මහණෙනි, මෙහි මහණ තෙම චක්‍ෂුඃප්‍රසාදය ද දනී, රූපයන් ද දනී, ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ නොඋපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම් සේ ම ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපැද්මෙක් වේ ද එයත් දනී.
ශ්‍රෝත්‍රප්‍රසාදය ද දනී, ශබ්දයන් ද දනී, ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ ම නො උපන් සංයෝජනයක්හුගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම් සේ ම ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපැද්ම වේ ද එයත් දනී.
ඝ්‍රාණප්‍රසාදය ද දනී, ගන්‍ධයන් ද දනී, ඒ දෙ දෙනා නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම්සේත් නූපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම් සේ ප්‍රහීණ සංයෝජනයාගේ මතු නො ඉපැද්මෙක් වේ ද එයත් දනී.
ජිහ්වා ප්‍රසාදය ද දනී, රසයන් ද දනී, ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ නොඋපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම් සේ ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපැද්මෙක් වේ ද එයත් දනී.
කාය ප්‍රසාදය ද දනී, ස්ප්‍රෂ්ටව්‍යයන් (කයැ හැපෙන දෑ) ද දනී, ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ නො උපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපැද්මෙක් වේ ද එයත් දනී.
මනෝද්වාරය ද දනී, ධර්‍මාලම්බනයන් ද දනී, ඒ දෙ කොටස නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ නො උපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නොඉපැද්මෙක් වේ ද එයත් දනී.
මෙසේ තමා කෙරෙහි වූ ආයතන ධර්‍මයන්හි හෝ ධම්මානුපස්සී වැ වෙසෙයි. මෙරමා පිළිබඳ ආයතන ධර්‍මයන්හි හෝ ධම්මානුපස්සී වැ වෙසෙයි. විටෙක තමා පිළිබඳ වූ ආයතන ධර්‍මයන්හි ද විටෙක මෙරමා පිළිබඳ ආයතන ධර්‍මයන්හි ද ධම්මානුපස්සී වැ වෙසෙයි. ආයතන ධර්‍මයන්ගේ ඉපැද්මට ප්‍රත්‍යය වූ දෑ නොයෙක් අයුරින් නැවැත නැවැත බලන සුලු වූයේ හෝ ආයතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. ආයතන ධර්‍මයන්ගේ විනාශයට කරුණු නොයෙක් අයුරින් නැවැත නැවැත බලන සුලු වූයේ හෝ ආයතන ධර්‍මයන් හි ධම්මානුපස්සී වැ වෙසෙයි. විටෙක ආයතන ධර්‍මයන්ගේ ඉපැද්මට කරුණු ද විටෙක ආයතන ධර්‍මයන්ගේ වැනැස්මට කරුණුද නොයෙක් අයුරින් නැවත නැවත බලන සුලු වූයේ හෝ ආයතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
ඔහුට ‘ආයතන ධර්‍මයෝ ඇතැ’යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) කියා හෝ සිහිය එළැඹ සිටියේ හෝ වෙයි. එය නුවණ වැඩීම පිණිස ම සිහිය වැඩීම පිණිස ම වේ. එසේ වූ හෙ තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකට නො හසු වූයේද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නොගනී.
මහණෙනි, මෙසේත් මහණ තෙම ආයතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
ආයතන පර්‍වය නිමියේ ය.
23. තව ද අනෙකක් කියම්. මහණ තෙමේ සප්ත බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වෙසෙයි. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් සප්ත බෝධ්‍යඞ්ග ධර්‍මයන් හි ධම්මානුදර්ශී වැ වෙසේ ද යත්:
මහණෙනි, මෙහි මහණ තෙමේ (සතතයෙන් සන්තානයෙහි පහළ වීම් වශයෙන්) තමා කෙරෙහි ඇත්තා වූ ම ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි දැන් ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි හෝ දනී. (අප්‍රතිලාභ වශයෙන්) තමා කෙරෙහි නැත්තා වූ හෝ ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි ස්මෘති සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. නොඋපන් ස්මෘති සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැත්ම යම්සේ වේ ද එයත් දනී. උපන්නා වූ ස්මෘති සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් සේ වේ ද එයත් දනී.
තමා කෙරෙහි ඇත්තා වූ ම ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි දැන් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි හෝ දනී. තමා කෙරෙහි නැත්තා වූ හෝ ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ‘මා කෙරෙහි ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. යම් සේ නො උපන් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැත්ම වේ ද, එයත් දනී. යම් සේ උපන් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය වේ ද, එයත් දනී.
තමා කෙරෙහි ඇත්තා වූ ම වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය දැන් ඇතැ’යි දනී. තමා කෙරෙහි නැත්තා වූ වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය ‘මා කෙරෙහි වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. යම්සේ නො උපන් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය වේ ද එයත් දනී.
තමා කෙරෙහි ඇත්තා වූ ම ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය දැන් ඇතැ’යි දනී. තමා කෙරෙහි නැත්තා වූ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය ‘මා කෙරෙහි ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. යම් සේ නො උපන් ප්‍රීති සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැත්ම වේ ද, එයත් දනී, යම් සේ උපන් ප්‍රීති සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය වේ ද එයත් දනී.
තමා කෙරෙහි ඇත්තා වූ හෝ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි දනී. තමා කෙරෙහි නැත්තා වූ හෝ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. නො උපන්න ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් සේ වේ ද එයත් දනී, උපන් ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය යම් සේ වේ ද එයත් දනී.
තමා කෙරෙහි ඇත්තා වූ හෝ සමාධි සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි සමාධි සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි හෝ දනී. තමා කෙරෙහි නැත්තා වූ හෝ සමාධි සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි සමාධි සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. නො උපන්නා වූ සමාධි සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් සේ වේ ද එයත් දනී. උපන් සමාධි සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය යම් සේ වේ ද එයත් දනී.
තමා කෙරෙහි ඇත්තා වූ හෝ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි හේ දනී. තමා කෙරෙහි නැත්තා වූ හෝ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. නො උපන්නා වූ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගයාගේ යම් සේ ඉපැද්ම වේ ද, එය ද දනී. උපන්නාවූ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය යම් සේ වේ ද එයත් දනී.
මෙසේ තමා කෙරෙහි වූ හෝ බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, මෙරමා කෙරෙහි වූ හෝ බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, විටෙක තමා කෙරෙහි වූ ද විටෙක මෙරමා කෙරෙහි වූ ද බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි.
බෝධ්‍යඞ්ග ධර්‍මයන්ගේ ඉපැද්මට කාරණ වූ දෑ නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩනුයේ වෙසෙයි. බෝධ්‍යඞ්ග ධර්‍මයන්ගේ විනාශයට කාරණ වූ අවිද්‍යාදි අකුශල ධර්‍මයන් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩනුයේ වෙසෙයි. විටෙක බෝධ්‍යඞ්ගයන්ගේ ඉපැද්මට කරුණු වූ දෑ ද විටෙක බෝධ්‍යඞ්ගයන්ගේ වැනැස්මට කරුණු වූ දෑ ද නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩනුයේ වෙසෙයි.
‘බෝධ්‍යඞ්ග ධර්‍මයෝ ම ඇතැ’යි (ඔවුන් වඩන සතෙක් පුඟුලෙක් නැතැ යි) ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම, සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හේ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය විරහිත ව ද වෙසෙයි, ලොවැ කිසිවකුත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගනී.
මහණෙනි, මහණ තෙම මෙසේත් සප්ත බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
(බෝධ්‍යඞ්ග පර්‍වය නිමියේ ය)
පළමු බණවර නිමි.
24. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම සතර ආර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. මහණෙනි, මහණ තෙම කෙසේ නම් සතර ආර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසේ ද යත්:
මහණෙනි, මෙහි මහණතෙම ‘මේ දුකැ’යි තතු වූ පරිදි දනී. ‘මේ දුඃඛසමුදය යැ’යි තතු වූ පරිදි දනී. ‘මේ දුඃඛනිරෝධයැ’යි තතු වූ පරිදි දනී. මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ති යැ’යි තතු වූ පරිදි දනී.
25. මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරේ ද යත්: ඉපැද්ම ද දුක් යැ, ජරාව ද දුක් යැ, මරණය ද දුක් යැ, ශෝකය ද වැලැප්ම ද කායික පීඩා ද මානසික පීඩා ද දැඩි ආයාස ද දුක් යැ. අප්‍රියයන් හා එක්වීම ද දුක් යැ. ප්‍රියයන්ගෙන් වෙන්වීම ද දුක් යැ. යමක් කැමැති වන්නේ එය නො ලබන්නේ ද, ඒ ද දුක් යැ. සැකෙවින් උපාදාන ස්කන්‍ධ පස ම දුක් යැ.
මහණෙනි, ඉපැදීම නම් කවරේ ද: ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්‍ව නිකායයෙහි (නො පිරිපුන් ආයතන ඇතියන්ගේ වශයෙන්) යම් ඉපැද්මෙක් වේ ද, (පිරිපුන් ආයතන ඇතියන්ගේ වශයෙන්) යම් ඉපැද්මෙක් වේ ද, (අණ්ඩජ ජලාබුජයන්ගේ වශයෙන්) උත්පත්ති ස්ථානයට බැස ගැන්මෙක් වේ ද, (සංසේදජ ඕපපාතික වශයෙන්) ප්‍රකට වැ ඉපැත්මෙක් වේ ද, (පරමාර්‍ත්‍ථ වශයෙන්) ස්කන්‍ධයන්ගේ ප්‍රාදුර්‍භාවයෙක් වේ ද, ෂඩායතනයන්ගේ ලැබීමෙක් වේ ද, මහණෙනි, මෙය ජාති (ඉපැද්ම) යැ යි කියනු ලැබේ.
මහණෙනි, ජරා නම් කවරේ ද යත්: ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්‍ව නිකායයෙහි යම් දිරීමෙක්, දිරන බවෙක්, දත් ආදීන්ගේ කැඩීම් වශයෙන් විකාරයට පැමිණි බවෙක්, ආයු ගෙවීමෙක්, චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන්ගේ මුහුකුරා යෑමෙක් වේ ද, මේ ජරා නැමැ යි කියනු ලැබේ.
මහණෙනි, මරණය නම් කවරේ ද යත්: ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්‍ව නිකාය කෙරෙන් ච්‍යුතියෙක්, සැවෙන බවෙක්, බිඳීමෙක්, අතුරුදහන් වීමෙක්, මෘත්‍යු සංඛ්‍යාත මරණයෙක්, කලුරිය කිරීමෙක්, ස්කන්‍ධයන්ගේ බිඳීමෙක්, සිරුර බහා තැබීමෙක්, ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද, මෙය මරණ යැ යි කියනු ලැබේ.
මහණෙනි, ශෝකය නම් කවරේ ද යත්: මහණෙනි, ඥාති ව්‍යසනාදීන්ගෙන් එක්තරා ව්‍යසනයෙකින් යුක්තයාගේ හෝ (සිර ගෙහි බැඳීම් ආදි) එක්තරා දුඃඛ කාරණයෙකින් ස්පර්‍ශ කරනු ලැබුවහුගේ හෝ යම් ශෝකයෙක්, ශෝක කරන බවෙක් (සිරුර තුළැ වියැළීම ඇති කරන සේ වූ) ඇතුළත ශෝකයෙක්, ඇතුළත හාත්පස්හි ම ශෝකයෙක් වේ ද, මහණෙනි, මෙ ශෝක යැ යි කියනු ලැබේ.
මහණෙනි, පරිදේවය යනු කවරේ ද යත්: මහණෙනි, (ඥාති ව්‍යසනාදි) යම් එක්තරා දුඃඛ කාරණයෙකින් ස්පර්‍ශ කරනු ලැබුවහුගේ ද, (මගේ පුත්‍රයා ය යන ආදි විසින්) වස්තුවෙහි නම කියා හැඬීමෙක්, වස්තුවෙහි ගුණ වණමින් හැඬීමෙක්, නම කියා හඬන අයුරෙක්, ගුණ වණමින් හඬන අයුරෙක්, නම කියා හඬන බවෙක්, ගුණ වණමින් හඬන බවෙක් වේ ද, මෙය පරිදේව යැ යි කියනු ලැබේ.
මහණෙනි, දුඃඛ නම කවරේ ද යත්: මහණෙනි, යම් කායික දුකෙක් (කාය ප්‍රසාදයෙහි රළු ලෙස යමක් ගැටීමෙන් වූ දුකෙක්), කායික නො මිහිරි බවෙක්, කාය ස්පර්‍ශයෙන් උපදනා නො ඉවැසියැ හැකි වේදනාවෙක්, අතිකර්‍කශ විඳීමෙක් වේ ද, මෙය දුඃඛ යැ යි කියනු ලැබේ.
මහණෙනි, දෞර්‍මනස්‍යය (දොම්නස) නම් කවරේ ද යත්: සිතැ උපන් යම් දුකෙක්, සිතැ උපන් නොමිහිරි බවෙක්, සිතැ නොමනා අරමුණු ගැටීමෙන් උපදනා දුකෙක්, නො සැප වූ විඳුමෙක් වේ ද, මෙය දෞර්‍මනස්‍ය යැ යි කියනු ලැබේ.
මහණෙනි, උපායාස නම් කවරේ ද යත්: මහණෙනි, ඥාති ව්‍යසනාදි ව්‍යසන අතුරෙන් යම් එක්තරා ව්‍යසනයෙකින් සමන්‍විතයක්හුගේ හෝ (සිර ගෙහි බැඳුම් ආදි) යම් එක්තරා දුඃඛ ස්වභාවයෙකින් ස්පර්‍ශ කරනු ලැබුවහුගේ (දුකෙහි ගිලුණු අයුරින් පැවැති චිත්තක්ලමථාකාර) ආයාසයෙක්, දැඩි ආයාසයෙක් සිතැ ක්ලාන්ත ස්වභාවයෙක් සිතැ දැඩි ක්ලාන්ත බවෙක් වේ ද, මෙය උපායාස යැ යි කියනු ලැබේ.
මහණෙනි, ‘අප්‍රියයන් හා එක් වීම දුක් යැ’ යනු කවරේ ද යත්: මහණෙනි, මෙහි යමකුහට අනිටු වූ, නො සිත්කලු වූ, මන නොවඩන්නා වූ යම් රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය ධර්‍ම යන ආලම්බන කෙනෙක් වෙත් ද, ඔහුට අවැඩ කැමැති, අහිත කැමැති, නොපහසුව කැමැති, උවදුරු නැති බව, නොකැමැති යම් කෙනෙක් හෝ වෙත් ද, ඔවුන් හා යම් සංගමයෙක්, යම් එක්වීමෙක්, යම් එකතුබවෙක්, යම් මුසු බවෙක් වේ ද, මහණෙනි, මෙය ‘අප්‍රියයන් හා එක් වීම දුක් යැ’ යන්න යැ.
මහණෙනි, ‘ප්‍රියයන්ගෙන් වියෝ වීම දුක් යැ’ යන්න කවරේ ද යත්: මහණෙනි, මෙහි යමකුහට ඉටු වූ සිත්කලු වූ මන වඩන්නා වූ යම් රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය ධර්‍ම යන ආලම්බන කෙනෙක් වෙත් ද, ඔහුට වැඩ කැමැති, හිත කැමැති, පහසුව කැමැති, උවදුරු නැති බව කැමැති මව හෝ පියා හෝ බෑයා හෝ බිහිනිය හෝ දෙටු හෝ කනිටු නෑ කෙනෙක් හෝ මිතුරෝ හෝ ඇමැත්තෝ හෝ සහලේ නෑ කෙනෙක් හෝ යම් යම් කෙනෙක් දැද්ද, ඔවුන් හා යම් අසඞ්ගමයෙක් යම නොඑක් වීමෙක්, නො එකතු බවෙක් ඇද්ද, මහණෙනි, මෙය ‘ප්‍රියයන්ගෙන් වියෝ වීම දුක් යැ’ යන්න යැ.
මහණෙනි, ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම එය ද දුක් යැ’ යනු කවරේ ද? යත්: මහණෙනි, භවයෙහි උපදින සුලු සත්ත්‍වයනට ‘අපි භවයෙහි උපදින ස්වභාවය නැත්තමෝ නම්, අපට ඒකාන්තයෙන් භවයෙහි ඉපැද්ම නො පැමිණෙන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නොලබන්නේ නම් එය ද දුක් යැ’ යන්න යැ.
මහණෙනි, දිරන සුලු සත්‍වයනට ‘අපි දිරන සුලු බව නොමැත්තමෝ නම්, අපට දිරීම ඒකාන්තයෙන් නො ම පැමිණෙනේනේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නොලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න ය.
මහණෙනි, ව්‍යාධීන් ගෙන් පෙළෙන සුලු සත්‍වයනට ‘අපි ව්‍යාධි ස්වභාවය (ලෙඩ වන සුලු බව) ඇත්තෝ නොවන්නමෝ නම්, ඒකාන්තයෙන් ව්‍යාධියෙක් අප කරා නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. වැලි දු මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ යි’ යන්න යැ.
මහණෙනි, මැරෙන සුලු සත්‍වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.
මහණෙනි, ශෝකය පියෙවි කොට ඇති සත්‍වයනට ‘අපි සොවින සුලු නො වන්නමෝ නම්, අප කරා ශෝකය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
මහණෙනි, හඬන සුලු සත්නට ‘අපි හඬන සුලු නො වන්නමෝ නම්, අප කරා හැඬීම නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
මහණෙනි, කායික දුකින් පෙළෙන සුලු සත්‍වයනට ‘අපි කායික දුකින් පෙළෙන පියෙවි ඇත්තෝ නො වන්නමෝ නම්, අප කරා කායික දුක නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
මහණෙනි, දොම්නසින් (මානසික දුකින්) පෙළෙන සුලු සත්‍වයනට ‘අපි දොම්නසින් පෙළෙන සුලු නො වන්නමෝ නම්, අප කරා දොම්නස නො එන්නේ නම් ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙයද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
මහණෙනි, දැඩි ආයාස ඇති සත්‍වයනට ‘අපි දැඩි ආයාසසයෙන් පෙළෙන සුලු නොවන්නමෝ නම්, දැඩි ආයාසයෙක් අප කරා නො එන්නේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
මහණෙනි, සැකෙවින් දුක් වූ පංච උපාදාන ස්කන්‍ධයෝ නම් කවුරු ද යත්: ඒ රූප උපාදාන ස්කන්‍ධය, වේදනෝපාදාන ස්කන්‍ධය, සංඥෝපාදාන ස්කන්‍ධය, සංස්කාරෝපාදාන ස්කන්‍ධය, විඥානෝපාදාන ස්කන්‍ධය යන මොහු ය. මහණෙනි, මොහු පංච උපාදාන ස්කන්‍ධයෝ දුක්හ යි කියනු ලැබෙත්. මහණෙනි, මෙය දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ යි කියනු ලැබේ.
26. මහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍ය සත්‍යය කවරේද යත්: පුනර්‍භවය ඇති කරන සුලු වූ, නන්‍දිරාගය හා එක් වැ ගිය, ඒ ඒ උපනුපන් අත්බව්හි සතුටු වන, කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභව තෘෂ්ණා යන යම් තෘෂ්ණාවෙක් වේ ද එය යැ.
මහණෙනි, ඒ තෘෂ්ණාව උපදනේ කොහි උපදී ද? නැවැත නැවැත පවත්නේ (පිහිටනුයේ) කොහි පවතී ද? (පිහිටා ද?) යත්: යමෙක් ලොවැ ප්‍රිය ස්වභාවයෙක් මධුර ස්වභාවයෙක් වේ ද, ඒ තෘෂ්ණාව පහළ වනුයේ මෙහි පහළ වෙයි, පිහිටනුයේ මෙහි පිහිටයි. කිමෙක් නම් ලොවැ ප්‍රිය ස්වභාවයෙක් මධුර ස්වභාවයෙක් වේ ද යත්: චක්‍ෂුස (ඇස) ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි. ශ්‍රෝත්‍රය (කන) … ඝ්‍රාණය (නාසය) … ජිහ්වාව (දිව) … කය … මනස ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
රූපයෝ … ශබ්දයෝ … ගන්‍ධයෝ … රසයෝ …ස්ප්‍රෂ්ටව්‍යයෝ … ධර්‍මාලම්බනයෝ ලොවැ ප්‍රිය ස්වභාව ය යැ, මධුර ස්වභාවය යැ. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
චක්‍ෂුර්විඥානය … ශ්‍රෝත්‍රවිඥානය … ඝ්‍රාණවිඥානය … ජිහ්වාවිඥානය … කායවිඥානය … මනෝ විඥානය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
චක්‍ෂුඃසංස්පර්‍ශය … ශ්‍රෝතසංස්පර්‍ශය … ඝ්‍රාණසංස්පර්‍ශය … ජිහ්වාසංස්පර්‍ශය … කායසංස්පර්‍ශය … මනඃසංස්පර්‍ශය ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
චක්‍ෂුඃසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … ශ්‍රෝතසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … ඝ්‍රාණසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … ජිහ්වාසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … කායසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … මනඃසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
රූපසංඥාව … ශබ්දසංඥාව … ගන්‍ධසංඥාව … රසසංඥාව …ස්ප්‍රෂ්ටව්‍යසංඥාව … ධර්‍මසංඥාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
රූප සංඤ්චේතනාව … ශබ්ද සංචේතනාව … ගන්‍ධ සංචේතනාව … රස සංචේතනාව …ස්ප්‍රෂ්ටව්‍ය සංචේතනාව … ධර්‍ම සංචේතනාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
රූපතෘෂ්ණාව … ශබ්ද තෘෂ්ණාව … ගන්‍ධතෘෂ්ණාව … රස තෘෂ්ණාව …ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව … ධර්‍මතෘෂ්ණාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
රූපවිතර්‍කය … ශබ්දවිතර්‍කය … ගන්‍ධවිතර්‍කය … රසවිතර්‍කය …ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය … ධර්‍මවිතර්‍කය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
රූප විචාරය … ශබ්ද විචාරය … ගන්‍ධ විචාරය … රසවිචාරය …ස්ප්‍රෂ්ටව්‍ය විචාරය … ධර්‍ම විචාරය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
මහණෙනි, මෙය දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයැ යි කියනු ලැබේ.
27. මහණෙනි, දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය කවරේ ද යත්: ඒ තෘෂ්ණාවගේ ම නිරවශේෂයෙන් ක්‍ෂයයට පැමිණීමෙක්, නො පැවැත්මට යෑමෙක්, නිරුද්ධ වීමෙක්, ත්‍යජනයෙක් නැවැත නො පවත්නා සේ දුරු වීමෙක්, බැඳුම් මිදීමෙක්, නො ඇලීමෙක් වේ ද එය යැ. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වන්නේ කොහි ප්‍රහීණ වේ ද? නිරුද්ධ වනුයේ කොහි නිරුද්ධ වේ ද යත්: ලොවැ යම් ප්‍රිය ස්වභාවයෙක් මධුර ස්වභාවයෙක් වේ ද, ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
කිමෙක් නම් ලොවැ ප්‍රිය ස්වභාව මධුර ස්වභාව වේ ද යත්: චක්‍ෂුස (ඇස) ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධවෙයි. ශ්‍රෝත්‍රය … ඝ්‍රාණය … ජිහ්වාව … කය … මනස ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
රූපයෝ … ශබ්දයෝ … ගන්‍ධයෝ … රසයෝ … ස්ප්‍රෂ්ටව්‍යයෝ … ධර්‍මාලම්බනයෝ ලොවැ ප්‍රිය ස්වභාව යැ, මධුර ස්වභාව යැ, ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
චක්‍ෂුර්විඥානය … ශ්‍රෝත්‍ර විඥානය … ඝ්‍රාණ විඥානය … ජිහ්වා විඥානය … කාය විඥානය … මනෝ විඥානය ලොවැ ප්‍රිය ස්වභාව යැ, මධුර ස්වභාව යැ. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වේ.
චක්‍ෂුඃ සංස්පර්‍ශය … ශ්‍රෝත්‍ර සංස්පර්‍ශය … ඝ්‍රාණ සංස්පර්‍ශය … ජිහ්වා සංස්පර්‍ශය … කාය සංස්පර්‍ශය … මනඃ සංස්පර්‍ශය ලොවැ ප්‍රිය ස්වභාවය යැ, මධුර ස්වභාවය යැ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වේ.
ලොවැ චක්‍ෂුඃසංස්පර්‍ශජ වේදනාව … ශ්‍රෝතසංස්පර්‍ශජ වේදනාව … ඝ්‍රාණසංස්පර්‍ශජ වේදනාව … ජිහ්වාසංස්පර්‍ශජ වේදනාව … කායසංස්පර්‍ශජ වේදනාව … මනඃසංස්පර්‍ශජ වේදනාව ලොවැ ප්‍රිය ස්වරෑප යැ, මධුර ස්වරෑප යැ. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වේ.
රූප සංඥාව … ශබ්ද සංඥාව … ගන්‍ධ සංඥාව … රස සංඥාව …ස්ප්‍රෂ්ටව්‍ය සංඥාව … ලොවැ ධර්‍ම සංඥාව ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
රූප සංචේතනාව … ශබ්ද සංචේතනාව … ගන්‍ධ සංචේතනාව … රස සංචේතනාව …ස්ප්‍රෂ්ටව්‍ය සංචේතනාව … ධර්‍ම සංචේතනාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
රූප තෘෂ්ණාව … ශබ්ද තෘෂ්ණාව … ගන්‍ධ තෘෂ්ණාව … රස තෘෂ්ණාව … ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව … ධර්‍මතෘෂ්ණාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
රූප විතර්‍කය … ශබ්ද විතර්‍කය … ගන්‍ධ විතර්‍කය … රස විතර්‍කය …ස්ප්‍රෂ්ටව්‍ය විතර්‍කය … ධර්‍ම විතර්‍කය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. තෙල තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි..
රූප විචාරය … ශබ්ද විචාරය … ගන්‍ධ විචාරය … රස විචාරය …ස්ප්‍රෂ්ටව්‍ය විචාරය … ධර්‍ම විචාරය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. තෙල තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
මහණෙනි, මෙය දුඃඛනිරෝධාර්‍ය්‍ය සත්‍යයැ යි කියනු ලැබේ.
28. මහණෙනි, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය කවරේ ද යත්: ඒ සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සංකල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය මැ යැ.
මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය කවර යැ? මහණෙනි, දුඃඛසත්‍යයෙහි යම් දැනීමෙක්, දුඃඛ සමුදය සත්‍යයයෙහි යම් දැනීමෙක්, දුඃඛ නිරෝධ සත්‍යයෙහි යම් දැනීමෙක්, දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයෙහි යම් දැනීමෙක් වේ ද, මහණෙනි, මෙය සම්‍යග්දෘෂ්ටි යැ යි කියනු ලැබේ.
මහණෙනි, සම්‍යක් සංකල්පය කවර යැ? නෛෂ්කාම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන මේ සම්‍යක් සංකල්පයැ යි කියනු ලැබේ.
මහණෙනි, සම්‍යග්වචනය කවර යැ? මුසවායෙන් වැළැක්ම, පෙහෙසුන් බසින් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, හිස් තෙප්ලෙන් වැළැක්ම යන මොහු යැ. මහණෙනි, මේ සම්‍යග්වචනයැ යි කියනු ලැබේ.
මහණෙනි, සම්‍යක් කර්‍මාන්තය කවර යැ? පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම යන මොහු යැ. මහණෙනි, මේ සම්‍යක් කර්‍මාන්ත යැ යි කියනු ලැබේ.
මහණෙනි, සම්‍යක්ආජීවය කවර ය? මහණෙනි, මෙහි අරී සවු තෙම මිථ්‍යා ආජීවය හැරැ, සම්‍යක් ආජීවයෙන් දිවි පවත්වයි. මහණෙනි, මෙය සම්‍යගාජීව නමැ යි කියනු ලැබේ.
මහණෙනි, සම්‍යග්ව්‍යායාමය කවර යැ? මහණෙනි, මෙහි මහණ තෙම නො උපන් ලාමක අකුසල් දහමුන්ගේ නොඉපැද්ම පිණිස රිසිය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහමුන් දුරැලීම පිණිස රිසිය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසොවයි, ප්‍රධන් (වීර්‍ය්‍ය) කෙරෙයි. නො උපන් කුසල් දහමුන්ගේ ඉපැද්ම පිණිස රිසිය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසොවයි, ප්‍රධන් කෙරෙයි. උපන් කුසල් දහමුන් සිටිනු පිණිස, නො නැස්ම පිණිස, බොහෝ වනු පිණිස, මහත් බව පිණිස, භාවනායෙන් පිරිපුන් වනු පිණිස රිසිය දනවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසොවයි, ප්‍රධන් කෙරෙයි. මහණෙනි, මෙය සම්‍යග් ව්‍යායාමයැ යි කියනු ලැබේ.
මහණෙනි, සම්‍යක් ස්මෘතිය කවර යැ? මහණෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති වැ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, කාය සංඛ්‍යාත ලොව කෙරෙහි අභිධ්‍යාව ද (කාමච්ඡන්‍දය ද), දොම්නස ද (ව්‍යාපාදය ද සෙසු නීවරණ ද) සන්හිඳුවා කරජ කයෙහි කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති වැ, මනා නුවණ ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකය කෙරෙහි අභිධ්‍යාව ද, දොම්නස ද සන්හිඳුවා, වේදනාවන්හි වේදනානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති වැ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ චිත්ත සංඛ්‍යාත ලෝකය කෙරෙහි අභිධ්‍යාව ද දොම්නස ද සන්හිඳුවා සිතෙහි චිත්තානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති වැ, මනා නුවණ ඇත්තේ, සිහි ඇත්තේ (නීවරණාදි) ධර්‍ම නමැති ලෝකය කෙරෙහි අභිධ්‍යාව ද දොම්නසද සන්හිඳුවා (නීවරණාදි) ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. මහණෙනි, මෙය සම්‍යක් ස්මෘතියැ යි කියනු ලැබේ.
මහණෙනි, සම්‍යක් සමාධිය කවර යැ? මහණෙනි, මෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන් වැ මැ, අකුසල් දහමුන්ගෙන් වෙන වැ මැ, විතර්‍ක සහිත වූ, විචාර සහිත වූ විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුවය ඇති පළමු දහන ලැබ වෙසෙයි, විතර්‍ක විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් සිය සතන්හි මනා පැහැදීම ඇති කරන, සිතැ එකඟ බව ඇති, විතර්‍ක රහිත වූ, විචාර රහිත වූ, චිත්ත සමාධියෙන් උපන්, ප්‍රීතිය හා සුවය හා ඇති දෙවෙනි දහන ලැබ වෙසෙයි, ප්‍රීතිය ද පහවීමෙන් උපේක්‍ෂාව ඇත්තේ ද වෙසෙයි, සිහි ද ඇත්තේ මනා නුවණ ඇත්තේ සුවය ද නාම කයින් විඳී. ‘උපේක්‍ෂා ඇත්තේ යැ, සිහි ඇත්තේ යැ, සුව වුසුම් ඇත්තේ යැ’යි ආර්‍ය්‍යයෝ යමක් අරැබැ කියත් ද ඒ තෙවෙනි දහන ලැබ වෙසෙයි. සුඛ වේදනාවගේ ද ප්‍රහාණයෙන් දුඃඛ වේදනාවගේ ද ප්‍රහාණයෙන් පළමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ සන්හිඳීමෙන් දුඃඛ වේදනා ද නැති සුඛ වේදනා ද නැති, උපේක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු ව ඇති සතර වැනි ධ්‍යානය ලැබ වෙසෙයි. මහණෙනි, මෙය සම්‍යක් සමාධියැ යි කියනු ලැබේ.
මහණෙනි, මේ අරී අටැඟි මඟ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයැ යි කියනු ලැබේ.
29. මෙසේ සිය සතන්හි වූ ධර්‍මයන්හි හෝ ධම්මානුපස්සනා වඩන සුලු වූයේ වෙසෙයි, මෙරමා සතන්හි වූ ධර්‍මයන්හි හෝ ධම්මානුපස්සනා වඩන සුලු වූයේ වෙසෙයි. විටෙක සිය සතන්හි වූ ධර්‍මයන්හි ද විටෙක මෙරමා සතන්හි වූ ධර්‍මයන්හි ද ධම්මානුපස්සනා වඩන සුලු වූයේ වෙසෙයි. ඒ ධර්‍මයන්ගේ ඉපැද්මට කාරණ දක්නා සුලු වූයේ හෝ ධර්‍මයන් හි ධම්මානුපස්සී වැ වෙසෙයි, ඒ ධර්‍මයන්හි වැනැස්මට කරුණු දක්නා සුලු වූයේ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි, විටෙක ඒ ධර්‍මයන්ගේ ඉපැද්මට කරුණු ද විටෙක ඔවුන්ගේ වැනැස්මට කරුණු ද දක්නා සුලු වූයේ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
දුඃඛාදි ධර්‍මයෝ ම ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුට සිහි එළඹැ සිටියේ වෙයි. ඒ මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. මෙසේ වූ හේ තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකින් තොර වැ ද වෙසෙයි, ලොවැ කිසිවකුත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ගනී.
මහණෙනි, මෙසේ ම මහණ තෙම සතර ආර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
30. මහණෙනි, යම් කිසිවෙක් මෙ පරිද්දෙන් මේ සතර සතිපට්ඨාන යන් සත් වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ කෙලෙසුන් හෝ, ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු (අපේක්‍ෂා කළ යුතු).
මහණෙනි, හවුරුදු සතෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මෙ පරිද්දෙන් මේ සතර සතිපට්ඨානයන් සාවුරුද්දක් වඩන්නේ නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති විය යුතු.
මහණෙනි, හවුරුදු සයෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් හවුරුද්දක් මෙසේ වඩන්නේ නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති විය යුතු.
මහණෙනි, පස් වසෙක් සිටීවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් සිවු වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
මහණෙනි, සිවු වසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් තුන් වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
මහණෙනි, තුන් වසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් දෙ වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
මහණෙනි, දෙ වසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් එක් වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
31. මහණෙනි, එක් වසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් සත් මසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
මහණෙනි, සත් මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් ස මසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
මහණෙනි, ස මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් පස් මසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
මහණෙනි, පස් මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සිවු මසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
මහණෙනි, සිවු මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් මසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
මහණෙනි, තුන් මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් දෙ මසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
මහණෙනි, දෙ මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
මහණෙනි, මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අඩමසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
මහණෙනි, අඩමසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතියක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.