එවිට අනිත් යහලුවා තමා ගෙනා හන වැහැරි බර ඉවත දමා හණනූල් බරක් ගත්තේ ය. ඔහු මිනිසුන් හැර දමා ගිය එක්තරා ගමකට ගියාහ. එහි හැර දමා පියන ලද බොහෝ හණරෙදි (ගෝනි) දුටුහ. දැක පළමු සගයා දෙවැනි යහලුවා බණවා ‘යහලුව, යම් ධනයක් සඳහා අපි හණ හෝ හණ නූල් හෝ කැමැත්තමෝ ද, (එයට සුදුසු වූ) මේ හැරදමා පියන ලද බොහෝ හණරෙදි ඇත. යහලුව, එ බැවින් තෝත් හණවැහැරි බර ඉවත දමා පියව, මමත් හණනූල් බර ඉවත දමා පියන්නෙමි. අපි දෙදෙනා ම හණ රෙදි බරක් ගෙන යමු’ යි කී ය. ‘යහලුව, මේ හණ වැහැරි බර මා විසින් දුරැ සිට ගෙනෙන ලද්දේ ද මොනොවට බඳනා ලද්දේ ද වෙයි. මට හණ රෙද්දෙන් වැඩෙක් නැත. කළ යුත්තක් හෝ දනුව’ යි දෙවැන්නා කී ය. ඉක්බිති ඒ යහලු තෙම හණනූල් බර ඉවත දමා හණරෙදි බරක් ගත්තේ ය. ඔහු මිනිසුන් හැර දමා ගිය එක්තරා ගමකට පැමිණියාහ. එහි ඉවත දමා පියන ලද බොහෝ කොමුවැහැරි දුටුහ … ඉවත දමා පියන ලද බොහෝ කොමු නූල් දුටුහ … ඉවත දමා පියන ලද බොහෝ කොමු පිළී … ඉවත දමා පියන ලද බොහෝ කපු … ඉවත දමා පියන ලද බොහෝ කපු නූල් … ඉවත දමා පියන ලද බොහෝ කපු පිළී … ඉවත දමා පියන ලද බොහෝ යකඩ …ඉවත දමා පියන ලද බොහෝ තඹ … ඉවත දමා පියන ලද බොහෝ කලු ඊයම් … ඉවත දමා පියන ලද බොහෝ සුදු ඊයම් … ඉවත දමා පියන ලද බොහෝ රිදී … ඉවත දමා පියන ලද බොහෝ රන් දුටුහ. දැක පළමු යහලුවා දෙවැන්නා බණවා ‘යහලුව, යම් ධනයක් සඳහා හණ වැහැරි හෝ හණ නූල් හෝ හණ පිළී හෝ කොමු වැහැරි හෝ කොමු නූල් හෝ කොමු පිළී හෝ කපු හෝ කපු හූ හෝ කපු පිළී හෝ යකඩ හෝ තඹ හෝ කලු ඊයම් හෝ සුදු ඊයම් හෝ රිදී හෝ කැමැති වන්නමෝ ද, ඒ සඳහා ම (අපට ඇවැසි වූ) මේ හැර දමා පියන ලද බොහෝ රන් ලැබී ඇත. එ බැවින්, යහලුව, තෝත් හණවැහැරි බර ඉවත දමා පියව, මමත් රිදී බර ඉවත දමා පියන්නෙමි. අපි දෙදෙනා ම රන් බරක් ගෙන යම්හ’ යි කී. ‘යහලුව, මේ හණවැහැරි බර මා විසින් දුරැ සිට ගෙනෙන ලද්දේ ද මොනොවට බැඳ ගන්නා ලද්දේ ද වෙයි. එ බැවින් මට රනින් කම් නැත. තා කළ යුතු දැය තෝ ගනුව’ යි කී ය. එ විට ඒ පළමු යහලු තෙම රිදී බර ඉවත දමා පියා රන් බරක් ගත්තේ ය. ඔහු දෙදෙන සිය ගම කරා ගියාහ. ඔවුන් අතුරෙන් යම් යහලුවෙක හණ වැහැරි බර ගෙන ගියේ ද, ඔහුගේ මා පියෝ ඔහු නො ම පිළි ගත්හ. අඹු දරුවෝ ද ඔහු නො පිළිගත්හ. එ හෙයින් හේ සුවක් සොම්නසක් නො ලදුයේ ය. යම් යහලුවෙක් වනාහි රන් බරක් ගෙන ගියේ ද, ඔහුගේ මා පියෝ ද ඔහු පිළි ගත්හ, අඹුදරුවෝ ද ඔහු පිළිගත්හ. මිත්‍රාමාත්‍යයෝ ද පිළිගත්හ, එහෙයින් හේ සුවයත් සොම්නසත් ලැබී ය. රාජන්‍යයෙනි, එ පරිද්දෙන් ම ඔබ ද හණ වැහැරි ගෙන ගිය පුරුෂයා වැන්නකු සේ පෙනෙති. රාජන්‍යයෙනි, මේ ලාමක දෘෂ්ටිය බැහැර කරන්න. එය ඔබට දිගු කලක් අවැඩ පිණිස දුක් පිණිස නො වේ වා.”
18. පායාසී - “පළමු උපමායෙන් ම මම් භවත් කාශ්‍යපයන් වහන්සේ ට සතුටු වීමි, වෙසෙසින් පැහැදිණිමි. එතෙකුදු වුවත් මේ විසිතුරු පැණ විසැඳුම් අසනු කැමැත්තෙම් ම භවත් කාශ්‍යපයන් වහන්සේට විරුද්ධ වැ කථා කළ යුතු කොට සිතීමි. භවත් කාශ්‍යපයන් වහන්ස, ඔබේ දෙසුම අභිකාන්ත යැ, භවත් කාශ්‍යපයන් වහන්ස, ඔබ දෙසුම වෙසෙසින් කාන්ත යැ. භවත් කාශ්‍යයන් වහන්ස, යම් සේ මුණින් නමා තබන ලද බඳුනක් උඩුකුරු කොට තබන්නේ ද, වැසුණු දැයක් වැහුම් හැර දක්වන්නේ හෝ වේ ද, මං මුළා වූවකුට මඟ කියන්නේ ද, ඇස් ඇතියන් මෙයින් රූප දකිති’ යි අඳුරෙහි තෙල් පහනක් දල වන්නේ හෝ වේ ද, එ පරිද්දෙන් ම භවත් කාශ්‍යපයන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවැසිණ. භවත් කාශ්‍යපයන් වහන්ස, ඒ මම් ඒ භගවත් ගෞතමයන් වහන්සේ ද, ධර්‍මය ද භික්‍ෂු සංඝයා ද සරණ යෙමි. භවත් කාශ්‍යපයන් වහන්සේ මා අද සිට දිවි හිම් කොට සරණ ගිය උවසුවකු කොට සලකන සේක් වා! භවත් කාශ්‍යපයන් වහන්ස, යම් ඒ යඥයක් මට දිගුකලක් වැඩ පිණිස වන්නේ ද එසේ වූ මහා යඥයක් යජනට (මහ දනක් දෙන්නට) කැමැත්තෙම් ද වෙමි. එහි ලා භවත් කාශ්‍යපයන් වහන්සේ මට අනුශාසනා කරන සේක්වා”.
කුමරකසුප් - “රාජන්‍යයෙනි, යම් බඳු යඥයෙක (දානයෙක) ගවයෝ හෝ මරනු ලැබෙත් ද, එළුවෝ තිරෙළුවෝ හෝ මරනු ලැබෙත් ද, කුකුළෝ හූරෝ හෝ මරනු ලැබෙත් ද, විවිධ ප්‍රාණීහු හෝ මරණයට පැමිණෙත් ද, එය පිළිගන්නෝත් මිථ්‍යා දෘෂ්ටි ඇත්තෝ, මිථ්‍යා සංකල්ප ඇත්තෝ, මිථ්‍යා වචන ඇත්තෝ, මිථ්‍යා කර්‍මාන්ත ඇත්තෝ, මිථ්‍යා ආජීවය ඇත්තෝ, මිථ්‍යා ව්‍යායාමය ඇත්තෝ, මිථ්‍යා ස්මෘතිය ඇත්තෝ, මිථ්‍යා සමාධිය ඇත්තෝ වෙත් ද, රාජන්‍යයෙනි, මෙබඳු වූ යඥය වූ කලී මහත් ඵල ඇත්තෝ නො වෙයි, මහත් අනුසස් ඇත්තේ නො වෙයි, මහත් බැබැළීම් ඇත්තේ නො වෙයි, මහත් පැතිරීම් ඇත්තේ නො වෙයි. රාජන්‍යයෙනි, යම් බඳු වූ යඥයෙක (දානයෙක) වනාහි ගවයෝ නො ම මරනු ලැබෙද්ද, එළුවෝ තිරෙළුවෝ නො ම මරනු ලැබෙද්ද, කුකුළෝ හූරෝ නො ම මරනු ලැබෙද්ද, විවිධ ප්‍රාණීහු හෝ මරණයට නො පැමිණෙත් ද, ඒ යඥය පිළීගන්නෝත් සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක්සංකල්ප ඇත්තාහු, සම්‍යක් වචන ඇත්තාහු, සම්‍යක්කර්‍මාන්ත ඇත්තාහු, සම්‍යගාජීවය ඇත්තාහු, සම්‍යක් ව්‍යායාමය ඇත්තාහු, සම්‍යක් ස්මෘතිය ඇත්තාහු, සම්‍යක්සමාධිය ඇත්තාහු වෙත් ද, රාජන්‍යයෙනි, මෙබඳු වූ යඥය මහත් ඵල ඇත්තේ වෙයි, මහත් අනුසස් ඇත්තේ වෙයි, මහත් බැබැළීම් ඇත්තේ වෙයි, මහත් පැතිරීම් ඇත්තේ වෙයි. රාජන්‍යයෙනි, යම්සේ ගොවියෙක් බිජුවට හා නඟුල හා ගෙන වනයකට පිවිස්නේ ද, හේ එහි නො නසන ලද කණු කටු ඇති, නො සම වූ බිම් ඇති නිසරු කෙතෙක කැඩී ගිය කුණු වූ අවුසුළඟින් පෙළුනු, පොළොවේ සාරය නො ඇද ගන්නා වූ තවාණෙහි සුවසේ නො ම හොවනා ලද්දා වූ බිජුවට වපුරන්නේ නම්, මේඝයත් කලින් කලැ මොනොවට වැසි දහර නො වස්වන්නේ නම්, ඒ බීජයෝ වැඩීමට නැඟීමට මහත් බවට පැමිණෙන්නාහු ද? ගොවියා හෝ මහත් ඵල ලබන්නේ ද?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, මෙය නො ම වන්නේ ය.”
කුමරකසුප් - “රාජන්‍යයෙනි, එ පරිද්දෙන් ම යම්බඳු යඥයෙක ගවයෝ හෝ මරනු ලැබෙත් ද, එළුවෝ තිරෙළුවෝ හෝ මරනු ලැබෙත් ද, කුකුළෝ හූරෝ හෝ මරනු ලැබෙත් ද, විවිධ ප්‍රාණීහු හෝ මරණයට පැමිණෙත් ද, ඒ යඥය පිළිගන්නෝත් මිථ්‍යාදෘෂ්ටි ඇත්තෝ, මිථ්‍යා සංකල්ප ඇත්තෝ, මිථ්‍යා වචන ඇත්තෝ, මිථ්‍යා කර්‍මාන්ත ඇත්තෝ, මිථ්‍යා ආජීවය ඇත්තෝ, මිථ්‍යා ව්‍යායාමය ඇත්තෝ, මිථ්‍යා ස්මෘතිය ඇත්තෝ, මිථ්‍යා සමාධිය ඇත්තෝ වෙත් ද, රාජන්‍යයෙනි, මෙබඳු වූ යඥය වනාහි මහත්ඵල ඇත්තේ නො වේ, මහත් අනුසස් ඇත්තේ නො වේ, මහත් බැබැළීම් ඇත්තේ නො වේ, මහත් පැතිරීම් ඇත්තේ නො වේ. රාජන්‍යයෙනි, යම් බඳු වූ යඥයෙක වනාහි ගවයෝ නො ම මරනු ලැබෙත් ද, එළුවෝත් තිරෙළුවෝත් නො ම මරනු ලැබෙත් ද, කුකුළෝත් ඌරෝත් නො ම මරනු ලැබෙත් ද, විවිධ ප්‍රාණීහු හෝ මරණයට නො පැමිණෙත් ද, ඒ යඥය පිළි ගන්නෝත් සම්‍යග් දෘෂ්ටිය ඇත්තෝ, සම්‍යක් සංකල්පය ඇත්තෝ, සම්‍යග් වචනය ඇත්තෝ, සම්‍යගාජීවය ඇත්තෝ, සම්‍යග් ව්‍යායාමය ඇත්තෝ, සම්‍යක් ස්මෘතිය ඇත්තෝ, සම්‍යක් සමාධිය ඇත්තෝ වෙත් ද, රාජන්‍යයෙනි, මෙබඳු වූ යඥය මහත් ඵල ඇත්තේ, මහත් අනුසස් ඇත්තේ, මහත් බැබැළීම් ඇත්තේ, මහත් පැතිරීම් ඇත්තේ වෙයි. රාජන්‍යයෙනි, යම්සේ ගොවියෙක් බිජුවට හා නගුල හා ගෙන වනයකට පිවිස්නේ නම්, හේ එහි මොනොවට නසා පියන ලද කණු හා කටු හා ඇති, සමතලා බිම ඇති සරු කෙතෙක කැඩී නො ගිය, කුණු නො වූ අවුසුළං දෙකින් නො පහළ, පොළොවේ සාරය ඇද ගනුයෙහි සමත් තවාණෙහි සුව සේ හොවිනා ලද බීජයන් පිහිටුවන්නේ නම්, මේඝය ද කලින් කලැ මොනොවට වැසි දහර පිවිස්වන්නේ නම, ඒ බීජයෝ වැඩීමට නැඟීමට මහත් බවට පැමිණෙන්නාහු නම්, ගොවියා මහත්ඵල ලබන්නේ ද?”
පායාසී - “එසේ ම ය, භවත් කාශ්‍යපයන් වහන්ස.”
කුමරකසුප් - “රාජන්‍යයෙනි, එ පරිද්දෙන් ම යම්බඳු වූ යඥයෙක ගවයෝ නො ම මරනු ලැබෙත් ද, එළුවෝත් තිරෙළුවෝත් නො ම මරනු ලැබෙත් ද, කුකුළෝත් ඌරෝත් නො ම මරනු ලැබෙත් ද, විවිධ ප්‍රාණීහු හෝ විනාශයට නො ම පැමිණෙත් ද, යඥය පිළිගන්නෝත් සම්‍යග් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් සංකල්පය ඇත්තාහු, සම්‍යග් වචනය ඇත්තාහු, සම්‍යක්කර්‍මාන්ත ඇත්තාහු, සම්‍යගාජීව ඇත්තාහු, සම්‍යග්ව්‍යායාම ඇත්තාහු සම්‍යක්ස්මෘති ඇත්තාහු, සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, රාජන්‍යයෙනි, මෙබඳු වූ යඥය මහත් පල ඇත්තේ, මහත් අනුසස් ඇත්තේ, මහත් බැබැළීම් ඇත්තේ, මහත් පැතිරීම් ඇත්තේ වෙයි.”
19. ඉක්බිත්තෙන් පායාසී රාජන්‍ය තෙම මහණ බමුණනට දුගියනට මගියනට යදියනට දන් පිහිටු වී ය. ඒ දානයෙහි වනාහි කාඩි දෙවනු කොට ඇති නිවුඩු සහාලින් පිසූ බත් ඇති බොජුනෙක් දෙවෙයි. මහත් දාවලු ඇති දළ පිළී ද දෙවෙයි. ඒ දානයෙහි වූ කලී උත්තර නම් මාණවකයෙක් ව්‍යාපෘත විය. හේ දන් දී, මම මේ දානය කරණ කොට පායාසී රාජන්‍යයා හා ම මෙ ලොව්හි දී එක් වීමි. පර ලොව්හිදී ඔහු හා නොම එක් වෙම් වා’ යි මෙසේ පුන පුනා කියයි. පායාසී රාජන්‍ය තෙම “උත්තරමාණවක දන් දී, ‘මේ දානය කරණ කොට මම් පායාසී රාජන්‍යයා හා ම මෙලොව්හි දී එක් වීමි, පරලොව්හි දී නොම එක් වෙම්වා’ යි මෙසේ පුන පුනා කියති” යි මෙ පවත් ඇසීය. ඉක්බිති පායාසී රාජන්‍ය තෙම උත්තර මාණවකයා කැඳවා ‘දරුව උත්තර ය, තෝ දන් දී ‘මේ දානය කරණ කොට මම් පායාසී රාජන්‍යයා හා ම මෙලොවෙහි දී එක් වීමි. පර ලොව්හි දී නො ම එක් වෙම් වා’ යි මෙසේ පුන පුනා කියහි ද? ඒ සැබෑද?’ යි විචාළේ ය.
‘එසේ ය, සැබැවැ’ යි උත්තර මාණවක කී ය. “භවත් දරුව උත්තරය, තෝ දන් දී කවර හෙයින්, ‘මේ දානය කරණ කොට මම් පායාසී රාජන්‍යයා හා ම මෙ ලොව්හි දී එක් වීමි, පර ලොව්හි දී නො ම එක් වෙම් වා’ යි පුන පුනා කියහි ද? දරුව, උත්තරය, අපි පිනෙන් ප්‍රයෝජන ඇත්තමෝ, දානයේ විපාක කැමැත්තමෝ නො වමුදැ?” යි පායාසී රාජන්‍ය කී ය.
“භවත්හු ගේ දානයෙහි වූකලී කාඩි දෙවනු කොටැති නිවුඩු සහලින් පිසූ බත් ඇති මෙබඳු බොජුණෙක් දෙවෙයි. භවත්හු එය පයිනුදු පහස්නට නො කැමැති වනු ඇත. වළඳන්නට කොයින් කැමැති වන්නේ ද? භවත් තෙමේ යම් වස්ත්‍රයන් හඳින්නට තබා පයිනුදු පහස්නට කැමැති නො වන්නේ ද, එසේ වූ මහත් දාවලු ඇති දළ පිළී දෙවයි. භවත් තෙමේ වූ කලී අපට ප්‍රිය ය, මනාප ය. අපි කෙසේ නම් මනාපයක්හු අමනාපයක්හු හා එක් කොට යොදමෝ දැ”යි උත්තරමාණවක කී ය. “එසේ වී නම් දරුව, උත්තරය, මම් යම් බඳු බොජුනක් වළඳම් ද, එ බඳු බොජුනක් දානයෙහි පිහිටුවව (පිළියෙල කොට තබව), යම් බඳු පිළී මම් හඳිම් ද, එසේ වූ පිලීත් දානයෙහි පිහිටුව ව” යි පායාසී රාජන්‍ය කී ය.
“එසේ ය, භවත” යැයි කියා ම උත්තර මාණවක තෙම පායාසී රාජන්‍යයාට පිළිවදන් දී, පායාසී රාජන්‍යයා යම් බඳු බොජුනක් වළඳයි ද, එබඳු බොජුනක් දන් පිණිස පිහිටුවී ය, යම් බඳු පිළී පායාසී රාජන්‍ය තෙම හදියි ද, එබඳු වූ පිළී දන් පිණිස පිහිටුවී ය.
ඉක්බිත්තෙන් පායාසී රාජන්‍ය තෙම නොසකසා දන් දී, සියතින් දන් නො දී, ගෞරව නැති ව දන් දී, ඉවත දමන දැයක් මෙන් දන් දී, කාබුන් මරණින් මතු සිවු මහරජයේ දෙවියන් හා එක් වීමට, සේරිස්සක නම් හිස වූ විමනකට උත්පත්ති විසින් පැමිණියේ ය. යම් උත්තර නම් මාණවකයෙක් ඔහුගේ දානයෙහි ව්‍යාපෘත වී ද, හේ සකසා දන් දී, ගෞරව ඇති වැ දන් දී, ඉවත ලන දැයක් මෙන් නොකොට ආදරෙයන් දන් දී, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණියේ ය.
එ සමයෙහි වනාහි ආයුෂ්මත් ගවම්පති මහතෙරණුවෝ හිස් වූ සේරිස්සක නම් විමනට දිවා විහරණය පිණිස එක වන් වඩිති. එ කලැ පායාසී දෙව්පුත් ආයුෂ්මත් ගවම්පති තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ එකත්පස් වැ සිටියේ ය. එකත්පස් වැ සිටියාවූ ම පායාසී දෙව් පුතුට ආයුෂ්මත් ගවම්පති තෙරණුවෝ “ඇවැත්නි, තෙපි කවුරුදැ?” විචාළෝ ය. ‘වහන්ස, මම් පායාසී රාජන්‍ය වෙමි’ යි හේ උත්තර දුන. ‘ඇවැත්නි, තෙපි ‘මෙසේත් පර ලොව් නැත, උපපාදුක සත්‍වයෝ නැත, කුශලාකුශල කර්‍මයනට ඵල විපාක නැතැ’ යි මෙසේ වූ දෘෂ්ටි ඇත්තෝ නො වූහු දැ?’ යි තෙරණුවෝ පුළුවුත්හ. ‘වහන්ස, ඒ මම් ‘මෙසේත් පරලොව නැත, මෙසේත් උපපාදුක සත්‍වයෝ නැත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’ යි මෙබඳු වූ දෘෂ්ටි ඇත්තෙකිම් වීමි. එහෙත් ආර්‍ය්‍ය වූ කුමාරකාශ්‍යපයන් වහන්සේ විසින් ඒ ලාමක දෘෂ්ටිය කෙරෙන් මම් වෙන් කරන ලදුයෙම් වෙමි’.
“ඇවැනි, යම් උත්තර නම් වූ මාණවකයෙක් ඔබගේ දාන ක්‍රියායෙහි ව්‍යාපෘත වූයේ ද හේ කොහි උපන්නේ දැ?” යි තෙරණුවෝ පුළුවුත්හ, “වහන්ස, යම් උත්තර නම් මාණවයෙක් මගේ දානයෙහි ව්‍යාපෘත වී ද, හේ සකසා දන් දී, සියතින් දන් දී, සැදැහැයෙන් දන් දී, ඉවතැ ලූ දැයක් සේ නො කොට සාදර වැ දන් දී, කාබුන් මරණින් මතු මනාගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණියේ ය. වහන්ස, මම් වූ කලී නො සකසා දන් දී, නො සියතින් (අනුන් ලවා) දන් දී, ශ්‍රද්ධාගෞරව නැති වැ දන් දී, ඉවතැ ලූ දැයක් මෙන් කොට දන් දී, කාබුන් මරණින් මතු සිවු මහ රජයෙහි වැසි දෙවියන් හා එක් වීමට හිස් වූ මේ සේරිස්සක විමානයට උත්පත්ති විසින් පැමිණියෙමි. එ බැවින් වහන්ස, ගවම්පතිනි, මිනිස් ලෝ වැඩ කොටැ, ‘සකසා දන් දෙවු, සියතින් දන් දෙවු, ශ්‍රද්ධා ගෞරව උපදවා දන් දෙවු, ඉවත දැමූ දැයක් සේ නො කොට ආදර සහිත ව දන් දෙවු. පායාසි රාජන්‍යයා නොසකසා දන් දී,
නොසියතින් දන් දී, ගරුසැලැකිලි නැති වැ දන් දී, ඉවත ලූ දැයක් සේ කොට දන් දී, කාබුන් මරණින් මතු සිවුමහරජයෙහි දෙවියන් හා එක් වීමට ශූන්‍ය වූ සේරිස්සක නම් වියනකට පැමිණියේ ය. ඔහුගේ දානයෙහි ව්‍යාපෘත වූ උත්තර නම් යම් මාණවයෙක් වී ද හේ සකසා දන් දී, සියතින් දන් දී, ශ්‍රද්ධා ගෞරව ඇති වැ දන් දී ඉවත ලූ දැයක් සේ නො කොට සැලැකිලිමත් වැ දන් දී, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණියේ යැ’ යි මෙසේ දන්වා වදාරනු මැනැවැ’ පායාසී රාජන්‍ය කී ය.”
ඉක්බිති ආයුෂ්මත් ගවම්පති තෙරණුවෝ මිනිස් ලොවට අවුත්, සකසා දන් දෙවු, සියතින් දන් දෙවු, ශ්‍රද්ධා ගෞරව උපදවා දන් දෙවු, ඉවත ලූ දැයක් සේ නො කොට සැලැකිලිමත් වැ දන් දෙවු. පායාසී රාජන්‍යයා නො සකසා දන් දී, නො සියතින් දන් දී, ශ්‍රද්ධා ගෞරව නො උපදවා දන් දී, ඉවත ලූ දැයක් සේ කොට දන් දී, කාබුන් මරණින් මතු සිවු මහරජයෙහි දෙවියන්ගේ සහභාවයට (දෙවියන් හා එක් වීමට), ශුන්‍ය විමානයකට පැමිණියේ ය. යම් උත්තර නම් මාණවයෙක් ඔහුගේ දානයෙහි ව්‍යාපෘත වී ද, හේ සකසා දන් දී, සියතින් දන් දී, ශ්‍රද්ධා ගෞරව උපදවා දන් දී ඉවත ලූ දැයක් සේ නො කොට සාදර වැ දන් දී කාබුන් මරණින් මතු මනාගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට (දෙවියන් හා එක් වීමට) පැමිණියේ යැ” යි මෙසේ දැන්වූහ.
දස වනු පායාසී රාජඤ්ඤ සූත්‍රය නිමියේ ය.
මහාවර්‍ගයේ උද්දාන ය : මහාපදාන, නිදාන, නිර්‍වාණ, සුදර්‍ශන, ජනවසභ, ගෝවින්‍ද, සමය, සක්කපඤ්හ, මහාසතිපට්ඨාන, දස වන පායාසී සූත්‍රය ද යන මොවුන්ගෙන් මහාවර්‍ගයාගේ සංග්‍රහය වෙයි.
දෙවෙනි මහාවර්‍ගය නිමියේ ය.
සූත්‍රාන්තපිටකයෙහි
දික් සඟිය
තෘතීය භාගය
පාථික වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
1.
පාථික සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ, මල්ල රටැ - මල්ලයන්ගේ අනුපියා නම් යම් නියම්ගමෙක් වී ද - එහි වැඩ වසන සේක.
එ කලැ භාග්‍යවතුන් වහන්සේ පෙර වරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, අනුපියා නිගමයට පිඬු පිණිස වන් සේක. එ කල්හි (එසේ වඩනා) භාග්‍යවතුන් වහන්සේට ‘අනුපියා නිගමයෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම ඉතා උදාසන ය. මේ භාර්‍ගවගෝත්‍ර පිරිවැජ්ජාගේ අරමට, භාර්‍ගවගෝත්‍ර පිරිවැජ්ජා කරා, ගියෙම් වීම් නම් යෙහෙකැ’ යි මෙ සිත විය.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ භාර්‍ගවගෝත්‍ර පිරිවැජ්ජාගේ ආරාමය යම් තැනෙක ද, භාර්‍ගවගෝත්‍ර පිරිවැජ්ජා යම් තැනෙක ද, එ තැනට වැඩි සේක. එකල්හි භාර්‍ගවගෝත්‍ර පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩිනා සේක් වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩි සේ මැනව, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අද මෙහි වැඩියේ බොහෝ කලකට පසු යැ{1}, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳිනා සේක් වා, මේ අස්නෙක් පනවන ලද්දේ වේ’ යැ යි මේ වචන කී ය. පනවන ලද අස්නෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් සේක. භාර්‍ගවගෝත්‍ර පිරිවැජි ද එක්තරා මිටි අස්නෙක් ගෙන පසෙක ඉඳ ගත.
3. එකත් පස් වැ හුන්නා වූ ම භාර්‍ගවගෝත්‍ර පිරිවැජි තෙමෙ භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසී ය:
“වහන්ස, පෙර දවසැ, බොහෝ පෙර දවසැ, ලිච්ඡවීරාජපුත්‍ර සුනක්ඛත්ත තෙමේ මා වෙත ආයේ ය. අවුත්, ‘භාර්‍ගවය, දැන් මා විසින් භාග්‍යවතුන් වහන්සේ පරිත්‍යක්ත සේක. මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් වීමි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා නො වෙසෙමි’ යි මට සැළ කෙළේය. වහන්ස, කිමෙක් ද? මෙය ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා කී සේ ම වී ද?” (යනු යැ).
4. “භාර්‍ගවය, මෙය ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා කී සේ ම විය. භාර්‍ගවය, පෙර දවසැ බොහෝ පෙර දවසැ, ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මා වෙත ආයේ ය, අවුත් මා වැඳ, පසෙක ඉඳ ගත්තේ ය, එසේ හුන්නේ ම “වහන්ස, මම් දැන් භාග්‍යවතුන් වහන්සේ හැරපියා යෙමි, වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා නො වසන්නෙමි” යි කී ය. භාර්‍ගවය, ඔහු මෙසේ කී කලැ, මම් ඔහු අමතා,
‘සුනක්ඛත්තය, තෝ මෙහි එව, මා උදෙසා වසව’ යි මම් තට කිම් දැ?’ යි ඔහු පුළුවත්මි.
‘වහන්ස, එසේ වූ කථාවෙක් නො වී යැ’ යි හේ කී ය.
“තෝ හෝ මට ‘මම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා වසන්නෙමි’ යි කීහි දැ?” යි පුළුවත්මි.
‘වහන්ස, මෙසේ වූ කථාවෙක් ද නො වී’ යැ යි හේ කිව.
“සුනක්ඛත්තය, මෙසේ ‘මෙහි එව මා උදෙසා වසවැ’ යි මම් තට නො ම කීමි. ‘මම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා වසන්නෙමි’ යි තෝ ද මට නො කී ය. හිස් මිනිස, මෙසේ ඇති කලැ, තෝ කවරෙක් වනුයෙහි, කවරක්හු හැරපියා යෙහි ද? හිස් මිනිස, මෙහි ලා තා කෙළේ කොතරම් මහත් වරදෙක් දැ? යි සලකා බලව” යි මම් ඔහුට කීමි.
5. එවිටැ, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට උතුරුමිනිස් දහමින් පෙළහර නො කරන සේකැ’ යි සුනක්ඛත්තයා කී ය. එවිටැ
‘සුනක්ඛත්තය, තෝ එව, මා උදෙසා වසව, මම් තට උතුරුමිනිස් දහමින් පෙළහර කරන්නෙමි’ යි තා අමතා මම් කීයෙම් දැ?’ යි ඔහු පුළුවත්මි.
__missing translation__
__missing translation__
__missing translation__
‘වහන්ස, මෙය එසේ නො ම වී’ යැ යි සුනක්ඛත්තයා කී ය.
‘භාග්‍යවතුන් වහන්සේ මට උතුරුමිනිස් දහමින් පෙළහර කරති’ යි සිතා මම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා වසන්නෙමි’ යි ද තෝ මට නො කීහි. මෙසේ ඇති කලැ, හිස් මිනිස, තෝ කවරෙක් වනුයෙහි කවරක්හු හැරපියා යෙහි ද? සුනක්ඛත්තය, ඒ කිමැ යි සිතහි ද? උතුරුමිනිස්දහමින් ඉදු පෙළහර කළ ද නො කළ ද, යම් දුක්වැනැස්මක් පිණිස මා විසින් දහම් දෙසන ලද නම්, එය ඒ දහම පරිදි පිළිපදනහුට මොනොවට දුක් නසනු පිණිස පවත්නේ දැ?’ යි මම් පුළුවත්මි.
‘වහන්ස, උතුරුමිනිස් දහමින් පෙළහර කළත් නොකළත් යම් දුක්වැනැස්මක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසන ලද නම්, ඒ දහම එය වූ පරිදි පිළිපදනහුට මොනොවට දුක් නසනු පිණිස පවතී’ යැ යි සුනක්ඛත්තයා කී ය.
‘සුනක්ඛත්තය, මෙසේ කලැ උතුරුමිනිස් දහමින් පෙළහර කළ ද නො කළ ද, යම් දුක්වැනැස්මක් පිණිස මා විසින් දහම් දෙසන ලද නම්, එහි කී පරිදි පිළිපදනහුට එය මොනොවට දුක් නසනු පිණිස පවත්නේ නම්, උතුරුමිනිස් දහමින් ඉදුපෙළහර කරන ලදුයේ කවර නම් වැඩක් සිදු කරන්නේ ද? හිස් මිනිස, මෙහි තා කෙළේ කොතරම් මහ වරදෙක් දැ? යි බලව’ යි මම් කීමි.
6. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ලෝකෝත්පත්ති වංශකථාව නො ම වදාරන සේකැ’ යි සුනක්ඛත්තයා කී ය.
‘සුනක්ඛත්තය, තෝ මෙහි එව, මා උදෙසා වස, මම් තට ලෝකෝත්පත්ති වංශකථාව කියන්නෙමි’ යි මම් තට කීම් දැ?’ යි මම ඔහු පුළුවත්මි.
‘වහන්ස, එ වැනි බසක් නො වදාළ සේකැ’ යි හේ කී ය.
‘භාග්‍යවතුන් වහන්සේ මට ලෝකෝත්පත්ති වංශකථාව වදාරති’ යි භාග්‍යවතුන් වහන්සේ නිසා වසන්නෙමි’ යි හෝ තෝ මට කීහි දැ?’ යි මම ඔහු පුළුවත්මි.
‘වහන්ස, එ වැනි බසක් නොකීමි’ යි හේ කිව.
‘සුනක්ඛත්තය, මම් ද ‘මෙහි එව, මා උදෙසා වසව, මම් තට ලෝකෝත්පත්ති වංශකථාව කියන්නෙමි’ යි මෙසේ නො කීමි. තෝ හෝ ‘භාග්‍යවතුන් වහන්සේ මට ලෝකෝත්තිපත්ති වංශකථාව වදාරති. මම් ඔබ උදෙසා වසන්නෙමි’ යි නො කීයෙහි. හිස් මිනිස, මෙසේ ඇති කලැ තෝ කවරෙක් වනුයෙහි කවරක්හු පියා යෙහි ද? සුනක්ඛත්තය, ඒ කිමැ යි සිතයි ද? ලෝකෝත්පත්ති වංශකථාව කිවත් නොකිවත්, යම් දුක්වැනැස්මක් පිණිස මා විසින් දහම් දෙසණි නම්, ඒ දහම එය අනුව පිළිපදනහුට මොනොවට දුක් නැසීම පිණිස නො පවත්නේ දැ?’ යි මම පුළුවුත්මි.
‘වහන්ස, ලෝකෝත්පත්ති වංශකථාව වදාළ ද නො වදාළ ද, යමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසිණි නම්, ඒ දහම එය අනුව පිළිපදනහුට දුක්වැනැස්ම පිණිස පවත්නේ යැ’ යි සුනක්ඛත්තයා කී ය.
එවිට, ‘සුනක්ඛත්තය, මෙසේ ලෝකෝත්පත්ති වංශකථාව කිව ද නො කිව ද, යමක් පිණිස මා විසින් දහම් දෙසන ලද නම්, එය පිළිපදනහුට ඒ දහම මොනොවට දුක් වැනැස්ම පිණිස පවත්නේ නම්, එහි ලා ලෝකෝත්පත්ති වංශකථාව කියන ලදුයේ කවර අර්‍ත්‍ථයක් සිදු කරන්නේ ද? හිස් මිනිස, මෙහි තා විසින් කොතරම් මහ වරදෙක් කරන ලද දැ යි සිතා බලව. සුනක්ඛත්තය, පෙරැ තා විසින් වැදෑගම (විසල් මහ පුර) වැද නොයෙක් කරුණින් මා ගුණ කියන ලද්දේ ය. ‘ඒ භගවත්හු මේ මේ කරුණින් අර්‍හත් හ, සම්‍යක්සම්බුද්ධ හ, විද්‍යාචරණසම්පන්න හ, සුගත හ, ලෝකවිත් හ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි හ. දෙව්මිනිස්නට ශාස්තෘ හ, බුද්ධ හ, භගවත්හ’ යි මෙසේ නොයෙක් කරුණින් මා ගුණ වණන ලද්දේ ය.
වැදෑගමෙහි දී නොයෙක් කරුණින් දහම්හි ගුණ කියන ලද්දේ යැ. ‘භගවත් බුදුන් විසින් ධර්‍මය මොනොවට වදාරන ලද්දේ යැ, එය සාන්දෘෂ්ටික යැ, අකාලිකා යැ, ඒහිපස්සික යැ, උපනෙයක යැ, නුවණැත්තන් විසින් තමන් සිත්හි ලා දතයුතු යැ’ යි මෙසේ තා විසින් නොයෙක් කරුණින් දහමැ ගුණ කියන ලද්දේ ය. සුනක්ඛත්තය, තා විසින් ‘යම් පුරුෂ යුග සතරක් වූ, පුරුෂපුද්ගල අට දෙනෙක් වූ ශ්‍රාවක කෙනෙක් වෙත් ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙම් සුප්‍රතිපන්න යැ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඍජු ප්‍රතිපන්න යැ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ න්‍යායප්‍රතිපන්න යැ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිප්‍රතිපන්න යැ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය යැ, ප්‍රාහුණේය යැ, දක්‍ෂිණේය යැ, අඤ්ජලිකරණීය යැ, ලොවට නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යැ’ යි මෙසේ වැදෑ ගමැදී සඞ්ඝයාගේ ගුණ නොයෙක් කරුණින් කියන ලද්දේ ය. සුනක්ඛත්තය, මම් තට කියමි. මම් තට දන්වමි, තට දොස් කියන්නන් වෙති: ‘ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මහණ ගොයුමන් වෙත බඹසර පුරන්නට නො හැකි විය. නො හැකි වූයේ ශික්‍ෂාව හැර පියා ගිහි බවට පෙරැළී ආයේ වනැ’ යි මෙසේ තට දොස් කියන්නන් වෙති’ යි මම් කීමි. භාර්‍ගවය, මෙසේ මා විසින් කියනු ලබනුයේ ම ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙම, අපායෙහි උපදනට සුදුසු වූවක්හු සේ, නිරයෙහි උපදනට සුදුසු වූවක්හු සේ, මෙ සස්නෙන් බැහැරැ වැ ගියේ ම ය.
කෝරක්ඛත්තිය වස්තුව
7. භාර්‍ගවය, එක් සමයෙක්හි මම් බුලු ජනපදයෙහි, බුලු රටට අයත් උත්තරකා නම් යම් නිගමයෙක් වේ ද, එහි වෙසෙමි. භාර්‍ගවය, එ කලැ මම් (එක් දවසෙක) පෙර වරුයෙහි හැඳ පෙරෙවැ, පා සිවුරු ගෙන, පසුමහණහු වූ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා හා උත්තරකා නිගමයට පිඬු පිණිස වනිමි. එ සමයෙහි කෝරක්ඛත්තිය නම් නිරුවත් තවුසෙක් බලුතපස් රක්නේ, දෙ දණ හා දෙ වැලමිටු හා යන සිවු අවයව බිමැ ඔබා හැවිදුනේ, බිමැ ලූ අහර (අතින් නො ගෙන) මුවින් ම ගෙන කයි, මුවින් ම ගෙන බුදියි. භාර්‍ගවය, ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා බලුතපස් කරන, දෙ දණත් දෙ වැලමිටුත් බිම ඔබා හැවිදින, බිමැ ලූ අහර මුවින් ම ගෙන කන, මුවින් ම ගෙන බුදින, කෝරක්ඛත්තිය නම් නිරුවත් තවුසා දුටුයේ ය. දැකීම, ‘ආශ්චර්‍ය්‍යයෙක, භවත්නි, මේ සොඳුරු සැහැවි ඇති රහත් මහණ කෙනෙක! මොහු දෙ දණ හා දෙ වැලමිටු හා බිමැ ඔබා ඇවිදුනා කෙනෙක. බිමැ ලූ අහර මුවින් ම ගෙන කයි, මුවින් ම ගෙන බුදී’ යැ යි ඔහුට මේ සිත විය.
8. භාර්‍ගවය, එ කලැ මම් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයාගේ චිත්තසංකල්පනාව මා සිතින් දැක, “හිස් මිනිස, තෝත් ‘ශාක්‍යපුත්‍රීය මහණෙකිමි’ යි පිළින කෙරෙයි දැ?” යි ඔහුට කීමි.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ‘හිස් මිනිස තෝත් ශාක්‍යපුත්‍රීය මහණෙකිමි’ යි පිළින කෙරෙයි දැ?’ යි කවර හෙයින් මෙසේ වදාරන සේක් දැ?” යි හේ මා පුළුවුත.
“සුනක්ඛත්තය, බලුතපස් කරන දෙ දණ හා දෙ වැලමිටු හා බිමැ ඔබා හැවිදුනා, බිමැ ලූ අහර මුවින් ම ගෙන කන, මුවින් ම ගෙන බුදින මේ නිරුවත් කෝරක්ඛත්තිය තවුසා දැක, ‘ආශ්චර්‍ය්‍යයෙක, භවත්නි, දෙ දණ හා දෙ වැලමිටු හා බිමැ ඔබා හැවිදුනා, බිමැ ලූ අහර මුවින් ම ගෙන කන, මුවින් ම ගෙන බුදින මොහු සොඳුරු සැහැවි ඇති රහත් මහණ කෙනෙකැ!’ යි මේ සිත තට පහළ වූයේ නො වේ දැ?” යි මම් කීමි.
“එසේ යැ වහන්ස. කිමෙක් ද? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ (මෙය අනෙකකුට නො වේ වා යි) රහත්බවට මසුරුකම් කරන සේක් දැ?” යි සුනක්ඛත්තයා කී ය.
“හිස් මිනිස, මම් රහත්බවට නො ම මසුරුකම් කරමි. වැලි තට ම මේ ලාමක මිථ්‍යාදෘෂ්ටිය උපන. එය බැහැර කරව. එය තට බොහෝ කල් අවැඩ පිණිස, දුක් පිණිස නොවේ වා. සුනක්ඛත්තය, තෝ ‘සොඳුරු සැහැවි ඇති රහත් මහණෙකැ’ යි මේ කෝරක්ඛත්තිය නම් යම් නිරුවත් තවුසකු හඟනෙහි ද, හේ මෙයින් සත්වන දා අලසක රෝගයෙන් මියෙන්නේ ය. මිය ගියේ, සැමට නිහීන වූ කාලකඤ්ජ නම් යම් අසුර නිකායයෙක් ඇත් ද, එහි උපදනේ ය. (මිනිස්සු) මළා වූ ඔහු බීරණත්‍ථම්භක නම් සොහොනට ඇද දමන්නාහ. සුනක්ඛත්තය, ඉදින් තෝ කැමැත්තෙහි නම්, අචේලක කෝරක්ඛත්තියයා කරා ගොස් ‘ඇවැත් කෝරක්ඛත්තියයෙනි, තොප ගතිය දනිවු දැ?’ යි විචාරව. ‘ඇවැත් සුනක්ඛත්තය, මම් තමාගේ ගතිය දනිමි. හැමට නිහීන වූ කාලකඤ්ජ නම් යම් අසුර නිකායෙක් ඇද්ද, මම් එහි උපන්නෙම් වෙමි’ යි අචේලක කෝරක්ඛත්තියයා තට හෙළි කරන්නේ ය යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යමාන යැ” යි මම් ඔහුට කීමි.
9. භාර්‍ගවය, ඉක්බිති ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමෙ අචේලක කෝරක්ඛත්තියයා කරා ගියේ ය. ගොස්, කෝරක්ඛත්තියයා බණවා, ‘ඇවැත් කෝරක්ඛත්තියය, ‘අචේලක කෝරක්ඛත්තියයා මෙයින් සත්වන දවසැ අලසක රෝගයෙන් මියෙති’ යි, ‘මිය ගියාහු ම කාලකඤ්ජ නම් හැමට නිහීන අසුර නිකායෙහි උපදිති’ යි, ‘මිය ගිය ඔහු බීරණත්‍ථම්භක නම් සොහොනට ඇද දමතැ’ යි ශ්‍රමණ ගෞතමයන් විසින් ඔබ ව්‍යාකෘතහ (ඔබේ අනාගත ගතිය හෙළි කොට කියන ලදී). ඇවැත් කෝරක්ඛත්තියයෙනි, එබැවින් ශ්‍රමණ ගෞතමයන්ගේ බස යම් සේ බොරු වන්නේ ද, එසේ වනු පිණිස තෙපි මඳ මඳ කොට බොජුන් වළඳවු, මඳ මඳ කොට පැන් බොවු’ යැ යි කී ය. භාර්‍ගවය, එ කලැ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමේ තථාගතයන් කී බස යම් සේ නො අදහන්නේ ද, එසේ එක් දවසෙක් ගෙවිණ, දෙ දවසෙක් ගෙවිණැ යි යන ආදි වශයෙන් සත් රෑ දාවලක් ගිණුයේ ය.
භාර්‍ගවය, එ කලැ සත් වන දවසැ අචේලක කෝරක්ඛත්තිය තෙමේ අලසක රෝගයෙන් මිය ගියේ ය. මියැ කාලකංජ නම් සර්‍වනිහීන අසුර නිකායයෙහි උපන්නේ ය. (මිනිස්සු) මිය ගියා වූ ද ඔහු බීරණත්‍ථම්භක නම් සොහොනට ඇද දැමූහ. භාර්‍ගවය, ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙම ‘අචේලක කෝරක්ඛත්තියයා අලසක රෝගයෙන් මිය ගියේ, බීරණත්‍ථම්භක නම් සොහොනට ඇද දමන ලදැ’ යි යන්න ඇසීය.
ඉක්බිති හේ බීරණත්‍ථම්භක සොහොන කරා, අචේලක කෝරක්ඛත්තියාගේ මළසිරුර වෙතට ගියේ ය. ගොස්, ‘ඇවැත්නි, කෝරක්ඛත්තියයෙනි, ඔබ තමන් ඉපැද ඉන්නා ගතිය දනිත් දැ?’ යි ඔහු මළ සිරුර තෙවිටක් අත්ලෙන් පහළේ ය. භාර්‍ගවය, එ විටැ අචේලක කෝරක්ඛත්තියයා අත්ලෙන් පිට පිස දමනුයේ නැඟී සිටියේ ය. නැඟී සිට, ‘ඇවැත් සුනක්ඛත්තය, මම් සිය ගතිය දනිමි. කාලකංජක නම් සර්‍වනිහීන අසුර නිකායයෙහි උපනිමි’ යි කියා එ තැන්හි ම උඩුකුරු වැ ඇද වැටුණේ ය.
10. භාර්‍ගවය, එවිටැ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මා වෙත එළැඹියේ ය. එළැඹැ මා වැඳ පසෙක ඉඳගත්තේ ය. එසේ පසෙක හුන් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා අමතා, ‘සුනක්ඛත්තය, එය කිමැ යි සිතයි ද? මම් අචේලක කෝරක්ඛත්තියයා ඇරැබැ යම්සේ තට කීයෙම් ද, එසේ ම ඒ වචනයේ නිෂ්පත්තිය වී ද? නැත හොත් අන් සැටියකින් වී දැ?’ යි පුළුවුත්මි.
‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අචේලක කෝරක්ඛත්තියයා ඇරැබ මට යම් සේ වදාළ සේක් ද, එසේ ම ඒ විපාකය විය, අන් ලෙසෙකින් නො වී යැ’ යි ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත කී ය.
’සුනක්ඛත්තය, ඉදින් මෙසේ ඇති කලැ, උතුරුමිනිස් දහමින් ඉදුපෙළහර කරන ලද ද? නොකරන ලද දැ?’ යි ඇසීමි. ‘වහන්ස, මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් උතුරු මිනිස් දහමින් ඉදිපෙළහර කරන ලද්දේ ය, නො කරන ලද්දේ නො වෙයි’ හේ කී ය. හිස් මිනිස, මෙසේ උතුරු මිනිස් දහමින් ඉදුපෙළහර කරන මට ‘භාග්‍යවතුන් වහන්සේ මට උතුරු මිනිස්දහමින් ඉදුපෙළහර නොකරන සේකැ’ යි තෝ කීයෙහි, හිස් මිනිස, බලව, තා කළ මේ වරදෙහි මහත!’ යැ යි මම් කීමි: භාර්‍ගවය, ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මා විසින් මෙසේ කියනු ලබනු යේ ද, අපායට සුදුසු වූවකු, නිරයට සුදුසු වූවකු සේ මෙ සස්නෙන් බැහැර වැ ගියේ ම ය.
කළාරමට්ඨුක වස්තුව
11. භාර්‍ගවය, මම් එක් සමයෙක විසල්පුරැ මහ වෙනෙහි කුළාර හල් වෙහෙරැ වෙසෙමි. එ සමයෙහි වූ කලී කළාරමට්ඨුක නම් අචේලකයෙක් ලාභයෙන් අක් පත් වූයේ, යසසින් අක් පත් වූයේ වැදෑගමැ වූ විසල්පුරැ වෙසෙයි. ඔහු විසින්,
“දිවි ඇති තාක් නිරුවත් වන්නෙමි, පිළි නො හඳින්නෙමි යි,
දිවි ඇති තාක් බඹසැරි වන්නෙමි, මෙවුන්දම් නො සෙවින්නෙමි යි,
දිවි ඇති තාක් රා මස් දෙකින් යැපෙන්නෙමි, බත් කොමුපිඬු ඈ අහර නො වළඳන්නෙමි යි,
විසල්පුරට පැදුම් දෙසින් උදේන නම් දෙවොල ඇත, එය ඉක්මැ නොයන්නෙමි යි,
විසල්පුරට දකුණු දෙසින් ගෞතමක නම් දෙවොල ඇත, එය ඉක්මැ නොයන්නෙමි යි,
විසල්පුරට පෑළ දිගින් සත්තම්බ නම් දෙවොල ඇත, එය ඉක්මැ නො යන්නෙමි යි,
විසල්පුරට උතුරු දිගින් බහුපුත්තක නම් දෙවොල ඇත, එය ඉක්මැ නො යන්නෙමි යි”
මෙසේ වූ සප්ත ව්‍රතපද කෙනෙක් සමාදන් කොට ගන්නා ලද්දාහු වෙත්. මේ ව්‍රතපද සත සමාදන් කොට ගෙන වසන හෙයින් හෙ තෙමෙ වැදෑගමැ ලාභයෙන් අග පත් වූයේ ද යසසින් අග පත් වූයේ ද වෙයි. භාර්‍ගවය, එ කල්හි ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමේ නිරුවත් කළාරමට්ඨුකයා කරා එළැඹියේ ය, එළැඹැ ඔහුගෙන් ප්‍රශ්න විචාළේය. ඔහු විසින් පැණ පුළුවුස්නා ලද කළාරමට්ඨුක තෙමෙ ඒ පැණ විසඳන්නට (සපයා කියන්නට) නොහැකි විය, එසේ නො හැකි වූයේ, කෝපය ද ද්වේෂය ද නොසතුට ද පහළ කෙළේ ය. භාර්‍ගවය, එ විටැ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයාට ‘අහෝ! සාධු ගුණ ඇති රහත් මහණක්හු කෙරේ ගැහැටුණම්හ. එය අපට බොහෝ කල් අවැඩ පිණිස, දුක් පිණිස නො වේ ව’ යි මේ සිත විය.
12. භාර්‍ගවය, ඉක්බිත්තෙන් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙමෙ මා කරා එළැඹියේ ය. එළැඹැ, මා වැඳ පසෙක හිඳගත්තේ ය. භාර්‍ගවය, එසේ පසෙක හුන් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා අමතා, ‘හිස් මිනිස, තෝත් ශාක්‍යපුත්‍රීය මහණෙකිමි’ යි පිළින කෙරෙයි දැ?’ යි කීමි.
‘වහන්ස, කවර හෙයින් මට එසේ වදාරන සෙයෙක් දැ?’ යි හේ කීය.
‘සුනක්ඛත්තය, තෝ නිරුවත් කළාරමට්ඨුකයා කරා එළැඹැ පැණ පුළුවුසූයෙහි නො වෙහි ද? නිරුවත් කළාරමට්ඨුක තෙමෙ ඒ තා විසින් පැණ පුළුවුස්නා ලදුයේ, එය විසඳන්නට නොහැකි වූයේ නො වේ ද? නො හැකි වනුයේ කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙළේ නොවේ ද? ඒ තට ‘සාධු ගුණ ඇති රහත් මහණක්හු කෙරේ ගැහැටුණම්හ, එය අපට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස නොවේ ව’ යි මේ සිත වූයේ නො වේ දැ?’ යි මම් කීමි.
‘වහන්ස, එසේ ය, කිමෙක් ද? භාග්‍යවතුන් වහන්සේ රහත් බවට මසුරු වන සේක් දැ?’ යි හේ කී ය.
‘හිස් මිනිස, මම් රහත්බවට මසුරු නොවෙමි. වැලි, තා හට මේ ලාමක මිසදිටෙක් උපන. එය බැහැරැ ලව. එය තට බොහෝ කල් අවැඩ පිණිස දුක පිණිස නො වේ වා. සුනක්ඛත්තය, නිරුවත් කළාරමට්ඨුක නම් යම් එකකු ‘සාධු ගුණ ඇති රහත් මහණෙකැ’ යි තෝ සිතයි ද, හේ නො බෝ දිනෙකින් ම පිළී හැන්දේ බිරියක ඇති වැ හැවිදුනේ, බත් කොමු ඈ අහර වළඳනුයේ විසල්පුරැ හැම දෙවොල් ම ඉක්මැ ගොස් යසසින් පිරිහුණේ කලුරිය කරන්නේ යැ’ යි කීමි.
13. භාර්‍ගවය, එ කලැ නිරුවත් කළාරමට්ඨුක තෙමෙ නොබෝ දිනෙකින් පිළී හැන්දේ, බිරියක් ඇති වැ හැවිදිනුයේ, බත් කොමු ඈ අහර වළඳනුයේ, විසල්පුරැ සියලු දෙවොල් ම ඉක්මැ ගොස්, යසසින් පිරිහී කලුරිය කෙළේ ලැ’ යි සුනක්ඛත්තයා ඇසී ය. එ කලැ හේ මා කරා එළැඹියේ ය. එළැඹැ මා වැඳ පසෙකැ හුන්නේ ය. පසෙකැ හුන් සුනක්ඛත්තයා අමතා,
‘සුනක්ඛත්තය, එය කිමැ යි සිතයි ද? නිරුවත් කළාරමට්ඨුකයා ඇරැබැ තට යම් සේ මම් කීම් ද, එසේ ම එය නිපන්නේ ද? නැත හොත් අන් සැටියෙකින් වී දැ?’ යි කීමි.
‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නිරුවත් කළාරමට්ඨුක තවුසා ඇරැබැ යම් සේ මට වදාළ සේක් ද, එසේ ම එය නිපන, අන් සැටියෙකින් නො වී යැ’ යි හේ කී ය.
‘සුනක්ඛත්තය, තෝ එය කෙසේ සිතහි ද? ඉදින් මෙ ලෙස ඇති කලැ මා විසින් උතුරු මිනිස් දහමින් ඉදුපෙළහර කරන ලද ද?, නො කරන ලද දැ?’ යි ඇසීමි.
‘වහන්ස, මෙසේ ඇති කලැ, උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන ලදුයේ වෙයි, නො කරන ලදුයේ නොවේ’ යැ යි හේ කී ය.
‘හිස් මිනිස, මෙසේත් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන මට; ‘භාග්‍යවතුන් වහන්සේ මට උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර නො කරන සේකැ’ යි තෝ කියෙහි. හිස් මිනිස, බලව, තා විසින් කොතරම් මහ වරදෙක් කරන ලද දැ?’ යි මම් කීමි.
භාර්‍ගවය, ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මා විසින් මෙසේ කියනු ලබනුයේ ම, අපායට සුදුසු වූවක්හු, නිරයට සුදුසු වූවක්හු සේ ම හේ මේ ධර්‍මවිනය කෙරෙන් (මෙ සස්නෙන් බැහැර වැ) ගියේ ම ය.
පාථික පුත්‍ර වස්තුව
14. භාර්‍ගවය, මම් එක් කලෙක විසල්පුර අසලැ මහ වෙනෙහි කුළාරහල් වෙහෙරැ වෙසෙමි. එ සමයෙහි පාථිකපුත්‍ර නම් නිරුවත් තවුසෙක් ලාභයෙන් ද යසසින් ද අගපත් වූයේ, වැදෑරජුන්ගේ වාසභූමි වූ විසල්පුරැ වෙසෙයි. හේ ‘මහණ ගොයුම් ඥානවාද ඇත්තෙක මම් ද ඥානවාද ඇතියෙමි. ඥානවාද ඇත්තේ වූ කලි ඥානවාද ඇත්තක්හු හා උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දක්වන්නට සුදුස්සේ ය. ඉදින් මහණ ගොයුම් (වාද පිණිස) අඩ මඟක් එන්නේ වී නම්, මම් ද අඩ මඟක් (ඔහු දෙසට) ඉදිරි වැ යන්නෙමි. එහි දී ඒ අපි දෙ දෙනා ම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන්නමු. මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් එක් ඉදු පෙළහරක් කරන්නේ නම්, මම් ඉදු පෙළහර දෙකක් කරන්නෙමි. මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දෙකක් කරන්නේ නම්, මම් සතරක් කරන්නෙමි. ඉදින් මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර සතරක් කරන්නේ නම්, මම් අටක් කරන්නෙමි. මෙසේ මහණගොයුම් උතුරු මිනිස් දහමින් යම් පමණ පෙළහර කරන්නේ ද, මම් එ මෙන් දෙගුණයක් දෙගුණයක් ඉදු පෙළහර කරන්නෙමි’ යි පිරිස් මැද මෙසේ වූ බසක් කියයි.
15. භාර්‍ගවය, එ කලැ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා මා වෙත එළැඹියේ ය. එළැඹ මා වැඳ පසෙක උන්නේ ය. පසෙක හුන්නේ ම, “වහන්ස, වැදෑගම වූ විසල්පුරැ පාථිකපුත්‍ර නම් නිරුවත් තවුසෙක් ලාභයෙන් ද යසසින් ද අගපත් වැ වෙසෙයි. ඔහු විසල්පුරැ පිරිස් මැදැ දී “මහණගොයුම් (මම් සියල්ල දනිමි යි) ඥානවාද ඇත්තෙක. මම් ද ඥානවාද ඇත්තෙකිමි. ඥානවාද ඇත්තේ වූ කලි ඥානවාද ඇත්තෙකු හා උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දක්වන්නට සුදුස්සේ ය. ඉදින් මහණ ගොයුම් (වාද පිණිස) අඩ මඟක් එන්නේ වි නම්, මම් ද අඩ මඟක් ඉදිරියට යන්නෙමි. එහි දී ඒ අපි දෙ දෙනා ම උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර කරන්නමු. මහණ ගොයුම් උතුරු දහම් මිනිස් දහමින් එක් ඉදු පෙළහරක් කරන්නේ නම්, මම් ඉදු පෙළහර දෙකක් කරන්නෙමි. මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර දෙකක් කරන්නේ නම්, මම් සතරක් කරන්නෙමි. ඉදින් මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් ඉදු පෙළහර සතරක් කරන්නේ නම්, මම් අටක් කරන්නෙමි. මෙසේ මහණ ගොයුම් උතුරු මිනිස් දහමින් යම් පමණ ඉදු පෙළහර කරන්නේ ද, මම් එ මෙන් දෙගුණ දෙගුණ ඉදු පෙළහර කරන්නෙමි’ යි මෙසේ කියතැ” යි මට සැළ කෙළේ ය.
16. භාර්‍ගවය, මෙසේ කී කලැ මම් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයාට, “සුනක්ඛත්තය, නිරුවත් පාථිකපුත්‍රයා ඒ තෙපුල් නො හැරපියා ඒ සිත නො හැරපියා ඒ දෘෂ්ටිය නොදුරැලා මා හමුවට එන්නට නො හැක්ක. ඉදින් ඒ වචන නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් නො දුරැ ලා, ‘මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මෙසේ ඔහුට සිතෙක් වී නම් ඔහුගේ හිස ද ගිලි හෙතැ” යි මම් කීමි.
“වහන්ස භාග්‍යවතුන් වහන්සේ මේ වචනය රක්නා සේක් වා, සුගතයන් වහන්සේ මේ වචනය රක්නා සේකේ වා” යි සුනක්ඛත්ත කී ය.
“සුනක්ඛත්තය, කිමෙක් ද? ‘භාග්‍යවතුන් වහන්සේ මේ වචනය රක්නා සේක් වා, සුගතයන් වහන්සේ මේ වචනය රක්නා සේක් වා’ යි මෙසේ මට කවර හෙයින් කියහි දැ?” යි මම් පුළුවුතිමි.
“වහන්ස, නිරුවත් පාථිකපුත්‍ර තවුසා ඒ තෙපුල් නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දෘෂ්ටිය නො දුරැ ලා, මා හමුවට එන්නට නො හැක්ක. ඉදින් ‘මම් ඒ තෙපුල් නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් නො දුරැ ලා, මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි ඔහුට මෙබඳු සිතෙක් වී නම්, ඔහුගේ හිස ද ගිලිහෙතැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වචනය ඒකාන්තයෙන් අවධාරණය කොට (නියත කොට) ම වදාරන ලද සේ යැ. වහන්ස, අචේලක පාථිකපුත්‍ර තෙමෙ ඍද්ධියෙන් වෙස්වළා (සිංහ ව්‍යාඝ්‍රාදීන් බඳු අන් වෙසෙකින්) භාග්‍යවතුන් වහන්සේ වෙතට ආයේ වී නම්, භාග්‍යවතුන් වහන්සේගේ ඒ තෙප්ල බොරු වන්නේ යැ” යි හේ කී ය.
‘සුනක්ඛත්තය, තථාගත තෙමේ සැටියෙන් එකක් වූ, අරුතෙන් වෙනෙකක් වූ, දෑතකට යන බසක් කියන්නේ දැ?’ යි මම් ඇසීමි.
“කිමෙක් ද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අචේලක පාථිකපුත්‍ර තෙම ඒ තෙපුල් නො හැරැපියා, ඒ සිත නොහැරපියා, ඒ දිට් නො දුරැ ලා මා හමුවට එන්නට නො හැක්කැ’ යි ද, එසේ ඒ තෙපුල් නො හැරපියා, ඒ සිත නොහැරපියා, ඒ දිට් නො දුරැ ලා මහාණ ගොයුම් වෙත යන්නෙමි’ යි ඔහුට මෙසේ සිතෙක් වී නම්, ඔහු හිස ද ගිලිහෙතැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් සිය සිතින් ඔහු සිත පිරිසිඳැ අචේලක පාථිකපුත්‍රයා දන්නා ලද්දේ ද? නැත හොත්, ‘අචේලක පාථිකපුත්‍ර ඒ තෙපුල් නො හැරපියා … භාග්‍යවතුන් වහන්සේ හමුවට එනු නො හැක්කැ’ යි, … ඉදින් ඒ තෙප්ල නො හැරපියා ... මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි සිතා යන්නේ නම්, ඔහු හිස ගිලි හෙතැ’ යි දේවතා කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළෝ දැ?” යි හේ පුළුවුත.
17. “සුනක්ඛත්තය, අචේලක පාථිකපුත්‍රයා ඒ තෙප්ල නො හැරැපියා, ඒ සිත නො හැරැපියා, ඒ දිට් නො දුරැ ලා මා හමුවට එන්නට නො සුදුස්සේ ය. ඉදින් ඔහුට ‘මම් ඒ තෙප්ල නො හැරපියා, ඒ සිත නො හැරපියා, ඒ දිට් නො දුරැ ලා, මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මෙසේ සිතක් වතොත්, ඔහුගේ හිස ද ගිලිහෙතැ යි මා සිතින් ඔහු සිත පිරිසිඳැ අචේලක පාථිකපුත්‍රයා මා විසින් දන්නා ලද්දේ ය. දේවතා කෙනෙක් ද ‘වහන්ස, අචේලක පාථිකපුත්‍ර තෙමේ ඒ තෙප්ල නො හැරැපියා, ඒ සිත නො හැරැපියා, ඒ දිට් නො දුරැලා, භාග්‍යවතුන් වහන්සේ හමුවට එන්නට නො සුදුස්සේ ය. ඉදින් ඔහුට ‘මම් ඒ තෙප්ල නො හැරැපියා, ඒ සිත නො හැරැපියා, ඒ දිට් නො දුරැ ලා, ‘මහණ ගොයුම් හමුවට යන්නෙමි’ යි මෙසේ සිතක් වතොත් ඔහු හිස ද ගිලි හෙතැ’යි මෙ පවත මට සැළ කළහ.