Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 2601-2700 න් 5108

99. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් අමතා මෙසේ වදාළ සේක. “මහණෙනි, ගිය කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ භගවත් බුදුවරුනට ද, මට අනඳයන් සේ, මෙවැන්නක්හු පරම කොටැති උවටුවෝ වූහ. මහණෙනි, මතු දවසැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් පහළ වන්නාහු ද, ඒ භගවත් බුදුවරුනට ද, මට අනඳයන් සේ, මෙබන්දක්හු පරම කොටැති උවටුවෝ වන්නාහ. මහණෙනි, අනඳයෝ නුවණැත්තෝ ය. මහණෙනි, අනඳයෝ පියෙවියෙන් ම නැණවත් හ. ‘තථාගතයන් දක්නා පිණිස එළැඹෙන්නට මහණුනට සුදුසු කල් මේ යැ, මෙහෙණියනට සුදුසු කල් මේ යැ, උවසුවනට සුදුසු කල මේ යැ, උවැසියනට සුදුසු කල මේ යැ. රජක්හට, රජමහ මැත්තනට තොටුවනට, තොටු සව්වනට සුදුසු කල මේ යැ’ යි දනිති.
100. මහණෙනි, අනඳයන් කෙරෙහි මේ අසිරිමත් පුදුම සතර දහම් කෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: මහණෙනි, ඉදින් මහණ පිරිසෙක් අනඳයන් දක්නට එළඹෙයි නම්, ඔබ දැක්මෙන් ම එ පිරිස ආරාධිත සිතැති වෙයි. ඉදින් එහි අනඳයෝ දහම් සෙදත් නම්, ඔබ වචනයෙන් ද එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ඒ මහණ පිරිස අපිරියත් ම (අතෘප්ත ම) වෙයි. එ කල්හි අනඳයෝ නිහඬ වෙත්. මහණෙනි, ඉදින් මෙහෙණ පිරිසෙක්, උවසු පිරිසෙක්, උවැසි පිරිසෙක් අනඳයන් දක්නා වස් එළැඹෙයි ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එහි අනඳයෝ දහම් දෙසත් නම්, ඔබ දම් දෙස්මෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, උවැසි පිරිස අතෘප්තම වෙයි. එ කලැ අනඳයෝ නිහඬ වෙත්. මහණෙනි, මේ අසිරිමත් පුදුම සතර දෙනෙක් අනඳයන් කෙරෙහි වෙත්.
“මහණෙනි, මේ අසිරිමත් පුදුම දහම් සතර දෙනෙක් සක්විති රජක්හු කෙරෙහි වෙත්. කවර සතර දෙනෙක් ද යත්: මහණෙනි, ඉදින් කැත් පිරිසෙක් සක්විති රජුහු දක්නට එළැඹෙයි ද, එ පිරිස ඔහු දැක්මෙන් ම සතුටු වෙයි. එහි ඉදින් සක්විති රජ කතා කෙරෙහි නම්, ඔහු කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, කැත් පිරිස එයින් අතෘප්ත ම වෙයි. එ කල්හි සක්විති රජ නිහඬ වෙයි. මහණෙනි, ඉදින් බමුණු පිරිසෙක්, ගැහැවි පිරිසෙක්, මහණ පිරිසෙක්, සක්විති රජු දක්නට එළැඹෙයි ද, එ පිරිස ඔහු දැක්මෙන් ම සතුටු වෙයි. එහි ඉදින් සක්විති රජ ඔවුනට කතා කෙරෙයි ද, ඔහුගේ කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. එ මහණ පිරිස අතෘප්ත ම වෙයි. එකල්හි සක්විති රජ නිහඬ වෙයි. මහණෙනි, එසේ ම අනඳයන් කෙරෙහි මේ අසිරිමත් පුදුම දහම් සතර දෙනෙක් වෙත්. මහණෙනි, ඉදින් මහණ පිරිසෙක් අනඳයන් දක්නට එළැඹෙයි නම්, ඔබ දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. මහණ පිරිස (ඔබ දැක්මෙහි) අතෘප්ත ම වෙයි. එහි ඉදින් අනඳයෝ දහම දෙසත් නම්, දහම් කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. එ මහණ පිරිස අතෘප්ත ම වෙයි. එ කලැ අනඳයෝ නිහඬ වෙත්. ඉදින් මෙහෙණ පිරිසෙක්, උවසු පිරිසෙක්, උවැසි පිරිසෙක් අනඳයන් දක්නට එළැඹෙයි නම්, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි, එහි ඉදින් අනඳයෝ දහම් කියත් නම්, ඔබ දහම් කතායෙනුදු එ පිරිස සතුටු වෙයි, උවැසි පිරිස එහි ලා අතෘප්ත ම වෙයි. එ කල්හි යැ අනඳයන් නිහඬ වනුයේ. මහණෙනි, මේ අසිරිමත් පුදුම සතර දහම් හු අනඳයන් කෙරෙහි වෙත්” යනු යි.
මහ සුදසුන් දෙසුම
101. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කලැ අනඳ තෙරණුවෝ “වහන්ස, (ගල් සෙල් ආදියෙන් විසම බැවින්) රළු නුවරක් වූ (මහරුක්හි ශාඛාවක් බඳු) අතුනුවරක් වූ මේ කුඩා නුවරෙහි නො පිරිනිවෙන සේක්වා. වහන්ස, චම්පා, රජගහ, සැවැත්, සාකේත, කොසොඹෑ, බරණැස් යන ආදි අන් මහ නුවරහු ඇත. ඒ එකෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. මේ නුවරන්හි තථාගතයන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පහන් වූ බොහෝ කැත් මහසල්හු ද බමුණු මහසල්හු ද ගැහැවි මහසල්හු ද ඇත. ඔහු තථාගතයන් වහන්සේගේ සිරුරට පූජාසත්කාර කරන්නාහ” යි සැළ කළහ.
“අනඳයෙනි, කුඩා නුවරෙකැ යි, රළු නුවරෙකැ යි, අතු නුවරෙකැ” යි මෙසේ නහමක් කියවු. අනඳයෙනි, බොහෝ පෙර දවසැ මෙහි මුදුනැ අබිසෙස් ලත්, සයුරහිම් සිවු මහදිවයිනට හිමි, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමාන වූ මහ සුදසුන් නම් කැත්රජෙක් විය.
අනඳයෙනි, මේ කුසිනාරා නුවර මහසුදසුන් රජුහුගේ කුශාවතී නම් රජදහන විය. අනඳයෙනි, කුශාවතී රජදහන පෙර දිගින් ද පැසිම් දිගින් ද අයමින් දොළොස් යොදුන් විය. උතුරු දිගින් ද දකුණු දිගින් ද විතරින් සත් යොදුන් විය. අනඳයෙනි, කුශාවතී රජදහන සමෘද්ධ ද සැපතින් පිරුණේ ද බොහෝ ජනයා ඇත්තේ ද මිනිසුන් ගෙන් ගැවැසුණේ ද සුලභ ආහාර පාන ඇත්තේ ද විය. අනඳයෙනි, දෙවියන්ගේ ආලකමන්‍දා රාජධානිය යම්සේ සමෘද්ධ ද, ස්ථිත ද, බහුජනවත් ද, යක්‍ෂාකීර්‍ණ ද, සුභික්‍ෂ ද, අනඳයෙනි, එසේ ම කුසාවතී රජදහනත් සමෘද්ධ ද ස්ථිත ද බහුජනවත් ද මනුෂ්‍යාකීර්‍ණ ද සුභික්‍ෂ ද විය. අනඳයෙනි, කුශාවතී රජදහන ඇත් හඬින් අස් හඬින් රිය හඬින් බෙර හඬින් මිහිඟුබෙර හඬින් වෙණ හඬින් ගී හඬින් සක් හඬින් කස් තල් හඬින් අත්තාලම් ඈ හඬින් ‘බුදිවු බොවු කවු’ යි දසවැනි හඬින් දැ යි දස හඬින් නිරතුරු විය. අනඳයෙනි, තෙපි යවු. කුසිනාරාවට පිවිස, කුසිනාරා වාසී මල්ලයනට “වාසිෂ්ටයෙනි, අද රෑ පැසිම් යම්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය, වාසිෂ්ටයෙනි, පිටත් වැ එවු. වාසිෂ්ටයෙනි, පිටත් වැ එවු. “අප ගම්කෙතෙහි තථාගතයන්ගේ පිරිනිවන වී ය. පැසිම් සෙමෙහි අපි ඔබ දක්නට නො ලදුම්හ’යි පසු වැ විපිළිසැරි නො වවු’ යි සැළ කරවු” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
අනඳ තෙරණුවෝ ‘වහන්ස, එසේ යැ’ යි ම භගවත් බුදුරජුනට පිළිවදන් අස්වා, හැඳ පෙරවැ පා සිවුරු ගෙන තමා දෙවෙනි කොටැති ව කුසිනාරාවට වන්හ.
මල්ලයන්ගේ වැඳීම
102. එ සමයෙහි කුසිනාරාවාසී මල්ලයෝ කිසි කරුණෙකින් සන්‍ථාගාරයෙහි (කාරණාකාරණ විචාරණ පිණිස රැස් වන හලෙහි) කැටි වූවාහු වෙත්. එ කලැ අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන්ගේ සන්‍ථානාගාරය වෙත වැඩියාහ. වැඩ, “වාසිෂ්ටයෙනි, අද රෑ පැසිම් යම්හි තථාගතයන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. වාසිෂ්ටයෙනි, නික්මැ යවු. වාසිෂ්ටයෙනි, නික්මැ යවු. ‘අප ගම්කෙතැ තථාගතයන් වහන්සේගේ පිරිනිවන වී ය. අපි පැසිම් සමයෙහි තථාගතයන් වහන්සේ දක්නට නො ලදුම්හ’ යි පසු වැ විපිළිසර ඇතියෝ නො වවු” යි කුසිනාරා වැසි මල්ලයනට සැළ කළහ.
අනඳ තෙරුන්ගේ මේ වචන අසා, මල්ලයෝ ද මල්ල ලෙහෙලියෝ ද (විවා නො පත් මල්ල තරුණියෝ ද) මල්ල බිරියෝ ද දුක් ඇත්තාහු, දොම්නස් ඇත්තාහු, සිතැ උපන් ශෝක ඇත්තාහු, ‘ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරි නිවෙන සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක, ඉතා වහා ලොවැ ඇස අතුරුදහන් වන්නේ යැ’ යි කෙහෙ උවා (කෙස් මුදා) හඬත්, දොහොත් හුවා (දෙ අත් හිසැ තබා) හඬත්, මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්, පෙරැළෙන්නාහු වැටී හොත් තෙනට ම පෙරැළී එත්, වැටී හොත් තැනින් ඉවතට ද පෙරැළී යෙත්.
ඉක්බිති මල්ලයෝ ද මල්ල පුත්හු ද මල්ල ලෙහෙලියෝ ද මල්ල බිරියෝ ද දුක් ඇත්තාහු, දෙම්නස් ඇත්තාහු, සිතැ උපන් ශෝකයෙන් යුක්ත වූවාහු, මල්ලයන්ගේ උපවර්‍තන නම් සල් වනයට, අනඳ තෙරුන් වෙතට එළැඹුණාහ. එ කල්හි, “ඉදින් මම් කුසිනාරා වැසි එකක් එකක්හු ලවා භාග්‍යවතුන් වහන්සේ වැන්දැවීම් නම්, කුසිනාරා පුරැ මල්ලයන් විසින් නො වඳනා ලද සේක් ම වන්නාහ. එ කල්හි මේ රෑ පාන් වන්නේ ය. මම් කුසිනාරා වැසි මල්ලයන් කුල පරම්පරා විසින් යි වෙන වෙන ම සිටුවා ‘වහන්ස, මෙ නම් මල්ල තෙම අඹුදරු සහිත වැ, පිරිස සහිත වැ, ඇමැත්තන් සහිත වැ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස බිමැ තබා වඳී’ යැ සැළ කෙරෙමින් භාග්‍යවතුන් වහන්සේ වැන්දෑවීම් නම් යෙහෙකැ” යි අනඳ තෙරුනට මේ සිත විය.
ඉක්බිති අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන් කුල පරපුර විසින් වෙන වෙන ම සිටුවා ‘වහන්ස, මෙ නම් මල්ල තෙම දරුවන් සහිත වැ, බිරිය සහිත වැ, පිරිස සහිත වැ, ඇමැත්තන් සහිත වැ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස බිමැ තබා වඳී’ යැ යි කියා භගවත් (බුදුරජුන්) වැන්දැවූ හ. එ කල්හි අනඳ තෙරණුවෝ මෙ නයින් පළමු යම්හි ම කුසිනාරා නුවරැ මල්ලයන් ලවා භගවත් බුදුරජුන් වැන්දවූහ.
සුභද්‍ර පරිව්‍රාජක වස්තුව
103. එ සමයෙහි සුභද්‍ර නම් පිරිවැජියෙක් කුසිනාරායෙහි වෙසෙයි. “අද රෑ පැසිම් යම්හි ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පිරිනිවන වෙතැ” යි සුභද්‍ර පිරිවැජි ඇසුයේ ම ය. ඉක්බිති ඔහුට “කිසි කලෙක ම (කලාතුරෙකින් ම) තථාගත අර්‍හත් සම්මාසම්බුදුවරයෝ ලොවැ උපදනාහ” යි වයසින් වැඩි සිටි මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය පිරිවැජියන් කියන වචනයෙක් මා විසින් අසන ලද්දේ ම ය. අද රෑ ම පැසිම් යම්හි මහණ ගොයුමාණන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය.
මට උපන් සැකයෙක් ද ඇත. යම්සේ මේ සැකය දුරැලියැ හෙම් ද එසේ මට දහම්දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ හැකි සේකැ’ යි “මෙසේ මම් මහණ ගොයුම් වහන්සේ කෙරෙහි පැහැදුණෙම් වෙමි” යි මේ සිත විය. ඉක්බිත්තෙන් සුභද්‍ර පිරිවැජි තෙම මල්ල රජුන්ගේ උපවර්‍තන සල්වනය යම් තැනෙක ද, අනඳ තෙරණුවෝ යම් තැනෙක ද, එ තැනට එළැඹියේ ය. එළැඹ අනඳ තෙරුන් අමතා “පින්වත් අනඳයෙනි, කිසි කලෙක්හි ම තථාගත අර්‍හත් සම්මාසම්බුදුවරයෝ ලොවැ උපදනාහ” යි වයසින් වැඩි සිටි මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය පිරිවැජියන් කියන මේ වචනය මා ඇසුවා ඇත. අද රෑ ම පැසිම් යම්හි මහණ ගොයුමන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. මේ සැකය මගෙන් දුරු වී යන පරිදි දහම් දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ හැකි සේකැ’ යි මෙසේ මහණ ගොයුමන් වහන්සේ කෙරෙහි මම් පැහැදුණෙකිම් වෙමි. පින්වත් අනඳයෙනි, මහණ ගොයුමන් වහන්සේ දක්නට ලබන්නෙම් නම් මැනැවැ’ යි මෙ වචන කී ය.
මෙසේ කී කල්හි අනඳ තෙරණුවෝ ‘ඇවැත් සුභද්‍රයෙනි, කම් නැත. තථාගතයන් වහන්සේ නො වෙහෙසන්න. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත වැ හෝනැ සේකැ’ යි වදාළහ. දෙවෙනි වර ද සුභද්‍ර පිරිවැජි ... තෙවෙනි වර ද සුභද්‍ර පිරිවැජි අනඳ තෙරුනට “පින්වත් අනඳයෙනි, කිසි කලෙක්හි ම තථාගත අර්‍හත් සම්මාසම්බුදු වරු ලොවැ උපදනාහ’ යි වයෝවෘද්ධ වූ මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය පිරිවැජියන් කියන මෙ බස් මා ඇසුවා ඇත. අද රෑ ම පැසිම් යම්හි මහණ ගොයුමන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. මේ සැකය මගෙන් දුරු වන පරිදි දහම් දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ සමත් සේකැ’ යි මෙසේ ඔබ කෙරෙහි මම් පැහැදුණෙම් වෙමි. පින්වත් අනඳයෙනි, මහණ ගොයුමන් වහන්සේ දක්නට ලබන්නෙම් නම් මැනැවැ’ යි මෙ බස් පැවැසී ය. තෙවෙනි වර ද අනඳ තෙරණුවෝ සුභද්‍ර පිරිවැජියාට ‘ඇවැත් සුභද්‍රයෙනි, කම් නැත. තථාගතයන් වහන්සේ නො වෙහෙසන්න. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත වැ හෝනා සේකැ’ යි වදාළහ.
104. සුභද්‍ර පිරිවැජියා හා පැවැති අනඳ තෙරුන්ගේ මේ කථා සංවාදය භගවත් බුදුරජුහු ඇසූහු ම ය. ඉක්බිති භගවත්හු අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, කම් නැත. සුභද්‍රයා නහමක් වළක්වවු. සුභද්‍ර තෙමේ තථාගතයන් දක්නට ලබා වා. සුභද්‍රයා යම් කිසිවක් මා විචාරන්නේ ද, ඒ සියල්ල දැනගනුයෙහි අපේක්‍ෂා ඇත්තේ ම, වෙහෙසන අදහසක් නැත්තේ ම විචාරයි. විචාරනු ලැබූ මම් යමක් ඔහුට හෙළි කරන්නෙම් ද, යුහු ව ම හේ එය දැනගන්නේ යැ” යි වදාළ සේක.
එ කල්හි අනඳ තෙරණුවෝ සුභද්‍ර පිරිවැජියාට, “ඇවැත්නි, සුභද්‍රයෙනි, යන්නැ. ඔබට භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන සේකැ” යි කීහ. එවිටැ සුභද්‍ර පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ ඔබ හා සතුටු වන්නට නිසි, සිතැ රැඳෙන්නට නිසි කථා නිම කොට එක් පසෙක ඉඳ ගත්තේ ය. එක් පසෙක හිඳ ම සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුනට කථා කොට “භවද් ගෞතමයිනි, ශ්‍රාවක සංඝයා ඇති, සවු ගණ ඇති, ගණැදුරු වූ, ප්‍රකට වූ, යශස් ඇති බොහෝ දෙනා විසින් සාධු යැ යි සම්මත වූ, කාශ්‍යපගෝත්‍රික පුරාණ, ගෝශාලමස්කරි, කේශකම්බල දැරු අජිත, කාත්‍යායන ගෝත්‍රික පකුධ, වෛරාටිපුත්‍ර සංයත, ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථ යන යම් මේ තීර්‍ත්‍ථංකර කෙනෙක් වූහු ද, ඔහු හැම දෙනා තමන් පිළිණ කළ සේ සත්‍යය දැන ගත්තාහු ද? ඔහු හැම දෙනාම එසේ නො ම දැන ගත්තාහු ද? නො හොත් (ඔවුන් අතුරෙන්) එක්තරා කෙනෙක් දැන ගත්තාහු එක්තරා කෙනෙක් නො ම දැන ගත්තාහු දැ?” යි මෙ පැණය විචාළේ ය.
“සුභද්‍රයෙනි, එයින් වැඩෙක් නැත. ‘ඒ සියලු දෙනා තමන් පිළින කරන පරිදි සත්‍යය දැන ගත්තාහු ද? සියල්ලෝ ම නො දැන ගත්තාහු ද? නො හොත් එක්තරා කෙනෙක් දැන ගත්තාහු, එක්තරා කෙනෙක් නො දැන ගත්තාහු ද?’ යන මේ කරුණ සිටි වා (පසෙකැ තැබේ වා). සුභද්‍රයෙනි, තොපට දහමක් දෙසන්නෙමි. එය අසවු, මෙනෙහි කරවු. කියන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ ය, වහන්සැ” යි ම සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදු රජුනට පිළිවදන් ඇස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
105. “සුභද්‍රයෙනි, යම් ධර්‍ම විනයයෙක (යම් සස්නෙක) අරී අටැඟි මඟ නො ලැබෙයි ද, එහි (පළමු වන) සෝවාන් මහණ ද නො ලැබේ (නො මැත), දෙවෙනි සෙදැගැමි මහණ ද එහි නැත, තෙවෙනි අනැගැමි මහණ ද එහි නැත, සතර වන රහත් මහණ ද එහි නැත. වැලි දු සුභද්‍රයෙනි, යම් සස්නෙක අරී අටැඟි මඟ ඇද්ද, එහි (පළමු) සෝවාන් මහණ ද ඇත, දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, තෙවැනි අනගැමි මහණ ද ඇත, සතරවන රහත් මහණ ද ඇත. සුභද්‍රයෙනි, මෙ (දහම් විනය ඇති) සස්නෙහි අරී අටැඟි මඟ ඇත. සුභදුයෙනි, මෙහි ම (පළමු) සෝවාන් මහණ ද ඇත, මෙහි ම දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, මෙහි ම තෙවෙනි අනැගැමි මහණ ද ඇත, මෙහි ම සිවු වැනි රහත් මහණ ද ඇත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ (පර තන්ත්‍රයෝ) සත්‍යයෙන් ශුන්‍ය හ. සුභද්‍රයෙනි, මේ මහණහු ද නිසි පරිදි වසන්නාහු නම් ලොව රහතුන් ගෙන් හිස් නො වන්නේ ය.”
“සුභද්‍රයෙනි, කුසල් නම් (නිවන් මඟ නම්) කිම් දැ යි සොයනුයෙම් මම් පැවිදි වීමි යන යමක් ඇද්ද, එය වයසින් එකුන්තිසක් ඇත්තෙම් කෙළෙමි. සුභදුයෙනි, යම් කලෙක මම් පැවිදි වීම් ද, එ දා සිට මෙ දෑතුරෙහි මඳක් වැඩි පස් පනස් වසෙක් ඉකුත් විය. අරීමඟ දහමැ විවසුන් වැඩීම් වශයෙන් ඒකදේශයෙක්හි දු (එක් කොටසෙක නමුදු) පවත්නා මහණෙක් මෙ සස්නෙන් බැහැරැ නැත. පළමු මහණ ද මෙ සස්නෙන් බැහැරැ නැත. දෙවෙනි මහණ ද නැත. තෙවෙනි මහණ ද නැත. සිවුවන මහණ ද නැත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ හිස් හ. සුභද්‍රයෙනි, මේ මහණහු නිසි පරිදි (සම්‍යක්ප්‍රතිපන්න වැ) වසන්නා හු නම්, ලොව රහතුන් ගෙන් නොසිස් වන්නේ ය.”
106. මෙසේ වදාළ කල්හි සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුනට, “වහන්ස, දම් දෙසුම ඉතා මනා ය, වහන්ස, දම් දෙසුම ඉතා මනා ය. යම් සේ මුණින් නමා තුබූ බඳුනක් උඩුකුරු කොට තබන්නේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ ද, මං මුළා වූවක් හට මඟ කියන්නේ ද, ඇස් ඇත්තන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ ද, එ සේම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් මට දහම් පැවැසිණ. වහන්ස එයැසූ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂූ සංඝයා ද සරණ යෙමි. වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්ද ලබම් වා, උපසපුව ලබම් වා” යි කී ය.
“සුභද්‍රයෙනි, පෙරැ අන් තොටු වූයෙක් මෙ සස්නැ පැවිද්ද කැමැත්තේ නම්, උපසපුව කැමැත්තේ නම්, හේ සිවු මසක් පිරිවෙස් වෙසෙයි. සිවු මස ඇවෑමෙන් සතුටු වූ මහණහු ඔහු භික්‍ෂූත්‍වය පිණිස පැවිදි කෙරෙත්, උපසපන් කෙරෙත්. වැළිදු මෙහි ලා මා විසින් පුඟුල් වෙසෙස දන්නා ලද්දේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, “ඉදින් වහන්ස, පෙරැ අන් තොටු වූවාහු මෙ සස්නැ පැවිද්ද පතන්නාහු, උපසපුව පතන්නාහු, සිවු මසක් පිරිවෙස් වසන්නාහු නම්, සිවු මස ඇවෑමෙන් සතුටු සිතැති මහණහු භික්‍ෂූත්‍වය පිණිස පැවිදි කරන්නාහු, උපසපන් කරන්නාහු නම්, මම් (සිවුමසක් නො ව) සිවුවසක් ම පිරිවෙස් වසන්නෙමි. සිවු වස ඇවෑමෙන් සතුටු වූ සිතැති මහණහු භික්‍ෂුභාවය පිණිස මා පැවිදි කෙරෙත් වා, උපසපන් කෙරෙත් වා” යි පිරිවැජි කී ය.
ඉක්බිති භගවත්හු අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, එසේ වී නම් සුභද්‍රයා පැවිදි කරන්නැ” යි වදාළහ. “එසේ ය වහන්සැ” යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. එ කල්හි සුභද්‍ර පිරිවැජි තෙම අනඳ තෙරුනට “ඇවැත් අනඳයෙනි, යම් කෙනෙක් මෙහි ශාස්තෘන් හමුයෙහි අන්තේවාසිකාභිසේකයෙන් අභිෂික්ත ද, ඒ ඔබට මහත් ලාභ කෙනෙක, ඒ ඔබ විසින් ලද සේ මැනැවැ” යි කී ය.
සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුන් වෙතැ පැවිද්ද ලැබී ය, උපසපුව ලැබී ය. ආයුෂ්මත් සුභද්‍ර තෙම උපසපන් වූ නොබෝ කල් ඇත්තේ ම හුදෙකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වැ නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ කමටහන කරා මෙහෙයූ සිතැති වැ වසනුයේ, යමක් පිණිස කුලදරුවෝ මනා ව ම ගිහිගෙන් නික්ම සසුන් වදනා හු ද, ඒ මඟබඹසරැ කෙළවර වූ ලොවුතුරා රහත් බව මේ අත් බව්හි ම නොබෝ කල්හි ම තෙමේ ම නුවණින් දැන පසක් කොට ලැබ විසී ය. හේ “ඉපැත්ම නැවැතිණ, මහ බඹසර වැස නිමැවිණ. කළ යුතු දෑ කොට නිමැවිණ. මේ රහත් බව පිණිස තව කළ යුතු දැයෙක් නැතැ” යි වෙසෙසින් දත්තේ ය. ආයුෂ්මත් සුභද්‍රයෝ රහතුන්ගෙන් එක්තරා කෙනෙක් වූ හ. ඔබ භගවත් බුදුරජුන්ගේ අන්තිම ප්‍රත්‍යක්‍ෂ ශ්‍රාවක (ඔබ ධරමාණ කල්හි ම රහත් වූ අන්තිම ශ්‍රාවක) වූහ.
පස් වන බණවර යි.
තථාගතයන් වහන්සේගේ අන්තිම වචනය
107. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා මෙසේ වදාළ සේක:
“අනඳයෙනි, ප්‍රවචනය (පෙළ දහම) ඉකුත් වූ ශාස්තෘහු ඇති එකෙකැ යි ‘අපගේ ශාස්තෘහු නැතැ’ යි තොපට මෙ බඳු සිතක් ඇති විය හැක්කේ ම ය. අනඳයෙනි, එය එසේ දැක්ක යුතු නො වෙයි. අනඳයෙනි, මා විසින් යම් දහමෙකුත් විනයෙකුත් දෙසිණි ද පැණැවිණි ද එය මා ඇවෑමෙන් තොපට ශාස්තෘ වෙයි. අනෙකක් කියම්. අනඳයෙනි, දැන් මහණහු උනුනට ආවුසෝවාදයෙන් (ඇවැත්නි යි යන වචනයෙන්) කතා කෙරෙත් ද, මා ඇවෑමෙන් එසේ කතා නො කළ යුතු. අනඳයෙනි, (උපසපුයෙන්) වඩා මහලු වූ මහණහු විසින් (උපසපුයෙන්) වඩා බාල වූ මහණ තෙම සංඥානාමයෙන් හෝ ඔහු අයත් ගෝත්‍රයේ නමින් හෝ ආවුසෝවාදයෙන් හෝ ඇමැතියැ යුතු. වඩා බාල මහණහු විසින් වඩා මහලු මහණ තෙම ‘වහන්සැ’ යි හෝ ‘ආයුෂ්මත්නි’ යි හෝ කියා ඇමැතියැ යුතු.
අනඳයෙනි, ඉදින් සංඝ තෙමේ කැමැති වන්නේ නම්, මා ඇවෑමෙන් කුඩා අනු කුඩා සික පද සමූහනනය කෙරේ වා (උදුරා ඉවත් කෙරේවා).
අනඳයෙනි, මා ඇවෑමෙන් ඡන්න මහණහට බ්‍රහ්මදණ්ඩනය දියැ යුතු. ‘වහන්ස, බ්‍රහ්මමදණ්ඩනය නම් කවරේ දැ’ යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ. ‘අනඳයෙනි, ඡන්න මහණ යමක් කැමැත්තෙන් ද එය කියා වා. මහණුන් විසින් හෙ තෙම කිසිවක් නො කියැ යුතු (ඔහු හා කතා නො කළ යුතු), නො ම ඔවා දියැ යුතු, අනුශාසනා නො ම කට යුතු. (බ්‍රහ්ම දණ්ඩන නම් මේ යැ.)’
108. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණුන් බණවා වදාරනසේක්, ‘මහණෙනි, එක් මහණකුට නමුදු බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මාර්‍ගය කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ සැකයෙක් හෝ විමතියෙන් ඇත් නම්, මහණෙනි, එය විචාරවු. ‘ශාස්තෘහු අපට හමු වූහ. අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නො හැකි වූ මු’ යි පසු වැ විපිළිසැරි නො වවු’ යි වදාළ සේක. මෙසේ වදාළකල්හි ඒ මහණහු නිහඬ වූහ. භගවත්හු දෙවෙනි වර ද ... තෙවෙනි වරද ‘මහණෙනි, එක් මහණකුට නමුදු බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මාර්‍ගය කෙරෙහි, පිළිවෙත කෙරෙහි හෝ සැකයෙක් හෝ විමතියෙක් හෝ ඇත් නම් එය විචාරවු. ‘ශාස්තෘහු අපට හමු වූහ, අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නො හැකි වූ මු’ යි පසු වැ විපිළිසැරි නො වවු’ යි වදාළහ. තෙවෙනි වරැ ද ඒ මහණහු නිහඬ වූහු. එ විට භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, ‘මහණෙනි, ශාස්තෘහු කෙරෙහි ගෞරවයෙනුදු තොප නො විචාරනු විය හැක්ක. (එසේ කලැ) යහලු මහණ තෙමේ යහලු මහණකුට හෝ සැළ කෙරේ වා’ යි වදාළ හ. මෙසේ වදාළ කල්හි ද ඒ මහණහු නිහඬ වුහ.
එ කල්හි අනඳ තෙරණුවෝ ‘වහන්ස, ආශ්චර්‍ය්‍ය! වහන්ස, අද්භූත ය! වහන්ස, බුදුරජුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මඟ කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ එක් මහණක්හට දු සැකයෙක් හෝ විමතියෙන් හෝ නැතැ’ යි මෙසේ මේ භික්‍ෂූ සංඝයා කෙරෙහි මම් පැහැදුණෙමි’ යි භගවත් බුදුරජුනට සැළ කළහ.
“අනඳයෙනි, තෙපි පැහැදීමෙන් (ප්‍රසාදය හේතු කොට ගෙන) මෙසේ කියවු. අනඳයෙනි, තථාගතයන්ගේ වූකලි මෙ කරුණෙහි ලා ‘මෙ මහණ මුළුයෙහි එක් මහණකුට ද බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මඟෙහි හෝ පිළිවෙතෙහි හෝ සැකයෙක් හෝ විමතියෙක් හෝ නැත. අනඳයෙනි, මේ පන්සියක් මහණුන් අතුරැ යම් පැසිම් සවු මහණෙක් වේ ද, හේ සිවු අවාහි නො වැටෙන සුලු සම්‍යක්ත්‍ව නියමයෙන් නියත වූ, සම්බෝධිය (ඉදිරි මාර්‍ගත්‍රයය) ප්‍රතිෂ්ඨා කොට ඇත්තේ මැ” යි දැනීම ඇත්තෙකු වි වදාළ සේක.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමැතූ සේක: “මහණෙනි. දැන් තොප අමතමි (තොපට උපදෙස් දෙමි). සංස්කාරයෝ නැසෙන සුලු හ. (එ බැවින්) නො පමායෙන් (එළැඹැවූ සිහියෙන්) රහත් බව පිණිස කළ යුතු දෑ සපය වූ (සපුරවු)”
මේ භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වචනය විය.
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීම
109. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළමු දහන් සම වැදුණු සේක. පළමු දැහැනෙන් නැඟී දෙවෙනි දහන් සම වැදුණු සේක. දෙවෙනි දැහැනෙන් නැඟී තෙවෙනි දහන් සම වැදුණු සේක. තෙවෙනි දැහැනෙන් නැඟී සිවුවැනි දහන් සමවන් සේක. සිවුවැනි දැහැනෙන් නැඟී ආකාසානඤ්චායතන දහන් සමවත් සේක. ආකාසානඤ්චායතන සමවතින් නැඟි විඤ්ඤාණඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤාණඤ්චායතන සමවතින් නැඟී ආකිඤ්චඤ්ඤායතනයට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් සේක.
එ කල්හි අනඳ තෙරණුවෝ ‘අනුරුද්ධයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක් දැ?’ යි අනුරුත් තෙරුන් විචාළහ. ‘ඇවැත් අනඳයෙනි, භාග්‍යවතුන් වහන්සේ නො පිරිනිවි සේක. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් සේකැ’ යි අනුරුත් තෙරණුවෝ වදාළහ.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැඟී සිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී ආකිඤ්චඤ්ඤායතන සමවතට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී විඤ්ඤාණඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤාණඤ්චායතන සමවතින් නැඟී ආකාසානඤ්චායතනයට සමවන් සේක. ආකාසානඤ්චායතන සමවතින් නැඟී සිවුවැනි දහනට සමවන් සේක. සිවුවැනි දැහැනෙන් නැඟී තෙවෙනි දහනට සමවන් සේක. තෙවෙනි දැහැනින් නැඟී දෙවෙනි දහනට සමවන් සේක. දෙවෙනි දැහැනින් නැඟී පළමු දහනට සමවන් සේක. පළමු දැහැනින් නැඟී දෙවෙනි දහනට සමවන් සේක. දෙවෙනි දැහැනින් නැඟී තෙවෙනි දහනට සමවන් සේක. තෙවෙනි දැහැනින් නැඟී සිවුවැනි දහනට සමවන් සේක. සිවුවැනි දැහැනින් නැඟී එයට අනතුරු වැ පිරිනිවි සේක.
110. භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවෙනු හා මැ බිහිසුණු වූ ලොමුදහ ගැනුම් ඇති කරන මහද් භූමිචලනයෙක් විය. දෙව්බෙර පැළිණ. භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවන හා මැ සහම්පති මහ බඹ “සබ්බේව නික්ඛිපිස්සන්ති ... සම්බුද්ධෝ පිරිනිබ්බුතො” යි මේ ගීය ගැයී ය.
එහි අදහස: “ලොවැ හැම සත්හු ම යම් සේ (ජීවිතේන්‍ද්‍රිය පරිහාණියෙන්) සිරුර හැරදමත් ද, එසේ ම දශවැදෑරුම් ඥාණබලයට පැමිණි, ලොවැ ඔබට සමපුඟුලක්හු නැති, තථාගත වූ සම්බුද්ධ වූ මෙ බඳු වූ ශාස්තෘන් වහන්සේ පිරිනිවි සේක.”
භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවෙනු හා මැ සක්දෙවිඳු “අනිච්චාවත සංඛාරා ... තෙසං වූපසමෝ සුඛො” යි මේ ගය කී ය.
එහි අදහස: “පසයෙන් හටගත් සියලු දෑ ඒකාන්තයෙන් ඉපැදෙන වැනැසෙන සුලු ය. ඔහු ඉපැද නැසෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ගෙන දෙයි.”
භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි පිරිනිවෙනු හා මැ අනුරුත් තෙරණුවෝ “නාහු අස්සාසපස්සාසා ... විමොක්ඛො චෙතසො අහු” යි මේ ගාථා වදාළහ.
එහි අදහස: “තහවුරු සිතැති, අටලෝ දහමින් නොසැලෙන බුදුරජුන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නැවැතුණාහ (නො පැවැත්මට පැමිණියාහ). ඒ මුනිහු තෘෂ්ණා නැතියාහු, නිවන් අරමුණු කොට කලුරිය කළාහ
ඔබ (නො හැකුලුණු සිතින් මරණාන්තික) වේදනාව ඉවැසූහ. පහනක් නිවෙනු සෙයින් ඔබ සිතැ මිදීම විය.”
භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි ඔබ පිරිනිවෙන්නා හා මැ අනඳ තෙරණුවෝ මේ “තදාසි යං හිංසනකං ... සම්බුද්ධෝ පරිනිබ්බුතෙ” යි මේ ගය වදාළහ.
එහි අදහස: “(සිල් ආදි) සියලු උතුම් කරුණින් යුත් සම්මාසම්බුදු රජුන් පිරිනිවි කල්හි, එ කෙණෙහි මහත් බිහිසුණු පොළෝ සැලීමෙක් විය. එකෙණෙහි මහත් ලොමුදහ ගැන්මෙක් විය.”
111. එහි නොපහ වූ රාගය ඇති යම් මහණ කෙනෙක් වූහු ද, ඔහු භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, “භාග්‍යවතුන් වහන්සේ ඉතා යුහු වැ පිරිනිවි සේක! සුගතයන් වහන්සේ ඉතා යුහු වැ පිරිනිවි සේක!! ලොවේ ඇස ඉතා යුහු වැ අතුරුදහන් වී යැ!!!” යි ඇතැම් කෙනෙක් දොහොත් හුවා හඬත්, මැදින් බිඳී වැටුණවුන් සේ වැටෙත්. (පෙරැළෙන්නාහු) වැටුණ තැනට ම පෙරැළී එත්, වැටුණු තැනින් ඔබ්බට ද පෙරැළී යෙත්. යම් මහණ කෙනෙක් පහ වූ රාග ඇත්තාහු ද, ඔහු එළැඹැවූ සිහි ඇත්තාහු නුවණින් සලකන්නාහු, ‘සංස්කාරයෝ අනිත්‍යහ. ඔවුන් නොනැසෙන බවෙක් කොයින් ලැබෙන්නේ දැ’ යි සලකන්නෝ ඉවසත්.
112. ඉක්බිති අනුරුත් තෙරණුවෝ භික්‍ෂූන් අමතා, “ඇවැත්නි, හැඬුමෙන් වැඩෙක් නැත. නො ම සොවිවු. නො ම වැලැපෙවු. ප්‍රිය මනාප හැම දැයෙන් ඉවත් වීම, වෙන් වීම, අන් සැටියෙකින් වීම යන මෙය කල් තබා ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදුයේ නො වේ ද? ඇවැත්නි, යමෙක් උපන්නේ ද, වූයේ ද පසයෙන් සකස් වූයේ ද, නැසෙන සුලු ද, එය නො නැසේ ව” යි යන්න කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ අවිද්‍යමාන ය. ඇවැත්නි, දේවතාවෝ ද තොප හැඬුමට දොස් කියත්” යි වදාළහ.
“වහන්ස, අනුරුත් තෙරුනි, ඔබ කෙසේ වූ දේවතා කෙනකු මෙනෙහි කරත් දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ. “ඇවැත් අනඳයිනි, අහ සැ පොළොවැ යි සංඥා ඇති දේවතා කෙනෙක් ඇත. ඔහු ‘භාග්‍යවතුන් වහන්සේ ඉතා වහා පිරිනිවි සේකැ යි, සුගතයන් වහන්සේ ඉතා වහා පිරිනිවි සේකැයි, ලොවැ ඇස ඉතා වහා අතුරු දහන් වී යැ’ යි කෙහෙ මුදා වැලැපෙත්. හිසැ අත් හුවා වැලැපෙත්. මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්. බිමැ පෙරැළෙන්නාහු වැටී හොත් තැනට ම පෙරැළී එත්, වැටී හොත් තැනින් ඔබ්බට ද පෙරැළී යෙත්. අනඳයෙනි, පොළොවෙහි පොළොවැ යි සංඥා ඇති දේවතා කෙනෙක් ඇත. ඔහු “... අතුරුදහන් වී යැ” යි කෙසේ මුදා වැලැපෙත්. යම් දේවතා කෙනෙක් පහ වූ රාග ඇත්තෝ ද (අනාගාමී හෝ රහත් වූ වෝ ද), ඔහු “සංස්කාරයෝ අනිත්‍යහ, (ඔහු නො නැසෙත් යන) එය මෙහි කොයින් ලැබේ දෑ?” එළැඹැවූ සිහි ඇත්තාහු, නුවණින් දන්නාහු ඉවසත්.”
113. එ කල්හි අනුරුත් තෙරණුවෝ ද අනඳ තෙරණුවෝ ද ඒ රැය ඉතිරි කොටස දැහැමි කතායෙන් ගෙවූහ. ඉක්බිති අනුරුත් තෙරණුවෝ අනඳ තෙරුන් අමතා, “ඇවැත්නි, අනඳයෙනි, කුසිනාරාවට යන්න. කුසිනාරාවට වැද, “වාසිෂ්ඨයිනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක. එහි යම් ගමනකට අදහස් කරවු ද එයට (දැන් කාලය වේ යැ යි) කාලය දනිවු” යැ යි කුසිනාරාවාසී මල්ල රජුනට සැළ කරවු” යැ යි වදාළාහ. ‘එසේ යැ වහන්සැ’ යි ම අනඳ තෙරණුවෝ අනුරුත් තෙරුනට පිළිවදන් දී, පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, තමා දෙවැනි කොටැති වැ, කුසිනාරාවට පිවිසියාහ. එ සමයෙහි කුසිනාරා වැසි මල්ලයෝ ඒ කටයුත්තෙන් ම සන්‍ථාගාරයෙහි රැස්වූවාහු වෙත්. එ කලැ අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන්ගේ සන්‍ථාගාරය කරා එළැඹියාහ. එළැඹ ඔවුනට ‘වාසිෂ්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක. එහි යම් ගමනකට අදහස් කරවු නම් එයට කල් දනිවු’ යැ යි සැළ කළාහ. අනඳ තෙරුන්ගේ මේ වචන අසා, මල්ල රජහු ද, මල්ල රජුන් පුත්තු ද, මල්ල රජුන් ලෙහෙළියෝ ද, මල්ල රජුන් බිරියෝ ද, දුක් ඇත්තාහු දොම්නස් ඇත්තාහු, සිත්හි උපන් දුකින් යුක්ත වූවාහු, “ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක! ඉතා වහා සුගතයන් වහන්‍සේ පිරිනිවි සේක!! ඉතා වහා ලොවැ ඇස අතුරුදහන් වී යැ!!!’ යි ඇතැම් කෙනෙක් කෙහෙමුදා හඬත්, ඇතැම් කෙනෙක් දොහොත් හුවා හඬත්, ඇතැම් කෙනෙක් මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්, වැටී හොත් තැනට පෙරැළී එත්, වැටී හොත් තැනින් ඔබ්බට පෙරැළී යෙත්.
114. එයට පසු කුසිනාරා වාසී මල්ලයෝ පුරුෂයන් බණවා “සගයෙනි, එසේ වී නම් තෙපි කුසිනාරායෙහි සුවඳ දෑ හා මල් ද සියලු තූර්‍ය්‍ය භාණ්ඩ ද රැස්කරවු යැ” යි ඇණැවූහ. ඉක්බිති කුසිනාරා පුරවැසි මල්ලයෝ සුවඳ ද මල් ද සියලු තූර්‍ය්‍ය භාණ්ඩ ද කාසික වස්ත්‍ර යුගල පන්සියයක් ද ගෙන මල්ලයන්ගේ උපවර්‍තන සල් උයන යම් තැනෙක ද, භගවත් බුදුරජුන්ගේ ශ්‍රී දේහය යම් තැනෙක ද, එ තැනට එළැඹියාහ. එළැඹැ, භගවත් බුදුරජුන්ගේ සිරි සිරුරට නැටුමින් ගීයෙන් වැයුමෙන් මලින් සුවඳින් සත්කාර කරන්නාහු, ගෞරව කරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු මහඟු වතින් වියන් බඳනාහු, මඩුලුමල් පිළියෙල කරන්නාහු එක් දවසක් ගෙවූහ. ඉක්බිති කුසිනාරා වැසි මල්ලයනට ‘අද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන කරන්නට ඉතා නො කල් ය. සෙට දවසැ අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන කරන්නමු’ යි මේ සිත විය. එයට පසු කුසිනාරා වැසි මල්ලයෝ භගවත් බුදුරජුන් සිරි සිරුරට නැටුම් ගැයුම් වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගරුකාර කරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු, මහඟු වතින් වියන බඳනාහු, මඬුලුමල් පිළියෙල කරන්නාහු, දෙවෙනි දවස ද ගෙවූහ, තෙවෙනි දවස ද ගෙවූහ, සතරවැනි දවස ද ගෙවූහ, පස්වැනි දවස ද ගෙවූහ, සවැනි දවස ද ගෙවූහ. ඉක්බිති සත්වැනි දවසෙහි කුසිනාරා වැසි මල්ලයනට “අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර නැටුම් ගී වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගරුකාර මානන පූජන කරන්නමෝ, නුවර දකුණු දෙසින් දකුණු දිගට වැඩම කරවා, (ඇතුළු නුවරට නො පිවිස්වා) නුවර බැහැරින් ම බැහැරට පමුණුවා, නුවරට දකුණු දිග්හි දී ආදාහන කරන්නෙමු” යි මේ සිත විය.
115. එ සමයෙහි පාමොක් මල්ල රජුහු අට දෙනෙක් ඉස් සෝදා නා අළුත් වස්ත්‍ර හැඳගත්තාහු, “අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඔසොවා ගෙන යන්නම්හ” යි තැත් කරන්නාහු දු එය ඔසොවන්නට නො හැකි වෙත්. එ විට කුසිනාරා වැසි මල්ලයෝ ‘වහන්ස, අනුරුද්ධයෙනි, මේ පාමොක් මල්ලයෝ අට දෙන හිස් සෝදා නා අළුත් වත් හැඳ “අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඔසොවන්නෙමු’ යි තැත් කරන්නාහු එය ඔසොවන්නට යම් හෙයෙකින් නො හැකි වෙත් ද, එයට හේතුව කවර යැ? එයට ප්‍රත්‍යය කවර යැ?” යි අනුරුත් තෙරුන් විචාළහ. “වාසිෂ්ඨයෙනි, තොප අදහස අන් සැටියෙක. දෙවියන් අදහස අන් සැටියෙකැ” යි අනුරුත් තෙරණුවෝ වදාළහ. “වහන්ස, දෙවියන් අදහස කෙසේ දැ?” යි මල්ලයෝ විචාළහ. “වාසිෂ්ඨයෙනි, ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර නැටුම් ගී වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගුරුකාර බහුමාන පූජා කෙරෙමින් නුවරැ දකුණු දෙසින් දකුණු දිගට වැඩම කරවා නුවර බැහැරින් ම බැහැරට පමුණුවා නුවරට දකුණු දිග්හි දී ආදාහන කරන්නමු’ යි තොප අදහස ය. “අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර දෙව් නැටුමින් දෙව් ගැයුමින්, දෙව් මලින් දෙව් සුවඳින් සත්කාර ගුරුකාර බහුමාන පූජනා කෙරෙමින් නුවර උතුරින් උතුරු දිගට වැඩම කරවා, උතුරු දොරින් නුවරට පිවිස්වා, නුවරට මැදින් නුවර මැදට පමුණුවා, නැගෙනහිර දිගැ දොරින් පිටතට වැඩම කරවා, නුවරට පෙරදිගැ මල්ලයන්ගේ මුකුට බන්‍ධන නම් යම් සෑයෙක් ඇද්ද, එහි ආදාහනය කරන්නම්හ’ යනු දේවතාවන් ගේ අදහස යැ” යි අනුරුත් තෙරණුවෝ වදාළහ. “වහන්ස, දේවතාවන්ගේ අදහස යම්සේ ද එසේ වේ වා” යි මල්ලයෝ කීහ.
116. එ සමයෙහි වනාහි කුසිනාරා නුවර ගෘහසන්‍ධි ද වැසිකිළි කාණු ද කැළිකසළ දමන තැන් ද දක්වා ම දනක් පමණ බහල කොට මදාරා මලින් අතුරන ලද්දේ විය. ඉක්බිති දෙවියෝ ද කුසිනාරා පුරැ මල්ල රජදරුවෝ ද භගවත් බුදු රජුන්ගේ ශ්‍රී ශරීරය දිව්‍ය වූ ද මානුෂක වූ ද නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් මලින් සුවඳින් සත්කාර කරන්නාහු, ගෞරව කරන්නාහු, බුහුමන් කරන්නාහු, පුදන්නාහු නුවරැ උතුරින් උතුරු දිගට වැඩම කරවා, උතුරු වහසල් දොරින් නුවරට පිවිස්වා, නුවරැ මැදින් නුවරැ මැදට පමුණුවා පෙරදිගැ වහසල් දොරින් පිටතට වැඩම කරවා, නුවරට පෙර දිගැ වූ මල්ල රජුන්ගේ මුකුටබන්‍ධන නම් යම් සෑයෙක් (මංගල ශාලාවෙක්) වී ද එහි තැන් පත් කළා හ.
117. ඉක්බිති කුසිනාරා පුරැ මල්ල රජුහු “අනඳ තෙරුන් වහන්ස, කෙසේ අපි තථාගතයන් වහන්සේගේ සිරි සිරුරෙහි පිළිපදිමු දැ?” යි අනඳ තෙරුන් විචාළහ. “වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි යම් සේ පිළිපදිත් ද, තථාගතයන් වහන්සේගේ සිරි සිරුරෙහි ද එසේ ම පිළිපැදියැ යුතු” යැ යි අනඳ තෙරණුවෝ වදාළහ. ‘අනඳ තෙරුන් වහන්ස, සක්විති රජුගේ සිරුරෙහි කෙසේ පිළිපදිත් දැ?’ යි මල්ල රජුහු විචාළහ. “වාසිෂ්ඨයිනි, සක්විත්තහුගේ සිරුර අළුත් වතින් වෙළත්. අළුත් වතින් වෙළා මොනොවට නඟා පෑදු කපුපුළුනින් වෙළත්. නඟා පෑදු කපුපුළුනින් වෙළා (යළි) අළුත් වතින් වෙළත්. මේ නයින් යුගල පන් සියෙකින් සක්විති රජුගේ සිරුර වෙළා, රන්මුවා තෙල් දෙණෙක බහා අන් රන්මුවා දෙණෙකින් වසා, සියලු වගයේ සුවඳ දරින් දර සෑයක් තනා, සක්විති රජුගේ සිරුර දවත්. සිවුමං හන්දියෙක සක්විති රජුට (ඔහු සිරුරැ ඉතිරි වූ අලු ඈ නිදන් කොට) ස්තූපයක් නංවත්. වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි මෙසේ පිළිපදිත්. වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි යම් සේ පිළිපදිත් ද ,එසේම තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි ද පිළිපැද්ද යුතු. සිවුමං හන්දියෙකැ තථාගතයන් වහන්සේ ට (ඔබ ශාරීරික ධාතූන් නිදහන් කොට ස්තූපක් කළ මනා ය. එහි යම් කෙනෙක් මල් හෝ සුවඳ හෝ ... නඟන්නාහු (පුදන්නාහු) හෝ වෙත් ද, ආදරයෙන් වඳින්නාහු හෝ වෙත් ද, සිත පහදවන්නාහු හෝ වෙත් ද, එය ඔවුනට බොහෝ කල් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි අනඳ තෙරණුවෝ වදාළහ.
ඉක්බිති කුසිනාරා පුර වැසි මල්ල රජුහු පුරුෂයන් බණවා ‘එසේ නම් සගයිනි, මල්ල රටැ ඇති නඟා පාදන ලද කපුපුළුන් එක් තැන් කරවු’ යැ යි ඇණැවූහ. එයට පසු කුසිනාරා පුරැ වැසි මල්ල රජුහු භගවත් බුදුරජුන් සිරි සිරුර අළුත් වතින් වෙළූහ. අළුත් වතින් වෙළා නඟා පාදන ලද කපු පුළුනෙන් වෙළූහ. නඟා පාදන ලද කපු පුළුනෙන් වෙළා, නවමු වතින් යලි වෙළූහ. මෙ නයින් යුගල පන්සියෙකින් භගවත් බුදුරජුන් සිරි සිරුර වෙළා, රන්මුවා තෙල් දෙණෙකැ බහා අන් රන්මුවා දෙණෙකින් වසා සියලු වගයේ සුවඳ දරින් චිතකයක් කොට, භගවත් බුදුරජුන්ගේ ශ්‍රී දේහය එයට නැඟූහ.
මහසුප් තෙරුන් වැඩම කිරීම
118. එ සමයෙහි වූ කලි මහසුප් තෙරණුවෝ පාවා නුවරින් කුසිනාරාව බලා පන්සියක් පමණ වූ මහ බික් සඟන කැටුවැ දික් මඟට පිළිපන්නාහු වෙත්. එ කලැ මහසුප් තෙරණුවෝ මහ මඟින් ඉවත් වැ, එක්තරා රුකක් මුලැ වැඩ හුන්හ. එ සමයෙහි එක්තරා ආජීවකයෙක් කුසිනාරා නුවරින් මදාරා මලක් ගෙන පාවා නුවර බලා අදන් මඟට පිළිපන්නේ වෙයි. මහසුප් මහතෙරණුවෝ දුරැ ම එන ඒ ආජීවකයා දුටුහු. දැක “ඇවැත්නි, අප ශාස්තෲන් වහන්සේ දනිවු දැ” යි විචාළාහ. “එසේ ය, ඇවැත්නි, දනිමි.
අදට මහණ ගොයුමාණෝ පිරිනිවී සත් දවසක් ඇත්තෝ යැ. මා විසින් එ තැනින් මේ මදාරා මල ගන්නා ලද යැ” යි ආජීවක කී ය. එහි යම් අවීතරාග මහණ කෙනෙක් වූහු ද, ඔහු “ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවී සේක, ඉතා වහා ලොව ඇස අතුරුදහන් වි යැ” යි ඇතැම් කෙනෙක් දෝත් හුවා හඬත්, ඇතැම් කෙනෙක් මැදින් බුන් රුකක් සෙයින් ඇද වැටෙත්, හොත් තැනට පෙරැළී එත් හොත් තැනින් ඔබ්බට පෙරැළි යෙත්. යම් වීතරාග මහණ කෙනෙක් වූහු ද, ඔහු ‘සංස්කාරයෝ අනිත්‍යහ. ඔහු නො නැසෙත් යන යමෙක් ඇද්ද, එය මෙහි කොයින් ලැබේ දැ!’ යි එළැඹැවූ සිහි ඇත්තාහු, නුවණින් දන්නාහු ඉවසා සිටිත්.
119. එ සමයෙහි සුභද්‍ර නම් වූ මහලු කලැ පැවිදි වූයෙක් එ පිරිසැ හුන්නේ වෙයි. එ විටැ සුභද්‍ර මහලු පැවිදි තැන ඒ භික්‍ෂූනට “ඇවැත්නි, කම් නැත. නහමක් සොවිවු. නහමක් වැලැපෙවු. අපි ඒ මහා ශ්‍රමණයා ගෙන් මොනොවට මිදුණම්හ. ‘මෙය තොපට කැප වෙයි, මෙය තොපට නො කැප වේ’ යැ යි අපි ඔහුගෙන් උපද්‍රැතයෝ වමු. දැන් වනාහි යමක් අපි කැමැති වන්නමෝ ද, එය කරන්නමු, යමක් නො කැමැති වන්නමෝ ද, එය නො කරන්නමු” යි කීය. එ කලැ මහසුප්‍ තෙරණුවෝ භික්‍ෂූන් අමතා “ඇවැත්නි, කම් නැත. නහමක් සොවිවු, නහමක් වැලපෙවු. ඇවැත්නි, ප්‍රිය මනාප හැම දැයින් ම ඉවත් වීම, වෙන් වීම, අන් සැටියෙකින් වීම යන යමෙක් ඇද්ද, මෙය කල් තබා ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ නො වේ ද? යමෙක් උපන්නේ ද, වූයේ ද, සැකැසුණේ ද. පලුදු වන සුලු ද, එසේ වූ තථාගතයන් වහන්සේගේ සිරුර ද පලුදු නො වේව’ යි යන ඒ කරුණ කොයින් මෙහි ලැබෙන්නේ ද? මෙ කරුණ විද්‍යාමාන නො වේ” යැ යි වදාළහ.
120. එසමයෙහි පාමොක් මල්ල රජුහු සිවු දෙනෙක් හිස් සෝදා නා නවමු වත් හැඳ ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි අවුලු වන්නම්හ’ යි (යත්න කරන්නාහු දු) ගිනි අවුලුවන්නට නො හැකි වෙත්. එ විට කුසිනාරාවාසී මල්ල රජුහු ‘වහන්ස, අනුරුත් තෙරුනි, මේ පාමොක් මල්ල රජුහු සතර දෙනා හිස් සෝදා නා නවමු වත් හැඳ ‘අපි භෘග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි අවුලුවන්නම්හ’ යි යත්න කරන්නාහු දු, යම් හෙයෙකින් ගිනි අවුලුවන්නට නො හැකි වෙත් ද, ඒ හේතුව කවර යැ? ඒ ප්‍රත්‍යය කවර යැ?” යි අනුරුත් තෙරුන් විචාළහ. “වාසිෂ්ඨයෙනි, දේවතාවන්ගේ අදහස අන් පරිද්දෙකිනැ” යි අනුරුත් තෙරුණුවෝ වදාළහ. “වහන්ස, දේවතාවන්ගේ අදහස කෙසේ වේ දැ?” යි මල්ල රජුහු පුළුවුත්හ. “වාසිෂ්ඨයෙනි, මේ මහසුප් තෙරණුවෝ පාවා නුවරින් නික්මැ කුසිනාරාව බලා පන්සියක් පමණ වූ මහ බික්සඟන සමග අදන් මඟ පිළිපන්හ. ‘මහසුප් මහ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා නොවඳනා තාක් භාග්‍යවතුන් වහන්සේගේ චිතකය ගිනි නො ගනී වා’ යනු දේවතාවන්ගේ අදහස වේ යැ” යි අනුරුත් තෙරණුවෝ වදාළහ. “වහන්ස, දේවතාවන්ගේ අදහස යම් සේ ද, එසේ වේ වා” යි මල්ල රජුහු කීහ.
121. ඉක්බිත්තෙන් මහසුප් තෙරණුවෝ කුසිනාරා නුවරැ මුකුට බන්‍ධන නම් මල්ලයන්ගේ චෛත්‍යය යම් තැනෙක ද, භාග්‍යවතුන් වහන්සේගේ චිතකය යම් තැනෙක ද, එතැනට එළැඹියාහ. එළැඹ සිවුර එකස් කොට දොහොත් නඟා තුන් වටක් චිතකය පැදකුණු කොට, හිස් නමා භගවත් බුදු රජුන්ගේ සිරි පා වැන්දාහ. ඒ පන්සියක් භික්‍ෂූහු ද සිවුර එකස් කොට දොහොත් නඟා තුන් වටක් චිතකය පැදකුණු කොට, හිස නමා භගවත් බුදුරජුන්ගේ සිරි පා වැන්දාහ. මහසුප් තෙරුන් විසින් ද ඒ පන්සියක් භික්‍ෂූන් විසින් ද භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා වඳනා ලද කල්හි, භගවත් බුදුරජුන්ගේ චිතකය තෙමේ ම ගිනි ගත.
122. දැවෙන්නා වූ, භගවත් බුදුරජුන් සිරි සිරුර සිවියැ යි හෝ සම යි හෝ මසැ යි හෝ නහරැ යි හෝ සඳමිදුලුයැ යි යමෙක් වී ද, එහි අළු නො ම පැනිණ, දැලි ද නො ම පැනිණ. ශාරීරික ධාතුහු ම ඉතිරි වූහ. යම් සේ දැවෙන ගිතෙලැ හෝ තලතෙලැ අළුයෙක් නො ම පැනේ ද, දැලියෙක් නො ම පැනේ ද, එසේ ම දැවෙන, භගවත් බුදුරජුන් සිරි සිරුරැ සිවි යැ යි හෝ සමැ යි මසැ යි නහරැ යි හෝ සඳමිදුලු යැ යි යමෙක් වී ද, එහි අළු ද නො පැනිණ, දැලි ද නො පැනිණ, ශාරීරික ධාතුහු ම ඉතිරි වූහ. ඒ පන්සියක් වස්ත්‍ර යුගලයන් අතුරෙන් ද යම් වස්ත්‍රයෙක් හැමට යැටින් වී ද, යම් වස්ත්‍රයෙක් හැමට පිටින් වී ද, ඒ වස්ත්‍ර දෙක ම නො දැවිණ. භගවත් බුදුරජුන් සිරි සිරුර දැවුණු කල්හි අහසින් දිය දහර පහළ වැ චිතකය නිවී ය. වටා සිටි සල් රුක් හි අතු පතරින් ද ජලය මතු වී චිතකය නිවී ය. කුසිනාරාවාසී මල්ල රජුහු ද හැම වර්‍ගයේ සුවඳ කැවූ සුවඳ දියෙන් භගවත් බුදුරජුන්ගේ චිතකය නිවූහ.
ඉක්බිති කුසිනාරා වැසි මල්ල රජදරුවෝ සන්‍ථාගාරයේ අඩයැටි මැදිරියක් කොට දුනුපවුරක් වටා ලවා භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් එහි තුළට වැඩම කරවා නැටුමෙන් ගීයෙන් වැයුමෙන් මලින් සුවඳින් පුරා සත් දිනක් ගරු කළහ, බුහුමන් කළහ, පිදූහ.
ශාරීරිකධාතුන් බෙදීම
122. වේදේහී පුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ’ යි ඇසී ය. එ කලැ වේදේහි පුත්‍ර මගධාධිපති අජාසත් රජ කුසිනාරා වැසි මල්ල රජදරුවනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. මම ද ක්‍ෂ‍්‍ත්‍රියයෙකිමි. මම් ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සෙමි. මම් ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් පිණිස ස්තූපයක් ද පුද උළෙලක් ද කරන්නෙමි” යි කියා දූතයකු යැවී ය.
විසල් පුර වැසි ලිච්ඡවී රජචරුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහිදී පිරිනිවි සේක් ලැ’ යි ඇසූහ. එ කලැ විසල් පුරැ වැසි ලිච්ඡවී රජුහු කුසිනාරා වැසි මල්ලයනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය යෝ ය. අපි දු ක්‍ෂත්‍රිය යම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද කරන්නමු. පුද උළෙල ද කරන්නමු” යි දූතයකු යැවූහ.
කිඹුල්වත් පුරැ වැසි ශාක්‍ය රජදරුවෝ “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති කිඹුල්වත් වැසි ශාක්‍යයෝ කුසිනාරාහි වැසි මල්ලයනට “භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නෑයෝ ය. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් ද කරන්නෙමු, පුද උළෙලක් ද කරන්නෙමු” යි කියා දූතයකු යැවූහ.
අල්ලකප්ප රට වැසි බුලි රජුහු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දි පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති අල්ලකප්ප රව වැසි බුලි රජදරුවෝ කුසිනාරාහි වැසි මල්ලයනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියයෝ ය, අපි ද ක්‍ෂත්‍රියම් හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූන් කොටසකට සුදුසු වමු. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් ද කරන්නමු, පුද උළෙල ද කරන්නමු” යි දූතයකු අත කියා යැවූහ.
රඹගම් නුවරැ වැසි කෝලිය රජුහු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා හිදි පිරිනිවී සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති රඹගම් වැසි කෝලිය රජදරුවෝ “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. අපි දු ක්‍ෂත්‍රියයම් හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් කොටසක් ලබන්නට සුදුසු වමු. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙලක් ද කරන්නමු” යි දූතයකු අතැ කියා යැවූහ.
වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණ තෙමේ “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවී සේක් ලැ” යි ඇසී ය. ඉක්බිති වේඨදීපක බමුණු තෙමේ “භාග්‍යවතුන් වහන්සේ වූ කලි ක්‍ෂත්‍රියයෙක. මම බමුණෙකිමි. මම් දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූන් කොටසක් ලබන්නට සුදුස්සෙමි. මම් දු භාග්‍යවතුන් වහන්සේගේ ධාතූනට ස්තූපයක් කරන්නෙමි, පුද උළෙල ද කරන්නෙමි” යි කියා කුසිනාරා පුරවැසි මල්ලයනට දූතයකු යැවී ය.
පාවා නුවරැ වැසි මල්ලරජහු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති පාවා පුරැ වැසි මල්ලයෝ “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. ඇපි දු ක්‍ෂත්‍රියයම් හ. ඇපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. ඇපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙල ද කරන්නෙමු” යි කියා කුසිනාරා වැසි මල්ලයනට දූතයකු යැවූහ.
මෙසේ කී කල්හි කුසිනාරා වැසි මල්ල රජුහු ඒ රාජ සමූහයනට, ඒ රාජගණයනට “භාග්‍යවතුන් වහන්සේ අප ගම්කෙතෙහි පිරිනිවි සේක. අපි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතු කොටස් නො දෙන්නෙමු” යි කීහ.
123. මෙසේ කී කල්හි ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමෙ ඒ රාජසමූහයන් ඒ රාජගණයන් බණවා මෙ වදන් පැවැසී ය:
“පින්වත්නි, මගේ මේ එක් වචනය අසත් වා. අප බුදුරජහු ක්‍ෂාන්තිවාද වූහ. උතුම් පුඟුලක්හුගේ සිරුරු කොටස් නිමිති කොට අවියෙන් ඇන කොටා ගැන්මෙක් වන්නේ නම්, මෙය නො මැනැවි.
භවත්නි, අපි හැම දෙනා ම එක්සිත් වැ එකමුතු වැ, සතුටු වෙමින් ධාතූන් අට කොටසක් කරමු. ඒ ඒ දෙසැ ස්තූපයෝ පැතිර පවත්නෝ වෙත් වා. (ඒ හැම දෙසැ) පසැසියාණන් වහන්සේට පැහැදුණු බොහෝ ජනයෝ වෙත්” යනු යි.
124. (බමුණු මෙසේ කී කල්හි) “බමුණාණනි, එසේ වී නම් ඔබ ම භාග්‍යවතුන් වහන්‍සේගේ ශාරීර ධාතූන් අට කොටසකට සම සේ මනා කොට බෙදන්නැ” යි ඒ රජදරුවෝ කීහු. ‘එසේ යැ පින්වත්නි’ යි කියා ම ද්‍රෝණ බ්‍රාහ්මණ තෙම ඒ රජමුළුවනට ඒ ගණයනට පිළිවදන් දී, භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් සම සේ අට කොටසකට මොනොවට බෙදා ඒ රාජ සමූහයන් ගණයන් බණවා, “භවත්නි, මට මේ (ධාතු බෙදූ) නැළිය දෙත්වා. මම් ද මේ නැළියට ස්තූපයක් කරන්නෙමි. පුද උළෙලක් ද කරන්නෙමි” යි මේ බස් පැවැසී ය. ඔහු ද්‍රෝණ බ්‍රාහ්මණයාට නැළිය දුන්නාහු ම ය.
පිප්පලී වන නගර වාසී මෝරිය රජ දරුවෝ “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති පිප්පලිවන නුවරැ වැසි මෝරිය රජුහු කුසිනාරා වැසි මල්ල රජුනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. අපි දු ක්‍ෂත්‍රියයම් හ. අපිදු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙල ද කරන්නමු” යි කියා දූතයකු යැවූහ. “භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් (ඉතිරි වැ) නැත. භාග්‍යවතුන් වහන්සේගේ සියලු ශාරීර ධාතූහු බෙදා දෙන ලදහ. මෙයින් අඟුරු ගෙනයවු” යැ යි මල්ල රජුහු කියා යැවූහ. ඒ පිප්පලීවනික රජුහු ද (ආදාහනස්ථානයෙන්) අඟුරු ගෙන ගියහ.
දා සෑ පුද
124. ඉක්බිත්තෙන් වෛදේහී පුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ රජගහ පුරයෙහි භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කෙළේ ය. විසල් පුරැ වැසි ලිච්ඡවීහු ද භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට විසල් පුරැ ස්තූපයක් ද පුද උළෙලක් ද කළහ. කිඹුල්වත් වැසි ශාකයෝ ද භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කිඹුල්වත් පුරැ කළාහ. අල්ලකප්ප රටැ බුලි රජුහු ද අල්ලකප්ප නුවරැ භගවත් බුදුරජුන‍්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. රඹගම් වැසි කෝලිය රජුහු ද රඹගම් නුවරැ භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. වේඨදීප නුවරැ වැසි බමුණු ද වේඨදීපයෙහි භගවත් බුදුරජුගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. පාවා නුවරැ වැසි මල්ලයෝ ද පාවා නුවරැ භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. කුසිනාරා පුරැ වැසි මල්ල රජුහු ද භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. ද්‍රෝණ බමුණු ද (ධාතූන් මිනූ) නැළියට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. පිප්ලීවන නුවරැ වැසි මෝරිය රජුහු ද පිප්පලීවන නුවරෙහි (ආදාහන කළ තැනින් ගෙනා) අඟුරු පිණිස ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. මෙසේ ශාරීරික ධාතූන් තැන්පත් කළ ස්තූප අටෙක, නැළිය තැන්පත් කළ නව වැනි ස්තූපය, දස වැනි අංගාර ස්තූපයැ යි සියලු ස්තූප දශයෙක. මෙසේ මේ දස ස්තූප පළමුවෙන් වී ය.
125. පසැස් ඇති බුදුරජුන්ගේ සිරුරැ ධාතූහු ද්‍රෝණ අටෙකි. එයින් ද්‍රෝණ සතක් ධාතූන් දඹදිවැ පුදත්. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ එක් ද්‍රෝණයක් ධාතූන් රඹගමැ නාරජුහු පුදති.
එක් දළදායෙක් වූ කලි දෙවියන් විසින් පුදනු ලැබේ. එක් දළදායෙක් ගන්‍ධාර පුරයෙහි පුදනු ලැබේ. යලි තව ද දළදායෙක් කළිඟු රජුගේ රටෙහි පුදනු ලැබේ. තව එක් දළදාවක් (නාලොවැ) නා රජුහු පුදති.
ඒ සතර දළදා වහන්සේගේ තෙදින් මේ මුළු පොළොව ශ්‍රේෂ්ඨ පූජෝත්සවයෙන් සැරැසුණේය. මෙසේ පසැසියාණන්ගේ සිරුරුදා සෙසු ජනයා විසින් මොනොවට සත්කාර කරනු ලැබේ. දෙවියන් විසින් ද රජුන් විසින් ද මනා ව සත්කෘත විය.
දෙවිඳු විසින්ද නයිඳුන් විසින්ද නිරිඳුන් විසින් ද එසේම උතුම් මිනිසුන් විසින් ද පුදන ලද ඒ බුදු රජ තෙම ඒකාන්තයෙන් කල්ප සිය ගණනෙකිනුදු දුර්‍ලභ ය. දොහොත් මුදුනැ තබාගත්තෝ වැ ඔබ නමදි වු.
සම සාළිස් දන්තධාතූන් ද කේශ ධාතූන් ද ලෝමධාතූන් ද එක එකක් පාසා සක්වළ පිළිවෙළින් දෙවියෝ ගෙන ගියහ.
තෙවෙනි මහ පිරිනිවන් සුත නිමියේ යි.
මහාසුදස්සන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක පිරිනිවන් සමයෙහි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර සමීපයෙහි වූ මල්ල රජුන්ගේ උපවර්‍තන නම් සල් වෙනෙහි යමා සල්රුක් අතරැ වැඩ වසන සේක.
එ කල්හි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළඹැ ඔබ සාදර වැ වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක හුන්නාවූ ම අනඳ තෙරණුවෝ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගල් සෙල් ඈයෙන් විසම වූ ශාඛා නගරයක් වූ මේ කුඩා නුවර දී නො පිරිනිවෙන සේක් වා. වහන්ස, චම්පා රාජගෘහ ශ්‍රාවස්ති සාකේත කෞශාම්බි වාරාණසී යන අන් මහ නුවරවල් ඇත. මේ නුවරෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. මේ නුවරවල තථාගතයන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණු බොහෝ කැත් මහසල්හු, බමුණු මහසල්හු, ගැහැවි මහසල්හු ඇත. ඔහු තථාගතයන් වහන්සේගේ සිරුරට පූජා කරන්නාහ” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහ.
2. “අනඳයෙනි, කුඩා නුවරෙකැ යි ගල් සෙල් ඈයින් විසම නුවරෙකැ යි අතු නුවරෙකැ යි මෙසේ නොකිය වු” (යැයි වදාරා මතු දැක්වෙන ඉකුත් වත් වදාළ සේක:)
කුශාවතී රාජධානිය
“පෙරැ වූවක් කියමි. අනඳයෙනි, (පෙරැ) හිසැ අබිසෙස් ලද, සයුර හිම් කොට සතර මහදිවයිනට අධිපති වූ, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්‍වාගත වූ මහසුදසුන් නම් කැත් රජෙක් විය. අනඳයෙනි, මේ කුසිනාරාව මහසුදසුන් රජුගේ කුශාවතී නම් රජදහන විය. අනඳයෙනි, ඒ කුශාවතී රජදහන පෙරැ දෙසින් ද පැසිම් දෙසින් ද දිගින් දොළොස් යොදුන් විය, උතුරු දෙසින් ද දකුණු දෙසින් ද පුලුලින් සත් යොදුන් විය. අනඳයෙනි, කුශාවතී රජදහන සමෘද්ධ ද හැම සැපතින් පිරුණේ ද, බොහෝ ජනයන් ඇත්තේ, මිනිසුන්ගෙන් ගැවැසුණේ ද, සුභික්‍ෂ ද විය.
අනඳයෙනි, දෙවියන්ගේ ආලකමන්‍දා නම් රාජධානිය යම්සේ සමෘද්ධත් හැම සැපතින් පිරුණේත් බොහෝ ජනයන් ඇත්තේත් යකුන්ගෙන් ගැවැසුණේත් සුභික්‍ෂත් වේ ද, එසේ ම අනඳයෙනි, කුශාවතී රාජධානිය සමෘද්ධ ද, සියලු සැපතින් පිරුණේ ද, බොහෝ ජනයන් ඇත්තේ ද, මිනිසුන්ගෙන් ගැවැසුණේ ද, සුභික්‍ෂ ද විය. අනඳයෙනි, කුශාවතී රාජධානිය රෑ ද දහවල් ද ඇත් හඬින් ද අස් හඬින් ද රිය හඬින් ද බෙර හඬින් ද මිහිඟුබෙර හඬින් ද වෙණ හඬින් ද ගී හඬින් ද (යහළුව යහළු වැ යි කැඳවන) පිය බස් හඬින් ද කස්තලු ආදියේ හඬින් ද ‘වළඳවු, කවු, බොවු’ යන දස වැනි හඬින් දැ යි දස හඬින් නොසිස් විය.
3. අනඳයෙනි, කුශාවතී රාජධානිය සත් පවුරෙකින් පිරිකෙවුණේ විය. ඔවුන් අතුරෙන් එක් පවුරෙක් රන්මුවා විය, එකෙක් රිදීමුවා විය, එකෙක් වෙරළුමිණිමුවා විය, එකෙක් පළිඟුමුවා විය, එකෙක් රත්මිණිමුවා විය, එකෙක් මැසිරිගල්මුවා විය, එකෙක් සියල්රුවන්මුවා විය. අනඳයෙනි, කුශාවතී රාජධානියෙහි සතර වර්‍ණයන් සම්බන්‍ධ දොරවල් වූහ. එක් දොරෙක් රන්මුවා විය, එකෙක් රිදීමුවා විය, එකෙක් වෙරළුමිණිමුවා විය, එකෙක් පළිඟුමුවා විය. එක් එක් දොරෙහි පුරුෂප්‍රමාණ තුනක් (පසොළොස් රියනක්) වට වූ, පුරුෂ ප්‍රමාණ තුනක් (පසළොස් රියනක්) යට සිටුවන ලද, උසින් දොළොස් පුරුෂ ප්‍රමාණ (සැට රියන්) වූ සතෙක් සතෙක් ඉන්‍ද්‍රඛීලයෝ බිම කැන සිටුවන ලද්දාහු වූහ.
අනඳයෙනි, කුශාවතී රාජධානිය තල්රුක් සත් පෙලෙකින් පරික්‍ෂිප්ත විය. එක් තල්රුක් පෙලෙක් රන්මුවා විය, එකෙක් රිදීමුවා විය, එකෙක් වෙරළුමිණිමුවා විය, එකෙක් පළිඟුමුවා විය. එකෙක් රත්මිණිමුවා විය, එකෙක් මැසිරිගල්මුවා විය, එකෙක් සව්රුවන්මුවා විය. රන්මුවා තල් රුකැ කඳ රන් මුවා විය, කොළ ද පල ද රිදීමුවා වූහ, රිදීමුවා තල්රුකැ කඳ රිදීමුවා විය, කොළ ද පල ද රන්මුවා වූහ. වෙරළුමිණිමුවා තල්රුකැ කඳ වෙරළුමිණිමුවා විය, කොළ ද පල ද පළිඟුමුවා වූහ. පළිඟුමුවා තල්රුකැ කඳ පළිඟුමුවා විය. කොළ ද පල ද වෙරළුමිණිමුවා වූහ. රන්මිණිමුවා තල් රුකැ කඳ රත්මිණිමුවා විය, කොළ ද පල ද මැසිරිගල්මුවා වූහ. මැසිරිගල්මුවා තල්රුකැ කඳ මැසිරිගල්මුවා විය, කොළ ද පල ද මැසිරිගල්මුවා වූහ. සව්රුවන්මුවා තල්රුකැ කඳ සව්රුවන් මුවා විය. කොළ ද පල ද සව්රුවන්මුවා වූහ. අනඳයෙනි, සුළඟින් සැලුණු ඒ තාලවෘක්‍ෂ පංක්තීන්ගේ මිහිරි වූ ද සිත් අලවන්නාවූ ද කමනීය වූ ද සිත මත් කරන්නා වූ ද හඬෙක් විය. අනඳයෙනි, (ඇදීම් ලිහිල් කිරීම් ඈ විසින්) සුමුස්නා ලද මැදුම් පමණ ගන්වනු පිණිස මොනොවට පුන පුනා තළන ලද ඉතා සමත් වයුවන් විසින් වයන ලද පංචාඞ්ගික තූර්‍ය්‍යයාගේ යම්සේ මිහිරි වූ ද සිත් අලවන්නා වූ ද කමනීය වූ ද සිත මත් කරන්නා වූ ද හඬෙක් වේ ද, එසේ ම සුළඟින් සැලුණු ඒ තාලවෘක්‍ෂ පඞ්ක්තීන්ගේ ද මිහිරි වූ සිත් අදනා කමනීය වූ සිත් මත් කරන හඬෙක් විය. අනඳයෙනි එ සමයෙහි කුශාවතී රාජධානියෙහි සුරා සොඬ වූ, පුන පුනා සුරා බොනු රිසි යම් ධූර්‍ත කෙනෙක් වූහු ද, ඔහු සුළඟින් සැලුණු ඒ තල්රුක් පෙලවල හඬින් අත් පා සොලොවා නටමින් ක්‍රීඩා කළහ.
සත්රුවන