Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 3701-3800 න් 5108

තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හේ ලාභ සත්කාර කීර්තියෙන් තමා හුවා නො තබයි. මෙරමා හෙලා නො දකී. න්‍යග්‍රෝධයෙනි, යම් හෙයකින් තවුස් තෙම තපස සමාදන් කොට ගනී ද, ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවා ද, හේ ඒ ලාභ සත්කාර කීර්තියෙන් තෙම හුවා නො තබා ද, මෙරමා හෙලා නො දකී ද, මෙසේ හෙ තෙම එ කරුණෙහි පිරිසිදු වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි, හේ ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත් නො වෙයි, මුසපත් නො වෙයි, පමාවකට නො පැමිණෙයි. න්‍යග්‍රෝධයෙනි, යම් හෙයකින් තවුස් තෙම තපස සමාදන් කොට ගනී ද, හේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවා ද, හේ ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත් නො වේ ද, පමාවකට නො පැමිණේ ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
න්‍යග්‍රෝධයෙනි, තව ද තවුස් තෙම තපස සමාදන් කොට ගනී ද, ‘මෙය මට රිසියෙයි, මෙය මට නො රිසියෙයි’ කියා බොජුන්හි දෙකොටසකට බෙදීමට නො පැමිණෙයි ද, තමාට නොරිසි දැය ආශා නැති ව බැහැර කෙරේ ද, තමාට රිසි දැය ගිජු නො වූයේ මුස පත් නො වූයේ, සිතින් එහි නො ගිලුණේ, ආදීනව දක්නා සුලු වූයේ, ප්‍රතිග්‍රහණ ප්‍රත්‍යවේක්‍ෂණ ප්‍රමාණ දන්නේ වළඳා ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම ‘රාජ රාජමහාමාත්‍ය ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති තීර්‍ත්‍ථක යන මොවුන් මට සත්කාර කරති’යි ලාභ සත්කාර කීර්තියෙහි ඇලුම් හෙයින් තපස සමාදන් කොට නො ගනී ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම ‘කිමෙක් ද? පසය බහුල කොට ඇති වැ දිවි පවත්වන මේ තෙමේ මූලබීජ, ස්කන්‍ධබීජ, පරුබීජ, අග්‍රබිජ, පස් වනු බීජ බීජ ම දැ යි යන සියල්ල කා දමයි, මොහුගේ දත් (එයට හසු වන සියල්ල සුණුවිසුණු කරන) මහත් හෙන සකක් වැන්න, එහෙත් ශ්‍රමණ නාමයෙන් මොහු හඳුනති’ යි කිසි මහණකු හෝ බමුණකු හෙලා දක්නේ නො වේ ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුසෙක් කුලයන්හි සත්කාර කරනු ලබන, ගෞරව කරනු ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන එක්තරා මහණකු හෝ බමුණකු හෝ දක්නේ ද, දැකීමෙන් “පසය බහුල කොටැති ව දිවි පවත්වන මොහුටත් කුලයන්හි සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පූජා කරත්, රූක්‍ෂ පැවැත්මෙන් දිවි පවත්වන තපස් වූ මට කුලයන්හි සත්කාර නො කරත්, ගරු නො කරත්, බුහුමන් නො කරත්, පූජා නො කරත් යැ” යී ඔහුට මෙසේ සිතෙක් නො වන්නේ ද, මෙසේ හෙ තෙමේ කුලයන් කෙරෙහි ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය නො උපදවන්නේ වේ ද, මෙසේ හෝ එ කරුණෙහි පිරිසිදු වෙයි.
__missing translation__
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම “මේත් මගේ තපෝගුණයෙක, මේත් මගේ තපෝගුණයෙකැ”යි තමා දක්වනුයේ කුලයන්හි නො හැසිරෙයි ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම කිසි දු පිළිසන් තැනක් නො සෙවී ද (කිසි දොසක් සඟොවා ගෙන නො හැසිරෙයි ද), හෙ තෙම ‘මෙය ඔබට කැප ද?’ යි විචාරන ලදුයේ ම, කැප නො වන දැය ‘නො කැප යැ’ යි කියා ද, කැප වන දය ‘කැප යැ’ යි කියා ද, මෙසේ හේ දැන දන මුසවා නො බෙණෙන්නේ ද, මෙපරිද්දෙන් හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම දහම් දෙසන්නා වූ තථාගතයන්ගේ හෝ තථාගත ශ්‍රාවකයකුගේ හෝ අනුදත යුතු වූ ම (අනුමෙවියැ යුතු වූ ම) ධර්‍ම කථාව අනුදනී ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම ක්‍රෝධ නො කරන්නේ වෛර නො බඳින්නේ වේ ද, න්‍යග්‍රෝධයෙනි, ‘තවුසා ක්‍රෝධ නො කරන්නේ ය, වෛර නො බඳින්නේ ය’ යන යමෙක් ඇද්ද, මෙසේ එ කරුණෙහි තවුස් තෙම පිරිසිදු වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ ගුණමකු නො වේ ද, යුගග්‍රාහී නො වේ ද ... ඊර්‍ෂ්‍යා නො කරන්නේ මසුරු බව් නො කරන්නේ වේ ද ... ශඨ නො වන්නේ වංචා නැත්තේ වේ ද ... තද ගති නැත්තේ අධික මාන නැත්තේ වේ ද ... ලාමක ආශා නැත්තේ ලාමක ආශාවනට වශග නො වූයේ වේ ද ... මිසදිටු නො වනුයේ අන්තග්‍රාහික මිසදිටුයෙන් යුක්ත නො වේ ද ... තමා ගත් දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරනුයේ දැඩි ගැනුම් නැත්තේ පහසුයෙන් බැහැරැ කළ හැකි දෘෂ්ටි ඇත්තේ වේ ද, න්‍යග්‍රෝධයෙනි, මේ තවුස් තෙමේ තමා ගත් දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නේ ය, දැඩි ගැනුම් නැත්තේ ය, පහසුවෙන් බැහැරැ කට හැකි දෘෂ්ටි ඇත්තේ ය යන යමෙක් ඇද්ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.
“න්‍යග්‍රෝධයෙනි, එය කිමැ යි සිතහි ද? ඉදින් මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව පිරිසිදු හෝ වේ ද? අපිරිසිදු හෝ වේ ද?”
“වහන්ස, මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව ඒකාන්තයෙන් පිරිසිදු වෙයි, අපිරිසිදු නො වේ, මුදුන් පැමිණියේ වේ, හරයට පැමිණියේ වේ යැ” යි පිරිවැජියා කී ය.
“න්‍යග්‍රෝධයෙනි, මෙ තෙකින් තපෝජුගුප්සාව මුදුන් පැමිණියේ ද නො වේ, හරයට පැමිණියේ ද නො වේ. වැලිදු පිට සුඹුලට පැමිණියේ ම වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
පරිශුද්ධ - ත්‍වක්ප්‍රාප්තකතා - කථාව
12. “වහන්ස, තපෝජුගුප්සාව කොතෙකින් මුදුන් පැමිණියේ වේ ද, හරයට පැමිණියේ වේ ද? යාච්ඤා කරම්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට තපෝජුගුප්සාවගේ මුදුන ම දක්වා දම් දෙසන සේක් වා, හරය ම දක්වා දම් දෙසන සේක් වා” යි පිරිවැජි කී ය.
“න්‍යග්‍රෝධයෙනි, මෙහි තවුස් තෙමේ චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වෙයි. න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ කෙසේ නම් චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වේ ද? යත්:
න්‍යග්‍රෝධයෙනි, මෙහි තවුස් තෙම පණිවා නො කෙරෙයි, පණිවා නො කරවයි, පණිවා කරන්නක්හට නො ම අනුදන්නේ වෙයි. මෙරමා අයත් නො දුන් දෑ නො ගනී, නො දුන් දෑ නො ද ගන්වයි, නො දුන් දැය ගන්නහුට අනුදන්නේ ද නො වෙයි. බොරු නො කිය යි, බොරු නො ද කියව යි, බොරු කියන්නහුට අනුදන්නේ ද නො වෙයි. පස් කම් සුව සෙව්නේ නො වෙයි, පස් කම් ගුණ සෙවවන්නේ නො වෙයි, පස් කම් ගුණ සෙවුනාහට අනුදන්නේ ද නො වෙයි. න්‍යග්‍රෝධයෙනි, මෙසේ තවුස් තෙමේ චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වෙයි. මෙය ඔහුගේ තවුස් බව වෙයි. හේ එය මතුමත්තට ගෙන යෙයි (වඩයි), ගිහි බවට නො පෙරැළෙයි.
හෙ තෙමේ අරණක්, රුක්මුලක්, පව්වක්, කඳුරක්, ගිරි ලෙනක්, සොහොනක්, වනපෙතක්, එළි මහනක්, පිදුරු ගොඩක් යන මේ කිසි විවික්ත වූ යම් සෙනස්නක් බෙපේයි. හේ පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ පසු බත්හි පළක් බැඳ කය ඍජු කොට පිහිටුවා, සිහිය කමටහනට යොමු කොට එළවා හිඳියි. හේ ලොවැ (අත්බව කෙරෙහි) ඇල්ම හැර, (විෂ්කම්භණ ප්‍රහාණ වශයෙන්) පහ වූ අභිධ්‍යාව ඇති සිතින් වෙසෙයි. අභිධ්‍යාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද සංඛ්‍යාත ප්‍රද්වේෂ්ය (ක්‍රෝධය) පහ කොට, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ අනුකම්පා ඇති වැ වෙසෙයි. (විෂ්කම්භණ වශයෙන්) ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යාන මිද්ධය හැර පහ වූ ස්ත්‍යාන මිද්ධය ඇතිව, දව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥා ඇත්තේ, ස්මෘතිමත් වැ, නුවණ ඇති ව, ස්ත්‍යාන මිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චය ද (සිතැ නො සංහුන් බව ද) කුක්කුච්චය ද (කළ නො කළ දැයෙහි පසුතැවිල්ල ද) සිතින් දුරැලා, සංසුන් වූයේ සංහිඳුණු සිත් සතන් ඇත්තේ, උද්ධච්ච කුක්කුච්ච දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව (සැකය) දුරැලා, තිණූ (ඉක්මි) සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නො කරනුයේ වෙසෙයි, විචිකිච්ඡාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. හේ නුවණ දුබල කරන, සිත කෙලෙසන මේ පංච නීවරණයන් (විෂ්කම්භණ ප්‍රහාණයෙන්) පහ කොට, මෛත්‍රීසහිත සිතින් එක් දිසාවක් පැතිරැගෙන වෙසෙයි. එසේ ම දෙවෙනි දිශාව ද, තෙවෙනි දිශාව ද, සිවුවැනි දිශාව ද, මෛත්‍රී සහිත සිතින් පැතිර වෙසෙයි. මෙසේ උඩ ද යට ද සරස ද යන හැම තන්හි සර්‍වාත්මතායෙන් (තමා හා සම කොට) සර්‍වසත්ත්‍වවත් (සියලු සතුන් ඇති) ලෝකය (හෙවත් මුළු ලොව) (ස්ඵරණ වශයෙන්) විපුල වූ, (භූමි වශයෙන්) මහද්ගත වූ (ආලම්බන වශයෙන්) අප්‍රමාණ වූ ව්‍යාපාද රහිත (දොම්නස් නැති බැවින්) නිදුක් වූ මෛත්‍රී සහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි. … කරුණා සහගත සිතින් … මුදිතාසහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පැතිර ගෙන වෙසෙයි, එසේ දෙවෙනි දිශාව ද තෙවෙනි දිශාව ද සිවුවැනි දිශාව ද පැතිරැගෙන වෙසෙයි. මෙසේ උඩ ද යට ද සරස ද හැම තන්හි සර්‍වාත්මතායෙන් සර්‍වවත් ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ, වෛර නැති දොම්නස් නැති උපේක්‍ෂා සහගත සිතින් පැතිර ගෙන වෙසෙයි.
“න්‍යග්‍රෝධයෙනි, ඉදින් මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව පිරිසිදු ද නොහොත් අපිරිසිදු ද?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“වහන්ස, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් තපෝජුගුප්සාව පිරිසිදු වෙයි, අපිරිසිදු නො වෙයි, අග්‍රප්‍රාප්ත ද සාරප්‍රාප්ත ද වේ” යැ යි පිරිවැජි කී ය.
“න්‍යග්‍රෝධයෙනි, මෙ පමණෙකින් තපෝජුගුප්සාව අග්‍රප්‍රාප්ත ද සාරප්‍රාප්ත ද නො වේ ම ය. වැලි එහි පොත්ත බඳු බවට පැමිණියේ වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
පරිශුද්ධ ඵල්ගුප්‍රාප්තකතා කථාව
13. “වහන්ස, කොපමණෙකින් තපෝජුගුප්සාව අග්‍රප්‍රාප්ත සාරප්‍රාප්තත් වේ ද? යාච්ඤා කරම්, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට තපෝජුගුප්සාවේ අග ම (දේශනයෙන්) පමුණුවන සේක් වා, හරය ම (දේශනායෙන්) පමුණුවන සේක් වා” යි පිරිවැජි කී ය.
“න්‍යග්‍රෝධයෙනි, මෙහි තවුස් තෙම චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වෙයි. කෙසේ නම් තවුස් තෙම චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වේ ද? යත්: ... න්‍යග්‍රෝධයෙනි යම් කලෙක තවුස් තෙම මෙසේ චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වේ ද, එය ඔහුගේ තපස්වී බව වෙයි. හෙ තෙම එය වඩ යි, ගිහි බවට පෙරළා නො හැරෙයි: හේ ... විවික්ත සෙනස්නක් බෙජෙයි. හේ සිත කෙලෙසන, ප්‍රඥාව දුබල කරන මේ පංච නීවරණ දුරුකොට, මෛත්‍රීසහගත සිතින් … පැතිර ගෙන වෙසෙයි. හේ අනේකවිධ පෙරැවුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි: “අසෝ තැනැ මෙනම් ඇති වීමි, මෙගොත් ඇති වීමි, මෙවන් පැහැ ඇත්තෙම් වීමි, මෙවන් අහර ඇත්තෙම් වීමි, මෙ බඳු සුවදුක් විඳුනෙම් වීමි, මෙ තෙක් ආයු සීමා ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි. එහි ද මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත් ඇත්තේතම්, මෙබඳු පැහැ ඇත්තෙම්, මෙබඳු අහර ඇත්තෙම්, මෙසේ සුවදුක් විඳුනෙම්, මෙසේ වූ ආයු ශීමා ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැව, මෙහි උපනිමි’යි. මෙසේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දහයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සිය දහසක් ද නොයෙක් සිය ගණන් ජාතීන් ද නොයෙක් දහස් ගණන් ජාතීන් ද නොයෙක් සිය දහස් ගණන් ජාතීන් ද නොයෙක් සංවර්‍ත කල්ප ද නොයෙක් විවර්‍ත කල්පද නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්ප දැ යි ආකාර සහිත උද්දේස සහිත නොයෙක් වැදෑරුම් පෙරැවුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
න්‍යග්‍රෝධයෙනි, එය කිමැයි සිතවු ද? ඉදින් මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව පිරිසිදු වේ ද? නැත හොත් අපිරිසිදු වේ ද?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“වහන්ස, මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව ඒකාන්තයෙන් පිරිසිදු වෙයි, අපිරිසිදු නො වෙයි, අග්‍රප්‍රාප්ත ද සාරප්‍රාප්ත ද වේ යැ”යි පිරිවැජි කී ය.
“න්‍යග්‍රෝධයෙනි, මෙතෙකින් තපෝජුගුප්සාව අග්‍රප්‍රාප්ත ද සාරප්‍රාප්ත ද නො වෙයි. වැලි දු එහි එළය පැමිණියේ වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
පරිශුද්ධ - අග්‍රප්‍රාප්තසාරප්‍රාප්තතා - කථාව
14. “වහන්ස, කොතෙකින් තපෝජුගුප්සාව අග්‍රප්‍රාප්තත් සාරප්‍රාප්තත් වේ ද? යාච්ඤා කරම්, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට තපෝජුගුප්සාවගේ කෙළවර ම සාරය ම (දේශනායෙන්) පමුණුවන සේක් වා” යි පිරිවැජි කී ය.
“න්‍යග්‍රෝධයෙනි, මෙහි තවුස් තෙම චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වෙයි. න්‍යග්‍රෝධයෙනි, කෙසේ නම් තවුස් තෙම චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වේ ද? ... යම් විටෙක තවුස් තෙම චාතුර්යාම සංවරයෙන් හැවුරුණේ වේ ද, එය ඔහුගේ තවුස් බව වේ. හෙ තෙම එය මතු මත්තට ගෙන යයි, ගිහි බවට නො පෙරැළෙයි. හේ ... විවික්ත සෙනස්නක් බෙජෙයි ... සිත කෙලෙසන, නුවණ දුබල කරන, මේ පංව නීවරණයන් ප්‍රහීණ කොට, විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ දොම්නස් රහිත වූ මෛත්‍රී සහගත සිතින් … උපේක්‍ෂා සහගත සිතින් පැතිර ගෙන වෙසෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත ව උද්දේස සහිත ව අනේකවිධ වූ පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
හේ මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මා පැවැති පිරිසිදු දිවැසින් ‘අහෝ, මේ භවත් සත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යෝපවාද කරන්නාහු, මිසදිටු ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදාන ඇත්තෝ වූහ. ඒ මොහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුකට ස්ථාන වූ, සතුන් විවශ ව පතිත වන තැන වූ නිරයට වන්නාහ. මේ සත්හු වූ කලී කායසුචරිතයෙන් යුක්ත වූවාහු, වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු, මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු, සම්දිට් ඇත්තාහු, සම්‍යග්දෘෂ්ටි විසින් ගත් කර්‍ම සමාදාන ඇත්තාහු ය. ඒ මොහු කාබුන් මරණින් මතු සැපයට ස්ථාන වූ සඟ ලොවට පැමිණියාහ’ යි පහත් වූ ද, උසස් වූ ද, සුරූප වූ ද, විරූප වූ ද, ධනවත් වූ ද, දිළිඳු වූ ද, තම තමන්ගේ කර්‍මයට අනුරූප වැ එළ බැ සිටියා වූ මරණාසන්න වූ ද, එ කෙණෙහි උපන්නා වූ ද, සත්ත්‍වයන් දකියි. න්‍යග්‍රෝධයිනි, එය කිමැයි සිතවු ද? ඉදින් මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව පිරිසිදු ද නොහොත් නො පිරිසිදු ද?” යි අසා වදාළ සේක.
“වහන්ස, මෙසේ ඇති කල්හි තපෝජුගුප්සා ව ඒකාන්තයෙන් පිරිසිදු වේ. අපිරිසිදු නො වේ, අග්‍රප්‍රාප්ත ද සාරප්‍රාප්ත ද වේ” යැ යි පිරිවැජි කී ය.
“න්‍යග්‍රෝධයිනි, තපෝජුගුප්සාවාදී තීර්‍ත්‍ථකයන්ගේ සමය පරිදි තපෝජුගුප්සාව මෙතෙකින් අග්‍රප්‍රාප්ත ද සාරප්‍රාප්ත ද වේ. න්‍යග්‍රෝධයිනි, ‘යමෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයෝ හික්මවන ලද්දාහු, සතුටට පැමිණියාහු උත්තම නිඃශ්‍රය වූ පැරැණිතම බඹසරක් පිළින කෙරෙද් ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්‍මය කවරේ ද?” යි යම් වචනයක් තෙපි මට කිවු ද (යම් ප්‍රශ්නයක් තෙපි මා විචාළහු ද), එහි ලා මා විසින් හික්මවන ලද ශ්‍රාවකයෝ මෙයින් සතුටට පැමිණියම්හ යි උත්තමානිඃශ්‍රය වූ යම් ආදි බ්‍රහ්මචර්‍ය්‍යයක් පිළින කෙරෙත් ද, න්‍යග්‍රෝධයෙනි, මෙසේ ඒ කාරණය මේ ඉහත කී හැමට ම වඩා ශ්‍රේෂ්ඨ ද වඩා උතුම් ද වේ” යැ යි වදාළ සේක.
මෙසේ වදාළ කල්හි ඒ පිරිවැජියෝ “මෙහි ආචාර්‍ය්‍යයා සහිත වූ, අපි නටුවම්භ, මෙහි ආචාර්‍ය්‍යයා සහිත වූ අපි වැනසුණම්හ. අපි මෙයට වැඩි තරම් කිසිවක් මෙයට වඩා ශේෂ්ඨ දැයක් නො දන්මහ”යි උද්ඝෝෂවත් වූවාහු උස් භඩ මහ හඩ ඇත්තෝ වූ හ.
න්‍යග්‍රෝධයාගේ ප්‍රධ්‍යානය
15. සන්‍ධාන ගෘහපති තෙතම යම් විටෙක මේ අන්තොටු පිරිවැජියෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනය අසනු කැමැත්තාහ යි, එයට කන් එළවත් යැ යි, දැන ගැන්ම පිණිස සිත යොමු කෙරෙත් යැ යි දැන ගත්තේ ද, එ කල්හි න්‍යග්‍රෝධ පිරිවැජියා අමතා “වහන්ස, න්‍යග්‍රෝධයෙනි, ‘එසේ නම් ගැහැවිය, දනුව. කවරකු හා මහණ ගොයුම් කතාබස් කෙරේ ද? කවරකු හා සාකච්ඡාවට බස්නේ ද? කවරකු හා උතුරු පිළිතුරු කතායෙන් ප්‍රඥාව්‍යක්තතාවට පැමිණේ ද? මහණ ගොයුම්හුගේ ප්‍රඥාව ශුන්‍යයාගාරයන්හි ම නටුයේ ය. මහණ ගොයුම් අවිසාර ද බැවින් පිරිස් මැදට බස්නට නො හැක්කේ ය. ආලාපසංලාපයට සමත් නො වෙයි. කිසිවක් ඇඟැ හැපෙතැයි බියෙන් මඟ හැර යන එකැස් කණ දෙනක මෙන් ප්‍රශ්න අසතැ යි බියෙන් ගමින් බොහෝ දුරැ සෙනසුන් සෙව්නේ ය. එ බැවින් දැන ගනුව ගැහැවිය, මහණ ගොයුම් මේ පිරිසට ආවොත් එක් ප්‍රශ්නයෙන් ම ඔහු යටපත් කරන්නමු. හිස් කළයක් (ඒ මේ අත පෙරළා බැඳ තබන්නාක්) සෙයින් වාද කථායෙන් බැඳ තබන්නමු” යි මෙසේ ඔබ මට යම් වචනයක් කීවෙන් ද, වහන්ස, ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දැන් මෙහි වැඩ ඉන්නා සේක. උන්වන්හසේ පිරිස් මැදට නො බස්නකු කරන්න, මඟැ අයින් වෙවි යන දෙනක වැන්නකු කරන්න. එක් ප්‍රශ්නයෙකින් ම උන්වහන්සේ යටපත් කරන්න, හිස් කළයක් මෙන් උන්වහන්සේ පෙරළා බැඳ තබන්නා යි කී ය.
16. මෙසේ කී කල්හි න්‍යග්‍රෝධ පිරිවැජි තෙම නිහඬ වූයේ තෙද නැත්තේ, කර බා ගත්තේ, යටට හෙලූ මුහුණ ඇත්තේ, සිතිවිලි සිතනුයේ, කිසිත් වටහාගත නො හැකිව හුන්නේ ය.
එ කලැ භාග්‍යවතුන් වහන්සේ න්‍යග්‍රෝධ පිරිවැජියා නිහඬ වැ තෙද නැති වැ කර බා ගත්තකු ව යටට හෙලූ මුහුණ ඇති වැ සිතිවිලි සිතමින් වැටහෙන නුවණක් නැති වැ හුන්නහු දැන, ඔහු බණවා, ‘න්‍යග්‍රෝධයෙනි, සැබෑ ද? තොප ඒ වවන කීවා ද?’ යි අසා වදාළ සේක.
“වහන්ස, එවැනි බසක් කියන්නට තරම් ම අඥාන වූ මූඪ වූ අදක්‍ෂ වූ මා විසින් ඒ වචන කියන ලද,” යි පිරිවැජි කී ය.
“න්‍යග්‍රෝධයෙනි. ඒ කිමැ යි සිතවු ද? කරුණු කියන්නා වූ, වයසින් වැඩී සිටි, මහලු වූ තොපගේ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍යයන්ගේ වචනය තොප විසින් කෙසේ අසන ලද ද? ඉකුත් කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු නම්, ඒ භාග්‍යවත්හු එක් රැස් ව එක් රැස් වැ ඝෝෂවත් ව උස්හඬ මහ හඬ ඇති ව, ඇදුරා සහිත ව, අද තොප කරන නියායෙන් රාජ කථා චෝර කථා ... ඉතිභවාභව කථා ය යන අනේකවිධ තිරශ්චීන කථායෙහි යෙදී වුසූහු ද? නොහොත් දැන් මා කරන සෙයින් ඒ භගවත්හු අල්පශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, ජනවාත විරහිත, මන්ත්‍රණාදි මිනිසුන්ගේ රහස් ක්‍රියාවනට සුදුසු ව පිහිටි, විවේකයට නිසි වූ, වෙනෙහි දුර සෙනසුන්, වඩාත් දුරැ වූ මනුෂෙයාපචාර විරහිත සෙනසුන් සෙවිත් දැ?”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“වහන්ස, ඉකුත් කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු නම්, ඒ භගවත්හු එක් රැස් ව එක් රැස් වැ ඝෝෂවත් ව උස් හඬ මහ හඬ ඇති ව, ඇදුරා සහිත වැ අද මා කරන නියායෙන් රාජ කථා චෝර කථා ... ඉතිභවාභවකථා යන අනේකවිධ තිරශ්චීන කථායෙහි යෙදී නො වූසූහ. දැන් භාග්‍යවතුන් වහන්සේ සෙයින් අල්පශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, ජනවාත විරහිත, මන්ත්‍රණාදි මිනිසුන්ගේ රහස් ක්‍රියාවනට සුදුසු ව පිහිටි, විවේකයට නිසි වූ, වනයෙහි දුරැ පිහිටි සෙනසුන්, මනුෂෙයාපචාර විරහිත වඩාත් දුරැ සෙනසුන් සෙවිත්” යැ යි මේ පිළිබඳ ව කරුණු කියනු වයෝවෘද්ධ වූ මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය වූ පිරිවැජියන්ගේ මේ වචනය මා විසින් අසන ලද” යි පිරිවැජි කී ය.
“න්‍යග්‍රෝධයෙනි, විඥ වූ ම මහලු වූ ඒ තොපට, ‘ඒ භගවත් තෙමේ සත්‍යාවබෝධය කෙළේ ම මෙරමාගේ සත්‍යයාවබෝධය පිණිස දහම් දෙසයි, ඒ භගවත් තෙමේ ඉන්‍ද්‍රියදමනයෙන් දාන්ත වූයේ ම අනුන්ගේ ඉන්‍ද්‍රිය දමනය පිණිස දහම් දෙසයි, ඒ භගවත් තෙමේ ශාන්ත වූයේ ම අනුන්ගේ ශාන්තිය පිණිස දහම් දෙසයි, ඒ භගවත් තෙමේ ඕඝතරණය කෙළේ ම අනුන්ගේ ඕඝතරණය පිණිස දහම් දෙසයි, ඒ භාග්‍යවත් තෙමේ කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ ම අනුන්ගේ කෙලෙස් නිවනු පිණිස දහම් දෙසා’ යැ යි මේ සිත නො වී ද?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
__missing translation__
17. මෙසේ වදාළ කල්හි, න්‍යග්‍රෝධ පිරිවැජි තෙම ‘වහන්ස, වරද තෙම යම්සේ බාලයකු, යම්සේ මූඪයකු, යම්සේ අදක්‍ෂයකු ඉක්මැයේ ද (මැඩගෙන යේ ද), එසේ ම වරද බාල වූ මූඪ වූ අදක්‍ෂ වූ මා ඉක්මැ (මැඩගෙන) ගියේ ය. ඒ මම්, භාග්‍යවතුන් වහන්සේට එසේ කීයෙමි. වහන්ස, මගේ මතු සංවරය පිණිස භාග්‍යවතුන් වහන්සේ මගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක් වා (වරද වශයෙන් පිළිගන්නා මට ක්‍ෂමාව දෙන සේක්වා)’ යි කී ය.
“එ බැවින් න්‍යග්‍රෝධයෙනි, යම් බඳු තෙපි මට එසේ කීහු ද වරද තෙම යම්සේ අනුවණයකු, මුළාවූවකු, අදක්‍ෂයකු ඉක්ම යේ ද, එසේ ම තොප ද ඉක්මා ගියේ ය. න්‍යග්‍රෝධයෙනි, යම් හෙයෙකින් තෙපි වරද වරද වශයෙන් දැක, ධර්‍මය වූ පරිදි එයට පිළියම් කරවු ද, තොප කරන ඒ දැය අපි පිළිගනිමු. න්‍යග්‍රෝධයෙනි, යමෙක් වරද වරද වශයෙන් දැක, එයට ධර්‍මය වූ පරිදි පිළියම් කෙරේ ද, මත්තෙහි සංවරයට පැමිණේ ද, මෙය ආර්‍ය විනයයෙහි වැඩිමෙක. න්‍යග්‍රෝධයෙනි, මම් වූ කලි මෙසේ කියමි: ‘ඇති වරද නො සඟොවන, නැති ගුණ නො පෙන්වන සුලු, ඍජු ස්වභාවය ඇති, සිහි නුවණ ඇති පුරුෂ තෙමේ පැමිණේ වා. මම් උපදෙස් දෙමි, මම් දහම් දෙසමි. මගේ අනුශාසන පරිදි පිළිපදනේ, කුල පුත්තු යමක් පිණිස මැනැවින් ගිහි ගෙන් නික්ම පැවිදි බිම් වදිත් නම්, ඒ නිරුත්තර මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවසානය (රහත් ඵලය) හෝ මෙ අත්බව්හි ම සත් වසක් ඇතුළත, තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට, ලැබ වසන්නේ ය.
න්‍යග්‍රෝධයෙනි, සත් වසෙක් තිබේ වා. ඇති වරද නො සඟොවන, නැති ගුණ නො පෙන්වන සුලු, ඍජු ස්වභාවය ඇති, සිහි නුවණැති පුරුෂ තෙමේ පැමිණේ වා. මම් උපදෙස් දෙමි, මම් දහම් දෙසමි. මගේ අනුශාසන පරිදි පිළිපදනේ, යමක් පිණිස කුලපුත්තු මැනැවින් ගිහි ගෙන් නික්ම, පැවිදි බිම් වදිත් නම්, ඒ නිරුත්තර මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවසානය (රහත් ඵලය) හෝ මෙ අත්බව්හි ම ස වසක් තුළ ... පස් වසක් තුළ ... සිවු වසක් තුළ ... තුන් වසක් තුළ ... දෙ වසක් තුළ ... එක් වසක් තුළ තෙමේ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට, ලැබ වසන්නේ ය.
න්‍යග්‍රෝධයෙනි, එක් වසෙක් තිබේ වා. ශඨ නො වූ මායාවී නොවූ ඍජු ජාතික නුවණැති පුරුෂ තෙමේ පැමිණේ වා. මම් අනුශාසන කරමි, මම් දහම් දෙසමි. මගේ අනුශාසන පරිදි පිළිපදනේ, යමක් සඳහා කුලපුත්තු මැනැවින් ගිහි ගෙන් නික්මැ පැවිදි බිම වදිත් නම්, ඒ නිරුත්තර මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවසානය (රහත් ඵලය) හෝ මේ අත්බව්හි ම සත් මසක් තුළ තෙමේ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට, ලැබ වසන්නේ ය.
න්‍යග්‍රෝධයෙනි, සත් මසෙක් තිබේ වා. අශඨ වූ අමායාවී වූ ඍජු ජාතික වූ නුවණැති පුරුෂ තෙමේ පැමිණේ වා. මම් අනුශාසන කරම්, මම් දහම් දෙසමි. මගේ අනුශාසන පරිදි පිළිපදනේ, යමක් සඳහා කුලපුත්තු මැනැවින් ගිහි ගෙන් නික්මැ පැවිදි බිම වදිත් නම්, ඒ නිරුත්තර මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවසානය (රහත් ඵලය) හෝ මෙ අත්බව්හිම ස මසක් තුළ ... පස් මසක් තුළ ... සිවු මසක් තුළ ... තුන් මසක් තුළ ... දෙ මසක් තුළ ... එක් මසක් තුළ ... අඩ මසක් තුළ තෙමේ ම වෙසෙසි නුවණින් දන පසක් කොට ලැබ වසන්නේ ය.
න්‍යග්‍රෝධයෙනි, අඩ මසෙක් තිබේ වා. අශඨ වූ අමායාවී ඍජු ජාතික විඥ පුරුෂ තෙමේ පැමිණේ වා. මම් අනුශාසන කරමි, මම් දහම් දෙසමි. මා අනුශාසන කළ පරිදි පිළිපදනේ, යමක් පිණිස කුලපුත්තු මොනොවට ම ගිහි ගෙන් නික්ම, පැවිදි බිම වදිත් ද, ඒ නිරුත්තර මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවසානය (රහත් බව) හෝ මෙ අත්බව්හි ම සතියක් තුළ තෙමේ ම වෙසෙසි නුවණින් දෘන පසක් කොට ලැබ වසන්නේ ය.
__missing translation__
18. න්‍යග්‍රෝධයෙනි, තමාගේ අතැවැස්සකු කැරැගනු කැමැති වැ මහණ ගොයුම් තෙම මෙසේ කීයේ දෝ හෝ යි තොපට මෙසේ සිතක් විය හැක්ක. න්‍යග්‍රෝධයෙනි, මෙය එසේ නො දත යුතු. යමෙක් තොපගේ ආචාර්‍ය්‍ය වී ද, හේ ම තොප ගේ ආචාර්‍ය්‍ය වේ වා.
න්‍යග්‍රෝධයෙනි, ‘මහණ ගොයුම්හු අපගේ ධර්‍මතන්ත්‍රෝද්ග්‍රහණයෙන් අප බැහැර කරනු රිසි වැ මෙසේ කියතැ යි තොපට මෙසේ සිතක් වියැ හැක්ක. න්‍යග්‍රෝධයෙනි, මෙය එසේ නො ම දත යුතු. තොපගේ යම් ධර්‍මතන්ත්‍ර ඉගැන්මෙක් වේ ද, එය ම තොපගේ ඉගැන්ම වේ වා.
න්‍යග්‍රෝධයෙනි, ‘මහණ ගොයුම්හු අපගේ ජීවිකාවෘත්තියෙන් අප බැහැර කරනු කැමැති ව මෙසේ කියතැ යි තොපට මෙසේ සිතක් විය හැක්ක. න්‍යග්‍රෝධයෙනි, මෙය එසේ නො ම දත යුතු. තොපගේ යම් ජීවිකාවෘත්තියෙක් වේ ද එයම තොපගේ ජීවිකාවෘත්තිය වේ වා.
න්‍යග්‍රෝධයෙනි, ‘අකුසල් කොටසට අයත් කොට ඇදුරා සහිත අප විසින් කියන ලද අකුසල් වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් නම්, එහි අප පිහිටුවනු කැමැති ව, මහණ ගොයුම්හු මෙසේ කිය තැ’ යි තොපට මෙසේ සිතක් වියැ හැක්ක. න්‍යග්‍රෝධයෙනි, මෙය එසේ නො ම දත යුතු. ඇදුරා සහිත තොප විසින් අකුසල් කොටසට අයත් යැ යි කියන ලද අකුසල් වූ ඒ ධර්‍මයෝ එසේ ම වෙත් වා.
න්‍යග්‍රෝධයෙනි, “කුසල් කොටසට අයත් කොට ඇදුරා සහිත අප විසින් කියන ලද යම් කුසල් දහම් කෙනෙක් වෙත් නම්, එයින් අප බැහැරැ කරනු කැමැති වැ මහණ ගොයුම්හු මෙසේ කිය තැ’ යි මෙසේ සිතක් තොපට විය හැක්ක. න්‍යග්‍රෝධයෙනි, මෙය එසේ නො ම දත යුතු. ඇදුරා සහිත තොපගේ කුසලසංඛ්‍යාත වූ ඒ කුසල් දහම්හු එසේ ම වෙත් වා. න්‍යග්‍රෝධයෙනි, අතැවැසි කැරැගනු කැමැත්තෙන් මෙසේ නො ම කියමි. තොපගේ ඉගැන්මෙන් බැහැරැ කරනු කැමැති ව මෙසේ නො ද කියමි. තොපගේ ජීවිකාවෘත්තියෙන් බැහැර කරනු කැමැති ව මෙසේ නො ද කියමි. ඇදුරා සහිත තොප අකුසල් යැ යි අකුසල් කොටසට ඇතුළත් යැ යි සලකන ලද දහම් හි තොප පිහිටුවනු කැමැති ව මෙසේ නො ද කියමි. ඇදුරා සහිත තොප කුසල් යැ යි කුසල් කොටසට අයත් යැයි පිළිගත් දහම් කෙරෙන් තොප බැහැර කරනු කැමැති ව මෙසේ නො ද කියමි. න්‍යග්‍රෝධයෙනි, යම් කෙනෙකුන්ගේ ප්‍රහාණය පිණිස මම් දහම් දෙසම් ද, සිත් සතන් කෙලෙසන, පුනර්‍භවය පිණිස පවත්නා, කෙලෙස් පෙළුම් සහිත වූ, දුක් විපාක ගෙන දෙන, මතු ජාතිජරාමරණයට ප්‍රත්‍යය වූ (තොප සිත්සතන්හි) අප්‍රහීණ වූ ඒ අකුසල ධර්‍ම කෙනෙක් ඇත් ම ය. යම් සේ පිළිපන් තොපගේ ඒ සිත් කෙලෙසන ස්වභාවයෙන් ප්‍රහීණ වන්නාහු ද, සිත් සතන් පිරිසිදු කරන ධර්‍මයෝ තොප සිත් සතන්හි වැඩෙන්නාහු ද, මාර්‍ගප්‍රඥාවගේ පරිපූර්‍ණත්‍වයත් ඵල ප්‍රඥාවගේ විපුලත්‍වයත් මේ අත්බව්හි ම තුමූ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වසවු ද, එසේ වනු පිණිස මම් දහම් දෙසමි.”
19. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි, මාරයා විසින් මඩනා ලද සිතැත්තාහු යම් සේ ද, එසේ ඒ පිරිවැජියෝ නිහඬ ව, තෙද නැති ව, කර බා ගත්තෝ වැ, බිමට හෙලූ මුහුණු ඇති ව, සිතිවිලි සිතන්නාහු වැටහෙන නුවණ නැතියෝ ව හුන්හ. එ කල, භාග්‍යවතුන් වහන්සේට, ‘එසේ නම් අපි දැනගනු පිණිස නුමුදු මහණ ගොයුම් කෙරෙහි බඹසර කරමු’ යි ‘සත් දින අපිට කවර අපහසුවක් කරන්නේ ද’ යි මෙසේ සිතෙක් යම් ඒ පිරිවැජියන් අතුරෙහි එකකුට දු නො වන්නේද, එ පමණට ම මේ සියලු ම හිස් පුරුෂයෝ පාපි වූ මරහු විසින් ස්පර්‍ග කරන ලදහ’ යි මේ සිත විය.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ උදුම්බරිකාවගේ පිරිවැජි අරමැ මෙසේ පරවාදච්ඡේදක ස්වවාද සමුත්‍ථාපක අභීත නාදය පවත්වා, අහස් නැඟ, ගිජුකුළු පව්වෙහි පිහිටි සේක. සන්‍ධාන ගෘහපති එ කෙණෙහි ම රජගහ පුරයට පිවිසියේ ය.
දෙවෙනි උදුම්බරික සීහනාද සූත්‍රය නිමියේ ය.
චක්‍රවර්ති සිංහනාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ රටැ මාතුලා නුවරැ වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු ඔබට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ මතු දැක්වෙන ධර්‍මය වදාළ සේක:
මහණෙනි, ආත්මය හෙවත් ලොවී ලොව්තුරා දහම් ද්වීප කොට ඇත්තෝ වැ, ආත්මය ශරණ කොට ඇත්තෝ වැ, අන් සරණයක් අපේක්‍ෂා නො කරන්නෝ වැ, ධර්‍මය ද්වීප කොටැත්තෝ වැ, ධර්‍මය ශරණ කොටැත්තෝ වැ, අන් සරණයක් නැත්තෝ වැ වසවු. මහණෙනි, මහණ තෙම කෙසේ නම් ආත්මය ද්වීප කොටැති වැ, ආත්මය ශරණ කොටැති වැ, අනන්‍ය ශරණ වැ, ධර්‍මය ද්වීප කොටැති වැ, ධර්‍මය ශරණ කොටැති වැ අනන්‍ය ශරණ වැ වෙසේ ද? යත්.
මහණෙනි, මෙහි මහණ තෙමේ කයෙහි කායානුපස්සී වැ (කය අනුව බලන්නෙක් වැ), කෙලෙස් තවන වැර ඇති වැ, නුවණින් දන්නේ, එළඹැ සිටි සිහි ඇත්තේ, ලොවෙහි (කයෙහි) අභිධ්‍යාවත් දොම්නසත් බැහැර කොට වෙසෙයි. වේදනාවන්හි වේදනානුපස්සී වැ … සිතෙහි චිත්තානුපස්සී වැ … ධර්‍මයන්හි (සංඥා සංස්කාරයන්හි) ධම්මානුපස්සී වැ කෙලෙස් තවන වැර ඇති වැ, නුවණින් දන්නේ, එළැඹැ සිටි සිහිඇත්තේ, ලොවෙහි (සංඥා සංස්කාර ස්කන්‍ධයන්හි) අභිධ්‍යාව ද දොම්නස ද බැහැරැ කොට වෙසෙයි. මහණෙනි, මෙසේ ම මහණ තෙම ආත්මද්වීප වැ ආත්ම ශරණ වැ අනන්‍ය ශරණ වැ ධර්‍මද්වීප වැ ධර්‍ම ශරණ වැ අනන්‍ය ශරණ වැ වෙසෙයි.
මහණෙනි, තමන් සතු වූ, පියාගෙන් තමනට උරුම වැ පැමිණි හැසිරීමට නිසි පෙදෙසෙහි හැසිරෙවු. පියාගෙන් උරුම ව ආ හැසිරීමට නිසි පෙදෙසෙහි හැසිරෙන්නවුන්ගේ සිදුරක් මාර තෙමේ නො දකින්නේ ය, අරමුණක් මාර තෙමේ නො ලබන්නේ ය. මහණෙනි, කුශල ධර්‍ම සමාදන් කොට ගෙන පවත්නා හෙයින් මෙසේ මේ පින් වැඩෙයි.
2. මහණෙනි, පෙරැ වූවක් කියම්. පෙරැ දැහැමි වූ දැහැමින් රජය කරවන්නා වූ, සතර මහ සයුරුහිම් කොටැති (සිවු මහ දිවයින වූ) මුළු පොළොවට අධිපති වූ, සියලු සතුරන් දිනූ, (කිසිවකු විසිනුත් සොලොවාලියැ නො හැකි බැවින්) දනවුහි ස්ථීර බවට පැමිණි, සත් රුවනින් සමන්‍විත දළ්හනේමි නම් වූ සක්විති රජෙක් විය. චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපතිරත්නය, සත්වැනි පරිනායකරත්නය ම යැ යි ඔහුට මේ සත් රුවන් කෙනෙක් වූහ. බාන සුලු නොවූ, මූර්තිමත් වීර්‍ය්‍යය බඳු ශරීර ඇති, පර සෙන් මඩිනු සමත් වූ, දහසකට වැඩි පුත්‍ර කෙනෙක් ඔහුට වූහ. එ සක්විති තෙම සයුරහිම් මෙ මහ පොළොව දඬුවමින් තොර වැ අවියෙන් තොර වැ, දැහැමෙන් සෙමෙන් දිනා අධිපති වැ විසී ය. මහණෙනි, එ කල්හි දළ්හනේමි රජ තෙමෙ හවුරුදු බොහෝ ගණනෙක, හවුරුදු සිය ගණනෙක, හවුරුදු දහස් ගණනෙක ඇවෑමෙන් එක්තරා මිනිසකු බණවා, ‘එම්බා පුරුෂය, යම් විටෙක තෝ දෙව් සක්විති රුවන තුබූ තැනින් ඉවත් වැ සිටියා, තුබූ තැනින් පහ වැ සිටියා දුටුයෙහි වී නම්, එ විටැ මට දන්වව’ යි කී ය. මහණෙනි. එ පුරිස් තෙමෙ ‘එසේ ය දේවයන් වහන්සැ’ යි ම දළ්හනේමි රජු බස් මුදුනින් පිළිගත. මහණෙනි, හේ පුරිස් තෙම බොහෝ හවුරුදු ගණනෙක, බොහෝ හවුරුදු සිය ගණනෙක, බොහෝ හවුරුදු දහස් ගණනෙක ඇවෑමෙන් දෙව් සක්රුවන තුබූ තැනින් ඉවත් වූවා, පහ වැ සිටියැ දිටී ය. දැක, දළ්හනේමි රජු කරා එළඹියේ ය. එළඹ ඔහුට, ‘දේවයන් වහන්ස, දැනැ ගන්න. ඔබගේ දෙව් සක්රුවන ඉවත් විය, තුබූ තැනින් පහ වියැ’ යි සැළ කෙළේ ය.
3. මහණෙනි, එ විටැ දළ්හනේමි රජ තෙම දෙටුපුත් කුමරු කැඳවා, ‘දරුව, මගේ දෙව් සක්රුවන ඉවත් වී ල, තුබූ තැනින් පහ වී ල. ‘යම් සක්විති රජක්හුගේ දෙව් සක්රුවන ඉවත් වේ ද, තුබූ තැනින් පහ වේ ද, දැන් එ රජු විසින් බොහෝ කල් ජීවත් විය හැකි නො වේ’යන මෙය මා විසින් අසන ලදී. මිනිසුන් විසින් වින්දැ හැකි කාමයෝ මා විසින් විඳුනා ලදුහ. දැන් මට දිව්‍ය කාම සම්පත් සොයන්නට කල් පැමිණියේ වෙයි. දරුව, කුමාරය, මෙහි එව. මේ මුහුදුහිම් පොළොව තෝ අනුභව කරව. මම් වනාහි කෙහෙ රවුලු බහවා, කසා වත් හැඳ, ගිහි ගෙයින් පැවිදි බිමට වදනෙමි’ යි මෙ බස් පැවැසී ය. මහණෙනි, ඉක්බිති දළ්හනේමි සක්විති තෙමෙ දෙටුපුත් කුමර හට මොනොවට රජයෙහි අනුසැසැ (මෙසේ රජය කරව යි අනුශාසාන කොට), කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි බිම් වන.
මහණෙනි, ඒ රාජර්ෂිහු පැවිදි වැ සත් දවස් ගියකලැ දෙව් සක්රුවන අතුරුදහන් විය.
මහණෙනි, එ කල්හි එක්තරා මිනිසෙක් මුදුනැ ලත් අභිෂේක ඇති එ රජු කරා එළැඹියේ ය. එළැඹ මූර්‍ධාභිෂික්ත වූ එ රජහට, ‘දේවයිනි, දැන ගන්න, දෙව් සක්රුවන අතුරුදහන් අතුරුදහන් වී යැ’ සැළ කෙළේ ය. මහණෙනි, ඉක්බිති මූර්‍ධාභිෂික්ත ඒ ක්‍ෂත්‍රිය රාජ තෙම දෙව් සක්රුවන අතුරුදහන් වූ කලැ නො සතුටු සිතැති විය. නො සතුටු සිතැති බව ද දැන්වී ය. හේ රාජර්ෂිහු කරා එළැඹියේ ය. එළැඹ ඔහුට ‘දේවයිනි, දෙව් සක්රුවන අතුරුදහන් වී යැ’ යි සැළ කෙළේ ය. මහණෙනි. මෙසේ කී කල්හි රාජර්ෂි තෙමෙ මූර්‍ධාභිෂික්ත ඒ කැත් රජුහට දරුව, දෙව් සක්රුවන අතුරුදහන් වූ කල්හි නො සතුටු නො වව, නොසතුටු බව නො පළ කරව, දෙව් සක්රුවන තට පියාගෙන් ලැබෙන දෑවැද්දක් නො වේ, ‘දරුව, දැන් තෝ අරී (නිදොස්) සක්විති වත් පුරව, අරී (නිදොස්) සක්විති වත් පුරන, ඒ පණුරැස් පොහෝ දිනැ හිස සෝදා නා, පෙහෙවස් සමාදන් කොට ගෙන, පහයැ මතු මාළට පැමිණ ඉන්නා තාහට දහසක් දැවි ඇති නිම් වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් ම පිරිපුන් දෙව් සක්රුවන පහළ වන්නේ ය යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යාමාන යැ’ යි කී ය.
4. “දේවයිනි, ඒ අරී (නිදොස්) සක්විති වන කවර යැ?”යි රජ පුළුවුත.
“දරුව එසේ නම්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම ඇසුරු කොට (දශ කුශලකර්‍ම පථ) ධර්‍මයට ම සත්කාර කරමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මයට ම ගරු කරමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මයට ම බුහුමන් කරමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම පුදමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම යටත් පැවැත්ම දක්වමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම ධ්වජයක් සේ පෙරටු කැරැගත්තෙක් වැ, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම කුන්තයක් සේ ඔසොවා ගත්තෙක් වැ (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම ආධිපත්‍යය කොට ඇත්තෙක් වැ, (හැම ක්‍රියාවක් දශ කුශලකර්‍ම පථ වශයෙන්ම කරන්නෙක් වැ) (පුත්‍ර දාරාදි) අන්තෝජනයා කෙරෙහි ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
ධර්‍මය ම ඇසුරු කොට … බලසෙන් කෙරෙහි ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධානය කරව.
ධර්‍මය ම ඇසුරු කොට … යටත් වූ අනුයුක්ත ක්‍ෂිත්‍රයයන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
ධර්‍මය ම ඇසුරු කොට … බමුණන් කෙරෙහි ද ගැහැවියන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
ධර්‍මය ම ඇසුරු කොට … නියම්ගම්වැසි දනවුවැසි ජනයා කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
ධර්‍මය ම ඇසුරු කොට … මහණුන් කෙරෙහි ද (බාහිත පාපි) බමුණන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
ධර්‍මය ම ඇසුරු කොට … මෘගපක්‍ෂීන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
දරුව, තගේ රටෙහි අධර්‍මක්‍රියා නොපවත්නා ලෙසට කටුයුතු සලසව.
දරුව, තා රටෙහි යම් කෙනෙක් ධනය නැත්තාහු ද, ඔවුනට ධනය දෙව.
දරුව, තා රටෙහි යම් මහණ බමුණු කෙනෙක් මදයෙන් හා ප්‍රමාදයෙන් වැළැක්කාහු, ක්‍ෂාන්තියෙහි ද සෞරත්‍යෙයෙහි ද (කායික වාචසික සුචරිතයෙහි ද) පිහිටියාහු එක ම තම සිත දමනය කෙරෙත් ද, එකම තම සිත සංහිඳුවත් ද, එක ම තම සිත පිරිනිවත් ද, ඔවුන් කරා කලින් කලැ එළැඹ, “වහන්ස, කුසල් කවර යැ? අකුසල් කවර යැ? වරද කවර යැ? නිවරද කවර යැ? සෙවියැ යුත්ත කවර යැ? නොසෙවියැ යුත්ත කවර යැ? මා කරන කිමෙක් නම් බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස පවත්නේ ද? මා කරන කිමෙක් හෝ බොහෝ කලක් වැඩ පිණිස සුව පිණිස පවත්නේ දැ?” යි නැවත නැවත විචාරව පුන පුනා ප්‍රශ්න කරව. ඔවුන් කී බස් අසා යමෙක් අකුසල් වේ ද, එය බැහැර කරව. යමෙක් කුසල් වේ ද, එය සමාදන් කොට ගෙන පවතුව.
දරුව, මේ අරී සක්විතිවත නම් වේ” යැ යි රාජර්ෂි කී ය.
“එසේ යැ දේවයිනි”යි කියා ම, මහණෙනි, මුදුනැ අබිසෙස් ලත් ඒ කැත් රජ රාජර්ෂිහට පිළිවදන් දී අරී සක්විති වතෙහි පැවැත්තේ ය. අරී සක්විති වත්හි පවත්නා, ඒ පසොළොස්වක් පුණු පොහෝදා හිස සෝදා නා, සමාදන් කොට ගත් පෙහෙවස් ඇති වැ, පහයැ මතු මහල් තලයට නැංගාවූ ඔහුට දහසක් අර ඇති, නිම්වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන් දෙව් සක්රුවන පහළ විය.
එය දැක්මෙන් මූර්‍ධාභිෂික්ත වූ ඒ කැත් රජුහට මේ සිත විය : ‘එ පුණුපොහෝ දින හිස සෝදා නා සමාදන් කොට ගත් පෙහෙවස් ඇති වැ පහයැ මතු මහල් තලයට නැගී හුන්, අරී සක්විති වත්හි පවත්නා මුදුනැ අබිසෙස් ලත් යම් කැත් රජක්හට දහසක් අර ඇති නිම්වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන් දෙව් සක්රුවන පහළ වේ ද, හෙ තෙමේ සක්විති රජ වේ යැ” යි මෙය මා විසින් අසන ලදී. මම් සක්විති රජ වන්නෙම් දෝ?’ යි යනු ය.
5. මහණෙනි, ඉක්බිති මූර්‍ධාභිෂික්ත වූ ඒ කැත් රජ තෙම හුනස්නෙන් නැගී, උතුරු සළුව එකස් කොට පෙරෙවැ, වම් අතින් කෙංඩිය ගෙන, ‘භවත් චක්‍රරත්නය පෙරැළේ වා, භවත් චක්‍රරත්නය දිශාවෙන් දිනා ව’ යි දකුණතින් සක්රුවනට දිය ඉස්සේ ය. මහණෙනි, එ කලැ ඒ සක්රුවන පෙර දෙසට පෙරැළිණ. සක්විති රජ ද සිවුරග සෙන් හා එය අනුව ම ගියේ ය. මහණෙනි, යම් පෙදෙසෙක සක් රුවන පිහිටියේ ද, සක්විති රජ එ තන්හි සිවුරඟ සෙන් හා වුසුම් ගත්තේ ය. මහණෙනි, පෙර දෙසැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු සක්විති රජු කරා එළැඹ, ‘මහරජුනි, වඩින්න, මහරජුනි, ඔබ මෙහි වැඩි නියා යහපත. මහරජුනි, මේ සියල්ල ඔබ සතු ය. මහරජුනි, අපට අනුශාසන කරන්නැ’ යි කීහ.
එ විට සක්විති රජ ඔවුන් බණවා,
“ප්‍රාණවධ නො කටයුතු, අයිනාදන් නො කට යුතු, කාමයන්හි වරදවා නො හැසිරියැ යුතු, මුසවා නො බිණියැ යුතු, මත් පැන් නො පියැ යුතු, තමන් සතු දෑ පරිභෝග කළ පරිදි ම දැහැමෙන් පරිභෝග කරවු” යැ යි මෙසේ කී ය.
මහණෙනි පෙර දෙසැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු සක්විති රජුට අනුකූල වූහ.
මහණෙනි, ඉක්බිති සක්රුවන පෙරදිගැ මුහුද වැද ගොඩ නැඟ දකුණු දිගට පෙරැළිණ … දකුණු දිග යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු සක්විති රජුට අනුකූල වූහ.
මහණෙනි, ඉක්බිති ඒ සක්රුවන දකුණු දිග මුහුද වැද ගොඩ නැඟ පැසිම් දිගට පෙරැළිණ. එය අනුව ම සක්විති රජ සිවුරඟ සෙන් හා ගියේ ය. මහණෙනි, යම් පෙදෙසෙක දෙව් සක්රුවන පිහිටියේ ද, සක්විති රජ එහි සිවුරඟ සෙන් හා ලැගුම් ගත්තේ ය. මහණෙනි, පැසිම් දිගැ යම් පිළිමලා රජ කෙනෙක් වූහු ද, ඔහු සක්විති රජු කරා එළැඹ, ‘මහරජුනි, වඩින්න. මහරජුනි, ඔබ වැඩි සේ යහපත. මහරජුනි, මේ සියල්ල ඔබ සතු ය. මහරජුනි, අනුශාසනා කරන්නැ’ යි කීහ.
එ විටැ සක්විති රජ,
‘ප්‍රාණවධ නො කළ යුතු, අයිනාදන් නොකළ යුතු, කාමමිථ්‍යාචාර නො කළ යුතු, මුසවා නොබිණියැ යුතු, මත් පැන් නො පියැ යුතු. තමන් පරිභෝග කළ රට එ පරිද්දෙන් ම පරිභෝග කරවු’ යැ යි මෙසේ කී ය. මහණෙනි. පැසිම් දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු ඒ සක්විති රජු අනුව යන්නෝ වූහ.
මහණෙනි, ඉක්බිත්තෙන් ඒ සක්රුවන පැසිම් මුහුද වැද ගොඩ නැඟ, උතුරු දෙසට පෙරැළිණ. සක්විති රජ ද එය අනුව ම සිවුරඟ සෙන් හා ගියේ ය. මහණෙනි, යම් පෙදෙසක දෙව් සක්රුවන රැදුණේ ද, සක්විති රජ සිවුරඟ සෙන් හා එහි වාසයට එළැඹියේ ය. මහණෙනි, උතුරු දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද ඔහු සක්විති රජහු කරා එළැඹ, ‘මහරජුනි, වඩින්න. මහරජුනි, ඔබ වැඩි සේ යහපත. මහරජුනි, මෙ හැම ඔබ සතු ය. මහරජුනි, අනුශාසනා කළ මැනවැ’ යි කීහ. සක්විති රජ ඔවුන් බණවා: ‘පණිවා නො කළ යුතු, අයිනාදන් නොකළ යුතු, කාමයන්හි වරදවා නො හැසිරියැ යුතු, මුසවා නොබිණියැ යුතු, මත්පැන් නො පියැ යුතු, වැළඳු පරිදි ම සිය රට වළඳවු’ යැ යි මෙසේ කී ය.
මහණෙනි. උතුරු දෙසැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු නම්, ඔහු සක්විති රජහු අනුවැ යන්නෝ වූහ.
6. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ සක්රුවන මුහුදුහිම් පොළොව දිනා, ඒ රජදහනට ම පෙරළා අවුත්, සක්විති රජුහුගේ ඇතොවරු බබලවනුයේ, ඇතොවුර දොරැ යුක්ති පසිඳිනා හලැ අක්දෙරියෙහි අකුර ගැසුවාක් මෙන් සිටියේ ය …
මහණෙනි, දෙවෙනි සක්විති රජ ද … තෙවෙනි සක්විති රජ ද … සතර වැනි සක්විති රජ ද … පස්වැනි සක්විති රජ ද … සවැනි සක්විති රජ ද … සත්වැනි සක්විති රජ ද බොහෝ හවුරුදු ගණනක්, බොහෝ හවුරුදු සිය ගනණක්, බොහෝ හවුරුදු දහස් ගණනක් ඇවෑමෙන් එක්තරා මිනිසකු බණවා, ‘හෙම්බා පුරුෂය, තෝ යම් විටෙක දෙව් සක්විති රුවන තුබූ තැනින් ඉවත් වැ සිටියැ, තුබූ තැනින් පහ වැ සිටියැ දුටුයෙහි වී නම්, එවිට මට දන්වව’ යි කී ය. ‘එසේ ය, දේවයිනි’ යි එ රජුහු බස මුදුනින් පිළිගත. මහණෙනි, හේ පුරිස් තෙම බොහෝ හවුරුදු ගණනක්, බොහෝ හවුරුදු සිය ගණනක්, බොහෝ හවුරුදු දහස් ගණනක් ඇවෑමෙන් දෙව් සක්රුවන තුබූ තැනින් ඉවත් වූවා, පහ වැ සිටියැ දිටී ය. දැක, සක්විති රජු කරා එළැඹ, ‘දේවයිනි, දැනගන්න, ඔබගේ දෙව් සක්රුවන ඉවත් විය, තුබූ තැනින් පහ වියැ’ යි සැළ කෙළේ ය.
7. මහණෙනි, එ කලැ සක්විති රජ තෙම දෙටුපුත් කුමරහු බණවා, ‘දරුව, මගේ දෙව් සක්රුවන ඉවත් වී ල, තුබූ තැනින් පහ වී ල. යම් සක්විති රජක්හුගේ දෙව් සක්රුවන ඉවත් වේ ද, තුබූ තැනින් පහ වේ ද, දැන් එ සක්විති රජුහු විසින් බොහෝ කල් ජීවත් වියැ හැකි නො වේ’ යැ යි මෙය මා විසින් අසන ලද. මිනිසුන් විසින් වින්දැයුතු කාමයෝ මා විසින් විඳුනා ලදහ. දැන් දෙව් කම් සැපත් සොයන්නට කල් පැමිණියේ වෙයි. දරුව, කුමාරය, මෙහි එව. මේ මුහුදුහිම් පොළොව තෝ අනුභව කරව. මම් වනාහි කෙහෙ රවුලු බහවා, කසාවත් හැඳ, ගිහි ගෙන් පැවිදි බිමට වදනෙමි’ යි කී ය. මහණෙනි, ඉක්බිති සක්විති රජ තෙම දෙටුපුත් කුමරහට රජයෙහි මොනවට අනුසැස, කෙහෙ රවුලු බහවා, කසාවත් හැඳ, ගිහි ගෙන් නික්මැ පැවිදි බිම් වනි. මහණෙනි, ඒ රාජර්ෂීහු පැවිදි වැ සතියක් ගිය කලැ දෙව් සක්රුවන අතුරුදහන් විය. මහණෙනි, එකල්හි එක්තරා පුරුෂයෙක් … දෙව් සක්රුවන අතුරුදහන් වී යැ’යි රජහට දැන්වී ය. මහණෙනි, ඉක්බිති මුදුනැ අබිසෙස් ලත් එ කැත් රජ තහෙම දෙව් සක්රුවන අතුරුදහන් වූ කල්හි නො සතුටු විය. නො සතුටු බව පළ කෙළේ ය. එහෙත් රාජර්ෂීහු කරා එළැඹ අරී සක්විතිවත් නො විචාළේ ය. හේ සිය මතයෙන් ම රට පාලනය කෙරෙයි. සිය මතයෙන් ම රට පාලනය කරන ඔහුගේ දනවුහු පසු කලැ අරී සක්විති වත්හි පවත්නා පෙරැසිටි රජුන්ගේ දනවු සෙයින් නො වැඩෙත්.
8. මහණෙනි, එ කල්හි ඇමැතියෝ ද රාජපර්‍ෂද්හි වූවෝ ද ගණකයෝ ද මහාමාත්‍රයෝ ද බල ඇණිහි සිටුනා හස්ත්‍යාචාර්‍ය්‍යාදිහු ද දොරටුපල්හු ද මන්ත්‍රාජීවිහු (උපදෙස් දෙන්නෝ) ද එක් රැස් ව මූර්‍ධාභිෂික්ත කැත් රජුහු කරා එළැඹ “දේවයිනි, ස්වමතයෙන් රට පාලනය කරන ඔබගේ දනුවුහු පෙරැ සිටි අරී සක්විති වත්හි පැවැති රජුන්ගේ දනවු සෙයින් නො වැඩෙත්. දේවයිනි, යම් බඳු වූ අපිත් අන්‍යයෝත් අරී සක්විති වත් සිත්හිලා දරමෝ ද, එසේ වූ ඇමතියෝ ද රාජපර්‍ෂදට අයත්හු ද ගණකයෝ ද මහාමාත්‍යයෝ ද අනීකස්ථයෝ ද මන්ත්‍රාජීවිහු ද ඔබ රටැ ඇත්හ. එබැවින් දේවයිනි, ඔබ අරී සක්විතිවත් අප විචාරන්න. ඔබ විසින් අරී සක්විති වත් විචාරනු ලැබූ අපි ඔබට එය පවසන්නමෝ වෙ දැ” යි කීහ.
ආයුෂ පිරිහීම පිළිබඳ කථා
මහණෙනි, ඉක්බිත්තෙන් ඒ මූර්‍ධාභිෂික්ත කැත් රජ ඇමතියන් ද රාජපර්‍ෂදෙහි වූවන් ද ගණකයන් ද මහාමාත්‍රයන් ද අනිකස්ථයන් ද ද්වාරපාලයන් ද මන්ත්‍රාජීවින් ද රැස් කරවා, අරී සක්විති වත් විචාළේ ය.