Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 2501-2600 න් 5108

78. අනඳයෙනි, ප්‍රිය වූ මන වඩන්නාවූ සියලු දැය කෙරෙන් වෙන් වීම, ඉවත් වීම, අන් සැටියෙකින් වීම යන මෙය මා විසින් කල් තබා ම තොපට කියන ලද්දේ නො වේ ද? අනඳයෙනි, යමක් උපන්නේ ද, වූයේ ද, සැකැසුණේ ද, පලුදු වන සුලු ද, ‘එය පලුදු නො වේ වා’ යි යන මෙය කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ විද්‍යාමාන නො වේ. අනඳයෙනි, යමක් තථාගතයන් විසින් හරන ලද ද, බැහැර කරන ලද ද, මුදන ලද ද, පහ කරන ලද ද, දුරැ ලන ලද ද, යම් ආයුසංස්කාරයෙක් හරන ලද ද, නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ යැ යි. මෙයින් තෙමසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ’ යි යම් ඒකාන්ත වචනයෙක් තථාගතයන් විසින් කියන ලද ද, ඒ වචනය තථාගතයෝ දිවි යෙහින් නුමුදු වළහන්නාහ යන මෙය නැත්තේ ය. මේ කාරණය අවිද්‍යාමාන ය.
79. ‘අනඳයෙනි, යමු, මහාවනය යම් තැනෙක ද, කුළාරහල් වෙහෙර යම් තැනෙක ද, එ තැනට එළැඹෙන්නම්හ’ යි බුරජුහු වදාළහ. ‘එසේ ය වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. එකල්හි භාග්‍යවත්හු ආයුෂ්මත් අනඳ තෙරුන් හා මහ වෙනෙහි කුළාරහල් වෙහෙර කරා වැඩියහ. වැඩ අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, යවු, යම් පමණ මහණහු විසල්පුර නිසා වෙසෙත් ද, ඔවුන් හැම උවටන්හලැ රැස්කරවු’ යි වදාළහ. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ බුදුරජුනට පිළිවදන් දී විසල්පුර වසනා තාක් හැම මහණුන් උවටන්හලැ රැස් කොට භාග්‍යවත් බුදුරජුන් කරා එළැඹ වැඳ පසෙක සිටියාහ. පසෙක සිටියා වූ අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට ‘වහන්ස, බික්සඟ රැස් කරන ලද්දේ ය. යමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ දැන් කල් සිතන සේක් නම් මේ ඒ කලැ’ යි සැළ කළහ.
[බ්‍රහ්මචර්‍ය්‍යාචිරස්ථායි ධර්‍මදේශනා]
80. ඉක්බිති භගවත්හු උවටන්හල කරා එළැඹියහ. එළැඹ, පණවා තුබුණු අස්නැ වැඩහුන්හ. වැඩහිඳ ම මහණුන් බණවා, “මහණෙනි, යම් සේ මේ සසුන්බඹසර බොහෝ කල් පැවැත්ත හෙන්නේ ද, චිරස්ථිතික වන්නේ ද, එසේ මෙහි මා විසින් යම් ධර්‍ම කෙනෙක් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ද, තොප විසින් ඒ මොනොවට ඉගෙන ආසේවන කළ යුතු, භාවනා විසින් වැඩිය යුතු, බහුල වශයෙන් කළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, යම්සේ මේ සසුන් බඹසර බොහෝ කල් පැවැත්ත හෙන්නේ ද, චිරස්ථිතික වන්නේ ද, එය බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස, සුව පිණිස වන්නේ ද, එසේ ඒ යම් ධර්‍ම කෙනෙක් තොප විසින් මොනොවට ඉගෙන ආසේවන කළ යුතු ද, වැඩිය යුතු ද, බහුල කළ යුතු ද, මහණෙනි, මා විසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ඒ ධර්‍මයෝ කවුරු ද යත්: ඔහු නම් සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යක්ප්‍රධානයෝ ය, සතර ඍද්ධිපාදයෝ ය, පංච ඉන්‍ද්‍රියයෝ ය, පඤ්ච බල ය, සප්ත බෝධ්‍යඞ්ග ය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය ය යන මොහු ය.
මහණෙනි, මේ ධර්‍මයෝ වනාහි මා විසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලදහ. ඔහු තොප විසින් මේ සසුන්බඹසර බොහෝ කල් පවත්නා පිණිස, චිරස්ථිතික වනු පිණිස, මොනොවට ඉගෙන ආසේවන කළ යුතු, වැඩියැ යුතු, බහුල කල යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සැප පිණිස වන්නේ යැ” යි වදාළහ.
81. ඉක්බිති භගවත්හු භික්‍ෂූන් බණවා, “මහණෙනි, දැන් තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුල්ලහ. නොපමායෙන් තුන්සික සපයවු. නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය. මෙයින් තුන් මස් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ” යි වදාළහ. භගවත්හු මෙය වදාළහ. සුගත්හු මෙය වදාරා ඉක්බිති ඒ ශාස්තෘහු ගාථාබන්‍ධන වශයෙන් අනෙකක් වූ මේ වචන ද වදාළහ:
“මගේ වයස මුහුකෙළේ ය. මගේ ජීවිතකාලය (තව) ස්වල්පයකි. තොප හැර යන්නෙමි. මා විසින් තමහට පිහිට කරන ලද්දේ ය.
මහණෙනි, නොපමා වවු, සිහි ඇත්තෝ වවු, සුසිල් වවු, මොනොවට පිහිටුවූ සම්‍යක්කල්පනා ඇත්තෝ තමන් සිත රැකගනිවු.
යමෙක් මේ සස්නෙහි නොපමා ව වෙසෙන්නේ නම්, හෙතෙම ජාතිසංසාරය (ඉපැත්ම ද සසර ද නොහොත් ජාතිසංඛ්‍යාත සසර) හැරැ ලා දුක් කෙළවර කරන්නේ ය.”
තෙවෙනි බණවර යි.
[ආර්‍ය්‍යධර්‍ම සතර]
82. ඉක්බිත්තෙන් භගවත්හු පෙරවරු සමයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුර පිඬු පිණිස පිවිසියහ. විසල්පුරැ පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා වැඩියාහු, නාගාපලෝකනයෙන් විසල්පුර බලාවදාරා, අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, මේ තථාගතයන්ගේ පහ්චිම වෛශාලිදර්‍ශනය වන්නේ ය. යමු, අනඳයෙනි, භාණ්ඩගාමය වෙත එළඹෙන්නෙමු” යි වදාළහ. ‘එසේ ය වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භගවත්හු මහත් බික්සඟන කැටුව භණ්ඩ ගම වෙත වැඩියහ. භගවත්හු එහි භණ්ඩ ගමෙහි වැඩවෙසෙති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් බණවා, “මහණෙනි, සතර ධර්‍මයන් අනුබෝධ නොකිරීමෙන් ප්‍රතිවේධ නොකිරීමෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද සසරැ සැරුම විය. කවර සතර ධර්‍මයන්ගේ (අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන්) ද යත්: මහණෙනි, ආර්‍ය්‍ය ශීලයාගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද සසරැ දිවැ හැවිදීම, සසරැ සැරීම විය. මහණෙනි, ආර්‍ය්‍ය සමාධිහුගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද සසරැ දිවැ හැවිදීම, සසරැ සැරීම විය. මහණෙනි, ආර්‍ය්‍ය ප්‍රඥාවගේ ... මහණෙනි, ආර්‍ය්‍ය විමුක්තියගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දීර්‍ඝ කාලයක් මගේ ද තොපගේ ද සසරැ දිව හැවිදීම, සසර සැරීම විය.
මහණෙනි, ඒ ආර්‍ය්‍ය ශීලය මා විසින් ද තොප විසින් ද අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය සමාධිය මා විසින් ද තොප විසින් ද අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය ප්‍රඥාව මා විසින් ද තොප විසින් ද අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. භවතෘෂ්ණාව සිඳුනා ලදි, භවනෙත්තිය ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි වදාළහ. භගවත්හු මෙය, වදාළහ. සුගත්හු මෙය වදාරා, යලිදු ගාථා බන්‍ධන විසින් අනෙකක් වූ මේ වචන වදාළහ:
“ලොවුතුරු ශීලය ද ලොවුතුරු සමාධිය ද ලොවුතුරු ප්‍රඥාව ද ලොවුතුරු විමුක්තිය ද යන මේ දහම්හු කීර්තිමත් ගෞතමයන් විසින් අනුබෝධ කරන ලදුහ.
මෙසේ බුදුහු වෙසෙසින් දැන මහණුනට දහම් දෙසූහ. පසැස් ඇති, දුක් නැසූ ඒ ශාස්තෘහු කෙලෙස් පිරිනිවනින් පිරිනිවියාහ.”
භාග්‍යවතුන් වහන්සේ ඒ භණ්ඩගාමයෙහි වසන සේක් “ශීලය මෙ බඳු යැ, සමාධිය මෙ බඳු යැ, ප්‍රඥාව මෙ බඳු යැ. ශීලයෙන් පරිභාවිත සමාධිය මහත් පල ඇත්තේ ය, මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත් ඵල ඇත්තේය, මහත් අනුසස් ඇත්තේ ය, ප්‍රඥායෙන් පරිභාවිත සිත කාමාස්‍රවය කෙරෙන් ද භවාස්‍රවය කෙරෙන් ද අවිද්‍යාස්‍රවය කෙරෙන් දැ යි මෙසේ මෙ කී ආස්‍රව කෙරෙන් මොනොවට ම මිදේ යැ” යැ යි භික්‍ෂූනට මෙය ම බහුල කොටැති ධර්‍මකථාවක් කරන සේක.
[සතර මහා අපදේශ]
83. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භණ්ඩගාමයෙහි කැමැති තාක් රැඳී හිඳ, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු යමු, හස්තිග්‍රාමය යම් තැනෙක ද එතැනට එළැඹෙන්නමු’ යි වදාළ සේක ... අම්බගාමය යම් තැනෙක ද එ තැනට ... ජම්බුගාමය යම් තැනෙක ද එ තැනට … භෝග නගරය යම් තැනෙක ද එහි යන්නමු’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව භෝග නගරය කරා වැඩි සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි ආනන්‍ද චෛත්‍යස්ථානයෙහි වැඩ වෙසෙන සේක.
එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, “මහණෙනි, සතර මහා අපදේශයන් දෙසන්නෙමි. එය අසවු, මොනොවට සිත්හි කරවු, කියන්නෙමි” යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ ’ යි ඒ මහණහු භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, මෙහි මහණෙක්, ‘ඇවැත්නි, ධර්‍මය මේ යැ, විනය මේ යැ, ශාස්තෘශාසනය මේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සිට මා විසින් මෙය අසන ලද්දේ ය, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී පිළිගන්නා ලද්දේ යැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, (එ පමණින්) එ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යංජන මොනොවට ඉගෙන සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳියැ යුතු. ඉදින් සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො බස්නාහු ද, විනයයෙහි නො සැසැඳෙන්නාහු ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ, මෙය මේ මහණහු වරදවා ගත් දැයෙකැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණියැ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඒ පද ව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහිත් බැසැගනිත් ද විනයෙහිත් සැසැඳෙත් ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ, යි මේ මහණහු විසින් මෙය මොනොවට උගන්නා ලදැ’ යි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ පළමු මහා අපදේශය සිත්හි ලා දරවු. (1)
මහණෙනි, මෙහි මහණෙක් ‘තෙරුන් සහිත ගණපාමොක් මහණක්හු සහිත භික්‍ෂුසංඝයා අසෝ නම් ආවාසයෙහි වෙසෙයි. ‘මේ දහමැ යි, මේ විනයැ යි, මේ ශාස්තෘශාසන යැ යි ඒ සඟන හමුයෙහි සිටි මා විසින් අසන ලදි, අසා ඒ සඟන හමුයෙහි මැ පිළිගන්නා ලදැ’ යි කියන්නේ වී නම් මහණෙනි, (එ පමණින්) ඒ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහාලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො ම බැස ගන්නාහු නම් විනයෙහි නො ද සැසැඳෙත් නම්, ‘ඒකාන්තයෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ’ යැයි ද ‘ඒ සඟන විසිනුත් වරදවා ගන්නා ලද්දෙකැ’ යි ද කියා මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මෙය ද බැහැර ලවු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙකින් බැස ගනිත් නම්, විනයෙහිත් සැසැඳෙත් නම්, ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ මෙය ඒ සඟන විසිනුත් මොනොවට උගන්නා ලද්දේ යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ දෙවෙනි මහ අපදේශය සිත්හි ලා දරවු. (2)
මහණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝද්ගත කළ ආගමය ඇති, ධර්‍මධර විනයධර මාතෘක ධර බොහෝ ස්ථවිර භික්‍ෂූහු වෙසෙත්. ‘මේ ධර්‍මයැ’යි ‘මේ විනයැ’ යි ‘මේ ශාස්තෘශාසනයැ’ යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි. මා විසින් පිළිගන්නා ලදැ’ යි කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය නො මැ පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු, නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො බැසැගනිත් ද, විනයෙහි නො සැසැඳෙත් ද, එ විටැ ‘ඒකාන්තයෙන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය නො වේ, ඒ තෙරවරුන් විසින් ද මෙය වරදවා ගන්නා ලදසේ යැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණියැ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඔහු සූත්‍රයෙහ් බහාලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි බැසැ ගනිත් ද, විනයෙහි සැසැඳෙත් ද, ‘ඒකාන්තයෙන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යි, ඒ තෙරවරුන් විසිනුත් මොනොවට උගන්නා ලද සේ යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ තෙවෙනි මහා අපදේශය සිත්හි ලා දරවු. (3)
මහණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝද්ගත ආගමය ඇති, ධර්‍මධර විනයධර මාතෘකාධාර එක් ස්ථවිර භික්‍ෂු නමෙක් වෙසෙයි. ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ’ යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි, ඒ තෙරුන් හමුයෙහි මා විසින් පිළිගන්නා ලදැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය එ පමණින් නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳියැ යුතු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහා ලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො ම බැසගනිත් ද, විනයෙහිත් නො ම සැසැඳෙත් ද, එ විටැ ‘මෙය ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ, ඒ තෙරහු විසින් ද වරදවා ගන්නා ලද්දෙකැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහා ලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි බැසගනිත් ද, විනයෙහිත් සැසැඳෙත් ද, එ විට ‘මෙය ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ. ඒ තෙරහු විසිනුත් මොනොවට ඉගෙන ඇති නියා යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ සිවුවන මහා අපදේශය සිත්හි ලා දරවු. (4) මහණෙනි, මේ සතර මහා අපදේශයන් සිත්හි දරවු” යනුයි.
භාග්‍යවතුන් වහන්සේ ඒ භෝග නගරයෙහි අනඳ සෑයෙහි වසන සේක්, “සිල් නම් මෙසේ යැ, සමාධි නම් මෙසේ යැ, ප්‍රඥාව මෙසේ යැ, ශීලයෙන් පරිභාවිත සමාධිය මහත් පල හා මහත් අනුසස් හා ඇත්තේ වේ, සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත් පල හා මහත් අනුසස් හා ඇති වේ, ප්‍රඥායෙන් පරිභාවිත සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රවකෙරෙන් මොනොවට මිදේ යැ” යි මහණුනට මේ ධර්‍මකථාව ම බහුල කොට කරන සේක.
[චුන්‍ද කර්‍මාරපුත්‍ර කථාව]
84. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි කැමැතිතාක් කල් රැඳී සිට, අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, එවු, යමු, පාවා නුවර කරා යන්නම් හ’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව පාවා නුවර කරා වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාවා නුවරැ චුන්‍ද නම් කර්‍මාර පුත්‍රයාගේ අඹ වෙනෙහි වැඩ වෙසෙන සේක. චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම ‘භගවත්හු පාවා නුවරට වැඩියාහු, පාවා නුවරැ මගේ අඹවෙනෙහි වෙසෙත් ලු’ යි ඇසී ය. එ කලැ චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් ඔබ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ම චුන්‍ද කර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දෙලෝ වැඩ දැක්වූ සේක. දැක්වූ වැඩෙහි සිත් ගැන්වූ සේක. එහි සිත තියුණු කළ සේක. එහි සිත සතුටු කළ සේක. එ කල්හි චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම භගවත් බුදුරජුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලදුයේ, දෙලෝ වැඩෙහි සිත ගැන්වුණේ, එහි සිත තියුණු කරන ලදුයේ, එහි සිත සතුටු කරන ලදුයේ, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට බික්සඟන හා මා බත ඉවසන සේක් වා’ යි කීය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවැසූ සේක. ඉක්බිති චුන‍්‍ද කර්‍මාර පුත්‍ර තෙම භගවත් බුදුරජුන්ගේ ඉවැසීම දැන, හුනස්නෙන් නැගී ඔබ වැඳ, පැදකුණු කොට නික්මියේ ය.
ඉක්බිති චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම එ රැය ඇවෑමෙන් සිය ගෙහි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය ද බොහෝ සූකරමාර්‍දව ද පිළියෙල කරවා, ‘වහන්ස, වඩනට කල් පැමිණියේ ය, බත පිළියෙළ කොට නිමැවිණැ’ යි කියා භගවත් බුදුරජුනට කාලය දන්වා යැවී ය. භාග්‍යවතුන් වහන්සේ ද පෙරවරු සෙමෙහි හැඳැ පෙරවැ පා සිවුරු ගෙන බික්සඟන කැටුව චුන්‍ද කර්‍මාර පුත්‍රයාගේ ගෙට වැඩි සේක. වැඩ ප්‍රඥප්ත අසුන්හි හිඳගත් සේක. හිඳැගෙන (ඒ සූකරමාර්‍දවය ඒ කිසිදු භික්‍ෂූනමක් විසින් දිරවා ගත නොහෙනු දැක), චුන්‍ද කර්‍මාර පුත්‍රයා බණවා, “චුන්‍දයෙනි, තොප විසින් යම් සූකරමාර්‍දවයෙක් පිළියෙල කරන ලද ද, එයින් මා වළඳවව, යම් අන් ඛාද්‍යයෙක් භෝජ්‍යයෙක් පිළියෙල කරන ලද ද, එයින් බික්සඟන වළඳවව’ යි වදාළ සේක. චුන්‍ද කර්‍මාර පුත්‍ර ද ‘එසේ යැ, වහන්සැ’ යි භගවත් බුදුරජුනට පිළිවදන් දී, පිළියෙල කරන ලද යම් සූකරමාර්‍දවයෙක් වී ද එයින් භගවත් බුදුරජුන් වැළැඳැවී ය. යම් අන් ඛාද්‍ය භෝජනයෙක්, පිළියෙල කරන ලද ද, එයින් බික්සඟන වැළැඳවී ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චුන්‍ද කර්‍මාරපුත්‍රයා අමතා, ‘චුන්‍දයෙනි, තොප පිළියෙල කළ යම් සූකරමාර්‍දවයෙක් ඉතිරි වැ ඇද්ද, එය වළෙකැ ලව. චුන්‍දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවැ, මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්මුළුයෙහි, තථාගතයන් හැර අන් යමක්හු විසින් ඒ සූකරමාර්‍දවය වළඳන ලද්දේ ජඨරාග්නියෙන් මැනැවින් දිරීමට යන්නේ නම්, එ වැන්නක්හු මම් නො දකිමි’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි කියා ම චුන්‍ද කර්‍මාර පුත්‍ර භගවත් බුදුරජුනට පිළිවදන් දී, යම් ඉතිරි වැ තුබුණු සූකරමාර්‍දවයෙක්වී ද, එය වළෙකැ ලා භගවත් බුදුරජුන් කරා එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙක හුන්නේ ය. පසෙකැ හුන් චුන්‍ද කර්‍මාරපුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් දන් අනුහස් දක්වා එහි සිත් ගන්වා, එහි සිත තියුණු කොට, එහි සිත සතුටු කොට, හුනස්නෙන් නැඟී වැඩි සේක.
[ලෝහිත පක්ඛන්‍දිකා ආබාධය]
85. චුන්‍ද කර්‍මාරපුත්‍රයාගේ බොජුන වැළැඳූ භාග්‍යවතුන් වහන්සේට ක්‍රෑර වූ ලෝහිත පක්ඛන්‍දිකා රෝගයෙක් උපන. මරණය කෙළවර කොටැති ඉතා දැඩි දුක් වේදනාවෝ පවත්නාහ. භාග්‍යවතුන් වහන්‍සේ එළැඹැ සිටි සිහි ඇති සේක්, නුවණින් දන්නා සේක්. ඒ රෝගයෙන් නො ම ගැහැටෙන සේක්, ඒ දුක් වේදනාවන් ඉවැසූ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමැතූ සේක. අමතා, ‘අනඳයෙනි, එමු, කුසිනාරාව කරා යන්නමු’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ.
චුන්‍ද කර්‍මාරපුත්‍රයාගේ බත වැළැඳීමෙන් ධීර වූ බුදුරජුහු මරණය කෙළවර කොටැති ඉතා දැඩි ආබාධයක් ස්පර්‍ශ කළහ’ යි මා විසින් අසන ලදි.
සූකරමාර්‍දවය හා බොජුන් වැළැඳූ ශාස්තෲන් වහන්සේට ඉතා දරුණු වූ ව්‍යාධියෙක් උපන. භගවත්හු එක්වන් පැවැති ලෝහිත විරේචන ඇත්තාහු, මම් කුසිනාරා නුවර යමි’ යි වදාළහ.”
[අනඳ තෙරුන් පැන් ගෙනැ ඊම]
86. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත් වැ, එක්තරා රුකක් මුලට වැඩිසේක. වැඩ අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, මා සඟළ සිවුර සිවු ගුණ කොට පණවවු, ක්ලාන්තයෙමි, අනඳයෙනි, හිඳගන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි අනඳ තෙරණුවෝ බුදුරජුනට පිළිවදන් දී, සඟළ සිවුර සිවුගුණ කොට පැණැවූ හ. එසේ පැණැවුණු අස්නෙහි භගවත්හු වැඩහුන්හ. භගවත්හු වැඩහිඳ ම ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙවු, පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි, අනඳ තෙරණුවෝ බුදුරජුනට “වහන්ස, පන්සියක් පමණ ගැල්හු ඉක්මියාහ. ගැල් සකින් සිඳුණු මඳ වූ ජලය කැලැඹුණේ බොරවැ ගලා යයි. වහන්ස, මේ කකුත්‍ථා නදිය නොදුරෙහි ය, පහන් දිය ඇත්තේ ය, මිහිරි දිය ඇත්තේ ය, සිසිල් දිය ඇත්තේ ය, මඩ නැත්තේ ය, මනා තොට ඇත්තේ ය, සිත්කලු ය. භාග්‍යවතුන් වහන්සේ ඒ මේ කකුත්‍ථා නදියෙහි දී පැන් වැළැඳිය හැකි වන සේක, ඇඟ සිසිල් කැරැගත හැකි වන සේකැ” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, මට පැන් ගෙනෙවු, පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. දෙවෙනි වර ද අනඳ තෙරණුවෝ බුදුරජුනට, ‘වහන්ස, දැන් පන්සියක් පමණ ගැල්හු ඉක්මියාහ. ගැල්සකින් සිදුණු මඳ වූ ජලය කැලැඹුණේ බොර වැ ගලා යෙයි. වහන්ස, මේ කකුත්‍ථා නදිය නොදුරෙහි ය, පහන් දිය ඇත්තේ ය, මිහිරි දිය ඇත්තේ ය, සිසිල් දිය ඇත්තේ ය, මඩ නැත්තේ ය, මනා කොට ඇත්තේ ය, සිත්කලු ය, භාග්‍යවතුන් වහන්සේ ඒ මේ කකුත්‍ථා නදියෙහි දී පැන් වැළැඳියැ හැකි වන සේක, ඇඟ සිසිල් කැරැ ගත හැකි වන සේකැ’ යි කීහ.
තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙවු. පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දී, පාත්‍රය ගෙන ඒ කුඩා නදිය වෙතට වැඩියාහ.
එ කල්හි ගැල් සකින් සිඳුණු ස්වල්ප ජලය ඇති, කැළැඹුණු, බොර වූ ඒ කුඩා නදිය ගලනුයේ, අනඳ තෙරුන් එළැඹෙන විටැ පහන් වැ, වෙසෙසින් පෑදුණු දියැති වැ කැලැඹුම් නැති වැ ගැලීය. එ විටැ අනඳ තෙරුනට භවත්නි, තථාගතයන් වහන්සේගේ මහර්ද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, අද්භූත යැ. ස්වල්ප දිය ඇති, ගැල් සකින් සිඳුණු කැලැඹුණු, බොර වැ ගලන මේ නදිය මා එළැඹෙන විට පහන් විය, වෙසෙසින් පෑදුණු දිය ඇති විය, කැලැඹුම් නැති වැ ගලා යැ” යි මේ සිත විය. ඉක්බිති තෙරණුවෝ පාත්‍රයෙන් පැන් ගෙන භගවත් බුදුරජුන් වෙත එළැඹියාහ. එළැඹ ඔබට, “වහන්ස, තථාගතයන් වහන්සේගේ මහර්ධි ඇති බව, මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, අද්භූත යැ! වහන්ස, දැන් ගැල්සකින් සිඳී ගිය ජලය ඇති, ස්වල්ප ජලය ඇති, කැළැඹුණු බොර වැ ගලන ඒ කුඩා නදිය මා එළැඹෙන කලැ පහන් වැ, වෙසෙසින් පෑදුණු දිය ඇති වැ කැළැඹුම් නැති වැ බොර නැති වැ ගැලී ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක් වා, සුගතයන් වහන්සේ පැන් වළඳන සේක් වා” යි කීහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ පැන් වැළැඳූ සේක.
[පුක්කුස මල්ල පුත්‍ර කථාව]
87. එකලැ වනාහි ආළාරකාලාම තවුසාණන්ගේ ශ්‍රාවක වූ පුක්කුස නම් මල්ල පුත්‍රයෙක් කුසිනාරායෙන් පාවා නුවරට යන දික් මඟට පිළිපන්නේ වෙයි. පුක්කුස මල්ලපුත්‍ර තෙමෙ එක්තරා රුකක් මුලැ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක ඔබ වෙතට ගියේ ය. ගොස් ඔබ වැඳ පසෙක හිඳ ගත. එක් පසෙක හුන්නා වූ ම පුක්කුස මල්ල පුත්‍ර තෙමෙ භගවත් බුදුරජුනට මෙසේ කී ය: වහන්ස, ආශ්චර්‍ය්‍යය! වහන්ස, අද්භූත ය!! වහන්ස, පැවිද්දෝ ශාන්ත වූ විහරණයෙන් වෙසෙත්. වහන්ස, පෙරැ වූවක් කියම්. “පෙරැ ආළාර කාලාමයෝ දික් මඟකට පිළිපන්නාහු, මඟින් ඉවත් වැ නොදුරෙහි වූ එක්තරා රුකක් මුලැ දිවාවිහරණය පිණිස හුන්හ. වහන්ස, එ කල්හි එක්තරා පුරුෂයෙක් ඒ ගැල්සාත්තුව පසු පයින් එනුයේ, ආළාර කාලාමයන් කරා එළැඹියේ ය. එළැඹ, ‘වහන්ස, (මෙ පෙදෙස) ගැටි ගැටි ඉක් මැ යන පන්සියයක් පමණ ගැල් දුටු සේක් දෝ?’යි විචාළේ ය. ‘ඇවැත්නි, මම් නො ම දිටිමි’යි ආළාරකාලාමයෝ වදාළහ. ‘වහන්ස, කිම? ගැල්සක් හඬ ඇසූ සේක දෝ?’ යි හේ විචාළේ ය. ‘ඇවැත්නි, ගැල්සක් හඬ ද නො ම ඇසීමි’ යි ආළාරකාලාමයෝ වදාළාහ. ‘වහන්ස කිමෙක් ද? නිද්‍රෝපගත වැ හොත් සේක් දෝ’යි හේ පුළුවුත. ‘ඇවැත්නි මම් නිද්‍රෝපගත ද නො වීමි’ යි ආළාරකාලාමයෝ වදාළහ. ‘කිමෙක් ද? වහන්ස, ඔබ සංඥා ඇති වැ හුන් සේක් දැ?’ යි හේ පුළුවුත. ‘එසේ යැ, ඇවැත්නි’ යි ආළාර කාලාමයෝ වදාළහ. ‘වහන්ස, ඔබ සංඥා ඇති වන්නාහු ම, පිබිදැ හුන්නාහු ම ගැටි ගැටී ඉක්මැ යන පන්සියයක් පමණ ගැල් නො දුටුවාහ, ගැල්සක් හඬ නො ම ඇසුවාහ. වහන්ස, එහෙත් ඔබ සඟළ සිවුරු ධූලියෙන් වැකුණේ යැ!’ යි හේ කීය. ‘එසේ යැ ඇවැත්නි’ යි ආළාර කාලාමයෝ වදාළහ. වහන්ස, එ විටැ ඒ පුරුෂයාට මේ සිත විය. ‘භවත්නි, ආශ්චර්‍ය්‍ය යැ! භවත්නි, පුදුම යැ!! යමෙක් සංඥාව ම පිබිදැ හුන්නේ ම ගැටි ගැටි ඉක්මෙන පන්සියයක් පමණ ගැල් නො ම දිටී ද, ගැල් හඬක් නො ම ඇසී ද, එ බඳු වූ ශාන්ත විහරණයෙකින් මේ පැවිද්දෝ වෙසෙති!!!’ යි මේ සිත විය. හේ මෙසේ ආළාරකාලාමයන් කෙරෙහි මහත් ප්‍රසාදය පළ කොට එතැනින් නික්මියේ ය” යනු යැ.
“පුක්කුසයෙනි, එය තෙපි කිමැ යි සිත වු ද? යමෙක් සංඥීවන්නේ ම පිබිද ඉන්නේ ම දිව දී යන පන්සියයක් පමණ ගැල් නො ම දක්නේත් නො ම අසන්නේ ත් වේ ද, යමෙක් හෝ සංඥී වැ ම, පිබිදැ ඉන්නේ ම, (වියැළි ගැජුම් කොට අතරින් පතර) වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය නික්මෙන කල්හි, හෙණ පුපුරන කල්හි, එය නො ම දක්නේ ද, එහි හඬ හෝ නො ම අසන්නේ ද, මේ දෙකින් කිමෙක් නම් වඩා දුෂ්කර ද, වඩා දුර්‍ලභ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“වහන්ස, පන් සියයෙක් හෝ හය සියයෙක් හෝ හත් සියෙක් හෝ අට සියයෙක් හෝ නව සියයෙක් හෝ දහසෙක් හෝ සිය දහසෙක් හෝ ගැල්හු කුමක් කරන්නාහු ද? වැලි දු යමෙක් සංඥී ව ම, පිබිදැ හිඳ ම, වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි විදුලිය නික්මෙන කල්හි, හෙණ පුපුරන කල්හි එය නො දක්නේ නම්, එහි හඬත් නො අසන්නේ නම්, මෙය ම වඩා දුෂ්කර යැ, වඩා දුර්‍ලභ යැ” යි පුක්කුස කී ය.
එවිට, භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, ‘පුක්කුසයෙනි, මම් එක් සමයෙක ආතුමා නම් නුවරැ පිදුරුකිළියෙකැ වෙසෙන්නෙම් වීමි. එ සමයෙහි වැසි වස්නා කලැ, මේ ගැජුම් පවත්නා කලැ, විදුලිය හැසිරෙන කලැ, සෙණ පුපුරන කලැ ඒ පිදුරු කිළියට නොදුරෙහි ගොවිදෙබෑ කෙනෙක් ද ගොන්නු සිවු දෙනෙක් ද නැසුණහ. පුක්කුසයෙනි, එ කලැ ආතුමා වුනරින් මහජන මුළුවෙක් නික්මැ අවුත් ඒ මළා වූ ගොවි දෙබෑයන් ද සිවු ගවයන් ද හෝනා තැනට ආය. පුක්කුසයෙනි, එ වෙලෙහි මම්, පිදුරු කිළියෙන් නික්මැ, එහි දොර එළිමහනේ සක්මන් කෙරෙමි. පුක්කුසයෙනි, එ කලැ ඒ මහජන මුළුවෙන් එක්තරා මිනිසෙක් මා කරා ආ ය. අවුත් මා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටි ඒ මිනිසා බණවා, “ඇවැත්නි, කවර හෙයින් මහජනමුළුවෙක් රැස් විණි දැ?” යි ඇසීමි. “වහන්ස, දැන් වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය නික්මෙන කල්හි, හෙණ වැටෙන කල්හි, දෙ බෑ ගොවි කෙනෙක් ද සිවු දෙනෙක් ගවයෝ ද නටහ. එහි තෙල මහජන මුළුව රැස් විය. වහන්ස, ඔබ කොහි වූ හු ද?” යි ඒ මිනිසා කී ය. “ඇවැත්නි, මම් මෙහි ම වීමි” යි මම් කීමි. “වහන්ස කිම? එය ඔබ නො දුටු සේක් දෝ?” යි හේ පුළුවුත. “මම් නොදිටිමි ඇවැත්නි” යි මම් කීමි. “කිමෙක් ද? වහන්ස, ඔබවහන්සේ ඒ හඬ ඇසූ සේක් දැ?” යි හේ පුළුවුත. “ඇවැත්නි, මම් ඒ හඬ නො ඇසීමි” යි කීමි. “කිමෙක් ද, වහන්ස, ඔබ සංඥී වූහු ද?” යි හේ පුළුවුත. ‘එසේ ය ඇවැත්නි’ යි මම් කීමි. “වහන්ස, ඒ ඔබ වහන්සේ සංඥී වන සේක් ම පිබිදැ හුන් සේක් ම, වැසි වස්නා කලැ මේ ගැජුම් පවත්නා කලැ, විදුලිය හැසිරෙන කලැ, සෙණ පුපුරන කලැ එය නොම දුටු සේක් ද? හඬ හෝ නො ම ඇසූ සේක් දැ?” යි හේ විචාළේ ය. “එ සේය, ඇවැත්නි” යි මම් කීමි. පුක්කුසයෙනි, එ විටැ, “භවත්නි, යමෙක් සංඥීව ම, පිබිදැ හුන්නේ ම, වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය හැසිරෙන කල්හි, සෙණ පුපුරන කල්හි එය නො ම දුටුයේ ද, එහි හඬත් නො ම ඇසුයේ ද, එ බඳු වූ ශාන්ත විහරණයෙකින් පැවිද්දෝ වෙසෙත්” යැ යි ඒ පුරුෂයාට මේ සිත විය. ඉක්බිති හෙ තෙම මා කෙරෙහි මහත් ප්‍රසාදය පහළ කොට, මා වැඳ පැදැකුණු කොට නික්මියේ යැ” යි වදාළ සේක.
මෙසේ වදාළ කල්හි, පුක්කුස මල්ලපුත්‍ර තෙම “වහන්ස, ආළාර කාලාමයන් කෙරෙහි මගේ යම් පැහැදීමෙක් වී ද, එය මහ සුළඟෙහි පොළා හරිමි. සැඩ දිය පාර ඇති නදියෙක හෝ පා කොට යවමි. වහන්ස, අභිකාන්ත යැ, වහන්ස, අභිකාන්ත යැ. වහන්ස, යම් සේ මුහුණින් නමා තබන ලද්දක් උඩුකුරු කොට තබන්නේ ද, පිළිසන් වූවක් හෝ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට මඟ හෝ කියන්නේ ද, ‘ඇස් ඇතියන් රූප දකිති’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවැසිණ. “වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද බික්සඟන ද සරණයෙමි. අද පටන් කොට, දිවි හිමින් සරණ ගිය උවසුවකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකා වදාරන සේක් වා” යි කී ය.
ඉක්බිති පුක්කුස මල්ලපුත්‍ර තෙම එක්තරා පුරුෂයකු බණවා, “සගය යව, රන්වන් වූ මට සිලිටි වූ මඟුල් උළෙල ඈහි මා විසින් දැරියැ යුතු වූ වස්ත්‍ර යුගලය ගෙනෙව” යි කී ය. ‘එසේ යැ ස්වාමීනි’ යි කියා හේ පුරුෂ තෙම ඒ රන්වන් මට සිලිටි වත් යුවල ගෙනායේ ය. ඉක්බිති, පුක්කුස මල්ල පුත්‍ර තෙම රන්වන් මට සිලුටු (උත්සවාදීන්හි) දැරියැ යුතු ඒ වත් යුවල ගෙන, “වහන්ස, මේ රන්වන් වූ මට සිලුටු වූ, (උත්සවාදියෙහි මා විසින්) දැරියැ යුතු වූ වස්ත්‍ර යුග්මයෙක. වහන්ස, මා සතු වස්ත්‍ර යුග්මය මට අනුකම්පා සඳහා භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක් වා” යි එය භගවත් බුදුරජුනට එළැවී ය. “එසේ වී නම්, පුක්කුසයෙනි, එයින් එකෙකින් මා පුදව. අනෙකින් අනඳයන් පුදව” යි භගවත්හු වදාළහ. “එසේ යැ වහන්සැ” යි පුක්කුස මල්ල පුත්‍ර තෙම භගවත් බුදුරජුනට පිළිවදන් දී, එකෙකින් භගවත් බුදුරජුන් පිදී ය. (එකක් හඳනා පොරෝනා පිණිස භගවත් බුදුරජුනට දුන), එකෙකින් අනඳ තෙරුන් පිදීයි. (හඳනා පොරෝනා පිණිස එකක් අනඳ තෙරුනටද දුන). ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පුක්කුස මල්ල පුත්‍රයාට වස්ත්‍රානුමෝදනා ධර්‍මකථායෙන් කරුණු දැක් වූ සේක. එහි සිත් ගැන් වු සේක. එහි සිත් තියුණු කැරැවූ සේක, එහි සිත් සතුටු කැරැවූ සේක. මල්ල පුත්‍ර පුක්කුස තෙමේ ද භගවත් බුදුරජුන් විසින් දැහැමි කතායෙන් කරුණු දක්වන ලදුයේ, එහි සිත් ගැන්වුණේ, එහි සිත් තියුණු කරවන ලදුයේ, එහි සිත් සතුටු කරවන ලදුයේ, හුනස්නෙන් නැගී භගවත් බුදුරජුන් වැඳැ පැදැකුණු කොට නික්මැ ගියේ ය.
88. ඉක්බිති අනඳ තෙරණුවෝ පුක්කුස මල්ල පුත්‍රයා නික්මගිය නොබෝ කල්හි, ඒ (ඔහු විසින් උළෙල ඈහි) දැරිය යුතු වැ තුබුණු මට සිලිටි රන්වන් වත් යුවල භගවත් බුදු රජුන්ගේ සිරි සිරුරට එළැවී ය. එය භගවත් බුදුරජුන්ගේ සිරි සිරුරට එළවන ලදුයේ, පහ වූ සිළු ඇති ගිනි අඟුරු රැසක් මෙන් පැණෙයි.
එ කලැ අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට ‘වහන්ස, තථාගතයන් වහන්සේගේ ඡවිවර්‍ණය කොතරම් පිරිසිදු ද, කොතරම් ප්‍රභාස්වර ද යනු ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යැ. වහන්ස, මේ රන්වන් වූ, මට සිලිටි වූ ධාරණීය (උතුම් මංගල) වස්ත්‍ර යුගලය භාග්‍යවතුන් වහන්සේගේ කයට එළවන ලදුයේ, පහවූ සිළු ඇති, ගිනි අඟුරු රැසක් මෙන් පැනේ’ යැ යි කීහ.
“අනඳයෙනි, අවස්ථා දෙකෙක්හි ම තථාගතයන්ගේ සිරුර පිරිසිදු වෙයි, ඡවිවර්‍ණය ප්‍රභාස්වර වෙයි. කවර අවස්ථා දෙකෙක් හි ද යත්: අනඳයෙනි, යම් රැයෙක තථාගතයෝ නිරුත්තර සම්‍යක් සම්බෝධිය අධිගම කෙරෙත් ද, යම් රැයෙක තථාගතයෝ අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් ද, අනඳයෙනි, මේ අවස්ථා දෙක්හි ම තථාගතයන්ගේ සිරුර ඉතාම පිරිසිදු වෙයි, ඡවිවර්‍ණය ප්‍රභාස්වර වෙයි. අනඳයෙනි, අද වනාහි රෑ පැසිම් යම්හි කුසිනාරාහි උපවර්‍තන නම් මල්ල රජුන්ගේ සල් වෙනෙහි යමා සල් රුක් අතරැ තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. අනඳයෙනි, එවු, යමු. කකුත්‍ථා නදිය කරා එළැඹෙන්නමු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ යැ, වහන්සැ” යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ.
එහෙයින් සංගීතිකාරකයෝ කීහ: “රන්වන් මට සිලිටි වත් යුවලක් පුක්කුස තෙමේ එළැවී ය. එය හැඳැ පෙරැ වූ ශාස්තෘහු රන් පැහැ වූහු, හෙබියාහ.”
[අඹවනයට එළැඹීම]
89. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟන කැටුව කකුත්‍ථා නදිය වෙතට වැඩි සේක. වැඩ, ඒ නදියට බැස, දිය සනහා, පැන් වළඳා, එයින් ගොඩ නැඟ, අඹ වනය කරා වැඩි සේක. වැඩැ (වෙතැ සිටි) චුන්‍දක තෙරුන් බණවා “චුන්‍දකයෙනි, මට සඟළ සිවුර සතර පට කොට පණවවු. චුන්‍දකයෙනි, ක්ලාන්තයෙමි, වැදැහෙන්නෙමි” යි වදාළ සේක. “එසේ යැ වහන්සැ” යි ම චුන්‍දක තෙරණුවෝ භගවත්නට පිළිවදන් දී, සඟළ සිවුර සතර ගුණ කොට පැනැවූ හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දකුණු සිරිපා හි වම් සිරි පා මඳක් මෑත් කොට පිහිටුවා, එළැඹැ සිටි සිහි ඇති සේක්, නුවණින් දන්නා සේක්, නැඟී සිටුනා සංඥාව සිත්හි කොට දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක. චුන්‍දක තෙරණුවෝ ද එහි ම භගවත් බුදුරජුන් ඉදිරියෙහි හුන්හ.
[එහෙයින් කීහු සංගීතිකාරකයෝ:] “මෙ ලොවැ අප්‍රතිම ශාස්තෘ වූ තථාගත බුදු රජුහු කකුත්‍ථා නදිය කරා වැඩ, ඉතා ක්ලාන්ත ස්වභාවය ඇත්තාහු, එහි දියට බටහ.
ශාස්තෘහු දිය සනහා පැන් වළඳා, බික් සඟන මැද පෙරට වැ සිටියෝ, නදියෙන් ගොඩ නැංගාහ. මෙහි ධර්‍මයේ ප්‍රවක්තෘ වූ මහර්ෂි වූ භගවත් ශාස්තෘහු අඹවනයට වැඩියහ.
චුන්‍දක නම් මහණහු බණවා ‘මා සඟළ සිවුර සිවු ගුණ කොට අතුරවා වැදැහෙන්නෙමි’ යි වදාළහ. භාවිතාත්ම වූ ඒ බුදුරජුහු විසින් මෙහෙයන ලද ඒ චුන්‍දක තෙර වහා ම සඟළ සිවුර සිවු ගුණ කොට පැනැවී ය. ඉතා ක්ලාන්ත ස්වභාවය ඇති ශාස්තෘහු එහි සැතැපුණාහ. චුන්‍ද තෙර ද ඔබ ඉදිරියෙහි හුන්නේ ය.”
[සමවිපාක ඇති පිණ්ඩපාත දෙක]
90. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා මෙසේ වදාළ සේක: “අනඳයෙනි, චුන්‍ද කර්‍මාර පුත්‍ර හට ‘ඇවැත් චුන්‍දයිනි, තථාගතයෝ යමක්හුගේ අන්තිම පිණ්ඩපාතය (භෝජනය) වළඳා පිරිනිවියෝ ද, ඒ ඔබට (එයින්) අලාභයෝ යැ, ඒ තොප විසින් මිනිසත් බව නපුරු කොට ලබන ලද සේ යැ’ යි කිසිවෙක් විපිළිසරක් උපදවන්නේ ය යන්න වියැ හැක්ක. අනඳයෙනි, චුන්‍ද කර්‍මාර පුත්‍රයාගේ විපිළිසර මෙසේ දුරු කටයුතු ය:”
“යම් බඳු ඔබගේ පශ්චිම පිණ්ඩපාතය වළඳා තථාගතයෝ පිරිනිවියෝ ද, ඒ ඔබට ලාභයෙක, ඒ ඔබ විසින් මිනිසත් බව මොනොවට ලද සේ ය. අන් හැම පිණ්ඩපාතයනට වඩා ඉමහත් ඵල ඇති, වඩා ඉමහත් අනුසස් ඇති, හැම අයුරින් සම පල වූ සමවිපාක වූ මේ පිණ්ඩපාත දෙකෙද. කවර දෙකෙක් ද යත්: යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයෝ අනුත්තර සම්‍යක් සම්බෝධියට පැමිණෙත් ද, යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයෝ නිරුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් ද, මේ අන් හැම පිණ්ඩපාතයනට වඩා ඉතා ඉමහත් පල ඇති ඉතා මහත් විපාක ඇති හැම ලෙසින් ම සම ඵල ඇති, සම අනුසස් ඇති පිණ්ඩපාත දෙක ය.
‘මෙයින් ආයුෂ්මත් චුන්‍ද කර්‍මාර පුත්‍රයන් විසින් දීර්‍ඝායුෂ පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්‍මාර පුත්‍රයන් විසින් පැහැපත් බව පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්‍මාර පුත්‍රයන් විසින් වර්‍ණය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්‍මාර පුත්‍රයන් විසින් සුවය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්‍මාර පුත්‍රයන් ස්වර්‍ගය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්‍මාරපුත්‍රයන් විසින් අධිපති බව පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ යැ, ඇවැත් චුන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙන් ම මා විසින් මෙය අසනලද්දේ ය, භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් ම මා විසින් මෙය පිළිගන්නාලද්දේ යැ යි කියා මෙසේ චුන්‍ද කර්‍මාර පුත්‍රයා විපිළිසර දුරු කටයුතු යැ” යනු යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“දන් දෙන්නහුට පින් වැඩේ. සිල් රක්නහු සිතැ වෙර නො පවතී. නුවණැත්තේ වෙර (පව්) දුරැ ලයි. හේ මෙසේ (පව්) දුරැ ලා රාග ද්වේෂ මෝහ මුල් ඉදිරීමෙන් කෙලෙස් පිරිනිවනින් ද එයට පසු කඳ පිරිනිවනින් ද පිරිනිවියේ වෙයි” යනු යි.
සතර වැනි බණවර යි.
යමා සල්රුක්
91. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඇවැත් අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යම්හ. හිරණ්‍යවතී නදිය පර තෙරට (නදියෙන් එගොඩට) එහි කුසිනාරා නුවරට, එහි මල්ල රජුන්ගේ උපවර්‍තන නම් සල්උයනට එළැඹෙන්නමු” යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන කැටුව හිරණ්‍යවතී නදියෙන් එතෙරැ කුසිනාරා නුවරැ මල්ලයන්ගේ උපවර්‍තන නම් සල්උයන කරා වැඩියාහ. වැඩ අනඳතෙරුන් අමතා “අනඳයෙනි, යමා සල් රුක් අතරැ හිස උතුරු දෙසට සිටුනා යේ කොට මට ඇඳක් පනවවු. අනඳයෙනි, ක්ලාන්තයෙමි, වැදැහෙනු කැමැත්තෙමි” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දී, යමා සල්රුක් අතරැ උතුරු දෙසට හිස සිටුනා සේ කොට ඇඳක් පැනවූහ. ඉක්බිති භගවත්හු දකුණු පයින් වම් පය මඳක් ඉක්මැ බිහිටුවා සිහි නුවණින් යුතු වැ දකුණැලයෙන් සිංහ ශය්‍යාව කළාහ. (සිංහශය්‍යායෙන් සැතැපුණුසේක.)
92. එ වේලෙහි වනාහි යමා සල් රුක් හු නොකල් මලින් මුළුල්ල ම ගැවැසුණාහු වෙත්. ඔහු තථාගතයනට පූජා විසින් ඔබ සිරුර මත්තෙහි වැටෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව මදාරා මලුදු අහසින් හෙයි. ඔහු තථාගතයනට පුද පිණිස ඔබ සිරුර මත වැටෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව සඳුන් සුණුදු අහසින් හෙයි. ඔහු තථාගතයනට පුද පිණිස ඔහ සිරුර මත හොත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව තුරුහු ද තථාගතයනට පුද පිණිස අහසැ වැයෙත්. දිව ගැයුම්හු ද තථාගතයනට පුද පිණිස අහසැ පැවැතෙත්. එකලැ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යමාසල්රුක්හු නොකල් මලින් මුළුල්ල හැසුණාහු ගැවැසුණාහු වෙත්. ඔහු තථාගතයනට පුද පිණිස ඔබ සිරුර මතැ හෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව මදාරා මලුදු අහසින් හෙයි ... දිව සඳුන් සුණු ද අහසින් හෙයි ... දිව තුරු ගොසු දු ... දිව ගැයුමුදු තථාගතයනට පුද පිණිස අහසැ වැටෙයි. අනඳයෙනි, මෙතෙකින් තථාගතයෝ සත්කෘත හෝ ගුරුකෘත හෝ මානිත හෝ පූජිත හෝ අපචිත හෝ නො වෙත්. අනඳයෙනි, යම් මහණෙක් හෝ මෙහෙණක් හෝ උවසුවෙක් හෝ උවැසියක් හෝ ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වැ සම්‍යක් ප්‍රතිපන්න වැ අනුධර්‍මචාරී වැ වෙසෙයි ද, හේ මැ පරම පූජායෙන් තථාගතයනට සත්කාර කෙරෙහි, ගරු කෙරෙයි, බුහුමන් කෙරෙයි, පූජා කෙරෙයි, අපචායන කෙරෙයි. අනඳයෙනි, එ බැවින් මෙහි ලා ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වැ සම්‍යක් ප්‍රතිපන්න වැ අනුධර්‍මචාරී ව වසන්නමෝ’ යි, මෙසේ ම තොප විසින් හික්මියැ යුතු” යි වදාළ සේක.
උපවාන තෙරණුවෝ
93. එ සමයෙහි වනාහි උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පවන් සලනුවෝ ඔබ ඉදිරියේ සිටියාහු වෙත්. එ කලැ භාග්‍යවතුන් වහන්සේ උපවාණ තෙරුන් බණවා, ‘මහණ, ඉවත් වන්න, මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක. එ විටැ, ‘මේ උපවාණ තෙරණුවෝ වූ කලි බොහෝ කලක් වෙතැ ගැවැසෙන, ළඟ හැසිරෙන, භාග්‍යවතුන් වහන්සේගේ උවටුවෙකි. එහෙත් පැසිම් සෙමෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, ඉවත්වන්න. මැ ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, ඉවත් වන්න. මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක යන යමෙක් ඇද්ද, එයට හේතුව කවර යැ, එයට කරාණය කවර යැ, යි අනඳ තෙරුනට මේ සිත විය. ඉක්බිති අනඳ තෙරණුවෝ ‘වහන්ස, මේ උපවාණ තෙරණුවෝ බොහෝ කලක් වෙතැ ගැවැසෙන, ලඟ හැසිරෙන භාග්‍යවතුන් වහන්සේගේ උවටුවෙක. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ පැසිම් සමයෙහි ‘මහණ, ඉවත් වන්න, මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කරන සේක. වහන්ස, ... එයට හේතුව, එයට කාරණය කවර යැ?’ යි භගවත් බුදුරජුන් පුළුවුත්හ. “අනඳයෙනි, ලෝදා දස දහසෙක දෙවියෝ තථාගතයන් දක්නා පිණිස බොහෝ සෙයින් රැස්වූවාහු වෙත්. අනඳයෙනි, කුසිනාරා නුවර යම් පමණ ද, මල්ලවයන්ගේ උපවර්‍තන ශාලවනය යම් පමණ ද හාත්පස දොළොස් යොදුන් වූ ඒ සියලු පෙදෙස යම් පමණ ද, එහි මහායශස්ක දේවතාවන් වැද නොගත්, හිඳි අගක් එළාලන පමණ වූ ද ඒ තැනෙක් නැත. අපි වූ කලි භාග්‍යවතුන් වහන්සේ දක්නට දුරැ සිට ද ආම්හ. රහත් සම්මා සම්බුදු වූ තථාගතවරු (බොහෝ කල් ඉක්මැ) කිසි කලෙක්හි ම ලොවැ පහළ වෙත්. අද රෑ ම පැසිම්යම්හි තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේ ය, මේ මහ තෙදැති මහණ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඔබ මුවහ කරනුයේ සිටියේ වෙයි. (එහෙයින්) අපි (මේ) පැසිම් සමයෙහි තථාගතයන් වහන්සේ දක්නට නො ලබමෝ’ යි දෙවියෝ (උපවාණ මහණහට) දොස් නඟත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුනට වදාළ සේක.
94. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙසේ වූ දේවතා කෙනකුන් මෙනෙහි කරන සේක් දැ?’ යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.
‘අනඳයෙනි, අහසෙහි පෘථිවි යැ’ යි සංඥා ඇති දේවතා කෙනකුන් ඇත. ඔහු ‘ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක. ඉතා වහා ලොවැ ඇස අතුරු දහන් වන්නේ යැ’ යි හිස කෙස් මුදා හඬත්, දොහොත් නඟා හඬත්, මැදින් සිඳී වැටුණවුන් සේ වැටෙත්, පෙරැළෙන්නාහු වැටුණු තැනට ම එත්, වැටුණු තැනින් ඈතට ද පෙරැළී යෙත්.
[missing trans]
යම් දේවතා කෙනෙක් පහ වූ රාගය ඇත්තාහු ද, ඔහු සිහි ඇත්තාහු නුවණින් දන්නාහු, ‘සංස්කාරයෝ අනිත්‍යය හ. එහෙයින් මෙහි ස්ථිරතාවෙක් කොයින් ලැබෙන්නේ දැ!’ යි ඉවසත් යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
95. “වහන්ස, පෙරැ ඒ ඒ දෙසැ වස් වුසූ භික්‍ෂුහු තථාගතයන් වහන්සේ දක්නට එත්. අපි මෙත් බවුන් විසින් සිත් වඩනා (සමාධිය වඩනා) ඒ භික්‍ෂූන් දක්නට ලබම්හ, එළැඹැ පිළිදග්නට ලබම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ඒ මෙත් බවුනෙත් සිත වඩනා භික්‍ෂූන් දක්නට නො ලබන්නමු. එළැඹැ පිළිදග්නට නො ලබන්නමු” යි අනඳ තෙරණුවෝ කීහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “අනඳයෙනි, සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු, සංවේග උපදවන මේ තැන් සතරෙකි. කවර දතරෙක් ද? යත්:
‘අනඳයෙනි, ‘තථාගතයන් වහන්සේ මෙහි උපන් සේකැ’ යි (ඒ උපන් තැන) සැදැහැවත් කුල පුත්හට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.
‘තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළ සේකැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුත්හට දක්නට සුදුසු සංවේගය උපදවන තැනෙකි.
‘මෙහි තථාගතයන් වහන්සේ විසින් නිරුත්තර ධර්‍මචක්‍රය පවත්වන ලදැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුතුහට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.
‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවන් පෑ සේකැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුත් හට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.
අනඳයෙනි, මොහු සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු සංවේග උපදවන තැන් සතර ය.
අනඳයෙනි, සැදැහැවත් මහණහු ද මෙහෙණහු ද උවසුහු ද උවැසියෝ ද ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේකැ’ යි ද, ‘මෙහි තථාගතයන් වහන්සේ නිරුත්තර සම්‍යක්සම්බෝධි අවබෝධ කළ සේකැ’ යි ද, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් නිරුත්තර ධර්‍මචක්‍රය පවත්වන ලදැ’ යි ද, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවි සේකැ’ යි ද සලකා මේ තැන් කරා එන්නාහු ම ය. අනඳයෙනි, යම් කෙනෙක් වනාහි චෛත්‍යචාරිකාව කරන්නාහු (සෑ වඳිමින් පුදමින් ඇවිදුනාහු) පහන් සිතැත්තෝ කලුරිය කරන්නාහු ද, ඒ සියල්ලෝ කාබුන් මරණින් මතු මනාප ගති ඇති සග ලොවට පැමිණෙන්නාහ.”
ආනන්‍ද පාච්ඡා කථාව
96. ඉක්බිති, අනඳ තෙරණුවෝ “වහන්ස, අපි මාගම කෙරෙහි කෙසේ පිළිපදුමෝ දැ” යි විචාළහ.
“අනඳෙයනි, මාගම නොදැක්ම යැ” යි භගවත්හු වදාළහ.
“භාග්‍යවතුන් වහන්ස, දැක්මක් ඇති කල්හි කෙසේ පිළිපැද්ද යුතු දැ?” යි අනඳ තෙරණුවෝ විචාළහ.
“අනඳයෙනි, ඇය හා කතා නො කිරීම යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
(කතා කළ යුතු ම තැනක් වුව) “වහන්ස, කතා කරන මහණහු විසින් කෙසේ පිළිපැද්ද යුතු දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.
“අනඳයෙනි, (ඇය ගේ) වයස අනුව මේ මව යැ යි හෝ සොහොයුරි යැ යි හෝ දූ යැ යි හෝ සලකා සිහිය එළැඹැවියැ යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, අපි කෙසේ නම් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි පිළිපදුමෝ දැ” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.
“අනඳයෙනි, තෙපි තථාගතයන්ගේ සිරුර පුදනුයෙහි නිරුත්සාහ වවු. අනඳයෙනි, තෙපි වූ කලි තමහට වැඩෙහි (රහත්බව් ලබනුයෙහි) තැත් කරවු, තමහට වැඩෙහි පුනපුනා යෙදෙවු (රහත්බව් පිණිස පිළිවෙත් කරවු, බවුන් බවවු), තමහට වැඩෙහි (රහත්බව් ලැබීමෙහි) නොපමා වූවාහු, කෙලෙස් තවන වැර ඇත්තාහු, නිවන් කරා මෙහෙයූ සිතැත්තාහු වසවු. අනඳයෙනි, තථාගතයන් කෙරෙහි වෙසෙසින් පහන් වූ නුවණැති කැත්හු ද, නුවණැති බමුණෝ ද, නුවණැති ගැහැවියෝ ද ඇත. ඔහු තථාගතයන්ගේ සිරුරට පූජා සත්කාර කරන්නාහ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, (ඔවුන් විසින්) තථාගතයන් වහන්සේගේ සිරුරෙහි කෙසේ පිළිපැද්දැ යුතු දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.
“අනඳයෙනි, සක්විති රජක්හුගේ සිරුරෙහි යම්සේ පිළිපදිත් ද, තථාගතයන්ගේ සිරුරෙහි එසේ ම පිළිපැද්දැ යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “වහන්ස, සක්විති රජක්හුගේ සිරුරැ කෙසේ පිළිපදිත් දැ?” අනඳ තෙරණුවෝ පුළුවුත්හ.
“අනඳයෙනි, සක්විති රජක්හුගේ සිරුර අළුත් පිළියෙන් වෙළත්. අළුත් පිළියෙන් වෙළා පොළාලු (මොනොවට නඟා පාදන ලද) කපු පුළුනෙන් වෙළත්. පොළා ලූ කපුපුළුනෙන් වෙළා අළුත් පිළියෙන් වෙළත්. මෙ නයින් යුගල පන්සියෙකින් සක්විති රජුගේ සිරුර වෙළා, රන්මුවා දෙණෙක බහා අන් රන්මුවා දෙණෙකින් වසා, හැම වර්‍ගයේ සුවඳ දරින් චිතකයක් කොට එ සිරුර දවත්. සක්විති රජහට (සක්විති රජුගේ සිරුර දා ඉතිරි වූ ධාගු තැන්පත් කොට) සතර මං හන්දියෙක තුඹක් (ස්තූපයක්) කරත්. අනඳයෙනි, මෙසේ ම සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත්. අනඳයෙනි, යම්සේ සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත් ද, එ සේම තථාගතයන්ගේ සිරුරෙහි පිළිපැද්ද යුතු. තථාගතයනට සිවු මං සන්දියෙක තුඹක් කැරැවිය යුතු. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුවඳ සුණු හෝ නඟන්නාහු (පුදන්නාහු) හෝ වෙත් ද, ආදරයෙන් වඳින්නාහු හෝ වෙත් ද, සිත හෝ පහදවන්නාහු වෙත් ද, එය ඔවුනට බොහෝ කල් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
තුඹට සුදුසු පුඟුලෝ
97. “අනඳයෙනි, තුඹ (ස්තූප) කොට පුදනු ලබන්නට සුදුසු වූ මේ පුඟුලෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද යත්: අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් (ස්තූපයෙන්) පුදනු ලබනුවට සුදුසු ය. පසේ බුදුරජ තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය. තථාගත සම්මා සම්බුදුන්ගේ සවු තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය, සක්විති රජ තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය.
අනඳයෙනි, කවර කරුණක් නිසා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් පුදනු ලබනුවට සුදුසු වෙයි ද යත්: අනඳයෙනි, ‘මේ ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්, සිත පහදා කාබුන් මරණින් මතු මනාගති ඇති සග ලොවට පැමිණෙත්. අනඳයෙනි, මේ කරුණ නිසා ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් පුදනු ලබනුවට සුදුසු ය.
අනඳයෙනි, කවර කරුණක් නිසා පසේ සම්බුදුරජ තුඹින් පුදනු ලබනුවට සුදුසු ද යත්: අනඳයෙනි, මේ ඒ භගවත් පසේ බුදුරජුගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහදා කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්. අනඳයෙනි, මෙ කරුණ නිසා ම පසේබුදු රජ තුඹින් පුදනු ලබනුවට සුදුසු ය.
අනඳයෙනි, කවර කරුණක් නිසා තථාගතයන්ගේ සව්වා තුඹින් පුදනු ලබන්නට සුදුසු ද යත්: අනඳයෙනි, ‘මේ ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සව්වක්හුගේ ස්තූපයෙකැ’ යි බොහෝ දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහදා කා බුන් මරණින් මතු මනා ගති ඇති සගලොවට පැමිණෙත්. අනඳයෙනි, මෙ කරුණ නිසා ම තථාගතයන්ගේ සව්වා තුඹින් පුද ලබනුවට සුදුසු ය.
අනඳයෙනි, කවර කරුණක් නිසා සක්විති රජ තුඹින් පුදනු ලබනුවට සුදුසු වෙයි ද යත්: අනඳයෙනි, ‘මේ දැහැමි වූ දස රජ දහමින් ජනන් රැඳැවූ සක්විති රජුගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහ දා කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්. අනඳයෙනි, මේ කරුණ නිසා සක්විති රජ තුඹින් පුද ලබනුවට සුදුසු ය.
අනඳයෙනි, මේ ස්තූපාර්‍හ පුද්ගල සතර දෙනා යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
අනඳ තෙරුන්ගේ අසිරි දහම්
98. ඉක්බිති අනඳ තෙරණුවෝ වෙහෙර වැද දොරැ අගුළුකණුවැ එල්බැ ගෙන “අහෝ! මම් රහත්බව ලබනුවට කළ යුතු දෑ ඇති ශෛක්‍ෂයෙකිම් වෙමි. මට අනුකම්පා කරන මගේ ශාස්තෲන් වහන්සේගේ පිරිනිවන ද වන්නේ යැ” යි හඬමින් සිටියේ ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ආනන්‍දයෝ කොහි දැ?” යි භික්‍ෂූන් අමතා වදාළ සේක. “වහන්ස, තෙල අනඳ තෙරණුවෝ වෙහෙර වැද දොරැ අගුළු කණුවැ එල්බැගෙන ‘අහෝ! මම් කළ යුතු දෑ ඇති ශෛක්‍ෂයෙකිම් වෙමි, මට අනුකම්පා කරන මගේ ශාස්තෲන් වහන්සේගේ පිරිනිවන ද වන්නේ යැ’ යි හඬමින් සිටියාහු” යැ යි භික්‍ෂූහු සැළ කළාහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා “මහණ, මෙහි එව, ‘ඇවැත්නි, ශාස්තෘහු ඔබ කැඳවති’ යි කියා මගේ වචනයෙන් අනඳයන් කැඳවා ගෙනෙව” යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි එ මහණ භගවත් බුදුරජුනට පිළිවදන් දී, අනඳ තෙරුන් කරා එළැඹ, ‘ඇවැත්නි, අනඳයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවන සේකැ’ යි සැළ කළේ ය. ‘එසේ යැ ඇවැත්නි’ යි අනඳ තෙරණුවෝ එ මහණ හට පිළිවදන් දී, භගවත් බුදුරජුන් වෙත එළැඹියහ. එළැඹ ඔබ ආදර සහිත වැ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් ම අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“අනඳයෙනි, හැඬීමෙන් වැඩෙක් නැත. ශෝක නො කරවු, නො හඬවු. අනඳයෙනි, ප්‍රිය මනාප සියලු දැයෙන් ඉවත් වීම, වෙන් වීම, අන් සැටියකට පෙරැළීම කල් තබා ම මා කීවා නො වේ ද? අනඳයෙනි, යමෙක් උපන්නේ නම්, වූයේ නම්, සකස් වූයේ නම්, පලුදු වන සුලු වී නම්, ඒ ස්වභාවය ම ඇති තථාගත ශරීරය ද නො නැසේ ව යි පැතුව ද, එය කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ අවිද්‍යාමාන ය (මේ නො වන දැයෙකි). අනඳයෙනි, තොප විසින් හිතවත් වූ, සුව ගෙන දෙන්නා වූ, දෙසැටියක් නැති, (මුව දෝනා පැන් එළැවීම් ආදි) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත කාය කර්‍මයෙන් තථාගත තෙමේ ප්‍රත්‍යුපස්ථිත (නිතර උවටන් කරනු ලදුයේ) වෙයි. හිතවත් වූ, සුව ගෙන දෙන, දෙසැටියක් නැති, (මේ මුවදෝනා කලැ යි සැලකිරීම් ආදි විසින් පැවැත්වුණු) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත වාක් කර්‍මයෙන් ද ... (මගේ ශාස්තෘන් වහන්සේ නිදුක් නීරෝග වන සේක්වා යන ආදි විසින් පැවැත් වුණු) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත මනඃකර්‍මයෙන් ද තථාගත තෙමේ ප්‍රත්‍යුපස්ථිත වී ය. අනඳයෙනි, තෙපි කෘතපුණ්‍යයහ (බොහෝ පින් කළ කෙනෙක), ප්‍රධන් වඩනුයෙහි යෙදෙවු. වහා රහත් වන්නාහු” (යනු යි.)