කිඹුල්වත් පුර අසල වෙනෙහි දී ශාස්තෘහු සස්නැ ඇලුණු පන්සියකට වැඩි සව්වන් දැන, ඉක්බිති ඔවුන් අමතා,
‘මහණෙනි, දේව සමූහයෝ පැමිණියාහ. ඔවුන් දිවැස් නුවණින් දනිවු’ යි වදාළහ. ඔහු ද බුදුරජුන්ගේ හස්න අසා දිවැස උපදවනුවට වැර වැඩූහ.
වහා ම ඔවුනට අමනුෂ්‍යයන් දක්නා නුවණ පහළ විය. ඇතැම් මහණ කෙනෙක් අමනුෂ්‍යයන් සියයක් දුටුහු, ඇතැම් මහණ කෙනෙක් දහසක් අමනුෂ්‍යයන් දුටුහු. ඇතැම් මහණ කෙනෙක් සැත්තෑදහසක් දුටුහු.
ඇතැම් මහණ කෙනෙක් සියදහසක් දුටුහු. ඇතැම් මහණ කෙනෙක් අනන්ත දෙව් බඹුන් දුටුහු. සියලු දිශාවෝ දෙව්බඹුන් ගෙන් පැතිරගත්තෝ වූහ.
5. පසැස් ඇති ශාස්තෲන්වහන්සේ ඒ සියල්ල වෙසෙසි නුවණින් දැනැ වෙන් කොට දැක ඉක්බිති සස්නැ ඇලුණු ඒ සිය සව්වන් බණවා,
“මහණෙනි, දෙව්මුළුවෝ එළැඹියාහ. වචනවලින් පිළිවෙළින් ඒ යම් දෙවිකෙනෙකු හෙළි කරන්නෙම් ද ඔවුන් දැන ගනිවු” යැ යි වදාළ සේක.
“කිඹුල්වත්පුර වැසි, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති සත්දහසක් බූමාටු දෙවියෝ සතුටු වන්නාහු, රහත් මහණ මුළුව දක්නට වනය කරා එළැඹියාහ.
හිමවත් වැසි, නන්වැදෑරුම් පැහැ සපු ඇති, ඉදුමත්, බබළන පැහැපත්, යශස් ඇති සදහසෙක් දෙවියෝ සතුටු වන්නාහු ඒ රහත් මහණ දක්නට වනය කරා එළැඹියාහ.
6. සාතගිරි පර්‍වතවාසී, නන්වැදෑරුම් පැහැසපුව ඇති, ඉදුමත්, බබළන, පැහැපත්, යසස් ඇති තුන්දහසෙක් දෙවියෝ සතුටු වෙමින් භික්‍ෂූ සමාගමය දක්නට වනය කරා එළැඹියාහ.
මෙසේ නන්වැදෑරුම් පැහැසපු ඇති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති සොළොස් දහසෙක් දෙවියෝ සතුටු වෙමින් රහත් භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
විශ්වාමිත්‍රපර්‍වතවාසී, නන්වැදෑරුම් පැහැසපු ඇති, ඉදුමත්, පැහැපත්, යසස් ඇති පන්සියයෙක් දෙවියෝ සතුටු වෙමින් ඒ රහත් භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
රජගහ නුවර වැසි කුම්භීර නම් යක් සෙනෙවියෙක් වෙයි. විපුලගිරි පව්ව ඔහු වසන තැන ය. සිය දහසකටත් වැඩි යක්කු ඔහු ඇසුරු කෙරෙත්. රජගහවැසි ඒ කුම්භීර තෙමේ ද භික්‍ෂූ සමාගමය දක්නට වනයට පැමිණි යේ ය.
7. පෙර දිගට රජ වූ දහරට් (ධෘතරාෂ්ට්‍ර) තෙම එ දෙස පාලනය කරයි. ගන්‍ධර්‍වයනට අධිපති යශස් ඇති ඒ (වරම්) මහරජ ද
මහ බලැති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති ඉන්‍ද්‍ර යන නම ඇති බොහෝ වූ ඔහු පුත්තු ද සතුටු වන්නාහු භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනය කරා එළැඹියාහ.
විරුළු (විරූඪක) වරම් රජ ඒ දකුණු දෙස පාලනය කෙරෙයි. කුම්භාණ්ඩයනට අධිපති වූ ඒ යශස්වී මහරජ ද,
මහත් බල ඇති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති ඔහුගේ ඉන්‍ද්‍ර නම් වූ බොහෝ පුත්තු ද සතුටු වන්නාහු භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
විරූඇසි (විරූපාක්‍ෂ) වරම් රජ ඒ පැසිම් දෙස පාලනය කෙරෙයි. නාගයනට අධිපති වූ යශස්වී වූ ඒ වරම් මහරජ ද,
මහ බලැති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති ඔහුගේ ඉන්‍ද්‍ර නම් වූ බොහෝ පුත්තු ද, සතුටු වන්නාහු භික්‍ෂූසමාගමය දක්නට වනයට එළැඹියාහ.
වෙසවුණු (කුවේර) වරම් රජ ඒ උතුරු දිග පාලනය කෙරෙයි. යක්‍ෂයනට අධිපති වූ යශස්වී වූ ඒ මහරජු ද
ඉන්‍ද්‍ර යන නමැති මහ බලැති, ඉදුමත්, ද්‍යුතිමත්, වර්‍ණවත්, යශස්වී වූ ඔහුගේ බොහෝ පුත්තු ද සතුටු වන්නාහු භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
8. ධෘතරාෂ්ට්‍ර වරම් රජ පෙර දිග ද, විරූඪක වරම් රජ දකුණු දිග ද, විරූපාක්‍ෂ වරම් රජ පැසිම් දිග ද, කුවේර වරම් රජ උතුරු දිග දැ යි ඒ සතර වරම් මහරජුහු කිඹුල්වත් පුර වනයෙහි හාත්පසැ අතිසයින් බබළමින් සිටියාහ.
9. ඔවුන්ගේ මායාවී වූ වංචනික වූ ශඨ වූ කපට වූ කුටෙණ්ඩු, වේටෙණ්ඩු, විටු, විටුඩ යන දාසයෝ ද,
චන්‍දන, කාමසෙට්ඨ, කින්නිඝණ්ඩු, නිඝණ්ඩු, පනාද, ඕපමඤ්ඤ, දෙව්රියැදුරු මාතලී යන දෙවියෝද, චිත්‍ර, සේන, චිත්‍රසේන යන ගඳැවු තිදෙනා ද, නළ නම් දෙව්රජ ද, ජනවසභ දෙව්පුත් ද,
පන්සිළු දෙව්පුත් ද, තිම්බරූ නම් ගඳැවූ රජ ද, සුරියවච්චසා දෙව්දූ ද යන මේ සියල්ලෝ ද, අන් ගඳැවු රජුහු ද සතුටු වන්නාහු සිය රජුන් සමඟ භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
තව ද ආකාශස්ථ නාගයෝ ද, විසාලා නාගපුර වැසි නාගයෝ තක්‍ෂක නම් නාගයන් කැටුව ආහ. කම්බල අස්සතර යන කුල දෙකේ නාගයෝ ද ප්‍රයාගවාසී නාගයෝ ද නෑයන් කැටුව ආහ.
යශස් ඇති, යමුනානදි වසන නාගයෝ ද, ධෘතරාෂ්ට්‍ර කුලයට අයත් නාගයෝ ද, ඓරාවන නම් ඒ මහානාගයා ද භික්‍ෂූ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
10. පිරිසිදු ඇස් ඇති යම් දිව්‍ය ගරුඬ පක්‍ෂි කෙනෙක් නාරජුන් වහා ඩැහැගෙන යෙත් ද, ඔහු අහසින් වනයට පැමිණියාහ. චිත්‍ර ද සුපර්‍ණ ද යනු ඔවුන්ගේ නම් ය.
එ දා නාරජුනට අභය (බිය නැති බව) විය. බුදුරජුහු ගරුඬයන් කෙරෙන් නිරුපද්‍රැත බව කළහ. නාගයෝ ද ගරුඬයෝ ද මොළොක් බසින් උනුන් කැඳවන්නාහු බුදුරජුන් සරණ ගියාහ.
11. විදුරත් (සක්දෙව්) විසින් දිනන ලද, මුහුද ඇසුරු කළ, සක් දෙව් රජුගේ භ්‍රාතෘ වූ, ඉදුමත්, යශස් ඇති අසුරයෝ ද,
කාලකංජ දානවේඝස යන නම් ඇති මහ බියකුරු අසුරයෝ ද, වේපචිත්ති සුචිත්ති යන අසුරයෝ ද, පහාරාද (ප්‍රහ්ලාද) නම් අසුර ද නමුචිහු කැටුව ආහ.
හැම දෙනා ම වේරෝච යන නම් ඇති, බලි අසුරයා පුත් සිය දෙනා ද බල සෙන් සන්නද්ධ කොට ගෙන රාහු අසුරිඳු වෙත එළැඹියාහ. ‘ඔබට සෙත් වේ වා’! දැන් භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනයට යන්නට කල් පැමිණියේ යැ යි ඔහු සැළ කළාහ.
12. අබ් දේවතාවෝ ද පෘථිවි දේවතාවෝ ද තේජෝ දේවතාවෝ ද වායු දේවතාවෝ ද එයට ආහ. වරුණ, වාරුණ යන දෙව්හු ද සෝම දෙවියා ද යශස් නම් දෙවියා කැටුව ආහ. යශස් ඇති මෙත්තාකායික කරුණා කායික දෙවියෝ ද ආහ.
නන් වැදැරුම් පැහැති දස පරිද්දෙන් වූ ඉදුමත් වූ ද්‍යුතිමත් වූ වර්‍ණවත් වූ යශස්වී වූ දශ දේව සමූහයෝ සතුටු වන්නාහු, භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනය කරා දස අයුරෙකින් එළැඹුණාහ.
13. විෂ්ණු දේවනිකායයේ දෙවියෝ ද, සහලී නිකායේ දෙවියෝ ද, අසම නම් නිකායේ දෙවියෝ ද යම නම් දේව නිකාය දෙකෙක දෙවියෝ ද ආහ. සඳමඬල නිසා වසන දෙවියෝ (සඳ මඬලට අධිපති) සඳු දෙව්පුතු පෙරටු කොට ආහ.
හිරුමඬල නිසා වසන දෙවියෝ (හිරුමඬලට අධිපති) හිරුදෙව් පුතු පෙරටු කොට ගෙන ආහ. නකත් තරු ඇසිරැ වසන දෙවියෝ නකත් තරුනට අධිපති දෙවියන් පෙරටු කොට ගෙන ද ආහ. මන්‍දවලාහක දෙවියෝ ද ආහ. වසු දෙවතාවනට නායක වූ පුරින්‍දද යන අපර නාමධෙයයක් ඇති සක් දෙවිඳු ද ආයේ ය.
නන් පැහැති ඉදුමත් ද්‍යුතිමත් වර්‍ණවත් යශස්වී වූ දස දේවනිකාය කෙනෙක් සතුටු වන්නාහු භික්‍ෂූන්ගේ ඒ සමාගමය දක්නට දස සැටියෙකින් වනයට ආහ.
14. ඉක්බිත් සහභූ නම් දෙවියෝ ගිනිසිළු මෙන් දිලියෙන්නාහු වනයට ආහ. දියබෙරලිය මල් පැහැති අරිට්ඨක නම් දෙවියෝ ද රෝජ නම් දෙවියෝ ද,
වරුණ, ධම්ම, අච්චුත, අනෝජක යන නම් ඇති දෙවියෝ ද ආහ. සූලෙය්‍ය රුචිර යන දෙවියෝ ද ආහ. වාසවනේසි නම් දෙවියෝ ද ආහ.
නන් පැහැති ඍද්ධිමත් ද්‍යුතිමත් වර්‍ණවත් යශස්වී වූ මේ දශ දේවසමූහයෝ සතුටු වන්නාහු භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනය කරා දස පරිද්දෙකින් ආහ.
15. සමාන, මහාසමාන, මානුස, මානුසුත්තම, ඛිඩ්ඩාපදෝසික නම් දෙවියෝ ද ආහ, මනෝපදෝසික නම් දෙවියෝ ද ආහ.
ඉක්බිති හරි නම් දෙවියෝ ද ආහ. රතුවත් හඳනා යම් දෙවි කෙනෙක් ඇද් ද, ඔහු ද යශස් ඇති පාරග මහාපාරග නම් වූ දෙවියෝ දැ යි
මේ දස දෙව්මුළුහු භික්‍ෂූන්ගේ ඒ සමිතිය දක්නට වනය කරා දස පරිද්දෙකින් ආහ.
16. සුක්ක කරුම්හ වරුණ යන දෙවියෝ වේඛනස යන දෙවියන් හා ආහ. ඕදාතගය්හ පාමොක්ඛ විචක්ඛණ යන දෙවියෝ ද ආහ.
යශස් ඇති සදාමත්ත භාරගජ යන නමැති දෙවියෝ ද මිස්සක නම් දෙවියෝ ද ආහ. යමෙක් දිශාවන් තෙමන්නේ ද, ඒ පර්ජන්‍ය දෙවි ද අහස ගුගුරුවමින් ආය.
නානා වර්‍ණ ඇති ඍද්ධිමත් වූ ද්‍යුතිමත් වූ වර්‍ණවත් වූ යශස්වී වූ මේ සියලු දශ දේව සමූහයෝ සතුටු වන්නාහු භික්‍ෂූන්ගේ සමාගමය දක්නට දස පරිද්දෙන් වනයට ආහ.
17. කීර්තිමත් ඛේමිය නම් දෙවියෝ ද තුසිත යාම කට්ඨක ලම්බිත කාලාම සෙට්ඨ ජෝති ආසව නම් දෙවියෝ ද, නිම්මානරතී නම් දෙවියෝ ද ආහ. ඉක්බිති පරනිම්මිත නම් දෙවියෝ ද ආහ.
නන් පැහැති ඍද්ධිමත් ද්‍යුතිමත් වර්‍ණවත් යශස් ඇති මේ දශ දේව නිකායයෝ සතුටු වෙමින් භික්‍ෂූන්ගේ සමාගමය දක්නට දස අයුරින් වනයට එළැඹියාහ.
18. නන් පැහැති, මේ සියලු සැටෙක් දේව නිකායයෝ, තව ද තමනට සමාන යම් අන් දෙව් කෙනෙක් ඇද්ද, ඔවුන් ද කැටුවැ නම් පිළිවෙළින් ආහ.
‘වැසැ නිමැවූ ජාති ඇති, කෙලෙස් හුල් නැති, සතර කෙලෙස් මහ වතුරු තිනූ, ආසව නැති අරී සඟන ද, ඕඝයන් තිනූ, අගතියට නොයන (නොහොත් පව් නැති) අඳුරු පැහැ ඉක්මි සඳුහු වැනි බුදුරජු ද දකුම්හ’ යි ආහ.
ඍද්ධිමත් බුදුරජුගේ (ආර්‍ය්‍ය) ශ්‍රාවක පුත්‍ර වූ සුබ්‍රහ්ම පරමාත්ම යන දෙවිහු ද සනත්කුමාර බඹහු හා ආහ. ඒ තිස්ස නම් බ්‍රහ්ම ද භික්‍ෂූන්ගේ සමාගමයට වනයට ආ ය.
මහබඹ තෙම බඹලෝ දහසක් අභිභවා සිටී. බඹලොවැ උපන්, ද්‍යුතිමත් බිහිසුණු මහකයක් ඇති, කීර්තිමත් හෙ තෙමේ ද ආයේ ය.
වෙන් වෙන්වැ තම පිරිස් සිය වශයෙහි පවත්වන, ඊශ්වර වූ බඹහු දස දෙනෙක් ද මෙහි ආහ. ඔවුන් මැදින් බඹ පිරිස විසින් පිරිවැරුණු හාරිත නම් බ්‍රහ්ම තෙම ආයේ ය.
19. එළැඹැ සිටි ඉන්‍ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ඒ සියලු දෙවියන් කරා මරසෙන්හු පැමිණියාහ. බලව මරහුගේ මුළා වෙක සැටි!
“එවු, ගනිවු, බඳිවු, මොහු හැම රාගයෙන් බඳනා ලදුවෝ ම වෙත් වා. හාත්පසින් පිරිවරවු (වටා මුර කොට සිටිවු). තෙපි ඒ කිසිවකු දු නො මුදවු.”
මෙසේ බිහිසුණු හඬ කොට, අත්ලෙන් පොළොව පැහැරැ මහසෙන් (මරදෙව්පුත්) තෙම මරසෙන් එහි යැවී ය.
20. යම් සේ වැසි සමයෙහි වසින මේඝය ගර්‍ජනා කරනුයේ විදුලිය සහිත වනුයේ ද, එසේ ම එදා ඒ මරදෙව් පුත් ඒ දෙව්පිරිස තමා වශයෙහි පැවැත්විය නුහුණුයේ, ඉතා කිපියේ, පෙරැළා නැඟී ගියේ ය.
පසැස් ඇති ශාස්තෘන් වහන්සේ ඒ සියල්ල දැන, වෙසෙසා දැක, ඉක්බිති සස්නැ ඇලුණු ඒ සව්වන් බණවා, “මහණෙනි, මරසෙන්හු ආහ. ඔවුන් දැනැගනිවු” යි වදාළ සේක.
ඔහු ද බුදුරජුන්ගේ අනුශාසනය අසා වැර වැඩූහ. පහ වූ රාග ඇති ඒ භික්‍ෂූන් කෙරෙන් මරසෙන්හු ඉවත් ව ගියහ. ඒ රහතුන්ගේ ලෝමයකුදු සොලවනු නො හැකි වූහ.
ජනයා කෙරෙහි ප්‍රකට වූ ඒ සියලු බුදු සව්වෝ දිනූ මර යුද ඇතියාහු, බිය ඉක්මියාහු, එහෙයින් ම කීර්තිමත් වූවාහු, අරිසව්වන් හා සතුටු වෙත්.
සත්වැනි මහාසමය සූත්‍රය නිමියේ ය.
8.
සක්කපඤ්හ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද රටෙහි, රජගහ පුරයට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණු ගමෙක් වී ද, එයට උතුරු දිගැ වේදියත නම් පව්වෙහි ඉඳුසලු ලෙනැ වැඩ වෙසෙති. එ සමයෙහි සක් දෙවිඳුට භගවත් බුදුරජු දක්නට උත්සුක බවෙක් උපන. එ කල්හි ඔහුට ‘අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දන් කොහි වැඩ වසන සේක් දෝ?’ යි මේ සිත විය. සක් දෙවිඳු මගද රටැ රජගහ නුවරට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණුගමෙක් වී ද, එයට උතුරු දිගැ වේදියක පව්වෙහි ඉඳුසල් ලෙනැ භගවත් බුදුරජුන් වැඩ වසන්නවුන් දුටුයේ ම ය. දැක, තවුතිසා වැසි දෙවියන් බණවා, “නිදුකාණනි, මේ භාග්‍යවතුන් වහන්සේ මගද රටැ රජගහ නුවරට පෙර දිගින් අඹසඬ නම් යම් බමුණුගමෙක් ඇද්ද, එයට උතුරු දිගැ වේදියක නම් පව්වෙහි ඉඳුසල් ලෙනෙහි වැඩ වසන සේක. නිදුකාණනි, ඉදින් අපි ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දක්නට එළඹෙන්නමෝ නම් ඒ ඉතා යෙහෙකැ” යි මෙ බස් පැවැසී ය. ‘එසේ ය පින්වතුන් වහන්සැ’ යි ම තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට පිළිවදන් දුන්හ.
2. ඉක්බිති සක් දෙවිඳු පන්සිළු ගඳැවු පුතු බණවා, ‘දරුව පන්සිළු, මේ භාග්‍යවතුන් වහන්සේ මගද රටැ රජගහ නුවරට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණු ගමෙක් ඇද්ද, එයට උතුරු දිගැ වේදියක පව්වෙහි ඉඳුසල් ලෙනැ වැඩ වසන සේක. දරුව පන්සිළුව, අපි ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඔබ වෙත එළඹෙන්නමෝ නම් ඉතා යෙහෙකැ’ යි කී ය. ‘එසේ ය, ඔබට වැඩෙක් වේවා’ යි පන්සිළු ගඳෙවු දෙව්පුත් තෙම සක් දෙවිඳුට පිළිවදන් දී බේළුවපාණ්ඩු වීණාව ගෙන සක් දෙවිඳු අනුව යන බවට වන (අනුව යන්නට නික්මිණ.) ඉක්බිති සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවැරුණේ පන්සිළු ගඳෙවු දෙව්පුතු විසින් පෙරටු කරන ලදුයේ බල ඇති මිනිසක්හු වක් කළ අතක් දික් කරන සේ ම දික් කළ අතක් හෝ වක් කරන සේ ම (කෙණෙන්) තව්තිසා දෙව් ලොවින් අතුරු දන් වැ මගද රටැ රජගහ නුවරට පෙර දිගැ පිහිටි අඹසඬ බමුණු ගමට උතුරු දිගැ වේදියක පව්වෙහි පහළ විය.
3. එ සමයෙහි වනාහි දෙවියන්ගේ දෙව් තෙදින් සෙයින් වේදියක පව්ව ද අඹසඬු බමුණුගම ද ඉතා ම බැබැලුණේ විය. ඒ කොතරම් මහත් වැ බැබැලුණේ ද යත හොත්: අවට ගම්හි මිනිස්සු “අද වේදියක පව්ව ගිනි ඇවිලගත්තේ වන, අද වේදියක පව්ව දැවෙන්නේ වන. අද වේදියක පව්ව දල්වෙනුයේ වන, අඹසඬු නියම්ගම ද ඉතා ම එකලු වැ ඇතැ’ යි සතුටු සොම්නස් වැ පිපී ගිය ලොම් ඇත්තෝ වූහ.
එක ලැ සක්දෙවිඳු ගඳෙවු දෙව්පුත් පන්සිළුහු බණවා, “දරුව පන්සිළු, දහන් කරන, දහන්හි ඇලුණු, මේ දැන් චිත්තවිවේකයෙහි යෙදුණු තථාගතයන් කරා මා වැන්නක්හු විසින් දුක සේ එළැඹිය යුතු ද! දරුව පන්සිළු, ඉදින් තෝ පළමු කොට භාග්‍යවතුන් වහන්සේගේ සිත් ගත්තෙහි වී නම්, දරුව, පළමු කොට තා විසින් පහදවා ගන්නා ලද සිතැති ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට පසු වැ අපි එළැඹෙන්නම් හ’ යි කී ය. පන්සිළු ගඳෙවු දෙව්පුත් ‘එසේ යැ, ඔබට වැඩෙක් වේව’ යි සක් දෙවිඳු කී බස පිළිගෙන, බේළුවපාණ්ඩු වීණාව ගෙනැ, ඉඳු සලු ලෙන කරා එළඹියේ ය, එළැඹ, ‘මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුර ද නො වන්නේ ය, ඉතා ළං ද නො වන්නේ ය, මගේ කටහඬ ද ඔබ අසන්නාහ’ යි සිතා, එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියේ ම බේළුව පාණ්ඩු වීණාව හැඬැවී ය. බුදුරජුන් පිළිබඳ වූ ද දහම පිළිබඳ වූ ද රහතුන් පිළිබඳ වූ ද කාමගුණ හා පිළිබඳ වූ ද මේ ගාථා ගැයි ය:
4. ගාථාවල අදහස : “ළහිරුරස් බඳු සිරුර කැලුම් ඇති, හැම සිරුරඟින් හොබනා, මට සතුට දනවන සොඳුරිය, තෝ යමක්හු කරණ කොට ගෙන උපන්නෙහි ද, තීගේ පිය වූ ඒ තිම්බරු නම් ගඳැවු රජුහු වඳිමි. ‘ළහිරු රස් සෙයින් නැඟෙන සිරුරු කැලුම් ඇත්තිය, හොබනා අඟපසඟ ඇත්තිය, මට සතුට දෙනුවිය, සොඳුර, යමක්හු කරණ කොට ගෙන තෝ උපන්නෙහි ද, තීගේ පිය වූ තිම්බරු නම් ගඳෙවු රජුහු වඳිමි.
සොසුලුවනට සුළඟ සේද, පැවැසියනට පැන් සේද, රහත්නට දහම් සේ ද තෝ මට ප්‍රියයෙහි ය.
ගිලන්හට බෙහෙද සේ ද, සා ඇතියනට බොජුන් සේ ද තෝ මට ප්‍රියයෙහි ය. සොඳුර, ඇවිලෙන ගින්න දියෙන් සේ (තී නිසා උපන් කාමරාග දැවිල්ලෙන් තැවුණු) මා නිවව.
ගිම් තැවුලෙන් බෙහෙවින් තැවුණු ඇතක්හු පියුම් කෙසුරුයෙන් යුත් සිහිල් දිය ඇති පොකුණකට බස්නහු සෙයින් (කවර දා) මම් ති ගේ තනබඩ තුරට බස්නෙම් දෝ!
අකුස ඉක්මි (අකුසින් මැඩැලිය නො හෙන) ඇතක්හු ‘කම්මුල විදුනා කටුවත් පා විදුනා කටුවත් මා විසින් දිනන ලදැ’ යි මදයෙන් මත් බැවින් කරුණු නො දන්නා සේ, තී ගේ ලක්‍ෂණ සම්පන්න ඌරු යුගලයෙන් මත් වූ මම් රාගය දුරැ ලන්නට කිසි දු කරුණක් නො දනිමි.
තී කෙරෙහි ගිජු වූ සිතැත්තෙමි. ම සිත පෙරැළී ගියේ ය. බිලිය ගිල ගත් මසක්හු සෙයින් තී කෙරෙහි බැඳුණු සිත මුදා ගන්නට නො හැක්කෙමි.
මනා ඌරු යුගලයක් ඇති සොඳුර, මා වැලැඳැ ගන්න. මඳ බැල් මෙන් බලන ඇසැත්තිය මා වැලැඳැ ගන්න, කල්‍යණිය, මා හාත්පසින් වැලැඳ ගන්න. මෙය මා වෙසෙසින් පැතූ දෑ ය.
රහතක්හට දුන් මඳ වූ ද දක්‍ෂිණාව මහත් පල දෙන්නා සේ, අක් බඹුරු කෙහෙ ඇති තී කෙරෙහි මට ඇති වූ ස්වල්ප (එක්) කාමුක සිත දන් නොයෙක් බව් ඇත්තේ (මහත් බවට පැමිණියේ) වෙයි.
සියලු අවයවයන්හි සොඳුරු බව ඇත්තිය, අට ලෝ දහමින් නො සැලෙන රහතුන් විෂයයෙහි මා කළ යම් පිනෙක් ඇද්ද, එය තී සහිතවූ මට පල දේවා.
හැම අවයවයන්හි සොඳුරුබව ඇත්තිය, මේ පොළෝ මඬලැ මා කළ යම් පිනෙක් ඇද්ද, ඒ සියල්ල තී සහිත වූ මට පල දේ වා.
සූර්‍ය්‍ය වර්චසාව, සැහැපුත් මුනිහු දහන් වැඩීමෙන් එකඟ සිතැති වැ, ප්‍රඥායෙන් යුක්ත වැ, සිහි ඇති වැ නිවන් සොයා ගියා සේ, මම් තී සොයා යෙමි.
කල්‍යාණ අඟ පසඟ ඇත්තිය, සැහැමුනිහු උතුම් සම්බෝධිය ලැබ යම් සේ සතුටු වූහු ද, එසේ ම මම තී හා එක්වීම ලැබුයෙම් සතුටු වන්නෙමි.
තවුතිසා වැස්සනට අධිපති සක් දෙවිඳු මට වරයක් දෙන්නේ වී නම්, සොඳුර, දෙ දෙව් ලොව රජයද හැරපියා තී ම පතන්නෙමි. තී කෙරෙහි මා ඇල්ම මේ සා දැඩි ය.
සොඳුරු නුවණැත්තිය, යමකුහට තී සේ වූ දුවක් ඇද්ද, බොහෝ කලකට පසු අළුතැ පිපුණු සල් රුකක් බඳු (තී නිසා සිරිමත් වූ) ති ගේ ඒ පියා වඳිමින් නමදිමි.”
5. පන්සිළුහු මෙසේ කී කල්හි භාග්‍යවතුන්වහන්සේ ඔහු අමතා, “පන්සිළුව, තගේ වෙණෙහි තත් හඬ තගේ ගී හඬ හා ද, තගේ ගී හඬත් තත් හඬ හා ද සැසැඳේ. පන්සිළුව, තගේ තත් හඬ ගී හඬ නො ඉක්මෙයි. තගේ ගී හඬත් තත්හඬ ඉක්මැ නො යෙයි. පන්සිළුව, බුදුගුණ අසළ, දහම් ගුණ අසළ, සඟ ගුණ අසළ, රහත් ගුණ අසළ, කම් ගුණ අසළ, මේ ගාථා තා විසින් කවර දාක රැසැයිණි දැ?” යි අසා වදාළ සේක.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බුදු වූ අළුත එක් සමයෙක උරුවෙල් දනවුයෙහි නිල්දලා ගං තෙරැ අජපල් නුග මුලැ වැඩ වෙසෙති. වහන්ස, එ සමයෙහි මම් තිම්බරු නම් ගඳැවු රජුහු දූ වූ භිරුරස් බඳු ශෝභා ඇති භද්‍රා නම් යම් දෙවඟනක් වේ ද, ඇය පතන්නෙම් වීමි. වහන්ස, ඒ ගඳැවු දූ අනෙකක්හු පතන්නී ය. මාතලි නම් රියැදුරා පුත් සිඛණ්ඩී නම් ගඳැවු පුතෙක් ඇත. ඕ ඔහු පතන්නී ය, වහන්ස, යම් විටෙක කිසිදු කරුණෙකින් ඒ ගඳෙවු දුව නො ලදුයෙම් ද, එ විට මම් බේළුව පණ්ඩු වීණාව ගෙන, තිම්බරු ගඳැවු රජුහු නිවෙස කරා එළැඹියෙමි, එළැඹ ඒ වෙණ හැඬැවීමි. බුදුගුණ අසළ, දහම් ගුණ අසළ, සඟ ගුණ අසළ, රහත් ගුණ අසළ, කාමගුණ අසළ, මේ ගාථා ද ගැයිමි.
“ළහිරු රස්බඳු සිරුරු කැලුමැති හැම සිරුරඟින් හොබනා, මට සතුට දනවන සොඳුරිය, තෝ යමක්හු කරණකොටගෙන උපන්නෙහි ද, තිගේ පිය වූ ඒ තිම්බරු නම් ගඳැවු රජුහු වඳිමි.
සොඳුරු නුවණැත්තිය, යමකු හට තී සේ වූ දුවක් ඇද්ද, බොහෝ කලකට පසු අළුතැ පිපුණු සල් රුකක් බඳු (තී නිසා සිරිමත් වූ) තිගේ ඒ පියා වඳිමින් නමදිමි” යි.
6. වහන්ස, මෙසේ මා ගැයූ කල්හි සූර්‍ය්‍යවර්චසීනම් වූ ඒ භද්‍රා තොමෝ “නිදුකාණනි, ඒ භාග්‍යවතුන් වහන්සේ මා විසින් හමුයෙහි නො දක්නා ලද සේක. එතෙකුදු වුවත් තව්තිසා වැසි දෙවියන්ගේ සුදම් සෙබෙහි නටන මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ අසන ලදහ. (ඒ භාග්‍යවතුන්ගේ තතු අසන ලදුයේ ය). නිදුකාණනි, යම් හෙයෙකින් ඔබ ඒ භගවත් බුදුරජුන්ගේ ගුණ කියත් ද, එ හෙයින් අද අපගේ සමාගමය වේ වා’ යි කිවූ ය. වහන්ස, එ දා ඒ දෙව් දූ හා සමාගමය විය. එයින් පසු දැන් (මේ දවස දක්වා) එසේ වූ සමාගමයෙක් නො වී යැ” යි පන්සිළු කීය.
එවිට සක්දෙවිඳුට “පන්සිළු ගඳැවු දෙව්පුත් භගවත් බුදුරජුන් හා කතා බස් කෙරෙයි. භගවත්හු ද පන්සිළු හා කතා කෙරෙති” යි මේ සිත විය.
7. ඉක්බිති සක් දෙවිඳු පන්සිළු ගඳැවු දෙව්පුතු ඇමතී ය. “දරුව පන්සිළුව, ‘වහන්ස, ඇමැත්තන් සහිත පිරිවර ජනයා සහිත සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් හිස නමා වඳී” යැ යි කියා මගේ වැඳුමෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව” යි කී ය.
‘එසේ ය, ඔබට වැඩෙක් වේව’ යි ම පන්සිළු ගඳැවු දෙව් පුත් සක්දෙව් බස පිළිගෙන, ‘වහන්ස, ඇමැත්තන් සහිත පිරිවර ජනයා සහිත සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් හිස නමා වඳී” යැ යි කියා භගවත් බුදුරජුන් සාදර වැ වැන්දේ ය.
“පන්සිළුව, මෙසේ ඇමැතියන් සහිත, පිරිවර ජනයා සහිත සක් දෙවිඳු සුව පත් වේ වා. දෙවියෝත් මිනිස්සුත් අසුරයෝත් නාගයෝත් ගන්‍ධර්‍වයෝත් මෙයින් අන්‍ය යම් බොහෝ සත්‍ව කෙනෙක් වෙත් නම් ඔහු හැම ද යන මේ සියල්ලෝ සුව කැමැත්තාහු ම ය.
තථාගතවරු වනාහි මහත් යශස් ඇති මෙ බඳු යක්‍ෂයනට ඔවුන්ගේ වැඳීම පිළිගැනුම් විසින් මෙසේ වදාරත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
8. මෙසේ භගවත් බුදුරජුන් විසින් ආසිරි බසින් සෙත් පතනු ලැබූ සක් දෙවිඳු ඉඳුසලු ලෙන් වැද, භාග්‍යවත් බුදුරජුන් වැඳ, එක් පසෙක සිටියේ ය. තව්තිසා වැසි දෙවියෝ ද, ඉඳුසල් ලෙන් වැද, භගවත් බුදුරජුන් වැඳ, එක් පසෙක සිටියා හ. පන්සිළු ගඳැවු දෙව් පුත් ද ඉඳුසල් ලෙන් වැද භගවත් බුදුරජුන් වැඳ එක් පසෙක සිටියේ ය.
එ සමයෙහි වනාහි පියෙවියෙන් විසම වූ ඉඳුසල් ලෙන දෙවියන්ගේ දේවානුභාවයෙන් සෙයින් සම විය, එය පියෙවියෙන් ඉඩ මඳ වූ නමුදු එ සමයෙහි මහත් ඉඩ ඇතියේ විය. ලෙනෙහි අඳුර පහ විය. එළිය පහළ විය.
ඉක්බිති භගවත්හු සක්දෙවිඳුහු අමතා, “ඒසා බොහෝ කිස් ඇති, ඒසා බොහෝ කටයුතු ඇති, ආයුෂ්මත් කෞෂිකයන්ගේ මෙහි මේ යම් පැමිණීමෙක් වේ ද, එය ආශ්චර්‍ය්‍ය ය, ආයුෂ්මත් කෞෂිකයන්ගේ මේ ඊම අද්භූත යැ” යි වදාළාහ.
“වහන්ස, බොහෝ දවසෙක සිට මැ භාග්‍යවතුන් වහන්සේ දක්නට එනු කැමැති වීමි. එහෙත් තව්තිසා වැසි දෙවියන්ගේ වැඩ කටයුතු වල ව්‍යාපෘත වූයෙම් ම භාග්‍යවතුන් වහන්සේ දක්නට එනු නො හැකි විමි. වහන්ස, එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල (දෙව් රම්හි) සළලාගාර ගඳකිළියෙහි වසන සේක. වහන්ස, එ කල, මම් භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට ගියෙමි. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ එක්තරා සමාධියෙකින් හුන් සේක් වෙති.
වෙසවුණු රජුගේ භුංජතී නම් පාදපරිචාරිකාවක් දොහොත් මුදුන් තබා වැඳ ගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටියා ය. වහන්ස, එ කල මම් භුංජතිය බණවා, ‘බිහිනිය, තෝ ඇමැතියන් සහිත පිරිවර ජනයා සහිත සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වඳී යැ යි කියා මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව’ යි කීමි, වහන්ස, මා එසේ කී කලැ ඒ භුංජතී තොමෝ ‘නිදුකාණනි, දැන් භාග්‍යවතුන් වහන්සේ දක්නට නො කල් ය. භාග්‍යවතුන් වහන්සේ සමවත් සම වැද වැඩ ඉන්නා සේකැ’ යි කිවු ය. ‘බිහිනිය, එසේ වී නම්, යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැඟී සිටින සේක් ද, එ විටැ ‘වහන්ස, ඇමැත්තන් සහිත පිරිවර ජනයා සහිත සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වඳී’ යැයි මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව’ යි කීමි. වහන්ස, කිමෙක් ද? මා බසින් ඒ බිහිනී භාග්‍යවතුන් වහන්සේ වැන්දා ද? භාග්‍යවතුන් වහන්සේ ඇගේ වචනය සිහි කරන සේක් දැ?” යි සක්දෙවිඳු කී ය.
“දෙවිඳ, ඒ බිහිනී මා වැන්දා ය. මම් ඇගේ වචනය සිහි කරමි. තව ද ආයුෂ්මත්හුගේ රියෙහි නිම්වළල්ල හඬ නඟන්නා හා ම මම් සමවතින් නැඟී සිටියෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, යම් කලෙක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගත කෙනෙක් ලොවැ උපදනාහු ද, ඒ කලැ දෙව් මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්’ යන මෙ කරුණ අපට පෙරටු වැ තව්තිසා දෙව්ලොවැ ඉපිදැ සිටි දෙවියන් හමුයෙහි දී මා විසින් අසන ලද්දේ ය, ඔවුන් හමුයෙහි දී පිළිගන්නා ලද්දේ ය. වහන්ස, ‘යම් කලෙක තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් ලොවැ පහළ වන්නෝ ද, එ කලැ දෙව්මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්’ යන මෙ කරුණ මා විසින් සියැසින් ම දක්නා ලද්දේ ය. වහන්ස, මෙ කිඹුල්වත් පුරෙහි ම බුදුරුවන්හි පහන්, දමුරුවන්හි පහන්, සඟුරුවන්හි පහන්, සිල් සපුරා රක්නා සුලු ගෝපිකා නම් සැහැ දුවක් වූ ය. ඕ ගැහැනු බවට ඇලුම් හැරැ පියා පිරිමි බව පතා, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණියා, අපගේ පුත් බව ලැබූහ. එහි දූ ඔහු ‘ගෝපක දෙව් පුතැ’ යි ‘ගෝපක දෙව් පුතැ’ යි දනිත්.
9. වහන්ස, අන් මහණහු ති දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර කොට හීන වූ ගඳැවු මුළුවෙක උපන්නාහුය. ඔහු පස් කම් ගුණයන්ගෙන් සමර්පිත වැ සමන්‍විත වැ පසිඳුරන් හසුරුවන්නාහු, ගැයුම් වැයුම් ආදියෙන් අපට වත් කරනුවට අප උවටන් හලට එත්. අපට වත් කරනුවට අප උවටන් හලට ආ ඔවුනට ගෝපක දෙව්පුත් තෙම ‘නිදුකාණනි, තෙපි කොහි යොමු කළ මුහුණු ඇති වැ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දහම් ඇසූහු ද? මම් වනාහි ස්ත්‍රියක් ව සිට ද බුදුරුවන් දමරුවන් සඟුරුවන් කෙරෙහි පහන් වැ, සිල් පුරන්නීම් ඉතිරිබව්හි ඇල්ම හැරැ පියා, පිරිමිබව් පතා කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණියෙම්, සක් දෙවිඳුගේ පුත් බව ලදිමි.
මෙහිදු මා ‘ගොපක දෙව් පුතැ’ යි දනිත්. නිදුකාණනි, තෙපි වූ කලි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර කොට, හීන වූ ගඳැවු රැහැට වන්නහු ය. භවත්නි, යම්බඳු වූ ඇපි හීන වූ ගඳැවු රුහැකැ උපන් සහදැමියන් දකුමෝ ද, ඒ අපි නො දැක්ක යුතු දැයක් දුටුම්හ’ යි ඔවුනට චෝදනා කළේ ය. වහන්ස, ගොපක දෙව්පුතු විසින් චෝදිත (සිහි කරවන ලද) ඒ තිදෙනා අතුරෙන් දෙදෙනෙක් දෙව්හු මෙ අත් බව්හි ම පළමු දහන් සිහිය පිළිලැබ (ධ්‍යානය පාදක කොට විවසුන් වඩා ඇනැගැමි පෙලෙහි පිහිටා) එ කෙණෙහි ම සැවැ බඹ ලොවැ, බඹපෙරෙවි (බ්‍රහ්මපුරෝහිත) අත් බව ලදුහ. එක් දෙවියෙක් වනාහි කාමයන්හි ඇලුණේ එහි මැ රැඳුණේ ය.
(එයින් කීහු සංගීතිකාරයෝ:) 10. “පසැස් ඇතියාණන්ගේ උවැසියක් වීමි. මගේ නම ‘ගෝපිකා’ යි විය. බුදුරුවන්හි ද දමුරුවන්හි ද වෙසෙසින් පැහැදුණු මම් පහන් සිතැති ව සඟුරුවනට උවටන් කෙළෙමි.