“ප්‍රීතියෙක! භවත්නි, ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේ ද ධර්‍මයාගේ සුධර්‍මත්‍වය ද නමදනාහු,
‘සුගතයන් වහන්සේ වෙත බඹසර හැසිර මෙහි පැමිණි, වර්‍ණවත්, යශස් ඇති, අළුත් දෙවියන් දක්නාහු සතුටු වෙත්’ යැ යි ද,
“මහ නුවණැති බුදුරජුන්ගේ සවු වූ, විශේෂාධිගමයට පැමිණි ඔහු මෙහි පැහැයෙන් ද යශසින් ද ආයුෂයෙන් ද අන් දෙවියන් ඉක්මැ බබළත්” යැ යි ද,
“ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ මෙය දැක, තථාගතයන් වහන්සේ ද, ධර්‍මයාගේ සුධර්‍මත්‍වය ද (සංඝයාගේ සුපිළිවෙත ද) නමදනාහු සතුටු වෙති’ යි ද කියා මේ ගාථාවලින් අනුමෝදන් විය (ඔවුන් අනුව සතුටු විය).{*}
11. වහන්ස, ‘ප්‍රීතියෙක! භවත්නි, දෙව්මුළුහු පිරෙත්, අසුරමුළුහු පිරිහෙති’ යි යන එ කරුණින් තව්තිසාවැසි දෙවියෝ බෙහෙවින් ආරාධිත සිතැත්තාහු, සතුටු වූවාහු, උපන් ප්‍රීති හා සොම්නස් හා ඇත්තාහු වෙත්.
වහන්ස, ඉක්බිත්තෙන් යම් කරුණෙකින් තව්තිසා වැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු එක්රැස් වූවාහු වෙත් ද, එ කරුණ සිතා, එ කරුණ සාකච්ඡා කොට, සිවුවරම් මහ රජදරුවෝ සිය සිය අසුන්හි සිටියාහු, එයින් නැඟී නොගියාහු, (තෙතිස් දෙව් පුතුන් විසින්) එ කරුණෙහි කියන ලද වචන ඇත්තාහු ද වෙත්, සිවුවරම් මහ රජ දරුවෝ එ කරුණෙහි යලි යලිත් අනුශාසිත වචන ඇත්තාහු, නැඟී නො ගියාහු සිය සිය අසුන්හි හුන්නාහු වෙත්.
“තෙතිස් දෙව් පුතුන් විසින් කියන ලද වචන ඇති ඒ සිවු වරම් රජුහු ඔවුන්ගේ අනුශාසනිය පිළිගෙන වෙසෙසින් පහන් වූ සිතැත්තෝ ම සිය අසුන්හි රැඳුණහ.”
13. වහන්ස, ඉක්බිත්තෙන් දෙවියන්ගේ දේවානුභාවය ද මැඩ ගෙන උතුරු දිග්හි මහත් එළියෙක් උපන, මහත් දීප්තියෙක් පහළ විය. වහන්ස, එ කල්හි සක්දෙවිඳු තව්තිසාවැසි දෙවියන් බණවා, “නිදුක්වරිනි, යම් හෙයකින් පෙර නිමිති දක්නා ලැබේ ද, එළියෙක් හටගනී ද, දීප්තියෙක් පහළ වෙයි ද, එ හෙයින් බ්‍රහ්ම තෙමේ පහළ වන්නේ ය. ‘මේ එළියෙක් හට ගනි, දීප්තියෙක් පහළ වෙයි’ යන යමෙක් ඇද්ද, මෙය බඹහුගේ පහළ වීමට පෙර නිමිත්ත යැ” යි කී ය.
‘යම් සේ පෙරනිමිතිහු දක්නා ලැබෙත් ද එසේ එයට අනතුරු වැ බ්‍රහ්මයා පහළ වන්නේ ය. විපුල වූ මහත් වූ එළිය යන මෙය බඹහුගේ පහළ වීමට පෙරනිමිත්ත ය.”
සනත්කුමාර කථාව
14. වහන්ස, ඉක්බිති තව්තිසාවැසි දෙවියෝ ‘මේ එළිය කිමෙක් දැයි දනගන්නමු, මෙහි යම් ඵලයෙක් වන්නේ නම් එය පසක් කොට ම යන්නමු’ යි කියා තම තමන්ගේ අසුන්හි හුන්හ. සිවුවරම් මහරජුහු ද ‘මේ එළිය කිමෙක් දැ යි දැනගන්නමු. මෙහි යම් ඵලයෙක් වන්නේ නම් එය සියැසින් දැක ම යන්නමු’ යි කියා තම තමන්ගේ අසුන්හි හුන්හ. මෙය අසා තව්තිසා වැසි දෙවියෝ ‘මේ එළිය දැනගන්නමු, මෙහි යම් විපාකයෙක් වන්නේ නම් එය පසක් කොට ම යන්නමු’ යි එකඟ සිතැති වූහ.
වහන්ස, යම් කලෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන් ඉදිරියෙහි පහළ වන්නේ ද, එ කලැ හේ දළ අත්බවක් මවා ගෙන පහළ වෙයි. වහන්ස, බඹහුගේ යම් පියෙවි පැහැ සටහනෙක් ඇද්ද, එය තව්තිසා වැසි දෙවියන්ගේ චක්‍ෂුස්පථයෙහි නො පැමිණියැ හැකි වෙයි. (ඇසින් දැක්ක නො හෙයි). වහන්ස, යම් කලෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන් ඉදිරියේ පහළ වන්නේ ද, එ කලැ හේ පැහැයෙන් ද යසසින් ද අන් දෙවියන් ඉක්මැ බබළයි. වහන්ස, යම්සේ රන්රුවෙක් මිනිස්රුව ඉක්මැ බබළන්නේ ද, වහන්ස, එසේ ම යම් කලෙක සනත් කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියන් හමුයෙහි පහළ වන්නේ ද, එ කල්හි හේ පැහැයෙන් ද යසසින් ද අන් දෙවියන් ඉක්මැ බබළයි. වහන්ස, යම් විටෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියන් හමුයෙහි පහළ වන්නේ ද, එ කල්හි එ පිරිසෙහි කිසිදු දෙවියෙක් ඔහු නමදනේ හෝ දැක හුනස්නෙන් නැඟී සිටුනේ හෝ අස්නෙන් නිමතන්නේ නො වෙයි. සියල්ලෝ ම ‘දැන් සනත්කුමාර බ්‍රහ්ම තෙම යම් දෙවියකුගේ පළඟෙක ඉඳ ගනු කැමැති වන්නේ ද, එහි ඉඳගන්නේ යැ’ යි සිතා නිහඩවැ දොහොත් නමා පළඟින් හිඳිත්. වහන්ස, යම් දෙවියකුගේ පළඟෙහි (පුටුවෙහි) සනත්කුමාර බ්‍රහ්මයා ඉඳගන්නේ ද, ඒ දෙවි තෙම මහත් සතුට විඳියි, මහත් සොම්නස විඳියි. වහන්ස, රාජ්‍යයෙන් අළුත අභිෂේක ලැබූ, මූර්‍ධාවසික්ත වූ කැත් රජෙක් යම්සේ මහත් ප්‍රීතියක් විඳි ද, මහත් සොම්නසක් ලබා ද, වහන්ස, එසේ ම යම් දෙවියකුගේ පළඟෙහි සනත්කුමාර බ්‍රහ්ම තෙම ඉඳගන්නේ ද, හේ දෙවි මහත් ප්‍රීතියක් ලබයි, මහත් සොම්නසක් ලබයි.
15. වහන්ස, ඉක්බිති සනත්කුමාර බ්‍රහ්ම තෙම දළ අත්බවක් මවා ගෙන සීබා පසක් කොට බැඳි හිසකෙහෙ ඇත්තේ පන්සිළු ගඳෙවු පුතු සෙයින් කුමරවෙස් ඇත්තේ තව්තිසා වැසි දෙවියන් අතරැ පහළ විය. හේ අහස් නැඟ ඈත අහසෙහි පළක් බැඳ හුන්නේ ය. වහන්ස, ශක්තිමත් පුරුෂයෙක් මොනොවට පසතුරුණෙන් වසන ලද පළඟෙක හෝ සම වූ බිම් පෙදෙසෙක හෝ යම්සේ පළක් බැඳ හිඳ ගන්නේ ද, වහන්ස, එසේ ම සනත්කුමාර බ්‍රහ්ම තෙම අහස් නැඟ ඈත අහසැ පළඟින් හිඳ තව්තිසා වැසි දෙවියන්ගේ පැහැදීම දැන, මේ ගාථාවලින් අනුමෝදනා කෙළේ ය: “මෝදන්තිවත –පෙ– සුධම්මතන්ති” ගාථාවල අදහස:
“භවත්නි ප්‍රීතියෙකි! ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද, ධර්‍මයාගේ සුධර්‍මත්‍වයට ද නමස්කාර කරමින්,
සුගතයන් වහන්සේ වෙත බඹසර හැසිරැ මෙහි ආ වර්‍ණවත් වූ යශස් ඇති අළුත් දෙවියන් ද දකිමින් ප්‍රමුදිත වෙත්.
මහත් නුවණ ඇති බුදුරජුන්ගේ ශ්‍රාවක වූ විශේෂාධිගමයට පැමිණි ඒ දෙවියෝ වර්‍ණයෙන් ද යශසින් ද ආයුෂයෙන් ද අන් දෙවියන් ඉක්මැ බබළත්.
මෙය දැක, ඉන්‍ද්‍රයා සහිත වූ තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේ ද ධර්‍ම සුධර්‍මත්‍වය ද නමඳනාහු සතුටු වෙත්.”
16. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම මේ කාරණය කී ය. වහන්ස, මෙ කරුණ පවසන සනත්කුමාර බඹහුගේ, සුවසේ නික්මෙන්නාවූ ද අරුත් වහා ම හෙළි කරන්නාවූ ද මිහිරි වූ ද කනට සුව එළවන්නාවූ ද එකට කැටි වූ ද නොවිසිරැ පවත්නා වූ ද ගැඹුරු වූ ද රැව් දෙන්නා වූ දැ යි මෙ කී අංග අටින් සමන්‍විත හඬෙක් වෙයි. වහන්ස, පිරිසේ පමණට ම සනත්කුමාර බ්‍රහ්ම තෙම හඬින් දන්වයි. ඔහුගේ හඬ පිරිසෙන් පිටතට නොද නික්මෙයි. වහන්ස, යමකුට මෙසේ වූ අංග අටින් යුත් හඬෙක් වේද හේ බ්‍රහ්මස්වරය ඇත්තේ යැයි කියනු ලැබේ. වහන්ස, ඉක්බිති සනත්කුමාර බ්‍රහ්ම තෙම අත්බව් තෙතිසක් මවා ගෙන තව්තිසා වැසි දෙවියන්ගේ එකි එකී පළඟෙක වෙන වෙන ම පළක් බැඳ හිඳ, ඒ දෙවියන් බණවා මෙසේ කීය: “පින්වත් තව්තිසාවැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් මහත් ලෙස බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස පිළිපන් සේක් ද! භවත්නි, යම් කිසි කෙනෙක් බුදුරජුන් සරණ ගියෝ ද දහම් සරණ ගියෝ ද සඟ සරණ ගියෝ ද, සිල් පිරිපුන් කරන සුල්ලෝ ද, ඔහු ඇතැම් කෙනෙක් කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් නිර්‍මාණරතී දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් තුෂිත දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් යාම දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් ත්‍රායස්ත්‍රිංශත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්. යම් කෙනෙක් හැමට ම පහත් දෙව්මුළුවක් සපුරන්නාහු නම් (දෙව් පිරිසෙක උපදින්නාහු නම්) ඔහු ගඳෙවු මුළුව පිරිපුන් කෙරෙත් (ගන්‍ධර්‍ව නිකායයෙහි උපදිත්) යැ” යි (කී ය.)
වහන්ස, මෙ කරුණ සනත්කුමාර බ්‍රහ්ම තෙමේ පැවැසී ය. වහන්ස, මෙ කරුණ පවසන සනත්කුමාර බඹහුගේ ඝෝෂය පමණෙකි. යමෙක් මගේ පළඟෙහි වේ ද හේ එකලා ව ම කථා කෙරේ යැ යි දෙවියෝ හඟිත්.
“එකක්හු කථා කරන කල්හි නිර්මිත වූ සියල්ලෝ කථා කෙරෙත්. එකක්හු නිහඬ වැ හුන් කල්හි එ සියල්ලෝ නිහඬ වෙත්.
එ දා ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ ‘යමෙක් මගේ පළඟෙහි වේ ද හේ ම හුදෙකලා වැ කථා කෙරේ යැ’ යි සිතත්.”
17. වහන්ස, ඉක්බිත්තෙන් සනත්කුමාර බ්‍රහ්ම තෙම තමා ඒකත්‍වයෙන් එළැවී ය (බොහෝ බව හැර එක් සිරුරෙකින් පෙනී සිටියේ ය). තමා ඒකත්‍වයෙන් එළවා (එකෙක් ව ම පෙනී) සක්දෙවිඳුගේ පළඟෙහි පළක් බැඳ හිඳ තව්තිසාවැසි දෙවියන් අමතා මෙය කී ය:
ඍද්ධිපාද භාවනා
18. භවත් තව්තිසාවැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? දන්නා වූ දක්නා වූ ඒ රහත් සම්මාසම්බුදු රජුන් විසින් ඍද්ධිප්‍රභූතාව පිණිස (ඍද්ධි ඉපැදැවීමෙහි සමත් බව පිණිස), ඍද්ධියෙහි පුහුණු වූ වශීභාවය පිණිස, ඍද්ධිවිකුර්‍වණතාව පිණිස (ඍද්ධියෙන් විවිධ රූප මවනු පිණිස) මේ සතර ඍද්ධිපාදයෝ ඉතා මනා කොට පණවන ලද්දාහු ය. ඒ කවර සතර ඍද්ධිපාදයෝ ද? යත්: භවත්නි, මෙහි මහණ තෙම කර්තුකාමතා ඡන්‍දය අධිපති කොට ලත් සමාධියෙන් ද ප්‍රධානවීර්‍ය්‍යයෙන් ද සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ලැබූ සමාධියෙන් ද ප්‍රධානවීර්‍ය්‍යයෙන් ද සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. චිත්තය අධිපති කොට ලත් සමාධියෙන් ද ප්‍රධාන වීර්‍ය්‍යයෙන් ද සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. විමංසාව අධිපති කොට ලත් සමාධියෙන් ද ප්‍රධාන වීර්‍ය්‍යයෙන් ද සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. භවත්නි, මොහු වනාහි දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් ඍද්ධිප්‍රභූතාව පිණිස ඍද්ධියෙහි ප්‍රගුණ වශීභාවය පිණිස, ඍද්ධිවිකුර්‍වණතාව පිණිස, පණවන ලද සතර ඍද්ධිපාදයෝ ය. භවත්නි, අතීත කාලයෙහි යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් නොඑක්වැදෑරුම් ඍද්ධිවිධ ලැබූහු ද, ඒ සියල්ලෝ මේ සතර ඍද්ධිපාදයන් ම වැඩූ බැවින් බහුලී කෘත බැවින්, එය ලැබූහ. අනාගත කාලයෙහිත් යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධ ලබන්නාහු ද, ඒ සියල්ලෝ ම මේ සතර ඍද්ධිපාදයන් ම වැඩූ බැවින්, බහුලවශයෙන් කළ බැවින් එය ලබන්නාහ. භවත්නි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දැන් නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධ ලබත් ද, ඒ සියල්ලෝ ම මේ සතර ඍද්ධිපාද වැඩූ බැවින් බහුල වශයෙන් කළ බැවින් එය ලබත්.
“භවත් තව්තිසාවැසි දෙවියෝ මගේ ද එ බඳු වූ මේ ඍද්ධ්‍යනුභාවය දකිත් ද?” යි (සනත් කුමාර ඇසී ය.)
“එසේ ය, මහාබ්‍රහ්මයෙනි” යි දෙව්හු කීහ.
“භවත්නි, මම් ද මේ සතර ඍද්ධිපාදයන් වැඩූ බැවින්, බහුල වශයෙන් කළ බැවින් මෙසේ මහර්ද්ධි ඇති යෙම්, මෙසේ මහානුභාව ඇතියෙම් වෙමි” යි (සනත්කුමාර කී ය).
වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම මෙ කරුණ කී ය. වහන්ස, සනත්කුමාර බඹ තෙම මෙ කරුණ කියා තව්තිසාවැසි දෙවියන් අමතා මෙය පැවැසී ය:
අවකාශාධිගමයෝ
19. භවත් තව්තිසාවැසි දෙවියෝ එය කිමෙකැ යි සිතත් ද? දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධෝත්තමයන් වහන්සේ විසින් සුව ලබනු පිණිස මේ අවකාශාධිගම (ඉඩ ලැබෙන මාර්‍ග) තුනෙක් ම දැන වදාරන ලදි. කවර තුනෙක් ද? යත්: භවත්නි, මෙහි එක්තරා පුරුෂයෙක් කාමයන් හා යෙදුණු සිතැත්තේ අකුසල් දහමුන් හා යෙදුණු සිතැත්තේ වෙසෙයි. හේ පසු කලෙක ආර්‍ය ධර්‍මය (බුදුරජුන් වදාළ බණ) අසයි, එය (ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියට) උපාය (මාර්‍ගය) වශයෙන් මෙනෙහි කෙරෙයි, නවලොවුතුරා දහමට අනුලොම් දහම් වූ පූර්‍වභාග ප්‍රතිපත්තිය පිළිපදී. හේ ආර්‍ය්‍ය ධර්‍මය ඇසීම ද යෝනිසෝමනස්කාරය ද ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ද නිසා කාමයන් හා නොයෙදුණු සිතැති ව අකුශලධර්‍මයන් හා නොයෙදුණු සිතැති වැ වෙසෙයි. කාමයන් හා නොයෙදුණු සිතැති, අකුශල ධර්‍මයන් හා නො යෙදුණු සිතැති ඔහුට පළමු දහන් සුව පහළ වෙයි. පළමු දහන්සුව හේතුයෙන් (දහන් සමවත්හි යෙදී ඉඳීමෙන්) වඩාත් සොම්නස උපදී. භවත්නි, යම් සේ සතුටින් බලවත් සොම්නස උපදනේ ද, එසේ ම කාමයන් හා නොයෙදුණු, අකුසල් දහමුන් හා නොයෙදුණු තැනැත්ත හු ට සුවයෙක් උපදී, සුවයෙන් වඩාත් සොම්නස උපදී. භවත්නි, දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් සුව ලබනු පිණිස මේ පළමු වන අවකාශාධිගමය දැන වදාරන ලද්දේය.
භවත්නි, තව ද මෙහි එක්තරා කෙනකුගේ ඖදාරික වූ කායසංස්කාරයෝ නොසංසිඳුණාහු වෙත් ද, ඖදාරික වූ වාක්සංස්කාරයෝ නොසංසිඳුණාහු වෙත් ද, ඖදාරික චිත්ත සංස්කාරයෝ නො සංසිඳුණාහු වෙත් ද හේ පසු කාලයෙහි ආර්‍ය්‍යධර්‍මය අසයි, එය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියට උපාය වශයෙන් මෙනෙහි කරයි. ධර්‍මානුධර්‍මය (නව ලොවුතුරා දහමට අනුලොම් දහම්වූ පූර්‍වභාගප්‍රතිපත්තිය) පිළිපදී. ආර්‍ය්‍යධර්‍මශ්‍රවණයද යෝනිසෝමනස්කාරය ද ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ද නිසා ඔහුගේ ඖදාරික වූ කායසංස්කාරයෝ සංසිඳෙත්, ඖදාරික වූ වාක්සංස්කාරයෝ සංසිඳෙත්, ඖදාරික වූ චිත්තසංස්කාරයෝ සංසිඳෙත්. ඖදාරික කායසංස්කාරයන් සංසිඳීමෙන් ඖදාරික වාක්සංස්කාරයන් සංසිඳීමෙන්, ඖදාරික චිත්තසංස්කාරයන් සංසිඳීමෙන් (නිරෝධ සමාපත්තියෙන් නැඟීසිටුනා) ඔහුට (චතුර්‍ත්‍ථධ්‍යානික ඵලසමාපත්ති) සැපය උපදී. (එයින් නැඟී සිටි ඔහුට) මතු මත්තෙහි, සොම්නස උපදී. භවත්නි, දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සුව ලබනු පිණිස දැන වදාරන ලද මේ දෙවෙනි අවකාශාධිගමය යි.
භවත්නි, තව ද මෙහි එක්තරා පුඟුලෙක් ‘මේ කුසල යැ’ යි තත් වූ පරිදි නො දනී. ‘මේ අකුසලැ’ යි තත් වූ පරිදි නොදනී. මේ නිවැරදිය, මේ වැරැදි ය, මේ සෙවියැ යුතු ය, මේ නොසෙවිය යුතු ය, මේ පහත් ය, මේ උතුම් ය, මේ කුශලාකුශල සප්‍රතිභාගධර්‍ම යැ යි තත්ත්‍වාකාරයෙන් නො දනී. හේ පසුකාලයෙහි ආර්‍ය්‍යධර්‍මය අසයි, එය ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියට උපාය වශයෙන් මෙනෙහි කරයි. නවලොවුතුරා ද මට අනුලොම් වූ ධර්‍මය පිළිපදී. හෙ තෙම ආර්‍ය්‍ය ධර්‍මය ඇසීම ද, යෝනිසෝමනස්කාරය ද, ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ද නිසා ‘මේ කුසලැ’යි තත් වූ පරිදි දැන ගනී. ‘මේ අකුසලැ’ යි තත් වූ පරිදි දැනගනී. ‘මේ වරද සහිත යැ’ යි ‘මේ වරද රහිත යැ’ යි ‘මේ සෙවිය යුතු යැ’ යි ... ‘මේ නො සෙවිය යුතු යැ’ යි ... ‘මේ හීන යැ’ යි ... ‘මේ ප්‍රණීත යැ’ යි ‘මේ කුශලාකුශල සප්‍රතිභාග ධර්‍ම යැ’ යි තත් වූ පරිදි දැන ගනී. මෙසේ දන්නා, මෙසේ දක්නා ඔහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. අවිද්‍යාව පහ වීමෙන් විද්‍යාව ඉපැදීමෙන් සුවය පහළ වේ. සුවය පහළ වීමෙන් වඩාත් (මතු මත්තෙහි) සොම්නස උපදී. භවත්නි, යම් සේ සතුටින් බලවත් සොම්නස උපදී ද, එසේ ම අවිද්‍යාව පහ වීමෙන් විද්‍යාව (රහත්මඟනුවණ පහළ වීමෙන් රහත්මඟ පල සුව) පහළ වේ. ඒ සුවය පහළ වීමෙන් (සමවතින් නැඟී සිටියාහට) මතු මත්තෙහි සොම්නස උපදී. භවත්නි, මේ වනාහි දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් සුව ලබනු පිණිස දැන වදාරන ලද තෙවෙනි අවකාශාධිගමය යි.
භවත්නි, මේ වනාහි දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සුව ලබනු පිණිස දැන වදාරන ලද අවකාශාධිගම තුන යැ. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම මෙ කරුණ පැවැසී ය. හේ මෙ කරුණ පවසා, තව්තිසා වැසි දෙවියන් බණවා මෙසේ කී ය:
සිහිවටන්
20. භවත් තව්තිසාවැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් (මාර්‍ගඵල) කුශල ප්‍රතිලාභය පිණිස මේ සතර සීවටන්හු කොතරම් මැනැවින් පණවා වදාරන ලදහු ද! ඒ කවර සතර දෙනෙක් ද? යත්: භවත්නි, මෙහි මහණ තෙම තමාගේ කයෙහි කායානුපස්සනාව කරන සුලු වූයේ කෙලෙස් තවන වැර ඇතියේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ සිහි ඇත්තේ, (කාය සංඛ්‍යාත) ලෝකය කෙරෙහි අභිධ්‍යාව ද දොම්නස ද මැඩ වෙසෙයි. ආධ්‍යාත්මික කයෙහි කායානුපස්සී ව වසනුයේ එහි මොනොවට සිත පිහිටුවයි (සිත එකඟ කෙරෙයි). (එසේ වූ ඔහු) සිත මොනොවට පහදී. හේ එහි මොනොවට සමාධිගත වූයේ මොනොවට පහන් වූයේ බැහැරැ අනුන්ගේ කයෙහි (අනුන්ගේ කය අරමුණු කොට) දර්‍ශනඥානය උපදවයි.
තමා කෙරෙහි වූ වේදනාවන්හි වේදනානුපස්සී ව ... වෙසෙයි පිටත්හි අනුන්ගේ වේදනාවන්හි දර්‍ශනඥානය උපදවයි.
තමාගේ සිතෙහි චිත්තානුපස්සී වැ වෙසෙයි. පිටත්හි අනුන්ගේ සිත්හි දර්‍ශනඥානය උපදවයි.
අධ්‍යාත්මයෙහි (නාමසන්තානගත) ධර්‍මයන්හි ධර්‍මානුපස්සී ව කෙලෙස් තවන වැර ඇත්තේ සම්‍යක්ප්‍රඥායෙන් දන්නේ, සිහි ඇත්තේ, ධර්‍ම සංඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යා ද දොම්නස් ද බැහැර කොට වෙසෙයි. අධ්‍යාත්මයෙහි ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වසන්නේ එහි මොනොවට සිත පිහිටුවයි. (එයින්) එහි මොනොවට සිත පහදී. හේ එහි මොනොවට සමාහිත (එකඟ සිතැති) වූයේ මොනොවට පහන් වූයේ පිටත් හි අනුන්ගේ (නාමසන්තානගත) ධර්‍මයන් කෙරෙහි දර්‍ශනඥානය උපදවයි. භවත්නි, මොහු වනාහි දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කුසල් දහම් පිළිලබනු පිණිස පණවන ලද සතර සීවටන්හු ය.
වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම මෙ කරුණ සැළ කෙළේ ය. වහන්ස, සනත් කුමාර බ්‍රහ්ම මෙ කරුණ සැළ කොට, තව්තිසාවැසි දෙවියන් බණවා මෙය කී ය.
සමාධිපරිෂ්කාරධර්‍ම
21. භවත් තව්තිසාවැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සම්‍යක් සමාධිය වඩනු පිණිස සම්‍යක්සමාධිය පිරිපුන් කරනු පිණිස, මේ සම්‍යක්සමාධිපරිෂ්කාර ධර්‍මයෝ (පරිවාර ධර්‍මයෝ) සත් දෙනෙක් කොතරම් මනා කොට පණවන ලද්දා හු ද! ඒ කවර සත් දෙනෙක් ද? යත්: සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක්සංකල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘතිය යන මොහු ය.
භවත්නි, මේ සත් අංගයන් විසින් යම් සිත එකඟ බවෙක් පිරිවරන ලද ද, භවත්නි, ඒ මේ ආර්‍ය්‍ය සම්‍යක් සමාධිය උපනිඃශ්‍රය සහිත යැ යි ද පරිවාර සහිත යැ යි ද කියනු ලැබේ. භවත්නි, සම්‍යක්දෘෂ්ටියෙහි පිහිටියාහට සම්‍යක්සංකල්පය පවතී, සම්‍යක් සංකල්පය ඇත්තාහට සම්‍යග්වචනය පවතී, සම්‍යග්වචනය ඇත්තහුට සම්‍යක්කර්‍මාන්තය පවතී, සම්‍යක්කර්‍මාන්තය ඇත්තහුට සම්‍යගාජීවය පවතී, සම්‍යගාජීවය ඇත්තහුට සම්‍යග්ව්‍යායාමය පවතී, සම්‍යග්ව්‍යායාමය ඇත්තහුට සම්‍යක්ස්මෘතිය පවතී, සම්‍යක්ස්මෘතිය ඇත්තහුට සම්‍යක් සමාධිය පවතී, සම්‍යක් සමාධිය ඇත්තහු ට සම්‍යග් ඥානය පවතී, සම්‍යග් ඥානය ඇත්තහු ට සම්‍යග්විමුක්තිය පවතී, භවත්නි, යමක් පිළිබඳ වැ මනා කොට කියන තැනැත්තේ, “මේ ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද්දේ ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ‘එව බලව’ යි දැක්විය යුත්තේ ය, සිය සතන්හි එළැවියයුත්තේ ය, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙ හි ලා දත යුත්තේ ය, අමා දොරවල් අරනා ලදුහ” යි කියන්නේ නම්, හේ මේ දහම පිළිබඳ වැ ම ය. ‘භවත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මොනොවට වදාරන ලද්දේ ය, එය සාන්දෘෂ්ටික ය, අකාලිකය, එව බලව යි දැක්විය යුත්තේ ය, සිය සතන් හි එළැවිය යුත්තේ ය, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තේ ය, අමා දොරවල් අරනා ලදුහ” යි මනා කොට කියන තැනැත්තේ මෙය කියන්නේ ය.
භවත්නි, යම් කෙනෙක් බුදුරජුන් කෙරෙහි දැන පැහැදීමෙන් යුක්ත ද, දහම් කෙරෙහි දැන පැහැදීමෙන් යුක්ත ද, සඟන කෙරෙහි දැන පැහැදීමෙන් යුක්ත ද, ආර්‍ය්‍යකාන්ත (ආර්‍ය්‍යයන් විසින් මැනැවැ යි සම්මත වූ) ශීලයන්ගෙන් සමන්‍විත ද, තව ද යම් කෙනෙක් ආර්‍ය්‍ය මාර්‍ගධර්‍මයෙහි හික්මුණාහු ඕපපාතික උත්පත්තිය ලැබූ, මගධ රටැ වුසූ, තුන් සංයෝජනයන් නසා ලීමෙන් සෝවාන් වූ, අපායකට නොවැටෙන සුලු, රහත් බවට නියත වූ, රහත්ඵලය පිහිට කොටැති, සමීප අතීතයෙහි කලුරිය කළ උවසුවෝ අතිරේකයක් සහිත සූවිසි ලක්‍ෂයෙක් වෙත්. මෙහි සෙදැගැමිහු ද, ඇත.
“ශුද්ධාවාසයෙහි උපදනට හේතු වූ පුණ්‍ය භාග (පින් කොටස්) ඇති බැවින් එහි උපන් අනාගාමී හු දැ යි යන මේ තවත් සත්ත්‍ව කෙනෙක් ද ඇත යනු මගේ හැඟීම යි. මුසවා කෙරෙන් බිය වන්නෙම් ඔවුන් ගණනින් නියම කොට කියන්නට නොහැක්කෙමි.”
22. වහන්ස, මෙ කරුණ සනත්කුමාර බ්‍රහ්ම පැවැසී. වහන්ස, මෙ කරුණ පවසන සනත්කුමාර බඹහුගේ වචනය අසා වෙසමුණු මහරජුට “භවත්නි, ආශ්චර්‍ය්‍යයෙක! භවත්නි, පුදුමයෙක! මෙ බඳු වූත් උදාර ශාස්තෘවරයෙක් වේ ද! මෙබඳු වූත් උදාර ධර්‍මකථාවෙක් වේ ද! මෙබඳු මහත් විශේෂාධිගම කෙනෙක් පැණෙත් දැ!” යි මෙසේ චිත්තසංකල්පනාවෙක් උපන. වහන්ස, ඉක්බිත්තෙන් සනත්කුමාර බ්‍රහ්ම තෙම සිය සිතින් වෙසමුණු මහරජුගේ චිත්තපරිවිතර්‍කය දැන ඔහුට “පින්වත් වෙසවුණු මහරජාණෝ එය කිමැ යි සිතත් ද? ඉකුත් කල්හිත් මෙ බඳු උදාර ශාස්තෘවරයෙක්, මෙ බඳු උදාර ධර්‍මකථාවෙක් වී ය. මෙබඳු උදාර විශේෂාධිගම කෙනෙක් පැනුණාහු ය, මතු කල්හිත් මෙබඳු උදාර ශාස්තෘවරයෙක්, මෙබඳු උදාර ධර්‍මකථාවෙක් වන්නේ ය. මෙබඳු උදාර විශේෂාධිගම කෙනෙක් පැනෙන්නාහු යැ” යි මෙ බස් පැවැසී ය.
23. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියනට මෙ කරුණ පැවැසී ය. වෙසවුණු මහරජ තව්තිසා වැසි දෙවියනට මෙ කරුණ කියන සනත්කුමාර බඹුහුගේ වචනය අසා, ඔහු හමුයෙහි අසන ලද්ද, ඔහු හමුයෙන් අසා පිළිගන්නා ලද්ද තෙමේ සිය පිරිසෙහි දැන්වී ය. තම පිරිසෙහි මෙ කරුණ කියන වෙසවුණු මහරජුගේ වචනය ඔහු හමුයෙහි අසන ලද්ද, ඔහු හමුයෙන් පිළිගන්නා ලද්ද ජනවසභ යක් තෙමේ භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ කියන ජනවසභ යක්‍ෂයාගේ වචනය අසා, ඔහු වචනය පිළිගෙන, තමන් වහන්සේ ද (සිය නුවණින් බලා) වෙසෙසින් දැන, අනඳ තෙරුනට දැන්වූ සේක. අනඳ තෙරණුවෝ මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙන් අසා, හමුයෙහි දී පිළිගෙන, “ඒ මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය යම්තාක් කල් දෙව් මිනිසුන් විසින් මොනොවට ප්‍රකාශිත වන්නේ ද, ඒ තාක් ම වැඩුණේ ද සමෘද්ධ ද පතළේ ද බොහෝ දෙනා අතරැ ප්‍රසිද්ධ ද ස්ථිර ද වේ යැ මහණුනට මෙහෙණිනට උවසුවනට උවැසියනට සැළ කළහ.
පස්වන ජනවසභ සූත්‍රය නිමියේ ය.
6.
මහාගෝවින්‍ද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට නොදුරු තන්හි වූ ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන සේක. එ කලා පන්සිළු නම් ගඳැවු පුත් රෑ බොහෝ වේලා ඉක්මි කල, (මැදුම් රැයෙහි) ඉතා දැකුම් කලු පැහැ සපුව ඇත්තේ, ගිජුකුළු පව්ව මුළුල්ල බබුළුවා භගවත් බුදුරජුන් කරා එළැඹියේ ය. එළැඹැ, ආදරයෙන් ඔබ වැඳ එක් පසෙක සිටියේ ය. පන්සිළු ගඳැවුපුත් (එසේ) එක් පසෙක සිටියේ ම, “වහන්ස, තව්තිසා වැසි දෙවියන් හමුයෙන් යම් කරුණෙක් මා විසින් අසන ලද ද, (ඔවුන් හමුයෙන්) අසා පිළිගන්නා ලද ද, එය භාග්‍යවතුන් වහන්සේට සැළ කෙරෙමි” යි කී ය. “පන්සිළුවෙනි, තෙපි එය මට දන්වවු” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
දෙව් සබය
2. “වහන්ස, පෙර දවසැ, බොහෝ පෙර දවසැ, ඒ පසොළොස් වක් පොහෝ දිනැ, වස් පවාරණය ඇති, පිරුණු පුණුපොහෝ දා රැයෙහි තව්තිසාවැසි සියලු දෙවියෝ සුදම් දෙව් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත්. මහත් දෙව් පිරිස්හු ද හාත්පසැ එක් වැ හුන්නාහු එක් රැස්වූවාහු වෙත්. සතර වරම් දෙව් මහ රජු ද සතර දිගැ හුන්නාහු වෙත්. ධෘතරාෂ්ට්‍ර මහරජ දෙවියන් පෙරටු කොට පෑළ දිගට මුහුණ ලා පෙරදිග්හි හුන්නේ වෙයි. විරූඪක මහ රජ දෙවියන් පෙරටු කොට උතුරු දිගට මුහුණ ලා දකුණු දිග්හි හුන්නේ වෙයි. විරූපාක්‍ෂ මහරජ දෙවියන් පෙරටු කොට පෙර දිගට මුහුණ ලා පෑළ දිගැ හුන්නේ වෙයි. වෙසවුණු මහරජ දකුණු දිගට මුහුණ ලා දෙවියන් පෙරටු කොට උතුරු දිග්හි හුන්නේ වෙයි. වහන්ස, යම් කලෙක තව්තිසා වැසි සියලු දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත් ද, මහත් දෙව් පිරිස්හු හාත්පසැ එක් වැ හුන්නාහු, එක්රැස් වූවාහු වෙත් ද, සතර වරම් මහරජහුත් සතර දිගැ හුන්නාහු වෙත් ද, මේ ඔවුන්ගේ අසුන් වේ. එක්බිති ඔවුනට පසු භාගයෙහි අපගේ අසුන් වෙයි. වහන්ස යම් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙතැ බඹසර කොට තව්තිසා දෙව් මුළුවට (උත්පත්ති විසින්) අළුත පැමිණියාහු වෙත් ද, ඔහු පැහැ සපුයෙනුත් යසසිනුත් සෙසු දෙවියන් ඉක්මා බබලත්. වහන්ස, එයින් තව්තිසා වැසි දෙවියෝ ‘භවත්නි, ප්‍රීතියෙක! දෙව්මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්’යි සතුටු සිතැත්තාහු ප්‍රමුදිත වූවාහු, හටගත් ප්‍රීති හා සොම්නස් හා ඇත්තාහු වෙත්.
3. වහන්ස, එ කල්හි සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන්ගේ පහන් බව දැන, මේ ගාථාවලින් ඔවුන්ගේ සතුට මෙසේ අනුමොවන් විය:
“භවත්නි, ප්‍රීතියෙක! ඉන්‍ද්‍රයා සහිත වූ තව්තිසා වැසි දෙවියෝ තථාගතයනට ද ධර්‍මයාගේ සුධර්‍මත්‍වයට ද නමස්කාර කරනුවෝ,
‘සුගතයන් වහන්සේ වෙතැ බඹසර හැසිරැ මෙහි ආ පැහැපත් යසස් ඇති අළුත් දෙවියන් ද දක්නාහු සතුටු වෙත්.
මෙහි ගුණවිශේෂයට පැමිණි මහ පැණැති බුදුරජුන්ගේ සවු වූ ඔහුතුමූ පැහැයෙන් ද යසසින් ද ආයුෂයෙන් ද අන් දෙවියන් ඉක්මා බබලත්.
ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසියෝ මෙය දක, තථාගතයන් වහන්සේ ද ධර්‍මයාගේ සුධර්‍මත්‍වය ද නමදනාහු සතුටු වෙත්’ යැ යි කීය.
වහන්ස, එ කරුණින් තව්තිසා වැසි දෙවියෝ ‘භවත්නි, ප්‍රීතියෙක! දෙව්මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්!’ යැ යි බෙහෙවින් සතුටු වෙත්, ප්‍රමුදිත වෙත්, හටගත් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වෙත්.
ඇති ගුණ වැනුම් අට
4. වහන්ස, ඉක්බිති සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන්ගේ පැහැදීම දැන, ඔවුන් බණවා, ‘භවත් නිදුකාණනි, තෙපි භගවත් බුදුරජුන්ගේ විද්‍යමාන වූ ම ගුණ අට අසන්නට කැමැති වන්නහු ද?’ යි විචාළේ ය.
“නිදුකාණෙනි, අපි ඒ භගවත් බුදුරජුන්ගේ විද්‍යමාන වූ ගුණ අට අසනු රිස්සම්හ’ යි දෙවියෝ කීහු.
වහන්ස, ඉක්බිති සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියනට භාග්‍යවතුන් වහන්සේගේ විද්‍යමාන වූ ම ගුණ අට මෙසේ පැවැසී ය:
“භවත් තව්තිසාවැසි දෙවියනි, එය කිමැ යි සිත වූ ද? ඒ භගවත්හු කොතරම් බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස පිළිපන් සේක් ද යත හොත්: මෙසේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස පිළිපන් මෙ කී අංගයෙන් ද සමන්‍විත අන් ශාස්තෘවරයෙකු ඒ භගවත් බුදුරජුන් හැර අතීතයෙහි ද නො දකිමු, දැනුදු නො දකිමු. (1)
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මොනොවට වදාරන ලද්දේ ය, එය තමන් විසින් ම දැක්ක යුත්තේ ය, කල් නො යාදී ම දෙන ඵල ඇත්තේ ය, ‘එව බලව’යි (තමා දකිනුවට) අනුන් කැඳවනුයෙහි සුදුසු යැ, තමන් සිත් සතන් හි එළවා දැක්ක යුතු යැ, නුවණැතියන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු යැ. මෙසේ තම තමන් සිත් සතන් හි එළවා දැක්ක යුතු දහමක් දෙසන, මෙ මැ අංගයෙන් ද සමන්‍විත ශාස්තෘවරයක්හු, ඒභාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිද නොදකිමු, දැනුදු නො දකිමු. (2)
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කුසල් යැ’ යි ම මොනොවට පනවන ලදි, මේ අකුසසල් යැ’ යි ම මොනොවට පනවන ලදි, මේ වරද සහිත යැ ... මේ වරද රහිත යැ ... මේ සෙවිය යුතු යැ ... මේ නො සෙවියැ යුතු යැ ... මේ ලාමක යැ ... මේ උතුම් යැ ... මේ කෘෂ්ණ ගුක්ල (කුශලාකුශල) ධර්‍මයනට සමාන ධර්‍ම යැ යි මොනොවට පනවන ලදි. මෙසේ කුශලාකුශල සාවද්‍යා නවද්‍ය සේවිතව්‍යාසේවිතව්‍ය හීනප්‍රණීත කෘෂ්ණ ගුක්ල සප්‍රතිභාග ධර්‍මයන් පණවන, මෙ කී අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයකු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි දු නො දකිමි, දැනුදු නො දකිමි. (3)
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට නිවන් යන පිළිවෙත මොනොවට පනවන ලදී. යම් සේ ගඟැ දිය යමුනාහි දිය හා සැසැඳේ ද, එසේ ම නිවන ද පිළිවෙත ද සැසැඳෙයි. මෙසේ ම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට නිවන් යන පිළිවෙත මොනොවට පනවන ලද්දේ යැ, ඒ නිවන ද පිළිවෙත ද සැසැඳෙයි. මෙසේ නිවන් යන පිළිවෙත පනවන, මේ අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි දු දැනුදු නො දකිමු. (4)
ඒ භාග්‍යවතුන් වහන්සේට ප්‍රත්‍යයලාභ වෙසෙසින් උපන, කීර්තිය වෙසෙසින් උපන, ක්‍ෂත්‍රියයන් පටන් කොට සියලු දිව්‍යමනුෂ්‍යයෝ ඔබ ප්‍රිය කරන සුලු වැ වෙසෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේ පහ වූ මද ප්‍රමාද ඇති සේක් අහර ගන්නා සේක. මෙසේ පහ වූ මද ප්‍රමාද ඇති වැ අහර ගන්නා, මෙ කී අංගයෙන් ද සමන්‍විත වූ ශාස්තෘවරයකු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො ම දකිමු, දැනුදු නො ම දකිමු. (5)
ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිවෙත්හි සිටි ශෛක්‍ෂයන්ගේ ද වැස නිමැවූ බඹසර ඇති රහතුන්ගේ ද (ඒ ඒ ශාස්තෘකෘත්‍යයෙහි) සහායත්‍වය ලද සේක. භාග්‍යවතුන් වහන්සේ (ඔවුන් මැද දී ද, පලසමවතින් වසන සේක්) සිතින් ඔවුන් බැහැර කොට ඒකාරාමතායෙහි යෙදීත් වසන සේක. මෙසේ ඒකාරාමතායෙහි යෙදුණු මෙ කී අංගයෙනුත් සමන්‍විත, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අන් ශාස්තෘවරයක්හු අතීතයෙහිත් නො දකිමු, දැනුත් නො දකිමු. (6)
ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් සේ වදාරන සේක් ද එසේ ම කරන කෙනෙක, යම් සේ කරන සේක් ද, එසේ ම වදාරන සේක. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ යථාවාදී තථාකාරී ද යථාකාරී තථාවාදීද වන සේක. මෙසේ ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වූ මේ අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයක් හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො දකිමු, දැනුදු නො දකිමු. (7)
ඒ භාග්‍යවතුන් වහන්සේ උතුමනට නිඃශ්‍රය වූ ආර්‍ය්‍ය මාර්‍ගයෙන් තිණු විචිකිච්ඡා ඇති (සැක දුරැලූ) සේක්, පහ වූ කථංකථා ඇති (කෙසේ ද කෙසේ දැ යි යන විමතිය දුරැලූ) සේක්, අවසන් කළ මනෝරථය ඇති සේක් වෙති. මෙසේ උත්තම නිඃශ්‍රිත ආර්‍ය්‍ය මාර්‍ගයෙන් තිණු සැක ඇති, පහ වූ කථංකථා ඇති, පරිපූර්‍ණ මනෝරථ ඇති, මෙ කී අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො දකිමු, දැනුදු නො දකිමු. (8)
5. වහන්ස, සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියනට භාග්‍යවතුන් වහන්සේගේ මේ යථාභූත ගුණ අට පැවැසී ය. වහන්ස, තව්තිසා වැසි දෙවියෝ භාග්‍යවතුන් වහන්සේගේ යථාභූත ගුණ අට අසා, එයින් බොහෝ සෙයින් සතුටු වෙත්, ප්‍රමුදිත වෙත්, උපන් ප්‍රීති සොම්නස් ඇත්තාහු වෙත්.
වහන්ස, එහි ඇතැම් දෙවි කෙනෙක් “නිදුකාණනි, සතර නමක් බුදුවරු ලොවැ උපදනාහු නම්, අප භාග්‍යවතුන් වහන්සේ මෙන් දහම් දෙසන්නාහු නම් ඉතා යෙහෙක. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස වන්නේ යැ” යි මෙසේ කීහ.
ඇතැම් දෙවි කෙනෙක් “නිදුක් වරිනි, සතර නමෙක් සම්මාසම්බුදුහු සිටිත් වා. තුන් නමෙක් සම්මාසම්බුදුවරු ලොවැ උපදනාහු නම්, අප භාග්‍යවතුන් වහන්සේ මෙන් දහම් දෙසන්නාහු නම්, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට වැඩ පිණිස භිත පිණිස සුව පිණිස වන්නේ යැ” යි මෙසේ කීහ.
ඇතැම් දෙවි කෙනෙක්, “නිදුක්වරිනි, තුන් නමෙක් සම්මාසම්බුදුහු සිටිත් වා. නිදුක්වරිනි, දෙනමෙක් සම්මාසම්බුදුහු ලොවැ උපදනාහු නම්, අප භාග්‍යවතුන් වහන්සේ මෙන් දහම් ද දෙසන්නාහු නම්, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වන්නේ යැ” යි මෙසේ කීහ.
6. වහන්ස, මෙසේ කී කල්හි සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් බණවා, “නිදුක්වරිනි, එක් ලෝකධාතුවෙක රහත් සම්මාසම්බුදුහු දෙනමෙක් ඉදිරි පසු නොවැ (එක් විට ම) පහළ වන්නාහු ය යන මෙය නො කරුණෙකි, අවකාශ නැත්තෙකි (නො වියැ හැක්කෙකි). මේ කරුණ විද්‍යමාන නො වේ. නිදුක්වරිනි, ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලක් දික් කලක් ලෙඩ නැති වැ නිරෝග වැ වැඩ සිටුනා සේක් වී නම් ඉතා යෙහෙක. එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වන්නේ යැ” යි මෙ බස් පැවැසී ය.
වහන්ස, එයට පසු, යම් කරුණෙකින් (යම් පවාරණ සංග්‍රහයක් පිණිස) තව්තිසා වැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත් ද, එ කරුණ සිතා, එ කරුණ සාකච්ඡා කොට, එ කරුණෙහි සිවුවරම් දෙව්රජුහු සිය සිය අසුන්හි සිටියාහු, (ඒ දෙවියන් විසින්) කියන ලද වචන ඇත්තාහු (ඒ දෙවියන් කී බස් පිළිගත්තාහු ම අනුසස්නා ලද වචන ඇත්තාහු (දෙවියන්ගේ අනුශාසනය පිළිගත්තාහු) ම එ තැනින් නික්මැ නොගියාහු සිය සිය අසුන්හි ම හුන්නාහු වෙත්.
“කියන ලද වචන ඇති ඒ මහරජුහු අනුශාසනය පිළිගෙන, වෙසෙසින් පහන් සිතැත්තාහු සිය අසුන්හි රැඳුණාහ.”
7. වහන්ස, ඉක්බිත්තෙන් උතුරු දෙසැ දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ ම මහත් එළියෙක් උපන, මහත් අවහාසයෙක් පහළ විය.
එ කල්හි, වහන්ස, සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් බණවා, “නිදුක්වරිනි, යම් සේ පෙර නිමිතිනු දක්නා ලැබෙත් ද, මහත් එළියෙක් උපදීද, මහත් අවභාසයෙක් පහළ වේ ද, එ නිමිත්තෙන් බ්‍රහ්ම තෙම පහළ වන්නේ ය. මේ එළියෙක් උපදී, අවභාසයෙක් පහළ වෙයි යන යමෙක් ඇද්ද, මෙය බ්‍රහ්මයාගේ පහළ වීමට පෙර නිමිති වේ”යැ යි කී ය.
“යම් සේ පෙර නිමිතීහු දක්නා ලැබෙත් ද එසේ බ්‍රහ්ම තෙම පහළ වන්නේ ය. පැතුරුණු මහත් අවභාසය (එළිය) යන මෙය බඹහුගේ පහළ වීමට පෙර නිමිත්ත ය.”
සනත්කුමාර කථාව
8. වහන්ස, ඉක්බිත්තෙන් තව්තිසා වැසි දෙවියෝ “මේ ආලෝකය දැන ගන්නමු, මේ ආලෝකය යම් ඵලයක් ඇතියෙක් වන්නේ ද, එය දැන ගෙන ම යන්නමෝ” යි තම තමනට පැමිණි අසුන්හි හුන්හ. සතර වරම් මහ රජුහු ද මේ ආලෝකය දෑනගන්නමු. මෙය යම් ඵල ඇතියෙක් වන්නේ ද, එය සියැසින් දැක ම යන්නමු” යි තම තමනට පැමිණි අසුන්හි හුන්නාහ. මෙය අසා තව්තිසා වැසි දෙවියෝ ‘මේ ආලෝකය දැනගන්නමු, මෙය කිසි යම් ඵලයක් පහළ කරනුයේ වන්නේ නම් එය ද දැන ගෙන ම යන්නමෝ’ වේ ද යි එකඟ සිතැත්තෝ වූහ.
වහන්ස, යම් විටෙක සනත්කුමාර බඹ තෙම තව්තිසා වැසි දෙවියන් අතරැ පහළ වන්නේ ද, එ විට හෝ දළ අත් බවක් ම (දැඩි සිරුරක් ම) මවා ගෙන පහළ වෙයි. වහන්ස, බඹහුගේ යම් පියෙවි පැහැසටහනෙක් ඇද්ද එය තව්තිසා වැසි දෙවියන්ගේ ද චක්‍ෂුස්පථයෙහි නො පැමිණියැ හැකි වෙයි (ඇසින් දැක්ක නො හැකි වෙයි). වහන්ස, යම් විටෙක සනත් කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියන් අතර පහළ වේ ද, එ කලැ හේ පැහැයෙන් ද යසසින් ද අන් දෙවියන් ඉක්මැ බබළයි. වහන්ස රන්රුව මිනිස් සිරුර ඉක්මැ බබළා ද, එසේ ම, වහන්ස, යම් විටෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන් අතරැ පහළ වෙයි ද, එ විටැ හේ පැහැයෙන් ද යසසින් ද සෙසු දෙවියන් ඉක්මැ බබළයි. වහන්ස, යම් විටෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන් අතර පහළ වෙයි ද, එ විටැ එ පිරිසෙහි කිසිදු දෙවියෙක් ඔබට අභිවාදනා කරනුයේ හෝ දැක හුනස්නෙන් නැඟී සිටිනුයේ හෝ අස්නෙන් නිමතනුයේ හෝ නො වෙයි. සියල්ලෝ ම ‘දැන් සනත්කුමාර බ්‍රහ්ම තෙම යම් දෙවියකුගේ පළඟ රිසියෙන්නේ නම්, ඒ දෙවියාගේ පලඟෙහි ඉඳගන්නේ යැ’ යි නිහඬ වැ දොහොත් නමා පළඟින් හිඳිත්. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම යම් දෙවියකුගේ පලඟෙහි ඉඳගනී ද, හේ දෙවි මහත් සතුට ලබයි, හේ දෙවි මහත් සොම්නස ලබයි. වහන්ස, මුදුනැ අබිසෙස් ලත්, අළුතැ රජ බැවින් අභිෂේක ලැබූ කැත් රජෙක් වේ ද, හේ මහත් සතුටක් ලබා ද, මහත් සොම්නසක් ලබා ද, එ පරිද්දෙන් ම, වහන්ස, හේ දෙවි තෙම මහත් සතුට ලබයි, මහත් සොම්නස ලබයි.
9. වහන්ස, ඉක්බිති සනත්තුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන්ගේ පැහැදීම දැන, අතුරුදහන් ව (නො පෙනී හිඳ) මේ ගාථාවලින් අනුමෝදනා කෙළේ ය: “මෝදන්ති වත -පෙ– සුධම්මතන්ති” ගාථාවල අදහස:
“භවත්නි, ප්‍රීතියෙකි! ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද ධර්‍මයේ සුධර්‍මත්‍වයට ද නමස්කාර කෙරෙමින්,
සුගතයන් වහන්සේ වෙත බඹසර හැසිර මෙහි ආ පැහැපත් වූ, යශස් ඇති, අළුත් දෙවියන් ද දකිමින් ප්‍රමුදිත වෙත්”.
“මහ නුවණඇති බුදුරජුන්ගේ ශ්‍රාවක වූ විශේෂාධිගමයට පැමිණි ඒ දෙවියෝ වර්‍ණයෙන් ද යශසින් ද ආයුෂයෙන් ද සෙසු දෙවියන් ඉක්මා බබළත්”.
“මෙය දැක ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේ ද ධර්‍මසුධර්‍මත්‍වය ද නමදනාහු සතුටු වෙත්.”
10. වහන්ස, සනත් කුමාර බ්‍රහ්ම තෙම මේ ගාථා කී ය. වහන්ස, මෙ කරුණ කියන සනත්කුමාර බ්‍රහ්මයාගේ අටඟින් යුත් සුව සේ නික්මෙන, වහා අරුත් හෙළි කරන, මිහිරි වූ, කනට සුව එළවන, එකට කැටි වූ, නො විසිරැ පවත්නා, ගැඹුරු වූ රැව් දෙන, මෙසේ මෙ කී අංග අටින් සමන්‍විත හඬෙක් වෙයි. වහන්ස, පිරිසේ පමණට ම සනත්කුමාර බ්‍රහ්ම තෙම හඬින් දන්වයි. ඔහුගේ හඬ පිරිසෙන් පිටතට නො දනික්මෙයි. වහන්ස, යමකුට මෙසේ වූ අටඟින් යුත් කට හඬෙක් වේ ද, හේ බ්‍රහ්ම ස්වරය ඇත්තේ යැ යි කියනු ලැබේ.
11. “වහන්ස, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ සනත්කුමාර බඹහු බණවා, “මහ බඹුනි, මැනැවි. අපි මෙය ම දැන සතුටු වමු. සක් දෙවිඳු විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වැ කියන ලද ඔබ කෙරෙහි ඇති සේ වූ ම ගුණ අටෙක් විද්‍යමාන ය. අපි ඔවුන් ද දැන සතුටු වමු” යි මෙය කීහ. වහන්ස, ඉක්බිත්තෙන් සනත්කුමාර බ්‍රහ්ම තෙම සක් දෙවිඳු බණවා, “මැනැව! දෙවිඳ, අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ඒ යථාභූත ගුණ අට අසන්නමෝ වේ ද” යි කී ය.
වහන්ස, සක් දෙවිඳු ‘එසේ යැ මහ බඹුනි’ යි කියා ම සනත්කුමාර බඹහට භගවත් බුදුරජුන්ගේ යථාභූත ගුණ අට විස්තරයෙන් පැවැසී ය:
භවත් මහ බඹ තෙම එය කිමැ යි සිත යි ද? ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් මහත් ලෙස බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස පිළිපන් සේක් දැ” යි යත හොත්, මෙසේ බොහෝ දෙනාට භිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස පිළිපන්, මෙකී අංගයෙන් සමන්‍විත ශාස්තෘවරයෙක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීත කාල පරිච්ඡේදයෙහි ද දැනුදු නො ම දකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මොනොවට වදාරන ලද්දේ ය. එය තමන් විසින් ම දැක්ක යුත්තේ ය, කල් නො යා දී ම දෙන ඵල ඇත්තේ ය. ‘එව බලව’ යි (තමා දකිනුවට) අනුන් කැඳවනුයෙහි සුදුසු ය, තමන් සිත් සතන්හි එළවා දැක්ක යුතු ය, නුවණැතියන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු යැ. මෙසේ තමන් තමන් සිත් සතන් හි එළවා දැක්ක යුතු දහමක් දෙසන, මෙ මැ අංගයෙන් ද සමන්‍විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි ද නො දකිමු, දැනුදු නො දකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින්, ‘මේ කුසල්’ යි කියා ම මොනොවට පනවන ලදි. ‘මේ අකුසල්’ යි කියා ම මොනොවට පනවන ලදි. මේ වරද සහිත යැ ... මේ වරද රහිත යැ ... මේ සෙවිය යුතු යැ ... මේ නො සෙවියැ යුතු යැ ... මේ ලාමක ය ... මේ උතුම් යැ ... මේ කුශලාකුශල ධර්‍මයනට සමාන ධර්‍ම යැ යි මොනොවට පනවන ලදී. මෙසේ කුශලාකුශල සාවද්‍යානවද්‍යා සේවිතව්‍යාසේවිතව්‍ය හීනප්‍රණීත කෘෂ්ණශුක්ල සප්‍රතිභාගධර්‍මයන් පනවන, මෙ කී අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයකු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි දු නො දකිමු, දැනුදු නො දකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට නිවන් යන පිළිවෙත මොනොවට පැනැවිණ. යම් සේ ගඟැ දිය යමුනාහි දිය හා සැසැඳේද, එසේ ම නිවන ද පිළිවෙත ද සැසඳෙයි. මෙසේ ම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට නිවන් යන පිළිවෙත මොනොවට පැනැවිණ. ඒ නිවන ද පිළිවෙත ද සැසඳෙයි. මෙසේ නිවන් යන පිළිවෙත පනවන, මේ අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි දු නො දකිමු, දැනුදු නො දකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිවෙත්හි සිටි ශෛක්‍ෂයන්ගේ ද, වැස නිමැවූ බඹසර ඇති රහතුන්ගේ ද (ඒ ඒ ශාස්තෘ කෘත්‍යයෙහි) සහායත්‍වය ලද සේක. භාග්‍යවතුන් වහන්සේ (ඔවුන් මැදැ දී ද පල සමවතින් වසන සේක්) සිතින් ඔවුන් බැහැර කොට ඒකාරාමතායෙහි යෙදීත් වසන සේක. මෙසේ ඒකාරාමතායෙහි යෙදුණු මෙ කී අංගයෙනුත් සමන්‍විත, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අන් ශාස්තෘවරයක්හු අතීතයෙහිත් නො දකිමු, දැනුත් නො දකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේට ප්‍රත්‍යය ලාභ වෙසෙසින් උපන, කීර්තිය වෙසෙසින් උපන, ක්‍ෂත්‍රියයන් පටන් කොට සියලු දිව්‍යමනුෂ්‍යයෝ ඔබ ප්‍රිය කරන සුලු වැ වෙසෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේ පහ වූ මද ප්‍රමාද ඇති සේක් අහර ගන්නා සේක. මෙසේ පහ වූ මද ප්‍රමාද ඇති වැ අහර ගන්නා, මෙකී අංගයෙන් ද සමන්‍විත වූ සාස්තෘවරයකු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො ම දකිමු, දැනුදු නො ම දකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි යම්සේ වදාරන සේක් ද, එසේ ම කරන කෙනෙක. යම්සේ කරන සේක් ද, එසේ ම වදාරන කෙනෙක මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ යථාවාදී තථාකාරී ද යථාකාරී තථාවාදී ද වන සේක. මෙසේ ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වූ මේ අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයක් හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො දකිමු, දැනුදු නො ම දකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ උතුමනට නිඃශ්‍රය වූ ආර්‍ය්‍යමාර්‍ගයෙන් තිණු විචිකිච්ඡා ඇති සේක, පහ වූ කථංකථා ඇති සේක, නිම කළ මනෝරථය ඇති සේක. මෙ කී අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො දකිමු, දැනුදු නො දකිමු.”
10. වහන්ස, සක් දෙවිඳු සනත්කුමාර බඹහට භාග්‍යවතුන් වහන්සේගේ මේ යථාභූත ගුණ අට විස්තරයෙන් පැවැසී ය. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම භාග්‍යවතුන් වහන්සේගේ යථාභූත ගුණ අට අසා, එයින් බොහෝ සෙයින් සතුටු වෙයි, හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ වෙයි. වහන්ස, ඉක්බිත්තෙන් සනත්කුමාර බ්‍රහ්ම තෙම දළ අත් බවක් මවා ගෙන පන්සිළු ඇති වැ තව්තිසා වැසි දෙවියන් අතර පහළ විය. හේ අහස් නැඟ අන්තරීක්‍ෂ ආකාශයෙහි පළඟින් හුන්නේ ය. වහන්ස, ශක්තිමත් පුරුෂයෙක් මෙනාවට පසතුරුණු අතුළ පළඟෙක හෝ සම බිම් පෙදෙසෙක හෝ පළක් බැඳ හිඳුනේ ද, වහන්ස, එසේ ම සනත් කුමාර බඹ තෙම අහස් නැඟ අන්තරීක්‍ෂ අකාශයෙහි පළඟින් හිඳ තව්තිසා වැසි දෙවියන් අමතා මෙසේ කී ය: