Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 2901-3000 න් 5108

ගෝවින්‍ද බ්‍රාහ්මණ වස්තුව
11. “භවත් තව්තිසා වැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් දික් කලක් මහාප්‍රාඥ ම වූ සේක් ද! පෙරැ වූවක් කියමි. භවත්නි පෙර දවසැ දිසම්පති නම් රජෙක් විය. දිසම්පති රජහට ගෝවින්‍ද නම් බමුණෙක් පෙරෙවි විය. දිසම්පති රජුගේ පුත් රේණු නම් කුමරෙක් විය. ගෝවින්‍ද බමුණහු පුත් ජෝතිපාල නම් මාණවකයෙක් විය. මෙසේ රජ පුත් රේණු කුමර ද ජෝතිපාල මාණවක ද අන් ස දෙනෙක් ක්‍ෂත්‍රියයෝ ද යි මේ අට දෙන යහලුවෝ වූහ.
භවත්නි දික් කලක් ඇවෑමෙන් ගෝවින්‍ද බමුණු කලුරිය කෙළේ ය. ගෝවින්‍ද බමුණු කලුරිය කළ කලැ “භවත්නි යම් කලෙක අපි ගෝවින්‍ද බමුණහු කෙරෙහි සියලු කටයුතු මැනැවින් පවරා පංච කාමගුණයන් ගෙන් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් හසුරුවමෝ ද, එ සමයෙහි ම අප ගෝවින්‍ද බමුණු කලුරිය කෙළේ වේ ද!” යි දිසම්පති රජ විලාප කී ය. භවත්නි, මෙසේ විලාප කී කල රාජපුත්‍ර රේණුකුමාර තෙම දිසම්පති රජුහු බණවා “දේවයිනි, ඔබ ගෝවින්‍ද බමුණුහු කලුරිය කළ කල (මෙසේ) ඉතා දැඩි කොට නො වැලැපුණ මැනැව. දේවයිනි, ගෝවින්‍ද බමුණාට පියාට වැඩි තරම් පණ්ඩිත වූ ද ඒ ඒ කටයුතු දැකීමෙහි පියාට වඩා සමර්‍ත්‍ථ වූ ද ජෝතිපාල නම් පුත්‍ර මාණවකයෙක් ඇත. ඔහුගේ පියා යම් කටයුතු අනුසැසී ද (යම් කටයුතු පිළිබඳ ව අනුශාසන කෙළේ ද) ඒ කටයුතු ද ජෝතිපාල මාණවකයාගේ අනුශාසනයෙන් ම කෙළේ යැ” යි කී ය. ‘එසේ ද කුමරුවනි?’ යි රජ ඇසී ය. ‘එසේ යැ දේවයිනි’ යි කුමර පිළිවදන් දුන.
12. භවත්නි, ඉක්බිති දිසම්පති රජ එක්තරා පුරුෂයකු බණවා, හෙම්බා පුරුෂය, තෝ මෙහි එව, ජෝතිපාල නම් මාණවකයා වෙත යව. ගොස් ඔහුට, “භවත් ජෝතිපාල මාණවකයාට වැඩෙක් වේ වා! දිසම්පති රජ භවත් ජෝතිපාල මාණවකයාණන් කැඳවයි. දිසම්පති රජ භවත් ජෝතිපාල මාණවකයාණන් දක්නා කැමැත්තේ යැ” යි මෙසේ කියව යි කී ය. භවත්නි, ‘එසේ යැ දේවයිනි’ යි කියා ම ඒ පුරුෂ තෙම දිසම්පති රජහට පිළිවදන් දී, ජෝතිපාල මාණවකයා කරා එළැඹියේ ය. එළඹැ, ජෝතිපාල මාණවකයාට, “භවත් ජෝතිපාල මාණවකයාණනට වැඩෙක් වේ වා. දිසම්පති රජුහු භවත් ජෝතිපාල මාණවකයාණන් කැඳවති, දිසම්පති රජුහු භවත් ජෝතිපාල මාණවකයාණන් දක්නා කැමැත්තාහ” යි සැළකෙළේ ය. ‘භවත, එසේ දැ’ යි කියා ම ජෝතිපාල මාණවක ඒ පුරුෂයාට පිළිවදන් දී දිසම්පති රජු වෙත එළහැඹියේ ය. එළැඹ, දිසම්පති රජු හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳවියැ යුතු කථා අවසන් කොට, එක් පසෙක හිඳ ගත. එක් පසෙක හුන්නා වූ ම ජෝතිපාල මාණවකයාට දිසම්පති රජ, “භවත් ජෝතිපාල තෙමේ අපට අනුශාසන කෙරේ වා, භවත් ජෝතිපාල තෙමේ අපට අනුශාසන කිරීමෙන් ඉවත් නො වේ වා (අපට අනුශාසන කිරීම පිළිකෙවු නො කෙරේ වා), ඔබ සිය පියා අයත් වැ තුබුණු තනතුරෙහි තබන්නෙමි, ගෝවින්‍ද බමුණානන් දැරු තනතුරෙහි අභිෂික්ත කරන්නෙමි” යි කී ය. ‘එසේ යැ, භවතාණනි’ යි හේ ජෝතිපාල මාණවක දිසම්පති රජහට පිළිවදන් දුන.
13. භවත්නි, ඉක්බිති දිසම්පති රජ ජෝතිපාල මාණවකයා ගෝවින්‍ද බමුණා දැරු තනතුරෙහි අභිෂික්ත කෙළේ ය. ඔහු පිය බමුණු දැරු තනතුරෙහි තැබී ය. ජෝතිපාල මාණවක තෙම ගෝවින්‍ද බමුණා දැරු තනතුරෙහි අභිෂික්ත වූයේ, සිය පියා දැරු තනතුරෙහි තබන ලදුයේ, ඔහු පියා යම් අර්‍ත්‍ථයන් අනුසැසි ද, ඒ අර්‍ත්‍ථ ද අනුසසී. ඔහු පියා යම් අර්‍ත්‍ථ නො අනුසැසී ද ඒ අර්‍ත්‍ථත් අනුසසී. ඔහු පියා යම් කර්‍මාන්ත සංවිධාන කොට තැබී ද, ඒ කර්‍මාන්ත ද සංවිධාන කෙරෙයි. ඔහු පියා යම් කර්‍මාන්ත සංවිධාන නො කෙළේ ද, ඒ කර්‍මාන්ත ද සංවිධාන කෙරෙයි. මිනිස්සු ඔහුට, “ආශ්චර්‍ය්‍යයෙක! භවත්නි, මේ ගෝවින්‍ද බමුණා යැ, පුදුමයෙකි! මේ තෙමේ මහා ගෝවින්‍ද බ්‍රාහ්මණ යැ!” යි මෙසේ කීහ. භවත්නි, මෙ කරුණින් ජෝතිපාල මාණවකයාට ‘ගෝවින්‍ද ය, මහාගෝවින්‍ද’ යැ යි ම නම උපන.
රාජ්‍ය සංවිභාගය
14. එකලැ ඒ මහාගෝවින්‍ද බමුණාණෝ ඒ (යහලු) ක්‍ෂත්‍රියයන් සදෙනා වෙත එළැඹියාහ. එළඹැ ඒ ක්‍ෂත්‍රියයන් ස දෙනාට මෙය සැළ කෙළේය: “භවත්නි, දිසම්පති රජ ජීර්‍ණය, වෘද්ධය, මහලු ය, ඉක්මුණු කල් ඇත්තේ ය, පැසිම් වයසට පැමිණියේ ය. භවත්නි, ජීවිතය (මෙතෙක් පවතිතැ යි) කවරෙක් දනී ද? දිසම්පති රජුහු කලුරිය කළ කල්හි රාජකාරක (රජක්හු පත් කරන) ඇමැතියෝ රාජපුත්‍ර රේණු කුමරහු රජයේ අභිෂික්ත කරන්නාහ යන යමෙක් ඇද්ද, මෙ කරුණ ඒකාන්තයෙන් විද්‍යමාන ය. භවත්හු එත් වා. රජ පුත් රේණු කුමර කරා එළඹෙත් වා. එළැඹ ඔහුට “අපි වූ කලි භවත් රේණුහුගේ ප්‍රිය වූ මන වඩන නොපිළිකුල් (අවිරුද්ධ) යහලුවෝ වම්හ. භවත් තෙමේ යම් සැපයක් ඇත්තේ ද අපිත් ඒ සැපය ම ඇත්තම්හ. භවත් තෙමේ යම් දුකක් ඇත්තේ ද අපිත් ඒ දුකම ඇත්තම්හ(අපි සහසුඛි සහශෝකී මිතුරම්හ). භවත් තෙමේ ඉදින් රජය ලබන්නේ ද, (එසේ කලැ) අපට රාජ්‍යයෙන් සංවිභාග කරන්නේ මැනැවැයි (රාජ්‍යයන් බෙදා දුන මැනැවැයි) මෙසේ කියවු” යනු යි.
‘භවත එසේ යැ’ යි ම ඒ ක්‍ෂත්‍රියයෝ ස දෙන මහාගෝවින්‍ද බමුණාට පිළිවදන් දී, රේණු රාජපුත්‍රයා කරා එළැඹියාහ. එළඹැ ඔහුට “අපි වූ කලි භවත් රේණුහුගේ ප්‍රිය වූ මනාප වූ අනුකූල වූ යහලුවෝ වම්හ. භවත් තෙමේ යමක් සැප කොට ඇත්තේ ද අපිත් එය ම සැප කොට ඇත්තම් හ. භවත් තෙමේ යමක් දුක් කොට ඇත්තේ ද අපිත් එය ම දුක් කොට ඇත්තම්හ. භවත, දිසම්පති රජ ජරාජීර්‍ණ ය, වෘද්ධ ය, මහලු ය, ඉක්මි කල් ඇත්තේ ය, පැසිම් වියට පැමිණියේ ය. භවත කවරෙක් ජීවිතය දනී ද? දිසම්පති රජහු කලුරිය කළ කලැ රාජකාරක ඇමැතියෝ රේණුහු රජයෙහි අභිෂික්ත කරන්නාහ යන මෙ කරුණ ඇති එකෙක. ඉදින් භවත් රේණු තෙමේ රජය ලද්දේ වී නම්, අපට රාජ්‍යයෙන් සංවිභාග කළ මැනැවැ” යි සැළ කළාහ. “භවත්නි, භවතුන් හැර, අන් කවර කෙනෙක් මා රටෙහි සැපයට පැමිණෙන්නාහු දl භවත්නි, ඉදින් මේ රජය ලදිම් නම් ඔබ හැමට රාජ්‍යසංවිභාගය කරන්නෙමි” යි රේණු කුමර පිළිවදන් දුන.
15. භවත්නි, ඉක්බිති කල් යෑමෙන් දිසම්පති රජ කලුරිය කෙළේ ය. දිසම්පති රජු කලුරිය කළ කල්හි රාජකාරක ඇමැතියෝ රේණු රජකුමර රජයෙහි අභිෂික්ත කළහ. රාජ්‍යයෙන් අභිෂික්ත වූ රේණු තෙම පස් කම් ගුණවලින් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් හසුරුවයි. භවත්නි, එ කල්හි මහාගෝවින්‍ද බමුණු ඒ ක්‍ෂත්‍රියයන් ස දෙනා කරා එළැඹියේ ය. එළැඹ ඒ ක්‍ෂත්‍රියයන් සදෙනා බණවා, “භවත්නි, දිසම්පති රජ කලුරිය කෙළේ ය. රේණු තෙම රජයෙන් අබිසෙස් ලදුයේ පස් කම් කොටසුන්ගෙන් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් හසුරුවයි. කාමයෝ මද ප්‍රමාදයනට කරුණුහ. එයින් මත් වැ පෙරැ තමා ගිවිසූ දෑ සිහි නො කෙරේ දෝ යි කවරෙක් දනී ද? භවත්නි එත් වා, රේණු රජු කරා එළැඹෙනු මැනැව. එළැඹ රේණු රජහට, “භවත්නි, දිසම්පති රජ කලුරිය කෙළේ ය. භවත් රේණු තෙම රජයෙන් අබිසෙස් ලද්දේ ය. භවත් තෙම (පෙර දවසැ කී) ඒ වචනය සිහි කෙරෙයි දැ?’ යි මෙ වචන කියනුමැනැවැ” යි සැළකෙළේ ය.
‘භවත, එසේ යැ’ යි ම ඒ කැත්හු ස දෙන මහාගෝවින්‍ද බමුණුහට පිළිවදන් දී, රේණු රජු කරා එළැඹුණාහ. එළැඹ, රේණු රජුට, ‘භවතාණනි, දිසම්පති රජ කලුරිය කෙළේ ය. භවත් රේණු තෙම රජයෙන් අබිසෙස් ලද්දේ ය. භවත් තෙමේ (පෙර දවස කී) ඒ වචනය සිහි කෙරෙයි දැ? යි කීහ. “භවත්නි, ඒ වචනය මම් සිහි කෙරෙමි. භවත්නි, උතුරින් දික් වැ දකුණින් ගැල්මුව සේ පිහිටි මේ මහ පොළොව සමලෙස සත් කොටසකට මොනොවට බෙදන්නට කවරෙක් සමත් වෙයි” ? දැ යි රජ කී ය. “භවත, මහාගෝවින්‍ද බමුණු හැර අන් කවරෙක් සමත් වෙ යි දැ”? යි ඒ කැත්හු කීහ.
16. භවත්නි, ඉක්බිති රේණු රජ එක්තරා පුරුෂයකු බණවා, ‘හෙම්බා මිනිස, මෙහි එව. මහාගෝවින්‍ද බමුණහු කරා යව. ගොස් ඔහුට, ‘වහන්ස,රේණු රජ ඔබ කැඳවා’ යැ යි මෙසේ කියව’ යි කී ය. භවත්නි, ‘දේවයිනි, එසේ යැ’ යි ම කියා ඒ පුරුෂ තෙම රේණු රජුට පිළිවදන් දී, මහාගෝවින්‍ද බමුණු වෙත එළැඹියේ ය. එළැඹැ ඔහුට, ‘වහන්ස, රේණු රජ්ජුරුවෝ ඔබ අමතති’ යි සැළ කෙළේ ය. ‘එසේ ද භවත’ යැ යි කියා ම ඒ මහා ගෝවින්‍ද බ්‍රාහ්මණ තෙම ඒ පුරුෂයාට පිළිවදන් දී රේණු රජු කරා එළැඹියේ ය. එළැඹ, රේණු රජු හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳැ වියැ යුතු වූ කථා නිමවා, එක් පසෙක හුන්නේ ය. රේණු රජ එක් පසෙක හුන්නාවූ ම මහාගෝවින්‍ද බමුණහු බණවා, ‘භවත් ගෝවින්‍දයෝ එත් වා. උතුරුදිගින් දික් වැ ද දකුණුදිගින් ගැල්මුවක් බඳු ව ද පිහිටි මේ මහ පොළොව සම ලෙස සත් කොටසකට බෙදා වා’ යි කී ය. ‘එසේ යැ, භවත්නි’ යි ම ඒ මහාගෝවින්‍ද බ්‍රාහ්මණ තෙම රේණු රජුහට පිළිවදන් දී, උතුරින් දික් වැ ද දකුණින් ගැල්මුවක් සේ ව ද පිහිටි මේ මහ පොළොව සම ලෙස සත් කොටසකට බෙදී ය. සියලු රාජ්‍යයන් ගැල්මුව සේ සිටිනුවන් කොට පිහිටුවී ය. එහි ඒ හැම මැද රේණු රජුගේ ජනපදය වෙයි.
“කලිඟු රටැ දන්තපුරය ද, අශ්මකරට පෝතන පුරය ද, අවන්ති රටැ මාහිස්සති පුරය ද, සෝවිර රටැ රෝරුක පුරය ද, විදේහ රටැ මිථිලා පුරයද, අංගරටැ චම්පා පුරයද, කසී රටැ බාරාණසී පුර ය ද යන මේ නුවර සත ගෝවින්‍ද බමුණුහු විසින් කරවන ලදී.”
17. භවත්නි, ඉක්බිති ඒ කැත්හු ස දෙන “ආශ්චර්‍ය්‍යයෙක! භවත්නි, අප විසින් යමෙක් රිසියෙන ලද්දේ වී ද, යමෙක් අපේක්‍ෂිත වී ද, යමෙක් අදහස් කරන ලද්දේ වී ද, යමෙක් පතන ලද්දේ වී ද, එය අප විසින් ලබන ලද” යි තමන් ලද පරිදි වූ ලාභයෙන් සතුටු වූවාහු, පිරිපුන් මනෝරථ ඇත්තෝ වූහ.
“සත්තභූ රජ ද බ්‍රහ්මදත්ත රජ ද වෙස්සභූ රජ ද භරත රජ ද රේණු රජ ද දෙදෙනෙක් ධෘතරාෂ්ට්‍ර රජුහු දැ යි එදා භාරත රජුහු සත් දෙනෙක් වූහ.”
පළමු බණවර නිමියේ ය.
තික්හඩ නැඟීම
18. භවත්නි, එ කල ඒ ක්‍ෂත්‍රියයෝ සදෙන මහාගෝවින්‍ද බමුණහු කරා එළඹියාහ. එළැඹ, ඔහු බණවා, “භවත් ගෝවින්‍දයාණෝ යම් සේ රේණු රජුහට යහලුත් ප්‍රියත් මනාපත් අවිරුද්ධත් වේ ද, එසේ ම භවත් ගෝවින්‍දයෝ අපට ද යහලුත් ප්‍රියත් මනාපත් අවිරුද්ධත් වෙත්. භවත් ගෝවින්‍දයෝ අපට අනුශාසන කෙරෙත් වා. භවත් ගෝවින්‍දයෝ අපට අනුශාසන කිරීමෙන් ඉවත් නො වෙත් වා” යි මෙ බස් පැවැසූහ. ‘එසේ ය භවත්නි’ යි ම ඒ මහා ගෝවින්‍ද බමුණු ඒ ක්‍ෂත්‍රියයන් ස දෙනාට පිළිවදන් දුන. භවත්නි, එ කලැ ඒ මහාගෝවින්‍ද බ්‍රාහ්මණ තෙම රජබව්හි මුදුනැ අබිසෙස් ලත් සත් කැත් රජුනට ද, (අනුපුරෝහිත වූ) බමුණු මහසල් සත් දෙනකුට ද අනුශාසන කෙළේ ය. ස්නාතකයන් සත් සියයකට වේද හැදෑරැවී ය.
19. භවත්නි, පසු කලෙක මහාගෝවින්‍ද බමුණා පිළිබඳ වැ “මහාගෝවින්‍ද බමුණාණෝ සියැසින් ම බ්‍රහ්මයා දකී. මහාගෝවින්‍ද බමුණාණෝ සියැසින් දැක ම බ්‍රහ්මයා හා සාකච්ඡා කෙරෙයි, කථා කෙරෙයි, මන්ත්‍රණය කෙරේ” යැ යි මෙසේ කල්‍යාණ වූ යශෝඝෝෂයෙක් උස් වැ නැංගේ ය. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බමුණාහට “මහාගෝවින්‍ද බමුණු සියැසින් බ්‍රහ්මයා දකී’ යැ යි, ‘සියැසින් දැක බ්‍රහ්මයා හා සාකච්ඡා කෙරෙයි, සංලාප කෙරෙයි, මන්ත්‍රණය කෙරේ යැ” යි මා පිළිබඳ වැ මෙසේ කල්‍යාණ වූ යශෝඝෝෂයෙක් උස් වැ නැංගේ ය. එහෙත් මම් වූ කලි බ්‍රහ්මයා නො ම දකිමි, බ්‍රහ්මයා හා සාකච්ඡා නොකරමි, බ්‍රහ්මයා හා කතා බහ නො කරමි, බ්‍රහ්මයා හා මන්ත්‍රණය නො කරමි. එතෙකුදු වුවත්, ‘යමෙක් වැසි සාර මස විවික්ත වැ වසන්නේ නම්, කරුණා ධ්‍යානය වඩන්නේ නම්, හෝ බඹහු දක්නේ ය, බඹහු හා කතාබහ කරන්නේ ය, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ’ යි කියන වැඩී සිටි මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍යයන්ගේ වචනය මා විසින් අසන ලදුයේ වෙයි. මම් වැසි සාර මස විවික්ත වන්නෙම් නම්, කරුණාධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත වී ය.
20. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බමුණු රේණු රජ කරා එළඹියේ ය. එළඹ ඔහුට මෙය කීය: “භවත, මහාගෝවින්‍ද බමුණා බඹහු සියැසින් දකියි, මහාගෝවින්‍ද බමුණා සියැසින් දැක බඹා හා සාකච්ඡා කෙරෙයි, කතාබහ කෙරෙයි, මන්ත්‍රණය කෙරේ” යැ යි මෙසේ මා පිළිබඳ කලායාණ වූ අද්භූත වූ යශෝඝෝෂයෙක් උස් වැ නැංගේ ය. එහෙත්, භවත, මම බඹහු නො දකිමි, බඹහු හා සාකච්ඡා නො කෙරෙමි, බඹහු හා කතාබහ නො කරමි, බඹහු හා මන්ත්‍රණය නො කරමි.
‘යමෙක් වැසි සාර මස විවික්ත වන්නේ නම් කරුණාධ්‍යානය වඩන්නේ නම් හේ බඹහු දක්නේ ය, බඹහු හා සාකච්ඡා කරන්නේ ය, බඹහු හා කතාබහ කරන්නේ ය, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ’ යි කියන වැඩී සිටි මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන්ගේ මේ වචනය මා අසා ඇත. භවත, වැසි සාරමස විවික්ත වන්නට, කරුණාධ්‍යානය වඩන්නට මම් කැමැත්තෙමි. එක ම බත් එළවන්නක්හු විනා අන් කිසිවකු දු විසින් නො එළැඹියැ යුත්තෙම් වෙමි” යනු යි. “භවත් ගෝවින්‍දයෝ යමකට කල් සලකන්නාහු නම් එය කළ මැනැවැ” යි රජ කී ය.
21. ඉක්බිති ඒ මහාගෝවින්‍ද බ්‍රාහ්මණ ඒ ක්‍ෂත්‍රියයන් සදෙනා කරා එළැඹියේ ය. එළඹ ඔවුන් බණවා “භවත්නි, මහා ගෝවින්‍ද බමුණු බඹහු සියැසින් දකී යැ යි, මහාගෝවින්‍ද බමුණු ප්‍රත්‍යක්‍ෂයෙන් බඹහු හා සාකච්ඡා කෙරේ යැ”යි ‘කතාබහ කෙරේ යැ’යි, ‘මන්ත්‍රණ කෙරේ යැ’ යි මෙසේ මා පිළිබඳ වැ කල්‍යාණ වූ අද්භූත වූ යශෝඝෝෂයෙක් ඉතා උස් වැ නැංගේ ය. භවත්නි, එහෙත් මම් බඹහු නො දකිමි, බඹහු හා නො ද සාකච්ඡා කෙරෙමි, නො ම කතාබහ කරමි, මන්ත්‍රණ ද නො කරමි, වැලිදු ‘යමෙක් වැසි සාර මසැ විවික්ත වන්නේ නම්, කරුණාධ්‍යානය වඩන්නේ නම්, හෝ බඹහු දක්නේ ය, බඹහු හා සාකච්ඡා කරන්නේ ය, බඹහු හා කතා බහ කරන්නේ ය, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ’යි කියන වැඩිසිටි මහලු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන්ගේ මේ වචනය මා අසා ඇත. භවත්නි, මම් වැසි සාර මසැ විවික්ත වන්නට, කරුණා ධ්‍යානය වඩන්නට කැමැත්තෙමි. එක ම බත් එළවන්නක්හු විනා අන් කිසිවකු දු විසින් මම් නො එළැඹියැ යුත්තෙම් වෙමි” යි කී ය. “භවත් ගෝවින්‍දයෝ යමකට කල් සලකන්නාහු නම් එය කළ මැනැවැ” යි ඔහු කීහ.
22. භවත්නි, ඉක්බිති ඒ මහාගෝවින්‍ද බමුණු (උපපෙරෙවි) සත් බමුණු මහ සලුන් ද, සත් සියක් ස්නාතකයන් ද වෙත එළැඹියේ ය. එළැඹ, ඔවුන් බණවා, “භවත්නි, ‘මහාගෝවින්‍ද බමුණු බඹහු සියැසින් දකී යැ යි, මහාගෝවින්‍ද බමුණු බඹා හා ප්‍රත්‍යක්‍ෂයෙන් සාකච්ඡා කෙරේ යැ යි කතාබහ කෙරේ යැ යි, මන්ත්‍රණ කෙරේ යැ’යි මෙසේ මනා පිළිබඳ වැ අද්භූත වූ, කල්‍යාණ යශෝසෝෂයෙක් ව ඉතා උස් වැ නැංගේ ය. භවත්නි, එහෙත් මම් බඹහු නො දකිමි, බඹහු හා නො ද සාකච්ඡා කරමි. නො ම කතාබහ කරමි, මන්ත්‍රණ ද නො කරමි. වැලි දූ ‘යමෙක් වැසි සාර මසැ විවික්ත වන්නේ නම්, කරුණා ධ්‍යානය වඩන්නේ නම්, හේ බඹහු දක්නේ ය, බඹහු හා සාකච්ඡා කරන්නේ ය, බඹහු හා කතා බහ කරන්නේය. බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ’යි කියන වැඩී සිටි මහලු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන්ගේ මේ වචනය මා අසා ඇත. භවත්නි, මම් වැසි සාරමසැ විවික්ත වන්නට, කරුණා ධ්‍යානය වඩන්නට කැමැත්තෙමි. එක් බත් එළවන්නක්හු ම විනා අන් කිසි කෙනෙකු දු විසින් මම් නො එළඹියැ යුත්තෙම් වෙමි” යි මෙ බස් පැවැසී ය. ‘භවත් ගෝවින්‍දයෝ යමකට කල් සලකන්නාහු නම්, එය කළ මැනැවැ” යි ඔහු කීහ.
23. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බමුණු එක්බඳු සතළිස් බිරියන් කරා එළඹියේ ය. එළැඹ, ඔවුන් බණවා, ‘භවතියනි, මහාගෝවින්‍ද බමුණු බඹහු සියැසින් දකී යැ යි, මහාගෝවින්‍ද බමුණු ප්‍රත්‍යක්‍ෂයෙන් බඹහු හා සාකච්ඡා කෙරේ යැ යි, කතා බහ කෙරේ යැ යි, මන්ත්‍රණ කෙරේ යැ යි මෙසේ මා පිළිබඳ වැ අද්භූත වූ කල්‍යාණ යශෝසෝෂයෙක් ඉතා උස් වැ නැංගේ ය. භවතියනි, එහෙත් මම් බඹහු නො දකිමි, බඹහු හා නො ද සාකච්ඡා කරමි, නො ද කතාබහ කරමි, නො ද මන්ත්‍රණය කරමි. වැලි දු ‘යමෙක් වැසි සාර මස විවික්ත වන්නේ නම්, කරුණාධ්‍යානය වඩන්නේ නම්, හේ බඹහු දක්නේ යැ යි බඹහු හා සාකච්ඡා කරන්නේ යැයි බඹහු හා කතාබහ කරන්නේ යැ යි, බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ යි කියන වැඩි සිටි මහලු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන්ගේ මේ වචනය මා අසා ඇත. භවතියනි, මේ වැසි සාර මසැ විවික්ත වන්නට, කරුණාධ්‍යානය වඩන්නට කැමැත්තෙමි, එක ම බත් එළවන්නක්හු විනා අන් කිසිවක් හු විසින් මම් නො එළඹියැ යුතු වෙමි” යි කී ය. “භවත් ගෝවින්‍දයෝ යමකට කල් සලකන්නාහු නම් එය කළ මැනැවැ”යි ඔහු කිවුය.
24. ඉක්බිති මහාගෝවින්‍ද බ්‍රාහ්මණ තෙම නුවරට පෙර දිගැ අළුත් සන්‍ථාගාරයක් කරවා, වැසි සාර මස මුළුල්ලෙහි විවේකී විය, කරුණාධ්‍යානය දැහී ය, එක ම බත් එළවන්නක්හු විනා කිසිවෙක් මෙහි නො එළැඹෙයි. භවත්නි, එ කලැ සිවු මසක් ඇවෑමෙන් මහාගෝවින්‍ද බ්‍රාහ්මණයාට “යමෙක් වැසි සාරමස විවේකී ව හිඳුනේ නම් කරුණාධ්‍යානය දහනුයේ නම් හේ බඹහු දක්නේ යැ යි, බඹහු හා සාකච්ඡා කරන්නේ යැ යි බඹහු හා කතා බහ කරන්නේ යැ යි බඹහු හා මන්ත්‍රණය කරන්නේ යැ යි ද කියන වැඩි සිටි මහලු ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය බමුණන් කියන වචනය මා විසින් අසන ලද්දේ ම ය. එහෙත් මම් බඹහු නො දකිමි, බඹහු හා නො ද සාකච්ඡා කරමි, බඹහු හා නො ද කතා බහ කරමි, බඹහු හා නො ද මන්ත්‍රණ කෙරෙමි’ යි බඹහු එනු දැක්මෙහි ආශාව ඇති වූයේ ම ය. බඹහු දැක්මෙහි අභිලාෂය ඇති වූයේ ම ය.
බඹහු හා සාකච්ඡාව
25. භවත්නි, එයින් පසු සනත්කුමාර බ්‍රහ්ම තෙම සිය සිතින් මහාගෝවින්‍ද බමුණුහුගේ චිත්ත සංකල්පය දැන, ශක්තිමත් පුරුෂයකු වක් කළ අතක් දිගු කරන්නා සේ, දිගු කළ අත වක් කරන්නා සේ ම බඹලොවැදි අතුරුදහන් වූයේ, මහාගෝවින්‍ද බමුණුහුගේ හමුයෙහි පහළ විය. භවත්නි, එ කලැ නොදුටු විරූ ඒ රූපය දැකීමෙන් මහාගෝවින්‍ද බමුණුහට බියෙක් වූයේ ම ය, කයැ තද බවෙක් වූයේ ම ය, ලොමුදහගැන්මෙක් වූයේ ම ය. ඉක්බිති මහාගෝවින්‍ද බමුණු බියපත් වූයේ සංවිග්න වූයේ හටගත් ලොමුදහගැනුම් ඇත්තේ, සනත් කුමාර බඹහට ගාථායෙන්,
“නිදුකාණනි, පැහැපත්, යශස් ඇති, ශෝභාවත් ඔබ කවුරු නම් වෙත් ද? අපි නො දන්නමෝ ඔබ විචාරම්හ. අපි ඔබ කෙසේ දැන ගනුමෝ ද?” යි මෙය කී ය.
“බඹලොවැ මා සනාතන කුමාර යැ යි ම දනිත්. සියලු දෙවියෝ මෙසේ මා දනිත්. ගෝවින්‍දයෙනි, මේ කරුණ මෙසේ දනිවු” යි බ්‍රහ්ම කී ය.
මේ අසුන් ද දිය ද (පය ගල්වනුවට) තෙල් ද මිහිරි අහර ද යන මේ අමුත්තන් පුදන දැයින් භවතාණන් නිමතමු. භවත්හු අපගේ මේ ආගන්තුක සංග්‍රහය පිළිගනිත් වා” යි බමුණු කී ය.
“ගෝවින්‍දයෙනි, යමක් ඔබ කියත් ද, ඒ ඔබගේ පූජා ද්‍රව්‍ය පිළිගනුම්හ. මෙ අත් බව්හි වැඩ පිණිස, පරලොවැ සුව පිණිස යම් කිසි දෙයක් පතන ලද ද, එය විචාරනුයෙහි කරන ලද අවකාස ඇති තෙපි එය විචාරවු” යි බ්‍රහ්ම කී ය.
26. එ කලැ මහාගෝවින්‍ද බමුණුහට “සනත් කුමාර බඹහු විසින් කරන ලද අවකාශ ඇත්තෙම් වෙමි. කුමක් නම් මම් සනත්කුමාර බඹහු විචාරම් ද, මෙ ලොවැ අභිවෘද්ධියට මඟ විචාරම් ද නො හොත් පර ලොවැ අභිවෘද්ධියට මඟ විචාරම් ද?” යි මේ සිත විය. ඉක්බිති මහාගෝවින්‍ද බමුණහට “මම් වූ කලි මෙ ලොවැ වැඩට කරුණු වන දැයෙහි සමතිමි (දැනුම ඇත්තෙමි). සෙස්සෝ ද මෙ ලොවැ වැඩට කරුණු වන දෑ මා විචාරත්. මම් පරලොවැ වැඩට කරුණු වන දෑ ම සනත්කුමාර බඹහු විචාරන්නෙම් වීම් නම් මැනැවැ” යි මේ සිත විය. ඉක්බිති මහාගෝවින්‍ද බ්‍රාහ්මණ තෙම සනත්කුමාර බඹහට ගාථායෙන් මෙසේ කී ය:
“මම් සැක ඇතියෙම්, මෙරමා විසින් දන්නා ලද ප්‍රශ්නයන්හි සැක නැති සනත්කුමාර බඹහු විචාරම්: සත්ත්‍ව තෙම කොහි පිහිටියේ, කිමෙක හික්මෙනුයේ, අමෘත (මරණය නැති) බඹ ලොවට පැමිණෙ යි ද?”
සනත් කුමාර බ්‍රහ්ම මෙසේ උත්තර දුන: “බ්‍රාහ්මණය, මනුෂ්‍යයන් අතුරෙහි යමෙක් මමත්‍වය (උපකරණ තෘෂ්ණාව) දුරු කොට හුදෙකලා වූයේ, කරුණා ධ්‍යානයෙහි ඇලුණේ (කරුණාධ්‍යානය නිපදවා), ආමගන්‍ධ විරහිත වූයේ, මෙවුන්දමින් වැළැකුණේ ද, මෙසේ මෙහි පිහිටි මෙ දහම්හි හික්මෙන සත්ත්‍ව තෙමෙ අමෘත වූ බඹලොවට පැමිණෙයි.
27. “මමත්‍වය දුරු කොට” යන භවතාණන් කී වචනය දනිමි. මෙහි එක්තරා පුඟුලෙක් මඳ වූ භෝග රැසක් හෝ මහත් භෝග රැසක් හෝ හැරදමා මඳ වූ නෑ පිරිස හැර දමා, මහත් වූ හෝ නෑ පිරිස හැරදමා, කෙහො රවුලු බහවා, කසාවත් හැඳ ගිහිගෙන් නික් මැ පැවිදි බිම් වදී. මෙසේ ‘මමත්‍වය හැර’. භවතාණන්ගේ ඒ වචනය මෙ පරිදි දැනගනිමි. ‘හුදෙකලා වූයේ’ යන භවතාණන් කී වචනය මෙසේ මම් දැනගනිමි. මෙහි එක්තරා පුඟුලෙක් අරන, රුක්මුල, පව්ව, කඳුරැළිය, ගිරිගුහාව, සොහොන, වනපෙත, එළිමහන, පිදුරු ගොඩ යන මේ විවික්ත සෙනස්නක් බෙජෙයි. මෙසේ ‘එකලා වූයේ’ යන භවතාණන්ගේ වචනය මම් දැනගනිමි.
‘කරුණායෙහි ඇලුණේ’ යන භවතාණන්ගේ වචනය මෙසේදැනගනිමි: “මෙහි එක්තරා පුඟුලෙක් කුළුණු සහගිය සිතින් එක් දෙසක් පැතිරැ වැද ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙසක් එසේ තෙවෙනි දෙසක්, එසේ සිවුවැනි දෙසක්, මෙසේ උඩ ද යට ද සරස දැ යි හැම තන්හි සව් සතුන් කෙරෙහි ආත්ම සමතායෙන් මුළු ලොව මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ වෛර නැති, ව්‍යාපාද රහිත කුළුණු සහගිය සිතින් පැතිර වැද ගෙන වෙසෙයි.” මෙසේ ‘කරුණාධ්‍යානයෙහි ඇලුණු’ යන භවතාණන්ගේ වචනය දැන ගනිමි. වැලි එකෙක් ඇත. කරුණු කියන භවතාණන්ගේ ‘ආමගන්‍ධ’ යන්නෙහි අදහස මම් නො දනිමි.
‘බ්‍රහ්මයෙනි, මිනිසුන් අතුරෙහි ආමගන්‍ධ නම් කවුරු ද? මොවුන් නොදන්නෙම් වෙමි. ධීරයෙනි, මෙහි ඔබ මෙ කරුණ වදාරන්න. කිමෙකින් ඇවුරුණු සත්‍ව ප්‍රජාව දුගඳ වහනය කෙරෙයි ද? අපායගාමී වේ ද? වැහුණු බඹලොව ඇත්තේ වේ ද?” යි මහාගෝවින්‍ද බමුණු පුළුවුත.
“ක්‍රෝධය ද මෘෂාවාදය ද වංචාව ද මිත්‍රද්‍රෝහය ද තද මසුරු බව ද අතිමානය ද ඊර්‍ෂ්‍යාව ද ඉච්ඡාව (තෘෂ්ණාව) ද විප්සාව (ලාභයෙහි අධික ආශාව) ද මෙරමා පෙළීම ද ලෝභය ද දේවේෂය ද මදය ද මෝහය ද
යන මේ තුදුස් කෙලෙසුන්හි යෙදුණු සත්ත්‍වයෝ ආමගන්‍ධ රහිතයෝ නො වෙත් (ආමගන්‍ධය ඇත්තෝ ය), අපායගාමීහු ය, වැසුණු බඹලොව ඇත්තෝ යැ”.
28. “ආමගන්‍ධයන් විස්තර කොට කියන භවතාණන්ගේ වචනය මම් යම් සේ දැන ගනිම් ද, ඒ ආමගන්‍ධ කරුණු ගිහි ගෙහි වසන්නහු විසින් පහසුවෙන් මැඩලියැ හැකි (පහ කළ හැකි) නො වේ. (එහෙයින්) භවත්නි, මම් ගිහි ගෙන් අනගාරික බවට පැමිණෙන්නෙමි” යි මහාගෝවින්‍ද බමුණු කී ය. “භවත් ගෝවින්‍ද තෙමේ යම් පැවිද්දකට කාලය සලකයි නම් මේ ඒ කාලය වේ” යැ යි සනත්කුමාර බ්‍රහ්ම පැවැසී ය.
රේණුරාජා මන්ත්‍රණය
29. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බමුණු රේණු රජු වෙත ගියේ ය, ගොස් ඔහුට, “යමෙක් භවත්හට අනුශාසන කරන්නේ ද, භවත් තෙමේ එසේ වූ අන් පෙරෙවියකු දැන් සොයා වා. භවත, මම් ගිහි ගෙන් මහණ බිමට වදින්න ට රිසියෙමි. ආමගන්‍ධයන් හෙළි කොට කියන බ්‍රහ්මයාගේ වචනය මා විසින් අසන ලද පරිදි ගිහි ගෙහි වසන්නහු විසින් ඒ ආමගන්‍ධයෝ පහසුවෙන් මැඩැලිය නො හැක්කෝ ය. භවත, (එ හෙයින්) මම් ගිහිගෙන් මහණ බිමට යන්නෙමි” යි කීයේ ය.
“මම් පොළොවට ස්වාමි වූ රේණු රජුහු අමතමි. රජ බැවින් කටයුතු දෑ ඔබ දැන ගන්නැ. මම් පෙරෙවි බව්හි නො ඇලෙමි” යි (බමුණු කී.)
“ඉදින් ඔබට කාමයන්ගෙන් කිසිවෙක් ඌන නම්, ඒ හැම සම්පූර්‍ණ කරන්නෙමි. යමෙක් ඔබ වෙහෙසයි නම්, ඔහු වළක්වමි. මම් පෘථිවියෙහි සියලු සේනාවට ස්වාමි වෙමි. ඔබ මට පිය වෙති (පිය තන්හි සිටියෝ වෙති). මම් ඔබේ පුත් වෙමි (පුත් තන්හි සිටිමි). ගෝවින්‍දයෙනි, අප හැර නො යනු මැනැවැ.” යි (රජ කී ය).
“මට කාමයන්ගෙන් අඩුවෙක් නැත. මා වෙහෙසන එකෙක් ද නැත. අමනුෂ්‍යයක්හුගේ වචනය අසා, ඔහු බස් ඇසූ හෙයින් ගිහි ගෙයි නො ඇලෙමි” යි (බමුණු කී ය). “යමකුට කන් දී අප ගෙවල් ද අප හැම ද හැර යන්නහු නම්, ඒ අමනුෂ්‍ය තෙම කෙසේ වූ පැහැ සටහන් ඇතියෙක් ද? හේ ඔබට කවර කරුණක් කීයේ ද?” යි (රජ විචාළේ ය).
“පෙරැ සිවු මසක් එකලා බවට පැමිණැ වුසූ යජනු කැමැති වූ ම මා විසින් (යාගවේදිකායෙහි) ගින්න දල්වන ලදුයේ, කුසපතින් වසන ලද්දේ විය. එ විටැ සනාතන බ්‍රහ්ම තෙම බඹ ලොවින් අවුත් මෙහි මා ඉදිරියෙහි පහළ විය. හෙතෙම මගේ ප්‍රශ්න විසඳී ය. එය අසා ගිහිගෙහි නො ඇලෙමි” යි (බමුණු කී ය.)
“ගෝවින්‍දයෙනි, යමක් ඔබ යමක් කියත් ද, භවතාණන්ගේ ඒ වචනය මම් හදහමි. අමනුෂ්‍යයාගේ වචනය අසා කෙසේ නම් (එයට පිටු පා) අන් සැටියෙකින් පැවැත්ත හැක්කාහු ද? ඒ අපි ඔබ අනුව පවතින්නමු. ගෝවින්‍දයෙනි, භවත්හු අපගේ ශාස්තෘහු ය. කැඩුම් බිඳුම් නැති පිරිසිදු වූ ශෝභන වූ වෙරළු මිණ යම් සේ ද, එසේ ම ගෝවින්‍දයන්ගේ අනුශාසනයෙහි පිරිසිදු වැ හැසිරෙන්නමු.”
“ඉදින් භවත් ගෝවින්‍දයෝ ගිහි ගෙන් නික්ම මහණබිමට වදනාහු නම්, අපි දු ගිහිගෙන් නික්මැ මහණ බිමට වදින්නමු. එ කලැ ඔබගේ යම් (පරලොවැ) ගතියෙක් වන්නේ ද එය අපගේ ද (පරලොවැ) ගතිය වන්නේ යැ” යි රේණු රජ කී ය.
ක්‍ෂත්‍රියයන් ස දෙනා ඇමැතීම
28. ඉක්බිත්තෙන් මහාගෝවින්‍ද බමුණු තෙම ඒ කැත් රජුන් ස දෙනා කරා එළඹියේ ය. එළැඹ, ඒ කැත් රජුන් සදෙනා බණවා “යමෙක් භවත්නට රජ බව්හි අනුශාසන කරන්නේ ද, එසේ වූ අන් පෙරෙවියකු භවත්හු සොයත් වා. භවත්නි, මම් ගිහි ගෙන් නික් මැ මහණ බිමට වදිනු කැමැත්තෙමි. ආමගන්‍ධයන් පැහැදිලි කොට වදාරන බඹහුගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එ පරිද්දෙන් එ ආමගන්‍ධයෝ (කෙලෙස්හු) ගිහි ගෙයි වසන්නහු විසින් පහසු සේ මැඩැලියැ නො හැකිය හ. එ හෙයින් භවත්නි, ගිහි ගෙන් නික්මැ මහණ බිමට වදනෙමි” යි මෙ වචන කී ය. භවත්නි, එ කලැ ඒ කැත්හු ස දෙන එක් පසකට ඉවත් වැ “මේ බමුණෝ වූ කලි ධනයෙහි ඇලුණෝ ය. අපි මහාගෝවින්‍ද බමුණහු ධනයෙන් සගන්නමු යි (ඔහු සිත් ගන්නමු යි) මෙසේ කල්පනා කළහ. (ඉක්බිති) ඔහු මහාගෝවින්‍ද බමුණහු කරා ගොස් “භවතාණනි, මෙ සත් රාජ්‍යයන්හි බොහෝ සම්පත් ඇත. එයින් භවතාණනට යම් පමණෙකින් ප්‍රයෝජන ද එ පමණ (වුවමනා තරම) ගෙණෙනු ලැබේ ව” යි කීහ.
“භවත්නි, කම් නැත. භවතුන්ගේ ම උපකාරයෙන් (භවතුන් දුන් බැවින් ම) රැස් වූ, මා සතු වූ ද මේ බොහෝ ධනය ඇත. මම් ඒ සියල්ල හැර දමා ගිහි ගෙන් නික්ම පැවිදි වදින්නෙමි. ආමගන්‍ධයන් පැහැදිලි කොට වදාරන බඹහුගේ වචනය යම් සේ මා විසින් අසන ලද ද, එ පරිද්දෙන් ඔහු ගිහි ගෙහි වසන්නහු විසින් පහසු සේ මැඩැලියැ නො හැකියහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි බමුණු කී ය.
භවත්නි, ඉක්බිති ඒ කැත්හු ස දෙන එක් පැත්තකට වී “මේ බමුණෝ වනාහි ස්ත්‍රීන් කෙරෙහි ලොල් හ. අපි ගෝවින්‍ද බමුණා ස්ත්‍රීන්ගෙන් සගන්නමු” යි මෙසේ සිතූහ. (ඉක්බිති) ඔහු මහාගෝවින්‍ද බමුණු කරා එළැඹ, “භවතාණනි, මේ සත් රජයන්හි බොහෝ ස්ත්‍රීහු ඇත් ම ය. භවතාණනට ඔවුන්ගෙන් යම් පමණ කෙනකුගෙන් ප්‍රයෝජන ද (යම් පමණ වුව මනා ද) එ පමණ කෙනෙක් ගෙනෙනු ලැබෙත් වා” යි මෙසේ කීහ.
“භවත්නි, කම් නැත. මගේ ඒ සතළිස් බිරියෝ ද එ බන්ද හ. උන් හැම ද හැර දමා ගිහි ගෙන් පැවිදි බිමට යන්නෙමි. ආමගන්‍ධයන් පැහැදිලි කොට වදාරන බඹහුගේ වචනය යම් සේ මා විසින් අසන ලද ද, ඔහු ගිහි ගෙහි වසන්නහු විසින් පහසුවෙන් මැඩපැලියැ නො හැක්කාහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි බමුණු කීය.
29. “ඉදින් භවත් ගෝවින්‍ද තෙම ගිහිගෙන් පැවිදි බිමට යන්නේ නම්, අපි දු ගිහිගෙන් පැවිදි බිමට යන්නම්හ. එවිට යමක් ඔබගේ පර ලොවැ ගතියෙක් වන්නේ ද එය අපගේ පරලොව් ගතිය වන්නේ යැ” යි ඒ ක්‍ෂත්‍රියයෝ කීහ.
“පුහුදුන් තෙමේ යමෙක්හි ඇලුණේ ද, ඉදින් ඒ කාමයන් හැර දමන්නහු නම්, ක්‍ෂාන්ති බලයෙන් සමන්‍විත ව වැර වඩවු, වැර ඉටා එහි දැඩි වවු.
මේ කරුණාධ්‍යාන මාර්‍ගය ඇද නැති මඟ වේ. මේ නිරුත්තර මඟ වේ. මේ බඹ ලොව ඉපැත්ම පිණිස සත්පුරුෂයන් විසින් රක්නා ලද සද්ධර්‍මය වේ.”
30. “එසේ වී නම්, භවත් ගෝවින්‍ද තෙමේ සත් වසක් බලාපොරොත්තු වේ වා. සත් වසක් අයාමෙන් අපි දු ගිහි ගෙන් පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපේ ද පරලොව් ගතිය වන්නේ යැ” යි එ කැත් රජුහු කීහ.
“භවත්නි, සත් හවුරුද්ද ඉතා බොහෝ කලෙක් වෙයි, භවතුන් බලා සත් හවුරුද්දක් පොරොත්තු වන්නට මම් නො හැකියෙමි. කවරෙක් නම් ජීවිතයේ ගතිය දන්නේ ද? පරලොව යෑ යුතු ය. නුවණින් මෙ කරුණ දත යුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය, උපන්නහු නො මැරෙන බවෙක් නැත. යම් සේ ආමගන්‍ධයන් හෙළි කොට කියන ඔහුගේ වචනය මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්‍ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් පහසු සේ මැඩලියැ නොහැක්කාහ. භවත්නි,මම්ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි බමුණු කී ය. “එසේ වී නම් භවත් ගෝවින්‍ද තෙම ස වසක් පොරොත්තු වේ වා ... පස් වසක් පොරොත්තු වේ වා ... සිවු වසක් පොරොත්තු වේ වා … තුන් වසක් පොරොත්තු වේ වා ... දෙ වසක් පොරොත්තු වේ වා ... එක් වසක් පොරොත්තු වේ වා. එක් වසක් ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික් මැ පැවිදි බිමට යන්නම්හ. එ කලැ ඔබගේ යම් පරලොව් ගතියෙක් වන්නේ ද එය ම අපගේ ද පරලොව් ගතිය වන්නේ යැ” යි කැත්හු කීහ.
“භවත්නි, එක් වසෙක් ඉතා දික් කාලයෙකි. භවතුන් බලා එක් වසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. ජීවිතයේ ගතිය (පැවැත් ම මෙතෙක් කලැයි) දන්නේ ද? පර ලොව යෑ යුතු ය. මෙ කරුණ නුවණින් අවබෝධ කටයුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නොමියෙන බවෙක් නැත. ආමගන්‍ධයන් හෙළි කොට වදාරන බඹහුගේ වචනය යම් සේ මා විසින් අසන ලද ද, එ පරිද්දෙන් ගිහි ගෙහි වසන්නහු විසින් පහසුවෙන් ඔව්හු මැඩැලියැ නො හැක්කාහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදිබිමට යන්නෙමි” යි බමුණු කී.
එසේ වී නම් භවත් ගෝවින්‍ද තෙමේ සත් මසක් පොරොත්තු වේ වා සත් මස ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ විට ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, එය අපට ද පරලොව් ගතිය වන්නේ යැ යි ඒ කැත්හු කිවු ය.
“භවත්නි, සත් මස ඉතා බොහෝ කලෙක, භවතුන් බලා සත් මසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. භවත්නි, ජීවිත පිළිබඳ පැවැත්ම කවරෙක් නම් දනී ද? පරලොව යෑ යුතු ය. නුවණින් අවබෝධ කටයුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නො මීයෙනු නැත. ආමගන්‍ධයන් හෙළි කොට වදාරන බඹහුගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්‍ධයෝ ගිහි ගෙහි වසන්නහු විසින් සුව සේ මැඩිය නො හැක්කාහ. භවත්නි, එ බැවින් මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි බමුණු කී ය.
“එසේ වී නම් භවත් ගෝවින්‍ද තෙම ස මසක් පොරොත්තු වේ වා ... පස් මසක් පොරොත්තු වේ වා ... සිවු මසක් පොරොත්තු වේ වා ... තුන් මසක් පොරොත්තු වේ වා ... දෙ මසක් පොරොත්තු වේ වා … එක් මසක් පොරොත්තු වේ වා ... අඩ මසක් පොරොත්තු වේ වා, අඩ මස ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ කලැ ඔබට යම් පරලොව් ගතියෙක් වන්නේ ද, අපට ද ඒ පරලොව් ගතිය ම වන්නේ යැ” යි කැත්හු කිවු ය.
“භවත්නි, අඩ මස ඉතා බොහෝ කලෙකි, භවතුන් බලය අඩ මසක් පොරොත්තු වන්නට මම් නො හැක්කෙමි. භවත්නි, කවරෙක් නම් ජීවිත පිළිබඳ පැවැත්ම දනී ද? පරලොව යෑ යුතු ය. නුවණින් මෙ කරුණ දැනගත යුතු ය. කුසල් කළ යුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නහු නොමියෙනු නැත. යම් සේ ආමගන්‍ධයන් හෙළි කොට කියන බඹහුගේ වචනය මා විසින් අසන ලද ද, එ පරිදි ඒ ආමගන්‍ධයෝ ගිහි ගෙහි වසන්නහු විසින් සුවසේ මැඩැලියැ නො හැකියහ. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි බමුණු කී ය.
“එසේ වී නම් භවත් ගෝවින්‍ද තෙමේ අප සිය පුතුන් බෑයන් රජයෙහි අනුසස්නා තෙක් (රජය කරවන සැටි ඔවුනට පුහුණු කරවන තෙක්) සතියක් පොරොත්තු වේ වා. සතිය ඇවෑමෙන් අපි දු ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නමු. එ කලැ යමක් ඔබගේ පරලොව් ගතිය වන්නේ ද, අපගේ පරලොව් ගතිය ද එය වන්නේ යැ” යි ක්‍ෂත්‍රියයෝ ස දෙන කීහ.
“භවත්නි, සතිය බොහෝ කලෙක් නො වේ. භවතුන් බලා මම් සතියක් පොරොත්තු වන්නෙමි” යි ගෝවින්‍ද බමුණු කී ය.
බමුණු මහසල් ආදීන් ඇමැතීම
30. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බමුණු මහසලුන් සත් දෙනා ද ස්නාතකයන් හත්සිය දෙනා ද කරා එළැඹියේ ය. එළඹ ඔවුන් බණවා “යමෙක් භවත්නට වේදයන් කියවන්නේ ද, භවත්හු එසේ වූ ඇදුරකු සොයත් වා. භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නට කැමැත්තෙමි. ආමගන්‍ධයන් හෙළි කොට වදාරන බඹහුගේ වචනය යම්සේ මා විසින් අසන ලද ද, එසේ ඒ ආමගන්‍ධයෝ ගිහි ගෙයි වසන්නහු විසින් පහසුසේ බැහැර ලිය නො හැකිය හ. භවත්නි, (එ හෙයින්) මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි ගෝවින්‍ද බමුණු කීය.
“භවත් ගෝවින්‍ද තෙමේ ගිහි ගෙන් නික්මැ පැවිදි බිමට නො යේ වා. භවත්නි, පැවිද්ද අල්පයශස්ක ද අල්පලාභ ඇතියෙක් ද වේ. බ්‍රාහ්මණ බව මනායශස්ක ද මහාලාභ ඇතියෙක් ද වේ” යැ යි බමුණු මහසල්හු ද ස්නාතකයෝ ද කීහ.
“පැවිද්ද අල්පයශස්ක අල්පලාභ එකෙකැ යි ද බමුණු බව මහා යශස්ක මහාලාභ එකෙකැ’ යි ද භවත්හු නො කියත් වා. භවත්නි, මා හැර කවරෙක් නම් වඩා මහායශස්ක හෝ වඩා මහාලාභී හෝ වේ ද? භවත්නි, මම් දැන් රජුනට (සක්විති) රජක්හු බඳු වෙමි, බමුණනට බඹහු බඳු වෙමි. ගැහැවියනට සක්දෙවි බඳු වෙමි. මම් ඒ සියලු දෑ හැර දමා, ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි. ආමගන්‍ධයන් පැහැදිලි කොට වදාරන බඹහු කී වචනය මා විසින් යම් සේ අසන ලදද, එසේ ඒ ආමගන්‍ධයෝ ගිහිගෙයි වසන්නහු විසින් බැහැරලිය නො හෙන්නාහ. (එහෙයින්) භවත්නි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නෙමි” යි බමුණු කී ය.
“ඉදින් භවත් ගෝවින්‍ද තෙමේ ගිහි ගෙයින් නික්මැ පැවිදි බිමට යන්නේ නම්, අපි දු ගිහි ගෙයින් නික්ම පැවිදි බිමට යන්නම්හ. එ කල යමක් ඔබගේ පරලොවැ ගතිය වන්නේ ද, අපගේත් පරලොව් ගතිය එය ම වන්නේ යැ” යි ඒ බමුණෝත් ස්නාතකයෝත් කීහ.
බිරියන් ඇමැතුම
31. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බ්‍රාහ්මණ තෙම (රූ වයස් ආදියෙන්) එක් බඳු වූ සතළිස් බිරියන් කරා එළඹියේ ය. එළැඹ ඔවුන් බණවා, “පින්වතියන් අතුරෙන් යම් තැනැත්තියක් කැමැත්තී ද, ඕ සිය නැකුල කරා යේ වා, අන් සැමියකු හෝ සොයා ගනී වා. පින්වතියනි, මම් ගිහි ගෙන් නික්ම පැවිදි බිමට යන්නට රිසියෙමි. ආමගන්‍ධයන් හෙළි කොට කියන බඹහුගේ වචනය මා ඇසූ පරිදි ගිහිගෙහි වසන්නහු විසින් ඒ ආමගන්‍ධයන් බැහැරැ ලනු දුෂ්කර ය. (එ හෙයින්) පින්වතියනි, මම් ගිහිගෙය හැර පැවිදිවන්නෙමි” යි කී ය.
“නෑයන් පතන අපට ඔබ ම නෑයාණෝ ය, සැමියකු පතන අපට ඔබ ම සැමියාණෝ ය. භවත් ගෝවින්‍දයන් ගිහි ගෙන් නික්ම පැවිදි වතොත් අපිත් ගිහි ගෙන් නික්ම පැවිදි වන්නෙමු. එ කල ඔබට ලැබෙන පරලොව් ගතිය ම අපට ද ලැබෙන්නේ යැ යි බිරියෝ කීහ.
මහාගෝවින්‍ද ප්‍රව්‍රජ්‍යාව
32. භවත්නි, ඉක්බිති මහාගෝවින්‍ද බමුණු එ සතිය ඇවෑමෙන් කෙහෙ රවුලු බහවා, කසා වත් හැඳ, ගිහිගෙන් පැවිදි බිමට වන. එසේ පැවිදි වූ මහාගෝවින්‍ද බමුණහු අනුව, මුදුනැ අබිසෙස් ලත් සත් කැත් රජුහු ද, සත් බමුණු මහ සල්හු ද, ස්නාතකයෝ සත්සියය ද, එකබඳු සතළිස් බිරියෝ ද, නොයෙක් දහස් ගණන් කැත්හු ද, නොයෙක් දහස් ගණන් බමුණෝ ද, නොයෙක් දහස් ගණන් ගැහැවියෝ ද, නොයෙක් ඇතොවුරු වලින් නොයෙක් තරුණ ස්ත්‍රීහු ද කෙහෙ රවුලු බහවා, කසාවත් හැඳ පැවිදි වූහ. භවත්නි, මහාගෝවින්‍ද බමුණු ඒසා මහ පිරිසක් විසින් පිරිවැරුණේ ගම් නියම්ගම් රජදහන්හි සැරිසරයි. භවත්නි, ඒ සමයෙහි මහාගෝවින්‍ද බමුණු යම් ගමකට හෝ නියම්ගමකට එළඹෙයි ද, හේ එහි රජුනට සක්විති රජක්හු බඳු වෙයි, බමුණනට බඹහු බඳු වෙයි, ගැහැවියනට සක්දෙව් බඳු වෙයි.
එ සමයෙහි මිනිස්සු කිවිසුම් හරනාහු හෝ කණු කටු ආදියෙකැ හැපෙන්නාහු හෝ වෙත් ද ඔහු ‘මහාගෝවින්‍ද බමුණුහට නමස්කාර වේ වා, සත් රජුන්ගේ පෙරෙවියාට නමස්කාර වේ වා’ යි මෙසේ කීහ.
33. භවත්නි, මහාගෝවින්‍ද බමුණු තෙම එක් දිගක් පැතිරැ ගෙන විසී ය. එසේ දෙවෙනි දිග ද, එසේ ම තෙවෙනි දිග ද, එසේ ම සතර වන දිග ද, මෙසේ උඩ යට සරස දැ යි සියලු තන්හි සර්‍වාත්මතායෙන් සර්‍වවත් ලෝකය විපුල වූ මහද්ගත වූ, අප්‍රමාණ වූ, වෛර රහිත වූ ව්‍යාපාද රහිත වූ මෛත්‍රීසහගත සිතින් පැතිරැ ගෙන විසී ය; කරුණා සහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පැතිර ගෙන විසී ය. එසේ දෙවෙනි දිශාව ද ... එසේ තෙවෙනි දිශාව ද ... එසේ සිවුවන දිශාව ද පැතිර ගෙන විසී ය. මෙසේ උඩ යට සරස දැ යි සියලු තන්හි සර්‍වාත්මතායෙන් සර්‍වවත් ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ වෛර රහිත වූ ව්‍යාපාද රහිත වූ උපේක්‍ෂා සහගත සිතින් පැතිර ගෙන විසී ය. සව්වනට ද බඹලොවැ බඹහු හා එක් වීමට මඟ දෙසී ය.
34. භවත්නි, ඒ සමයෙහි මහාගෝවින්‍ද බමුණාගේ යම් සවු කෙනෙක් මහාගෝවින්‍ද බ්‍රාහ්මණයාගේ ශාසනය සියල්ලෙන් සියල්ල දැන ගත්තාහුද (හෙවත් අට සමවත් හා පංච අභිඥා හා ඉපැදවූවාහු ද), ඔහු කා බුන් මරණින් මතු මනා ගති ඇති බඹ ලොවට උත්පත්ති වශයෙන් පැමිණියාහ. යම් කෙනෙක් ඔහුගේ ශාසනය සියල්ලෙන් සියල්ල නොම දැන ගත්තාහුද (හෙවත් අට සමවත් හා පංච අභිඥා හා) නො ම ඉපැදැවූහු ද, ඔහු කා බුන් මරණින් මතු ඇතැම් කෙනෙක් පරනිර්මිත වශවර්ත්තී දෙවියන්ගේ සහභාවයට පැමිණියා හ. ඇතැම් කෙනෙක් නිර්‍මාණරති දෙවියන්ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් තුෂිත දෙවියන්ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් යාම දෙවියන්ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් සිවු මහරජයෙහි දෙවියන්ගේ සහභාවයට පැමිණියාහ. යම් කෙනෙක් හැම දෙනාට ම පහත් දෙව්මුළුවක් පුරාලුවෝ ද, ඔහු ගඳෙවු මුළුව පුරාලූහ.
මෙසේ එ සියලු ම කුලපුතුන්ගේ පැවිද්ද නො සිස් ද නොවඳ ද ඵල සහිත ද වැඩීම් සහිත ද වී ය.”
35. පන්සිළු තෙම දෙව් සබේ දී සනත්කුමාරයා කී මේ කථාව පවසා, භාග්‍යවතුන් වහන්සේ එ පවත් සිහි කරන සේක් ද?” යි විචාළේය.
“පන්සිළුව, එය මම් සිහි කෙරෙමි. එ සමයෙහි මම් මහාගෝවින්‍ද බ්‍රාහ්මණ වීමි. මම් ඒ සව්වනට බඹලොවැ බඹා හා එක්වනුවට මඟ දෙසීමි. පන්සිළුව, මගේ ඒ බඹසර සසරැ කලකිරෙනු පිණිස නො පැවැත්තේය. විරාගය පිණිස නො පැවැත්තේය. නිරෝධය පිණිස නො පැවැත්තේය. උපශමය (දුක් සංසිඳුවීම) පිණිස නො පැවැත්තේය. අභිඥාව පිණිස නො පැවැත්තේය. සම්බෝධිය පිණිස නො පැවැත්තේය. නිවන් පිණිස නො පැවැත්තේය. වැලිදු බඹ ලොවැ ඉපැත්ම පිණිස පැවැත්තේය.
පන්සිළුව, මගේ මේ බඹසර (මෙසස්න) ඒකාන්තයෙන් සසරැ කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ව්‍යූපශමය පිණිස,අභිඥාව පිණිස, සම්බෝධය පිණිස, නිවන් පිණිස පවතී. __missing trans__
36. පන්සිළුව, මගේ යම් සවු කෙනෙක් මගේ ශාසනය සියල්ලෙන් සියල්ල (මගේ මුළු සස්නම) දැනගන්නාහු ද, ඔහු ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආශ්‍රව රහිත වූ, ඵලසමාධිය ද ඵල ඥානය ද මෙ අත්බව්හිම තුමූ වෙසෙසිනුවණින් දැන, පසක් කොට, ලැබ වෙසෙත්. යම් කෙනෙක් මෙසස්න සියල්ලෙන් සියල්ල (මුළු සස්න ම) නො දැන ගනිත් ද, ඔහු අවරභාගික සංයෝජනයන් වැනැසීමෙන්, එහි දී පිරිනිවෙන සුලු වැ, එ ලොවින් පෙරළා නො එන සුලු වැ සුදවස් බඹලොවැ ඕපපාතික වැ උපදනාහු වෙති. යම් කෙනෙක් සස්න සියල්ලෙන් සියල්ල (මුළු සස්න ම) නො දන්නාහු ද, ඔවුන්ගෙන් ඇතැම් කෙනෙක් තුන් සංයෝජනයන් ක්‍ෂීණ වීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී බැවින් සෙදැගැමිහු වෙත්. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. යම් කෙනෙක් සස්න සියල්ලෙන් සියල්ල නො දන්නාහු ද, ඒ ඇතැම් කෙනෙක් තුන් සංයෝජනයන් ක්‍ෂීණ වීමෙන් අවාහි නොවැටෙන සුලු, රහත් බවට නියත වූ, සම්බෝධිය (රහත්බව) ප්‍රතිෂ්ඨා කොටඇති, සෝවාන්හු වෙත්. පන්සිළුව, මෙසේ ම මේ සියලු ම (සසුන් වන්) කුල පුතුන්ගේ පැවිද්ද නොසිස් වෙයි, නොවඳ වෙයි, සඵල වෙයි, වැඩීම් සහිත වෙයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ පන්සිළු ගඳැවු පුත් තෙම භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන, අනුමොවන් කොට ඔබ ආදරයෙන් වැඳ, පැදැකුණු කොට, එහි ම අතුරුදහන් විය.
සවැනි මහාගෝවින්‍ද සූත්‍රය නිමියේ ය.
මහාසමය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුර අසල මහ වෙනෙහි සියලු දෙනා ම රහත් වූ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහද් භික්‍ෂූ සමූහයක් හා වැඩ වසන සේක. දස (දහසක්) ලෝදායෙනුත් භගවත් බුදුරජුන් ද බික්සඟන ද දක්නා පිණිස දෙවියෝ බෙහෙවින් මුළු දෙවුණාහු වෙත්.
එ කල්හි “මේ භාග්‍යවතුන් වහන්සේ වනාහි සැහැ රටැ කිඹුල්වත් පුර අසල මහ වෙනෙහි සියලු දෙනා ම රහත් වූ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා වැඩ වසන සේක. දස (දහසක්) ලෝදායෙන් ද භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂූසංඝයාත් දක්නා පිණිස දෙවියෝ බෙහෙවින් මුළු දෙවුණාහු වෙත්. අපි දු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙන්නමෝ නම්, එළැඹ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි එක් එක් ගයක් කියන්නමෝ නම් යෙහෙකැ”යි සතර සුදවැසි බඹලෝ වැසි දෙවියනට මේ සිත විය.
2. ඉක්බිති ඒ දෙවියෝ, බල ඇති මිනිසක්හු වක් කළ අතක් දික් කරනු ද, දික් කළ අතක් වක් කරනු ද සෙයින් ම සුදවැසි දෙවියන් අතුරෙන් අතුරුදහන් වූවාහු, භගවත් බුදුරජුන් හමුයෙහි පහළ වූහ. එයට පසු ඒ දෙවියෝ භගවත් බුදුරජුන් වැඳ එක් පසෙකැ සිටියාහ. (ඔවුනතුරෙන්) එක් පසෙකැ සිටියා වූ ම එක් දෙවියෙක් භගවත් බුදුරජුන් හමුයෙහි මේ ගාථාව කී ය: (ගාථාවේ අර්‍ත්‍ථය)
“මහ වෙනෙහි මහ මුළුවෙකි. දෙව්මුළුහු රැස් වූහ. කෙලෙසුන්ගෙන් නොපැරැදුණු සඟන දක්නට මේ දම් සමාම් ආමු.”
එ විටැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ,
“එ දහම් සමාම්හි මහණහු තමන් සිත එකඟ කළහ. (තමන් සිත) ඍජු කළහ. රියසැරියක්හු රැහැන් ගෙන (රිය හසුරුවන්නා) මෙන් නැණැත්තෝ ඉඳුරන් රකිත්” යැ යි ගයෙකින් පැවැසී ය.
එ කලැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ,
“ඒ තරුණ නාගයෝ (රහත්හු) පසැසි බුදුරජුන් විසින් මොනොවට දැමුණාහු, කෙලෙස් හුල සිඳ, කෙලෙස් කණයම ද සිඳ, රාගද්වේෂ මෝහ ඉන්‍ද්‍රකීලය උදුරා පියා, තෘෂ්ණා නැති ව, පිරිසිදු වැ, නිර්‍මල වැ හැසිරෙත්” යි ගයින් කී ය.
එ කලැ අන් දෙවියෙක් භගවත් බුදුරජුන් වෙතැ,
“යම් කෙනෙක් බුදුරජුන් සරණ ගියාහු ද, ඔහු අපායට නො යන්නාහ. මිනිස් කය හැර දෙව්මුළුව සපුරන්නාහ” යි ගයින් කී ය.
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් අමතා, “මහණෙනි, බොහෝ සෙයින් දස (දහසක්) ලෝදාහි දෙවියෝ තථාගතයන් ද බික් සඟන ද දක්නට මුළුදෙවුණාහු වෙත්. මහණෙනි, ඉකුත් කලැ යම් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ භගවත් බුදුවරුන්ගේ ද, දැන් මගේ (මෙ සමයෙහි) මෙන්, මෙ පරම කොට (මෙ පමණ) ම වූ දෙවියෝ රැස් වූහ. මහණෙනි, අනා කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු ද, ඔවුන්ගේ ද දැන් මගේ (මෙ සමයෙහි) සෙයින්, මෙතෙක් ම (මෙ පමණ) ම දෙවියෝ රැස් වන්නාහ. මහණෙනි, දේව සමූහයන්ගේ නම් හෙළි කරන්නෙමි. මහණෙනි, දේව සමූහයන්ගේ නම් පෙහෙළි කරන්නෙමි. මහණෙනි, දෙවියන්ගේ නම් දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි වදාළ සේක.
“එසේ ය, වහන් සැ” යි ම එ මහණහු භගවත් බුදුරජුනට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
4. “සිලොවක් කියන්නෙමි. යම් තැනෙක බූමාටු දෙවියෝ ඇත් ද, රහත් හු එ තැන් ඇසුරු කළාහු වෙත්. නිවන් කරා මෙහෙයූ සිත් ඇති, සමාධිගත සිත් ඇති,
ලොමුදහ ගැනුම් මැඩැලූ, පිරිසිදු සිතැති, නො කිලිටි වූ, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු ඒ රහත්හු විවික්ත වූ බොහෝ සිංහයන් සේ ගිරි ගුහා ඇසුරු කළාහු වෙත්.”