Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 3201-3300 න් 5108

කෙලෙස් තවන වැර ඇති වැ, මනා නුවණ ඇති ව, එළැඹැ සිටි සිහි ඇති ව, ලොව (චිත්තය කෙරෙහි) අභිධ්‍යාව (කාමච්ඡන්‍දය) ද, දොම්නස ද (ව්‍යාපාදය ද) (සෙසු නීවරණ ද තදඞ්ග ප්‍රහාණ විෂ්කම්භණ ප්‍රහාණ වශයෙන්) සන්හිඳුවා සිතෙහි චිත්තානු පස්සී වැ (සිත් අනිත්‍යාදි විසින් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණ ඇති ව, එළැඹැ සිටි සිහි ඇති වැ, ලොවැ (නීවරණාදි ධර්‍මයන් කෙරෙහි) අභිධ්‍යාව ද (කාමච්ඡන්‍දය ද) දොම්නස ද (ව්‍යාපාද නීවරණය ද) (සෙසු නීවරණ ද තදඞ්ග ප්‍රහාණ විෂ්කම්භණ ප්‍රහාණ වශයෙන්) සන්හිඳුවා (නීවරණාදි) ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ (නීවරණාදීන් අනිත්‍යාදි විසින් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
උද්දේශවාරය නිමියේ ය.
3. මහණෙනි, කෙසේ නම් මහණ තෙමෙ කයෙහි කායානුපස්සී වැ (කරජ කය අනිත්‍යාදි විසින් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ) වෙසෙයි ද? යත්: මහණෙනි, මහණ තෙම අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ විවිත් සෙනස්නකට (ජනයාගෙන් වන සම්බාධ නැති හිස් ගෙයකට) ගියේ හෝ හසරමිණිය අවුළුවා (පලක් බැඳ), උඩු කය ඍජු කොට තබා ගෙන, සිහිය කමටහන් අරමුණට ම යොමු කොට පිහිටුවා ඉඳී. හේ සිහි ඇත්තේ ම (සිහිය කමටහන් අරමුණට යොමු කොට ම) ආශ්වාස කෙරෙයි, සිහි ඇත්තේ ම (සිහිය කමටහන් අරමුණට යොමු කොට ම) ප්‍රාශ්වාස කෙරෙයි. දීර්‍ඝ කොට (කල් ගනිමින් - සෙමෙන්) ආශ්වාස කරනුයේ, ‘දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි’ යි දනී. දීර්‍ඝ කොට (කල් ගනිමින් - සෙමෙන්) ප්‍රශ්වාස කරනුයේ, ‘දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනී. හ්‍රස්ව කොට (ලුහුඬු කොට - ඉක්මනින්) ආශ්වාස කරනුයේ ‘ලුහුඬු කොට ආශ්වාස කෙරෙමි’යි දනී. හ්‍රස්ව කොට (ලුහුඬු කොට - ඉක්මනින්) ප්‍රශ්වාස කරනුයේ ‘හ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනී. ‘සියලු ආශ්වාස කයේ (මුල මැද අග යන තුන් තන්හි ම) පැවැත් ම ප්‍රකට කොට දනිමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙහි (ආසේවන වශයෙන් පුරුදු පුහුණු කෙරෙයි). සියලු ප්‍රශ්වාස කයේ (මුල මැද අග යන තුන් තන්හි ම) පැවැත් ම ප්‍රකට කොට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමි’ යි පුහුණු කෙරෙයි (ආසේවන වශයෙන් පුරුදු පුහුණු කෙරෙයි). ඖදාරික වූ කාය සංස්කාරය (ආශ්වාස වායුව) සංහිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි). ඖදාරික වූ කාය සංස්කාරය (ප්‍රශ්වාස වායුව) සංහිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි).
4. මහණෙනි, දක්‍ෂ වූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවක්හුගේ අතවැස්සෙක් හෝ දික් වූ හෝ මහත් වූ බඩුවක් ලියන කල්හි දීර්‍ඝ කොට (කල්ගනිමින් සෙමෙන්) අත් පා ආදිය අදනේ ‘දීර්‍ඝ කොට (කල් ගනිමින් - සෙමෙන්) අදිමි’යි දනී ද, (ඉදි කටු කුලා ආදි කුඩා බඩුවක් ලියන කල්හි) අත් පා ලුහුඬු කොට (ඉක්මනින්) අදනේ, ලුහුඬු කොට (ඉක්මනින්) අදිමි’යි දනී ද, මහණෙනි, එ සේ ම මහණ තෙම දීර්‍ඝ කොට ආශ්වාස කරනුයේ හෝ ‘දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි’යි දනී, දීර්‍ඝ කොට ප්‍රශ්වාස කරනුයේ හෝ ‘දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනී, හ්‍රස්ව කොට ආශ්වාස කරනුයේ හෝ ‘හ්‍රස්ව කොට ආශ්වාස කෙරෙමි’යි දනී. හ්‍රස්ව කොට ප්‍රශ්වාස කරනුයේ හෝ ‘හ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනී, සියලු ආශ්වාස කය (ආශ්වාසයේ මුල මැද අග යන හැම තැන ම පැවැත් ම) ප්‍රකට කොට දනිමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි), සියලු ප්‍රශ්වාස කය (ප්‍රශ්වාසයේ මුල මැද අග යන හැම තැන ම පැවැත්ම) ප්‍රකට කොට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි). කාය සංස්කාරය (ආශ්වාස වායුව) සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි), කාය සංස්කාරය (ප්‍රශ්වාස වායුව) සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’ යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි).
මෙසේ තමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) කයෙහි හෝ කායානුපස්සී වැ (අනිත්‍යාදීන් නොයෙක් අයුරින් බලන සුලු වැ) වෙසෙයි. මෙරමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) කයෙහි හෝ කායානුපස්සී වැ (අනිත්‍යාදීන් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ) වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද ආශ්වාස ප්‍රශ්වාස කයෙහි (අනිත්‍යාදීන්) නොයෙක් අයුරින් බලන සුලු වැ හෝ වෙසෙයි.
(කරජකය නාසාපුට සිත යන) ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ඉපැත්මට කාරණ වන දෑ නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කරජකය ආදීන්ගේ ආභාවයෙහි ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වැනැස්ම නොයෙක් අයුරින් පුන පුනා දක්නේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. වරෙක ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ඉපැත්ම ද වරෙක ඔවුන්ගේ වැනැස්ම ද නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ කායානුපස්සී වැ වෙසෙයි.
(මෙසේ කමටහන් වඩන) ඒ යෝගාවචරයාහට ආශ්වාස ප්‍රශ්වාස කය වූකලී ඇතැ යි (පරමාර්‍ත්‍ථ වශයෙන් සත්‍වයෙක් පුද්ගලයෙක් නැතැ යි) ම හෝ සිහිය එළැඹැ සිටියේ වෙයි. ඒ සිහිය ද මතුමත්තෙහි ඥානයේ වැඩීම පිණිස ම වේ. මතුමත්තෙහි සිහියේ වැඩීම පිණිස ම වේ (අන් කිසිවක් පිණිස නො වේ). මෙසේ වූ ඒ යෝගාවචර තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙදෙනාගේ වශයට නො හසු වැ (අනිඃශ්‍රිත වැ) වෙසෙයි. ලොවැ කිසිවක් ආත්ම ආත්මීය වශයෙන් නො ගනී. මහණෙනි, මහණ තෙමෙ මෙසේත් රූ කයෙහි කායානුපස්සනාව කරන සුලු වැ වෙසෙයි.
ආනාපානපර්‍වය නිමියේ ය.
5. තව ද අනෙකක් කියම්. යෝගාවචර මහණ තෙම යන්නේ හෝ යෙමි යි (පරමාර්‍ත්‍ථ වශයෙන් යන්නෙක් නැතැ යි ද ‘යෙමි’ යි පහළ වූ සිතින් ඉපි ද කය පුරා පැතිරැ ගිය වායු ධාතු වේගයෙන් වූ රූකයේ චලනය ම ඇතැ යි) දනී. සිටියේ හෝ සිටියෙම් වෙමි යි (‘සිටිමි’ යන සිතින් ඉපැද කය පුරා පැතිර ගිය වායු වේගයෙන් රූ කයේ චලන විශේෂයක් වූ සිටීම් නැමැති ඉරියව්ව ම ඇතැ යි) දනී. හිඳින්නේ හෝ හිඳිමියි දනී. වැදැ හෝනේ හෝ වැදැහෙන්නෙම් වෙමි යි (චිත්ත ක්‍රියා වායු ධාතුව පැතිරැ යෑමෙන් වූ වැද හෝනා ඉරියව්ව පැවැත්ම ම ඇතැ යි) දනී. යම් යම් අයුරින් හෝ ඔහුගේ රූ කයැ පවත්නේ වේ ද ඒ ඒ අයුරින් එය දනී.
මෙසේ තමාගේ ඉරියවු කයෙහි හෝ (ගමන් ඈ ඉරියවු පිරිසිඳිනුයේ) කායානුපස්සනාව වඩන සුලු වැ වෙසේ. මෙරමාගේ ඉරියවු කයෙහි හෝ (ඉරියවු පිරිසිඳිනුයේ) කායානුපස්සනාව වඩන සුලු වැ වෙසේ. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද ඉරියවු කයෙහි කායානුපස්සනාව වඩනුයේ වෙසේ. (ගමන් ඈ) ඒ ඒ ඉරියව්වේ ඉපැත්ම බලනුයේ හෝ ඉරියවු කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. ඒ ඒ ඉරියව්වේ නැසීම බලනුයේ හෝ ඉරියවු කයෙහි කායානුපස්සී වැ වෙසේ. වරෙක ඉරියවු කයෙහි ඉපැත්ම ද වරෙක එහි වැනැස්ම ද නොයෙක් අයුරින් පුන පුනා දක්නේ හෝ වෙසේ.
ඒ ඒ ඉරියවුහි සිහිය යොමු කොට වසන ඒ යෝගාවචර මහණහට ‘ඉරියවු පැවැත්ම ම ඇතැ යි (පරමාර්‍ත්‍ථයෙන් ඉරියවු පවත්වන සතෙක් පුඟුලෙක් නැතැ යි) සිහිය එළැඹ සිටියේ වෙයි. මෙසේ එළැඹ සිටි සිහිය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම, සිහිය වැඩෙනු පිණිස ම වේ (අන් කිසිවක් පිණිස නො වේ). මෙසේ වූ ඒ යෝගාවචර තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකේ වශයට නො හසු වැ (අනිඃශ්‍රිත වැ) වෙසෙයි. ලොවැ කිසිවක් ආත්ම ආත්මීය විසින් නො ගනී. මහණෙනි, මහණ තෙමෙ මෙසේද රූ කයෙහි කායානුපස්සනාව කරන සුලු වැ වෙසෙයි.
ඊර්‍ය්‍යාපථ පර්‍වය නිමියේ ය.
6. තව ද අන් කමටහනක් කියම්. මහණෙනි, මහණ තෙමෙ ඉදිරියට යෑමෙහි ද පෙරළා ඊමෙහි ද (සත්‍ව පුද්ගල නො වන හුදු ධාතු සමූහයෙක් ම ඉදිරියට ම යෑම පෙරැළා ඊම ද කෙරේ යැ යි) සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැනගනිමින් එය කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහි ද අනුදික් බැලීමෙහි ද (උඩ සඳහන් පරිදි) සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැනගනිමින් (එය) කරන්නේ වෙයි. අත් පා හැකිළීමෙහි ද දිගු කිරීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (එය) කරන්නේ වෙයි. සඟළ සිවුරු හා පා සිවුරු හා දැරීමෙහි ද (ධාතු සමූහයක් ධාතු සමූහයක් වැළැඳ ගනී යන ආදීන්) සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (එය) කරන්නේ වෙයි. බොජුන් වැළැඳීමෙහි ද පැන් පීමෙහි ද ඛාද්‍යාදිය විකා කෑමෙහි ද (මී සකුරු ආදිය) රස විඳීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (එය) කරන්නේ වෙයි. මල මූ පහ කිරීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැනගනිමින් (එය) කරන්නේ වෙයි. යෑමෙහි ද සිටීමෙහි ද හිඳීමෙහි ද නිදි ගැන්මෙහි ද පිබිදීමෙහි ද කථා කිරීමෙහි ද නිහඬ වීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (ඒ ඒ ක්‍රියා) කරන්නේ වෙයි.
මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. (ඉදිරියට යෑම් ආදි) ක්‍රියාවන්ගේ ඉපැත්මට කරුණු දක්නා සුලු වූයේ හෝ කයෙහි කායානුපස්සනායෙහි යෙදී වෙසෙයි. (ඉදිරියට යෑම් ආදි) ක්‍රියාවන්ගේ වැනැස්මට කරුණු දක්නා සුලු වූයේ හෝ කයෙහි කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. වරෙක ඒ ක්‍රියාවන්ගේ ඉපැත්මට කරුණු ද වරෙක ඒ ක්‍රියාවන්ගේ වැනැස්මට කරුණු ද දක්නා සුලු වූයේ හෝ කයෙහි කායානුපස්සනායෙහි යෙදී වෙසෙයි.
(මෙසේ චතුසම්පජඤ්ඤය වැඩීමෙහි යෙදුණු) ඒ යෝගාවචර මහණහට වනාහි (ඉදිරියට යෑම් ආදි ක්‍රියා පැවැත්ම වූ) කය ම ඇතැ යි (ඒ ක්‍රියා කරන සතෙක් පුඟුලෙක් නැතැ’යි) සිහිය එළැඹැ සිටියේ වෙයි. ඒ සිහිය ද වූ කලී මතු මත්තෙහි නුවණ වැඩීම පිණිස ම, සිහිය වැඩීම පිණිස ම වෙයි. මෙසේ වූ හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ වසන්නේ ද වේ. තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ලොවැ යෑම් ආදි කිසිදු ක්‍රියාවක් (සත්‍ව පුද්ගල ආත්ම ආත්මීයාදි විසින් නො ද) ගනී.
මහණෙනි, මහණ තෙම මෙස් ද කයෙහි කායානුපස්සනාව කරන සුලු වැ වෙසෙයි.
සම්ප්‍රජන්‍ය පර්‍වය නිමියේ ය.
7. තව ද අනෙක් කමටහනක් කියම්. මහණෙනි, මහණ තෙම පතුලෙන් උඩ, කෙසඟින් යට, (සරසින්) සම කෙළවර කොටැ ඇති නන් අයුරු අසුචියෙන් පිරී සිටි මේ කරජ කය ම මතු දැක්වෙන පරිදි නුවණින් සලකා බලයි:
මෙ සිරුරෙහි කෙස් යැ, ලොම් යැ, නිය යැ, දත් යැ, සම යැ, මස් පිඬු යැ, නහර යැ, ඇට යැ, ඇට මිඳුලු යැ, වකු ගඩු යැ, හද මස යැ, අක්මා යැ, දළ බුව යැ, බඩ දිව යැ, පපු මස යැ, අතුනු වැටිය යැ, අතුනු බහන යැ, නොදිරු අහර යැ, මල යැ, පිත යැ, සෙම යැ, සැරොව යැ, ලෙහෙ යැ, ඩහදිය යැ, මේද තෙල යැ, කඳුළු යැ, වුරුණු තෙල යැ, කෙළ යැ, සොටු යැ, සඳමිඳුලු යැ, මුත්‍ර යැ යන මේ දෙතිසක් කුණපයෝ ඇත” යනු යි.
මහණෙනි, දෙ පසින් මුව දෙකක් ඇති මල්ලෙක් හැල්වී මාවී මුං මෑ තල සහල් යන නන් වැදෑරුම් ධාන්‍යයෙන් යම්සේ පිරුණේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මල්ල මුදා (ලිහා) ඒ හැම ධාන්‍ය බලා, මේ හැල් වී ය, මේ මා වී ය, මේ මුං ය, මේ මෑ ය, මේ තල ය, මේ සහල් යැ යි ඒ ඒ ධාන්‍ය වර්‍ග වෙන් වෙන් කොට සලකා බලන්නේ ද, එ පරිද්දෙන් ම, මහණෙනි, මහණ තෙමෙ මෙ කයෙහි පතුලෙන් උඩ කෙසඟින් යට (සරසින්) සම කෙළවර කොට ඇති නන් අයුරු අසූචියෙන් පිරී සිටි මෙ සිරුර ම නුවණින් සලකා බලයි. (කෙසේ ද?) මෙ කයෙහි කෙස් යැ, ලොම් යැ, නිය යැ, දත් යැ, සම යැ, මස් යැ, නහර යැ, ඇට යැ, ඇට මිඳුලු යැ, වකුගඩු යැ, හදමස යැ, අක්මාව යැ, දලබුව යැ, බඩදිව යැ, පපුමස යැ, අතුනුවැටිය යැ, අතුනුබහන යැ, නොදිරු අහර යැ, මල යැ, පිත යැ, සෙම යැ, සැරොව යැ, ලෙහෙ යැ, ඩහදිය යැ, මේද තෙල යැ, කඳුලු යැ, වුරුණු තෙල යැ, කෙළ යැ, සොටු යැ, සඳමිඳුලු යැ, මුත්‍ර යැයි මේ දෙතිසක් කුණප ඇතැ”යි යනු යි. මෙසේ තම කයෙහි හෝ කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි, මෙරමා කයෙහි හෝ කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි. විටෙක තමා කයෙහි ද විටෙක මෙරමා කයෙහි ද කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි. ඒ කේශාදීන් හටගන්නා සැටි (හටගැන්මට ප්‍රත්‍යය වන දෑ) පුන පුනා නොයෙක් අයුරින් බලන සුලු වැ වෙසෙයි, (ප්‍රත්‍යයයන්ගේ අභාවයෙන්) ඔවුන් නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. වරෙක ඒ කේශාදීන් හටගන්නා සැටි ද වරෙක ඔවුන් නැසෙන සැටි ද නොයෙක් අයුරින් පුනපුනා බලන සුලු වැ වෙසෙයි.
මෙසේ කමටහන් වඩන ඔහුට “කුණප කොටස් රැසෙක් ම ඇත්තේ යැ. (සතෙක් පුඟුලෙක් නොමැත්තේ යැ) යි සිහිය එළැඹ සිටියේ වෙයි. එ ද මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වේ. මෙසේ හෙ තෙමේ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නොහසු ව ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ගනී. මහණෙනි, මෙසේත් මහණ තෙමෙ කයෙහි කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි.
ප්‍රතිකූලමනස්කාර පර්‍වය නිමියේ ය.
8. තවද අන් කමටහනක් කියම්. මහණෙනි, මහණ තෙමෙ මේ කය සිටි පරිදි, පිහිටුවූ පරිදි, ‘මෙ කයැ පෘථිවි ධාතුව ඇත, අබ් ධාතුව ඇත, තේජෝ ධාතුව ඇත, වායු ධාතුව ඇතැ’ යි ධාතු වශයෙන් පස්විකයි (නුවණින් සලකා බලයි).
මහණෙනි, යම් සේ දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතකයක්හුගේ ඇතැවැස්සෙක් හෝ දෙනක මරා සතරමං හන්දියෙක කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා හුන්නේ වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම මහණ තෙම මෙ සිරුර ම සිටි පරිදි, පිහිටු වූ පරිදි, ‘මෙ කයෙහි පෘථිවි ධාතුව ඇත, අබ්ධාතුව ඇත, තේජෝ ධාතුව ඇත, වායු ධාතුව ඇතැ’යි ධාතු වශයෙන් පස් විකයි (නුවණින් බෙද බෙදා බලයි).
මෙසේ තමාගේ කයෙහි හෝ මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි. ඒ සතර ධාතූන් උපදනා සැටි නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. ඒ සතර ධාතූන් නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. වරෙක සතර ධාතූන් උපදනා සැටිත් වරෙක ඔවුන් නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුනපුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
ඒ යෝගාවචර මහණහට වනාහි මේ ධාතුමාත්‍ර වූ ශරීරය ඇතැ යි (පරමාර්‍ත්‍ථ වශයෙන් සත්‍වයෙක් පුද්ගලයෙක් නැතැ යි) සිහිය එළැඹ සිටියේ වෙයි. ඒ එළැඹ සිටි සිහිය ද මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. මෙසේ වූ හෝ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි. ලොවැ (ධාතුමාත්‍ර කයෙහි) කිසිත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ආත්ම ආත්මීය විසින් නො ද ගනී.
මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
ධාතුමනස්කාර පර්‍වය නිමියේ ය.
9. තව ද අනෙකක් කියම්. මහණෙනි, මෙහි මහණ තෙම අමු සොහොනැ දමන ලද, මැරී දවසක් ගත වූ හෝ මැරී දෙ දවසක් ගත වූ හෝ මැරී තුන් දවසක් ගත වූ, ඉදිමුණු, නිල් වූ, පූයා වැගිරෙන, සිරුරක් යම්සේ දක්නේ ද, හෙ තෙමෙ ‘මේ මගේ සිරුරත් මෙබඳු ස්වභාවය ඇත්තේ යැ’යි ‘මෙසේ වන සුලු යැ’යි ‘මේ ඉදිමුම් ආදි ගති නො ඉක්මැ සිටියේ යැ’යි මේ සිරුර ම එ කයෙහි එළවා බලයි.
මෙසේ තමාගේ සිරුරෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, මෙරමා සිරුරෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. වරෙක තමාගේ සිරුරෙහිත් වරෙක මෙරමාගේ සිරුරෙහිත් කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. කය උපදනා සැටි නොයෙක් අයුරින් නැවැත නැවැත බලන සුලු වැ වෙසෙයි. සිරුර නැසෙන සැටි නොයෙක් අයුරින් නැවත නැවත බලන සුලු වැ වෙසෙයි. වරෙක සිරුර උපදනා සැටිත් වරෙක සිරුර නැසෙන සැටිත් නොයෙක් අයුරින් නැවත නැවත බලන සුලු වැ වෙසෙයි.
මෙසේ බවුන් වඩන ඔහුට ඉදිමෙන සුලු බව ආදි නොයෙක් ආදිනවයෙන් යුත් නිසරු සිරුර ම ඇතැ යි හෝ සිහිය එළැඹ සිටියේ වෙයි, එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයන්ගෙන් විරහිත මැ වෙසෙයි. ලොවැ (සිරුරෙහි) කිසිත් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නො ගනී.
මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(පළමු සීවථිකයයි)
10. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙමෙ අමුසොහොනෙහි දමා පියන ලද කවුඩන් විසින් කනු ලබන හෝ උකුස්සන් විසින් කනු ලබන හෝ ගිජුලිහිණියන් විසින් කනු ලබන හෝ බල්ලන් විසින් කනු ලබන හෝ සිවලුන් විසින් කනු ලබන හෝ විවිධ ප්‍රාණීන් විසින් කනු ලබන මළ සිරුරක් යම්සේ දක්නේ ද, හෙතෙම ‘මාගේ සිරුරත් මෙබඳු ස්වභාවය ඇත්තේ යැ, මෙසේ වන සුලු යැ, මේ ස්වභාවය නො ඉක්මියේ මැ’යි මෙ සිරුර ම එකී සොහොනෙහි දමන ලද සිරුර හා එළවා බලයි.
මෙසේ හෙතෙම තමාගේ සිරුරෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, මෙරමාගේ සිරුරෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. වරෙක තමාගේ සිරුරෙහිත් වරෙක මෙරමාගේ සිරුරෙහිත් කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. මෙ සිරුරැ උපදනා සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි, මෙ සිරුර නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. වරෙක සිරුර උපදනා සැටිත් වරෙක සිරුර නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි.
ඔහුට ‘ඉදිමීම් ආදීන් නිසරු වූ කය ම ඇත (සතෙක් පුඟුලෙක්) නැතැ යි)’ සිහිය එළැඹ සිටියේ වෙයි, එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි. ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ම ගනී.
මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(දෙවෙනි සීවථිකය යි)
11. තව ද අනෙකක් කියම්. මහණ තෙම ලේ මස් සහිත, නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ, සොහොනෙහි දමා පියන ලද සිරුරක් යම්සේ දක්නේ ද, හෙතෙම මේ මගේ සිරුරත් මෙසේ වූ ස්වභාවය ඇත්තේ යැ, මෙසේ වන සුලු යැ, මේ ස්වභාවය නො ඉක්මි යැ’ යි මේ සිරුර ම ඒ සොහොනෙහි දමන ලද සිරුර හා එළවා බලයි.
මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. කලෙක තමාගේ කලෙක මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. මෙ කය උපදනා සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. මෙ සිරුරැ නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. වරෙකැ කය උපදනා සැටිත් වරෙක එය නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි.
ඔහුට ඉදිමීම් ආදීන් නිසරු වූ කය ම ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි ඔහුගේ නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි. ලොව කිසිත් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නො ම ගනී.
මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(තෙවෙනි සීවථිකය යි)
12. තව ද අනෙකක් කියම්. මහණෙනි, යම්සේ මහණ තෙම මස් නැති, ලෙයින් වැකුණු නහරින් බැඳුණු ඇටසැකිල්ලක් වූ සොහොනෙහි දමා පියන ලද මළ සිරුරක් දක්නේ ද, ඒ මහණ තෙම ‘මේ මගේ සිරුරත් මෙබඳු ස්වභාවය ඇත්තේ යැ යි, මෙසේ වන සුලු යැ යි, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි මේ තමාගේ සිරුර ම ඒ ඇටසැකිල්ලෙහි එළවා බලයි.
මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, වරෙක තමාගේ කයෙහි ද වරෙක මෙරමාගේ කයෙහි ද කායානුපස්සී වැ වෙසෙයි. කය හටගන්නා සැටි නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. කය නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. වරෙක කය හටගන්නා සැටි ද වරෙක කය නැසෙන සැටි ද නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
ඒ යෝගාවචර මහණහට ඉදිමීම් ආදි දෝෂයෙන් නිසරු වූ කය ඇත්තේ යැ (සතෙක් පුඟුලෙක් නැතැ) යි සිහිය එළැඹ සිටියේ වෙයි. එසේ වූ ඒ සිහිය වනාහි මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ද සිහිය වැඩෙනු පිණිස ද වේ. එසේ වූ හෙ තෙම තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වූයේ ද වෙසෙයි. ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ගනී.
මහණෙනි, මහණ තෙම මෙසේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(සතරවන සීවථිකය යි)
13. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම පහ වූ ලේ මස් ඇති, නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ, සොහොනෙහි දමන ලද සිරුරක් යම්සේ දක්නේ ද, හෙ තෙමෙ ‘මේ මගේ සිරුර ද මෙබඳු ස්වභාවය ඇත්තේ ය, මෙසේ වන සුලු යැ, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි එය හා මෙ සිරුර එළවා බලන්නේ ය.
මෙසේ තමාගේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි, වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කයෙහි උපදනා සැටිය නන් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. කයෙහි නැසෙන සැටිය නන් අයුරින් පුන පුනා බලන සුලු වැ හෝ වෙසෙයි. වරෙක කයෙහි උපදනා සැටියත් වරෙක නැසෙන සැටියත් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
ඉදිමිම් ආදීන් නිසරු වූ කය ඇතැ (සතෙක් පුඟුලෙක් නැතැ) යි හෝ ඔහුට සිහිය එළඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි ඥානයාගේ වැඩීම පිණිස ම සිහියේ වැඩීම පිණිස ම වේ. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයන් විසින් නො හසු කැරැ ගන්නා ලදු ව ද වෙසෙයි, ලොවැ කිසිවකුත් හේ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයන්ගෙන් නො ගනී.
මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(පස් වන සීවථිකය යි)
14. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙමෙ පහ වූ නහර බැඳුම් ඇති, අන් දිසාවෙක අත් ඇට ද, අන් දිසාවෙක පා ඇට ද, අන් දෙසෙකැ ගොප් ඇට ද, අන් දිසාවෙක කෙංඩා ඇට ද, අන් දිසාවෙක කලවා ඇට ද, අන් දිසාවෙක ඉඟ ඇට ද, අන් දිසාවෙක පිටකටු ඇට ද, අන් දෙසෙකැ කඳැට ද, අන් දිසාවෙක ගෙලැට ද, අන් දිසාවෙක හනු ඇට ද, අන් දෙසෙකැ දත් ඇට ද, අන් දිසාවෙක හිස් කබල දැ යි මෙසේ දසනු දෙස්හි විසිරී ගිය ඇට කැබැලි ම වූ සිරුරක් යම්සේ දක්නේ ද, හේ මගේ මේ සිරුර ද මෙබඳු ස්වාභවය ඇත්තේ යැ යි මෙසේ වන සුලුයැ’යි ‘මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි මෙ සිරුර ම එ කී ඇට කැබැලි රැස හා එළවා බලයි.
මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කයැ හටගන්නා සැටිය නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. කයැ නැසෙන සැටිය නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. වරෙක කයැ හටගන්නා සැටිත් වරෙක කයැ නැසෙන සැටිත් නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
ඔහුට ‘කැබැලි කැබැලි වැ විසිරී යන ඇට ගොඩක් ම වූ මේ සිරුර ඇත, (සතෙක් පුඟුලෙක් මෙහි නැත)’ කියා සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ද සිහිය වැඩෙනු පිණිස ද වෙයි. මෙසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා නිඃශ්‍රය රහිත වැ ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නො ගනී. මහණෙනි, මෙසේත් මහණ තෙමෙ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(සවන සීවථිකය යි)
15. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම හක් බඳු සුදුපැහැති ඇට ගොඩක් ම වූ, සොහොනෙහි දමන ලද සිරුරක් යම්සේ දක්නේ ද, හේ ‘මේ මගේ සිරුර ද එසේ ඇට රැසක් බවට පැමිණෙන සුලු ය, මෙබඳු වන සුලු ය, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි එකී ඇට රැසක් ම වූ සිරුරෙහි එළවා බලයි.
මෙසේ හේ තමාගේ සිරුරෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ සිරුරෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. වරෙක තමාගේ සිරුරෙහි ද වරෙක මෙරමාගේ සිරුරෙහි ද කායානුපස්සී වැ වෙසෙයි. කයේ හටගන්නා සැටිය නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි, කයේ නැසෙන සැටිය නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. වරෙක කයැ හටගන්නා සැටිත් වරෙක කයැ නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
ඇට කැබැලි රැසක් ම වූ සිරුර ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩීම පිණිස, සිහිය වැඩීම පිණිස වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණාදෘෂ්ටීන් නො ගන්නේ ද වෙයි. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(සත්වන සීවථිකය යි)
16. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම සොහොනැ දමන ලදු වැ අවුරුද්දක් ඉක්ම ගියැ තැන තැන ගොඩ ගැසුණු, ඇට රැසක් ම වූ සිරුරක් යම් සේ දක්නේ ද, එ සේ හෙ තෙමේ ‘මේ මගේ කය ද මෙ බඳු ස්වභාවය ඇත්තේ ය, මෙසේ වන සුලු ය, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි මේ කය ම යට කී ඇට ගොඩක් ම වූ සිරුරෙහි එළවා බලයි.
මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කයෙහි උපදනා සැටිය නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. කයෙහි නැසෙන සැටිය නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. වරෙක කය උපදනා සැටිත් වරෙක කය නැසෙන සැටිත් නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
ඇට ගොඩක් ම වූ කය ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ) යි හෝ ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය නුවණ වැඩෙනු පිණිසම, සිහිය වැඩෙනු පිණිස ම වේ. එසේ වූ හේ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය රහිත ව ද වෙසෙයි, ලොවැ කිසිවකුත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ගනී. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(අටවන සීවථිකය යි)
17. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම සොහොනැ දමන ලදු වැ, කුණු වූ සුණු වූ ඇට සුණු රැසක් ම වූ සිරුරක් යම් සේ දක්නේ ද, එසේ හේ ‘මේ සිරුර ද මෙ බඳු ස්වභාවය ඇත්තේ ය, මෙසේ වන සුලු ය, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි මේ සිරුර ම එකී ඇට සුණු රැස හා එළවා බලයි.
මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කය හටගන්නා සැටි නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කය නැසෙන සැටි නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. වරෙක කය උපදනා සැටි ද වරෙකැ නැසෙන සැටි ද නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
කය ම ඇතැ යි (මෙහි සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම, සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය රහිත වැ ද වෙසෙයි, ලොවැ කිසිවකුත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ද ගනී. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(නවවන සීවථිකය යි) නවසීවථික පර්‍වය නිමියේ ය.
තුදුස් කායානුපස්සනාවෝ නිමවන ලදහ.
වේදනානුපස්සනාව
18. මහණෙනි, මහණ තෙම කෙසේ නම් වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසේ ද යත්: මහණෙනි මෙහි මහණ තෙම කායික හෝ චෛතසික සුඛ වේදනාවක් විඳුනේ, ‘සුඛ වේදනාවක් විඳිමි’යි දනී, කායික හෝ චෛතසික දුක් වේදනාවක් විඳුනේ, ‘දුක් වේදනාවක් විඳිමි’යි දනී, දුක් ද නොවූ සුව ද නොවූ (මැදහත් අයුරු වූ) උපේක්‍ෂා වේදනාවක් විඳුනේ, ‘උපේක්‍ෂා වේදනාවක් විඳිමි’යි දනී.
කාමනිඃශ්‍රිත සුඛවේදනාවක් හෝ විඳුනේ ‘කාමනිඃශ්‍රිත සුඛ වේදනාවක් විඳිමි’ යි දනී. නෛෂ්කාම්‍ය නිඃශ්‍රිත සුඛ වේදනාවක් විඳුනේ, ‘නෛෂ්කාම්‍ය නිඃශ්‍රිත සුඛවේදනාවක් (පින් රිසියන් විසින් ලැබියැ යුතු කුශල සහගත සොම්නසක්) විඳිමි’යි දනී. කාමනිඃශ්‍රිත දුක්වේදනාවක් හෝ විඳුනේ ‘දුක් වේදනාවක් විඳිමි’යි දනී. නෛෂ්කාම්‍ය නිඃශ්‍රිත (කුශලපක්‍ෂගත) දුක් වේදනාවක් හෝ විඳුනේ ‘දුක් වේදනාවක් විඳිමි’යි දනී. කාමනිඃශ්‍රිත උපේක්‍ෂා වේදනාවක් හෝ විඳුනේ ‘උපේක්‍ෂා වේදනාවක් විඳිමි’යි දනී. නෛෂ්කාම්‍ය නිඃශ්‍රිත උපේක්‍ෂා වේදනාවක් හෝ විඳුනේ ‘උපේක්‍ෂා වේදනාවක් විඳිමි’යි දනී.
මෙසේ තමාගේ වේදනාවන්හි හෝ වේදනානුපස්සී වැ වෙසෙයි. මෙරමාගේ වේදනාවන්හි හෝ වේදනානුපස්සී වැ වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි. වේදනාවන්ගේ හටගැන්මට ප්‍රත්‍යය වූ දෑ නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි. වේදනාවන්ගේ වැනැස්මට කරුණු වූ දෑ නොයෙක් අයුරින් පුනපුනා බලනුයේ, වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි. වරෙක වේදනාවන්ගේ හටගැන්මට කරුණු වූ දෑ ද වරෙක වේදනාවන්ගේ වැනැස්මට කරුණු වූ දෑ ද බලනුයේ වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි.
වේදනාව ඇතැයි (විඳුනා සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩීම පිණිස ම, සිහිය වැඩීම පිණිස ම වෙයි. එසේ වූ හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි. ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නො ගනී. මහණෙනි, මෙසේ ම මහණ තෙම වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි.
වේදනානුපස්සනාව නිමියේ ය.
චිත්තානුපස්සනාව
19. මහණෙනි, මහණ තෙමෙ සිතෙහි කෙසේ නම් චිත්තානුපස්සී වැ වෙසේ ද යත්:
මහණෙනි, මෙහි මහණ තෙම රාග සහිත සිත (අට වැදෑරුම් ලෝභ සහගත සිත) රාග සහිත සිත යැ යි දන්නේ හෝ වේ. පහ වූ රාගය ඇති සිත (ලෞකික කුසල් සිත් හා අව්‍යාකෘතසිත්) පහ වූ රාගය ඇති සිතැ යි දන්නේ හෝ වේ. ද්වේෂ සහිත සිත (දොම්නස් සහගත දෙ සිත) ද්වේෂ සහිත සිතැ යි දන්නේ හෝ වේ. පහ වූ ද්වේෂය ඇති සිත (ලෞකික කුශලාව්‍යාකෘත සිත්) පහ වූ ද්වේෂය ඇති සිතැ යි දන්නේ හෝ වේ. මෝහ සහිත සිත (මෝමූහ දෙ සිත) මෝහ සහිත සිතැ යි දන්නේ හෝ වේ. පහ වූ මෝහය ඇති සිත පහ වූ මෝහය ඇති සිතැ යි දන්නේ හෝ වේ. සංක්‍ෂිප්ත (හැකුලුණු) සිත (ථිනමිද්ධ සහගත සිත) සංක්‍ෂිප්ත සිත යැ යි දන්නේ හෝ වේ. වික්‍ෂිප්ත වූ සිත (උද්ධච්ච සහගත සිත) වික්‍ෂිප්ත සිත යැ යි දන්නේ හෝ වේ. මහද්ගත සිත (රූපාවචර අරූපාවචර සිත්) මහද්ගත සිත යැ යි දන්නේ හෝ වේ, අමහද්ගත සිත (කාමාවචර සිත) අමහද්ගත සිත යැ යි දන්නේ හෝ වේ. සෝත්තර සිත (තමාහට උත්තරයක්හු ඇති සිත හෙවත් කාමාවචර සිත) සෝත්තර සිත යැ යි දන්නේ හෝ වේ. අනුත්තර සිත (ලොවී සිත් අතුරෙහි තමාහට උත්තරයක්හු නැති සිත) අනුත්තර සිත යැ යි දන්නේ හෝ වේ. සමාහිත සිත (අර්‍පණා වශයෙන් හෝ උපචාර වශයෙන් හෝ එකඟ වූ සිත) සමාහිත සිත යැ යි දන්නේ හෝ වේ. අසමාහිත සිත (අර්‍පණා උපචාර යන දෙ සැටියෙන් ම සමාධිගත නො වූ සිත) අසමාහිත සිත යැ යි දන්නේ හෝ වේ. (තදඞ්ග විමුක්ති විෂ්කම්භණ විමුක්ති දෙකින්) මිදුණු සිත මිදුණු සිතැ යි දන්නේ හෝ වේ, නො මිදුණු සිත නො මිදුණු සිතැ යි දන්නේ හෝ වේ.
මෙසේ තමාගේ සිතෙහි හෝ චිත්තානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ සිතෙහි හෝ චිත්තානුපස්සී වැ වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද සිතෙහි හෝ චිත්තානුපස්සී වැ වෙසෙයි. සිත උපදනට ප්‍රත්‍යය වූ ධර්‍ම නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ සිතෙහි (චිත්තානුපස්සී වැ) වෙසෙයි. සිත නැස්මට ප්‍රත්‍යය වූ ධර්‍මය නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ සිතෙහි (චිත්තානුපස්සී වැ) වෙසෙයි. වරෙක සිත් හටගන්නටත් වරෙක සිත් නැසෙන්නටත් ප්‍රත්‍යය වූ කරුණු නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ සිතෙහි (චිත්තානුපස්සී වැ) වෙසෙයි.
මෙහි සිත වනාහි ඇතැයි (සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුට සිහි එළැඹ සිටියේ වෙයි. ඒ මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වේ. මෙසේ වූ හෙ තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටි නිඃශ්‍රය දෙකින් නො හසු කැරැගන්නා ලද්දේ ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි දෙකින් නො ගන්නේ ද වෙයි. මහණෙනි, මෙසේ මහණ තෙම සිතෙහි චිත්තානුපස්සී වැ වෙසෙයි.
චිත්තානුපස්සනාව නිමියේ ය.
ධම්මානුපස්සනාව
20. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් නීවරණාදි ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ (ධර්‍මානුදර්ශී වැ) වෙසේ ද යත්:
මහණෙනි, මෙහි මහණ තෙමෙ පංචනීවරණ ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ (ඒ ඒ නීවරණයක් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි. මහණෙනි, මහණ තෙම පංචනීවරණ ධර්‍මයන්හි කෙසේ ධම්මානුපස්සී වැ වෙසේ ද? යත්:
මහණෙනි, මෙහි මහණ තෙම ‘මගේ සිත් සතන්හි කාමච්ඡන්‍දය ඇතැ’ යි හෝ තමාගේ සිත් සතන් හි ඇති කාමච්ඡන්‍දය දනී. ‘මගේ සිත් සතන්හි කාමච්ඡන්‍දය නැතැ’යි හෝ තමාගේ සිත් සතන්හි නැති කාමච්ඡන්‍දය දනී. යම් සේ (යම් කරුණෙකින්) නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම්සේ උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මත්තෙහි (රහත් වන්නට පෙරැ) නො ඉපැද්මෙක් වේ ද, එය ද දනී.
ඇත්තා වූ හෝ ස්වසන්තාන ගත ව්‍යාපාදය ‘මගේ සතන්හි ව්‍යාපාදයෙක් දැන් ඇතැ’යි හෝ දනී. ස්වසන්තාන ගත වැ නැත්තා වූ හෝ ව්‍යාපාදය ‘මගේ සිත් සතන්හි ව්‍යාපාදයෙක් දැන් නැතැ’යි හෝ දනී. යම් සේ ම නූපන් ව්‍යාපාදයාගේ ඉපැද්ම වේ ද, එයත් දනී. යම්සේ උපන් ව්‍යාපාදයාගේ ප්‍රහාණය වේ ද, එයත් දනී. යම් සේ ම ප්‍රහීණ වූ ව්‍යාපාදයාගේ මත්තෙහි නොඉපැද්ම වේ ද, එයත් දනී.
ඇත්තා වූ හෝ ස්වසන්තානගත ථීනමිද්ධය ‘මගේ සන්තානයෙහි ථීනමිද්ධය ඇතැ’යි දනී. තම සතන්හි නැත්තා වූ හෝ ථීනමිද්ධය ‘මගේ සන්තානයෙහි ථීනමිද්ධය නැතැ’යි දනී. යම් සේ ම නූපන් ථීනමිද්ධයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ ම උපන් ථීනමිද්ධයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ම ප්‍රහීණ වූ ථීනමිද්ධයාගේ මත්තෙහි නො ඉපැද්ම වේ ද එයත් දනී.
ඇත්තා වූ හෝ ස්වසන්තානගත උද්ධච්ච කුක්කුච්චය ‘මගේ සන්තානයෙහි උද්ධච්ච කුක්කුච්චය ඇතැ’යි දනී. සිය සතන්හි නැත්තා වූ හෝ උද්ධච්ච කුක්කුච්චය ‘මගේ සන්තානයෙහි උද්ධච්ච කුක්කුච්චය නැතැ’යි දනී. යම්සේ ම නූපන් උද්ධච්ච කුක්කුච්චයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ ම උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ම ප්‍රහීණ වූ උද්ධච්ච කුක්කුච්චයාගේ මත්තෙහි නො ඉපැද්ම වේ ද එයත් දනී.
ඇත්තාවූ හෝ ස්වසන්තානගත විචිකිච්ඡාව ‘මගේ සන්තානයෙහි විචිකිච්ඡාව ඇතැ’යි දනී. සිය සතන්හි නැත්තා වූ හෝ විචිකිච්ඡාව ‘මගේ සන්තානයෙහි විචිකිච්ඡාව නැතැ’යි දනී. යම්සේ ම නූපන් විචිකිච්ඡාවගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ ම උපන් විචිකිච්ඡාවගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ම ප්‍රහීණ වූ විචිකිච්ඡාවගේ මත්තෙහි නො ඉපැද්ම වේ ද එයත් දනී.
මෙසේ හෙ තෙම තම සතන්හි හෝ නීවරණ ධර්‍මයන් කෙරෙහි ධම්මානුපස්සී වැ වෙසෙයි. මෙරමාගේ සතන්හි හෝ නීවරණ ධර්‍මයන් කෙරෙහි ධම්මානුපස්සී වැ වෙසෙයි. විටෙක තම සතන්හි වූත් විටෙක මෙරමා සතන්හි වූත් නීවරණ ධර්‍මයන් කෙරෙහි ධම්මානුපස්සී වැ වෙසෙයි. නීවරණයන්ගේ ඉපැද්මට ප්‍රත්‍යය වූ දෑ නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ නීවරණධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. නීවරණයන්ගේ විනාශයට කාරණ වූ දෑ නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ නීවරණ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
නීවරණ ධර්‍මයෝ ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුට සිහි එළැඹ සිටියේ වෙයි. ඒ මත්තෙහි නුවණ වැඩීම පිණිස ම සිහිය වැඩීම පිණිස ම වේ. එසේ වූ හෝ තෘෂ්ණානිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකට නො හසු වූයේද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නොගනී. මහණෙනි, මෙසේත් මහණ තෙම පංච නීවරණ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
නීවරණ පර්‍වය නිමියේ ය.
21. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙමෙ උපාදාන ස්කන්‍ධ ධර්‍ම පසෙහි ධම්මානුස්සී වැ වෙසෙයි. මහණෙනි, මහණ තෙම කෙසේ නම් උපාදානස්කන්‍ධ ධර්‍ම පසෙහි ධම්මානුපස්සී වැ වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙම “රූපය මෙසේ යැ (මෙ තෙක් ය), රූපයේ ඉපැද්ම මෙසේ යැ, රූපයේ වැනැස්ම මෙසේ යැ, වේදනාව මෙතෙක් ය, වේදනාවගේ ඉපැද්ම මෙසේ යැ, වේදනාවගේ වැනැස්ම මෙසේ යැ, සංඥාව මෙතෙක් යැ, සංඥාවගේ ඉපැද්ම මෙසේ යැ, සංඥාවගේ වැනැස්ම මෙසේ යැ, සංස්කාරයෝ මෙතෙක්හ, සංස්කාරයන්ගේ ඉපැද්ම මෙසේ යැ, සංස්කාරයන්ගේ වැනැස්ම මෙසේ යැ, විඥානය මෙතෙක් යැ, විඥානයාගේ ඉපැද්ම මෙසේ යැ, විඥානයාගේ වැනැස්ම මෙසේ යැ” යි.
මෙසේ අධ්‍යාත්ම සන්තානයෙහි වූ ස්කන්‍ධ ධර්‍මයන් කෙරෙහි හෝ ධම්මානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ සන්තානයෙහි වූ ස්කන්‍ධ ධර්‍මයන් කෙරෙහි හෝ ධම්මානුපස්සී වැ වෙසෙයි, විටෙක අධ්‍යාත්ම සන්තානයෙහි වූ ස්කන්‍ධ ධර්‍මයන් කෙරෙහි ද විටෙක මෙරමාගේ සන්තානයෙහි වූ ස්කන්‍ධ ධර්‍මයන් කෙරෙහි ද ධම්මානුපස්සී වැ වෙසෙයි.
උපාදාන ස්කන්‍ධ ධර්‍මයෝ ම ඇතැ යි කියා හෝ ඔහුට සිහිය එළැඹ සිටියේ වෙයි, එය මතුමත්තෙහි නුවණ වැඩීම පිණිස ම, සිහිය වැඩීම පිණිස ම වෙයි. එසේ වූ හේ තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටි නිඃශ්‍රය විසින් නොහසු කැරැ ගන්නා ලද්දේ ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නොගන්නේ ද වෙයි.
මහණෙනි, මෙසේත් මහණ තෙම පංච උපාදාන ස්කන්‍ධ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
ස්කන්‍ධ පර්‍වය නිමියේ ය.
22. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම ආධ්‍යාත්මික බාහිර ෂඩායතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. මහණෙනි, මහණ තෙමෙ කෙසේ නම් ආධ්‍යාත්මික බාහිර ෂඩායතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසේ ද යත්: