Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 3601-3700 න් 5108

ලිච්ඡවීන්ගේ අජිත නම් සෙනෙවි ද නොබෝ දවස්හි කලුරිය කෙළේ, තවුදිසා දෙව් ලොවැ උපන්නේ ය. හේ ද මා කරා එළැඹ, “වහන්ස, පාථිකපුත්‍ර අචේලක තෙමෙ මුසාබස් දොඩන්නෙක. වහන්ස, ‘ලිච්ඡවීන්ගේ අජිත නම් සෙනෙවි මහ නිරයට වන්හ’ යි පාථිකපුත්‍ර අචේලක තෙමෙ වැදෑගම්හි මා ඇරැබැ ද දෙඩී ය. වහන්ස, මම් මහ නිරයට නො වනිමි. මම් තවුදිසා දෙව්ලොවැ උපනිමි. වහන්ස, පාථිකපුත්‍ර අචේලක අලජ්ජී යැ, පාථිකපුත්‍ර අචේලක මුසාවාදී යැ, වහන්ස, පාථිකපුත්‍ර අචේලක ඒ තෙප්ල නො හැරැපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් නො දුරැලා, භාග්‍යවතුන් වහන්සේ හමුවට එන්නට නො සුදුස්සේ ය. ඉදින්, ‘මම් ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් නො දුරැලා, මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි ඔහුට මෙසේ සිතක් වතොත් (එසේ යතොත්), ඔහු හිස ද ගිලිහෙතැ” යි මට සැළ කෙළේ ය.
සුනක්ඛත්තය, මෙසේ මා විසින් අචේලක පාථිකපුත්‍ර තෙමෙ ‘ඒ තෙප්ල නො හැරැපියා, ඒ සිත නො හැරැපියා, ඒ දිට් නො දුරැලා මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි ඔහුට මෙසේ සිතක් වතොත් (එසේ එතොත්), ඔහු හිස ද ගිලිහෙතැ’ යි පාථිකපුත්‍ර තෙමේ ඔහු සිත් මා සිතින් පිරිසිඳ මා විසින් ද දන්නා ලද්දේ වෙයි. දේවතා කෙනෙක් ද ‘වහන්ස, අචේලක පාථිකපුත්‍ර තෙමෙ ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් නො දුරැලා, භාග්‍යවතුන් වහන්සේ හමුවට එන්නට නො සුදුස්සේ ය. ඉදින් ඔහුට ‘මම් ඒ තෙප්ල නො හැරැපියා, ඒ සිත නො හැරැපියා, ඒ දිට් නො දුරැලා, මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මෙසේ සිතක් වතොත්, (එසේ ම යතොත්) ඔහු හිස ගිලිහෙතැ’ යි ද මට මෙ පවත් සැළ කළහ. සුනක්ඛත්තය, ඒ මම් විසල්පුරැ පිඬු පිණිස හැසිරැ, පසුබත්හි පිඬුපයෙන් පෙරළා ඇක්මුණෙම්, දිවා විහාරය පිණිස, අචේලක පාථිකපුත්‍රයාගේ ආරාමය කරා යන්නෙමි. සුනක්ඛත්තය, දැන තෝ මෙ පවත් යමකුට සළ කරනු රිස්සෙහි නම් ඔහුට සැළ කරව’ යි කීමි.
ඍද්ධිප්‍රාතිහාර්‍ය කථා
18. භාර්‍ගවය, එ කල්හි මම් පෙර වරුයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන පිඬු පිණිස විසල්පුරට පිවිසියෙමි. විසල්පුරැ පඬු පිණිස හැසිරැ පිණ්ඩපාතයෙන් පෙරළා ඇක්මුණෙම්, පසුබත්හි දිවාවිහරණය පිණිස අචේලක පාථිකපුත්‍රයාගේ ආරාමය කරා ගියෙමි. භාර්‍ගවය, එ කල්හි ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙම වෙළෙවි වෙළෙවි වැ විසල්පුර වැද, ප්‍රකට ප්‍රකට ලිච්ඡවීන් කරා එළැඹියේය. එළැඹ, ‘ඇවැත්නි, තෙල භාග්‍යවතුන් වහන්සේ විසල්පුරැ පිඬු පිණිස හැසිරැ, පිණ්ඩපාතයෙන් පෙරළා ඇක්මුණාහු පසුබත්හි දිවාවිහරණ පිණිස අචේලක පාථිකපුත්‍රයාගේ ආරාමය කරා වැඩි සේක. ආයුෂ්මත්නි, එහි යවු. සාධු ස්වභාවය ඇති මහණුන්ගේ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහරෙක් වන්නේ යැ’ යි කී ය.
භාර්‍ගවය, එ විටැ ඒ ප්‍රකට ප්‍රකට ලිච්ඡවීනට, ‘සාධුරූප වූ මහණුන්ගේ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහරක් වන්නේ ල. භවත්නි, දැන් එහි යම්හ’ යි මේ සිත විය.
ඉක්බිති ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමෙ ප්‍රකට ප්‍රකට නන් තොටු මහණ බමුණන් ද කරා එළැඹැ, ‘ඇවැත්නි, තෙල භාග්‍යවතුන් වහන්සේ විසල් පුරැ පිඬු පිණිස හැසිරැ, පිණ්ඩපාතයෙන් පෙරළා ඇක්මුණාහු, පසුබත්හි දිවාවිහරණය පිණිස අචේලක පාථිකපුත්‍රයාගේ ආරාමයට වැඩි සේක. ආයුෂ්මත්නි, එහි යවු, ආයුෂ්මත්නි, එහි යවු, සාධු ස්වභාවය ඇති මහණුන්ගේ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහරෙක් වන්නේ යැ’ යි සැළ කෙළේ ය. භාර්‍ගවය, එ කලැ ඒ ප්‍රකට ප්‍රකට නන්තොටුවනට, මහණබමුණනට ‘භවත්නි, සාධුරූප වූ මහණුන්ගේ උතුරු මිනිස් දහමින් ඉදු පෙළහරෙක් වන්නේ ල. භවත්නි, දැන් එහි යම්හ’ යි මේ සිත විය.
19. භාර්‍ගවය, එ කලැ ප්‍රකට ප්‍රකට ලිච්ඡවීහු ද, ප්‍රකට ප්‍රකට බමුණු මහසල්හු ද, ගැහැවි මහසල්හු ද, නන් තොටුවෝ ද, මහණබමුණෝ ද පාථිකපුත්‍ර අචේලකයාගේ ආරාමය කරා එළැඹියහ. භාර්‍ගවය, ඒ නොයෙක් සිය ගණන් නොයෙක් දහස ගණන් ජනයා ඇති පිරිසෙක් විය. භාර්‍ගවය, පාථිකපුත්‍ර අචේලක තෙමෙ ‘ප්‍රකට ප්‍රකට ලිච්ඡවීන් ආහ යි, ප්‍රකට ප්‍රකට බමුණු මහසලුන් ද ගැහැවි මහසලුන් ද නන් තොටු මහණබමුණන් ද ආහ’ යි, මහණ ගොයුම්හු ද මා අරමෙහි දිවාවිහාර පිණිස හුන්හ යි ද ඇසී ය. ඇසීමෙන් ඔහුට බිය ද තැති ගැන්ම ද ලොමුදහ ගැන්ම ද උපන.
20. ‘භාර්‍ගවය, එ කලැ වනාහි අචේලක පාථිකපුත්‍ර තෙමේ බිය පත් වූයේ, බියෙන් කලකිරුණේ, උපන් ලොමුදහ ගැනුම් ඇත්තේ, තින්‍දුඛාකණු පරිව්‍රාජකයාගේ (තිඹිරිකණු පිරිවැජ්ජාගේ) ආරාමය කරා ගියේ ය. භාර්‍ගවය, අචේලක පාථිකපුත්‍ර තෙමේ බිය පත්තේ, බියෙන් කලකිරුණේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ, තිඹිරිකණු පිරිවැජ්ජාගේ ආරාමය කරා ගියේ ලැ’ යි ඒ පිරිස ඇසූහු ම ය. භාර්‍ගවය, ඉක්බිති එ පිරිස එක් පුරුෂයකු බණවා, ‘භවත් පුරුෂය, මෙහි එව, තිඹිරිකණු පිරිවැජ්ජාගේ අරමට, අචේලක පාථිකපුත්‍රයා වෙතට යා. ගොස්, අචේලක පාථිකපුත්‍රයාට, ‘ඇවැත් පාථිකපුත්‍රයෙනි, නැඟී එවු. ප්‍රකට ප්‍රකට ලිච්ඡවීහු ඔබ අරමැ රැස් වූහ. ප්‍රකට ප්‍රකට බමුණු මහසල්හු ද ගැහැවි මහසල්හු ද නන්තොටුවෝ ද මහණබමුණෝ ද (ඔබ අරමැ) රැස් වූහ. මහණ ගොයුම්හු ද ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණය පිණිස අවුත් උන්හ. ඇවැත් පාථිකපුත්‍රයෙනි, විසල්පුරැ පිරිස් මැදැ දී ඔබ විසින් “මහණ ගොයුම් ඥානවාද ඇත්තේ ය, මම් ද ඥානවාද ඇතියෙමි. ඥානවාද ඇත්තේ ඥානවාද ඇත්තකු හා උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දක්වන්නට සුදුස්සේ ය. මහණ ගොයුම් වාද පිණිස අඩ මඟක් එන්නේ නම්, මමත් අඩ මඟක් ඉදිරියට යන්නෙමි. එහිදී ඒ අපි දෙ දෙනා ම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන්නමු. මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් එක් ඉදු පෙළහරක් කරන්නේ නම්, මම් ඉදු පෙළහර දෙකක් කරන්නෙමි. මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දෙකක් කරන්නේ නම්. මම් සතරක් කරන්නෙමි, මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර සතරක් කරන්නේ නම්, මම් අටක් කරන්නෙමි. මෙසේ මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් යම් පමණ පෙළහර කරන්නේ ද, මම් එමෙන් දෙගුණ දෙගුණ ඉදු පෙළහර කරන්නෙමි” යි මෙ තෙපුල් කියන ලද්දේ ය. “ඇවැත් පාථිකපුත්‍රයිනි, අඩ මඟක් නැඟී එවු. හැමට පළමු ම මහණ ගොයුම්හු අවුත්, ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණය පිණිස ඉන්නාහ’ යි මෙසේ කියව” යි කියා යැවූහ.
භාර්‍ගවය, ‘එසේ යැ භවත්නි’ යි කියා ම ඒ පුරුෂ තෙම එ පිරිසට පිළිවදන් දී, තිඹිරිකණු පිරිවැජ්ජාගේ අරම කරා, අචේලක පාථිකපුත්‍රයා වෙතට ගියේ ය. ගොස් ඔහු බණවා, ‘ඇවැත් පාථිකපුත්‍රයිනි, නැඟී එවු. ප්‍රකට ප්‍රකට ලිච්ඡවීහු ද අවුත් රැස් වූවාහු වෙත්, ප්‍රකට ප්‍රකට බමුණු මහසල්හු ද ගැහැවි මහසල්හු ද නන් තොටුවෝ ද මහණබමුණෝ ද අවුත් රැස් වූවාහු වෙත්. මහණ ගොයුම්හු ද ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණය පිණිස අවුත් උන්නාහු වෙත්. ඇවැත්නි, ඔබ විසින් විසල්පුරැ පිරිස් මැදැ දී ‘මහණ ගොයුම් ද ඥානවාද ඇත්තේ ය, මම් ද ඥානවාද ඇත්තෙමි. ඥානවාද ඇත්තේ වූ කලි ඥානවාද ඇත්තක්හු හා උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දක්වන්නට සුදුස්සේ ය, මෙසේ යම් පමණ මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන්නේ ද, එමෙන් දෙගුණ දෙගුණ මම් ඉදු පෙළහර කරන්නෙමි යි මේ තෙප්ල කියන ලද්දේ ය. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, අඩ මඟක් නැඟී එවු. හැමට පෙරාතු ව ම මහණ ගොයුම්හු අවුත් ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණ පිණිස ඉන්නාහු වෙති” යි කී ය.
21. භාර්‍ගවය, ඔහු මෙසේ කී කලැ පාථිකපුත්‍ර අචේලක තෙමේ ‘ඇවැත්නි එමි, ඇවැත්නි, එමි’ යි කියා එතැන ම ගැලී, ඒ මේ අතට සැලෙයි. හුන තැනින් නැඟෙන්නට ද නො හැකි වෙයි. භාර්‍ගවය, ඉක්බිති ඒ පුරුෂ තෙමේ අචේලක පාථිකපුත්‍රයාට, “ඇවැත් පාථික පුත්‍රයෙනි, කිමෙක් ද? ඔබේ හිද්මඇට හුන් තැනැ ඇලුණේ ද? ඔබ හුන් තැන හෝ ඔබේ හිද්මඇටෙහි ඇලුණේ ද? ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි කියා ඔහි ම ගැලී ඒ මේ අතට සැලෙති. හුනස්නෙන් නැඟෙන්නට දු නොහැකි වෙති” යි කීය. භාර්‍ගවය, අචේලක පාථිකපුත්‍ර තෙමේ මෙසේ කියනු ලබන්නේ ද, ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි කියා එහි ම ගැලී ඒ මේ අතට සැලෙයි, හුනස්නෙනුදු නැංග නො හෙයි. ඒ පුරුෂ තෙම “මේ අචේලක පාථිකපුත්‍රයා පැරැදුණු සැහැවි (හෝ නටුවාවු සැහැවි) ඇත්තේ ය: ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ කියා එහි ම ගැලී ඒ මේ අත සැලෙයි. හුනස්නෙනුදු නො නැංග හේ’ යැ යි යම් විටෙක දැනගත්තේ ද, එ විට ඒ පිරිස කරා අවුත්, ‘භවත්නි, මේ අචේලක පාථිකපුත්‍ර පැරැදුණු සැහැවි ඇත්තේ ය, ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි එතැනැ මැ ගැලී ඒ මේ අත සැලෙයි. හුනස්නෙනුදු නො නැංග හේ’ යැ යි මෙසේ සැළ කෙළේ ය.
භාර්‍ගවය, ඔහු මෙසේ කී කල්හි, මම් ඒ පිරිස බණවා, ‘ඇවැත්නි, අචේලක පාථිකපුත්‍ර තෙමෙ ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් බැහැරැ නො කොට, මා හමුවට එන්නට නො සුදුසු ය. ඉදින් ඔහුට, ‘මම් ඒ තෙප්ල නො පියා, ඒ සිත නො පියා, ඒ දිට් බැහැර නො කොට, මහණ ගොයුම්හු හමුවට යන්නෙමි’ යි මෙසේ සිතෙක් වන්නේ නම, ඔහුගේ හිස ද ගිලිහෙන්නේ යැ’ යි මෙ පවත් කීමි.
පළමු බණවර නිමියේ ය.
22. භාර්‍ගවය, එ කලැ එක්තරා ලිච්ඡවී මහ ඇමැත්තෙක් හුනස්නෙන් නැඟ, ඒ පිරිස අමතා, “භවත්නි, එසේ වී නම්, මා ගොස් එන තාක් තව මොහොතක් බලවු. මමත් ගොස් අචේලක පාථිකපුත්‍රයා මෙ පිරිස කරා ගෙන එන්නට හැකි වීම් නම්, ඒ ඉතා යෙහෙකැ” යි කීය. භාර්‍ගවය, ඉක්බිති ඒ ලිච්ඡවී මහ ඇමැත්තා තිඹිරිකණු පිරිවැජියා අරමට, අචේලක පාථිකපුත්‍රයා වෙතට ගියේ ය. ගොස් ඔහු අමතා, ‘ඇවැත් පාථිකපුත්‍රයෙනි, නැඟී එන්න. ඔබ නැඟී ආවොත් ඒ මැනැව. ප්‍රකට ප්‍රකට ලිච්ඡවීහු අවුත් රැස් වැ උන්නාහ ... මහණ ගොයුම්හු ද ආයුෂ්මතතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණ පිණිස හුන්හ. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, ‘මහණ ගොයුම් ද ඥානවාද ඇත්තේ ය, මම් ද ඥානවාද ඇත්තෙමි ... මම් එ මෙන් දෙගුණයක් දෙගුණයක් ඉදු පෙළහර කරන්නෙමි’ යි විසල් පුරැ පිරිසෙහි මේ තෙප්ල ඔබ විසින් කියන ලද ය. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, අඩමඟක් නැඟී එන්න. මහණ ගොයුම්හු හැමට පළමු ම අවුත් ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණ පිණිස හුන්හ. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, ‘අචේලක පාථිකපුත්‍රයා ඒ වචනය නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් බැහැර නො කොට මා හමුවට එන්නට නො නිස්ස. ඉදින් ඔහුට, ‘එ වචන නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් බැහැර නො කොට මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මෙසේ සිතක් වුවොත් ඔහු හිස ද ගිලිහෙතැ’ යි මහණ ගොයුමන් විසින් පිරිස මැදැ මේ වචනය කියන ලද ම ය. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, නැඟී එන්න. නැඟී ඊම් පමණින් ඔබට ජය ලබවන්නමු, මහණ ගොයුමනට පරාජය කරන්නමු” යි මෙ තෙපුල් කීය.
භාර්‍ගවය, ඔහු එසේ කී කල්හි අචේලක පාථිකපුත්‍ර ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි කියා එහි ම ගැලී සැලෙයි. හුනස්නෙනුදු නො නැංග හෙයි. භාර්‍ගවය, එ කල්හි ලිච්ඡවී මහ ඇමැති අචේලක පාථිකපුත්‍රයා බණවා “කිමෙක් ද ඇවැත්නි පාථිකපුත්‍රයෙනි, ඔබ හිද්මඇට හුන්තැන්හි ඇලී ගත්තේ ද? නැත හොත් හුන් තැන ඔබ හිද්මෙහි ඇලීගත්තේ ද? ‘එමි ඇවැත්නි, එමි ඇවැත්නි’ යි කියා එහි ම ගැලී සැලෙති, හුන් තැනිනුදු නො නැංග හෙති” කී ය.
භාර්‍ගවය, මෙසේ කියනු ලබනුයේ ද අචේලක පාථිකපුත්‍ර ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි එහිම ගැලී සැලෙයි. හුනස්නෙනුදු නො නැංගැ හෙයි. භාර්‍ගවය, ඒ ලිච්ඡවී මහමැති තෙමෙ ‘මේ අචේලක පාථිකපුත්‍ර පැරැදුණු සැහැවි ඇතියේ ය. ‘එමි ඇවැත්නි, එමි ඇවැත්නි’ යි එහි ම ගැලී සැලෙයි, හුනස්නෙනුදු නො නැංගැ හේ’ යැ යි දත් කෙණෙහි ම ඒ පිරිස කරා අවුත් භවත්නි, අචේලක පාථික පුත්‍ර පැරැදුණු සැහැවි ඇත්තේ, ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි එහි ම ගැලී සැලෙයි, හුනස්නෙන් නො නැංග හේ’ යැ යි සැළ කෙළේ ය.
23. භාර්‍ගවය, ඔහු එසේ කී කලැ මම් ඒ පිරිස අමතා, “ඇවැත්නි, අචේලක පාථිකපුත්‍ර ඒ තෙප්ල නො හැරපියා ... මා හමුවට එන්නට නො නිස්ස. ඉදින් ඔහුට ‘මම් ඒ තෙප්ල නො හැරපියා ... මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මෙසේ සිතක් වතොත්, ඔහු හිස ද ගිලිහෙන්නේ ය. ඉදින් ආයුෂ්මත් ලිච්ඡවීනට ‘අපි අචේලක පාථිකපුත්‍රයා වර පටින් බැඳ ගොනුන් යෙදූ වියෙන් ඇද ගෙන එන්නමු’ යි මෙසේ සිතක් වතොත්, ඒ වරපට සිඳෙන්නේ ය. බන් තැනින් පාථිකපුත්‍ර හෝ බිඳී වෙන් වන්නේ ය. හේ තෙප්ල හො හැරපියා … මා හමුවට එන්නට නො නිස්ස. ඉදින් ‘මම් ඒ තෙප්ල නො හැරපියා … මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි ඔහුට මෙසේ සිතක් වතොත් ඔහුගේ හිස ද ගිලිහේනේ යැ’ යි කීමි.
භාර්‍ගවය, එ කල්හි දාරුපාත්‍රික පිරිවැජියක්හු අතැවැසි ජාලිය නමැත්තෙක් හුනස්නෙන් නැඟී, “භවත්නි, එසේ වී නම් මා එන තුරු මොහොත්තමක් බලවු. අචේලක පාථිකපුත්‍රයා මෙ පිරිස කරා ගෙන එන්නට මම් වත් හැකි වීම් නම් යෙහෙකැ’ යි කී ය. භාර්‍ගවය, ඉක්බිති දාරුපාත්‍රික පිරිවැජ්ජහු අතැවැසි ජාලිය තෙමේ තිඹිරිකණු පිරිවැජ්ජා අරම යම් තැනෙක ද, (එහි) අචේලක පාථිකපුත්‍රයා යම් තැනෙක ද එ තැනට ගියේ ය. ගොස් ඔහු බණවා, ‘ඇවත් පාථිකපුත්‍රයෙනි, නැඟී එවු. ඔබ නැඟී අව උතුම. ප්‍රකට ප්‍රකට ලිච්ඡවීහු … අවුත් රැස් වැ ඉඳිති. මහණ ගොයුම්හු ද දිවාවිහරණ පිණිස අවුත් ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි උන්නාහු වෙත්. ඇවැත්නි, ඔබ විසින් විසල්පුරැ මහ පිරිස් මැදැ දී ‘මහණ ගොයුම් ද ඥානවාද ඇත්තේ ය, මම් දු ඥානවාද ඇත්තෙමි … ඔහු එක් ඉදු පෙළහරක් කළ විට මම් එ මෙන් දෙ ගුණයක් දෙ ගුණයක් ඉදු පෙළහර කරන්නෙමි’ යි මේ වචන කියන ලදුයේ ම ය. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, අඩ මඟක් නැඟී එවු. මහණ ගොයුම්හු හැමට පෙරාතු වැ මැ අවුත් ආයුෂ්මතුන්ගේ ආරාමයෙහි දිවාවිහරණ පිණිස උන්නාහු වෙත්. ඇවැත් පාථිකපුත්‍රයෙනි, මහණ ගොයුමන් විසින් ‘අචේලක පාථිකපුත්‍ර ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා … මා හමුවට එන්නට නො නිස්ස. ඉදින් ‘මම් ඒ තෙප්ල නො හැරපියා … මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි ඔහුට සිතක් වතොත්, ඔහු හිස ද ගිලිහෙන්නේ ය. ඉදින් ආයුෂ්මත් ලිච්ඡවීනටත් ‘අපි අචේලක පාථිකපුත්‍රයා වර පටින් බැඳ ගවයන් යෙදූ වියෙන් ඇදැ ගෙන එන්නමු’ යි මෙසේ සිතෙක් වී නම් (එසේ කරන්නට තැත් කරන්නාහු නම්), ඒ වරපට සිඳී යන්නේ ය, පාථිකපුත්‍රයා හෝ බන් තැනින් බිඳී වෙන් වන්නේ ය. අචේලක පාථිකපුත්‍රයාට ‘ඒ තෙප්ල නො පියා, ඒ සිත නො පියා, ඒ දිට් බැහැරැ නො කොට මහණගොයුම් හමුවට යන්නෙමි’ යි මේ සිත වතොත් ඔහු හිස ගිලිහෙන්නේ යැ’ යි මහපිරිස් මැද මෙ බස් තෙපලන ලද්දේ ය. ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, නැඟී එවු, නැඟී ඊමෙන් ම ඔබට ජය ද මහණ ගොයුම්හට පරාජය ද ලබවන්නමු’ යි කී ය.
භාර්‍ගවය, එසේ කී කල්හි අචේලක පාථිකපුත්‍ර තෙමේ ‘එමි ඇවැත්නි, එමි ඇවැත්නි’ යි එහි ම ගැලී සැලෙයි. හුනස්නෙන් නැඟෙනු ද නො හැකි වෙයි. භාර්‍ගවය, එ කල්හි දාරුපාත්‍රිකාන්තේවාසී ජාලිය තෙමේ අචේලක පාථිකපුත්‍රයා අමතා, ‘ඇවැත්නි, පාථිකපුත්‍රයෙනි, කිමෙක් ද? ඔබේ හිද්මඇට හුනස්නැ ඇලීගත්තේ ද? හුනස්න හෝ ඔබ හිද්ම ඇටෙහි ඇලීගත්තේ ද? ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි උන් තැන්හිම ගැලී සැලෙහු. හුනස්නෙන් නැඟෙන්නට දු නො හැක්කහු’ යැ යි කී ය. භාර්‍ගවය, එසේ කියනු ලබනුයේ ද, අචේලක පාථිකපුත්‍ර තෙමේ ‘එමි ඇවැත්නි, එමි ඇවැත්නි’ යි උන් තන්හි ම ගැලී සැලෙයි, හුනස්නෙන් නැඟෙනුවටදු නො හැකි වෙයි.
භාර්‍ගවය, දාරුපාත්‍රකාන්තේවාසී ජාලිය තෙම ‘මේ අචේලක පාථිකපුත්‍ර පැරැදුණු සැහැවි ඇත්තේ ය. ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි කියා එහි ම ගැලී සැලෙයි, හුනස්නෙන් නැඟෙනුවටදු නො හැකි වේ’ යැ යි දැනගත් කෙණෙහි, ඔහුට මෙ තෙපුල් කී ය:
24. “ඇවත් පාථිකපුත්‍රයෙනි පෙරැ වූවක් කියම්. මෘගරාජ වූ එක්තරා සිංහයකුට කිසි වන ලැහැබක් නිසා ලැග්මක් කැරැගන්නෙම් වීම් නම් යෙහෙක, එහි ලැග සවස් වේලේ ඒ ලැග්මෙන් නික්මෙන්නෙම් නම්, එසේ නික්මැ වැජඹෙන්නෙම් නම්, වැජැඹැ හාත්පස සිවු දිසා බලන්නෙම් නම්, හාත්පසැ සිවු දිසා බලා, තෙවරක් සිංහනාද කරන්නෙම් නම්, තෙවරක් සිංහනාද කොට ගොදුරු පිණිස බැහැරැ යන්නෙම් නම්, මුව මුළුව අතුරෙන් හොඳ හොඳ මුවකු මරා මොළොක් මොළොක් මස් කා, ඒ ලැග්මට පෙරළා යන්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. එයින් පසු මෘගරාජ වූ ඒ සිංහ තෙමෙ එක්තරා වන ලැහැබක් නිසා ලැගුම් ගත. එහි සවස් වේලෙහි ඒ ලැග්මෙන් නික්මිණ. ලැග්මෙන් නික්මැ වැජැඹිණ. වැජැඹැ හාත්පස සිවු දිසා බැලී ය. හාත්පස සිවු දිසා බලා, තුන් වරක් සිංහනාද කෙළේ ය. තුන් වරක් සිංහනාද කොට, ගොදුරු සඳහා බැහැර ගියේ ය. හේ මුවමුළුව අතුරෙන් උතුම් උතුම් මුවකු මරා, මොළොක් මොළොක් මස් කා, ඒ ලැග්මට ම පෙරළා ආයේ ය.
ඇවැත් පාථිකපුත්‍රයෙනි, මෘගරාජ වූ ඒ සිංහයාගේ විඝාසයෙහි (කා ඉතිරිකළ දැයින්) වැඩුණු මහලු කැණහිලෙක් දෘප්ත (දැපුණේ) ද ශක්තිමත් ද විය. එ කල්හි ඒ මහලු කැණහිලුට ‘මම් කවරෙම් ද! මෘගරාජ වූ සිංහ කවරේ ද? මමත් එක්තරා වනලැහැබක් නිසා තිත්පලක් කැරැ ගන්නෙම් නම්, එහි ලැග සවස් වේලේ තිත්පොලෙන් නික්මෙන්නෙම් නම්, එසේ නික්මැ වැජඹෙන්නෙම් නම්, වැජැඹැ හාත්පසැ සිවු දිග බලන්නෙම් නම්, හාත්පසැ සිවු දිග බලා තුන් යලක් සිංහනාද කරන්නෙම් නම්, තුන් යලක් සිංහනාද කොට ගොදුරු සඳහා පිටත් වැ යන්නෙම් නම්, ඒ මම් මුවමුළුයෙන් සොඳුරු සොඳුරු මුවකු මරා මොළොක් මොළොක් මස් කා තිත්පොලට ම එළැඹෙන්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඇවැත්නි, ඉක්බිති ඒ මහලු කැණහිල් එක්තරා වනලැහැබක් නිසා ලැගුම් ගත්තේ ය. ලැගුම් ගෙන සවස් වේලෙහි ඒ තිත්පොලෙන් නික්මියේ ය. තිත්පොලෙන් නික්මැ වැජැඹුණේ ය. වැජැඹැ හාත්පස සිවු දිග බැලී ය. හාත්පසැ සිවු දිග බලා ‘සිංහනාද කරන්නෙමි’ යි තුන් යලක් කැණහිල් හඬ ම හැඬී ය. නොමනා හඬක් ම හැඬී ය. ලාමක සිවලා කවරේ ද! සිංහනාදය කවරේ ද!! (මොවුන් දෙදෙනාගේ කවර සමතාවෙක් ද!) ඇවැත් පාථිකපුත්‍රයෙනි, ඒ කැණහිලු සේ ම තෙපි සුගතයන් වහන්සේට නියමිත වූ පසය නිසා ජීවත් වන්නහු, සුගතයන් වහන්සේ වළඳා ඉතිරි වූ දෑ වළඳන්නහු, ‘ඒ තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටියැ යුතු යැ’ යි සිතවු ද? ලාමක වූ පාථිකපුත්‍රයා කවර යැ! තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා (ඉදුපෙළහර කරමි යි) ගැටෙනු කවර යැ!” (යනු යි)
භාර්‍ගවය, යම් හෙයකින් දාරුපාත්‍රිකාන්තේවාසී ජාලිය තෙමෙ මේ උපමායෙන් අචේලක පාථිකපුත්‍රයා ඒ අස්නෙනුදු ඉවත් කරන්නට නො හැකි වී ද, එ හෙයින් හේ ඔහුට මෙය (මතු දැක්වෙන පරිදි) කී ය: “සිවලෙක් තමා දෙස බලා ‘මම් මෘගරාජ වූ සිංහයෙමි’ යි සිතී ය. එසේ ම හේ සිවල් හඬම හැඬීය, සිවල් හඬම හැඬීය. ලාමක සිවල් හඬ කවර යැ! සිංහනාදය කවර යැ!
පාථිකපුත්‍රයෙනි, එසේ ම තෙපි සුගතයනට නිසි පසයෙන් දිවි පවත්වනුවෝ, සුගතයන් ඉතිරි කළ දෑ වළඳනුවෝ, ඒ තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටියැ යුතු කොට සිතවු ද? නීච පාථිකපුත්‍රයෝ කවුරු යැ! තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ඔවුන් ගැටෙනු කවර යැ!”
25. භාර්‍ගවය, දාරුපාත්‍රිකාන්තේවාසී ජාලිය තෙම මේ උපමායෙනුත් අච්ලක පාථිකපුත්‍රයා එ අස්නෙන් සොලොවන්නට යම් හෙයකින් නො හැකි වී ද, එ හෙයින් ඔහුට මෙ බස් ද තෙප්ලී ය:
‘කැණහිල් තෙමෙ වෙනෙහි හැවිදුනේ, තර වූ තම සිරුරැ පළිබිඹුව ඉඳුල්දිය පිරි දිය වළෙකැ දැක, යම් තාක් ‘තමා සිංහයාගේ ඉඳුල් කා වැඩුණෙකැ’ යි නො දක්නේ ද, ඒ තාක් ම තමා සිංහයකුට බඳු බල ඇත්තෙකැ යි (ව්‍යාඝ්‍ර සමාන බල ඇත්තෙකැ යි) සිතී. එසේ ම හේ කැණැහිල් හඬ ම හැඬී ය. ලාමක සිවල් හඬ කවර යැ! සිංහනාදය කවර යැ!’
“ඇවැත් පාථිකපුත්‍රයෙනි, තෙපි එසේ ම සුගතයනට නියමිත පසයෙන් දිවි පවත්වනුවෝ, සුගතයන් ඉතිරි කළ දෑ වළඳනුවෝ ඒ තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටියැ යුතු කොට සිතවු ද? ලාමක පාථිකපුත්‍ර කවර යැ! තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටෙනු කවර යැ!”
26. භාර්‍ගවය, දාරු පාත්‍රිකාන්තේවාසී ජාලිය තෙමේ මේ උපමායෙනුත් අචේලක පාථික පුත්‍රයා ඒ අස්නෙන් ඉවත් කරන්නට යම් හෙයෙකින් නො හැකි වී ද, එ හෙයින් ඔහුට මෙ තෙපුල් තෙප්ලී ය:
“මහ වෙනෙහි, සිංහව්‍යාඝ්‍රාදීන්ගෙන් හිස් වූ වෙනෙහි මැඩියන් ද කලවිටි බිල්හි වූ මීයන්ද සොහොන්හි ලූ මළ කුණු ද කා මහත් වැ වැඩුණු කැණැහිල් තෙමේ ‘මම් මෘගරාජයයමි’ යි සිතී. එසේ ම (සිංහ නාද යැ යි සිතා) කැණැහිල් හඬ ම හැඬී. නීච කැණහිල්හඬ කවරයැ! සිංහනාදය කවර යැ!”
පාථිකපුත්‍රයෙනි, මෙසේ ම තෙපි සුගතයනට නියමිත පසය නිසා දිවි රක්නහු, සුගතයන් ඉතිරි කළ දෑ වළඳන්නහු, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටිය යුතු සේ සිතහු. ලාමක පාථිකපුත්‍ර කවර යැ! තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටෙනු කවර යැ!”
27. භාර්‍ගවය, දාරු පාත්‍රිකාන්තේවාසී ජාලිය තෙමේ මේ උපමායෙනුත් අචේලක පාථික පුත්‍රයා ඒ අස්නෙන් ඉවත් කරන්නට යම් හෙයෙකින් නො හැකි වී ද, එ හෙයින් ඔහුට මෙ තෙපුල් තෙප්ලී ය:{*}
__missing translation__
පාථිකපුත්‍රයෙනි, මෙසේ ම තෙපි සුගතයනට නියමිත පසය නිසා දිවි රක්නහු, සුගතයන් ඉතිරි කළ දෑ වළඳන්නහු, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටිය යුතු සේ සිතහු. ලාමක පාථිකපුත්‍ර කවර යැ! තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් හා ගැටෙනු කවර යැ!” {*}
භාර්‍ගවය, දාරුපාත්‍රිකාන්තේවාසී ජාලිය තෙම මේ උපමායෙනුත් අචේලක පාථිකපුත්‍රයා ඒ හුන් තැනින් ඉවත් කරන්නට යම් විටෙක නොහැකි වී ද, එ විට ඒ පිරිස් වෙත අවුත්, ‘භවත්නි, අචේලක පාථිකපුත්‍රයා පැරැදුණු සැහැවි ඇත්තේ ය. ‘ඇවැත්නි එමි, ඇවැත්නි එමි’ යි එතන්හි ම ගැලී ඒ මේ අතැ සැලෙයි. හුනස්නෙන් නැඟෙන්නට ද නොහැකි වේ යැ’ යි සැළ කෙළේ ය. භාර්‍ගවය, ඔහු මෙසේ කී කලැ මම් ඒ පිරිසට මේ වචන කීමි:
“ඇවැත්නි, අචේලක පාථිකපුත්‍ර ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් බැහැර නො කොට, මා හමුවට එන්නට නො නිසි ය. ඉදින් ‘මම් ඒ තෙපුල් නො පියා, ඒ සිත නො පියා, ඒ දිට් බැහැර නො කොට, මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි ඔහුට මෙසේ සිතක් වතොත් (එසේ එන්නට තැත් කළ හොත්), ඔහු හිස ද ගිලිහෙන්නේ ය. ඉදින් ආයුෂ්මත් ලිච්ඡවීනට, ‘අපි අචේලක පාථිකපුත්‍රයා වර පටින් බැඳ ගොනුන් බැඳි වියෙන් ඇද ගෙන එම්හ’ යි මෙසේ සිතක් වුවොත් (එයට තැත් කළ හොත්), ඒ වරපට හෝ සිඳෙන්නේ ය, පාථිකපුත්‍රයා හෝ ඒ වර පට කෙරෙන් කැඩී වෙන් වන්නේ ය. අචේලක පාථිකපුත්‍ර ඒ තෙප්ල නො පියා, ඒ සිත නො පියා, ඒ දිට් බැහැර නො කොට මා හමුවට එන්නට නො නිසි ය. ඉදින් ඔහුට ‘මම් ඒ තෙප්ල නො පියා, ඒ සිත නො පියා, ඒ දිට් බැහැර නො කොට මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මේ සිත වී නම්, (එයට තැත් කෙළේ නම්), ඔහු හිස ද ගිලිහෙන්නේ ය” (යනුයි).
28. භාර්‍ගවය, ඉක්බිති මම් ඒ පිරිසට දැහැමි කතායෙන් කරුණු දක්වා කීම්, කී දෑ සමාදන් කැරැවීමි (ගැන්වීමි), එහි ඔවුන් සිත් තියුණු කෙළෙමි, එහි ඔවුන් තුටු පහටු කෙළෙමි. ඒ පිරිසට දැහැමි කතායෙන් කරුණු දක්වා, දැක්වූ කරුණු ගන්වා, එහි ඔවුන් සිත් තියුණු කොට, එහි ඔවුන් තුටු පහටු කොට, මහ කෙලෙස් බැම්මෙන් ඔවුන්ගේ මිදීම සිදු කොට, සුවාසූ දහසක් ප්‍රාණීන් මහා විදුර්‍ගයෙන් (කාමාදි සතර ඕඝයෙන්) ගොඩ ලා, තේජෝධාතු සමාපත්තියට සමවැද, සත් තලක් අහස් නැඟ, අන් සත් තලක් ද උසට ගිනි දැල් මවා, දිලිහී දුමා, මහ වෙනෙහි කුළාර හලැ පිහිටියෙමි. භාර්‍ගවය, එ කලැ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමෙ මා කරා එළැඹියේ ය. එළැඹ මා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා, බණවා ‘සුනක්ඛත්තය, එය කිමැයි සිතයි ද? මම් තට අචේලක පාථිකපුත්‍රයා ඇරැබැ කී නියායෙන් ම එය නිපන්නේ ද? නැත හොත් අන් නියායෙකින් වී දැ?’ යි පුළුවතිමි. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අචේලක පාථිකපුත්‍රයා ඇරැබැ මට වදාළ නියායෙන් ම එය නිපන. අන් සැටියෙකින් එය නො වී යැ’ යි හේ කීය.
‘සුනක්ඛත්තය, එය කිමැ යි සිතයි ද? මෙසේ වන කලැ උතුරු මිනිස් දහමින් ඉඳු පෙළහර කරන ලද ද? නො කරන ලද දැ?’ යි පුළුවතිමි.
“වහන්ස, මෙසේ වන කලැ ඒකාන්තයෙන් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන ලදු යේ ය. නො කරන ලදු යේ නොවේ” යි හේ කී ය.
“හිස් පුරුෂය, මෙසේත් උතුරු මිනිස් දහමින් පෙළහර කරන මට, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර නො කරන සේකැ’ යි කීයෙහි, හිස් පුරුෂය, බලව, තා විසින් මේ කොතරම් මහ වරදෙක් කරන ලද දැ?” යි ඔහුට කීමි.
භාර්‍ගවය, මෙසේත් මා විසින් කියනු ලබනුයේ ද ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමේ අපායට නිස්සක්හු, නිරයට සුදුස්සක්හු සෙයින් මෙ දහම්විනයෙන් (මෙ සස්නෙන්) බැහැරැ වැ ගියේ මැ ය.
අග්ගඤ්ඤ ප්‍රඥප්ති කථාව
29. භාර්‍ගවය, මම් අග්ගඤ්ඤය ද (ලෝකෝත්පත්ති වංශ කථාව ද) දනිමි. එය ද දනිමි. එ මතු නොව එයින් මත්තෙහි දෑත් දනිමි. එය දන්නෙම් ද (ඒ දැන්ම තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන්) පරාමර්‍ශනය නො කරමි. එසේ එය පරාමර්‍ශනය නොකරන්නාවූ ද මා විසින් තමා කෙරෙහි ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. යම් නිවීමක් දන්නා තථාගත තෙමේ අනයව්‍යසනයකට නො පැමිණෙන්නේ ද, ඒ එබඳු වූ නිවීමෙක.
භාර්‍ගවය, “ලොව ඉසුරකු විසින් මැවිණැ යි, බඹකු විසින් මැවිණැයි යන ආචාර්‍ය්‍යවාද වූ ලෝකෝත්පත්තිවංශකථාව පණවන ඇතැම් මහණ කෙනෙක් බමුණු කෙනෙක් ඇත. මම් ඔවුන් කරා එළැඹ, ‘ආයුෂ්මත්නි, ලොව ඉසුරක්හු විසින් මැවිණ බඹහු විසින් මැවිණ යන ආචාර්‍ය්‍යවාද වූ ලෝකෝත්පත්ති වංශකථාව (අග්ගඤ්ඤය) තෙපි පණවවු දැ? යි ඔවුන් විචාරමි. මා විසින් විචාරන ලද ඔහු, ‘එසේ යැ’ යි පිළිණ කෙරෙත්. මම් ඔවුනට ‘ආයුෂ්මත්නි, ලොව කවර සැටියෙන් මවන ලද්දේ දැ යි යන ඊශ්වරනිර්‍මාණයක්, බ්‍රහ්මනිර්‍මාණයක්, ආචාර්‍ය්‍යවාදයක්, ලෝකෝත්පත්තිවංශ කථාවක් පණවවු දැ?’ යි ඔවුන් පිළිවිසිමි. ඔහු මා විසින් (මෙසේ) විචාරන ලද්දාහු, (පිළිතුරු දීම් විසින්) ඥානගතියෙන් ඉදිරියට නො යත්. එසේ නො යන්නාහු, ඔහු මා ම පිළිවිසිත්. ඔවුන් විසින් විචාරන ලද මම් මෙසේ (එය) හෙළි කෙරෙමි:
30. “ඇවැත්නි, දික් කලක් ඇවෑමෙන් කිසි සමයෙක මෙ ලොව නැසෙයි ද, එ බඳු කාලපරිච්ඡේදයෙක් වෙයි. ලොව නැසෙන සමයෙහි සත්‍වයෝ බෙහෙවින් ආභස්සර බඹ ලොව උපදනාහු වෙත්. ඔහු එහි ධ්‍යාන චිත්ත බලයෙන් උපන්නාහු, ප්‍රීතිය ම ආහාර කොටැත්තාහු, සිය සිරුරු එළියෙන් බබළන්නාහු, අහසැ හැසිරෙන්නාහු, සිත්කලු උයන් විමන් ඈහි සිටුනාහු (නොහොත් සිත්කලු වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටුනාහු) වෙත්. ඔහු එහි ඉතා බොහෝ කල් සිටුනාහ. ඇවැත්නි, දික්කලක් ඇවෑමෙන් කිසි සමයෙක මෙ ලොව හැදෙන්නේ ද, එසේ වූ කාලපරිච්ඡේදයෙක් වෙයි. ලොව හැදෙන කලැ හිස් බඹ විමනෙක් පහළ වෙයි. එ කලැ එක්තරා සත්‍වයෙක් ආයු ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් ආභස්සර බඹලොවින් සැව එකී හිස් බඹ විමනට පැමිණෙයි (හිස බඹ විමනැ උපදී). හෙ තෙමේ එහි ධ්‍යාන සිතින් උපන්නේ, ප්‍රීතිය ගොදුරු කොටැත්තේ, සිය සිරුරෙන් විහිදෙන එළියෙන් බබළනුයේ, අහසැ හැසිරෙනුයේ, ශෝභන උද්‍යාන විමාන ආදියෙහි සිටුනේ (නොහොත් ශෝභන වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටුනේ) වෙයි. හේ එසේ බොහෝ කලක් සිටියි. එහි එකලා වැ දිගු කලක් වුසූ බැවින් ‘අන් සත් කෙනෙකුත් මෙ අත්බවට එන්නාහු නම් යෙහෙකැ’ යි එ කලා විසීමෙහි නො ඇල්මෙක්, අමුතු කෙනකු හා සහභාවයෙහි ආශාවෙක් උපදී. එයින් පසු අන් සත් කෙනෙක් ද ආයු ගෙවීමෙන් හෝ පින ගෙවීමෙන් හෝ ආභස්සර බඹලොවින් සැව, එ හිස් බඹ විමනට, ඒ පළමු ඉපැදැ සිටියහුගේ සහභාවයට පැමිණෙයි. ඔහු ද එහි ධ්‍යාන සිතින් උපන්නාහු, ප්‍රීතිය ගොදුරු කොටැත්තාහු, ස්වයම්ප්‍රභ වූවාහු, අහසැ හැසිරෙන්නාහු, සිත්කලු උයන් ඈහි සිටිනාහු වෙත්. එසේ දිගු කලක් ඔහු එහි සිටිත්. ඇවැත්නි, එහි යම් සතෙක් පළමුව උපන්නේ ද, ඔහුට, “මම් බ්‍රහ්ම වෙමි, මහා බ්‍රහ්ම වෙමි, මෙරමා මැඩ අධිපති වැ සිටුනෙම් වෙමි, අනුන් විසින් නො මඩනා ලදුයෙම් වෙමි, ඒකාන්තයෙන් සියල්ල දක්නෙම් වෙමි, සියල්ලන් සිය වශයෙහි පවත්වනු යෙම් වෙමි, ලොවැ ඊශ්වර වෙමි, ලොවැ කාරකවෙමි, ලොවැ නිර්‍මාතෘ වෙමි, ලොවැ ස්‍රෂ්ටෘ වෙමි, ලොවැ සකසන්නා වෙමි. මෙරමා තමා වශයෙන් පවත්වන්නෙම් වෙමි, උපන් උපදනා හැමගේ පියා වෙමි. මේ සත්හු මා විසින් මවන ලදහ. ඒ (කියනුයේ) කවර හෙයින? පෙරැ මට ‘අන් සත් කෙනෙකුත් මෙ අත්බවට එන්නාහු නම් ඒ ඉතා යෙහෙකැ’ යි මෙ සිත විය. මෙසේ මගේ ප්‍රාර්‍ත්‍ථනාව ද වීය. ‘මේ සත්හු ද මෙහි ආහ’ යි මට මේ සිත වෙයි.
යම් සත්‍ව කෙනෙක් පසු වැ උපන්නාහු ද, ඔවුනටත් ‘මේ භවත් තෙමෙ බ්‍රහ්මයා ය, මහා බ්‍රහ්මයා ය, අනුන් මැඩ අධිපති වැ සිටුනේ ය. මෙරමා විසින් නො මැඩුණේ ය, ඒකාන්තයෙන් සියල්ල දක්නේ ය, මෙරමා සිය වශයෙහි පවත්වන්නේ ය, ඊශ්වර ය, කර්‍තෘ ය, නිර්‍මාතෘ ය, ස්‍රෂ්ටෘ ය, ලොව සදන්නා ය, මෙරමා තමන් වශයෙහි පවත්වන්නේ ය, උපන් උපදනා හැම දෙනාගේ පියා ය, මේ භවත් බ්‍රහ්මයා විසින් අපි මවන ලදුම්හ, එසේ කියනුයේ කවර හෙයින? යත්: අපි අපට පෙරැ මොහු ඉපිදැ සිටියහු අපි දුටුමු. අපි වූ කලි පසු ව උපන්නමෝ යැ” යි මෙසේ සිතෙක් වෙයි. ඇවැත්නි, එහි යම් සතෙක් පළමු ව උපන්නේ ද, හේ වඩා දීර්‍ඝායුෂ්ක ද වඩා පැහැපත් ද වඩා මහත් යසස් ඇත්තේ ද විය. යම් සත් කෙනෙක් පසුවැ උපන්නාහු ද, ඔහු පළ මු උපන්නාහට වඩා අල්පායුෂ්ක ද වඩා අල්ප වර්‍ණ සම්පත් ඇත්තාහු ද වඩා අල්ප යශස්ක ද වූහ. එක් සත්‍වයෙක් එ බඹමුළුයෙන් සැව, මෙ මිනිසත් බවට එන්නේ ය. හේ මේ මිනිසත්බවට පැමිණියේ ම ගිහි ගෙන් නික්මැ පැවිදි වෙයි. ගිහි ගෙන් නික්මැ පැවිදි වූයේ ම, උත්සාහ වඩා, වැර වඩා පුන පුනා වෑයම් කොට, නොපමා බව නිසා, නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනාව පිහිටි කලැ මෙයින් පළමු වූ අත්බව සිහි කළ හැකි වෙයි. එයින් ඔබ්බෙහි සිහි කළ නොහැකි වෙයි ද, එබඳු චිත්ත සමාධියක් ලබයි යන මෙ කරුණ ඇත. (එසේ චිත්ත සමාධියක් ලත්) හෙ තෙම “යම් ඒ භවත් බ්‍රහ්මයෙක් මහා බ්‍රහ්ම ද, අනුන් මැඩ අධිපති වේ ද, ඊශ්වර ද, කාරක ද, නිර්‍මාපක ද, ස්‍රෂ්ටෘ ද, ලොව සකසන්නේ ද, මෙරමා සිය වශයෙහි පවත්වන්නේ ද, උපන් උපදනා හැමගේ පිතෘ ද, යම් ඒ භවත් මහ බඹක්හු විසින් අපි මවන ලදුමෝ ද, හෙ තෙමේ නිත්‍ය ය, ඕරුව ය (නො මැරෙන්නේ ය), සදාභාවී ය, වෙනස් නොවන සුලු ය, මහ පොළෝ ඈ ශාශ්වත වස්තූන් හා සම වැ එ සැටියෙන් ම නො වෙනස් වැ සිටුනේ ය. යම්බඳු වූ අපි ඒ භවත් බඹුහු විසින් මවන ලදුමෝ ද, ඒ අපි අනිත්‍යයම් හ, අධ්රුවයම්හ, අල්පායුෂ්කයම්හ, සැවෙන සුල්ලම්හ, එහෙයින් එයින් සැව මේ මිනිස් බවට ආම්හ” යි කියයි. ආයුෂ්මත්නි, තෙපි මෙසේ සකස් කැරැගන්නා ලද ඊශ්වර නිර්මිතයක්, බ්‍රහ්මනිර්මිතයක්, ආචාර්‍ය්‍යවාදයක් ලෝකෝත්පත්ති වංශකථාවක් පණවවු ද? (යනුයි). “ඇවැත්නි, ගෞතමයිනි, යම් සේ ම ආයුෂ්මත් ගෞතමයෝ කීහු ද, එ සේ ම අප විසින් අසන ලදි” යි මෙසේ ඔහු කිවු ය. භාර්‍ගවය මම අග්ගඤ්ඤය ද (ලෝකෝත්පත්ති කථාව ද) දනිමි … තථාගත තෙමේ යමක් දන්නේ අන්‍ය ව්‍යසනයකට නො පැමිණේ ද, එසේ වූ කෙලෙස් නිවීම මා විසින් දන්නා ලද්දේ ය.
31. භාර්‍ගවය, ක්‍රීඩාප්‍රදූෂක දෙවියන් මුල් කොටැති ආචාර්‍ය්‍යවාද වූ ලෝකෝත්පත්ති වංශකථාවක් (අග්ගඤ්ඤයක්) යම් කෙනෙක් පණවත් ද, එසේ වූ ඇතැම් මහණ කෙනෙක් බමුණු කෙනෙක් ඇත. මම් ඔවුන් කරා එළැඹ “ආයුෂ්මත්නි, තෙපි ක්‍රීඩාප්‍රදූෂක මූලක ආචාර්‍ය්‍යවාදයක් වූ ලෝකෝත්පත්ති වංශ කථාවක් පණවවු ද? ඒ සැබෑ දැ?” යි කියමි. ඔහු මා විසින් මෙසේ විචාරන ලද්දාහු, ‘එසේ’ යි පිළින කෙරෙත්. “ආයුෂ්මත්නි, තෙපි කෙසේ පිළියෙල කැරැගන්නා ලද ආචාර්‍ය්‍යවාදයක් වූ ක්‍රීඩාප්‍රදූෂක මූලක ලෝකෝත්පත්ති වංශ කථාවක් පණවවු දැ?” යි මෙසේ මම් ඔවුන් විචාරමි. ඔහු මා විසින් විචාරන ලද්දාහු, පිළිතුරු දිය නො හැකි වෙත්. නො හැකි වන්නාහු, මා ම පුළුවුසිත්. එසේ විචාරන ලද මම් ඔවුනට මෙසේ හෙළි කොට කියමි: “ඇවැත්නි, ක්‍රීඩාප්‍රදූෂක නම් දෙවි කෙනෙක් ඇත. ඔහු ඉතා අධික වේලාවක් (අහර වළඳනා කාලය ද ඉක්මැ) මෙවුන්දම්හි ද කායික වාචසික ක්‍රීඩාහි ද ඇලෙන සැහැවියට වැටුණාහු වෙසෙත්. ඉතා අධික වේලාවක් මෙවුන්දම්හි ද කායික වාචසික ක්‍රීඩාහි ද ඇලෙන සැහැවියට වැටී වසන ඔවුනට බොජුන් ගනුවට සිහි නැති වේ. එසේ සිහි නැති වීමෙන් (බොජුන් නොගැනුම් හේතුයෙන්) ඒ දෙවියෝ දිව්‍ය නිකායයෙන් ච්‍යුත වෙත්. මෙසේ ච්‍යුත වූ එක්තරා සත්‍වයෙක් ඒ දේව නිකායෙන් ච්‍යුත ව මේ මිනිස් බවට පැමිණේ. එසේ මිනිසත් බවට පැමිණියා වූ ම හෙ තෙම ගිහි ගෙන් නික්ම පැවිදි වේ. පැවිදි වූයේ ම උත්සාහ වඩා, වැර වඩා, පුන පුනා වැර වඩා, සිහිය වඩා, නුවණ වඩා, යම් සමාධියෙකින් සිත මොනොවට පිහිටි කලැ ඒ පෙරැ අත් බව සිහි කළ හැකි වේ ද, එයින් යට සිහි කළ හැකි නො වේ ද, එසේ වූ චිත්තසමාධියක් ලබයි’ යන මෙය විද්‍යමාන එකෙකි. හේ මෙසේ කියයි: ‘යම් භවත් දෙවි කෙනෙක් ක්‍රීඩාප්‍රදූෂක නො වෙත් ද, ඔහු බොජුන් වේලාව ඉක්මැ මෙවුන්දම්හිත් කායික වාචසික ක්‍රීඩාහිත් ඇලෙන සැහැවියට පත්තෝ වැ නො වෙසෙත් ද, එසේ වේලාව ඉක්මැ මෙවුන්දම්හිත් සෙසු කායික වාචසික ක්‍රීඩාහිත් ඇලෙන සැහැවියට පැමිණ නො වසන ඔවුනට බොජුන් ගනුයෙහි සිහි නැති නො වේ. එසේ සිහි නැති නොවනුයෙන් ඒ දෙවියෝ ඒ දේවනිකායයෙන් නො සැවෙත්. ඔහු නිත්‍ය හ, ධ්රුව හ, සදාභාවී හ. නො පෙරැළෙන සුල්ලහ. හැම කල් පවත්නා පොළෝ ආදි වස්තූනට සම වැ එසේ ම (නො වෙනස් ව) සිටුනාහ. යම් බඳු අපි වනාහි ක්‍රීඩාප්‍රදූෂක වූමෝ ද, වේලාව ඉක්මැ හර්‍ෂ ක්‍රීඩාරති ස්වභාවයට පැමිණියෝ වැ වුසූමෝ ද, එසේ වසන අපට බොජුන් ගැන්මෙහි සිහි නැති විය. එයින් අපි ඒ දෙව්නිකායෙන් ච්‍යුත වූ මෝ එහෙයින් ම අනිත්‍ය වූමෝ අධ්‍රැව වූ මෝ අල්පායුෂ්ක වූමෝ මැරෙන සුලු වූමෝ මෙ මිනිස් බවට පැමිණියම්හ.” (යනු යි.)
ආයුෂ්මත්නි, මෙසේ සකස් කැරැගන්නා ලද ක්‍රීඩාප්‍රදූෂක මූලක ආචාර්‍ය්‍ය වාදයක් වූ ලෝකෝත්පත්ති වංශකථාවක් තෙපි පණවවු දැ” යි මම් අසමි. ‘ඇවැත්නි ගෞතමයිනි, එසේ ආයුෂ්මත් ගෞතමයන් පැවැසූ පරිදි ම අප විසින් අසන ලදි’ යි ඔහු කීහ. භාර්‍ගවය, මේ ලෝකෝත්පත්ති වංශකථාව ද මම් දනිමි … යමක් තථාගත තෙමේ වෙසෙසි නුවණින් දන්නේ අනය ව්‍යසනයට නො පැමිණේ ද, එසේ වූ කෙලෙසේ නිවීම මා විසින් තමා කෙරෙහි ම දන්නා ලද්දේ ය.
32. භාර්‍ගවය, මනඃප්‍රදූෂක මූලක ආචාර්‍ය්‍යවාදයක් වූ ලෝකෝත්පත්ති වංශකථාවක් යම් කෙනෙක් පණවත් ද, එසේ වූ සමහර මහණ කෙනෙක් බමුණු කෙනෙක් ඇත. මම් ඔවුන් කරා ගොස් මෙසේ කියමි. “ආයුෂ්මත්නි, තෙපි මනඃප්‍රදූෂකමූලක වූ ආචාර්‍ය්‍යවාද වූ සත්‍වොත්පත්ති වංශකථාවක් පණවවු ද? ඒ සැබෑ දෑ?’ යි ප්‍රශ්න කරමි. මා විසින් මෙසේ විචාරනු ලැබූ ඔහු ‘එසේ යැ’ යි පිළින කෙරෙත්. මම් ඔවුන් බණවා, “ආයුෂ්මත්නි, කෙසේ සැදුණු මනඃප්‍රදූෂකමූලක ආචාර්‍ය්‍යවාද වූ ලෝකෝත්පත්ති වංශකථාවක් තෙපි පණවවු දැ?’ යි මෙසේ කියමි. මා විසින් ප්‍රශ්න කරන ලද ඔහු එයට පිළිතුරු දෙනු නො හැකි වෙත්. නො හැකිවන්නාහු පෙරළා මා ම විචාරත්. ඔවුන් විසින් විචාරන ලද මම් ඔවුනට මෙසේ හෙළි කරමි: “ඇවැත්නි, මනඃප්‍රදූෂක නම් දෙවි කෙනෙක් ඇත. ඔහු ඉතා බොහෝ වෙලාවක් උනුන් දෙස බලා හිඳිත්. ඉතා බොහෝ වේලා උනුන් දෙස බලා ඉන්නා ඔහු උනුන් කෙරෙහි සිත් දූෂිත කැරැ ගනිත්. උනුන් කෙරෙහි ප්‍රදූෂිත වූ සිතැත්තාහු ක්ලාන්ත වූ කයැත්තාහු ක්ලාන්ත සිතැත්තාහු ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් ච්‍යුත වෙත්, ඔවුන් අතුරෙන් එක්තරා සත්ත්‍වයකු ඒ දෙව්ලොවින් සැව, මේ මිනිසත්බවට එතැ යි ද මෙ මිනිසත් බවට ආවහු ගිහි ගෙන් නික්ම පැවිදි බවට පැමිණෙතැ යි ද, පැවිදි බිමට පැමිණියහු ම උත්සාහ වඩා … යම්සේ සිත සමාධිගත කල්හි ඒ පෙරැ වුසූ අත්බව සිහි කරතැ යි ද, එයින් ඔබ්බෙහි සිහි නො කරතැ යි ද යන මේ කාරණය විද්‍යමාන ය. හේ මෙසේ කියයි: “යම් භවත් දෙවි කෙනෙක් මනඃප්‍රදූෂක නො වූහු ද, ඔහු අධික වෙලාවක් උනුන් නොබලන්නාහු උනුන් කෙරෙහි සිත් දූෂිත කැරැ නො ගනිත්. උනුන් කෙරෙහි ප්‍රදුෂ්ට නොවූ සිතැත්තාහු, ක්ලාන්ත නොවූ කයැත්තාහු, ක්ලාන්ත නොවූ සිතැත්තාහු, ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් නො සැවෙත් නිත්‍ය වැ ධ්‍රැව වැ ශාශ්වත වැ නො පෙරැළෙන සැහැවි ඇති වැ (මහාපෘථිවි ආදි) ශාශ්වත වස්තූන් සෙයින් ම නො වෙනස් ව සිටුනාහ. යම් බඳු වූ අපි මනඃප්‍රදූෂක වූමු ද, ඒ අපි අධික වේලාවක් උනුන් දෙස බලා උන්නම්හ.
ඒ අපි උනුන් දෙස බලා ඉන්නමෝ උනුන් කෙරෙහි සිත් දූෂිත කැරැ ගතුම්හ. ඒ අපි උනුනට ප්‍රදුෂ්ට වූ සිතැත්තමෝ එයින් ක්ලාන්ත කයැති වැ ක්ලාන්ත සිතැති වැ මෙසේ ඒ දෙව්ලොවින් චුත වූමෝ, අනිත්‍ය වූමෝ, අධ්‍රැව වූමෝ, ආශාශ්වත වූමෝ, අල්පායුෂ්ක වූමෝ, සැවෙන සුල්ලමෝ මෙ මිනිස්බවට ආම්හ’ යි මෙසේ කියයි. ආයුෂ්මත්නි, තෙපි මෙසේ සැකැසුණු මනඃප්‍රදූෂක මූලක ආචාර්‍ය්‍යවාද වූ ලෝකෝත්පත්ති වංශකතාවක් පනවවු දැ?’ යි මම් ඇසීමි. ‘ඇවැත්නි. ගෞතමයිනි, යම්සේ ආයුෂ්මත් ගෞතමයෝ කීහු ද, එසේ ම අප විසින් අසන ලදැ’ යි ඔහු කීහ.
භාර්‍ගවය, මම් ලෝකෝත්පත්ති වංශකථාව ද දනිමි. එය ද දනිමි … තථාගත තෙමේ යමක වෙසෙසි නුවණින් දන්නෝ අනයව්‍යසනයට නො පැමිණේ ද එසේ වූ කෙලෙස් නිවීම තමා කෙරෙහි ම දන්නා ලද්දේ ය.
33. භාර්‍ගවය, යම් කෙනෙක් යදෘච්ඡාසමුත්පන්න වූ, ආචාර්‍ය්‍යවාද වූ, ලෝකෝත්පත්ති වංශ කථාවක් පනවත් ද, එසේ වූ සමහර මහණ කෙනෙක් බමුණු කෙනෙක් ඇත. මම් ඔවුන් කරා එළැඹ ‘ආයුෂ්මත්නි, තෙපි යදෘච්ඡාසමුත්පන්න ලෝකෝත්පත්ති වංශකථා සංඛ්‍යාත ආචාර්‍ය්‍යවාදයක් පණවන්නහු ලු. ඒ සැබෑ දැ?’ යි මෙසේ ප්‍රශ්න කරමි. මා විසින් පුළුවුත් ඔහු ‘එසේ යැ’ යි පිළින කෙරෙත්. “ආයුෂ්මත්නි, කෙසේ සැදුණු, යදෘච්ඡාසමුත්පන්න වූ, ආචාර්‍ය්‍යවාද වූ ලෝකෝත්පත්ති වංශකථාවක් තෙපි පණවවු දැ?’ යි මම් ඔවුන් පිළිවිසිමි. මා විසින් පුළුවුස්නා ලද ඔහු එයට උත්තර දෙනු නො හැකි වෙත්. උත්තර දිය නො හැකි වන්නාහු, මා ම පුළුවුසිත්. එසේ පුළුවුස්නා ලදුයෙම් මම ඔවුනට මෙසේ හෙළි කොට කියමි, “ඇවැත්නි, අසංඥසත්‍ව නම් දෙව් කෙනෙක් ඇත. සංඥාව ඉපැත්මෙන් ම ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් ච්‍යුත වෙත්. ඇවැත්නි, එක්තරා සත්‍වයකු ඒ දෙව්ලොවින් සැවැ මෙ මිනිස් බවට පැමිණෙතැයි ද, එසේ මෙ මිනිසත් බවට පැමිණියාහු ගිහි ගෙන් පැවිදි බිමට යෙතැ යි ද, ගිහි ගෙන් නික්ම පැවිදි බිමට පැමිණ ම උත්සාහ වඩා … යම් සේ ම සිත සමාහිත කල්හි ඒ සංඥාවගේ ඉපැත්ම සිහි කෙරේ නම් එයින් ඔබ්බෙහි සිහි නො කෙරේ නම් එසේ වූ චිත්තසමාධියක් ඔහු ස්පර්‍ශ කරතැයි ද යන මේ කාරණය විද්‍යමාන එකෙක. හෙ තෙමේ ආත්මයත් ලෝකයත් යදෘච්ඡා සමුත්පන්නාහ (ඉබේ පහළ වූහ)’ යි පණවයි. එසේ කියනු යේ කවර හෙයින? යත්: ‘මම් පෙරැ නොවීමි, ඒ මම් පෙරැ නො වී දැන් සත්‍ව භාවයට පෙරැළිණිමි’ යි හේ කියයි. ‘ආයුෂ්මත්නි, තෙපි මෙසේ සැකැසුණු ආචාර්‍ය්‍යවාද වූ යදෘච්ඡාසමුත්පන්න ලෝකෝත්පත්ති වංශකථාවක් පණවවු දැ?’ යි මම් ඔවුන් පිළිවිසිමි: ‘ඇවැත්නි, ගෞතමයිනි, යම්සේ ආයුෂ්මත් ගෞතමයෝ කීහු ද, එසේ ම අප විසින් අසන ලද්දේ යැ යි ඔහු කියත්. භාර්‍ගවය, අග්ගඤ්ඤය ද (ලෝකෝත්පත්ති වංශකථාව ද) මම් දනිමි. එය ද දනිමි, එයින් වඩා උසස් වූ දැය ද දනිමි, ඒ දැනීම ද තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් පරාමර්‍ශනය නො කරමි. එය පරාමර්‍ශ නොකරන්නා වූ ද මා විසින් යමක් වෙසෙසි නුවණින් දන්නා තථාගත තෙම අනයව්‍යසනයකට නො පැමිණෙයි ද, එසේ වූ කෙලෙස් නිවීම තමා කෙරෙහි ම දන්නා ලද්දේ ය.
34. භාර්‍ගවය, මෙසේ කියන, මෙසේ කරුණු පවසන මට, ඇතැම් මහණ කෙනෙකේ බමුණු කෙනෙක් ‘මහණ ගොයුම් පෙරැළුණු සංඥා ඇත්තේ ය, ඔහු සවු මහණහු ද පෙරැළුණු සංඥා ඇත්තෝ යැ’ යි ද, ‘යම් විටෙක ශුභ විමෝක්‍ෂය ලැබ වෙසේ නම් එ කලැ සියල්ල අශුභ යැ යි ම හඳුනා යැ යි දැ’ යි නැති දැයින්, හිස් මුසායෙන්, අභූතයෙන් දොස් නඟත්. භාර්‍ගවය, ශුභවිමෝක්‍ෂය ලැබ වසන කලැ ‘සියල්ල අශුභ යැ යි හඳුනා යැ’ යි මෙසේ මම් නො කියමි. වැලි ‘යම් සමයෙක ශුභවිමෝක්‍ෂය ලැබ වෙසේ නම්, එ කලැ ශුභ යැ යි ම හඳුනා යැ’ යි මෙසේ නම් මම් කියමි.
“වහන්ස යම් කෙනෙක් වූකලී භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂූන් ද, විපරීත වශයෙන් පිහිටුවත් නම් (ඇති තතු වෙනස් කොටැ දක්වා දොස් නගත් නම්), ඔහු ම විපරීතයෝ ය (පෙරැළුණු සංඥා ඇත්තෝ ය). වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුණෙම් වෙමි. යම් සේ මම් ශුභ විමෝක්‍ෂය ලැබ විසිය හැකි වන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එසේ දහම් දෙසන්නට පොහොසත් සේකැ’ යි මෙසේ මම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණෙම් වෙමි” යි භාර්‍ගව කී ය.
“භාර්‍ගවය, අන්‍ය දෘෂ්ටික වූ අන්‍යලබ්ධික වූ අන්‍යරුචික වූ අන්‍ය ප්‍රතිපත්තියෙක යෙදුණු, අන්‍යතීර්‍ත්‍ථායතනයෙක ඇදුරු වූ තා විසින් මෙසේ ශුභ විමෝක්‍ෂය ලැබ වසන්නට දුෂ්කර ය. එබැවින් භාර්‍ගවය, මා කෙරෙහි තාගේ මේ යම් පැහැදීමෙක් ඇද්ද, එය ම තෝ මොනොවට රකුව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, ඉදින් අන්‍යදෘෂ්ටික අන්‍යලබ්ධික අන්‍යරුචික අන්‍යප්‍රතිපත්තියෙක යෙදුණු අන් තීර්‍ත්‍ථායතනයෙක ඇදුරු වූ මා විසින් ඒ ශුභ විමෝක්‍ෂය ලැබ වසන්නට දුෂ්කර වේ නම්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මගේ මේ යම් පැහැදීමෙක් ඇද්ද, එය ම මම් මොනොවට රකින්නෙම්” යි භාර්‍ගව තෙම පැවසී ය.
භාග්‍යවතුන් වහන්සේ මේ දහම දෙසූ සේක. භාර්‍ගවගෝත්‍ර පරිව්‍රාජක තෙම ආරාධිත සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්තේ ය.
පළමු වන පාථික සූත්‍රය නිමියේ යැ.
උදුම්බරික සීහනාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට නොදුරු නොළං තන්හි වූ ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ සමයෙහි න්‍යග්‍රෝධ නම් පිරිවැජි තෙමේ තුන් දහසක් පමණ වූ මහත් පිරිවැජි පිරිසක් හා උදුම්බරිකා දේවියගේ පිරිවැජි අරමෙහි වෙසෙයි. එ කල්හි සන්‍ධාන නම් ගෘහපති භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඉරමුදුන් වේලෙසහි රජගහ නුවරින් නික්මිණ. එ කලැ ඔහුට ‘තව ම භාග්‍යවතුන් වහන්සේ දක්නට නො කල් ම ය. භාග්‍යවතුන්වහන්සේ චිත්ත විවේකයෙන් වැඩ ඉන්නා සේක. සිත වඩන භික්‍ෂූන් ද දක්නට කාලය නො වේ. සිතවඩන භික්‍ෂූහු චිත්ත විවේකයෙන් උන්නාහු වෙති. උදුම්බරිකා දේවියගේ පිරිවැජි අරමට, න්‍යග්‍රෝධ පිරිවැජියා කරා ගියෙම් වීම් නම් යෙහෙකැ යි මේ සිත විය.
2. එ කල්හි සන්‍ධාන ගෘහපති තෙම උදුම්බරිකා දේවියගේ පිරිවැජි අරම කරා, න්‍යග්‍රෝධ පිරිවැජියා වෙතට ගියේ ය. එ සමයෙහි න්‍යග්‍රෝධ පිරිවැජි තෙම උන්නාදී වැ ඝෝෂයෙන් යුක්ත වැ උස් හඬ මහ හඬ ඇති වැ, මහත් පිරිවැජි පිරිස හා රාජකථා, චෝරකථා, මහාමාත්‍යකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, අන්නකථා, පානකථා, වස්ත්‍රකථා, මාලාකථා, ගන්‍ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, පුරුෂකථා, සූරකථා, විසිඛාකථා, කුම්භස්ථානකථා, පූර්‍වප්‍රේතකථා, නානාත්‍වකථා, ලෝකාඛ්‍යායිකා, සමුද්‍රාඛ්‍යායිකා, ඉතිභවාභවකථා යන මේ කථා හෝ මෙ බඳු වූ තිරශ්චීන කථා කියමින් හුන්නේ වෙයි. න්‍යග්‍රෝධ පිරිවැජි තෙම එන්නාවූ සන්‍ධාන ගෘහපතියා දුටුතේ ය. දැක ‘භවත්හු නිහඬ වෙත් වා. භවත්නි, ශබ්ද නො කරවු. මහණ ගොයුමන්ගේ සවු වූ මේ සන්‍ධාන ගෘහපති එයි. මහණ ගොයුමන්ගේ සවු වූ සුදු වත් හඳිනා, යම් පමණ ගිහි කෙනෙක් රජගහ නුවරැ වෙසෙත් ද, මේ සන්‍ධාන ගෘහපති ඔවුන්ගෙන් එක්තරා කෙනෙක. මේ ආයුෂ්මතුන් නිහඬ බව කැමැත්තෝ ය, නිහඬ බව්හි හික්මුණෝ ය, නිහඬ බවේ ගුණ කියන්නෝ ය. නිහඬ පිරිස දැන මෙහි එළැඹියැ යුතු යැ යි සිතුවොත් යෙහෙකැ” යි කියා සිය පිරිස නිහඬ කෙළේ ය. මෙසේ කී කල්හි ඒ පිරිවැජියෝ නිහඬ වූහ.
3. එ කල්හි සන්‍ධාන ගෘහපති න්‍යග්‍රෝධ පිරිවැජියා කරා එළඹියේ ය. එළැඹ න්‍යග්‍රෝධ පිරිවැජියා හා සතුටු විය. සතුටු විය යුතු සිතැ රැඳැවිය යුතු කථාව අවසන් කොට එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නාවූ ම සන්‍ධාන ගෘහපති තෙම න්‍යග්‍රෝධ පිරිවැජියාට මෙය කී ය: “මේ භවත් අන්තොටු පිරිවැජියෝ එක්තැන් ව එක්රැස් ව ඝෝෂා ඇත්තාහු, උස් හඬ මඟ හඬ ඇත්තාහු, රාජකථා ... ඉතිභවා භව කථා යන මේ හෝ මෙබඳු වූ අනේකවිධ තිරශ්චීන කථාහි යෙදුණාහු අන් සැටියෙකින් වෙසෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේ ස්වල්ප භඩ ඇති, මඳ භඩ ඇති, ජනවාත රහිත වූ, හුදෙකලා වැ කරන කටයුතුවලට සුදුසු වූ, ඒකීභාවයට යෝග්‍ය වූ අරණ්‍ය වනප්‍රස්ථයන්, ගොදුරු ගමට දුරැ සෙනසුන් සෙව්නාහු අන් සැටියෙකින් ම වෙසෙත්” (යනුයි).
මෙසේ කී කල්හි න්‍යග්‍රෝධ පිරිවැජි තෙම, සන්‍ධාන ගෘහපතියාට මෙය කී ය: “එසේ නම් ගැහැවිය දැන ගන්න. මහණ ගොයුම් කවරකු හා කතා බස් කෙරේ ද? කවරකු හා සාකච්ඡාවට බස්නේ ද? කවරකු හා උතුරු පිළිතුරු කතායෙන් ප්‍රඥාව්‍යක්තතාවට පැමිණේ ද? මහණගොයුම්හුගේ ප්‍රඥාව ශූන්‍යාගාරයන්හි ම නටුයේ ය. මහණ ගොයුම් අවිසාරද බැවින් පිරිස් මැදට බස්නට නො හැක්කේ ය. ආලාපසංලාපයට සමත් නො වෙයි. ඇඟේ කිසිවක් හැපෙතැ යි මඟ හැර හැර යන එකැස් කණ දෙනක සේ ප්‍රශ්න අසතැ යි බියෙන් ගමින් බොහෝ දුරැවූ සෙනසුන් සෙව්නේ ය. එබැවින් දැනගනුව, ගැහැවිය, මහණ ගොයුම් මේ පිරිසට ආවොත් එක් ප්‍රශ්නයෙන් ම ඔහු යටපත් කරන්නමු, හිස් කළයක් (ඒ මේ අත පෙරළා බැඳ තබන්නාක්) සෙයින් වාද කථායෙන් බැඳ තබන්නෙමු” (යනු යි).
4. භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය විෂය සීමා ඉක්මි පිරිසිදු දිවකන් නුවණින් සන්‍ධාන ගෘහපතිහු න්‍යග්‍රෝධ පිරිවැජියා හා කැරෙන මේ කථාසංලාපය අසා වදාළසේක. ඉක්බිති ගිජුකුළු පව්වෙන් බැස, සුමාගධා පොකුණු තෙරැ වූ මයුරනිවාප නම් තැනට වැඩි සේක. වැඩ එහි සුමාගධා පොකුණු තෙරැ මයුර නිවාපයෙහි එළිමහනෙහි සක්මන් කළසේක. න්‍යග්‍රෝධ පිරිවැජි තෙම සුමාගධාතීරයෙහි මයුර නිවාපයෙහි එළිමහනැ සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දිටී ය. දැක සිය පිරිස බණවා, ‘භවත්හු නිහඬ වෙත් වා. භවත්නි, ශබ්ද නො කරවූ. මේ ශ්‍රමණ ගෞතම තෙමේ සුමාගධාව තෙරැ මයුර නිවාපයෙහි පිළිමිහනැ සක්මන් කෙරෙයි. ඒ ආයුෂ්මත් තෙමේ නිහැඬියාව කැමැත්තේ, නිහඬ බවැ ගුණ කියන සුලු ය. මෙ පිරිස නිහඬ වැ ඉඳිනාහු දැන එළැඹියැ යුතු කොට සිතුයේ වී නම් ඉතා යෙහෙක. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මෙ පිරිස කරා ආයේ වී නම්, ‘වහන්ස’ භාග්‍යවතුන් වහන්සේ යම් දහමෙකින් ශ්‍රාවකයන් හික්මවන සේක්ද භාග්‍යවතුන් වහන්සේ විසින් යම් දහමෙකින් හික්මවන ලද සව්වෝ සතුටට පැමිණියාහු උත්තම නිඃශ්‍රයයක්, ආදිම බ්‍රහ්මචර්‍ය්‍යක් (ලොවුතුරා මඟක්) තමන් සතුටට කාරණ යැ යි) පිළින කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්‍මය කවරේ වේ ද?’යි මේ පැණය විචාරන්නමු’ යි කී ය. මෙසේ කී කලැ ඒ පිරිවැජියෝ නිහඬ වූහ.
__missing translation__
5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ න්‍යග්‍රෝධ පිරිවැජි කරා වැඩි සේක. එ විට න්‍යග්‍රෝධ පිරිවැජිතෙම “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක් වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩි සේ මැනැව. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩනා පිණිස යම් ගමන වාරයෙක් වේ ද, බොහෝ කලෙකින් ඒ ගමනවාරය කළ සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳිනා සේක් වා. මේ අස්නෙක් පැනැවිණැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස් කී ය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥප්තාසනයෙහි වැඩ හුන් සේක. න්‍යග්‍රෝධ පිරිවැජි ද එක්තරා මිටි අස්නක් ගෙන පසෙක උන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක උන්නාවූ ම න්‍යග්‍රෝධ පිරිවැජියා බණවා, “න්‍යග්‍රෝධයෙනි, දැන් තෙපි කවර කථාවෙකින් හුන්නහු ද? තොප අතර කවර කථාවෙක් අඩාළ වී ද?”යි අසා වදාළ සේක. මෙසේ වදාළ කලැ න්‍යග්‍රෝධ පිරිවැජිතෙම “වහන්ස, මෙහි සුමාගධා පොකුණු තෙරැ මයුර නිවාපයෙහි එළිමහනැ සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දුටුමු. දැක, ‘ඉදින් ශ්‍රමණ ගෞතමයෝ මේ පිරිස කරා වඩනාහුනම්, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් දහමෙකින් ශ්‍රාවකයන් හික්මවන සේක් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් දහමෙකින් හික්මවන ලද සව්වෝ සතුටට පැමිණියාහු උත්තම නිඃශ්‍රය වූ පැරැණිතම බඹසරක් පිළින කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්‍මය කවරේ වේ ද?’යි මේ පැණය ඔබ විචාරන්නමු’යි කීම්හ. වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ විය. එ කලැ, භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක”යි පැවැසීය.
“න්‍යග්‍රෝධයෙනි, ‘යමෙකින් මම් සව්වන් භික්මවන්නෙම් ද, මා විසින් යමෙකින් හික්මවන ලද සව්වෝ සතුටට පැමිණියාහු, උත්තමධාරය වූ පැරණිතම බඹසරක් පිළින කෙරෙත් ද, එය අන්‍යදෘෂ්ටික වූ අන්‍යලබ්ධික වූ අන්‍යරුචික වූ අන්‍ය ප්‍රතිපත්තියෙක යෙදුණු, අන්‍ය තීර්‍ත්‍ථායතනයෙක ඇදුරු වූ තොප විසින් දත නො හැක්ක. එබැවින් න්‍යග්‍රෝධයිනි, ‘වහන්ස, කෙසේ වූ තපෝජුගුප්සාව පරිපූර්‍ණ වේද? කෙසේ වූ තපෝජුගුප්සාව අපරිපූර්‍ණ වේ ද?’යි තෙපි ස්වකීය ආචාර්‍ය්‍ය වාදය වූ අධිජේගුච්ඡයෙහි (රූක්‍ෂ පිළිවෙතින් අතිශයින් පව් බැහැරැ ලීමෙහි) මා විචාරවු”යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
6. මෙසේ වදාළ කලැ, ඒ පිරිවැජියෝ ‘ස්වකීය වාදය පසෙක තබා පරවාදයෙන් පවරන සේ වූ මහණ ගොයුමන්ගේ මහ ඉදුමත් බව අසිරිය, මහ තෙද බලඇති බව පුදුම යැ! යි ඝෝෂා පවත්වනුවෝ උස් හඬැත්තාහු මහත් හඬැත්තාහු වූහ, ඉක්බිති න්‍යග්‍රෝධ පිරිවැජි ඒ පිරිවැජ්ජන් නිහඬ කොට, ‘වහන්ස, අපි තපෝජුගුප්සාවාදය (රළු පිළිවෙතින් පව් අරැ ලියැ යුතුය යන දෘෂ්ටිය) ඇත්තමෝ, තපෝජුගුප්සාව සාරය කොටැත්තමෝ තපෝජුගුප්සාවාදයෙහි ඇලුණමෝ වසම්හ. වහන්ස, කෙබඳු වූ ම තපෝජුගුප්සාව පරිපූර්‍ණ වේ ද? කෙබඳු වූ ම තපෝජුගුප්සාව පරිපූර්‍ණ නො වේ ද?”යි භාග්‍යවතුන් වහන්සේගෙන් මේ පැණය පුළුවුත.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “න්‍යග්‍රෝධයෙනි, මෙහි තපස්වී තෙම නිරුවත් වෙයි, සිට ගෙන මල මූ පහකිරීම් ආදිවශයෙන් තොරවූ ශිෂ්ටාචාර ඇත්තේ වෙයි, කෑම කා අත ලෝනේ ය. මෙහි වඩින්නැ වහන්සැ යි බික් පිළිගන්නට කැඳවූ විට නො එන්නේ ය. මෙහි වැඩ සිටින්නැ’යි අයැදු විට නො සිටී, වේලායෙන් පළමු එළවූ බොජුන් නො පිළිගනී, තමා උදෙසා පිළියෙල කළ බොජුන් නො පිළිගනී, නිමන්ත්‍රණය නො ඉවසයි. හෙ තෙම සැළිමුවින් නඟා දුන් බොජුන් නො පිළිගනී. සැළිපසින් නඟා දුන් බොජුන් නො පිළිගනී. එළිපත අතරැ කොට (එළිපතින් එහා පැත්තේ සිට) තුබූ බොජුන් නො පිළිගනී. දංඩක් අතරැ කොට තුබූ බොජුන් නො පිළිගනී. මොහොලක් අතරැ කොට තුබූ බොජුන් නො පිළිගනී. බොජුන් වළඳන දෙදෙනෙකුගෙන් එකකු නැඟී එළැවූ බොජුන් නො පිළිගනී. ගැබින්නක දුන් බොජුන් නො පිළිගනී. කිරිපොවන්නියක එළැවූ බොජුන් නො පිළිගනී. පුරුෂයකු හා වාසයට ගිය ස්ත්‍රියක දුන් බොජුන් නො පිළිගනී. කිහිප දෙනෙකුගේ සම්මාදමින් පිළියෙල කොට එළැවූ බොජුන් නො පිළිගනී. ළඟ හුන් සුනඛයාට නොදී තමාට දුන් අහර නො පිළිගනී. මැස්සන් කැටි කැටි ව ගැවැසෙන තැනදී දුන් අහර නො පිළිගනී. දියමස් නො වළඳයි. ගොඩමස් නො වළඳයි. සුරා නො බොයි. පුෂ්පාසවාදි ආසව නො බොයි. සොවිරකය (සියලු ශශ්‍යසම්භාරයෙන් කළ කාඩිය) නොබොයි. හේ ඒකාගාරික (එක් ගෙයෙකින් පමණක් අහර ලැබ නවත්නේ) හෝ ඒකාලෝපික (එක් බත් පිඬෙකින් පමණක් යැපෙන්නේ) හෝ වෙයි. සාප්තාගාරික (සත් ගෙයෙකින් පමණක් අහර ලැබ නවත්නේ හෝ සත් අහර පිඬෙකින් පමණක් යැපෙන්නේ) වෙයි. එක් දත්තියෙක (කුඩා තලියෙක) බතින් ද යැපෙයි. දත්ති (කුඩා තලි) දෙකෙක බතින් ද යැපෙයි, ... දත්ති සතෙක බතින් ද යැපෙයි. දවසක් හැර දවසක් ද අහර ගනී. දෙ දවසක් හැර දවසක් ද අහර ගනී. තුන් දවසක් ... සතර වසක් … පස් දවසක් ... ස දවසක් ... සත් දවසක් හැර දවසක් ද අහර ගනී ... මෙසේ මේ අයුරින් අඩ මසක් හැර දවසක් ද වාර බත් වැළඳීමේ ව්‍රතයේ යෙදුණේ වෙසෙයි.
හේ අමු පලා බුදින්නේ හෝ වෙයි, බොඩහමු බුදින්නේ හෝ වෙයි. සියදා වී (ඌරුහැල්) බුදින්නේ හෝ වෙයි. සම් ලියාලූ කසට බුදින්නේ හෝ වෙයි. ලහටු ද දිය සෙවෙල් ද බුදින්නේ හෝ වෙයි. සහල්කුඩු බුදින්නේ හෝ වෙයි. දඹු බත් කන්නේ හෝ වෙයි. මුරුවට කන්නේ හෝ වෙයි. තණකොළ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. තමන් ම වැටුණු පල වළඳනුයේ, වනැ මුල් පල අහර කොටඇත්තේ යැපෙයි.
7. හේ හණ වැහැරි ද දරයි, අන් හූ හා හණ නූල් මුසු කොට වියූ වස්ත්‍ර දරයි, මිණියෙන් බැහැරකෙකාට ලූ වස්ත්‍ර දරයි, ඉවතැ ලූ කඩමාලු රෙදි දරයි, රිටි සුඹුලුයෙන් වියූ වස්ත්‍ර දරයි, අඳුන් මුවසම් දරයි. මැදින් පළන ලද කුර සහිත අඳුන් මුව සම් දරයි, කුසතණ ගොතා කළ වැහැරි ද දරයි, නියඳ වැහැරි ද දරයි, මිනිස් කෙහෙයෙන් කළ කම්බිලි ද දරයි. අස්වලග ලොමින් කළ කම්බිලි ද දරයි, මහමුහුණු පියා පතින් කළ වැහැරිද දරයි,
කේසමස්සු ලෝචනානුයෝගයෙහි යෙදුණේ කෙහෙ රවුලු උදුරන්නේ වෙයි, පිළිකෙවු කළ අසුන් ඇත්තේ නැගී (ඍජුව) සිටුනේ වෙයි. උක්කුටිකප්පධානයෙහි (එළිල්ලෙන් හිඳගෙණ කරන වීර්‍ය්‍යයෙහි) යෙදුණේ උත්කුටුක (පැන පැන යන්නේ) ද වෙයි, කණ්ටකාපස්සයික ව්‍රත රක්නේ කටුමැස්සෙහි ශයනය කෙරෙයි, පුවරුයෙහි ශයනය ද කෙරෙයි, බිමැ ශයනය ද කෙරෙයි, එක් ඇලයකින් හෝනේ ද වෙයි, රජස් දැලි දරනුයේ එළිමහනේ වසනුයේ ද වෙයි. අතුරන ලද පරිදි වූ අස්නැ හිඳුනේ ද වෙයි, විකෘත භෝජනයෙහි (ගූථානුභවයෙහි) යෙදුණේ වෛකෘතික ව්‍රතය රක්නේ වෙයි, සිහිල් දිය නො බොනුයේ අපානක ව්‍රතය (සිහිල් දිය නොබොන වත) රක්නේවෙයි, සවස තෙවැනි කොට උදේ මද්දහන සවස යන තුන් වේලෙහි (පව් සෝදන්නට) දියට බසිනුයෙහි යෙදුණේ වෙසෙයි.
න්‍යග්‍රෝධයෙනි, එය කිමැයි සිතවූද? ඉදින් මෙසේ ඇති කල්හි තපෝ ජුගුප්සාව පරිපූර්‍ණ වේ ද? පරිපූණ නො වේ ද?”
“වහන්ස, මෙසේ ඇති කල්හි තපෝජුගුප්සාව පරිපූණ වෙයි, අපරිපූණ නො වෙයි” පිරිවැජි කී ය.
තප උපක්ලේශයෝ
8. “න්‍යග්‍රෝධයෙනි, මෙසේ පරිපූර්‍ණ වූ ද තපොජුගුප්සාවෙහි අනේකවිධ උපක්ලේශයන් කියමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙසේ පරිපූර්‍ණ වූ ද තපොජුගුප්සාවෙහි අනේකවිධ උපක්ලේශයන් වදාරන සේක් ද?” යි පිරිවැජි පුළුවුත.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “න්‍යලෝධයෙනි, මෙහි තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් සතුටු වූ සිතැත්තේ, අවසන් කළ සංකල්ප ඇත්තේ (තෘප්ත වූයේ) වෙයි. න්‍යග්‍රෝධයිනි, තවුස් තෙම යම් තපසක් සමාදන් කොට ගනී නම්, හෝ ඒ තපසින් සතුටු වේ නම්, තෘප්ත වේ නම්, න්‍යග්‍රෝධයෙනි, මෙය ද තවුස් හට උපක්ලේශයෙක් වෙයි.
තව ද න්‍යග්‍රෝධයිනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් තමා හුවා තබයි, මෙරමා හෙලා දකී. න්‍යග්‍රෝධයෙනි, තවුසකු තපස සමාදන් කොට ගෙන එයින් තමා හුවා තබනු ද මෙරමා හෙලා දකිනු ද යන මෙය ද තවුස්හට උපක්ලේශයෙකි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමෙ තපස සමාදන් කොට ගනී. හේ එයින් මත් වෙයි, මුසපත් වෙයි, පමාවට පැමිණෙයි. න්‍යග්‍රෝධයෙනි, තවුසක්හු තපස සමාදන් කොට ගෙන එයින් මත් වනු, මුසපත් වනු පමාවට පැමිණෙනු ද තවුස්හට උපක්ලේශයෙකි.
න්‍යග්‍රෝධයෙනි, තව ද තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී, ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හේ ඒ ලාභ සත්කාර කීර්තියෙන් සතුටු වෙයි, පරිපූර්‍ණ සංකල්ප ඇත්තේ වෙයි. න්‍යග්‍රෝධයෙනි, තවුසක්හු තපස සමාදන් කොට ගෙන එයින් ලාභ සත්කාර කීර්ති උපදවනු ද ඔහු එයින් සතුටු වනු ද පරිපූර්‍ණ මනෝරථ ඇති වනු ද තවුස් හට උපක්ලේශයෙක් වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී. හෝ එයින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හේ ඒ ලාභ සත්කාර කීර්තියෙන් තමා හුවා තබයි, මෙරමා හෙලා දකී. න්‍යග්‍රෝධයෙනි, තවුසක්හු තපස සමාදන් කොට ගෙන එයින් ලාභ සත්කාර කීර්ති උපදවනු ද එයින් තමා හුවා තබනු ද මෙරමා හෙලා දකිනු ද යන මෙය තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හේ එයින් මත් වෙයි, මුස පත් වෙයි, පමාවට පැමිණෙයි. න්‍යග්‍රෝධයෙනි, තවුසක්හු තපස සමාදන් කොට ගෙන එයින් ලාභ සත්කාර කීර්ති උපදවනු ද එයින් මත් වනු ද මුස පත් වනු ද පමාවනු ද යන මෙ හැම තවුස්හට උපක්ලේශ වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ තපස සමාදන් කොට ගනී. හෝ (තමා ලත්) බොජුන්හි මෙය ‘මට රිසියෙයි, මෙය නො රිසියෙයි’ කියා දෙකොටසකට බෙදන බවට පැමිණෙයි. හේ තමාට නො රිසියෙන බොජුන් තෘෂ්ණා සහිත ව බැහැර කෙරෙයි. තමාට රිසියෙන බොජුන් ගිජු වූයේ මුස පත් වූයේ, එහි ලැගුණේ, ආදීනවමාත්‍රා දු නො දක්නේ ප්‍රත්‍යවේක්‍ෂණ මාත්‍රා පරිභෝග මාත්‍රා ද නො දන්නේ වළඳයි ... මෙය ද න්‍යග්‍රෝධයෙනි, තවුස්හට උපක්ලේශ වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ ‘රජුන් ද රාජ මහාමාත්‍යයන් ද ක්‍ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන් ද ගෘහපතියන් ද තීර්‍ත්‍ථකයන් ද මට සත්කාර කරතැ’යි ලාභ සත්කාර කීර්ති අපේක්‍ෂායෙන් තපස සමාදන් කොට ගනී ද ... මෙය ද තවුස්හට උපක්ලේශ වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, ‘කිමෙක් ද? මෙ තෙම පසය බහුල කොට ඇති වැ දිවි පවත්වන්නේ, මූලවීජ, ස්කන්‍ධවීජ, පරුවීජ, අග්‍රවීජ, පස්වනු වීජවීජ යන හැම දැයක් ම කා දමයි. මොහුගේ දත් (එයට හසු වන සියල්ල සුණු විසුණු කරන) මහ හෙන සකක් වැන්න, එහෙත් ශ්‍රමණ නාමයෙන් මොහු හඳුනති’යි කියා තවුස් තෙමේ කිසි යම් මඟණකු හෝ බමුණකු හෝ හෙලා දක්නේ වේ ද, මෙය ද තවුස්හට උපක්ලේශ වෙයි.
9. තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම කුලයන්හි සත්කාර කරනු ලබන, ගෞරව කරනු ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන කිසි යම් මහණකු හෝ බමුණකු හෝ දකී ද, දැකීමෙන් ‘පසය බහුල කොටැති වැ දිවි පවත්වන මොහුට කුලයන්හි සත්කාර කරත්, ගෞරව කරත්, බුහුමන් කරත්, පුදත්. රූක්‍ෂ වැ ජීවත් වන මට වනාහි කුලයන්හි සත්කාර නො කරත්, ගෞරව නො කරත්, බුහුමන් නො කරත්, පූජා නො කරත්’ යැ යි ඔහුට මෙසේ සිතෙක් වෙයි ද, හෙ තෙමේ මෙසේ කුලයන් කෙරෙහි ඊර්‍ෂ්‍යයාවත් මාත්සර්‍ය්‍යයත් උපදවන්නේ වෙයි ද … න්‍යග්‍රෝධයෙනි, මෙය ද තවුස්හට උපක්ලේශ වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙමේ තපස් කරනුයේ මිනිසුනට පෙනෙන තන්හි හිඳුනේ වෙයි ද, න්‍යග්‍රෝධයෙනි, මේ මිනිසුනට පෙනෙන තන්හි හිඳ තපස් කරන බව තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම මේ ද මගේ තපස යි මේ ද මගේ තපසැ යි තමාගේ ගුණ දක්වනුයේ කුලයන්හි හැසිරෙයි ද ... න්‍යග්‍රෝධයෙනි, මෙය ද තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම තමාගේ කිසි දොසක් සඟොවා ගෙන හැසිරෙයි ද, මෙය ඔබට කැප ද?’ යි විචාරන ලදුයේ ම නො කැප දැය කැප යැ යි කියයි ද, කැප දැය කැප නො වේ යැ යි කියයි ද, මෙසේ හෙ තෙමේ දදැන මුසවා කියන්නේ වේ ද … න්‍යග්‍රෝධයෙනි, මෙය ද තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, දහම් දෙසන තථාගතයන්ගේ හෝ තථාගත ශ්‍රාවකයකුගේ හෝ අනුදැනියැ යුතු (මැනැවැ යි අනුමෙවියැ යුතු) ඇත්තා වූ ම දේශනාව නො අනුදනී ද ... න්‍යග්‍රෝධය, මෙය ද තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුසෙක් ක්‍රෝධ කරන සුලු වෙයි. වෛර බඳින සුලු වෙයි. න්‍යග්‍රෝධයෙනි, තවුසෙක් ක්‍රෝධ කරන සුලු ය, වෛර බඳින සුලු ය යන මෙය ද තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුසෙක් ගුණමකු වෙයි. උතුමන් තමා හා සම කොට සිතන්නේ වෙයි, ඊර්‍ෂ්‍යා කරන්නේ වෙයි, මසුරු වෙයි, කෛරාටික වෙයි, කළ වරද සඟොවන මායා ඇත්තේ වෙයි, තෙත් ගති නැත්තේ කරුණාව නැත්තේ තද ගති ඇත්තේ වෙයි, අධිකමාන ඇත්තේ වෙයි. ලාමක ඊප්සා ඇත්තේ ලාමක ඊප්සාවනට වශග වූයේ වෙයි, උච්ඡේදදාෂ්ටියෙන් සමන්‍විත මිසදිටුවෙක් වෙයි. තමා ගත් දෘෂ්ටිය පරාමර්‍ශනය කරනුයේ, දැඩි කොට ගත්තේ, බැහැරැ කැරැවිය නො හැකි සේ ගත් දෘෂ්ටි ඇත්තේ වෙයි. න්‍යග්‍රෝධයෙනි, ගුණමකු වෙයි ... තමා ගත් දෘෂ්ටිය පරාමර්‍ශන කරනුයේ දැඩි කොට ගත්තේ, බැහැර කැරැවිය නො හැකි දෘෂ්ටි ඇත්තේ වෙයි යන යමෙක් ඇද්ද, මෙය ද තවුස්හට උපක්ලේශයෙක් වෙයි.
“න්‍යග්‍රෝධයෙනි, එය කිමැ යි සිතවු ද? මේ තපෝජුගුප්සාවෝ උපක්ලේශ ඇත්තෝ ද? නැත හොත් උපක්ලේශ නැත්තෝ ද?”
“වහන්ස, මේ තපෝජුගුප්සාවෝ උපක්ලේශ ඇත්තෝ වෙත්, උපක්ලේශ නැත්තෝ නො වෙත්. වහන්ස, මෙහි එක්තරා තවුසෙක් මේ සියලු උපක්ලේශයන්ගෙන් සමන්‍විත වන්නේ ය යන මේ කාරණය ඒකාන්තයෙන් ඇත්තේ ය. එක්තරා උපක්ලේශයෙකින් සමන්‍විත වන්නේ ය යනු කියනු ම කවරේ ද?” යි තවුසා කී ය.
පරිශුද්ධ ප්‍රපාටිකාප්‍රාප්ති කථා
10. න්‍යග්‍රෝධයෙනි, මෙහි තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ තපසින් ආරාධිත සිතැත්තේ නො වෙයි, පරිපූර්‍ණ සංකල්ප ඇත්තේ නො වෙයි. මෙසේ හෙ තෙම එ තන්හි පිරිසිදු වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් තමා හුවා නො තබයි, මෙරමා හෙලා නො දකි. මෙසේ හේ එ තන්හි පිරිසිදු වෙයි.
11. තව ද න්‍යග්‍රෝධයෙනි,තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් මත් නො වෙයි, මුස පත් නො වෙයි, පමාවට නො පැමිණෙයි. න්‍යග්‍රෝධයෙනි, යම් හෙයකින් තවුසා තපස සමාදන් කොට ගනී ද හේ ඒ තපසින් මත් නො වෙයිද මුස පත් නො වෙයිද පමාවකට නො පැමිණෙයිද මෙසේ හෙ තෙම එ කරුණෙහි පිරිසිදු වෙයි.
තව ද න්‍යග්‍රෝධයෙනි, තවුස් තෙම තපස සමාදන් කොට ගනී. හේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි, හේ ඒ ලාභ සත්කාර කීර්තියෙන් ආරාධිත සිතැත්තේ නො වෙයි. පිරිපුන් සංකල්ප ඇත්තේ නො වෙයි. න්‍යග්‍රෝධයෙනි, යම් හෙයකින් ම තවුස් තෙම තපස සමාදන් කොට ගනී ද, හේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවා ද, හේ ලාභ සත්කාර කීර්තියෙන් ආරාධිත සිතැත්තේ නො වෙයි ද, පිරිපුන් මනෝරථය ඇත්තේ නො වෙයි ද, මෙසේ හේ එ කරුණෙහි පිරිසිදු වෙයි.