Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 2701-2800 න් 5108

4. අනඳයෙනි, මහසුදසුන් රජ සත් රුවනින් ද සතර ඉදුහයෙන් ද යුත් විය. කවර සත් රුවනෙකින් ද? යත්: අනඳයෙනි, ඒ පසොළොස් වක් පොහෝ ද (සුවඳදියෙන්) හිස් සෝදා නා සමාදන් වූ පෙහෙවස් ඇති ව මහඟු පහයැ මතු මහල්තලයට පැමිණි මහසුදසුන් රජුට දහසක් අර ඇති නිම්වළලු සහිත, නැබ මඬුලු සහිත, මෙසේ සියලු අයුරින් පිරිපුන් දෙව් සක් රුවන පහළ විය. එය දැක්මෙන් මහසුදසුන් රජහට මේ සිත විය, “පුණු පසළොස්වක් පොහෝ දිනැ ඉස් සෝ දා නා පෙහෙවස් සමාදන් කොට ගෙන පහයැ මතු මහල් තලයට පැමිණැ උන් මුදුනැ අබිසෙස් ලත් යම් කැත් රජක්හට දහසක් අර ඇති නිම්වළලු සහිත නැබ මඬුලු සහිත මෙසේ සියලු අයුරින් පිරිපුන් දෙව් සක්රුවන පහළ වන්නේ නම් ඔහු සක්විති රජු වෙති යි මෙය මා විසින් අසන ලද්දේ ම ය. මම් සක්විති වන්නෙම් දෝ?” යනු යි.
5. අනඳයෙනි, ඉක්බිත්තෙන් මහ සුදසුන් රජ හුනස්නෙන් නැඟීසිට උතුරුසඟ එකස් කොට වමතින් කෙංඩිය ගෙන, ‘භවත් සක්රුවන, පෙරැළේ වා, භවත් සක් රුවන, සතර මහ දිවයින දිනා දේ වා’යි කියා දකුණතින් සක් රුවනට දිය ඉස්සේ ය. අනඳයෙනි, එ කල්හි එ සත්රුවන පෙර දිගට පෙරැළිණ. මහ සුදසුන් රජ සිවුරඟ සෙන් හා එය අනුව ම නික්මුණේ ය. අනඳයෙනි, යම් පෙදෙසෙක සක්රුවන පිහිටියේ ද (රැඳී සිටියේද) මහසුදසුන් රජ සිවුරඟ සෙන් හා එහි නවාතැනට එළැඹියේ ය. අනඳයෙනි, පෙර දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු කරා එළැඹ “මහරජාණනි, වඩින්නැ! මහරජාණනි, ඔබ වැඩි සේ යහපත! මෙය ඔබගේ ය. අපට අනුශාසන කළ මැනැවැ” යි කී හ. මහසුදසුන් රජ තෙමේ ඔවුනට “පණිවා නො කළ යුතු, අයිනාදන් නො කළ යුතු, කාමයන්හි වැරැදැ නො හැසිරි යැ යුතු, මුසවා නො බිණි යැ යුතු, මත් පැන් නො පියැ යුතු. තොප වැලැඳු පරිදි ම මත්තෙහි ද රට වැලැ දියැ යුතු යැ”යි මෙසේ කී ය. අනඳයෙනි, පෙර දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහ සුදසුන් රජු අනුව යන්නෝ වූහ. අනඳයෙනි, ඉක්බිති සක්රුවන පෙරදිග මුහුදට බැස යළි ගොඩ නැඟ දකුණු දිගට පෙරැළිණ ... දකුණු දිග මුහුදට බැස පෙරළා ගොඩ නැඟ පැසිම් දිගට පෙරැළිණ ... පැසිම් මුහුදට බැස ගොඩ නැඟ උතුරු දිගට පෙරැළිණ. මහසුදසුන් රජ ද සිවුරඟ සෙන් හා එය අනුව ම ගියේ ය. අනඳයෙනි, යම් පෙදෙසෙක සක්රුවන පිහිටියේ ද (රැඳී සිටියේ ද) මහසුදසුන් රජ සිවුරඟ සෙන් හා එහි නවාතැනට එළැඹියේ ය. අනඳයෙනි, උතුරු දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු කරා එළැඹ “මහ රජාණනි, වඩින්නැ. මහරජාණනි, ඔබ වැඩි සේ යහපත මෙය ඔබ සතු ය. අපට අනුශාසනා කළ මැනවැ” යි කීහ. මහසුදසුන් රජ තෙමේ ඔවුනට “පණිවා නො කළ යුතු, අයිනාදන් නො කළ යුතු, කාමයන්හි වැරැදැ නො හැසිරියැ යුතු, මුසවා නො බිණියැ යුතු, මත් පැන් නො පියැ යුතු. තොප වැළැඳූ පරිදි ම මත්තෙහි ද රට වැළැඳියැ යුතු යැ” යි මෙසේ කී ය. අනඳයෙනි, උතුරු දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු අනුවැ යන්නෝ වූහ.
6. අනඳයෙනි, ඉක්බිති ඒ සක්රුවන මුහුද හිම් කොට පොළොව දිනා, කුශාවතී රාජධානියට පෙරළා අවුත් මහසුදසුන් රජුගේ ඇතොවුර දොරැ විනිසමඬල ඉදිරියෙහි ඇතොවුර හොබවනුයේ අකුරැ ගැසූ කලෙක සෙයින් සිටියේ ය. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙ බඳු සක්රුවනෙක් පහළ විය.
ඇත්රුවන
7. තවද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජුට සිරුර මුළුල්ල සුදු වූ, කය සත් තැනෙකින් පොළොව පහස්නා, ඉදුමත්, අහසින් යන, උපෝසථ කුලයට අයත් ඇත් රජෙක් වූ ඇත්රුවනෙක් පහළ විය. එය දැක්මෙන්, ‘ඉදින් හීලෑ බවට පැමිණියේ වී නම් ඒකාන්තයෙන් යහපත් වූ ඇත් යානයෙකැ’යි මහසුදසුන් රජුගේ සිත පැහැදිණ. අනඳයෙනි, ඉක්බිත්තෙන් ඒ ඇත්රුවන බොහෝ කලක් මොනොවට හික්මුණු සොඳුරු අජානී ඇතෙක් යම් සේ ද එසේ ම හික්මුණු බවට පැමිණියේය. අනඳයෙනි, පෙරැ වූ දැයක් කියම්. මහසුදසුන් රජ එ ම ඇත් රුවන විමසනුයේ පෙරවරු වේලෙහි උහු අරා ගොස් මුහුද හිම් කොට ඇති මුළු පොළොව වටා හැවිද කුශාවතී රාජධානියට පෙරළා අවුත් උදේ බොජුන් වැළැඳීම කෙළේ ය. අනඳයෙනි, මහසුදසුන් රජහට මෙබඳු ඇත්රුවනෙක් පහළ විය.
අස්රුවන
8. තව ද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජුට අස් රුවනෙක් පහළ විය. ඒ කය මුළුල්ල සුදු වූ, කළු හිසක් ඇති, මුදු තෘණ බඳු කෙහෙ ඇති, ඉදුමත්, අහසින් යන, වලාහක නම් අස් රජ ය. උහු දැක්මෙන් ‘ඉදින් හික්මුණු බවට පැමිණියේ වී නම්, සොඳුරු අස් යානයෙකැ’ යි මහසුදසුන් රජුගේ සිත පැහැදුණේ ය. අනඳයෙනි, එ කල්හි ඒ අස් රුවන බොහෝ කලක් මනා ව දැමුණු සොඳුරු අජානී අසක්හු මෙන් ම දැමුණු බවට පැමිණියේ ය. ඒ පෙරැ වූ දැයක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජ එ ම අස්රුවන විමසනුයේ පෙරවරු සෙමෙහි උහු අරා මුහුද හිම් කොටැති පොළොව වටා ගොස් කුශාවතී රාජධානියට පෙරළා අවුත් උදේ බොජුන් වැළැඳී ය. අනඳයෙනි, මහ සුදසුන් රජුට මෙබඳු අස්රුවනෙක් පහළ විය.
මිණිරුවන
9. තව ද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජුට මිණි රුවනෙක් පහළ විය. එය සොඳුරු වූ පිරිසිදු ආකරයෙහි උපන, අටැස්, මොනොවට පිරියම් කරන ලද, පැහැදිලි වූ, වෙසෙසින් පහන් වූ, සියලු අයුරින් සම්පූර්‍ණ වූ වෙරළුමිණෙක. අනඳයෙනි, ඒ මිණිරුවනේ එළිය හාත්පස යොත්නක් තැන් පැතිරැ පැවැත්තේ විය. අනඳයෙනි, ඒ පෙරැ දැයක් කියම්. මහසුදසුන් රජ එ ම මිණිරුවන විමසනුයේ, සිවුරඟ සෙන් සන්නාහ සන්නද්ධ කොට, මිණි රුවන දද මුදුනට නංවා, රෑ ගනඳුරෙහි නික්මුණේ ය. අනඳයෙනි, හාත්පසැ යම් ගම් කෙනෙක් වූහු ද, ඔහු ‘දහවලැ’ යි හඟනාහු, ඒ එළියෙන් වැඩ ඇරැඹුහු. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙ බඳු වූ මිණිරුවනෙක් පහළ විය.
ඉතිරි රුවන
10. තව ද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජුට වෙසෙසි රූ ඇති, දැකුම්කලු, සිත පහදවන, උතුම් පැහැසපුයෙන් යුත්, ඉතා නො උස්, ඉතා නොමිටි, ඉතා කෙට්ටු නොවූ, ඉතා නො තර, ඉතා නො කලු, ඉතා නොසුදු, මිනිස් පැහැසපුව ඉක්මැවූ, දෙව් පැහැසපුවට නො පැමිණි ස්ත්‍රියක් වූ ඉතිරි රුවන පහළ විය. අනඳයෙනි, ඉඹුල් පුලුනෙහි හෝ කපු පුලුනෙහි සෙයින් ඒ ඉතිරිරුවනගේ මොළොක් පහස වෙයි. අනඳයෙනි, ශීත සමයෙහි ඒ ඉතිරි රුවනගේ ගාත්‍රයෝ උණුසුම් වෙත්, උෂ්ණ සමයෙහි සිසිල් වෙත්. අනඳයෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ කයින් සඳුන් සුවඳ හමයි, මුවින් මහනෙල් මල් සුවඳ හමයි. අනඳයෙනි, ඒ ස්ත්‍රීරත්නය මහසුදසුන් රජුට කලින් ම නැඟී සිටිනුයේ ද, වතාවත් නිමවා පසු වැ හිඳුනෙ ද, කුමක් කරම් දැ’ යි විමසා ම කරනුයේ ද, රජුට මන වඩනා දෑ ම කරනුයේද, පිය බස් ම තෙප්ලනුයේද වෙයි. අනඳයෙනි, ඒ ඉතිරි රුවන සිතිනුදු මහ සුදසුන් රජු ඉක්මැ නො හැසිරෙන්නේ විය (සිතිනුදු අනෙකකු නො පැතීය). කයින් එසේ හැසිරීමෙක් කොයින් ලැබේ ද? අනඳයෙනි, මහසුදසුන් රජුට මෙබඳු ඉතිරි රුවනෙක් පහළ විය.
ගැහැවිරුවන
11. තව ද අනෙකක් කියම්. අනඳයෙනි, ඒ මහසුදසුන් රජුට ගැහැවි රුවනෙක් පහළ විය. යමෙකින් හිමියන් ඇත්තාවූ ද හිමියන් නැත්තා වූ ද නිධාන දක්නේ ද එසේ වූ කර්‍මවිපාකජ දිවැසෙක් ඒ ගැහැවි රුවනට පහළ විය. හේ මහසුදසුන් රජු කරා එළැඹ ‘දෙවියනි, ඔබ මන්‍දෝත්සාහ වන්න, ඔබට ධනයෙන් කටයුතු දෑ මම් ධනයෙන් කැරැදෙන්නෙමි’ යි මෙසේ සැළ කෙළේ ය. ඒ පෙරැ වූවක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජ එ ම ගැහැවි රුවන විමසනුයේ, නැවක නැඟ ගංගා නදිය මැදැ දිය පහරට බැස, ගැහැවිරුවන බණවා, ‘ගැහැවිය, මට අමු රනින් හා ශුද්ධ කළ රනින් ප්‍රයෝජන ඇතැ’ යි කී ය. ‘මහරජුනි, එසේ වී නම් එක් තෙරකට නැව එළැඹේව’ යි හේ කී ය. ‘ගැහැවිය , මෙහි දී ම මට හිරණ්‍ය ස්වර්‍ණයෙන් වැඩෙක් ඇතැ’ යි රජ කීය. අනඳයෙනි, එ කල්හි ඒ ගැහැවිරුවන දෝතින් දිය ස්පර්‍ශ කොට හිරණ්‍ය ස්වර්‍ණයෙන් පිරුණු සැළියක් ඔසොවා ගෙන මහසුදසුන් රජුට “මහරජුනි, මෙතෙකින් සෑහේ ද? මෙ තෙකින් කටයුත්ත කරන ලද්දේ වේ ද? මහරජුනි, මෙතෙකින් ඔබ වචනය පිදුණේ දැ?” යි කී ය. මහසුදසුන් රජ “ගැහැවිය මෙ තෙකින් සෑහෙයි, ගැහැවිය මෙතෙකින් කටයුත්ත කරන ලද ය, ගැහැවිය, මෙතෙකින් මා වචන පිදිණැ” යි කීය. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙබඳු වූ ගැහැවිරුවනෙක් පහළ විය.
පිරිනා රුවන
12. තව ද අනඳයෙනි, පණ්ඩිත වූ, ව්‍යක්ත වූ, ප්‍රකෘති ප්‍රඥා ඇති, මහසුදසුන් රජුහු කරා එළැඹැවියැ යුත්තහු එළඹවනනට ද, බැහැර කළ යුත්තහු බැහැර කරවන්නට සමර්‍ත්‍ථ වූ පරිනායක රත්නය ද (පුත්‍ර රත්නය ද) පහළ විය. හෙ තෙම මහ සුදසුන් රජු කරා එළැඹ ‘දේවයිනි, ඔබ මන්‍දෝත්සාහ වන්න, මම රට අනුසස්නෙමි’ යි මෙසේ කී ය. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙබඳු පරිනායක රත්නයෙක් පහළ විය. අනඳයෙනි, මහසුදසුන් රජ මේ සත් රුවනින් සමන්‍විත විය.
ඍද්ධිසමන්‍වාගමය
13. තව ද,අනඳයෙනි, මහසුදසුන් රජ සතර ඍද්ධීන්ගෙන් සමන්‍විත විය. කවර සතර ඍද්ධීන්ගෙන් ද? යත්: අනඳයෙනි, මෙහි මහ සුදසුන් රජ වෙසෙස් රූ ඇත්තේ, (අතෘප්තිකර දසුන් ඇතියෙන්) දක්නට සුදුසු වූයේ, දුටුවන් පහදවනුයේ, සෙසු මිනිස්නට වඩා අතිසයින් උතුම් පැහැ සටහනින් සමන්‍විත වූයේ වී ය. අනඳයෙනි, මහසුදසුන් රජ මේ පළමු වන ඍද්ධියෙන් සමන්‍විත වී ය.
තව ද අනඳයෙනි, මහසුදසුන් රජ සෙසු මිනිස්නට වඩා දීර්‍ඝ ආයුෂ ඇත්තේ බොහෝ කල් සිටුනේ වී ය. අනඳයෙනි, මහ සුදසුන් රජ මේ දෙවෙනි ඍද්ධියෙන් සමන්‍විත වී ය.
තව ද අනඳයෙනි, මහ සුදසුන් රජ ආබාධ නැත්තේ, රෝග නැත්තේ, ඉතා ශීත ද නොවූ, ඉතා උෂ්ණ ද නොවූ, සෙසු මිනිස්නට වැඩි තරම් වූ සම ලෙස අහර පැසවන උදරාග්නියෙන් සමන්‍විත වී ය. අනඳයෙනි, මහසුදසුන් රජ මේ තෙවෙනි ඍද්ධියෙන් සමන්‍විත වී ය.
තව ද අනඳයෙනි, මහ සුදසුන් රජ බමුණනට ද ගැහැවියනට ද ප්‍රිය ද මනාප ද වී ය. අනඳයෙනි, පියා පුතුනට යම්සේ ප්‍රියත් මනාපත් වේ ද, එසේ ම මහසුදසුන් රජ බමුණනටත් ගැහැවියනටත් ප්‍රිය ද මනාප ද වී ය. අනඳයෙනි, මහසුදසුන් රජුට ද බමුණෝත් ගැහැවියෝත් පිය ද මනාප ද වූහ. අනඳයෙනි, යම්සේ පියාට පුත්‍රයෝ ප්‍රියත් මනාපත් වෙත් ද, එසේ ම මහ සුදසුන් රජුට ද බමුණෝත් ගැහැවියෝත් පිය ද මනාප ද වූහ.
අනඳයෙනි, පෙරැ දවසැ මහ සුදසුන් රජ සිවුරඟ සෙනඟින් උපලක්‍ෂිත වැ උයන් බිම බලා නික්මුණේ ය. අනඳයෙනි, එ කල්හි බමුණෝත් ගැහැවියෝත් මහසුදසුන් රජු කරා එළැඹ, දේවයිනි, යම්සේ අපි බොහෝ වේලාවක් ඔබ දැක්කැ හැකි වන නමෝ ද, එසේ නො යුහු වැ වඩින්නැ’ යි මෙසේ කීහ. අනඳයෙනි, මහසුදසුන් රජ ද රියැදුරා අමතා, ‘සැරිය, යම් සේ මම් බමුණු ගැහැවියන් විසින් බොහෝ වේලා දක්නා ලබනු හැකි වන්නෙම් ද, එසේ සෙමෙන් රිය යවව’ යි මෙසේ කී ය. අනඳයෙනි, මහ සුදසුන් රජ මේ සතර වන ඍද්ධියෙන් සමන්‍විත වී ය.
අනඳයෙනි, මහසුදසුන් රජ මේ සතර ඍද්ධීන් ගෙන් සමන්‍විත වී ය.
පොකුණු මැවීම
14. අනඳයෙනි, එ කල්හි මහසුදසුන් රජහට, ‘මේ තල්රුක් අතරැ, දුනු සියක් දුනු සියක් තන්හි පොකුණු කැරැවීම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ තෙම ඒ තල්රුක් අතරැ දුනු සියයක් දුනුසියයක් තැනැ පොකුණු කැරැවී ය. අනඳයෙනි, ඒ පොකුණු සිවුවණක් ගඩොළුයෙන් බඳනා ලද්දාහු වූහ. එක් ගඩොළු කෙනෙක් රන්මුවා වූහ. එක් ගඩොළු කෙනෙක් රිදීමුවා වූහ, එක් ගඩොළු කෙනෙක් වෙරළුමිණි මුවා වූහ. එක් ගඩොළු කෙනෙක් පළිඟුමුවා වූහ. අනඳයෙනි, ඒ පොකුණුවලැ සිවු පැහැයෙන් නිමි සිවු සිවු හිණිමං කෙනෙක් වූහ. (එහි) එක් හිණෙක් රන්මුවා විය. එකෙක් රිදීමුවා විය, එකෙක් වෙරළුමිණිමුවා විය, එකෙක් පළිඟුමුවා විය. රන්මුවා හිණෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට ද හිණිහිස ද වූහ. රිදීමුවා හිණෙහි රිදීමුවා ටැම්හු ද රන්මුවා පියගැටද හිණිහිස ද වූහ. වෙරළුමිණිමුවා හිණෙහි වෙරළුමිණිමුවා ටැම්හු ද පළිඟුමුවා පියගැට ද හිණිහිස ද වූහ. පළිඟුමුවා හිණෙහි පළිඟුමුවා ටැම්හු ද වෙරළුමිණිමුවා පියගැට ද හිණිහිස ද වූහ.
අනඳයෙනි, ඒ පොකුණුහු වූ කලි පිල්කඩ දෙකෙකින් පිරිකෙවුණේ වූහ. එක් පිල්කඩෙක් රන්මුවා ද එක් පිල්කඩෙක් රිදීමුවා ද විය. රන්මුවා පිල්කඩෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට ද මුදුන ද වූහ. රිදීමුවා පිල් කඩෙහි රිදීමුවා ටැම්හු ද රන්මුවා පියගැට ද මුදුන ද වූහ. අනඳයෙනි, එ කල්හි මහසුදසුන් රජහට ‘මේ පොකුණුවලැ හැම ඍතුයෙහි ම පිපෙන සේ වූ උපුල් පියුම් කුමුදු පඬෙර (හෙළ පියුම්) යන මෙ බඳු මල් ගස් හැම දෙනාට ඇවුරුම් නැතිසේ සාධාරණ කොට රෝපණ කැරැවීම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ ඒ පොකුණුවලැ ඇවුරුම් නැතිසේ හැම දෙනාට සාධාරණ කොට හැම ඍතුයෙහි ම පිපෙන සේ වූ උපුල් පියුම් කුමුදු පඬෙර යන මෙ බඳු මල්ගස් රෝපණ කැරැවී ය.
15. අනඳයෙනි, එ කල්හි මහසුදසුන් රජුට මේ පොකුණුතෙරැ ආ ආ ජනයා නාවන ස්නාපයකයන් තැබීම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ පොකුණු තෙරැ ආ ආ ජනයා නාවන ස්නාපකයන් තැබී ය.
ඉක්බිති ‘මේ පොකුණු තෙරැ අහර කැමැත්තනුට අහරද, පැන් කැමැත්තහුට පැන් ද, වස්ත්‍ර කැමැත්තහුට වස්ත්‍ර ද, යාන කැමැත්තහුට යාන ද, යහන් කැමැත්නුට යහන් ද, ස්ත්‍රියක කැමැත්තහුට ස්ත්‍රිය ද, අමුරන් කැමැත්තහුට අමුරන් ද, රත්රන් කැමැත්තනුට රත්රන් දැ යි මෙසේ වූ දානයක් පිහිටුවීම් නම් යෙහෙකැ’ යි මහසුදසුන් රජුට මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ ඒ පොකුණුතෙරැ අහර කැමැත්තහුට අහර ද, පැන් කැමැත්තහුට පැන් ද, වස්ත්‍ර කැමැත්තහුට වස්ත්‍ර ද, යාන කැමැත්තනුට යාන ද, යහන් කැමැත්තහුට යහන් ද, ස්ත්‍රියක කැමැත්තහුට ස්ත්‍රිය ද, අමුරන් කැමැත්තහුට අමුරන් ද, රත්රන් කැමැත්තනුට රත්රන් දැ යි මෙසේ වූ දානයක් පිහිටුවී ය.
16. අනඳයෙනි, එ කල්හි බමුණෝ ද ගැහැවියෝ ද බොහෝ වස්තුව ගෙන මහ සුදසුන් රජු කරා එළැඹ, ‘දේවයිනි, මේ බොහෝ වස්තුව දේවයන් වහන්සේ ම උදෙසා ගෙනෙන ලද්දේ ය. එය දේවයන් වහන්සේ පිළිගන්නා සේක් ව’ යි මෙසේ කීහ. ‘භවත්නි, කම් නැත. මගේ ද මේ බොහෝ වස්තුව දැහැමි අය බද්දෙන් පිළියෙල කැරුණේ ය, එය තොපට වේ වා, මෙයින් වැඩි පුර ද ගෙන යවු’ යැ යි රජ ඔවුන් දුන් වස්තුව පිළිකෙවී ය. රජු විසින් පිළිකෙවුණු ඔහු එක් පසකට ගොස්, ‘මේ වස්තූන් අපි නැවැත සිය ගෙවලට පෙරළා ගෙන යන්නමු යන යමෙක් ඇද්ද, මෙය අපට නො සුදුසු ම ය, අපි (මෙයින්) මහසුදසුන් රජුට ගෙයක් කරන්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතූහ. ඔහු මහසුදසුන් රජු වෙත එළැඹ ‘දේවයිනි, ඔබට ගෙයක් කරන්නමු’ යි මෙසේ සැළ කළාහ. අනඳයෙනි, මහසුදසුන් රජ නිහඬ බැවින් එය ඉවැසී ය.
අනඳයෙනි, එ කලැ සක්දෙවිඳු සිය සිතින් මහසුදසුන් රජුගේ සිතැ කල්පනාව දැන, විස්සම් දෙව්පුතු බණවා, ‘යහලු විස්සම්, තෝ මෙහි එව, මහසුදසුන් රජුට දහම් පා නම් ගෙයක් මවව’ යි කී ය. අනඳයෙනි, ‘එසේ ය, වහන්සැ’ යි කියා ම විස්සම් දෙව්පුත් සක් දෙවිඳුට පිළිවදන් දී ශක්තිමත් පුරුෂයකු වක් කළ අතක් දික් කරනු හෝ දික් කළ අතක් වක් කරනු සේ යුහු ව තව්තිසා දෙව්ලොවැ අතුරු දහන් වැ, මහසුදසුන් රජු ඉදිරියේ පහළ විය. අනඳයෙනි, ඉක්බිත්තෙන් විස්සම් දෙව්පුත් මහ සුදසුන් රජුට, ‘දේවයිනි, ඔබට නිවහනක්, දහම් නම් පහයක් මවන්නෙමි’ යි මෙ වචන කී ය, අනඳයෙනි, මහසුදසුන් රජ නිහඬ බැවින් (එය) ඉවැසී ය.
17. අනඳයෙනි, විස්සම් දෙව්පුත් මහසුදසුන් රජුට නිවහනක්, දහම් නම් පහයක් මැවී ය. අනඳයෙනි, දහම් පහය පෙර දෙසින් ද පැසිම් දෙසින් ද දිගින් යොදුනෙක් විය, උතුරු දෙසින් ද දකුණු දෙසින් ද පුලුලින් අඩ යොදුන් විය. අනඳයෙනි, දහම් පහයේ ගෙබිම එක්තරා ගඩොළුයෙක් රන්මුවා ද, එක්තරා ගඩොළුයෙක් රිදීමුවා ද එක්තරා ගඩොළුයෙක් වෙරළුමිණිමුවා ද, එක්තරා ගඩොළුයෙක් පළිඟුමුවා දැ යි සිවුවණක් ගඩොළුයෙන් උසින් තුන් බඹයක් නංවන ලද්දේ විය.
අනඳයෙනි, දහම් පහයේ සිවුවන් ගඩොළුයෙන් නැංවුණු අසුසාර දහසෙක් ටැම්හු වූහ. එක් ටැඹෙක් රන්මුවා විය, එක් ටැඹෙක් රිදීමුවා ද එක් ටැඹෙක් වෙරළුමිණි මුවා ද එක් ටැඹෙක් පළිඟුමුවා ද විය. අනඳයෙනි, දහම් පහය, එක්තරා පෝරු කෙනෙක් රන්මුවා ද, එක්තරා පෝරු කෙනෙක් රිදීමුවා ද, එක්තරා පෝරු කෙනෙක් වෙරළුමිණිමුවා ද, එක්තරා පෝරු කෙනෙක් පළිඟුමුවා දැ යි සිවුවණක් පෝරුයෙන් අතුරන ලද්දේ විය.
අනඳයෙනි, දහම් පහයේ එක්තරා හිණෙක් රන්මුවා ද එක්තරා හිණෙක් රිදීමුවා ද එක්තරා හිණෙක් වෙරළුමිණිමුවා ද එක්තරා හිණෙක් පළිඟුමුවා දැ යි සතර වගයෙකින් නිමි සූවිසි හිණිමං කෙනෙක් වූහ. රන්මුවා හිණෙහි රන්මුවා ටැම්හු ද ... පළිඟුමුවා හිණෙහි පළිඟුමුවා ටැම්හු ද වෙරළු මිණි මුවා පියගැට ද හිණිහිස් ද වූහ.
අනඳයෙනි, දහම්පහයෙහි එක් කුළුගෙයෙක් රන්මුවා ද, එකෙක් රිදීමුවා ද එකෙක් වෙරළුමිණිමුවා ද එකෙක් පළිඟුමුවා දැ යි සිවුවගයෙක සුවාසූ දහසෙක් කුළුගෙවල් වූහ. රන්මුවා කුළුගෙහි රිදීමුවා පළඟෙක් පැනැවුණේ විය. රිදීමුවා කුළුගෙහි රන්මුවා පළඟෙක් පැනැවුණේ විය. වෙරළුමිණිමුවා කුළුගෙහි ඇත්දළමුවා පළඟෙක් පැනැවුණේ විය. පළිඟුමුවා කුළුගෙහි මැසිරිගල්මුවා පළඟෙක් පැනැවුණේ විය. රන්මුවා කුළු ගෙහි දොරැ රිදීමුවා තල්රුකෙක් සිටියේ විය. එහි කඳ රිදීමුවා ද පත්‍ර හා ඵල හා රන්මුවා ද වූහ. රිදීමුවා කුළුගෙයැ දෙරැ රන්මුවා තල් රුකෙක් සිටියේ විය. එහි කඳ රන්මුවා ද පත්‍ර හා ඵල හා රිදීමුවා ද වූහ. වෙරළුමිණිමුවා කුළුගෙයැ දොරැ පළිඟුමුවා තල්රුකෙක් සිටියේ විය. එහි කඳ පළිඟුමුවා ද පත්‍ර හා ඵල හා වෙරළුමිණිමුවා ද වූහ. පළිඟුමුවා කුළුගෙයැ දොරැ වෙරළුමිණිමුවා තල්රුකෙක් සිටියේ විය. එහි කඳ වෙරළුමිණිමුවා ද පත්‍ර හා ඵල හා පළිඟුමුවා ද වූහ.
18. අනඳයෙනි, එ කල්හි මහසුදසුන් රජුට “යම් තැනෙක මම් දිවාවිහරණ පිණිස හිඳිනෙම් ද, එහි සියල්ල රන්මුවා තල් වනයක් කැරැවීම් නම් යෙහෙකැ” යි මේ සිත විය. අනඳයෙනි, ඉක්බිති, යම් තැනෙක මහසුදසුන් රජ දිවා විහරණය පිණිස හිඳුනේ ද, එහි මහාව්‍යුහ කුළුගෙයැ දොරැ තල්වනයක් කැරැවී ය. අනඳයෙනි, දහම් පහය වේදිකා (පිල්) දෙකෙකින් පිරිකෙවුණේ විය. එක් වේදිකායේක් රන්මුවා විය. අනෙක රිදීමුවා විය. රන්මුවා වේදිකායෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට හා කණු හිස් හා වූහ. රිදීමුවා වේදිකායෙහි රිදීමුවා ටැම්හු ද රන්මුවා පියගැට හා කණු හිස් හා වූහ.
19. අනඳයෙනි, දහම්පාය කිකිණි දැල් දෙකෙකින් පිරිකෙවුණේ විය. එක් දැලෙක් රන්මුවා ද එක් දැලෙක් රිදීමුවා ද විය. රන්මුවා දැලෙහි රිදීමුවා කිකිණි (රහුගෙඩි) විය. රිදීමුවා දැලෙහි රන්මුවා කිකිණි (රහුගෙඩි) විය.
අනඳයෙනි, සුළඟින් සැලුණු ඒ කිකිණි දැල්හි මියුරු සිත්කලු මන වඩනා, (ප්‍රීතියෙන්) කුල්මත් කරන හඬෙක් විය. අනඳයෙනි, දක්‍ෂ වාදකයකු විසින් මොනොවට වැයූ මොනොවට ගැයූ පසැඟි තුරුවන් හඬ යම්සේ මියුරුත් සිත් අලවනුත් කන්කලුත් සිත කුල්මත් කරනුත් වේ ද, අනඳයෙනි, එසේ ම සුළඟින් සැලුණු ඒ කිකිණි දැලුන් හඬ මියුරු ද සිත් අලවනු ද මන වඩනු ද සිත් කුල්මත් කරනු ද විය. අනඳයෙනි, එ සමයෙහි කුසාවතී රජදහනැ සුරාසොඬ වූ මත් පැනෙහි ගිජු වූ ධූර්‍තයෝ වූහ. ඔහු ඒ සුළඟින් සැලුණු කිකිණි දැලුන් හඬින් ඉඳුරන් හැසිරැවූහ (ඊ වටා කිකිණිදැලුන් හඬ අනුව නැටීම් ආදිය කළාහ.)
අනඳයෙනි, නිමියා වූ දහම් පහය බැලිය නො හැකි විය. එය (අධික දීප්තියෙන්) ඇස් අඳුරු කෙරෙයි. අනඳයෙනි, වැසි සාරමසින් පැසිම් මසෙහි සරත් සමයෙහි බැබලුණු, පහ වූ වලා ඇති අහසැ නැගෙන හිරු යම්සේ බැලිය නො හැකි ද, ඇස් අඳුරු කෙරෙයි ද, එසේ ම අනඳයෙනි, දහම් පහය බැලිය නොහැකි විය, ඇස් අඳුරු කරන්නේ විය.
20. අනඳයෙනි, ඉක්බිති මහ සුදසුන් රජුට, ‘දහම් පහය ඉදිරියෙහි දහම් නම් පොකුණක් කරවන්නෙම් වීම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ දහම් පාය ඉදිරියෙහි දහම් නම් පොකුණක් කැරැවීය. අනඳයෙනි, පෙර දෙසින්ද පැසිම් දෙසින් ද අයමින් යොදුනෙක් විය. උතුරු දිගින් ද දකුණු දිගින් ද පුලුලින් අඩයොදුන් විය. අනඳයෙනි, දහම් පොකුණ ඇතැම් උළු කෙනෙක් රන්මුවා ද ඇතැම් කෙනෙක් රිදීමුවා ද ඇතැම් කෙනෙක් වෙරළුමිණි මුවා ද ඇතැම් කෙනෙක් පළිඟුමුවා ද යි සිවුවණක් ගඩොළුයෙන් නංවන ලද්දේ විය.
අනඳයෙනි, දහම් පොකුණෙහි, ඇතැම් කෙනෙක් රන්මුවා ද ඇතැම් කෙනෙක් රිදීමුවා ද ඇතැම් කෙනෙක් වෙරෙළුමිණි මුවා ද ඇතැම් කෙනෙක් පළිඟුමුවා දැ යි සිවුවණක් රුවනින් නිමියා වූ සූවිසි හිණි කෙනෙක් වූහ. රන්මුවා හිණෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට ද හිස් ද වූහ. රිදීමුවා හිණෙහි රිදීමුවා ටැම්හු ද රන්මුවා පියගැට ද හිස් ද වූහ. වෙරළු මිණිමුවා හිණෙහි වෙරෙළුමිණිමුවා ටැම්හු ද පළිඟුමුවා පියගැට ද හිස් ද වූහ. පළිඟුමුවා හිණෙහි පළිඟුමුවා ටැම්හු ද වෙරෙළුමිණිමුවා පියගැට ද හිස් ද වූහ.
අනඳයෙනි, දහම් පොකුණ එකක් රුවන්මුවා ද එකක් රිදීමුවා දැ යි පිල් දෙකෙකින් පිරිකෙවුණේ විය. රන්මුවා පිලෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට ද හිස් ද වූහ. රිදීමුවා පිලෙහි රිදී මුවා ටැම්හු ද රන්මුවා පිය ගැට ද හිස් ද වූහ.
අනඳයෙනි, දහම් පොකුණ එක් තල්පෙලක් රන්මුවා ද එක් තල්පෙලක් රිදීමුවා ද එක් තල්පෙලක් වෙරළුමිණිමුවා ද එක් තල්පෙලක් පළිඟුමුවා ද එක් තල්පෙලක් රතුමිණිමුවා ද එක් තල් පෙලක් මැසිරිගල් මුවා ද එක් තල්පෙලක් සියලු රුවන්මුවා දැ යි සත් තල්පෙලෙකින් පිරිකෙවුණේ විය. රන්මුවා තල්රුකැ රන්මුවා කඳ ද රිදීමුවා පත්‍ර ද ඵල ද වූහ. රිදීමුවා තල් රුකෙහි රිදීමුවා කඳ ද රන්මුවා පත්‍ර ද ඵල ද වූහ. වෙරෙළුමිණිමුවා තල්රුකැ වෙරළුමිණිමුවා කඳ ද පළිඟුමුවා පත්‍ර ද ඵල ද වූහ. පළිඟුමුවා තල්රුකැ පළිඟුමුවා කඳ ද වෙරෙළුමිණිමුවා පත්‍ර ද ඵල ද වූහ. රත්මිණිමුවා තල්රුකැ රත්මිණිමුවා කඳ ද මැසිරිගල්මුවා පත්‍ර ද ඵල ද වූහ. මැසිරිගල්මුවා තල්රුකැ මැසිරිගල්මුවා කඳ ද රත්මිණිමුවා පත්‍ර ද ඵල ද වූහ. සියලු රුවන් මුවා තල් රුකැ සව්රුවන්මුවා කඳ ද සව්රුවන්මුවා පත් ද පල ද වූහ. අනඳයෙනි, සුළඟින් සැලුණු ඒ තල්රුක් පෙලේ මිහිරි වූ සිත් අලවන, කන්කලු වූ, සිත් මත් කරන හඬෙක් විය. අනඳයෙනි, සමත් තුරුවායකු විසින් මොනොවට වැයූ මොනොවට ගැයූ පසඟතුරුවන් ගොස යම්සේ මියුරුත් සිත් අලවනුත් කන්කලුත් සිත කුල්මත් කරනුත් වේ ද, අනඳයෙනි, එසේ ම සුළඟින් සැලුණු ඒ තල්රුක් පෙලේ හඬ මියුරු ද සිත් අලවනු ද කන්කලු ද සිත් කුල්මත් කරනු ද විය. අනඳයෙනි, එසමයෙහි කුසාවතී රජදහනැ සුරාසොඬ වූ මත් පැනෙහි ගිජු වූ යම් ධූර්‍ත කෙනෙක් වූහු ද, ඔහු ඒ තල්රුක් පෙලැ හඬින් එහි රැස් වැ ඉඳුරන් හැසිරැවූහ (නැටුම් ඈ කළාහ.)
අනඳයෙනි, දහම් පහය ද දහම් පොකුණ ද කරවා නිමැවූ කලැ මහ සුදසුන් රජ, එ සමයෙහි මහණුන් අතුරැ මහණ යැ යි සම්මත වූ ද බමුණන් අතුරැ බමුණු යැ යි සම්මත වූ ද යම් කෙනෙක් වූහු නම්, ඔවුන් රිසි රිසි හැම දැයින් සතපා, දහම් පහයට නැංගේ ය.
පළමු බණවර යැ.
දහන් සමවත් ලැබීම
21. අනඳයෙනි, ඉක්බිති “යම් හෙයෙකින් මම් දැන් මෙසේ මහර්ධි ඇතියෙම් ද මහත් ආනුභාව ඇතියෙම් ද, මෙය මගේ කවර කර්‍මයෙක ඵලයෙක් ද? කවර කර්‍මයෙක විපාකයෙක් ද?” යි මහ සුදසුන් රජුට මේ සිත විය. ඉක්බිති අනඳයෙනි, මහසුදසුන් රජුට යම් හෙයෙකින් මම් දන් මෙසේ මහත් ඍද්ධි ඇතියෙම්, මෙසේ මහත් ආනුභාව ඇතියෙම් වෙම් ද, මෙය දාන දම සංයම යන තුන් පින් කම්වල ඵල ය, මේ තුන්පින්කම් වල විපාකය යැ’ යි මේ සිත විය. අනඳයෙනි, ඉක්බිති මහසුදසුන් රජ මහාව්‍යුහ කුළුගෙය කරා එළැඹියේ ය. එළැඹ, මහාව්‍යුහ කුළුගෙයැ දොරැ සිටියේ, “කාමවිතර්‍කය, සිටු. ව්‍යාපාද විතර්‍කය, සිටු. විහිංසාවිතර්‍කය, සිටු. කාමවිතර්‍කය, මෙතෙකින් නවතුව, ව්‍යාපාදවිතර්‍කය, මෙතෙකින් නවතුව, විහිංසාවිතර්‍කය, මෙ තෙකින් නවතුව” යි උදන් ඇනී ය.
22. අනඳයෙනි, එයට පසු මහසුදසුන් රජ මහාව්‍යුහ කුළුගෙයට වැද, රන්මුවා පළඟැ හුන්නේ, කාමයන් ගෙන් වෙන් වැ ම, අකුසල් දහමුන් ගෙන් වෙන් වැ ම, විතර්‍ක සහිත විචාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රීතියත් චිත්ත සුඛයත් ඇති, පළමු වන දහන ලැබ විසීය. විතර්‍ක විචාරයන් සංසිඳීමෙන්, තමා තුළැ පැහැදීම ඇති කරන, සිතැ එකඟ බව ඇති විතර්‍ක රහිත, විචාර රහිත, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුඛයත් ඇති, දෙවෙනි දහන ලැබ විසී ය. ප්‍රීතිය ද පහ වීමෙන් උපේක්‍ෂා ඇත්තේ ද විසී ය. සිහි ඇත්තේ නුවණින් දන්නේ සුවය නාම කයින් වින්දේ ය. ‘උපේක්‍ෂක වූයේ සිහි ඇත්තේ සුව වුසුම් ඇත්තේ යැ’ යි යමක්හු ඇරැබැ ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තෙවෙනි දහන ලැබ විසී ය. සුඛවේදනා ද පහ කිරීමෙන්, දුඃඛවේදනා ද පහ කිරීමෙන් කල් තබා ම සොම්නස් දොම්නසුන් බැහැරැ ලීමෙන් දුඃඛ වේදනා ද නැති සුඛ වේදනා ද නැති, උපේක්‍ෂා ව ද සිහිය ද යන දෙදෙනාගේ පිරිසිදු බව් ඇති සතර වැනි දහන ලැබ විසී ය.
23. අනඳයෙනි, ඉක්බිති මහසුදසුන් රජ මහාව්‍යුහ කූටාගාරයෙන් නික්මැ රන්මුවා කුළුගෙට වැද රිදීමුවා පළඟෙහි හුන්නේ, මෙත් සහගිය සිතින් එක් දෙසක් පැතිරැ විසී ය. එසේ දෙවෙනි දෙස ද තෙවෙනි දෙස ද සිවුවැනි දෙස ද, මෙසේ උඩ ද යට ද සරස ද හැම දෙසැ හැම දෙනා ම ආත්මසමතායෙන් (මේ අන් එකෙකැ යි වෙනසක් නොසිතා තමා හා සමබවට පැමිණැවීමෙන්) වෛර නැති ව්‍යාපාද නැති, මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ මෙත්සහගිය සිතින් පැතිර විසී ය. එසේ ම කරුණා සහගත සිතින් ... මුදිතා සහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දෙසක් පැතිරැ විසී ය. එසේ දෙවෙනි දෙස ද එසේ තෙවෙනි දෙස ද එසේ සිවුවැනි දෙස ද, මෙසේ උඩ ද යට ද සරස ද හැම දෙසෙහි ම හැම දෙනා ම ආත්මසමතායෙන් (මේ අන් එකෙකැ යි විභාග නො කොට තමා හා සමබවට පැමිණැවීමෙන්) වෛර නැති ව්‍යාපාද නැති මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ උපේක්‍ෂාසහගත සිතින් පැතිර විසී ය.
නගරාදීහු
24. අනඳයෙනි, මහසුදසුන් රජුට කුසාවතී රාජධානිය ප්‍රමුඛ කොටැති අසූසාර දහසෙක් නුවරවල් වූහ. දහම් පාය පාමොක් කොටැති සුවාසූ දහසෙක් ප්‍රාසාදයෝ වූහ. මහාව්‍යුහ කූටාගාරය ප්‍රමුඛ කොටැති සුවාසූ දහසෙක් කුළුගෙවල් වූහ.
රන්මුවා වූ ද රිදීමුවා වූ ද ඇත්දත්මුවා වූ ද දැවමුවා වූ ද කොඳුපලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළ, ගන පුප් එළුලොම් ඇතිරි අතුළ, කෙහෙල් මුවසමින් කළ උතුම් පසතුරුණු ඇති, උඩුවියන් සහිත, හිස් දොර පාමුල යන දෙපසැ රතු කන්වයින් ඇති සුවාසූදහසෙක් පළඟහු වූහ. රන් අබරණින් සැදුණු රන් දද සහිත, රන්දැලින් වසන ලද, උපෝසථ ඇත් රජු පාමොක් කොටැති සුවාසූ දහසෙක් ඇත්තු වූහ. රන් අබරණින් සරසන ලද, රන් දද සහිත, රන්දැලින් පිළිසන් වලාහක අස්රජු පාමොක් කොටැති සුවාසූ දහසෙක් අස්සු වූහ. සිංහ සමින් වසන ලද, ව්‍යාඝ්‍ර සමින් වසන ලද, දිවි සමින් වසන ලද, පඬු පැහැ කම්බලයෙන් වසන ලද, රන් අබරණ ඇති, රන් දද ඇති, රන් දැලින් වසන ලද, විජයොත් රිය පාමොක් කොටැති රිය සුවාසූ දහසෙක් වූහ. මිණිරුවන පාමෙක් කොටැති සුවාසූදහසෙක් මිණිහු වූහ. සුභද්‍රා දේවිය පාමොක් කොටැති සුවාසූ දහසෙක් ස්ත්‍රීහු වූහ. ගැහැවිරුවන පාමෙක් කොටැති සූවාසු දහසෙක් ගැහැවියෝ වූහ. පරිනායක රත්නය පාමොක් කොටැති අනුව යන සුවාසූ දහසෙක් කැත්හු වූහ. හැම කල්හි කිරි දොවා ගත හැකි රන් සැට්ටයෙන් සරසන ලද සුවාසූ දහසෙක් දෙන්නු වූහ. සියුම් කොමු පිළී ද සියුම් කපු පිළි ද සියුම් පට පිළී ද සියුම් කම්බල දැ යි පිළී සුවාසූ කෙළ දහසෙක් විය. අනඳයෙනි, මහසුදසුන් රජුට උදේ සවස එළැවෙන බත්තලි සුවාසූ දහසෙක් විය.
25. එ සමයෙහි මහ සුදසුන් රජුට සුවාසූ දහසෙක් ඇත්තු උදේ සවස උවටනට යෙත්. එ කලැ මහසුදසුන් රජුට “මේ සුවාසූ දහසෙක් ඇත්තු උදේ සවස මට උවටනට එත්. හවුරුදු සියයක් සියයක් ඇවෑමෙන් සතළිස් දෙදහසෙක් සතළිස් දෙදහසෙක් ඇත්තු එක් වරක් එක් වරක් මට උවටනට එන්නාහු නම් මැනැවැ” යි මේ සිත විය. ඉක්බිති අනඳයෙනි, මහසුදසුන් රජ පරිනායක රුවන බණවා, “සගය, පරිනායක රත්නය, මේ සුවාසූ දහසෙක් ඇත්තු උදේ සවස උවටනට එත්. සගය, පරිනායක රත්නය, එ බැවින් හවුරුදු සියයක් සියයක් ඇවෑමෙන් දෙසාළිස් දහසෙක් දෙසාළිස් දහසෙක් ඇත්තු එක් වරක් එක් වරක් උවටනට එත් වා” යි කී ය. අනඳයෙනි, ‘එසේ ය, දේවයිනි’ යි කියා පරිනායක රත්නය මහසුදසුන් රජුට පිළිවදන් ඇස්විය. අනඳයෙනි, එයට පසු කලැ හවුරුදු සියයක් සියයක් ඇවෑමෙන් ඇත්තු දෙසාළිස් දහසෙක් දෙසාළිස් දහසෙක් එක් වරක් එක් වරක් උවටනට ආහ.
සුභද්‍රාව එළැඹීම
26. අනඳයෙනි, එ කලැ බොහෝ හවුරුදු ගණනෙක බොහෝ හවුරුදු දහස් ගණනෙක ඇවෑමෙන් සුභද්‍රා දේවියට, “මහ සුදසුන් රජ මා විසින් දුටු බොහෝ කල් ඇත්තේ ය. මම මහසුදසුන් රජු දක්නට ගියෙම් වීම් නම් යෙහෙකැ” යි මේ සිත විය. අනඳයෙනි, ඉක්බිති සුභදා දේවී ඇතොවුර බණවා, “තෙපි එවු. හිස් සෝදා නාවු. රන්වන් පිළි හැඳ පොරොවවු. මහසුදසුන් රජ අප විසින් දක්නා ලද බොහෝ කල් ඇත්තේ ය. මහ සුදසුන් රජු දක්නට එළැඹෙන්නම්හ” යි කිවු ය. ‘එසේ යැ ආර්‍ය්‍යාවෙනි’ යි ම ඇතොවුර සුභද්‍රා දේවියට පිළිවදන් දී, හිස් සෝදා නා, රන්වන් පිළි හැඳ පෙරෙවැ සුභද්‍රා දේවිය කරා එළැඹියාහ. අනඳයෙනි, ඉක්බිති සුභද්‍රා දේවී පරිනායක රත්නය බණවා “සගය, පරිනායක රත්නය, සිවුරඟ සෙන් සදව. අප විසින් මහසුදසුන් රජ දක්නා ලද බොහෝ කල් ඇත්තේ ය. මහසුදසුන් රජු දක්නට එළඹෙන්නම්හ” යි කිවු ය. ‘එසේ යැ, දේවීනි’ යි කියා ම පරිනායක රත්නය සුභද්‍රා දේවියට පිළිවදන් දී, සිවුරඟ සෙන් සදවා, ‘දේවියනි, සිවුරඟ සෙන් සරසන ලදි. යම් ගමනකට සිතවු ද, එයට කල් වේ’ යැ යි සැළ කෙළේ ය. අනඳයෙනි, ඉක්බිති සුභද්‍රා දේවී සිවුරඟ සෙන් ද ඇතොවුර ද කැටුව දහම්පාය කරා එළැඹුණා ය. එළැඹ, දහම්පහය නැඟ, මහාව්‍යුහ කුළුගෙය කරා එළැඹ, එහි දොරබාවැ එල්බැ සිටියා ය.
අනඳයෙනි, එ කල්හි මහ සුදසුන් රජ ඔවුන් එන හඬ අසා, “කිමෙක් ද? මහ ජන මුළුවෙක හඬ නියා!” යි සිතා, මහාව්‍යුහ කුළුගෙයින් නික්මෙන්නේ, දොර බා වැ එල්බැ සිටි සුභද්‍රා දේවිය දුටුයේය. දැක, “දේවිය, ඔහි ම සිටු, ඇතුළට නො වදුව” යි කී ය. අනඳයෙනි, ඉක්බිති මහසුදසුන් රජ එක්තරා මිනිසකු බණවා, ‘හෙම්බා මිනිස, තෝ මෙහි එව. මහාව්‍යුහ කුළුගෙන් රන්මුවා පළඟක් ගෙනවුත් සියල්ල රන්මුවා වූ තල් වෙනෙහි පණවව’ යි කී ය. ‘දේවයිනි, එසේ යැ’ යි කියා ම එ මිනිසා මහ සුදසුන් රජුට පිළිවදන් දී, මහාව්‍යුහ කුළුගෙයින් රන්මුවා පළඟක් ගෙනවුත් සියල්ල රන්මුවා තල්වෙනෙහි පැණැවී ය. අනඳයෙනි, ඉක්බිති මහසුදසුන් රජ දකුණු පයෙහි වම් පය මඳක් හයා තබා සිහි නුවණ ඇති වැ දකුණැලයෙන් සිංහශය්‍යායෙන් ශයනය කෙළේ ය.
අනඳයෙනි, එ කලැ සුභද්‍රා දේවියට “මහසුදසුන් රජුගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. සිවිපැහැය පිරිසිදු ය, පබසර ය. මහ සුදසුන් රජ කලුරිය නො කෙරේ වා” යි මේ සිත විය. ඕ මහසුදසුන් රජුට මෙසේ කිවු ය: “දේවයිනි, කුශාවතී රජදහන පාමොක් කොටැති මේ ඔබ සතු නුවර සුවාසූ දහසෙකි. දේවයිනි, මෙහි ඇල්ම උපදවන්න, දිවියෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, දහම් පාය පාමොක් කොටැති ඔබ සතු මේ ප්‍රාසාද සුවාසූ දහයෙකි. දේවයිනි, මෙහි ඇල්ම උපදවන්න,
ජීවිතය කෙරෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, මහාව්‍යුහ කුළුගෙය පාමොක් කොටැති ඔබ සතු මේ කුළුගේ සුවාසූ දහසෙක් වෙයි. මෙහි ඇල්ම උපදවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, රන්මුවා ද රිදීමුවා ද ඇත්දත්මුවා ද දැවමුවා ද වූ කොඳුපලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළ, කෙහෙල්මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත, හිස්දොර පාමුල යන දෙ පසැ රතු කන්වයින් ඇති, සුවාසූ දහසෙක් ඔබ සතු පළඟහු ඇත. දේවයිනි, මෙහි ඡන්‍දය උපදවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, රන් අබරණ ඇති, රන් දද ඇති, රන් දැලින් පිළිසන් උපෝසථ ඇත්රජු පාමොක් කොටැති මේ ඔබගේ සුවාසූ දහසෙක් ඇත්තු වෙති. දේවයිනි, මොවුන් කෙරෙහි ඇල්ම දනවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, රන් අබරණ පලන්, රන් දද ඇති, රන් දැලින් පිළිසන්, වලාහක අස්රජු පාමොක් කොටැති, ඔබගේ මේ සුවාසූ දහසෙක් අස්සු වෙති. දේවයිනි, මොවුන් කෙරෙහි ඇල්ම දනවන්න, ජීවිතය කෙරෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, සිංහ සමින් වසන ලද, ව්‍යාඝ්‍ර සමින් වසන ලද, දිවි සමින් වසන ලද, පඬු පැහැ කම්බලයෙන් වසන ලද, රන් අබරණ සහිත, රන් දද සහිත, රන් දැලිනි පිළිසන්, විජයොත් රිය පාමොක් කොටැති, ඔබ සතු මේ රිය සුවාසූ දහස් කෙනෙක් වෙති. දේවයිනි, මෙහි ඡන්‍දය උපදවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, මිණිරුවන පාමෙක් කොටැති මේ ඔබ සතු සුවාසූ දහසෙක් මිණිහු වෙති. දේවයිනි, මෙහි ඇල්ම දනවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, ස්ත්‍රීරත්න ප්‍රමුඛ මේ ඔබගේ සුවාසූ දහසෙක් ස්ත්‍රීහු වෙති. දේවයිනි, මෙහි ඡන්‍දය දනවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, ගැහැවිරුවන පාමොක් කොටැති මේ ඔබගේ ගැහැවියෝ සුවාසූ දහසෙක් වෙත්. දේවයිනි, මොවුන් කෙරෙහි ඡන්‍දය උපදවන්න., ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, පිරිනාරුවන් පාමොක් මේ ඔබගේ අනුගාමි වූ සුවාසූ දහසෙක් කැත්හු වෙති. දේවයිනි, මොවුන් කෙරෙහි ඡන්‍දය දනවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, හැම කල්හි කිරි දොවාගත හැකි, රන් සැට්ටයෙන් සරසන ලද, ඔබ සතු මේ සුවාසූ දහසෙක් දෙන්නු වෙති. දේවයිනි, මෙහි ඡන්‍දය දනවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, සියුම් කොමු පිළී ද සියුම් කපුපිළී ද සියුම් පටපිළී ද සියුම් කම්බල දැ යි සුවාසූ කෙළ දහසෙක් මේ ඔබ සතු පිළී ඇත. දේවයිනි, මෙහි ඡන්‍දය උපදවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, මේ බත්සැළි සුවාසූ දහසක් වූ බතෙක් උදේ සවස දෙක්හි ම ඔබට එළැවෙයි. දේවයිනි, මෙහි ඡන්‍දය දනවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්නැ” යි (සුභද්‍රා දේවී කිවු ය).
27. අනඳයෙනි, ඇය මෙසේ කී කල්හි මහසුදසුන් රජ සුභද්‍රා දේවියට මෙ බස් පැවැසී ය: “දේවීනි, තෙපි මට දික් කලක් ම ඉෂ්ට ප්‍රිය මනාප වචනයෙන් කතා කළහු ය. එහෙත් තෙපි මට මෙ පැසිම් සමයෙහි අනිෂ්ට අකාන්ත අප්‍රිය අමනාප වචනයෙන් කතා කරනු. “දේවයිනි, කෙසේ ඔබට කතා කරම් ද?” යි සුභද්‍රා දේවී විචාළා ය. “දේවීනි, මෙසේ මට කතා කරන්න: ‘දේවයිනි, ප්‍රිය මනාප සියලු දැයෙන් වෙන් වීම, බැහැරැ වීම, අන් පරිද්දෙකින් වීම ස්වභාවයෙක. දේවයිනි, ඔබ අපේක්‍ෂා ඇතිව නහමක් කලුරිය කෙරේ වා. අපේක්‍ෂා ඇත්තනුගේ කාල ක්‍රියාව දුක් ගෙන දෙයි, සාපේක්‍ෂ වූවහුගේ කාලක්‍රියාව ගර්හිත ය. දේවයිනි, කුශාවතී නගරය ප්‍රමුඛ කොටැති මේ ඔබගේ නුවර සුවාසූදහසෙක් ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න. ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, දහම් පහා පාමොක් මේ පහා සුවාසූදහසෙක් ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න. ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, මහාව්‍යුහ කූටාගාර ප්‍රමුඛ මේ ඔබ සතු කූටාගාර සුවාසූ දහසෙක. මෙහි ඇල්ම පියන්න. ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, රන්මුවා ද රිදීමුවා ද ඇත්දත්මුවා ද දැවමුවා ද, කොඳුපලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළ, ගනපුප් එළුලොම් ඇතිරි අතුළ, කෙහෙල්මුව සම්මුවා උතුම් පසතුරුණු අතුළ, උඩුවියන් සහිත, හිස්දෙර පාමුල යන දෙපසැ රතු කොට්ට ඇති සුවාසූදහසෙක් පළඟහු ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, රන් අබරණින් සැදුණු රන් දද ඇති රන් දැලින් පිළිසන් උපෝසථ ඇත්රජු පාමොක් කොටැති ඔබගේ මේ සුවාසූදහසෙක් ඇත්තු ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, රන් අබරණ පලන්, රන් දද සහිත, රන් දැලින් පිළිසන්, වලාහක අස්රජු පාමොක් කොටැති ඔබගේ මේ සුවාසූදහසෙක් අස්සු වෙති. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, සිංහසමින් වසන ලද, ව්‍යාඝ්‍රසමින් වසන ලද, දිවිසමින් වසන ලද, පාණ්ඩුකම්බලයෙන් වසන ලද, රන්අබරණින් සදන ලද, රන්දද සහිත රන් දැලින් පිළිසන් විජයොත්රිය පාමොක් සුවාසූදහසෙක් රිය ඔබට ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂා නො කරන්න. දේවයිනි, මිණිරුවන් පාමොක් මේ සුවාසූදසහසෙක් මිණිහූ ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, සුභද්‍රා දේවිය ප්‍රමුඛ සුවාසූදහසෙක් ස්ත්‍රීහු ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, ගැහැවිරුවන් පාමොක් සුවාසූ දහසෙක් ගැහැවිහු ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, පිරිනාරුවන් පාමොක් මේ අනුගාමී කැත්හු සුවාසූදහසෙක් ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, හැම කල්හි දෙවියා හැකි කිරි ඇති රන්සැට්ට ඇඟැ ලැවුණු මේ සුවාසූදහසෙක් දෙන්නු ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, සියුම් කොමුපිළි ද සියුම් කපුපිළි ද සියුම් පටපිළි ද සම්බන්‍ධ මේ සුවහස් කෙළක් පිළි ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්නැ යි කියන්නා” යි මහසුදසුන් රජ කී ය.
28. අනඳයෙනි, රජු මෙසේ කී කල්හි සුභද්‍රා දේවි හැඬුවා ය, කඳුළු හෙළුවා ය. අනඳයෙනි, ඉක්බිති සුභද්‍රා දේවි කඳුළු පිසැදමා මහසුදසුන් රජුට මෙසේ කිවු ය:
“දේවයිනි, ප්‍රිය මනාප හැම දෑ කෙරෙන් නානාභාවය විනාභාවය අන්‍යථාභාවය වේ. දේවයිනි, ඔබ අපේක්‍ෂා ඇති ව නහමක් කලුරිය කරන්න. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව දුක් එළවයි. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව ගර්හිත ද වේ. දේවයිනි, කුශාවතී රාජධානිප්‍රමුඛ මේ ඔබේ නුවර සුවාසූදහසෙක් ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, ධර්‍මප්‍රාසාදප්‍රමුඛ ඔබ සතු මේ ප්‍රාසාද සුවාසූදහසෙක. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, මහාව්‍යුහ කූටාගාර ප්‍රමුඛ ඔබේ මේ කූටාගාර සුවාසූදහසෙක. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, ස්වර්‍ණමය ද රජතමය ද දන්තමය ද සාරමය ද වූ, කොඳුපලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළා කෙහෙල් මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති, උඩුවියන් සහිත, හිස්දොර පාමුල යන දෙපසැ රතු කන්වයින් තබන ලද ඔබගේ මේ පළඟ සුවසූදාහසෙකි. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, පලන් රන් අබරණ ඇති රන් දද සහිත රන්දැලින් පිළිසන්, උපෝසථ ඇත් රජ ප්‍රමුඛ ඔබ සතු මේ සුවාසූදහසෙක් ඇත්තු ඇත. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, රන්අබරණ පලන් රන්දද සහිත, රන්දැලින් පිළිසන් වලාහක අස්රජ පාමොක් කොටැති, මේ ඔබ සතු සුවාසූ දහසෙක් අස්සු ඇත. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, සිහසමින් වැසූ, වගසමින් වැසූ, දිවිසමින් වැසූ, පාණ්ඩුකම්බලයෙන් වැසූ, රන්අබරණින් සැදුණු, රන්දද සහිත, රන්දැලින් පිළිසන් විජයොත්රිය පාමොක් ඔබ සතු මේ රිය සුවායූදහසෙක. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, මිණිරුවන් පාමොක් ඔබ සතු මේ සුවාසූදහසෙක් මිණිරුවන්හු ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, ස්ත්‍රීරත්නප්‍රමුඛ ඔබ සතු මේ සුවාසූ දහසෙක් ස්ත්‍රීහු ය. දේවයිනි, මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, ගැහැවිරුවන් පාමොක් ඔබ සතු මේ ගැහැවිහු සුවාසූදහසෙක. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න, දේවයිනි, පිරිනාරුවන් පාමොක් ඔබගේ මේ අනුගාමි සුවාසූදහසෙක් කැත්හු ය. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, හැම දා ම දෙවියැ හැකි කිරි ඇති, රන් සැට්ට ඇඟැ ලැවුණු, මේ ඔබගේ සුවාසූදහසෙක් දෙන්නු ඇත. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතය කෙරෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, සියුම් කොමුපිළි ද සියුම් කපු පිළි ද සියුම් පටපිළි ද සියුම් කම්බල ද සම්බන්‍ධ ඔබ සතු සුවාසූ කෙළ දහසෙක් පිළී ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතය කෙරෙහි අපේක්‍ෂාව නො කරන්නැ” යනු යැ.
බඹලොව් යෑම
29. අනඳයෙනි, ඉක්බිති නොබෝ කලෙකින් මහ සුදසුන් රජ කලුරිය කෙළේ ය. අනඳයෙනි, මනහර බොජුනක් වැළැඳූ ගැහැවියකුට හෝ ගැහැවි පුතක්හට යම්සේ බත්මතය වේ ද මහසුදසුන් රජුට ද එබඳු ම වූ මරණය අවසන් කොට ඇති වේදනාවෙක් විය. අනඳයෙනි, කලුරිය කළාවූ ද මහසුදසුන් රජ බඹලොවැ උපනි. අනඳයෙනි, මහසුදසුන් රජ සුවාසූදහසක් හවුරුදු කුමරකෙළි කෙළීය. සුවාසූදහසක් හවුරුදු යුවරජය කැරැවිය. සුවාසූදහසක් හවුරුදු රජය කැරැවිය. ගිහි ව මැ සුවාසූ දහසක් හවුරුදු දහම් පායෙහි බඹසර හසළේ ය. හේ සතර බඹවෙහෙර බවා කාබුන් මරණින් මතු බඹලෝ ගියේ විය.
30. අනඳයෙනි, ‘එ සමයෙහි අනෙකෙක් මහසුදසුන් රජ වී’ යැ යි (තොපට මෙ බඳු සිතක්) වියැ හැක්ක. අනඳයෙනි, එය එසේ නො දත යුතු. එ සමයෙහි මම මහසුදසුන් රජ වීමි. කුශාවතී රාජධානිප්‍රමුඛ ඒ සුවාසූදහසෙක් නගරයෝ මගේ ය. ධර්‍මප්‍රාසාදප්‍රමුඛ සුවාසූදහසෙක් ප්‍රාසාදයෝ මගේ ය. මහාව්‍යුහකූටාගාරප්‍රමුඛ සුවාසූදහසෙක් කුළුගෙවල් මගේ ය. ස්වර්‍ණමය ද රජතමය ද දන්තමය ද සාරමය ද වූ කොඳුපලස් අතුළ සුදුඑළුලොමින් කළ ඇතිරි අතුළ, ගනපුප් එළුලොම් ඇතිරි අතුළ, උතුම් කෙසෙල්මුව සමින් කළ පසතුරුණු ඇති, උඩුවියන් සහිත, ඉස්දොර පාමුල යන දෙපසැ රතුකොට්ට තැබූ ඒ සුවාසූදහසෙක් පළඟහු මගේ ය. රන් අබරණින් සැදි, රන්දද සහිත, රන්දැලින් පිළිසන් උපෝසථ ඇත් රජ ප්‍රමුඛ ඒ සුවාසූදහසෙක් ඇත්තු මගේ ය. රන් අබරණින් සැදි, රන්දද සහිත, රන්දැලින් පිළිසන් වලාහක අස්රජ ප්‍රමුඛ ඒ සුවාසූදහසෙක් අස්සු මගේ ය. සීසමින් සන්, වගසමින් සන්, දිවිසමින් සන්, පඬුඇඹුලින් සන්, රනබරණින් සැදි රන්දදැති, හෙම්දැලින් පිළිසන් විජයොත්රියපාමොක් ඒ සුවාසූදහසෙක් රියහු මගේ ය. මිණිරුවන්පාමොක් ඒ සුවාසූදහසෙක් මිණිහු මගේ ය. සුභද්‍රාදේවීප්‍රමුඛ සුවාසූදහසෙක් ඒ ස්ත්‍රීහු මා අයත් වූහ. ගැහැවිරුවන් පාමෙක් ඒ සුවාසූ දහසෙක් ගැහැවියෝ මා සතු වූහ. පරිණායකරත්න ප්‍රමුඛ අනුයන්තෘ වූ ඒ සුවාසූදහසෙක් කැත්හු මගේ ය. හැම දා දෙවියැකි කිරි ඇති රන්සැට්ට ඇඟ ලැවුණු ඒ සුවාසූ දහසෙක් දෙන්නු මා සතු වූහ. සියුම් කොමුපිළි ද සියුම් කපුපිළි ද සියුම් පටපිළි ද සියුම් කම්බල ද වූ සුවාසූ පිළි කෙළ දහස මා සතු විය. මට උදේ සවස ඒ තලි සුවාසූ දහසක් වූ බතෙක් එළැවිණ.
31. අනඳයෙනි, එ සමයෙහි කුශාවතී රාජධානිය වූ යම් නගරයෙක විසීම් ද, ඒ නුවර සුවාසූ දහසින් මේ එක් නගරයේ ම මම් විසීමි. (සෙසුනුවර වලැ දූපුත් ආදිහු වූසූහ.)
අනඳයෙනි, ඒ සුවාසූදහසක් ප්‍රාසාද අතුරෙන් යම් ධර්‍මනම් ප්‍රාසාදයෙක් වී ද මම් එහි ම විසීමි (සෙසු පහයන්හි අඹුදරු ආදිහු වුසූහ).
අනඳයෙනි, ඒ සුවාසූදහසක් කුළුගෙවලින් යම් මහාව්‍යුහ නම් කුළුගෙයෙක් වී ද, මම් එහි විසීමි.
අනඳයෙනි, ඒ පළඟ සුවාසූදහසින්, රන්මුවා හෝ රිදීමුවා හෝ ඇත්දත්මුවා හෝ දැවමුවා හෝ යම් පළඟෙක් වී ද, ඒ එකක් මම් පරිභෝග කෙළෙමි.
අනඳයෙනි, ඒ ඇතුන් සුවාසූදහසින්, උපෝසථ නම් යම් ඇත් රජෙක් වී ද, උහු ම මම් නැංගෙමි.
අනඳයෙනි, ඒ අසුන් සුවාසූදහසින්, යම් වලාහක නම් අස්රජෙක් වී ද, උහු ම මම් නැංගෙමි.
අනඳයෙනි, ඒ රිය සුවාසූදහසින් යම් විජයොත් නම් රියෙක් වී ද, එය ම මම නැංගෙමි.
අනඳයෙනි, ඒ සුවාසූදහසක් ස්ත්‍රීන් අතුරෙන්, කැත්කුලැ වූ හෝ වෙළෙඳ කුලැ වූ හෝ යම් එකියක් මට උවටන් කළා ද, ඒ එක් ස්ත්‍රියක් ම විය.
අනඳයෙනි, ඒ සුවාසූ පිළි කෙළ දහසින් සියුම් කොමුපිළියක් හෝ සියුම් කපුපිළියක් හෝ සියුම් පටපිළියක් හෝ සියුම් කම්බලයක් හෝ ඒ එක් පිළියුවලක් ම මම් හැන්දෙමි, පෙරැවීමි.
අනඳයෙනි, ඒ සුවාසූ බත්සැළි දහසින් යමෙකින් නැලියක් පරම කොටැති (නැලියකට නොවැඩි) බතකුත් එයට පමණ වූ සූපත් වැළැඳීම් නම් ඒ එක් බත් තලියෙක් ම විය.
32. බලවු අනඳයෙනි, ඒ සියලු සඛරහු ඉකුත් වූහ, නිරුද්ධ වූහ, පෙරැළුණහ. අනඳයෙනි, මෙසේ සඛරහු අනිත්‍ය ම ය, අනඳයෙනි, සඛරහු මෙසේ අධ්‍රැව ම ය. අනඳයෙනි, මෙසේ සඛරහු ආශ්වාස විරහිත ම ය. අනඳයෙනි, සියලු සඛර දහමුන් කෙරෙහි කලකිරෙන්නට ඉතා ම සුදුසු ය, නො ඇලෙන්නට ඉතා ම සුදුසු ය, එයින් මිදෙන්නට ඉතා ම සුදුසු ය, අනඳයෙනි, සවරක් ම මෙ පෙදෙසෙහි සිරුර බහා ලූයෙමි යි දනිමි. ඒ ද ධාර්මික වූ ධර්‍මරාජ වූ සයුරුහිම් සිවුමහදිවයිනට අධිපති වූ, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්‍විත සක්විති රජෙක් වැ ම කෙළෙමි. මේ සත්වැනි ශරීරනිඃක්‍ෂේපය යැ. අනඳයෙනි, තථාගතයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහි, මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්‍වප්‍රජායෙහි යම් තැනෙක අටවැනිවරෙක සිරුර බහාලන්නෝ ද, එසේ වූ තැනක් මම් නො ම දකිමි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා, සුගතයන් වහන්සේ නැවැත ගාථාබන්‍ධන විසින් අනෙකක් වූ මෙය වදාළ සේක:
“ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යහ. ඉපැත්ම වැනැස්ම සබා කොටැත්තාහ. ඉපිදැ නැසෙත්. ඒ සංස්කාරයන්ගේ සංහිඳීම සුව එළවන්නේ යි.”
සතර වැනි මහසුදසුන් සුතුර නිමියේ ය.
ජනවසභ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ඥාතිකා ගමැ ගෙඩිගෙහි වැඩ වසන සේක. එ සෙමෙහි භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල වජ්ජිමල්ල චේති වංස කුරු පඤ්චාල මච්ඡ සූරසේන යන වටා වටා දනවුහි ඉකුත් කලැ වුසූ කලුරිය කළ උවසුවන් ඇරැබැ ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ’ යි ඔවුන්ගේ උපපත්ති විෂයයෙහි කරුණු හෙළි කැරැ වදාරන සේක. ඥාතිකාවාසි වූ ද පනසකට වැඩි තරම් වූ, ඉකුත් කලැ වූ, කලුරිය කළ උවසුවෝ අවරභාගික සංයෝජන පස නැසූ හෙයින් ඒ ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි ම පිරිනිවෙනසුලු වූවාහු, එ ලොවින් වටාලා නො එන සුලු වෙත්. ඉකුත් කලැ සිටි, කලුරිය කළ, ඥාතිකාග්‍රාමවාසී අධිකයක් සහිත අනූවක් (අනූවකට වැඩි) උවසුවෝ, තුන් සංයෝජනයන් නැසූ හෙයින් රාග ද්වේෂ මෝහ තුනී වූ හෙයින්, සෙදැගැමි වූවාහු, එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. අතිරේකයක් සහිත පන්සියක් ඥාතිකාවාසී උපාසකයෝ ඉකුත් කලැ සිට කලුරිය කළාහු, තුන් සංයෝජනයන් නැසූ හෙයින් සෝවාන් වූවාහු, අපායට නොවැටෙන සුලු වූවාහු, රහත්බවට නියත වූවාහු, රහත් බව පිහිට කොටැත්තාහු වෙත්” යි ද වදාළ සේක.
2. “භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල දෙ රටෙහි ද වජ්ජි මල්ල දෙ රටෙහි චේතී වංස දෙ රටෙහි ද කුරු පංචාල දෙ රටෙහි ද මච්ඡ සූරසේන දෙ රටෙහි ද යන වටා වටා දනවුහි ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ උවසුවන් ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ’ යි උපපත්ති නිමිත්තෙන් ඔවුන් (මරණින් පසු තතු) හෙළි කරන සේක. ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ ඥාතිකාවාසී පනසකට වැඩි ගණනක් උවසුවෝ, අවරභාගික සංයෝජන පස නැසූ හෙයින් ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි දී පිරිනිවෙන සුලු වූවාහු, වටාලා එයින් මෙහි නො එන සුලු වෙත්. ඉකුත් කලැ සිටි, කලුරිය කළ, ඥාතිකාවාසී අනූවකට වැඩි ගණනක් උවසුවෝ තුන් සංයෝජන නැසූයෙන්, රාග ද්වේෂ මෝහ තුනී වූයෙන්, සෙද ගැමි වූවාහු, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. ඉකුත් කලැ, සිටි, කලුරිය කළ පන්සියකට වැඩි ගණනක් ඥාතිකාවාසී උවසුවෝ, තුන් සංයෝජන නැසූයෙන් සෝවාන් වූවාහු, අපායට නොවැටෙන සුලු වූවාහු, රහත් බවට නියත වූවාහු, රහත්ඵලය ප්‍රතිෂ්ඨා කොටැත්තාහු වෙත් යැ යි වදාරන සේකැ” යි ඥාතිකාග්‍රාමවාසී උපාසකයෝ භගවත් බුදුරජුන්ගේ ප්‍රශ්නව්‍යාකරණය අසා එයින් ද ගන්නා ලද සිතැත්තාහු, සතුටු වූවාහු, හටගත් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වූහ.
3. “භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල දෙ රටෙහි ද වජ්ජි මල්ල දෙ රටෙහි ද චේතී වංස දෙ රටෙහි ද කුරු පංචාල දෙ රටෙහි ද මච්ඡ සූරසේන දෙ රටෙහිද යන වටා වටා දනවුහි ළඟ ඉකුත් කලැ සිටි කලුරිය කළ උවසුවන් ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැන උපනැ’ යි ද උපපත්ති නිමිත්තෙන් (ඔවුන්ගේ මරණින් පසු ගතිය) හෙළි කරන සේක. ඉකුත් කලැ සිටි, කලුරිය කළ ඥාතිකාවාසි වූ පනසකට වැඩි ගණනක් උවසුවෝ අවරභාගික සංයෝජන පස නැසූ හෙයින් ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි දී පිරිනිවෙන සුලු වූවාහු, වටාලා එයින් මෙහි නොඑන සුලු වෙතැ යි ද, ඉකුත් කලැ සිටි කලුරිය කළ ඥාතිකවාසී අනූවකට වැඩි ගණනක් උවසුවෝ තුන් සංයෝජන නැසූ හෙයින්, රාග ද්වේෂ මෝහ තුනී වූ හෙයින් සෙදැගැමි වූවාහු, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ’ යි ද, ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ පන්සියයකට වැඩි ගණනක් ඥාතිකාවාසී උවසුවෝ තුන් සංයෝජන නැසූ හෙයින් සෝවාන් වූවාහු, අපායට නොවැටෙන සුලු වූවාහු, රහත් බවට නියත වූවාහු, රහත්ඵලය ප්‍රතිෂ්ඨා කොටැති යාහු වෙතැයි ද වදාරන සේක් ල, භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්නව්‍යාකරණය අසා එයින් ඥාතිකාවාසී උවසුවෝ ආරාධිත සිතැත්තාහු, සතුටු වූවාහු, හටගත් ප්‍රීති හා සොම්නස් හා ඇත්තාහු ද වෙත් ලැ” යි අනඳ තෙරණුවෝ ඇසූහ.
ආනන්‍ද පරිකථාව
4. එ කල්හි වනාහි අනඳ තෙරුනට මේ සිත විය: “ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ, මගද රටැ වැසි චිරරාත්‍රඥ බොහෝ උවසුවෝ ද වූහ. ළඟ ඉකුත් කලැ සිට කලුරිය කළ අඟු මගද දෙරටැ වුසූ (අරීසවු) උවසුවන්ගෙන් මෙ දෙ රට හිස් වූ නියා යැ (හිස් වූවාක් මෙන් අන්‍යයනට පෙනෙයි). ඒ අඟු මගද දෙර ටැ වැසියෝ ද බුදුරජුන් කෙරෙහි පහන් ද දහම්හි පහන් ද සඟුන් කෙරෙහි පහන් ද සිල් පුරන සුලුද වූහ. ළඟ ඉකුත් කලැ කලුරිය කළ ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් නො ම හෙළි කරන ලදුහ. ඔවුන්ගේ ද උපපත්තිය හෙළි කරනු මනා යැ. බොහෝ දෙනා පහදිනු ඇත. එයින් සුගතියට යනු ඇත. මේ මගධාධිපති ශ්‍රේණික බිම්බිසාර රජ ධාර්මික ද ධර්‍මරාජ ද බමුණු ගැහැවියනටත් නිගමවාසී ජනපදවාසී ජනයාටත් හිතකාමීද විය. මිනිස්සුද දැහැමි වූ, දැහැමින් රැජැයූ අපේ රජ රට සුවපත් කොට මෙසේ කලුරිය කෙළේ යැ’ යි ද, ‘මෙසේ අපි දැහැමි වූ දැහැමෙන් රජ වූ ඔබේ රටැ සුව සේ වුසූම්හ’ යි ද, එ රජුහු ගුණ වණන්නාහු ද වෙසෙත්. ඒ රජ ද බුදුරජුන් කෙරෙහි පහන් ද දහම්හි පහන් ද සඟුන් කෙරෙහි පහන් ද සිල් පුරන සුලු ද විය. කලුරිය කරන තෙක් දු මගධාධිපති ශ්‍රේණික බිම්බිසාර රජ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වණන සුලු වැ වැස කලුරිය කෙළේ යැ’ යි මිනිස්සු ද මෙසේ කියත්.
හේ ළඟ ඉකුත් කල්හි කලුරිය කෙළේ, භාග්‍යවතුන් වහන්සේ විසින් (මොහුගේ උපපත්තිය මෙසේ යැයි) නො ම හෙළිකරන ලද්දේය. ඔහුගේ උපපත්තිය ද හෙළි කරනු මනා යැ. බොහෝ දෙනා පහදිනු ඇත. එයින් සුගතියට යනු ඇත. භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය මගද රටෙහි විය. යම් මගද රටෙක භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය වී ද, එහි සමීපාතීත වූ කලුරිය කළ උවසුවන් කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ (ඔවුන්ගේ) උපපත්තීන් නිමිත්තෙන් නො ම හෙළි කළ යුතු වන සේක් ද? භාග්‍යවතුන් වහන්සේ වනාහි සමීපාතීතයෙහි කලුරිය කළ මගද රට වැසි උවසුවන් ඔවුන්ගේ උපපත්ති නිමිත්තෙන් නො හෙළි කරන සේක් වූ නම්, එයින් මගද රටැ වැසි උවසුවෝ බැගෑපත් සිතැති වන්නාහ. මගද රටැ වැසි උවසුවෝ යම් කරුණෙකින් බැගෑපත් සිතැති වන්නාහු ද, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ඒ (උපපත්ති නිමිත්තෙන්) උවසුවන් හෙළි නො කරන සේක් ද? යනු යැ.
5. අනඳ තෙරණුවෝ මගද රටැ වැසි උවසුවන් ඇරැබැ හුදෙකලා වැ රහසිගත වැ මෙසේ පුනපුනා සිතා, රෑ අලුය මැ නැඟී සිට, භගවත් බුදුරජුන් කරා එළැඹියාහ. එළැඹ ඔබ වැඳ, පසෙකැ හිඳගත්හ. පසෙකැ හිඳ ම භගවත් බුදුරජුනට මෙ බස් පැවැසූහ:
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල දෙ රටෙහි ද වජ්ජි මල්ල දෙ රටෙහි ද චේතී වංස දෙ රටෙහි ද කුරු පංචාල දෙ රටෙහි ද මච්ඡ සූරසේන දෙ රටෙහි ද යන වටා වටා දනවුහි ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ උවසුවන් ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ’ යි උපපත්ති නිමිත්තෙන් (ඔවුන් මරණින් පසු තතු) හෙළි කරන සේක. ළඟ ඉකුත් කලැ සිටී, කලුරිය කළ ඥාතිකාවාසී පනසකට වැඩි ගණනෙක් උවසුවෝ අවරභාගික සංයෝජන පස නැසූයෙන් ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි දී පිරිනිවෙන සුලු වූවාහු, වටාලා එයින් මෙහි නො එන සුලු වෙත්. ඉකුත් කලැ සිටී, කලුරිය කළ, ඥාතිකාවාසී අනූවකට වැඩි ගණනක් උවසුවෝ, තුන් සංයෝජන නැසූයෙන්, රාග ද්වේෂ මෝහ තුනී වූයෙන්, සෙදගැමි වූවාහු, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. ඉකුත් කලැ සිටි, කලුරිය කළ, පන්සියයට වැඩි ගණනක් ඥාතිකවාසී උවසුවෝ, තුන් සංයෝජන නැසූයෙන්, සෝවාන් වූවාහු, රහත් ඵලය ප්‍රතිෂ්ඨා කොටැත්තාහු වෙත්” යැ යි වදාරන සේක. එයින් ඥාතිකාවාසී උවසුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න ව්‍යාකරණය අසා ආරාධිත සිතැත්තෝ ප්‍රමුදිතයෝ උපන් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වූහ. වහන්ස, ළඟ ඉකුත් කලැ කලුරිය කළ මගද රටැ වැසි චිරරාත්‍රඥ වූ මේ බොහෝ උවසුවෝ වූහ. අඟු මගද දෙරට ළඟ ඉකුත් කලැ කලුරිය කළ අඟුමගද වැසි උවසුවන් ගෙන් හිස් වූ සේ ය. වහන්ස, ඔහු ද බුදු රජු කෙරෙහි පැහැදුණා වූ, දහම්හි පැහැදුණාහු, සඟන කෙරෙහි පැහැදුණාහු, සිල් පුරන්නාහු වූහ. ළඟ ඉකුත් කලැ කලුරිය කළ ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් නො හෙළි කරන ලදහ.
ඔවුන්ගේ ද (උප්පත්තිය) හෙළි කිරීම වේ වා යි යදිම්. එයින් බොහෝ දෙනා පහදිනු ඇත. සුගතියට යනු ඇත. වහන්ස, මගධාධිපති වූ මේ ශ්‍රේණික බිම්බිසාර රජ දැහැමි විය, දැහැමෙන් රජයන්නේ විය. බමුණනට ද ගැහැවියනට ද නියම්ගම්වැසියනට ද දනවු වැසියනට ද වැඩ කැමැති විය. තව ද මිනිස්සු ‘මෙසේ ඒ දැහැමි වූ, දැහැමෙන් රැජැයූ බිම්සර රජ අප සුව පත් කොට කලුරිය කෙළේ ය. මෙසේ අපි දැහැමෙන් රැජැයූ ඒ දැහැමි රජුගේ රටෙහි පහසුවෙන් වුසුම්හ’ යි ඔහු ගුණ වණන සුලු ව වෙසෙත්. වහන්ස, තව ද එ රජ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණෙක, දහමෙහි පැහැදුණෙක, සඟන කෙරෙහි පැහැදුණෙක, සිල් පිරූයෙක. තව ද මිනිස්සු ‘මියැ යන තාක් ම මගධාධිපති වූ ශ්‍රේණික බිම්බිසාර රජ භාග්‍යවතුන් වහන්සේ වර්‍ණනා කරන සුලු වැ වැස කලුරිය කෙළේ යැ’ යි මෙසේ කියත්. ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ හෙ තෙමෙ භාග්‍යවතුන් වහන්සේ විසින් හෙළි නො කරන ලදී. ඔහුගේ ද උපපත්තිය හෙළි කිරීම වේව යි යදිම්. බොහෝ දෙනා පහදිනු ඇත. එයින් සුගතියට යනු ඇත. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය (බුදු බව ලැබීම) වූයේ මගද රටෙහි ය. වහන්ස, යම් මගද රටෙක භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය වී නම්, එ මගද රටැ වුසූ, ළඟ ඉකුත් කල්හි වූ, කලුරිය කළ උවසුවන් කෙසේ නම් උපපත්තිය නිමිත්තෙන් හෙළි නො කරන සේක් ද? වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉකුත් කල්හි වූ, කලුරිය කළ මගද රටැ වුසූ උවසුවන් උපපත්ති නිමිත්තෙන් හෙළි නො කරන සේක් වී නම්, මගද රටැ වැසි උවසුවෝ එයින් බැගෑපත් සිතැත්තෝ වන්නාහ. වහන්ස, යම් හෙයකින් මගද රටැ වැසි උවසුවෝ බැගෑපත් සිතැත්තෝ වන්නාහු නම්, කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ ඔවුන් (උපපත්ති නිමිත්තෙන්) හෙළි නො කරන සේක් ද?”
අනඳ තෙරණුවෝ මගද රටැ වැසි උවසුවන් ඇරැබැ භගවත් බුදුරජුන් හමුයෙහි මේ විස්තර කථාව කොට, හුනස්නෙන් නැඟී, ඔබ වැඳ පැදැකුණු කොට නික්මියාහ.
6. එ කලැ, භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් නික්මැ ගිය නොබෝ කල්හි, පෙර වරු සමයෙහි හැඳ පෙරෙ වැ පා සිවුරු ගෙන, ඥාතික ගමට පිඬු පිණිස පිවිසි සේක. ඥාතික ගමෙහි පිඬු පිණිස හැසිර, පසුබත්හි පිඬු පා ගමනින් පෙරළා ඇක්මුණු සේක්, පා සෝදා ගිඤ්ජකාවසථයට (ගඩොළු ගෙට) වැඩ, මගද රට වැසි උවසුන් ඇරැබ, කරුණු සලකා මෙනෙහි කොට, සියල්ල සිතින් එක් කොට ගෙන, ‘ඒ භවත්හු යම්බඳු ඥානගතියක් ඇත්තාහු ද, යම්බඳු පරලොව් ගතියක් ඇත්තාහු ද, ඔවුන්ගේ ඒ ඥානගතිය, ඒ පරලොව ගතිය දැනගන්නෙමි’ යි සිතා පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. ඒ භවත්හු යම් ඥානගතියක් ඇත්තාහු ද, යම් පරලෝ ගතියක් ඇත්තාහු ද, එසේ වූ මගද රටැ වුසූ ඒ උවසුවන් භාග්‍යවතුන් වහන්සේ දුටු සේක. එයින් පසු සවස් වේලේ සමවතින් නැඟී සිටි සේක්, ගඩොළු ගෙයින් නික් මැ වෙහෙරැ ඉදිරි පසැ සෙවණෙහි පන වන ලද අස්නෙහි වැඩ හුන් සේක.
7. එ කලැ අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුන් කරා එළඹියාහ. එළැඹ ඔබ වැඳ එක් පසෙක හුන්හ. අනඳ තෙරණුවෝ එක් පසෙක හුන්නාහු ම භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ උපශාන්ත වූ දැකුම් ඇති සේක. ඉඳුරන් වෙසෙසින් පහන් බැවින් භාග්‍යවතුන් වහන්සේගේ මුඛවර්‍ණය බබළන සේ ය. වහන්ස, අද භාග්‍යවතුන් වහන්සේ ශාන්ත විහරණයෙකින් වුසූ සේකැ යි හඟිම්” යැ යි කීහ. එ විට භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, “අනඳයෙනි, යම් විටෙක තෙපි මගද රටැ වුසූ උවසුවන් ඇරැබැ මා හමුයෙහි වර්‍ණනා කථාව කොට හුනස්නෙන් නැඟී නික්මුණහු ද, එ විට ම මම් ඥාතික ගමැ පිඬු පිණිස හැසිර පසු බතැ පිණ්ඩපාතයෙන් පෙරළා ඇක්මුණෙම්, පා දෙවැ ගඩොළු ගෙට වැද මගද රටැ වුසූ උවසුවන් ඇරැබැ, කරුණු සලකා බලා මෙනෙහි කොට, සියල්ල සිතින් එක් කොට ගෙන, ඒ භවත්හු යම්බඳු ඥානගති ඇත්තෝ වූහු ද, යම්බඳු පරලොව් ඇත්තෝ වූහු ද, ඔවුන්ගේ ඒ ඥානගතිය, ඒ පරලොව් ගතිය දන ගන්නෙමි’ යි සිතා, පනවන ලද අස්නැ හිඳ ගතිමි. අනඳයෙනි, ඒ භවත්හු යම්බඳු ඥානගති ඇත්තෝ වූහු ද, යම්බඳු පරලොව් ගති ඇත්තෝ වූහු ද, එසේ වූ ගති ඇති මගද රටැ වූ ඒ උවසුවන් මම් දුටුයෙම් ම ය.
ජනවසභයා පැමිණීම
8. අනඳයෙනි, එ කලා අතුරුදහන් වූ යක්‍ෂයෙක් ‘භාග්‍යවතුන් වහන්ස මම් ජනවසභයෙමි, සුගතයන් වහන්ස, මම් ජනවසභයෙමි’ යි හඬ ඇස්වී ය (ශබ්දයක් පැවැත් වී ය). අනඳයෙනි, ජනවසභ යන මේ නම තොප මෙයින් පෙරැ ඇසුවා දනිවු ද?” යි අසා වදාළ සේක. “වහන්ස, ජනවසභ යන මේ නම මෙයින් පෙරැ ඇසුවා නො ම දනිමි. එහෙත් වහන්ස, ජනවසභ යන නම ඇසීමෙන් මා ලොමුදහ ගත. වහන්ස, ඒ මට ‘ජනවසභ යන මෙබඳු නමෙක් යමකුහට පනවන ලද්දේ නම් හේ එසේ මෙසේ යකෙක් නො වන්නේ යැ” යි අනඳ තෙරුණුවෝ කිවු ය.
“අනඳයෙනි, හඬ නැඟෙන්නා හා ම උදාර වු සිරුරු පැහැ ඇති යක්‍ෂයෙක් මා ඉදිරියෙහි පහළ විය. දෙවනු වරැ ද හෙ තෙම ‘භාග්‍යවතුන් වහන්ස, මම් බිම්බිසාර වෙමි, සුගතයන් වහන්ස, මම් බිම්බිසාර වෙමි’ යි හඬ ඇස්වී ය. “වහන්ස, මේ සත්වන වර වෙසවුණු මහරජුගේ සහභාවයට පැමිණියෙමි. ඒ මම් මෙයින් සැව මිනිස් රජක්හු වන්නට හැක්කෙමි.
මේ දෙව්ලොවින් සැවැ සත් වරක් ද, ඒ මිනිස් ලොවින් සැවැ සත් වරක් ද’ යි මෙසේ යම් දෙව් මිනිස් දෙලොව්හි පෙරැ මා වුසූයේ ද, ඒ දෙ තන්හි ම හැම ලෙසින් කඳ පිළිවෙළ තුදුසක් විසීම දනිමි.
වහන්ස, දික් කලක් ම අපායකට නො වැටුණෙම්, අපායට මගේ නොවැටීම දනිමි. සෙදගැමි බව පිණිස ද මගේ අපේක්‍ෂාව පවතී” යැයි ද හේ කී ය. තව ද ජනවසභ තෙම මතු දැක්වෙන කථාවත් කීය:
9. “වහන්ස, මම් දික් කලක් ම අපායට වැටීමක් නැත්තෙම්, අපායෙන් මිදුණු බව හඳුනමි’ යි ද තෙපි කියහු, සෙදැගැමි බව පිණිස මගේ අපේක්‍ෂාව ද පවත්නේ යැ යි ද කියනු. ආයුෂ්මත් ජනවසභ යක්‍ෂයාණන්ගේ මේ වචනය ආශ්චර්‍ය්‍ය ය, ආයුෂ්මත් ජනවසභ යක්‍ෂයාණන්ගේ මේ වචනය අද්භූත ය. ආයුෂ්මත් ජන වසභයෝ කවර හේතුවකින් මෙ බඳු මහත් අධිගම විශේෂයක් වූ නියා හඳුනත් ද?” යි මම් ඇසීමි. එ විට ජනවසභ තෙම මෙය කී ය:
“භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ සස්නෙන් බැහැරෙහි නො වේ, සුගතයන් වහන්ස, ඔබ වහන්සේගේ සස්නෙන් බැහැරෙහි නො වේ. වහන්ස, යම් දවසෙක (යෂ්ටිවනෝද්‍යානයෙහි දී පළමුවෙන් ම බණ අසා සෝවාන් වැ) භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒකාන්ත වශයෙන් පැහැදිණිම් ද, වහන්ස, එතැන් පටන් කොට මම් දික් කලක් අපායයෙන් මිදුණෙම් වීමි. අපායට නොවැටීම හඳුනමි. සකෘදාගාමී බව පිණිස මගේ අපේක්‍ෂාව ද ඇත. වහන්ස, මෙහි මම් වෙසවුණු මහරජුහු විසින් කිසි කටයුත්තක් සඳහා විරූඪක මහරජු වෙත එවන ලදුයෙමි, මඟ අතුරෙහි දී භාග්‍යවතුන් වහන්සේ ගිඤ්ජකාවසථයට වැද මගද රටැ වුසූ උවසුවන් ඇරැබැ, වැඩ ඇතියක් කොට සලකා, මෙනෙහි කොට, සියල්ල සිතින් එක් තැන් කොට ගෙන, ඒ භවත්හු යම්බඳු ඥානගති ඇතියෝ ද යම්බඳු පරලොව් ගති ඇතියෝ ද, ඔවුන්ගේ ඒ ඥානගති හා පරලොව් ගති දැනගනිමි’ යි වැඩ හුන්නවුන් දිටිමි. වහන්ස, ඒ භවත්හු යම් ඥානගති ඇතියෝ යම් අභිසම්පරාය ගති ඇතියෝ වූහු ද එපවත් ඒ පිරිසෙහිදී පවසන වෙසවුණු මහරජුගේ වචනය ඔහු හමුහි මා ඇසුවා, ඔහු හමුයෙහි මා පිළිගත්තා පුදුම නො වේ. වහන්ස, ඒ මට ‘භාග්‍යවතුන් වහන්සේ ද දකින්නෙමි, මෙය ද භාග්‍යවතුන් වහන්සේට සැළ කරන්නෙමි’ යි මේ සිත විය. වහන්ස, මේ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මා එළඹෙනුවට කරුණු දෙක ය.
දෙව් සබය
10. වහන්ස, පෙර දවසැ, බොහෝ දවසකට පෙරැ, ඒ පසොළොස්වක් පොහෝ දා, වැසි ඍතුව එළැඹි, පුරා සඳ ඇති රැයෙහි, සියලු තව්තිසා වැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත්. මහත් දෙව් පිරිස්හු ද එක් වැ හුන්නාහු, එක්රැස් වූවාහු ද වෙත්. සිවුවරම් මහ රජදරුවෝ ද සිවු දිගැ හුන්නාහු වෙත්. පෙර දිගැ ධෘතරාෂ්ට්‍ර මහරජ පැසිම් දිගට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. දකුණු දිගැ විරූඪක මහරජ උතුරු දෙසට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. පැසිම්දිගැ විරූපාක්‍ෂ මහරජ පෙර දිගට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. උතුරු දිගැ වෙසවුණු මහරජ දකුණු දෙසට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. වහන්ස, යම් විටෙක සියලු තව්තිසාවැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත් ද, මහත් දෙව්පිරිස්හු වටා එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත් ද, එකල් හි සතර වරම් මහ රජ දරුවෝ සතර දිගැ හුන්නාහු වෙත්.
මේ ඔවුන්ගේ අසුන් ගැන්ම වේ. ඉක්බිති අපගේ අසුන් වෙයි. වහන්ස, යම් දෙව් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර හැසිරැ, තව්තිසා දෙව්මුළුවට අළුත පැමිණියාහු වෙත් ද, ඔහු වර්‍ණයෙන් ද යසසින් ද සෙසු දෙවියන් ඉක්මැ බබළත්. වහන්ස, එයින් තව්තිසාවැසි දෙවියෝ, “ප්‍රීතියෙක! දෙව් පිරිස් පිරේ, අසුර පිරිස් පිරිහේ” යැ යි ආරාධිත සිතැත්තෝ සතුටු වූවෝ, උපන් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වෙත්. වහන්ස, එ කල්හි සක්දෙවිඳු තව්තිසාවැසි දෙවියන්ගේ පැහැදීම දැන,