Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 3801-3900 න් 5108

එ රජහු විසින් අරී සක්විති වත් පුළුවුස්නා ලද ඔහු ඔහුට එය පැවැසූහ. හෙ තෙමෙ ඔවුන් කී බස් අසා දැහැමි රකවළ යෙදී ය. වැලි දිළින්දනට ධනය නො දුන්නේය. දිළින්දනට ධනය නො දෙනු ලබන කල්හි දිළිඳු බව විපුලත්‍වයට පැමිණියේ ය. දිළිඳු බව මහත් වැ ගිය කල්හි එක්තරා මිනිසෙක් අනුන් සතු නොදුන් දැයක් සොර සිතින් ගත්තේ ය. මිනිස්සු ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන මුදුනැ අබිසෙස් ලත් ඒ කැත් රජහට ‘දේවයිනි, මෙ පුරිස් තෙම මෙර මා සතු නො දුන් දැයක් සොර සිතින් ගත්තේ යැ’ යි දැක්වූ හ. මහණෙනි, මෙසේ ඔවුන් කී කලැ, මූර්‍ධාභිෂික්ත ඒ කැත් රජ ‘එම්බා පුරුෂය, සැබෑ ද? තෝ මෙරමා සතු දැයක් සොර සිතින් ගත්තෙහි දැ?’ යි රජ පුළුවුත. ‘සැබෑව, දේවයිනි’ යි හේ කිව. ‘කවර හෙයිනැ?’ යි රජ පුළුවුත. ‘දේවයිනි, දිවි රකිනු නො හැක්කෙමි’ යි හේ කිව.
9. මහණෙනි, එක ලැ ඒ මූර්‍ධාභිෂික්ත කැත් රජ ‘එම්බා පුරුෂය, තෝ මේ ධනයෙන් තෙමේ ද ජීවත්වව මා පියන් ද පෝෂිත කරව, අඹු දරුවන් ද පෝෂිත කරව, කර්‍මාන්ත ද යොදව, මහණුන් කෙරෙහි බමුණන් කෙරෙහි සගසුවට හිත වූ, සැප විපාක දෙන, සුගතිය පිණිස පවත්නා, මතු මතු බිම්හි පල දෙන දක්‍ෂිණාව පිහිටුවව’ යි කියා, ඒ පුරුෂයාට ධනය දුන්නේ ය. මහණෙනි, ‘එසේ ය, දේවයිනි’ යි කියා ම ඒ පුරුෂ තෙම ඒ මූර්‍ධාභිෂික්ත කැත් රජුහු බස මුදුනින් පිළිග්තේ ය. මහණෙනි, අන් එක්තරා පුරුෂයෙක් ද මෙරමා සතු නොදුන් දෑ සොර සිතින් ගත්තේ ය. මිනිස්සු ඔහු අල්ලා ගත්හ. අල්ලාගෙන මූර්‍ධාභිෂික්ත කැත් රජහට ‘දේවයිනි, මේ පුරිස් මෙරමා සතු නොදුන් දෑ සොර සිතින් ගතැ’ යි දැක්වූහ. මෙසේ කී කලැ එ රජ ‘එම්බා පුරිස, තෝ මෙරමා සතු දෑ සොර සිතින් ගතුයෙහි සැබෑ දැ?’ යි විචාළේ ය. ‘සැබෑව දේවයිනි’ යි හේ කිව. ‘කවර හෙයිනැ?’ යි රජ විචාළේ ය. ‘දේවයිනි, දිවි පවත්වනු නො හැක්කෙමි’ යි හේ කිව. මහණෙනි, එ කලැ එ රජ ‘එම්බා පුරිස, මේ ධනයෙන් තෝ තෙම්ත් යැපෙව, මා පියන් ද පෝෂිත කරව, අඹු දරුවන් ද පෝෂිත කරව, කර්‍මාන්ත ද යොදව, මහණ බමුණන් කෙරෙහි මතු මත්තෙහි පල දෙන, සුගතියට හිත වූ, සඟ සුව පිණිස පවත්නා දක්‍ෂිණාව පිහිටුවව, (දන් දෙව)’ යි ඒ මිනිසාට ධනය දුන්න ය. ‘එසේ ය, දේවයිනි’ යි කියා ම හේ පුරිස් තෙම ඒ රජු බස මුදුනෙන් පිළිගත.
‘භවත්නි, යම් කෙනෙක් මෙරමා සතු ධනය සොරා ගනිත් ද, ඔවුනට රජ තෙම ධනය දෙන්නේ යැ’ යි මිනිස්සු ඇසූහ. ඇසීමෙන්, ඔවුනට අපිත් මෙරමා සතු දෑ සොර ගනුමෝ නම් යෙහෙකැ’ යි මේ සිත විය.
මහණෙනි, එ කල්හි එක්තරා පුරුෂයෙක් මෙරමා සතු දැයක් සොරා ගත්තේ ය. මිනිස්සු ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන ‘දේවයිනි, මේ පුරිස් තෙම මෙරමා සතු දෑ සොර සිතින් ගත්තේ යැ’යි රජුහට දැක්වී ය.
‘සැබෑ ද? තෝ මෙරමා සතු දැය සොරා ගත්තෙහි දැ?’ යි රජ පුළුවුත. ‘ එසේ යැ දේවයිනි’ යි හේ කී ය. ‘කවර හෙයින් දැ?’ යි රජ පුළුවුත. ‘දේවයිනි, දිවි පැවැත්විය නො හැක්කෙමි. එ හෙයිනැ’යි හේ කිව. එ විට ‘මෙරමා සතු දැය සොරා ගන්නා ගන්නා හැම එකකුට ම මම් ධනය දෙන්නෙම් වීම් නම් මෙසේ මේ නොදුන් දෑ සොරා ගැන්ම වැඩෙන්නේ ය. මේ මිනිසා යලි අයිනාදන් නො කළ හැකි වන සේ කළෙම් නම්, මුලින් ම සිඳැලූයෙම් නම්, මොහුගේ හිස සිඳලූයෙම් නම් යෙහෙකැ’යි එ රජහට මේ සිත විය.
10. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රාජ තෙම ‘සගයෙනි, එසේ වී නම්, තෙපි මේ මිනිස් දැඩි රැහැනින් දෙ අත් පිටට කොට තරයේ බැඳ, කරයෙන් හිස මුඩු කොට, රළු හඬ ඇති පණා බෙර හඬින් යුක්ත කොට වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට ගෙන ගොස්, දකුණු දොරින් නික්මවා, නුවරට දකුණු දික්හි දී යලි වරද නො කළ හැකි සේ කරවු. මුලින් ම සිඳීම කරවු, මොහු හිස සිඳිවු’ යැයි ඇණැවී ය. මහණෙනි, ඒ පුරුෂයෝ ‘එසේ ය, දේවයිනි’ යි කියා ම එ රජු බස මුදුනින් පිළිගෙන, ඒ මිනිසා දැඩි රැහැනින් දොහොත් පිටට කොට තරයේ බැඳ කරයෙන් හිස මුඩු කොට, රළු හඬ ඇති පණාබෙරින් යුක්ත කොට, වීථියෙන් වීථියට, මංහන්දියෙන් මංහන්දියට පමුණුවා, දකුණු දොරින් නික්මවා, නුවරට දකුණු දිගැදී යළි වරදක් නො කළ හැකියකු කළහ, ඔහු මුලින් සිඳැලූහ, ඔහු හිස සිඳැලූහ. මහණෙනි, ‘යම් කෙනෙක් මෙරමා සතු නොදුන් දෑ ගනිත් නම්, රජහු ඔවුන් යලි එ බඳු වරදක් නො කළ හැකි වන සේ කරති යි, ඔවුන් මුල් සිඳුමෙන් සිඳිති යි, ඔවුන් හිස සිඳලති’ යි මිනිස්සු ඇසූහ. ඇසීමෙන් ඔවුනට අපිත් තියුණු ආයුධ කරවන්නමෝ නම්, තියුණු ආයුධ කරවා, යම් කෙනකුන් සතු නොදුන් දෑ, ගනුමෝ නම්, ඔවුන් දිවි තොර කරන්නමෝ නම්, මුලින් සිඳලන්නමෝ නම්, ඔවුන් හිස් සිඳ ලන්නමෝ නම් මැනැව’ යි සිත විය. ඔහු තියුණු අවි කැරැවූහ. තියුණු අවි කරවා, ගම් වොලෝ ගන්නට ද පටන් ගත්හ, නියම්ගම් වොලෝ ගන්නට ද පටන් ගත්හ. නුවරවල් වොලෝ ගන්නට ද පටන්ගත්හ. මං පැහැරීම කරන්නට ද පටන්ගත්හ. ඔහු යම් කෙනෙකුන් සතු දෑ සොරා ගනිත් ද, ඔවුන් දිවි තොර කෙරෙත්, මුලින් සිඳීම කෙරෙත්, ඔවුන් හිස් සිඳිත්. මහණෙනි, මෙසේ දිළින්දනට ධනය දෙනු නො ලබන කල්හි දිළිඳු බව වැඩීමට ගියේ ය. දිළිඳු බව වැඩීමට ගිය කල්හි නොදුන් දෑ සොරා ගැන්ම වැඩීමට ගියේ ය. නොදුන් දෑ සොරා ගැන්ම වැඩීමට ගිය කල අවි දැරීම වැඩීමට ගියේ ය. අවි දැරීම වැඩීමට ගිය කල්හි ප්‍රාණඝාතය වැඩීමට ගියේ ය. ප්‍රාණඝාතය වැඩීමට ගිය කල්හි ඒ සත්‍වයන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ, අසූදහසක් හවුරුදු ආයුෂ ඇති, ආයුෂයෙන් ද පිරිහෙන, වර්‍ණයෙන් ද පිරිහෙන මිනිසුන්ගේ දරුවෝ හවුරුදු සතළිස් දහසක් ආයුෂ ඇත්තෝ වූහ.
11. මහණෙනි, සතළිස් දහසක් අවුරුදු ආයු ඇති මිනිසුන් අතුරෙහි එක්තරා පුරුෂයෙක් අනුන් සතු නොදුන් දැයක් සොරා ගත්තේ ය. මිනිස්සු ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන මූර්‍ධාභිෂික්ත කැත් රජහට ‘දේවයිනි, මේ පුරිස් තෙම මෙරමා සතු දෑ සොරා ගත්තේ’ යැයි දැක්වූහ. මහණෙනි, ඔවුන් එසේ කී කල්හි එ රජ ‘එම්බා පුරිස, තෝ මෙරමා සතු දෑ සොරා ගත්තෙහි ද? ඒ සැබෑ දැ?’ යි පුළුවුත. ‘දේවයිනි, නැතැ’ යි (සොරා නො ගතිමියි) හේ දැන බොරු කීයේ ය. මහණෙනි, මෙසේ දිළින්දනට ධනය නොදෙනු ලබන කලැ අයිනාදන් වැඩීමට ගියේ ය. අයිනාදන වැඩීමට ගිය කලැ අවි දැරීම වැඩීමට ගියේ ය. අවි දැරීම වැඩීමට ගිය කලැ ප්‍රාණවධය වැඩීමට ගියේ ය. ප්‍රාණවධය වැඩීමට ගිය කලැ බොරුකීම වැඩීමට ගියේ ය. බොරුකීම වැඩීමට ගිය කලැ ඒ සත්‍වයන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන, වර්‍ණයෙන් ද පිරිහෙන සතලිස්දහසක් හවුරුදු පරමායු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ විසිදහස් හවුරුදු ආයු ඇත්තෝ වූහ. මහණෙනි, විසිදහස් හවුරුදු ආයු ඇති ඒ මිනිසුන් අතුරෙහි එක්තරා මිනිසෙක් අනුන් සතු දැයක් සොරා ගත්තේ ය. එක්තරා පුරුෂයෙක් රජුහට ‘දේවයිනි, මෙ නම් පුරුෂයා මෙරමා සතු දෑ සොරා ගත්තේ යැ’ යි ඔහු ඇරැබැ කේලාම් කී ය. මහණෙනි, මෙසේ දිළින්දනට ධනය නො දෙනු ලබන කල්හි දිළිඳු බව වැඩීමට ගියේ ය. දිළිඳු බව වැඩීමට ගිය කලැ අයිනාදන් වැඩීමට ගියේ ය. අයිනාදන් වැඩීමට ගිය කලැ අවි දැරීම වැඩීමට ගියේ ය. අවි දැරීම වැඩීමට ගිය කලැ ප්‍රාණවධය වැඩීමට ගියේ ය. ප්‍රාණවධය වැඩීමට ගිය කලැ මුසාවාදය වැඩීමට ගියේ ය. මුසාවාදය වැඩීමට ගිය කලැ කේලාම් කීම වැඩීමට ගියේ ය. කේලාම් කීම වැඩීමට ගිය කලැ ඒ සතුන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන වර්‍ණයෙන් ද පිරිහෙන හවුරුදු විසිදහසක් ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ අවුරුදු දසදහසකට ආයු ඇත්තෝ වූහ.
12. මහණෙනි, අවුරුදු දස දහසක් ආයු ඇති මිනිසුන් අතුරෙහි ඇතැම් සත්හු වර්‍ණවත් වෙත්, ඇතැම් කෙනෙක් දුර්වර්‍ණ වෙත්, ඔවුන් අතුරෙන් යම් සත්‍ව කෙනෙක් දුර්වර්‍ණ ද, ඔහු වර්‍ණවත් සත්‍වයන් දෙස සරාග සිතින් බලන්නාහු, ඒ මෙරමා අඹුවන් කෙරෙහි වරදවා හැසිරෙන බවට පැමිණියහ. මහණෙනි, මෙසේ දිළින්දනට ධනය නො දෙනු ලබන කල්හි දිළිඳු බව වැඩීමට පැමිණියේ ය. දිළිඳු බව වැඩීමට පැමිණි කල්හි … කාමයන්හි වරදවා හැසිරීම වැඩීමට ගියේ ය. කාමයන්හි වරදවා හැසිරීම වැඩීමට ගිය කල්හි ඒ සත්‍වයන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන, වර්‍ණයෙන් ද පිරිහෙන හවුරුදු දස දහසක් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ හවුරුදු පන්දහසක් ආයු ඇත්තෝ වූහ.
13. මහණෙනි, පන්දහසක් හවුරුදු ආයු ඇති මිනිසුන් අතුරෙහි පරුෂ වචනය ද සම්ඵප්‍රලාප ද යන දෙ අකුසල්හු වැඩීමට ගියහ. ඒ දෙ අකුසල් වැඩීමට කිය කලැ ඒ සත්‍වයන්ගේ ආයු ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන වර්‍ණයෙන් ද පිරිහෙන, හවුරුදු පන්දහසක් ආයු ඇති මිනිසුන්ගේ ඇතැම් දරුවෝ හවුරුදු දෙදහස් පන්සියක් ද ඇතැම් දරුවෝ හවුරුදු දෙදහසක් ද ආයු ඇත්තෝ වූහ. මහණෙනි, හවුරුදු දෙදහස් පන්සියක් ආයු ඇති මිනිසුන් අතුරෙහි අභිධ්‍යාවත් ව්‍යාපාදයත් යන දෙ අකුසල් දහම්හු වැඩීමට පැමිණියහ. අභිධ්‍යා ව්‍යාපාදයන් වැඩීමට ගිය කල්හි ඒ සත්‍වයන්ගේ ආයු ද පිරිහිණ, පැහැය ද පිරිහිණ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද පිරිහෙන ඒ වර්‍ෂ දෙදහස් පන්සියක් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ වර්‍ෂ දහසක් ආයු ඇත්තෝ වූහ. මහණෙනි, වර්‍ෂ දහසක් ආයු ඇති මිනිසුන් අතුරෙහි මිථ්‍යා දෘෂ්ටිය වැඩීමට ගියේ ය. මිථ්‍යා දෘෂ්ටිය වැඩීමට ගිය කලැ ඒ සතුන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන, වර්‍ණයෙන් ද පිරිහෙන, වර්‍ෂ දහසක් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ හවුරුදු පන්සියක් ආයු ඇත්තෝ වූහ. මහණෙනි, හවුරුදු පන්සියක් ආයු ඇති මිනිසුන් අතුරෙහි අධර්‍ම රාගය ද විෂම ලෝභය ද මිථ්‍යාධර්‍මය ද යන තුන් අකුසල ධර්‍මයෝ වැඩීමට ගියහ. ඒ තුන් අකුශල ධර්‍මයන් වැඩීමට ගිය කල්හි, ඒ සත්‍වයන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන, වර්‍ණයෙන් ද පිරිහෙන පන්සියක් හවුරුදු ආයු ඇති ඒ මිනිසුන්ගේ ඇතැම් දරුවෝ දෙසිය පනසක් හවුරුදු ආයු ඇත්තෝ වූහ. ඇතැම් දරුවෝ දෙසියයක් හවුරුදු ආයු ඇත්තෝ වූහ. මහණෙනි, හවුරුදු දෙසිය පනසක් ආයු ඇති මිනිසුන් කෙරෙහි මවට සත්කාර නො කරන බව, පියාට සත්කාර නො කරන බව, මහණුනට ගරු නො කරන බව, බමුණනට ගරු නො කරන බව, කුලෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් නැති බව යන මේ ලාමක දහම්හු වැඩීමට පැමිණියහ.
14. මහණෙනි, මෙසේ දිළින්දනට ධනය නොදෙනු ලබන කල්හි, දිළිඳු බව වැඩීමට ගියේ ය. දිළිඳු බව වැඩීමට ගිය කල්හි අදත්තාදානය වැඩීමට ගියේ ය. අදත්තාදානය වැඩීමට ගිය කල්හි ආයුධ වැඩීමට ගියේ ය. ආයුධ වැඩීමට ගිය කල්හි ප්‍රාණඝාතය වැඩීමට ගියේය. ප්‍රාණඝාතය වැඩීමට ගිය කල්හි මුසාවාදය වැඩීමට ගියේ ය. මුසාවාදය වැඩීමට ගිය කල්හි පිසුණාවාචාව (කේලාම් කීම) වැඩීමට ගියේ ය. පිසුණාවාචාව වැඩීමට ගිය කල්හි කාමමිථ්‍යාචාරය වැඩීමට ගියේ ය. කාමමිථ්‍යාචාරය වැඩීමට ගිය කල්හි පරුෂ වචනයත් සම්ඵප්‍රලාපයත් යන දෙ අකුසල්හු වැඩීමට ගියහ. ඒ දෙඅකුසල් වැඩීමට ගිය කල්හි, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් වැඩීමට ගියහ. අභිධ්‍යාව්‍යාපාදයන් වැඩීමට ගිය කල්හි මිථ්‍යාදෘෂ්ටිය වැඩීමට ගියේ ය.
මිථ්‍යාදෘෂ්ටිය වැඩීමට ගිය කල්හි අධර්‍මරාග, විෂමලෝභ, මිථ්‍යාධර්‍ම යන තුන් ලාමක ධර්‍මයෝ වැඩීමට පැමිණියහ. ඒ තුන් දහමුන් වැඩීමට ගිය කල්හි, මවට සත්කාර නොකරන බව, පියාට සත්කාර නොකරන බව, මහණුනට ගරු නො කිරීම, බමුණනට ගරු නොකිරීම, කුලෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් නැති බව යන මේ පාපධර්‍මයෝ වැඩීමට ගියහ. මේ පාපධර්‍මයන් වැඩීමට ගිය කල්හි, ඒ සත්‍වයන්ගේ ආයුෂ ද පිරිහිණ, වර්‍ණය ද පිරිහිණ. ආයුෂයෙන් ද පිරිහෙන, වර්‍ණයෙන් ද පිරිහෙන හවුරුදු දෙසියපනසක් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ හවුරුදු සියයක් ආයු ඇත්තෝ වූහ.
__missing translation__
15. මහණෙනි, මේ මිනිසුන්ගේ දරුවෝ යම් කලෙක දස හවුරුදු පරමායු ඇත්තෝ වෙත් ද, එසේ වූ කාලයෙක් වන්නේ ය. මහණෙනි, දසවස් ආයු ඇති මිනිසුන් අතුරෙහි, පස් හැවිරිදි කුමරියෝ පතිකුලයට යෑමට සුදුසු වන්නාහ. මහණෙනි. දශවර්‍ෂායුෂ්ක මිනිසුන් අතුරෙහි ගිතෙල් වෙඬරු තලතෙල් මී සකුරු ලුණු යන මේ රසයෝ අතුරුදහන් වන්නාහ. මහණෙනි, දශවර්‍ෂායුෂ්ක මිනිසුන් අතුරෙහි කුද්‍රෑසක ධාන්‍යය (හමු) බොජුන් අතුරෙහි අග්‍ර වන්නේ ය. මහණෙනි, දැන් මස සහිත හැල් සාල් බත මිනිසුන්ගේ පිළිගැන්ම පරිදි බොජුන් අතුරෙහි අග්‍ර වේ ද, එසේ ම දසවස් ආයු ඇති මිනිසුන් කෙරෙහි කුද්‍රෑසක ධාන්‍යය (හමු) බොජුන් අතුරෙන් අග්‍ර වන්නේ ය. මහණෙනි, දස වස් ආයු ඇති මිනිසුන් අතුරෙන් දශකුශල කර්‍මපථයෝ හැම ලෙසින් ම අතුරු දහන් වන්නාහ. දශ අකුශල කර්‍මපථ ඉතා ම දීප්ත වන්නාහ. මහණෙනි, දශවර්‍ෂ යුෂ්ක මිනිසුන් කෙරෙහි කුශල යැ යන නම පවා නො වන්නේ ය. කුසල් කරන්නෙක් කොයින් වේ ද? මහණෙනි, දශවර්‍ෂායුෂ්ක මිනිසුන් අතුරෙහි යම් කෙනෙක් මවට ගරු නො කරනුවෝ, පියාට ගරු නො කරනුවෝ, මහණුනට ගරු නො කරනුවෝ, බමුණනට ගරු නො කරනුවෝ, කුලෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් නැත්තෝ වෙත් ද, ඔහු පූජ්‍ය ද ප්‍රශංසාර්‍හ ද වන්නාහ. මහණෙනි, මෙ කලැ මව කෙරෙහි මොනොවට පිළිපදනාහු, පියා කෙරෙහි මොනොවට පිළිපදනාහු, මහණුන් කෙරෙහි මොනොවට පිළිපදනාහු, බමුණන් කෙරෙහි මොනොවට පිළිපදනාහු, කුලයෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් ඇතියාහු යම්සේ පූජ්‍යයත් ප්‍රශංසාර්‍හත් වෙත් ද, මහණෙනි, එ සේ ම දශවර්‍ෂායුෂ්ක මිනිසුන් අතුරෙහි යම් කෙනෙක් මව කෙරෙහි මොනොවට නො පිළිපදනාහු ද, පියා කෙරෙහි මොනොවට නො පිළිපදනාහු ද, මහණුන් කෙරෙහි මොනොවට නො පිළිපදානාහු ද, බමුණන් කෙරෙහි මොනොවට නො පිළිපදනාහු ද, කුලයෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් නැතියාහු ද, ඔහු පුජ්‍ය ද ප්‍රශංසාර්‍හ ද වන්නාහ. මහණෙනි, දශවර්‍ෂායුෂ්ක මිනිසුන් කෙරෙහි මෑණියෝ යැ යි හෝ සුළු මෑණියෝ යි නැන්දැණියෝ යි හෝ ඇදුරු බිරින්දෑ යි හෝ සුළු පිය දෙටුපිය ආදීන්ගේ බිරියෝ යි කියා හෝ (හැඟීමෙක්) නො වන්නේ ය. එළුවෝ බැටෙළුවෝ කුකුළෝ හූරෝ බල්ලෝ කැණහිල්ලු යම්සේ ද, එසේ ම ලෝවැසි තෙමේ (කුලසීමාව බිඳ) මිශ්‍රභාවයට යන්නේ ය. (කුල සිරිත් නොතකා ඔවුන් පාවාගන්නාහ.)
16. මහණෙනි, දශවර්‍ෂායුෂ්ක මිනිසුන් අතුරෙහි, ඒ සත්‍වයන්ගේ උනුන් කෙරෙහි දැඩි වෛරයෙක්, දැඩි ව්‍යාපාදයෙක්. දැඩි මනඃප්‍රද්වේෂයෙක් දැඩි වධක චිත්තයෙක් එළැඹ සිටියේ වන්නේ ය. පුතු කෙරෙහි මවගේ ද, මව කෙරෙහි පුතුගේ ද, පුතු කෙරෙහි පියාගේ ද, පියා කෙරෙහි පුතුගේ ද, බෑයා කෙරෙහි බෑයාගේ ද, බිහිනිය කෙරෙහි බෑයාගේ ද, බෑයා කෙරෙහි බිහිනියගේ ද, දැඩි ආඝාතයෙක්, දැඩි ව්‍යාපාදයෙක්, දැඩි චිත්ත ප්‍රද්වේෂයෙක්, දැඩි වධක චිත්තයෙක් එළැඹ සිටියේ වන්නේ ය. මහණෙනි, යම්සේ මුවවැද්දකුට මුවකු දැක්මෙන් දැඩි ආඝාතයෙක්, දැඩි ද්වේෂයෙක්, දැඩි චිත්ත ප්‍රද්වේෂයෙක්, දැඩි වධක චිත්තයෙක් එළැඹ සිතුනේ වේ ද, මහණෙනි, එසේ ම මිනිසුන් දශවර්‍ෂායුෂ්ක කල්හි ඒ සත්‍වයන්ගේ උනුන් කෙරෙහි දැඩි ආඝාතයෙක්, දැඩි ව්‍යාපාදයෙක්, දැඩි චිත්ත ප්‍රද්වේෂයෙක්, දැඩි වධක චිත්තයෙක් එළැඹ සිටියේ වන්නේ ය. මහණෙනි, මිනිසුන් දශවර්‍ෂායුෂ්ක කල්හි සත් දවසක් ශස්ත්‍රාන්තඃකල්පය වන්නේ ය. ඔහු ඔවුනොවුන් කෙරෙහි මෘගසංඥාව (මේ මුවෙකැ යි හැඟීම) ලබන්නාහ. ඔවුන්ගේ අත්හි තියුණු අවි පහළ වන්නේ ය. ඔහු තියුණු අවියෙන් ‘මේ මුවෙක, මේ මුවෙකැ’ යි ඔවුනොවුන් දිවියෙන් තොර කරන්නාහ.
__missing translation__
17. මහණෙනි, එ කල්හි ඒ සතුන් අතුරෙන් ඇතැම් කෙනෙකුට ‘අපි කිසිවකුදු දිවියෙන් තොර නො කරමෝ වා, කිසිවෙක් අප ද දිවියෙන් තොර නො කෙරේවා අපි තණහඬුවකට හෝ වනලැහැබකට හෝ රුක්බැද්දකට හෝ අන්තර්ද්විපාදි නදීන්ගේ දුර්‍ගමස්ථානයකට හෝ කඳුවලින් විෂම වූ තැනකට හෝ වැද, වෙනෙහි මුල් පල ආහාර කොටැති වැ යැපෙන්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු තණහඬුවකට හෝ වනලැහැබකට හෝ රුක්බද්දකට හෝ නදීවිදුර්‍ගයකට හෝ පර්‍වත විෂමයකට හෝ පිවිස සත් දවසක් වනමූලඵල ආහාර කොටැති ව යැපෙන්නාහ. ඔහු එහි සතිය ඇවෑමෙන් තණහඬුවෙන් වනලැහැබෙන් රුක්බැද්දෙන් නදීවිදුර්‍ගයෙන් පර්‍වතවිෂමයෙන් නික්ම, උනුන් වැලැඳගෙන, භවත් සත්‍වය, ‘පිනෙකි! තව ම ජීවත් වෙහි! වූ සේ යහපති! තව ම ජීවත් වෙහි’ යැ යි උනුන් හා සතුටු වන්නාහ, උනුන් අස්වසන්නාහ. මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වනාහි අකුසල් දහම් සමාදන් කොට ගත් හෙයින් මෙබඳු වූ මහත් ඥාතිවිනාශයකට පත්තම්හ. අපි කුසල් කරමෝ නම් යෙහෙක.
කවර කුසලක් කරමෝ ද? අපි ප්‍රාණඝාතයෙන් වළකින්නමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවතින්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. කුසල් දහම් සමාදන් කොට ගත් හෙයින් ඔහු ආයුෂයෙන් ද වැඩෙන්නාහ, පැහැයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වැඩෙන, පැහැයෙන් ද වැඩෙන දශවර්‍ෂායුෂ්ක වූ ඒ මිනිසුන්ගේ දරුවෝ විසි හවුරුද්දක් ආයු ඇත්තෝ වන්නාහ. එ කල්හි, මහණෙනි, ඒ සත්නට, ‘අපි, කුසල් දහම් සමාදන් කොට ගත් හෙයින් ආයුෂයෙන් ද වැඩෙමු, වර්‍ණයෙන් ද වැඩෙමු, අපි තවත් බොහෝ සෙයින් කුසල් කරන්නමෝ නම් යෙහෙක. කවර කුසලක් කරන්නමෝ ද? අපි අදත්තාදානයෙන් වළකන්නමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළක්නාහ, අයිනාදනින් වළක්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුසල් දහම් සමාදන් කොට ගැනුම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙන්නාහ, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වැඩෙන, වර්‍ණයෙන් ද වැඩෙන, විසි හවුරුදු ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ හවුරුදු සතලිසක් ආයු ඇතියෝ වන්නාහ.
මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූ කලි කුසල් දහම් සමාදන් කොට ගැනීමේ හේතුයෙන් ආයුෂයෙන් ද වැඩෙමු, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරන්නමෝ නම් යෙහෙක. කවර කුසලක් කරන්නමෝ ද? අපි කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්කමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පැවැත්තමෝ නම් යෙහෙකැ’ යි මේ සිත වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ, අයිනාදනින් වළකින්නාහ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වළකින්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුසල් දහම් සමාදන් කොට ගැනීම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙන්නාහ, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වැඩෙන, වර්‍ණයෙන් ද වැඩෙන, සතළිස් වසක් ආයු කොටැති ඒ මිනිසුන්ගේ දරුවෝ අසූ හවුරුදු ආයු ඇත්තෝ වන්නාහ.
18. මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වනාහි කුසල් දහම් සමාදන් කොට ගැනුම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙමු, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරන්නමෝ ද? අපි මුසවා බිණීමෙන් වැළැක්කමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පැවැත්තමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළක්නාහ, අයිනාදනින් වළක්නාහ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වළක්නාහ, මුසවා බිණීමෙන් වළක්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවත්නාහ. ඔහු කුසල් දහම් සමාදන් කොට ගැනුම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙන්නාහ, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ.
ආයුෂයෙන් ද වැඩෙන, වර්‍ණයෙන් ද වැඩෙන, අසූවසකට ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ එක්සිය සැට හවුරුදු ආයු ඇත්තෝ වන්නාහ. මහණෙනි, එ කල්හි ඒ සත්නට ‘අපි වනාහි කුසල් දහම් සමාදන් කොට ගැනුම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙමු, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි පෙහෙසුන් තෙප්ලෙන් වළක්නමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළකින්නාහ, අයිනාදනින් වළකින්නාහ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වඪකින්නාහ, මුසවායෙන් වළකින්නාහ, පෙහෙසුන් තෙප්ලෙන් වළකින්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවත්නාහ. ඔහු කුසල් දහම් සමාදන් කොට ගැනුම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙන්නාහ. වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වැඩෙන වර්‍ණයෙන් ද වැඩෙන, එක්සිය සැටවසක් ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ තෙසියවිසි හවුරුද්දකට ආයු ඇත්තෝ වන්නාහ.
මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූ කලි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි පරොස් බසින් වළක්නමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළක්නාහ, අයිනාදනින් වළකින්නාහ, කාමමිථාචාරයෙන් වළකින්නාහ, මුසාවාදයෙන් වළකින්නාහ, පෙහෙසුන් තෙප්ලෙන් වළක්නාහ, පරොස් බසින් වළකින්නාහ, මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවත්නාහ. ඔහු කුසල් දහම් සමාදන් කොට ගැනුම් හෙයින් ආයුෂයෙන් ද වැඩෙන්නාහ, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වැඩෙන, වර්‍ණයෙන් ද වැඩෙන, තෙවිසි විසි වසක් ආයු ඇති ඒ මිනිසුන්ගේ මිනිසුන්ගේ දරුවෝ හසිය සතළිස් හවුරුද්දකට ආයු ඇතියෝ වන්නාහ.
මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූ කලි කුශල ධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි සම්ප්‍රඵලාපයෙන් වළක්නමෝ නම්, මේ කුසල් දහම සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු පණිවායෙන් වළක්නාහ, අයිනාදනින්, කාමමිථාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචායෙන් වළක්නාහ. සම්ඵප්‍රලාපයෙන් වළක්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවත්නාහ. ඔහු කුශල ධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වැඩෙන, වර්‍ණයෙන් ද වැඩෙන, හසිය සතළිස් හවුරුද්දකට ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ හවුරුදු දෙදහසකට ආයු ඇතියෝ වන්නාහ.
19. මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූකලි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි අභිධ්‍යාව දුරැලන්නමෝ මේ කුසල් දහම සමාදන් කොටගෙන් පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, මෘෂාවාදයෙන්, පෛශුන්‍යයෙන්, පරුෂවචනයෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නාහ, අභිධ්‍යාව දුරැලන්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන, දෙදහසක් හවුරුද්දට ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ සාරදහස් හවුරුද්දකට ආයු ඇත්තෝ වන්නාහ.
මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූ කලි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි ව්‍යාපාදය බැහැර කරමෝ නම්, මේ කුසල් දහම (ව්‍යාපාද ප්‍රහාණය) සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචායෙන්, ඵරුසවාචයෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නාහ. අභිධ්‍යාව බැහැර කරන්නාහ. ව්‍යාපාදය බැහැර කරන්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. කුසල් දහම් සමාදාන් කොට ගැනුම් හේතුයෙන් ඔහු ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන, සාරදහසක් හවුරුද්දට ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ අවුරුදු අටදහසක් ආයු ඇත්තෝ වන්නාහ.
මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූකලි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි මිථ්‍යා දෘෂ්ටිය බැහැර කරමෝ නම්, මේ (මිථ්‍යාදෘෂ්ටි ප්‍රහාණමය) කුශලධර්‍මය සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචායෙන්, ඵරුසවාචායෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නාහ. අභිධ්‍යාව, ව්‍යාපාදය බැහැර කරන්නාහ. මිථ්‍යාදෘෂ්ටිය බැහැර කරන්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ඔහු ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන, අටදහසක් හවුරුද්දට ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ වර්‍ෂ විසිදහසකට ආයුෂ ඇත්තෝ වන්නාහ.
20. මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වූකලි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුසලක් කරමෝ ද? අපි අධර්‍ම රාගය, විෂම ලෝභය, මිථ්‍යාධර්‍මය යන මේ තුන් ලාමක ධර්‍ම දුරැලන්නමෝ නම්, මේ කුශලධර්‍මය සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචායෙන්, ඵරුෂවාචායෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නාහ. අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය දුරැ ලන්නාහ. අධර්‍ම රාගය, විෂම ලෝභය, මිථ්‍යාධර්‍මය යන තුන් පාපධර්‍ම බැහැර කරන්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන, හවුරුදු විසිදහසක් ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ හවුරුදු සතළිස් දහසකට ආයු ඇතියෝ වන්නාහ.
21. මහණෙනි, එ කල්හි ඒ සත්නට, ‘අපි වනාහි කුශලධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙමු. අපි වඩාත් කුසල් කරමෝ නම් යෙහෙක. කවර කුශලයක් කරමෝ ද? අපි මව කෙරෙහි මොනවට පිළිපදින්නමෝ, පියා කෙරෙහි මොනොවට පිළිපදින්නමෝ, මහණුනට සත්කාර කරන්නමෝ, බමුණනට සත්කාර කරන්නමෝ, කුලයෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් ඇත්තමෝ වන්නමු නම්, මේ කුශල ධර්‍ම සමාදන් කොට ගෙන පවත්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ ය. ඔහු ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණාවාචායෙන්, ඵරුසවාචායෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නාහ. අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය බැහැර ලන්නාහ. අධර්‍ම රාගය, විෂමලෝභ, මිථ්‍යාධර්‍මය යන තුන් පාපධර්‍ම බැහැර කරන්නාහ. මවුට සත්කාර කරන්නෝ, පියාට සත්කාර කරන්නෝ, මහණුනට සත්කාර කරන්නෝ, බමුණනට සත්කාර කරන්නෝ, කුලයෙහි වැඩි සිටියනට යටත් පැවැතුම් දක්වන්නෝ වන්නාහ. මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහ. ඔහු කුශල ධර්‍ම සමාදාන හේතුයෙන් ආයුෂයෙන් ද, වර්‍ණයෙන් ද වැඩෙන්නාහ. ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද වැඩෙන, හවුරුදු සතළිස් දහසකට ආයු ඇති ඒ මිනිසුන්ගේ දරුවෝ හවුරුදු අසූ දහසක් ආයු ඇතියෝ වන්නාහ. මහණෙනි, අවුරුදු අසූදහසක් ආයු ඇති මිනිසුන් අතුරෙහි පන්සියක් හවුරුදු වයස් වූ කුමරියෝ පතිකුලයට යෑමට සුදුසු වන්නාහ. මහණෙනි, අසූදහසක් හවුරුදු ආයු ඇති මිනිසුන් අතුරෙහි ආහාරතෘෂ්ණාව ද ආහාරක්ලාන්තිය ද මහලු වීම ද යන තුන් ආබාධ කෙනෙක් ම වන්නාහ.
__missing translation__
22. මහණෙනි, මිනිසුන් හවුරුදු අසූදහසක් ආයු ඇතියන් වූ කල්හි මේ දඹදිව සමෘද්ධ (ධාන්‍යාදියෙන් සම්පන්න) ද, ස්ථිත (වස්ත්‍රාදියෙන් පරිපූර්‍ණ) ද වන්නේ ය. ගම් නියම්ගම් දනවු රජදහන්හු වහළ මතුයෙන් ගමෙකින් ගමකට කුකුළකු විසින් යෑ හැකි වන් සේ ඒකාබද්ධ වැ පිහිටි දහස්ගණන් ගෙවලින් යුක්ත වන්නාහ. මහණෙනි, අසූ දහසක් හවුරුදු ආයු ඇති මිනිසුන් ඇති වන කල්හි මේ දඹදිව උනවනයක් බටවනයක් සේ, අවීචිය මෙන් මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැති සේ ගැවැසුණේ වන්නේ ය.
මහණෙනි, මිනිසුන් වස් අසූදහසක් ආයු ඇත්තන් වන කල්හි, මේ බරණැස් නුවර සමෘද්ධ වූ ද ආඪ්‍ය වූ ද බොහෝ ජනයා ඇත්තා වූ ද මිනිසුන්ගෙන් ආකීර්‍ණ වූ ද සුලභ ආහාර ඇත්තාවූ ද කේතුමති නම් රජ දහනෙක් වන්නේ ය. මහණෙනි, මිනිසුන් අසූදහසක් හවුරුදු ආයු ඇත්තවුන් වූ කල්හි මෙ දඹදිව්හි කේතුමතී රාජධානිය පාමොක් කොටැති සුවාසූ දහසක් නගරයෝ වන්නාහ. මහණෙනි, මිනිසුන් අසූදහසක් හවුරුදු ආයු ඇතියන් වූ කල්හි කේතුමති රාජධානියෙහි ධාර්මික වූ ධර්‍මරාජ වූ සිවු සයුරු හිම් කොට සතර මහාද්වීපයට අධිපති වූ, සියලු සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් යුත් ශංඛ නම් සක්විති රජෙක් පහළ වන්නේ ය. ඔහුට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වන පරිනායක රත්නයැ යි මේ සප්ත රත්න කෙනෙක් වන්නාහ. ඔහුට බාන සුලු නොවූ මූර්තිමත් වීර්‍ය්‍යය බඳු ශරීර ඇති, පර සෙන් මඩිනු සමත් වූ, දහසකට වැඩි දරු කෙනෙක් වන්නාහ. හෙ තෙම සයුරුහිම් මෙ මහ පොළොව දඬුවමින් තොර වැ, අවියෙන් තොර වැ, දැහැමෙන් සෙමෙන් ජය ගෙන අධිපති වැ වසන්නේ ය.
__missing translation__
23. මහණෙනි, මිනිසුන් හවුරුදු අසූදහසකට පරමායුෂ ඇත්තවුන් වූ කල්හි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණ සම්පන්න වූ, සුගත වූ, ලොව දන්නා, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙව්මිනිස්නට ශාස්තෘ වූ, සිවුසස් අවබෝධ කළ, සියලු භාග්‍යගුණ ඇති, මෛත්‍රෙය නම් භාග්‍යවත් තෙම ලොවැ උපදින්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්‍වප්‍රජාව ද තෙමේ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට පළ කෙරෙම් ද, එසේ ම ඒ මෛත්‍රෙය බුදුරජ ද දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්‍වප්‍රජාව ද තෙමේ ම වෙසෙසි නුවණින් දැන, පසක් කොට දන්වන්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි ආදි කල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්‍ත්‍ථ සහිත ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසම් ද, හැම ලෙසින් පිරිපුන් වූ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරම් ද, එසේ ම ඒ බුදුරජ තෙමේ ද ආදිකල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්‍ත්‍ථ සහිත ව්‍යංජන සහිත වූ දහම් දෙසන්නේ ය. හැම ලෙසින් පිරිපුන් වූ පිරිසිදු බඹසර ප්‍රකාශ කරන්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි නොයෙක් සිය ගණන් භික්‍ෂු සඞ්ඝයා පරිහරණය කෙරෙම් ද, එසේ ම ඒ බුදුරජ නොයෙක් සියදහස් ගණන් භික්‍ෂු සඞ්ඝයා පරිහරණය කරන්නේ ය.
24. මහණෙනි, එ කල්හි ශඞ්ඛ නම් ඒ සක්විති රජ තෙම, පෙරැ මහාපනාද රජහු විසින් කරවන ලද යම් ප්‍රාසාදයෙක් වේ ද, (ගංගානදියෙහි ගිලී ඇති) ඒ පහය (ගඟෙන්) මත්තට නංවා, කලක් එහි වැස, මහණ බමුණු දුගී මගී පුලනු යදි ආදීනට එය පරිත්‍යාග කොට හැර දමා කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙයින් නික්මැ භගවත් අර්‍හත් මෛත්‍රෙය සම්මාසම්බුදු රජුහු වෙතැ, පැවිදි වන්නේ ය. හෙ තෙම මෙසේ පැවිදි වූයේ ම, හුදෙකලා වූයේ, කයින් සිතින් විවික්ත වූයේ, නොපමා වූයේ, කෙලෙස් තවන වැර ඇතියේ, නිවන් කරා මෙහෙයූ සිතැත්තේ, මඳ කලෙකින් ම යමක් පිණිස කුල දරුවෝ ගිහි ගෙන් නික්ම මනා කොට ම සසුන් වදිත් නම්, ඒ නිරුත්තර වූ සසුන් බඹසරැ අවසන වූ රහත්පලය වත්මනු බෙවෙහි ම තමා ම දැන පසක් කො සපයා වසන්නේ ය.
25. මහණෙනි, (එබැවින්) ආත්මය (ලොවී ලොවුතුරා දහම්) ද්වීප කොටැත්තෝ වැ ආත්මය ශරණ කොටැත්තෝ වැ අන් ශරණයක් අපේක්‍ෂා නො කරන්නෝ වැ, ධර්‍මය ද්වීප කොටැත්තෝ වැ ධර්‍මය ශරණ කොටැත්තෝ වැ, අන් ශරණයක් නැත්තෝ වැ වසවු.
මහණෙනි, කෙසේ නම් මහණ තෙම ආත්මය ද්වීප කොටැති වැ, ආත්මය ශරණ කොටැති වැ, අන් ශරණයක් නැත්තෙක් වැ වෙසේ ද? ධර්‍මය ද්වීප කොටැති වැ, ධර්‍මය ශරණ කොටැති වැ, අන් ශරණයක් නැති වැ වෙසේ ද?
මහණෙනි මෙහි මහණ තෙම කයෙහි කය අනුව බලනුයේ, කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින් දන්නේ, එලැඹැවු සිහි ඇත්තේ, ලොවෙහි (කයෙහි) අභිධ්‍යාවත් දොම්නසත් පහ කොට වෙසෙයි. වේදනාවන්හි ... සිතෙහි … ධර්‍මයන්හි ධර්‍ම අනුව බලනුයේ කෙලෙස් තවන වැර ඇත්තේ නුවණින් දන්නේ එළැඹැවූ සිහි ඇත්තේ, ලොවෙහි (ධර්‍මයන්හි) අභිධ්‍යාවත් දොම්නසත් පහ කොට වෙසෙයි. මහණෙනි, මෙසේ ම මහණ තෙම ආත්මය ද්වීප කොටැති වැ, ආත්මය ශරණ කොටැති වැ අන් ශරණයක් නැති වැ, ධර්‍මය ද්වීප කොටැති වැ ධර්‍මය ශරණ කොටැති වැ, අන් ශරණයක් නැති වැ වෙසෙයි.
__missing translation__
26. මහණෙනි, තමන් සතු වූ පියාගෙන් තමනට උරුම වැ ආ හැසිරීමට නිසි පෙදෙසෙහි හැසිරෙවු. තෙපි පියාගෙන් උරුම වැ ආ හැසිරීමට නිසි පෙදෙසෙහි හැසිරෙන්නහු, ආයුෂයෙන් ද වැඩෙන්නහු, වර්‍ණයෙන් ද වැඩෙන්නහු, සුවයෙන් ද වැඩෙන්නහු, භෝගයෙන් ද වැඩෙන්නහු, බලයෙන් ද වැඩෙන්නහු ය. මහණෙනි, මහණහුගේ ආයුෂයට කරුණු කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙම ඡන්‍ද සමාධිය ප්‍රධාන කොටැති සංස්කාරයන්ගෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය සමාධිය … චිත්ත සමාධිය … වීමංසා සමාධිය ප්‍රධාන කොටැති සංස්කාරයන්ගෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. හේ මේ සතර ඍද්ධිපාද වැඩූ බැවින් බහුල කොට කළ බැවින් කැමැති වන්නේ කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් හෝ සිටියැ හැකි වන්නේ ය. මහණෙනි, මෙය වනාහි මහණහුගේ ආයුෂයට කරුණ වෙයි.
මහණෙනි, මහණහුගේ වර්‍ණයට කාරණ කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙම සිල්වත් වේ ද, පාමොක් හැවුරුමෙන් හැවුරුණේ, ආචාර ගෝචර දෙකින් යුක්ත වූයේ, අණුමාත්‍ර වරදෙහි ද බිය දක්නා සුලු වූයේ වෙසේ ද, සමාදන් කොට ගෙන සිකපදන්හි හික්මේ ද, මහණෙනි, මෙය මහණහුගේ වර්‍ණයට කාරණ වේ.
මහණෙනි, මහණහුගේ සුවයට කාරණ කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන් වැ ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුවය ඇති, පළමු දහන ලැබ වෙසෙයි. විතර්‍ක විචාරයන් සංහිඳීමෙන් … දෙවෙනි දහන … තෙවෙනි දහන … සිවුවන දහන ලැබ වෙසෙයි. මහණෙනි, මේ වනාහි මහණහුගේ සුවයට කාරණ වෙයි.
මහණෙනි, මහණහුගේ භෝගයට කාරණ කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙම මෛත්‍රී සහගත සිතින් එක් දෙසක් පැතිරැ ගෙන වෙසෙයි, එසේ දෙවෙනි දෙස, එසේ තෙවෙනි දෙස, එසේ සිවුවන දෙස, මෙසේ උඩ, යට, සරස, හැම තැන, සියලු ලොව මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ වෛර රහිත වූ ක්‍රෝධ රහිත වූ මෛත්‍රී සහගත සිතින් පැතිර ගෙන වෙසෙයි. මහණෙනි, මෙහි මහණ තෙම කරුණා සහගත සිතින් … මුදිතා සහගත සිතින් … උපේක්‍ෂා සහගත සිතින් එක් දෙසක් පැතිර ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙස, එසේ තෙවෙනි දෙස, එසේ සිවුවන දෙස, මෙපරිද්දෙන් උඩ, යට, සරස, හැම තැන, සියලු ලොව මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ වෛර රහිත වූ, ක්‍රෝධ රහිත වූ උපේක්‍ෂා සහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි. මහණෙනි, මෙය මහණහුගේ භෝගයට කාරණ වෙයි.
මහණෙනි, මහණහුගේ බලයට කාරණ කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙම ආස්‍රවයන්ගේ විනාශයෙන් ආස්‍රව රහිත වූ ඵල සමාධිය ද ඵල ඥානය ද මෙ අත්බව්හි ම තෙමේ ම වෙසෙසි නුවණින් දැන, පසක් කොට ලැබ වෙසෙයි. මහණෙනි, මෙය වනාහි මහණහුගේ බලයට කාරණ වේ.
මහණෙනි, මාර බලය සේ දුක ස් මැඩැලියැ යුතු වූ අන් එක ද බලයක් මම් (නුවණැසින්) නො දකිමි. (එය ද මේ රහත් පල තෙම මැඩ ලයි.) මහණෙනි, මෙසේ කුශල ධර්‍මයන්ගේ සමාදාන හේතුයෙන් මේ (ලොවුතුරා) පින ද (රහත් පලය තෙක් ම) වැඩේ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ආරාධිත සිතැති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.
තෙවෙනි චක්‍රවර්ති සිංහනාද සූත්‍රය නිමියේ යැ.
අග්ගඤ්ඤ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා මිගාරමාතුපාසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වාශිෂ්ඨ භාරද්වාජ යන හෙරණ දෙ නම භික්‍ෂුභාවය (උපසපුව) පතන්නාහු භික්‍ෂූන් කෙරෙහි පිරිවෙසෙත්, එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටිසේක්. පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණෙහි එළිමහනෙහි සක්මන් කරන සේක. වාශිෂ්ඨ හෙරණ තෙම, සවස් වේලෙහි පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළිමහනෙහි සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක භාරද්වාජ හෙරණහු බණවා, ‘ඇවැත්නි, භාරද්වාජයෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සවස් වේලේ පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළිමහනෙහි සක්මන් කරන සේක. ඇවැත්නි, භාරද්වාජයෙනි, එමු. භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙන්නමු. භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්‍ම කථාවක් අසන්නට ලබන්නමෝ නම් ඉතා යෙහෙකැ’ යි කී ය. ‘එසේ ය, ඇවැත්නි’ යි කියා ම භාරද්වාජ තෙම වාශිෂ්ඨයාට පිළිවදන් දුන. ඉක්බිති වාශිෂ්ඨ භාරද්වාජ දෙ නම භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් ඔබ වැඳ, සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වාශිෂ්ඨයා බණවා, ‘වාශිෂ්ඨයෙනි, තෙපි වූ කලි බ්‍රාහ්මණජාතික වූ බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූ බ්‍රාහ්මණ කුලය හැර ගිහිගෙන් නික්ම සසුන් වන්නෝ වහු. කිමෙක් ද වාශිෂ්ඨයෙනි, තොපට බ්‍රාහ්මණයෝ ආක්‍රෝශ නො කෙරෙත් ද? පරිභව නො කෙරෙත් දැ?’ යි අසා වදාළ සේක.
‘වහන්ස, ඒකාන්තයෙන් ම බ්‍රාහ්මණයෝ අපරිපූර්‍ණ නො වූ (අතරැ නොනැවැති) පරිපුර්‍ණවූ (නිරතුරු වූ) තමනට හුරු වූ පරිභව වචනයෙන් අපට ආක්‍රෝශ කෙරෙත්, පරිභව කෙරෙත්’ යැ යි හේ කී ය.
‘වාශිෂ්ඨයෙනි, අපරිපූර්‍ණ නොවූ පරිපූර්‍ණ ම වූ තමනට හුරු වූ පරිභව වචනයෙන් කෙසේ නම් තොපට බ්‍රාහ්මණයෝ ආක්‍රෝශ පරිභව කෙරෙත් දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“වහන්ස, ‘බ්‍රාහ්මණ වර්‍ණය ම ශ්‍රේෂ්ඨ ය, අන්‍ය වර්‍ණයෝ පහත් හ. බ්‍රාහ්මණවංශය ම ශුක්ලවර්‍ණ ය, ඉතිරි තුන් වංශයෝ ම කෘෂ්ණවර්‍ණ හ. බ්‍රාහ්මණයෝ ම ශුද්ධ වෙත්. බ්‍රාහ්මණ නොවූවෝ ශුද්ධ නොවෙත්. බ්‍රාහ්මණයෝ ම බඹහුගේ මුවින් බිහි වූ, බඹහුගෙන් උපන්, බඹහු විසින් මවන ලද, (වේදවේදාඞ්ගාදි) බඹහුගේ දෑවැද්දට උරුම කරු වූ, බඹහුගේ ඔෳරස පුත්‍රයෝ ය. ඒ තෙපි ශ්‍රේෂ්ඨ වර්‍ණය හැරැදමා, ගැහැවි වූ කලු වූ මාරපාක්‍ෂික වූ, බඹහුගේ පයින් උපන් මුඩු මහණුන් වූ හීන වර්‍ණයකට බටුවෝ වහු. ශ්‍රේෂ්ඨ වර්‍ණය හැරැලා ගැහැවි වූ කලු වූ මාරපාක්‍ෂික වූ බඹහුගේ පයින් උපන් මුඩුමහණුන් වූ හීන වර්‍ණයකට පැමිණියහු ය යන යමෙක් ඇද්ද, එය නො මැනව, එය නො සුදුසු යැ’ යි, වහන්ස, මෙසේ අපරිපූර්‍ණ නො වූ, පරිපූර්‍ණ ම වූ, තමනට හුරුවූ ගැරහුම් බසින් අපට ආක්‍රෝශ කෙරෙත්, පරිභව කෙරෙත්” යැ යි වාශිෂ්ඨ තෙම කී ය.
‘වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයෝ ඒකාන්තයෙන් ම පුරාණ කථාව (ලෝකෝත්පත්තිචර්‍ය්‍යාවංශය) සිහි නො කරන්නාහු. ‘බ්‍රාහ්මණයෝ ම ශ්‍රේෂ්ඨ වර්‍ණය ය, අන් වර්‍ණයෝ හීනයහ, බ්‍රාහ්මණයෝ ම ශුක්ල වර්‍ණය ය, අන්‍ය වර්‍ණයෝ කෘෂ්ණයහ, අබ්‍රාහ්මණයෝ නො ව බ්‍රාහ්මණයෝ ම ශුද්ධ වෙත්, බ්‍රාහ්මණයෝ ම බ්‍රාහ්මයාගේ මුඛයෙන් බිහි වූ, බ්‍රහ්මයාගෙන් උපන් බ්‍රහ්මයා විසින් මවන ලද, බ්‍රහ්මයාගේ දායාද වූ, බ්‍රහ්මයාගේ ඔෳරස පුත්‍රයෝ’ යි කියත්. වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයන්ගේ ඔසප් වූ ද, ගැබිනි වූ ද, වදන්නාවූ ද, (දරුවනට) කිරි පොවන්නාවූ ද බැමිණියෝ දක්නා ලැබෙත්. ඒ බමුණෝ යෝනියෙන් උපන්නෝ වන්නාහු බ්‍රාහ්මණවර්‍ණය ම ශ්‍රේෂ්ඨය … බ්‍රහ්මයෝ ම බ්‍රහ්මයාගේ දායාද වූ බ්‍රහ්මයාගේ ඔෳරසපුත්‍රයෝ යැ යි මෙසේ කියත්. එසේ කියන්නාහු බ්‍රහ්මයාට ම නින්‍දා කෙරෙත්, මුසවා තෙපලත්, බොහෝ අකුසල් ද රැස් කෙරෙත්.
__missing translation__
3. වාශිෂ්ඨයෙනි, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යැ යි මේ වර්‍ණ සතරෙකි. වාශිෂ්ඨයෙනි, මෙහි එක්තරා ක්‍ෂත්‍රියයෙක් ද පණිවා කරන සුලු වෙයි. නොදුන් දෑ ගන්නා සුලු වෙයි. කාමයන්හි වරදවා හැසිරෙන සුලු වෙයි. මසුවා බණන සුලු වෙයි. පෙහෙසුන් තෙප්ලන සුලු වෙයි. පරොස් බස් කියන සුලු වෙයි. සම්ඵප්‍රලාප දොඩන සුලු වෙයි. අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැත්තේ වෙයි. මිසදිටි ගත්තෙක් වෙයි. වාශිෂ්ඨයෙනි, මෙසේ අකුසල් යැයි කියන ලද, අකුසල් ම වූ, වරද සහිත යැයි කියන ලද, වරද සහිත ම වූ, නොසෙවියැ යුතු යැ යි කියන ලද, නොසෙවියැයුතු ම වූ, ආර්‍ය්‍යභාවයට නොපොහොසත් යැ යි කියන ලද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි නො පොහොසත් ම වූ. කෘෂ්ණවිපාක ඇති, කෘෂ්ණම වූ, නුවණැත්තන් විසින් ගරහන ලද, යම් පාප ධර්‍ම කෙනෙක් වෙත් ද, ඒ ඇතැම් ලාමක ධර්‍මයෝ මෙහි ක්‍ෂත්‍රියයා කෙරෙහි ද දක්නා ලැබෙත්, … බ්‍රාහ්මණයා කෙරෙහි ද දක්නා ලැබෙත්. වෛශ්‍යයා කෙරෙහි ද දක්නා ලැබෙත් … ශුද්‍රයා කෙරෙහි ද දක්නා ලැබෙත්.
වාශිෂ්ඨයෙනි, මෙහි ඇතැම් ක්‍ෂත්‍රියයෙක් ද පණිවායෙන් වැළැක්කේ වෙයි, අයිනාදනින් වැළැක්කේ වෙයි, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්කේ වෙයි, මුසවායෙන් වැළැක්කේ වෙයි, පෙහෙසුන් තෙප්ලෙන් වැළැක්කේ වෙයි, පරොස් බසින් වැළැක්කේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැක්කේ වෙයි, අභිධ්‍යා නැත්තේ වෙයි, ව්‍යාපාදසහිත සිත් නැත්තේ වෙයි, සම්දිටු ගත්තේ වෙයි. වාශිෂ්ඨයෙනි, මෙසේ කුශල යැ යි කියන ලද කුසල් ම වූ, වරද රහිත යැ යි කියන ලද, වරද රහිත ම වූ, සෙවියැ යුතු යැ යි කියන ලද, සෙවියැ යුතු ම වූ, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි පොහොසත් යැ යි කියන ලද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි පොහොසත් ම වූ ශුක්ලවිපාක ඇති, ශුක්ල ම වූ, නුවණැත්තන් විසින් පසස්නා ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඒ ඇතැම් දහම්හු මෙහි ක්‍ෂත්‍රියයා කෙරෙහි ද දක්නා ලැබෙත්.
වාශිෂ්ඨයෙනි, මෙහි බ්‍රාහ්මණයා ද … වෛශ්‍යයා ද … ශුද්‍රයා ද පණිවායෙන් වැළැක්කේ වෙයි, අයිනාදනින් වැළැක්කේ වෙයි, කාමමිථ්‍යාචාරයෙන් වැළැක්කේ වෙයි, මුසවායෙන් වැළැක්කේ වෙයි, පෙහෙසුන් තෙප්ලෙන් වැළැක්කේ වෙයි, පරොස් බසින් වැළැක්කේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැක්කේ වෙයි, අභිධ්‍යා නැත්තේ වෙයි, ව්‍යාපාද සහිත සිත් නැත්තේ වෙයි, සම්දිටු ගත්තේ වෙයි. වාශිෂ්ඨයෙනි, මෙසේ කුසල් යැ යි කියන ලද, කුසල් ම වූ, වරද රහිත යැ යි කියන ලද වරද රහිත ම වූ, සෙවියැ යුතු යැ යි කියන ලද සෙවියැ යුතු ම වූ, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි පොහොසත් යැ යි කියන ලද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි පොහොසත් ම වූ, ශුක්ලවිපාක ඇති, ශුක්ල ම වූ, නුවණැත්තන් විසින් පසස්නා ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඒ ඇතැම් දහම්හු මෙහි බ්‍රාහ්මණයා කෙරෙහි ද, … වෛශ්‍යයා කෙරෙහි ද ශුද්‍රයා කෙරෙහි ද දක්නා ලැබෙත්.
වාශිෂ්ඨයෙනි, මේ සතර වර්‍ණයන් මෙසේ නුවණැත්තන් විසින් ගරහන ලද දහම්හි ද නුවණැත්තන් විසින් පසස්නා ලද දහම්හි ද, කෘෂ්ණ ධර්‍මයන්හි ද ශුක්ලධර්‍මයන් හි දැ යි මෙසේ කුශලාකුශල යන විවිධ ධර්‍මයන්ගෙන් ම මිශ්‍ර ව පවත්නා කල්හි, බ්‍රාහ්මණවර්‍ණය ම ශ්‍රේෂ්ඨ යැ යි ඉතර වර්‍ණයෝ හීනහ යි, බ්‍රාහ්මණවර්‍ණය ම සුදු යැ යි, සෙසු වර්‍ණයෝ කලු හ යි, බ්‍රාහ්මණයෝ ම ශුද්ධ වෙත් යැ යි, බ්‍රාහ්මණ නොවුවෝ ශුද්ධ නො වෙත් යැ යි, බ්‍රාහ්මණයෝ ම බ්‍රහ්මයාගෙන් උපන්, බ්‍රහ්මයා විසින් මවන ලද, බ්‍රහ්මදායදා වූ, බ්‍රහ්මයාගේ මුවින් උපන් ඔෳරස පුත්‍රයෝ හ යි යම් වචනයක් කියත් ද, ඔවුන්ගේ ඒ වචනය නුවණැත්තෝ නො අනුදනිත්. ඒ කවර හෙයින? යත්: වාශිෂ්ඨයෙනි, මේ සතර වර්‍ණ අතුරෙන් කවරකට අයත් වුව ද යම් මහණෙක් රහත් ද, ක්‍ෂීණාස්‍රව ද, වුසූ මඟ බඹසර ඇත්තේ ද, කොට නිමි කටයුතු ඇත්තේ ද, පැමිණි ස්වාර්‍ත්‍ථය (රහත් බව) ඇත්තේ ද, හැම ලෙසින් නැසූ භවබන්‍ධන ඇත්තේ ද, මොනොව ට දැන මිදුණේ ද, හෙ තෙමේ ඒ හැම දෙනා අතුරෙහි අග්‍ර යැ යි කියනු ලැබේ. ඒ ද අධර්‍මයෙන් නොව ධර්‍මයෙන් ම ය. වාශිෂ්ඨයෙනි, ධර්‍මය ම සත්මුළුයෙහි මෙ ලොව්හි ද පරලොව්හි ද ශ්‍රේෂ්ඨ ය. එහෙයිනි.
4. වාශිෂ්ඨයෙනි, මෙ ලොව්හි ද, පර ලොව්හි ද ජන මුළුයෙහි ධර්‍මය ම ශ්‍රේෂ්ඨ වන නියා මේ කරුණින් ද දත යුතු. වාශිෂ්ඨයෙනි. ‘මහණ ගොයුම් ශාක්‍යකුලයෙන් නික්මැ පැවිදි වූ නිරුත්තර කෙනෙකැ’ යි පසේනදී කොසොල් රජ දනී. වාශිෂ්ඨයෙනි, ශාක්‍යයෝ වනාහි පසේනදී කොසොල් රජුහට අතරක් නැති (කුලවශයෙන් සමාන වූ) ඔහු අනුව යන්නෝ වෙත්. වාශිෂ්ඨයෙනි, ශාක්‍යයෝ පසේනදී කොසොල් රජු කෙරෙහි ආදරය දැක්වීම ද වැඳීම ද දැක නැගීසිටීම ද ඇඳිලිබැඳීම ද (දැක මගින් ඉවත් වීම් ආදි) වත් දැක්වීම් ද කෙරෙත්. වාශිෂ්ඨයෙනි, මෙසේ ශාක්‍යයෝ පසේනදි කොසොල් රජු කෙරෙහි ආදරය ද වැඳීම ද දැක නැගී සිටීම ද ඇඳිලිබැඳීමද වත් දැක්වීම ද යන යමක් කෙරෙත් ද, පසේනදී කොසොල් රජ තෙම තථාගතයන් කෙරෙහි ඒ ආදර දැක්වීම ද වැඳීම ද දැක අස්නෙන් නැගීසිටීම ද ඇඳිලි බැඳීම ද වත් දැක්වීම ද යන සියල්ල කෙරෙයි. ‘මහණ ගොයුම් සුජාත ය, මම දුර්‍ජාතයෙමි’ යි කියා හෝ ‘මහණ ගොයුම් බලවත් ය, මම දුඹුලිමි’ යි කියා හෝ ‘මහණ ගොයුම් දැකුම් කලු ය, මම් දැකුම් කලු නො වෙමි’ යි කියා හෝ ‘මහණගොයුම් මහායශස්ක ය, මම් අල්පයශස්ක වෙමි’ යි කියා හෝ හෙ තෙමේ එසේ නො කෙරෙයි. වැලි ධර්‍මයට ම සත්කාර කරනුයේ, ධර්‍මයට ම ගෞරව කරනුයේ, ධර්‍මයට ම බුහුමන් කරනුයේ, ධර්‍මයට ම පුදනුයේ, ධර්‍මයට ම යටත් පැවැතුම් දක්වනුයේ, මෙසේ පසේනදී කොසොල් රජ තෙම තථාගතයන් කෙරෙහි ආදර දැක්වීම ද වැඳීම ද දැක හුනස්නෙන් නැඟී සිටීම ද ඇඳිලිබැඳීම ද වත් දැක්වීම ද යන මෙ හැම කෙරෙයි. වාශිෂ්ඨයෙනි, මෙ කරුණිනුත් ‘මේ ජන මුළුයෙහි දිටුදැමියෙහි ද පරලොව්හි ද ධර්‍මය ම උතුම්’ වන නියා දත යුතු. වාශිෂ්ඨයෙනි, තෙපි වූ කලි නානා ජාතියට අයත් වන්නාහු නානා ගෝත්‍රයට අයත් වන්නාහු, නානා කුලයට අයත් වන්නාහු ගිහිගෙන් නික්මැ සස්නැ පැවිදි වූහු ය. ‘තෙපි කවුරු දැ?’ යි විචාරනු ලද්දහු ම ‘අපි ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයම්හ’ යි පිළින කරවු. වාශිෂ්ඨයෙනි, තථාගතයන් කෙරෙහි යමකුගේ සැදැහැව නොසැලී පිහිටියේද මුල්බැස ගෙන සිටියේද දැඩි වූයේද එය මහණකු හෝ බමුණකු හෝ දෙවියකු හෝ මරකු හෝ බඹකු හෝ ලොවැ කිසි ද කෙනකු විසින් සෙලැවියැ හැකි නො වේ නම්, ඒ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ‘මම් භාග්‍යවතුන් වහන්සේගේ මුවින් උපන් ධර්‍මයෙන් උපන් ධර්‍මයෙන් නිර්මිත වූ ධර්‍මයට දායාද වූ ඔෳරස (ළෙහිදා) පුත් වෙමි’ යි ඔහු විසින් මේ වචනය කියනු සුදුසු ය. ඒ කවර හෙයින් ද? යත්: වාශිෂ්ඨයෙනි, ධර්‍මකාය යනු ද බ්‍රහ්මකාය යනු ද ධර්‍මභූත යනු ද බ්‍රහ්මභූත යනු දැ යි මෙ හැම තථාගතයනට නම් ය. එ හෙයිනි.
5. වාශිෂ්ඨයෙනි, දික් කලක් ඇවෑමෙන් කිසි යම් සමයෙක මෙ ලොව වැනැසෙන්නේ ද, එසේ වූ කැලයෙක් වෙයි. එසේ ලොව නැසෙන කල්හි සත්‍වයෝ බෙහෙවින් ආභස්සර බඹලොවැ උපන්නාහු වෙති. ඔහු එහි ධ්‍යානචිත්ත බලයෙන් උපන්නෝ වෙති, ප්‍රීතිය ම ආහාර කොටැත්තාහු වෙයි, තුමූ ම (සිය සිරුරු පෙබෙන් බබලන්නාහු වෙති.) අහසින් යන්නාහු වෙති. සිත්කලු වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටින්නාහු වෙති. එහි ඔහු ඉතා බොහෝ කලක් සිටිත්. වාශිෂ්ඨයෙනි, දික් කලක් ඇවෑමෙන් කිසි සමයෙක මෙ ලොව හටගන්නේ ද, එසේ වූ කාලයෙක් වෙයි. ඒ ලොව හට ගන්නා සමයෙහි බෙහෙවින් සත්හු ආභස්සර බ්‍රහ්මනිකායයෙන් සැව මෙ මිනිසත් බවට පැමිණෙත්. ඔහු මෙහි ධ්‍යාන සිතින් උපන්නාහු, ප්‍රීතිය ම ආහාර කොටැත්තාහු, සිය සිරුරු පෙබෙන් බබළන්නාහු, අහසින් යන්නාහු, සිත්කලු වස්ත්‍රාභරණ ඇති වැ සිටින්නාහු ඉතා බොහෝ කලක් එසේ සිටිත්.
__missing translation__
6. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි සියලු සක්වළ එක් මැ දිය කඳෙක් වැ සිටියි. අඳුරෙක් මහ ගනඳුරෙක් ම වෙයි. සඳු හිරුහු නො පැනෙත්, නකත්හු තරුහු නො පැනෙත්. රෑ දාවල්හු නො පැනෙත්, මාස පක්‍ෂයෝ නො පැනෙත්. ඍතු සංවත්සරයෝ නො පැනෙත්, ස්ත්‍රී පුරුෂයෝ නො පැනෙත්. සත්‍වයෝ සත්‍වයෝ යැ යි ම ව්‍යවහාරයට පැමිණෙත්. වාශිෂ්ඨයෙනි, ඉක්බිති යම්සේ නිවෙන්නාවූ හුණු කිරි මත්තෙහි යොදයෙක් වේ ද, එසේ ම රස පොළොව ඒ දිය මතුයෙහි සිසාරා පැතිරගෙන පහළ විය. එය වර්‍ණ සම්පන්න ද ගන්‍ධ සම්පන්න ද රස සම්පන්න ද විය. මනාකොට නිපැයුණු ගිතෙලෙක් හෝ වෙඬුරෙක් යම්බඳු වේ ද, ඒ රස පොළොව එබඳු පැහැ ඇත්තේ ද විය. නිදොස් වූ (පිළවුන් නැති) දඬුවැල්බෑ මීවදයෙක් යම් බඳු වේ ද, ඒ රස පොළොවේ රසය ද එබඳු විය.
වාශිෂ්ඨයෙනි, එක්තරා ලෝල ස්වභාවය ඇති සත්‍වයෙක් භවත්නි, මේ කුමක් විය යුතු දැ?’ යි රස පොළොව මඳක් ඇඟිල්ලෙන් ගෙන දිවැ ගෑයේ ය. රස පොළොව ඇඟිල්ලෙන් මඳක් ගෙන දිවැ ගෑ ඔහුට එය ප්‍රිය විය. එහි තෘෂ්ණාව ද ඔහු සිතට බැස ගත.
__missing translation__
වාශිෂ්ඨයෙනි, අන් සත්හු ද ඒ සත්‍වයාගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු (ඒ සත්‍වයා කළ දෑ දැක එය අනුගමනය කරන්නාහු) රසපොළොව ඇඟිල්ලෙන් ගෙන ලෙවැ කෑහ. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන ලෙවැ කන ඔවුනට එය ප්‍රිය විය. එය කෙරෙහි තෘෂ්ණාව ද ඔවුන් සිතට බැස ගත. වාශිෂ්ඨයෙනි, එකල්හි ඒ සත්හු රස පොළොව පිඬු කොට කඩාගෙන වළඳන්නට පටන්ගත්හ. වාශිෂ්ඨයෙනි, එසේ කරන කල්හි ඒ සත්‍වයන්ගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය. එය අතුරුදහන් වූ පසු සඳ හිරුහු ප්‍රකට වූහ. සඳු හිරුන් ප්‍රකට වූ පසු නකත් තරුහු ප්‍රකට වූහ. රෑ දාවල් පැනුණහ. රෑ දාවල් පැනෙන කල්හි මාස පක්‍ෂයෝ පැනුණහ. මාසපක්‍ෂයන් පැනෙන කල්හි ඍතු සංවත්සරයෝ පහළ වූහ. වාශිෂ්ඨයෙනි, මෙ තෙකින් මෙ ලොව යලි දු පහළ වූයේ වෙයි.
7. වාශිෂ්ඨයෙනි, එ කල්හි, ඒ සත්‍වයෝ රසපොළොව පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එය ම ආහාර කොටැත්තාහු බොහෝ දික් කලක් සිටියාහ. වාශිෂ්ඨයෙනි, යම් යම් සේ ම ඒ සත්‍වයෝ රසපොළොව පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එයි ම ආහාර කොට ඇත්තාහු ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ම ඒ සතුන්ගේ සිරුරෙහි රළු බව ඇති විය, නො පැහැපත් බව පැනිණ. ඔවුන් අතුරෙහි ඇතැම් සත් කෙනෙක් පැහැපත් ද ඇතැම් සත් කෙනෙක් නො පැහැපත් ද වෙත්, ඔවුන් අතුරෙන් යම් කෙනෙක් පැහැපත් වූහු ද, ඔහු අපි මොවුනට වඩා පැහැපත්තම්හ මොහු අපට වඩා පැහැයෙන් අඩුහ’ යි නොපැහැපත්තන් ඉක්මැ සිතක් (පහත් කොට සලකත්). වර්‍ණාතිමාන හේතුයෙන් මානාතිමාන ස්වභාවය ඇති ඔවුන්ගේ ඒ රස පොළොව අතුරුදහන් විය. රස පොළොව අතුරුදහන් වූ කල්හි, ඔහු එක් රැස්වූහ. එක්රැස් වැ ‘අහෝ පෘථිවි රස ය, අහෝ පෘථිවි රසයැ’යි පුනපුනා කීහ. අද ද මිනිස්සු මනාප රසයක් ලැබ, ‘අහෝ රස ය, අහෝ රස යැ’ යි මෙසේ කියත්. ඒ පැරැණි ලෝකෝත්පත්ති වංශකථාව අනුව යෙත්. එහෙත් එහි අරුත් නො දනිත්.
__missing translation__
වාශිෂ්ඨයෙනි, එසමයෙහි ඒ සත්නට රස පොළොව අතුරුදහන් වූ කල්හි, භූමිපප්පටකය (බිම් පප්පඩම්) පහළ වී ය. යම්සේ නාහතු පහළ වන්නේ ද, එ මෙන්ම එය පහළ වීය. එය පැහැපැත් ද සුවඳවත් ද රසවත් ද විය. මොනොවට නිපැයුණු ගිතෙල් යම් සේ ද, මොනොවට නිපැයුණු වෙඬරු යම් සේ ද, එය එබඳු පැහැ ඇත්තේ විය, පිළවුන් නැති දඬුවැල බෑ මීය යම්සේ ද, එය එබඳු රස ඇත්තේ විය.
වාශිෂ්ඨයෙනි, එ කල්හි ඒ සත්හු භූමිපර්‍පටකය වළඳන්නට පටන් ගත්හ. ඔහු එය පරිභෝග කරන්නාහු එය වළඳන්නාහු එය අහර කොට ඇත්ත හු ඉතා දික් කලක් සිටියාහ. වාශිෂ්ඨයෙනි, යම් යම්සේ ඒ සත්හු භූමිපර්‍පටකය පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එය අහර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ම බොහෝසෙයින් ඒ සතුන්ගේ කයෙහි රළු බව ද බැස ගත, පැහැය අඩු බවද පැනිණ. ඇතැම් සත් කෙනෙක් පැහැපත් වෙත්, ඇතැම් කෙනෙක් නො පැහැපත් වෙත්. ඔවුන් අතුරෙන් යම් සත් කෙනෙක් පැහැපත් වෙත් ද, ඔහු ‘අපි මොවුනට වඩා පැහැපතතම්හ. මොහු අපට වඩා පැහැයෙන් අඩු හ’ යි නො පැහැපත් සතුන් ඉක්මැ සිතත් (අවමන් කෙරෙත්). මානාතිමානය ස්වභාවය කොටැති ඔවුන්ගේ ඒ පැහැය නිසා ඇති වූ අතිමාන කාරණයෙන් භූමිපර්‍පටකය අතුරුදහන් විය.
__missing translation__
භූමිපර්‍පටකය අතුරුදහන් වූ කල්හි බදාලතාව පහළ විය. විල්පලා යම් සේ ද ඒ බදාලතාව ද එසේ ම පහළ විය. එය පැහැපත් ද සුවඳවත් ද රසවත් ද විය. මොනොවට නිපැයුණු ගිතෙල් හෝ මොනොවට නිපැයුණු වෙඬරු යම බඳු ද, එය එබඳු පැහැ ඇත්තේ විය. පිළවුන් නැති දඬුවල් බෑ මීයක් යම් බඳු ද එසේ ම එය මිහිරි රසැත්තේ විය. වාශිෂ්ඨයිනි, එකල්හි ඒ සත්හු බදාලතාව වළඳන්නට පටන්ගත්හ. ඔහු එය පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එය ආහාර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහ. වාශිෂ්ඨයිනි, යම් යම් සේ ම ඒ සත්‍වයෝ බදාලතාව පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එය අහර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ම බොහෝ සෙයින් ඒ සතුන්ගේ කයෙහි රළු බව ද ඇති විය. පැහැ අඩුබව ද පැනිණ. ඇතැම් සත් කෙනෙක් පැහැපත් වෙත්. ඇතැම් කෙනෙක් නොපැහැපත් වෙත්. ඔවුන් අතුරෙන් යම් සත් කෙනෙක් පැහැපත් වෙත් ද, ඔහු ‘අපි මොවුනට වඩා පැහැපත් වම්හ, මොහු අපටත් වඩා පැහැයෙන් අඩු හ’ යි නොපැහැපත් සතුන් ඉක්මැ සිතත්. මානාතිමානජාතික වූ ඔවුන්ගේ වර්‍ණාතිම නප්‍රත්‍යය හෙයින් බදාලතාව අතුරුදහන් විය. බදාලතාව අතුරුදහන් වූ කල්හි ඔහු එක්රැස් වූහ. එක් රැස් වැ (මිහිරි රසැති බදාලතාව) අපට ඇති විය. එය දැන් නැති වී යැ’යි පුනපුනා කීහ. දැනුදු මිනිස්සු කිසි දුකෙකි, පැහැසුණාහු ‘අපට ඇති විය, දැන නැති වී යැ’ යි මෙසේ කියත්. ඒ පැරැණි වංශකථාව අනුව යෙත්. වැලිදු එහි අර්‍ත්‍ථය නො දනිත්.
__missing translation__
8. වාශිෂ්ඨයෙනි, ඉක්බිත්තෙන් ඒ සත්නට බදාලතාව අතුරුදහන් වූ කල්හි නොසෑ පොළවෙහි හටගෙන පැසෙන, කුඩු නැති, දහවෙයියා නැති, සුවඳවත් සහල් ම ඵල කොට ඇති හැල් වෙසෙසෙක් පහළ විය, යම් සහලක් සවස් වේලෙහි සවස් බොජුනට ගෙනෙත් ද, පසු දින උදාසනැ එය පැසුණේ යලි දු වැඩුණේ වෙයි. කපා නොගන්නා ලද තැනක් ව (නොඅඩු ව) පැනෙයි. වාශිෂ්ඨයෙනි, එකල්හි ඒ සත්‍වයෝ නො සාන ලද බිමෙහි හටගෙන පැසුණු හැල්සහල් පරිභෝග කරන්නාහු, එය ම වළඳන්නාහු, එය ම ආහාර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහ.
__missing translation__
9. වාශිෂ්ඨයෙනි, යම්සේ යම්සේ ඒ සත්හු නො සෑ බිමැ හටගෙන පැසුණු හැල්සහල් පරිභෝග කරන්නාහු, එය ම වළඳන්නාහු, එය ම ආහාර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ඒ සතුන්ගේ සිරුරෙහි බොහෝ සෙයින් රළුබව පහළ විය, නොපැහැපත් බවද පැනිණ. ස්ත්‍රියට ස්ත්‍රීලිංගය ද, පුරුෂයාට පුරුෂලිංගය ද පහළ විය. ස්ත්‍රී ද වූ කලී ඉතා බොහෝ වේලාවක් පුරුෂයා දෙස බලාඉඳී, පුරුෂයා ද ස්ත්‍රිය දෙස බොහෝ වේලා බලාඉඳී. මෙසේ ඉතා බොහෝ වේලා ඔවුනොවුන් දෙස බලා ඉන්නා ඔවුනට සරාගය පහළ විය. රාගපරිදාහය කයෙහි බැස ගත්තේ ය. ඔහු රාගපරිදාහ හේතුයෙන් මෙවුන්දම් සෙවූහ. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි යම් සත්‍ව කෙනෙක් මෙවුන්දම් සෙවුනාවුන් දකිත් ද ඒ අන්‍යයෝ ‘වසලිය, නැසෙව, වසලිය, වැනැසෙව. කෙසේ නම් සතෙක් සතක්හට මෙබන්දක් කරන්නේ දැ’ යි කිය, පස් දමාගසත්, අන් කෙනෙක් අළු දමාගසත්, තව කෙනෙක් ගොම දමාගසත්. දැනුදු ඇතැම් දනවුහි මිනිස්සු එය කරත්. ස්ත්‍රියක ගෙනයනු ලබන කල්හි අන් කෙනෙක් පස් දමාගසත්, අන් කෙනෙක් අළු දමාගසත්, තව කෙනෙක් ගොම දමාගසත්. ඒ පැරැණි ලෝකෝත්පත්තිවංශ කථාව අනුව යෙත්. එහෙත් එහි අදහස නො ම දනිත්.
__missing translation__
10. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි පස් දමාගැසුම් ආදි විසින් අධර්‍මයැ යි සම්මත වූ යමෙක් වී ද, එය දැන් ධර්‍ම යැ යි සම්මත වැ ඇත. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි යම් සත්ත්‍ව කෙනෙක් වනාහි මෙවුන්දම් සෙවිත් ද, ඔහු තුන් මසකුදු නැත හොත් දෙ මසකුදු ගමකට හෝ නියම්ගමකට හෝ පිවිසෙන්නට අවසර නො ලබත්. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි සත්‍වයෝ යම් හෙයෙකින් අසද්ධර්‍මයෙහි (මෙවුන්දම්හි) ඉතා බොහෝ වේලාවක් යෙදිය යුතු බවට පැමිණියාහු ද, එහෙයින් ම ඒ අසද්ධර්‍මය වසා ලනු පිණිස ගෙවල් කරන්නට පටන්ගත්හ.
වාශිෂ්ඨයෙනි, එ කල්හි එක්තරා අලස ගති ඇති සතක්හට “භවත්නි, උදේ බොජුන් පිණිස උදාසන ද හවස බොජුන් පිණිස සවස් කල්හි ද හැල් ගෙන එනුයෙම් මම් කුමට මෙසේ වෙහෙසෙම් ද? උදේ හවස දෙක්හි ම බොජුන් පිණිස එක් වරට ම හැල්ගෙන ආයෙම් වීම් නමැ යෙහෙකැ” යි මේ සිත විය. වාශිෂ්ඨයෙනි. ඒ සත් තෙම උදේ සවස බොජුන් පිණිස එක්වර ම හැල් ගෙනායේ ය. එ කලැ එක්තරා සත්‍වයෙක් ඒ සත්‍වයා කරා එළැඹි යේ ය. එළැඹ ඔහුට ‘භවත් සත්‍වය, එව, හැල් ගෙන ඊමට යම්හ’ යි කී ය. ‘භවත් සත්‍වය, කම් නැත. උදේ සවස බොජුන් පිණිස මා විසින් එක් වර ම හැල් ගෙනෙන ලදැ’ යි හේ කී ය. වාශිෂ්ඨයෙනි, එ විට ඒ සත්‍ව තෙම ඒ (එක් වර දෙවේලට ම හැල් ගෙනා) සත්‍වයාගේ දෘෂ්ටානුගතියට (ඔහු කළා දුටු දැය අනුව යෑමට) පැමිණෙනුයේ, ‘භවත්නි, මෙසේත් යහපතැ’ යි කිය දෙදවසකට එක් වරක් හැල් ගෙනායේ ය. වාශිෂ්ඨයෙනි, එ කල්හි එක්තරා සත්‍වයෙක් (ඒ දෙදවසකට එක් වරක් හැල් ගෙනා) සත්‍වයා කරා එළැඹියේ ය, එළැඹ, ‘භවත් සත්‍වය, හැල් ගෙනීමට යම්හ’ යි කී ය. ‘භවත් සත්‍වය, එයින් කම් නැත. මා විසින් දෙදවසකට ම (පොහෝනා පමණ) හැල් එක් වරට ම ගෙනෙන ලදැ’ යි ඒ සත්‍ව තෙම කී ය, වාශිෂ්ඨයෙනි, එ විට ඒ සත්‍ව තෙම අනෙකා කළා දුටු දෑ අනුව යන්නේ, ‘භවත්නි, මෙසේත් යහපතැ’ යි කියා එක් වර ම සතර දිනකට පොහෝනා පමණ හැල් ගෙන්යේ ය. … එකල්හි ඒ සත් තෙම අනෙකා කළා දුටු දෑ අනුව යනුයේ, ‘භවත්නි, මෙසේත් යහපතැ’ යි කියා එක් වර ම අට දවසකට පහොනා පමණ හැල් ගෙනායේ ය. වාශිෂ්ඨයෙනි, ඒ සත්‍වයෝ යම් කලෙක හැල් රැස් කොට තබා පරිභෝග කරන්නට පටන් ගත්තු ද, එකල්හි කුඩු ද සහල වසා ගත්තේ ය. දහවෙයියා ද සහාල වසා ගත්තේ ය. හැල් කපා ගත් තැන ද යලි නො වැඩුණේ ය. හැල් කපා ගත් තැන ද ඌන ව පැනුණේ ය. හැල්හු පඳුරු පඳුරු වැ සිටියාහ.
__missing translation__
වාශිෂ්ඨයෙනි, එ කල් හි ඒ සත්‍වයෝ එක් තැනකට රැස්වූහ. රැස් ව උනුන් හා මෙසේ කතා කැරැගත්හ: භවත්නි, ඛෙදයෙක! ලාමක ස්වභාවයෝ සත්‍වයන් කෙරෙහි පහළ වූහ. අපි පෙරැ මනෝමය වූ, ප්‍රීතිය භෝජනය කොටැති ව ස්වයම්ප්‍රභ ව, ශෝභන වස්ත්‍රාභරණ ඇති ව සිටින්නමෝ ඉතා බොහෝ කල් සිටුම්හ. ඒ අපට කිසි කලෙක්හි ඉතා බොහෝ කලක් ඇවෑමෙන් රස පොළොව දියෙහි පැතිරැගෙන සිටියේය. එය පැහැවත් ද සුවඳවත් ද රසවත් ද විය. ඒ අපි රස පොළොව අත්වලින් පිඬුකොට ගෙන වළඳන්නට පටන් ගතුම්හ. රස පොළොව අත්වලින් පිඬු කොට ගෙන වළඳන්නට පටන්ගත් අපගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය.
එය අතුරුදහන් වූ කල්හි සඳහිරුහු ප්‍රකට වූහ. සඳුහිරුන් පහළවූ කල්හි නක්‍ෂත්‍රයෝ ද තාරකාරූපයෝ ද ප්‍රකට වූහ. නක්‍ෂත්‍රතාරකාරූප ප්‍රකට වූ පසු රෑදාවල්හු පැනුණහ. රෑදාවල් පැනෙන කල්හි මාස පක්‍ෂයෝ පැනුණහ. මාසපක්‍ෂයන් පැනෙන කල්හි ඍතුසංවස්තරයෝ පැනුණහ. ඒ අපි රස පොළොව පරිභෝග කරන්නමෝ, එය වළඳන්නමෝ, එය ආහාර කොටැ ගත්තමෝ, ඉතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුසල් දහම් පහළ වීමෙන් ම රසපොළොව අතුරුදහන් විය. රස පොළොව අතුරුදහන් වූ කල්හි භූමිපර්‍පටකය පහළ විය. ඒ අපි භූමිපර්‍පටකය පරිභෝග කරන්නට පටන් ගතුම්හ. ඒ අපි එය පරිභෝග කරන්නමෝ, එය වළඳන්නමෝ එය ම ආහාර කොට ඇත්තමෝ ඉතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුසල් දහමුන් පහළ වීමෙන් භූමිපර්‍පටකය අතුරුදහන් විය. භූමිපර්‍පටකය අතුරුදහන් වූ කල්හි බදාලතාව පහළ විය. එය පැහැවත් සුවඳවත් රසවත් විය. ඒ අපි බදාලතාව පරිභෝග කරන්නට පටන් ගතුමු. එය පරිභෝග කරන්නමෝ, එය වළඳන්නමෝ, එය ම ආහාර කොටැත්තමෝ ඉතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුශල ධර්‍ම පහළ වීමෙන් බදාලතාව අතුරුදහන් විය. බදාලතාව අතුරුදහන් වූ කල්හි කුඩු නැති දහවෙයියා නැති පිරිසිදු සුවඳැති සහල ම ඵල කොටැති නො සානා ලද බිමැ හටගෙන පැසෙන හැල් වෙසෙසෙක් පහළ විය. සවස් කලැ සවස් බොජුනට යම් සහලක් ගෙනෙත් ද පසුදිනැ උදාසනැ එය පැසුණේ යලි දු වැඩුණේ වෙයි. කපා නොගන්නා ලද තැනෙක් ම (නොඅඩු ව) පැහුණේ ය. ඒ අපි නො සාන ලද බිමැ හටගෙන පැසුණු හැල්සහල් පරිභෝග කරන්නමෝ, එය ම වළඳන්නමෝ, එය ම අහර කොටැත්තමෝ, ඉතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුසල් දහම් පහළ වීමෙන් ම කුඩු ද සහල වසාගෙන බැඳී සිටියේ ය. දහවෙයියා ද සහල වසා බැඳී සිටියේ ය. කපා ගන්නා ලද තැන ද යලි නො නැඟුණේ ය. ඌනත්‍වය පැනුණේ ය. පඳුරු පඳුරු වැ හැල්හු සිටියාහ. අපි හැල් (අප අතරැ) වෙන වෙන ම බෙදා ගන්නමෝ නම්, ඉම් තබන්නමෝ නම් මැනැවැ” යි මෙසේ කතා කැරැගත්හ. වාශිෂ්ඨයෙනි, ඉක්බිති ඒ සත්‍වයෝ හැල් බෙදූහ. ඉම් තැබූහ.
11. වාශිෂ්ඨයෙනි, එ කල්හි ලොල්පියෙවි ඇති එක්තරා සතෙක් සිය කොටස රැකගනුයේ තමාට නො දෙන ලද එක්තරා කොටසක් ගෙන පරිභෝග කෙළේ ය. (සෙස්සෝ) ඔහු අල්ලා ගත්හ, අල්ලා ගෙන ‘භවත් සත්‍වය, යම් බඳු තෝ සිය කොටස රකිනුයෙහි තමහට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභෝග කෙළෙහි ද, ඒ තෝ ඒකානත්තයෙන් ලාමක දැයක් කෙළෙහි ය. භවත් සත්‍වය, යලිත් මෙබන්දක් නහමක් කරව’ යි කී හ.
වාශිෂ්ඨයෙනි, ඒ සත්‍ව තෙම ‘එසේ ය භවත්නි’ යි කියා ම ඒ සත්නට පිළිවදන් දුන. වාශිෂ්ඨයෙනි, දෙවෙනි වර ද ඒ සත් තෙම සිය කොටස රකිනුයෙහි, තමාට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභෝග කළේය. සෙස්සෝ ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන, ‘භවත් සත්‍වය, යම්බඳු තෝ සිය කොටස රකිනුයෙහි, තමාට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභෝග කෙරෙහි ද, ඒ තෝ ලාමක දැයක් කෙරෙහි ය. භවත් සත්‍වය, යලිත් මෙබන්දක් නො කරව’ යි කී හ. වාශිෂ්ඨයෙනි, තෙවෙනි වර ද ඒ සත් තෙම සිය කොටස රකිනුයෙහි, තමාට නො දුන් කොටසක් ගෙන පරිභෝග කළේ ය. සෙස්සෝ ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන, ‘භවත් සත්‍වය, යම් බඳු තෝ සිය කොටස රකිනුයෙහි, තමාහට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභෝග කෙරෙහි ද, ඒ තෝ ලාමක දැයක් ම කෙරෙහි ය. භවත් සත්‍වය, යලිත් මෙබන්දක් නහමක් කරව’ යි කී හ. කෙනෙක් අතින් පහළහ. කෙනෙක් කැටින් පහළහ. කෙනෙක් දංඩෙන් පහළහ, වාශිෂ්ඨයෙනි, එතැන් පටන් කොට අයිනාදන පැනෙයි, ගැරැහුම පැනෙයි, මුසා බිණීම පැනෙයි, දඬු ගැනුම් පැනෙයි.
__missing translation__
12. වාශිෂ්ඨයෙනි, ඉක්බිති ඒ සත්‍වයෝ එක් රැස් වූ හ. එක්රැස් වැ, “භවත්නි, ඛේදයෙක! යම් කෙනෙකු කෙරෙහි අයිනාදන පැනෙන්නේ ද, ගැරැහුම පැනෙන්නේ ද, මුසා බිණීම පැනෙන්නේ ද, දඬු ගැන්ම පැනෙන්නේ ද, ඒ සතුන් කෙරෙහි එසේ වූ ලාමක අකුශල ධර්‍ම කෙනෙක් පහළ වූහ. යමෙක් අපගෙන් දොස්නැගිය යුත්තාට මොනොවට දොස්නගන්නේ ද ගැරැහිය යුත්තහු ට මොනොවට ගරහන්නේ ද, නෙරැපිය යුත්තහු මොනොවට නෙරපන්නේ ද, අපි එසේ වූ එක් සත්‍වයකු සම්මත කැරැගනුමෝ නම් ඉතා යෙහෙක. අපි වූ කලී ඔහුට හැල් කොටසක් දෙන්නමු” යි කතා කැරැගත්හ. වාශිෂ්ඨයෙනි, එ කල්හි ඒ සත්‍වයෝ යම් සත්‍වයෙක් ඔවුන් අතුරෙහි වඩා රූපසම්පන්න ද, වඩා දැකුම්කලු ද, වඩා සිත පහදවන සුලු ද, වඩා මහ තෙදැත්තේ ද, ඒ සත්‍වයා කරා එළැඹ, ‘භවත් සත්‍වය, මෙහි එන්න, දොස්නැගියැ යුත්තාට නිසිපරිදි දොස් නගන්න, ගැරැහිය යුත්තාට මොනොවට ගරහන්න, නෙරැපිය යුත්තහු මොනොවට නෙරපන්න. අපි වනාහි ඔබට හැල් කොටසක් දෙන්නමු” යි මෙ බස් කීහ. ‘භවත්නි, එසේ යැ’ යි කියා ම ඒ සත්ත්‍ව තෙම ඔවුනට පිළිවදන් දී දොස් නැගිය යුත්තහුට මොනොවට දොස් නැගීය, ගැරැහිය යුත්තහුට ගැරැහී ය, නෙරැපිය යුත්තහු මොනොවට නෙරැපී ය. ඔව්හු ඔහුට හැල් කොටසක් දුන්හ. වාශිෂ්ඨයෙනි. මහා ජනාය විසින් සම්මත හෙයින් ම ඔහුට ‘මහාසම්මත ය, මහාසම්මත යැ’ යි ම පළමු නම් වහර ඇති විය.
වාශිෂ්ඨයෙනි, කෙත්නට අධිපති වී නු යි ‘ක්‍ෂත්‍රිය ය, ක්‍ෂත්‍රිය යැ’ යි ම දෙවෙනි නම් වහර ඇති විය. වාශිෂ්ඨයෙනි, දැහැමින් මෙරමා රඳවානු යි (සුවපත් කෙරෙනු යි පිණවානු යි) ‘රජ ය, රජ’ යැ යි කියා ම තෙවෙනි නම් වහර ඇති විය. වාශිෂ්ඨයෙනි, මෙසේ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද නම් වහරින් ක්‍ෂත්‍රිය මණ්ඩලයාගේ ආරම්භය විය. එ ද ඒ සත්‍වයනට ම ය, අන් සත්‍වකෙනෙකුට නො වේ. සමාන සත්‍වයනට ම ය, අසමාන සත්‍ව කෙනෙකුට නො වේ. ධර්‍මයෙන් ම ය, අධර්‍මයෙන් නො වේ. වාශිෂ්ඨයෙනි, එහෙයින් මේ ජනයා කෙරෙහි මෙ ලොව්හි ද පරලොව්හි ද ධර්‍මය ම ශ්‍රේෂ්ඨ ය.
__missing translation__
13. වාශිෂ්ඨයිනි, එක්බිති ඒ ඇතැම් සත්‍ව කෙනකුට, “භවත්නි, ඛේදයෙක! යම් කෙනකු කෙරෙහි අයිනාදන පැනෙන්නේ ද, ගැරහුම පැනෙන්නේ ද, මුසවා ව පැනෙන්නේ ද, දඬු ගැන්ම පැනෙන්නේ ද, රටින් නෙරැපීම පැනෙන්නේ ද එසේ වූ සතුන් කෙරෙහි ලාමක ධර්‍මයෝ පහළ වූවාහු වෙයි. අපි ලාමක වූ අකුශල ධර්‍මයන් බාහනය (බැහැර ලීම) කරන්නමෝ නම් යෙහෙකැ” යි මේ සිත විය. ඔහු ලාකම වූ අකුශල ධර්‍ම බාහනය කළහ (බැහැරැ ලූහ). වාශිෂ්ඨයෙනි, ලාමක වූ අකුශල ධර්‍මයන් වාහනය කෙරෙත් (බැහැර ලත්) නු යි ම ‘බ්‍රාහ්මණයෝ ය, බ්‍රාහ්මණයෝ ය’ කියා ම පළමු නාම ව්‍යවහාරය පහළ විය. ඔහු තුමූ වන පෙදෙස්හි පන්සල් කොට ගෙන එහි ධ්‍යාන කෙරෙත්. (පිස කැව යුතු දැයක් නැති බැවින්) පහවූ අඟුරු ඇත්තාහු පහ වූ දුම් ඇත්තාහු, කොටා පිසියැ යුතු දැයක් නැති බැවින් බිමට වන් මොහොල් ඇත්තාහු (අඟුරු දුම් මොහොල් යන මේ කිසිවකුත් නැත්තාහු), සවස් බොජුන පිණිස සවස ද, උදේ බොජුන් පිණිස උදාසන ද අහර සොයනුවෝ ගම් නියම් ගම් රජදහන්වලට බසිත්. ඔහු අහර ලැබගෙන් පෙරළා ගොස් වන පෙදෙස්හි පන්සල්හි ධ්‍යාන කෙරෙත්. වාශිෂ්ඨයෙනි, ‘ධ්‍යාන කෙරෙත්, ධ්‍යාන කෙරෙත් නු’ යි ම ‘ධ්‍යායකයෝ ය, ධ්‍යායකයෝ යැ’ යි කියා ම දෙවෙනි නම් වහරෙක් ඔවුනට ඇති විය. වාශිෂ්ඨයිනි, ඒ සත්‍වයන් ම අතුරෙන් ඇතැම් කෙනෙක් වන පෙදෙසෙහි පන්සල්හි ඒ දහන් වැඩීම නොකළ හැකි වන්නාහු ගම් අසලට නියම්ගම් අසලට බැස, ග්‍රන්‍ථ කෙරෙමින් ඉඳිත්, මිනිස්සු ඔවුන් දැක, “භවත්නි, මේ සත්හු වෙනෙහි පන්සල්හි ඒ ධ්‍යාන කළ නො හැක්කාහු, ගම් අසලට නියම්ගම් අසලට බැස, ග්‍රන්‍ථ කෙරෙමින් ඉඳිත්.” වාශිෂ්ඨයිනි, ‘දැන් මොහු ධ්‍යාන නො කෙරෙත්, දැන් මොහු ධ්‍යාන නොකෙරෙත්’ නු යි මොහු ‘අධ්‍යායකයෝ’ යැ යි ම ඔවුනට තෙවෙනි නම් වහරෙක් උපන්නේය.
වාශිෂ්ඨයෙනි, එ සමයෙහි යම් ඒ අධ්‍යායකත්‍වය (ධ්‍යාන නො කරන බව) පහත් යැ යි සම්මත වී ද, එය දැන් උසස් යැ යි සම්මත ය. වාශිෂ්ඨයිනි, මෙසේ පැරැණි අග්‍ර යැ යි ගන්නා ලද නම්වහරින් ඒ බ්‍රාහ්මණ මණ්ඪලයාගේ නිපැත්ම විය. එ ද ඒ සත්‍වයනට ම ය. අන් සත්‍ව කෙනෙකුට නො වේ. සමාන සත්‍වයනට මය, අසමාන සත්‍වයනට නො වේ. ධර්‍මයෙන් ම ය, අධර්‍මයෙන් නො වේ. වාශිෂ්ඨයෙනි, ධර්‍මය ම මෙලොව්හි ද පරලොව්හි ද මේ ජනයා කෙරෙහි උසස් ය.
__missing translation__
14. වාශිෂ්ඨයෙනි, ඒ සතුන් අතුරෙහි ම ඇතැම් කෙනෙක් මෛථූන ධර්‍ම සේවනය කොට ඒ ඒ අවස්ථාහි නැඟුණු (හෝ ප්‍රකට වූ) ගවපාලනාදි කර්‍මාන්තයන් කළහ. මෛථුනධර්‍ම ගෙන ඒ ඒ අවස්ථාහි නැඟුණු හෝ ප්‍රකට කර්‍මාන්ත කෙරෙත් නු යි ‘වෛශ්‍යයෝ ය, වෛශ්‍යයෝ යැ’ යි ම නම් වහර උපන. වාශිෂ්ඨයිනි, මෙසේ ම පැරැණි වූ. අග්‍ර යැ යි දන්නා ලද නම් වහරින් වෛශ්‍යමණඩලායාගේ ආරම්භය විය. එ ද ඒ සතුන් පිළිබඳ ව ම ය. අන් සත් කෙනකු පිළිබඳ ව නො වේ. සමානයන් පිළිබඳ ව ම ය. අසමානයන් පිළිබඳ ව නො වේ. ධර්‍මයෙන් ම ය, අධර්‍මයෙන් නො වේ. වාශිෂ්ඨයෙනි, ධර්‍මය ම මේ ජනයා කෙරෙහි මෙ ලොව්හි ද පර ලොව්හි ද ශ්‍රේෂ්ඨ ය.
__missing translation__
15. වාශිෂ්ඨයෙනි, ඒ සත්‍වයන් අතුරෙහි ම යම් කෙනෙක් රෞද්‍රාචාර ක්‍ෂුද්‍රාචාර ඇත්තෝ වූහු ද, මොහු රෞද්‍රාචාර ඇත්තාහ, ක්‍ෂුද්‍රාචාර ඇත්තාහ යි කියා ම, ඔවුනට ‘ශුද්‍රයෝය ශුද්‍රයෝ යැ’ යි ම නම්වහර උපන. වාශිෂ්ඨයෙනි, මෙසේ අග්‍රයැ යි දන්නා ලද පැරැණි නම් වහරින් මේ ශුද්‍රගණයාගේ ආරම්භය විය. එ ද ඒ සත්‍වයන් පිළිබඳ ව ම ය, අන් සත්‍ව කෙනෙකු පිළිබඳ ව නො වේ. සමානයන් පිළිබඳ ව ම ය, අසමානයන් පිළිබඳ ව නො වේ. ධර්‍මයෙන් ම ය, අධර්‍මයෙන් නො වේ. වාශිෂ්ඨයෙනි, එහෙයින් මෙලෝහි ද පරලෝහි ද ධර්‍මය ම මේ ජනයා කෙරෙහි ශ්‍රේෂ්ඨ ය.
16. වාශිෂ්ඨයෙනි, යම් හෙයෙකින් ක්‍ෂත්‍රියයාත් සිය දහමට ගරහනුයේ මහණ වන්නෙමි යි ගිහිගෙන් නික්ම පැවිදි බිම් වදනේ ද, බ්‍රාහ්මණයාත් සිය දහමට ගරහනුයේ මහණ වන්නෙමි යි ගිහි ගෙන් නික්මැ පැවිදිබිම් වදනේ ද, වෛශ්‍යයාත් සිය දහමට ගරහමින් ගිහි ගෙන් නික්ම පැවිදිබිම් වදනේ ද, ශුද්‍රයාත් සිය දහමට ගරහනුයේ මහණ වන්නෙමි යි පැවිදි බිම් වදනේ ද, එසේ වූ කාලයෙක් විය. (එ කල්හි) මේ සතර මණ්ඩලයන්ගෙන් ම ශ්‍රමණමණ්ඩලයාගේ ආරම්භය විය. එ ද ඒ සත්‍වයන් පිළිබඳ ම ය, අන් සත්‍ව කෙනෙකු පිළිබඳ නො වේ. සමානයන් පිළිබඳ වැ ම ය, අසමානයන් පිළිබඳ වැ නො වේ. ධර්‍මයෙන් ම ය. අධර්‍මයෙන් නො වේ. වාශිෂ්ඨයෙනි, එහෙයින් මෙ ලොව්හි ද පර ලොව් හි ද ධර්‍මය ම ජනයා කෙරෙහි ශ්‍රේෂ්ඨ ය.
දුශ්චරිතාදිකථා
වාශිෂ්ඨයෙනි, ක්‍ෂත්‍රියයා ද කයින් දුසිරිත් කොට, වචනයෙන් දුසිරිත් කොට, මනසින් දුසිරිත් කොට, මිසදිටු වැ, මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇති වැ, මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන හේතුයෙන් කාබුන් මරණින් මතු, සැප නැති දුකට ස්ථාන වු, විවස ව පතිත වන තැන වූ නිරයට පැමිණෙයි. වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයා ද ... වෛශ්‍යයා ද … ශුද්‍රයා ද … ශ්‍රමණයා ද කයින් දුසිරිත් කොට, වචනයෙන් දුසිරිත් කොට, සිතින් දුසිරිත් කොට, මිථ්‍යාදෘෂ්ටික වැ මිථ්‍යාදෘෂ්ටි කර්‍මසමාදාන ඇති වැ මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන හේතුයෙන් කාබුන් මරණින් මතු, සැප නැති, දුකට තැන් වූ, විවස වැ පතිත වන තැන වූ නිරයට පැමිණෙයි.
වාශිෂ්ඨයෙනි, ක්‍ෂත්‍රියයා ද කයින් සුසිරි පුරා, වචනයෙන් සුසිරි පුරා, සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇති වැ සිතින් සුසිරි පුරා, සම්‍යග්දෘෂ්ටික වැ සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන හේතුයෙන් කාබුන් මරණින් මතු, මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයා ද … වෛශ්‍යයා ද … ශුද්‍රයා ද … ශ්‍රමණයා ද කයින් සුසිරි පුරා … සග ලොවට යෙයි. වාශිෂ්ඨයෙනි, ක්‍ෂත්‍රියයා ද (විටෙක් කුසල් ද විටෙක අකුසල් දැයි) කුශලාකුශල දෙක ම කරන සුලු වූයේ, වචනයෙන් කුශලාකුශල දෙක ම කරන සුලු වූයේ, සිතින් කුසලාකුශල දෙක ම කරන සුලු වූයේ, (විටෙක සම්‍යග්දෘෂ්ටික ද විටෙක මිථ්‍යාදෘෂ්ටික දැ යි) මිශ්‍ර දෘෂ්ටි ඇතියේ, මිශ්‍රදෘෂ්ටික සර්‍මසමාදාන ඇතියේ, මිශ්‍රදෘෂ්ටික කර්‍මසමාදාන හේතුයෙන් කාබුන් මරණින් මතු සුව දුක් විඳුනේ වෙයි. වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයා ද … වෛශ්‍යයා ද … ශුද්‍රයා ද … ශ්‍රමණයා ද කයින් කුසල් අකුසල් දෙක ම කරන සුලු වූයේ, … වචනයෙන් කුසල් අකුසල් දෙක ම කරන සුලු වූයේ, … මනසින් කුසල් අකුසල් දෙක ම කරන සුලු වූයේ, මිශ්‍ර දෘෂ්ටි ඇතියේ, මිශ්‍රදෘෂ්ටික කර්‍මසමාදාන ඇත්තේ, මිශ්‍රදෘෂ්ටිකකර්‍මසමාදාන හේතුයෙන් කාබුන් මරණින් මතු සුව දුක විඳුනේ වෙයි.
__missing translation__
16. වාශිෂ්ඨයෙනි, ක්‍ෂත්‍රියයා ද කයින් සංවෘත වූයේ (හැවුරුණේ), වචනයෙන් හැවුරුණේ, සිතින් හැවුරුණේ, සත් කොටසකට අයත් වූ (සත්තිස්) බෝධිපාක්‍ෂික ධර්‍මයන් වැඩීමට බැස, මෙ අත්බව්හි ම (කෙලෙස් පිරිනිවනින්) පිරිනිවෙයි.