Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 201-300 න් 5108

132. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අපරාන්තකල්පික වූවෝ, අපරාන්තානුදෘෂ්ටික වූවෝ අපරාන්තය (අනාගත ස්කන්‍ධ පරම්පරා කොටස) ඇරැබැ කරුණු සූසාළිසෙකින් අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් ද, එයට කාරණ වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේ.
133. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් පූර්‍වාන්තකල්පික ද අපරාන්තකල්පික ද පුර්‍වාන්තාපරාන්තකල්පික ද වූවෝ, පූර්‍වාන්ත අපරාන්ත අනුවැ පහළ කළ දෘෂ්ටි ඇත්තෝ අතීත ස්කන්‍ධ පරම්පරා කොටසත් අනාගත ස්කන්‍ධ පරම්පරා කොටසත් අරමුණු කොට දෙසැටක් කරුණු වලින් අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනා ව ද ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේ.
134. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් ශාශ්වතදෘෂ්ටික වූවෝ කරුණු සතරෙකින් ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද, ඔහු වූ කලී ඒ දෘෂ්ට්‍යාස්වාදය ස්පර්‍ශයෙන් තොර වැ විඳින්නාහ යන් මේ කරුණ විද්‍යමාන නොවේ.
135. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් ඒකත්‍යශාශ්වතික ඒකත්‍යඅශාශ්වතික වූවෝ සතර කරුණෙකින් ආත්මයත් ලෝකයත් කොටසක් ශාශ්වතත් කොටසක් අශාශ්වතත් කොට පණවත් නම්, ඔහු කලී ස්පර්‍ශයෙන් තොර වැ ඒ දෘෂ්ට්‍යාස්වාදය විඳින්නාහ යන මේ කාරණය විද්‍යමාන නොවේ.
136. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අන්තානන්තික වාද ඇත්තෝ කරුණු සතරෙකින් ලෝකය පිළිබඳ සසීම අසීම බව පණවත් ද, ඔහු කලී ස්පර්‍ශයෙන් තොර වැ ඒ දෘෂ්ටිවේදනාව විඳින්නාහ යන මේ කාරණය විද්‍යමාන නො වේ.
137. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අමරාවික්‍ෂේපක වූවෝ ඒ ඒ විෂයයෙහි ප්‍රශ්න විචාරන ලදුවෝ ම සතර කරුණෙකින් වාග්වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණෙත් ද, ඔහු කලී ස්පර්‍ශයෙන් තොර වැ දෘෂ්ටිවේදනාව විඳින්නාහ යන මේ කාරණය නැත්තේ ය.
138. මහණෙනි, එහි යම් මහණබමුණෙක් අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ, කරුණු දෙකෙකින් ආත්මයත් ලෝකයත් ඉබේ උපනැ යි පණවත් ද, ඔහු කලී ඒ දෘෂ්ටිවේදනාව ස්පර්‍ශයෙන් තොර වැ විඳින්නාහ යන කාරණය නැත්තේ ය.
139. මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් පූර්‍වාන්තකල්පික වූවෝ, පූර්‍වාන්තය අනුව පහළ කැරැගත් දෘෂ්ටි ඇත්තෝ, කරුණු අටොළොසෙකින් පූර්‍ව ස්කන්‍ධපරම්පරා කොටස ඇරැබැ අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් ද, ඔහු ස්පර්‍ශයෙන් තොර වැ ඒ දෘෂ්ටිරසාස්වාදය විඳින්නාහ යන මේ කරුණ නො මැත්තේ ය.
140. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික සඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මතු සංඥා ඇති ආත්මයක් සොළොස් කරුණෙකින් පණවත් ද, ඔහු කලී ස්පර්‍ශයෙන් තොර වැ ඒ දෘෂ්ට්‍යාස්වාදය විඳින්නාහ යන මේ කරුණ නො මැත්තේ ය.
141. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මතු සංඥා නැති ආත්මයක් කරුණු අටෙකින් පණවත් ද, ඔහු කලී එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ස්පර්‍ශයෙන් තොර වැ විඳින්නාහ යන මේ කාරණය නැත්තේ ය.
142. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මත්තෙහි සංඥී නො ම වූත් අසංඥී නො ම වූත් ආත්මයක් පණවත් ද, එයට කාරණ වූ දෘෂ්ටිවේදනාව ස්පර්‍ශයෙන් තොරැ වැ විඳින්නාහ යන මේ කාරණය නැත්තේ ය.
143. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උච්ඡේදවාදී වූවෝ විද්‍යමාන සත්ත්‍වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය කරුණු සතෙකින පණවත් ද, ඔහු කලී එයට කාරණ වූ දෘෂ්ටිවේදනාව ස්පර්‍ශයෙන් තොර වැ විඳින්නාහ යන මේ කරුණ නැත්තේ ය.
144. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද ඇත්තෝ, විද්‍යමාන සත්ත්‍වයා පිළිබඳ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය කරුණු පසෙකින් පණවත් ද, ඔහු කලී එයට කරුණු වූ දෘෂ්ට්‍යාස්වාදය ස්පර්‍ශයෙන් තොර වැ විඳින්නාහ යන මේ කාරණය විද්‍යමාන නො වේ.
145. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අපරාන්තකල්පික වූවෝ අපරාන්තය අනුවැ පහළ කැරැගත් දෘෂ්ටි ඇත්තෝ කරුණු සූසාළිසෙකින් අපරාන්තය ඇරැබැ අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් ද, ඔහු කලී එයට කාරණ වූ දෘෂ්ටිවේදනාව ස්පර්‍ශයෙන් තොර වැ විඳින්නාහ යන මේ කාරණය විද්‍යමාන නො වේ.
146. මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් පූර්‍වාන්තකල්පිකත් වූවෝ, අපරාන්තකල්පිකත් වූවෝ, පුර්‍වාන්තාපරාන්තකල්පිකත් වූවෝ, පුර්‍වානතඅපරාන්තයන් ඇරැබැ පහළ කැරැගත් දෘෂ්ටි ඇත්තෝ, කරුණු දෙසැටෙකින් පූර්‍වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියත් ද, ඔහු කලී එසේ දෘෂ්ටි ගැන්මට කාරණ වූ දෘෂ්ට්‍යාස්වාදය ස්පර්‍ශයෙන් තොර වැ විඳින්නාහ යන මේ කරුණු විද්‍යාමාන නොවේ.
147. මහණෙනි, එහි යම් මහණ බමුණුකෙනෙක් ශාශ්වතදෘෂ්ටි ගත්තෝ සතර කරුණෙකින් ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද, යම් මහණ බමුණු කෙනෙක් ඒකත්‍යශාශ්වතිකත් ඒකත්‍යඅශාශ්වතිකත් වූවෝ ද, යම් මහණබමුණු කෙනෙක් අන්තානන්තික වාද ඇත්තෝ ද, යම් මහණ බමුණු කෙනෙක් අමරාවික්‍ෂේප වාද ඇත්තෝ ද, යම් මහණ බමුණු කෙනෙක් අධිච්චසමුප්පන්නික වාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් පුර්‍වාන්තකල්පික ද, යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික සඤ්ඤීවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් උච්ඡේදවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් දෘෂ්ටධර්‍මනිර්‍වාණයවාද ඇත්තෝ ද, යම් මහණබමුණු කෙනෙක් අපරාන්තකල්පික ද, යම් මහණබමුණු කෙනෙක් පුර්‍වාන්තකල්පිකත් අපරාන්තකල්පිකත් පූර්‍වාන්තඅපරාන්තකල්පිකත් වූවෝ පූර්‍වාන්තාපරාන්තානුදෘෂ්ටික වැ දෙසැටක් කරුණුවලින් අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියත් ද, ඒ සියල්ලෝ ස්පර්‍ශායතන සයින් උපන් ස්පර්‍ශයෙන් රූපාදි අරමුණු ස්පර්‍ශකොට දෘෂ්ට්‍යාස්වාදය විඳිත්. ඔවුන්ගේ දෘෂ්ටිවේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ ශෝකපරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ යන මොහු පහළ වෙත්. මහණෙනි, යම් කලෙක් වනාහි මහණ තෙම ස්පර්‍ශායතන සදෙනාගේ හේතුව ද නිරෝධය ද ආස්වාදය ද ආදීනවය ද ප්‍රහාණිය ද තතු වූ පරිදි දැන ගනී ද, මේ තෙමේ මෙකී හැම දෘෂ්ටිගතයනට වැඩියක් ම (ශිලසමාධිප්‍රඥා ප්‍රඥාවිමුක්ති යන් මේ සියල්ල ම) දැනැ ගනී.
148. මහණෙනි, පූර්‍වාන්තකල්පික වූ හෝ අපරාන්තකල්පික වූ හෝ පුර්‍වාන්තාපරාන්තකල්පික වූ හෝ යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පූර්‍වාන්ත අපරාන්ත අරමුණු කොට පහළ කැරැ ගත් දෘෂ්ටි ඇත්තෝ, අතීතානාගත ස්කන්‍ධ පරම්පරා කොටස් අරමුණු කොට, අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාන්නෝ ද, ඒ සියල්ලෝ ම මේ දෙසැට කරුණින් ම (මගේ මේ) දේසනාදැල තුළට හසු කරන ලදුවෝ, මේ දේසනාදැලෙහි බැඳුණෝ ම, මෙහි තුළ ම ඉපිලෙන්නාහු ඉපිලෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මෙයට ඇතුළත් වූහු ම ඉපිලෙන්නාහු ඉපිලෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මහණෙනි, යම් සේ දක්‍ෂ වූ කෙවුළෙක් හෝ කෙවුළකුගේ අතැවැසියෙක් හෝ සියුම් ඇස් ඇති දැලින් මඳ දිය ඇති දියවළක් කිබිසිනි කොටැ අතුරන්නේ ද, “මේ දියවළෙහි යම් කිසි මහත් ප්‍රාණි කෙනෙක් වෙත් නම්, ඒ සියල්ලෝ ම මේ දැලට හසු කැරැ ගන්නා ලද්දෝ ම මතු වන්නෝ මතුවෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මෙහි ඇතුළත් වූවෝ දැල තුළට හසු වූවෝ ම මතු වන්නෝ මතුවෙත්. ගැලෙන්නෝ ගැලෙත් යැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම පූර්‍වාන්තකල්පික වූ හෝ අපරාන්තකල්පික වූ හෝ පූර්‍වාන්තාපරාන්තකල්පික වූ හෝ පූර්‍වාන්ත අපරාන්ත දෙක අනුවැ පහළ කරැගත් දෘෂ්ටි ඇති යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දෙසැටක් කරුණින් පූර්‍වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් ද, ඒ සියල්ලෝ මේ දෙසැට කරුණින් ම (මගේ) දේසනාදැලට හසු වූවෝ ම, මේ දේසනාදැලෙහි බැඳුණෝ, මෙහි ම මතු වන්නෝ මතු වෙති. ගැලෙන්නෝ ගැලෙති. මෙහි ම ඇතුළත් වූවෝ මේ දේසනා දැල තුළට හසු වූවෝ ම, මතු වන්නෝ මතු වෙති. ගැලෙන්නෝ ගැලෙති.
149. මහණෙනි, තථාගත බුදුහුගේ ශරීරය මුලින් සිඳිනා ලද භව තෘෂ්ණා ඇත්තේ සිටී. යම් තාක් කල් ඔහුගේ කය සිටින්නේ ද ඒ තාක් දෙවිමිනිස්සු ඔහු දක්නාහ. කය බිඳීමෙන් ජීවිතයාගේ පරික්‍ෂීණ වීමෙන් මත්තෙහි දෙවිමිනිස්සු ඒ බුදුහු නො දක්නාහ.
මහණෙනි, යම් සේ අඹකැන නටුවෙන් ගිලිහුණු කල්හි, නටුව හා බැඳුණු යම් අඹ පල කෙනෙක් වූහු නම්, ඔහු හැම එය අනුව යන්නෝ වෙත් ද, එ පරිද්දෙන් ම තථාගත බුදුහුගේ කය මුල් සුන් වූ භවතෘෂ්ණා ඇත්තේ සිටී. යම් තාක් කල් ඒ බුදුහුගේ කය සිටුනේ ද, ඒ තාක් දෙවිමිනිස්සු ඔහු දක්නාහ. කය බිඳීමෙන් ජීවිතය පරික්‍ෂීණ වීමෙන් මත්තෙහි දෙවිමිනිස්සු ඔහු නොදක්නාහ.
150. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ, “වහන්ස, ආශ්චර්‍ය්‍ය ය! වහන්ස, අද්භූතය! වහන්ස, මේ ධර්‍මක්‍රමය කිනම් වේ දැ?”යි මෙය භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, “ආනන්‍දය එසේ නම්, මෙහි ලා මේ ධර්‍මපර්‍ය්‍යාය අර්‍ත්‍ථජාල නමැයි ද සලකා ගනුව. ධර්‍මජාල නමැ යි ද සලකා ගනුව. බ්‍රහ්මජාල නැමැ යි ද සලකා ගනුව. දෘෂ්ටිජාල නැමැයි ද සලකා ගනුව. නිරුත්තරසංග්‍රාමවිජය යැයි ද සලකා ගනුව” යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ආරාධිත සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
මේ නිර්‍ගාථක සූත්‍රය වදාරනු ලබන කල්හි දසදහසක් ලෝ දා කම්පිත වී ය.
පළමුවන බ්‍රහ්මජාල සූත්‍රය නිමියේ ය.
සාමඤ්ඤඵල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ එක් දහස් දෙසියපණසක් පමණ වු මහත් භික්‍ෂුසඞ්ඝයා සමඟ රජගහ නුවර සමීපයේ කෝමාරභච්ච ජීවකයාගේ අඹවෙනෙහි වසන සේක. එ සමයෙහි වනාහි මගධ රටට අධිපති වු, වෛදේහීපුත්‍ර වු අජාසත් රජ තෙමේ එ දවසට පැමිණි පුණු පොහෝ දිනයෙහි සිවු මසක්හුගේ අවසන් වු සුපිපි කුමුදු ඇති පුරා සඳ කැල්මෙන් බබළන රැයෙහි (ඉල්මස පසොළොස්වක් දා රැයෙහි) රජපහයෙහි මතු මහල්තලයට නැඟුණේ, රජ ඇමැතියන් විසින් පිරිවැරුණේ (එසැවුණු සේසත් ඇති මහඟු කසුන් අස්නෙහි) හුන්නේ වෙයි. ඉක්බිති වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ ඒ පුණුපොහෝ දිනැ මෙසේ උදන් ඇනී ය:
“භවත්නි, ආශ්චර්‍ය්‍ය යි! රාත්‍රිය සඳ රැසින් සිත්කලු වෙයි (අභ්‍රමහිකාදි දෝෂයන්ගේ පහ වු රාත්‍රිය රමණීය ය)! භවත්නි, රාත්‍රිය සඳරැසින් විශේෂයෙන් ශෝභන ය! භවත්නි, රාත්‍රිය සඳරැසින් දැකුම් කළු ය! භවත්නි, රාත්‍රිය සඳ රැසින් ප්‍රසාදජනකය! භවත්නි, රාත්‍රිය සඳ රැස කරණ කොට ගෙන ලක්‍ෂණීය ය! යමක්හු ඇසුරු කරන අපගේ සිත පහදනේ නම් එසේ වු කවර නම් මහණකු බමුණකු අද ඇපි එළැඹ ඇසුරු කරන්න මෝ ද !” යනු යි.
2. රජහු මෙසේ කී කල්හි, එක්තරා රජ ඇමැතියෙක් වෛදේහීපුත්‍ර වු මගධාධිපති අජාසත් රජහට “දේවයන් වහන්ස, මේ කාශ්‍යප ගෝත්‍රික පූරණයෝ පැවිදි මුළුවක් ඇත්තෝ ද, පැවිදි ගණයා ඇත්තෝ ද වෙති. ගණාචාර්‍ය ද වෙති. ප්‍රකටයහ. කීර්තිමත්හ. බොහෝ දෙනා විසින් සත්පුරුෂයෙකැ යි සම්මත වූ තීර්‍ත්‍ථංකර කෙනෙක. චිරරාත්‍රඥ හ. පැවිදි වූ බොහෝ කල් ඇත්තෝ ය. දෙතුන් රජ පරපුරක් තරම් කල් ඉක්මවා සිටියෝ ය. මහලු වියට පැමිණියෝ ය. දේවයන් වහන්සේ ඒ කාශ්‍යපගෝත්‍රික පූරණයන් වෙත එළැඹ ඇසුරු කරණ සේක්වා. කාශ්‍යපීය පූරණයන් වෙත එළැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම් ඉතා යෙහෙකැ” යි මේ වචනය කීය. මෙසේ කී කල්හි වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ තුෂ්ණීම්භූත විය.
3. අන් කිසි රජ ඇමැත්තෙක් ද වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජු හට “දේවයන් වහන්ස, මේ ගෝසාල මක්ඛලීහු පැවිදි පිරිසක් ඇත්තෝ ද, පැවිදි ගණයා ඇත්තෝ ද, ගණාචාර්‍ය ද වෙති. ප්‍රකට යහ. කීර්තිමත් හ. තීර්‍ත්‍ථංකර කෙනෙක. බොහෝ දෙනා විසින් සාධු යැ යි සම්මත හ. රාත්‍රඥ හ. පැවිදිවූ බොහෝ කල් ඇත්තෝ ය. රජපරපුර දෙක තුනක් ඉක්මැ යන තරම් දික් කලක් ගෙවුවෝ ය. පැසිම් වයසට පැමිණියෝ ය. දේවයන් වහන්සේ ඒ ගෝසාල මක්ඛලීන් ඇසුරු කරන සේක් වා. ගෝසාල මක්ඛලීන් වෙත එළැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම්, ඒ ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හි වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ තූෂ්ණීම්භූත විය.
4. අන් එක්තරා රජඇමැත්තෙක් ද වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජුට “දේවයන් වහන්ස, මේ කේශකම්බල අජිතයෝ සංඝී ද, ගණී ද, ගණාචාර්‍ය ද වෙති. ප්‍රකට වූ කීර්තිමත් වු බොහෝ දෙනා විසින් සාධුසම්මත වු, රාත්‍රඥ වු, දික්වයස් ගිය, මහලු විය පැමිණි තීර්‍ත්‍ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ කේශකම්බල අජිතයන් ඇසුරු කරන සේක් වා. කේශකම්බල අජිතයන් වෙත එළැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේ නම් ඉතා යෙහෙකැ” යි. මේ බස් කීය. මෙසේ කී කලැ වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ මුවෙන් කිසිත් නො බැණ හුන්නේ ය.
5. අන් එක් ඇමැතියෙක් ද වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජුට “දේවයන් වහන්ස, කාත්‍යායනගෝත්‍රික මේ පකුධයෝ සංඝී ද, ගණී ද, ගණාචාර්‍ය ද, වෙති. ප්‍රකට වූ, කීර්තිමත් වු, බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ, රාත්‍රඥ වු, පැවිදි වූ බොහෝ කල් ඇති, දික්වයස් ගිය, මහලු වියට පැමිණි, තීර්‍ත්‍ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ කාත්‍යායන පකුධයන් වෙත එළැඹ ඇසුරු කරන සේක් වා. කාත්‍යායන පකුධයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම් ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හි වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.
6. අන් රජ ඇමැත්තෙක් ද වෛදේහීපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජුට “දේවයන් වහන්ස, මේ වෛරාටිපුත්‍ර සංජයෝ සංඝී ද ගණී ද ගණාචාර්‍ය ද වෙති. බොහෝ දෙනා විසින් සාධු සම්මත වූ, රාත්‍රඥ වු, පැවිදි වු බොහෝ කල් ඇති, දික් වයස් ගිය, පැසිම් වයසට පැමිණි, ප්‍රකට වු, කීර්තිමත් තීර්‍ත්‍ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ වෛරාටිපුත්‍ර සංජයයන් ඇසුරු කරන සේක් වා. වෛරාටිපුත්‍ර සංජයන් ඇසුරු කරන දේවහන් වහන්සේගේ සිත පැහැදෙන්නේ නම් ඒ ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හි වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.
7. අන් රජ ඇමැත්තෙක් ද වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාතශත්‍රැ රජුට “දේවයන් වහන්ස, මේ ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයෝ සංඝී ද ගණී ද ගණාචාර්‍ය ද වෙති. බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ, රාත්‍රඥ වූ, පැවිදි වු බොහෝ කල් ඇති, දික් කලක් ගත කළ, මහලු විය පත්, ප්‍රකට වූ, කීර්තිමත් තීර්‍ත්‍ථංකර කෙනෙකි. දේවයන් වහන්සේ ඒ ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයන් ඇසුරු කරන සේක් වා. ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේ නම් ඒ ඉතා යෙහෙකැ” යි. කීය මෙසේ කී කල්හි වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.
8. ඒ වේලෙහි වනාහි කෝමාරභච්ච ජීවක තෙමේ වෛදේහීපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජුට නොදුරෙහි නිහඬ වැ හුන්නේ වෙයි. ඉක්බිත්තෙන් වෛදේහීපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජ තෙමේ කෝමාරභච්ච ජිවිකයා අමතා, “යහළු ජීවකය, යුෂ්මතා වූ කලී කවර හෙයින් කිසිත් නොබැණ ඉදින්නේ හි ද?” යි කී ය.
එ විට කෝමාරභච්ච ජීවක කියුයේ, “දේවයන් වහන්ස, මේ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ එක්දහස් දෙසිය පණසක් පමණ භික්‍ෂූන් ඇති මහත් භික්‍ෂුසමූහයක් හා අපේ අඹවනයෙහි වැඩ වසන සේක. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙවිමිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’යි ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ වැ මෙසේ කල්‍යාණ වූ කීර්තිශබ්දයෙක් උස් වැ නංඟේ ය. මහරජ, තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඇසුරු කෙරේ වා. ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරණ මහරජුගේ සිත පැහැදෙන්නේ නම් ඒ ඉතා යෙහෙකකි” යි කීයේ ය.
“යහළු, ජීවකය, එසේ නම් හස්තියාණයන් සරසව”යි රජ කී ය.
9. ‘දේවයිනි, එසේ යැ’යි කියා, කෝමාරභච්ච ජීවක තෙමේ වෛදේහීපුත්‍ර වූ මගධේශ්වර අජාතශත්‍රැ රජුට පිළිවදන් දී (පිරිවර ස්ත්‍රීන් සඳහා) පන්සියයක් පමණ ඇතින්නන් සරසවා, රජුට ද නැගීමට සුදුසු ඇතකු සදවා, වෛදේහීපුත්‍ර වූ මගධේශ්වර අජාතශත්‍රැ රජුට “දේවයිනි, ඔබට හස්තියාන සරසවන ලදි. යම් ගමනකට දැන් කැලැ යි ඔබ සිතත් නම් එය කරන්නැ”යි දැන්වී ය.
එ විට වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ පන්සියයක් ඇතින්නන් මතැ එක් එක් ස්ත්‍රිය බැගින් නංවා, තෙමේ තමාට නැඟීමට සුදුසු ඇතු පිට නැඟ, දඬුවැට පහන් දරනු ලබන කල්හි, මහත් රාජර්ද්ධියෙන් රජගහ නුවරින් නික්මුණේ ය. නික්මැ කෝමාරභච්ච ජීවකයාගේ අඹවනය කරා ගියේ ය.
10. ඉක්බිත්තෙන් අඹවනයට නොදුරෙහිදී වෛදේහීපුත්‍ර වු මගධාධිපති අජාතශත්‍රැ රජුට බියෙක් වූයේ ම ය, ඇඟ වෙවුලුමෙක් වූයේ ම ය, ලොමුදැහැ ගැන්මෙක් වූයේ ම ය, එවිට … අජාතශත්‍රැ රජතෙමේ බිය ගත්තේ, තැතිගත්තේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ, කෝමාරභච්ච ජීවකයා අමතා “කිමෙක් ද? යහළු ජීවකය, මට වංචා නොකෙරෙයි ද, කිමෙක් ද යහළු ජීවකය, මා නො රවටයි ද? කිමෙක් ද, යහළු ජීවකය, මා සතුරනට පාවා නොදෙයි ද? භික්‍ෂූන් එක්දහස් දෙසිය පණහක් පමණ වූ ඒ සා මහත් භික්‍ෂුසමූහයකගේ කිවිසුම් හඬෙක් කෙසේ නම් නො වන්නේ ද? උකැසි හඬෙක් හෝ කෙසේ නම් නොවන්නේ ද? කටහඬෙක් හෝ කෙසේ නම් නොවන්නේ දැ?” යි ඇසී ය.
එ විට “මහ රජාණෙනි, බිය නො ගන්නැ. දේවයිනි, ඔබට වංචා නොකරමි. දේවයිනි, ඔබ නො රවටමී. දේවයිනි, ඔබ සතුරනට පාවා නොදෙමි. මහරජාණනි, ඉදිරියට වඩින්නැ. මහරජාණෙනි, ඉදිරියට වඩින්නැ. තෙල, මණ්ඩලමාළයෙහි (වට හලෙහි හෙවත් හිඳුනා හලෙහි) පහන් දැල්වේ” යැ යි කෝමාරභච්ච ජීවක කීය.
11. එක්බිති වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ ඇතුපිටින් යා හැකි තෙක් දුරැ ඇතුපිටින් ගොස්, ඇතුගෙන් බැස, පාගමන් ඇතියේ ම (පයින් ම) මණ්ඩලමාලද්වාරය (වට හල් දොර) කරා එළැඹියේ ය. එළැඹැ කෝමාරභච්ච ජීවකයාගෙන් ‘යහළු ජීවකය, භාග්‍යවත් තෙමේ කොහි දැ?’යි ඇසී ය.
“මහ රජාණෙනි, තෙල භාග්‍යවතුන් වහන්සේ ය. මැදුම් ටැඹ නිසා (මැද කණුවට පිටු දී) පෙර දිගට මුහුණ ලා, භික්‍ෂුසමූහයා විසින් පෙරටු කරන ලදු වැ තෙල වැඩ ඉන්නෝ භාග්‍යවතුන් වහන්සේ යැ” යි කෝමාරභච්ච ජීවක කීය.
12. එ විට වෛදේහීපුත්‍ර වු මගධේශ්වර වු අජාතශත්‍රැ රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ පසෙක සිටියේ ය. එසේ සිටි රජ තෙමේ වෙසෙසින් පහන් වූ, කැළැඹුම් නැති විලක් සේ බැලූ බැලූ පැත්තෙහි තුෂ්ණීම්භූත වැ හුන් භික්‍ෂු සංඝයා දෙස නැවත නැවත බලා, “දැන් මේ භික්‍ෂුසංඝයා යම් සංහුන්බවෙකින් යුක්ත ද මගේ උදායිභද්‍ර කුමාර තෙමේ ද මෙබඳු වූ ම සංහුන්බැවින් සමන්‍විත වේ වා” යි උදන් ඇනී ය.
එවිට, භාග්‍යවතුන් වහන්සේ “මහරජ, තොප සිත ප්‍රේමය ඇති දෙසට ගියේ වේදැ” යි වදාළ සේක.
“වහන්ස, උදායිභද්‍ර කුමාර තෙමේ මට ප්‍රිය ය. වහන්ස, භික්‍ෂුසංඝයා දැන් යම් බඳු සංහිදීමෙකින් සමන්‍විත ද, මගේ උදායිභද්‍ර කුමාර තෙමේ මේ බඳු වූ සංහිඳීමෙන් සමන්‍විත වේවා” යි රජ කීය.
13. එක්බිති වෛදේහීපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, භික්‍ෂුසංඝයා ද ඇඳිලි බැඳ, පසෙක ඉඳ ගත්තේ ය. පසෙක හිඳගත් රජ තෙමේ “වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ පැණයක් විසඳන්නට කිසි ලේශමාත්‍ර අවකාශයක් ගන්නා සේක් නම්, මම විචාරන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේට කීය.
“මහරජ, ඉඳින් කැමැත්තෙහි නම් විචාරන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
14. “වහන්ස, යම්සේ ඇතරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැනවදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය, මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, මෙබඳු වු යම් අන්‍ය බොහෝ ශිල්පයෝ හෝ වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම අත් දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්. ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත්, පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු සුඛ විපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි රජ විචාළේ ය.
15. “මහරජ, ඔබ මේ පැණය අන් මහණබමුණන් අතින් විචාළා දන්නෝ ද (මතෙක ඇද්දැ)?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, මේ පැණය අන් මහණබමුණන් අතින් විචාළා දනිමි (මතෙක ඇතැ)”යි රජ කීය.
“මහරජ, කෙසේ නම් ඔබට ඔහු මෙය විසැඳුවෝ ද? ඉදින් ඔබට බරෙක් නොවේ නම් එය කියන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ වැන්නකු හෝ ඉන්නා තැනෙක එය කීම මට බරෙක් නොවේ” යැ යි රජ කීය. “මහරජ, එසේ නම් කියන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
16. (එවිට රජ මෙසේ කී ය:) “වහන්ස, මම් එක් වරෙක කාශ්‍යපපූර්‍ණයන් කරා එළඹියෙමි. එළැඹ ඔහු හා සතුටු වීමි. සතුට උපදවන, සිතැ රැඳැවියැ යුතු කතාබස් අවසන් කොට පසෙක ඉඳ ගතිමි. වහන්ස, එසේ පසෙක ඉදැගත් මම් කාශ්‍යප පූර්‍ණයන් අමතා ‘භවත් කාශ්‍යපයිනි, යම්සේ අතරුවෝ ය, අසරුවෝ ය, … යන මොහු හැම මේ අත්බව්හි ම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත් ද, ඔහු එයින් තමන් … මා පියන් … අඹුදරුවන් … මිත්‍රාමාත්‍යයන් සුවපත් කෙරෙත් ද පිනවත් ද, මහණ බමුණු කෙරෙහි ... දන් පිහිටුවත් ද, භවත් කාශ්‍යපයිනි, එසේ ම මහණදමෙහි මෙහි ම අත් දැක්කැ හැකි ඵල විපාකයක් දක්වන්නට හැකිදැ” යි විචාළෙමි.
17. ‘වහන්ස, මෙසේ කී කල්හි කාශ්‍යප පූරණයෝ මට මෙය කීහ: “මහරජ, තමා ම කරන්නහුට ද අනුන් ලවා කරවන්නහුට ද, අනුන්ගේ අත් ආදිය සිඳිනහුට ද සිඳුවන්නහුට ද, අනුන් දඬු ආදියෙන් පෙළන්නහුට ද පෙළවන්නහුට ද, පරා සතු දෑ පැහැරැ ගැනුම් ආදියෙන් මෙරමා තවන්නහුට ද අනුන් ලවා තවවන්නහුට ද, අහර වැළැක්වීම් ආදියෙන් අනුන් වෙහෙසන්නහුට ද මෙරමා ලවා වෙහෙසවන්නහුට ද, මෙරමා කම්පිත කරන්නහුට ද අනුන් ලවා කම්පිත කරවන්නහුට ද, පණ නසන්නහුට ද නස්වන්නහුට ද, නොදුන් දෑ ගන්නහුට ද ගන්වන්නහුට ද, ගෙවල් බිඳින්නහුට ද බිඳුවන්නහුට ද, කිසිත් නො ඉතිරි කොට සියල්ල පැහැරැ ගන්නහුට ද පැහැර ගන්වන්නහුට ද, එක් ගෙයක් වටා සිට එහි ඇති බඩුමූට්ටු පැහැර ගන්නහුට ද ගන්වන්නහුට ද, මඟැ රැක සිට එහි යනෙනුවන්ගේ බඩු පැහැරැ ගන්නහුට ද, පරඹුවන් කරා යන්නහුට ද, මුසවා තෙපලන්නහුට ද, පවක් කරමි යි සිතා කරන්නහුට ද, පවක් නොකැරෙයි. යමෙක් කරකැත්තක් සේ තියුණු නිම්වලල්ලක් ඇති චක්‍රයකින් මේ පොළොවෙහි සතුන් මරා එක් මස්ගොඩක් එක් මස්රැසක් කරන්නේ නම්, ඒ හේතුවෙන් වන පවක් නැත, පාපයාගේ පැමිණීමක් නැත. සතුන් මරමින් මරවමින්, සිඳිමින් සිඳුවමින්, පෙළමින් පෙළවමින්, ගංගා නදියේ දකුණු තෙරට නමුදු යන්නේ නම්, ඒ හේතුවෙන් පවෙක් නැත, පවේ පැමිණීමෙක් නැත. දෙමින් දෙවමින්, යාග කරමින් කරවමින්, ගංගා නදියේ උතුරු තෙරට නමුදු යන්නේ නම් ඒ හේතුයෙන් පිනෙක් නැත, පින් පැමිණීමෙක් නැත. දීමෙන් ඉඳුරන් දැමීමෙන් (හෝ පෙහෙවස් විසීමෙන්) ශීලසංයමයෙන්, සබවස් රැකීමෙන් පිනෙක් නැත. පින් පැමිණීමෙක් නැත” යනු යි.
වහන්ස, මෙසේ කෘශ්‍යප පූර්‍ණයෝ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලය විචාරන ලදුවෝ ම අක්‍රියවාදය දැක්වූහ.
වහන්ස, අඹ කෙබඳු දැ? යි විචාරණ ලදුයේ දෙල් මෙබඳු යැ යි කියන්නේත් දෙල් විචාරණ ලදු වැ අඹ මෙබඳු යැ යි කියන්නේත් යම් සේ ද, එසේ ම වහන්ස, කාශ්‍යප පූර්‍ණයෝ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලදුවෝ ම අක්‍රියවාදය පැවැසූහ.
වහන්ස, ඒ මට ‘මා වැන්නෙක් සිය රටෙහි වසන මහණකු හෝ බමුණකු පෙළිය යුතු කොට කෙසේ නම් සිතනු හැක්කේ දැ?’ යි මේ සිත විය. වහන්ස, ඒ මම් කාශ්‍යප පූර්‍ණයන්ගේ වචනය නො පැසසීමි. විරුද්ධ බසකුදු නො කීමි. නො පසසා විරුදු බසක් ද නො කියා, නො සතුටු සිතැත්තෙම්, නොසතුටු බසක් නො නික්මවා, ඔවුන් බස සාරවශයෙන් නොගන්නෙම්, සාර වශයෙන් සිතැ නො තබන්නෙම්, උනස්නෙන් නැගී නික්මිණිමි.
18. වහන්ස, අන් එක් වරෙක මම් ගෝසාල මක්ඛලී වෙත එළැඹියෙමි. එළැඹ ඔහුත් හා සතුටු වීමි. සතුටට කරුණු වු සිතැ රැඳැවියැ යුතු වු කතා බස් කොට අවසනැ පසෙක ඉඳ ගතිමි. පසෙක ඉඳ ගත්තෙම්, වහන්ස, මම් ගෝසාල මක්ඛලීහු අමතා ‘භවත් ගෝසාලයිනි, යම්සේ අතරුවෝ ය, අසරුවෝ ය, ... යන මොහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත් ද, ඔහු එයින් තමන් ... මාපියන් ... අඹුදරුවන් … හා යහළුවන් සුවපත් කෙරෙත් ද, පිනවත් ද, මහණ බමුණු විෂයයෙහි ... දන් පිහිටුවත් ද, භවත් ගෝසාලයිනි, මෙසේ ම මහණ දමෙහි මෙහි ම අත් දැක්කැ හැකි ඵලවිපාකයක් දක්වන්නට හැකිදැ” යි මෙය විචාළෙමි.
19. වහන්ස, මෙසේ විචාළ කල්හි ගෝසාල මක්ඛලීහු මට මෙය කීහ: “මහරජ, සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයයෙක් නැත. හේතුවක් නැති වැ ප්‍රත්‍යයක් නැතිවැ (ඉබේ ම) සත්ත්‍වයෝ කෙලෙසෙත්. සත්ත්‍වයන්ගේ පිරිසිදු වීමට ද හේතුවෙක් නැත., ප්‍රත්‍යයයෙක් නැත. හේතුව නැති වැ ප්‍රත්‍යය නැති වැ සත්ත්‍වයෝ පිරිසිදු වෙත්. තමාගේ යහපත සඳහා තමා විසින් කළ යුතු කර්‍මයෙක් නැත. අනුන්ගේ යහපත සඳහා කළයුතු අවවාදානුශාසනාදී කර්‍මයෙක් ද නැත. කරන්නහු සැපතට පමුණුවන … පුරුෂ කාර්‍ය්‍යයෙක් ද නැත. සැපත් ලබනුවට ඉවහල් වන බලය කියා එකෙක් නැත. වීර්‍ය්‍යය කියා එකෙක් නැත. පුරුෂශක්තිය කියා එකෙක් නැත. පුරුෂ පරාක්‍රමය කියා එකෙක් නැත. හැම සත්තු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ තමන්ගේ ශක්තියක් බලයක් වීර්‍ය්‍යයක් නැත්තෝ ම නියමය, සංගතිය (තම තමා අයත් වර්‍ගයට පැමිණීම), ස්වභාවය යන මේ තුනින් පරිණාමයට පැමිණියෝ අභිජාති සයෙක්හිම සැප දුක් විඳිත්.
මේ ප්‍රමුඛ යෝනීහු තුදුස් ලක්‍ෂ හදහස් හසියෙකි. කර්‍ම පන්සීයෙකි. (අන් සැටියෙකින්) කර්‍ම පසෙක් ද කර්‍ම තුනෙක් ද වෙත්. (කායවාක්කර්‍ම වූ) පූර්‍ණ කර්‍ම ද, (මනඃකර්‍ම වූ) අර්‍ධ කර්‍ම ද වේ.
ප්‍රතිපත්ති දෙසැටෙකි. අන්තඃකල්ප දෙසැටෙකි. අභිජාති සයෙකි. පුරුෂභූමි අටෙකි. ජිවිකාවෘත්ති සාරදහස් නවසියෙකි. පරිව්‍රාජකයන් පිළිබඳ ප්‍රව්‍රජ්‍යා සාරදහස් නවයෙකි. නාගමණ්ඩල සාරදහස් නවයෙකි. ඉන්‍ද්‍රියයෝ දෙදහසෙකි. නිරයයො තුන්දහසෙකි. අත්පිටු පාපිටු ආදි ධුලි තැවැරෙන තැන් සතිසෙකි. සංඥී ගර්‍භ සතෙකි. අසංඥී ගර්‍භ සතෙකි. නිර්ග්‍රන්‍ථ ගර්‍භ සතෙකි. (පුරුකින් පැල වෙන උක් හුණු ආදී ගර්‍භ සතෙකි.) දේව වර්‍ග සතෙකි. මනුෂ්‍ය වර්‍ග සතෙකි. පිශාච ජාති සතෙකි. මහවිල් සතෙකි. මහා පර්‍වත සතෙකි. කුඩා පර්‍වත සත්සියෙයකි. මහා ප්‍රපාත සතෙකි. කුඩා ප්‍රපාත සත්සියෙයකි. මහා ස්වප්න සතෙකි. කුඩා ස්වප්න සත්සියෙයකි. අනුවණයනුත් නුවණැත්තනුත් සසරැ දිවැ හැවිදැ දුක් කෙළෙවර කිරීමට ගෙවියැ යුතු කල්ප අසූහාර ලක්‍ෂයකි.
එහි මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නොමුහු කළ කර්‍මය මුහුකුරුවන්නෙමි යි කියා කළ යුත්තක් නැත. මුහුකළ කර්‍මය විඳ විඳ ක්‍ෂීණ කරන්නෙමි යි කියා හෝ මෙසේ කළයුතු දැයෙක් නැත. ද්‍රෝණයෙන් මැන ප්‍රමාණවත් කරන ලද්දක් සේ සුව දුක් දෙක (කියන ලද කාල සීමාව ගෙවුනු කල්හි) කෙළවර කෙරුණේ වෙයි. සසර ගමනෙහි අඩු වීමෙක් වැඩිවීමෙක් නැත. නැගීමෙක් බැසීමෙක් නැත. යම්සේ දමාලූ හූවටෙක් ලිහෙමින් දිග ඇති තෙක් යේ ද, එයින් මතු නොයේ ද, එ පරිදි ම අනුවණයෝත් නුවණැත්තොත් (සසරැ) දිව හැවිද දුක් කෙළෙවර කරන්නාහ’ යනු යි.
වහන්ස, මෙසේ ගෝසාල මක්ඛලීහූ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරණ ලදුවෝ ම සංසාර ශුද්ධිවාදය පැවසූහ. වහන්ස, අඹ කෙබඳු දැ යි විචාරණ ලදුයේ දෙල් මෙබඳු යැ යි කියන්නේත් දෙල් කෙබඳු දැ යි විචාරණ ලදුයේ අඹ මෙබඳු යැ යි කියන්නේත් යම් සේ ද, එසේ ම ගෝසාල මක්ඛලීහු මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලදුවෝ ම සංසාර ශුද්ධිය පැවැසූහ.
වහන්ස, ඒ මට ‘මා වැන්නෙක් සිය රටැ වසන මහණකු හෝ බමුණකු පෙළියැ යුතු කොට කෙසේ නම් සිතියැ හැකිදැ’යි මේ සිත විය. වහන්ස, ඒ මම් ගෝසාල මක්ඛලීන්ගේ වචනය නො පැසැසිමි, එයට විරුද්ධ බසකුත් නො කීමි. මෙසේ නො පසසා, නො ද විරුදු බසක් කියා, නො සතුටු සිතැත්තෙම් නුමුදු, නො සතුටු බසක් නො නික්මවා, එ ම බස සාර වශයෙන් නො ගන්නෙම්, සාර වශයෙන් සිතැ ද නො තබන්නෙම්, හුනස්නෙන් නැඟී නික්මිණිමි.
20. වහන්ස, මම් එක් විටෙක කේශකම්බල අජිතයන් කරා එළැඹියෙමි. එළැඹ ඔහු හා සතුටු විමි. සතුටට කරුණු වු සිතැ රැඳැවියැ යුතු වූ කතා බස් නිමවා එක් පසෙක හිඳැ ගතිමි. එසේ හිඳ ගත්තෙම්, ඔහු අමතා ‘භවත් අජිතයෙනි, යම්සේ ඇතරුවෝ ය, අසරුවෝ ය, … යන මොහු හැම මේ අත්බව්හි ම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා ජීවත් වෙත් ද, ඔහු එයින් තමන් … තම මාපියන් … අඹුදරුවන් … මිත්‍රාමාත්‍යයන් සුව පත් කෙරෙත් ද, පිනවත් ද, මහණ බමුණන් විෂයයෙහි … දන් පිහිටුවත් ද, භවත් අජිතයෙනි, මෙසේ ම මහණදමෙහිත් මේ අත්බව්හි මැ දැක්කැ හැකි ඵල විපාකයක් දක්වන්නට හැකි දැ” යි මෙය විචාළෙමි.
වහන්ස, මෙසේ මා විචාළ කල්හි, කේශකම්බල අජිතයෝ මට මෙය කීහ: “මහරජ, දුන් දැයෙහි පල නැත. කළ මහායාගයෙහි පල නැත. කුශලාකුශල කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. පරලොවැ සිටියා හට මෙ ලොව නැත, මෙලොව සිටියා හට පරලොවෙක් නැත. මවට උපකාර අපකාර කිරීමෙහි ඵල විපාක නැත. පියාට උපකාර අපකාර කිරීමෙහි ඵල විපාක නැත. උප්පාදුක (මෙයින් සැව නැවත උපදනා) සත්ත්‍වයෝ නැත. සම්‍යග්ගත (නිවැරදි මඟින් ගිය) සම්‍යක්ප්‍රතිපන්න (නිසි මඟ පිළිපන්), මෙ ලොවත් පරලොවත් තුමූ ම වෙසෙසින් දැන පසක් කොට (ලොවට) හෙළි කරන මහණබමුණු කෙනෙක් නැත. සතර මහාභූතයන්ගෙන් නිපන් මේ පුරුෂ තෙමෙ යම් විටෙක කලුරිය කෙරේ නම්, එ විටැ (මොහුගේ කයෙහි වු) පෘථිවිධාතුව බාහිර පෘථිවිධාතු රැස කරා යෙයි, එය අනුගමනය කරයි. ආපෝධාතුව බාහිර ආපෝධාතු රැස කරා යෙයි, එය අනුගමනය කරයි. තේජෝධාතුව බාහිර තේජෝධාතු රැස කරා යයි, එය අනුගමනය කරයි. වායුධාතුව බාහිර වායුධාතුව කරා යයි, එය අනුගමනය කරයි. ඇස් ආදී ඉන්‍ද්‍රියෝ අහසට පැන යෙත්. වැදහොත් ඇඳ පස්වනු කොටැති පුරුෂයෝ මළ සිරුර ගෙන යෙත්. සොහොන තෙක් පමණක් පදයෝ (ගුණාගුණ වචනයෝ) පැණෙත්. ඇට පරෙවිවන් වේ. ආගන්තුකසත්කාරාදී වශයෙන් දුන් දන් මළ සිරිරෙහි අළු කිස නිමහම් තෙක්ම වේ. (එයින් පසු එහි කිසිත් ඉතිරි නොවේ). දාන යනු අඥයන් විසින් පණවන ලද්දකි. යම් කෙනෙක් ආස්තික වාදය (පරලොවක් ඇතැයි කර්‍ම විපාක ඇතැයි යන ආදි වූ වාදය) කියත් නම්, එය ඔවුන්ගේ හිස් බොරුවෙකි, ප්‍රලාපයෙකි. අනුවණයෝ ද නුවණැත්තෝ ද යන හැම කය බිඳීමෙන් මුල සුන් වෙත්, වැනසෙත්, මරණින් මතු ඇති නොවෙත්” යනුයි.
වහන්ස, මෙසේ කේශකම්බල අජිතයෝ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරණ ලදුවෝ ම උච්ඡේදවාදය පැවැසූහ. වහන්ස, යම්සේ අඹ විචාරණ ලද්දේ දෙල් කියන්නේ ද, දෙල් හෝ විචාරණ ලද්දේ අඹ හෝ කියන්නේ ද, එසේ ම, වහන්ස, කේශකම්බල අජිතයෝ සාන්දෘෂ්ටික සාමාණ්‍යඵලය විචාරණ ලදුවෝ ම උච්ඡේදවාදය පැවසූහ.
වහන්ස, ඒ මට ‘මා වැන්නෙක් සිය රටෙහි වසන මහණකු හෝ බමුණකු වෙහෙසිය යුතු කොට කෙසේ නම් සිතියැ හෙන්නේදැ?’යි මේ සිත විය. වහන්ස, ඒ මම් කේශකම්බල අජිතයන්ගේ බස නොම පැසැසීමි, එයට විරුද්ධ බසක් ද නො කීමි. එය නොම පසසා, විරුදු බසකුත් නො කියා, නො සතුටු සිතැත්තෙම්, නො සතුට හඟවන බසකුත් නො නික්මවා, ඔවුන්ගේ ඒ වචන සාර වශයෙන් නො ගන්නෙම්, සාර වශයෙන් සිතැ නො පිහිටුවන්නෙම්, හුනස්නෙන් නැගී නික්මිණිමි.
21. වහන්ස, අන් එක් වරෙක මම් කාත්‍යායනග්‍රෝත්‍රික පකුධයන් වෙත ගියෙමි. ගොස් ඔවුන් හා සතුටු විමි. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වු කතාබස් නිමවා පසෙක ඉඳගතිමි. එසේ ඉඳගත් මම් කාත්‍යායන පකුධයන් අමතා “භවත් කාත්‍යායනයිනි, යම් සේ ඇතරුවෝ ය, අසරුවෝ ය, … යන මොහු හැම මේ අත්බව්හි ම තමන් විසින් දැක්ක හැකි ඵල ඇති ශිල්ප නිසා ජීවත් වෙත්ද, ඔහු එයින් තමන් ... තම මා පියන් ... අඹුදරුවන් … මිතුරන්, කම්කරුවන් සුවපත් කෙරෙත් ද, පිනවත් ද, මහණ බමුණනට … දන් දෙත් ද, භවත් කාත්‍යායනයිනි, මෙසේ ම මහණදමෙහිත් මේ අත්බව්හි ම දැක්කැ හැකි ඵලයක් දක්වන්නට හැකි දැ?”යි මෙය විචාළෙමි.
වහන්ස, මෙසේ මා විචාළ කල්හි කාත්‍යායන පකුධයෝ මට මෙය කීහ: “මහරජ, කිසිවෙකු විසින් නො කරන ලද, නො කළ විධාන ඇති, ඉඳු බෙලෙනුදු නො මවන ලද, අන් කිසිදු ලෙසෙකින් නො ම මවනලද, වඳ වු (කිසිවක් නො උපදවන), පවුකුළක් සේ ස්ථීර (හෙවත් පරිණාම රහිත), ඉන්‍ද්‍රකීලයක් සේ තර වැ සිටිනුයෙන් තහවුරු වූ, කය (සමූහ) සතෙක් වෙත්. කවර සතෙක් ද? යත්: පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සුඛ, දුක්ඛ, සත්වන ජීවය ද වෙත්. ඔහු නො සැලෙත්. නො පෙරැළෙත්. උනුනට බාධක නො වෙත්. උනුනට සුවය හෝ දුක හෝ සුව දුක් දෙකම හො දීමට සමත් නො වෙත්. ඒ කාය සතෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ, අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ, දැන ගන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැත. යමෙක් තියුණු සැතෙකින් හිස සිඳින්නේ නම්, එහි කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නො කරයි. වැලි, සප්තකායයන් අතරින් ආයුධය විවරයට වැද ගනී” යනුයි.
වහන්ස, මෙසේ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලද කාත්‍යායන පකුධයෝ අනෙකකින් අනෙකක් (ඉඳුරාම එයට විරුද්ධ දැයක්) පැවසූහ. වහන්ස, අඹ විචාරන ලද්දේ දෙල් ගැන කරුණු කියන්නේත් දෙල් විචාරණ ලද්දේ අඹ ගැන කරුණු කියන්නේත් යම් සේ ද, එසේම, වහන්ස කාත්‍යායන පකුධයෝ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුවෝ ම අනෙකෙන් අනෙකක් (ඉඳුරාම වෙනස් දැයක්) පැවසී ය.
වහන්ස, ඒ මට “සිය රටෙහි වසන මහණකු හෝ බමුණකු වෙහෙසිය යුතු කොට මා වැන්නෙක් කෙසේ නම් සිතන්නේ දැ?” යි මේ සිත විය. වහන්ස, ඒ මම් කාත්‍යායන පකුධයන්ගේ වචනය නො පැසසිමි. නො ද විරුද්ධ බසක් කීමි. නො පසසා, විරුද්ධ බසක් ද නො කියා, නො සතුටු සිතැත්තෙම්, නො සතුට හඟවන බසක් නො කියා, ඒ ඔවුන්ගේ බස සාර වශයෙන් නො ගන්නෙම්, සාර වශයෙන් සිතැ නො තබා ගන්නෙම්, හුනස්නෙන් නැගී නික්මිණිමි.
22. වහන්ස, තවත් එක් විටෙක මම ඥාතපුත්‍රනිර්ග්‍රන්‍ථයන් කරා එළැමුණෙමි. එළැඹැ, ඔවුන් හා සතුටු වීමි. සතුටට කරුණු වු සිත රැඳැවියැ යුතු වු කතාබස් නිමවා එක් පසෙක හුන්නෙමි. වහන්ස, පසෙක හුන් මම් ඔවුන් අමතා
“භවත් අග්නිවේශ්‍යායනයෙනි, යම්සේ ඇතරුවෝ ය, අසරුවෝ ය, ... යන මොහු හැම මේ අත්බව්හි ම තමන් විසින් අත් දැක්කැ හැකි ශිල්ප නිසා ජීවත් වෙත් ද, ඔහු එයින් තමන් ... මාපියන් … අඹුදරුවන් … මිතුරන් … කම්කරුවන් ... සුවපත් කෙරෙත් ද, පිනවත් ද, මහණ බමුණනට … දන් දෙත් ද, භවත් අග්නිවේශ්‍යායනයෙනි, මෙසේ ම මහණදමෙහිත් මේ අත්බව්හි ම දැක්කැ හැකි ඵලවිපාකයක් පෙන්විය හැකි දැ?”යි මෙය විචාළෙමි.
වහන්ස, මෙසේ මා විචාළ කල්හි ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයෝ මට මෙය කීය: “මහරජ, මේ නිර්ග්‍රන්‍ථශාසනයෙහි නිර්ග්‍රන්‍ථ තෙමේ යාම (භාග) සතරක් ඇති ශීලසංවරයෙන් වැසුණේ වේ. මහරජ, කෙසේ නම් නිර්ග්‍රන්‍ථ තෙමේ යාම සතරක් ඇති සංවරයෙන් සංවෘත වේ ද? යත්: මහරජ, මෙහි නිර්ග්‍රන්‍ථ තෙමේ වැළැකුණු සියලු සිසිල් දිය ඇත්තේ වේ. සර්‍වප්‍රකාර සංවරලක්‍ෂණයෙන් සමන්‍විත වේ. පිඹ හළ සියලු වාර්‍යයන් (හෙවත් පව්) ඇත්තේ වේ. (කර්‍මක්‍ෂය ලක්‍ෂණ වු) සියලු පාපවාරණයෙන් (මෝක්‍ෂය) ස්පර්‍ශ කොට සිටියේ වේ. මහරජ, මෙසේ නිර්ග්‍රන්‍ථ තෙමේ චාතුර්යාමසංවරයෙන් සංවෘත වූයේ වේ. මහරජ, යම් හෙයෙකින් නිර්ග්‍රන්‍ථ තෙමේ මෙසේ චාතුර්යාමසංවරයෙන් සංවෘත වේ ද, එහෙයින් (මෝක්‍ෂාධිගමයෙන් ම කෙළෙවරට) පත් සිතැත්තේ ද, (කායාදි ඉන්‍ද්‍රියයන්හි තව දුරටත් සංයම කළ යුත්තක් නැති බැවින්) සංයත ආත්ම ඇත්තේ ද, (මොනොවට) පිහිටි සිතැත්තේ ද වේ යැ යි කියනු ලැබේ.”
වහන්ස, මෙසේ ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයන් තෙමේ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලද්දේ ම චාතුර්යාමසංවරය පැවසී ය. යම්සේ අඹ විචාරණ ලද්දේ දෙල් දක්වන්නේ ද, දෙල් විචාරණ ලද්දේ අඹ දක්වන්නේ ද, එසේ ම, වහන්ස, ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුවෝ ම චාතුර්යාමසංවරය පැවසූහ.
වහන්ස, ඒ මට “කෙසේ නම් මා වැන්නෙකු සිය රටෙහි වසන මහණකු හෝ බමුණකු වෙහෙසියැ යුතු කොට සිතන්නේ දැ” යි මේ සිත විය. වහන්ස, ඒ මම් වනාහි ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථයන්ගේ වචනය මැනැවැයි නො පැසසිමි, විරුද්ධ බසකුදු නො කීමි. නොම පසසා, නො ද විරුදු බසක් කියා, නො සතුටු සිතැතියෙම්, නොසතුට හඟවන වචනයක් ද නොකියා, ඔවුන් කී ඒ බස් සාරවශයෙන් ද නො පිළිගත්තෙම්, සිතැ ද නො ම තබා ගත්තෙම්, හුනස්නෙන් නැඟී නික්මැ ගියෙමි.
23. නැවත ද වහන්ස, එක් වරෙක මම් වෛරාටිපුත්‍ර සංජයන් කරා ගියෙමි. ගොස් ඔවුන් හා සතුටු වීමි. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වු කථාව නිමවා පසෙක ඉඳැ ගතිමි. වහන්ස, එසේ ඉඳ ගත්තෙම්, ඔවුන් අමතා, “භවත් සංජයයෙනි, යම්සේ ඇතරුවෝ ය, අසරුවෝ ය, … යන මොහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් අත් දැක්කැ හැකි ශිල්ප නිසා ජීවත් වෙත් ද, එයින් තමන් ... මාපියන් … තම අඹුදරුවන් ... තම මිතුරන් කම්කරුවන් සුවපත් කෙරෙත් ද, පිනවත් ද, මහණ බමුණනට … දන් දෙත් ද, භවත් සංජයයෙනි, මේ පරිද්දෙන්ම මහණදමෙහිත් මේ අත්බව්හි ම දැක්කැ හැකි ඵලයක් දැක්වියැ හැකි දැ”? යි මෙය කීමි.
වහන්ස, මෙසේ මා කී කල්හි වෛරට්ටීපුත්‍ර සංජයෝ මට මෙය කීහ: ‘පරලොවක් ඇත් දැ?’යි ඉඳින් මා විචාරයි නම්, (පරලොවෙක් ඇතැ) යි මට අදහස් වී නම්, ‘පරලොවෙක් ඇතැ’ යි යුෂ්මත්හට එය විසඳන්නෙමි. එහෙත් මෙසේත් මගේ අදහසෙක් නැත. ‘පරලොවක් ඇතැ’යි එ පරිදි වු අදහසෙකුත් මට නැත. අන් පරිද්දෙකිනුත් මගේ අදහසෙක් නැත. ‘පරලොවෙක් ඇත්තේ නො වෙ’යි කියාත් මගේ අදහසෙක් නැත. ‘පරලොවක් නො මැත්තේ නො වේ’ කියාත් මගෙ අදහසෙක් නැත. ‘පරලොවක් නැත් දැ?’යි ඉඳින් මා විචාරයි නම් ... ‘පරලොවෙක් ඇත්තේත් නැත්තේත් වේ දැ?’ යි මා විචාරයි නම්, … ‘පරලොවෙක් නො ම ඇත්තේත් නැත්තේත් නො ම වේ දැ?’යිත් මා විචාරයි නම් … ‘පරලොවෙක් නො ම ඇත්තේ නැත්තේත් නො ම වේ දැ’ යිත් මා විචාරයි නම් … ‘මෙයින් සැව පරලොවැ උපදනා සත්තු ඇත්දැ?’යි … ‘මෙයින් සැව පරලොවැ උපදනා සත්තු නැත් දැ?’ යි … ‘මෙයින් සැව පරලොවැ උපදනා සත්තු ඇත්තෝත් නැත්තෝත් වෙත් දැ?’යි … ‘මෙයින් සැව පරලොවැ උපදනා සත්තු ඇත්තෝත් නොම වෙත් ද, නැත්තෝත් නො ම වෙත් දැ?’ යි … ‘කුශලාකුශලකර්‍මයන්ගේ ඵල විපාක ඇද්දැ?’යි … ‘කුශලාකුශලකර්‍මයන්ගේ ඵල විපාක නැද් දැ?’යි … ‘කුශලාකුශලකර්‍මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් වේ දැ?’යි … ‘කුශලාකුශලකර්‍මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් නොවේ දැ?’යි … ‘සත්ත්‍වයා මරණින් මත්තෙහි වන්නේ දැ?’ යි … ‘සත්ත්‍වයා මරණින් මත්තෙහි නො වන්නේ දැ?’ යි ... ‘සත්ත්‍වයා මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වේ දැ?’ යි … ‘සත්ත්‍වයා මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් නො වේ දැ?’ යි, මෙසේ මා විචාරයි නම්, ‘සත්ත්‍වයා මරණින් මත්තෙහි නො ම වන්නේ යැ’ යි, ‘නො වන්නේ නො වෙයි’ කියා මට අදහසක් වී නම්, ‘සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො ම වන්නේ ය, නො වන්නේ නො වෙ’යි කියා යුෂ්මත්හට එය විසඳන්නෙමි. ‘මේ කාරණය මෙසේ ම යැ’යිත් මට අදහසක් නොවේ. එසේම ‘මේ කාරණය වෙතැ’යිත් මට අදහසක් නොවේ. ‘අන් සැටියකින් මේ කාරණය වෙතැ’යිත් මට අදහසක් නො වේ. ‘මේ කාරණය මෙසේ නො වෙතැ’යිත් මට අදහස් නො වේ. ‘මෙය මෙසේ නො වන්නේ නැතැ’ යි ද මට අදහසක් නොවේ යනු යි.
වහන්ස, මා විසින් වෛරට්ටීපුත්‍ර සංජයයෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලදුවෝ ම අපර්‍ය්‍යන්තවික්‍ෂේපය (ඉමක් කොණක් නැති සේ වචනයන්ගෙන් ප්‍රශ්නය ඉවත් කිරීම) පැවසූහ. වහන්ස, අඹ විචාරණ ලද්දේ දෙල් ගැන කියනුයේත්, දෙල් විචාරන ලදුයේ අඹ ගැන කියනුයේත් යම් සේ ද, එසේ ම, වහන්ස, වෛරට්ටීපුත්‍ර සංජයයෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුවෝ ම වික්‍ෂේපය පැවසූහ.
වහන්ස, ඒ මට “මේ තෙමේ මහණබමුණන් අතුරෙන් හැම ගෙන් ම බාලතම ය, මූඩතම ය. සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුයේ ම කෙසේ නම් වික්‍ෂේපය කියා පාන්නේදැ?” යි මේ අදහස විය. වහන්ස, ඒ මට “කෙසේ නම් මා වැන්නෙක් මා රටවැසි මහණකු හෝ බමුණකු හෝ වෙහෙසිය යුතු කොට සිතන්නේ දැ?” යි මේ සිත විය. වහන්ස, ඒ මම් වෛරට්ටීපුත්‍ර සංජයයන්ගේ වචනය නො ම පැසැසීමි. එයට විරුද්ධ බසකුත් නො කීමි. නො පසසා, විරුදු බසකුත් නො කියා, නො සතුටු වූයෙම් නමුදු නො සතුට හඟවන බසක් නො නික්මවා, ඒ ඔහුගේ වචන සාර විසිනුදු නො පිළිගනුයෙම්, සිතැ ද නො තබනුයෙම්, හුනස්නෙන් නැගී නික් මැ ගියෙමි.
24. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද විචාරමි. වහන්ස, යම්සේ ඇතරුවෝ ය, අසරුවෝ ය … යන මොහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි සිප් සතර නිසා ජීවත් වෙත් ද, එයින් තමන් … මාපියන් … අඹුදරුවන් … මිත්‍රාමාත්‍යයන් සුවපත් කෙරෙත් ද, පිනවත් ද, මහණ බමුණනට … දන් දෙත් ද, වහන්ස, එපරිද්දෙන් ම මේ අත්බව්හි ම සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයක් පණවන්නට හැකි දැ?” යි රජ විචාළේ ය.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: මහරජාණෙනි, හැක්කේ ය. එසේ නම් තොප පිළිවිසමි. තොප රිසි ලෙසකින් උත්තර දෙන්නැ.
25. මහරජාණෙනි, මතු දැක්වෙන කරුණු තෙපි කිමැ යි (කෙසේ) සිතන්නහු ද? මෙහි තොපගේ වැඩ පල කරන, පළමුවෙන් නැගී සිටින, ස්වාමියාට කළයුතු වතාවත් හැම කොට නිමවා පසු වැ හෝනාසුලු, කීකරු වැ හැසිරෙන, තොප මනාප දෑ ම කරන, ප්‍රිය කථා ඇති, තොපගේ තුටුපහටු මුහුණ ම බලමින් හැසිරෙන(=මුහුණ සතුටු කරන්නට ම උත්සාහ කරන) දාසයෙක් ඇත්තේ නම්, ඔහුට “පිනෙහිගතිය, පිනෙහි ඵල විපාක අහෝ ආශ්චර්‍ය්‍ය යි! අහෝ පුදුම යි! මේ වෛදේහීයපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ වනාහි මිනිසෙකි. මම් ද මිනිසෙක්මි. මේ රජ වූ කලී පස්කම්ගුණයෙන් යුක්ත වූයේ සමන්‍විත වූයේ දෙවියකු මෙන් ඉඳුරන් පිණවයි. මම් වූ කලී ඔහුගේ වැඩ පල කරන, පළමුවෙන් නැඟී සිටින, සියලු කටයුතු නිමවා හැමට ම පසුව වැදැ හෝනා, කීකරු වැ පවත්නා, ඔහුට මනාප සේ හැසිරෙන, ප්‍රිය වචන කියන, ඔහු සතුටු මුහුණ දක්නට බලා සිටින දාසයෙක්මි. පින් කෙළෙම් වීම් නම්, ඒ මමත් මොහු සේ වන්නෙමි. එබැවින් කෙහෙරවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදිබිමට වදින්නෙම් නම්, ඉතා යෙහෙකැ” යි මෙසේ සිතෙක් වෙයි.
හේ පසු කලෙක කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි බිමට වදනේ නම්, මෙසේ පැවිදි වූයේ දැහැමින් ලබන කන බොන දෑ හා හඳනා පොරෝනා සිවුරු ම පරම කොටැති බැවින් (එයින් මත්තෙහි අන්කිසි ආමිසයක් නොසොයන බැවින්) පරමසංලේඛයෙන් (කෙලෙස් තුනී කරන අග්‍ර පැවැත්මෙන්) තෘප්ත වූයේ, කායචිත්තවිවේක දෙක්හි ඇලුණේ, කායද්වාරයෙන් සංවෘත වැ (අකුසල් නො කැරෙන සේ කය රැක ගෙන) වසන්නේ නම්, වාග්ද්වාරයෙන් සංවෘත වැ (වාග්ද්වාරයෙන් අකුසල් නො කැරෙන සේ වචනය රැක ගෙන) වසන්නේ නම්, මනෝද්වාරයෙන් සංවෘත වැ (සිතෙන් අකුසල් නො කැරෙන සේ සිත රැක ගෙන) වසන්නේ නම් -
ඉඳින් තොපගේ රාජපුරුෂයෝ තොපට ‘අවසර! දේවයන් වහන්ස, දැනගන්න: ඔබ වහන්සේගේ වැඩ කටයුතු කරන, කලින් නැගී සිටින, හැමට ම පසුවැ සැතැපෙන, කීකරු වැ හැසිරෙන, ඔබ වහන්සේට මනාප දෑ ම කරන, පිය බස් ඇති, ඔබ වහන්සේගේ තුටු පහටු මුහුණ ම බලමින් හැසිරෙන, ඔබ වහන්සේගේ යම් දාසපුරුෂයෙක් වී නම්, දේවයන් වහන්ස, හෙ තෙමේ කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ ගිහිගෙන් පැවිදිබිමට වන්නේ ය. හේ මෙසේ පැවිදි වූයේ, දැහැමින් ලැබෙන ආහාර පාන වස්ත්‍ර ම පරම කොටැති බැවින් තෘප්ත වැ, ප්‍රවිවේකයෙහි ඇලුණේ, කයින් සංවෘත වැ වෙසෙයි. වචනයෙන් සංවෘත වැ වෙසෙයි. සිතින් සංවෘත වැ, වෙසේ යැ’ යි දන්වන්නෝ නම් - ‘භවත්නි, ඒ මගේ පුරුෂ තෙමේ ඒ වා. නැවත ද මගේ වැඩපල කරන, පළමුවෙන් නැගී සිටින, හැමට ම පසු වැ සැතපෙන, කීකරු වැ හැසිරෙන, මනාපචාරී ප්‍රියවාදී, මා මුහුණ සතුටු කරන්නට බලා සිටින, මගේ දාසයෙක් වේවා’ යි තෙපි මෙසේ කියන්නහුදැ?” යි. (භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.)
“වහන්ස, එය එසේ නොවෙයි. වැලි, අපි ම ඔහු ආදරයෙන් වඳින්නමෝ ද වමු. දැක හුනස්නෙන් නැඟී සිටින්නමෝ ද වමු. අස්නෙන් නිමතන්නමෝ ද වමු. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් ආදරයෙන් නිමතන්නමෝ ද, වමු. ඔහුට ධාර්මික රක්‍ෂාවරණගුප්තිය (දැහැමි රකවල) ද සලසන්නමු” යි රජ කීය.
“මහරජාණෙනි, එය කිමැයි සිතන්නවු ද? ඉඳින් මෙසේ ඇති කල්හි මහණදම් පිරීමේ සාන්දෘෂ්ටිකඵලයෙක් ඇත්තේ වේද? නොවේ ද?”යි (භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.)
“වහන්ස, මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් සාන්දෘෂ්ටිකශ්‍රාමණ්‍යඵලය වේ” යි (රජ කීය.)
“මහරජ මේ වනාහි තොපට මා විසින් පණවන ලද මේ අත්බව්හි ම ලැබෙන පළමු වන සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය වේ” යි (භාග්‍යවතුන් වහන්සේ වාදළ සේක.)
26. “වහන්ස, මෙසේ ම අනෙකුදු මේ අත්බව්හි වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයක් පණවන්නට හැක්කේදැ?” යි (රජ පුළුවුත.)
“හැක්කේ ය, මහරජාණෙනි. එසේ වී නම්, මහරජාණෙනි, තොප ම මෙහි ලා පිළිවිසිමි. තොපට රිසියෙන පරිදි එය කියන්නැ. මහරජාණෙනි, ඒ කිමැයි හඟනාහු ද? මෙහි ගොවිතැන් කරන, එක් ගෙයකට අධිපති වූ, තොප අයබදු සපයන ධනධාන්‍ය වඩාලන, තොපගේ පුරුෂයෙක් ඇත්තේ නම්, ඔහුට ‘පින්වත්නි, පිනෙහි ගතිය, පිනෙහි ඵලය ආශ්චර්‍ය්‍ය ය! අද්භූතය! මේ වෛදේහීයපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ වනාහි මිනිසෙකි. මම ද මිනිසෙක්මි. මේ … රජ වනාහි පස්කම් ගුණයෙන් යුක්ත වැ, සමන්‍විත වැ, දෙවියකු සේ ඉඳුරන් හසුරුවයි. මම් වු කලී එක් ගෙයකට ම අධිපති, අයබදු පසයන, ධනධාන්‍ය වඩා ලන, ඔහුගේ ගොවියෙක් වෙමි. ඒ මම් ඉඳින් පින් කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මොහු බඳු වන්නෙමි. ඒ මම් කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ, ගිහිගෙන් පැවිද්දට වදනෙම් නම්, ඉතා යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ නම් -
හේ පසු කලෙක මඳ වූ හෝ සම්පත්රැස හැර දමා, මහත් වූ හෝ සම්පත් රැස හැර දමා, මඳ වූ හෝ ඥාතිවර්‍ගයා හැර දමා, මහත් වූ හෝ ඥාතිවර්‍ගයා හැර දමා, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ, ගිහිගෙන් පැවිද්දට වදින්නේ නම්, මෙසේ පැවිදි වූ ම හේ දැහැමින් ලත් ආහාර පාන චීවර පමණෙකින් ම සතුටු වැ, කායචිත්ත විවේකයෙහි ඇලුණෙක් වැ, කයින් සංවෘත වැ වචනයෙන් සංවෘත වැ මනසින් සංවෘත වැ වෙසෙන්නේ නම් -
තොපගේ පුරුෂයෝ තොපට “අවසර! දේවයන් වහන්ස, කාරණයක් දැන ගන්න. ගෘහපතික වූ, අයබදු සපයන, ධනධාන්‍ය වඩාලන, ඔබ වහන්සේගේ ගොවියෙක් වූ යම් පුරුෂයෙක් වී ද, හේ කෙහෙරවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිද්දට වන්නේ ය. හේ මෙසේ පැවිදි වූයේ ම, දැහැමින් ලත් ආහාරපානචීවර පමණෙකින් තෘප්ත වැ ප්‍රවිවේකයෙහි ඇලුණේ, කයින් … වචසින් … මනසින් සංවෘත වැ වෙසේ යැ’යි මෙසේ දන්වන්නෝ නම් - ‘භවත්නි, ඒ මගේ පුරුෂ තෙමේ ඒ වා. නැවැතත් ගෘහපතික වූ, අයබදු සපයන, ධනධාන්‍ය වඩාලන මගේ ගොවියෙක් වේවා’යි තෙපි කියන්නහු දැ?” යි (භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.)
“වහන්ස, එය එසේ නො වන්නේ ය. වැලි, අපි ම ඔහු ආදරයෙන් වඳින්නමෝ ද වමු. දැක හුනස්නෙන් නැගී සිටින්නමෝ ද වමු. අස්නෙන් නිමතන්නමෝද වමු. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් ඔහු වෙසෙසින් නිමතන්නමෝ ද වමු. ඔහුට දැහැමි වූ රැකවල් ද සලසන්නමු”යි රජ කීය.
“මහරජාණෙනි, ඉදින් මෙසේ ඇති කලැ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයෙක් වේද? නොවේ ද? ඒ කිමැ යි සිතවු දැ?” යි (භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක).
“වහන්ස, මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙක් වේ” යැ යි රජ කීය.
“මහරජාණෙනි, මේ - තොපට මා විසින් පෙන්වන ලද මේ අත්බව්හි ම වූ දෙවෙනි සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය යැ” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
27. “වහන්ස, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනාප වූ වඩා උතුම් වූ මේ අත්බව්හි ම ලැබෙන අනෙකුදු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයක් පැණවිය හැක්කේ දැ” යි (රජ පුළුවුත.)