත විඳී. පියෙවියෙන් එකෙක් වැ සිට බොහෝ දෙනෙක් වෙයි, බොහෝ දෙනෙක් වැ එකෙක් වෙයි. තෙමේ පෙනී සිටී, නො පෙනී ද සිටී. බිත්තියෙන් පිටතට, පව්වෙන් පිටතට, පවුරෙන් පිටතට විනිවිදැ අහසෙහි මෙන් කිසිවෙකැ නො ලැගී යෙයි. දියෙහි මෙන් පොළොවෙහිත් ගිලීම් ද මතුවීම් ද කෙරෙයි. පොළොව මතු පිටැ සේ නො බිඳෙන දියෙහි යෙයි. පක්‍ෂියෙකු සේ පළඟින් අහසෙහි යෙයි. මේ සා මහර්ද්ධිමත් මහත් අනුභාව ඇති සඳ හිරු දෙදෙනා පවා අල්ලයි, පිරිමදියි. බඹලොව තෙක් ද කයින් තමා වශයෙහි පවත්වයි.
මහරජ, මෙය ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණයඵලයෙකි.
74. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස (=දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රාවණෝපචාරය ඉක්මවා සිටි දිව කනින් දිව්‍ය වූ ද මානුෂක වූ ද, දුරැ වූ ද, ළං වූ ද, යන ද්විවිධ ශබ්ද ම අසයි.
75. මහරජ, යම්සේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ ද, හේ බෙරහඬක් මිහිඟුබෙර හඬත් පණාබෙර හඬත්, ගැටබෙර හඬත් යම්සේ අසන්නේ ද, ඒ අසන ඔහුට ‘මේ බෙර හඬැයි කියාත්, මේ මිහිඟුබෙර හඬයි කියාත්, මේ සක්පණාබෙර ගැටබෙර හඬැ’යි කියාත්, මෙසේ සිතෙක් වන්නේ ද, මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණය (කර්‍මක්‍ෂම) වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය, ඉක්ම වූ දිව කන් නුවණින් දිව්‍ය වූත් මානුෂක වූත් දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි.
මහරජ, මේ ද පළමු කී සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයෙකි.
76. හේ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍ය්‍යායඥානය පිණිස (=අනුන්ගේ සිත් පිරිසිඳ දක්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්‍වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතැ යි ද දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි ද දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැ යි ද දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතැ යි ද දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතැයි ද දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැයි ද දනී. සංක්‍ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි ද දනී. වික්‍ෂිප්ත (=විසිරුණු) සිත විසුරුණු සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී. සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැ යි ද දනී.
77. මහරජ, යම්සේ සැරැසෙනසුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩ පතෙක හෝ පහන් දිය බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදී දොස් ඇති තැන් සදොස් තැනැයි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැයි දන්නේ ද -
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හි, දීප්ත වූ කල්හි, කෙලෙස් නැති කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි.
හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සියසිතින් පිරිසිඳැ දනී. සරාග සිත සරාග සිතැයි ද දනී. වීතරාග සිත වීතරාග සිතැයි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. වීතද්වේෂ සිත වීතද්වේෂ සිතැ යි ද දනී. සංක්‍ෂිප්ත සිත සංක්‍ෂිප්ත සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද ... අමහද්ගත සිත අමහද්ගත සිතැයි ද … සෝත්තර සිත සෝත්තර සිතැ යි ද ... අනුත්තර සිත අනුත්තර සිතැ යි ද ... සමාහිත සිත සමාහිත සිතැ යි ද ... අසමාහිත සිත අසමාහිත සිතැ යි ද ... විමුක්ත සිත විමුක්ත සිතැ යි ද ... අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද දනී.
මහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ, වඩා උතුම්, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
78. හෙ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්ත වූ කල්හි, කෙලෙස් නැති වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වු කල්හි, සිටි කල්හි, නිශ්චල බවට පත් කල්හි, පුර්‍වේනිවාසානුස්මෘති ඥානය (=පෙර වුසූ කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිහක් ද ජාති සතළිහක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද බොහෝ සංවර්‍ත කල්ප ද බොහෝ විවර්‍ත කල්ප ද බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප ද, “අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු සුව දුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම් එයින් සැවැ අසෝ තැන උපනිමි. එහිද මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මෙතෙක් ආයු සීමාවක් ඇතියෙම් විමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි, මෙසේ අනේකවිධ වු පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ වර්‍ණාදි වශයෙන් ආකාර සහිත වූ නම් ගොත් විසින් උද්දේශ සහිත වු බහුවිධ වු පූර්වේනිවාසය සිහි කෙරෙයි.
79. මහරජ, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේ ද, (නැවත) හේ ඒ ගමින් සිය ගමට ම පෙරළා එන්නේ ද, එසේ වු ඔහුට “මම් වූ කලී සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ විමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. ඒ මම් ඒ ගමින් සිය ගමට පෙරළා ආයෙම් වෙමි” යි මේ බඳු සිතෙක් වන්නේ ද -
මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්ත කල්හි, කෙලෙස් රහිත කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වු කල්හි, සිටි කල්හි නිශ්චල බවට පැමිණි කල්හි, පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි, හේ “අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි, මේ බඳු ගොත් ඇතියෙම් විමි, මේ බඳු පැහැ ඇතියෙම් විමි, මේ බඳු ආහාර ඇතියෙම් විමි, මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි, මේ බඳු ආයු සීමා ඇතියෙම් විමි, ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි. එහි ද මෙ නම් ඇතියෙම්, මේ නම් ගොත් ඇතියෙම්, මෙ බඳු පැහැ ඇතියෙම්, මෙ බඳු ආහාර ඇතියෙම්, මෙ බඳු සුවදුක් විඳින්නෙම් විමි, මෙතෙක් ආයු සීමා ඇතියෙම් විමි, ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි, මෙසේ එක් ජාතියක් ද , ජාති දෙකක් ද , ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද, බොහෝ විවර්‍ත කල්ප ද, බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප දැ යි, මෙසේ අනේකවිධ වු පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මේ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේශ සහිත වූ පෙරැ වුසූ නොයෙක් වැදෑරුම් කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
මහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ක ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
80. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වු, මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාව්‍රත ඇතියහ. ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්‍ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්‍මයට තමන් පරවශ බැවින්) තමනට අවශග වැ වැටෙන තැන වු නිරයට වන්නාහ. මේ භවත් සත්ත්‍වයෝ වූ කලී කායසුචරිතයෙන් සමන්‍විතයහ, වාක්සුචරිතයෙන් සමන්‍විතයහ, මනඃසුචරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්තහ, සම්දිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ. ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ ගත්තා වූද, හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද, සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්‍මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්‍වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්‍ණ දුර්වර්‍ණ, සුගත, දුර්‍ගත, සත්ත්‍වයන් දකී. කර්‍මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්‍වයන් දකී.
81. මහරජ, යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙනවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිව්මං හන්දිය මැද හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද -
මහරජ, එපරිදි ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ කෙලෙස් නැති වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ ලබනු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මානුෂක විෂයය ඉක්මැ වූ පිරිසිදු වූ දිවැසින්, “අහෝ මේ භවත් සත්හු කායදුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද කළහ, මිසදිටුවහ, මිසදිටු වශයෙන් ගත් ව්‍රත ඇතියහ. ඒ මොහු කාබුන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ට කර්‍මයෙන් උපන් ගතිය වු, තමනට තමන් අවශග වැ වැටෙන තැන වු, නිරයට වන්හ. එහෙත්, මේ භවත් සත්ත්‍වයෝ වූ කලී කායසුචරිතයෙන් සමන්‍විතයහ, වාක්සුචරිතයෙන් සමන්‍විතයහ, මනඃසුචරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්තහ, සම්දිටු විසින් ගත් ශීලාදිය ඇත්තහ. මොහු කාබුන් මරණින් මතු, ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මෙසේ මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ ගත්තන් වූ ද, පහත් වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද, සුගතියට පැමිණියන් වූ ද, කර්‍මය වූ පරිදි ඒ ඒ භවයට ගිය සත්ත්‍වයන් දකී. මෙසේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගත, දුර්‍ගත, සත්ත්‍වයන් දකී. කර්‍මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්‍වයන් දකී.
මහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ, වඩා උතුම් වූ, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
82. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, ආස්‍රවයන්ගේ ක්‍ෂයය(විනාශය) පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි. (එසේ වූ) හෙ තෙමේ ‘මේ දුකැ’ යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මැ’යි (=දුක් නැස්මට අරමුණු වන නිවනැ’යි) යි ඇති සැටි ලෙස දනී, ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘මොහු ආස්‍රවයෝ යැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධ යැ’යි (=ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ’යි) ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ’යි ඇති සැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදේ. (ඔහු) සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. එසේ සිත මිදුණු කල්හි ‘මා සිත (ආස්‍රව කෙරෙන්) මිදුණේ යැ’යි (ප්‍රත්‍යවේක්‍ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්‍ෂීණ විය (හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි), ‘මඟ බඹසර වැස නිමැවිණි. (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළොස් වැදෑරුම්) කිස කොට නැමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්‍ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.
83. මහරජ, යම්සේ කඳු මුදුනකැ වූ පහන් වු, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු (=බොර නොවූ) දිය විලෙක් වන්නේ ද, එහි ඉවුරෙහි ඇස් ඇති මිනිසෙක් සිටියේ, එහි තුළැ හැසිරෙන්නා වූත් සිටුනා වූත් සිප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබිලිතිත්, මත්ස්‍යසමූහයාත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට “මේ දියවිල පහන් ය, වෙසෙසින් පහන් ය, නොකැලැඹුණේ ය. මෙහි මේ සිප්පිහුත්, සක්බෙල්ලෝත්, කැට කැබිලිතිත්, මත්ස්‍ය සමූහයෝත් හැසිරෙන්නෝත් සිටින්නෝත් වෙති” යි මෙසේ සිතෙක් වන්නේ ද,
මහරජ, එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ, නිකෙලෙස් වැ, උපක්ලේශ පහ වැ, මෘදු වැ, කර්‍මණ්‍ය වැ, ස්ථිත වැ, නිශ්චලතාවට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුකට කරුණැ’යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී. ‘මොහු ආස්‍රවයහ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව සමුදය යැ (ඉපැද්මට කරුණැ)’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධ යැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයට පැමිණෙන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී.
මෙසේ දන්නා, මෙසේ දක්නා, ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ, භවාස්‍රවය කෙරෙන් ද මිදේ, අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ, මිදුණු කල්හි ‘මිදුණේ යැ’යි දැනීම වේ. භවෝත්පත්තිය ක්‍ෂීණ විය, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය වැස නිමවන ලද්දේ ය, (සිවු සස්හි සිවු මඟින්) කළයුතු (සොළොස් වැදෑරුම්) කෘත්‍යය කොටැ නිමැවිණ. මේ බව පිණිස (=මේ ක්ලේශක්‍ෂයය පිණිස) කළ යුතු අන් කිසිත් නැතැ’යි හේ දනී.
මහරජ, මේ වූ කලී පළමුවෙන් දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ , වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි. “මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙන් අන්‍ය වූ, මෙයට වඩා මනෝඥ වූ හෝ මෙයට වඩා උතුම් වූ හෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙක් නැතැ”යි (වදාළ සේක).
84. මෙසේ වදාළ කල්හි මගධේශ්වර වෛදේහීපුත්‍ර අජාතශත්‍රැ රජ තෙම, “වහන්ස, ධර්‍ම දේශනාව අභිකාන්ත ය. (අතිමනෝඥ ය) වහන්ස, ධර්‍මදේශනාව අභිකාන්තය. වහන්ස, යම්සේ යැටිකුරු කොට තැබූ (මුහුණින් නැමූ) බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයක් වැසුම් හැර දක්වන්නේ හෝ වේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියෝ රූප දකිතැ’යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද, වහන්ස, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් මට නොයෙක් අයුරින් ධර්‍මය පැවැසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂු සංඝයා ද සරණ යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවි හිමි කොට සරණ ගිය උපාසකයකු කොට දන්නා සේක් වා. වහන්ස, යම් බඳු මම් සිය පිය වූ දැහැමි දැමිටු රජහු ඉසුරු කරුණින් දිවියෙන් තොර කෙළෙම් වෙම් ද, වහන්ස, ඒ අපරාධය බාලබවට ගැළපෙනසේ මූඩබවට අනුරූපසේ අදක්‍ෂ බවට නිසිසේ මා මැඩගෙන ගියේ ය. වහන්ස, මත්තෙහි මා මෙබඳු වරද නො කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ මගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට මෙබස් පැවැසී ය.
85. (එවිට භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක්:) “මහරජ, යම්බඳු තෝ පිය වූ දැහැමි දැමිටු රජහු දිවියෙන් තොර කෙළෙහි වෙයි ද, ඒකාන්තයෙන් ඒ වරද බාලබවට, අනුරිවින් මූඩබවට අනුරිවින් අකුසලට අනුරිවින් තා ඉක්මැ ගියේ යැ. (මැඩ ගෙන පැවැත්තේ ය.) මහරජ, යම් හෙයකින් යුෂ්මත් තෙමේ වරද වරද වශයෙන් දැක ධර්‍මය වූ පරිදි පිළියම් කෙරෙහි නම්, යුෂ්මත්හුගේ ඒ වරද අපි පිළිගනුම්හ (=ඉවසමු). මහරජ, යමෙක් වරද වරද විසින් දැක දහම් වූ පරිදි පිළියම් කරන්නේ නම්, මත්තෙහි ඒ වැන්නක් නොකරනුවට සංවරයට පැමිණෙන්නේ නම් (=ආයතිසංවරයෙහි පිහිටන්නේ නම්) මෙය ආර්‍ය්‍යවිනයයෙහි (බුදු සස්නෙහි) වෘද්ධිය (=වැඩීම) නම් වේ” යැ යි වදාළ සේක.
86. මෙසේ වදාළ කල්හි වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තමෝ බොහෝ කටයුතු ඇත්තමෝ වම්හ” යි කී ය.
“මහරජ, යුෂ්මත් තෙමේ යම් ගමනකට කල් දනිහි ද එයට යුෂ්මත් ම කල් දැන ගන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.