එ බුදුරජුගේ ම දහමැ සොඳුරු බව් හෙයින් සක්දෙවිඳුගේ මහ තෙදැතිපුතෙක් වැ තිදසපුරැ උපනිමි. මෙහි ද මා ගෝපක යැ’ යි දනිත්.
ඉක්බිති පෙරැ දුටුවිරූ, (පෙරැ) දහන් ලැබ සිට, ගඳෙවු දෙව් රැහේ උපන් මහණුන් දිටිමි. යම් බඳු අපි පෙරැ මිනිස් වූමෝ, සිය නිවෙස්හි දී පා දෙවීම් ආදි විසින් සංග්‍රහ කොට,
අහරින් පැනින් යම් කෙනකුන්හට උවටන් කළමෝ ද, මේ ඒ ගොයුම්සව්වෝ යැ. මේ භවත්හු කවර අතක් බලා ගත්තාහු, බුදු රජුන්ගේ දහම් පිළිගත්තෝ ද?
පසැසියාණන් දැන දෙසූ දහම තමා විසින් ම දත යුතු ය. මම් ද තොප සෙයින් - තොප ම ඇසුරු කෙරෙමින් - ආර්‍ය්‍ය වූ බුදුරජුන්ගේ සුභාෂිතයන් තොප ගෙන් අසා පිළිපැද,
තිදස් ලොවැ උපන්නෙම්, සක්දෙවිඳුට මහානුභාව ඇති මහ තෙදැති පුතෙක් වීමි. තෙපි වනාහි උතුම් බුදුරජුන් ඇසුරු කරමින් ලොවුතුරු සසුන් බඹසර සරා,
පහත් දෙව්මුළුවෙක උපන්හු ය. භවතුන්ගේ මේ ඉපැත්ම (ඔබ කළ මහණදමට) නො සරි ලන සේ ය. හීන වූ දෙව් මුළුවෙක උපන් සහදැමි වූ තොප දක්නා ඇපි නො දැක්ක යුතු දැක්මක් දුටුම්හ.
භවත්හු ගඳැවු දෙව් රැහෙහි උපන්නාහු, සක් දෙවිඳුට වත් සපයනුවට එන්නාහ. ගිහි ගෙහි වුසූ මගේත් මහණ කම් කළ තොපගේත් මේ වෙසෙස දකිවු.
පෙරැ ස්ත්‍රී වූ ඒ මම් අද දෙව් කම්සුවෙන් යුත් පිරිමියෙකිමි” ගෝපක දෙව්පුතු කරා පැමිණ, ගොයුම් සවු වූ ඔහු විසින් චෝදිත වූ ඒ ගඳැවු දෙව් පුත්තු සංවේගයට පැමිණියාහ.
ඔවුන්ගෙන් දෙදෙනෙක් ‘දැන් ඇපි වැර වඩමු, වෑයම් කරමු, ඇපි මෙරමාහට මෙහෙ කරුවෝ නො වමෝ ව’ යි කියා, ගොයුම් බුදුරජුන්ගේ අනුශාසනා සිහි කොට කමටහන්හි වැර වැඩූහ.
ඔහු මෙහි දී ම පස්කම්හි ඇලුණු සිත් පහ කොට, කාමයන්හි දොස් දුටුහ. ඔහු ඉක්මෙනුවට දුෂ්කර වූ මරහුගේ බැඳුම් වූ කාම සංයෝජන ද කාම බන්‍ධන ද,
ඇතක් හු යදම්සෙයින් සිඳැ පියා, තව්තිසා වැසි දෙවියන් ඉක්මැ (බඹලෝ) ගියහ. ඉන්‍ද්‍රයා සහිත වූ ද, ප්‍රජාපතිහු සහිත වූ ද දෙව් සෙබෙහි යම් දෙවි කෙනෙක් හුන්නාහු ද,
එසේ හුන් ඒ දෙවියන් අතුරෙන් ශූර වූ ඔහු රාග රජස් දුරැ ලන්නාහු (අනැගැමි මඟ වඩන්නාහු), පහවූ රාග ඇත්තාහු, සෙසු දෙවියන් ඉක්මැ ගියාහ. දෙවියන් මැදැ සෙසු දෙවියන් අබිබවා සිටි සක් දෙවිඳු,
‘හීන දෙව් මුළුවෙක උපන් මොහු වනාහි (දහන් වඩා) තව්තිසා වැසි දෙවියන් ඉක්මැ යෙත් යැ’ යි සංවේගය පහළ කෙළේ ය. හටගත් සංවේග ඇති සක් දෙවිඳුගේ වචනය නුවණින් සලකා, ඒ ගෝපක දෙව් පුත් තෙමේ සක් දෙවිඳුට මෙසේ කී ය.
“ජනෙන්‍ද්‍රයෙනි, මිනිස් ලොවැ බුද්ධ නම් කෙනෙක් ඇත. කාමයන් මැඩැලූ ඔබ ශාක්‍යමුනි නම් වෙති. ඔබගේ පුත්‍ර වූ මොහු සිහියෙන් තොර වූවාහු, මා විසින් චෝදනා කරන ලදුවෝ සිහිය ලදුහ.
ඒ තුන් මහණුන් ගෙන් ගඳැවූ රැහැට පැමිණැ සිටි එකෙක් මෙහි මැ රැඳුණේ ය. සම්බෝධිමාර්‍ගය (අනගැමි මඟ) ඔස්සේ යන දෙදෙනෙක් ම සමාධිගත සිතැත්තාහු දෙවියන් යට පත් කෙරෙත්.
මෙ සස්නෙහි මෙ බඳු දහම් පවසනු ඇත. එහි ලා කිසිදු සව්වෙක් ‘මේ කෙසේ වන්නෙක් දැ’ යි සැක නො කරයි. තිණූ සතර මහවතුරු ඇති, සුන් සැක ඇති, ජනයනට ඉන්‍ද්‍ර වූ සියලු කෙලෙස් දිනූ බැවින් එක ම ජිනයාණන් වූ ඒ බුදුරජුන් නමදිමු.
“ඔවුන් තිදෙනා අතුරෙන් විශේෂගාමී වූ දෙදෙනෙක් මෙහි දී ම ඔබේ දහම දැන ගෙන බ්‍රහ්මපුරෝහිත කය (ප්‍රථමධ්‍යානය) ලැබ එය පාදක කොට විවසුන් වඩා අනඟැමි මඟ ලැබුවාහු ද,
නිදුකාණනි, ඒ දහම ලබනු පිණිස අපි මෙහි ආම්හ. නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද අවකාශ ඇත්තමෝ ප්‍රශ්න විචාරමෝ වා.”
11. “එකල්හි මේ සක් දෙව් වනාහි බොහෝ කලක් ම පිරිසිදු වැ ආයෙක. හේ යම් පැනයක් මා විචාරන්නේ ද, අර්‍ත්‍ථනිඃශ්‍රීත වූ ම (කරුණු සහිත වූ ම) ඒ සියල්ල විචාරන්නේ ය, අර්‍ත්‍ථනිඃශ්‍රීත නො වූවක් නො ම විචාරන්නේ ය. මොහු විසින් යමක් විචාරන ලදුයෙම්, මම් විසඳන්නෙම් නම්, හේ වහා ම එය දැනගන්නේ යැ” යි භගවත් බුදුරජුනට මේ සිත විය, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු බණවා (ගාථායෙන්)
“වාසවයෙනි, සිතින් යමක් කැමැත්තහු ද, ඒ පැනය මා විචාරවු. ඔබගේ ඒ ඒ හැම පැනයක් ම (විසඳා) කෙළවර කරන්නෙමි” යි වදාළ සේක.
පළමු බණ වර නිමියේ ය.
12. සක් දෙවිඳු පැන පුළුවුස්නා පිණිස ලත් අවකාශ ඇත්තේ,{1} භගවත් බුදුරජුන්ගෙන් මේ පළමු පැනය විචාළේ ය: “නිදුකාණන් වහන්ස, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්‍ධර්‍වයෝ ද මෙයින් අන්‍ය යම් බොහෝ දෙනෙක් ඇත් නම් ඔහු ද යන මේ හැම දෙනාට ‘වෙර බැඳුම් නැත්තෝ වැ ආයුධ දණ්ඩ මනෝදණ්ඩ නැත්තෝ වැ පසමිතුරන් නැත්තෝ වැ දොම්නස් නැත්තෝ වැ අවෛරී (කෝප මාත්‍ර දු නො උපදවන්නෝ) වැ වසන්නමු’ යි ප්‍රාර්‍ත්‍ථනාවෙක් වෙයි. එතෙකුදු වුවත් ඔහු වෛර ඇත්තාහු, දණ්ඩ ඇත්තාහු, පසමිතුරන් ඇත්තාහු, දොම්නස් ඇත්තාහු, වෛරී වූවාහු වෙසෙත්. කවර සංයෝජනයක් ඇත්තාහු (කවර බැම්මෙකින් බැඳුණාහු) ඔහු එසේ වෙසෙත් ද? යනු යි. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගෙන් මේ පළමු පැනය විචාළේ ය.
ඔහු විසින් පැන විචාරන ලද භගවත්හු එය මෙසේ විසඳා වදාළා හ:
“දෙවිඳ, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්‍ධර්‍වයෝ ද අන් යම් බොහෝ දෙනෙක් ඇත් නම් ඔහු ද යන මේ හැම දෙනාට වෙර බැඳුම් නැත්තෝ වැ ආයුධ දණ්ඩ මනෝ දණ්ඩ නැත්තෝ වැ පසමිතුරන් නැත්තෝ වැ දොම්නස් නැත්තෝ වැ අවෛරී වැ වසන්නමු’ යි ප්‍රාර්‍ත්‍ථනාවෙක් වෙයි. එතෙකුදු වුවත් ඔහු වෙර බැඳුම් ඇත්තෝ වැ දණ්ඩ ඇත්තෝ වැ පසමිතුරන් ඇත්තෝ වැ දොම්නස් ඇත්තෝ වැ වෛරී වැ වෙසෙත්. ඔහු ඊර්‍ෂ්‍යාවත් මාත්සර්‍ය්‍යයත් සංයෝජන කොටඇත්තාහු (ඊර්‍ෂ්‍යාමාත්සර්‍ය්‍ය දෙකින් බැඳුණාහු), එසේ වෙසෙත්.” ප්‍රශ්න විචාරනු ලැබූ භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුගේ පැනය මෙ පරිද්දෙන් විසැඳූහ. (එයින්) සතුටු වූ සක් දෙවිඳු “භාග්‍යවතුන් වහන්ස, මෙය එසේ යැ, සුගතයන් වහන්ස, මෙය එසේ යැ. භාග්‍යවතුන් වහන්සේගේ විසැඳුම ඇසීමෙන් මෙහි මගේ සැකය ඉක්මිණි{2} විමතිය පහ විණැ” යි සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගත්තේ ය, අනුමොවන් විය.
13. සක් දෙවිඳු මෙසේ භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන අනුමෙවැ,
“නිදුකාණන් වහන්ස, ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක කුමක් නිදන් කොටැත්තේ ද, කුමක් සමුදය (කාරණ) කොටැත්තේ ද, කුමක් උත්පත්ති ස්ථාන කොටැත්තේ ද, කුමක් ප්‍රභව (උපදනා තැන) කොටැත්තේ ද, කුමක් ඇති කල්හි ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක වෙයි ද, කුමක් නැති කල්හි ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක නො වෙයි ද?” යි මත්තෙහි ද පැනයක් පුළුවුත.
“දෙවිඳ, ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක ප්‍රිය අප්‍රිය සත්ත්‍වයන් නිදාන කොටැත්තේ ය, ප්‍රියාප්‍රිය සත්‍වයන් සමුදය (කාරණ) කොට ඇත්තේ ය, ප්‍රියාප්‍රිය සත්‍වයන් ජාති (උත්පත්තිස්ථාන) කොටඇත්තේ ය, ප්‍රියාප්‍රිය සත්‍වයන් ප්‍රභව (උපදනා තැන්) කොට ඇත්තේ ය. ප්‍රියාප්‍රිය සත්‍වයන් ඇති කල්හි ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක වෙයි. ප්‍රියයක්හු හෝ අප්‍රියයක්හු නැති කල්හි ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක නො වේ” යැයි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.
14. නිදුකාණන් වහන්ස, ප්‍රියාප්‍රිය සත්‍ව සංස්කාරය කුමක් නිදාන කොටැත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් උත්පත්ති ස්ථාන කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොටැත්තේ ද, කුමක් ඇති කල්හි ප්‍රියාප්‍රිය සත්‍ව සංස්කාරය වේ ද, කුමක් නැති කල්හි ප්‍රියාප්‍රිය සත්‍ව සංස්කාරය නො වේ දැ?” යි සක් දෙවිඳු පුළුවුත.
දෙවිඳ, ප්‍රියාප්‍රිය සත්‍වසංස්කාරය වනාහි ඡන්‍දය නිදාන කොටැත්තේ ය, ඡන්‍දය සමුදය කොටැත්තේ ය, ඡන්‍දය උත්පත්තිස්ථාන කොටැත්තේ ය, ඡන්‍දය ප්‍රභව කොටැත්තේ ය, ඡන්‍දය ඇති කල්හි ප්‍රියාප්‍රිය සත්‍ව සංස්කාරය වේ, ඡන්‍දය නැති කල්හි ප්‍රියාප්‍රිය සත්‍වසංස්කාරය නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.
15. “නිදුකාණන් වහන්ස, ඡන්‍දය වනාහි කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් උත්පත්ති ස්ථාන කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ඡන්‍දය වේ ද, කුමක් නැති කල්හි ඡන්‍දය නො වේ ද?” යි සක් දෙවිඳු පුළුවුත.
“දෙවිඳ, ඡන්‍දය වනාහි විනිශ්චය විතර්‍කය නිදාන කොට ඇත්තේ ය, විනිශ්චය විතර්‍කය සමුදය කොට ඇත්තේ ය, විනිශ්චය විතර්‍කය උත්පත්තිස්ථාන කොට ඇත්තේ ය, විනිග්වය විතර්‍කය ප්‍රභව කොට ඇත්තේ ය, විනිශ්චය විතර්‍කය ඇති කල්හි ඡන්‍දය වේ, විනිශ්චය විතර්‍කය නැති කල්හි ඡන්‍දය නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.
16. “නිදුකාණන් වහන්ස, විනිශ්චය විතර්‍කය කුමක් නිදන් කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් උත්පත්තිස්ථාන කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි විනිශ්චය විතර්‍කය වේ ද, කුමක් නැති කල්හි විනිශ්චය විතර්‍කය නො වේ දැ?” යි සක් දෙවිඳු පුළුවුත.
“දෙවිඳ, විනිශ්චය විතර්‍කය වූ කලි තෘෂ්ණා ප්‍රපඤ්ච සම්ප්‍රයුක්ත සංඥාකොටස් නිදන් කොටැත්තේ ය, එය ම සමුදය කොට ඇත්තේ ය. එය ම උත්පත්තිස්ථාන කොට ඇත්තේ ය, එය ප්‍රභව කොට ඇත්තේ ය, එය ඇති කල්හි විනිශ්චය විතර්‍කය වේ, එය නැති කල්හි විනිශ්චය විතර්‍කය නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.
17. “නිදුකාණන් වහන්ස, මහණ තෙම කෙසේ පිළිපන්නේ ප්‍රපංචසංඥා කොටසුන්ගේ සංසිඳීමට උපාය බැවින් නිසි වූ ද එය අරමුණු කිරීම් වශයෙන් එයට පැමිණෙන්නා වූ ද විවසුන් මඟ පිළිපන්නේ වේදැ?” යි සක් දෙවිඳු පුළුවුත.
“දෙවිඳ, මම් සෙවියැ යුතු නො සෙවියැ යුතු විසින් සොම්නස් වේදනාව ද දෙ පරිදි කොට කියමි. දෙවිඳ, සෙවියැ යුතු සොම්නස ද නො සෙවියැ යුතු සොම්නස දැ යි මම් සොම්නස ද දෙ පරිද්දෙකින් කියමි, දොම්නස ද සෙවියැ යුතු දොම්නස ද නො සෙවියැ යුතු දොම්නස දැ යි දෙ පරිදිකොට කියමි. උපේක්‍ෂාව ද සෙවියැ යුතු උපේක්‍ෂාව ද නො සෙවියැ යුතු උපේක්‍ෂාව දැයි දෙ පරිදි කොට කියමි.
සෙවියැ යුතු සොම්නස ද නොසෙවියැ යුතු සොම්නස දැ යි මම් සොම්නස දෙ පරිද්දෙකින් කියමි යි මෙසේ මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද යත්: එහි මේ සොම්නස සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ යි යම් සොම්නසක් දැන ගන්නේ ද, මෙ බඳු වූ සොම්නස නො සෙවියැ යුතු. මේ සොම්නස සෙවුනා මගේ සතන් හි අකුසල් දහම්හු පිරිහෙත් කුසල් දහම්හු වැඩෙති’ යි යම් සොම්නසක් දැන ගන්නේ ද, මෙ බඳු සොම්නස සෙවියැ යුතු. එහි ද යම් සොම්නසෙක් ඉදින් විතර්‍ක සහිත විචාරසහිත ද (නෛෂ්කාම්‍ය වශයෙන් විදර්‍ශනා වශයෙන් අනුස්මෘතිභාවනා වශයෙන් ප්‍රථම ධ්‍යාන වශයෙන් විතර්‍ක විචාර සහිත ද), යම් සොම්නසෙක් විතර්‍ක (රහිත ද විචාර රහිත ද ද්විතීය ධ්‍යාන වශයෙන් අවිතර්‍ක වැ අවිචාර වැ උපන්නේ ද) ඔවුන් අතුරෙන් යමක් විතර්‍ක රහිත ද විචාර රහිත ද, එය වඩා උතුම් ය. ‘දෙවිඳ, සොම්නස ද සෙවියැ යුතු එක දැ, නො සෙවියැ යුතු එක දැ යි දෙ පරිද්දෙකින් කියමි’ යි යමක් කියන ලද ද, මෙය ඒ ද්විවිධ සොම්නස සඳහා කියන ලදි. දෙවිඳ, දොම්නස ද සෙවියැ යුතු එක දැ නො සෙවියැ යුතු එක දැ යි දෙ පරිද්දෙකින් මම් කියමි. මෙසේ වනාහි මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද යත්: එහි ‘මේ දොම්නස සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ’ යි යමක් දන්නේ ද, මෙ බඳු දොම්නස නො සෙවියැ යුතු යැ. එහි ‘මේ දොම්නස සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම් හු වැඩෙත් යැ’ යි දන්නේ ද, මෙ බඳු දොම්නස සෙවියැ යුතු. එහි විතර්‍ක සහිත විචාර සහිත යම් දොම්නසෙක් වේ ද, විතර්‍ක රහිත විචාර රහිත යම් දොම්නසෙක් වේ ද, ඔවුන් අතුරෙන් යමක් විතර්‍ක රහිත විචාර රහිත දැ (නෛෂ්කාම්‍ය වශයෙන් විදර්‍ශනා වශයෙන් අනුස්මෘති වශයෙන් ප්‍රථමධ්‍යානාදි වශයෙන් උපදනා) මේ දොම්නස වඩා උතුම් යැ. දෙවිඳ, දොම්නස ද සෙවියැ යුතු එක ද නොසෙවියැ යුතු එක දැ යි දොම්නස ද මම් දෙවැදෑරුම් කොට කියමි යි මෙසේ යමක් කියන ලද ද, මෙය එකී දොම්නස සඳහා කියන ලදි.
දෙවිඳ, සෙවියැ යුතු එක ද නොසෙවියැ යුතු එක දැ යි මම් උපේක්‍ෂාව ද දෙ වැදෑරුම් කොට කියමි. මෙසේ ම මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද යත්: එහි මේ උපේක්‍ෂාව වනාහි සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ යි යම් උපේක්‍ෂාවක් දන්නේ ද, මෙ බඳු වූ උපේක්‍ෂාව නොසෙවියැ යුතු ය. එහි මෙ උපේක්‍ෂාව සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු පිරිහෙත් කුසල් දහම්හු වැඩෙත් යැ යි යම් උපේක්‍ෂාවක් දන්නේ ද මෙ බඳු වූ උපේක්‍ෂාව සෙවියැ යුතු ය. එහි යමක් සවිතර්‍ක සවිචාර ද, යමක් අවිතර්‍ක අවිචාර ද, මොවුන් අතුරෙන් යමක් අවිතර්‍ක අවිචාර ද එය වඩා උතුමි. දෙවිඳ, ‘සෙවියැ යුතු එක ද නො සෙවියැ යුතු එක දැ යි උපේක්‍ෂාව දෙ වැදෑරුම් කොට කියමි’ යි මෙසේ යමෙක් මා විසින් කියන ලද ද, මෙය ඒ (අවිතර්‍ක අවිචාර) උපේක්‍ෂාව සඳහා කියන ලදි.
දෙවිඳ, මෙසේ පිළිපන් මහණ තෙම ප්‍රපංච සම්ප්‍රයුක්ත සංඥා කොටසුන්ගේ සංසිඳීමට උපාය බැවින් එයට නිසි වූ ද එය අරමුණු කිරීම් වශයෙන් එයට පැමිණෙන්නා වූ ද විවසුන් මඟට පිළිපන්නේ වේ යැ යි මෙසේ සක් දෙවිඳු විසින් විචාරන ලද පැනය විසඳා වදාළ සේක. සතුටු වූ සක් දෙවිඳු ‘භාග්‍යවතුන් වහන්ස, එය එසේ යැ, සුගතයන් වහන්ස, එය එසේ යැ. භාග්‍යවතුන් වහන්සේගේ පැන විසඳීම ඇසීමෙන් මෙහි මා තුළැ වූ සැකය ඉක්මිණ, විමතිය පහ වියැ’ යි කියා භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගත්තේ ය, අනුමෙවී ය.
18. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන, “නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපන් මහණ තෙම පාතිමොක්ඛ සීල සංවරය පිණිස පිළිපන්නෙක් වේ දැ” යි මත්තෙහි දු පැනයක් පුළුවුත.
“දෙවිඳ, සෙවියැ යුත්ත ද නො සෙවියැ යුත්ත දැ යි කායසමාචාරය ද මම් දෙවැදෑරුම් කොට කියමි. සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි වාක්සමාචාරය ද මම් දෙවැදෑරුම් කොට කියමි. දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි පය්‍යෙර්‍ෂණය ද මම් දෙවැදෑරුම් කොට කියමි. දෙවිඳ, සෙවියැ යුත්ත ද නො සෙවියැ යුත්ත දැ යි කායසමාචාරය ද මම් දෙවැදෑරුම් කොට කියමි යි මෙසේ ම මෙය කියන ලදි. කුමක් සඳහා මෙය කියන ලද ද යත්: එහි මේ කායසමාචාරය සෙවුනා මා සතන්හි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ’ යි යම් කාය සමාචාරයක් දන්නේ ද, මෙ බඳු වූ කායසමාචාරය සෙවිය යුතු යැ. එහි මේ කාය සමාචාරය සෙවුනා මා සතනෙහි අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම්හු වැඩෙත් යැයි යම් කාය සමාචාරයක් දන්නේ ද මෙබඳු වූ කායසමාචාරය සෙවිය යුතු ය. ‘දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි කායසමාචාරය ද දෙවැදෑරුම් කොට මම් කියමි යි මෙසේ යමක් කියන ලද ද මෙය එකී කාය සමාචාරය සඳහා කියන ලදි.
දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි වාක්සමාචාරය ද දෙ වැදෑරුම් කොට මම් කියමි. මෙසේ ම මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද? යත්: එහි, ‘මේ වාක්සමාචාරය සෙවුනා මගේ (සතන්හි) අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ’ යි යම් වාක්සමාචාර යක් දන්නේ ද, එ බඳු වූ වාක්සමාචාරය නො සෙවියැ යුතු. එහි ‘මේ වාක්සමාචාරය සෙවුනා මගේ (සතන්හි) අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම්හු වැඩෙත් යැ’ යි යම් වාක්සමාචාරයක් දන්නේ ද, මෙබඳු වූ වාක් සමාචාරය සෙවියැ යුතු. ‘දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි වාක්සමාචාරයද මම් දෙවැදෑරුම් කොට කියමි’ යි මෙසේ යමක් කියන ලද ද, මෙය එකී වාක්සමාචාරය සඳහා කියන ලදි.
දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි පය්‍යෙර්‍ෂණය ද දෙවැදෑරුම් කොට මම් කියමි. මෙසේ ම මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද? යත්: එහි ‘මේ පය්‍යෙර්‍ෂණය සෙවුනා මගේ සන්තානයෙහි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙති’ යි යම් පය්‍යෙර්‍ෂණයක් දැන ගන්නේ ද, මෙබඳු වූ පර්‍ය්‍යෙෂණය නො සෙවියැ යුතු. එහි ‘මේ පය්‍යෙර්‍ෂණය සෙවුනා මගේ සන්තානයෙහි අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම්හු වැඩෙති’ යි යම් පය්‍යෙර්‍ෂණයක් දැන ගන්නේ ද, ඒ පය්‍යෙර්‍ෂණය ද සෙවියැ යුතු. දෙවිඳ, පර්‍ය්‍යෙෂණයත් සෙවියැ යුත්ත ද නො සෙවියැ යුත්ත දැ යි දෙවැදෑරුම් කොට මම් කියමි යි මෙසේ යමක් කියන ලද ද, මෙය එකී පය්‍යෙර්‍ෂණය ද සඳහා කියන ලදි. දෙවිඳ, මෙසේ පිළිපන් මහණ වනාහි පාතිමොක්ඛ සංවරය පිණිස පිළිපන්නේ වේ යැ යි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳු විසින් පැන පුළුවුස්නා ලද්දාහු එය විසැඳූ සේක. සතුටට පත් සක් දෙවිඳු ‘භාග්‍යවතුන් වහන්සැ, එය එසේ යැ, සුගතයන් වහන්ස, එය එසේ යැ. භාග්‍යවතුන් වහන්සේගේ පැන විසැඳුම ඇසීමෙන් මෙහි මගේ සැකය ඉක්මිණ, විමතිය පහ වීයැ’ යි භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගත්තේ ය, අනුමෙවී ය.
19. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන අනුමෙවැ ඔබගෙන් “නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපන් මහණ තෙම ඉන්‍ද්‍රිය සංවරය පිණිස පිළිපන්නේ වේ දැ?” යි මත්තෙහි පැනයක් පුළුවුත.
“දෙවිඳ, ඇසින් දැක දත යුතු රූපය ද සෙවියැ යුත්ත ද නො සෙවියැ යුත්ත දැ යි දෙවැදෑරුම් කොට මම් කියමි ... දෙවිඳ, කනින් අසා දත යුතු ශබ්දය ද ... දෙවිඳ, නැහැයෙන් අසා දත යුතු ගඳ ද ... දිවෙන් ආස්වාද කොට දත යුතු රසය ද ... කයින් පැහැසැ දත යුතු හැපෙන දෑ ද … මනසින් දත යුතු දහම් අරමුණු ද සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි දෙවැදෑරුම් කොට මම් කියමි” යි භාග්‍යවතුන් වහන්සේ විසඳා වදාළ සේක.
මෙසේ වදාළ කල්හි “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ වචනයේ අරුත් මෙසේ විස්තර වශයෙන් මම් දැනගනිමි. වහන්ස, ඇසින් දැක දත යුතු යම් බඳු රූපයක් සෙවුනහුගේ සන්තානයෙහි අකුසල් දහම්හු වැඩෙත් ද කුසල් දහම්හු පිරිහෙත් ද, මෙබඳු වූ චක්‍ෂුර් විඥේය රූපය නො සෙවියැ යුතු. වහන්ස, ඇසින් දැක දත යුතු යම් බඳු රූපයක් සෙවුනහුගේ සන්තානයෙහි අකුසල් දහම්හු පිරිහෙත් ද කුසල් දහම්හු වැඩෙත් ද, එබඳු වූ චක්‍ෂුර් විඥේය රූපය සෙවියැ යුතු. වහන්ස, යම් බඳු ශ්‍රෝත්‍ර විඥේය ශබ්දයක් සෙවුනහුගේ ... ඝ්‍රාණ විඥේය ගන්‍ධයක් සෙවුනහුගේ ... ජිහ්වා විඥේය රසයක් සෙවුනහුගේ ... කාය විඥේය ස්ප්‍රෂ්ටව්‍යයක් සෙවුනහුගේ ... මනෝ විඥේය ධර්‍මයක් සෙවුනහුගේ සන්තානයෙහි අකුසල් දහම්හු වැඩෙත් ද කුසල් දහම්හු පිරිහෙත් ද, මෙ බඳු මනෝ විඥේය ධර්‍මය නො සෙවියැ යුතු. වැලිදු යම් බඳු මනෝ විඥේය ධර්‍මයක් සෙවුනහුගේ සන්තානයෙහි අකුසල් දහම්හු පිරිහෙත් ද කුසල් දහම්හු වැඩෙත් ද එබඳු වූ මනෝ විඥේය ධර්‍මය සෙවියැ යුතු. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ වචනයේ අර්‍ත්‍ථය මෙසේ විස්තරයෙන් දැන ගන්නා මට භාග්‍යවතුන් වහන්සේගේ පැන විසඳුම ඇසීමෙන් මෙහි සැකය ඉක්මියේ ය, විමතිය පහ වී යැ” යි සක්දෙවිඳු කී ය.
20. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන අනුමෙවැ, මත්තෙහි දු පැනයක් පුළුවුස්නේ, “නිදුකාණන් වහන්ස, සියලු ම මහණබමුණෝ එක් (සමාන) අන්තයක් ඇති (අභින්න) වාද ඇත්තෝ ද? එක් ම (සමාන) ආචාර ඇත්තෝ ද? එක් (සමාන) ලබ්ධි ඇත්තෝ ද? එක් (සමාන) නිෂ්ඨානයක් ඇත්තෝ දැ?” යි පුළුවුත.
“දෙවිඳ, සියලු මහණ බමුණෝ සමාන වාද ඇත්තෝ නො වෙත්, සමාන ආචාර ඇත්තෝ නො වෙත්, සමාන ලබ්ධි ඇත්තෝ නො වෙත්, සමාන නිෂ්ඨානයක් ඇත්තෝ නො වෙත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“නිදුකාණන් වහන්ස, කවර හෙයින් සියලු මහණ බමුණෝ සමාන වාද ඇත්තෝ සමානාචාර ඇත්තෝ සමාන ලබ්ධි ඇත්තෝ සමාන නිෂ්ඨානයක් ඇත්තෝ නො වෙත් දැ?” යි සක්දෙවිඳු පුළුවුත.
“දෙවිඳ, ලෝවැස්සෝ නොයෙක් අදහස් ඇත්තෝ, නානා අදහස් ඇත්තෝ වෙත්. ඒ නොයෙක් අදහස් ඇති, නානා අදහස් ඇති ලෝවැස්සන් අතුරෙහි සත්‍වයෝ යම් යම් ම අදහසකට වැද ගනිත් ද (අදහසක් ගනිත් ද), ඒ ඒ අදහස ම දැඩි කොට ගෙන මුළු ශක්තියෙන් ම පරාමර්‍ශනය කොට ‘මෙය ම සත්‍ය යැ සෙස්ස හිස් යැ’ යි කියත්. එහෙයින් සියලු මහණබමුණෝ එක් ම වාදයක් ඇත්තෝ නො වෙත්, එක් ම ‘ආචාරයක්’ ඇත්තෝ නො වෙත්, එක් ම ලබ්ධියක් ඇත්තෝ නො වෙත්, එක් ම නිෂ්ඨාවක් ඇත්තෝ නො වෙත්” යැ යි විසඳා වදාළ සේක.
“නිදුකාණන් වහන්ස, සියලු ම මහණබමුණෝ අත්‍යන්ත නිෂ්ඨාව ඇත්තෝ ද? අත්‍යන්ත යෝගක්‍ෂේමය (නිර්‍වාණය) ඇත්තෝ ද? අත්‍යන්තය පිණිස (නිවන සඳහා) බඹසර සරන්නෝ ද (ආර්‍ය්‍යමාර්‍ගාධිගමය කරන්නෝ ද)? අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තෝ ද (නිර්‍වාණගාමීහු ද)?” යි සක් දෙවිඳු පුළුවුත.
“දෙවිඳ, සියලු මහණබමුණෝ අත්‍යන්තනිෂ්ඨාව ඇත්තෝ නො ම වෙත්, අත්‍යන්ත යෝගක්‍ෂේමය ඇත්තෝ, අත්‍යන්ත බ්‍රහ්මචාරීහු, අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තෝ නො ම වෙති” යි විසඳූ සේක.
“නිදුකාණන් වහන්ස, කවර හෙයින් සියලු මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨාව ඇත්තෝ නො ම වෙත් ද? අත්‍යන්ත යෝගක්‍ෂේමය ඇත්තෝ, අත්‍යන්ත බ්‍රහ්මචාරීහු, අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තෝ නො ම වෙත් දැ?”යි සක් දෙවිඳු පුළුවුත.
“දෙවිඳ, යම් මහණ බමුණු කෙනෙක් තෘෂ්ණා සංක්‍ෂයයෙන් (මාර්‍ගයෙන් හෝ නිවන අරමුණු කොට) කෙලෙසුන් කෙරෙන් මිදුණාහු ද, ඔහු අත්‍යන්ත නිෂ්ඨාව ඇත්තාහු, අත්‍යන්ත යෝගක්‍ෂේමය ඇත්තාහු, අත්‍යන්ත බ්‍රහ්මචාරීහු, අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තාහු වෙත්. එහෙයින් සියලු මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨාව ඇත්තෝ නො වෙත්, අත්‍යන්ත යෝගක්‍ෂේමය ඇත්තෝ, අත්‍යන්ත බ්‍රහ්මචාරීහු, අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තෝ නො වෙත්” යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු විසින් පැන පුළුවුස්නා ලද සේක් ඒ විසැඳූ සේක. සතුටු වූ සක් දෙවිඳු “භාග්‍යවතුන් වහන්ස, එය එසේ යැ, සුගතයන් වහන්ස, එය එසේ ය, භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්නව්‍යාකරණය (පැන විසඳීම) ඇසීමෙන් මෙහි මගේ සැකය ඉක්මිණ, විමතිය පහ වී යැ” යි භගවත් බුදුරජුන්ගේ භාෂිතය පිළිගත්තේ ය, අනුමෙවී ය.
21. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන, අනුමෙවැ “වහන්ස, තෘෂ්ණාව රෝගයෙක, තෘෂ්ණාව ගඩක, තෘෂ්ණාව හුලෙක, තෘෂ්ණාව මේ පුරුෂයා (කර්‍මානුරූප ව) ඒ ඒ භවයෙක ම ඉපැද්ම පිණිස හාත්පසින් අදී. එ හෙයින් මේ පුරුෂ තෙම උස් බවට පහත් බවට පැමිණේ. වහන්ස, යම් ප්‍රශ්නයනට මෙයින් බැහැර අන් මහණ බමුණන් කෙරෙහි අවකාශ කිරීම් පමණ දු නො ලදුයෙම් ද, දීර්‍ඝ කාලයක් මා සිත් සතන්හි ලැග හොත් ඒ ප්‍රශ්නයෝ මට භාග්‍යවතුන් වහන්සේ විසින් විසඳා වදාරන ලදහ. මා තුළ යම් සැක විමති නැමැති හුලෙක් වී ද, එය ද භාග්‍යවතුන් වහන්සේ විසින් උදුරා දමන ලදුයේ යැ” යි මෙ බස් පැවැසී ය.
22. “දෙවිඳ, මේ ප්‍රශ්න අන් මහණ බමුණන් වෙතින් විචාළා දන්නෙහි දැ?” යි භගවත්හු වදාළාහ.
“වහන්ස, අන් මහණ බමුණන් වෙතින් මේ ප්‍රශ්න විචාළා දනිමි”යි සක් දෙවිඳු කී ය.
“දෙවිඳ, කෙසේ නම් ඔහු මේ ප්‍රශ්න විසැඳූහු ද, ඉදින් ඔබට බරෙක් නො වේ නම්, කිව මැනැවැ” යි භගවත්හු වදාළාහ.
“වහන්ස, යම් තැනෙක භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ වැන්නෙක් වැඩහුන් සේක් වී නම්, එය කියනු මට බරෙක් නො වේ” යැ යි සක් දෙවිඳු කී ය.
“එසේ වී නම්, දෙවිඳ, කියන්නැ” යි භගවත්හු වදාළාහ.
“වහන්ස, වනවාසීහු යැ යි, ගම්කොළවරැ සෙනසුන්හි වසන්නෝ යැ යි, යම් මහණ බමුණු කෙනකු මම් සිතීම් ද, මම් ඔවුන් කරා ගොස් මේ ප්‍රශ්න විචාළෙමි. ඔහු මා විසින් විචාරන ලද්දාහු, “ආයුෂ්මත් තෙමේ කිනම් වේ දැ?” යි මා ම පුළුවුසිත්. මම් ඔවුන් විසින් පුළුවුස්නා ලදිම් ‘නිදුකාණනි, මම් සක් දෙවිඳුමි’ යි කියමි. ඔහු “ආයුෂ්මත් දේවේන්‍ද්‍ර තෙමේ කවර නම් කර්‍මයක් කොට මේ තැනට පත් වී දැ?” යි මත්තෙහි මා ම පුළුවුසිත්. මම් ඔවුනට මා අසා ඇති පරිදි මා ඉගෙන ඇති පරිදි (සප්ත ව්‍රත පද) ධර්‍මය දෙසමි. ඔහු එ පමණින් ම, ‘අප විසින් සක් දෙවිඳු දක්නා ලද්දේ ද වේ, අපි යමක් විචාළමෝ ද එය ද අපට විසඳා කීයේ යැ’ යි එ පමණින් ම සතුටු වෙත්, ඔහු ඒකාන්තයෙන් මගේ ම ශ්‍රාවකයෝ වෙත්, මම ඔවුන්ගේ ශ්‍රාවක නො වෙමි. වහන්ස, මම් වූ කලී සිවු අවාහි නොවැටෙන සැහැවි ඇති, මාර්‍ග ධර්‍ම නියාමයෙන් නියත වූ (අවශ්‍යයෙන් ම උපරිමාර්‍ගාධිමය කරන සුලු) භාග්‍යවතුන් වහන්සේගේ සෝවාන් සව්වෙක් වෙමි” යි සක් දෙවිඳු පැවැසීය.
23. “දෙවිඳ, මෙයින් පෙරැ තොප මෙ බඳු සතුටක් ලැබීම, සොම්නසක් ලැබීම දනිවු දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“වහන්ස, මම් මෙයින් පෙරැ මෙබඳු සතුටක් ලැබීම සොම්නසක් ලැබීම දනිමි” යි සක් දෙවිඳු කී ය.
“දෙවිඳ, මෙයින් පෙර තොප කෙසේ වූ මෙබඳු සතුටක් ලැබීම සොම්නසක් ලැබීම දනිවු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“වහන්ස, පෙරැ වූවක් කියමි. පෙරැ දෙවියන්ගේ ද අසුරයන්ගේ ද, යුද්ධයෙක් එළැඹැ සිටියේ විය. වහන්ස, ඒ යුද්ධයෙහි දෙවියෝ ජය ගත්හ. අසුරයෝ පැරැදුණාහ. වහන්ස, ඒ යුද්ධය දිනා, දිනූ යුද්ධය ඇති ඒ මට “දැන් යම් දිව්‍ය ඕජසෙක් වේ ද යම් අසුර ඕජසෙකුත් වේ ද, මේ දෙකොටස ම දැන් දෙවියෝ පරිභෝග කරන්නාහ” යි මට මේ සිත විය. වහන්ස, මගේ ඒ යම් සතුට ලැබීමෙක් සොම්නස ලැබීමෙක් වී ද දඬුගෙන හැසිරීම සහිත වූ අවි ගෙන හැසිරීම සහිත වූ ඒ සතුට ලැබීම, ඒ සොම්නස ලැබීම සසරැ කලකිරීම පිණිස නො පවතී, විරාගය පිණිස නො පවතී, නිරෝධය පිණිස නො පවතී, කෙලෙස් සන්සිඳීම පිණිස නො පවතී, විශිෂ්ට ඥානය පිණිස නො පවතී, සත්‍යාවබෝධය පිණිස නො පවතී, නිවන පිණිස නො පවතී. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය ඇසීමෙන් මට යම් සතුට ලැබීමෙක්, සොම්නස ලැබීමෙක් වී ද, එය දඬුගෙන හැසිරීම් නැති එකෙක, අවි ගෙන හැසිරීම් නැති එකෙක, ඒකාන්තයෙන් සසර කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශ ව්‍යුපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස සත්‍යාවබෝධය පිණිස, නිර්‍වාණය පිණිස පවතී” යැ යි සක් දෙවිඳු කී ය.
24. “දෙවිඳ, තෝ කවර නම් කරුණක් දක්නෙහි මෙබඳු සතුට ලැබීමක්, සොම්නස ලැබීමක් දන්වහි දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“වහන්ස, මම් කරුණු සයක් දක්නෙම්, මෙ බඳු වූ සතුට ලැබීමක් සොම්නස ලැබීමක් දන්වමි.
‘නිදුකාණන් වහන්ස, මෙහි ම සිටුනා දෙවි වූ ම මා විසින් (ආයු ගෙවී) මෙහි දී ම සැව අනතුරු වැ මෙහි ම ඉපැදීමෙන් පුනරායුෂය ද ලද්දේ ය. මෙ කරුණ මෙසේ දැන වදාළ මැනැවි.
වහන්ස, මේ පළමු වන කරුණ දක්නෙම්, මෙබඳු වූ සතුට ලැබීම, සොම්නස ලැබීම දන්වමි.
‘මම් දිව්‍ය ආයුෂ හැර දමා දෙව් අත් බැවින් සැව, යම් තැනෙක මා සිත ඇලෙයි ද, එහි සිහි නොමුළා වැ (කැත් කුල ආදියෙක) මවු කුසකට එළැඹෙන්නෙමි.”
වහන්ස, මම් මේ දෙවෙනි කරුණ දක්නෙම්, මෙබඳු වූ සතුටක් ලැබීම, සොම්නසක් ලැබීම දන්වමි.
‘ඒ මම් සස්නෙහි ඇලුණෙම්, නොමුළා වූ ප්‍රඥා ඇති වැ වසන්නෙම්, ප්‍රඥා ඇත්තෙම්, එළැඹැ සිටි සිහි ඇත්තෙම්, න්‍යායයෙන් (අරීසවු බවට නිසි වූ කරුණින්) යුතු වැ වසන්නෙමි.’
වහන්ස, මේ තුන් වැනි කරුණ දක්නෙම්, මෙබඳු වූ සතුට ලැබීම සොම්නස ලැබීම දන්වමි.
“න්‍යායයෙන් (අරී සවු බවට ගැළපෙන කරුණින්) හැසිරෙන මට ඉදින් සම්බෝධිය වන්නේ නම් (සෙදැගැමිවන්නෙම් නම්) නොලත් විශේෂාධිගමය ලබනු කැමැත්තෙම් වසන්නෙමි. එය ම මිනිස් ලොවැ මගේ කෙළවර අත්බව වන්නේ ය.”
වහන්ස, මේ සතර වන කරුණ දක්නෙම්, මෙ බඳු වූ සතුට ලැබීම සොම්නස ලැබීම දන්වමි.
‘මනුෂ්‍යයායුෂය හැරැ මිනිසත් බැවින් සැවැ දෙව් ලොවැ යලිදු උතුම් දෙවියෙක් වන්නෙමි.’
වහන්ස, මේ පස් වන කරුණ දක්නෙම්, මෙ බඳු වූ සතුට ලැබීම මෙබඳු වූ සොම්නස ලැබීම දන්වමි.
‘යශස් ඇති, සියලු දෙවියනට වඩා උතුම් වූ, අකනිටා බඹලොව් වැසි ඒ යම් දෙවි කෙනෙක් ඇද්ද, මගේ අන්තිම අත්බව පවත්නා කල්හි ඔවුන් අතුරෙහි මගේ නිවාසය වන්නේ ය.’
වහන්ස, මේ සවැනි කරුණ දක්නෙම්, මෙබඳු වූ සතුට ලැබීම සොම්නස ලැබීම දන්වමි.
වහන්ස, මම් මේ කරුණු සය දක්නෙම්, මෙ බඳු වූ සතුට ලැබීම, සොම්නස ලැබීම දන්වමි.
25. නො නිමි මනෝරථය ඇති වැ, සැක කරන සුලු වැ, විමති ඇති වැ, තථාගත කෙනකු සොයනුයෙම් දික් කලක් සසරැ හැවිද්දෙමි.
යම් මහණුන් ත්‍රිවිධ විවේකයෙන් විවික්ත වැ වසන්නන් කොට හඟිම් ද, මේ බුදුවරු යි හඟින්නෙම් ඔවුන් ඇසුරු කරන්නට යෙමි.
‘ආර්‍ය්‍ය මාර්‍ගයට බස්නා පිළිවෙත කෙසේ වේ ද? ආර්‍ය්‍යමාර්‍ගයට බාධක පිළිවෙත (අනුපාය ප්‍රතිපත්තිය) කෙසේ වේ දැ?’ යි මා විසින් විචාරන ලද්දා වූ ආර්‍ය්‍ය මාර්‍ගයෙහි ද ප්‍රතිපත්තීන්හි ද විචාළ කරුණු මොනොවට විසඳා කියන්නට ඔහු නො හැකි වෙත්.
ඔහු යම් කලෙක ‘දෙවියන් අතුරෙන් සක් දෙව් තෙමේ ආයේ යැ’ යි මා දැනැ හැඳිනැ ගනිත් ද, එ කල, ‘කුමක් කොට මේ සක් දෙව් පදයට පැමිණියෙහි දැ?’ යි මා ම පිළිවිසිත්.
ඔවුනට මම් අසා ඇති පරිදි ජනයා අතර ප්‍රකට වූ සප්ත ව්‍රත පද ධර්‍මය දෙසමි. එයින් ඔහු ‘අප විසින් වාසව (ශක්‍ර) තෙම දක්නා ලදැ’ යි කියාත් සතුටු වෙත්.
වැලි යම් කලෙක සැක දුරු කරන බුදුරජුන් දුටුයෙම් ද, ඒ අද ඒ සම්බුදු රජුන් ඇසුරු කොට ඒ මම් පහ වූ බිය ඇත්තෙකිම් වෙමි.
තෘෂ්ණා නැමැතිහුල නසාලූ, සම පුඟුලක්හු නැති, බුදුරජුන් මම් වඳිමි. මහාවීර වූ සූර්‍ය්‍යබන්‍ධූන් වහන්සේ වඳිමි.
පෙරැ දෙවියන් සමඟ බඹහට යම් නමස්කාරයක් කළමෝ ද, නිදුකාණන් වහන්ස, අද ඔබට ඒ නමස්කාරය කරන්නමු. දැන් ඔබට පිණිපා කරම්හ.
‘ඔබ ම සම්බුදුහු වෙති, ඔබ ම නිරුත්තර ශාස්තෘහු වෙති. දෙවියන් සහිත ලොවැ ඔබට සම පුඟුලෙක් නැත.”
26. ඉක්බිති සක් දෙවිඳු පන්සිළු ගඳෙවු පුතු බණවා ‘දරුව පන්සිළු, පළමු කොට තෝ භාග්‍යවතුන් වහන්සේ පැහැදැවූයෙහි (සිත් ගත්තෙහි) ය. ඒ තෝ මට බොහෝ උපකාරී වූයෙහි ය. දරුව, පළමු කොට තා විසින් පහදවන ලද අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දක්නට පසු වැ අපි එළඹුණම්හ. තා (අද සිට) පිය තනතුරෙහි තබන්නෙමි. තෝ අද සිට ගන්‍ධර්‍වයනට රජ වන්නෙහි ය. හිරුහු සේ බබලන භද්‍රා දෙවඟන තට දෙමි. තා විසින් ඕ වෙසෙසින් පතන ලද්දී යැ” යි කී ය.
ඉක්බිති සක් දෙවිඳු අත්ලෙන් පොළොව ස්පර්‍ශ කොට “ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේ වා, ඒ භගවත් අර්‍හත් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේ වා, ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” යි තුන් වරක් උදන් ඇනී ය.
මේ නිර්‍ගාථක සූත්‍රය වදාරනුලබන කල්හි සක් දෙවිඳු ට ද අන් අසූ දහසක් දෙවියනට ද ‘යමක් උපදනා සුලු ද ඒ සියල්ල නැසෙන සුලු යැ යි කෙලෙස් රජස් රහිත, කෙලෙස් මල රහිත දහම් ඇස (සෝවාන් මඟ නුවණ) පහළ විය.
මෙසේ සක් දෙවිඳු විසින් පතන ලද විචාරන ලද යම් ප්‍රශ්න කෙනෙක් වූහු ද, ඔහු භගවත් බුදුරජුන් විසින් විසඳන ලදුහ. එහෙයින් මේ නිර්‍ගාථක සූත්‍රයට සක්කපඤ්හ (ශක්‍රප්‍රශ්න) යැ යි ම නමෙක් වෙයි.
අටවන සක්කපඤ්හ සූත්‍රය නිමියේ ය.
9.
මහා සතිපට්ඨාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කුරු රටැ කල්මාෂදම්‍ය නම් යම් නියම් ගමෙක් වී ද එහි වැඩ වෙසෙන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි මහණුන් ඇමැතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ම එ මහණහු ඔබට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ (මතු දැක්වෙන) දහම වදාළ සේක:
2. “මහණෙනි, සතර සීවටන් (සතිපට්ඨාන) නම් වූ යම් දහමෙක් ඇද්ද, මෙය සත්‍වයන්ගේ පිරිසිදුව පිණිස ද, සෝවලප් ඉක්මෙනු පිණිස ද, දුක්දොම්නසුන් දුරුවනු පිණිස ද, අරී අටැඟි මඟට පැමිණෙනු පිණිස ද, නිවන් පසක් කරනු පිණිස ද එක් මැ මඟ වෙයි. ඒ කවර සීවටන් කෙනෙක් ද? යත්: මහණෙනි, මෙ සස්නැ මහණ තෙමෙ කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණ ඇති ව, එළැඹැ සිටි සිහි ඇති වැ, ලොව (සිරුර) කෙරෙහි අභිධ්‍යාව (කාමච්ඡන්‍දය) ද, දොම්නස (ව්‍යාපාදය) ද, (සෙසු නීවරණ ද) (තදඞ්ග වශයෙන් ද විෂ්කම්භණ වශයෙන් ද) සන්හිඳුවා කයෙහි කායානුපස්සී වැ (කරජ කය අනිත්‍යාදි වශයෙන් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණ ඇති වැ, එළැඹැ සිටි සිහි ඇති වැ, ලොව (වේදනාවන්) කෙරෙහි අභිධ්‍යාව (කාමච්ඡන්‍දය) ද, දොම්නස (ව්‍යාපාදය) ද (සෙසු නීවරණ ද) (තදඞ්ග වශයෙන් ද විෂ්කම්භණ වශයෙන් ද) සන්හිඳුවා, වේදනාවන්හි වේදනානුපස්සී වැ (වේදනාවන් අනිත්‍යාදි වශයෙන් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.