32. මහණෙනි, සතර සතිපට්ඨාන නම් වූ යම් දහමෙක් ඇද්ද, මෙය සත්‍වයන්ගේ පිරිසිදුව පිණිස ද, සෝ වලප් ඉක්මෙනු පිණිස ද, දුක්දොම්නසුන් දුරු වනු පිණිස ද, අරී අටැඟි මඟට පැමිණෙනු පිණිස ද, නිවන් පසක් කරනු පිණිස ද, එක් මැ මඟ වේ යැ යි මෙසේ යම් වචනයෙක් කියන ලද ද, මෙය මේ යට කී දහම සඳහා කියන ලද්දේ ය.”
භගවත් බුදුරජුහු මෙය වදාළාහ. සතුටු සිතැති ඒ භික්‍ෂූහු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගත්හ.
නව වන මහා සතිපට්ඨාන සූත්‍රය නිමියේ යැ.
10.
පායාසි රාජන්‍ය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි කුමර කසුප් මහ තෙරණුවෝ මහණුන් පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් කැටු වැ කොසොල් රටැ සැරි සරනුවෝ, කොසොල් රැටියන්ගේ සේතව්‍යා නම නුවරට වැඩියාහ. කුමරකසුප් මහ තෙරණුවෝ එහි සේතව්‍යා නුවරට නොදුරැ උතුරු දිගැ සිංසපා වනයෙහි (ඇට්ටේරිය කැලැයෙහි) වැඩ වෙසෙති.
එ සමයෙහි වනාහි පායාසි නම් රාජන්‍ය (අබිසෙස් නොලත් රජ) තෙම බහුජනාකීර්‍ණ වූ, තණ දඬු දිය යන මෙයින් යුක්ත වූ, බොහෝ ධාන්‍ය ඇති, රජුගෙන් ලත් තමාගේ පරිභෝග වස්තුව වූ, රජුහු ගේ දායාද්‍යය වූ, පසේනදී කොසොල් රජුහු දුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ සේතව්‍යා නගරයෙහි වෙසෙයි.
එකලැ පායාසී රාජන්‍යයාහට “මේ කරුණින් පරලොවෙක් නැත, මෙසේත් මෙයින් සැවැ පරලොවැ උපදනා සත් කෙනෙක් නැත, මෙසේත් මොනොවට කළ හෝ නපුරු සේ කළ කර්‍මයනට ඵල විපාක නැතැ” යි මෙබඳු වූ ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි.
2. සේතව්‍යා නුවරැ වැසි බමුණෝ ද ගැහැවියෝ ද (රටෙහි පැතිරැ පැවැති) මතු දැක්වෙන කථාව ඇසූහ: “භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක වූ කුමරකසුප් (කුමාරකාශ්‍යප) මහණ වහන්දෑ මහණුන් පන්සියයක් පමණ වූ මහත් මහණ මුළුවක් කැටුවැ කොසොල් රටැ සැරි සරනුවෝ, කොසොල් රැටියන්ගේ සේතව්‍යා නුවරට වැඩියාහු, එ නුවර උතුරු දිගැ නුවරට නොදුරෙහි වූ සිංසපා වනයෙහි වැඩ වෙසෙති, ඒ භවත් කුමර කසුප් වහන් දෑ පිළිබඳ වැ ‘මොහු පණ්ඩිත හ, ව්‍යක්ත හ, ප්‍රඥාවත් හ, බහුශ්‍රුත හ, චිත්‍රකථි හ (විසිතුරු කථා ඇත්තාහ), මනා වැටැහෙන නුවණ ඇත්තාහ, නුවණින් වැඩී සිටියාහු ද රහත්හු ද වෙති. එබඳු රහතුන් දැක්ම වූ කලී වැඩ සිදු කරන්නෙකැ’ යි මෙසේ වූ උතුම් කීර්ති ඝෝෂයෙක් උස් වැ නැංගේ ය” යනු යැ.
3. එ කල්හි වනාහි සේතව්‍යා නුවර වැසි බමුණෝ ද ගැහැවියෝ ද සේතව්‍යායෙන් නික්මැ බොහෝ බොහෝ වැ රැස් වූවාහු, එකි එකී පැත්තෙහි මුළු මුළු වැ නුවරින් පිටත්හි දී මහ මුළුවෙක් වැ එකතු වූවාහු, උතුරු දිගට මුහුණු ලා සිංසපාවනය දෙසට යන්නාහු වෙත්. එ සමයෙහි වූකලී පායාසි රාජන්‍ය තෙම සිය පහයෙහි උඩු මහල් තලයෙහි දව යහනට පැමිණියේ වෙයි. හේ (කවළියෙන් බලනුයේ) සේතව්‍යායෙන් නික් මැ බොහෝ බොහෝ වී රැස් වැ, එකි එකී පස්හි මුළු මුළු වැ නුවරින් පිටතැ දී මහ මුළුවෙක් වැ එකතු වැ, උතුරු දෙසට මුහුණු ලා සිංසපාවනය දෙසට යන සේතව්‍යවාසී බමුණන් ද ගැහැවියන් ද දුටුයේ ම ය. දැක ක්‍ෂත්තෘහු බණවා, ‘භවත් ක්‍ෂත්තෘව, සේතව්‍යාවාසී බමුණෝත් ගැහැවියෝත් සේතව්‍යායන් නික්මැ, බොහෝ බොහෝ වැ රැස් වැ එකි එකී පසැ මුළු මුළු වැ නුවරින් පිටත්හි දී මහ මුළුවෙක වැ එකතු වැ, උතුරු දිගට මුහුණු ලා සිංසපාවනය දෙසට කවර හෙයින් යෙත් දැ?” යි විචාළේ ය.
“භවත, කාරණයයෙක් ඇත. මහණ ගොයුමන් වහන්සේගේ සවු වූ කුමර කසුප් වහන් දෑ මහණුන් පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් කැටු වැ කොසොල් රටැ සැරිසනුවෝ කොසොල් රැටියන්ගේ සේතව්‍යා නම් නුවරට වැඩියාහු, සේතව්‍යාට උතුරු දිගැ නුවරට නොදුරු තැනැ සිංසපා වනයෙහි වැඩ වෙසෙති. ‘ඔහු පණ්ඩිත හ, ව්‍යක්ත හ, ප්‍රඥාවත් හ බහුශ්‍රුත හ, චිත්‍රකථි හ, කල්‍යාණප්‍රතිභාන ඇතියාහු, නුවණින් වැඩී සිටියෝ ද රහත් කෙනෙක් ද වෙති’ යි ඒ භවත් කුමර කසුප් වහන් දෑ පිළිබඳ වැ උතුම් වූ කීර්ති ඝෝෂයෙක් ඉතා උස් වැ නැංගේ වෙයි. ඔහු ඒ භවත් කුමරකසුප් වහන්දෑ දක්නට එහි යෙත්” යැ යි ක්‍ෂත්තෘ කී ය.
“එසේ වී නම් භවත් ක්‍ෂත්තෘව, සේත්‍යාවාසී ඒ බමුණන් ද ගැහැවියන් ද කරා එළැඹෙව. එළැඹැ ඔවුනට, “භවත්හු ඉවසත් වා (මා එන තුරු බලත් වා), කුමර කසුප් මහණ සේතව්‍යාවාසී වූ අඥාන අව්‍යක්ත බමුණනට ද ගැහැවියනට ද “මෙසේ මෙසේ පර ලොවෙක් ඇත, සැව පර ලොවැ උපදනා සත්තු ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයනට ඵල විපාක ඇතැ’යි ගිවිස්නට පෙරාතුව ම පායාසි රාජන්‍ය ද කුමරකසුප් මහණහු දක්නට එළැඹෙන්නේ යැ’ යි මෙසේ කියව, භවත් ක්‍ෂත්තෘව, පර ලොවෙක් නැත, උපපාදුක (මෙයින් සැව පර ලොවැ උපදනා) සත්හු නැත. සුකෘත දුෂ්කෘත කර්‍මයනට ඵල විපාක නැතැ” යි පායාසි රාජන්‍ය කී ය. ‘එසේ යැ පින්වත’ යි ම එ ක්‍ෂත්තෘ තෙම පායාසී රජන්‍යයාට පිළිවදන් දී, සේත්‍යාවාසී ඒ බමුණන් ද ගැහැවියන් ද කරා එළැඹියේ ය. එළැඹැ ඔවුන් බණවා, “භවත්හු මඳක් ඉවසත්වා, පායාසී රාජන්‍ය ද කුමර කසුප් මහණහු දකින්නට එළැඹෙන්නේ යැ” යි සැළ කෙළේ ය.
4. ඉක්බිති පායාසී රාජන්‍ය තෙම සේතව්‍යාවාසී බමුණන් ද ගැහාවියන් ද විසින් පිරිවැරුණේ, සිංසපාවනයට කුමරකසුප් මහතෙරුන් වැඩ ඉන්න තැනට පැමිණියේ ය. පැමිණ, කුමරකසුප් මහ තෙරුන් හා සතුටු විය, සතුටට කරුණු වූ සිතැ රැඳවියැ යුතු වූ කථා නිමවා එක් පසෙක හිඳගත්තේ ය. සේතව්‍යා වාසී බමුණෝත් ගැහැවියෝත් කෙනෙක් කුමරකසුප් තෙරුන් ආදරයෙන් වැඳ එක් පසෙක හිඳ ගත්හ, ඇතැම් කෙනෙක් කුමරකසුප් මහ තෙරුන් හා සතුටු වූහ. සතුටට කරුණු වූ සිතැ රැඳවිය යුතු වූ කථා කොට නිමවා එක් පසෙක හිඳ ගත්හ. එක්තරා කෙනෙක් කුමරකසුප් මහ තෙරුන් දිසාවට දොහොත් නමා වැඳ එක් පසෙක හිඳ ගත්හ, තව ද කෙනෙක් තමන් නම් ගොත් අස්වා එක් පෙසක හිඳ ගත්හ, සමහර දෙනෙක් නිහඬ වැ පසෙක හිඳගත්හ.
5. එක් පසෙක හුන් පායාසී රාජන්‍ය තෙම කුමරකසුප් මහතෙරුන් බණවා, “භවත් කාශ්‍යපයන් වහන්ස, මම් වනාහි ‘මෙසේත් මෙසේත් පර ලොවෙක් නැත, උපපාදුක (මෙයින් සැව පර ලොවැ උපදනා) සත්හු නැත, කුශලාකුශල කර්‍මයන් ගේ ඵල විපාක නැතැ’ යි මෙසේ වූ වාද ඇතියෙම් මෙසේ වූ දෘෂ්ටි ඇතියෙම් වෙමි” යි කී ය.
කුමරකසුප් - “රාජන්‍යයෙනි, මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති එකකු නො ම දිටිමි, නො ද ඇසීමි. ‘මෙසේත් මෙසේත් පර ලොවෙක් නැතැ යි, උපපාදුක සත්තු නැතැ යි, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’ යි කවර කරුණෙකින් මෙසේ කියවු ද? එසේ නම් රාජන්‍යයෙනි, මෙහි ඔබ ම පිළිවිසිමි. යම් සේ ඔබට රිසියෙන්නේ ද, එසේ එය විසඳන්න. රාජන්‍යයෙනි, ඒ කිමැ යි සිතවු ද? මේ සඳ දෙව් පුත් ද හිරු දෙව් පුත් ද යන දෙදෙනා මෙ ලොව්හි වෙත් ද? නැත හොත් පරලොව්හි වෙත් ද? ඔහු දෙවියෝ ද? නැත හොත් මිනිස්සු ද?
පායාසී - “කාශ්‍යපයන් වහන්ස, මේ සඳ දෙව්පුත් හිරු දෙව්පුත් දෙදෙන පරලොව්හි වෙත්. මෙ මිනිස් ලොව්හි නො වෙත්. ඔහු දෙවියෝ ය. මිනිස්සු නො වෙත්.”
කුමාරකසුප් - “රාජන්‍යයෙනි, මෙ කරුණිනුත් ‘මෙසේත් මෙසේත් පර ලොවෙක් ඇත, උපපාදුක සත්‍වයෝ ඇත, කුශලාකුශල කර්‍මයන් ගේ ඵල විපාක ඇතැ’ ඔබට මෙබඳු සිතෙක් වේ වා.”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්සේ මෙසේ වදාරතත් මට මෙහි, ‘මෙසේ මෙසේත් පර ලොවෙක් නැත, උපපාදුක සත්‍වයෝ නැත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’ යි මෙබඳු සිතෙක් වෙයි.”
6. කුමරකසුප් - “රාජන්‍යයෙනි, ‘මෙසේත් මෙසේත් පර ලොවෙක් නැත, උපපාදුක සත්‍වයෝ නැත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’ යි යම් කරුණෙකින් ඔබට මෙසේ සිතෙක් වේ නම්, එසේ වූ කරුණෙක් ඇත් ද?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, මෙසේත් මෙසේත් පර ලොවෙක් නැත, උපපාදුක සත්‍වයෝ නැත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ” යි යම් කරුණෙකින් මට මෙසේ සිතෙක් වේ නම්, ඒ කරුණෙක් ඇත.
කුමරකසුප් - “ඒ කෙබඳු ද, රාජන්‍යයෙනි.?”
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්ස, මෙහි මගේ මිත්‍රාමාත්‍යයෝ ද සහලේ නෑයෝ ද පණිවා කරන්නෝ ද, අයිනාදන් කරන්නෝ, කාමයන්හි වැරැදැ හැසිරෙන්නෝ, මුසවා කියන්නෝ, පෙහෙසුන් තෙපලන්නෝ, පරොස් බස් බණන්නෝ, ප්‍රලාප දොඩන්නෝ, මෙරමා සතු දැයට ලෝභ බහුල කොටැත්තෝ, ක්‍රෝධයෙන් නපුරු වූ සිතැත්තෝ, මිසදිටු ගත්තෝ වූහ. ඔහු මෑත කලැ ආබාධ ඇත්තාහු, දුකට පැමිණියාහු, දැඩි ගිලන් වූවාහු වෙත්. ‘මොහු මේ ආබාධයෙන් නො මැ නැඟී සිටුනාහ’ යි යම් විටෙක දැන ගනිම් ද, එව විටැ ඔවුන් කරා එළැඹ, ‘භවත්නි, යම් කෙනෙක් පණිවා කරන සුලු ද, අයිනාදන් කරන සුලු ද, කාමයන්හි වැරැදැ හැසිරෙන සුලු ද, මුසවා කියන සුලු ද, පෙහෙසුන් තෙපලන සුලු ද, පරොස් බස් බණන සුලු ද, ප්‍රලාප දොඩන සුලු ද, මෙරමා සතු දැයට ලෝභ කරන සුලු ද, ක්‍රෝධයෙන් නපුරු වූ සිතැත්තෝ ද, මිසදිටු ගත්තෝ ද, ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ස්ථාන වූ, විවස ව පතිත වන තැන වූ නිරයට (එහි ඉපැදීම් විසින්) පැමිණෙන්නාහ’ යි මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් බමුණු කෙනෙක් ඇත. භවත්හු වනාහි පණිවා කරන සුලු ද, අයිනාදන් කරන සුලු ද, කාමයන්හි වැරැදැ හැසිරෙන සුලු ද, බොරු කියන සුලු ද, පෙහෙසුන් බස් තෙපලන සුලු ද, පරොස් බස් බණන සුලු ද, හිස් බස් දොඩන සුලු ද, මෙරමා සතු දැය කෙරෙහි දැඩි ලෝභ උපදවන සුලු ද, ක්‍රෝධයෙන් නපුරු වූ සිත් ඇත්තෝ ද මිසදිටු ගත්තෝ ද වෙත්. ඉදින් ඒ භවත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය වී නම්, භවත්හු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුකට තැන් වූ, විවස වැ වැටෙන තැන වූ නිරයට පැමිණියාහු නම්, යම් හෙයකින් තෙපි අවුත් ‘මෙසේ මෙසේත් පරලොව ඇත, උපපාදුක සත්‍වයෝ ඇත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක ඇතැ’ යි කියන්නාහු නම් මැනැවි. භවත්හු වූ කලි මට ඇදැහියැ යුතු වචන ඇත්තෝ විශ්වාස කටයුතු වචන ඇත්තෝ වෙති. භවතුන් විසින් යමක් දක්නා ලද ද, එය මා විසින් ම දක්නා ලද්දෙක් යම බඳු ද එබඳු ම වන්නේ යැ” යි මෙසේ කියමි. ඔහු මට ‘මැනැවැ’ යි පිළිවදන් දී කලුරිය කළාහු, පෙරළා අවුත් නො මැ දන්වත්, දූතයකු ද නො එවත්. භවත් කාශ්‍යපයන් වහන්ස, යම් කරුණෙකින් මට ‘මෙසේ මෙසේත් පර ලොවෙක් නැත, උපපාදුක සත්හු නැත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ” යි මෙබඳු සිතෙක් වේ ද, එයට මේ ද එක් කරුණෙකි.”
කුමරකසුප් - රාජන්‍යයෙනි, එසේ වී නම්, මෙහි ඔබ ම පිළිවිසින්නෙමි. යම් සේ ඔබට රිසියෙන්නේ ද, එසේ එය විසඳන්න. රාජන්‍යයෙනි, එය කිමැ යි සිත වු ද? මෙහි ඔබේ පුරුෂයෝ වරද කරන සුලු සොරකු අල්ලා ගෙන, ‘ස්වාමීනි, මේ ඔබ අණ නො තකා වරද කරන සුලු සොරෙක. මොහුට යමක් කරනු රිස්සහු ද ඒ දඬුවම පමුණුවනු මැනැවැ’ යි කියා ඔබට දක්වන්නාහු නම්, ඔබ ඔවුනට ‘භවත්නි, එසේ වී නම්, මේ පුරුෂයා දළ රැහැණින් පිටිතල හයා දැඩි බැම්මෙන් බැඳ කරයෙන් හිස මුඩු කරවා, රළු හඬ ඇති වද බෙර වැයුමෙන් යුක්ත කොට වීදියෙන් වීදියට ද, සිවුමං හන්දියෙන් සිවුමං හන්දියට ද ගෙන ගොස් දකුණු දොරින් නික්මවා නුවරට දකුණු දිගැ වධ්‍යභූමියෙහි දී හිස සිඳිවු’ යැ යි මෙසේ කියන්නාහු ය. ඔහු ‘මැනැවැ’ යි ගිවිසැ ඒ පුරුෂයා දැඩි රැහැණින් පිටිතල හයා දැඩි බැම්මෙන් බැඳ කරයෙන් හිස මුඩු කරවා රළු හඬ ඇති වද බෙර වැයුමෙන් යුක්ත කොට වීදියෙන් වීදියට ද, සිවුමං හන්දියෙන් සිවුමං හන්දියට ද ගෙන ගොස්, දකුණු දොරින් නික්මවා නුවරට දකුණු දිගැ වධ්‍යස්ථානයෙහි හිඳුවන්නාහ. ඒ සොර තෙම ‘භවත් චෝරඝාතකයිනි, අසෝ ගමෙහි හෝ නියම් ගමෙහි හෝ මගේ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ වෙත්. ඔවුනට මාත් මා සුරැකි කොට තුබූ බඩුත් දක්වා පිළිගන්වා, යම්තාක් කලෙකින් එන්නෙම් ද ඒ තාක් මොහොතක් බලත් වා’ යි කියන්නේ වී නම්, ඒ චෝරඝාතකයන් කෙරෙහි (චෝරඝාතකයන්ගෙන්) අවසරයක් ලැබිය හැකි වන්නේ ද? නො හොත් චෝරඝාතකයෝ ඔහු හඬද්දී ම හිස සිඳින්නා හු ද?
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්ස, ‘භවත් චෝරඝාතකයිනි, අසෝ ගමැ හෝ නියම්ගමැ හෝ මගේ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ වෙත්. ඔවුනට මාත් මා සුරැකි කොට තුබූ බඩුත් දක්වා පිළිගන්වා එනතුරු මොහොතක් බලත්වා’ යි කියන්නේ නුමුදු, ඒ සොර තෙම චෝරඝාතකයන් කෙරෙහි අවසරයක් නො ම ලබන්නේ ය. වැලි චෝරඝාතකයෝ ඔහු වැලැපෙද්දී ම ඔහු හිස සිඳුනාහු ය.”
කුමරකසුප් - “රාජන්‍යයෙනි, මිනිස් ම වූ ඒ සොර තෙම මිනිස් වූ චෝරඝාතකයන වෙතැ ‘භවත් චෝරඝාතකයිනි, … මා එනතුරු බලත්ව යි කියන්නේ ද අවසරයක් නො මැ ලබන්නේ ය. එසේ කලැ ඔබේ පණිවා කරන සුලු අයිනාදන් කරන සුලු, කාමයන්හි වැරැදැ හැසිරෙන සුලු, බොරු කියන සුලු, පෙහෙසුන් බස තෙපලන සුලු, පරොස් බණන සුලු, හිස් බස දොඩන සුලු, මෙරමා සතු දැයට දැඩි ලෝභ කරන සුලු, ක්‍රෝධයෙන් නපුරු වූ සිතැති, මිසදිටු වත් ඒ මිත්‍රාමාත්‍යයෝ ද සහලේ නෑයෝ ද, කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ස්ථාන වූ විවසවැ වැටෙන තැන වූ නිරයට පැමිණියාහු, ‘භවත් නිරාපල්ලනි, අප පායාසී රාජන්‍යයන් කරා ගොස් ‘මේ මේ කරුණිනුත් පරලොව ඇත, මේ මේ කරුණිනුත් උපපාදුක සත්‍වයෝ ඇත, මේ මේ කරුණිනුත් කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක ඇතැ’යි කියා එන තෙක් බලත්වා” යි කියා නිරාපල්ලන් වෙත්හි (මෙහි එන්නට) අවසරයක් ලැබියැ හැකි වන්නාහු ද? රාජන්‍යයෙනි, මේ කාරණයෙනුත් ‘මෙසේ මෙසේත් පරලොව ඇත. උපපාදුක සත්‍වයෝ ඇත. කුශලාකුශල කර්‍මයන් ගේ ඵල විපාක ඇතැ’යි සිතෙක් ඔබට වේ වා.”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්සේ මෙසේ වදාරතත්, මෙහි මට ‘මෙසේ මෙසේත් පර ලොවෙක් නැත. උපපාදුක සත්‍වයෝ නැත. කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’ යි ම මෙසේ සිතෙක් වෙයි.”
7. කුමරකසුප් - “රාජන්‍යයෙනි, මෙසේත් මෙසේත් පර ලොවෙක් නැතැ යි, උපපාදුක සත්‍වයෝ නැතැ යි, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ යි යම් කරුණෙකින් ඔබට මෙසේ සිතෙක් වේ නම්, එසේ වූ (තව ද) කරුණෙක් ඇද්ද?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, යම් කරුණෙකින් මට ‘මෙ කරුණිනුත් පර ලොවෙක් නැතැ යි, උපපාදුක සත්‍වයෝ නැතැ යි, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ” යි මෙසේ සිතෙක් වේ නම්, ඒ කරුණු ඇත.
කුමර කසුප් - “ඒ කෙසේ ද, රාජන්‍යයෙනි.?”
පායාසි - “භවත් කාශ්‍යපයෙනි, මෙහි මගේ මිත්‍රාමාත්‍යය කෙනෙක් සහලේ නෑ කෙනෙක් පණිවායෙන් වැළැක්කෝ, අයිනාදන් වැළැක්කෝ, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්කෝ, මුසවායෙන් වැළැක්කෝ, පෙහෙසුන් තෙප්ලෙන් වැළැක්කෝ, පරොස් බසින් වැළැක්කෝ, හිස් තෙප්ලෙන් වැළැක්කෝ, මෙරමා අයත් දැයට ගිජු නොවූවෝ, මෙරමා කෙරෙහි නපුරු සිත් නැත්තෝ, සම්දිට් ගත්තෝ වූහ. ඔහු මෑත භාගයෙහි හටගත් ආබාධ ඇත්තාහු, දුකට පත්තාහු, දැඩි ගිලන් වූවාහු වෙත්. මොහු මේ ආබාධයෙන් නො නැගිටුනාහ යි යම් විටෙක දැන ගනිම් ද, එකල්හි මම් ඔවුන් කරා එළැඹ, ‘භවත්නි, යම් කෙනෙක් පණිවායෙන් වැළැක්කාහුද, අයිනාදනින් වාළැක්කාහුද, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්කාහුද, මුසවායෙන් වැළැක්කාහුද, පෙහෙසුන් බසින් වැළැක්කාහුද, පරොස් බිණුමෙන් වැළැක්කාහුද, හිස් බස් දෙඩුමෙන් වැළැක්කාහුද, අභිධ්‍යාබහුල නො වෙත් ද, ව්‍යාපාදයෙන් නපුරු වූ සිත් නැත්තාහු වෙත් ද, සම්දිට් ගතුවාහු වෙත් ද, ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙන් යැ යි මෙසේ වූ වාද ඇති, මෙසේ වූ දෘෂ්ටි ඇති, ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. භවත්හු වනාහි පණිවායෙන් වැළැක්කාහ, අයිනාදනින් වැළැක්කාහ, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්කාහ, මුසවායෙන් වැළැක්කාහ, පෙහෙසුන් බසින් වැළැක්කාහ, පරොස් බැණුමෙන් වැළැක්කාහ, හිස් බස් දෙඩුමෙන් වැළැක්කාහ, මෙරමා සතු දැයට ගිජු නොවන්නාහ, ව්‍යාපාදයෙන් නපුරු වූ සිත් නැත්තාහ, සම්දිටු හ. ඉදින් ඒ භවත් මහණ බමුණන්ගේ බස් සැබෑ වී නම්, භවත් කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙන්නාහ. භවත්නි, ඉදින් තෙපි කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට, පැමිණෙන්නාහු නම්, එකරුණින් ආවුත් මට ‘මෙසේත් පරලොව ඇත, උපපාදුක සත්හු ඇත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක ඇතැ’යි දන්වවු. භවත්හු වනාහි මා විසින් හැදැහියැ යුතු වචන ඇත්තෝ විශ්වාස කටයුත්තෝ වහු. භවතුන් විසින් යමෙක් දක්නා ලද නම්, එය මා විසින් සියැසින් ම දක්නා ලද්දක් සේ ම වන්නේ යැ යි කීමි. ඔහු මට ‘මැනැවැ’ යි ගිවිසැ (කලුරිය කළාහු) පෙරළා අවුත් නො ම දන්වත්, දූතයකුදු නො ම එවත්. භවත් කාශ්‍යපයන් වහන්ස, යම් කරුණෙකින් මට ‘මෙසේත් පරලොවෙක් නැත, මෙසේත් උපපාදුක සත්හු නැත, මෙසේත් කුශලාකුශල කර්‍මයනට ඵල විපාක නැතැ’යි මෙබඳු සිතෙක් වේ නම් මේ ද ඒ එක් කරුණෙක.”
කුමරකසුප් - “රාජන්‍යයිනි, ඔබට උපමාවක් කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමායෙනුදු කී වචනයේ අරුත් දැනැගන්නාහ. රාජන්‍යයෙනි, යම් සේ පුරුෂයෙක් අසූචි වළෙක හිස සහිත වැ ගිලුණේ වන්නේ නම්, එ කල තෙපි (සිය මෙහෙකරු) පුරුෂයනට, ‘භවත්නි, එසේ වී නම්, ඒ පුරුෂයා ඒ අසූචි වළෙන් ගොඩ ගනිවු’ යැ යි අණ කරන්නහු ද, ඔහු ‘මැනැවැ’යි පිළිවදන් දී, ඒ පුරුෂයා ඒ අසූචි වළෙන් ගොඩ නඟන්නාහු ද, (එ කලැ) ඔබ, ‘භවත්නි, එසේ වී නම් උන පතුරුවලින් ඒ පුරුෂයාගේ සිරුරෙන් අශුචි මොනොවට පිස පියවු’ යැ යි ඔවුනට මෙසේ කියන්නහු ද, ඔහු ‘මැනැවැ’යි පිළිවදන් දී, උන පතුරුවලින් ඒ පුරුෂයාගේ සිරුර කෙරෙන් අසූචි මොනොවට පිස පියන්නාහු ද, (එවිට) ඔබ ඔවුනට, භවත්නි එසේ වී නම්, ඒ පුරුෂයාගේ ශරීරය පඬුවන් මැටියෙන් තුන් වරක් මොනොවට උලවු’යැයි මෙසේ කියන්නහුද ද, (එ විට) ඔහු ඒ පුරුෂයාගේ සිරුර පඬුවන් මැටියෙන් තුන් වරක් උලන්නාහු ද, (එ කලැ) ඔබ ඔවුනට, ‘එසේ වී නම් භවත්නි, තෙපි ඒ පුරුෂයා තෙලින් ගහවා (තෙල් ගල්වා) සියුම් සුණුයෙන් තුන් වරක් මොනොවට ශුද්ධ කරවු’ යැ යි මෙසේ කියන්නාහු ද, ඔහු ඒ පුරුෂයා තෙල් ගල්වා සියුම් සුණුයෙන් තුන් වරක් මොනොවට ශුද්ධ කරන්නාහු ද (ඉක්බිති) ඔබ ඔවුනට, ‘භවත්නි, එසේ වී නම් තෙපි ඒ පුරුෂයාගේ දැලි රවුළු කපවු, සරහවු’ යැ යි කියන්නාහු ද එ විට ඔහු ඒ පුරුෂයාගේ දැළි රවුළු සරහන්නාහු ද, ඉක්බිති ඔබ ඔවුනට, ‘භවත්නි, එසේ වී නම්, ඒ පුරුෂයාට මහඟු මල්දම් ද මහඟු විලෙවුන් ද මහඟු වස්ත්‍ර ද එළවවු’ යැ යි මෙසේ කියන්නාහු ද, ඔහු ඔවුනට මහඟු මල්දම් ද මහඟු විලෙවුන් ද මහඟු වස්ත්‍ර ද එළවන්නාහු ද, ඔබ ඔවුනට, ‘භවත්නි, එසේ වී නම් ඒ පුරුෂයා පහයකට නංවා පස් කම් කොටසුන් එළවා තබවු යැ යි කියන්නාහු ද, ඔහු ඒ පුරුෂයා පහයකට නංවා කම් කොටස් පස එළ වන්නාහු ද, රාජන්‍යයිනි, (එසේ කලා) එය කි මැ යි සිත වු ද? මොනොවට නා මොනොවට විලෙවුන් ගත් සිරුර ඇති, මොනොවට සරහන ලද කෙස් හා දැලි රවුළු ඇති, පලන් මල්දම් හා ආභරණ ඇති, සුදු වත් හඳනා, මහඟු පහයෙක මතු මහළට පැමිණ හුන්, පස් කම් කොටසුන් ගෙන් පිහිටියකු වැ සමන්‍විත වැ ඉඳුරන් හසුරුවන ඔහුට නැවැත ද ඒ අසූචි වළෙහි ගිලෙනු රිසි බවෙක් වන්නේ ද?
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, මෙය නො වේ මැ යැ”.
කුමර - “ඒ කවර හෙයින?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, අසූචි වළ අපිරිසිදු ය, (මන නොවඩන්නේ ය) අසූචි කොටස් ම වූයේ ය, දුගඳ ය, දුගඳ කොටස් ම වූයේ ය. පිළිකුල් කටයුතු ය, පිළිකුල් කටයුතු කොටස් ම වූයේ ය, එහෙයිනි.”
කුමර - රාජන්‍යයෙනි, එසේ ම මිනිස්සු දෙවියනට අපිරිසිදු හ, අසූචි කොටස් ම වෙති, දුගඳ හ, දුගඳ කොටස් ම වෙති, පිළිකුල් කටයුතු හා පිළිකුල් කටයුතු කොටස් ම වෙති. රාජන්‍යයෙනි, මිනිස් ගඳ යොදුන් සියයක් ම දෙවියනට බාධන කෙරෙයි, කිමෙක් ද? ඔවුන්ගේ මිත්‍රාමාත්‍යයෝත් සහලේ නෑයෝත් පණිවායෙන් වැළකුණාහු, අයිනාදනින් වැළැකුණාහු, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්කාහු මුසවායෙන් වැළැක්කාහු, පෙහෙවුන් බසින් වැළැක්කාහු, පරොස් බසින් වැළැක්කාහු, හිස් බසින් වැළැක්කාහු, මෙරමා සතු දැයට ඇලුම් නැත්තාහු, නපුරු සිත් නැත්තාහු, සම්දිටු වූවාහු, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණියාහු ද, ඔහු අවුත් ‘මෙසේත් පර ලොව ඇත, සැව උපදනා සත්තු ඇත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක ඇතැ’යි මෙහි අවුත් කියන්නාහු ද? රාජන්‍යයෙනි, මෙ කරුණින් ද ඔබට ‘මෙසේත් පර ලොව ඇත, මෙසේත් සැව උපදනා සත්තු ඇත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක ඇතැ’යි මෙසේ සිතෙක් වේ වා.”
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්සේ මෙසේ වදාරතත්, මෙහි මට ‘මෙසේ මෙසේත් පරලොවෙක් නැත, උපපාදුක සත්‍වයෙක් නැත, කුශලාකුශලා කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’ යි මෙස් සිතෙක් වෙයි.”
8. කුමරකසුප් - රාජන්‍යයෙනි, … යම් කරුණෙකින් ඔබට මෙසේ සිතෙක් වේ නම්, එසේ වූ තවත් කරුණෙක් ඇද්ද?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, … කරුණෙක් ඇත.”
කුමරකසුප් - “රාජන්‍යයෙනි, ඒ කෙසේ ද?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, පණිවායෙන් වැළැකි, අයිනාදනින් වැළැකි, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැකි, මත් බව කරන පමාවට කරුණු වන රහමෙරින් වැළැකි, මගේ මිත්‍රාමාත්‍ය කෙනෙක් සහලේ නෑ කෙනෙක් මෙහි වූහ. මෑත කාලයෙහි ඔහු ආබාධ ඇත්තාහු, දුකට පැමිණියාහු, දැඩි ගිලන් වූවා හු ය. දැන් මොහු මේ ආබාධයෙන් නො ම නැගී සිටින්නාහ’ යි යම් කලෙක දැන ගනිම් ද, එ කලැ ඔවුන් කරා එළැඹැ, ‘භවත්නි, යම් කෙනෙක් පණිවායෙන් වැළැක්කාහු ද, අයිනාදනින් වැළැක්කාහු ද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්කාහු ද, මුසවායෙන් වැළැක්කාහු ද, මදය කරන පමාවට කරුණු වූ රහමෙරින් වැළැක්කාහු ද, ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්, තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණෙත්’ යැ යි මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති, ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. භවත්හු වූ කලි පණිවායෙන් වැළැක්කාහු ය, අයිනාදනින් වැළැක්කාහු ය, කාමමිථ්‍යාචාරයෙන් වැළැක්කාහු ය, මුසවායෙන් වැළැක්කාහු ය, මද්‍ය වූ ද ප්‍රමාදස්ථාන වූ ද රහමෙරින් වැළැක්කාහු ය.
ඉදින් ඒ භවත් මහණ බමුණන් බස සැබෑ වී නම්, භවත් හු කාබුන් මරණින් මතු මනාගති ඇති සග ලොවට පැමිණෙන්නාහ, තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණෙන්නාහ. භවත්නි, ඉදින් තෙපි කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙන්නාහු නම, තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණෙන්නාහු නම්, එ කලැ අවුත් ‘මෙසේත් පර ලොවක් ඇත, උපපාදුක සත්‍වයෝ ඇත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක ඇතැ’ යි මට දන්වවු. භවත්හු වනාහි මා විසින් ඇදැහියැ යුතු වචන ඇත්තාහු ය, විශ්වාස කටයුතු වචන ඇත්තාහු ය, යමක් භවතුන් විසින් දක්නා ලද ද, යම් සේ මා තමා විසින් ම දක්නා ලද දැයක් සේ ම වන්නේ ය”. ඔහු ‘මැනැවැ’ යි මට පිළිවදන් දී අවුත් නො ම දන්වත්, දූතයකු නො ම එවත්. භවත් කාශ්‍යපයන් වහන්ස, “මෙසේ ත් පර ලොව නැත, මෙසේ උපපාදුක සත්තු නැත, මෙසේ කුශලාකුශල කර්‍මයනට ඵල විපාක නැතැ’යි යම් කරුණෙකින් මෙබඳු සිතෙක් වේ ද, මේ ද ඒ කරුණෙක් යැ.
කුමරකසුප් - “රාජන්‍යයෙනි, මෙහි ඔබ ම පිළිවිසින්නෙමි. යම්සේ ඔබට රිසියෙන්නේ ද එසේ එය විසඳන්නැ. රාජන්‍යයෙනි, මිනිසුන් පිළිබඳ වූ යම් හවුරුදු සියයෙක් වේ ද, මෙය තව්තිසා වැසි දෙවියනට එක් රෑ දවාලෙක. ඒ රැයින් තිස් රැයෙක් (ඒ දෙවියනට) මසෙක, ඒ මසින් දොළොස් මසෙක් ඔවුනට හවුරුද්දෙක. ඒ හවුරුද්දෙන් දිව්‍ය වර්‍ෂ දහසෙක් තව්තිසා වැසි දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය යැ. පණිවායෙන් වැළැකී, අයිනාදනින් වැළැකි, කාමමථ්‍යාචාරයන් වැළැකි, මුසවායෙන් වැළැකි, මද්‍ය වූ ප්‍රමාදස්ථාන වූ රහමෙරින් වැළැකි, යම් ඔබේ මිත්‍රාමාත්‍ය කෙනෙක් සහලේ නෑ කෙනෙක් වූහු ද, ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණියාහු, තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණියාහු නම්, ඔවුනට ‘අපි රෑදාවල් දෙකක් හෝ තුනක් හෝ යම්තාක් කලක් දිව්‍ය පංචකාම ගුණයන්ගෙන් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් හසුරුවමෝ ද, එයින් පසු අපි ගොස් පායාසී රාජන්‍යයනට ‘මෙසේත් පර ලොවෙක් ඇතැ යි, මෙසේත් උපපාදුක සත්හු ඇතැ යි, මෙසේත් කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක ඇතැ’ යි දන්වම්හ යි ඔවුනට මෙසේ සිතෙක් වන්නේ නම්, ඔහු අවුත් ‘මෙසේත් පර ලොව ඇතැ යි, මෙසේත් උපපාදුක සත්තු ඇතැ යි, මෙසේත් කුශලාකුශල කර්‍මයන් ගේ ඵල විපාක ඇතැ යි දැන් වියැ හැක්කාහු ද?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, මෙය නො ම වන්නේ ය. වැලි දු අපි (ඔවුන් එන විට) කලුරිය කළ බොහෝ කල් ඇත්තමෝ ද වන්නමු. තව්තිසා වැසි දෙවි කෙනෙක් ඇතැයි හෝ තව්තිසා වැසි දෙවියෝ මෙසේ දීර්‍ඝ වූ ආයුෂ ඇත්තෝ යැ යි හෝ කවරෙක් නම මෙය භවත් කාශ්‍යපයන් වහන්සේ ට දන්වා ද? තව්තිසා වැසි දෙවියෝ ඇතැ යි හෝ තව්තිසා වැසි දෙවියෝ මෙස් දීර්‍ඝ වූ ආයුෂයක් ඇත්තෝ යැ යි හෝ කියන භවත් කාශ්‍යපයන් වහන්සේ ගේ වචනය අපි නො අදහමු.”
කුමරකසුප් - “රාජන්‍යයෙනි, යම්සේ ජාත්‍යන්‍ධ පුරුෂයෙක් සුදු කලු රූපයන් හො දක්නේ ද, නිල් පැහැති රූපයන් නො දක්නේ ද, කසාවන් රූපයන් නො දක්නේ ද, රතු පැහැ රූපයන් නො දක්නේ ද, මඳැටිය පැහැ රූපයන් නො දක්නේ ද, සම විසම තැන් නො දක්නේ ද, තාරකා රූපයන් නො දක්නේ ද, හිර සඳ දෙක නො දක්නේ ද, හෙතෙම ‘සුදු කලු පැහැ රූප නැතැ යි, සුදු කලු රූ දක්නා කෙනෙක් ද නැතැ යි, නිල් පැහැ රූ නැතැ යි, නිල් පැහැ රූ දක්නා කෙනෙක් නැතැ යි, කහවන් රූ නැතැ යි, කහවන් රූ දක්නා කෙනෙක් නැතැ යි, රත් පැහැ රූ නැතැ යි රත් පැහැ රූ දක්නා කෙනෙක් නැතැ යි, මඳටිය පැහැ රූ නැතැ යි, මඳටිය පැහැ රූ දක්නා කෙනෙක් නැතැ යි, සමවිසම තැන් නැතැ යි, සම විසම තැන් දක්නා කෙනෙක් නැතැ යි, හිර සඳ නැති යි, හිර සඳ දක්නා කෙනෙක් නැතැ යි, ‘මම මෙය නො දනිමි, මම මෙය නො දකිමි, එ හෙයින් එය නැතැ’ යි මෙසේ කියන්නේ නම, රාජන්‍යයෙනි, එසේ කියන තැනැත්තේ මනා කොට කියන්නේ ද?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, එසේ කියනුයේ මනා කොට නො ම කියන්නේ ය. සුදු කලු රූ ඇත. සුදු කලු රූ දක්නේ ඇත. නිල් පැහැ රූ ඇත, නිල් පැහැ රූ දක්නේ ඇත. කහවන් රූ ඇත, කහවන් රූ දක්නේ ඇත. රත් පැහැ රූ ඇත, රත් පැහැ රූ දක්නේ ඇත. මඳටිය පැහැ රූ ඇත, මඳටිය පැහැ රූ දක්නේ ඇත. සම විසම තැන් ඇත, සම විසම තැන් දක්නේ ඇත. තාරකා රූප ඇත, තාරකා රූප දක්නේ ඇත. හිරු සඳු ඇත, හිරු සඳු දක්නේ ඇත. ‘මම මෙය නො දනිමි, මම මෙය නො දකිමි, එහෙයින් එය නැතැ’ යි කියන්නේ නම්, භවත් කාශ්‍යපයන් වහන්ස, හේ කියන්නේ මනා කොට නො ම කියන්නේ ය.”
කුමරකසුප් - “රාජන්‍යයෙනි, එ පරිද්දෙන් ම ‘තව්තිසා වැසි දෙවියෝ ඇතැ යි කියා හෝ තව්තිසා වැසි දෙවියෝ මෙසේ වූ දීර්‍ඝ ආයුෂයක් ඇත්තාහ යි කියා හෝ මෙය භවත් කාශ්‍යපයන් වහන්සේට කවරෙක් දන්වයි ද? තව්තිසා වැසි දෙවියෝ ඇතැයි කියා හෝ තව්තිසා වැසි දෙවියෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තෝ යැ යි කියා හෝ භවත් කාශ්‍යපයන් වහන්සේ වදාරන වචනය අපි නො ම හදහම්හ’ යි තෙපි යම් වචනයක් මෙසේ මට කියවු ද, එසේ වූ තෙපි මට ජාත්‍යන්‍ධ එකකු මෙන් එළැඹ සිටිති (පෙනෙති). රාජන්‍යයෙනි, ඔබ සිතන පරිදි මේ මසැසින් මෙසේ පරලොව දැක්ක හැකි නො වේ. රාජන්‍යයෙනි, යම් මහණ බමුණු කෙනෙක් නිහඬ වූ මඳ ගිගුම් හඬ ඇති අරණ්‍යයන් වනප්‍රස්තයන් මිනිස්පියෙන් දුරැ පිහිටි සෙනසුන් සෙවිත් ද, ඔහු එහි නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ, ප්‍රතිපත්ති විෂයයෙහි මෙහෙයූ සිතැති වැ වසන්නාහු දිවැස පිරිසිදු කෙරෙත්. ඔහු පිරිසිදු වූ මිනිසැස ඉක්මැ පැවැති දිවැසින් මෙ ලොව ද පර ලොව ද උපපාදුක (මැරී පුනර්‍භවය ලබන) සත්‍වයන් ද දකිත්. රාජන්‍යයෙනි, මෙසේ ම පර ලොව දැක්කැ යුතු. ඔබ සිතන පරිදි මේ මසැසින් නො ම දැක්කැ හැක්ක. රාජන්‍යයෙනි, මෙ කරුණිනුත් ඔබට ‘මෙසේත් පර ලොව ඇත, මෙසේත් උපපාදුක සත්‍වයෝ ඇත, මෙසේත් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇතැ’ යි මෙසේ සිතෙක් වේ වා.”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්සේ මෙසේ කියතුදු, වැලිත් ‘මෙසේත් පර ලොව නැත, මෙසේත් උපපාදුක සත්‍වයෝ නැත, මෙසේත් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’යි මෙහි මට මෙසේ සිතෙක් වෙයි.”
9. කුමරකසුප් - “රාජන්‍යයෙනි, … යම් කරුණෙකින් මෙසේ සිතෙක් වේ නම්, එබඳු වූ තව කරුණෙක් ඇද්ද?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, … කරුණෙක් ඇත.”
කුමර - “රාජන්‍යයෙනි, ඒ කෙසේ ද?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, මෙහි සිල්වත් වූ කලණ ගුණ ඇති ජීවත් වනු කැමැති, මැරෙනු නො කැමැති, සුව කැමැති, දුකට පිළිකුල් කරන මහණ බමුණන් දකිමි. භවත් කාශ්‍යපයන් වහන්ස, ඒ මට “ඉදින් මේ සිල්වත් කලණ ගුණ ඇති භවත් මහණ බමුණෝ ‘මෙයින් මළා වූ අපට පර ලොවැ සුගති, සැපත වන්නේ යැ’යි දන්නාහු නම්, මේ සිල්වත් ගුණවත් මහණ බමුණෝ වස හෝ කන්නාහ, අවියෙන් හෝ දිවි තොර කැරැ ගන්නාහ, ගෙලැ වැල ලා ගෙන එල්බැ හෝ මැරෙන්නාහ, ප්‍රපාතයෙක හෝ පනින්නාහ. යම් හෙයෙකින් මේ සිල්වත් ගුණවත් මහණ බමුණෝ ‘මෙයින් මළා වූ අපට මරණින් මතු සුගති සැපතක් වෙතැ’යි මෙසේ නො දනිත් ද, එ හෙයින් ජීවත් වනු කැමැත්තාහ, මැරෙනු නො කැමැත්තාහ, සුව කැමැත්තා හ, දුකට පිළිකුල් කරන්නාහ, තමන් නො මරන්නාහ” යි මෙසේ සිතෙක් වෙයි. භවත් කාශ්‍යපයන් වහන්ස, ‘යම් කරුණෙකින් මෙසේත් පරලොව නැත, උපපාදුක සත්‍වයෝ නැත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’ යි මෙසේ සිතෙක් වෙයි ද, මේත් එයට කරුණෙකි.”
කුමර - “රාජන්‍යයෙනි, එසේ වී නම්, ඔබට උපමාවක් කරන්නෙමි. උපමායෙනුදු මෙහි ඇතැම් නුවණැති පුරුෂ කෙනෙක් කී බසේ අරුත් දැන ගනිත්. රාජන්‍යයෙනි, පෙරැ වූවක් කියමි. එක්තරා බමුණකුට දෙදෙනෙක් බිරියෝ වූහ. එකියකට දස හෝ දොළොස් හවුරුදු වයස් වූ එක් පුතෙක් විය. අනිත් බිරිය දරු ගබක් ඇත්තී වදන්නට ළං වූ කල් ඇත්තී වූ ය. එ කල්හි ඒ බමුණා කලුරිය කෙළේ ය. එ කල්හි ඒ මාණවක තෙම සෙවෙත් මව බණවා, පින්වතිය, මේ යම් ධනයෙක් හෝ ධාන්‍යයෙක් හෝ රිදීයෙක් හෝ රනෙක් හෝ වෙයි ද, ඒ සියල්ල මගේ යැ, ඔබට මෙහි කිසිත් නැත. භවතිය, පියාගෙන් මට උරුම වූ එ වස්තුව මට පවරව’ යි කී ය. මෙසේ කී කල්හි ඒ බැමිණී ඒ මාණවකයාට, ‘දරුව, මා වදන තෙක් බලා පොරොත්තු වව (මා වදන දරු) ඉදින් කුමරෙක් වී නම්, ඔහුටත් එක් කොටසෙක් අයත් වන්නේ ය, ඉදින් කුමරියක් වී නම්, ඕ ද තට පාදපරිචාරිකා වන්නී යැ’යි කිවු ය. දෙවෙනි වරද ඒ මාණවක තෙම සෙවෙත් මවට, ‘පිනවතිය, මේ යම් ධනයෙක් හෝ ධාන්‍යයෙක් හෝ රිදියෙක් හෝ රනෙක් හෝ ඇද්ද, ඒ සියල්ල මගේ ය, මෙහි කිසිත් ඔබට නැත. භවතිය, පියාගෙන් මට උරුම වූ ඒ වස්තුව මට පවරව’ යි කී ය. දෙවෙනි වර ද ඒ බැමිණි ඒ මාණවකහට, ‘දරුව, මා වදන තෙක් බලව, (මා වදන දරු) ඉඳින් කුමරෙක් වී නම් ඔහුටත් එක් කොටසෙක් අයත් වන්නේය, ඉදින් කුමරියක් වී නම්, ඕ ද තට පාදපරිචාරිකා වන්නී යැ’ යි කිවු ය. තෙවනු ද ඒ මාණවක සෙවෙත් මවට ‘පින්වතිය, මේ යම් ධනයෙක් හෝ ධාන්‍යයෙක් හෝ රිදියෙක් හෝ රනෙක් හෝ ඇද්ද, ඒ සියල්ල මා සතු යැ, මෙහි කිසිත් ඔබ සතු නො වෙයි. භවතිය, පියාගෙන් මට උරුම වූ ඒ වස්තුව මට පවරව’ යි කී ය. එකල්හි ඒ බැමිණි ආයුධයක් ගෙන යහන් ගබ වැද, එතෙක් කුසැ දරුවෙක් ඇද්ද නැත හොත් දැරියක් ඇත් දැ යි දැනැගනිමැ’ යි බඩ පැළූ දෑ ය.
ඕ තොමෝ, බාල වූ අව්‍යක්ත වූ ස්ත්‍රියක් යම්සේ නොමඟින් දෑවැද්ද සොයන්නී අනයව්‍යසනයට පැමිණියාද, එසේ ම තොමෝ ද ජීවිතය ද දරුගබ ද වස්තුව ද නසාලූ දෑය. එසේ ම රාජන්‍යයෙනි, යම්සේ ඒ අනුවණ නොවියත් ස්ත්‍රී නොමඟින් දෑවැද්ද සොයන්නී අන්‍යව්‍යවසනයට පැමිණියා ද, එසේ ම අනුවණ වූ නොවියත් වූ ඔබ නොමඟින් පර ලොව සොයන්නාහු අනයව්‍යසනයට පැමිණෙන්නාහු ය. රාජන්‍යයෙනි, සිල්වත් ගුණවත් මහණබමුණෝ නොමුහු කළ (නො ගෙවුණා වූ) ආයුෂය අතරැ නො ම සිඳ ලත්. එහෙත්, ඒ නුවණැත්තෝ ආයුෂයාගේ පරිපාකය බලාපොරොත්තු වෙත්. රාජන්‍යයෙනි, සිල්වත් ගුණවත් මහණ බමුණනට ජීවිතයෙන් වැඩ ඇත් ම ය. රාජන්‍යයෙනි, යම් යම් සේ ම සිල්වත් ගුණවත් මහණ බමුණෝ බොහෝ දික් කලක් සිටිත් ද, එසේ එසේ බොහෝ පින් රැස් කෙරෙත්, බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සුව පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙව් මිනිස්නට වැඩ පිණිස ද හිත පිණිස ද, සුව පිණිස ද පිළිපදිත්. රාජන්‍යයෙනි, මේ කරුණිනුත් ඔබට ‘මෙසේත් පරලොව ඇත, උපපාදුක සත්‍වයෝ ඇත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක ඇතැ’යි මෙසේ සිතෙක් වේ වා.”
පායාසි - ‘භවත් කාශ්‍යපයන් වහන්සේ මෙසේ කියතත්, මෙ කරුණෙහි මට වැලිදු ‘මෙසේත් පර ලොව නැතැ යි, උපපාදුක සත්‍වයෝ නැතැ යි, සුකෘත දුෂ්කෘත කර්‍මයනට ඵල විපාක නැතැ’ යි ම මෙබඳු සිතෙක් වෙයි.
10. කුමර කසුප් - “රාජන්‍යයෙනි … එයට කරුණෙක් ඇත් ද?”
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්ස, … එයට කරුණෙක් ඇත.”
කුමරකසුප් - “ඒ කෙසේ වූයෙක් ද, රාජන්‍යයෙනි?”
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්ස, මෙහි මගේ පුරුෂයෝ වරද කළ සොරකු අල්ලා ගෙන, ‘ස්වාමීනි, මේ ඔබට වරද කළ සොරෙකි, මොහුට යමක් කරනු කැමැත්තාහු ද, ඒ දඬුවම පණවන්නැ’ යි දක්වත්. ඔවුනට මම, ‘භවත්නි, එසේ වී නම්, ජීවත් වන්නාවූ ම මේ පුරුෂයා සැළෙක බහා මුව වසා පියා, තෙත් සමින්, වෙළා, තෙත් මැටියෙන් ඝන ලෙස ආලේප කරවා උදුනට නඟා ගිනි දෙවු යැ යි මෙසේ කීමි. ඔහු ‘මැනැවැ’ යි මට පිළිවදන් දී ජීවත් වන්නාවූ ම ඒ පුරුෂයා සැළෙක බහා මුව වසාපියා, තෙත් සමින් වෙළා, තෙත් මැටියෙන් ඝන ලෙස ආලේප කරවා උදුනට නඟා ගිනි දුන්හ. යම්විටෙක ‘ඒ පුරුෂයා කලුරිය කෙළේ යැ යි අපි දැන ගත්තමෝ ද, එ විටැ ඒ සැළ (උදුනෙන්) බා, (පිටතැ වූ) ආලේපය බිඳ, මුව වසුන් හැරැ ‘නික්මෙන්නා වූ ඔහුගේ ජීවය දකින්නමෝ නම් ඉතා යෙහෙකැ’යි සෙමෙන් බැලූමු. අපි නික්මෙන්නා වූ ඔහුගේ ජීවය නො ම දුටුමු. භවත් කාශ්‍යපයන් වහන්ස, යම් කරුණෙකින් අපට, ‘මෙසේත් පර ලොව නැත, මෙසේ උපපාදුක සත්‍වයෝ නැත, මෙසේත් සුකෘත දුෂ්කෘත කර්‍මයනට ඵල විපාක නැතැ’ යි මෙබඳු සිතෙක් වේ ද, මේත් ඒ එක් කරුණෙක.”
කුමරකසුප් - “එසේ වී නම් රාජන්‍යයෙනි, මෙහි ලා ඔබ ම පිළිවිසින්නමු. ඔබට යම් සේ රිසියෙන් නේ ද, එසේ එය විසඳන්න. රාජන්‍යයිනි, දිවා නින්දට බටුවාවූ ඔබ සිත්කලු ආරාම ද, සිත් කලු වන ද, සිත් කලු බිම් ද සිත්කලු පොකුණු ද සිහිනෙන් දුටුවා දනිත් ද (සිහි කෙරෙත් ද)?”
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්ස, දහවල් නින්දට බටුවා වූ මම් සිත් කලු ආරාම ද සිත්කලු වන ද සිත්කලු බිම් ද සිත්කලු පොකුණු ද සිහිනෙන් දුටුවා දනිමි (සිහි කරමි)”
කුමරකසුප් - “ඒ වේලෙහි කුදු ගැහැනු ද මිටි ගැහැනු ද බාල දැරියෝ ද තරුණ දැරියෝ ද ඔබට රකවල් කෙරෙත් ද?”
පායාසි - “එසේ ය භවත් කාශ්‍යපයන් වහන්ස, එ වේලෙහි කුදු ගැහැනු ද මිටි ගැහැනු ද බාල දැරියෝ ද තුරුණු දැරියෝ ද මට රකවල් කෙරෙත්.”
කුමරකසුප් - “ඔහු (එ වේලෙහි) පිවිසෙන හෝ නික්මෙන ඔබේ ජීවය දකිද්ද?”
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්ස, මෙය නො වෙයි.”
කුමරකසුප් - “රාජන්‍යයෙනි, ඒ ස්ත්‍රීහු වූකලි තුමූ ජීවත් වන්නෝ ජීවත් වන ඔබේ පිවිසෙන හෝ නික්මෙන ජීවය නො දකිත්. කිමෙක් ද ඔබ කලුරිය කළාහුගේ පිවිසෙන හෝ නික්මෙන ජීවය දකිනු හැක්කාහු ද? රාජන්‍යයෙනි, මෙ කරුණිනුත් ‘මෙසේත් පර ලොව ඇත, උපපාදුක සත්‍වයෝ ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇතැ’ යි ඔබට මෙසේ සිතෙක් වේ වා.”
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්සේ මෙසේ කියතුදු ‘මෙසේත් පරලොව නැතැ යි, උපපාදුක සත්තු නැතැ යි, සුකෘත දුෂ්කෘත කර්‍මයනට ඵල විපාක නැතැ’ යි මට මෙහි මෙබඳු සිතෙක් වෙයි.”
11. කුමරකසුප් - “රාජන්‍යයෙනි, … එසේ කියන්නට කරුණෙක් ඇද්ද?”
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්ස, … මෙසේ කියන්නට (තව) කරුණෙක් ඇත.”
කුමරකසුප් - “ඒ කෙබඳු ද, රාජන්‍යයෙනි?”
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්ස, මෙහි මගේ පුරුෂයෝ වරද කරු සොරකු අල්ලා ගෙන ‘ස්වාමීනි, මේ ඔබට වරද කළ සොරෙකි. යමක් කැමැත්තාහු නම්, ඒ දඬුවමක් මොහුට පමුණුවන්නැ’යි දක්වත්. මම් ඔවුන් බණවා, ‘එසේ වී නම් භවත්නි, ජීවත්වන්නා වූ ම මේ පුරුෂයා තරාදියෙන් කිරා හුස්ම ගත නොහැකි සේ කොට දුනුදියෙන් ගෙල වෙළා මරා යලිදු තරාදියෙන් කිරවු’ යැ යි මෙසේ කීමි. ඔහු මට ‘මැනැවැ’ යි පිළිවදන් දී, ජීවත් වන්නාවූ ම ඒ පුරුෂයා තරාදියෙන් කිරා හුස්ම ගත නො හෙන සේ දුනුදියෙන් ගෙළ වෙළා මරා යලිදු තරාදියෙන් කිරූහ. යම් කලෙක හේ ජීවත් වී ද, එ කලැ (ඔහු සිරුර) වඩා හෑල්ලු ද වඩා මොළොක් ද වඩා කර්‍මණ්‍ය ද විය. යම් විටෙක වනාහි හේ කලුරිය කෙළේ වේ ද, එ කලැ (ඔහු සිරුර) වඩා බර ද වඩා දැඩි ද වඩා අකර්‍මණ්‍ය ද වෙයි. භවත් කාශ්‍යපයන් වහන්ස, යම් කරුණෙකින් මට ‘මෙසේත් පරලොව නැත, උපපාදුක සත්‍වයෝ නැත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’ යි මෙසේ සිතෙක් වෙයි ද, මේ ද ඒ එක් කාරණයෙකි.”
කුමරකසුප් - “රාජන්‍යයිනි, එසේ වී නම් ඔබට උපමාවක් කරන්නෙමි. උපමායෙන් ද මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ කියන ලද වචනයේ අරුත් දැනැගන්නාහ. රාජන්‍යයෙනි, යම් සේ පුරුෂයෙක් මුළු දවසෙහි ම රත් කරන ලද ගින්නෙන් ඇවිළ ගත්, ගින්නෙන් දිලියෙන, ගිනි දැල් සහිත යගුළියක් තරාදියෙන් කිරන්නේ නම්, පසු කලෙක සිසිල් වූ, නිවුණු ඒ යගුළිය තරාදියෙන් කිරන්නේ නම්, කවර දා නම් ඒ යගුළිය වඩා හෑල්ලු හෝ වඩා මොළොක් හෝ වඩා කර්‍මණ්‍ය හෝ වෙයි ද? යම් විටෙක ගින්නෙන් ඇවිල ගත්තේ ගින්නෙන් දිලිසුණේ ගිනිදැල් සහිත වූයේ වී නම් එ විට ද නැත හොත් යම් විටෙක එය සිසිල් වූයේ නිවුණේ වී නම් එ විට ද?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, යම් විටෙක ඒ යගුළිය ගිනි සහිතත් වේ ද වායු සහිතත් වේ ද, ගිනි ගත්තේ, ගින්නෙන් ඇවිළුණේ, ගිනිදැල් සහිත වේ ද, එ විටැ එය වඩා හෑල්ලු ද වඩා මොළොක් ද වඩා කර්‍මණ්‍ය ද වෙයි. යම් විටෙක වනාහි ඒ යගුළිය නො ම ගිනි සහිත වේ ද නො ම වායු සහිත වේ ද සිසිල් වේ ද නිවියේ වේ ද එවිට වඩා බර ද වඩා තද ද වඩා අකර්‍මණ්‍ය ද වෙයි.”
කුමරකසුප් - “රාජන්‍යයෙනි, එසේ ම යම් කලෙක වනාහි මේ සිරුර ආයුෂ සහිතත් වේ ද, උණුසුම් සහිතත් වේ ද, විඥාන සහිතත් වේ ද, එ කලැ වඩා හෑල්ලු ද වඩා මොළොක් ද වඩා කර්‍මණ්‍ය ද වෙයි. යම් කලෙක වනාහි මෙ සිරුර නො ම ආයුසහිත වේ ද, නො ම උණුසුම් සහිත වේ ද, නො ම විඥාන සහිත වේ ද, එ කලැ වඩා බර ද වඩා තෙද ද වඩා අකර්‍මණ්‍ය ද වෙයි. රාජන්‍යයෙනි, මෙ කරුණෙනුත් ඔබට ‘මෙසේත් පර ලොව ඇත, මෙසේත් උපපාදුක සත්හු ඇත, මෙසේත් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇතැ’ යි මෙබඳු සිතෙක් වේ වා.”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්සේ එසේ කියතත්, වැලිදු මට ‘මෙසේත් පරලොව නැත, මෙසේත් උපපාදුක සත්හු නැත, මෙසේත් කුශලාකුශල කර්‍මයනට ඵල විපාක නැතැ’යි මෙහි මෙබඳු සිතෙක් වෙයි.”
12. කුමර කසුප් - “රාජන්‍යයෙනි, … එසේ සිතන්නට කරුණෙක් ඇද්ද?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, … එසේ සිතන්නට කරුණෙක් ඇත.”
කුමර කසුප් - “ඒ කෙසේ වූයෙක් ද? රාජන්‍යයෙනි?”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්ස, මෙහි මගේ සේවක පුරුෂයෝ, ‘ස්වාමීනි, මේ ඔබට වරද කළ සොරෙකි. මොහුට ඔබට රිසියෙන දඬුවමක් පණවන්නැ’යි කියා වරද කළ සොරකු අල්ලා ගෙනවුත් මට දක්වත්. මම් ඔවුනට, ‘එසේ වී නම් භවත්නි, මේ මිනිසා (මොහුගේ) සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද ඇට මිඳුලු ද නො නසා දිවියෙන් තොර කරවු’ යැ යි කියමි. ඔහු මට ‘මැනැවැ’ යි පිළිවදන් දී, සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද ඇට මිඳුලු ද නො නසා ඒ මිනිසා දිවියෙන් තොර කරති. යම් විටෙක ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වන්නට පටන්ගත්තේ වේ ද, එ විටැ මම් ඔවුන් බණවා, ‘භවත්නි, එසේ වී නම්, මොහුගේ නික්මෙන ජීවය දකුමෝ නම් යෙහෙකි. එහෙයින් මොහු උඩුකුරු කොට හොවවු’ යි කියමි. ඔහු ඒ මිනිසා උඩුකුරු කොට හොවත්. අපි ඔහුගේ නික්මෙන ජීවය නො දකුම්හ. ඔවුනට මම් එසේ වී නම් භවත්නි, මේ මිනිසාගේ නික්මෙන ජීවය දකුමෝ නම් යෙහෙක, එහෙයින් මේ මිනිසා යැටි කුරු කොට හොවවු ... ඇලයෙන් හොවවු … දෙවෙනි ඇලයෙන් හොවවු … උඩු අතට තබවු … යැටි අතට තබවු … අතින් තළවු … ගලින් තළවු … දංඩෙන් තළවු … අවියෙන් ගසවු ... මෙහාට පෙරළවු … එහාට පෙරළවු … එහාටත් මෙහාටත් පෙරළවු’ යැ යි මෙසේ කියමි. ඔහු ඒ මිනිසා යැටිකුරු කොට තබත් … ඇලයෙන් හොවත් … දෙවෙනි ඇලයෙන් හොවත් … උඩු අතට තබත් … යැටි අතට තබත් … අතින් තළත් … ගලින් තළත් … දංඩෙන් තළත් … අවියෙන් ගසත් … මෙහාට පෙරළත් … එහාට පෙරළත් … එහාටත් මෙහාටත් පෙරළත්. එහෙත් අපි ඔහුගේ නික්මෙන ජීවය නො දකිමු. ඔහුගේ ඒ ඇස ම වේ. ඒ රූපයෝ ම වෙත්. එහෙත් ඇස ඒ රූපායතනය පහළ නො කෙරෙයි. ඔහුගේ ඒ කන ම වේ. ඒ ශබ්දයෝ ම වෙත්. එහෙත් කන ඒ ශබ්දායතනය පහළ නො කෙරෙයි. ඒ නාසාව ම වේ. ඒ ගන්‍ධයෝ ම වෙත්. එහෙත් නාසාව ඒ ගන්‍ධායතනය පහළ නො කෙරෙයි. ඒ දිව ම වේවි. ඒ රසයෝ ම වෙත්. එහෙත් දිව ඒ රසායතනය පහළ නො කෙරෙයි. ඒ කය ම වේ. ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ ම වෙත්. එහෙත් එය ඒ ස්ප්‍රෂ්ටව්‍යාතනය පහළ නො කෙරෙයි. භවත් කාශ්‍යපයන් වහන්ස, යම් කරුණෙකින් ‘මෙසේත් පර ලොව නැත, මෙසේත් උපපාදුක සත්‍වයෝ නැත, මෙසේත් කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’ යි මට මෙබඳු සිතෙක් වේ නම්, මේ ඒ කරුණ ය.”
කුමරකසුප් - “එසේ වී නම් රාජන්‍යයෙනි, ඔබට උපමාවක් කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමායෙන් කියන ලද වචනයේ අරුත් දැනගනිත්. පෙර වූවක් කියම්. රාජන්‍යයෙනි, එක්තරා සක් පිඹින්නෙක් සකක් ගෙන පසල් දනව්වකට ගියේ ය. හේ එක්තරා ගමක් කරා එළැඹියේ ය. එළැඹ ගම මැදැ සිටියේ, සක තුන් වරක් හඬවා සක බිමැ තබා එක් පසෙක හුන්නේ ය. රාජන්‍යයෙනි, එ කලැ ‘පින්වත්නි, මෙසේ ඇලුම් කටයුතු, මෙසේ සිත්කලු, මෙසේ අසන්නන් මත් කරන, මෙසේ සිත් බඳනට කරුණු වූ, මෙසේ අසන්නන් මුසපත් කරන මේ හඬ කවරක් හු ගේ දැ?’ යි ඒ පසල් දනවුවැසි මිනිස්නට මේ සිත විය. ඔහු රැස් වැ ඒ සක් පිඹින්නාහු බණවා, ‘හෙම්බා පුරුෂය, මෙසේ ඇලුම් කටයුතු, මෙසේ සිත්කලු, මෙසේ අසන්නන් මත් කරන, මෙසේ සිත් බඳනට කරුණු වු මෙසේ අසන්නන් මුසපත් කරණ මේ හඞ කවරක්හු ගේ දැ?’ විචාළාහ. ‘භවත්නි, යමක්හුගේ මෙසේ ඇලුම් කටයුතු, මෙසේ සිත්කලු, මෙසේ අසන්නන් මත් කරන, මෙසේ සිත් බඳනට කරුණු වු, මෙසේ අසන්නන් මුසපත් කරණ මේ හඞ යමක් හු ගේ ද එය මේ සක නමැ’ යි සක්පිඹින්නා කී ය. ඔහු ‘පින්වත්, සක හඬ නඟව, පින්වත් සක හඬ නඟව’ යි ඒ සක උඩුකුරු කොට හෙවූහ. සක හඞ නොම පැවැත් විය … ඔහු ඒ සක යටිකුරු කොට හෙවූහ ... පසෙකින් හෙවූහ … දෙවෙනි පසෙන් හෙවූ හ … මුදුන උඩට සිටිනා සේ තැබූහ … මුදුන යටට සිටුනා සේ තැබූහ … අත්ලෙන් තැළූහ … ගලින් තැළූහ … දංඩෙන් තැළූහ ... අවියෙන් ගැසූ හ … මෑතට පෙරළූහ … ඈතට පෙරළූහ. ‘පින්වත් සක, හඬ නඟව, පින්වත් සක හඬ නගව’ යි කියා ඈත මෑත පෙරැළූහ. (එහෙත්) සක හඬ නො ම පැවැත්වී ය. රාජන්‍යයෙනි, එ විට ඒ සක් පිඹින්නහුට ‘මේ පසල් දනවුවැසි මිනිස්සු කොතරම් අඥාන ද! මොහු කෙසේ නම් නො මඟින් සක් හඬ සොයන්නාහු දැ?”යි මේ සිත විය. හේ ඔවුන් බලා සිටියැ දී ම සක ගෙන තුන් වරක් සක හඬවා (සක පිඹ) එය රැගෙන නික්මැ ගියේ ය. රාජන්‍යයෙනි, ඉක්බිති ඒ පසල් දනවුවැසි මිනිස්නට, ‘භවත්නි, යම් විටෙක මේ සක මිනිසකු හා එක් වැ පැවැත්තේ ද, මිනිසාගේ උත්සාහය හා එක් වැ පැවැත්තේ ද, වායුව හා එක් වැ පැවැත්තේ ද, එකල මේ සක හඬ කෙරෙයි. යම් විටෙක වූ කලී මේ සක මිනිසකු හා එක් වැ නො පැවැත්තේ ද, මිනිසාගේ උත්සාහය හා එක් වැ නො පැවැත්තේ ද, වායුව හා එක් වැ නො පැවැත්තේ ද, එ විට හඬ නො කෙරේ යැ’ යි මේ සිත විය.
රාජන්‍යයෙනි, එ පරිදේදෙන් ම, යම් කලෙක මේ සිරුර ආයුෂ (ජීවිතේන්‍ද්‍රිය) සහිත වේ ද, උණුසුම සහිත වේ ද, විඥාන සහිත වේ ද එ කලැ ඉදිරියට ද යෙයි, පෙරළා ද යෙයි, සිටුනේ ද වෙයි, හිඳුනේ ද වෙයි, ශයනය ද කෙරෙයි, ඇසින් රූප දක්නේ ද වෙයි, කනින් හඬ අසනුයේ ද වෙයි, නැහැයෙන් ගඳ අහනුයේ ද වෙයි, දිවෙන් රස විඳිනුයේ ද වෙයි, කයින් හැපෙන දෑ පහස්නේ ද වෙයි, මනසින් දහම් දන්නේ ද වෙයි. යම් කලෙක වූ කලී මෙ සිරුර නො ම ආයුෂ සහිත වේ ද, නො ම උණුසුම් සහිත වේ ද, නො ම විඥාන සහිත වේ ද, එ කලැ නො ම ඉදිරියට යෙයි, නො ම පෙරළා යෙයි, නො ම සිටියි, නො ම හිඳියි, නො ම ශයනය කෙරෙයි, ඇසින් රූප නො ම දක්නේ ද වෙයි, කනින් හඬ නො ම අසනුයේ ද වෙයි, නැහැයෙන් ගඳ නො ම අහනුයේ ද වෙයි, දිවෙන් රස නො ම විඳිනුයේ ද වෙයි, කයින් හැපෙන දෑ නො ම පහස්නේ ද වෙයි, මනසින් දහම් නො ම දන්නේ ද වෙයි. රාජන්‍යයෙනි, මෙ කරුණිනුදු ඔබට ‘මෙසේත් පරලොව ඇත, මෙසේත් උපපාදුක සත්හු ඇත, මෙසේත් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇතැ’යි මෙබඳු සිතෙක් වේ වා.”
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්සේ මෙසේ වදාරතු දු, වැලිත් ‘මෙසේත් පර ලොව නැත, මෙසේත් උපපාදුක සත්හු නැත, කුශලාකුශල කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’යි මෙ කරුණෙහි මට මෙසේ සිතෙක් වේ.”
13. කුමරකසුප් - “රාජන්‍යයෙනි, … එයට කරුණෙක් ඇද්ද?”
පායාසි - “ඇත, භවත් කාශ්‍යපයන් වහන්ස.”
කුමරකසුප් - “ඒ කෙබඳු එකෙක් ද?”
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්ස, මෙහි මගේ සේවක පුරුෂයෝ වරද කළ සොරක්හු අල්ලා ගෙනවුත්, ‘ස්වාමීනි, මේ ඔබට වරද කළ සොරෙක. ඔබට රිසියෙන් දඬුවමක් මොහුට පණවන්නැ’යි කියා දක්වත්. මම් ඔවුනට, ‘එසේ වී නම්, භවත්නි, මේ මිනිසාගේ සිවිය සිඳලා මොහුගේ ජීවය දැක්කැ හෙන්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ කියමි. ඔහු ඒ මිනිසාගේ සිවිය සිඳිත්. එහෙත් ඔහුගේ ජීවය අපි නො දකුම්හ. එ විට ඔවුනට ‘එසේ වී නම්, භවත්නි, මේ මිනිසාගේ සම සිඳ ලවු … මස සිඳ ලවු … නහර සිඳ ලවු … ඇට සිඳ ලවු ... ඇට මිඳුලු සිඳ ලවු. මේ මිනිසාගේ ජීවය දැක්ක හෙන්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ කියමි. ඔහු ඒ මිනිසාගේ සම සිඳැ ලත් … ඇට මිඳුලු සිඳැ ලත්, එහෙත් අපි ඔහුගේ ජීවය නො දකුම්හ. භවත් කාශ්‍යපයන් වහන්ස, යම් කරුණෙකින් මට ‘මෙසේත් පර ලොව නැත, මෙසේත් උපපාදුක සත්‍වයෝ නැත, මෙසේත් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’ යි මෙබඳු සිතෙක් වේ ද, මේ ද ඒ එක් කරුණෙකි.”
කුමරකසුප් - “රාජන්‍යයෙනි, එසේ වී නම් ඔබට උපමාවක් කරන්නෙමි. උපමායෙනුත් මෙහි ඇතැම් නුවණැති පුරුෂ කෙනෙක් කියන ලද වචනයේ අරුත් දැනගනිත්. රාජන්‍යයෙනි, පෙරැ වූවක් කියම්. එක්තරා ගිනි පුදන ජටිලයෙක් වෙනෙහි කොළ සෙවිලි කළ පැලෙක වෙසෙයි. රාජන්‍යයෙනි, එ කලැ දනව්වෙක එක්තරා වෙළෙඳ මුළුවෙක් නැඟී සිටියේ ය. (ගමන් ඇරැඹියේ ය). ඉක්බිති ඒ වෙළෙඳමුළුව ගිනි පුදන ජටිලයාගේ අසපුව සමීපයෙහි එක් රැයක් වැස නික්මැ ගියේ ය. එ කලැ ඒ ගිනිපුදන ජටිලයාට ‘ඒ වෙළෙඳ මුළුව වුසූ තැනට ගියෙම් නම් යෙහෙක. එහි දී කිසි උපකරණයක් ලදුයෙම් වීම් නම් යෙහෙකැ’යි මේ සිත වී ය. ඉක්බිති ඒ ගිනි පුදන ජටිලයා කලින් ම නැඟී සිට, ඒ වෙළෙඳ මුළුව රැඳී සිටි තැනට එළැඹියේ ය. එළැඹ, ඒ වෙළෙඳ මුළුව වුසූ තැන හැර දමා පියන ලද උඩුකුරු වැ හෝනා ඉතා කුඩා ළදරුවකු දිටීය. දැකීමෙන් ඔහුට ‘මා දැක්ක දී මිනිස් වූයෙක් කලුරිය කරන්නේ ය යන යමෙක් ඇද්ද, එය මට නො සුදුසු ය. මේ දරුවා අසපුවට ගෙන ගොස් ඇති දැඩි කෙළෙම් නම් පෝෂිත කෙළෙම් නම්, වඩා ගන්නෙම් නම් ඉතා යෙහෙකැ’ යි මේ සිත විය. ඉක්බිති ඒ ගිනි පුදන ජටිල තෙම ඒ දරුවා අසපුවට ගෙන ගොස් ඇති දැඩි කෙළේ ය, පෝෂිත කෙළේ ය, වඩා ගත්තේ ය. යම් කලෙක ඒ දරු දස වස් හෝ දොළොස් වස් ඇත්තේ වී ද, එ කලැ ඒ ගිනි පුදන ජටිලයාට දනව්වෙහි කිසියම් කටයුත්තක් උපන. එ කලැ හේ ගිනි පුදන ජටිල තෙම ඒ දරු බණවා, ‘දරුව, දනව්වට යන්නට කැමැත්තෙමි. දරුව, ගින්න පුදව, තාගේ ගින්න නො නිවේ වා, ඉදින් තගේ ගින්න නිවී ගියේ නම් - මේ වෑය මය, මේ දර ය, මේ ගිනි ගානා දඬු දෙක ය. (මෙයින්) ගිනි උපදවා ගිනි පුදව’ යි මෙ වචන කී ය. ඉක්බිති ඒ ගිනි පුදන ජටිල තෙම ඒ දරුවාට මෙසේ අනුශාසනා කොට දනව්වට ගියේ ය. ක්‍රීඩායෙහි යෙදුණු ඔහුගේ ගින්න නිවී ගියේ ය. එ විට ඒ දරුවා ට මා පියා මට ‘දරුව ගින්න පුදව, තගේ ගින්න නො නිවේ වා. ඉදින් තගේ ගින්න නිවී ගියේ නම්, මේ වෑය ය, මේ දර ය, මේ ගිනි ගානා දඬු දෙක ය (මෙයින්) ගිනි උපදවා ගිනි පුදව’ යි කීයේ ය. මම් ගිනි උපදවා, ගිනි පිදීම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. ඉක්බිති ඒ දරු තෙම ගිනි ලදිම් නම් යෙහෙකැ’ යි සිතා , ගිනි ගානා දඬු දෙක වෑයෙන සැස්සේ ය. (එහෙත්) හේ ගිනි නො ම ලැබී ය. ගිනි ගානා දඬු දෙක දෙකට පැළී ය … තුනට පැළී ය … සතරට පැළී ය … පසට පැළී ය … දහයට පැළී ය … සියයට පැළී ය … කැබැලි කැබැලි කෙළේ ය … කැබැලි කැබැලි කොට වනෙහි කෙටී ය … වනෙහි කොටා, ‘ගිනි ලදිම් නම් යෙහෙකැ’ යි සිතා, මහ සුළඟෙහි පිඹ හළේ ය. (එහෙත්) හේ ගිනි නො ම ලැබී ය.
එ කලැ ඒ ගිනි පුදන ජටිල තෙම දනව්වෙහි ඒ කටයුත්ත නිමවා සිය අසපුවට පැමිණියේ ය. පැමිණ ඒ දරුවා ට ‘කිමෙක් ද දරුව, තගේ ගිනි නො නිවීයේ දැ?’ යි කී ය. ‘පියාණෙනි, මෙහි ක්‍රීඩායෙහි යෙදුණු මාගේ ගිනි නිවී ගියේ ය. ඒ මට ‘දරුව, ගිනි පුදව, තගේ ගින්න නො නිවේ ව, ඉදින් තගේ ගින්න නිවී ගියේ වී නම්, ‘මේ වෑය ය, මේ දර ය, මේ ගිනි ගානා දඬු දෙක ය (මෙයින්) ගිනි නිපදවා ගිනි පුදව’ යි මා පියා මට කී ය. (එ බැවින්) මම් ගිනි නිපදවා ගිනි පිදීම් නම් යෙහෙකැ’ යි මට මේ සිත විය. පියාණෙනි, ඉක්බිති මම් ගිනි ලදිම් නම් යෙහෙකැ යි සිතා ගිනි ගානා දඬු දෙක වෑයෙන් සෑස්සෙමි. (එහෙත්) මම් ගිනි නො ලදිමි. ගිනි ගානා දඬු දෙක දෙකට පැළීමි … තුනට පැළීමි … සතරට පැළීමි … පසට පැළීමි … දසයට පැළීමි … සියයට පැළීමි … කැබැලි කැබැලි කෙළෙමි … කැබැලි කැබැලි කොට වනෙහි ලා කෙටීමි … වනෙහි ලා කොටා, ගිනි ලදිම් නම් මැනැවැ යි සිතා මහ සුළඟෙහි පිඹ හළෙමි. එහෙත් මම් ගිනි නො ලදිමි’ යි මෙ පවත් කී ය. ‘මේ දරු තෙම කොතරම් අනුවණ ද! කොතරම් අවියත් ද!! කෙසේ නම් නොමඟින් ගිනි සෙවී දැ!!!’ යි එ ගිනිපුදන ජටිලයාට මේ සිත විය. හේ ඔහු බලා සිටියැ දී ගිනිගානා දඬු දෙකක් ගෙන ගිනි නිපදවා, ‘දරුව, මෙසේ ම ගිනි ඉපැදැවියැ යුතු ය. අනුවණ වූ නොවියත් තෝ යම්සේ නොමඟින් ගිනි සෙවුයෙහි ද එසේ ගිනි ඉපිදැවියැ නො හැක්කැ’යි කී ය.
රාජන්‍යයෙනි, අනුවණ වූ නොවියත් වූ ඔබ නො මඟින් පර ලොව සොයන්නාහ. රාජන්‍යයෙනි, තෙල ලාමක දෘෂ්ටිය බැහැර කරන්න. එය ඔබට දික් කලක් අවැඩ පිණිස දුක පිණිස නො වේ වා.”
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්සේ මෙසේ වදාරතත්, වැලි මේ ලාමක දෘෂ්ටිය බැහැර කරන්නට මම් නො හැක්කෙමි. පායාසී රාජන්‍ය, ‘මෙසේත් පර ලොව නැත, උපපාදුක සත්‍වයෝ නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැතැ’ යි පායාසී රාජන්‍ය තෙම මෙබඳු වාද ඇත්තෙක, මෙබඳු දෘෂ්ටි ඇත්තෙකැ’ යි පසේනදී කොසොල් රජ ද මා දනී, පිටත දනවුහි රජුහු ද දනිත්. භවත් කාශ්‍යපයන් වහන්ස, ඉදින් මම් මේ ලාමක වූ දෘෂ්ටිය බැහැර කෙළෙම් වීම් නම් ‘මේ පායාසී රාජන්‍ය තෙම ඉතා බාලයෙක, ඉතා නොවියත් ය. කරුණු වරදවා ගන්නා සුල්ලෙකැ’ යි මට කියන්නෝ වන්නාහ. (එ බැවින්) ඔවුන් කෙරෙහි කෝපයෙනුත් මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි, ඔබ කී මනා කරුණු මකන ස්වභාවයෙන් යුක්තව ද ඒ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි, යුගග්‍රාහයෙන් ද ඔවුනට (එකට එක කිරීමක් වශයෙන් ද) මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි.”
14. කුමරකසුප් - “එසේ වී නම් රාජන්‍යයෙනි, ඔබට උපමාවක් කරන්නෙමි. උපමායෙනුත් මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ කියන ලද වචනයේ අරුත් දැන ගන්නාහ. පෙරැ වූවක් කියම්. රාජන්‍යයෙනි, ගැල් දහසක් වූ මහ ගැල් මුළුවෙක් පෙර දිගැ දනව්වෙන් නික්මැ පැසිම් දිගැ දනව්වකට ගියේ ය. එය යම් යම් මඟෙකින් යෙයි ද, ඒ ඒ මඟ තණ දර දිය ද යටත් පිරිසෙයින් නිල් තණ කොළ ද ඉතිරි නො වැ අවසන් වෙයි. ඒ ගැල් මුළුයෙහි එකෙක් ගැල් පන්සියයකට ද තවෙකෙක් ගැල් පනිසියයකට දැ යි සාත්තු නායකයෝ දෙදෙනෙක් වූහ. එ කලැ ඒ සාත්තුනායකයනට ‘ගැල් දහසක් වූ මෙය මහ ගැල් මුළුවෙකි. ඒ අප යන යන මඟැ තණ දර දිය නිල් කොළ යන මේ සියල්ල වහා ම නො ඉතිරි වැ නිමාවට යෙයි. එක් කොටසකට ගැල් පන්සියයක් ද ඉතිරි කොටසටත් ගැල් පන්සියයක් දැ යි මේ ගැල්මුළුව දෙ කොටසට බෙදා ගන්නමෝ නම් ඉතා යෙහෙකි’ යි මේ සිත විය. ඔහු ඒ ගැල් මුළුව එක් කොටසකට ගැල් පන්සියය පන්සියය කොට දෙකට බෙදූහ. (ඔවුන් ගෙන්) පළමු කොට එක් ගැල් නාවෙක් බොහෝ තණ ද දර ද දිය ද (ගැල්හි) නංවා ගෙන ගැල් මුළුව පැදැවී ය. දෙතුන් දිනක් ගියා වූ ඒ ගැල්මුළුව ලේ පැහැ ඇස් ඇති බැඳගත් හියවුරු ඇති ගෙලැ පලන් හෙළ ඇඹුල මල්දම් ඇති, තෙත් වස්ත්‍ර ඇති, තෙත් කෙහෙ ඇති, මඩ වැකි සකින් යුත් සොඳුරු රියෙකින් ඉදිරියට එන කළු වන් මිනිසකු දිටී යැ. දැක ‘භවත, කොයින් එයි දැ?’යි විචාළේ ය. ‘අසෝ දනව්වෙන් එමි’ යි හේ කිව. ‘කොහි යන්නෙහි දැ?’යි අනෙකා ඇසී ය. ‘අසෝ නම් දනව්වට යෙමි’ යි පළමු තැනැත්තේ කී ය. ‘කිම භවත, ඉදිරි කතරෙහි මහ වැසි වට දැ?’ යි අනෙකා ඇසී ය. ‘එසේ ය. භවත, ඉදිරියේ කතරෙහි මහවැසි වට. මංහු ද කඳුරැලි ද දියෙන් පිරී ඇත. තණ ද දිය ද බොහෝ ඇත. භවත, පරණ වූ තණ දර දිය ඉවත ලව. ලුහු බර ඇති ගැලින් යුතු වැ වහ වහා යව. ගොනුන් නො වෙහෙස ව’ යි පළමු තැනැත්තා කීය. එ විට ඒ ගැල් නා තෙම ගැල්පදුවන් බණවා, ‘භවත්නි, ඉදිරි කතරෙහි මහවැසි වටැ’ යි, ‘මංහු ද කඳුරැලි ද දියෙන් තෙත් වැ ඇතැ’ යි, ‘තණ දර දිය ද බොහෝ යැ’ යි, ‘භවත්නි, පරණ තණ දර දිය ඉවත ලවු යැ’ යි, ‘ලුහු බර ඇති ගැලින් යුතු ව වහ වහා යන්නැ’ යි, ‘ගොනුන් නො වෙහෙසන්නැ’ යි මේ මිනිසා කියයි. ‘භවත්නි, පරණ තණ දර දිය ඉවත දමවු. ලුහු බර ඇති ගැලින් යුතු ව වහ වහා ගැල් මුළුව පදවවු යැ’ යි කී ය. ‘එසේ ය, පින්වතැ’ යි ඒ ගැල් පදුවෝ ඒ ගැල්නාවාට පිළිවදන් දී, පරණ තණ දර දිය ඉවත ලා, ලුහු බර ගැල් වලින් යුතු වැ ගැල්මුළුව පැදැවූහ. ඔහු පළමු ගැල් නවාතැනෙහි ද තණ හෝ දර හෝ දිය හෝ නො දුටුහ. දෙවෙනි ගැල් නවාතනෙහි ද … තෙවෙනි ගැල් නවාතනෙහි ද … සතර වන ගැල් නවාතනෙහි ද … පස් වන ගැල් නවාතනෙහි ද … සවන ගැල් නවාතනෙහි ද … සත්වන ගැල් නවාතනෙහි ද තණ හෝ දර හෝ දිය හෝ නො දුටුහ. සියල්ලෝ ම විනාශයට පැමිණියාහ. ඒ ගැල්මුළුයෙහි යම් මිනිස් කෙනෙක් හෝ සිවුපා කෙනෙක් හෝ වූහු ද ඒ සියල්ලන් ඒ නොමිනිස් යක් තෙම කෑයේ ය. ඇට පමණක් ඉතිරි කෙළේ ය.
දෙවෙනි, ගැල් නා තෙම, ‘භවත්නි. ඒ ගැල් මුළුව නික්ම ගොස් බොහෝ කල් ගියේ වේ යැ’ යි යම් විටෙක දැන ගත්තේ ද, එ විටැ බොහෝ තණ ද දර ද දිය ද පටවා ගැල් මුළුව පිටත් කරැවී ය. ඒ ගැල්මුළුව දෙතුන් දිනක් ගියේ ම ලේ පැහැ ඇස් ඇති, බැඳ ගත් හියවුරු ඇති (ගෙලැදැරු) හෙළැඹුල් මල්දමක් ඇති, තෙත් වස්ත්‍ර ඇති, තෙත් කෙහෙ ඇති, මඩ වැකුණු සකින් යුත් සොඳුරු රියෙකින් ඉදිරියට එන කළු පැහැ පුරුෂයකු දිටී ය. දැක ‘භවත කොයිබින් එයි දැ?’ යි විචාළේ ය. ‘අසෝ දනව්වෙනැ’ යි හේ කිව. ‘කොහි යෙහි දැ?’ යි අනෙකා පුළුවුත. ‘අසෝ නම් දනව්වට’ යි පළමු තැනැත්තා පිළිවදන් දුන. ‘භවත, කිමෙක් ද? ඉදිරියෙහි කතරෙහි මහවැසි වට දැ?’ යි අනෙකා පුළුවුත. ‘එසේ ය, භවත. ඉදිරියේ කතරෙහි මහවැසි වට, මංහු කඳුරැලි ද දියෙන් පිරී ගියාහ. බොහෝ තණ ද දර ද දිය ද (එහි) ඇත. භවත, පරණ තණ දර දිය ඉවත දමා පියවු. ලුහු බර ගැලින් වහ වහා යවු. ගොනුන් නො වෙහෙසවු’ යැ යි පළමු තැනැත්තා කී ය. එ විට ඒ ගැල්නා තෙම ගැල් පදුවන් බණවා, ‘භවත්නි, මේ පුරුෂයා ‘ඉදිරියෙහි කතරෙහි මහ වැසි වැස ඇත. මංහු ද කඳුරැලි ද දියෙන් පිරී ඇත. බොහෝ තණ ද දර ද දිය ද ඇත. භවත්නි, පරණ තණ දර දිය ඉවත දමා පියවු. ලුහු බර ඇති ගැලින් වහ වහා යවු. ගොනුන් නො වෙහෙසවු’ යැ යි කියයි. භවත්නි, මේ පුරුෂයා අපගේ මිතුරෙක් නො වේ, සහලේ නෑයෙකුත් නො වේ. කෙසේ අපි මොහුගේ බස හදහා යන්නමු ද? පරණ තණ දර දිය ද නො ම ඉවත දැමියැ යුතු. ගෙනෙන ලද හැම බඩුයෙන් ම යුතු ව ගැල් මුළුව පදවවු. අපගේ පරණ බඩු නො ම ඉවත ලන්නමු’ යි කී ය. ‘භවත්නි, එසේ යැ’ යි කියා ම ඒ ගැල් පදුවෝ ඒ ගැල් නාවාට පිළිවදන් දී, ගෙනා බඩුයෙන් යුතු ව ගැල්මුළුවැ පැදැවූහ. ඔහු පළමු ගැල් නවාතනෙහි ද තණ හෝ දර හෝ දිය හෝ නො දුටුවාහ. දෙවෙනි ගැල් නවාතනෙහි ද තෙවෙනි ගැල් නවාතනෙහි ද සතර වන ගැල් නවාතනෙහි ද පස්වන ගැල් නවාතනෙහි ද සවන ගැල් නවාතනෙහි ද සත්වන ගැල් නවාතනෙහි ද තණ හෝ දර හෝ දිය හෝ නො දුටුවාහ. එහෙත් විනාශයට පැමිණි ඒ පළමු ගැල්මුළුව දුටුවාහ. ඒ ගැල් මුළුවෙහිත් යම් මිනිස් කෙනෙක් හෝ සිවුපා කෙනෙක් හෝ වූහු ද ඒ නොමිනිස් යකුහු විසින් කන ලද ඔවුන්ගේ ඇට පමණක් දුටුවාහ. ඉක්බිති ඒ ගැල් නා තෙම ගැල්පදුවන් බණවා, ‘භවත්නි, ඒ අනුවණ අධිපති ගැල්නාවා කරණ කොට ගෙන එය වියැ යුතු ද, එසේ මේ ගැල් මුළුව විනාශයට පැමිණියේ ය. භවත්නි, එසේ වී නම්, අප ගැල් මුළුයෙහි යම් අගයෙන් අඩු වූ වෙළෙඳ බඩු ඇද්ද, ඒවා ඉවත දමා පියා, වේ වැනැසුණු ගැල්මුළුයෙහි මහත් අගය ඇති යම් වෙළෙඳ බඩු ඇත් නම් ඒවා ගනිවු’ යැ යි කී ය. ‘එසේ ය, පින්වතැ’ යි කියා ම ඒ ගැල්පදුවෝ ඒ ගැල්නාවාට පිළිවදන් දී, සිය ගැල් මුළුයෙහි මද අගය ඇති යම් වෙළෙඳ බඩු ඇද්ද, ඒවා ඉවත දමා පියා ඒ වැනැසුණු ගැල් මුළුයෙහි යම මහඟු බඩු ඇද්ද, ඒවා ගෙන, නුවණැති අධිපති ගැල්නාවකු කරණ කොට ගෙන එය යම් සේ වියැ යුතු ද, එසේ සුව සේ ඒ කතර තිණූහ (තරණය කළාහ).
රාජන්‍යයෙනි, එසේ ම අනුවණ වූ නොවියත් වූ ඔබ, ඒ පළමු ගැල්නාවා පරිද්දෙන් නො නුවණින් (නොමඟින්) පර ලොව සොයනුවෝ විනාශයට පැමිණෙන්නාහු ය. යම් කෙනෙකුන් ඔබ බස ඇසියැ යුතු කොට, හැදැහියැ යුතු කොට සිතන්නාහු ද ඔහුත් (යට කී අනුවණ ගැල්නාවා අනුව ගිය) ගැල් පදුවන් මෙන් විනාශයට පැමිණෙන්නාහ. රාජන්‍යයෙනි, මේ ලාමක දෘෂ්ටිය දුරැලන්න, මේ ලාමක දෘෂ්ටිය බැහැර කරන්න. මෙය ඔබට දිගු කලක් ඇවැඩ පිණිස දුක් පිණිස නො පවතී වා”.
පායාසි - “භවත් කාශ්‍යපයන් වහන්සේ මෙසේ කියතුදු වැලිත් මේ ලාමක දෘෂ්ටිය දුරැ ලන්නට නො හැක්කෙමි. ‘පායාසී රාජාන්‍ය මෙසේත් පරලොව නැතැ යි, උපපාදුක සත්තු නැතැ යි, කුශලාකුශල කර්‍මයනට ඵල විපාක නැතැ’ යි මෙබඳු වාද ඇත්තේ යැ යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ යැ යි, පසේනදී කොසොල් රජ ද දනී, මෙයින් පිටත රටවලැ රජහුද දනිති. භවත් කාශ්‍යපයන් වහන්ස, ඉදින් මම මේ ලාමක දෘෂ්ටිය දුරැලීම් නම්, පායාසී රාජන්‍ය තෙම කොතරම් මහත් අනුවණයෙක් ද! කොතරම් මහත් නොවියතෙක් ද!! කොතරම් මහත් සේ කරුණු වරදවා ගත්තෙක්දැ !!! යි මට කියන්නෝ වන්නාහ. එබැවින් ඔවුන් කෙරේ කෝපයෙනුදු මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි, ඔවුන් කී දෑ මකන ස්වභාවයෙනුත් ඒ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි, ඔවුනට යුගග්‍රාහ වශයෙනුත් (එකට එක කරනු විසිනුත්) මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි.”
15. කුමරකසුප් - “එසේ වී නම් රාජන්‍යයෙනි, ඔබට උපමාවක් කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති මිනිස්සු උපමායෙනුත් කියන ලද වචනයේ අරුත් දැනගන්නාහ. රාජන්‍යයෙනි, පෙර දවසැ හූරන් රක්නා එක්තරා පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට ගියේ ය. හේ එහි (කිසි තැනක) දමා පියන ලද වියැළී ගිය බොහෝ අසූචි දිටී ය. දැකීමෙන් ඔහුට ‘මේ වනාහි දමාපියන ලද වියැළුණු බොහෝ අසූචි ය. මගේ හූරනට අහරෙක. මම මෙයින් වියැළි අසූචි ගෙන ගියෙම් නම් ඉතා යෙහෙකැ’ යි මේ සිත විය. හේ උතුරු සළුව එළා බොහෝ වියැළි අසූචි ගොඩගසා පොදියක් කොට බැඳ හිසින් උසුලා ගෙන ගියේ ය. ඔහු යන අතර මඟැදී මහ නොකල් වැස්සෙක් වැටිණි. හේ පයැ නිය අග තෙක් ම අසූචියෙන් වැකුණේ, උඩින් වැගිරෙන, පහනින් පෙරෙන අසූචි බර රැගෙන ගියේ ය. මිනිස්සු ඔහු දැක, ‘සගය කිමෙක් ද? තෝ උමතුයෙහි ද? කිමෙක් ද? විකල සිතැත්තෙහි ද? කෙසේ නම් තෝ අසූචියෙන් වැකුණෙහි නියගතෙක් ම උඩින් වැගිරෙන යැටින් පෙරෙන අසූචි බර රැගෙන යෙහි දැ?’ යි මෙසේ කීහ. ‘සගයෙනි, මේ කරුණෙහි ලා තෙපි ම උමතුවෝ ය, තෙපි ම විකල සිතැත්තෝ ය. එසේ මැ යැ මේ මගේ හූරනට ගෙනයන ආහාර!’ යැ යි කී ය. රාජන්‍යයෙනි, එ පරිද්දෙන් ම ඔබ අසූචි ගෙන යන්නකු මෙන් පැනෙති. රාජන්‍යයෙනි, මේ ලාමක දෘෂ්ටිය බැහැර කරන්න. එය ඔබට දිගු කලක් ඇවැඩ පිණිස නො පවතීවා.”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්සේ එසේ වදාරතත් වැලිදු මම මේ ලාමක දෘෂ්ටිය බැහැර කරන්නට නො හැක්කෙමි. ‘පායාසී රාජන්‍ය තෙම ‘මෙසේත් පර ලොව නැතැ යි, උපපාදුක සත්‍වයෝ නැතැ යි, කුශලාකුශල කර්‍මයනට ඵල විපාක නැතැ’ යි මෙබඳු වාද ඇත්තේ යැ යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ යැ යි, පසේනදී කොසොල් රජ ද මා දනී. බැහැර ජනපද වල රජහු ද දනිති. භවත් කාශ්‍යපයන් වහන්ස, ඉදින් මම මේ ලාමක දෘෂ්ටිය දුරැලීම් නම්, ‘පායාසී රාජන්‍ය තෙම කොතරම් මහත් අනුවණයෙක් ද! කොතරම් මහත් අව්‍යක්තයෙක් ද!! කොතරම් මහත් ලෙස වැරදි ගැනුම් ගත්තෙක්දැ !!!’යි මට දොස් කියන්නෝ වන්නාහ. එබැවින් ඔවුන් කෙරේ කෝපයෙනුත් මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි, ඔබ කී දෑ මකන ස්වභාවයෙනුත් මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි, ඔවුනට එකට එක කරනු විසිනුත් මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි.”
16. කුමරකසුප් - “රාජන්‍යයෙනි, එසේ වී නම් ඔබට උපමාවක් කරන්නෙමි. උපමායෙනුදු මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ කියන ලද වචනයේ අරුත් දැනගන්නාහ. රාජන්‍යයෙනි, පෙරැ වූවක් කියමි. දූවරුවෝ{1} දෙදෙනෙක් පසැටින් දූ කෙළියාහ. එක් දූවරුවෙක් ආ ආ (පරදින පරදින) පසැට ගිලී. දෙවැනි දූවරු තෙම ඒ දූවරුවා පැරැදුණු පැරැදුණු පසැට ගිලින්නහු දිටී ය. දැක ඒ දූවරුවාට ‘යහලුව, තෝ ඒකාන්තයෙන් දිනහි ය. යහලුව, මට සියලු පස ඇට දෙව, බිලියමක් කරන්නෙමි’ යි කී ය. ‘යහලුව, එසේ යැ’ යි කියා ඒ දූවරුහට සියලු පසැට දුන්නේ ය. එ කලැ ඒ දූවරු තෙම පසැට විසයෙන් යොදා ඒ අනිත් දූවරුවා බණවා ‘යහලු, එව, පසැටින් කෙළින්නාමු’ යි කී ය. හේ ‘එසේ ය, යහලු’ යි කියා ම ඔහුට පිළිවදන් දුන. දෙවනු ද ඒ දූවරුවෝ පසැටින් කෙළියාහ. දෙවනු ද ඒ දූවරු තෙම පැරැදුණු පැරැදුණු පසැට ගිලියි. දෙවෙනි දූවරු තෙම දෙවනු ද ඒ දූවරුවා පස ඇට ගිලින්නාහු දිටී යැ. දැක ඒ දූවරුවාට,
‘තියුණු විසයෙන් තවරන ලද පසැට ගිලින පුරිස් එය (විස තවරා ඇති බව) නො දනී. බොල පවිටු දුහුව, ගිලැ පිය පසු වැ එය තට නපුරු වනු ඇතැ’ යි මෙ බස් පැවැසී ය.
රාජන්‍යයෙනි, මෙසේ ම ඔබ පසැට දුහු වකු (අක්‍ෂධූර්‍තයකු) මෙන් පැනෙති. රාජන්‍යයෙනි. මේ ලාමක දෘෂ්ටිය බැහැර කරන්න. එය ඔබට දිගු කලක් ඇවැඩ පිණිස දුක් පිණිස නො වේ වා.”
පායාසී - “භවත් කාශ්‍යපයන් වහන්සේ මෙසේ වදාරතත්, වැලිදු මේ ලාමක දෘෂ්ටිය බැහැර කරන්නට මම නො සමතිමි. ‘පායාසි රාජන්‍ය තෙම ‘මෙසේ පරලොව නැත, උපපාදුක සත්හු නැත, කුශලාකුශල කර්‍මයනට ඵල විපාක නැතැ’ යි මෙසේ වාද ඇත්තෙකැ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙකැ යි පසේනදි කොසොල් රජ ද දනී, පිටත් දනව්හි රජදරුවෝ ද දනිත්. භවත් කාශ්‍යපයන් වහන්ස, අදින් මම් මේ ලාමක දෘෂ්ටි ය හැරැපීම් නම්, ‘පායාසී රාජන්‍යයා කොතරම් මහත් අනුවණයෙක් ද! කොතරම් මහත් අව්‍යක්තයෙක් ද!! කොතරම් මහත් වැරැදි ගැනුම් ගත්තෙක් ද!!!’ යි මෙසේ මට ගරහා කියන්නෝ වන්නාහ. එ බැවින් මම් ඔවුන් කෙරෙහි කෝපයෙන් ද මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි, ඔබ කී දෑ මකන සැහැවියෙනුත් මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි, ඔවුනට එකට එක කරනු විසිනුත් මේ දෘෂ්ටිය ගෙන හැසිරෙන්නෙමි.”
17. කුමරකසුප් - “එසේ වී නම් ඔබට උවමක් කරන්නෙමි. උපමායෙනුත් මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ කී කරුණෙහි අරුත් දැන ගනිත්. රාජන්‍යයෙනි, පෙරැ වූවක් කියමි: එක්තරා දනව්වෙක් නැගී ගියේ ය (දනවු වැස්සෝ දනව්ව හැර දමා ගියාහ.) එ කලැ යහලුවෙක් යහලුවකු බණවා, ‘යහලුව, එමු. ඒ දනව්ව කරා යන්නම්හ. එහි දී කිසි ධනයක් ලදුමෝ නම් ඉතා යෙහෙකැ’ යි කී ය. ‘එසේ ය, යහලුවැ’ යි කියා ම අනිත් යහලු තෙම ඔහුට පිළිවදන් දුන. ඔහු ඒ දනව්වට ගොස් එහි එක්තරා ජනශුන්‍ය වූ ගමකට පැමිණියාහු ය. එහි දමා පියන ලද බොහෝ හන වැහැරි දුටුහ. දැක එක් යහලුවෙක් අනෙකා බණවා, ‘යහලුව, මේ හැරැ දමා පියන ලද බොහෝ හණ වැහැරි ය. එ බැවින් යහලුව, තෝත් හණ වැහැරි බරක් බඳුව, මමත් හණ වැහැරි බරක් බඳින්නෙමි. අපි දෙදෙනා ම හණවැහැරි බරක් ගෙන යන්නමු’ යි කී ය. ‘යහලුව, එසේ යැ’ යි අනෙකා සිය යහලුවාට පිළිවදන් දී, හණ වැහැරි බරක් බැඳ ඔහු දෙදෙනා ම එය ගෙන ජනයාගෙන් හිස් එක්තරා ගමකට ගියාහ. ඔහු එහි දී හැර දමා පියන ලද බොහෝ හණනූල් දුටුහ. දැක එක් යහලුවෙක් අනිත් යහලුවාට ‘යහලුව යම් ධනයක් සඳහා අපි හණවැහැරි ගෙන යනු කැමැතිවූ මු ද, මේ එයට වඩා අගනා ඉවත දමන ලද බොහෝ හණනූල් ඇත. එ බැවින් යහලුව, තෝත් හණවැහැරි බර ඉචත දමව, මමත් හණ වැහැරි බර ඉවත ලන්නෙමි. අපි දෙ දෙනා ම හණනූල් බරක් ගෙන යන්නම්හ’ යි කී ය. ‘යහලුව මේ හණ වැහැරි බර වනාහි මා විසින් දුරැ සිටම ගෙනෙන ලද්දෙක මොනොවට බඳනා ලද්දේ ය. මට හනනූලින් කම් නැත. කළ යුත්ත හෝ දනුව’ යි කී ය.